කොත්මලේ ජලාශයට පැන්න තරුණියකගේ ජීවිතය තලවකැලේ පොලිස් ස්ථානාධිපති විසින් බේරා ගැනේ

+++++++++++++++++++++++++++++++++++

= මේ පිටුවේ සිරස්තල =

• කොත්මලේ ජලාශයට පැන්න තරුණියකගේ ජීවිතය තලවකැලේ පොලිස් ස්ථානාධිපති විසින් බේරා ගැනේ (විඩියෝ)

• තරුණියක් සිය දිවි නසාගන්න කොත්මලේ ජලාශයට පනී – බේරගන්න පැන්න තරුණයා දියේ ගිලී මරුට (විඩියෝ)

• මාලිගාවත්තේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් ව්‍යාපාරිකයා ඇතුළු 6 දෙනා රිමාන්ඩ් (විඩියෝ)

• මාළිගාවත්තේදී කාන්තාවන් තිදෙනෙකු තෙරපී මියයාමේ සිද්ධිය සම්බන්ධයෙන් අධිකරණය වැඩිදුර වාර්තාවක් කැඳවයි

• මෙරට සමස්ත කොරෝනා ආසාදිතයින් ගණන 1048 ක් දක්වා ඉහළට

• කොරෝනා වෛරසයෙන් ආරක්ෂා වීමට සෞඛ්‍ය පුරුදු ඇතුලත් සංඥා මාලාවක් හඳුන්වාදීමට පියවර

• ලංගම ගොඩගන්න ජනපතිගෙන් යෝජනා මාලාවක් (විඩියෝ)

+++++++++++++++++++++++++++++++++++

කොත්මලේ ජලාශයට පැන්න තරුණියකගේ ජීවිතය තලවකැලේ පොලිස් ස්ථානාධිපති විසින් බේරා ගැනේ

(21.05.2020 – 18:28 +0530 – hirunews.lk/sinhala)

= කොත්මලේ ජලාශයට පැන්න තරුණියකගේ ජීවිතය තලවකැලේ පොලිස් ස්ථානාධිපති බේරා ගනී – තරුණිය බේරගන්න ගිය දෙදරු පියෙකුට දිවි අහිමි වෙයි =

ඉහළ කොත්මලේ ජලාශයට පැන දිවි නසා ගැනීමට උත්සාහ කළ තරුණියකගේ දිවි බේරා ගැනීමට තලවකැලේ පොලිසියේ ස්ථානාධිපතිවරයා සමත්වී තිබෙනවා.

තරුණිය බේරා ගැනීමට උත්සාහ කළ 28 හැවිරිදි දෙදරු පියෙකු දියේ ගිලී ජීවිතක්ෂයට පත්ව ඇති බවයි අප වාර්තාකරු කියාසිටියේ.

අද (21) උදෑසන 10 ට පමණ ඉහළ කොත්මලේ ජලාශය හරහා ඉදිකර ඇති දුම්රිය පාලම අසලිනුයි තරුණිය ජලාශයට පැන තිබුනේ.

එය දුටු පාලම ආසන්නයේම සිටි පුද්ගලයෙකු තරුණිය බේරා ගැනීම සඳහා ජලාශයට පැන ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

ජලාශය මධ්‍යයේ ගිලෙමින් සිටි තරුණිය වෙතට පිහිනා ගිය එම තරුණයා තරුණිය සමග ජලාශය තුළ ගිලී ගොස් අතුරුදන්වී තිබුනා.

කෙසේවෙතත් පසුව තරුණිය යළිත් ජලාශයෙන් මතුවීමත් සමග තලවකැලේ පොලිසියේ ස්ථානාධිපතිවරයා ජලාශයට පැන අනෙක් නිලධාරීන්ගේ ද සහයෙන් කඹයක් සහ ටියුබයක් යොදාගෙන ඇය බේරාගෙන ළිඳුල රෝහලට ඇතුලත් කර තිබෙනවා.

විනාඩි 10 ක් වැනි කාලයක් ඇතුලත තරුණිය බේරා ගැනීමට පොලිස් ස්ථානාධිපතිවරයා සමත්ව ඇතැයි සඳහන්.

මේ අතර තරුණිය බේරා ගැනීමට උත්සාහ කර දියේ ගිලී අතුරුදන්වූ දෙදරු පියාගේ සිරුර අද (21) පස්වරුවේ පොලිස් ජීවිතාරක්ෂක භටයින් සහ ප්‍රදේශවාසීන් එක්ව සොයාගෙන තිබෙනවා.

ඔහු තලවකැලේ රත්නිල්ලකැලේ ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

වෘත්තියෙන් වඩු කාර්මිකයෙක් වන ඔහු සේවය කරමින් සිටි ස්ථානයට ආසන්නව තරුණිය ජලාශයට පැන තිබූ සඳහන්.

ඔහුගේ සිරුර පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා නුවරඑළිය මූලික රෝහලට යොමු කිරීමට නියමිතයි.

ඉහළ කොත්මලේ ජල පෝෂක ප්‍රදේශවලට ඇද හැලුනු අධික වර්ෂාවත් සමග ජලාශයේ ජල මට්ටම ද ඉහළ ගොස් ඇති බවයි අප වාර්තාකරු කියාසිටියේ.

+++++++++++++++++++++

මලසිරුර ගොඩගැනීම :

+++++++++++++++++++++

+++++++++++++++++++++

තරුණියක් සිය දිවි නසාගන්න කොත්මලේ ජලාශයට පනී – බේරගන්න පැන්න තරුණයා දියේ ගිලී මරුට

(21.05.2020 – 19:56 +0530 – sinhala.adaderana.lk)

දිවි පරදුවට තබා ජීවිතයක් බේරාගන්නට ගොස් අවාසනාවන්ත ඉරණමකට මුහුණ දුන් තරුණයෙකු පිළිබඳ පුවතක් අද (21) අපට වාර්තා වුණි. ඒ ඉහළ කොත්මලේ ප්‍රදේශයෙන්.

ඉහළ කොත්මලේ ජලාශය මතින් දිවෙන දුම්රිය මාර්ගයේ පාලමෙන් තරුණියක් ජලාශයට පැන ඇත්තේ දිවි හානි කරගැනීමේ අරමුණින්. ඒ අද (21) උදේ 10:30 ට පමණ.

සිද්ධිය සැලවී එය නරඹන්නට විශාල පිරිසක් පාලම මත රැස් වී සිටියා.

නමුත් තරුණිය බේරාගන්නට ඉදිරිපත් වන්නේ ඒ අසලින් රැකියාවට යමින් සිටි අයෙකි.

කෙසේ වෙතත් එහි පැමිණි තලවාකැලේ පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක රුවන් ප්‍රනාන්දු මහතා සැණෙන් ක්‍රියාත්මකවී ජලාශයට පැන තරුණියගේ දිවි බේරාගැනිමට සමත්විය.

දිවි නසා ගැනීමට තැත්කළ තරුණියට ජීවත් වන්නට වාසනාව තිබුණත් දිවි බේරාගන්නට පැමිණි පුද්ගලයා අවාසනාවන්ත ලෙස මරණයට පත් විය.

ඔහු ලිඳුල රත්තගිරි ප්‍රදේශයේ පදිංචි 28 හැවිරිදි දෙදරු පියෙකි. නමින් හමීඩ් රික්ෂ්වාන් වන ඔහු වෘත්තියෙන් පෙදරේරු අත් උදව්කරුවෙකි.

සිද්ධිය සැලවීමත් සමග හමීඩ්ගේ පවුලේ ඥාතීන්ද ජලාශයට අසලට පැමිණියා.

සිය ජීවිතය පරදුවට තබා ජීවිතයක් බේරාගන්නට දෙනෝදාහක් මැදින් පෙරට විත් මහ ජල කඳ මැද අතුරුදන්වූ හමීඩ් සොයා තලවාකැලේ යුද හමුදා කඳවුරේ නිලධාරීන් සහ පොලිසිය එක්ව විශේෂ මෙහෙයුමක් ආරම්භ කර තිබෙනවා.

සිය ජීවිතය පරදුවට තබා ජීවිතයක් බේරාගන්නට දෙනෝදාහක් මැදින් පෙරට විත් මහ ජල කඳ මැද අතුරුදන්වූ හමීඩ්ගේ මළ සිරුර සොයාගත්තේ තලවාකැලේ යුද හමුදා කඳවුරේ නිලධාරීන් සහ පොලිසිය එක්ව සිදු කළ විශේෂ මෙහෙයුමකින් පසුවයි.

https://www.youtube.com/watch?v=FHWooZhyVFE#t=6

***************************************

මාලිගාවත්තේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් ව්‍යාපාරිකයා ඇතුළු 6 දෙනා රිමාන්ඩ්

(21.05.2020 – 22:43 +0530 – sinhala.adaderana.lk)

මාලිගාවත්ත, ජුම්මා මජිඩ් මාවත ප්‍රදේශයේ දේවස්ථානයක් අසල ආධාර බෙදාදීමක දී ඇතිවූ තෙරපීම සම්බන්ධයෙන් අත්අඩංගුවට පත් ව්‍යාපාරිකයා සහ පුද්ගලයින් හය (06) දෙනා ජූනි 4 වන දින තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියෝගය කර තිබේ.

අද (21) කොළඹ මාළිගාවත්ත ප්‍රදේශයේ ආධාර බෙදාදීමක දී ඇතිවූ තෙරපීමකින් කාන්තාවන් තිදෙනකු ජීවිතක්ෂයට පත්විය.

පොලිසිය පැවසුවේ, ප්‍රදේශයේ දානපති ව්‍යාපාරිකයෙකු මෙම ආධාර බෙදාදීම සිදුකර ඇත්තේ ඇඳිරි නීති කාලය තුළදී බවයි.

තෙරපීමට ලක්වූ තවත් පිරිසක් කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබන අතර, ආධාර බෙදාදුන් ව්‍යාපාරිකයා ඇතුළු පුද්ගලයින් හයදෙනෙකු (06) අත්අඩංගුවට ගෙන තිබේ.

ආධාර බෙදාදීම සිදුකර ඇත්තේ, කොළඹ මාලිගාවත්ත ජුම්මා මස්ජිද් මාවතේ පිහිටි දරුසලාම් විද්‍යාලය අසළ නිවසකදීයි.

පස්වරු දෙකට (02:00) පමණ අදාළ ස්ථානයට පැමිණෙන ලෙස කර තිබූ දැනුම්දීමකට අනුව ප්‍රදේශවාසීන් 300 ක් පමණ අදාළ නිවස අසළට රැස්ව තිබේ.

පොලිසිය පැවසුවේ, රාමසාන් උත්සවය වෙනුවෙන් මුදල් ආධාර ලබාගැනීමට පැමිණි පුද්ගලයින් අතර ආරවුල් ඇතිව තිබූ බවයි.

එහිදී ඇතිවූ තදබදයත් සමඟ වයස්ගත කාන්තාවන් සිව්දෙනකු බිම වැටී තිබේ.

මෙම සිද්ධිය අසල තිබූ සී සී ටී වී කැමරාවක සටහන්ව තිබුණි.

සිද්ධියෙන් තුවාල ලැබූ පුද්ගලයින් කොළඹ ජාතික රෝහලට ඇතුළත් කෙරුණු අතර එහිදී කාන්තාවන් තිදෙනකු ජීවිතක්ෂයට පත්වූ බව රෝහල් ප්‍රකාශකයෙකු පැවසුවේය.

සිද්ධියෙන් තුවාල ලැබූ තවත් සිව්දෙනකු දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන අතර තවත් පස්දෙනකු ප්‍රතිකාර ලබා රෝහලෙන් පිටව ගිය බව එහි ප්‍රකාශකයෙකු සඳහන් කළේය.

කොවිඩ් නයින්ටීන් හේතුවෙන් කොළඹ දිස්ත්‍රික්කයට පනවා ඇති ඇඳිරි නීතිය සහ සෞඛ්‍ය ආරක්ෂන ක්‍රමවේද නොසළකා අදාළ පුද්ගලයින් මෙම අවස්ථාව සංවිධානය කර තිබූ බව පොලිසිය පවසයි.

එමෙන්ම ආධාර බෙදාදීමේ වැඩසටහන සඳහා කිසිදු අවසර පත්‍රයක් ලබාගෙන නොමැති බව ද පොලිසිය ප්‍රකාශ කළේය.

සිද්ධිය සම්බන්ධයෙන් ව්‍යාපාරිකයා සහ තවත් පුද්ගලයින් පස්දෙනකු පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබීය.

සිද්ධිය වූ ස්ථාන අද (21) පස්වරුවේ කොළඹ අතිරේක මහේස්ත්‍රාත් කාංචනා මෙරන්ජි සිල්වා මහත්මිය නිරීක්ෂණය කළේය.

+++++++++++++++++++++

+++++++++++++++++++++

මාළිගාවත්තේදී කාන්තාවන් තිදෙනෙකු තෙරපී මියයාමේ සිද්ධිය සම්බන්ධයෙන් අධිකරණය වැඩිදුර වාර්තාවක් කැඳවයි

(22.05.2020 – 13:36 +0530 – hirunews.lk/sinhala)

ඇඳිරි නීතිය පනවා තිබියදී මාළිගාවත්ත – ජුම්මා මස්ජීඞ් මාර්ගයේ නිවසක් අසල සිදුවූ මුදල් බෙදාදීම අතරතුරදී කාන්තාවන් තුන් දෙනෙකු තෙරපී මියයාමේ සිද්ධිය සම්බන්ධයෙන් අධිකරණය වැඩිදුර වාර්තාවක් කැඳවා තිබෙනවා.

ඒ, අළුත්කඩේ අංක 04 මහේස්ත්‍රාත් අධිකරණයට ඊයේ මාලිගාවත්ත පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් කරුණු වාර්තා කළ අවස්ථාවේදීයි.

සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් ව්‍යාපාරිකයා ඇතුළු 07 දෙනා අධිකරණයට ඉදිරිපත් කළ අතර, එහිදී ඔවුන් ජුනි මස 04 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමටයි විනිසුරුවරිය නියෝග කළේ.

එදිනට සිද්ධිය පිළිබඳ වැඩිදුර වාර්තාවක් ඉදිරිපත් කරන ලෙසද විනිසුරුවරිය පොලිසියට නියෝග කළ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී ජාලිය සේනාරත්න ප්‍රකාශ කළා.

මෙම සිද්ධියෙන් තුවාල ලබා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කෙරුණු පිරිමි පුද්ගලයෙකු ඇතුළු සිව් දෙනෙකු (04) තවදුරටත් එහි ප්‍රතිකාර ලබන බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කළා ෴

+++++++++++++++++++++++++++++++++++

මෙරට සමස්ත කොරෝනා ආසාදිතයින් ගණන 1048 ක් දක්වා ඉහළට

(22.05.2020 – 00:21 +0530 – sinhala.adaderana.lk)

ඊයේ (21) රාත්‍රී 11:55 වන විට තවත් කොරෝනා ආසාදිතයෙක් වාර්තා වු බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

ඒ අනුව මෙරට සමස්ත ආසාදිතයින් ගණන 1048 ක් දක්වා ඉහළ‍ ගොස් තිබේ.

අවසන් වරට වාර්තා වු ආසාදිතයින් දෙදෙනා (02) නාවික හමුදා සාමාජිකයින් බව වාර්තා වෙයි.

මේ අතර, ඊයේ (21) දිනයේ වාර්තා වු කොරෝනා ආසාදිතයින් 15 දෙනෙකු ගිරාගම නිරෝධායන මධ්‍යස්ථානයේ නිරෝධායනයට ලක්වෙමින් සිටින ඩුබායිවල සිටි පැමිණි පිරිසකි.

කෙසේ වෙතත් ඊයේ (21) දිනය තුළ පුද්ගලයින් 20 දෙනෙක් පූර්ණ සුවය ලැබීමත් සමඟ මෙරට සුවය ලැබු සමස්තය 604 ක්.

මේ වන විට කොරෝනා වෛරසය ආසාදිත පුද්ගලයින් 435 දෙනෙක් රෝහල්ගතව ප්‍රතිකාර ලබයි.

‍කොරෝනා ආසාදිතයින් 09 දෙනෙක් මේ වන විට ජීවිතක්ෂයට පත්ව තිබේ ෴

+++++++++++++++++++++++++++++++++++

කොරෝනා වෛරසයෙන් ආරක්ෂා වීමට සෞඛ්‍ය පුරුදු ඇතුලත් සංඥා මාලාවක් හඳුන්වාදීමට පියවර

(21.05.2020 – 21:49 +0530 – hirunews.lk/sinhala)

කොරෝනා වෛරසයෙන් ආරක්ෂා වීම සඳහා සෞඛ්‍ය පුරුදු ඇතුලත් සංඥා මාලාවක් හඳුන්වාදීමට සෞඛ්‍ය අමාත්‍යංශය පියවර ගෙන තිබෙනවා.

කොවිඩ්-19 වෛරසය පැතිර යාම පාලනය කිරීම සඳහා තවදුරටත් ගත යුතු විශේෂ ක්‍රියාමාර්ග පිළිබඳ තීරණ ගැනීම සඳහා වන විශේෂ ක්‍රියාකාරී කමිටුව අද (21) රැස්වුනා. ඒ සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මියගේ ප්‍රධානත්වයෙන්.

එහිදී නව ජීවන රටාවක් උදෙසා යන තේමා පාඨය ඔස්සේ කොවිඩ්-19 වෛරසයෙන් වැලකීමේ සංඥා මාලාව හඳුන්වා දීමටයි තීරණය වී ඇත්තේ.

දිවයින පුරා ජනතාව ගැවසෙන පොදු ස්ථාන බස් නැවතුම් පොළවල් සහ බස් නැවතුම් ස්ථාන සුපිරි වෙළඳසැල් සහ කාර්යාල කේන්ද්‍ර කර ගනිමින් සංඥා ප්‍රදර්ශණය කිරීමට සැලසුම් කර තිබෙනවා.

එමෙන්ම රට යළි විවෘත කිරීමත් සමග කොරෝනා වෛරසය හේතුවෙන් අවශ්‍ය අවස්ථාවන්වලදී මුහුණු ආවරණ පිළිබඳ නිර්දේශ සකස් කිරීමට ද තීරණය වී තිබෙනවා.

සෞඛ්‍ය උපදෙස් මත පොදු ස්ථාන විෂබීජහරණ වැඩපිළිවෙල පිළිබඳ මෙන්ම පී.සී.ආර්. පරීක්ෂණ සිදු කිරීමේ දී අවශ්‍ය වන පුද්ගල ආරක්ෂිත ඇඳුම් සහ වෛද්‍ය උපකරණ මෙතෙක් හිඟයකින් තොරව පවත්වාගෙන පැමිණි වැඩපිළිවෙල ඉදිරියට ද පවත්වාගෙන යාමට මෙන්ම එම වෛද්‍ය උපකරණ ලබාගැනීම වෙනුවෙන් පී.සී.ආර්. පරීක්ෂණ සිදු කරන ආයතනවල අධ්‍යක්ෂවරුන්ට අවශ්‍ය අවසර ලබාදීමටයි තීරණය වී ඇත්තේ.

කොවිඩ්-19 පැතිර යාම වැලැක්වීම සඳහා ගත යුතු විශේෂ ක්‍රියාමාර්ග පිළිබඳ තීරණ ගැනීම සඳහා වන මෙම විශේෂ කාර්ය සාධන සමාලෝචන කමිටුව වෛද්‍ය පරිපාලකයන් පරිපාලන සේවයේ නිලධාරීන් සහ විශේෂඥ වෛද්‍යවරුන් 35 දෙනෙකු නියෝජනය කරනවා.

එය දින දෙකකට වරක් සෞඛ්‍ය අමාත්‍යවරියගේ ප්‍රධානත්වයෙනුයි රැස්වන්නේ ෴

***************************************

ලංගම ගොඩගන්න ජනපතිගෙන් යෝජනා මාලාවක්

(21.05.2020 – 22:10 +0530 – hirunews.lk/sinhala)

ශ්‍රී ලංකා ගමනා ගමන මණ්ඩලය, ලාභ ලබන ප්‍රමුඛ පෙළේ ආයතනයක් බවට පත් කිරීම සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් යෝජනා මාලාවක් ඉදිරිපත් කර තිබෙනවා.

භාණ්ඩාගාරයෙන් මුදල් වෙන් කිරීම වෙනුවට භාණ්ඩාගාරයට මුදල් ලබාදිය හැකි රාජ්‍ය ආයතනයක් බවට ලංගම පත්කිරීමට හැකි බවයි ජනාධිපතිවරයා පෙන්වා දෙන්නේ.

ලංකා ගමන ගමන මණ්ඩලයේ වත්මන් තත්ත්වය විමර්ශනය සඳහා අද (21) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවකදී ගෝඨාභය රාජපක්ෂ මහතා මේ බව කියාසිටියා.

සතියේ දිනවල පෙරවරුවේ සහ පස්වරුවේ දැඩි මාර්ග තදබදයක් පවතින බැවින් එය සමනය කිරීම සඳහා සිය මෝටර් රථයෙන් කාර්යාලවලට යන පිරිස් පොදු ප්‍රවාහන සේවයට එක් කර ගැනීමේ වැදගත්කම ජනාධිපතිවරයා පෙන්වා දී තිබෙනවා.

ඊට පිළියමක් ලෙස තෝරාගත් ස්ථානයක මෝටර් රථය නවතා සේවා ස්ථානයට බස් රථයෙන් ගමන් කිරීමට අවශ්‍ය ක්‍රමවේදයක් (Park and Drive) කඩිනමින් හඳුන්වා දෙන ලෙසටයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා යෝජනා කර ඇත්තේ.

උපරිම පහසුකම් සහිත බස් රථ ඊට එක්කළයුතු බව ද ඔහු සඳහන් කර තිබෙනවා.

පාසල් සිසුන් සඳහා ආරක්ෂාවට ප්‍රමුඛත්වය දෙමින් පාසල් බස් සේවය ප්‍රවර්ධනය කළ යුතුව ඇතැයි ද ජනාධිපතිවරයා ප්‍රකාශ කළා.

පාසල් බස් රථ කහ පාට ගන්වා මහා මාර්ගයේ දී ප්‍රමුඛත්වයක් ලැබෙන ආකාරයෙන් ධාවනය කිරීම පිළිබඳව ද මෙහිදී සාකච්ඡා වූ බවයි ජනාධිපති මාධ්‍ය අංශය කියාසිටියේ.

ලංකා ගමනා ගමන මණ්ඩලයට අයත් බස් රථ සහ පෞද්ගලික බස් රථ වර්ණ දෙකක් යටතේ ධාවනයට යෙදවීමේ වැදගත්කම ද මෙහිදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පෙන්වා දී තිබෙනවා.

සේවක දිරිගැන්වීම, නව ක්‍රම හඳුන්වාදීම, නාස්තිය අවම කිරීම සහ හොරකමට තිත තැබීම සඳහා විධිමත් පියවර අනුගමනය කිරීම ගැන ද සාකච්ඡාවට ලක්වී තිබෙනවා.

ආයතනය දියුණු කිරීම වෙනුවෙන් නිරන්තරයෙන් පර්යේෂණ සහ සමීක්ෂණ සිදු කළයුතුව ඇති බවයි ජනාධිපතිවරයා කියාසිටියේ.

4500 ක පමණ දක්ෂ කාර්මික නිලධාරීන් කණ්ඩායමක් ලංකා ගමනා ගමන මණ්ඩලයේ සිටින බැවින් ඔවුන්ගෙන් උපරිම ප්‍රයෝජන ගෙන ආයතනයෙන් පිටත නඩත්තු කිරීම් සඳහා ඇණවුම් භාරගැනීමෙන් මුදල් ඉපයීමට හැකි බව ද ගෝඨාභය රාජපක්ෂ මහතා සඳහන් කළා.

ප්‍රයෝජනයට නොගත් විශාල භූමි ප්‍රමාණයක් ලංගම සතු බැවින් එම ඉඩම් නිසි කළමනාකරණයෙන් ද මුදල් ඉපයීමට හැකි බවයි ඔහු කියාසිටියේ.

ග්‍රාමීය ප්‍රදේශවල සිට නගරයට කෘෂි අස්වනු ප්‍රවාහනයෙන් ගොවියාට මෙන්ම පාරිභෝගිකයාට ද සහන සැලසීමේ හැකියාව ලංගම සතුව ඇති බව ද ජනාධිපතිවරයා කියසිටියා.

පුහුණු පාසල් තවදුරටත් දියුණු කර සේවක දැනුම පුළුල් කිරීමේ වැදගත්කම ද ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පෙන්වා දුන් අතර කෙටි, මධ්‍ය හා දිගු කාලීන සැලැස්මකට අනුව සමස්ථ ක්‍රියාවලිය ඉදිරියට ගෙන යාමට ද නිලධාරීන්ට උපදෙස් ලබාදී තිබෙනවා.

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *