හෙට (06) සිට දිවයින පුරා ඇඳිරි නීතිය රාත්‍රී 11 සිට පසුදා අලුයම 04 දක්වා

(05.06.2020 – 20:46 +0530 – hirunews.lk/sinhala)

හෙට (06) සිට දිවයින පුරා ඇඳිරි නීතිය ක්‍රියාත්මක වන්නේ රාත්‍රී 11 සිට පසුදා අලුයම 04 දක්වා පමණක් බව ජනාධිපති මාධ්‍ය අංශය පවසනවා.

කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික් හැර සෙසු දිස්ත්‍රික් අතර ගමනාගමනයට ඇති අවසරය නොවෙනස්ව පවතින බවයි ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කළේ.

රාජ්‍ය සහ පෞද්ගලික දෙඅංශයේ ආයතන සහ කාර්යාල පවත්වාගෙන යාමේදීත් එදිනෙදා ජන ජීවිතයේදීත් කොරෝනා නිවාරණ සෞඛ්‍ය නිර්දේශ පෙර පරිදි මුලුමනින්ම පිළිපදින ලෙසටයි රජය සියලු පාර්ශවයන්ගෙන් ඉල්ලා සිටින්නේ.

***************************************

පාතාලය යළි හිස එසවීමක් සිදුව නැහැ – ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්

(05.06.2020 – 16:30 +0530 – hirunews.lk/sinhala)

කිසිඳු ආකාරයකින් පාතාලය යළි හිස එසවීමක් සිදුව නොමැති බව බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් පවසනවා.

මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු කියා සිටියේ මත්ද්‍රව්‍ය ජාවාරම්වල නිරත වන කණ්ඩායම් අතර ඇතිවන ගැටුම් හේතුවෙන් පසුගිය දිනවල විවිධ ප්‍රදේශවල වෙඩි තැබීමේ සිද්ධීන් වාර්තා වූ බවයි.

කෙසේ වෙතත් පාතාල කණ්ඩායම් මෙහෙයවන ඇතැම් පුද්ගලයින් මේ වනවිටත් හඳුනාගෙන ඇති බවත්, කිසිම පසුබට වීමකින් තොරව ඔවුන් සම්බන්ධයෙන් ක්‍රියාමාර්ග ගන්නා බවද ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා වැඩිදුරටත් පවසා සිටියා.

***************************************

රාජ්‍ය තාන්ත්‍රිකයන් දිවයිනට පැමිණීමේදී පැය 72 කට පෙර ලබා ගත් PCR වාර්තා ඉදිරිපත් කිරීම අනිවාර්ය කෙරේ

(05.06.2020 – 16:38 +0530 – hirunews.lk/sinhala)

රාජ්‍ය තාන්ත්‍රික කාර්ය මණ්ඩල හා ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන් ශ්‍රී ලංකාවට ඇතුළුවීමේදී අදාළ රටවලින් පිටවීමට පැය 72 කට පෙර ලබා ගත් පී.සී.ආර්. පරීක්ෂණ වාර්තා ඉදිරිපත් කළ යුතු බව විදේශ සබඳතා අමාත්‍යාංශය පවසනවා.

නිවේදනයක් නිකුත් කරමින් එම අමාත්‍යාංශය සඳහන් කළේ එලෙස පී.සී.ආර්. වාර්තා ඉදිරිපත් ඉදිරිපත් කිරීමට අපොහොසත් වන්නේ නම්, කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපලේදී පී.සී.ආර්. පරීක්ෂාවකට භාජනය වීම අනිවාර්ය බවයි.

එමෙන්ම, රාජ්‍ය තාන්ත්‍රික ප්‍රධානීන් දින 14 ක කාලයක් නිල නිවාසවලදී ස්වයං නිරෝධායනයට ලක්විය යුතු අතර, සෙසු රාජ්‍ය තාන්ත්‍රික කාර්ය මණ්ඩල රජය විසින් නිර්දේශ කර ඇති ස්ථානවල නිරෝධායනයට ලක්විය යුතුයි.

දින 14 ක ස්වයං නිරෝධායන කාලය අවසන් කිරීමෙන් පසුව යලි පී.සී.ආර්. පරීක්ෂාවක් සිදුකර රාජ්‍ය තාන්ත්‍රික කටයුතු ආරම්භ කළ යුතු බවයි විදේශ සබඳතා අමාත්‍යාංශය දැනුම් දෙන්නේ.

ඇමරිකානු තානාපති කාර්යාලයේ රාජ්‍ය තාන්ත්‍රික නිලධාරියෙකු කටුනායක ගුවන් තොටුපලේදී පී.සී.ආර්. පරීක්ෂණ ප්‍රතික්ෂේප කරමින් රටට ඇතුළු වීමේ පුවතක් ඊයේ වාර්තා වුණා.

ඊයේ (04) අලුයම 01:40 ට පමණ කටාර් ගුවන් සේවයට අයත් යානයකින් ඔහු මෙරටට පැමිණ ඇති අතර, ගුවන් තොටුපල හා ගුවන් සේවා සමාගමේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු සඳහන් කළේ තානාපති වරප්‍රසාද යටතේ ඔහු මුදාහැරි බවයි.

මේ සම්බන්ධයෙන් අප කළ විමසීමකදී එක්සත් ජනපද තානාපති කාර්යාලයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු සඳහන් කළේ එක්සත් ජනපද රාජ්‍ය තාන්ත්‍රික කාර්ය මණ්ඩල නිලධාරීන් මෙරට නිරෝධායන සීමා කිරීම් ඇතුළුව කොරෝනා මාර්ගෝපදේශන තරයේ පිළිපදින බවයි.

ඒ අනුව අදාළ නිලධාරියාද මෙරටට පැමිණ ඇත්තේ එම මාර්ගෝපදේශයන්ට අනුකූලව බව තානාපති කාර්යාල ජ්‍යෙෂ්ඨ නිලධාරීයා ප්‍රකාශ කළා.

එමෙන්ම, එක්සත් ජනපද රාජ්‍ය තාන්ත්‍රික නිලධාරීන් මෙරටට පැමිණීමේදීත්, ශ්‍රී ලංකාවේ රාජ්‍ය තාන්ත්‍රික නිලධාරීන් එක්සත් ජනපදයට ඇතුළුවීමේදීත් වියානා සමුළුවේ දක්වා ඇති ප්‍රමිතීන් හා ක්‍රියා පටිපාටිවලට අනුකූලව කටයුතු කරන බවයි එම නිලධාරීයා වැඩිදුරටත් සඳහන් කළේ.

***************************************

ගල්කිස්ස වෙරළ පිරිසිදු කිරීම ඇරඹේ

(05.06.2020 – 19:21 +0530 – hirunews.lk/sinhala)

ගල්කිස්ස වෙරළ තීරයේ ගොඩගැසී ඇති ස්වභාවිකව විනාශ නොවන ප්ලාස්ටික් අපද්‍රව්‍ය ඉවත් කර වෙරළ තීරය පිරිසිදු කිරීමේ කටයුත්ත අද (05) ශ්‍රී ලංකා පොලිසියේ පරිසර කොට්ඨාශය සහ තවත් ආයතන කිහිපයක් එක්ව සිදුකළා.

ඒ අදට (05) යෙදෙන ජගත් පරිසර දිනයට සමගාමීවයි.

එසේම, ගල්කිස්ස වෙරළ තීරයේ රුපියල් කෝටි 89 ක වියදමින් ක්‍රියාත්මක වූ ‘කෘතිම වැලි පෝෂණ ව්‍යාපෘතිය’ අසාර්ථක බවට පසුගිය දිනවල විවිධ පාර්ශව චෝදනා එල්ල කළා.

කෙසේ වෙතත්, වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුව පසුගිය 01 වැනිදා මාධ්‍ය හමුවක් කැඳවමින් ප්‍රකාශ කළේ අදාළ ව්‍යාපෘතිය සාර්ථක බවයි.

නීතිරීති පැනවීම මගින් පරිසරය රැක ගැනීමට වඩා උචිත වන්නේ සොබාදහමට අවනතවෙමින් පරිසර සුන්දරත්වය ආරක්ෂා කර ගැනීමට අවධානය යොමු කිරීමයි. පරිසරයේ තාවකාලික උරුමකරුවන් වන අප අනාගත පරපුර වෙනුවෙන් එය ආරක්ෂා කළ යුතුමයි.

+++++++++++++++++++++

+++++++++++++++++++++++++++++++++++

ගල්කිස්ස වෙරළට ගසා ගෙන ආ කසළ මොරටුව නගර සභාවෙන් බැහැර කළ ඒවා නොවෙයි – නගරාධිපති

(06.06.2020 – 21:24 +0530 – sinhala.adaderana.lk)

ගල්කිස්ස මුහුදු වෙරළට ගසා ගෙන ආ කසළ මොරටුව නගර සභාවෙන් බැහැර කළ ඒවා නොවන බව එහි නගරාධිපති සමන්ලාල් ප්‍රනාන්දු මහතා පවසයි.

අද (06) පැවැති මාධ්‍ය හමුවකදී ඔහු සඳහන් කළේ කසළ බැහැර කිරීමට මොරටුව නගර සභාවට ස්ථානයක් ඇති බවයි.

පසුගිය දින දෙක පුරාවටම ගල්කිස්ස මුහුදු වෙරළට කසල විශාල වශයෙන් ගොඩගසා තිබුණි.

‘වන අරණ පරිසර සංවිධානය’ ඊයේ (05) චෝදනා කළේ එම අපද්‍රව්‍ය මොරටුව, රත්මලාන හා අඟුලාන යන ප්‍රදේශවලින් බැහැරකර ඇති බවට තහවුරු කළ හැකි බවයි.

කෙසේ වෙතත් ගල්කිස්ස මුහුදු වෙරළට අද (06) දිනයේදීත් කසළ ගසා තිබුණි.

අද (06) පොලිසිය, රක්නා ලංකා සමාගම ඇතුළු පිරිසක් එක්ව එහි කසල ඉවත් කිරීම් සිදුකළේය.

මේ අතර, වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් නීතීඥ ප්‍රභාත් චන්ද්‍රකීර්ති මහතා ගල්කිස්ස පොලිස් ස්ථානයට මේ සම්බන්ධයෙන් පැමිණිල්ලක් සිදුකර තිබේ.

බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාගෙන් ‘අද දෙරණ’ කළ විමසීමකදී සඳහන් කළේ, අදාල සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණයක් සිදුකරන ලෙසට පරිසර කටයුතු භාර නියෝජ්‍ය පොලිස්පති මුදිත පුස්සැල්ල මහතාට උපදෙස් දී ඇති බවයි.

+++++++++++++++++++++

+++++++++++++++++++++

***************************************

කොරෝනා ආසාදිතයින් 1801 ක් – 19 ක් අදත් සුවය ලබයි

(05.06.2020 – 18:56 +0530 – hirunews.lk/sinhala)

තවත් ආසාදිතයන් 19 දෙනෙකු සුවය ලැබීමත් සමග මෙරට සුවය ලැබූ කොරෝනා ආසාදිතයින්ගේ සංඛ්‍යාව 858 දක්වා ඉහළ ගොස් තිබෙනවා.

වසංගත රෝග විද්‍යා ඒකකය සඳහන් කළේ ජාතික බෝවන රෝග විද්‍යායතනයෙන් පුද්ගලයින් 10 දෙනෙකු, හෝමාගම මූලික රෝහලේ පුද්ගලයින් 8 දෙනෙකු සහ මිනුවන්ගොඩ මූලික රෝහලේ ප්‍රතිකාර ලැබූ එක් අයෙකු මෙලෙස සුවය ලබා පිටව ගොස් ඇති බවයි.

මේ අතර, අද (05) සුවය ලැබූ නාවික හමුදා සාමාජිකයින් 17 දෙනෙකු ද, පිටව යෑමත් සමඟ කොරෝනා වෛරසය ආසාදනය වූ නාවික හමුදා සාමාජිකයින් 844 දෙනාගෙන් 443 දෙනෙකු මේ වනවිට සම්පූර්ණයෙන්ම සුවය ලබා තිබෙනවා.

එසේම, අද (05) දිනයේ මේ දක්වා නව ආසාදිතයන් 04 දෙනෙකු හඳුනා ගැනීමත් සමග මෙරට මුළු ආසාදිතයින් සංඛ්‍යාව 1801 දක්වා ඉහළ යන බවයි වසංගත රෝග විද්‍යා ඒකකය සඳහන් කළේ.

අද (05) දිනයේ හඳුනා ගත් ආසාදිතයන් තුන් (03) දෙනාගෙන් දෙදෙනෙකු (02) නාවික හමුදා සාමාජිකයන් වන අතර, දෙදෙනෙක් (02) බංග්ලාදේශයේ සිට පැමිණ රන්ටැඹේ නිරෝධායන මධ්‍යස්ථානයේ නිරෝධානයට ලක්වෙමින් සිටි දෙදෙනෙක් බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව තහවුරු කළා.

***************************************

ගරාවැටෙන උරුමය

(05.06.2020 – 15:54 +0530 – sinhala.adaderana.lk)

කුරුණෑගල ඉබ්බාගමුව, තලංගමුව ප්‍රදේශයේ පිහිටි පෞරාණික මෙන්ම ඉහළ ඓතිහාසික වටිනාකමකින් යුත් රජමහා විහාරයක් විනාශ මුඛයට පත් වෙමින් ඇති පුවතක් අපට වාර්තා වුණි.

තලංගමුව ශ්‍රී පුරාණ වලගම්බා රජමහා විහාරය වන මෙම විහාරයේ විහාරාධිපති හිමියන් පවසන්නේ විහාරස්ථානය රැක ගැනිම සඳහා බලධාරින්ගේ අවධානය යොමු කරන ලෙසයි.

වළගම්බා රජු විසින් ඉදි කොට සාසනයට පුජා කළ මෙම තලංගමුව ශ්‍රී පුරාණ වලගම්බා රජමහා විහාරය ඉහළ ඓතිහාසික වටිනාකමකින් යුත් විහාරස්ථානයකි.

ගල් පර්වතයක් මත ඉදිව ඇති මෙම පුරාණ විහාරය අතිතයේදි භික්ෂුන් වහන්සේ විශාල පිරිසකට සෙවණ සලසා දුන් ලෙන් රැසකින් සමන්විතයි.

කෙසේ වෙතත් අද වන විට විහාරස්ථානයේ බුදු පිළිම නිදන් සොරුන් විසින් විනාශ කර තිබේ.

එමෙන්ම ලෙන් විහාර තුළ ඇති පෞරාණික බිතු සිතුවම් අද වන විට වේයන් බැඳිම හේතුවෙන් විනාශ මුඛයට පත් වෙමින් ඇත.

මෙම පුරාණ විහාරයට අයත් බොහෝ නටඹුන් අද වන විට විනාශ වෙමින් පවතිද්දි විහාර පරිශ්‍රෙය් ඇති ඉපැරණි වැවද වල් වඳිමින් විනාශ වි තිබේ.

විහාරාධිපති හිමියන් පවසන්නේ වලගම්බා රජු විසින් විහාරය අවට ඉඩම් අක්කර 70 ක් පමණ නින්දගමක් ලෙස විහාරයට පවරා දි තිබුණ ද අද වන විට ඇතැමුන් ඒවා අනවසරයෙන් අත්පත් කරගෙන ඇති බවයි.

මෙලෙස ඓතිහාසික උරුමයක් ඇති විහාරස්ථානයක් විනාශ මුඛයට නොගොස් ආරක්ෂා කර ගැනීමට නම් වගකිව යුතු පාර්ශ්වවල මැදිහත් වීම අනිවාර්යය වෙයි.

***************************************

ඉන්දියාවේ සිට දෙදෙනෙක් (2) මෙරටට රැගෙන ඒමට උපකාර කළ 5 ක් අත්අඩංගුවට

(06.06.2020 – 20:08 +0530 – sinhala.adaderana.lk)

කොවිඩි 19 අවධානම පවතින අවස්ථාවක නීති විරෝධි ආකාරයෙන් බෝට්ටු මගින් ඉන්දියාවේ සරණාගත කඳවුරක සිටි පියෙකු හා දියණියක මෙරටට රැගෙන ඒම වෙනුවෙන් උපකාර කළ පුද්ගලයින් පස් දෙනෙකු ඊයේ (05) පොලිසිය අත්අඩංගුවට ගනු ලැබුවේය

1990 වර්ෂයේ මෙරට සිට ඉන්දියාවට ගිය පුද්ගලයෙකු පසුගියදා ඉන්දියාවේ සරණාගත කඳවුරක සිටි මන්නාරම පණ්ඩිවිරිච්චාන් ප්‍රෙද්ශයේ සිය මුල් පදිංචි නිවස වෙත පැමිණ තිබුණේ සිය දියණිය සමඟයි.

පොලිසිය පැවසූවේ ඉන්දියාවේ පවතින කොඩිව් 19 රෝගය පැතිරීම හමුවේ අදාළ පුද්ගලයා තලෙයිමන්නාරම හරහා බෝට්ටු මගින් නිරෝධායන නීති උල්ලංඝනය කරමින් මෙරටට ඇතුළුවි ඇති බවයි.

ඉන්දියාවේ සිට පැමිණි පියා හා දියණිය මන්නාරම මහේස්ත්‍රත් අධිකරණ නියෝග මත පූනානි නිරෝධායන මධ්‍යස්ථානය වෙත යොමුකර තිබේ ෴

***************************************

ලොරි රථයක් මතට අධිබලැති විදුලි රැහැනක් කඩා වැටෙයි – 2 ක් මරුට

(06.06.2020 – 14:16 +0530 – sinhala.adaderana.lk)

මහවෙල, මඩඋල්පත ප්‍රදේශයේදී ලොරි රථයකට අධි බලැති විදුලි රැහැනක් කඩා වැටීමෙන් විදුලි සැර වැදී පුද්ගලයින් දෙදෙනෙකු මියගොස් තිබේ.

ලොරි රථය නවතා තිබූ අවස්ථාවේදී වොල්ට් 33,000 ක අධි බලැති විදුලි රැහැනක් එය මතට කඩා වැටී ඇති බවයි පොලිස් මාධ්‍ය කොට්ඨාශය පැවසුවේය.

එම අවස්ථාවේදී ලොරි රථයේ පුද්ගලයින් තිදෙනෙකු සිට ඇති අතර ඔවුන්ගෙන් දෙදෙනෙකු විදුලි සැර වැදීමෙන් මියගොස් තිබේ.

අනෙක් පුද්ගලයා ලොරි රථයෙන් ඉවතට පැන දිවි බේරාගෙන ඇති බව පොලීසිය සඳහන් කළේය.

+++++++++++++++++++++

***************************************

පුත්තලමේ හමා ගිය සුළඟින් පාසලකට හානි

(06.06.2020 – 22:32 +0530 – sinhala.adaderana.lk)

වැසි සමඟ පුත්තලම ප්‍රදේශය හරහා හමා ගිය සුළඟකින් පුත්තලම ශාන්ත ඇන්ඩෘ ප්‍රාථමික විද්‍යාලයේ ගොඩනැඟිලි කීපයකට හානි සිදුවී ඇත.

අද (06) පෙරවරුවේ මෙම අයහපත් කාලගුණික තත්ත්වය පැවති බව පුත්තලම ආපදා කළමණාකරන ඒකකය සඳහන් කරයි.

ශාන්ත ඇන්ඩෘ ප්‍රාථමික විද්‍යාලයේ ප්‍රධාන ගොඩනැඟිල්ලේ වහලයට, පන්ති කාමර 03 කට සහ ගුරු විවේකාගාරයටද හානි සිදුවී ඇති බව විදුහල්පතිනීය පැවසුවාය.

සිදුවී ඇති හානිය සම්බන්ධයෙන් පුත්තලම ප්‍රාදේශීය ලේකම්වරයා දැණුවත් කිරීමටද විදුහල්පතිනිය කටයුතු කර ඇත.

සිදුවී ඇති අලාභය මෙතෙක් තක්සේරු කර නොමැති අතර, කිසිවෙකුට තුවාල හෝ ජීවිත හානිද සිදුවී නැත.

***************************************

දියනෑමට ගිය පියෙකු, දියණියක සහ ඥාති දැරියක දියේ ගිලී මරුට

(06.06.2020 – 13:18 +0530 – hirunews.lk/sinhala)

මඩොල්සිම – ගැරඬිඇල්ල ආසන්නයේ පිහිටි දිය වළක අද (06) පෙරවරුවේ නෑමට ගිය තුන් දෙනෙකු දියේ ගිලී ජීවිතක්ෂයට පත්වී තිබෙනවා.

මෙලෙස මිය ගොස් ඇත්තේ පියෙකු, දියණියක සහ ඔවුන්ගේ ඥාති දැරියකයි.

මිය ගිය පුද්ගලයා 38 හැවිරිදි වියේ පසුවන අතර, දියණියන් දෙදෙනා පිළිවෙලින් 12 සහ 13 යන වයස්වල පසුවන්නන් බව පොලිස් මාධ්‍ය කොට්ඨාශය සඳහන් කළා.

මෘත ශරීර, පශ්චාත් මරණ පරීක්ෂණ සඳහා පස්සර රෝහලට රැගෙන යාමට නියමිතයි.

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *