පාස්කු ප්‍රහාරය ගැන දරුවන් දෙදෙනෙකු කළ විශේෂ ප්‍රකාශය

+++++++++++++++++++++++++++++++++++

= මේ පිටුවේ සිරස්තල =

• පාස්කු ප්‍රහාරය ගැන දරුවන් දෙදෙනෙකු කළ විශේෂ ප්‍රකාශය (විඩියෝ)

• පාස්කු ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් හිටපු ජනපති මෛත්‍රී සහ හිටපු අගමැති රනිල් උසාවි කැඳවන්න දින නියම කෙරේ

• ලෝක මුස්ලිම් රාජ්‍යයේ නායක සිහිනය දුටු, කවුද මේ කාත්තන්කුඩියේ සහරාන් ?

• ‘හිරු CIA’ අනාවරණයෙන් පසුව ගැලවුණු කම්බි වැට (විඩියෝ)

+++++++++++++++++++++++++++++++++++

පාස්කු ප්‍රහාරය ගැන දරුවන් දෙදෙනෙකු කළ විශේෂ ප්‍රකාශය

(12.05.2020 – 20:33 +0530 – hirunews.lk/sinhala)

පාස්කු ප්‍රහාර මාලාව සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනවලට අදාළව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ රඳවා ගෙන ප්‍රශ්න කෙරෙන නීතිඥ හිජාස් හිස්බුල්ලා, අවි පුහුණු ලබාදීමේ සිද්ධියකට ද සම්බන්ධ බව අද (12) අනාවරණය වුණා.

ඒ මද්‍රසා පාසලක ඉගෙනුම ලැබූ දරුවන් දෙදෙනෙකු (2) අද (12) අධිකරණය හමුවේ සිදුකළ ප්‍රකාශයක් සමඟින්.

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගත් දරුවන් දෙදෙනෙකු (2) කොටුව මහේස්ත්‍රාත් රංග දිසානායක මහතා හමුවේ අද (12) විශේෂ ප්‍රකාශයක් සිදුකළා.

අවුරුදු 17 ට අඩු වයස්වල සිටින මෙම දරුවන් පැයකට ආසන්න කාලයක් මහේස්ත්‍රාත්වරයා ඉදිරියේ මෙම ප්‍රකාශයක් සිදුකළා.

ඔවුන් අධ්‍යාපනය ලැබූ මද්‍රසා පාසලේදී අන්තවාදී ඉගැන්වීම් සිදුකළ ආකාරය සහ සටන් පුහුණුව ලබාදුන් ආකාරය ද ඔවුන් එහිදී පවසා තිබෙනවා.

පාස්කු ප්‍රහාරයට පෙර මෙම දරුවන් නේවාසිකව තබාගෙන විවිධ පුහුණුවීම්වලට යොමු කරමින් ත්‍රස්ත පුහුණුවක් ලබා දී ඇති අදාළ පාසල පවත්වාගෙන ගොස් තිබෙන රාජ්‍ය නොවන සංවිධානයක ප්‍රධාන නිලතලවල සිටි පුද්ගලයින් පසුගිය වසරේ අප්‍රේල් 21 වැනිදා මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාර එල්ල කළ අය බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සිදුකළ විමර්ශනවලදී අනාවරණ වී තිබෙනවා.

එදින බෝම්බ ප්‍රහාරවලදී ෂැංගිලා හා සිනමන්ඩ් ග්‍රෑන්ඩ් හෝටල් දෙකට මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාර එල්ල කළ බෝම්බකරුවන් දෙදෙනෙක් මෙම පාසල පවත්වාගෙන ගිය රාජ්‍ය නොවන සංවිධානයේ ලේකම් ධුරය සහ භාණ්ඩාගාරික ධුරය දරමින් අදාළ මද්‍රසා පාසලේ දරුවන්ට අන්තවාදී දේශන පවත්වා ඇති බවට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට බී වාර්තාවක් මගින් කරුණු අනාවරණය කළා.

පාස්කු ප්‍රහාරයෙන් දින කිහිපයකට පසුව අම්පාර – සයින්දමර්දු නිවසක් තුළ කුඩා දරුවන් සමඟ බෝම්බයක් පුපුරවා ගනිමින් මියගිය සහරාන් හෂීම්ගේ සොහොයුරා වන මොහොමඩ් රිල්වාන් නමැත්තා ද මෙම මද්‍රසා පාසලේ දේශකයෙකු ලෙස කටයුතු කර තිබෙනවා.

එහි විදුහල්පතිවරයා ලෙස කටයුතු කර ඇත්තේ පසුගියදා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අත්අඩංගුවට පත්වූ නීතිඥ හිජාස් හිස්බුල්ලා බව කොටුව මහේස්ත්‍රාත්වරයා හමුවේ විශේෂ අනාවරණයක් සිදුකළ දරුවන් දෙදෙනා (2) සඳහන් කළා.

මේ අතර, පාස්කු ඉරුදින ප්‍රහාරය වළක්වා ගැනීමට කටයුතු නොකිරීමේ චෝදනාවට අදාළව ගොණු කර ඇති පෙත්සම් 12 විභාගය සඳහා ශ්‍රේෂ්ඨාධිකරණය දින නියම කළා.

ඒ, අදාළ පෙත්සම් බුවනෙක අළුවිහාරේ, එස්. තුරෙයිරාජා සහ ගාමිණි අමරසේකර යන ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඬුල්ල හමුවේ අද (12) කැඳවූ අවස්ථාවේදී.

අනිවාර්ය නිවාඩු ලබා සිටින පොලිස්පති පූජිත් ජයසුන්දර සහ හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු ඇතුළු පිරිසකට එරෙහිව ගොනු කර ඇති මෙම පෙත්සම් ලබන සැප්තැම්බර් මස 02 වැනිදා සිට අඛණ්ඩව දින 3 ක් විභාගයට ගැනීමට නියෝග කළ ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඬුල්ල, හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සම්බන්ධව ලේඛන ඇත්නම් ඒවා ඔහුගේ නීතිඥවරයාට භාරදීමට පියවර ගන්නා ලෙස පෙත්සම්කාර පාර්ශ්වයට දැනුම් දුන්නා.

+++++++++++++++++++++++++++++++++++

පාස්කු ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් හිටපු ජනපති මෛත්‍රී සහ හිටපු අගමැති රනිල් උසාවි කැඳවන්න දින නියම කෙරේ

(12.05.2020 – 12:03 +0530 – lankaleadnews.com)

පාස්කු ප්‍රහාරය වැළැක්වීමට කටයුතු නොකිරීම සම්බන්ධයෙන් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන හා හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ යන මහත්වරුන් ඇතුළු පාර්ශ්ව කිහිපයකට එරෙහිව ගොනුකර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සම් 12 විභාගයට ගැනීමට ශ්‍රේෂ්ඨාධිකරණය දින නියම කර තිබේ.

පාස්කු ඉරුදින සිදුවූ මරාගෙන මැරෙන ප්‍රහාරය වැළැක්වීමට කටයුතු නොකිරීම සම්බන්ධයෙන් වගඋත්තරකාර පාර්ශ්ව කිහිපයකට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සම් 12 ක් ගොනුකර තිබෙන අතර එම පෙත්සම් සැප්තැම්බර් මස 2, 3 හා 4 යන දිනවලදී විභාගයට ගැනීමට ශ්‍රේෂ්ඨාධිකරණය දින නියම කළේය.

හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර, හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු, හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන හා හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ යන මහත්වරුන් ඇතුළු පාර්ශ්ව කිහිපයකට එරෙහිවයි මෙම පෙත්සම් ගොනුකර ඇත. වගඋත්තරකරුවන් ලෙස නම්කර ඇති හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන හා හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ යන මහත්වරුන් වෙනුවෙන් නීතිපතිවරයා පෙනී නොසිටින බව මීට පෙර ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම්දී තිබුණි. මෛත්‍රීපාල සිරිසේන මහතා වෙනුවෙන් අද (12) දින පෙනීසිටි ජනාධිපති නීතීඥ ෆයිසර් මුස්තාපා මහතා ප්‍රකාශ කළේ ඇතැම් පෙත්සම්වලට අදාළව තම සේවා දායකයාට මෙතෙක් නොතීසි ලැබී නොමැති බවය. ඒ අනුව එම පෙත්සම්වලට අදාළ නොතීසි වගඋත්තරකරුවන්ට ලබන 22 වනදාට පෙර යැවීමට කටයුතු කරන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කළේය.

පෙත්සම්වලට එරෙහි විරෝධතා ජුනි මස 16 වනදා වනවිට ගොනුකරන ලෙසත් ප්‍රතිවිරෝධතා ජුලි 16 වනදා ගොනුකරනු ලෙසත් අදාළ පාර්ශ්ව වෙත නියෝග කෙරුණි.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 12(1) වගන්තියේ සදහන් මූලික අයිතිවාසිකම් බැලූ බැල්මට උල්ලංඝනය වී ඇති බව ශ්‍රේෂ්ඨාධිකරණය මීට පෙර තීරණය කර තිබුණි. මෙම පෙත්සම් අද (12) දින කැදවනු ලැබුවේ බුවනෙක අලුවිහාරේ, එස් තුරෙයිරාජා සහ ගාමිණි අමරසේකර යන ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල හමුවේය ෴

+++++++++++++++++++++++++++++++++++

ලෝක මුස්ලිම් රාජ්‍යයේ නායක සිහිනය දුටු, කවුද මේ කාත්තන්කුඩියේ සහරාන් ?

(26.04.2020 – divaina.com)

= දෙවසරකට පෙර රටක් කදුළෙන් නැහැවූ ඉස්ලාම් අන්තවාදියා =

ඉස්ලාම් ප‍්‍රජාවගේ අති ශුද්ධ වූ රාමදාන් මාසය පසුගිය සඳුදා ආරම්භ වීමෙන් පැය 48 කට පසු පාකිස්තානයේ ලාහෝර් නගරයේ පිහිටි අති ජනප‍්‍රිය ඩාමා දර්බර් මුස්ලිම් පල්ලියට බෝම්බ ගසන ලදී. එම ප‍්‍රහාරයෙන් දස දෙනෙක් (10) මියගොස් විසි හතර දෙනෙක් (24) බරපතළ තුවාල ලැබූහ. ප‍්‍රහාරයෙන් පැය කිහිපයකට පසු පාකිස්තානයේ ආරක්ෂක අමාත්‍යාංශයට ඊමේල් පණිවුඩයක් ලැබිණි. එය එවා තිබුණේ තලේබාන් සංවිධානය විසිනි. පල්ලියට බෝම්බ ගැසූවෝ තමන් බව ඔවුහු කීහ. ඩාමා දර්බර් පල්ලිය වූකලී සුෆී නමැති ඉස්ලාමීය නිකායට අයත් පල්ලියකි.

එසේම එය දකුණු ආසියාවේ විශාලතම සුෆී මුස්ලිම් පල්ලියයි. පිපිරීම සිදුවුණේ එම පල්ලියේ කාන්තා දොරටුව අසලය. මේ පල්ලියට මෙයට අවුරුදු නවයකට පෙරදීත් බෝම්බ ගසන ලදී. එහිදී බැතිමතුන් හතළිස් දෙකක් මියගියහ. මෙහිදී සුෆි යන්න ගැන පැහැදිලි කළ යුතුය. ඉස්ලාම් ආගම් කොටස් කිහිපයක් ඇත. සුන්නි ඉස්ලාමය මෙවැනි එක් කොටසකි. මහම්මත්තුමාගේ අයිතිවාසිකම්වලට කෙළින්ම උරුමකම් කීමට කෙනකු නොමැති බැවින් ඉස්ලාම් ආගමේ ඊළඟ නායකයා තෝරා ගැනීම බැතිමතුන්ගේ ඡන්දයෙන් කළ යුතු බව සුන්නිවරු කියති. ඔවුන්ට අනුව ඉස්ලාම් ආගමේ ඊළඟ නායකයා අබුබකර්තුමාය. ඔහු මහම්මතුතුමාගේ කිට්ටු මිතුරා සහ අනුගාමිකයකු ලෙස සිටියේය. ඊළඟ කණ්ඩායම වන ෂියා මුස්ලිම්වරුන් කියන්නේ මහම්මත් තුමාගේ අනුප‍්‍රාප්තිකයා වන්නේ මහම්මත්තුමාගේ බෑණාවන ‘අලි බින් අබි කාලිබ්’ බවය. අබුබකර්තුමාගේ අනුප‍්‍රාප්තිකත්වයට ඔවුහු විරුද්ධය. තුන්වන කණ්ඩායම වන සුෆී ඉස්ලාම්වරු ගුප්ත ශාස්ත‍්‍රය විශ්වාස කරති. හදි හූනියම් වැනි අභිචාරවිධි ද ඔවුන්ගේ විශ්වාසයට අයත්ය. මේ හේතුව නිසා සුන්නි සහ ෂියා යන නිකාය දෙකේම අය සුෆීවරුන් අප‍්‍රිය කරති. ලාහෝරයේ සුෆි පල්ලියට බෝම්බ ගැසූ තලේබාන් සංවිධානය ඇෆ්ගනිස්තානය මූලස්ථානය කරගත් අන්තවාදී සහ මූලධර්මවාදී කණ්ඩායමකි. ඉකුත් පාස්කු ඉරිදා බෝම්බ ප‍්‍රහාර මාලාවට නායකත්වය දුන් 34 හැවිරිදි සහරාන් හෂීම්ද මූලධර්මවාදී සුන්නි ඉස්ලාමීයයෙකි.

‘ශ‍්‍රී ලංකා තව්හිද් ජමාත්’ සංවිධානයේ සාමාජිකයකු ලෙස කටයුතු කළ සහරාන් හෂීම් එයින් ඉවත්ව ‘ජාතික තව්හිද් ජමාත්’ සංවිධානය පිහිටුවා ගනී. එයට හේතුව ඉස්ලාමීය අන්තවාදය පතුරුවනු පිණිස ඔහු විසින් කරන ලද ප‍්‍රචණ්ඩ යෝජනා කිහිපයක්ම ‘ජාතික තව්හිද් ජමාත්’ සංවිධානය විසින් ප‍්‍රතික්ෂේප කිරීමය. ඔහුගේ ප‍්‍රචණ්ඩ අදහස් ප‍්‍රමාණය ඉක්මවා ගිය අතර 2018 වන විට ඔහු විසින්ම සාදන ලද ‘ජාතික තව්හිද් ජමාත්’ සංවිධානය තුළද ඔහු ප‍්‍රතික්ෂේප වීමට පටන් ගත්තේය. ඒ අනුව තවත් දස දෙනකු (10) සමග එක්වූ සහරාන් හෂීම් ‘ජාතික තව්හිද් ජමාත්’ සංවිධානයෙන් ඉවත් වී ‘තව්හිද් ජමාත් දේශය’ නමැති සංවිධානයක් පිහිටුවා ගත්තේය. එම කණ්ඩායම පසුව ISIS සංවිධානය සමග සෘජු සම්බන්ධතා ගොඩනඟාගත් බව දැනගන්නට තිබේ. මෙතැන් සිට ඉස්ලාමීය ත‍්‍රස්තවාදය පැතිරවීම සඳහා අවශ්‍ය ශ‍්‍රම බළකාය සහරාන් විසින්ද බෝම්බ තැනීම සඳහා අවශ්‍ය තාක්ෂණය ISIS සංවිධානය විසින්ද සපයන ලද බව සඳහන්ය.

‘මොහොමඞ් සහරාන් මොහොමඞ් හෂීම්’ හෙවත් ‘අබු උබයිදා’ (මෙය ඔහුගේ ත‍්‍රස්තවාදී නාමයයි) 1985 දී නැගෙනහිර පළාතේ කාත්තන්කුඩියේදී උපන්නේය. කාත්තන්කුඩිය ඉතා කුඩා ප‍්‍රදේශයකි. මෙහි වර්ග ප‍්‍රමාණය වර්ග කිලෝ මීටර් 2.56 කි. මේ භූමිය තුළ 47,603 ක ජනගහනයක් වෙසෙති. ඒ අනුව ශ‍්‍රී ලංකාවේ වැඩිම ජන ඝනත්වයක් සහිත ප‍්‍රදේශය කාත්තන්කුඩියයි. ඒ නිසාම මෙය බහුල ලෙස ව්‍යාපාර කටයුතු සිදුකෙරෙන භූමියක් බවට පත්ව ඇත. තවදුරටත් විස්තර කරන්නේ නම්, මඩකලපු දිස්ත‍්‍රික්කයේ වැඩිම ව්‍යාපාර ප‍්‍රමාණයක් තිබෙන භූමිය කාත්තන්කුඩියයි. ශ‍්‍රී ලංකාවේ පළමුවන ඉස්ලාමීය මධ්‍ය මහා විදුහල 1930 දී කාත්තන්කුඩියේදී පිහිටුවන ලදී. මේ නිසා මේ ප‍්‍රදේශයෙන් උගත්තු බොහෝ දෙනා බිහි වූහ. නැගෙනහිර පළාතේ ව්‍යාපාර වැඩිහරියක් කාත්තන්කුඩියේ වැසියන්ට අයත්ය.

මෙයට දශක තුනකට පමණ පෙර සිට කාත්තන්කුඩි වැසියන්ගේ වෙළෙඳ ආර්ථිකය යම් තරමකට වෙනස් විය. ඒ එහි පිරිමින් මැදපෙරදිග රැකියා සඳහා යන්නට පටන් ගත් නිසාය. ඔවුන්ගෙන් වැඩි දෙනා ආපසු සිය රටට ආවේ ‘වහාබ්වාදීන්’ ලෙසය. මෙහිදී වහාබ්වාදය කුමක්ද යන්න හඳුන්වා දිය යුතුව ඇත. මෙය ඉස්ලාමීය ප‍්‍රතිසංස්කරණ වාදයකි. වහාබ්වාදියා අන්ත මූලධර්මවාදියකු වන අතර අල්ලා දෙවියන් කෙරෙහි අතිශයින් විශ්වාසය තබා වෙන කිසිදු දෙවියකු නැති බව විශ්වාස කරයි. වහාබ්වාදයේ පීතෘවරයා 1703 සිට 1792 දක්වා සවුදි අරාබියේ ජීවත් වූ ‘මොහොමඩ් ඉබන් අබ්ද් අල් වහාබ්’ නමැති පූජකයාය. සුෆි ඉස්ලාම්වරුන්ගේ ගුප්තවාදය සහ අතීතයේදී මියගිය ඉස්ලාමීය පූජකවරුන්ගේ සොහොන් කොත් වන්දනාමාන කිරීමේ සුන්නි ඉස්ලාම් පුරුද්ද යනාදිය බැහැර කළ ‘මොහොමඩ් ඉබන් අබ්ද් අල්’ පූජකයා සවුදි අරාබියේ පුරෝගාමී නායකයා ලෙස සැලකෙන ‘මොහොමඩ් බින් සාවුද්’ (1726-1765) සමග මිත‍්‍රත්ව ගිවිසුමක් ඇති කරගෙන සවුදි අරාබිය පුරා වහාබ්වාදය පැතිරවීමට පටන් ගත්තේය. පසු කාලයේදී ඊජිප්තුව, මොරොක්කෝව, කුවේට්, තුර්කිය, ඉන්දුනීසියාව, මැලේසියාව, සෝමාලියාව, ලෙබනනය යන රටවලට වහාබ් වාදය පැතිර ගියේය. අද වන විට ඉන්දියාව සහ ඇමෙරිකාව යන රටවලද වහාබ්වාදීහු සිටිති. කාත්තන්කුඩිය වහාබ්වාදයේ ගොදුරක් මෙන්ම වහාබ් කොලනියක් බවට කෙතරම් දුරට පත්වී ඇත්ද යන්න එහි යන කෙනකුට දැක බලා ගත හැකිය. මෙහි සිටින ගැහැණු ‘අබායා’ නමැති කළු පැහැති දිගු ගවුම සහ බුර්කා පැළඳ සිටිති. වැඩුණු හැම පිරිමියකුගේම මුහුණේ ඝන රැවුලක් ඇත. පාරවල් දෙපස සහ ගෙවතුවල රට ඉඳි ගස් සිටුවා ඇති අතර කඩ සාප්පුවල නාම පුවරු සියල්ලම පාහේ ලියා ඇත්තේ අරාබි අකුරුවලිනි. මෙහි ඇති විශේෂිතම කාරණය නම් කාත්තන්කුඩියට අයත් වර්ග කිලෝ මීටර් 2.56 තුළ මුස්ලිම් පල්ලි 60 කට වඩා තිබීමය. මේ පල්ලි වැඩිහරිය වහාබ් පල්ලි වෙයි. මේ නිසා කාත්තන්කුඩිය මේ රටේ වහාබ්වරුන් වැඩිම පිරිස සිටින ප‍්‍රදේශයයි. මෙහිදී සිහිපත් කළ යුතු වැදගත් කාරණයක් තිබේ. 1990 දී මෙහි පල්ලියකට කඩාවැදුණු LTTE ත‍්‍රස්තයෝ දෙවියන් වඳිමින් සිටි ඉස්ලාමියයන් 147 දෙනෙක් වෙඩි තබා මැරූහ. 2004 සුනාමියේදී මෙහි වැසියෝ 201 ක් මළහ.

හෂීම්ගේ පියා ‘හයාත් මොහොමඞ් හෂීම්’ය. මව සම්තාය. කාත්තන්කුඩි ටවුමේ හෂීම් පවුල ජීවත් වූ නිවස විය. දරුවන් පස් (5) දෙනෙකුගෙන් යුතු හෂීම් පවුලේ වැඩිමහලු දරුවා සහරාන්ය. සහරාන්ගේ සෙසු සහෝදරයෝ සෙයිත් සහ රිල්වාන්ය. මදනියා සහ යසීරා යනුවෙන් සහෝදරියෝ දෙදෙනෙක් ද ඔහුට වූහ. අද වන විට මේ සියලු දෙනා විවාහපත්ව දරුවන් ලැබූ අය වෙති. සහරාන් 2010 දී විවාහ විය. ඔහුගේ බිරිඳ කුරුණෑගල දිස්ත‍්‍රක්කයේ නාරම්මලට අයත් කැකුණගොල්ල ගමේ ජීවත්වූ හාදියා නමැති තරුණියකි. කැකුණගොල්ල ජාතික පාසලේ ඇය උගත්තාය. මේ යුවළට දියණියක් සහ පුතෙක් ලැබිණ. අද වන විට දියණියගේ වයස අවුරුදු 8 කි. පුතාගේ වයස අවුරුදු 4 කි.

සහරාන් හෂීම් උගත්තේ කාත්තන්කුඩියේ රජයේ පාසලෙනි. ඔහු අපොස සා.පෙළ තෙක් උගෙන 2001 ‘විජයතුල් අල් මද්රාසා’ නමැති ආගමික පාසලට ඇතුළු විය. කාත්තන්කුඩියේ අංක 4 දරන කොට්ඨාසයේ මේ පාසල පිහිටා තිබුණි. ආගමික පාසලේ ගත කළ මුල් කාලයේදී ඔහු ඉතා දීප්තිමත් ශිෂ්‍යයකු වූ අතර ක‍්‍රමයෙන් ප‍්‍රචණ්ඩත්වයට පත්ව ගුරුවරුන් සමග ගැටුම් ඇතිකර ගන්නට පටන් ගත්තේය. ඒවා ප‍්‍රධාන වශයෙන් මත ගැටුම්ය. ගුරුවරුන් දැරූ සාම්ප‍්‍රදායික ඉස්ලාමීය මතවාදවලට ඔහු විරුද්ධ වූ අතර මූලධර්මවාදී මතවාද වෙනුවෙන් ඔහු දැඩිසේ පෙනී සිටියේය. ඒ අතර ඔහු අරාබි බස පිළිබඳව දැනුම මහත්සේ පුළුල් කරගත්තේය. අනතුරුව තව්හිද්වාදයට ඇබ්බැහි විය. (තව්හිද් යනු වහාබ්වාදයටත් එහා ගොස් ඒකදේවවාදය ප‍්‍රවර්ධනය කරන්නකි. ඉස්ලාමයට අනුව එකම දෙවියා අල්ලාය. මෙය Oneness හෝ Monotheist ලෙස හඳුන්වනු ලැබේ.) ඒකදේවවාදියා අන්තවාදී ඉස්ලාම් භක්තිකයකු වූ විට වැඩේ හොඳටම අවුල්ය. ඔහු නිතරම උත්සාහ කරන්නේ සෙසු දෙවිවරුන් අදහන අය සංහාරය කිරීමටය. මෙය එක්තරා මානසික රෝගයකි.

ඉස්ලාමීය දේවධර්ම ගුරුවරුන් සමග ගැටුමක් ඇති කරගත් සහරාන් ඔහු උගත් අල්ෆාටා මද්රාසා පාසලෙන් පළවාහරින ලදී. ඒ 2007 දීය. ඔහු මේ පාසලේ දිගටම අධ්‍යාපනය ලද්දේ නම් එළියට එන්නේ මවුලවි කෙනකු ලෙසය. එහෙත් පසු කාලයේදී සහරාන්ගේ අනුගාමිකයන් විසින් ඔහු හඳුන්වන ලද්දේ සහරාන් මවුලවි ලෙසය. ඔහු කිසි විටෙකත් එම ආමන්ත‍්‍රණය ප‍්‍රතික්ෂේප කළේද නැත. පාසලෙන් පළවා හරින ලද සහරාන් 2007 දීම ‘ශ‍්‍රී ලංකා තව්හිද් ජමාත්’ සංවිධානයට බැඳුණේය. සහරාන් හෂීම් ඉතා හොඳ දේශකයෙකි. ඔහු දෙමළ සහ අරාබි යන භාෂා දෙකෙන්ම ආගමික දේශන පැවැත්වීය. මේ භාෂණ හැකියාව නිසා ඔහුගේ අනුගාමිකයෝ පුදුමයට පත්වුණැයි කියනු ලැබේ. ඉතා සුළු කාලෙකින් කාත්තන්කුඩිය පුරා ජනප‍්‍රිය වූ ඔහුට ආගමික දේශන සඳහා දිවයිනේ විවිධ පළාත්වලින් ආරාධනා ලැබීණ. ඔහු මුල් යුගයේදී දේශනා පවත්වන ලද්දේ තමන් විසින්ම අටවා ගන්නා ලද කුඩා ලෑලි මඩුවකය. දේශනයක් සඳහා වයඹ පළාතට ඔහු ගිය ගමනේදී සිය අනාගත බිරිය වූ හදියා ඔහුට හමුවිය. ඔවුහු නොබෝ දිනකින් විවාහ වූහ.

‘තවුහිද් ජමාත්’ ලෙස හඳුන්වා ගන්නා සංවිධාන ලංකාවේ මෙන්ම ඉන්දියාවේද ඇත. තමිල්නාඩුවේ තිබෙන ‘තව්හිද් ජමාත්’ සංවිධානය සහ ‘ශී‍්‍ර ලංකා තව්හිද් ජමාත්’ සංවිධානය අතර කිට්ටු සම්බන්ධයක් තිබේ. ‘තමිල්නාඩු තව්හිද් ජමාත්’ සංවිධානය ඉතා ධනවත් සහ ඉතා විශාල ආයතනයක් නිසා එයට අවනත වී වැඩ කරන්නට ‘ශී‍්‍ර ලංකා තව්හිද් ජමාත්’ සංවිධානයට සිදුවිය. එය නොරිස්සූ ‘ශ‍්‍රී ලංකා තව්හිද් ජමාත්’ සංවිධානයේ අන්තවාදී මතධාරීන් පිරිසක් එයින් ඉවත් වී ‘සිලෝන් තව්හිද් ජමාත්’ නමැති සංවිධානයක් ඇතිකර ගත්හ. මේ අතර ලෑලි මඩුව තුළ දේශන පවත්වමින් සිටි සහරාන් ‘ශ‍්‍රී ලංකා තව්හිද් ජමාත්’ සංවිධානයට බැඳුනේය. එහෙත් ඔහුගේ අන්තවාදී අදහස් නිසා එම සංවිධානයෙන් ඉවත් වීමට ඔහුට සිදුවිය. ඉන්පසු ඔහු ‘ජාතික තව්හිද් ජමාත්’ නමැති සංවිධානයක් පිහිටුවූයේය. මෙම සංවිධානය සමග ‘සිලෝන් තව්හිද් ජමාත්’ හෝ ‘ශ‍්‍රී ලංකා තව්හිද් ජමාත්’ සංවිධානවලට සම්බන්ධයක් නැත.

‘ජාතික තව්හිද් ජමාත්’ සංවිධානය පිහිටුවූ සහරාන් වෙබ් අඩවියක් ද ඇති කළේය. මෙය ඔස්සේ ඔහු විසින් ඉදිරිපත් කෙරුණ දේශන කියැවූ සහ ඇසූ ශ‍්‍රී ලංකාවේ සහ තමිල්නාඩුවේ ඉස්ලාමීය ප‍්‍රජාව මහත් ප‍්‍රමෝදයට පත්වූහ. විශේෂයෙන්ම අරාබිකරයේ සේවය කරන තමිල්නාඩු ඉස්ලාමියෝ මෙකී වෙබ් අඩවියට වශී වූහ. ඒ සමගම සහරාන් ෆේස්බුක් පිටුවක්ද ඇරඹීය. ඒ සමගම ‘ජාතික තව්හිද් ජමාත්’ සංවිධානය වෙත ආධාර ගලන්නට විය. තම ලෑලි මඩුව ගලවා විසිකළ සහරාන් එම ආධාරවලින් නවීන මුස්ලිම් පල්ලියක් ඉදිකළේය. එය අදටත් කාත්තන්කුඩියේ පිහිටා තිබේ.

ඉතාම පුදුමයට තුඩුදුන් කරුණ නම් මෙකී අලුත් පල්ලියට පැමිණි බැතිමතුන් ගණන ඉතාම ස්වල්පයක් වීමය. එහෙත් සහරාන් එළිමහනේ පැවැත්වූ දේශන ඇසීමට විශාල පිරිස් පැමිණියහ. සමහර විට කාත්තන්කුඩියේ ටවුම වටේ ගිය සහරාන් තැන් තැන්වල නැවතී කුඩා පිරිස් එක්රැස් කර ආගමික දේශන පැවැත්වීය. මේ හැම දේශනයකින්ම කියැවුණේ ‘ඒකදේවවාදය’ පිළිබඳවය. සෙසු ආගම් මිථ්‍යාදුෂ්ටික බවද ඔහු එළිපිටම කීවේය.

ජිහාඞ් නමැති ශුද්ධ වූ යුද්ධයේදී ‘ආගම වෙනුවෙන් ප‍්‍රාණය පූජා කිරීමේ’ වැදගත්කම ඔහු අවධාරණය කළේය. මේ අතර සහරාන්ගේ කීර්තිය දෙගුණ කරන දෙයක් සිදුවිය. එනම්, ඊජිප්තුවේ කයිරෝ නගරයේ ‘අල් අසාර් විශ්ව විද්‍යලයේ’ සේවය කළ ඉස්ලාමීය ආචාර්යවරයෙක් කාත්තන්කුඩියට පැමිණියේය. දෙමළ කතා කළ ඔහු සහරාන්ගේ ආගමික අන්තවාදයට දැඩි ලෙස විරෝධය පළකළේය. මෙයින් කෝපයට පත් සහරාන් තමා සමග ප‍්‍රසිද්ධ විවාදයකට එන ලෙසට ඔහුට අභියෝග කළේය. ඉස්ලාමීය ආචාර්යවරයා අභියෝගය භාරගත්තේය. නියමිත දිනයේදී කාත්තන්කුඩියේ අලියාර් හන්දියේ එළිමහනේදී 3000 ක පිරිසක් මැද ප.ව. 3.00 ට විවාදය පටන් ගත්තේය. එය පැය 10 ක් එක දිගට ගලා ගිය අතර සහරාන්ට ජය හිමිවිය. එයට ප‍්‍රධාන හේතුව වූයේ ඉස්ලාමීය විද්වතාගේ දෙමළ භාෂණයට වඩා සහරාන්ගේ දෙමළ භාෂණය චතුර වීමය.

සහරාන්ගේ ඊළඟ පියවර වූයේ ‘ජාතික තව්හිද් ජමාත්’ සංවිධානයට සාමාජිකයන් බඳවා ගැනීම සඳහා රට පුරා සංචාරය කිරීමය. එම සංචාරවලින් පසු ‘තව්හිද් ජමාත්’ සංවිධානයේ පූර්ණ කාලීන සාමාජිකත්වය 600 දක්වාත් එසේ නොවන සාමාජිකත්වය 4500 දක්වාත් ඉහළ ගියේය. ඉන්පසු තමිල්නාඩුවටත්, මාලදිවයිනටත්, මැදපෙරදිග රටවලත් ගිය ඔහු විවිධ ජනකොටස් හමුවී දේශන පවත්වන්නට විය. සහරාන් නිසා සාම්ප‍්‍රදායික ඉස්ලාම් පල්ලිය දෙදරනු දක්නා ලදී. ඔහුගේ අන්තවාදී මතවාද නිසා සාම්ප‍්‍රදායික ඉස්ලාමීය මවුලවිවරුන්ගේ හිත් රිදෙන්නට පටන් ගත්තේය. අනතුරුව සහරාන් විසින් ඉස්ලාමීය ආගමික විනය පිළිබඳ රතු ඉරි සියල්ල ඉවත්වනු ලබන හැටි දක්නා ලදී. ඔහු ISIS සංවිධානයට පක්ෂව ප‍්‍රසිද්ධියේම කතා කරන්නට පටන් ගත්තේය. ඒ අතර 2014 දී ‘ලෝක ඉස්ලාමීය රාජ්‍ය සංකල්පය’ ප‍්‍රකාශයට පත් කළ ISIS සංවිධානය සහ එහි නායකයා වූ ‘අබුබකර් අල් බග්දාදි’ එතැන් පටන් ‘ලෝක ඉස්ලාමීය රාජ්‍යයේ’ මෙන්ම ලොව පුරා සිටින බිලියන 1.5 ක් වූ ඉස්ලාමීය ජනයාගේද නායකයා (තාලිෆ්වරයා) බවද සහරාන් කීවේය. මේ හැරවුම් ලක්ෂයේදී සහරාන්ගේ තත්ත්වය බෙහෙවින් සංකීර්ණ විය. ISIS සංවිධානයට ප‍්‍රචාරය දීම සඳහා ඔහු පැය 24 පුරාම වැඩ කළේය. එහි මිනීමරුවන් මනුෂ්‍ය ඝාතන කරනවිට ඒවාට පසුව Facebook පිටුවල POST පළකළේය.

මේ කාලය වන විට සහරාන් හෂීම් සිටියේ මහත් වූ අධිතක්සේරුවකය. තමා දෙවැනි විය හැක්කේ ‘අබුබකර් අල් බග්දාදි’ට පමණක් බව ඔහු මිතුරන්ට කියා තිබිණි. බග්දාදිගෙන් පසු ලෝක මුස්ලිම් රාජ්‍යයේ නායකයා වීමේ සිහිනය ඔහුගේ යටි හිතේ තැන්පත්ව තිබිණි.

කාත්තන්කුඩියේ අරියාල හන්දියේ බදුරියා නමින් හැඳින්වෙන ඉස්ලාමීය පල්ලියක් තිබේ. මෙය ගුප්ත විද්‍යාව සහ වෙනත් අභිචාර විධි ඇදහූ සුෆී ඉස්ලාමීය පල්ලියකි. සහරාන් හෂීම් ඇතුළු වහාබ් මුස්ලිම්වරු මේ පල්ලිය කෙරෙහි මහත් වෛරයෙන් පසු වූහ. එයට පාඩමක් උගැන්වීමට කල්පනා කරමින් සිටි සහරාන්ට අදහසක් පහළ විය. ඒ අනුව ඔහු 2017 මාර්තු 16 වැනිදා අරියාල හන්දියේ, බදුරියා පල්ලිය පෙනෙන දුරින් රැස්වීමක් සංවිධානය කළේය. සහරාන්ගේ අනුගාමිකයන් 100 ක් පමණ කඩු පොලු රැගෙන රැස්වීමට පැමිණියහ. රැස්වීම පටන් ගත් විට දේශකයන් විසින් පවත්වන ලද හැම කතාවකින්ම බදුරියා පල්ලියට පහර ගහන ලදී. අපහාස කරන ලදී. පල්ලිය තුළ සිටි සුෆී පූජකයෝත් බැතිමතුනුත් මෙයින් කෝපයට පත්ව තවදුරටත් ඉවසාගෙන සිටීමට බැරි තැන රැස්වීමට හූ කියා ගල් ගසන්නට වූහ. වහාම ක‍්‍රියාත්මක වූ සහරාන්ගේ මැර පිරිස පල්ලියට කඩාපැන සුෆි අනුගාමිකයන් කපන්නට වූහ. මෙය ඉස්ලාමයේ නාමයෙන් කළ අපරාධයකි. ඒ බව කාත්තන්කුඩියේ මුස්ලිම් ජනයාට අවබෝධ විය. මෙයට පළිගැනීම සඳහා බදුරියා පල්ලිය විසින් විරෝධතාවක් සංවිධානය කරන ලදී. එය පැවැත් වුණේ කාත්තන්කුඩියේ ඉස්ලාම් කෞතුකාගාරය ඉදිරිපිටය. විරෝධතා රැලිය ප‍්‍රකෝපකාරී නිසා එයට පොලිස් මැදිහත්වීමත් ඇතිවිය. එම මැදිහත්වීමේදී ‘ජාතික තව්හිද් ජමාත්’ සංවිධානයේ 9 දෙනෙක්ද බදුරියා පල්ලියේ දෙදෙනෙක්ද (2) අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් කරන ලදී. එසේ කූඩු කළ අය අතර සහරාන්ගේ සොහොයුරා වූ සෙයිද් නමැත්තාද විය. පොලිසියට සහරාන්ද අවශ්‍ය විය. ඔහු මාලදිවයිනට පැන ගිය බව පසුව ආරංචි විය.

එහෙත් සත්‍යය වූයේ කාත්තන්කුඩියෙන් පැනගිය සහරාන් සිය බිරිඳගේ ගමට ගොස් සැඟවීමය. කලබල සංසිඳුන පසු ඔහු ඉන්දියාවට පැන ගන්තේය. එහිදී තමිල්නාඩු සහ කේරළ ප‍්‍රාන්තවල සංචාරය කළ ඔහු එහි සිටි ඉස්ලාමීය අන්තවාදීන් හමුවී ලංකාවේ ‘ජිහාඞ් යුද්ධයක්’ පටන් ගැනීම ගැන සාකච්ඡා කළේය. ඔහු ඒ දිනවල වැඩිපුරම සිටියේ කේරළයේ මාලපුරම් දිස්ත‍්‍රික්කයේ සහ කොයිම්බටෝර්වලය. ඊට අමතරව ඉස්ලාමීයයන් බහුලව සිටින තිරුනල්වේලි, වෙල්ලෝර්, නාගපත්නම්, කනයාකුමාරි, රාමනාදපුරම් යන ප‍්‍රදේශවලද ඔහු සංචාරය කළේය. ඔහු ලංකාවට එන්නේ අමුම අමු ‘ඉස්ලාමීය ත‍්‍රස්තවාදියකු’ ලෙසය. ඒ ත‍්‍රස්තවාදියා දුටු නපුරුම සිහිනය වන්නේ ‘පාස්කු ඉරිදා බෝම්බ ප‍්‍රහාරය’යි.

– අනුර සොලමන්ස්

+++++++++++++++++++++++++++++++++++

‘හිරු CIA’ අනාවරණයෙන් පසුව ගැලවුණු කම්බි වැට

(12.05.2020 – 20:55 +0530 – hirunews.lk/sinhala)

හිරු CIA අනාවරණයෙන් අනතුරුව, මුහුදු මහා විහාරය අවට වෙරළ කලාපයේ ඉඩම් බලහත්කාරයෙන් අත්පත් කර ගැනීම්වලට එරෙහිව අද (12) වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුව පියවර ගත්තා.

ඉඩම් ආක්‍රමණය කරන්නන් විසින් බලහත්කාරයෙන් යොදා තිබු කම්බි කණු ගලවා ඉවත් කිරීම ඒ අනුව සිදුකෙරුණා.

නැගෙනහිර පළාතේ පොතුවිල් හි පිහිටා ඇති මුහුදු මහා විහාරය කලක් තිස්සේ අනවසර ඉඩම් අත්පත්කර ගන්නන්ගේ කොල්ලකෑමට ගොදුරු වු බෞද්ධ උරුමය සහිත වටිනා පුරා විද්‍යා බිම් කඩක්.

‘හිරු CIA’ හරහා අප අවස්ථා ගණනාවකදී මෙම ඉඩම් කොල්ලය හෙළි කළ අතර, කොවිඩ් 19 උවදුර පාලනය කිරීමට ඇඳිරිනීතිය පනවා තිබු කාලයේ ද අනවසර වැටවල් ඉදිකර මින් මෙහි ඉඩම් ආක්‍රමණය නොකඩවා සිදුවුණා.

‘හිරු CIA’ අනාවරණයත් සමග අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ අවධානය ඒ වෙත යොමු වු අතර, පසුගිය 03 වනදා ඒ පිළිබද සොයාබැලීම සදහා අග්‍රාමාත්‍යවරයා විසින් අමාත්‍ය එස්.එම්. චන්ද්‍රසේන මහතාට උපදෙස් ලබා දී තිබුනා.

අමාත්‍යවරයා සමග අදාල නිරීක්ෂණයට පැමිණි වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් ‘හිරු CIA’ මගින් සිදු කළ අනාවරණය එහිදී තහවුරු කර ගත්තා.

වෙරළ සංරක්ෂණ නිලධාරීන් දැනුම් දුන්නේ ඉඩම් වෙන් කර ගැනීමට අනවසරයෙන් යොදා තිබු කම්බි කණු ආදිය ගලවා ඉවත් කර ගන්නා ලෙසයි.

එහෙත් ඉඩම් කොල්ලකරුවන් අද (12) වනතුරු අදාළ කම්බි කණු ගලවා ඉවත් කර තිබුණේ නැහැ.

ඒ අනුව, අද (12) වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් පැමිණ අදාළ භූමි ප්‍රදේශයේ ඉදිකර තිබු කම්බි කණු ගලවා ඉවත් කරනු ලැබුවා.

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *