නැගෙනහිර පළාතේ පුරාවස්තු රකින්න ජනාධිපති කාර්ය සාධක බලකායක්

+++++++++++++++++++++++++++++++++++

= මේ පිටුවේ සිරස්තල =

• නැගෙනහිර පළාතේ පුරාවස්තු රකින්න ජනාධිපති කාර්ය සාධක බලකායක් (විඩියෝ)

• හිරු CIA හෙළිකරගත් දෙවනගල පුද බිමේ, කුඹුරු ඉඩම් ගොඩ ඉඩම් බවට පත්කර විකිණීමේ ජාවාරම (විඩියෝ)

• නිරිත දිග මෝසමත් සමඟ ඩෙංගු ව්‍යාප්තිය ඉහළ යාමේ අවදානමක් (විඩියෝ)

• විදෙස්ගත ශ්‍රී ලාංකික ශ්‍රමිකයින් 350 ක් පමණ කොවිඩ් 19 වෛරසයට ගොදුරු වී ඇතැයි තොරතුරු (විඩියෝ)

• දිවි නසාගන්න ගිය තරුණියක් බේරා ගැනීමට ගොස් මියගිය තරුණයාගේ දේහය නිවසට (විඩියෝ)

• ජාතිභේද නොතකන මනුස්සකම (විඩියෝ)

• “හදිසි තීරණයක් මට සමාවෙන්න”

• තරුණියක මුදා ගැනීමට කොත්මලේ ජලාශයට පැන ජීවිතය අහිමි වූ තරුණයාගේ අවසන් කටයුතු අද

• ගම්වාසීන්ට කොටුවූ වනජීවී නිලධාරීන් (විඩියෝ)

• ශ්‍රී ලංකාවේ කොරෝනා වෛරස් ආසාදිතයන් ගණන 1068 ක් දක්වා ඉහළට

• දරුවන් අතර ව්‍යාප්තවන කොවිඩ් 19 ට සමාන නව වෛරසයක් ගැන හෙළිදරව්වක් (විඩියෝ)

• දරුවන් අතර මතුවිය හැකි රෝගයක් ගැන අනතුරු ඇගවීමක්

• ශ්‍රී ලංකාව ජනරජයක් බවට පත්වී අදට වසර 48 යි (විඩියෝ)

• පාස්කු ප්‍රහාරයට යොදාගෙන ඇත්තේ මෙරට නිෂ්පාදිත බෝම්බ බව ජනපති කොමිසමේදී හෙළිවෙයි (විඩියෝ)

• පාස්කු ප්‍රහාරයට ලක්වූ හෝටල් කිහිපයක නිලධාරීන් අද ජනපති කොමිසම හමුවට

• පාලන මිල නොසලකා සහල් අලෙවි කරන්නේදැයි සෙවීමට පරිභෝගික අධිකාරියෙන් වැටලීම් (විඩියෝ)

• ජල බිල්පත් ගැටළුවලට විශේෂ දුරකථන අංකයක්

• රුසියාවේ සිටි පැමිණි සිසුන් 260 දෙනා නිරෝධායනයට යොමු කෙරේ (විඩියෝ)

• ‘සමුදුර’ නෞකාව ‘අම්ෆන්’ සුලි කුණාටුවේ බලපෑමෙන් අතරමංවූ මෙරට ධීවර යාත්‍රාවන් වෙත ළගාවෙයි. (විඩියෝ)

• නිරෝධායනය වූ කොළඹ යාචකයින්ට වෘත්තීය පුහුණුව

• ඇඳිරි නීතිය ක්‍රියාත්මක දෙදින පුරා පොලිස් මාර්ග බාධක 900 ක් (විඩියෝ)

+++++++++++++++++++++++++++++++++++

නැගෙනහිර පළාතේ පුරාවස්තු රකින්න ජනාධිපති කාර්ය සාධක බලකායක්

(22.05.2020 – 21:55 +0530 – hirunews.lk/sinhala)

නැගෙනහිර පළාතේ පුරාවස්තු විධිමත්ව සමීක්ෂණය කර ආරක්ෂා කිරීම සඳහා ආරක්ෂක ලේකම්වරයාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්ය සාධක බලකායක් පත්කරන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසනවා.

පුරාවස්තු විනාශය පිළිබඳව විවිධ පාර්ශ්වයන් කරුණු ඉදිරිපත් කර ඇති අතර ඒ සියල්ල සැලකිල්ලට ගෙන ඓතිහාසික ස්ථාන කේන්ද්‍රකර ගනිමින් ඒවා ආරක්ෂා කර ගැනීමේ පුළුල් වැඩපිළිවෙළක් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ ද සහයෙන් ක්‍රියාවට නංවන බවයි ජනාධිපතිවරයා සඳහන් කළේ.

සෑම මසකම තුන්වැනි (3) සිකුරාදා රැස්වන බෞද්ධ උපදේශක සභාව දෙවන වරට අද (22) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී හමු වූ අතර එහිදී මහා සංඝරත්නය අමතමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මේ බව කියාසිටියා.

බුදු දහමට සහ ත්‍රිපිටකයට පටහැනි ඇතැම් භික්ෂු ක්‍රියාකාරකම් හේතුවෙන් ශාසන කතිකාවතක අවශ්‍යතාව පිළිබඳව මහා සංඝරත්නය දීර්ඝ වශයෙන් ජනාධිපතිවරයා දැනුවත් කළ බවයි ජනාධිපති මාධ්‍ය අංශය කියාසිටියේ.

ඒ සම්බන්ධයෙන් ගත යුතු ක්‍රියාමාර්ග සහ යෝජනා ඉදිරිපත් කළහොත් තම ධූර කාලයේ දී ඊට අවශ්‍ය පිළියම් යෙදිය හැකි බව ජනාධිපතිවරයා ප්‍රකාශ කර තිබෙනවා.

රට පුරා පැතිර ඇති මත්ද්‍රව්‍ය උවදුර මර්දනයට පුළුල් වැඩපිළිවෙළක් ක්‍රියාවට නැංවීමේ අවශ්‍යතාව මහා සංඝරත්නය මෙහිදී අවධාරණය කර තිබෙනවා.

ඊට රජයට මෙන්ම මහා සංඝරත්නයටද විශාල වගකීමක් ඇති බවයි උන්වහන්සේ පෙන්වා දී ඇත්තේ.

පසුගිය කෙටි කාලය තුළ රට තුළට ගෙන ආ මත්ද්‍රව්‍ය විශාල ප්‍රමාණයක් අත්අඩංගුවට ගැනීමට හැකි වූ අතර පවතින තත්ත්වය උපරිමයෙන් පාලනය කර මත් උවදුර තුරන් කිරීමට අවශ්‍ය සියලු පියවර ගන්නා බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සඳහන් කළා.

ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන් තමා සතු වගකීම උපරිමයෙන් ඉටුකරන බවත් ඒ සඳහා දක්ෂ සහ හැකියාව සහිත නිලධාරීන් පත්කර ඇති බවත්, ජනාධිපතිවරයා මෙහිදී පෙන්වා දී තිබෙනවා.

බුද්ධි අංශ ශක්තිමත් කර පූර්ණ බලතල ලබාදී ඇති අතර සියලු අන්තවාදී හා ත්‍රස්තවාදී කණ්ඩායම් විමර්ශනය කිරීමට ආරක්ෂක අංශ වෙත උපදෙස් දී ඇති බවයි ඔහු කියාසිටියේ.

+++++++++++++++++++++++++++++++++++

හිරු CIA හෙළිකරගත් දෙවනගල පුද බිමේ, කුඹුරු ඉඩම් ගොඩ ඉඩම් බවට පත්කර විකිණීමේ ජාවාරම

(22.05.2020 – 21:19 +0530 – hirunews.lk/sinhala)

හිරු සී.අයි.ඒ.හරහා ඊයේ අප අනාවරණය කළේ සබරගමු පළාතේ කෑගල්ල දිස්ත්‍රික්කයේ මාවනැල්ල – දෙවනගල රජ මහා විහාරයට කාලාන්තරයක් තිස්සේ ඉඩම් ආකමණිකයන්ගෙන් එල්ලවන බලපෑම් පිළිබඳවයි.

දෙවනගල රජ මහා විහාරයේ විහාරාධිකාරී පුජ්‍ය මැදිරිගිරියේ පුණ්‍යසාර හිමියන් විහාරස්ථානය සතු කුඹුරු ඉඩම් ද වංචනික ලෙස ගොඩ ඉඩම් බවට පත්කර විකිණීමේ සංවිධානාත්මක ජාවාරමක තවත් තොරතුරු හිරු CIA වෙත අනාවරණ කළා.

***************************************

නිරිත දිග මෝසමත් සමඟ ඩෙංගු ව්‍යාප්තිය ඉහළ යාමේ අවදානමක්

(22.05.2020 – 23:19 +0530 – hirunews.lk/sinhala)

නිරිත දිග මෝසම සක්‍රියවීමත් සමඟ ඉදිරියේදී ඩෙංගු ව්‍යාප්තිය ඉහළ යා හැකි බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පවසනවා.

ගෙවුණු වසරවලට සාපේක්ෂව මේ වසරේ මුල් කාර්තුවේදී ඩෙංගු රොගීන් වාර්තාවීම ඉහළයාමත් විශේෂත්වයක්.

2018 වර්ෂය තුළ ඩෙංගු රෝගීන් 51,659 ක්ද මෙම වසරේ මේ දක්වා කාලය තුළ ඩෙංගු රෝගීන් 19,474 ක් ද දිවයින පුරා වාර්තා වුණා.

ගෙවුණු වර්ෂවල මුල් කාර්තුවට සාපේක්ෂව මේ වසරේ මුල් කාර්තුවේ ඩෙංගු රෝගින්ගේ ඉහළ යාමක් සිදුව තිබුණත් ඒ පිළිබඳ අඩු අවධානයක් යොමුව තිබෙන්නේ කොවිඩ් 19 වසංගතය රටම වෙලා ගෙන ඇති නිසාවෙන්.

සාමාන්‍යයෙන් වසරකට පුද්ගලයින් 50,000 කට වැඩි පිරිසකට ඩෙංගු වැළඳෙන අතර වාර්ෂිකව පුද්ගලයින් 50 ට වැඩි පිරිසකට ජීවිත අහිමිවනවා.

මේ අතර ජාතික ඩෙංගු මර්දන ඒකකයේ අධ්‍යක්ෂ වෛද්‍ය අරුණ ජයසේකර මහතා පෙන්වා දෙන්නේ රට නැවත යථාතත්ත්වයට පත්වීමත් සමඟ ඩෙංගු රෝගය ව්‍යාප්තවීමේ අවදානමක් පවතින බවයි.

***************************************

විදෙස්ගත ශ්‍රී ලාංකික ශ්‍රමිකයින් 350 ක් පමණ කොවිඩ් 19 වෛරසයට ගොදුරු වී ඇතැයි තොරතුරු

(22.05.2020 – 23:08 +0530 – hirunews.lk/sinhala)

විදෙස්ගත ශ්‍රී ලාංකික ශ්‍රමිකයින් 350 දෙනෙකු පමණ කොවිඩ් 19 වෛරසයට ගොදුරු වී ඇති බව විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසනවා.

එහි සාමාන්‍යාධිකාරී ඩබ්ලිව්.එම්.වී. වන්සේකර මහතා පැවසූවේ ඉන් 200 ක් පමණ එක්සත් අරාබි එමිර් රාජ්‍යයේ වෙසෙන බවයි.

***************************************

දිවි නසාගන්න ගිය තරුණියක් බේරා ගැනීමට ගොස් මියගිය තරුණයාගේ දේහය නිවසට

(22.05.2020 – 23:00 +0530 – hirunews.lk/sinhala)

දිවි නසා ගැනීමට තැත්කළ තරුණියක් බේරා ගැනීමට යාමේදී දියේ ගිලී මියගිය ලිඳුල ප්‍රදේශයේ පදිංචි හමීඩ් රිස්වාන් නම් දෙදරු පියාගේ දේහය අද (22) සිය නිවස වෙත රැගෙන ආවා.

දේහය පිළිබඳ අවසන් කටයුතු හෙට (23) උදෑසන සිදුකිරීමට නියමිතයි.

ඉහළ කොත්මලේ ජලාශට පැන සියදිවි හානිකර ගැනීමට තැත්කළ තරුණියක් බේරා ගැනිම සඳහා නොපැකිලිව ඉදිරිපත්වූ හමීඩ් රිස්වාන් මහතාට අවසානයේ ඊයේ (21) සිදුවූයේ සිය ජීවිතය පූජා කිරීමටයි.

ඒ අනුව, මෙම වීර දෙදරුපියාට මෙරට සමාජයෙන් හිමිවූයේ ඉහළ ගෞරවයක්.

මියගිය රිස්වාන් මහතාගේ දේහය පශ්චාත් මරණ පරීක්ෂණයෙන් පසු ඔහු පදිංචිව සිටි ලිඳුල ෆාමස්ටන් කොලනියේ රත්නගිරි ජනපදයේ පිහිටි නිවසට අද (22) රැගෙන ආවා.

මියගිය තම සහෘදයා දැකගැනීම වෙනුවෙන් ප්‍රදේශවාසීන් එක්ව සිටියා. ඊට ජාති ආගම් භේදයක් තිබුණේ නැහැ.

දේහයට අවසන් ගෞරව දැක්වීම සඳහා පැමිණ සිටි තලවාකැලේ පොලිසියේ ස්ථානාධිපතිවරයා ඇතුළු පිරිසද මියගිය රිස්වාන්ට ආචාර පුදකළා.

ජීවිතයක් බේරා ගැනීමට ගොස් තම ජීවිතයෙන් වන්දි ගෙවූ මෙම දෙදරු පියා හෙට (23) අවසන් ගමන් යන්නේ ජාති ආගම් භේද ඉක්මවා ගිය මිනිසත්කම පිළිබඳ උතුම් පණිවිඩයක් සමාජයට ලබාදෙමින්.

+++++++++++++++++++++

ජාතිභේද නොතකන මනුස්සකම

(22.05.2020 – 20:08 +0530 – sinhala.adaderana.lk)

ඉහළ කොත්මලේ ජලාශයට පැන සිය දිවි හානි කරගැනීමට උත්සාහ කළ තරුණියක් බේරාගැනීමට ගිය තරුණයෙකු ඊයේ (21) දියේ ගිලී ජීවිතක්ෂයට පත්විය.

ආපදාවකදී උපකාර කිරීමට ජාති භේද නොමැති බව පසක් කරමින් දෙමළ ජාතික තරුණිය බේරාගැනීමට කඩිනමින් ඉදිරිපත් ව මෙලෙස ජීවිතක්ෂයට පත්වුණේ මුස්ලිම් ජාතික තරුණයෙක්.

නමුත් අවසානයේදී දිවි නසා ගැනීමට තැත්කළ තරුණිය බේරා ගත්තේ සිංහල ජාතික පොලිස් නිලධාරියෙකු මැදිහත්වීමෙන්.

මෙලෙස මියගියේ ලිඳුල රත්නගිරි ජනපදයේ පදිංචිව සිටි හමීඩ් රිස්වාන් නැමැති 28 හැවිරිදි පුද්ගලයෙක්.

දෙදරු පියෙක් වන ඔහුට 12 හැවිරිදි දියණියක් සහ 11 හැවිරිදි පුතෙකු සිටියි.

වෘත්තියෙන් පෙදරේරු අත්උදව්කරුවෙකු ලෙස කටයුතු කළ රිස්වාන්ට දිවි අහිමිවීමත් සමඟ පවුලට තිබූ එකම ආදායම් මාර්ගය ද අද අහිමිව ගිහින්.

ඒ අනුව දරුවන් දෙදෙනාගේ ඉදිරි වසර 5 ක අධ්‍යාපන කටයුතු සඳහා ශිෂ්‍යත්ව පිරිනැමීමට ‘මනුසත් දෙරණ’ තීරණය කර ඇත.

දේහය පිළිබඳ පශ්චාත් මරණ පරීක්ෂණය අද (22) පෙරවරුවේ නුවරඑළිය මූලික රෝහලේදී සිදුකෙරුණු අතර දේහය අද (22) පස්වරුවේ නිවසට ගෙන ගියේය.

දේහය පිළිබඳ අවසන් කටයුතු ලිඳුල රත්නගිරි පොදු සුසාන භූමියේදී හෙට (23) සිදුකිරීමට නියමිතයි.

මේ අතර සියදිවි නසාගැනීමට තැත්කළ තිරුචෙල්වම් ශ්‍රියාණි නැමැති තරුණිය මේ වන විට ලිඳුල ප්‍රාදේශීය රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියි.

ඇයව බේරාගත් තලවකැලේ පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක රුවන් ප්‍රනාන්දු මහතා අද (22) රෝහලට පැමිණ තරුණියට අවවාද කළේය.

ඒ අතර තරුණියගේ දිවි බේරාගත් පොලිස් නිලධාරීන්ට තලවාකැලේ ප්‍රදේශවාසීන් පිරිසකගෙන් උපහාර පිරිනැමුණි.

https://www.youtube.com/watch?v=jbCSYyiSJuE

+++++++++++++++++++++

“හදිසි තීරණයක් මට සමාවෙන්න”

(23.05.2020 – mawbima.lk)

තලවකැලේදී සියදිවි නසා ගැනීමට තැත් කළ තරුණිය බැලීමට ඉකුත් සිකුරාදා තලවකැලේ පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක රුවන් ප්‍රනාන්දු මහතා තලවකැලේ රෝහලට පැමිණි අවස්ථාවේ එම තරුණිය මෙසේ අදහස් දැක්වූවාය.

“මගේ පෞද්ගලික හේතුවක් නිසා මම ගත්තේ හදිසි තීරණයක්. ඒ නිසා ජීවිතයක් නැති වුණා. ඒකට මට සමාවෙන්න. මම ඉස්පිරිතාලෙන් පිටවෙලා ගිය හැටියේ ඒ දරු පවුල ගැන බලනවා”.

“වතුරෙදි මම එයාගේ අතින් අල්ල ගත්තා. ඊට පස්සේ අපි දෙන්නම දිය යටට ගියා. මාව උඩට මතු වුණා. එයා උඩට ආවේ නෑ. කවුරු හරි මාව ටියුබ් එකකට දාගත්තා මතකයි. ඒ කවුද දැන ගත්තේ දැන් තමයි. ඒ මාව බේරාගත්තේ තලවකැලේ ඕ.අයි. සී. මහත්තයා. ඒ හැමෝටම ස්තූතියි” ෴

+++++++++++++++++++++

තරුණියක මුදා ගැනීමට කොත්මලේ ජලාශයට පැන ජීවිතය අහිමි වූ තරුණයාගේ අවසන් කටයුතු අද

(23.05.2020 – 10:27 +0530 – hirunews.lk/sinhala)

ඉහළ කොත්මලේ ජලාශයට පැන දිවි හානි කර ගැනීමට උත්සාහ කළ තරුණිය මුදා ගැනීමට ගොස් දියේ ගිලී ජීවිතක්ෂයට පත්වූ මුස්ලිම් ජාතික තරුණයාගේ අවසන් කටයුතු අද සිදුකිරීමට නියමිතයි.

ඒ, ලිදුල – ෆාමස්ටන් රත්නගිරිය පොදු සුසාන භූමියේදියි.

පශ්චාත් මරණ පරීක්ෂණ කටයුතුවලින් අනතුරුව 28 හැවිරිදි මෙම දෙදරු පියාගේ දේහය ඊයේ (22) පස්වරුවේ ඔහු පදිංචි ෆාමස්ටන් රත්නගිරිය ජනපදය වෙත රැගෙන ගොස් තිබුණා.

මේ අතර, ජලාශයට පැන දිවි හානි කර ගැනීමට තැත් කළ 22 හැවිරිදි තරුණිය තවදුරටත් ලිදුල ප්‍රාදේශීය රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබනවා.

මිය ගිය තරුණයාගේ මව සිංහල කාන්තාවක වන අතර පියා මුස්ලිම් ජාතියෙක්.

දෙමළ කතෝලික ආගම අදහන දෙමළ ජාතික තරුණියක සමඟ විවාහ වුණු ඔහු තම දරුවන් දෙදෙනා ද අධ්‍යාපනය සඳහා ඇතුළත් කර තිබුණේ සිංහල බෞද්ධ පාසල් වලටයි.

දේහය පිළිබඳ අවසන් කටයුතු අද (23) පස්වරු 1 ට සිදුකෙරෙන අතර, ආගමික වතාවත් දහවල් සිංහල – බෞද්ධ සිරිත්වලට අනුකූලව ඉටු කෙරුණා.

එම තරුණයා පිළිබදව හිරු ප්‍රවෘත්ති අංශයට වැඩිදුරටත් අදහස් දැක්වූ නව සිංහල රාවය සංවිධානයේ මහලේකම් පූජ්‍ය මාගල්කන්දේ සුදත්ත හිමියන් කියා සිටියේ, මුස්ලිම් භක්තිකයෙකු ලෙස ඡන්ම ලාභය ලබා ද්‍රවිඩ කාන්තාවක සමඟ විවාහ වී බෞද්ධ මුහුණුවරකින් ජීවන ගමන ගත කර යහපත් පුරවැසියෙකු ලෙස මෙම තරුණයා හැදින්විය හැකි බවයි ෴

***************************************

ගම්වාසීන්ට කොටුවූ වනජීවී නිලධාරීන්

(22.05.2020 – 22:24 +0530 – hirunews.lk/sinhala)

පොළොන්නරුව වැලිකන්ද මුතුගල ප්‍රදේශයේ බලපත්‍ර සහිත කුඹුරු ඉඩම් වල සී සාමින් සිටි ගොවින් කිහිප දෙනෙකු අද (22) පෙරවරුවේ පොළොන්නරුව සහ වැලිකන්ද වනජිවි නිලධාරින් පිරිසක් විසින් අත්අඩංගුවට ගැනිමට ගිය අවස්ථාවේ ඊට විරෝධය පල කළ ගම්වාසීන් එම වනජිවි නිලධාරින්ව පැය හයක පමණ කාලයක් කොටුකරගෙන සිට තිබෙනවා.

පොලිසිය සදහන් කලේ ගොවින්ට කොටුවී සිටි වනජීවී නිලධාරීන් නිදහස් කරගැනීම සදහා දැඩි පරිශ්‍රමයක් දැරීමට සිදුවූ බවයි.

***************************************

ශ්‍රී ලංකාවේ කොරෝනා වෛරස් ආසාදිතයන් ගණන 1068 ක් දක්වා ඉහළට

(22.05.2020 – 22:17 +0530 – hirunews.lk/sinhala)

ශ්‍රී ලංකාවෙන් වාර්තාවන කොරෝනා වෛරස් ආසාදිතයන් ගණන 1068 ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.

ඒ අද (22) තවත් ආසාදිතයන් 08 දෙනෙකු හඳුනා ගැනීමත් සමගයි.

අද (22) දිනයේ මෙතෙක් වාර්තාවී ඇති ආසාදිතයන් ගණන 13 ක්.

මෙතෙක් මෙරටින් වාර්තාවී ඇති ආසාදිතයන්ගෙන් 439 දෙනෙකු රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් පසුවනවා.

සුවය ලැබූ 620 දෙනෙකු නිවෙස් වෙත පිටත්ව ගොස් ඇති අතර සිදුවූ මරණ සංඛ්‍යාව 09 ක් ෴

+++++++++++++++++++++++++++++++++++

දරුවන් අතර ව්‍යාප්තවන කොවිඩ් 19 ට සමාන නව වෛරසයක් ගැන හෙළිදරව්වක්

(22.05.2020 – 20:47 +0530 – hirunews.lk/sinhala)

කොවිඩ් 19 වෛරසයට බොහෝ සමානකම් ඇති, දරුවන් අතර, ශීඝ්‍රයෙන් ව්‍යාප්තවන නව වෛරසයක් අමෙරිකාව ඇතුළු රටවල් රැසක ව්‍යාප්ත වෙමින් පවතින බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

මේවන විට ලොව රටවල් රැසකින් වාර්තාවන කොවිඩ් 19 පුද්ගල මරණ සංඛ්‍යාව 335,203 දක්වා ඉහළගොස් ඇති අතර, වාර්තාවන ආසාදිතයින් සංඛ්‍යාව ලක්ෂ 52 කට අධිකයි.

කොවිඩ් 19 වෛරසයේ නවතම කේන්ද්‍රස්ථානය බවට දැන් පත්ව තිබෙන්නේ දකුණු ඇමරිකාවේ විශාලතම රාජ්‍යවන බ්‍රසීලයයි.

එක්දිනක් තුළ එරටින් වාර්තා වූ වැඩිම කොවිඩ් මරණ සංඛ්‍යාව සටහන් කරමින් ඊයේ නව පුද්ගල මරණ 1188 ක් වාර්තා වීමත් සමඟ සමස්ත පුද්ගල මරණ සංඛ්‍යාව 20,082 ක් දක්වා ඉහළ ගියා.

බ්‍රසීලයේ සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 310,921 ක් දක්වා ඉහළ ගියේ නව ආසාදිතයින් 17,564 ක් ගත වූ පැය 24 තුළ වාර්තාවීමත් සමඟයි.

තවමත් කොවිඩ් 19 ආසාදිතයින් සහ පුද්ගල මරණ වාර්තාවීම අතින් ලොව ඉදිරියෙන්ම පසුවන්නේ අමෙරිකාව වන අතර ආසාදිතයින් 28,179 දෙනෙක් ඊයේ (21) දිනයේදී එරටින් වාර්තා වුණා.

එරට තුළ සිදුව ඇති සමස්ත පුද්ගල මරණ සංඛ්‍යාව 96,000 කට අධිකයි.

ජනාධිපතිවරුන් 11 දෙනෙක් යටතේ සේවය කළ ධවල මන්දිරයේ සේවකයෙකු කොවිඩ් ආසාදිතව ජීවිතක්ෂයට පත්වූ ප්‍රවෘත්තියක් විදෙස් මාධ්‍ය වාර්තා කළා.

මිචිගන්හි සංචාරයකට එක් වූ ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මුව ආවරණයක් නොපැළඳ මාධ්‍ය හමුවේ පෙනී සිටි අතර ඔහුගේ මෙම හැසිරීම විවේචනය කරමින් ප්‍රාන්ත නීතිපතිවරයා කියා සිටියේ මෙවැනි පුද්ගලයෙකු රටේ ජනාධිපති වීම සම්බන්ධයෙන් තමන් ලැජ්ජාවට පත්වන බවයි.

මේ අතර අද (22) රැස්වූ චීන පාර්ලිමේන්තුවට චීන ජනාධිපති ෂී ජින් පිං මුඛ ආවරණයක් නොපැළඳ සභා ගර්භයට පැමිණීමද ජාත්‍යන්තරයේ දැඩි අවධානයට ලක්වුණා.

අසල්වැසි ඉන්දියාවේ දිනක් තුළ වාර්තා වූ වැඩිම ආසාදිතයින් සංඛ්‍යාව 6198 ක් ලෙස ඊයේ (21) වාර්තා වුණා.

මේ වන විට එරට සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 118,226 දක්වා ඉහළ ගොස් ඇති අතර මරණ සංඛ්‍යාව දැක්වුණේ 3584 ක් ලෙසින්.

එළඹෙන සඳුදාට යෙදෙන රාමසාන් උත්සවය සඳහා බංග්ලාදේශ වැසියන් ආරක්ෂක ක්‍රමවේදයන් නොතකමින් සූදානම්වන අයුරු දක්නට ලැබුණා.

මේ අතර කොවිඩ් 19 වෛරසයට බොහෝ සමානකම් දක්වන නව වෛරසයක් දරුවන් ආශ්‍රිතව ව්‍යාප්තවීමෙන් ලොව රටවල් 13 ක් දැඩි බලපෑමකට ලක්ව තිබෙනවා.

අමෙරිකාවේ නිව්යෝර්ක් ප්‍රාන්තයේ ආණ්ඩුකාර ඇන්ඩෘ කුමෝ පවසන්නේ දරුවන් 150 කට අධික සංඛ්‍යාවක් සිය රට තුළ මෙම වෛරසයට ගොදුරු වී ඇති බවයි.

අමෙරිකාවට අමතරව මෙම වෛරසය බ්‍රිතාන්‍ය, ප්‍රංශය, ඉතාලිය, ස්පාඤ්ඤය ඇතුළු රටවල් 13 කින් වාර්තාවනවා.

කොවිඩ් 19 වෛරසය මැඩලීමට ප්‍රති මැලේරියා ඖෂධවන ක්ලෝරොක්වීන් සහ හයිඩ්‍රොක්සි ක්ලෝරොක්වීන් ඖෂධ අත්හදා බැලීමට බ්‍රිතාන්‍ය සෞඛ්‍ය අංශ තීරණය කර ඇති අතර ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලය පසුගිය මාසයේ පුද්ගලයින් දෙදෙනෙක් මත අත්හදා බැලූ කොවිඩ් මර්දන එන්නත දෙවන අදියරේ පරීක්ෂණ සඳහා අවසරය හිමි වී තිබෙනවා.

ඒ අනුව සායනිකව අත්හදා බැලීම් 10,000 ක් ඉදිරියේදී සිදුකිරීමට නියමිතයි.

+++++++++++++++++++++

දරුවන් අතර මතුවිය හැකි රෝගයක් ගැන අනතුරු ඇගවීමක්

(23.05.2020 – 11:15 +0530 – hirunews.lk/sinhala)

කොරෝනා වෛරසය පැතිර යාමෙන් පසු දරුවන් අතර කවසාකි නම් රෝගය මතුවිය හැකි බැවින් ඒ පිළිබදව දෙමව්පියන් වැඩි අවදානයක් යොමු කළ යුතු බව ළමාරෝග විශේෂඥයින් පවසනවා.

රිජ්වේ ආර්යා ළමා රෝහලේ විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා මහතා හිරු ප්‍රවෘත්ති අංශයට කියා සිටියේ මෙය ස්වයං ප්‍රතිශක්තිකරණ රෝගයක් බැවින් ඒ තුළින් දරුවාගේ හෘදයට බලපෑම් ඇති කළ හැකි බවයි.

ඒ අනුව අවුරුදු 5 ට අඩු දරුවෙකුට දින 5 කට වැඩි කාලයක් තද උණක් පවතින්නේ නම්, එය කවසාකි රෝගයේ ලක්ෂණයක් විය හැකි බව ද ඔහු පෙන්වා දුන්නා ෴

***************************************

ශ්‍රී ලංකාව ජනරජයක් බවට පත්වී අදට වසර 48 යි

(22.05.2020 – 21:02 +0530 – hirunews.lk/sinhala)

1948 පෙබරවාරි 4. ශ්‍රී ලංකාවට නිදහස හිමිවූ දිනයයි.

නමුත් ශ්‍රී ලංකාව පරිපූර්ණ නිදහස හා ස්වාධීනත්වය ලැබුවේ මීට වසර 48 කට පෙර අද වැනි දිනකයි.

වර්ෂ 1948 පෙබරවාරි 4 වනදා ශ්‍රී ලංකාවට අරුණ නැගැන්නේ වසර 133 ක් බ්‍රිතාන්‍යය කිරීටයට යටත්ව සිට නිදහස්වූ බිමකටයි.

නමුත් මෙහිදී අපට හිමිව තිබුනේ ඩොමීනියන් තත්ත්වයේ නිදහසක්.

ඒ අනුව මෙරට රාජ්‍ය නායකයා ලෙස තවදුරටත් මහා බ්‍රිතාන්‍යයේ රජු හෝ රැජින කටයුතු කළා.

ඔහුගේ හෝ ඇයගේ මෙරට නියෝජිතයා ලෙස පිළිගැනුනේ අග්‍රාණ්ඩුකාරවරයායි.

ඒ අනුව නිදහස් ලංකාවේ පරිපාලනමය කරුණු රැසක් පිලිබඳ අවසාන බලය තවදුරටත් බ්‍රිතාන්‍ය කිරීටයට යටත්ව තිබුණා.

1948 ලැබුණු ඩොමීනියන් නිදහස පරිපූර්ණ නිදහසක් බවට පත් වුයේ 1970 දී බලයට පත්වන සමගි පෙරමුණු ආණ්ඩුව ගෙන ආ නව ජනරජ ව්‍යවස්ථාවත් සමඟයි.

අපේ මව් පොළොව මුළුමනින්ම බ්‍රිතාන්‍ය කිරීටයෙන් ගලවා ගැනුණු ඒ නව ජනරජ ව්‍යවස්ථාව ප්‍රකාශයට පත් වුණේ මීට වසර 48 කට පෙර අද වැනි දිනකයි.

මේ අනුව එතෙක් ‘සිලෝන්’ යනුවෙන් හැදින්වූ අප රට ‘ශ්‍රී ලංකා ජනරජය’ ලෙස එතැන් සිට හැඳින්වුණා.

සෝල්බරි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් සහමුලින් ඉවත්වීමත් ඒ සමඟ සිදුවුණා.

ඒ අනුව ඒකීය රාජ්‍යයක් වන ශ්‍රී ලංකාව බුදුදහමට ප්‍රමුඛස්ථානය ලබාදීමත් ජාතික ධජයේ සිවු කොණට බෝපත් හතරක් එකතුවීමත්, දේශීයත්වය රැකගත් ජනරජ ලාංඡනයක් නිර්මාණයවීමත් සිදුවනවා.

ශ්‍රී ලංකාව එලෙස සම්පූර්ණ ස්වාධීන රාජ්‍යයක් බවට පත්වන්නේ 1972 ජනරජ ව්‍යවස්ථාවෙන් පසුවයි.

***************************************

පාස්කු ප්‍රහාරයට යොදාගෙන ඇත්තේ මෙරට නිෂ්පාදිත බෝම්බ බව ජනපති කොමිසමේදී හෙළිවෙයි

(22.05.2020 – 20:25 +0530 – hirunews.lk/sinhala)

පාස්කු ප්‍රහාරය සඳහා යොදාගෙන ඇත්තේ මෙරට නිෂ්පාදනය කළ බෝම්බ බව එම ප්‍රහාරය සම්බන්ධයෙන් සොයා බලන ජනාධිපති කොමිසම හමුවේ හෙළි වුණා.

ඒ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ප්‍රධාන පොලිස් පරීක්ෂක ඒ.ජී.වයි. ස්වරණකීර්තිසිංහ මහතා අද (22) කොමිසම හමුවේ සාක්ෂි ලබා දුන් අවස්ථාවේදීයි.

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් සොයා බලන ජනාධිපති කොමිසම හමුවේ අද (22) සාක්ෂි ලබා දුන්නේ කිංස්බරි හෝටලයේ බෝම්බ ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශන කටයුතු භාරව සිටි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ප්‍රධාන පොලිස් පරීක්ෂක ඒ.ජී.වයි. ස්වරණකීර්තිසිංහ මහතායි.

අදාළ බෝම්බ ප්‍රහාරය පිළිබඳ තමන් දැනුවත් වූයේ එදින උදැසන සමාජ මාධ්‍යවලින් බවත් එවකට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ශානි අබේසේකරගේ උපදෙස් මත අපරාධය සිදුවූ ස්ථානයට ගිය බවත් සාක්ෂිකරු කොමිසම හමුවේ පවසා සිටියා.

මේ වනවිට කිංස්බරි හෝටලය සම්බන්ධයෙන් වූ පරීක්ෂණ කටයුතු අවසන්දැයි කොමිසම සාක්ෂිකරුගෙන් විමසූ අවස්ථාවේ ඔහු පවසා සිටියේ තවමත් පරීක්ෂණ කටයුතු සිදුවන බවයි.

බෝම්බකරුට කිංස්බරි හෝටලයේ කාමරයක් වෙන් කරවා ගැනීමට පසුගිය වසරේ අප්‍රේල් 17 වැනිදා පුද්ගලයෙකු පැමිණි බවට තොරතුරු අනාවරණ වී ඇති බවත් එම පුද්ගලයා සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයේ බෝම්බය පුපුරුවා ගත් බෝම්බකරු බවට හඳුනාගෙන ඇති බවත් සාක්ෂිකරු වැඩිදුරටත් පවසා සිටියා.

කිංස්බරි බෝම්බකරු 20 වැනිදා පස්වරුවේ පැමිණ 8 වැනි මහළේ 819 වැනි කාමරයේ නවාතැන් ගත් ආකාරය දැක්වෙන සීසීටීවී දර්ශනද සාක්ෂිකරු කොමිසම හමුවේ ඉදිරිපත් කළා.

කොමිසම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරියාගෙන් විමසා සිටියේ බෝම්බකරු පුපුරණ ද්‍රව්‍ය රැගෙන ආවේ කෙදිනද යන්නයි.

සාක්ෂිකරු එහිදී පවසා සිටියේ 20 වැනි දින රාත්‍රියේ බෝම්බකරු පුපුරණ ද්‍රව්‍ය රැගෙන ආ බවට ආරක්ෂිත කැමරා දර්ශනද සාක්ෂි දරන බවයි.

ඔහු එදින රාත්‍රියේ හෝටලයෙන් පිටත්වී කොළොන්නවා ප්‍රදේශයේ සුපිරි වෙළෙඳසැලකින් භාණ්ඩ මිලදීගෙන කොළොන්නාව ප්‍රදේශයේ පිහිටි කුලී නිවසක ජීවත්වූ සිය බිරිඳට සහ දරුවාට ඒවා භාර දී පැමිණ ඇති බවයි කොමිසම හමුවේ සාක්ෂිකරු හෙළි කළේ.

අදාළ බෝම්බකරුගේ බිරිඳගේ සහ දරුවාගේ තොරතුරු ඔහු සන්තකයේ ඇත්ද යන්න කොමිසම සාක්ෂිකරුගෙන් විමසා සිටි අවස්ථවේ ඔහු පැවසුවේ බිරිඳ අයේෂා සිද්ධිකා වන බවත් අවුරුදු 6 ට අඩු දියණියගේ නම හබීබා අසාමි මුබාරක් බවයි.

අදාළ බෝම්බකරු කොළඹ අවට මෙවැනි කුලී නිවාස කිහිපයක ජීවත්වී ඇති බවත් ස්වරණකීර්තිසිංහ මහතා සාක්ෂි දෙමින් පැවසුවා.

බෝම්බකරු පාස්කු ප්‍රහාරයේ මහමොළකරු වූ සහරාන් හෂීම්ගේ රියදුරු ලෙස අවස්ථා කිහිපයකදී කටයුතු කර ඇති බවත් 2019 අප්‍රේල් 16 වැනිදා කාත්තන්කුඩි ප්‍රදේශයේ වූ යතුරුපැදිය පිපිරීමේ සිද්ධියටද ඔහු සම්බන්ධ බවට තොරතුරු අනාවරණය වී ඇති බවත් ඔහු කොමිසම හමුවේ වැඩිදුරටත් ප්‍රකාශ කළා.

+++++++++++++++++++++

පාස්කු ප්‍රහාරයට ලක්වූ හෝටල් කිහිපයක නිලධාරීන් අද ජනපති කොමිසම හමුවට

(23.05.2020 – 07:38 +0530 – hirunews.lk/sinhala)

පාස්කු බෝම්බ ප්‍රහාරය සම්බන්ධයෙන් සොයා බලන ජනපති කොමිසම වෙත ප්‍රහාරයට ලක්වූ හෝටල් කිහිපයක නිලධාරීන් අද (23) කැඳවා තිබෙනවා.

මේ අතර, පාස්කු ප්‍රහාරය සඳහා යොදාගෙන ඇත්තේ මෙරට නිෂ්පාදනය කළ බෝම්බ බව ජනාධිපති කොමිසම හමුවේ හෙළි වුණා.

ඒ, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ප්‍රධාන පොලිස් පරීක්ෂක ඒ.ජී.වයි. ස්වර්ණකීර්තිසිංහ ඊයේ (22) සාක්ෂි ලබා දුන් අවස්ථාවේදීයි.

ඔහු කිංස්බරි හෝටලයේ බෝම්බ ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශන කටයුතු භාරව සිටියා.

අදාළ බෝම්බ ප්‍රහාරය පිළිබඳ තමන් දැනුවත් වූයේ එදින උදැසන සමාජ මාධ්‍යවලින් බවත්, එවකට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ශානි අබේසේකරගේ උපදෙස් මත අපරාධය සිදුවූ ස්ථානයට ගිය බවත් සාක්ෂිකරු කොමිසම හමුවේ පවසා සිටියා.

පරීක්ෂණ කටයුතු අවසන්දැයි කොමිසම සාක්ෂිකරුගෙන් විමසූ අවස්ථාවේ ඔහු පවසා සිටියේ තවමත් පරීක්ෂණ කටයුතු සිදුවන බවයි.

කොමිසම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරියාගෙන් විමසා සිටියේ බෝම්බකරු පුපුරණ ද්‍රව්‍ය රැගෙන ආවේ කෙදිනද යන්නයි.

සාක්ෂිකරු එහිදී පවසා සිටියේ 20 වැනි දින රාත්‍රියේ බෝම්බකරු පුපුරණ ද්‍රව්‍ය රැගෙන ආ බවට ආරක්ෂිත කැමරා දර්ශනද සාක්ෂි දරන බවයි.

ඔහු එදින රාත්‍රියේ හෝටලයෙන් පිටත්වී කොළොන්නාව ප්‍රදේශයේ සුපිරි වෙළෙඳසැලකින් භාණ්ඩ මිලදීගෙන කොළොන්නාව ප්‍රදේශයේ පිහිටි කුලී නිවසක ජීවත්වූ සිය බිරිඳට සහ දරුවාට ඒවා ලබා දී පැමිණ ඇති බවයි කොමිසම හමුවේ සාක්ෂිකරු හෙළි කළේ.

ඔවුන්ගේ තොරතුරු ද ඔහු කොමිසමට හෙළි කළා.

බෝම්බකරු පාස්කු ප්‍රහාරයේ මහමොළකරු වූ සහරාන් හෂීම්ගේ රියදුරු ලෙස අවස්ථා කිහිපයකදී කටයුතු කර ඇති බවත්, 2019 අප්‍රේල් 16 වැනිදා කාත්තන්කුඩි ප්‍රදේශයේ වූ යතුරුපැදිය පිපිරීමේ සිද්ධියටද ඔහු සම්බන්ධ බවට තොරතුරු අනාවරණය වී ඇති බවත්, පොලිස් පරීක්ෂකවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළා ෴

***************************************

පාලන මිල නොසලකා සහල් අලෙවි කරන්නේදැයි සෙවීමට පරිභෝගික අධිකාරියෙන් වැටලීම්

(22.05.2020 – 20:14 +0530 – hirunews.lk/sinhala)

වෙළඳ පොළේ සහල් හිගයක් පවතින බවට පාරිභෝගිකයින් චෝදනා කරනවා. මෙම සහල් හිඟය කෘත්‍රිමව නිර්මාණය කළ එකක්ද ? මෙම සහල් හිඟයට සැබෑ හේතුව කුමක්ද ?

සහල් හිගයක් පිළිබඳ මෑතකදී මුලින්ම කතාබහට ලක්වුයේ කොවිඩ් 19 වෛරසය රට තුළ ව්‍යාප්තවිමත් සමග වෙළඳුන් විසින් අත්‍යවශය ආහාර ද්‍රව්‍ය වල මිල වැඩි කිරිමට පියවර ගැනිමත් සමඟයි.

ඒ හේතුවෙන් සහල් සඳහා පාලන මිලක් නියමකරමින් ගැසට් පත්‍රයක් නිකුත් කල අතර ඒ පිළිබඳ පසුගිය අප්‍රේල් 08 වනදා ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් පැවති රැස්වීමකදී දිර්ඝ ලෙස සාකාච්ජා කෙරුණා.

ඒ අනුව පසුගිය අප්‍රේල් 10 වනදා ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කලේ නැවත දැනුම් දෙන තුරු සියලුම වීමෝල් හිමියන්ගේ සේවාවන් කෝවිඩ් 19 නිරෝධායන අත්‍යවශ්‍ය සේවාවක් ලෙස ප්‍රකාශයට පත් කරන බවයි.

කෙසේ වෙතත් මේ දිනවල නැවත වතාවක් වෙළදපොලේ සහල් හිගයක් පවතින බවට පාරිභෝගිකයින් චෝදනා කරනවා.

ඔවුන් පවසන්නේ වෙළෙදුන් විසින් සහල් අලෙවි කරන්නේද පාලන මිලට වඩා අධික මිල ගණන් යටතේ බවයි.

එලෙස පාලන මිල නොතකමින් සහල් අලෙවි කරන්නේදැයි සොයා බැලිමට පරිභෝගික කටයුතු පිලිබඳ අධිකාරියේ නිලධාරින් අද (22) වැටලිම් සිදු කලා.

එහිදි කොළඹ කොටුව ප්‍රදේශයේ සහල් වෙළද සැලකට වැඩි මිලගණන් යටතේ සහල් ලබා දෙන වී මෝල් හිමියෙකු පරිභෝගික කටයුතු පිලිබඳ අධිකාරියෙ නිළධාරින් විසින් අත්අඩංගුවට ගනු ලැබුවා.

මේ අතර රට තුළ සහල් හිඟයක් ඇතිවීම වැලැක්විම සඳහා තමන් සතු වී සහ සහල් තොඟ නොපමාව වෙළඳපොලට නිකුත් කරන ලෙස පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය ව්‍යාපාරිකයින්ගේන් ඉල්ලා සිටිනවා.

කෙසේ වෙතත් සහල් මෝල් හිමියන්ගේ සංගමය රජයෙන් ඉල්ලා සිටින්නේ සහල් සඳහා පැවති සහතික මිල එලෙසම ක්‍රියාත්මක කරන ලෙසයි.

කෙසේ වෙතත් මෙම තත්ත්වය රට තුළ සහල් හිගයක් කෘත්‍රිමව නිර්මානය කිරිමට ගන්නා උත්සහයක් බවටද සැක මතුවනවා.

අප මේ පිළිබඳව ආරක්ෂ ලේකම් කමල් ගුණරත්න මහතාගෙන් විමසුවා.

මේ අතර අද (22) සිට ක්‍රියාත්මක වන පරිදි තවත් ආනයනික ආහාර ද්‍රව්‍ය රැසක විශේෂ වෙළඳ භාණ්ඩ බද්ද සංශෝධනය කර ඇති බව මුදල් අමාත්‍යාංශය නිවේදනය කර සිටියා.

ඒ අනුව අර්තාපල් හා රතුළුණු කිලෝග්‍රෑමයක් සඳහා පැවති රුපියල් 25 ක බද්ද රුපියල් 50 ක් දක්වා ඉහළ යනවා.

සුදු ළුණූ කිලෝග්‍රෑමයකට රුපියල් 50 ක බද්දක් පනවා තිබෙන අතර මීට පෙර එම බදු මුදල වූයේ රුපියල් 40 ක්.

එමෙන්ම රතු පරිප්පු කිලෝග්‍රෑමයකට රුපියල් 10 ක බද්දක් පනවා තිබෙන්නේ පෙර තිබු රුපියල් 7 ක බදු මුදලට රුපියල් 3 ක් එක් කරමින්.

කිලෝග්‍රෑමයකට රුපියල් 50 ක බද්දක් පනවා තිබු සැමන් කිලෝග්‍රෑමයක නව බදු මුදල රුපියල් 100 ක් දක්වා ඉහළ යනවා.

මේද ධාරිතාවය 80‍% ක් වන මාගරින් කිලෝග්‍රෑමයක් සඳහා මීට පෙර පැවති රුපියල් 215 ක් වූ බද්ද ඉහළ දමා ඇත්තේ රුපියල් 650 ක් ලෙසයි.

***************************************

ජල බිල්පත් ගැටළුවලට විශේෂ දුරකථන අංකයක්

(22.05.2020 – 19:10 +0530 – hirunews.lk/sinhala)

ජල පාරිභෝගිකයන්ගේ බිල්පත් ගැටළු සම්බන්ධයෙන් විසඳුම් ලබාදීම සඳහා විශේෂ දුරකථන අංකයක් හඳුන්වාදීමට ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පියවර ගෙන තිබෙනවා.

ඒ අනුව ඕනෑම දුරකථනයකින් E අකුර යොදා 0719399999 අංකයට කෙටි පණිවුඩයක් යොමු කිරීමෙන් අදාළ ගැටළුවලට විසඳුම් ලබාගැනීමට හැකිවනු ඇති.

අදාළ කෙටි පණිවුඩය ජල සම්පාදන මණ්ඩලයට ලැබීමෙන් පසු එම පාරිභෝගිකයාට අදාළ දිස්ත්‍රික්කයේ ජල බිල්පත් අංශය විසින් දුරකථන ඇමතුමක් ලබාදී ගැටළුවට විසඳුම් ලබාදෙන බවයි ජල සම්පාදන මණ්ඩලයේ සහකාර සාමාන්‍යාධිකාරී පියල් පත්මනාත් සඳහන් කළේ.

මීට අමතරව ජල බිල්පත් සම්බන්ධ ගැටළු සඳහා ජල සම්පාදන මණ්ඩලයේ 1939 අංකයට ඇමතීමෙන් ද විසඳුම් ලබාගත හැකියි ෴

***************************************

රුසියාවේ සිටි පැමිණි සිසුන් 260 දෙනා නිරෝධායනයට යොමු කෙරේ

(23.05.2020 – 07:32 +0530 – hirunews.lk/sinhala)

කොරෝනා වසංගතය හේතුවෙන් දිවයිනට පැමිණීමට නොහැකිව රුසියාවේ රැදී සිටි 260 දෙනෙකු ඊයේ (22) රාත්‍රියේ ශ්‍රී ලන්කන් විශේෂ ගුවන් යානයකින් දිවයිනට පැමිණියා.

ගුවන් තොටුපළ හිරු වාර්තාකරු සඳහන් කළේ මොස්කව් සිට පැමිණි මෙම පිරිස රුසියාවේ අධ්‍යාපන කටයුතු සඳහා ගොස් සිටි වයස අවුරුදු 30 ට අඩු සිසු සිසුවියන් බවයි.

යුද හමුදාවේ මැදිහත්වීමෙන් ඔවුන් නිරෝධායන මධ්‍යස්ථාන වෙත යොමු කෙරුණා.

+++++++++++++++++++++++++++++++++++

‘සමුදුර’ නෞකාව ‘අම්ෆන්’ සුලි කුණාටුවේ බලපෑමෙන් අතරමංවූ මෙරට ධීවර යාත්‍රාවන් වෙත ළගාවෙයි.

(22.05.2020 – navy.lk)

‘අම්ෆන්’ සුලි කුණාටුවේ බලපෑමෙන් ඇතිවූ අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් ඉන්දුනීසියාව ආශ්‍රිත මුහුදු ප්‍රදේශයට ගසා ගෙන ගිය මෙරට බහුදින ධීවර යාත්‍රාවන්ට අවශ්‍ය සහය සහ ඉන්ධන ලබා දීම සඳහා 2020 මැයි මස 21 වන දින පිටත්ව ගිය ශ්‍රී ලංකා නාවික හමුදාවට අයත් සමුදුර නෞකාව අදාල ධීවර යාත්‍රාවන් වෙතට ළගාවී මේ වන විට එම යත්‍රාවන් සමඟ සන්නිවේදන කටයුතු ගොඩනගා ගැනීමට සමත්ව සිටී.

ශ්‍රීලංනානෞ සමුදුර

‘අම්ෆන්’ සුලි කුණාටුවේ බලපෑමෙන් ඉන්දුනීසියාව ආශ්‍රිත මුහුදු ප්‍රදේශයට ගසා ගෙන ගිය ශ්‍රී ලංකාවට අයත් බහුදින ධීවර යාත්‍රාවන්ට අවශ්‍ය සහය ලබා දීම සඳහා 2020 මැයි මස 21 වන දින පිටත් කර යවන ලද ශ්‍රී ලංකා නාවික නෞකා සමුදුර නෞකාව එම බහුදින ධීවර යාත්‍රාවන් ඇති මුහුදු ප්‍රදේශයට මේ වන විට ලඟා වී අදාල ධීවර යාත්‍රාවන් සමඟ සන්නිවේදන කටයුතු සිදු කරමින් ඔවුන්ට අවශ්‍ය සියළුම සහායන් ලබා දෙමින් ගොඩබිම වෙත යාත්‍රා කරමින් සිටී. තවද ගොඩබිමට යාත්‍රා කරන අතරතුර අදාල ධීවර යාත්‍රාවන් සහ ධීවරයන්ට අවශ්‍ය ආහාර, වෛද්‍යාධාර සහ ඉන්ධන සමුදුර නෞකාව මගින් අවශ්‍ය පරිදි ලබාදීමට නාවික හමුදාව කටයුතු සූදානම් කර ඇත.

ඒ අනුව මෙම සුලි කුණාටු තත්වය හේතුවෙන් විපතට පත් සියළුම ධීවර යාත්‍රාවන් ඉදිරියේදී නිරුපද්‍රිතව ගොඩබිම වෙත රැගෙන ඒමට නාවික හමුදාව කටයුතු කරනු ලබයි ෴

***************************************

නිරෝධායනය වූ කොළඹ යාචකයින්ට වෘත්තීය පුහුණුව

(23.05.2020 – 07:42 +0530 – hirunews.lk/sinhala)

පිටකොටුව බස් නැවතුම්පොල ආශ්‍රිතව සහ ඒ අවට සිටියදී පොලිස් භාරයට ගත් යාචකයන් 60 දෙනෙකු වීරවිල රැඳවුම් මධ්‍යස්ථානයට යොමුකරන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න සහ කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ප්‍රියන්ත ලියනගේ නියෝග කළා.

පසුගිය ඇඳිරි නීති කාලසීමාව තුළ පොලිස් භාරයට ගත් යාචකයින් දින 14 ක කාලයක් නිරෝධායනය කිරීමට පොලීසිය පියවර ගෙන තිබුණා.

ඔවුන් මෙලෙස අනාරක්ෂිත ලෙස සැරිසරමින් සිටියේ ජිවත් වීම සඳහා ස්ථිර වාසස්ථාන හෝ ආදායම් මාර්ග නොමැතිවීම හේතුවෙන් බව පොලීසිය මෙහිදී අධිකරණය හමුවේ කරුණු දක්වමින් ප්‍රකාශ කළා.

එම කරුණු සලකා බැලූ අධිකරණය අදාළ පිරිස වීරවිල රැඳවුම් මධ්‍යස්ථානයට යොමුකරන ලෙස නියෝග කරනු ලැබුවා.

එම යාචකයින් අතරින් වයෝවෘද්ධ පුද්ගලයින් හැර සෙසු පිරිස සඳහා වෘත්තීය පුහුණුවක් ලබාදීමට ද කටයුතු කරන බව පොලීසිය අධිකරණයට දැනුම් දුන්නා.

මේ අතර,මැයි 30 සහ ජුනි 13 වන සෙනසුරාදා දිනවල ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩු කටයුතු විභාග කිරීමට තීරණය කර තිබෙනවා.

ඒ, ඇඳිරි නීති සමය හේතුවෙන් කැඳවීමට නොහැකි වූ නඩු කැඳවීම සඳහා දින නියම කිරීමටයි ෴

+++++++++++++++++++++++++++++++++++

ඇඳිරි නීතිය ක්‍රියාත්මක දෙදින පුරා පොලිස් මාර්ග බාධක 900 ක්

(23.05.2020 – 07:53 +0530 – hirunews.lk/sinhala)

ඇඳිරි නීතිය ක්‍රියාත්මක හෙට (24) සහ අනිද්දා (25) දෙදින තුළ දිවයින පුරා පොලිස් මාර්ග බාධක 900 ක් යෙදවීමට කටයුතු කරන බව නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසනවා.

ඔහු මේ බව කියා සිටියේ ‘හිරු ටී.වී.’ ඔස්සේ විකාශය වූ ‘පත්තරේ විස්තරේ’ වැඩසටහනට අද (23) එක්වෙමින්.

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *