“ගොනා කෝවිලේ රාජා” පොලිස් වෙඩි පහරින් මරුට

(07.06.2020 – 06:57 +0530 – hirunews.lk/sinhala)

මිනීමැරුම් ඇතුලු අපරාධ රැසකට සම්බන්ධ ගොනා කෝවිලේ රාජා නැමති සැකකරු පොලිසිය සමඟ ඇතිවූ වෙඩි හුවමාරුවකදී ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී ජාලිය සේනාරත්න මහතා සඳහන් කළේ අද (07) අලුයම සැකකරු අත්අඩංගුවට ගැනීමට යාමේදි ඇතිවූ වෙඩි හුවමාරුවකදී මෙලෙස ඔහු මියගොස් ඇති බවයි.

මිනුවන්ගොඩ – බල්ලපාන – දූනගහ පාරේදී පොලීසිය සහ සැකකරු අතර මෙම වෙඩි හුවමාරුව සිදුව තිබෙනවා.

එහිදී තුවාල ලැබූ 50 හැවිරිදි සැකකරු දිවුලපිටිය රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව ජීවිතක්ෂයට පත්ව ඇති අතර, ඔහු තාවකාලිකව දිවුලපිටිය – බල්ලපාන ප්‍රදේශයේ පදිංචිව සිට ඇති බවයි පොලිස් මාධ්‍ය කොට්ඨාසය කියා සිටියේ.

රත්මලාන සහ මොරටුව ප්‍රදේශවල මිනීමැරුම් සහ අපරාධ රැසක් සම්බන්ධයෙන් අවශ්‍යව සිටි මෙම සැකකරු විවිධ නම් වලින් පෙනී සිට ඇති බවයි එමඟින් වැඩිදුරටත් සඳහන් කළේ.

+++++++++++++++++++++

පොලීසිය සමඟ සිදු වු වෙඩි හුවමාරුවකදී සොයිසාපුර වෙඩි තැබීමේ සිද්ධියට සම්බන්ධ ප්‍රධාන සැකකරු මරුට

(07.06.2020 – 07:32 +0530 – sinhala.adaderana.lk)

මිනුවන්ගොඩ, බල්ලපාන දූනගහ ප්‍රදේශයේදී පොලීසිය සිදුකළ වෙඩි තැබීමකින් පාතාල කල්ලි සාමාජිකයෙකු මියගොස් තිබේ.

පසුගිය දා, ගල්කිස්ස-සොයිසාපුර ප්‍රදේශයේ පිහිටි හෝටලයට වෙඩි තැබීමේ සිද්ධියට සම්බන්ධ ප්‍රධාන සැකකරු ද මෙම සැකකරු බව පොලීසිය පවසයි.

සැකකරුවෙකු සැඟව සිටින බවට පෑලියගොඩ අපරාධ විමර්ශන ඒකකයට ලද තොරතුරක් මත අද (07) අළුයම 00:03 ට පමණ ඔහු අත්අඩංගුවට ගැනීමට යාමේ දී සැකකරු විසින් පොලීසිය වෙඩි තබා ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී ජාලිය සේනාරත්න මහතා සඳහන් කළේය.

එහිදි පොලීසිය සිදුකළ ප්‍රතිප්‍රහාරවල දී සැකකරු තුවාල ලබා දිවුලපිටිය රෝහලට ඇතුලත්ක කර ඇති අතර එහිදි ජීවිතක්ෂයට පත්ව ඇත.

මෙම සැකකරු වයස අවුරුදු 50 ක් වන බවත් බල්ලාපන – දිවුලපිටිය ප්‍රදේශයේ තාවකාලිකව පදිංචිව සිටි පුද්ගලයෙක් බවත් ඔහු ඝාතන කිහිපයකට ද සම්බන්ධ අයෙකු බවත් පොලීසිය පවසයි.

මෙම සැකකරු විවිධ නම් වලින් පෙනි සිටිමින් අපරාධ රැසක් සිදු කර ඇති බව සඳහන්.

මෘත ශරීරය දිවුලපිටිය රෝහලේ මෘත ශරීරාගාරයේ තබා ඇති බවත් සිද්ධිය සම්බන්ධයෙන් පෑලියගොඩ දිසා අපරාධ කොට්ඨාසය හා කැලණිය කොට්ඨාස අපරාධ විමර්ශන එකකය වැඩිදුර විමර්ශන සිදු කරයි.

අදාළ සිද්ධිය සම්බන්ධයෙන් අද මිනුවන්ගොඩ මහේස්ත්‍රාත්වරයා වෙත කරුණු වාර්තා කිරීමට නියමිත අතර මහේස්ත්‍රාත් පරීක්ෂණ සහ ඉදිරි කටයුතු සිදුකිරීමට නියමිතයි ෴

+++++++++++++++++++++

ක්‍රිකට් ක්‍රීඩක ධනංජයගේ පියා ඝාතනය කළ ප්‍රධාන සැකකරු පොලිස් වෙඩි පහරින් මරුට

(07.06.2020 – 15:44 +0530 – sinhala.adaderana.lk)

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ධනංජය ද සිල්වා මහතා ගේ පියා වන රන්ජන් ද සිල්වා මහතා ඝාතන සිද්ධියේ සැකකරුවෙකු මිනුවන්ගොඩ දී පොලීසිය සමඟ ඇති වූ වෙඩි හුවමාරුවකින් මිය ගියේය.

අදාළ සැකකරු අත්අඩංගුවට ගැනීමට දියත් කළ මෙහෙයුමක් අතරතුර සැකකරු හා පොලිසිය අතර මෙම වෙඩි හුවමාරුව සිදුව තිබුණි.

අපරාධ සිද්ධි රැසකට සම්බන්ධ සැකකරුවකු මිනුවන්ගොඩ, බල්ලපාන, දූනගහ පාර ප්‍රදේශයේ නිවසක රැදී සිටින බවට පොලිසියට තොරතුරු ලැබී තිබු තොරතුරු අනුව කැලණිය කොට්ඨාශ අපරාධ විමර්ශන ඒකකයේ නිලධාරීන් හා පෑලියගොඩ දිසා අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් එක්ව ඊයේ (06) මධ්‍යම රාත්‍රියේ එම නිවස වටලා තිබේ.

එම අවස්ථාවේ සැකකරු පොලිසියට වෙඩි ප්‍රහාර එල්ල කර ඇති අතර පොලිසිය එල්ල කළ ප්‍රතිප්‍රහාර හමුවේ සැකකරු තුවාල ලබා තිබුණි.

ඒ අනුව සැකකරු දිවුලපිටිය රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මිය ගිය අතර, ඔහු සම්පත් තෙන්නකෝන් නොහොත් රාජා විමලධර්ම නැමැත්තා බවට හඳුනා ගැනුණි.

සැකකරු සතුව තිබී මිලිමීටර් 9 වර්ගයේ පිස්තෝලක්ද සොයා ගෙන ඇති අතර, 50 හැවිරිදි ඔහු විවිධ අන්වර්ථ නාම වලින් පෙනී සිටි අපරාධකරුවෙකු බව පොලිසිය සඳහන් කළේය.

ඔහු 2018 මැයි 24 වැනිදා සිදුවූ ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ධනංජය ද සිල්වා මහතාගේ පියා වන රන්ජන් ද සිල්වා මහතා ඝාතන සිද්ධියේ සැකකරුවෙකු වෙයි.

දෙහිවල ගල්කිස්ස මහ නගර සභාවේ නාගරික මන්ත්‍රීවරයෙක් වූ රංජන් ද සිල්වා මහතාට වෙඩි තබා තිබුණේ ඔහුගේ පුත් රමාල් මහතා සමග තිබූ ආරවුලක් මත බව පසුව අනාවරණ කර ගැනුණි.

පාතාල නායක කුඩු අංජුගේ සැලැස්මක් මත මෙම වෙඩි තැබීම සිදු කළ බවට රමල් සිල්වා මහතා චෝදනා කර සිටියේය.

රංජන් ද සිල්වා මහතා ඝාතනයට ලක් වූ වෙඩිතැබීම කර තිබුනේ රමල් සිල්වා මහතා ඉලක්ක කරගනිමින්.

වසර දෙකකට ආසන්න කාලයක් ගත වුවද මෙම ඝාතනයේ ප්‍රධාන සැකකරු වූ කුඩු අංජු හෙවත් අඟුලානේ අංජු අත්අඩංගුවට ගැනීමට නොහැකි වුවද, එම ඝාතනය සමබන්ධයෙන් ඔහුගේ සමීපතමයෙකු වන කොණ්ඩ ජනියා නැමැත්තා අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කිරීමෙන් අනතුරුව ඇප මත මුදා හැර සිටියේය.

එසේ ඇප මත සිටියදී ඩුබායිහි සැඟව සිටින අංජුගේ මෙහෙයවීමෙන් කොණ්ඩ ජනියා තවත් පිරිසක් සමඟ දිවයිනටම ඇඳිරි නීතිය පනවා තිබූ පසුගිය මැයි 19 වැනිදා සොයිසාපුර හෝටලයකට කඩු වලින් පහර දීමක් සිදුකර පසුගිය 28 වනදා එහි හිමිකරුගෙන් කප්පම් ඉල්ලා අදාළ හෝටලයට වෙඩි තැබීමක්ද සිදුකර තිබුණි.

සිද්ධිය සම්බන්ධයෙන් ලියනගේ ජනිත් හෂාන් විමලවීර නොහොත් කොණ්ඩ ජනියා නැමති 34 හැවිරිදි පුද්ගලයෙකු ඇතුළු සැකකරුවන් 8 දෙනෙක් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කෙරුණු අතර සිද්ධිය සම්බන්ධයෙන් තවදුරටත් විමර්ශන සිදු කෙරෙයි.

ඊයේ (06) අත්අඩංගුවට ගැනීමට යාමේදී ජීවිතක්ෂයට පත් වූ සැකකරු පසුගිය මාසයේ සොයිසාපුර හෝටලයකට එල්ල වූ ප්‍රහාරයටද සබඳතාවක් පවතීද යන්න පිළිබඳව පරීක්ෂණ ක්‍රියාත්මක බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කළේය.

+++++++++++++++++++++

මොරටුව-මාලිගාවත්ත-ගම්පහ පාතාල කෙරුමන්ට දැල එළපු පොලිස් මෙහෙයුම

(08.06.2020 – mawbima.lk)

මෙරට පාතාලයත් හෙරොයින් මත්කුඩු ජාවාරමත් අයිය මලෝ බඳුය. මෙරට සිදුවන මත්කුඩු ජාවාරම සම්පූර්ණයෙන්ම මෙහෙයවනු ලබන්නේ පාතාලය විසිනි. එහි අලුත්ම සටන මේ වන විට එළියට පැමිණ ඇත. එහි අලුත්ම පරිච්ඡේදයේ කූටප්‍රාප්තිය මොරටුව, සොයිසාපුර ප්‍රදේශය කේන්ද්‍ර කරගෙන ආරම්භ වූයේ ඉකුත් මස 19 වැනිදා සිටය.

කොරෝනා වයිරස ව්‍යාප්තිය හමුවේ රටපුරා පොලිස් ඇඳිරි නීතිය පනවා තිබියදී සොයිසාපුර ප්‍රදේශයේ ආපනශාලාවකට ප්‍රහාරයක් එල්ල වූයේ මේ පාතාල ගැටුමේ ප්‍රතිඵලයක් ලෙසිනි.

මෙරට මොරටුව කේන්ද්‍ර කරගත් පාතාලයේ මත්කුඩු ජාවාරම මෙහෙයවනු ලබන කුඩු අංජු හා රොහාන් නොහොත් ‘රොහා’ ගෙ කණ්ඩායම් දෙක අතර පාතාල ගැටුම හා මෙම ආපනශාලාවට පහරදීම අතර සම්බන්ධයක්ද තිබෙන බව පොලිස් පරීක්ෂණවලදී අනාවරණය වී ඇත.

මෙම ආපනශාලාවට ඉකුත් මස 19 වැනිදා මුලින්ම කඩු, පොලු රැගෙන පැමිණි පාතාල සාමාජිකයන්ගේ පිරිසක් ඊට ප්‍රහාර එල්ල කළේ රුපියල් ලක්ෂ පහළොවක (15) කප්පම ඉල්ලූ පසුවය. එම කප්පම් මුදල නොලැබුණු පසු ඩුබායි හි සිටින අංජුගේ ප්‍රධාන ගෝලයා වන ධර්මසිරි නමැති පාතාල නායකයා එම කප්පම් මුදල රුපියල් කෝටි පහක් (05) දක්වා වැඩිකර තිබිණි. ධර්මසිරි නමැති පාතාල නායකයාට උපදෙස් දෙන්නේ ඉතාලියේ සිටින කුඩු අංජු විසිනි. මොවුන් මත්කුඩු ජාවාරම මෙහෙයවීමට අදාළ සාකච්ඡා හා අදහස් හුවමාරු කරගන්නේ වීඩියෝ සංවාද කරමින් බවද හෙළි වී ඇත.

ගල්කිස්ස, මොරටුව, පිළියන්දල, දෙහිවල, රත්මලාන ආදී ප්‍රදේශවල මත්කුඩු ඒකාධිකාරයට අදාළ කුඩ අංජු හා රොහා අතර ද්විත්ව සටනක් ආරම්භ වී ඇත.

ආපනශාලාවට කඩා වැදී මුලින් එල්ල කළ පහරදීමට කඩු, පොලු රැගත් කොණ්ඩ ජනිත් ඇතුළු පිරිස එන්නේ ඉල්ලූ කප්පම් මුදල නොලැබීමේ වාඩුව ගන්නටය.

රොහාගේ පාර්ශ්වයේ සබඳතා ඇතැයි පැවැසෙන මොරටුව, සොයිසාපුර ආපනශාලාවට මැයි 29 වැනිදාට එළිවන මැදියම් රෑ 12:20 ට වෙඩි තැබූ පිරිස ටී-56 හිස් පතරොම් කොපු හා මිලිමීටර් 9 බ්‍රවුනින් වර්ගයේ ස්වයංක්‍රිය පිස්තෝලයක් රැගෙන විත් තිබිණි.

කුඩු අංජු යනු කලක් පාතාලයේ නමක් දිනා සිටි ලන්සියාගේ මල්ලීය. රොහාන් යනු තවත් පාතාල නායකයෙකි. මොවුන් දෙදෙනා අතර ගැටුමක්ද නිර්මාණය වූයේ කාලයාගේ ඇවෑමෙනි.

ඉකුත් 29 වැනිදා අලුයම් කාලයේදී සොයිසාපුර ආපනශාලාව වෙත පාතාල නායකයන් යළි පැමිණියේ ‘වැගන් ආර්’ මෝටර් රථයකිනි. එම රථයට අතරමඟදී තිදෙනෙක් ගොඩවී ඇත. ඒ අනුව සිවුදෙනකුගෙන් සමන්විත පාතාල සාමාජිකයන් අත ටී-56 ගිනි අවියක් හා මිලිමීටර් 9 වර්ගයේ ස්වයංක්‍රිය බ්‍රවුනින් වර්ගයේ ගිනි අවිද තිබී ඇත.

එලෙස පැමිණි පිරිස ආපනශාලාවට වෙඩි වරුසාවක් එල්ල කළේ එම ස්ථානය අසල ආරක්ෂාවට සිටි පොලිස් නිලධාරීන් තිදෙනෙක් නොසෙල්වී බලා සිටිද්දීය.

ආපනශාලාවට වෙඩි තබා නිරුපද්‍රිතව පලාගිය පාතාල කෙරුමන් අත්අඩංගුවට ගැනීමත් සමඟ පාතාලය විසින් මෙහෙයවන මෙම මත්කුඩු ජාවාරමේ අලගිය මුලගිය තැන් අනාවරණය කර ගැනීමට බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාගේ මෙහෙයවීමෙන් පොලිසිය සමත් වී තිබේ.

කුඩු අංජු නමැති පාතාල නායකයා විසින් මෙහෙයවනු ලබන මත්කුඩු ජාවාරම්, කප්පම් එකතු කිරීම් ආදියද දැන් එකිනෙක හෙළි වෙමින් තිබෙන අතර මෙම ජාවාරමට සම්බන්ධ කිහිපදෙනකු නීතියේ රැහැනට හසුකර ගැනීමට පොලිසිය මේ වන විටත් සමත්වී ඇත. එමෙන්ම තවත් කිහිපදෙනකු පසුපස පොලිසිය හඹා යමින් සිටී.

මැයි 29 වැනිදා මැදියමේ හෝටලයට එල්ල කළ ප්‍රහාරයෙන් හිස් කොපු බිම පතිත වෙද්දී හෝටල්කරු මරා දමන බවට තර්ජනය කර පලා ගියේ “අපි එක්ක හැප්පෙන්න” එපා යැයි තර්ජනය කරමිනි. “අපි පොලිසියට බය නෑ. පොලිස්පතිට කියපන්. එස්.එස්.පී.ට කියපන්. කාට කිව්වත් අපට කමක් නෑ. තෝ මරනවා” එසේ තර්ජනය කර වෙඩි තැබීමට පැමිණි පාතාල නායකයන් පලා ගියේ පොලිසියේ තිදෙනකු බලා සිටියදීය.

සිද්ධිය පිළිබඳව පොලිස් පරීක්ෂණ ආරම්භ කෙරිණි. එම ආපනශාලාව අබියස රැකවරණයට යොදා සිටි පොලිසියේ තිදෙනාගේ වැඩ තහනම් කළ පොලිසිය මේ පාතාල කෙරුමන් පිළිබඳ විමර්ශන ආරම්භ කළේ බස්නාහිර භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාගේ උපදෙස් පරිදිය.

සිද්ධියට සම්බන්ධ කොණ්ඩ ජනිත් මුලින්ම අත්අඩංගුවට ගත් පොලිසිය පසුව තවත් පාතාල සාමාජිකයන් දෙදෙනකුද අත්අඩංගුවට ගත්තේය. කොණ්ඩ ජනිත්, මොරටුව, අඟුලාන, සමුද්‍රා සන්න පාර ප්‍රදේශයේ පදිංචිකරුවකි. ආපනශාලාවට වෙඩි තැබීමට ආ පාතාල සගයන්ට සන්තෝසමක් ලෙස කුඩු කැටයක් බැගින් හා රුපියල් 20,000 ක මුදලක් බැගින් ලබා දී ඇත්තේ ඉතාලියේ සිටින බව කියන කුඩු අංජුගේ නියෝගය පරිදි ධර්මසිරි විසිනි. සිද්ධියට අදාළව අත්අඩංගුවට ගත් කොණ්ඩ ජනිත් ඇතුළු තිදෙනා අධිකරණයට ඉදිරිපත් කළ පසු රක්ෂිත බන්ධනාගාර ගත කෙරිණි.

මෙම වෙඩි තැබීමට කොණ්ඩ ජනිත් ඇතුළු පාතාලයන් පැමිණි ‘වැගන්ආර්’ මෝටර් රථය සොයා පොලිස් පරීක්ෂණ ඇරැඹිණි. එය කුලී පදනම මත ලබාගත් මෝටර් රථයක් බවට තොරතුරු අනාවරණය විය. මෙම කුලී රථ සපයන ආයතනය පිහිටා තිබුණේ පිළියන්දල ප්‍රදේශයේය.

පොලිස් පරීක්ෂණ සිදුවන අතරතුර එක්තරා පුද්ගලයෙක් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා හමුවට පැමිණියේය. “සර් ඔය කියන දවසේ මගෙන් වැගන්ආර් කාර් එකක් කුලියට අරන් ගියේ මෙන්න මෙයයි. මේ තියෙන්නේ එයාගේ හැඳුනුම්පතේ කොපි එක. මේ තියෙන්නේ එයාගේ ටෙලිෆෝන් නොම්මර. මම මේකට කිසිම සම්බන්ධයක් නෑ. අනේ සර්….. මේ ආයතනය අයිති මහත්තයා ඇඹිලිපිටි ගියා. කොරෝනා වයිසරය හින්දා මට මෙතන බලාගන්න දීලයි ගියේ. මම කීයක් හරි හොයා ගන්න කියලා හිතලයි කුලියට වාහන ඉල්ලන අයට වාහන ලබාදුන්නේ” ඔහු කියා සිටියේ එලෙසිනි.

නමුත් මොහුගේ කතාබහ ගොතපු කතා බවට තේරුම් ගන්නට තෙන්නකෝන් මහතාට වැඩි වේලාවක් ගතවුයේ නැත. තෙන්නකෝන් මහතාගේ නියමයෙන් වැඩිදුර පරීක්ෂණ ඇරැඹිණි. ඇත්ත එළියට ආවේ ඊට පසුවය.

මෙම කුලී රථ සපයන ආයතනය භාර පුද්ගලයා පොලිසියට මුලින් ලබාදී තිබුණේ ව්‍යාජ ලිපි ලේඛනය.

“අනේ සර් මගේ අතේ වරදක් නෑ.” ඔහු බැරිම තැන සත්‍ය හෙළි කළේය. ඒ අනුව මෙම වැගන්ආර් රථය කුලී පදනම මත ගත් පුද්ගලයාගේ තොරතුරු විමර්ශන කණ්ඩායම් අතට පත්විය.

මොහු කලක් රියැදුරකු ලෙස කටයුතු කළ අයෙකි. රජයේ රූපවාහිනි ආයතනයක රියැදුරු ලෙස මොහු වසර තුනක කාලයක් කොන්ත්‍රාත් සේවකයකු ලෙසද කටයුතු කර ඇත.

පසුව රැකියාවක් නොමැතිව ළතැවුණු මොහු කලක් පෞද්ගලික ආරක්ෂක අංශවලද රැකියා කර ඇත. ඩුබායිහි සිටින බව කියන පාතාල නායක ධර්මසිරිගේ බැල්ම මොහුට වැටෙන්නේ ඔය අතරය.

“උඹට රස්සාවක් නෑ නේද? උඹට මම රස්සාවක් දෙන්නම්. උඹට තියෙන්නෙ රෙන්ට්-අ-කාර් එකකින් කුලියට කාර් එකක් අරගෙන මම කියන තැනට යන එක” ඒ අනුව මෙකී පුද්ගලයාට ධර්මසිරිගේ මත්කුඩු ජාවාරමට අදාළ රැකියාවක් ලැබෙන්නේ එලෙසිනි.

ඒ අනුව පාතාල නායක ධර්මසිරි දුරකථනයෙන් ලබාදෙන උපදෙස්වලට අනුව මෙකී රියැදුරාට තිබෙන්නේ මුදල් එකතු කිරීමේ කටයුත්තකි. money Collector ලෙස කටයුතු කරද්දී සියලු උපදෙස් දෙන්නේ පිටරට සිටින ධර්මසිරිය.

“උඹ පිළියන්දලට පලයන්. අහවල් සුපර් මාකට් එක ඇතුළට පලයන්. හැබැයි කාර් එකේ ‍දොර ලොක් කරන්න එපා. “ටික වේලාවකින් උඹ දැන් ආපහු කාර් එක ළඟට පලයන්.” එසේ ධර්මසිරි ලබාදෙන උපදෙස්වලට අනුව යළි වාහනයට ගොඩවන විට මුදල් මල්ලක් මෝටර් රථයේ තබා තිබෙන අතර මෙකී පුද්ගලයාට කළයුතුව ඇත්තේ ඒ මුදල් මල්ල ගෙන ගොස් ධර්මසිරි කියන පුද්ගලයාට භාරදීම පමණි. මෙවැනි මල්ලක රුපියල් ලක්ෂ 30 ක 40 ක මුදල් ප්‍රමාණයක් තිබී ඇත. අත්අඩංගුවට ගත් මේ සැකකරු පවසන පරිදි රුපියල් ලක්ෂ 400 ක පමණ මුදල් මලු විස්සක් පමණ ධර්මසිරිගේ උපදෙස් මත එකතු කර තමා ගෙනගොස් භාරදී ඇතැයිද පොලිස් පරීක්ෂණවලදී හෙළි වී ඇත.

මේ අතරතුර ධර්මසිරි ඉකුත් දිනක කතා කර තවත් වැඩක් පැවරුවේ ඔය අතරය.

ඒ අනුව පිළියන්දල ප්‍රදේශයේ වාහන කුලියට දෙන ස්ථානයක පුද්ගලයකු හමුවී වැගන්ආර් රථයක් ගෙන පිළියන්දල ප්‍රදේශයට යෑමට සිදුවී තිබිණි.

ඒ අනුව එම රථයට අතරමඟදී කිහිප දෙනෙක් ගොඩ වී ඇත. පාතාල නායකයන්ගෙන් ලද උපදෙස්වලට අනුව රියැදුරු වැගන්ආර් රථය නවතාගෙන සිටියදී එම පිරිස ඊට ගොඩ වී ඇතැයි විමර්ශනවලදී අනාවරණය වී තිබේ.

පසුව ඔහුගෙන් පොලිසිය කළ ප්‍රශ්න කිරීම්වලදී එලෙස වාහනයට ගොඩ වූ පිරිස තිදෙනකු බව පාපෝච්චාරණය කර තිබිණි. නමුත් ඊට පෙරාතුව අත්අඩංගුවට ගත් කොණ්ඩ ජනිත්ගේ ප්‍රකාශ අතර පරස්පරතා තිබෙන බවද හෙළි වී තිබේ. මේ පිළිබඳ පොලිසිය සැකකාර රියැදුරුගෙන් ප්‍රශ්න කිරීම්වලදී ඔහු පිළිගෙන ඇත්තේ වෙනත් අයකු පැමිණ මේ පිරිස තමන් වෙත භාර දුන් බවයි. පැවැති අඳුරු තත්ත්වය නිසා ඔහු කවුදැයි හඳුනා නොගත් බවද කියා ඇත. අත්අඩංගුවට ගත් වැගන්ආර් රියැදුරා හතළිස් හැවිරිදිය. කඩවසම්ය. ප්‍රධාන පෙම්වතියක් සිටියද රුවැති කාන්තා ඇසුරටද ඔහු ඇද වැටෙන්නට ගත්තේ ඕනෑම මොහොතක රෙන්ට්-අ-කාර් එකක් ගන්නට ඩුබායි හි සිටින ධර්මසිරි අවසර දී තිබූ නිසාය.

මෙරට මත්කුඩු ජාවාරම මෙහෙයවන අය සිටින්නේ අතළොස්සකි. ඔවුන් මෙරටට කුඩු ටික ගෙනා පසු රට පුරා සිටින මත්කුඩු ව්‍යාපාර ජාලවලට ඒවා ලබා දෙන්නේ විකුණා මුදල් ගෙවීමේ පදනම යටතේය.

ඒ නිසා මේ මත්කුඩු ව්‍යාපාරයට ප්‍රාග්ධනයක් අවශ්‍ය නැත. තිබිය යුත්තේ අවංකකමය. දැළි පිහියෙන් කිරි කන්නේ යම් සේද පොට වරද්දාගත්තොත් ගහලා යන්නේ බෙල්ලය. නමුත් ලැබෙන අසීමිත මුදල් කන්දරාව නිසා බෙල්ල ගියත් පාතාලය හා එක්වී බොහෝ පිරිසක් හෙරොයින් මත්කුඩු ජාවාරමේ නිරත වන්නේ වතුර උණුවන තුරු සිටින කකුළුවන් පරිද්දෙනි. රාජ්‍ය බුද්ධි අංශ තොරතුරු හා මොහුගේ දුරකථන දත්ත හරහා පොලිසිය මේ සැකකරු අත්අඩංගුවට ගත් ආකාරයද හරි අපූරුය.

මෙකී පාතාල සගයාටද පෙම්වතියක් සිටි බව පොලිසිය සැක හැර දැනගත්තේ දුරකථන දත්තවලිනි. ඒ අනුව පොලිසිය පෙම්වතිය සොයා ගත්තේ සැකකරු කොටුකර ගන්නට එය ප්‍රමාණවත් බව දැනගෙනය.

ඒ අනුව පෙම්වතිය ලවා සැකකරුට ඇමැතුමක් ලබා ගැනිණි.

“ඔයාව මුණ ගැහෙන්න ඕනේ. අද දහවල් හෝටලයට එන්න” පෙම්වතිය වෙනසක් නොපෙන්වාම සැකකරුට කීවේ පොලිස් නිලධාරීන් බලා සිටියදීය.

ජැන්ඩි පහට ඇඳ පැලඳගත් සැකකරු හෝටලයට ආවේ ෆාමසියකටද ගොඩවී පුරුෂ ශක්තිය වැඩි වන පෙත්තක්ද ගිල දැමූ පසුවය.

සිවිල් ඇඳුමින් මඟ බලා සිටි පොලිස් නිලධාරීන් සැකකරු අත්අඩංගුවට ගත් පසු පුරුෂ ශක්තිය පමණක් නොව සිතේ තිබූ සියලු බලාපොරොත්තු බිම අතහරින ලද කැඩපතක් සේ සුනු විසුනු වී ගියේ සියල්ල අවසන් වන හෝරාව පැමිණ තිබූ නිසාය. දැන් මේ පාතාල සැකකරුද සියල්ල වමාරන්නේ පාතාලයේ අලගිය මුලගිය තැන් සියල්ල හෙළි කරමිනි.

මේ අතර මොරටුව, සොයිසාපුර ආපනශාලාවට වෙඩි තැබීමට පැමිණි මහමොළකරුවකු ලෙස සැලකෙන පාතාල කල්ලි නායකයාද ඊයේ (07 දා) අලුයම පොලිස් වෙඩි කා මළවුන් අතරට ගොසිනි.

ඊයේ (07 දා) පොලිස් වෙඩි පහරින් මියගියේ ‘ගොනා කෝවිලේ රාජා’ නමැත්තාය. ඔහු පනස් හැවිරිදිය. දිවුලපිටිය, බල්ලපාන ප්‍රදේශයේදී මෙලෙස වෙඩි කා මියගිය පාතල නායකයාගේ පදිංචිය රත්මලාන, ජයසුමනාරාම මාවත, තිස්හතේ වත්තය. රුපියල් කෝටි පහක කප්පම් මුදල ඉල්ලූ පාතාල කල්ලියට නායකත්වය දුන් අයකු ලෙස මොහු ගැන පොලිසිය හෙළි කරගෙන ඇත.

මියගිය පුද්ගලයා ඇතුළු පිරිසක් දිවුලපිටිය, බල්ලපාන ප්‍රදේශයේ සැඟව සිටින බවට ලද තොරතුරකට අනුව පෑලියගොඩ අපරාධ කොට්ඨාසයේ හා අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් බල්ලපාන, මරදගහමුල ප්‍රදේශයේ පාළු නිවෙසක් වටලා ඇත.

එහිදී සැකකරු පලා යෑමට උත්සාහ කරද්දී පොලිසිය වෙඩි තබා තිබේ. බ්‍රවුනින් වර්ගයේ පිස්තෝලයකින් සැකකරුද පොලිසියට වෙඩි තබා ඇති අතර හොරගස්මුල්ල රෝහලට ඇතුළත් කළ සැකකරු පසුව මිය ගියේය.

මාලිගාවත්ත ප්‍රදේශයේද පාතල ගැටුම්ය. ඒ ගැටුම් කංජිපානි ඉම්රාන්ගේ ගෝලයන් හා ෆාජිගේ පාතාල කල්ලිය අතරය. කංජිපානි බූස්ස කඳවුරේ සිට පාතාලය මෙහෙයවමින් සිටින අයෙකි. ඉකුත්දා සිදුවූ ඝාතනය කංජිපානිගේ පාර්ශ්වය විසින් සිදුකළ එකක් බවද හෙළිවී ඇත.

ෆාජිගේ ගෝලයා වන රාවුෆ් මහල් නිවාස සංකීර්ණයේ පළමු මහලේ සිට දහවන මහලට ගෙන්වාගෙන ඇත්තේ උපක්‍රමශීලීවය. මෙම වෙඩි තැබීම කර ඇත්තේ උක්ඛාන් නමැත්තෙක් විසිනැයිද හෙළිවී ඇත. කංජිපානි සමඟ තිබෙන අමනාපකම් අවසන් කිරීමට යැයි කියමින් මොහු දහවැනි මහලට ගෙන්වාගෙන ඇත. කුඩු ගසමින් සිටියදී ෆාජිගේ ගෝලයා වූ බමුණු ආරච්චිගේ රුක්ෂාන් නොහොත් උක්ඛාන් රාවුෆ්ට වෙඩි තබා ඇතැයිද හෙළිවී තිබේ.

එමෙන්ම 2018 වසරේ කංජිපානි විසින් රාවුෆ් ඝාතනය කිරීමට උත්සාහ ගෙන තිබිණි. මාලිගාවත්තේදී එම ඝාතන ප්‍රයත්නයෙන් මේ ෆාජිගේ ගෝලයා වූ රාවුෆ් බේරුණේ අනූනවයෙනි. කන ළඟින් ගිය වෙඩි උණ්ඩය කෙස් ගසින් වැරැදී නොයන්නට මීට වසර දෙකකට පෙර කංජිපානිගේ ගොදුරක් වන්නට මේ පාතාල කෙරුමාට සිදුවන්නට ඉඩ තිබිණි. ඒ ඝාතනයට පැමිණියේ රිස්වාන්ය. රිස්වාන් යනු රුක්ෂාන් නොහොත් උක්ඛාන්ගේ සොහොයුරාය. උක්ඛාන් තැබූ වෙඩි පහර රාවුෆ්ගේ හිස පිටුපස පසාරු කරගෙන ගොස් නළලින් මතුවී ඉදිරියේ සිටි පුද්ගලයාගේ පපුවද පසාරු කරගෙන ගොස් ඇත.

බරපතළ තුවාල ලැබූ ෆාජිගේ ගෝලයා රාවුෆ් තවමත් සිහි නොලබා කොළඹ ජාතික රෝහලේ හදිසි අනතුරු අංශයේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් පසුවේ. පපුවට වෙඩි වැදුණු නුක්ෂාන් කොළඹ අපරාධ කොට්ඨාසය මඟින් අත්අඩංගුවට ගන්නා ලදී.

එම පුද්ගලයාද මේ වන විට සිටින්නේ රෝහලේ දැඩි සත්කාරයේය. මෙම සිද්ධියට අදාළ පාතාලයන් සියලු දෙනා මේ වන විට පොලිසිය අත්අඩංගුවට ගෙන ඇත.

මේ අතර කුඩු ග්‍රෑම් 9 ක් සමඟ පසුගියදා පුද්ගලයකු අත්අඩංගුවට ගෙන ඇත. උසාවි නියෝගයක් ලබාගෙන ඔහුගේ බැංකු ගිණුම පරීක්‍ෂා කිරීමේදී එහි තිබූ රුපියල් කෝටි 40 ක මුදලක් ඊට පැය කිහිපයකට පෙර කිසිවකු විසින් එම ගිණුමෙන් ලබාගෙන තිබුණු බවද පොලිස් විමර්ශනවලදී තහවුරු වී ඇත.

වැඩබලන පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න මහතාගේ උපදෙස් පරිදි බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාගේ මෙහෙයවීමෙන් නියෝජ්‍ය පොලිස්පති වරුණ ජයසුන්දර මහතාගේ සහභාගිත්වයෙන් මෙම පාතල මර්දනය කිරීමේ කටයුතු ක්‍රියාත්මක වන අතර හෙට අනිද්දා වන විට පාතාල නායකයන් රැසක් අත්අඩංගුවට ගැනීමට හැකි වෙතැයි විමර්ශන සිදු කරන පොලිස් නිලධාරීහු විශ්වාසය පළ කර සිටිති. මේ අතර වැගන් ආර් රථයක් ගම්පහ ප්‍රදේශයේ ගමන් ගනිමින් තිබිණි. එය නවත්වන ලෙසට පොලිසිය නියෝග කළ පසු වෑන් රථයේ වේගය අඩාල කෙරිණි. රියැදුරු බලපත්‍රය දික් කිරීමට සැරසී සිටියදීම යළි එම රථය වේගයෙන් ඉදිරියට ඇදී ගියේ පොලිස් නිලධාරීහු අන්ද මන්ද කරමිනි. යතුරුපැදියේ නැඟුණු පොලිස් නිලධාරීන් මෝටර් රථය පසුපස ලුහුබැන්දේ සැණිනි.

මෝටර් රථයේ තිබූ ටී. 56 ගිනි අවියක්ද, මැගසින් හතරක් බිමට විසිකර දැමූ වෑන් රථය පවනට බඳු වේගයෙන් පලා ගියේ ඒ අවසරයෙනි. යතුරුපැදියේ ආ පොලිස් නිලධාරීහු බිමට වැටී තිබූ ගිනි අවියත්, මැගසින් හතරත් අත්අඩංගුවට ගත් නමුත් රියැදුරු වාහනයේ නැඟී පලා ගියේ උපක්‍රමශීලී ලෙසිනි.

එම රථය WP CBD-1284 දරන වැගන් ආර් රථයය. පොලිසිය එම වාහන අංකය පරීක්‍ෂා කළ පසු එය නාරාහේන්පිට ප්‍රදේශයේ අයකුගේ නමට ලබාගත් රථයකි.

ඒ අනුව මෝටර් රථය හිමිකරු හඳුනා ගැනිණි. ඔහු කියා සිටියේ තමාගේ නමට වාහන ගත්තද එය ලබා ගත්තේ මස්සිනාට බවය. ඒ අනුව රාගම ප්‍රදේශයේ සඟවා තිබූ මෝටර් රථයද පොලිසිය සොයා ගනු ලැබීය.

ගම්පහ ප්‍රදේශයේ කුඩු ජාවාරම් ඇතුළු අපරාධවලට නමගිය පාතාල නායකයා ලෙස සැලකෙන ‘මාකිලන්ගමුවේ සංජීව‘ නමැත්තා විසින් නාරාහේන්පිට ප්‍රදේශයේ මෙකී පුද්ගලයාට මෙම ටී. 56 ගිනි අවිය හා මැගසින් හතර මිනුවන්ගොඩ ගෙනයෑමේ කොන්ත්‍රාත්තුව භාරදී ඇත. මාකිලන්ගමුවේ සංජීව දැන් සිටින්නේ බන්ධනාගාරයේය. නාරාහේන්පිට ස්ථානයක ගසක් මුල ගෝණියක ඔතා වළලා තිබූ ආයුධ මිනුවන්ගොඩට ගෙන යෑම භාරදී තිබිණි. ඒ සඳහා රුපියල් 20,000 ක මුදලක්ද ඔහුට ලැබී තිබිණි.

මේ අතර මීට වසර දෙකකට පෙර ඝාතනය වූ කළු අජිත්ගේ දානය තිබී ඇත්තේ පෙරේදා (06 දා)ය. මෙම දානයට කළු අජිත්ගේ මිතුරන් වන නිල්පනාගොඩ ආමි නිලන්ත සහ පද්මසිරි යන පාතාල කෙරුමන් දෙදෙනා සහභාගිවීමට නියමිතව තිබී ඇත.

දැනට සිදුකර තිබෙන විමර්ශනවලට අනුව කළු අජිත්ගේ දානමය පින්කමට එන විරුද්ධ පාතාල නායකයන් ඝාතනයට මෙම ටී.56 සහ මැගසින් මිනුවන්ගොඩට යැවීමට මාකිලන්ගමුවේ සංජීවගේ අරමුණ වී තිබෙන්නට ඇතැයි සැක කෙරේ.

මේ අතර නාරාහේන්පිට සැකකරු එක් සතියකට රුපියල් ලක්‍ෂ අසූවක මුදලක් මාකිලන්ගමුවේ සංජීවගේ ගිණුමට බැර කරන බවටද තොරතුරු ලැබී ඇත. එදා පොලිස් මාර්ග බාධකයේදී මෙම ටී.56 අවිය සහ මැගසින් හතර පොලිසියට හසු නොවන්නට තවත් පාතාල ඝාතනයක් සිදු වන්නට ඉඩ තිබූ බවද පොලිසිය සඳහන් කරයි.

ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා ඉකුත්දා පොලිසිය හා බන්ධනාගාර නිලධාරීන් කැඳවා පාතාලය හා මත්කුඩු ජාවාරමට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීමේ දැඩි අවශ්‍යතාව පෙන්වාදී නිලධාරීන්ට උපදෙස් දුන් හැටි මතකය බන්ධනාගාරයේ සිට පාතාලය මෙහෙයවන ආකාරය හා මත්කුඩු ජාවාරම සිදුවන ආකාරයද ජනාධිපතිවරයා එහිදී කීවේය. සියලු මෙහෙයුම්වලට උත්තේජනයක් ලැබුණේ ජනපතිගේ එම සෘජු දැනුම් දීමත් සමගය. වැඩබලන පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න මහතාගේ උපදෙස් මත බස්නාහිර පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාගේ මෙහෙයවීමෙන් නියෝජ්‍ය පොලිස්පති වරුණ ජයසුන්දර මහතාගේ දායකත්වයෙන් පොලිස් නිලධාරීන් දැන් පාතාලයත්, මත්කුඩු ජාවාරමත් මුලිනුපුටා දමන්නට පටන්ගෙන ඇත.

මේ මෙහෙයුම් පිළිබඳ විශේෂ ප්‍රකාශයක් කළ බස්නාහිර පළාත භාර ජේ‍යෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා මෙසේ සඳහන් කළේය. “පාතාල නායකයන්ට අත්වන ඉරණම බලාගන්න ඉදිරියේදී පුළුවන්. දැන් තමයි අපට වැඩ කරන්න සුදුසුම කාලය ඇවිත් තියෙන්නේ” යැයි හෙතෙම කියා සිටියේය.

– ශිරාන් රණසිංහ

***************************************

කංජිපානි ඉම්රාන්ගේ සිරකුටියේ තිබී දුරකථන ඇතුළු උපකරණ කීපයක් සොයා ගනී

(07.06.2020 – 12:07 +0530 – sinhala.adaderana.lk)

බූස්ස බන්ධනාගාර කඳවුරේ සිදුකළ විශේෂ සෝදිසියක දී කංජිපානි ඉම්රාන් නමැති රැදවියාගේ සිරකුටියේ තිබී දුරකථන ඇතුළු උපකරණ කිහිපයක් සොයා ගෙන තිබේ.

පොලිස් විශේෂ කාර්යය බලකාය විසින් ඊයේ(06) පස්වරුවේ මෙම සෝදිසි කිරීම සිදුකර ඇති බව වාර්තා වෙයි.

එහිදී කංජිපානි ඉම්රාන්ගේ සිරකුටියේ සිවිලිමේ සූක්ෂම ලෙස සඟවා තිබූ දුරකථන ඇතුළු උපකරණ කිහිපයක් සොයාගත් බව පොලිස් විශේෂ කාර්යය බලකාය සඳහන් කළේය.

ස්මාර්ට් වර්ගයේ ජංගම දුරකථනයක්, සාමාන්‍ය දුරකථනයක්, සිම් කාඩ්පත් දෙකක්, දුරකථන චාජරයක් සහ හෑන්ඩ්ෆී උපකරණයක් එම ස්ථානයේ තිබී සොයා ගෙන තිබේ ෴

+++++++++++++++++++++++++++++++++++

මියගිය ‘ආමි චමින්ද’ අපරාධ රැසකට සම්බන්ධ වරෙන්තුකරුවෙක්

(08.06.2020 – mawbima.lk)

මොනරාගල තෙනගල්ලන්ද ඉත්තෑකටුව ප්‍රදේශයේදී පොලිස් වෙඩි පහරින් මියගිය කෝනාර මුදියන්සේලාගේ චමින්ද බණ්ඩාර නොහොත් ආමි චමින්ද යන අය ඉකුත් මැයි මස 31 දින මොනරාගල තෙනගල්ලන්ද ප්‍රදේශයේදී පුද්ගලයකුට වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියට අමතරව තවත් ප්‍රදේශයේ සිදුවූ අපරාධ රැසක් සම්න්ධයෙන් පොලිසියට අවශ්‍යව සිටි වරෙන්තුකරුවකු බව මොනරාගල පොලිසිය පවසයි.

මෙම පුද්ගලයා තෙනගල්ලන්ද මාරාව ඉත්තෑකටුව ප්‍රදේශයේදී හේනක රාළලාගේ ඉෂාරා සන්දීපනී යන අයට තියුණු ආයුධයකින් ඇන බරපතළ තුවාල සිදුකිරීම, ඉකුත් අප්‍රේල් මස 26 දින තෙනගල්ලන්ද ඉත්තෑකටුව ලිපිනයේ පදිංචි රාජපක්ෂ දේවයලාගේ ජයවර්ධන රාජපක්ෂ යන අයට තුවක්කුවකින් හිසට පහරදී බරපතළ තුවාල සිදුකිරීම, ඉකුත් පෙබරවාරි මස 12 දින තෙනගල්ලන්ද මාරාව ලිපිනයේ පදිංචි වික්‍රම දුරයලාගේ අනිල් යන අයට මිටියකින් හිසට පහරදී බරපතළ තුවාල සිදුකිරීම ඇතුළුව තවත් අපරාධ රැසක් සම්බන්ධයෙන් චෝදනා ලැබ අධිකරණයේ විභාගවන නඩු රැසක චූදිතයකු බවද පොලිසිය පවසයි.

මීට අමතරව සැකකරු විසින් ඉකුත් මැයි මස 31 දා වෙඩි තබා ඝාතනය කළ ඩී.එම්. සෝබිත දිසානායක යන අයගේ මවට හා ඥාතීන්ට දුරකථනයෙන් කතා කොට මරන තර්ජන එල්ල කර ඇති බවත් එම මවගෙන් රුපියල් ලක්ෂ 10 ක කප්පම් මුදල් ඉල්ලා ඇති බවද පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත.

මෙම කේ.එම්. චමින්ද බණ්ඩාර නොහොත් ආමි චමින්ද යන අය ඩී.එම්. සෝබිත දිසානායක යන අයට වෙඩි තබා ඝාතනය කිරීමෙන් පසු ප්‍රදේශයෙන් පලාගොස් සිටි අතර සැකකරු තෙනගල්ලන්ද ඉත්තෑකටුව ප්‍රදේශයේ කැලෑවක සිටින බවට පොලිසියට ලද තොරතුරකට අනුව එම ප්‍රදේශය වටලා සිටියදී පොලිසිය හා සැකකරු අතර ඇති වූ වෙඩි හුවමාරුවකින් පසු වෙඩි වැදී බරපතළ තුවාල ලබා රෝහල්ගත කිරීමෙන් පසුව මියගොස් තිබිණි.

මෙහිදී වෙඩි වැදී මියගිය පුද්ගලයා සන්තකයේ තිබී විදෙස් රටක නිෂ්පාදිත ජීව අත්බෝම්බයක් ,බෝර 12 වර්ගයේ ගිනි අවියක් හා එම වර්ගයේ පතරොමක්ද පොලිසිය විසින් සොයාගෙන ඇත.

පොලිස් වෙඩි පහරින් මිය ගිය මෙම තැනැත්තා ශ්‍රී ලංකා යුද හමුදාවේ 8 වැනි ගජබා රෙජිමේන්තුවේ සේවය කරමින් සිටියදී 2009 වසරේදී යුද හමුදා සේවයෙන් පලාවිත් සැඟව සිටි අයකු බවත් පසුව 2015.04.16 දින යුද හමුදාවෙන් නීත්‍යනුකූලව ඉවත් වී තිබෙන බවත් පොලිසිය කියයි.

ඔහු සන්තකයේ තිබී සොයාගත් එම අත්බෝම්බය පොලිස් විශේෂ කාර්ය බළකායේ නිලධාරීන් කැඳවා අක්‍රිය කිරීමට පොලිසිය කටයුතු කර ඇත.

සිද්ධිය පිළිබඳව මහෙස්ත්‍රාත් පරීක්ෂණයද ඉකුත් 5 සිදු කෙරුණු අතර සැකකරුගේ ඥාතීන් ඉදිරිපත් වීමෙන් පසුව පශ්චාත් මරණ පරීක්ෂණය සිදුකරන බවත් පොලිසිය පවසයි.

මියගොස් සිටින සැකකරුගේ දේහය මේ වන විට මොනරාගල මහ රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇත.

මොනරාගල කොට්ඨාසය භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි සාමන්ත විජේසේකර, සහකාර පොලිස් අධිකාරි එස්.පී. කේ. ගාල්ලගේ යන මහත්වරුන්ගේ උපදෙස් හා නියෝග මත මොනරාගල මූලස්ථාන පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ඉන්දික ගමගේ මහතාගේ ප්‍රධානත්වයෙන් මේ පිළිබඳව වැඩිදුර විමර්ශන කටයුතු සිදු කෙරේ.

(මොනරාගල – සංජීව බණ්ඩාර, බිබිල – නඳුන් ගුණතිලක, බුත්තල – නයනකුමාර, ඔක්කම්පිටිය – ඉඳුනිල් අලුත්ගෙදර, වැල්ලවාය – ජී.අයි. රොෂාන්)

+++++++++++++++++++++++++++++++++++

කංජිපානිගේ සිරකුටියේ දුරකථන 2 ක්

(08.06.2020 – mawbima.lk)

මොහොමඩ් නජීම් මොහොමඩ් හෙවත් කංජිපානි ඉම්රාන් (34) නමැති අය රඳවා සිටින බූස්ස බන්ධනාගාර කඳවුරේ සිරකුටියේ තිබී ස්මාර්ට් ජංගම දුරකථනයක් ඇතුළු දුරකථන 02 ක් හා උපකරණ කිහිපයක් පෙරේදා (06 දා) සවස සොයා ගෙන තිබේ.

ස්මාර්ට් වර්ගයේ ජංගම දුරකථනයක්, සාමාන්‍ය දුරකථනයක්, සිම් කාඩ්පත් දෙකක්, දුරකථන චාජරයක් සහ හෑන්ඩ් ෆ්‍රී උපකරණයක් මෙසේ සොයා ගෙන ඇති උපකරණ අතර වෙයි.

පොලිස් විශේෂ කාර්ය බළකාය විසින් කරන ලද මෙම සෝදිසි මෙහෙයුමේදී කංජිපානි ඉම්රාන් රඳවා සිටි සිරකුටියේ සිවිලිමේ මෙම දුරකථන හා උපාංග සූක්ෂ්ම ලෙස සඟවා තිබූ බව එම බළකායේ ප්‍රකාශකයකු සඳහන් කළේය.

මෙයට පෙරද කංජිපානි ඉම්රාන් (34) නමැති මෙම පාතාල රැඳවියාට ලබා දීමට ජංගම දුරකථන දෙකක් හා චාජර් දෙකක් රැගෙන ආ බව කියන කංජිපානි ඉම්රාන්ගේ පියා ඇතුළු ඥාතීන් හය (06) දෙනකුද බූස්ස බන්ධනාගාර නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබිණි.

කංජිපානි ඉම්රාන් කොළඹ අපරාධ කොට්ඨාසයේ රඳවා තබාගෙන වැඩිදුර පරීක්ෂණ කටයුතු සිදුකළ අතර ඔහුට අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් සමඟ සමීප සබඳතා ඇති බවට චෝදනාවක්ද එල්ල විය. ඒ සම්බන්ධයෙන් එවකට බස්නාහිර පළාත් නියෝජ්‍ය පොලිස්පතිවරයා යටතේ විශේෂ පරීක්ෂණයක්ද පැවැත්විණි. කොළඹ අපරාධ කොට්ඨාසයේ පොලිස් නිලධාරීන් තිදෙනකු යාපනය, මුලතිව් හා මන්නාරම් පොලිස් ස්ථාන වෙත මාරු කෙරුණේද මෙම පරීක්ෂණයෙන් පසුවය. එයින් පසුව කංජිපානි ඉම්රාන් (34) බූස්ස බන්ධනාගාරයට මාරු කිරීමට බන්ධනාගාර දෙපාර්තමේන්තුව කටයුතු කළේය.

රත්ගම පොලිස් විශේෂ කාර්ය බළකා කඳවුර, රත්ගම පොලිසිය හා බූස්ස බන්ධනාගාරය මේ පිළිබඳ වැඩිදුර පරීක්ෂණ පවත්වයි ෴

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

Comments 1

  • These criminals floursihed during yahapaalu government. Thankfully our President have taken a decision to flush them out and liberate our society so that law abiding people could live without fear and intimidation, and the risk of untimely death. Full credit to the president and law enforcers. BTW it made me laugh when I read about an alms giving to commemorate a dead criminal and transfer merits for the peace of his reborn form. So, these criminals believe in what is good and what is bad and they do have a faith in Buddhism? Then, I ask the question, why do they indulge in criminal activities that is a curse to themselves and to our society?

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *