මෙරට COVID-19 ආසාදිතයින් ගණන 771 ක්

+++++++++++++++++++++++++++++++++++

= මේ පිටුවේ සිරස්තල =

• මෙරට COVID-19 ආසාදිතයින් ගණන 771 ක්

• අද (05) මියගිය කොරෝනා ආසාදිත කාන්තාවගේ සැමියා ත්‍රිරෝද රථයකින් බේකරි නිෂ්පාදන අලෙවිකරලා (විඩියෝ)

• තාවකාලිකව වසා දැමුණු රූපලාවන්‍යාගාර යළි විවෘත කිරීමට තවමත් අවසර නෑ – අදාල උපදෙස් ඉදිරියේදී ලබා දීමට නියමිතයි

• පොදු ප්‍රවාහන කටයුතු නියමිත සෞඛ්‍ය ක්‍රමවේද අනුගමනය කරමින් පවත්වාගෙන යායුතුයි – ජනපති (විඩියෝ)

• ‘ගෙවතු වගා ව්‍යාපෘතිය’ ඉදිරියට පවත්වාගෙන යායුතුයි (විඩියෝ)

• කොරෝනා රෝගීන්ගේ සේවයට රුහුණ තැනූ විශේෂ රොබෝව (විඩියෝ)

• පැරණි පාර්ලිමේන්තුව කැඳවීමට ඉල්ලීම් කරන්නේ පාස්කු ප්‍රහාරයට සම්බන්ධ පුද්ගලයින් සහ රටේ සිදුවූ මූල්‍ය වංචාවලට සම්බන්ධ පුද්ගලයින් (විඩියෝ)

• යහපාලන ආණ්ඩුවේ මැති ඇමතියන් 22 කට එරෙහිව ලබන 11 වෙනිදා නඩු පැවරේ (විඩියෝ)

• ගමනාන්ත ගණනාවක් වෙත ගුවන් භාණ්ඩ ප්‍රවාහන සේවා දියත් කිරීමට ශ්‍රී ලංකන් ගුවන් සේවය සැරසෙයි

• ඉදිරියේදී කොමිසම යළි රැස්වන බව මැතිවරණ කොමිසමේ සභාපති කියයි (විඩියෝ)

• දඹුල්ලේදි මියගිය යුද හමුදා සෙබළාට කොරෝනා නෑ

• පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සෑම කෙනෙකුගේම යම් සම්බන්ධයක් තියෙනවා – ආරක්ෂක ලේකම් (විඩියෝ)

+++++++++++++++++++++++++++++++++++

මෙරට COVID-19 ආසාදිතයින් ගණන 771 ක්

(06.05.2020 – 00:15 +0530 – sinhala.adaderana.lk)

තවත් කොරෝනා ආසාදිතයින් හයදෙනෙක් (06) ඊයේ (05) 11:30 වන විට වාර්තා වී තිබේ.

ඒ අනුව සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 771 ක් දක්වා ඉහළ ගොස් ඇත.

මේ අතර සුවය ලැබු සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 213 ක් ‍වෙනු ඇත.

කෙසේ වෙතත් මේ වන විට පුද්ගලයින් 549 ක් විවිධ රෝහල්වල වෛද්‍ය අධීක්ෂණය යටතේ සිටියි.

මෙරට කොවිඩ් නයින්ටීන් වෛරස අසාදනයෙන් සිදු වූ නව වැනි (09) මරණය ඊයේ (05) දහවල් වාර්තා විය.

හතලිස් හතර හැවිරිදි (44) පස්දරු මවක් වන ඇය මෝදර ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

ඇය පෙරේදා (04) රාත්‍රියේ කොළඹ ජාතික රෝහලට ඇතුළත් කොට පසුව අයි.ඩී.එච්. රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් ඇත.

කොවිඩ් ආසාදනය වීමෙන් කාන්තාව ජීවත් වූයේ කොළඹ 15 මෝදර මෙත්සඳ සෙවණ නිවාස සංකීර්ණයේයි.

+++++++++++++++++++++

මෝදර-මෙත්සඳ සෙවණ මහල් නිවාස සංකීර්ණයේ “බී” කොටසේ සියලු නිවාසවල පුද්ගලයන් 1200ක් පමණ, ස්වයං නිරෝධායනයට යොමු කර තිබෙනවා.
(05.05.2020 – 20:55 +0530 – hirunews.lk/sinhala)

+++++++++++++++++++++

අද (05) මියගිය කොරෝනා ආසාදිත කාන්තාවගේ සැමියා ත්‍රිරෝද රථයකින් බේකරි නිෂ්පාදන අලෙවිකරලා

(05.05.2020 – 19:35 +0530 – hirunews.lk/sinhala)

මෙරට 9 වන කොරෝනා මරණය අද (05) වාර්තාවුණා.

එසේම මෙතෙක් ආසාදිතයන් වාර්තා නොවූ කොළඹ ස්ථාන හතරකින් කොරෝනා රෝගීන් හමුවූ අතර, මෝදර – මෙත්සඳ නිවාස සංකීර්ණයෙන් වාර්තාවූ 44 හැවිරිදි ආසාදිත කාන්තාව අයි.ඩී.එච්. රෝහලේ දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කර සිටියදීයි ජීවිතක්ෂයට පත්වුණේ.

මෙම කාන්තාව ඊයේ (04) කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ගනිමින් සිටියදී කොරෝනා ආසාදිතයෙකු බවට තහවුරු වුණා.

මීට අමතරව තවත් දෙදෙනෙකුට (02) අද (05) දිනයේ කොරෝනා ආසාදනය වී ඇති බවට තහවුරු වී ඇති අතර, ඔවුන් රාජගිරිය – බණ්ඩාරනායකපුර, කොළොන්නාව – සාලමුල්ල යන ප්‍රදේශවල පදිංචිකරුවන්.

එසේම කොළඹ ජාතික රෝහලේ ගෙවන වාට්ටුවේ සේවයේ නියුතු විශේෂ ශ්‍රේණියේ හෙද පාලිකාවකටද කොරෝනා වෛසරය ආසාදනය වී ඇති බව අද (05) වාර්තා වුණා.

මෙරට 9 වන කොරෝනා මරණය වාර්තා කරමින් අද (05) ජීවිතක්ෂයට පත්වූ මෝදර – මෙත්සඳ නිවාස සංකීර්ණයේ 13 වන මහලේ පදිංචිව සිටි කාන්තාවට වෛරසය වැළඳුනු ආකාරය මෙතෙක් හෙළිවී නැහැ.

ඇය සමීප සබඳතා පැවැත්වූ පිරිස්ද නිරෝධායනය සඳහා යොමුකර තිබෙනවා.

මෝදර මහජන සෞඛ්‍ය පරීක්ෂක ෂෙහාන් අතුකෝරාල කියා සිටියේ මියගිය කාන්තාවගේ සැමියා පසුගිය දින කිහිපයේ අවට ප්‍රදේශවල ත්‍රිරෝද රථයකින්, බේකරි නිෂ්පාදන අලෙවි කිරීමේ ව්‍යාපාරයක නිරතව සිට ඇති බවයි.

මේ අතර රාජගිරිය – බණ්ඩාරනායකපුර ප්‍රදේශයේ පදිංචි අනෙක් ආසාදිතයා ත්‍රිරෝද රථ රියදුරෙකු බවට හඳුනාගෙන තිබෙනවා.

මත්ද්‍රව්‍ය භාවිතයට ඇබ්බැහිවූ අයෙකු වන මොහුටද රෝගය වැළඳුණු ආකාරය සම්බන්ධයෙන් තොරතුරු මෙතෙක් වාර්තාවී නොමැති බව අප කළ විමසීමකදී ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ ප්‍රධාන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී මනෝජ් රොද්‍රිගූ මහතා කියා සිටියා.

කොළොන්නාව – සාලමුල්ල ප්‍රදේශයෙන් අද (05) හඳුනාගත් කොරෝනා ආසාදිතයා 31 හැවිරිදි පිරිමි පුද්ගලයෙකු වන අතර, ඔහු කොළොන්නාව විවිධ සේවා සමූපකාර සමිතියෙහි රියදුරෙකු වශයෙන් සේවය කර තිබෙනවා.

මෙම පුද්ගලයාටද වෛරසය ආසාදනය වූ ආකාරය පිළිබඳව මෙතෙක් තොරතුරක් වාර්තාවී නැහැ.

ඔහු මීට පෙර පී.සී.ආර්. පරික්ෂණයකට ලක් කර ඇති අතර එහිදී ඔහුට වෛරසය ආසාදනය වූ බව තහවුරු නොවීම විශේෂත්වයක්.

පසුව යළි අසනීප තත්ත්වයක් හේතුවෙන් කොළඹ ජාතික රෝහලට ඇතුළත් වී ඇති මෙම තරුණයා එහිදී සිදුකළ පරීක්ෂණවලදී කොරෝනා ආසාදිතයෙකු බවට හඳුනා ගැණුනා.

ඒ අනුව ඔහු ඇසුරු කළ සමීපතමයන් 27 දෙනෙකු නිරෝධායනය සඳහා යොමුකර ඇති බවයි සෞඛ්‍ය අංශ සඳහන් කළේ.

මෙම ආසාදිතයා භාණ්ඩ බෙදාහැරීමේ කටයුතුවලට මෙන්ම පසුගියදා තවත් පිරිස් සමඟ එක්ව මත්පැන් සාද වලට සහභාගි වී ඇති බව මේ වනවිට තහවුරු වී තිබෙනවා.

මීට අමතරව ඔහු පදිංචිව සිටි සාලමුල්ල – ස්වීටිගේ වත්ත සහ බන්ට් එක පහළ වත්ත යන ප්‍රදේශ හුදකලා කිරීමට පියවර ගෙන ඇති බව සඳහන්.

එමෙන්ම ඔහු සේවය කළ කොළොන්නාව විවිධ සේවා සමූපකාරයද විෂබීජහරණයට ලක් කිරීමට පියවර ගෙන ඇති බවයි පොලීසිය සඳහන් කළේ.

යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා කියා සිටියේ අද (05) දිනයේ මේ වනවිට පුද්ගලයන් 138 දෙනෙකු නිරෝධායන මධ්‍යස්ථාන වෙත යොමුකර ඇති බවයි.

කොරෝනා වැළඳී ඇති බවට අද (05) තහවුරු වූ කොළඹ ජාතික රෝහලේ විශේෂ ශ්‍රේණියේ හෙද පාලිකාව මාළඹේ පදිංචිකාරිනියක් වන අතර, ඇය දැනට අයි.ඩී.එච්. රෝහලේ ප්‍රතිකාර ලබනවා.

පවතින තත්ත්වය සලකා කඩිනමින් කොළඹ ජාතික රෝහලට පී.සී.ආර්. පරීක්ෂණ සිදුකළ හැකි රසායනාගාරයක් ලබාදෙන ලෙසයි වෛද්‍ය රසායනාගාර විද්‍යාඥ වෘත්තීය වේදීන්ගේ විද්වත් සංගමයේ සභාපති රවී කුමුදේශ් මහතා ඉල්ලා සිටියේ.

මේ වනවිට මෙරට සමස්ත කොරෝනා ආසාදිතයන්ගේ සංඛ්‍යාව 755 ක් ලෙස වාර්තාවන අතර, තවත් නාවික හමුදා සාමාජිකයෙකු ඇතුළු පුද්ගලයින් 197 දෙනෙකු සුවය ලබා නිවෙස් වෙත ගොස් ඇති බවයි වසංගත රෝග විද්‍යා ඒකකය සඳහන් කළේ.

වෛද්‍ය අධීක්ෂණය යටතේ ප්‍රතිකාර ලබන සංඛ්‍යාව 549 ක්.

කෙසේ වෙතත්, සෞඛ්‍ය ඇමතිනි පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය සඳහන් කළේ මෙරට කොරෝනා ආසාදිතයින්ගෙන් සියයට 50 කට රෝග ලක්ෂණ පෙන්නුම් කර නොමැති බවයි ෴

+++++++++++++++++++++

+++++++++++++++++++++++++++++++++++

තාවකාලිකව වසා දැමුණු රූපලාවන්‍යාගාර යළි විවෘත කිරීමට තවමත් අවසර නෑ – අදාල උපදෙස් ඉදිරියේදී ලබා දීමට නියමිතයි

(05.05.2020 – 23:29 +0530 – sinhala.adaderana.lk)

අද දින (05) සමහර මාධ්‍ය වාර්තාකරණයන් සහ සමහර සමාජ මාධ්‍ය වාර්තා නිසා රූපලාවන්‍යාගාර, කොණ්ඩා කපන ස්ථාන පවත්වාගෙන යන පුද්ගලයින් වැරදි අවබෝධයක් ඇති කරගැනීමට ඉඩ තිබෙන බව පෙනෙන්නට තිබෙන බවට සෞඛ්‍ය අමාත්‍යංශය පවසයි.

දැනට පොදු මහජනතාව වෙත ලබා දී ඇති සෞඛ්‍ය උපදෙස් අනුව කටයුතු කරමින් පමණක් කිසිසේත්ම ඉහතින් සඳහන් කරන ලද ආයතන යලි විවෘත කිරීමේ අවස්ථාවක් ලබා දී නොමැත.

රූපලාවන්‍යාගාර, කොණ්ඩා කපන ස්ථාන සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේද අනුව යළි විවෘත කිරීමට අදාලව උපදේශන මාලාව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ අත්සනින් කඩිනමින් නිකුත් වීමට නියමිතය.

එය නිකුත් කල පසු රූපලාවන්‍යාගාර, කොණ්ඩා කපන ස්ථාන පවත්වාගෙන යන පුද්ගලයන් තම ආයතනය පිහිටා තිබෙන ප්‍රදේශය අයත් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්‍යාල බල ප්‍රදේශයේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීවරයාගෙන් උපදෙස් මාලාව ලබාගෙන ඒ අනුව තම ආයතනයේ සේවා ලබාදීමට හැකිවන පරිදි ව්‍යුහය සහ පහසුකම් සකස් කල යුතුය.

එම පහසුකම් හා ව්‍යුහය සකස් කර අවසන් බව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී වෙත දැනුම් දුන් පසු ආයතනය හා පහසුකම් නිසි පරිදි සකස්කර තිබේදැයි පරීක්ෂා කිරීමට ප්‍රදේශය භාර මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා රූපලාවන්‍යාගාරය /කොණ්ඩා කපන ස්ථානය වෙත පැමිණෙනු ඇත. උපදේශන මාලාව අනුව ලබා දී තිබෙන කරුණු (Check list) අනුව එම ස්ථානය පරීක්ෂා කරන මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා තම නිර්දේශ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී වෙත ලබා දෙනු ඇත.

එම නිර්දේශ සලකා බලා රූපලාවන්‍යාගාරය / කොණ්ඩා කපන ස්ථානය යලි විවෘත කිරීමට අදාල අනුමැතිය ලබාදෙන සහතිකය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී විසින් නිකුත් කරනු ඇත. එම සහතිකය ලබා ගන්නා තෙක් දිවයිනේ කිසිදු රූපලාවන්‍යාගාරයක්, කොණ්ඩා කපන ස්ථානයක් යළි විවෘත කිරීමට උත්සහ නොකල යුතු බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා අවධාරණය කරයි.

වෛද්‍ය ලක්ෂ්මන් ගම්ලත් මහතා – 071 772 3232 – නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල්, පාරිසරික සෞඛ්‍ය , වෘත්තිය සෞඛ්‍ය හා ආහාර සෞඛ්‍ය – ඇමතීමෙන් වැඩිදුර විස්තර ලබාගත හැකිය.

+++++++++++++++++++++++++++++++++++

පොදු ප්‍රවාහන කටයුතු නියමිත සෞඛ්‍ය ක්‍රමවේද අනුගමනය කරමින් පවත්වාගෙන යායුතුයි – ජනපති

(05.05.2020 – 22:56 +0530 – hirunews.lk/sinhala)

මැයි 11 වැනිදා සඳුදා සිට ජන ජීවිතය යථා තත්ත්වයට පත් කිරීම වෙනුවෙන් වන ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් අද (05) පස්වරුවේ පැවැත්වුණා.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම සාකච්ඡාව සඳහා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාද එක්ව සිටියා.

+++++++++++++++++++++++++++++++++++

‘ගෙවතු වගා ව්‍යාපෘතිය’ ඉදිරියට පවත්වාගෙන යායුතුයි

(05.05.2020 – 21:12 +0530 – hirunews.lk/sinhala)

ගෙවතු වගා ව්‍යාපෘතිය, වත්මන් කොවිඩ්-19 වසංගත කාලයට පමණක් සීමා නොකොට ඉදිරියට පවත්වාගෙන යායුතු බව කෘෂීකර්ම අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය ඩබ්ලිව්.එම්.ඩබ්ලිව්. වීරකෝන් මහතා පවසනවා.

කොවිඩ්-19 හමුවේ කෘෂිකර්මාන්තයට එල්ල වී ඇති බලපෑම් පිළිබඳ හිරු ටීවී ‘රට සහ හෙට’ වැඩසටහනට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කළා.

+++++++++++++++++++++++++++++++++++

කොරෝනා රෝගීන්ගේ සේවයට රුහුණ තැනූ විශේෂ රොබෝව

(05.05.2020 – 19:32 +0530 – sinhala.adaderana.lk)

කොවිඩ්-19 වෛරස ව්‍යාප්තිය ලෝකයටම සෘණාත්මක බලපෑම් එල්ල කරද්දී නව සොයාගැනීම් හා නිර්මාණ ක්ෂේත්‍රයේ ධනාත්මක පැතිකඩක් විවර කරන්නට සමත්ව තිබේ.

‘අද දෙරණ’ මේ අවධානය රුහුණු විශ්ව විද්‍යාලයේ ඉංජිනේරු පීඨයෙන් එළිදැක්වුණු එවන් සාර්ථක නව නිපැයුමක් වෙතයි.

මේ, රුහුණු විශ්ව විද්‍යාලයේ හපුගල ඉංජිනේරු පීඨයේ උපාධිධාරීන් සහ සිසුන්ගේ එකමුතුවෙන් නිම කෙරුණු එම නව නිර්මාණයයි.

මෙම රොබෝ යන්ත්‍රය මගින් ඖෂධ, ආහාර, ඇඳුම් ඇතුළු ද්‍රව්‍ය රෝගීන් වෙත ගෙන යා හැකි වෙයි.

රොබෝව පාලනය කිරීම ඕනෑම ස්මාර්ට් උපාංගයකට ඇතුළත් කළ යෙදවුමක් ඔස්සේ සිදුකළ හැකියි.

මෙහි ඇති කැමරාව මඟින් වෛද්‍යවරයාට රෝගියා අසලට නොගොස් රෝගියා නිරීක්ෂණය කර උපදෙස් ලබාදිය හැකියි.

අනෙක් රොබෝ යන්ත්‍රවලට වඩා මෙම රොබෝව විශේෂ ලක්ෂණ කිහිපයකින් සමන්විතයි.

මෙම රෝබෝවට සවි කළ වෛද්‍ය උපකරණ හරහා රෝගියාගේ හෘද ස්පන්දන වේගය, රුධිර ගත ඔක්සිජන් ප්‍රමාණය, ශරීර උෂ්ණත්වය සහ ඊ සී ජී පරික්ෂණ ද වෛද්‍යවරයාට දුරස්ථව සිට පරීක්ෂා කළ හැකි වෙයි.

මෙම නිර්මාණයට සති 5 ක් වැනි කෙටි කාලයක් ගත වී ඇති අතර ඊට වැය වී ඇත්තේ ලක්ෂ 2 කටත් වඩා අඩු පිරිවැයකි.

මෙම විශේෂ රොබෝ යන්ත්‍රය අද (05) පස්වරුවේ කරාපිටිය ශික්ෂණ රෝහලට පරිත්‍යාග කළේ එහි නිර්මාණකරුවන් විසින්ය.

***************************************

පැරණි පාර්ලිමේන්තුව කැඳවීමට ඉල්ලීම් කරන්නේ පාස්කු ප්‍රහාරයට සම්බන්ධ පුද්ගලයින් සහ රටේ සිදුවූ මූල්‍ය වංචාවලට සම්බන්ධ පුද්ගලයින්

(05.05.2020 – 21:09 +0530 – hirunews.lk/sinhala)

පැරණි පාර්ලිමේන්තුව කැඳවීමට ඉල්ලීම් කරන්නේ පාස්කු ප්‍රහාරයට සම්බන්ධ පුද්ගලයින් සහ රටේ සිදුවූ මූල්‍ය වංචාවලට සම්බන්ධ පුද්ගලයින් බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ෂෙහාන් සේමසිංහ මහතා පවසනවා.

මේ අතර, පාර්ලිමේන්තුව නැවත රැස්වීම සම්බන්ධයෙන් සහ රටේ පවතින දේශපාලන තත්ත්වය පිළිබඳ පක්ෂ විපක්ෂ දේශපාලනඥයින් රැසක් අදත් විවිධ අදහස් පළ කළා.

+++++++++++++++++++++++++++++++++++

යහපාලන ආණ්ඩුවේ මැති ඇමතියන් 22 කට එරෙහිව ලබන 11 වෙනිදා නඩු පැවරේ

(05.05.2020 – 20:52 +0530 – hirunews.lk/sinhala)

= යහපාලන ආණ්ඩුවේ මැති ඇමතිවරුන් 22 කට වැඩ වරදින ලකුණු =

යහපාලන ආණ්ඩුවේ හිටපු අමාත්‍යවරුන්, නියෝජ්‍ය අමාත්‍යවරුන්, හිටපු රාජ්‍ය අමාත්‍යවරුන් ඇතුළු විසි දෙදෙනෙකුට (22) එරෙහිව ලබන 11 වෙනිදා නඩු පැවරීමට රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා.

ඒ, සිය ධුර වලින් ඉවත් වුවද, ඔවුන්ට ලබා දුන් රජයේ නිවාස මෙතෙක් භාර දීමට කටයුතු නොකිරීම හේතුවෙන්.

ඒ අනුව පසුගිය යහපාලන ආණ්ඩුවේ සහ ජාතික ආණ්ඩුවේ විවිධ අමාත්‍යධුර සහ රජයේ නිලතල දැරූ විසි දෙදෙනෙකුට (22) එරෙහිව මෙලෙස නඩු පැවරීමට බලාපොරොත්තු වන බවයි රාජ්‍ය පරිපාලන අමාත්‍යංශය සඳහන් කළේ.

මෙම සියලු දෙනාටම අදාල නිවාස භාර දෙන ලෙස අවසන් නිවේදනය පවා නිකුත් කර ඇති අතර, ඔවුන් ඒ පිළිබඳව නොසලකා තවදුරටත් එම නිවාස භාවිතා කරමින් සිටින බවටයි වාර්තා වන්නේ.

ඒ අනුව යහපාලන රජයේ ප්‍රබල අමාත්‍යවරයෙකු වූ රවුෆ් හකීම්ට ලබා දී ඇති බෞද්ධාලෝක මාවතේ පිහිටි නිවස මෙතෙක් භාර දී නොමැති අතර, හිටපු ඇමතිනි චන්ද්‍රානි බණ්ඩාරට ලබා දී ඇති රජයේ නිවසද මෙතෙක් භාර දී නැහැ.

හිටපු නියෝජ්‍ය අමාත්‍ය එඞ්වඩ් ගුණසේකරට ලබා දී ඇති හෙක්ටර් කොබ්බෑකඩුව මාවතේ පිහිටි නිවස, ලෝරිස් නිවාස සංකීර්ණයේ පිහිටි හිටපු නියෝජ්‍ය අමාත්‍ය දුනේෂ් ගන්කන්දගේ නිවස මෙන්ම හිටපු රාජ්‍ය අමාත්‍යවරුන් වන ලක්ෂ්මන් සෙනෙවිරත්න සහ අමීර් අලී යන අයගේ නිවාසද මෙතෙක් රජයට භාරදී නැහැ.

හිටපු රාජ්‍ය අමාත්‍ය ජේ.සී. අලවතුවල මෙන්ම ලෝරිස් නිවාස සංකීර්ණයේ පිහිටි රජයේ නිවාස ලබා දී ඇති හිටපු රාජ්‍ය අමාත්‍යවරුන් 05 දෙනෙකු මෙතෙක් එම නිවාස භාර දීමට කටයුතු කර නොමැති බවයි වාර්තාවන්නේ.

ඔවුන් අතර, අශෝක් අබේසිංහ, චම්පිකා ප්‍රේමදාස, වඩිවේල් සුරේෂ්, එච්.එම්.එම්. හාරිස් සහ ෆයිසාල් කාසීම් සිටිනවා. අමාත්‍ය ධුර හෙබවූ රවින්ද්‍ර සමරවීර, අබ්දුල් හලීම් යන හිටපු අමාත්‍යවරුන්ද ඔවුන්ට ලබා දුන් රජයේ නිවාස මෙතෙක් භාර දීමට කටයුතු කර නොමැති බව රාජ්‍ය පරිපාලන අමාත්‍යංශය ප්‍රකාශ කළා.

විසුරුවා හරින ලද පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය කාරක සභා සභාපති ධුරය හෙබවූ දෙමළ ජාතික සන්ධාන හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සෙල්වම් අඩෙක්කලනාදන්ද මෙතෙක් රජයේ නිවස භාර දී නැහැ.

මේ අතර, සිය අමාත්‍ය ධූර වලින් වසර කිහිපයකට පෙර ඉවත් වූවද තවමත් රජයේ නිවාස භාවිතා කරන දේශපාලනඥයින් පිරිසකටත් එරෙහිව ඉදිරියේදී නඩු පවරන බව රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය සඳහන් කළා.

ඔවුන් අතර, එක්සත් ජාතික පක්ෂය සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය එක්ව පිහිටුවා ගත් ජාතික ආණ්ඩුව පැවති සමයේ අමාත්‍යවරුන් වූ ෆයිසර් මුස්තාෆා සහ චන්දිම වීරක්කොඩි මෙන්ම හිටපු නියෝජ්‍ය අමාත්‍ය දුලිප් විජේසේකර සහ රාජ්‍ය අමාත්‍ය ටි.බී. ඒකනායක සිටින බව වාර්තාවනවා.

මේ අතර, හිටපු රාජ්‍ය අමාත්‍යවරයෙකු මෙන්ම නැගෙනහිර පළාත් හිටපු ආණ්ඩුකාර එම්.එල්.ඒ.එම්. හිස්බුල්ලාද රජයෙන් ලබා දුන් නිවස භාර දී නොමැති අතර, හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ ව්‍යපෘති අධ්‍යක්ෂකවරයෙකු ලෙස කටයුතු කළ ජගත් පුෂ්පකුමාර ද මෙතෙක් රජයේ නිවස භාර දී නොතිබීම විශේෂත්වයක්.

රාජ්‍ය පරිපාලන අමාත්‍යංශය සඳහන් කළේ මේ සියල්ලන්ට අදාල නිවාස භාර දීම සඳහා මාස 3 ක කාලයක් ලබා දී ඇති අතර අවසන් නිවේදනයද නිකුත් කර ඇති බවයි.

කොවිඩ්-19 වසංගතය හේතුවෙන් මොවුන්ට එරෙහිව නඩු පැවරීමේ කටයුතු ඇණහිට ඇති අතර ලබන 11 වෙනිදා එහි ඉදිරි පියවර ගන්නා බව එම අමාත්‍යංශය ප්‍රකාශ කළා.

+++++++++++++++++++++++++++++++++++

ගමනාන්ත ගණනාවක් වෙත ගුවන් භාණ්ඩ ප්‍රවාහන සේවා දියත් කිරීමට ශ්‍රී ලංකන් ගුවන් සේවය සැරසෙයි

(05.05.2020 – 20:32 +0530 – hirunews.lk/sinhala)

ඉදිරියේ දී ගමනාන්ත ගණනාවක් වෙත ගුවන් භාණ්ඩ ප්‍රවාහන සේවා දියත් කිරීමට ශ්‍රී ලංකන් ගුවන් සේවය කටයුතු යොදා ඇතිබව එම සමාගම නිවේදනයක් නිකුත්කරමින් සඳහන් කරනවා.

අපනයන කර්මාන්තය නගාසිටුවීමේ අරමුණ පෙරදැරිව මෙලෙස ගුවන් භාණ්ඩ මෙහෙයුම් ආරම්භ කර ඇති බවයි ශ්‍රී ලංකන් ගුවන් සමාගම නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරන්නේ.

+++++++++++++++++++++

Sri Lanka national carrier launches dedicated cargo flights to Europe, Middle East, Far East, Indian Subcontinent

(05.05.2020 – colombopage.com)

+++++++++++++++++++++++++++++++++++

ඉදිරියේදී කොමිසම යළි රැස්වන බව මැතිවරණ කොමිසමේ සභාපති කියයි

(05.05.2020 – 19:58 +0530 – hirunews.lk/sinhala)

මහ මැතිවරණය පැවැත්විමේ නීතීමය තත්ත්වය පිළිබඳව මැතිවරණ කොමිසම රැස් වී සාකච්ඡා කිරීමට නියමිත බව එහි සභාපති මහින්ද දේශප්‍රිය මහතා පවසනවා.

ඉදිරි මහ මැතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන් නීතියේ සඳහන් ක්‍රියාපටිපාටියට අනුව ක්‍රියා කළ යුතු බවට නිතීපතිවරයා ඊයේ (04) මැතිවරණ කොමිසම වෙත යොමු කළ ලිපිය සම්බන්ධයෙන් හිරු ප්‍රවෘත්ති අංශය ඔහුගෙන් විමසීමක් කළා.

පාර්ලිමේන්තුව විසුරුවා හැරීමෙන් අනතුරුව ඉකුත් අප්‍රේල් 25 වන දා මහමැතිවරණය පැවැත්වීමට මුලින් තීරණය කෙරුණ ද රට තුළ පැවති කොරෝනා වෛරස තත්ත්වය සැලකිල්ලට ගනිමින් එදිනට මැතිවරණය නොපැවැත්වීමට මැතිවරණ කොමිසම් සභාව තීරණය කළා.

කෙසේ වෙතත්, පසුගිය අප්‍රේල් 20 වන දා එම කොමිසම යළි තීරණය කළේ එළඹෙන ජුනි 20 වන දා මහමැතිවරණය පැවැත්වීමටයි.

ඒ අනුව ඉදිරි මහමැතිවරණයට නාම යෝජනා කැදවීමේදී නිවාඩු දින ලෙස සැලකෙන මාර්තු 16, 17 සහ 18 යන තෙදින නාම යෝජනා භාර ගැනීම සිදු කළ එය නිත්‍යානුකුල නොවන බවට ඇතැම් දේශපාලන පක්ෂ විවිධ මත ඉදිරිපත් කළා.

පසුව ඒ සම්බන්ධයෙන් මැතිවරණ කොමිසම නීතිපතිවරයාගෙන් පසුගිය දා කරුණු විමසුවා.

ඊට ප්‍රතිචාර දක්වමිනුයි නීතියට අනුකූලව කටයුතු කරමින් මහමැතිවරණය පැවැත්වීමට අවශ්‍ය කටයුතු සිදුකරන ලෙසට නීතිපතිවරයා විසින් මැතිවරණ කොමිසමට මෙලෙස දැනුම්දීම සිදු කර තිබුණේ.

මේ අතර ජුනි 20 වන දා මහ මැතිවරණය පැවැත්වීමට දින නියම කරමින් නිකුත් කරන ලද ගැසට් නිවේදනය වලංගු නොමැති බව ප්‍රකාශයට පත් කරන්නැයි ඉල්ලා ඉදිරිපත් වී ඇති මූලික අයිතිවාසිමක් පෙත්සම ලබන 11 වනදා සලකා බැලීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද තීරණය කළා.

+++++++++++++++++++++

+++++++++++++++++++++

+++++++++++++++++++++++++++++++++++

දඹුල්ලේදි මියගිය යුද හමුදා සෙබළාට කොරෝනා නෑ

(05.05.2020 – 21:07 +0530 – truenews.lk)

දඹුල්ල බස් නැවතුම්පොළේ වැසිකිළිය ආසන්නයේ වැටී සිටියදී දඹුල්ල රෝහලට ඇතුලත් කිරීමේදී මියගිය ආධුනික යුද හමුදා සෙබළාට කොවිඩ් 19 රෝගය වැළඳී නැති බව වෛද්‍ය පරීක්ෂණවලදී හෙළිවී ඇතැයි දඹුල්ල මූලික රෝහලේ වෛද්‍ය අධිකාරි වෛද්‍ය ප්‍රදිප් දිසානායක මහතා අද (05) දින පස්වරුවේ පැවසීය.

මේ මියගිය ආධුනික සෙබළාගේ නියැදි පරීක්ෂණ වාර්තාව ලැබෙන තුරු සිරුර දඹුල්ල රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කොට තිබිණි.

මහනුවර රෝහල වෙත යවා තිබූ නියැදි ශරීරයේ කොටස් වල පරීක්ෂණ වාර්තාව අද (05) දින සවස 05:45 ට පමණ ලැබුණු බව වෛද්‍ය අධිකාරිවරයා පැවසීය.

ඒ අනුව මියගිය හමුදා සෙබළාගේ පශ්චාත් මරණ පරීක්ෂණය අද (05) දින පස්වරුවේ කඩිනමින් සිදු කොට මරණයට හේතුව සොයා බලා සිරුර යුද හමුදාවට භාර දීමට අවශ්‍ය පියවර ගන්නා බවද වෛද්‍ය අධිකාරීවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

පල්ලේපොළ ප්‍රදේශයේ පදිංචි මෙම යුද හමුදා සෙබළාගේ ඥාතීන් පොලීසියට පවසා ඇත්තේ තම දරුවාට කලක සිට අසනීප තත්ත්වයක් ද තිබුණු බවය. ඒ අනුව ද වෙනම පරීක්ෂණයක් පවත්වන බව පොලීසිය කියයි.

මෙසේ මියගොස් ඇත්තේ කොස්ගම හංවැල්ල ප්‍රදේශයේ යුද හමුදා කඳවුරක සේවය කළ ගලේවෙල පල්ලේපොළ ප්‍රදේශයේ පදිංචි තුෂාර කුමාර ජයසිංහ නැමති අයෙකු බව පොලීසිය හඳුනාගෙන තිබේ ෴

***************************************

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සෑම කෙනෙකුගේම යම් සම්බන්ධයක් තියෙනවා – ආරක්ෂක ලේකම්

(05.05.2020 – 22:35 +0530 – sinhala.adaderana.lk)

මැයි 11 වැනිදා සිට රට යළි වීවෘත කෙරෙන්නේ ක්‍රමානුකූලව පියවරෙන් පියවර බව ආරක්ෂක ලේකම් විශ්‍රාමික මේජර් ජෙනරාල් කමල් ගුණරත්න මහතා පවසයි.

ඊයේ (04) ‘දෙරණ 360’ වැඩසටහනට එක්වෙමින් ඔහු මේ අදහස් පළ කළේය.

සෑම කෙනෙකුම වගකීමෙන් කටයුතු කළ යුතු බවත් ඒ මහතා මෙහිදි පැහැදිලි කළේය.

එහිදි පාස්කු ප්‍රහාරයේ පරීක්ෂණ සම්බන්ධයෙන්ද ප්‍රශ්න කළ අතර එයට පිලිතුරු දෙමින් ඒ මහතා පැවසුවේ ඇතැම් පරීක්ෂණ හිතාමතාම යටපත් කර ඇති බවයි.

පරීක්ෂණ කටයුතු සඳහා බලපෑම් කළ පිරිස් සම්බන්දයෙන් ද තොරතුරු සොයා ගන්නා බවත් ඒ අනුව කටයුතු කරන බවත් ඒ මහතා පැහැදිලි කළේය.

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සෑම කෙනෙක්ගෙම එම ප්‍රහාරයට යම් සම්බන්ධයක් තිබෙන බවද ආරක්ෂ ලේකම්වරයා එහිදි පැවසීය‍.

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *