මෙරට කොරෝනා ආසාදනය වූ රෝගීන් සංඛ්‍යාව 1106 දක්වා ඉහළට

+++++++++++++++++++++++++++++++++++

= මේ පිටුවේ සිරස්තල =

• මෙරට කොරෝනා ආසාදනය වූ රෝගීන් සංඛ්‍යාව 1106 දක්වා ඉහළට

• විශ්වවිද්‍යාල ප්‍රවේශ අයදුම්පත් සහතික කිරීමට ලබාදුන් කාලසීමාව දීර්ඝ කෙරේ

• නාය යාමේ අවදානමකට මුහුණ දී සිටින විකල්පයක් නොමැති ජනතාව (විඩියෝ)

• ‘හිරු රතු මිනිත්තුව’ : වසර 4 ක් තිස්සේ බීමට ජල පොදක් සොයාගැනීමට දුක් විඳින ගම්වැසියන් පිරිසක් (විඩියෝ)

• විපක්ෂයේ චෝදනා ප්‍රතික්ෂේප කරන බව හිටපු මන්ත්‍රී චන්දිම වීරක්කොඩි කියයි (විඩියෝ)

• රුපියල වැඩි අගයකින් අවප්‍රමාණ වී ඇතැයි මහ බැංකුව කියයි (විඩියෝ)

• කුඩා දරුවන්ට බලපෑම් කරන ‘කවසාකි’ (විඩියෝ)

• ‘සුව විරුවන්’ සොයා හිරු ගිය ගමන (විඩියෝ)

• කොළඹ සහ ගම්පහ හැර පළාත් අතර බස් රථ සේවා අනිද්දා (26) සිට (විඩියෝ)

• සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේදයන්ට අනුකූලව මැතිවරණය පැවැත්වීම ගැන දේශපාලන පක්ෂවලින් යෝජනා කැඳවයි (විඩියෝ)

• පාස්කු ප්‍රහාරය ගැන තවත් හෙළිදරව්වක් (විඩියෝ)

• ජනපති කොමිසමේ දී හෙළි වූ වැළකුණු ටාජ් ප්‍රහාරයේ සුලමුල (විඩියෝ)

• සහල් මෝල් හිමියන් වෙළඳුන් නොමඟ යවයි (විඩියෝ)

• කොළඹට සහ ගම්පහට රජයෙන් සහල් – මෝල් හිමියන්ගේ ක්‍රියාකලාපයට දොස් (විඩියෝ)

• එළැඹෙන මහ මැතිවරණය සම්බන්ධයෙන් අදත් විවිධ අදහස් (විඩියෝ)

• අටළුගමදී හිරු මාධ්‍යවේදියාට බාධා කර මෝටර් රථයට අලාභ හානි කරයි (විඩියෝ)

• අටුලුගමදී ‘අද දෙරණ’ මාධ්‍යවේදියාට ප්‍රහාරයක් – පහර දුන් හයදෙනෙක් (06) අත්අඩංගුවට (විඩියෝ)

+++++++++++++++++++++++++++++++++++

මෙරට කොරෝනා ආසාදනය වූ රෝගීන් සංඛ්‍යාව 1106 දක්වා ඉහළට

(24.05.2020 – 16:31 +0530 – hirunews.lk/sinhala)

කොරෝනා වෛරසය ආසාදනය වූ තවත් පුද්ගලයින් 12 දෙනෙකු වාර්තා වීමත් සමඟ මෙරට සමස්ත කොරෝනා ආසාදිතයින්ගේ සංඛ්‍යාව 1106 දක්වා ඉහළ ගොස් තිබෙනවා.

ඔවුන් 12 දෙනාම කුවේට් රාජ්‍යයේ සිට මෙරටට පැමිණ නිරෝධායන මධ්‍යස්ථානවල නිරෝධායනයට ලක්වෙමින් සිටින අය බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

අද (24) දිනයේදී තවත් කොරෝනා ආසාදිතයින් 05 දෙනෙකු වාර්තා වූ අතර, ඔවුන් ද කුවේට් රාජ්‍යයේ සිට මෙරටට පැමිණි පුද්ගලයින්.

ඒ අනුව අද (24) දිනයේදී මේ දක්වා කාලය තුළ නව කොරෝනා ආසාදිත පුද්ගලයන් 17 දෙනෙකු හඳුනාගෙන තිබෙනවා ෴

+++++++++++++

ඇඳිරි නීතිය තවදුරටත් ලිහිල් කරනු ලබන පසුබිමක කොරෝනා ව්‍යාප්තිය සම්බන්ධයෙන් දැඩි අවධානයක් යොමු කළ යුතු බව වසංගත රෝග විද්‍යා ඒකකය පවසනවා.

ශ්‍රී ලංකාව රටක් ලෙස සාර්ථකව කොරෝනා ව්‍යාප්තිය පාලනය කළද සමාජය තුළ කොරෝනා වෛරස් ආසාදිතයෙකු නොමැති බව තහවුරුවක් ලබාදීම සඳහා තවත් කාලයක් ගතවනු ඇති බවයි වෛද්‍ය මතය වී ඇත්තේ.

සමාජ දුරස්ථභාවය, අත් සේදීම මෙන්ම ජනාකීර්ණ ප්‍රදේශවලදී මුඛ ආවරණ පැළඳීම රට විවෘත වුවද අනිවාර්යයෙන්ම සිදුකළ යුතු බවයි වසංගත රෝග විද්‍යා ඒකකයේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර හිරු ප්‍රවෘත්ති අංශයට අදහස් දක්වමින් කියා සිටියේ.

ශ්‍රී ලංකාව තුළ මේ දක්වා කොරෝනා ආසාදිතයන් හඳුනාගැනීමේ පී.සී.ආර්. පරීක්ෂණ 53,092 ක් සිදුකර තිබෙනවා ෴

+++++++++++++

ඊයේ (23) දිනයේදී පමණක් සිදුකළ පී.සී.ආර්. පරීක්ෂණ සංඛ්‍යාව 1,998 ක් ෴

කොරෝනා වෛරසය වැළදී ඇත්දැයි තහවුරු කර ගැනීම සඳහා දිනකට පී.සී.ආර්. පරීක්ෂණ 6,000ක් සිදුකිරීමට හැකිවන පරිදි ඊට අදාළ සේවා පුළුල් කිරීමට බලාපොරොත්තු වන බව සෞඛ්‍ය ඇමතිනි පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය පවසනවා.

පසුගිය ජනවාරි මස සිට අද (24) දක්වා සිදුකළ පී.සී.ආර්. පරීක්ෂණ සංඛ්‍යාව 50,000 ඉක්මවා ඇති අතර, ඉන් 16,059 ක් සිදුකර ඇත්තේ බොරැල්ල වෛද්‍ය පර්යේෂණ ආයතනයෙන් බවයි අමාත්‍යවරිය සඳහන් කළේ ෴

+++++++++++++++++++++++++++++++++++

විශ්වවිද්‍යාල ප්‍රවේශ අයදුම්පත් සහතික කිරීමට ලබාදුන් කාලසීමාව දීර්ඝ කෙරේ

(24.05.2020 – 16:15 +0530 – hirunews.lk/sinhala)

විශ්වවිද්‍යාල ප්‍රවේශයට සුදුසුකම් ලැබූ සිසුන්ගේ ප්‍රවේශ අයදුම් සහතික කරවා ගැනීම සඳහා ලබාදී තිබූ කාලසීමාව යළි දීර්ඝ කර තිබෙනවා.

අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කළේ ඒ අනුව මේ මස 27, 28 සහ 29 යන තෙදින තුළ අයදුම්පත් සහතික කරවා ගත හැකි බවයි.

එක් එක් පාසල්වල විදුහල්පතිවරයා හෝ නියෝජ්‍ය විදුහල්පතිවරයා විසින් උසස් පෙළ සමත් වී විශ්වවිද්‍යාල ප්‍රවේශය ලද සිසුන්ගේ අයදුම්පත් සහතික කරවා දීම සිදුකළ යුතු බවයි අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් දැනුම් දෙන්නේ ෴

***************************************

නාය යාමේ අවදානමකට මුහුණ දී සිටින විකල්පයක් නොමැති ජනතාව

(24.05.2020 – 14:10 +0530 – hirunews.lk/sinhala)

නායයාමේ අවදානමක් හේතුවෙන් ගැටලු රැසකට මුහුණ දී සිටින පිරිසක් පිළිබඳව පැල්මඩුල්ල ප්‍රදේශයෙන් වාර්තාවනවා.

කෙසේ වෙතත් අවදානමට මුහුණදීම හැර අන් විකල්පයක් තමන්ට නොමැති බවයි ඔවුන් පවසන්නේ.

***************************************

‘හිරු රතු මිනිත්තුව’ : වසර 4 ක් තිස්සේ බීමට ජල පොදක් සොයාගැනීමට දුක් විඳින ගම්වැසියන් පිරිසක්

(24.05.2020 – 14:06 +0530 – hirunews.lk/sinhala)

වසර 4 ක් තිස්සේ බීමට ජල පොදක් සොයාගැනීමට දහ දුක් විඳින ගම්වැසියන් පිරිසක් පිළිබඳව කෑගල්ල ප්‍රදේශයෙන් ‘හිරු රතු මිනිත්තුව’ට වාර්තා වුණා.

අද (24) ‘රතු මිනිත්තුව’ වෙන්වන්නේ ඔවුන්ට සාධාරණයක් ඉටු කිරීම උදෙසායි.

***************************************

විපක්ෂයේ චෝදනා ප්‍රතික්ෂේප කරන බව හිටපු මන්ත්‍රී චන්දිම වීරක්කොඩි කියයි

(24.05.2020 – 13:54 +0530 – hirunews.lk/sinhala)

රජයට මූල්‍ය පාලනය සිදුකළ නොහැකි බවට විපක්ෂය නගන චෝදනා ප්‍රතික්ෂේප කරන බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දිම වීරක්කොඩි මහතා පවසනවා.

නෙළුම් මාවත පක්ෂ මූලස්ථානයේ අද (24) පෙරවරුවේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කළා.

+++++++++++++++++++++++++++++++++++

රුපියල වැඩි අගයකින් අවප්‍රමාණ වී ඇතැයි මහ බැංකුව කියයි

(24.05.2020 – 13:46 +0530 – hirunews.lk/sinhala)

ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල මැයි 15 වැනිදා වනවිට 3‍% කට වඩා වැඩි අගයකින් අවප්‍රමාණ වී ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුව පවසනවා.

කෙසේ වෙතත් යූරෝල ස්ටර්ලින් පවුම වැනි වෙනත් විදේශ ව්‍යවහාර මුදල්වලට සාපේක්ෂව රුපියල අතිප්‍රමාණය වී තිබීම විශේෂත්වයක්.

ශ්‍රී ලංකා මහබැංකුවේ දත්ත වලට අනුව රුපියල 2019 නොවැම්බර් මාසයේ සිට මේ වසරේ මාර්තු මාසයේ මැද දක්වා ස්ථාවරව පැවතියේ ඊට පෙර පෙන්වූ අස්ථාවර භාවයෙන් මිදෙමින්.

නමුත් කොවිඩ් 19 පැතිරීමත් සමග ජාත්‍යන්තර හා දේශිය වෙළඳපොල තුල ඇතිවූ අහිතකර තත්ත්වයන් හේතුවෙන් මාර්තු අග සිට අප්‍රේල් මැද දක්වා රුපියල තියුණු ලෙස අවප්‍රමාණය වුණා.

කෙසේ වෙතත් මැයි මස පළමු සතිය තුල සිදු වූ අතිප්‍රමාණය වීමත් සමග විනිමය අනුපාතය යළි ක්‍රමයෙන් ස්ථාවර වී ඇති බව මහබැංකු දත්ත පෙන්වා දෙනවා.

කෙසේ වෙතත් මැයි මස 15 වනදා වන විට ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියල 3.4‍% කින් අවප්‍රමාණය වී ඇති බව මහබැංකු වාර්තාවල සඳහන්.

පසුගිය කාලය තුල රුපියල ජපන් යෙන්වලට සාපේක්ෂවද අවප්‍රමාණය වුණා.

කෙසේ වෙතත් කැනේඩියානු සහ ඕස්ට්‍රේලියානු ඩොලරයන්ට සාපේක්ෂව රුපියල 4‍% කට වඩා වැඩි අගයන්ගෙන් අතිප්‍රමාණය වී තිබීම කැපී පෙනෙන කරුණක්.

ඊට අමතරව යුරෝ, ස්ටර්ලින් පවුම සහ ඉන්දියානු රුපියලට සාපේක්ෂව ද රුපියල අතිප්‍රමාණය වී තිබෙනවා.

මේ අතර මෙරට විදේශ සංචිතය ශක්තිමත් කරලීම සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතාගෙන් ඩොලර් බිලියන 1.1 ක විනිමය හුවමාරු පහසුකමක් ඉල්ලා සිටීම පිළිබඳව ඉන්දීය මාධ්‍ය අද විශේෂ අවධානයක් යොමුකර තිබුණා.

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් පසුගියදා සාක් හුවමාරු පහසුකම යටතේ ඩොලර් මිලියන 400 ක් ඉල්ලා සිටි අතර ජනාධිපතිවරයා අදාළ මූල්‍ය පහසුකම ඉල්ලා ඇත්තේ ඊට අමතරවයි.

++++++++++++++++

මෙරට විදේශ සංචිතය ශක්තිමත් කරලීම සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා, ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා වෙතින් ඩොලර් බිලියන 1.1 ක විනිමය හුවමාරු පහසුකමක් ඉල්ලා සිටීම පිළිබඳව ඉන්දීය මාධ්‍ය අද (24) විශේෂ අවධානයක් යොමුකර තිබුණා.

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් පසුගියදා සාක් හුවමාරු පහසුකම යටතේ ඩොලර් මිලියන 400 ක් ඉල්ලා සිටි අතර, ජනාධිපතිවරයා අදාළ මූල්‍ය පහසුකම ඉල්ලා ඇත්තේ ඊට අමතරවයි.

ජනාධිපතිවරයාගේ ඉල්ලීමට ශ්‍රී ලංකාවට වාසිදායක කොන්දේසි යටතේ සහය වීමට තමන් පෞද්ගලිකව කැපවන බවයි අගමැති මෝදි මහතා ජනාධිපතිවරයා සමඟ පැවති දුරකථන සංවාදයේදී ප්‍රකාශ කර ඇත්තේ.

කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය සංවර්ධනය කරනු ලබන්නේ ඉන්දීය සහයෙන්.

එහි වැඩකටයුතු කඩිනම් කරන ලෙස ජනාධිපතිවරයා ඉන්දීය අග්‍රාමාත්‍යවරයාගෙන් ඉල්ලීමක්ද කර තිබෙනවා ෴

+++++++++++++++++++++++++++++++++++

කුඩා දරුවන්ට බලපෑම් කරන ‘කවසාකි’

(24.05.2020 – 13:41 +0530 – hirunews.lk/sinhala)

කොවිඩි 19 වෛරසයත් සමඟ කුඩා දරුවන් අතර පැතිරෙන ‘කවසාකි’ නම් උණ රෝගයක් පිළිබඳ ලොවපුරා රටවලින් මේ දිනවල අසන්නට ලැබෙනවා.

කෙසේ වෙතත් කවසාකි උණ රෝගීන් මීට පෙර ද ශ්‍රී ලංකාවෙන් වාර්තා වී ඇති බවයි රිජ්වේ ආර්යා රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය ජී. විජේසූරිය මහතා සඳහන් කරන්නේ.

ඒ අනුව මෙරට කවසාකි උණ රෝගය ගැන අප වැඩිදුරටත් සොයා බැලුවා.

කොවිඩ් 19 වෛරසයට පසු ලෝකයේ රටවල් රැසක තවත් වෛරසයක් පැතිර යන බවට විදෙස් වාර්තා පළවීමත් සමඟ ඒ පිළිබඳ ලෝකයේම අවධානය යොමු වුණා.

අදාළ වෛරසයෙන් වැඩිම බලපෑම එල්ල වන්නේ වයස අවුරුදු 5 ට අඩු දරුවන්ට බවයි පැවසෙන්නේ.

එම වෛරසය හඳුන්වා ඇත්තේ ‘කවසාකි’ නමින්.

+++++++++++++++++++++++++++++++++++

‘සුව විරුවන්’ සොයා හිරු ගිය ගමන

(24.05.2020 – 13:32 +0530 – hirunews.lk/sinhala)

කොවිඩ් 19 වෛරස පාලනය හමුවේ ශ්‍රී ලංකාව මේවන විට ඉතා සාර්ථක ඵල නෙලාගනිමින් සිටිනවා.

මේ සාර්ථකත්වය පසුපස පෙළගැසී සිටිනා නම නොකියවෙන විරුවන් බොහෝමයි.

මේ, එවන් පිරිසක් සොයා කොළඹ ජාතික බෝවන රෝග විද්‍යායතනයට ගිය ගමනක්.

+++++++++++++++++++++++++++++++++++

කොළඹ සහ ගම්පහ හැර පළාත් අතර බස් රථ සේවා අනිද්දා (26) සිට

(24.05.2020 – 13:10 +0530 – hirunews.lk/sinhala)

කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්ක හැර සෙසු දිස්ත්‍රික්කවල, අන්තර් පළාත් බස් රථ සේවා ආරම්භ කරන ලෙස ප්‍රවාහන සේවා අමාත්‍ය මහින්ද අමරවීර මහතා, ලංකා ගමනාගමන කොමිසමට උපදෙස් ලබාදී තිබෙනවා.

ඒ, අද (24) එම කොමිසමේදී පැවති සාකච්ඡාවකදියි.

එමෙන්ම දක්ෂිණ අධිවේගී මාර්ගයේ සිට පැමිණෙන බස් රථ කොට්ටාව දක්වා පමණක් ධාවනය කෙරෙනු ඇති.

බස් රථ ධාවනය පෙරවරු 04:30 ට ආරම්භ කෙරෙන අතර, එය අවසන් වන්නේ පස්වරු 06:00 ටයි.

මෙහිදී ගාස්තු අයකළ යුත්තේ එම බස් රථ නවත්වන ස්ථානය දක්වා පමණක් වන අතර, ගමනාන්තය ඉදිරිපස වීදුරුවේ ප්‍රදර්ශනය කළ යුතුයි.

එමෙන්ම බස් රථවල දැනට බලපත්‍ර වලංගු කාලසීමාව ජූනි 30 දක්වා දීර්ඝ කිරීමටද ජාතික ගමනාගමන කොමිසම තීරණය කර තිබෙනවා.

මේ අතර කොළඹ සිට අන්තර් පළාත් බස් ධාවනය ද ආරම්භ කරන ලෙස ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය ඉල්ලීමක් කරනවා.

+++++++++++++++++++++++++++++++++++

සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේදයන්ට අනුකූලව මැතිවරණය පැවැත්වීම ගැන දේශපාලන පක්ෂවලින් යෝජනා කැඳවයි

(24.05.2020 – 12:47 +0530 – hirunews.lk/sinhala)

සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේදයන්ට අනුකූලව මහ මැතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන් දේශපාලන පක්ෂවල යෝජනා ලබන මස මුල් සතියේදී සිය කොමිෂන් සභාව වෙත ලැබීමට නියමිත බව මැතිවරණ කොමිසන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය සඳහන් කළා.

එම යෝජනාවන්ද සැළකිල්ලට ගනිමින් ඉදිරි ක්‍රියාමාර්ග ගැනීම සිදුවන බවයි හිරු ප්‍රවෘත්ති අංශය සමඟ සංවාදයට එක්වෙමින් ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.

+++++++++++++++++++++

+++++++++++++++++++++

***************************************

පාස්කු ප්‍රහාරය ගැන තවත් හෙළිදරව්වක්

(24.05.2020 – 12:37 +0530 – hirunews.lk/sinhala)

පාස්කු ඉරිදා ප්‍රහාර මාලාවේදි කොළඹ ටාජ් සමුද්‍රා හෝටලයේත් මරාගෙන මැරෙන ප්‍රහාරයක් සැලසුම් කර තිබුණත් එය ව්‍යර්ථ වූ බවට පුවත් පැතිර ගියා.

එදින ටාජ් සමුද්‍රා හෝටලයේ බෝම්බය පුපුරුවා ගැනීමට උත්සහ කළ පුද්ගලයා ප්‍රහාරයට පෙර දිනයේත් හෝටලයට පැමිණ පිටව ගොස් ඇති බව එම ප්‍රහාරය පිළිබඳ සොයන ජනාධිපති කොමිසමේදී හෙළිව තිබෙනවා.

අදාළ පුද්ගලයා හෝටලය තුළ සැකකටයුතු ලෙස හැසිරෙන ආකාරය ද ආරක්ෂක කැමරා දර්ශනවලින්ද පැහැදිළිවන කරුණක්.

පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කරන ජනාධිපති කොමිෂන් සභාව හමුවේ ටාජ් සමුද්‍රා හෝටලයේ කලාප ආරක්ෂක කළමණාකරු එස්.අයි. සුජිව ප්‍රනාන්දු මහතා ඊයේ (23) සාක්ෂි ලබාදුන් අතර, එහිදී ඔහු සඳහන් කළේ, සාමාන්‍යයෙන් හෝටලයට පැමි‍ණෙන සියලු අමුත්තන්ගේ තොරතුරු ලබාගන්නා බවයි.

ආරක්ෂක හේතූන් මත වසර කිහිපයක සිට සිදුකරගෙන යන ආකාරයට අප්‍රේල් 20 වැනිදාත් හෝටලයේ රැඳී සිටි පිරිසගේ නාමලේඛණය රාත්‍රි 12 න් පසුව සකස්කර රාජ්‍ය බුද්ධි අංශයට සහ ජනාධිපති ආරක්ෂක අංශයට යොමු කළ බව ඔහු වැඩිදුරටත් කියා සිටියා.

ජමිල් මොහොමඩ් නමැති පුද්ගලයෙකු පිළිබඳව 823533241V යන හැදුනුම්පත් අංකය යටතේ සටහන්ව තිබුණේ ද යන්න කොමිසම එහිදී ප්‍රශ්න කළා.

ඊට පිළිතුරු ලබාදෙමින් සාක්ෂිකරු සඳහන් කළේ, අදාල ලේඛණයේ සඳහන්ව තිබුණේ එම පුද්ගලයාගේ නම පමණක් බවයි.

ජාතික හැදුනුම්පත් අංකය සටහන් කර නොතිබූ නමුත් හැඳුනුම්පතේ ඡායාපිටපතක් ලබාගෙන තිබූ බවත් ඔහු සඳහන් කළා.

අදාළ පුද්ගලයා අප්‍රේල් 20 වනදා සවස 04:53 ට පමණ ඇදගෙන යාහැකි ආකාරයේ ගමන් මල්ලක් සමඟ හෝටලය තුළට පැමිණෙන ආකාරය ආරක්ෂක කැමරාවල සටහන්ව තිබෙන බවද සාක්ෂිකරු සඳහන් කළා.

ඒ අනුව ඔහු ලබාගෙන තිබුණේ, හෝටලයේ අංක 365 කාමරයයි.

පැයකට පමණ පසු ජමිල් මොහොමඩ් නමැති පුද්ගලයා යලි හෝටලයෙන් පිටව යන ආකාරය ආරක්ෂක කැමරාවල දක්නට ලැබෙන බව සාක්ෂිකරු සඳහන් කළා.

එහිදී ඔහු සතුව රැගෙන ආ ගමන් මල්ල දක්නට ලැබී නැහැ.

ඔහු පිටව ගොස් ඇත්තේ වෙනත් වාහනයකින් බවද එහිදී ඔහු වැඩිදුරටත් සඳහන් කළා.

එදින රාත්‍රියේ එම පුද්ගලයා ආපසු හෝටලයට පැමිණ නොමැති අතර, ඔහු යලිත් හෝටලයට පැමිණියේ පසුදින එනම් ප්‍රහාරය සිදුවූ අප්‍රේල් මස 21 වැනිදා පෙරවරුවේ බව සාක්ෂිකරු සඳහන් කළා.

පෙර දිනයේ ලබාගත් කාමරයට ඇතුලුවන ජමිල් මොහමඩ් සුළු වෙලාවකට පසු විශාල ගමන් මල්ලක් සහ තවත් පිටේ එල්ලාගත් මල්ලක් සමග කාමරයෙන් පිටතට පැමිණ ඇති අතර, ‘පෝට්ස් ඔෆ් කෝල්’ ආපන ශාලාව දෙසට ගමන් කරන අවස්ථාවේදී එහි සිටි නිලධාරියෙකු විශාල ගමන් මල්ල ගෙන යාමට ඔහුට ඉඩ ලබා දී නැහැ.

පසුව ආපනශාලවට ඇතුළුවන එම පුද්ගලයා ඒ තුළ කිහිපවරක් ගමන් කර යම් ක්‍රියාවක් සිදු කිරිමට උත්සහ ගන්නා ආකාරයක් දක්නට ලැබෙන බව ආරක්ෂක කළමනාකරු කොමිසම හමුවේ සඳහන් කළා.

අනතුරුව ආපනශාලවෙන් පිටතට පැමිණෙන ජමිල් මොහමඩ් නැවත වරක් කාමරය තුලට ගමන් ගෙන ඇත්තේ විශාල ගමන් මල්ල ආපනශාලා පිවිසුම අසළ තිබෙන්නට හරිමින්.

පසුව කාමරය තුළ තිබු තවත් ගමන් මල්ලක් රැගෙන පිටතට පැමිණෙන ඔහු යලිත් ආපනශාලවට ඇතුළුවන අතර එහිදි ද පිවිසුම අසල සිටි නිලධාරියා විසින් විශාල ගමන් මල්ල රඳවා ගත් බව ආරක්ෂක කළමනාකරු සඳහන් කළා.

එමෙන්ම හෝටලයේ ආරක්ෂක නිලධාරියා සඳහන් කළේ, යලිත් ආපනශාලව තුළට ඇතුලුවන ජමිල් මොහමඩ් නැවත වරක් යම් ක්‍රියාවක් සිදු කිරිමට උත්සාහ කරන අතර ආරක්ෂක කැමරාවක් අසල මේසයක් ලග වාඩිවී කරේ දමා සිටි බෑගය නිරික්ෂණය කරන ආකාරය දක්නට ලැබුණු බවයි.

පසුව ඔහු කරේ දමා සිටි බෑගයක් සහ ඇදගෙන යාහැකි බෑග් දෙකක් රැගෙන හෝටලයෙන් පිටත ගාලුපාර දෙසට පැමිණ ත්‍රිරෝද රථයකට නැග ගමන් කරන ආකාරයද ආරක්ෂිත කැමරාවක සටහන්ව තිබූ බව ආරක්ෂක කළමනාකරු සඳහන් කළා.

අනතුරුව කොමිසම ප්‍රශ්න කළේ, ජමිල් මොහමඩ් ආරක්ෂක කැමරා මගහැරිමට උත්සහ ගත් බව හැගුනේද යන්නයි.

එවැන්නක් සිදුකළ හැක්කේ ආරක්ෂක කැමරා පිලිබඳව දැනුවත් භාවයකින් සහ පෙර පුහුණුවීමකින් පසුව බව සාක්ෂිකරු කියා සිටියා.

අනතුරුව කොමිසම ප්‍රශ්න කළේ, මෙම පුද්ගලයා මීට පෙර තම හෝටලයට පැමිණ ඇද්ද යන්නයි.

2019 අප්‍රේල් 17 වැනිදා වෙනත් අයෙකු පැමිණ මෙම පුද්ගලයා ලැගුම්ගෙන සිටි කාමර පිළිබඳව විමසූ බවට සාක්ෂිකරු පිලිතුරු ලබාදුන්නා.

ඉන්පසු කොමිසම විමසා සිටියේ ප්‍රහාරයක් පිළිබඳ ඉන්දීය බුද්ධි අංශ මගින් දැනුවත් කර තිබු කාරණය ඔහු දැනුවත්ව සිටියේද යන්නයි.

සාක්ෂිකරු ඊට පිළිතුරු ලබාදෙමින් සඳහන් කළේ ඒ සම්බන්ධයෙන් ඔහු දැනුවත්ව නොසිටි බවයි.

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා කොමිසම හමුවේ පෙර සදහන් කර තිබූ පරිදි 21 වනදා ප්‍රභූ පංතියේ පිරිස් හෝටලයේ රැදි සිටියේදැයි කොමිසම ප්‍රශ්න කළ අතර, ඊට සාක්ෂිකරුගේ පිළිතුර වූයේද නොමැත යන්නයි.

+++++++++++++++++++++

ජනපති කොමිසමේ දී හෙළි වූ වැළකුණු ටාජ් ප්‍රහාරයේ සුලමුල

(24.05.2020 – 19:37 +0530 – sinhala.adaderana.lk)

පාස්කු ඉරුදින දෙහිවල ට්‍රොපිකල් ඉන් අවන්හලේදි බෝම්බයක් පුපුරුවාගත් මරාගෙන මැරෙන ප්‍රහාරකයා ඇතුළුව අප්‍රේල් 20 වැනිදා ටාජ් සමුද්‍රා හෝටලයේ රැඳී සිටි අමුත්තන්ගේ නම් ප්‍රහාරයට පෙර දින රාජ්‍ය බුද්ධි සේවයට සහ ජනාධිපති ආරක්ෂක අංශයට හෝටලයේ ආරක්ෂක කළමනාකරු විසින් යවා තිබු බව ජනාධිපති කොමිසමේදි ඊයේ (23) අනාවරණය විය.

ඒ ටාජ් සමුද්‍රා හෝටලයේ ආරක්ෂක කළමනාකාරවරයා ජනාධිපති කොමිසම හමුවේ ඊයේ (23) සාක්ෂි ලබාදුන් අවස්ථාවේදියි.

ජනාධිපති කොමිසම හමුවේ ඊයේ (23) සාක්ෂි දෙමින් ටාජ් සමුද්‍රා හෝටලයේ ආරක්ෂක කළමනාකරු සුජීව ප්‍රනාන්දු මහතා සඳහන් කළේ පාස්කු ප්‍රහාරයෙන් පසු සීසීටීවී කැමරා දර්ශන පරීක්ෂා කිරීමේදි , එක් බෝම්බකරුවකු ප්‍රහාරයට පෙරදින පස්වරු 04:53 ට ගමන් මල්ලක්ද සහිතව ටාජ් සමුද්‍රා හෝටලයට ඇතුළු වී ඇතැයි දක්නට ලැබුණු බවයි.

එහිදි බෝම්බකරු නැවතී සිට ඇත්තේ ටාජ් සමුද්‍රා හෝටලයේ අංක 365 වැනි කාමරයෙයි.

කෙසේ වෙතත් එදිනම පස්වරු 05:44 ට එම පුද්ගලයා හෝටලයෙන් පිටත්ව ගොස් ඇති බවත් නැවත එදින හෝටලයට නොපැමිණි බවත් සාක්ෂිකරු අනාවරණ කළේය.

සාක්ෂිකරු වැඩිදුරටත් සදහන් කළේ අබ්දුල් ලතීෆ් ජමීල් මොහොමඩ් යන නමින් මෙම පුද්ගලයා ලියාපදිංචි කර ඇති අතර ඔහුගේ ජාතික හැදුනුම්පතේ පිටපතක්ද ලියාපදිංචි පත්‍රය හා අමුණා ඇති බවයි.

දෛනිකව සිය හෝටලයට පැමිණෙන අමුත්තන්ගේ ලියාපදිංචි තොරතුරු ඇතුළත් නාමලේඛනයක් රාජ්‍ය බුද්ධි සේවයට සහ ජනාධිපති ආරක්ෂක අංශයට යොමු කිරීම ටාජ් සමුද්‍රා හෝටලයේ ක්‍රියා පිළිවෙත බවද මෙහිදි ජනාධිපති කොමිසම හමුවේ විශේෂ අනාවරණයක් කරමින් සාක්ෂිකරු සඳහන් කළේය.

ඒ අනුව මෙම පුද්ගලයා හෝටලයට ඇතුළු වූ අප්‍රේල් 20 වන දිනට අදාළ අමුත්තන්ගේ නාමලේඛනයද පසුදින එනම් අප්‍රේල් 21 වන දින පෙරවරු 07:00 ත් 08:00 ත් අතර කාලයේ තමන් විසින් රාජ්‍ය බුද්ධි සේවයට සහ ජනාධිපති ආරක්ෂක අංශයට යොමුකළ බව සාක්ෂිකරු පැවසුවේය.

කෙසේ වෙතත් ජනාධිපති කොමිසම විසින් කළ වැඩිදුර ප්‍රශ්න කිරීම් වලදි අනාවරණය වුයේ ජමීල් මොහොමඩ් නැමැත්තාගේ නම අදාළ නාමලේඛනයේ ඇතුලත්ව තිබුණද ඔහුගේ සහ තවත් අමුත්තන් කිහිප දෙනෙකුගේ ජාතික හැඳුනුම්පත් අංක එම ලේඛනයට ඇතුළත් කිරීම හෝටලයේ නිලධාරින් විසින් අතපසු කර ඇති බවයි.

ජමීල් මොහොමඩ් නැමැති මෙම පුද්ගලයා ත්‍රස්ත ප්‍රහාර මාලාව එල්ල වු පාස්කු ඉරුදින පෙරවරු 07:09 ට පමණ යළි හෝටලයට ඇතුල් වී ඇති අතර පෙරවරු 08:32 ට පමණ මෙම තැනැත්තා පිටෙහි ගමන් මල්ලක් සහ ඇදගෙන යා හැකි ගමන් මල්ලක් සහිතව හෝටලයේ ‘පෝට්ස් ඔෆ් කෝල්’ අවන්හල වෙත ගමන් කර තිබේ.

එහිදි බෝම්බකරු අවස්ථා කිහිපයකදි නොසන්සුන් ලෙස හැසිරෙමින් කිසියම් උත්සහයක නිරත වන අයුරු සීසීටීවී කැමරා දර්ශනවල සටහන්ව තිබුණි.

එහිදි කලබලකාරි ලෙස එහි අසුනක අසුන්ගන්නා බෝම්බකරු පිට රැඳි ගමන් මල්ල ඉදිරියට ගෙන යම් ක්‍රියාවක් කිරීමට උත්සහ දරන අතර දුරකථන ඇමතුමක් පැමිණියද ඔහු එයට ප්‍රතිචාර දක්වන්නේ නැහැ.

මෙම තැනැත්තා පිටරැඳි ගමන් මල්ල සමඟ ආපන ශාලාවෙන් පිටතට පැමිණෙන අතර එම අවස්ථාවේදි හෝටලයේ නිලධාරින් විසින් බෝම්බකරුට ගෙනවිත් දෙන ඇදගෙන යාමේ ගමන් මලු දෙකෙන් එක ගමන් මල්ලක් නිලධාරියෙකු ඔසවන ආකාරයෙන් එහි අභ්‍යන්තරය හිස් යැයි නිරීක්ෂණය වූ බවයි සාක්ෂිකරු පැවසුවේය.

මෙහිදි කොමිසම ප්‍රශ්න කළේ මෙම තැනැත්තා හෝටලයට පැමිණිමට පෙර දිනයකදී තවත් සැකකටයුතු පුද්ගලයෙකු හෝටලයට පැමිණ ඇත්දැයි යන්නයි.

අප්‍රේල් 17 වන දින ප.ව 01:45 ට පමණ කිසියම් සැකකටයුතු පුද්ගලයෙක් හෝටලය වෙත පැමිණ කාමරයක් ලබාගත හැකි ආකාරය පිළිබඳව විමසීමක් කර ගොස් ඇති බව එහිදි සාක්ෂිකරු සඳහන් කළේය.

මෙහිදි ජනාධිපති කොමිසම විසින් කිංස්බරි හෝටලයට ප්‍රහාරය එල්ල වීමට පෙර දිනකදි පැමිණි පුද්ගලයාගේ සීසීටීවී කැමරා දර්ශන පෙන්වා සිටි අතර එහිදි සාක්ෂිකරු සඳහන් කලේ බොහෝ විට තම හෝටලයට පැමිණියේද එම පුද්ගලයා විය හැකි බවයි.

හිටපු අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා සිදුකළ ප්‍රකාශයක් සම්බන්ධයෙන් සාක්ෂිකරුගේ අවධානය යොමු කරමින් ජනාධිපති කොමිසම විමසා සිටියේ පාස්කු ප්‍රහාරය සිදුවන අවස්ථාව වන විට ටාජ් සමුද්‍රා හෝටලයේ කිසියම් ප්‍රභූවරයෙකු නවාතැන් ගෙන සිටියේද යන්නයි.

එයට පිළිතුරු දුන් සාක්ෂිකරු රාජ්‍ය අනුග්‍රහය ලබන කිසියම් ප්‍රභූවරයෙකු පැමිණෙන්නේනම් තමන්ව පෙර දැනුවත් කිරීමක් සිදුවන අතර ප්‍රහාරය එල්ල වු දිනයේ තම හෝටලයේ එවැනි ප්‍රභූවරයෙකු රැදී නොසිටි බව කියා සිටියේය.

ඉන් අනතුරුව ජනාධිපති කොමිසම හමුවේ සාක්ෂි විමසීම සඳහා කැඳවා තිබුනේ බෝම්බකරු ටාජ් සමුද්‍රා හෝටලයෙන් පිටත්ව යෑමේදී ඔහු ගමන් ගත් ත්‍රී රෝද රථ තුනක රියදුරන්වයි.

එහිදි පළමු ත්‍රී රෝද රථ රියදුරු සඳහන් කළේ පකිස්තානය වැනි විදේශ රටක පුද්ගලයෙකු යැයි සැකකළ හැකි අයෙක් පෙරවරු 08:55 ට පමණ ටාජ් සමුද්‍රා හෝටලය අසලින් තම ත්‍රී රෝද රථයට නැග දෙහිවලට ගෙනයන ලෙස පැවසුවද ඔහු වැල්ලවත්ත වෙළඳ සංකිර්ණය අසලින් බැස ගිය බවයි.

ඉන් අනතුරුව ජනාධිපති කොමිසම හමුවේ සාක්ෂි ලබාදුන් දෙවන ත්‍රීරෝද රථ රියදුරු සඳහන් කළේ වැල්ලවත්ත ප්‍රදේශයෙන් තම ත්‍රී රෝද රථයට නැගුණු බෝම්බකරු දෙහිවල ජාතික සත්වෝද්‍යානය අසල ලැගුම් හලක් ඇත්ද යන්න තමාගෙන් විමසූ බවයි.

ඒ අනුව එම පුද්ගලයාගේ ඉල්ලීම පරිදි තමන් දන්නා පුද්ගලයෙකුට අයත් දෙහිවල සත්වෝද්‍යානය අසල පිහිටි ‘ට්‍රොපිකල් ඉන්’ ලැගුම් හලට පෙ.ව 09:35 ට පමණ ඔහුව රැගෙන ගිය බව එම ත්‍රී රෝද රථ රියදුරු පැවසුවේය.

අනතුරුව ජනාධිපති කොමිසම හමුවේ සාක්ෂි ලබාදුන් තෙවැනි ත්‍රීරෝද රථ රියදුරු සඳහන් කළේ පාස්කු ප්‍රහාරය එල්ල වු දින ප.ව 01:25 ට පමණ තමන් දෙහිවල ප්‍රදේශයේ මුස්ලිම් දෙවස්ථානයක් අසලින් ත්‍රී රෝද රථයට නැගි පුද්ගයෙකුව කෙටි දුරක් රැගෙන විත් ‘ට්‍රොපිකල් ඉන්’ ලැගුම් හල අසලට රැගෙන ගිය බවයි.

පසුව බෝම්බකරු දෙහිවල ‘ට්‍රොපිකල් ඉන්’ ලැඟුම්හලට ඇතුල් වූ පසු පස්වරු 01:30 ට පමණ බෝම්බය පුපුරා යන අයුරු සීසීටීවී කැමරා වල සටහන් වී තිබුණි.

***************************************

සහල් මෝල් හිමියන් වෙළඳුන් නොමඟ යවයි

(24.05.2020 – 19:21 +0530 – hirunews.lk/sinhala)

වී තොග සගවා ගෙන සිටින සහ වැඩි මිලට සහල් අලෙවි කරන පුද්ගලයින් සොයා අඛණ්ඩව වැටලීම් සිදුකරන බව පාරිභෝගික අධිකාරිය පවසනවා.

එමෙන්ම, එම අධිකාරිය සඳහන් කළේ මේ වන විට සහල් මෝල් හිමියන් සහ අතරමැදියන් සහල් වෙළන්දන් වෙත අසත්‍ය ප්‍රචාරයක් පතුරුවමින් සිටින බවයි.

ඒ, රජය විසින් පවතින පාලන මිල ඉවත් කිරීමට නියමිත බැවින් සහල්, පවතින මිලට වඩා වැඩි මිලට අලෙවි කරන ලෙසටයි.

රජය විසින් නාඩු සහ සම්බා සහල් කිලෝග්‍රෑමයක් රුපියල් 90 කටත්, කැකුළු සහල් කිලෝග්‍රෑමයක් රුපියල් 85 කටත්, කීරි සම්බා කිලෝග්‍රෑමයක් රුපියල් 125 කටත් අලෙවි කරන ලෙසට උපරිම සිල්ලර මිල ගනන් නියම කරනු ලැබුවා.

ඊට වඩා වැඩි මිලකට සහල් අලෙවි කිරීම සම්බන්ධයෙන් පාරිභෝගික සේවා අධිකාරිය සොයා බැලීමක් ආරම්භ කර තිබෙනවා.

දිවයිනේ බොහෝ ප්‍රදේශවල සහල් හිගයක් පවතින බවට වෙළද නියෝජිතයින් සහ පාරිභෝගිකයින්ගෙන් ලැබුණු පැමිණිලිවලට අනුව පාරිභෝගික සේවා අධිකාරියේ නිලධාරින් ඊයේ (23) පොළොන්නරුව ප්‍රදේශයේ සහල් මෝල් නිරීක්ෂණයක ද නිරත වුණා.

+++++++++++++++++++++

කොළඹට සහ ගම්පහට රජයෙන් සහල් – මෝල් හිමියන්ගේ ක්‍රියාකලාපයට දොස්

(24.05.2020 – 19:15 +0530 – sinhala.adaderana.lk)

කෙළඹ සහ ගම්පහ දිස්ත්‍රික්කවලට අවශ්‍ය සහල් රජයේ අනුග්‍රහයෙන් බෙදාහැරීමේ වැඩපිළිවෙළ එළැඹෙන අඟහරුවාදා වනවිට අවසන් කරන බව අභ්‍යන්තර වෙළඳ, ආහාර සුරක්ෂිතතාවය සහ පාරිභෝගික සුභසාධන අමාත්‍යාංශයේ ලේකම් භද්‍රානි ජයවර්ධන මහත්මිය පවසයි.

මේ අතර මහාපරිමාණ සහල් මෝල් හිමියන්ගේ ක්‍රියාකලාපය අද (24) පාර්ශ්ව රැසක දෝෂදර්ශනයට ලක් විය.

රුපියල් 90 ක පාලන මිලක් නියම කිරීමෙන් පසු ගත වු දින කිහිපයේදිම වෙළඳපොළේ නාඩු හා සම්බා සහල් වර්ගවල අඩුවක් දක්නට ලැබීම නිසා ඒ පිළිබඳව සොයා බැලීමට පාරිභෝගික සේවා අධිකාරියේ නිළධාරීන් ඊයේ (23) මහා පරිමාණ මෝල් කිහිපයක් හදිසියේ පරීක්ෂාවට ලක් කළේය.

රජය නියම කළ පාලන මිලට සහල් ලබාදෙන මෙන් සහල් මෝල් හිමියන්ගෙන් ඉල්ලීමක් සිදුකළ අවස්ථාවේදී මහා පරිමාණ සහල් මෝල් හිමියන් සහ නිලධාරීන් අතර උණුසුම් වචන හුවමාරුවක් ද සිදු විය.

කෙසේවෙතත් කුඩා හා මධ්‍ය පරිමාණ මෝල් හිමියන් මහාපරිමාණ මෝල් හිමියන්ගේ ක්‍රියාකලාපය දැඩි දෝෂදර්ශනයට ලක් කළේය.

සමස්ත ලංකා ගොවිජන සම්මේලනයේ නියෝජිතයින්ද පවතින සහල් හිඟය සම්බන්ධයෙන් අද (24) අදහස් දැක්විය.

මහවැලි සංවර්ධන හිටපු රාජ්‍ය අමාත්‍ය රොෂාන් රණසිංහ මහතාද අද (24) මාධ්‍ය හමුවක් පවත්වමින් මේ සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කර සිටියේය.

මේ අතර කුඩා හා මධ්‍ය පරිමාණ මෝල් හරහා නිෂ්පාදනය කළ සහල් තොග දිවයිනේ ප්‍රදේශ කිහිපියකම බෙදා හරින අයුරු අද (24) මෙලෙස දක්නට ලැබුණි.

***************************************

එළැඹෙන මහ මැතිවරණය සම්බන්ධයෙන් අදත් විවිධ අදහස්

(24.05.2020 – 20:07 +0530 – hirunews.lk/sinhala)

එළැඹෙන මහ මැතිවරණය සම්බන්ධයෙන් දේශපාලන පක්ෂ නියෝජිතයන් අදත් විවිධ අදහස් පළ කළා.

+++++++++++++++++++++

***************************************

අටළුගමදී හිරු මාධ්‍යවේදියාට බාධා කර මෝටර් රථයට අලාභ හානි කරයි

(24.05.2020 – 21:41 +0530 – hirunews.lk/sinhala)

බණ්ඩාරගම අටළුගම ප්‍රදේශයේ රාමසාන් සමරන ආකාරය සම්බන්ධ ප්‍රවෘත්ති ආවරණ කටයුත්තක් අතරතුරදී කිසියම් පිරිසක් හිරු මාධ්‍යවේදී බිමල් ශාමෙන්ට බාධා කර ඔහුගේ මෝටර් රථයට අලාභහානි සිදුකර තිබෙනවා.

+++++++++++++++++++++

අටුලුගමදී ‘අද දෙරණ’ මාධ්‍යවේදියාට ප්‍රහාරයක් – පහර දුන් හයදෙනෙක් (06) අත්අඩංගුවට

(24.05.2020 – 21:31 +0530 – sinhala.adaderana.lk)

දුරස්ථභාවය ගරු කරමින් ඉස්ලාම් බැතිමතුන් රාමසාන් සමරන ආකාරය වාර්තා කිරීමට බණ්ඩාරගම, අටුලුගම ප්‍රදේශයට ගිය ‘අද දෙරණ’ ප්‍රාදේශීය මාධ්‍යවේදියාට එම ප්‍රදේශයේ පිරිසක් තර්ජනය කර ඔහුගේ මෝටර් රථයටද අලාභ හානි සිදුකර තිබේ.

බණ්ඩාරගම පොලිසිය පැවසුවේ, සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනයක් ක්‍රියාත්මක බවයි.

අටලුගම මුස්ලිම් දේවස්ථාන සංගමයේ සභාපති නජීඩ් හජ්ජියාර් මොහොමඩ් නජීඩ් රාමසාන් උදාවත් සමග ඉස්ලාම් භක්තිකයින් පල්ලියට නොපැමිණ නිවසේ සිට සැමරූ ආකාරය සම්බන්ධයෙන් ‘අද දෙරණ’ ප්‍රාදේශීය මාධ්‍යෙව්දි බිමල් ශ්‍යාමන් වෙත ප්‍රකාශයක් ලබා දුන්නේය.

ඒ මාරාව මුස්ලිම් දේවස්ථානය අසළදීයි.

අටලුගම ප්‍රදේශයේ මුස්ලිම් දේවස්ථාන 14 ක් ස්ථාපිත අතර, ‘අද දෙරණ’ ප්‍රාදේශීය මාධ්‍යවේදියා අටලුගම පුංචි පල්ලියේ දර්ශන ලබාගෙන පිටත්ව යන විට යතුරු පැදියකින් පැමිණි පුද්ගලයෙකු ඔහුගේ මඟ අවහිර කළේය.

පිරිසක් ඔහුට ඉන් පිටව යෑමට උදව් කරන අතරතුර තවත් පිරිසක් මාර්ගය තවදුරටත් අවහිර කරමින් ‘අද දෙරණ’ ප්‍රාදේශීය වාර්තාකරුට තර්ජනය කළේය.

සිද්ධිය අතරතුර එහි පැමිණි අටලුගම මුස්ලිම් දේවස්ථාන සංගමයේ සභාපති නජීඩ් හජ්ජියාර් මොහොමඩ් නජීඩ් ඇතුළු පිරිසකගේ මැදිහත්වීම මත ‘අද දෙරණ’ ප්‍රාදේශීය වාර්තාකරුට එම ස්ථානයෙන් ඉවත් වීමට අවස්ථාව උදා විය.

අනතුරුව ඔහු බණ්ඩාරගම පොලිසියට පැමිණිල්ලක් ඉදිරිපත් කළ අතර, මාර්ගය අවහිර කළ පිරිස ඔහුගේ මෝටර් රථයටද හානි සිදුකර තිබුණි.

බණ්ඩාරගම පොලිසිය පැවසුවේ, සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනයක් ක්‍රියාත්මක බවයි.

බණ්ඩාරගම, අටුලුගම ප්‍රදේශයෙදී ‘අද දෙරණ’ ප්‍රාදේශීය මාධ්‍යවේදියාට තර්ජනය කර ඔහුගේ මොටර් රථයට අලාභ හානි කළ ප්‍රධාන සැකකරු ඇතුළු හයදෙනෙකු (06) පොලිසීය විසින් අත්අඩංගුවට ගෙන ඇත ෴

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *