සියෝන් බෝම්බකරු ගැන රහස් එළියට – දේවස්ථානයේ දේවගැතිවරු කොමිසම හමුවේ හඬා වැටේ

(31.05.2020 – 22:06 +0530 – sinhala.adaderana.lk)

පාස්කු ඉරුදින මඩකලපුව සියෝන් දේවස්ථානයට ප්‍රහාරය එල්ල කළ මරාගෙන මැරෙන බෝම්බකරු ප්‍රහාරයට දින දෙකකට (2) පෙර එනම් මහ සිකුරාදා දිනයේද සියොන් දේවස්ථානයට ගොස් ඇති බව ජනාධිපති කොමිසමේදී ඊයේ (30) අනාවරණය වුණි.

සියෝන් දේවස්ථානය භාර දේවගැතිවරුන් ජනාධිපති කොමිසම හමුවේ සාක්ෂි ලබාදුන් අවස්ථාවේ මේ බව අනාවරණය වු අතර ඔවුන් වැඩිදුරටත් සඳහන් කළේ ප්‍රහාරය එල්ල කිරීමට පෙරද එම ප්‍රහාරකයා තමන් හමු වූ නමුත් ඔහු බෝම්බකරුවකු යැයි හඳුනාගැනීමට තමන්ට නොහැකි වු බවයි.

එසේම ඊයේ (30) සාක්ෂි දුන් අවස්ථාවේ සියොන් දේවස්ථානයේ දේවගැතිවරු කොමිසම හමුවේ හඬාවැටුණි.

පාස්කු ප්‍රහාරය පිළිබඳව සොයාබැලෙන ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාව හමුවේ ඊයේ (30) දින පළමුව සාක්ෂි ලබාදුන්නේ මඩකලපුව සියොන් දේවස්ථානයේ ගනේෂමූර්ති තිරුකුමාර් දේවගැතිවරයායි.

එහිදි කොමිසම හමුවේ සාක්ෂි ලබාදෙමින් දේවගැතිවරයා සඳහන් කළේ ඉකුත් වසරේ අප්‍රේල් 21 වන දින උදෑසන මින් පෙර තමන් නොදුටු පුද්ගලයෙකු දේවස්ථානය අසල සිටිනු නිරීක්ෂණය කළ බවයි.

පසුව අදාළ තැනැත්තාගෙන් කළ විමසීමේදි ඔහු තමන්ව උමර් ලෙස හදුන්වාදුන් අතර දේවස්ථානය නැරඹිම සඳහා එහි පැමිණි බව සඳහන් කළ බව සාක්ෂිකරු කොමිසම හමුවේ සඳහන් කළේය.

කෙසේ වෙතත් දේවස්ථානය ඇතුළතට යෑමට කළ ආරාධනය ඔහු ප්‍රතික්ෂේප කළ අතර තම මවට අසනිප තත්ත්වයක් ඇති බැවින් දේව අශිර්වාදයක් කර ගැනීමට අවැසි බවත් සදහන් කළේ යැයි දේවගැතිවරයා පැවසුවා.

මෙහිදි කොමිසම දේවගැතිවරයාගෙන් විමසා සිටියේ අදාළ සංවාදය කුමන භාෂාවෙන් සිදුවුයේද යන්නයි.

සංවාදය දමිළ බසින් සිදුවු අතර ඔහු සිය මවට ‘උම්මා’ යනුවෙන් ආමන්න්‍රණය කල නිසා අදාල පුද්ගලයා මුස්ලිම් ජාතිකයෙක් යැයි තමන්ට හැඟී ගිය බව දේවගැතිවරයා පැවසුවේය.

අදාළ පුද්ගලයා ඔඩ්ඩමාවඩි ප්‍රදේශයේ සිට පැමිණියේ යැයි ඔහු තමන්ට පැවසු බවත් එම තැනැත්තා රෝස පැහැති ටී ෂර්ටයක් ඇඳ සපත්තු පැලඳ විශාල බෑගයක් පිටේ එල්ලාගෙන තොප්පිය පපුවට තදකරගෙන සිටි අතර ඒ තුළද කුඩා බෑගයක් තිබු බව සාක්ෂිකරු සඳහන් කළේය.

පසුව එම තැනැත්තාව දේවස්ථානයේ කටයුතු කළ ස්ටැන්ලි නම් දේවගැතිවරයාට මුණගස්වා තොරතුරු ලබාගන්න යනුවෙන් ප්‍රකාශ කර තමන් දේවස්ථානයෙන් පිටව ගිය බවයි දේවගැතිවරයා පැවසුවේ.

කෙසේ වෙතත් තමන් දෙවස්ථානයෙන් පිටත්ව කිලෝමිටර් 5 කට ආසන්න දුරක් යන විට දේවස්ථානයේ කලබලයක් ඇති වී තිබෙන බව දුරකථන ඇමතුමකින් දැනගන්නට ලැබුණේ යැයි දෙවගැතිවරයා ප්‍රකාශ කළේය.

ඇමතුම ලද සැනින් යළි දේවස්ථානයට පැමිණි තමන්ට ස්ටැන්ලි දේවගැතිවරයාව මුණ ගැසුණු අතර ඔහු හඩමින් ‘අර මනුස්සයා තමයි මොනවහරි කළේ’ යැයි පැවසූ බවද හෙතෙම පැවසුවේය.

මෙහිදි වඩාත් සංවේදි වෙමින් දේවගැතිවරයා සඳහන් කළේ බෝම්බ ප්‍රහාරයෙන් තම 12 හැවිරිදි කුඩා පුත්‍රයාද ජීවිතාක්ෂයට පත් වූ බවයි.

පුතු මියගිය බව දැනගන්නා විට එදින ප.ව 06:00 පමණ වි තිබු අතර හඳුනාගැනීමට පවා නොහැකි වන සේ විකෘති වී තිබු කුඩා පුතුගේ සිරුර හඳුනා ගැනීමට හැකි වුයේ එදින දේව මෙහෙයේදි ඇඳිමට තමන් පුතුට මිලදී ගෙන දුන් නවතම කමිසයේ රෙදි කැබැල්ලක් මෘත ශරීරයේ ඇලී තිබීමෙන් බව කී දේවගැති ගනේෂමූර්ති තිරුකුමාර් කොමිසම හමුවේ හඬා වැටුණි.

ඉන් අනතුරුව ජනාධිපති කොමිසම හමුවේ සාක්ෂි ලබාදුන් නාගයියා ස්ටැන්ලි දේවගැතිවරයාද සඳහන් කළේ තමන්ද උමර් නැමැත්තාට දේවස්ථානය ඇතුළතට පැමිණෙන ලෙස සඳහන් කළද තමන්ට දුරකථන ඇමතුමක් ලැබීමට නියමිත යැයි පවසමින් ඔහු එම ආරාධනය ප්‍රතික්ෂේප කළ බවයි.

කෙසේ වෙතත් එම පුද්ගලයාට තිබුනේ අයි.එස්.අයි.එස් සංවිධානයේ සමාජිකයෙකුගේ පෙනුම යැයි තමන්ට සැක මතුවු බවද සාක්ෂිකරු පැවසුවේය.

එසේම එම පුද්ගලයා පිළිබඳව දේවස්ථානයේ සේවය කළ යොගනාදන් නැමැත්තාට පැවසු විට යොගනාදන් ඊට දින දෙකකට පෙර එනම් මහ සිකුරාදා දිනයේ මෙම තැනැත්තා සියෝන් දේවස්ථානය අසල සිටිනු දුටුවේ යැයි පැවසූ බවද ස්ටැන්ලි දේවගැතිවරයා ජනාධිපති කොමිසම හමුවේ අනාවරණය කළේය.

අනතුරුව ආගන්තුක පුද්ගලයා ගැන සොය බැලීමට දේවස්ථානයේ සිටි තම හිතවතුන් දෙදෙනෙකු යොමු කළ බවත් , ඔවුන් එම තැනැත්තා සමඟ යම් මතභේදාත්මක අදහස් හුවමාරුවක නිරත වූ අවස්ථාවේ එකවරම විශාල පිපිරුම් හඩක් ඇසුනු බවත් හෙතෙම පැවසුවේය.

ප්‍රහාරය සිදුවු අවස්ථාවේදිම තමන් දෙවස්ථානය තුළට ගිය අතර සෑම තැනම විසිරී තිබු කුඩා දරුවන්ගේ අප්‍රාණික සිරුරු තම ජීවිතයේ දුටු ඛේදනියම දර්ශනය බව කී ස්ටැන්ලි දේවගැතිවරයාද ජනාධිපති කොමිසම හමුවේ හඩාවැටුණි.

+++++++++++++++++++++

දේවගැතිවරුන් දෙදෙනෙකු පාස්කු ප්‍රහාරය පිළිබද කොමිසමට

(31.05.2020 – 19:26 +0530 – hirunews.lk/sinhala)

පාස්කු ඉරු දින ප්‍රහාර එල්ල වූ මඩකලපුව සියොන් දේවස්ථානය සම්බන්ධයෙන් සාක්ෂි විමසීම පාස්කු ප්‍රහාරය පිළිබද විමර්ශනය කරන ජනාධිපති කොමිසම හමුවේ ඊයේ (30) සිදුකෙරුණා. සාක්ෂි ලබාදීම සඳහා පැමිණ සිටියේ පිපිරීම සිදුවන අවස්ථාවේ දේවස්ථානයේ සිටි දේවගැතිතුමන්ලා දෙදෙනෙකුයි.

කොමිසම හමුවේ ප්‍රථමයෙන් සාක්ෂි ලබාදුන්නේ මඩකලපුව සියෝන් දේවස්ථානයේ දෙවන දේවගැති වන ගනේෂමූර්ති තිරුකුමාර් දේවගැතිතුමා.

එහිදී කොමිසම දේවගැතිවරයාගෙන් විමසා සිටියේ පසුගිය වසරේ අප්‍රේල් 21 වන දා දේවස්ථාන කාර්යාලයේ සිටියදී යම් නාඳුනන පුද්ගලයෙකු දේවස්ථානයට පැමිණියේ ද යන්නයි.

ඊට පිළිතුරු ලබාදුන් දේවගැතිවරයා කියා සිටියේ යම් පුද්ගලයෙකු පැමිණි අතර, තමන් ඔහුගෙන් තොරතුරු විමසද්දී ඔහුගේ නම උමර් ලෙස හඳුන්වා දුන් බවයි.

උමර් නමැත්තා දේවස්ථානයට පැමිණි කාරණාව විමසා සිටියේ දැයි කොමිසම මෙහිදී ප්‍රශ්න කළා.

මවට අසනීප නිසා ඇයට දේව යාඥාවක් සිදුකිරීමට අවශ්‍ය බවත්, එය බලාගෙන යාම සඳහා පැමිණි බවත්, උමර් පැවසූ බව දේවගැතිවරයා පිළිතුරු දෙමින් කියා සිටියා.

පසුව කොමිසම විමසා සිටියේ එම සංවාදය කුමන භාෂාවෙන් සිදුවූයේද යන්නයි. මුස්ලිම් ජාතිකයන් කතා බහ කරන දෙමළ භාෂාවෙන් කතා කළ ඔහුගේ නම උමර් ලෙස සඳහන් කළ බැවින් අදාළ පුද්ගලයා මුස්ලිම් ජාතිකයෙකු ලෙස හඳුනාගත් බව දේවගැතිවරයා ප්‍රකාශ කළා.

අනතුරුව තමන් බිරිඳ සහ දියණිය සමඟ සියෝන් දේවස්ථානයේ ශාඛාවක් වන කරවට්ටි දේවස්ථානය වෙත පිටව යාමට අවශ්‍ය බැවින් සියෝන් දේවස්ථානයේ සහෝදර දේවගැති නාගයියා ස්ටැන්ලි දේවගැතිතුමාට, උමර් පිලිබඳ තොරතුරු ලබාගන්නා ලෙස දැනුම් දී තමන් එම ස්ථානයෙන් පිටවී ගිය බව දේවගැතිවරයා සඳහන් කළා.

එහිදී කොමිසම ඡායාරූපයක් පෙන්වා දේවගැතිවරයාගෙන් විමසා සිටියේ ඡායාරූපයේ සිටින පුද්ගලයා හඳුනාගැනීමට හැකිද යන්නයි.

තම ජීවිත කාලය තුළ එය අමතක නොවන බව පැවසූ දේවගැතිවරයා එම ඡායාරූපයේ සිටින්නේ උමර් බව හඳුනාගත්තා.

පසුව කොමිසම විමසා සිටියේ දේවස්ථානයෙන් පිටව ගිය පසු තමන්ට දුරකථන ඇමතුමක් ලැබුණේද යන්නයි.

දේවස්ථානයේ රැදී සිටි ඥාති පුත්‍රයෙකුගෙන් තමන්ට ඇමතුමක් ලැබුණ බවත් පල්ලියේ කලබලයක් යැයි ඔහු සඳහන් කළ බවත් දේවගැතිවරයා සඳහන් කළා.

ඉන්පසු තමන් ඉක්මනින් සියෝන් දේවස්ථානයට පැමිණි බවත් ඒ වන විට එහි විශාල ගින්නක් හටගෙන මිනිසුන් මරණයට පත්ව සිටි නිසා තමන් දැඩි බියට පත් වූ බවත් දේවගැතිවරයා කොමිසම හමුවේ සාක්ෂි දෙමින් කියා සිටියා.

තමා දේවස්ථානයෙන් පිටව යාමට පෙර නාගයියා ස්ටැන්ලි සහෝදර දේවගැතිවරයාට හඳුන්වා දුන් උමර් විසින් මෙම ප්‍රහාරය සිදුකළ බව සහෝදර දේවගැතිවරයා හඩමින් සඳහන් කළ බව සාක්ෂිකරු පැවසුවා.

ප්‍රහාරයෙන් තමන්ගේ පුතු මියගොස් ඇති බව දැනගත්තේ සවස 06:00 ට පමණ බව පැවසූ දේවගැතිවරයා සඳහන් කළේ හඳුනාගැනීමට නොහැකිව තිබූ මෘත ශරීර 03 ක් අතරින් එදින උදෑසන තම පුතු ඇද සිටි කමිසය මගින් ඉන් එක මෘත ශරීරයක් තම පුතුගේ බව හඳුනාගත් බවයි.

ප්‍රහාරය සිදුවූ 21 වැනිදාට පෙර ඔබ බෝම්බකරු දැක තිබේදැයි කොමිසම දේවගැතිවරයාගෙන් තවදුරටත් විමසා සිටියා.

දේවගැතිවරයා පිළිතුරු දෙමින් කියා සිටියේ තමන් මීට පෙර ඔහු දැක නොමැති අතර, උමර්ගේ හැඩහුරුකම් ඇති පුද්ගලයෙකු පෙරදිනක පැමිණ ගොස් ඇති බවට දේවස්ථානයේ වෙනත් දේවගැතිවරයෙකු දැක තිබෙනවා යන්නයි.

ඔහුගේ සාක්ෂිදීම අවසන් වූ පසු සියෝන් දේවස්ථානයේ පිපිරීම සිදුවන අවස්ථාවේ සිටි නාගයියා ස්ටැන්ලි දේවගැතිවරයා කොමිසම හමුවේ සාක්ෂි ලබාදුන්නා.

කොමිසම ඔහුගෙන් විමසා සිටියේ සියෝන් දේවස්ථානයට පැමිණි උමර් නම් පුද්ගලයා සමග කුමන කතාබහක් ඇතිවුණේද යන්නයි.

ඔහුට දේවස්ථානයට ගොස් අසුන් ගන්නා ලෙස සඳහන් කළත් “තව ටිකකින් දුරකථන ඇමතුමක් ලැබෙන්න තියෙනවා.”‍ යැයි පවසා උමර් එය ප්‍රතික්ෂේප කළ බව දේවගැතිවරයා ප්‍රකාශ කළා.

උමර් සම්බන්ධයෙන් හටගත් සැකයත් තමන්ට විදේශයන්හි ඇති අත්දැකීම් මතත් උමර්ගේ පෙනුම අයි.එස්.අයි.එස් ත්‍රස්තයන්ට සමාන බවද තමන් සහෝදර පියතුමාට පැවසූ බව දේවගැතිවරයා සඳහන් කළා.

එම සාකච්ඡාව සිදුවන අවස්ථාවේදී උමර් සිටියේ කුමන ස්ථානයේදැයි කොමිසම මෙහිදී ප්‍රශ්න කළා.

ඊට පිළිතුරු ලබාදුන් නාගයියා ස්ටැන්ලි දේවගැතිවරයා සඳහන් කළේ උමර් දේවස්ථානයට පැමිණි වේලාවේ සිටි ස්ථානයේම ඒ වන විටත් රැදී සිටි බවත් බදාදා දිනයේ පැවැත්වෙන සුවය දෙන යාඥාවට උමර්ට සහභාගි වන්නැයි දන්වන ලෙස තම සහෝදර දේවගැතිවරයාට පවසා පෙරවරු 09:00 ට පමණ දේවමෙහෙය ආරම්භ කළ බවත් ඔහු සදහන් කළා.

දේවගැතිවරයා වැඩිදුරටත් සදහන් කළේ දේවමෙහෙය අතරතුර උමර් එම ස්ථානයේ සිටිනවාදැයි තමන් නිරීක්ෂණය කළත් ඔහු එහි නොසිටි නිසා සහෝදර දේවගැතිවරයා විසින් උමර්ව එම ස්ථානයෙන් පිටත්කර හරින්නට ඇතැයි තමන් සිතූ බවයි. ප්‍රහාරයෙන් පසු දැඩි කම්පනයක සිටියදී තම බිරිද මුණ ගැසුනත් තම දරුවා පිළිබඳ තොරතුරක් නොලැබුණ බව දේවගැතිවරයා කොමිසම හමුවේ ඉතා සංවේදීව සදහන් කළා.

***************************************

රුපියල් මිලියන 120 ක් වැය කර ගල්කිස්ස වෙරළ තීරයේ පිරවූ වැලි මහ මුහුදට

(31.05.2020 – 21:39 +0530 – sinhala.adaderana.lk)

දිවයිනේ වෙරළ තීරයන් තුනක් සංරක්ෂණය කිරීම සඳහා රුපියල් මිලියන 890 ක් වැය කරමින් වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුව පසුගියදා වැලි පෝෂණ ව්‍යාපෘතියක් ආරම්භ කළේය.

කෙසේ වෙතත් මෙහි ගල්කිස්ස වෙරළතීරයට අයත් කොටසේ වැලි මේ වනවිට සම්පූර්ණයෙන්ම මුහුදට ගසා ගෙන ගොස් ඇත්තේ ඒ වෙනුවෙන් වැය කළ රුපියල් මිලියන 120 ක පමණ මුදල ද අපතේ හරිමින්.

තෝමස් මේට්ලන්ඩ් බ්‍රිතාන්‍ය ආණ්ඩුකාරවරයා සහ ලැවීනියා ආදර කථාවට සාක්ෂි දරන ‘රන්වන් සැතපුම’ ලෙස නම් දරා ඇති ගල්කිස්ස වෙරළ තිරය දෙස් විදෙස් සංචාරකයන්ගේ සොඳුරු තෝතැන්නක්.

එම ස්වභාවික සුන්දර වෙරළ තීරය ඛාදනය වැළැක්වීම සඳහා බව පවසමින් රුපියල් මිලියන 120 ක් පමණ වැය කරමින් වෙරළ සංරක්ෂණ හා වෙරළ සම්පත් කළමනාකරණ දෙපාර්තමේන්තුව විසින් වැලි පෝෂණ ව්‍යාපෘතියක් විදේශීය සමාගමට භාර දුන්නේය.

පසුගිය රජයේ කැබිනට් අනුමැතියද සහිතව ක්‍රියාත්මක වූ මෙම ව්‍යාප්තියෙන් රත්මලාන වෙරළ තීරයේ සිට කිලෝමීටර් 6 ක් ඈතින් පිහිටි වැලි නිධියකින් ගල්කිස්ස වෙරළ තීරයට වැලි මීටර් කියුබ් 150,000ක් පුරවනු ලැබුවේය.

ඒ පිළිබඳව සොයා බැලීමට ඉකුත් අප්‍රේල් 23 වනදා අද දෙරණ ගල්කිස්ස වෙරළ තීරයට යන විට වෙරළ තීරය සුන්දර කළ ස්වභාවික ගල් පරයන් ද යට කරමින් ප්‍රතිනිර්මාණය කළ කෘත්‍රිම වෙරළ තීරයේ වැලි මුහුදටම ගසාගෙන යන අයුරු අද, එහි ගිය අපට දක්නට ලැබුණි.

පරිසරවේදීන්ගේ විරෝධය මධ්‍යයේ මිලියන ගණනක් මහජන මුදල් විනාශ කරමින් සිදුකළ මේ වැලි පෝෂණ ව්‍යාපෘතිය පිළිබඳව අදත් සමාජ මාධ්‍ය ඔස්සේ එල්ල වන්නේ දැඩි විරෝධයක්.

එමෙන්ම වෙරළ තීරයට වැලි පිරවීම පිළිබඳව ඒ අවට වෙසෙන ජනතාව ද විරෝධය පළ කර සිටියි.

මෙම චෝදනා සම්බන්ධයෙන් වෙරළ සංරක්ෂණ හා වෙරළ සම්පත් කළමනාකරණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් නීතීඥ ප්‍රභාත් චන්ද්‍රකීර්ති මහතාගෙන් ‘අද දෙරණ’ විමසීමක් කර සිටියේය.

ඔහු ප්‍රකාශ කර සිටින්නේ කිසිදු වෙරළ ඛාදන තත්ත්වයක් එහි ඇති වී නැති බවයි.

කෙසේවෙතත්, අධ්‍යක්ෂ ජනරාල්වරයා පවසන පරිදි ඔහුට අභිමතානුසාරී අයුරින් මෙවැනි ව්‍යාපෘති සඳහා තීරණ ගැනීමට නීත්‍යානූකූල හැකියාවක් පවතිනවාද?

මේ පිළිබඳ අදහස් දක්වමින් පරිසර නීතීඥ ජගත් ගුණවර්ධන මහතා පවසන්නේ මෙම ව්‍යාපෘතිය හේතුවෙන් ගල්කිස්ස වෙරළ තීරයට සිදුව ඇති හානිය ව‍‍්‍යාජ ප්‍රකාශ සිදු කිරීම තුළින් වසන් කළ නොහැකි බවයි.

+++++++++++++++++++++

***************************************

මෙරට කොරෝනා ආසාදිතයින් ගණන 1633 ක් දක්වා ඉහළට

(31.05.2020 – 23:49 +0530 – sinhala.adaderana.lk)

අද (31) රාත්‍රී 11 වන විට තවත් කොරෝනා ආසාදිතයින් දෙදෙනෙකු (02) වාර්තා වු බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

ඒ අනුව මෙරට සමස්ත ආසාදිතයින් ගණන 1633 ක් දක්වා ඉහළ ගොස් තිබේ.

අද දින (31) කොවිඩ් ආසාදිතයන් 13 දෙනකු අලුතින් හඳුනා ගෙන තිබේ.

ඒ අතර 09 දෙනෙක් පිට රටින් පැමිණි අය වන අතර, සෙසු සිව් දෙනා (04) නාවික හමුදා සෙබලුන් බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

මේ වන විට පුද්ගලයින් 801 ක් පූර්ණ ‍සුවය ලබා ඇත.

තවත් පුද්ගලයින් 822 ක් වෛද්‍ය අධීක්ෂණය යටතේ රෝහල්වල ප්‍රතිකාර සඳහා යොමු කර තිබේ.

ඊයේ (30) දිනය තුළ මෙරටින් හඳුනාගත් කොවිඩ් 19 ආසාදිතයින් ගණන 62 ක්.

ඒ අතරින් 26 දෙනෙකුම කටාර්හි සිට මෙරටට පැමිණ නිරෝධායනයට ලක් කර සිටින අයයි.

සෙසු පිරිස අතරින් 24 දෙනෙකු නාවික හමුදා සාමාජිකයින් වන අතර 08 දෙනෙකු කුවේට්හි සිටත්, තිදෙනෙකු (03) මාලදිවයිනේ සිටත් මෙරටට පැමිණි අය වෙයි.

තවත් අයෙකු (01) නිරෝධායන කඳවුරක සේවය කළ යුද හමුදා සාමාජිකයෙකු බව වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කළේය.

මේ අනුව නාවික හමුදාවෙන් බැහැරව අනෙකුත් හමුදාවන්ගෙන් මෙතෙක් හඳුනාගනු ලැබූ සමස්ත ආසාදිතයින් ගණන 14 ක් ෴

***************************************

කැකිරාව ප්‍රදේශයේ ගොවීන් පිරිසක් විරෝධතාවයක

(31.05.2020 – 20:16 +0530 – hirunews.lk/sinhala)

ගොවිතැන් කටයුතු ආරම්භ කර තිබුණත් මේ දිනවල පවතින පොහොර හිඟය හේතුවෙන් තමන් දැඩි පීඩාවට පත්ව සිටින බවට පවසමින් කැකිරාව ප්‍රදේශයේ ගොවීන් පිරිසක් මාර්ගය අවහිර කරමින් විරෝධතාවයේ නිරත වුණා.

ගොවීන් පෙන්වා දෙන්නේ මෙම තත්ත්වය දිගටම පැවතිය හොත් වගා කටුයුතු අඩාල වීමේ වැඩි ඉවක් පවතින බවයි.

වී ගොවිතැන සහ අතිරේක භෝග වගා කරන රජරට ප්‍රදේශයේ ගොවීන් මේ දිනවල දැඩි පීඩාවට පත්ව සිටින්නේ සිය වගාවන් සඳහා පොහොර නෙමැතිවීම හේතුවෙන්.

+++++++++++++++++++++++++++++++++++

කුරුණෑගල – මාවතගමට පළගැටි උවදුරක් – දඹුල්ලේ ගොවීන් පොහොර ඉල්ලයි

(31.05.2020 – 19:23 +0530 – hirunews.lk/sinhala)

ඇතැම් පිරිස් වැඩි වශයෙන් පොහොර මිලට ගෙන ගබඩා කර තබා ගැනීමෙන් පොහොර හිඟයක් ඇති බවට මවාපෑමේ උත්සාහයක නිරත වන බවට පොහොර ලේකම් කාර්යාලය පවසනවා.

පසුගිය දින කිහිපය තුළ දිවයිනේ ප්‍රදේශ කිහිපයකින් පොහොර හිඟයක් පවතින බවට ගොවීන් චෝදනා කළා.

ගොවිතැන් කටයුතු ආරම්භ කර තිබුණත් මේ දිනවල පවතින පොහොර හිඟය හේතුවෙන් තමන් දැඩි පීඩාවට පත්ව සිටින බවටයි දඹුල්ල ප්‍රදේශයේ ගොවීන් කියා සිටියේ.

රට තුළ පොහොර හිඟයක් නොමැති බවට බලධාරීන් ප්‍රකාශ කළ ද කිසිදු ස්ථානයකින් පොහොර මිලදී ගැනීමේ හැකියාවක් නොමැති බව ද ඔවුන් පවසනවා.

කැකිරාව – මඩාටුගම ප්‍රදේශයේ ගොවීන් ද පසුගිය දා විරෝධතාවක නිරත වුණේ පොහොර ගැටළුවට විසදුමක් ලබාදෙන ලෙස ඉල්ලමින්.

කෙසේ වෙතත්, පොහොර ලේකම් කාර්යාලයේ සභාපති මහේෂ් ගම්මන්පිළ මහතා සඳහන් කළේ ඇතැමුන් පොහොර ගබඩා කර තබා ගැනීම වැළැක්වීම සඳහා ක්‍රියාමාර්ග ගනිමින් සිටින බවයි.

වැඩි මිලට පොහොර මිලදී ගැනීමෙන් වළකින ලෙසට ද සභාපතිවරයා ගොවීන්ගෙන් ඉල්ලීමක් කළා.

මේ අතර, රංචු වශයෙන් කඩා වැදී වගා බිම් විනාශ කරන පළගැටි විශේෂයක් පිළිබදව කුරුණෑගල – මාවතගම ප්‍රදේශයෙන් හිරු ප්‍රවෘත්ති අංශයට වාර්තා වුණා. අදාළ පළගැටි විශේෂයෙන් මෙතෙක් නිශ්චිත හඳුනාගෙන නොමැති බවටයි වාර්තා වන්නේ. මඤ්ඤොක්කා, පොල්, බඩඉරිඟු, කෙසෙල්, කෝපි, අඹ ඇතුළු වගාවන් රැසකට මෙම පළගැටි විශේෂය හානි කරන අතර, දැනටමත් පළාත් කෘෂිකර්ම අමාත්‍යාංශය මේ සම්බන්ධයෙන් විමර්ශනයක් ද ආරම්භ කර තිබෙනවා.

මේ සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා කෘෂිකර්ම අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය ඩබ්ලිව්.එම්.ඩබ්ලිව්. වීරකෝන් මහතා ඇතුළු පිරිසක් ඊයේ (30) කුරුණෑගල – මාවතගම ප්‍රදේශයේ නිරීක්ෂණ චාරිකාවක ද නිරත වුණා.

පිටෙහි කහ පැහැති ඉරි සහිත මෙම පළගැටියන් ඉන්දියාවේ ප්‍රාන්ත ගණනාවකින් වාර්තා වූ පළගැටි විශේෂයට සමාන ද යන්න සෙවීම සඳහා මෙම පළගැටියන්ගේ සාම්පල ඉන්දීය කෘෂි පර්යේෂණ අංශ වෙත යොමු කිරීමට කටයුතු කර ඇති බව සඳහන්.

එමෙන්ම, හිරු ප්‍රවෘත්ති අංශය කළ අනාවරණයත් සමඟ තම නිෂ්පාදන මිලට ගැනීම සඳහා පෞද්ගලික වෙළඳුන් පැමිණෙමින් සිටින බවට මොණරාගල ප්‍රදේශයේ වට්ටක්කා ගොවීන් පවසනවා.

***************************************

කඳුරට ජන නායකයා තොණ්ඩමන් දැයෙන් සමුගනී

(31.05.2020 – 19:33 +0530 – hirunews.lk/sinhala)

වසර 26 ක් කඳුරට දේශපාලනයේ නිරත වූ ලංකා කම්කරු කොංග්‍රසයේ නායක අමාත්‍ය ආරුමුගම් තොණ්ඩමන් අද (31) දැයෙන් සමුගත්තා. ඔහුගේ අවමංගල්‍ය කටයුතු පස්වරුවේ සිදුකෙරුණේ හැටන් – නෝර්වුඞ් තොණ්ඩමන් ක්‍රීඩාංගණයේදීයි.

ඒ, රාජ්‍ය අනුග්‍රහය ඇතිවයි. පසුගිය 26 වන දා හෘදයාබාධයක් හේතුවෙන් මිය ගිය අමාත්‍ය ආරුමුගම් තොණ්ඩමන්ගේ දේහය පස්වරුවේ හැටන් – කොටගල පිහිටි ලංකා කම්කරු කොංග්‍රස් කාර්යාලයේ සිට රිය පෙරහරකින් නෝර්වුඩ් ක්‍රීඩංගණය වෙත රැගෙන එනු ලැබුවා.

අවමංගල්‍ය අවස්ථාවට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු දේශපාලනඥයින් රැසක් එක්ව සිටි අතර, හිටපු අමාත්‍යවරුන් වන රවුෆ් හකීම්, නවීන් දිසානායක, හිටපු රාජ්‍ය අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මෙන්ම අමාත්‍ය ආරුමුගම් තොණ්ඩමන්ගේ පුත්‍රයෙකු වන ජීවන් තොණ්ඩමන් යන මහත්වරු එහිදී අදහස් පළ කළා.

+++++++++++++++++++++

***************************************

රත්මලාන සොයිසාපුර හෝටලයට වෙඩි තැබීමේ සැකකරුට දින 7 ක රැඳවුම් නි‍‍යෝග

(31.05.2020 – 22:48 +0530 – sinhala.adaderana.lk)

ගල්කිස්ස පොලිස් වසමේ සොයිසාපුර ‍ප්‍රදේශයේ පිහිටි හෝටලයකට වෙඩි තැබීමේ සිදුවීමට අදාළව පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් අත්අඩංගුවට ගත් සැකකරු, දින 7 ක් රැඳවු‍ම් නියෝග ලබා දී ඇත.

අද (31) දිනයේ දී අත්අඩංගුවට ගත් සැකකරු ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමෙන් අනතුරුව මෙම නියෝගය ලබා දී තිබේ.

පසුගිය 29 වන දා අළුයම සොයිසාපුර ප්‍රදේශයේ පිහිටි හෝටලයකට ‍‘වැගන් ආර්’ කාර් රථයකින් පැමිණි නාඳුනන පිරිසක් විසින් ස්වයංක්‍රීය ගිනි අවිවලින් එම හෝටලයේ වීදුරුවලට වෙඩි තබා තිබිණි.

පසුව ඔවුන් පලා ගොස් තිබුණු අතර සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවෙකු පොලිස් විශේෂ කාර්ය බලකා බුද්ධි අංශයේ නිලධාරින් විසින් ඊයේ (30) රාත්‍රී 8 ට පමණ එලුවිල, පානදුර ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන ගල්කිස්ස පොලිස් ‍ස්ථානයට ඉදිරිපත් කර තිබේ.

මෙම අත්අඩංගුවට ගත් සැකකරු 2018.05.24 වන දින දෙහිවල ගල්කිස්ස මහ නගර සභාවේ නාගරික මන්ත්‍රීවරයෙකුට වෙඩි තබා ඝාතනය කිරීම සම්බන්ධයෙන් ප්‍රධාන සැකකරු වන අතර, ඔහු දැනට රක්ෂිත බන්ධනාගාර ගත කිරීමෙන් අනතුරුව ඇප මත මුදා හැර සිටින පුද්ගලයෙකු වන බව පොලීසිය පවසයි.

අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 34 ක් වු සමුද්‍රාසන්න පාර, අඟුලාන, මොරටුව යන ප්‍රදේශයේ පදිංචිකරුවෙක් වන අතර, ඔහු බාරයේ තිබී ජංගම දුරකථනයක් හා සිම් කාඩ්පතක් පොලිස් බාරයට ගෙන තිබේ.

ගල්කිස්ස පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.

+++++++++++++++++++++

+++++++++++++++++++++

***************************************

ළමා සුරක්ෂිතාව ඉහළ නැංවීමට සමීක්ෂණයක්

(31.05.2020 – 07:51 +0530 – hirunews.lk/sinhala)

ළමයින්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීමට මෙන්ම ඔවුන්ගේ සුරක්ෂිතතාවය ඉහළ නැංවීමේ අරමුණින් ජාතික ළමාරක්ෂක අධිකාරිය අංශ 6 ක් යටතේ විශේෂ සමීක්ෂණයක් ආරම්භ කර තිබෙනවා.

ඒ අනුව, ළමා නිවාස, දිවා සුරැකුම් මධ්‍යස්ථාන, පෙර පාසල්, පාසල් ඇතුළු අංශ කිහිපයක් යටතේ මෙලෙස සමීක්ෂණය සිදුකිරීමටයි නියමිතව ඇත්තේ.

ඒ අනුව, පාසල්වල 06 ශ්‍රේණියේ සිට 13 ශ්‍රේණිය දක්වා ළමා ආරක්ෂක කමිටු ආරම්භ කර ඒ හරහා අවම ප්‍රමිතීන් යටතේ මෙම සමීක්ෂණය සිදුවනු ඇති.

ඊට අදාළ ප්‍රශ්න 22 ක් සකස් කර එම ප්‍රශ්නවලට අදාළව ලකුණු ලබාදීමක් සිදුකිරීමෙනුයි මෙම සමීක්ෂණය සිදුකෙරෙන්නේ.

ඊට අමතරව, සමීපතමයින්ගෙන් අපයෝජනයට ලක්වීම හේතුවෙන් භාරකරුවන්ගෙන් ඉවත් කොට වෙනත් පාර්ශවයන්ට ලබාදුන් දරුවන් පිළිබඳව මෙම සමීක්ෂණයේදී අවධානය යොමු කෙරෙනු ඇති.

එමෙන්ම, වයස අවුරුදු 16 දක්වා ළමයින් අනිවාර්යයෙන්ම පාසල් යා යුතු බැවින් එලෙස පාසල් යවන්නේ ද නැද්ද යන්න පිලිබඳව ද ජාතික ළමාරක්ෂක අධිකාරිය මෙම සමීක්ෂණයෙන් අවධානය යොමුකරනු ඇති ෴

***************************************

මැතිවරණ කොමිසමේ නිලධාරීන්ට බේරුවල පැවැත්වූ සමුළුවක් ගැන ජානිපෙ කතා කරයි

(31.05.2020 – 14:15 +0530 – hirunews.lk/sinhala)

මැතිවරණ කොමිසමේ ඉහළ නිළධාරීන් පිරිසකට බේරුවල ප්‍රදේශයේදී පසුගියදා පවත්වා ඇති වැඩමුළුවක් සම්බන්ධයෙන් ව්‍යවස්ථාදායක සභාව පරීක්ෂණයක් කළ යුතු බව ‘ජාතික නිදහස් පෙරමුණ’ පවසනවා.

එහි ජාතික සංවිධායක ජයන්ත සමරවීර මහතා මේ බව සදහන් කළේ අද (31) කොළඹදී පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින්.

***************************************

වැසිකිළි වලකට වැටී පාසල් දැරියක් ජීවිතක්ෂයට

(31.05.2020 – 16:04 +0530 – hirunews.lk/sinhala)

වැසිකිළි වලකට වැටීමෙන් පාසල් දැරියක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

මෙලස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ උඩුපිල, ඉසිගිණිකන්ද ප්‍රදේශයේ පදිංචිව සිටි අවුරුදු 14 ක පාසල් දැරියක් බවයි වාර්තා වන්නේ.

දැරියගේ මරණය සම්බන්ධයෙන් ඇයගේ පියාගෙන් පොලීසිය කළ සාක්ෂි විමසිමකදී ඔහු පවසා ඇත්තේ වැසිකිළි වලෙන් වහනයවන දුඟද පාලනය කිරීම සඳහා එහි මතුපිට කොන්ක්‍රීට් තට්ටුව ඔසවා වල තුළට කාබයිඩ් දැමු බවයි.

අනතුරුව වැසිකිළි වලේ කොන්ක්‍රීට් තට්ටුව විශාල ශබ්දයක් සමඟ පුපුරා ගිය බවත් එම අවස්ථාවේ කොන්ක්‍රීට් තට්ටුව මත සිටි දැරිය වල තුළට වැටුණු බවත් ඔහු වැඩිදුරටත් සාක්ෂි දෙමින් පවසා තිබෙනවා.

දැරියගේ මරණ සම්බන්ධයෙන් වන පශ්චාත් පරීක්ෂණය ගම්පහ මහ රෝහලේදී අද (31) සිදුකළ බවයි අප වාර්තාකරු පැවසුවේ.

මෙම අනතුරෙන් බරපතල තුවාල ලැබූ දැරියගේ මව ගම්පහ රෝහලේ ප්‍රතිකාර ලබනවා ෴

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *