අද (28) මධ්‍යම රාත්‍රියේ සිට සහල් වර්ග කිහිපයක් සඳහා උපරිම සිල්ලර මිලක්

(28.05.2020 – 15:25 +0530 – hirunews.lk/sinhala)

අද (28) සිට ක්‍රියාත්මක සහල් සඳහා වන උපරිම සිල්ලර මිල පරිභෝගික කටයුතු අධිකාරිය විසින් ප්‍රකාශයට පත් කළා.

• ඒ අනුව, කැකුළු සහල් කිලෝග්‍රෑමයක් රුපියල් 93 කටත්,

• නාඩු සහල් කිලෝග්‍රෑමයක් රුපියල් 96 කටත්,

• සම්බා සහල් කිලෝග්‍රෑමයක් රුපියල් 98 කටත් අලෙවි කළ යුතුයි.

• එමෙන්ම, කීරි සම්බා සහල් කිලෝග්‍රෑමයක් රුපියල් 120 ක

උපරිම සිල්ලර මිලක් යටතේ අලෙවි කළ යුතු වනවා ෴

+++++++++++++++++++++

+++++++++++++++++++++

***************************************

රන් කරඬුවක් සමඟ ආඬිගමෙන් මතුවූ මැණික් සහිත නිධානය මෙන්න

(28.05.2020 – 16:36 +0530 – hirunews.lk/sinhala)

ආඬිගම පෙරියමඩුව ප්‍රදේශයේ නිවසක තිබී නිධානයකින් ලබාගත් බවට සැක කෙරෙන දඹ රන් බුදු පිළිම තුනක් ඇතුලු නිධන් වස්තු කිහිපයක් සමග සැකකරුවෙකු පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

වටිනා නිල් මැණිකක් ද ඇතුළුව මැණික් ගල් 26 ක්, රත්‍රං පාත්‍රයක් මෙන්ම රත්‍රං කරඬුවක් අත්අඩංගුවට ගෙන ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

මෙම නිධන් වස්තු රහසිගතව අලෙවියට සූදානම් කර තිබූ බව සඳහන්.

අත්අඩංගුවට පත්වූ සැකකරු පෙරියමඩුව ප්‍රදේශයේම පදිංචිකරුවෙක්.

ඔහුගේ නිවසේ බෆල් යන්ත්‍රයක් තුල මෙම නිධන් වස්තු සඟවා තිබියදී පොලිසිය සොයාගෙන තිබෙනවා.

පරීක්ෂණවලදී අනාවරණ වී ඇත්තේ අවස්ථා කිහිපයකදීම මේවා මිලදී ගැනීමට ගැනුම්කරුවන් පැමිණ ඇතත් තම මිල සීමාවට නොපැමිණීම හේතුවෙන් සැකකරු ඒවා අලෙවි කර නොමැති බවයි.

මෙම මැණික් සහ බුදු පිළිමවල වටිනාකම මෙතෙක් තක්සේරු කර නැහැ.

ඒවායෙහි වටිනාකම තක්සේරු කිරීම සඳහා ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියට භාරදී ඇතැයි පරීක්ෂණ සිදු කරන පොලිස් නිලධාරීන් සඳහන් කර තිබෙනවා.

ලැබුනු තොරතුරකට අනුව පුත්තලම කොට්ඨාශ දුෂණ මර්දන අංශය විසින් වැටලීම සිදුකර ඇති අතර සැකකරු සහ නඩු භාණ්ඩ පල්ලම පොලිසියට භාරදී තිබෙනවා.

***************************************

අක්කරෙයිපත්තු – ආලයඩිවෙම්බු ප්‍රාදේශීය ලේකම් සහ සැලසුම් අධ්‍යක්ෂක අල්ලස් කොමිසමේ අත්අඩංගුවට

(28.05.2020 – 15:54 +0530 – hirunews.lk/sinhala)

අක්කරෙයිපත්තුව – ආලයඩිවෙම්බු ප්‍රාදේශීය ලේකම්වරයා සහ එහි සැලසුම් අධ්‍යක්ෂවරයා අල්ලස් කොමිසමේ විමර්ශන නිලධාරින් විසින් අද (28) අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ මාර්ග කොන්ත්‍රාත්තුවක් පිරිනැමීම සඳහා කොන්ත්‍රාත්කරුවෙකුගෙන් රුපියල් ලක්ෂ 3 ක අල්ලස් මුදලක් ලබා ගන්නා අවස්ථාවේදීයි ෴

***************************************

දැඩි වෙහෙසක් දරා ගොඩ ආ ඉසෙඩ් ඩී ඇලට වැටුණු වන අලි දෙදෙනා

(28.05.2020 – 16:44 +0530 – hirunews.lk/sinhala)

මාදුරුඔය ඉසෙඩ් ඩී ඇලට විරාන ප්‍රදේශයෙන් වැටුණු වන අලි දෙදෙනෙකු (2) මහත් පරිශ්‍රමයකින් පසු ගොඩට එන අයුරු අප වාර්තාකරුගේ කැමරා කාචයේ මෙලෙස සටහන්ව තිබුණා.

***************************************

විදෙස්ගතව සිට පැමිණි තවත් 15 දෙනෙකුට කොරෝනා – සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 1486 දක්වා ඉහළට

(28.05.2020 – 17:47 +0530 – hirunews.lk/sinhala)

විදෙස්ගතව සිට පැමිණි තවත් 15 දෙනෙකුට කොරෝනා ආසාදනය වී ඇතිබව අනාවරණ වීමත් සමඟ මෙරට සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 1486 දක්වා ඉහළගොස් තිබෙනවා ෴

+++++++++++++++++++++++++++++++++++

බෙල්ජියමේ සිට මත්තලට පැමිණි ගුවන් යානයේ සිටි 43 ක් ගාල්ල වරායට

(28.05.2020 – 17:58 +0530 – hirunews.lk/sinhala)

බෙල්ජියමේ බ්‍රසල්ස් නුවර සිට නෞකා කාර්යමණ්ඩල සාමාජිකයන් 43 දෙනෙකු රැගත් ගුවන් යානයක් මත්තල ගුවන්තොටුපොළ වෙත පැමිණියා.

ඒ බෝයිං 737 දරණ ගුවන් යානයකින්.

මෙම පිරිස ගාල්ල වරායේ නැංගුරම්ලා ඇති නෞකාවක කාර්යමණ්ඩල සාමාජිකයන් බවයි වාර්තා වන්නේ.

ඔවුන් සියළුදෙනා ගුවන්තොටුපොළ තුළදිම නිරෝධායන ක්‍රියාවලියකට ලක්කිරීමෙන් පසු බස් රථ මගින් ගාල්ල වරාය වෙත රැගෙන යාමට කටයුතු කෙරුනා.

මෙම ගුවන් යානය දැනට ගාල්ල වරායේ නැංගුරම්ලා ඇති අදාළ නෞකාවේ සේවයේ නිරත කාර්යමණ්ඩල සාමාජිකයන් 35 දෙනෙකු රැගෙන නැවතත් බෙල්ජියමේ බ්‍රසල්ස් නුවර බලා පිටත්ව යාමට නියමිතයි.

***************************************

රිමාන්ඩ් කර සිටින රාජිතගෙන් පැය 3 කට වැඩි කාලයක් ප්‍රශ්න කෙරේ

(28.05.2020 – 19:12 +0530 – hirunews.lk/sinhala)

රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්නගෙන් කොළඹ අපරාධ කොට්ඨාශයේ නිලධාරීන් අද (28) පැය 03 කට අධික කාලයක් ප්‍රකාශ ලබාගත්තා.

ඒ, රාජකීය – ශාන්ත තෝමස් මහා ක්‍රිකට් තරගය නැරඹීමට පැමිණි 25 දෙනෙකුට කොරෝනා රෝගය වැළඳී ඇති බවට ඔහු මාර්තු 17 වැනිදා මාධ්‍ය හමුවකදී සිදුකළ ප්‍රකාශය සම්බන්ධයෙන්.

හිටපු මන්ත්‍රීවරයා රඳවා සිටින මීගමුව – පල්ලන්සේන තරුණ වරදකරුවන්ගේ විශෝධන මධ්‍යස්ථානය වෙත ගොස් මෙම ප්‍රකාශය ලබාගත් කොළඹ අපරාධ කොට්ඨාශය සඳහන් කළේ.

***************************************

කුවේටයෙන් පැමිණි 466 න් 321 කට කොරෝනා – අද (28) දක්වා ආසාදිතයින් 34 ක්

(28.05.2020 – 19:18 +0530 – hirunews.lk/sinhala)

ආසාදිතයින් 13 දෙනෙකු සුවය ලබා රෝහල්වලින් පිටව යෑමත් සමඟ මෙරටදී කොරෝනා වෛරසය වැළඳී සම්පූර්ණයෙන්ම සුවය ලැබූ පුද්ගලයින්ගේ සංඛ්‍යාව 745 දක්වා ඉහළ ගොස් තිබෙනවා.

වසංගත රෝග විද්‍යා ඒකකය සඳහන් කළේ සුවය ලැබූ පිරිස අතර වැලිසර නාවික හමුදා රෝහලේ ප්‍රතිකාර ලැබූ නාවික සාමාජිකයින් 7 දෙනෙකුද වන බවයි.

මෙරටින් වාර්තා වූ වැඩිම කොරෝනා අසාදිතයන් සංඛ්‍යාව ඊයේ (27) හඳුනාගත් අතර, එම සංඛ්‍යාව 150 ක්.

ඉන් 53 දෙනෙකු නිරෝධායනයට යොමුකළ නාවික හමුදා සාමාජිකයින් වනවා.

අනූ දෙදෙනෙකු (92) කුවේටයේ සිට මෙරටට පැමිණි ශ්‍රී ලාංකිකයින් වන අතර, අනෙක් පස්දෙනා (05) ඉන්දියාවේ චෙන්නායි නුවර සිට පසුගියදා පැමිණි පුද්ගලයින්.

ඒ අනුව පසුගියදා කුවේට් සිට දිවයිනට පැමිණි ශ්‍රී ලාංකිකයින් 466 දෙනා අතුරෙන් පුද්ගලයින් 321 දෙනෙකුටම කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට සිදුකරන ලද පී.සී.ආර්. පරීක්ෂණවලින් අනාවරණ වී තිබෙනවා.

මේ අතර, අද (28) දිනයේදී කොරෝනා වෛරසය ආසාදනය වූ පුද්ගලයින් 34 දෙනෙකු හඳුනා ගැනීමත් සමඟ මෙරටින් වාර්තාවන ආසාදිතයින් සංඛ්‍යාව 1503 දක්වා ඉහළ ගියා.

වසංගත රෝග විද්‍යා ඒකකය සඳහන් කළේ අද (28) වාර්තා වූ ආසාදිතයින් අතරින් දෙදෙනකු (02) නාවික හමුදා සාමාජිකයින් බවයි.

17 දෙනෙකු ඩුබායි සිට දිවයිනට පැමිණි පුද්ගලයින් වන අතර, අනෙක් ආසාදිතයින් 15 දෙනා කුවේට් සිට මෙරටට පැමිණි ශ්‍රී ලාංකිකයින්.

ඒ අනුව විදේශ රටවලින් දිවයිනට පැමිණි පුද්ගලයින් 465 දෙනෙකුට කොරෝනා වෛරසය වැළඳී ඇති අතර, ඉන් තුන් දෙනෙකු (03) විදේශිකයින් බවයි වසංගත රෝග විද්‍යා ඒකකය සඳහන් කළේ.

ඊට අමතරව ශ්‍රී ලංකාවේ කොරෝනා ආසාදිතයින්ගෙන් වැඩිම සංඛ්‍යාවක් නාවික හමුදා සාමාජිකයින් සහ ඔවුන්ගේ ආශ්‍රිතයන්ගෙන් වාර්තා වන අතර, එම සංඛ්‍යාව 729 ක්.

මේ වනවිට වෛරසය ආසාදනය වූ නාවික හමුදා සෙබළුන් 693 දෙනා අතරින් 357 දෙනෙකු සම්පූර්ණයෙන්ම සුවය ලබා තිබෙනවා.

එසේම, දිවයිනේ වෙනත් ප්‍රදේශවලින් වාර්තා වී ඇති කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 309 ක්.

මේ වනවිට වාර්තා වී ඇති කොරෝනා ආසාදිතයින්ගෙන් රෝහල්ගතව ප්‍රතිකාර ලබන සංඛ්‍යාව 748 ක් බවයි වසංගත රෝග විද්‍යා ඒකකය සඳහන් කළේ.

එසේම, ක්ෂේත්‍රයෙන් අවසන් වරට කොරෝනා ආසාදිතයෙකු වාර්තා වී ඇත්තේ පසුගිය අප්‍රේල් මස 30 වැනිදායී.

කොළඹ – කොටුව – සර් බාරෝන් ජයතිලක මාවතේ පිහිටි ගෆූර් ගොඩනැගිල්ලේ රැඳී සිටි නාවික හමුදා සාමාජිකයෙකුටද කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වීමත් සමඟ එම ගොඩනැගිල්ලේ සිටි තවත් 200 ක පමණ පිරිසක් නිරෝධායනය සඳහා යොමුකර තිබෙනවා.

නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක ලුතිනන් කමාන්ඩර් ඉසුරු සූරියබණ්ඩාර මහතා සඳහන් කළේ මෙම නාවික හමුදා සාමාජිකයා වැලිසර නාවික හමුදා කඳවුරට සේවා සැපයූ කණ්ඩායමක සාමාජිකයෙක් බවයි.

වැලිසර නාවික හමුදා කඳවුරෙන් කොරෝනා ආසාදිතයන් පොකුරක් හමුවීමත් සමඟ එය අවදානම් ප්‍රදේශයක් ලෙස හුදකලා කෙරුණා.

ඒ අනුව වැලිසර නාවික හමුදා කඳවුරට සේවා සපයන පුද්ගලයන් බාහිර සමාජයෙන් වෙන් කර තැබීම සඳහා ගෆූර් ගොඩනැගිල්ල නාවික හමුදාව යටතට පවරා ගත්තා.

මෙහි සිටි පිරිසට සිදුකළ අහඹු පී.සී.ආර්. පරික්ෂණවලදී මෙම නාවික හමුදා සාමාජිකයාට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වූයේ ඊයේ (27) දිනයේදියි.

කෙසේ වෙතත් නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ සේවා සැපයූ මෙම කණ්ඩායම නාවික හමුදාවේ වෙනත් අභ්‍යන්තර කඳවුරු වෙත නිරාවරණය වීමක් සිදුව නොමැති බවයි ෴

+++++++++++++++++++++

***************************************

මෙරට හස්තියෙකුට නිදහස දෙනලෙස ඉස්ලාමාබාද් මහාධිකරණයෙන් නියෝග

(28.05.2020 – 20:29 +0530 – hirunews.lk/sinhala)

වසර 35 ක් තිස්සේ පකිස්ථානයේ ඉස්ලාමාබාද් නුවර සත්වෝද්‍යානයක කල්ගෙවූ මෙරට හස්තියෙකුට නිදහස දෙනලෙස ඉස්ලාමාබාද් මහාධිකරණය නියෝග කළා.

ඒ අනුව මෙරට වනජීවි බලධාරීන් සමග සාකච්ඡා කර දින 30 ක් ඇතුළත එම හස්තියා නිදහස් කිරීමේ කටයුතු සිදුකරන ලෙසයි අධිකරණය දැනුම් දී ඇත්තේ.

1985 වසරේ කාවන් උපත ලබන්නේ ශ්‍රී ලංකාවේදී යි.

එම වසරේම කාවන් පකිස්ථානයට පරිත්‍යාග කෙරෙන්නේ දෙරට අතර පැවති සබඳතාවන් තර කිරීමේ අරමුණින්.

කෙසේ වෙතත් එලෙස පරිත්‍යාග කෙරුණු කාවන් ඉස්ලාමාබාද් සත්වෝද්‍යානයක කොටු කිරීමත් සමඟ වන සත්ත්ව අයිතීන් පිලිබඳ හඩ නගන්නන්ගේ අවධානය ඒ වෙත යොමු වුණා.

තනිව හැසිරුණු කාවන් අවස්ථා කිහිපයකදීම ප්‍රචණ්ඩ වූ බැවින් එම සත්වයා දම්වැල් වලින් සිර කිරීමටත් සත්ව උද්‍යාන බලධාරීන් ක්‍රියා කළා.

එම තීරණයටත් බොහෝ දෙනෙක්ගේ විවේචන එල්ල වුණා.

බංග්ලාදේශයෙන් පැමිණි සහේලි නම් ඇතින්න වසර 5 කට පසු 1990 දී කාවන්ගේ තනි නොතනියට සිටියත් ඇය 2012 වර්ෂයේදී මෙලොව හැරයනවා එතැන් සිට කාවන්ට යළිත් උරුම වන්නේ හුදෙකලා ජීවිතයක්.

2015 වර්ෂයේදී එවක පාකිස්ථානු අගමැති නවාඩ් ෂරීෆ් වෙත යොමුකෙරුණු මහජන පෙත්සමකින්ද ඉල්ලා තිබුණේ කාවන්ට නිදහස ලබාදෙන ලෙසයි.

2016 වසරේදී යදමින් බැඳි කාවන්ගේ අතිශය සංවේදී ඡායාරූප පෙළක්ම අන්තර්ජාලය පුරා සංසරණය වුණා.

ඒ කෙරෙහි අමෙරිකානු පොප් ගායිකා චේර් ගේ අවධානය යොමුවීමත් සමඟ ඇය සේව් කාවන් නමින් ව්‍යාපාරයක් දියත් කලේ මේ හස්තියාගේ නිදහස පතමින්.

වසර කිහිපයකට පෙර ඉස්ලාමාබාද් මහධිකරණය හමුවේ ගොනුකළ පෙත්සමක් මේ අතරතුර විභාගවෙමින් පැවතියා.

චේර් ද එහි පාර්ශ්වකරුවෙකු ලෙස පෙනී සිටිමින් කාවන් වෙනුවෙන් හඩ අවදි කළා.

පෙත්සම් විභාගයේ තීන්දුව ලබාදෙමින් ඉස්ලාමාබාද් අධිකරණය නියෝග කළේ එම සත්වයාට වහා නිදහස ලබාදිය යුතු බවයි.

කාවන් පරිත්‍යාග කළ ලංකාවේ වන සත්ව බලධාරීන්ගේද උපදේශකත්වයද ලබාගන්නා ලෙස අධිකරණය නියෝග කළා.

මේ සියළු කටයුතු දින 30 ක් තුළ අවසන් විය යුතු බවත් අධිකරණය දැනුම් දුන්නා.

මේ නඩු තීන්දුව ගැන චේර් සිය ප්‍රසාදය පළ කරමින් පකිස්ථානු රජයටද තුති පිදුවේ ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින්.

අධිකරණ නියෝගයට අනුව කාවන් සම්බන්ධයෙන් මෙරට බලධාරීන් සමඟ සාකච්ඡා ආරම්භ කර ඇද්දයි අප විමසා බැලුවා.

***************************************

මුහුණ දීමට සිදුව ඇති දුෂ්කරතා කුමක් වුවද පළමුව ජනතාව යන ප්‍රතිපත්තිය අත්හළ නොහැකියි – ජනපති

(28.05.2020 – 21:52 +0530 – hirunews.lk/sinhala)

කොවිඩ්-19 වසංගත අවදානමට ප්‍රජාව ගොදුරු නොවන බව සහතික කරනු සඳහා වන සෞඛ්‍ය නිරෝධායන ප්‍රමිතීන්ට අනුගතවෙමින් මේ සතියේ සිට සීමාවන් ලිහිල් කිරීමට ශ්‍රී ලංකාව පියවර ගෙන ඇතිබව ජනාධිපතිවරයා ප්‍රකාශ කළා.

කැනඩා හා ජැමෙයිකා අග්‍රාමාත්‍යවරුන් සහ එක්සත් ජාතීන්ගේ මහ ලේකම්වරයා විසින් සංවිධාන කරන ලද “කොවිඩ් – 19 සහ ඉන් ඔබ්බට යුගයේ සංවර්ධනය සදහා මූල්‍යකරණය පිළිබඳ ඉහළපෙළේ වීඩියෝ සම්මන්ත්‍රණය” ජනාධිපති ලේකම් කාර්යාලයේ සිට, අද (28) අමතමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මේ බව ප්‍රකාශ කළා.

මුහුණ දීමට සිදුව ඇති දුෂ්කරතා කුමක් වුවද පළමුව ජනතාව යන ප්‍රතිපත්ති අත්හළ නොහැක්කේ වඩාත් අගය කරන එකම වත්කම මානව සංවර්ධනය බවද ජනපතිවරයා එහිදී වැඩිදුරටත් ප්‍රකාශ කළා.

එම ප්‍රකාශය පහතින් :

මේ හමුව කැඳවීම පිළිබඳව කැනඩාවේ සහ ජැමෙයිකාවේ අගමැතිවරුන්ට සහ එක්සත් ජාතීන්ගේ මහ ලේකම්වරයාට මම මගේ ස්තූතිය පිරිනමමි.

ගෝලීය වෙළෙඳාම, සංචාරක ව්‍යාපාරය, ආයෝජන හා සේවා නියුක්තිය අඩපණ වී ඇත. වසංගතය හදිසියේම, වරක් තිරසාර වූ ව්‍යාපාර හා ආර්ථිකයන් විනාශ කරමින් අස්ථාවර තත්ත්වයට පත් කර ඇත.

සැබෑ ආර්ථිකය තවදුරටත් ආදායම් හා රැකිය උත්පාදනය නොකරන හෙයින් රාජ්‍ය මූල්‍ය හිඟය ක්‍රමනුකූලව පහත හෙළමින් සිටි රටවල් පසුබෑමට ලක්ව ඇත. පහත වැටෙන ප්‍රවණතාවක පැවති ණය පරිමාව ඊට අනුරූපව ප්‍රත්‍යවර්තනයකට ලක්ව ඇත.

අක්‍රීය වත්කම් ඉහළ ගොස් ද්‍රවශීලතා අර්බුදයකට මුහුණදීමට සිදු වීමෙන් බැංකු ක්ෂේත්‍රයට පහර එල්ල වී තිබේ. සමස්ත ඉතුරුම් – ආයෝජන සමීකරණය බිඳ වැටී ඇති අතර සංවර්ධනය සදහා මූල්‍ය සම්පාදනය මුල්‍යකරණය ගෝලීය ආර්ථිකයට අදාල මාතෘකාවක් වන්නේ මේ හේතුවෙනි.

ශ්‍රී ලංකාව තුල ශ්‍රම ආදායම, අපනයන ආශ්‍රිත ආදායම, සංචාරක ව්‍යාපාරය සහ සම්බන්ධිත සේවා ආශ්‍රිත ප්‍රධාන සම්ප්‍රේෂණ මාර්ග අපගේ සැබෑ ආර්ථිකයට බලපෑම් එල්ල කර ඇත. සේවා නියුක්තිය හා ජීවනෝපාය අහිමිවීම විශාලය.

අපට මුහුණ දීමට සිදුව ඇති දුෂ්කරතා කුමක් වුවද පළමුව ජනතාව යන අපේ ප්‍රතිපත්ති අත්හළ නොහැක්කේ අප වඩාත් අගය කරන එකම වත්කම මානව සංවර්ධනය නිසාය.

මෙය රජයේ හා ව්‍යාපාරික ආයතනවල පාලනය ඉක්මවා ගිය අර්බුදයක් වන හෙයින් බහුපාර්ශවීය හා ද්විපාර්ශ්වීය නිල ණය ප්‍රදානය කරන ආයතන වෙතින් කොන්දේසි විරහිත අය වැය සහයෝගය සහ රාජ්‍ය ණය සඳහා ණය කල් දැමීමේ වන්දි ආකාරයෙන් අන්තර්ජාතික සහයෝගය ලැබි යුතු වන්නේ පෞද්ගලික ණය සහ ලාභාංශ වෙළෙඳ පොළෙහි විශ්වාසය ඉන් තහවුරු වන බැවිනි.

සංවර්ධනය වෙමින් පවතින රටවලට බහු පාර්ශවීය සහ ද්විපාර්ශවීය රාජ්‍ය ණය ප්‍රදානය කරන්නන්ට බිඳවැටුණු ආර්ථිකය නැවත ගොඩ නැංවීම සඳහා සංවර්ධනය වෙමින් පවතින රටවලට එවන් අවකාශයක් නිර්මාණය කිරීමේ විශේෂ වගකීමක් ඇති අතර ණය දීමේ සාමාන්‍ය කොන්දේසි මත තරයේ රැඳී නොසිටිය යුතු වන්නේ බොහෝ රටවල් සිය ණය බැඳීම් නොකඩවා ඉටු කර ඇති හෙයින් හා රාජ්‍ය ණය ප්‍රදානය කරන්නන් විසින් සැලකිය යුතු සහනයක් මගින් නව අවකාශ සැලසීමට කාලය පැමිණඇති හෙයිනි.

අපේ ප්‍රමුඛතා වන කෘෂි හා ආහාර සුරක්ෂිතතාව, පරිසර සංරක්ෂණය, පුනර්ජනනීය බලශක්ති මූලාශ්‍ර, ඩිජිටල් ආර්ථිකය හා ඩිජිටල් ආණ්ඩුකරණය. ග්‍රාමීය ආර්ථිකය හා දිළිදුකම අඩු කිරීම, ගම්මාන සඳහා වැඩි දියුණු කළ සබඳතා තුලින් ජනතාවට හා ව්‍යාපාරික ප්‍රජාවට වෙළඳපොළ ප්‍රවේශය සහ අපගේ පරිසර ආරක්ෂණ උපායමාර්ග හා අනුකූලව නගර නිර්මාණය පුරා මාස 02 කට ආසන්න කාලයක් ආර්ථිකය වසා දැමීම හේතුවෙන් පසුබෑමට ලක්ව ඇත.

කොවිඩ්-19 වසංගත අවදානමට ප්‍රජාව ගොදුරු නොවන බව සහතික කරනු සඳහා වන සෞඛ්‍ය නිරෝධායන ප්‍රමිතීන්ට අනුගතවෙමින් මේ සතියේ සිට සීමාවන් ලිහිල් කිරීමට අපි පියවර ගෙන ඇත්තෙමු. කෙසේ වෙතත්, ආර්ථිකයට සැබෑ ලෙස ඇති වූ අලාභය මාස දෙකක කාලයක් වනවා සේම රට සාමාන්‍ය තත්වයට පත්වීමට අපේක්ෂිත කාල සීමාව දීර්ග වනු ඇති බැවින්, එවැනි පහසුකම් සලසන සියලු බාහිර අධාර “සංවර්ධන කේන්ද්‍රීය” විය යුතුය.

සෑම ප්‍රධාන ද්විපාර්ශ්වික හා බහුපාර්ශ්වික ණය සපයන්නන් විසින් ලබාදෙන නිල ණය සහ මධ්‍යකාලීන හදිසි අයවැය ආධාර ණය පෞද්ගලික ණය වගකීම් සපුරාලීමට අවශ්‍ය සාර්ව ආර්ථික අවකාශය විවෘත කරනවා සේම එය වෙළෙඳ හා ගෙවීම් ක්‍රම ලිහිල් කර පෞද්ගලික අංශයේ ණය හිමියන්ට වර්ධනය නැවත සකසා ආයෝජනයට අවශ්‍ය විශ්වාසය ගොඩනැගීමට අවකාශය සලසයි.

සංවර්ධන මූල්‍යකරණයේ අවශ්‍යතාව මම මහජන චීන සමූහාණ්ඩුවේ ජනාධිපති අතිගරු ෂි ජින් පිං මැතිතුමා, ඉන්දියානු අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මැතිතුමා සහ එක්සත් ජනපදයේ ජාතික ආරක්ෂක උපදේශක රොබට් ඕ බ්‍රයන් මහතා සමග කළ සාකච්ඡාවලදී අවධාරණය කළෙමි.

කෙසේ වෙතත්, කණගාටුවට කරුණ නම් මධ්‍ය ආදායම් ආර්ථිකයක් සහිත රටවල්, සංවර්ධනය වෙමින් තිබෙන රටවල් ලෙස පවතින වර්ගීකරනය ඇතුළත උපග්‍රහණය වීම හේතුවෙන් එම රටවල අවශ්‍යතාව මුළුමනින්ම සපුරාගැනීමට ඇති අවකාශය සීමා වී තිබීමයි.

ලොව ප්‍රධාන පෙළේ ආධාර කණ්ඩායම්වල හා නායකයන්ගේ වගකීම තම තමන් අතර කොන්දේසි පනවා නොගෙන මහා පරිමාණයේ ද්විපාර්ශ්වික, බහුපාර්ශ්වික නියෝජිත ආයතනවල කඩිනම් ක්‍රියාමාර්ග වේගවත් කොට සංවර්ධනය වෙමින් පවතින හා මධ්‍ය ආදායම් ආර්ථිකයන්හි සංවර්ධන හවුල්කරුවන් ලෙස ඉදිරියට යාමයි.

අධ්‍යාපනය, සෞඛ්‍යය , කාන්තාවන් හා ළමයින් නව අපනයන කර්මාන්ත, ආහාර සුරක්ෂිතතාව හා වඩා යහපත් හා ස්ථාවර ලොවක් වෙනුවෙන් පරිසර සුරැකීම ඇතුළු මානව සංවර්ධන අංශ කෙරෙහි අවධානය යොමු කිරීමට රටවල් දිරි ගන්වන අතර හදිසි ආධාර පහසුකම් තුලින් සංවර්ධනය වෙමින් පවතින හා මධ්‍ය ආදායම් රටවලට සහය වන්නේ කෙසේදැයි මේ කතිකාවත තුළින් එකඟත්වයක් මතු විය යුතුය.

ගරු මැතිඳුනි, “ආරෝග්‍ය පරමා ලාභා හෙවත් යහපත් සෞඛ්‍යය පරම ධනය වේ” යන බුදු වදන සිහිපත් කරමින් මම මගේ අදහස් දැක්වීම අවසන් කරමි.

ස්තූතියි.

***************************************

වැලිකඩ සිද්ධියට වත්මන් ජනපති ඈඳා ගැනීමේ යහපාලන ආණ්ඩුවේ උත්සහයක් ගැන අනාවරණයක්

(28.05.2020 – 22:44 +0530 – hirunews.lk/sinhala)

2012 වසරේදී වැලිකඩ බන්ධනාගාරයේ ඇති වූ කළහකාරී සිදුවීමට එවක හිටපු ආරක්ෂක ලේකම් වර්තමාන ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඈදා ගැනීමේ දේශපාලනික උත්සාහයක යහපාලන ආණ්ඩුව නිරත වූ බව විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ බන්ධනාගාර අධිකාරි එමිල් රංජන් ළමාහේවා මහතා අද (28) අනාවරණ කළා.

ඒ දේශපාලන පළිගැනීම්වලට ලක්වූවන් පිළිබඳ සොයාබලන ජනාධිපති කොමිසම හමුවේදීයි.

***************************************

ශ්‍රී ලංකාවේ කොරෝනා වෛරස් ආසාදිතයන් ගණන 1530 ක් දක්වා ඉහළට

(28.05.2020 – 23:45 +0530 – hirunews.lk/sinhala)

මෙරටින් වාර්තාවන කොරෝනා වෛරස් ආසාදිතයන් ගණන 1530 ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.

ඒ අද තවත් ආසාදිතයන් 6 දෙනෙකු හඳුනා ගැනීමත් සමගයි.

අද (28) දිනයේ මේ දක්වා වාර්තාවී ඇති ආසාදිතයන් ගණන 61 ක්.

මේ වන විට ශ්‍රී ලංකාවෙන් වාර්තාවී ඇති කොරෝනා වෛරස් ආසාදිතයන්ගෙන් 775 ක් රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් පසුවනවා.

සුවය ලැබූ 745 ක් නිවෙස් වෙත පිටත්ව ගොස් ඇති අතර සිදුවූ මරණ සංඛ්‍යාව 10 ක් ෴

***************************************

පාර්ලිමේන්තුවට සමුදෙන තොණ්ඩමන්

(28.05.2020 – 19:30 +0530 – sinhala.adaderana.lk)

අභාවප්‍රාප්ත ලංකා කම්කරු කොංග්‍රසයේ නායක, අමාත්‍ය ආරුමුගම් තොන්ඩමන් මහතාගේ දේහය අද (28) පෙරවරුවේ පාර්ලිමේන්තු සංකීර්ණය වෙත ගෙන ගියේය.

දේහය පාර්ලිමේන්තු සංකීර්ණයේදී භාරගනු ලැබුවේ, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු දේශපාලනඥයින් විසින්.

ලංකා කම්කරු කොංග්‍රසයේ නායක, අභාවප්‍රාප්ත අමාත්‍ය ආරුමුගම් තොන්ඩමන් මහතාගේ දේහයට අවසන් ගෞරව දැක්වීම සඳහා දේහය තැන්පත් කර ඇති බත්තරමුල්ල, කුඹුක්ගහදූව මාවතේ පිහිටි නිවස වෙත දේශපාලඥයින් ඇතුළු විශාල පිරිසක් පැමිණියේය.

තොණ්ඩමන් මහතාගේ දේහය පාර්ලිමේන්තු සංකීර්ණය වෙත රැගෙන ආවේ අද (28) පෙරවරු 10:30 ට පමණ.

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු පිරිස විසින් එහිදී තොන්ඩමන් මහතාගේ දේහය භාරගනු ලැබුවේය.

පාර්ලිමේන්තු සම්ප්‍රදායානුකූලව දේහය රතු පළස මතින් පාර්ලිමේන්තු සංකීර්ණයට රැගෙන එනු ලැබුවේ ඉන් අනතුරුවයි.

පසුව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා, හිටපු කථානායක කරූ ජයසුරිය මහතා සහ පාර්ලිමේන්තුවේ හිටපු මැති ඇමතිවරුන් දේහයට අවසන් ගෞරව දැක්වීමට එක් විය.

අනතුරුව දේහය කොළඹ 03, ආනන්ද කුමාරස්වාමි මාවතේ පිහිටි ලංකා කම්කරු කොංග්‍රස් මූලස්ථානයට අද (28) පස්වරුවේ රැගෙන එනු ලැබුවේය.

තොන්ඩමන් මහතාගේ කොත්මලේ රම්බොඩ පිහිටි නිවස වෙත හෙට (29) දේහය රැගෙන ගොස් මැයි 30 වනදා කොටගල පිහිටි ලංකා කම්කරු කොංග්‍රස් මූලස්ථානයේ එය තැන්පත් කිරීමට කටයුතු සූදානම් කර තිබේ.

දේහය පිළිබඳ අවසන් කටයුතු රාජ්‍ය අනුග්‍රහය සහිතව ලබන 31 වනදා නෝර්වුඩ් ක්‍රීඩාංගනයේදී සිදුකිරීමට නියමිතයි.

ආරුමුගම් තොන්ඩමන් මහතාගේ හදිසි අභාවය හේතුවෙන් මධ්‍යම කඳුකරයේ වතු කම්කරු ජනතාව අදත් තම දෛනික සේවා කටයුතුවලින් ඉවත්වී ශෝකය පළ කළේ මෙලෙසින්.

කඳුකරයේ බොහෝ නගරවල ද වෙළෙඳසැල් වසා දමා සුදු කොඩිවලින් මාර්ග සරසා ඇති අයුරු දක්නට ලැබුණි.

මස්කෙළිය බ්‍රන්ස්වික් තේ වතුයායේ කම්කරුවන් පිරිසක් හින්දු චාරිත්‍රානුකූල පහන් දල්වා උපහාර දැක්වීමට ද කටයුතු කර තිබුණි.

මේ අතර අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සහ ලංකා කම්කරු කොංග්‍රසයේ දේශපාලන මණ්ඩල සාමාජිකයින් අතර හමුවක් විජේරාම මාවතේ පිහිටි අගමැති නිවසේදී ඊයේ (27) පැවැත් විය.

අභාවප්‍රාප්ත ආරුමුගම් තොන්ඩමන් මහතා වෙනුවට ඉදිරි මහමැතිවරණයේදී නුවරඑළිය දිස්ත්‍රික්කයෙන් තරග කිරීම සඳහා ඔහුගේ පුත්‍රයා වන 26 හැවිරිදි ජීවන් තොන්ඩමන් මහතාට නාමයෝජනා ලබාදෙන්නැයි ලංකා කම්කරු කොංග්‍රසය අග්‍රාමාත්‍යවරයාගෙන් මෙහිදී ඉල්ලීමක් කර තිබේ.

ලංකා කම්කරු කොංග්‍රසය ශ්‍රී ලංකා නිදහස් පොදුජන සන්ධානය නියෝජනය කරන දේශපාලන පක්ෂයක් වන අතර මෙම ඉල්ලීම සම්බන්ධයෙන් අදාල ඉදිරි පියවර ගන්නා බවට අග්‍රාමාත්‍යවරයා එහිදී සඳහන් කර ඇතැයි අග්‍රාමාත්‍ය කාර්යාලය නිකුත් කළ නිවේදනයේ සඳහන්.

***************************************

විදෙස් රටවල සිරවී සිටි ශ්‍රී ලාංකික සිසුන් 6000 කට ආසන්න ගණනක් දිවයිනට ගෙන්වාගෙන අවසන්

(28.05.2020 – 18:44 +0530 – sinhala.adaderana.lk)

කොවිඩ් නයින්ටීන් වසංගත රෝග තත්ත්වය හේතුවෙන් විදෙස් රටවල සිරවී සිටි ශ්‍රී ලාංකික සිසුන් 6000 කට ආසන්න සංඛ්‍යාවක් මේ වන විට දිවයිනට ගෙන්වාගෙන ඇති බව විදේශ කටයුතු පිළීබඳ ජනාධිපති අතිරේක ලේකම් මහාචාර්ය අද්මිරාල් ජයනාත් කොළඹගේ මහතා පවසයි.

රටවල් 21 කින් මෙම සිසුන් දිවයිනට ගෙන්වා ගැනිමට කටයුතුකර ඇති බව ඔහු සදහන් කළේය.

ටී.වී දෙරණ ඔස්සේ අද (28) පෙරවරුවේ විකාශය වූ ‘බිග් ෆෝකස්’ වැඩසටහනට එක්වෙමින් අද්මිරාල් ජයනාත් කොළඹගේ මහතා මේ බව සදහන් කළේය ෴

+++++++++++++++++++++++++++++++++++

ජාතික අක්ෂි රෝහලේ සායන සඳහා කලින් දිනයක් වෙන්කරවා ගන්න

(28.05.2020 – 16:05 +0530 – sinhala.adaderana.lk)

ජාතික අක්ෂි රෝහලේ සායන කටයුතු සඳහා පැමිණෙන රෝගීන් කලින් දිනයක්, වේලාවක් වෙන්කර ගෙන පැමිණෙන ලෙස ජාතික අක්ෂි රෝහල ජනතාවගෙන් ඉල්ලීමක් කරයි.

කොරෝනා වෛරසය ව්‍යාප්තියේ අවධානම ‌හේතුවෙන් සෞඛ්‍ය කාර්ය මණ්ඩලයේ හා රෝගී සත්කාරක සේවා ලබා ගැනීමට පැමිණෙන ජනතාවගේ ආරක්ෂාව සඳහා හදිසි අනතුරු සහ සායනික ප්‍රතිකාර සහ අත්‍යවශ්‍ය සේවාවන් ලබා ගැනීම සඳහා පමණක් අක්ෂි රෝහලට පැමිණෙන ලෙස ජාතික අක්ෂි රෝහල කොවිඩ් 19 වසංගත මුල් අවස්ථාවේ ජනතාවගෙන් ඉල්ලීමක් කරන ලදී.

ක්‍රමක් ක්‍රමයෙන් රට විවෘත කිරීමත් සමඟ ජාතික අක්ෂි රෝහලේ අක්ෂි සායන කටයුතු සමාජ දුරස්ථතාවය හා සෞඛ්‍ය ආරක්ෂණ ක්‍රමවේදයන් භාවිතා කරමින් නැවතත් ආරම්භ කිරීම කර ඇත.

ඒ සඳහා ජාතික අක්ෂි රෝහලේ සායනය, සායනික ප්‍රතිකාර සේවා සිදු කරන විශේෂඥ වෛද්‍යවරයා සහ ඔහුට හිමි දුරකථන අංකයක් ද ජනතාවට ලබා දීමට රෝහල කටයුතු කර තබේ.

නමුත් ඇදිරිනීතිය ලිහිල් කිරීමත් සමඟ සායනික ප්‍රතිකාර සඳහා දුරකථනයෙන් දිනයක්, වේලාවක් වෙන් කර නොගෙන විශාල ජනතාවක් සායනික ප්‍රතිකාර සඳහා ජාතික අක්ෂි රෝහලට පැමිණීමට පටන්ගෙන ඇත.

මේ නිසා රෝගී ජනතාවට නොයෙක් අපහසුතාවයන්ට මුහුන දීමට සිදුව ඇත. එම නිසා අපහසුතාවයකින් තොරව සායනික ප්‍රතිකාර ලබා ගැනීම සඳහා රෝගීන් පැමිණෙන විට පහත සඳහන් සායනික දුරකථන අංක වලට කතා කර ඔබට ලබා දෙන දිනයට හා වේලාවට පැමිණෙන ලෙස ජාතික අක්ෂි රෝහලේ අධ්‍යක්ෂිකා වෛද්‍ය ඩබ්.එල්.එල්.යු.සී කුමාරතිලක මහත්මිය ජනතාවගෙන් ඉල්ලා සිටියි.

මේ පිළිබඳව අක්ෂි රෝහලේ අධ්‍යක්ෂිකා වෛද්‍ය ඩබ්.එල්.එල්.යු.සී කුමාරතිලක මහත්මිය සිදුකරන ප්‍රකාශය ලබාදීමට කටයුතු කර ඇත.

කාමර අංක 01

අක්ෂි ශල්‍ය විශේෂඥ වෛද්‍ය මුදිතා කුලතුංග මහත්මිය – 011 768 2741

අක්ෂි ශල්‍ය විශේෂඥ වෛද්‍ය මානෙල් පැස්කුවල් මහත්මිය – 011 768 2554

කාමර අංක 02

අක්ෂි ශල්‍ය විශේෂඥ වෛද්‍ය දීපානි වේවැල්වල මහත්මිය – 011 768 2558

අක්ෂි ශල්‍ය විශේෂඥ වෛද්‍ය ප්‍රදීපා සිරිවර්ධන මහත්මිය – 011 789 8301

කාමර අංක 03

අක්ෂි ශල්‍ය විශේෂඥ වෛද්‍ය කුෂ්ලානි ගුණරත්න මහත්මිය – 011 768 2391

අක්ෂි ශල්‍ය විශේෂඥ වෛද්‍ය එම්.ඩී.එස් ගුණතිලක මහතා – 011 768 2549

කාමර අංක 14

අක්ෂි ශල්‍ය විශේෂඥ වෛද්‍ය කේ.ආර් දයාවංශ මහතා – 011 768 2534

අක්ෂි ශල්‍ය විශේෂඥ වෛද්‍ය චමීර බණ්ඩාර මහතා – 011 768 2564

අක්ෂි ශල්‍ය විශේෂඥ වෛද්‍ය කූසුම් රත්නායක මහතා – 011 768 2657

රෙටිනල් සායනය

අක්ෂි ශල්‍ය විශේෂඥ වෛද්‍ය කපිල බන්දුතිලක මහතා – 011 789 8344

අක්ෂි ශල්‍ය විශේෂඥ වෛද්‍ය මංගල ධනපාල මහතා – 011 768 2650

අක්ෂි ශල්‍ය විශේෂඥ වෛද්‍ය නලින්ද සමරකෝන් මහතා – 011 768 2094

***************************************

කුමන හේතුවක් නිසාවත් ආගමික හිමිවරු සංවර්ධන නිලධාරීන් ලෙස ස්ථානගත කරන්නේ නෑ – අමාත්‍ය ඩලස් අලහප්පෙරුම

(28.05.2020 – 15:54 +0530 – sinhala.adaderana.lk)

ඉදිරියේදී භික්ෂූන් වහන්සේලා හෝ පූජක පක්ෂයේ පූජකතුමන්ලා හෝ කන්‍යා සොයුරියන් කිසිවෙක් සංවර්ධන නිලධාරීන් ලෙස ස්ථානගත නොකරන බවත්, ඔවුන් සියලු දෙනා ගුරුවරුන් ලෙස අධ්‍යාපන පද්ධතියට ඇතුළත් කරගන්නා බවත් අධ්‍යාපන, ක්‍රීඩා හා තරුණ කටයුතු අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා සඳහන් කරයි.

උපාධිධාරී අභ්‍යාස යෝජනා ක්‍රමය වරින් වර විවිධ රජයන් විසින් අඩු වැඩි වශයෙන් ක්‍රියාවට නංවන ලද්දක් වන අතර, එහිදී භික්ෂූන් වහන්සේලා ඇතුළු පූජක පක්ෂය විවිධ රාජ්‍ය ආයතන වල සංවර්ධන නිලධාරීන් ලෙස පත් කිරීම තුළ බරපතළ ගැටලුවක් මතුවී තිබුණි.

මෙම තත්ත්වය සම්බන්ධයෙන් මහනායක හිමිවරුන් සහ අගරදගුරුතුමන්ලා විසින් ජනාධිපතිතුමන් සහ අගමැතිතුමන් දැනුවත් කිරීමෙහි ප්‍රතිඵලයක් ලෙස මෙම වර්ෂයේ ආරම්භයේදී ඒ සම්බන්ධයෙන් කැබිනට් පත්‍රිකාවක් නිකුත් කරන ලදී.

ඒ අනුව ඉදිරියේදී භික්ෂූන් වහන්සේලා ප්‍රමුඛ පූජ්‍ය පක්ෂය කිසිම පූජකවරයෙකු හෝ කන්‍යා සොයුරියක් කිසිම රාජ්‍ය ආයතනයක සංවර්ධන නිලධාරී තනතුරෙහි ස්ථානගත නොකිරීමට තීරණය කොට ඇත.

මෙහි ප්‍රථම පියවර සලකුණු කරමින් අධ්‍යාපන අමාත්‍යාංශයේ සංවර්ධන නිලධාරී සේවයෙහි යෙදී සිටි භික්ෂූන් වහන්සේලා විසි තුන් දෙනෙකුට අද (27) අධ්‍යාපන අමාත්‍යතුමන් ගේ ප්‍රධානත්වයෙන් අධ්‍යාපන අමාත්‍යාංශ පරිශ්‍රයේදී ගුරු පත්වීම් ප්‍රදානය කරනු ලැබිණි.

මෙහිදී වැඩි දුරටත් කරුණු දැක්වූ අධ්‍යාපන අමාත්‍යවරයා,

“මෙය පාසල් පද්ධතිය හා රටේ අධ්‍යාපනය අභියෝගයකට ලක් වූ අවස්ථාවක්. රට වෙනස් කරන්න අවශ්‍ය වන්නේ ප්‍රතිපත්තිමය වෙනසක් විතරක් නෙමෙයි.

දරුවන් තාවකාලිකව නිවාස අඩස්සියේ සිටින මොහොතක, විභාග ගැන අධ්‍යාපනය ගැන තාවකාලිකව අපේක්ෂාභංගත්වයට පත්වෙලා ඉන්න වෙලාවක ඔබ වහන්සේලාට, පූජක තුමන්ලාට, කන්‍යා සොයුරියන්ට, මේ සඳහා මැදිහත් වන්න කියලා මම ආරාධනා කරනවා…” යැයිද පැවසීය ෴

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *