අපි බිම බුදිය ගත්තේ අපේ මිනිස්සුන්ව ඇඳේ නිදි කරන්න – යුද හමුදාපති සන්වේදීව කථා කරයි

+++++++++++++++++++++++++++++++++++

= මේ පිටුවේ සිරස්තල =

• අපි බිම බුදිය ගත්තේ අපේ මිනිස්සුන්ව ඇඳේ නිදි කරන්න – යුද හමුදාපති සන්වේදීව කථා කරයි (විඩියෝ)

• කොරෝනා නිසා මාලනී ෆොන්සේකා මහත්මියගේ සොහොයුරා ජීවිතක්ෂයට

• රුපියල් බිලියන 1474 ක අතුරු සම්මත ගිණුමේ කාල සීමාව අදින් අවසන් වෙයි (විඩියෝ)

• විසුරුවා හැර ඇති පාර්ලිමේන්තුව යළි කැඳවිය නොහැකි බව ජනපති විපක්ෂයට කියයි (විඩියෝ)

• මංගලගේ ලිපියට ජනපතිගෙන් පිළිතුරු

• මංගල අත්අඩංගුවට ගන්නැයි මහින්දානන්ද කියයි (විඩියෝ)

• ඇතැම් වාණිජ බැංකු සංචාරක කර්මාන්තයට සහන ලබා නොදීම ගැටළුවක් (විඩියෝ)

• සහල් හිඟයක් පවතින බවට තොරතුරු – වැටලීම් ඇරඹේ

• ගොවීන්ට සහ වී මෝල් හිමියන්ට විශේෂ අඩු පොලී සහන ණය (විඩියෝ)

• කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමට පොලිසිය ගත් පියවර නීතිපති අනුමත කරයි (විඩියෝ)

• පාස්කු ප්‍රහාරයට ආධාර අනුබල දුන් අයට නීතිය ක්‍රියාත්මක කළ යුතුයි (විඩියෝ)

• අද (30) රාත්‍රී 8 ට පැනවු ඇඳිරි නීතිය සඳුදා උදේ 5 දක්වා ක්‍රියාත්මකයි (විඩියෝ)

• යාපනයේදී බස් රථයක් කලපුවට වැටීමෙන් 6 කට තුවාල

• ඉන්දියාවේ සිටි තවත් ශ්‍රී ලාංකික සිසුන් පිරිසක් රැගත් ගුවන් යානයක් දිවයිනට (විඩියෝ)

• පීඩාවට පත්ව සිටින කලාකරුවන්ට රජයෙන් සහන

• කෘෂි සහ වෙනත් භාණ්ඩ හුවමාරුව සඳහා ඩිජිටල් තාක්ෂණය යොදා ගැනීමට අවධානය

• ආනයනය කර ඇති වාහන මුදා ගැනීමට ගැටළුවක් නැහැ – ශ්‍රී ලංකා වරාය අධිකාරිය

• පොහොර සඳහා බිලියන 10 ක් වෙන් කරයි

+++++++++++++++++++++++++++++++++++

අපි බිම බුදිය ගත්තේ අපේ මිනිස්සුන්ව ඇඳේ නිදි කරන්න – යුද හමුදාපති සන්වේදීව කථා කරයි

(30.04.2020 – 08:44 +0530 – sinhala.adaderana.lk)

සමාජ මාධ්‍ය ඔස්සේ පලවන ඡායාරූපයක් පිළිබඳ අදහස් පළ කරමින් යුද හමුදාපති මේජර් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසා සිටියේ, රණවිරුවා රැක ගැනීමට උපරිමයෙන් කැප වෙන බවයි.

අද (30) උදෑසන ‘දෙරණ අරුණ’ වැඩසටහන සමඟ සජීවිව එක් වෙමින් ඒ මහතා මෙම අදහස් පළ කළේය.

මේ දිනවල සමාජ මාධ්‍ය තුළින් රණවිරුවන් පිරිසක් ගොඩනැඟිල්ලක බිම ඇතිරිලි යොදා ගෙන නිදා සිටින ඡායාරූපයක් සංසරණය වන බවත් එම ඡායාරූපය පිට රටක සිට පළ කර ඇති බවත් යුද හමුදාපතිවරයා ‘අද දෙරණ’ට පැවසීය.

නිවාඩු ලබා සිටි හමුදා නිලධාරීන් නැවත ගෙන්වා ගැනීමේ දී පිටතින් ගොඩනැඟිලි 11 ක් ලබා ගත් බවත් ඒ කොළඹ, මුලතිව් හා මධ්‍යම පළාතෙන් වන බවත් පැවසු හමුදාපතිවරයා, එම පළ කර ඇති ඡායාරූපය එවැනි ස්ථානයක නොවන බවත් කියා සිටියේය.

නමුත් නාවික හා ගුවන් හමුදාව විසින් ලබා ගත් ස්ථානයන් පිළිබඳව මේ වන විට පරික්ෂණ පවත්වන බවත් කිසි දිනක රණවිරුවන්ට මෙලෙස සැලකීමට කටයුතු කර නැතැයි ද යුද හමුදාපති වරයා පැවසීය.

රණවිරුවන්ට ‍ගස් මුල් මත නිදා ගෙන පුරුදු බවත් තමා ද අද සිටින නිලයට පැමිණීමට පෙර යුද්ධය පැවති කාලයේ ඕනෑ තරම් එවැනි අසීරු අවස්ථාවන්ට මුහුණ දී ඇතැයි ද ඉතා සන්වේදීව පැවසු යුද හමුදාපතිවරයා, මීට පෙර නිරෝධායන ක්‍රියාවලිය ආරම්භ කල මොහොතේ ද රණවිරුවන් ජනතාව වෙනුවෙන් සිය ඇඳ ලබා දී බිම නිදා ගත් බවත් කියා සිටියේය.

රණවිරුවා සිය ඇඳ ලබා දී බිම නිදා ගන්නේ රටේ ජනතාව ආරක්ෂා කර ගනිමින් ඔවුන්ව ඇදේ නිදි කිරීමට බවත් පැවසු යුද හමුදාපතිවරයා “විරෝධාර රණවිරුවන් ” සැමදා ජනතාව වෙනුවෙන් ජීවිත පුජා කළ බවත් පැවසීය.

+++++++++++++++++++++++++++++++++++

කොරෝනා නිසා මාලනී ෆොන්සේකා මහත්මියගේ සොහොයුරා ජීවිතක්ෂයට

(30.04.2020 – 13:46 +0530 – hirunews.lk/sinhala)

ප්‍රවීන රංගන ශිල්පිණී මාලනී ෆොන්සේකා මහත්මියගේ සොහොයුරෙකු වන උපාලි ෆොන්සේකා මහතා එංගලන්තයේදී කොරෝනා වෛරසයට ගොදුරු වීමෙන් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

නව පරපුරේ රංගන ශිල්පිණියක් වන සෙනාලි ෆොන්සේකා මෙනවියගේ පියා වූ මොහු මියයන විට 68 වන වියේ පසුවුණා.

මේ අනුව එංගලන්තයේදී කොරෝනා වැළදීමෙන් මියගිය ශ්‍රී ලාංකිකයන් සහ මෙරට සම්භවයක් සහිත පුද්ගලයින්ගේ සංඛ්‍යාව 30 දක්වා ඉහළ ගොස් ඇති බව ලන්ඩනයේ හිරු වාර්තාකරු ප්‍රකාශ කළා ෴

***************************************

රුපියල් බිලියන 1474 ක අතුරු සම්මත ගිණුමේ කාල සීමාව අදින් අවසන් වෙයි

(30.04.2020 – 20:12 +0530 – hirunews.lk/sinhala)

රට තුළ පවතින තත්ත්වය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විසින් විසුරුවා හරින ලද පාර්ලිමේන්තුවේ පක්ෂ විපක්ෂ සියලු මන්ත්‍රීවරුන් ලබන සඳුදා (04) විශේෂ සාකච්ඡාවක් සඳහා අරලියගහ මන්දිරයට කැඳවා තිබෙනවා.

මේ අතර, හිටපු කථානායක කරු ජයසූරිය මහතා අද (30) සඳහන් කළේ පාර්ලිමේන්තුව යළි කැඳවන ලෙස විපක්ෂය විසින් ජනාධිපතිවරයාගෙන් කර ඇති ඉල්ලීම තමන් අනුමත කරන බවයි.

පැවති පාර්ලිමේන්තුව යළි කැඳවන ලෙසට විපක්ෂ දේශපාලන පක්ෂ නායකයින් පිරිසක් පසුගියදා ජනාධිපතිවරයා වෙත ඒකාබද්ධ ඉල්ලීමක් සිදුකළ අතර, හිටපු කථානායක කරු ජයසූරිය මහතා ඒ සම්බන්ධයෙන් ට්විටර් පණිවිඩුයක් නිකුත්කර තිබෙනවා.

ඔහු පවසා තිබු‍ණේ පාර්ලිමේන්තුව යළි කැඳවන ලෙස විපක්ෂය ජනාධිපතිවරයාගෙන් කර ඇති සාමූහික ඉල්ලීම කාලෝචිත හා චේතනාන්විත බවයි.

එම යෝජනාව තමන් අනුමත කරන බවත් යළි කැඳවුවහොත් පාර්ලිමේන්තුව සාධනීය කාර්යයක් ඉටුකරන බව තහවුරු කිරීම එහි කථානායකවරයාගේ භූමිකාව බවත් හිටපු කථානායක කරූ ජයසූරිය මහතා මෙම ට්විටර් පණිවිඩය මගින් අවධාරණය කර තිබෙනවා.

කෙසේ වෙතත්, පසුගිය 23 වැනිදා ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් හිටපු කථානායකවරයා සඳහන් කළේ කොවිඩ් 19 අර්බුදයට මුහුණදී සිටින ශ්‍රී ලංකාවට තවත් ව්‍යවස්ථා අර්බුදයක් අනවශ්‍ය බවයි.

තමන් ඒකපාර්ශ්විකව පාර්ලිමේන්තුව රැස්කරනු ඇතැයි පළවන වාර්තා ඔහු එහිදී ප්‍රතික්ෂේප කළා.

එසේම එදින පැවති ව්‍යවස්ථාදායක සභාවේදීද හිටපු කථානායකවරයා අවධාරණය කර තිබුණේ තමන් විසින් පාර්ලිමේන්තුව යළි කැඳවා අර්බුදයක් ඇති කිරීමේ අදහසක් නොමැති බවයි.

කෙසේ වෙතත්, පවතින තත්ත්වය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විසින් විසුරුවාහරිනලද පාර්ලිමේන්තුවේ පක්ෂ විපක්ෂ සියලු මන්ත්‍රීවරුන් විශේෂ සාකච්ඡාවක් සඳහා කැඳවා තිබෙනවා.

එම සාකච්ඡාව ලබන සඳුදා (04) පෙරවරු 10 ට අරලියගහ මන්දිරයේදී පැවැත්වීමට නියමිතයි.

මේ අතර, පසුගිය ජනාධිපතිවරණයත් සමඟ අයවැය ඉදිරිපත් කිරීමට නොහැකිවීම හේතුවෙන් 2020 වසරේ පළමු මාස 4 රජයේ වියදම් පියවා ගැනීම වෙනුවෙන් පැවති රජය විසින් පසුගිය වසරේ ඔක්තෝබර් 23 වැනිදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද රුපියල් බිලියන 1474 ක අතුරු සම්මත ගිණුමේ කාලසීමාව අදින් අවසන් වනවා.

ඒ අනුව, පාර්ලිමේන්තුව විසුරුවා හැර ඇති මොහොතේ ජනාධිපතිවරයාට තවදුරටත් ඒකාබද්ධ අරමුදලෙන් මුදල් වියදම් කළ හැකිද ?

මේ අතර, මේ සම්බන්ධයෙන් කැබිනට් තීරණ දැනුම්දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාවේදී ද අදහස් පළ වුණා.

+++++++++++++++++++++++++++++++++++

විසුරුවා හැර ඇති පාර්ලිමේන්තුව යළි කැඳවිය නොහැකි බව ජනපති විපක්ෂයට කියයි

(30.04.2020 – 21:26 +0530 – hirunews.lk/sinhala)

විසුරුවාහැර ඇති පාර්ලිමේන්තුව යළි කැඳවිය නොහැකි බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විපක්ෂයට දැනුම්දී තිබෙනවා.

ඒ විපක්ෂයේ ප්‍රධාන දේශපාලන පක්ෂවල නායකයන්ගේ අත්සනින් පසුගිය 26 වැනිදා ජනාධිපතිවරයා වෙත යොමු කෙරුණු ඒකාබද්ධ ප්‍රකාශනයට පිළිතුරු දෙමින්.

විපක්ෂයේ ප්‍රකාශනයට අත්සන් තබා ඇති පාර්ශ්ව මැතිවරණ පැවැත්වීම අවශ්‍ය නැතැයි කල්පනා කරන බව නිරීක්ෂණය වන්නේ යැයි හිටපු විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා වෙත යොමුකර ඇති ලිපියේ සඳහන් වන බව ජනාධිපති මාධ්‍ය අංශය නිකුත් කළ නිවේදනයේ සඳහන්.

කොවිඩ් -19 වෛරසය පාලනය කර ජන ජිවිතය සුරක්ෂිත කිරීමට රාජ්‍ය තන්ත්‍රයම කැපවී ඇති අවස්ථාවක විපක්ෂය පටු දේශපාලන ක්‍රියාවලියක නිරතවන බවයි ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දර මහතාගේ අත්සනින් යවන ලද ලිපිය මගින් සඳහන් කර ඇත්තේ.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ උපදෙස් මත ජනාධිපති ලේකම්වරයා විසින් හිටපු විපක්ෂනායක වෙත යවන ලද සම්පූර්ණ ලිපිය :

2020 අප්‍රේල් මස 29 වන දින
ගරු සජිත් ප්‍රේමදාස මහතා
හිටපු විපක්ෂ නායක
ගරු ප්‍රේමදාස මැතිතුමනි,

විපක්ෂයේ ඒකාබද්ධ ප්‍රකාශය.

ඔබ විසින් 2020-04-26 දින ඉහත මැයෙන් ඉදිරිපත් කළ විපක්ෂයේ ප්‍රධාන දේශපාලන පක්ෂවල නායකයින්ගේ අදහස් හා අදාළ ප්‍රකාශය හා සබැඳේ.

එම ප්‍රකාශය අනුව නිරීක්ෂණය වන්නේ ප්‍රකාශයට අත්සන් තබා ඇති පාර්ශ්වයන් මැතිවරණය පැවැත්වීම අවශ්‍ය නොවන බවත්, කොවිඩ්-19 වෛරසය තුළ ජනතාවගේ සෞඛ්‍ය, සමාජ සුරක්ෂිතතාවය හා සුභසාධනයට උපරිම ලෙස සමස්ත රාජය තන්ත්‍රයම යොමු වී ඇති මේ අවස්ථාවේ පටු දේශපාලන ක්‍රියාවලියක නිරත වන බවත්, කොවිඩ්-19 රෝග නිවාරණය හා අදාළ කටයුතු වල නිරත වන සෞඛ්‍ය හා අනෙකුත් රාජ්‍ය සේවා, ත්‍රිවිධ හමුදාව, පොලීසිය හා පෞද්ගලික අංශයේ දැඩි පරිත්‍යාගශීලි කාර්යභාරය අගය නොකිරිමත් බව අතිගරු ජනාධිපතිතුමාගේ උපදෙස් මත දන්වනු කැමැත්තෙමි. අතිගරු ජනාධිපතිතුමා තවදුරටත් අවධාරණය කරනුයේ පාර්ලිමේන්තුව විසිරීම එහි වසර 5ක කාලය අවසන්වීම තුළ හෝ ජනාධිපතිවරයා විසින් විසුරුවන අවස්ථාවක සිදුවන බවත්, ඒ අනුව 2020 මාර්තු මස 02 වන දින අතිගරු ජනාධිපතිතුමා පාර්ලිමේන්තුව විසුරුවා හැර අති බවත්ය.

එම විසුරුවා හැරීම ඔබ විසින් ඉදිරිපත් කර ඇති ප්‍රකාශනයට අත්සන් කර ඇති සියලු පාර්ශ්වයන් පිළිගැනීමෙන් ද ඉහත සඳහන් විසුරුවා හැරීමේ නිවේදනයේ වලංගුභාවය තහවුරු වන බව දන්වන ලෙස මා වෙත නියෝග කර ඇත.

විසුරුවා හැර ඇති පාර්ලිමේන්තුව නැවත කැඳවිය නොහැකි බවත්, 2020-03-02 වන දින අති විශේෂ ගැසට් පත්‍රය මගින් ප්‍රකාශයට පත්කළ විසුරුවා හැරීමේ නිවේදනය අනුව 2020-04-25 දින මැතිවරණය පැවැත්විය යුතු බවත්, ඉන්පසු මැතිවරණ කොමිෂන් සභාව විසින් 2020-06-20 දින මැතිවරණය පැවැත්විය යුතු බවත් නිවේදනය කර ඇති බව දන්වන ලෙස ද මා වෙත උපදෙස් ලැබී ඇත. තවද, ආණ්ඩුකම ව්‍යවස්ථාවේ 70(7) අනුකූලව කටයුතු කිරීමේ අවශ්‍යතාවයක් මතුවී නොමැති බවද අතිගරු ජනාධිපතිතුමා ඔබ වෙත දන්වන ලෙස මා වෙත නියෝග කර ඇත.

මෙයට – විශ්වාසී,

පී.බී. ජයසුන්දර
ජනාධිපති ලේකම්

+++++++++++++++++++++

පාර්ලිමේන්තුව නැවත කැඳවීම සම්බන්ධයෙන් පක්ෂ විපක්ෂ දේශපාලනඥයින් මෙලෙස අදහස් පළ කළා :

+++++++++++++++++++++++++++++++++++

මංගලගේ ලිපියට ජනපතිගෙන් පිළිතුරු

(30.04.2020 – 20:12 +0530 – sinhala.adaderana.lk)

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා, හිටපු පාර්ලිමේන්තු මන්‍ත්‍රී මංගල සමරවීර මහතා පසුගිය 28 වැනිදා තමා වෙත එවූ ලිපියට සිය ලේකම්වරයා මගින් අද (30) පිළිතුරු ලිපියක් යවා ඇත.

මංගල සමරවීර මහතාගේ ලිපිය වැරදි තොරතුරු රාශියක් ගොනුකර සකස් වී ඇතැයි ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දර මහතාගේ අත්සනින් යවා ඇති පිළිතුරු ලිපිය කියා සිටී.

එවැනි ලිපියක් යොමුකිරීම කණගාටුවට කරුණක් බව ද ජනාධිපතිවරයා සඳහන් කර ඇත.

‘උද්ගතව ඇති අර්බුදය ව්‍යවස්ථානුකූලව විසඳීම සඳහා සහ රාජ්‍ය වියදම් අනුමත කිරීම සඳහා පාර්ලිමේන්තුව යළි රැස්කරන මෙන් ඉල්ලීම’, යන්න සමරවීර මහතා ජනාධිපතිතුමා වෙත එවූ ලිපියේ මාතෘකාව විය.

පාර්ලිමේන්තුව විසුරුවන අවස්ථාවක විසර්ජන පනතක් සම්මත වී නැත්නම් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 150(3) වගන්තිය යටතේ අතුරු සම්මත ගිණුමක් මගින් අලුත් පාර්ලිමේන්තුවක් රැස්වී මාස 03 ක කාලයක් සඳහා වියදම් කිරීමේ බලය ජනාධිපතිවරයාට පැවරී ඇති බව ජයසුන්දර මහතා පෙන්වා දෙයි.

නව ලිබරල්වාදී සමාජ ආර්ථික දර්ශනය සිය ප්‍රතිපත්තිය කොටගත් හිටපු මුදල් අමාත්‍යවරයා මැතිවරණය පවත්වා ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් තහවුරු කිරීමට ප්‍රමුඛත්වය නොදෙන්නේ මන්දැයි ජනාධිපතිවරයා කනස්සල්ල පළ කරන බව ද ලේකම්වරයා කියා සිටී.

ජනාධිපතිවරයාගේ නියමයෙන් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මංගල සමරවීර මහතා වෙත යවන ලද සම්පූර්ණ ලිපිය මෙසේය :

2020 අප්‍රේල් මස 30 වන දින
ගරු මංගල සමරවීර මැතිතුමා,
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී

ගරු මංගල සමරවීර මැතිතුමනි,

උද්ගතව ඇති අර්බුදය ව්‍යවස්ථානුකූලවවිසඳීම සඳහා සහ රාජ්‍ය වියදම් අනුමත කිරීම සඳහා පාර්ලිමේන්තුව යළි රැස්කරන මෙන්ඉල්ලීම.

ඔබ විසින් 2020-04-28 දින ඉහත මැයෙන්අතිගරු ජනාධිපතිතුමා වෙත අමතන ලද ලිපිය හා සම්බන්ධවයි.

එම ලිපියේ අන්තර්ගත කරුණු වැරදිතොරතුරු රාශියක් ගොනුකර සකස් වී ඇති බව නීරක්ෂණය වන බවත් හා හිටපු මුදල් අමාත්‍යවරයාවශයෙන් එවැනි ලිපියක් ඉදිරිපත් කිරීම කනගාටුදායක කරුණක් බවත් ඔබ වෙත දන්වන ලෙසඅතිගරු ජනාධිපතිතුමා මා වෙත උපදෙස් දී ඇත.

එම ලිපියේ අන්තර්ගත කරුණු රැසක් අධ්‍යයනයකිරීමේදී පහත සඳහන් නිරීක්ෂණයන්ට එළඹීමට ද සිදු විය.

  1. ඔබ දන්නාපරිදි 2015 බලයට පත් වූ රජයට දින 21 කින් අයවැයක් ඉදිරිපත් කිරීමට හැකිවූයේ 2015 වර්ෂය සඳහා 2014 ඔක්තෝබර් මස විසර්ජන පනත හා අදාළ අයවැය ඇස්තමේන්තු සම්මත වී තිබූපරිසරයක් තුළ බව සදහන් නොවීම.
  2. 2015 සිට 2019 දක්වා ඔබ හා ඔබට පෙර සිටි මුදල් ඇමතිවරයා විසින් පරිපූරක ඇස්තමේන්තු රාශියක් සෑමවර්ෂයකම ඉදිරිපත් කළ අතර අයවැය යෝජනා සඳහා අදාළ නීති කෙටුම්පත්ද පාර්ලිමේන්තුවවිසින් නීතිමය තත්ත්වයන්ට පත්කර නොතිබුන බව.
  3. 2019 සඳහා අනුමත විසර්ජන පනත හා අයවැය ඇස්තමේන්තු තිබියදීත් නොගෙවූ බිල්පත් ප්‍රමාණය රුපියල් බිලියන 182 ක් වූ අතර ඒ හිඟ මුදල් පොහොර, ඖෂධ, වැඩිහිටි සහන හා විවිධ ඉදිකිරිම් සඳහා එම භාණ්ඩ හා සේවා සැපයුම්කරුවන්ට නොගෙවා තබුන බව සඳහන් නොවීම,
  4. රු.බි. 211 ක විදේශ ණය ලබාගෙන අනුමත ප්‍රතිපාදන නොමැතිව ඒවා වියදම් කර තිබුණද රාජ්‍ය ගිණුම්වලට ඇතුළත් නොකර ඇති බව,
  5. ජාතික ආදායමේ වර්ධනය සියයට 5 ක සිට සියයට 2.5 දක්වා වාර්ෂිකව දුර්වලවීම, රාජ්‍ය ණය හා අයවැය හිඟයන් වැඩිවීම ගැන හිටපු මුදල් අමාත්‍යවරයා වශයෙන් පැහැදිලි කිරීම් ලිපියේ ඇතුලත්කර නොතිම,
  6. හම්බන්තොට වරාය වැනි ජාතික වත්කම් විකුණා දැමුවද, එයින් ලද විදේශ මුදල් වලින් විදේශ ණය නොපියවීම ගැනද, ETIවැනි මූල්‍ය සමාගම් කඩාවැටී තැන්පත්කරුවන් අසරණභාවයට පත්වීම ගැනද කිසිදු සඳහනක් නැති බව,
  7. පාර්ලිමේන්තුව විසුරුවන අවස්ථාවක විසර්ජන පණතක් සම්මත වී නැත්නම් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 150(3)යටතේ ජනාධිපතිවරයාට අතුරු සම්මත ගිණුමක් මගින් අලුත් පාර්ලිමේන්තුවක් රැස්වී මාස3 ක කාලයක් සඳහා වියදම් කිරීමේ බලය පැවරී ඇති බවත් එය මීට පෙරද විසර්ජන පණතක් සම්මතවීමට පෙර පාර්ලිමේන්තුව විසුරුවා හැර ඇති සෑම අවස්ථාවකදීම ක්‍රියාත්මක කර ඇති අයවැය නීති රාමුව බව විශේෂයෙන් හිටපු මුදල් අමාත්‍යවරයා වශයෙන් ඔබ දන්නා බව නොහැඟවීම.

ජනාධිපතිවරණයෙන් පසු අතිගරු ජනාධිපතිතුමා නව රජයක් පිහිටු වීමෙන් පසු අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය ඇතිව ගරු අගමැතිතුමා විසින් ඔබ මුදල් අමාත්‍යවරයා වශයෙන් සිටි කාලයද ඇතුළත්ව ගෙවීමට තිබු රු.බි. 182 ක ප්‍රමාණයක හිඟ බිල්පත් හා රු.බි. 211 ප්‍රමාණයක විදේශ ණය ව්‍යාපෘති මුදල් ගිණුම්ගත කිරීමට නීතිපතිතුමාගේ අනුමැතිය ද ඇතිව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළයෝජනාව ප්‍රතික්ෂේප කිරීම තුළින් ජනාධිපතිවරණයේදී බහුතර ජනතාවගේ ජනවරම නොසලකාහැරීමද කනගාටුවට කරුණක් බව අතිගරු ජනාධිපතිතුමා ඔබ වෙත දන්වන ලෙස මා වෙත උපදෙස් දී ඇත.

එය 2015 දී පත්වූ ජනාධිපතිවරයාට පක්ෂව සිටි සුළුතර රජයට විපක්ෂය සහය දුන්ආකාරයට බෙහෙවින් පටහැනිය.

මේ සියල්ලටම වඩා නව ලිබරල්වාදී සමාජ හාආර්ථික දර්ශණයක් තුළ කටයුතු කරන ඔබ වැනි උගත් හා බුද්ධිමත් මෙන්ම හිටපු මුදල් අමාත්‍යවරයා වශයෙන් ආර්ථිකය කළමනාකරණය කළ ජ්‍යෙෂ්ඨ දේශපාලනඥයෙක්, මැතිවරණය පවත්වා ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් තහවුරු කිරීමට පුරෝගාමීත්වය නොදෙන්නේ ඇයිද යන්න පිළිබඳ අතිගරු ජනාධිපතිතුමා කනස්සල පළ කරන බවද එතුමාගේ උපදෙස් පරිදි දැන්වීමට කැමැත්තෙමි.

මෙයට, විශ්වාසී,
පී.බී. ජයසුන්දර
ජනාධිපති ලේකම්

පිටපත් :

ගරු මහින්ද රාජපක්ෂ මැතිතුමා අග්‍රාමාත්‍ය සහ මුදල්, ආර්ථික හා ප්‍රතිපත්ති සංවර්ධන අමාත්‍ය
ගරු සජිත් ප්‍රේමදාස මහතා – හිටපු විපක්ෂ නායක
ගරු රනිල් වික්‍රමසිංහ මහතා – නායක, එක්සත් ජාතික පක්ෂය
ගරු කරු ජයසූරිය මහතා – හිටපු කථානායක
ගරු ආර් සම්බන්ධන් මහතා – නායක, ද්‍රවිඩ ජාතික සන්ධානය
ගරු අනුර කුමාර දිසානායක මහතා – නායක, ජනතා විමුක්ති පෙරමුණ
ගරු රවුෆ් හකීම් මහතා – නායක, ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය
ගරු රිෂාඩ් බදියුදීන් මහතා – නායක, සමස්ථ ලංකා මහජන කොංග්‍රසය
ගරු මනෝ ගනේෂන් මහතා – නායක, දෙමළ ප්‍රගතිශිලි සන්ධානය
ගරු පලනි දිගාම්බරම් මහතා – නායක, ජාතික සේවක සන්ධානය

මොහාන් සමරනායක
අධ්‍යක්ෂ ජනරාල්
ජනාධිපති මාධ්‍ය අංශය
2020-04-30

+++++++++++++++++++++

මංගල අත්අඩංගුවට ගන්නැයි මහින්දානන්ද කියයි

(30.04.2020 – 20:05 +0530 – hirunews.lk/sinhala)

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මංගල සමරවීර රාජ්‍ය නිලධාරින් සහ රට නොමග යවා ඇති බැවින් ඔහු අත්අඩංගුවට ගත යුතු බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ මහතා පවසනවා.

උද්ගතව ඇති අර්බුදය ව්‍යවස්ථානුකූලව විසඳීම සඳහා රාජ්‍ය වියදම් අනුමත කිරීමට පාර්ලිමේන්තුව යළි රැස්කරන ලෙස ඉල්ලමින් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මංගල සමරවීර, ඊයේ (29) ජනාධිපතිවරයා වෙත විශේෂ ලිපියක් යොමුකර තිබුණා.

එහි දැක්වුණේ පාර්ලිමේන්තුව සතු මූල්‍ය බලතල ප්‍රකාරව එකී අනුමැතියකින් තොරව මුදල් අමාත්‍යවරයාට ප්‍රතිපාදන වෙන්කිරීමට බලය ලබාදිය නොහැකි අතර මහා භාණ්ඩාගාරයේ ලේකම්වරයාද මුදල් අමාත්‍යවරයාගේ අනුමැතියෙන් තොරව රාජ්‍ය මුදල් කිසිදු කටයුත්තකට වියදම් කිරීම නීති විරෝධී බවයි.

එමෙන්ම, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 150 ව්‍යවස්ථාවේ තුන්වන වගන්තිය ප්‍රකාරව පාර්ලිමේන්තුව විසුරුවා ඇති අවස්ථාවක හා විසර්ජන කෙටුම්පතක් සම්මත නොවූ පසුබිමක් තුළ ඒකාබද්ධ අරමුදලෙන් මුදල් නිකුත් කිරීමට හා වැය කිරීමට ජනාධිපතිවරයාට බලය ලැබෙනුයේ අභිනව පාර්ලිමේන්තුව කැඳවන දිනයේ සිට මාස 3 ක් ඉකුත් නොවන තෙක් පමණක් බව අදාළ ලිපියෙහි දැක්වුණා.

එහි වැඩිදුරටත් සඳහන් වුණේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව කඩකරන ඕනෑම පුද්ගලයෙකු අභියාචනාධිකරණය විසින් වරදකරු කරනු ලැබූ විට අවුරුදු 7 ක් නොඉක්මවන කාලයක් සඳහා ප්‍රජා අයිතිය අහිමිවීම හා ඔහුගේ චංචල හා නිශ්චල දේපළ රාජසන්තක වනු ඇති බවයි.

එබැවින් පවතින අවදානම් තත්ත්වය සැලකිල්ලට ගෙන පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලූු පක්ෂවල සහයෙන් අප්‍රේල් මස 30 වැනිදායින් පසුව රාජ්‍ය සේවාවන්ට වැටුප් ගෙවීම ඇතුළු අත්‍යවශ්‍ය වියදම් අනුමත කරවා ගැනීමට වහාම පාර්ලිමේන්තුව කැඳවන ලෙස හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මංගල සමරවීර ජනාධිපතිවරයාගෙන් ඉල්ලා තිබුණා.

කෙසේ වෙතත්, නාවලපිටියේදී අද මාධ්‍ය වෙත අදහස් දක්වමින් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ මහතා කියා සිටියේ මංගල සමරවීර මන්ත්‍රීවරයා අත්අඩංගුවට ගන්නා ලෙස රජයෙන් ඉල්ලා සිටින බවයි.

***************************************

ඇතැම් වාණිජ බැංකු සංචාරක කර්මාන්තයට සහන ලබා නොදීම ගැටළුවක්

(30.04.2020 – 20:58 +0530 – hirunews.lk/sinhala)

කොවිඩ් 19 වසංගත තත්ත්වය හමුවේ අර්බුදයකට මුහුණපා සිටින සංචාරක කර්මාන්තයට සහන සලසන ලෙස ශ්‍රී ලංකා මහ බැංකුව නිර්දේශ කර තිබියදී ඇතැම් වාණිජ බැංකු ඒවා ක්‍රියාත්මක නොකිරීම ගැටලුවක් බව ශ්‍රී ලංකා සංචාරක මණ්ඩලයේ සභාපතිනී කිමාලි ප්‍රනාන්දු මහත්මිය පවසනවා.

ඇය මේ බව සඳහන් කළේ හිරු ටී.වී. ඔස්සේ විකාශය වන “රට සහ හෙට” වැඩසටහනට එක්වෙමින්. සංචාරක ක්ෂේත්‍රය පිළිබඳ අද (30) පැවති එම වැඩසටහන සඳහා සංචාරක ප්‍රවර්ධන හිටපු රාජ්‍ය අමාත්‍ය අරුන්දික ප්‍රනාන්දු මහතා ද එක්වුණා.

***************************************

සහල් හිඟයක් පවතින බවට තොරතුරු – වැටලීම් ඇරඹේ

(30.04.2020 – 20:38 +0530 – hirunews.lk/sinhala)

දිවයිනේ ඇතැම් ප්‍රදේශවල සහල් හිඟයක් පවතින බවට තොරතුරු වාර්තා වනවා.

සමස්ත ලංකා සුළු හා මධ්‍ය පරිමාණ වී මෝල් හිමියන්ගේ සංගමය කොබයිගනේ ප්‍රදේශයේ අද (30) කැඳවා තිබූ මාධ්‍ය හමුවකට එක්වෙමින් එහි සභාපති බී.කේ. රංජිත් මහතා කියා සිටියේ මහා පරිමාණ වී මෝල් හිමියන් ප්‍රමාණවත් පරිදි සහල් වෙළඳපොලට නිකුත් නොකිරීම මෙම තත්ත්වයට හේතු වී ඇති බවයි.

මෙවර සිංහල දෙමළ අලුත් අවුරුද්දට පෙර රජය විසින් සහල් සඳහා උපරිම සිල්ලර මිලක් නියම කළ අතර, පාරිභෝගික සේවා අධිකාරියේ සභාපති විශ්‍රාමික මේජර් ජෙනරාල් ශාන්ත දිසානායක ප්‍රකාශ කළේ මෙලෙස තොග එක්රැස් කර තබා ගන්නා මහා පරිමාණ වී මෝල් වැටලීම සඳහා තම අධිකාරියේ නිලධාරීන් දැනටමත් කටයුතු කර ඇති බවයි ෴

+++++++++++++++++++++

ගොවීන්ට සහ වී මෝල් හිමියන්ට විශේෂ අඩු පොලී සහන ණය

(30.04.2020 – 22:22 +0530 – sinhala.adaderana.lk)

ගොවීන්ට සහ වී මෝල් හිමියන්ට විශේෂ අඩු පොලී සහන ණය ක්‍රමවේදයක් හඳුන්වාදීමට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමිවී තිබේ.

කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා මේ බව සඳහන් කළේය.

***************************************

කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමට පොලිසිය ගත් පියවර නීතිපති අනුමත කරයි

(30.04.2020 – 20:29 +0530 – hirunews.lk/sinhala)

පොලිසිය විසින් කොවිඩ් -19 පැතිරීම වැළැක්වීම සඳහා ඇඳිරි නීතිය සහ වෙනත් ක්‍රියාමාර්ග ගැනීම නීතිපතිවරයා අනුමත කර තිබෙනවා.

ඔහු එසේ එම ක්‍රියාමාර්ග නිත්‍යානුකුල බවට අනුමත කළේ, වැඩබලන පොලිස්පතිවරයා ඒ සම්බන්ධයෙන් උපදෙස් පතා කළ ඉල්ලීම සලකා බලමින්, බව නීතිපතිවරයාගේ සම්බන්ධීකාරකවරිය සඳහන් කළා.

+++++++++++++++++++++

***************************************

පාස්කු ප්‍රහාරයට ආධාර අනුබල දුන් අයට නීතිය ක්‍රියාත්මක කළ යුතුයි

(30.04.2020 – 22:55 +0530 – sinhala.adaderana.lk)

පාස්කු ප්‍රහාරයට ආධාර අනුබල දුන් පුද්ගලයින්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කළ යුතුබව මීගමුව කලාපිය කතෝලික පියතුමන්ගේ සංසදය අවධාරණය කරයි.

ප්‍රහාරයට ලක්වු කටුවාපිටිය ශාන්ත සෙබෙස්තියන් දේවස්ථානයේදී මාධ්‍ය හමුවක් කැදවමින් ඔවුන් මේ බව සඳහන් කළේය.

පාස්කු ප්‍රහාරය නිසා තමන්ට අහිමි වු දුදරුවන් සහ සිය පවුගේ ඥාතින් යුක්තිය ඉටු කරන ලෙසටත් එම ප්‍රහාරයට සම්බන්ධ සියලුදෙනාට පවතින නීතිය අනුව කටයුතු කරන්නැයි ඔවුන් ඉල්ලා සිටියි.

***************************************

අද (30) රාත්‍රී 8 ට පැනවු ඇඳිරි නීතිය සඳුදා උදේ 5 දක්වා ක්‍රියාත්මකයි

(30.04.2020 – 21:49 +0530 – sinhala.adaderana.lk)

අද (30) රාත්‍රී 8 සිට එළැඹෙන මැයි 04 වනදා අලුයම 5 දක්වා මුළු දිවයිනටම ඇඳිරි නීතිය බලපැවැත්වෙන බව ජනාධිපති කාර්යාලය නිවේදනය කරයි.

නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළේ ඒ අනුව එළැඹෙන සති අන්තයේ ඇඳිරි නීති උල්ලංගණය මෙන්ම මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරත පුද්ගලයින් අත්අඩංගුවට ගැනීම සඳහා විශේෂ මෙහෙයුම් ක්‍රියාත්මක කරන බවයි.

කොළඹ,ගම්පහ,කළුතර සහ පුත්තලම යන දිස්ත්‍රික්ක හැර සෙසු දිස්ත්‍රික්ක 21 හි ඇඳිරි නීතිය අදත් (30) අලුයම 5 ට තාවකාලිකව ලිහිල් කෙරුණි.

මහනුවර, හැටන් සහ අම්බලන්ගොඩ නගරවල ජනතාව වැඩි වශයෙන් වෙළෙඳසල් වෙත පැමිණ සිටින ආකාරය අද (30) දැකගත හැකි විය.

මුඛ ආවරණ හා අත්වැසුම් නිසි ලෙස භාවිතය සම්බන්ධයෙන් තවමත් බොහෝ දෙනා වැඩි උනන්දුවක් නොදක්වන ආකාරය වැලිමඩ නගරයේදී දක්නට ලැබුණි.

කොණ්ඩා කපන ස්ථාන තවදුරටත් වසා තබන්නැයි සෞඛ්‍ය අංශ දැනුම් දී තිබියදීත් බලපිටිය නගරයේ කොණ්ඩා කැපීම සිදුකරමින් සිටි පුද්ගලයෙකුට මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් විසින් අවවාද කර එම ස්ථානය වසා දමනු ලැබුවේය.

ඇඳිරි නීතිය ලිහිල් කෙරුණු දිස්ත්‍රික්ක 21 සඳහා අද රාත්‍රි 8.00 සිට යළි ඇඳිරි නීතිය පැනවීමත් සමග එළැඹෙන මැයි 04 වනදා සඳුදා අලුයම 5 දක්වා සමස්ත දිවයිනටම ඇඳිරි නීතිය බලැපැවැත්වෙන බව ජනාධිපති මාධ්‍ය අංශය නිකුත් කළ නවතම නිවේදනයේ සඳහන්.

ඇඳිරි නීතිය උල්ලංඝනය සම්බන්ධයෙන් මෙතෙක් අත්අඩංගුවට පත්වූ සමස්ත පුද්ගලයින් ගණන 42,365 ක් වන අතර පොලිස් භාරයට ගැනුණු සමස්ත වාහන ගණන 10,982 ක්.

***************************************

යාපනයේදී බස් රථයක් කලපුවට වැටීමෙන් 6 කට තුවාල

(30.04.2020 – 17:40 +0530 – hirunews.lk/sinhala)

යාපනය කරෙයිනගර් පොන්නාලෙයි පාලම අසලදී බස් රථයක් මාර්ගයෙන් ඉවතට පැන කලපුවට වැටීමෙන් සිදුවූ අනතුරකින් පුද්ගලයන් 6 දෙනෙකු තුවාල ලබා තිබෙනවා.

කරෙයිනගර් සිට යාපනය නගරය දක්වා ගමන් කරමින් තිබූ ලංකා ගමනාගමන මණ්ඩලයේ බස් රථයකුයි අද (30) සවස මෙලෙස අනතුරට ලක්වී ඇත්තේ.

වේගය පාලනය කර ගැනීමට නොහැකිවීමෙන් බස් රථය කලපුවට වැටී ඇති බවට මූලික විමර්ශනවලදී අනාවරණ වී තිබෙනවා.

ජල නලයක සිරවීම හේතුවෙන් බස් රථය කලපුවට පෙරළීමෙන් වැළකී ඇතැයි සඳහන්.

අනතුරින් තුවාල ලැබූවන් යාපනය රෝහලට ඇතුලත් කර තිබෙනවා.

***************************************

ඉන්දියාවේ සිටි තවත් ශ්‍රී ලාංකික සිසුන් පිරිසක් රැගත් ගුවන් යානයක් දිවයිනට

(30.04.2020 – 17:21 +0530 – hirunews.lk/sinhala)

කොරෝනා වෛරසයේ ව්‍යාප්තිය හේතුවෙන් ඉන්දියාවේ සිරවී සිටි තවත් ශ්‍රී ලාංකික සිසුන් පිරිසක් රැගත් විශේෂ ශ්‍රී ලන්කන් ගුවන් යානයක් කටුනායක ගුවන්තොටුපලට පැමිණ තිබෙනවා.

UL-1188 දරණ මෙම යානය පැමිණ ඇත්තේ ඉන්දියාවේ කොල්කටා ජාත්‍යන්තර ගුවන්තොටුපලේ සිටයි.

පස්වරු 05:20 ට ගොඩබැස්වූ මෙම යානයේ ශ්‍රී ලාංකික සිසුන් 125 දෙනෙකු පැමිණ ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

ඉන්දියාවේ කොටුවී සිටින මෙරට ශිෂ්‍ය ශිෂ්‍යාවන් රැගෙන ඒම සඳහා මෙම යානය අද (30) පෙරවරු 10:15 ට පමණ කටුනායක ගුවන් තොටුපලෙන් කොල්කටා බලා පිටත්ව ගියා.

මීට පෙර අවස්ථා හතරකදී ඉන්දියාවේ සිටින මෙරට ශිෂ්‍ය ශිෂ්‍යාවන් රැගෙන ඒමට ශ්‍රී ලංකන් ගුවන් සමාගම පියවර ගනු ලැබුවා.

එමෙන්ම නේපාලයේ සහ බංග්ලාදේශයේ රැඳී සිටින ශිෂ්‍ය ශිෂ්‍යාවන් රැගෙන ඒමට ශ්‍රී ලංකන් ගුවන් සමාගම කටයුතු කළා ෴

+++++++++++++++++++++

***************************************

පීඩාවට පත්ව සිටින කලාකරුවන්ට රජයෙන් සහන

(30.04.2020 – 16:19 +0530 – hirunews.lk/sinhala)

රටේ වත්මන් තත්ත්වය හේතුකොට ගෙන පීඩාවට පත්ව සිටින කලාකරුවන් සඳහා සහන ලබාදීමේ වැඩපිළිවෙලක් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ උපදෙස් පරිදි මධ්‍යම සංස්කෘතික අරමුදල මගින් ආරම්භ කර තිබෙනවා.

ඒ අනුව, කලාකරුවන් ක්ෂේත්‍රය තුළ රඳවා ගැනීමත්, දිරිගැන්වීමත් අරමුණු කර ගනිමින් රුපියල් මිලියන 10 ක මුදලක් කලාකරුවන්ට සහන සැලසීම සඳහා මධ්‍යම සංස්කෘතික අරමුදල මගින් ලබාදී ඇති බවයි අග්‍රාමාත්‍ය කාර්යාලය සඳහන් කළේ ෴

***************************************

කෘෂි සහ වෙනත් භාණ්ඩ හුවමාරුව සඳහා ඩිජිටල් තාක්ෂණය යොදා ගැනීමට අවධානය

(30.04.2020 – 16:12 +0530 – hirunews.lk/sinhala)

ගොවීන්, පාරිභෝගිකයන් සහ නිෂ්පාදන සැපයුම්කරුවන් අතර යාන්ත්‍රණයට ඩිජිටල් තාක්ෂණය යොදා ගැනීමේ හැකියාව පිළිබඳ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ අවධානය යොමුවී තිබෙනවා.

කෘෂිකර්ම, අභ්‍යන්තර වෙළඳ, පාරිභෝගික සුබසාධන, වැවිලි හා අපනයන අමාත්‍යංශ ලේකම්වරුන් සහ හෙක්ටර් කොබ්බෑකඩුව ගොවි කටයුතු පර්යේෂණායතනය ඇතුළු තවත් ආයතන කිහිපයක නිලධාරීන් සමග විමර්ශන සාකච්ඡාවක් අද (30) ජනාධිපති කාර්යාලයේදී පැවැත්වුනා.

එහිදී තොග සැපයුම්කරුවන්, තොග ගැණුම්කරුවන්, භාණ්ඩ එකතු කරන්නන්, හෝටල් වැනි මහා පරිමාණ ගැණුම්කරුවාගේ සිට දෛනික පාරිභෝගිකයා දක්වා වූ කෘෂි භෝග අලෙවිකරණයට ඩිජිටල් තාක්ෂණය යොදා ගැනීමේ හැකියාව දීර්ඝ ලෙස සාකච්ඡාවට ලක්වූ බවයි ජනාධිපති මාධ්‍ය අංශය කියාසිටියේ.

කෘෂි අස්වැන්න සඳහා ඉහළ මිලක් වෙනුවෙන් ගොවියාට තරග කිරීමේ හැකියාව ලබාදීමට ද මෙමගින් අපේක්ෂා කෙරෙනවා.

පහසු සහ සරල තාක්ෂණය භාවිත කරමින් ඕනෑම අයෙකුට ඩිජිටල් හුවමාරුවට සම්බන්ධවීමේ හැකියාව තිබිය යුතු බවයි ජනාධිපතිවරයා අවධාරණය කළේ.

මෙහි අවසන් ප්‍රතිඵලය ස්වයංපෝෂිත ශ්‍රී ලංකාවක් බිහි කිරීම බව ද ඔහු සඳහන් කළා.

ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ තාක්ෂණය මගින් සම්බන්ධ කරමින් ගොවීන් සහ ගැණුම්කරුවන් පහසුවෙන් සම්බන්ධ කිරීමට ඩිජිටල් තාක්ෂණය යොදාගත හැකි අතර එමගින් අතරමැදියාගෙන් ලැබෙන මුදලට වඩා වැඩි මිලක් ගොවියාට ලබාගැනීමට හැකිවනු ඇති බවටයි අපේක්ෂා කෙරෙන්නේ.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මෙහිදී කියාසිටියේ පාරිභෝගික අවශ්‍යතා සමීක්ෂණයට ද මෙම ක්‍රමය යොදාගත හැකි බවයි.

මධ්‍යම ගමනාගමන මණ්ඩලය දුම්රිය සහ තැපැල් දෙපාර්තමේන්තුව ද ඩිජිටල් තාක්ෂණ මෙහෙයුම් ප්‍රවාහන ක්‍රියාවලියට යොදාගත යුතු බව ද ජනාධිපතිවරයා සඳහන් කළා ෴

***************************************

ආනයනය කර ඇති වාහන මුදා ගැනීමට ගැටළුවක් නැහැ – ශ්‍රී ලංකා වරාය අධිකාරිය

(30.04.2020 – 15:29 +0530 – hirunews.lk/sinhala)

කොරෝනා වෛරසය තත්ත්වය හමුවේ වරායට ආනයනය කර ඇති වාහන මුදා ගැනීම ගැටළුවක් නොවන බව ශ්‍රී ලංකා වරාය අධිකාරිය පවසනවා.

ඒ අනුව, දේශීය වාහන ආනයනකරුවන් විසින් දැනට කොළඹ වරාය වෙත ගෙන්වා ඇති සියලු වාහන ප්‍රමාදයකින් තොරව මුදා ගැනීමට අවශ්‍ය පහසුකම් අදාළ ආයතන මගින් සලසා ඇති බවයි වරාය අධිකාරිය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ.

දැනට ECT පර්යන්තයේ පමණක් බහාලුවලින් මුදා අංගන කර ඇති වාහන 400 ක් පමණ සහ සැළකිය යුතු අතිරේක ප්‍රමාණයක් UCT පර්යන්තයේ ද මේ වන විට ගාල්කර තිබෙනවා.

මෙම තත්වය කොළඹ වරායෙහි භාණ්ඩ මෙහෙයුම්වලදී පර්යන්ත කළමනාකරණයට විශාල ගැටළුවක් වී ඇති බවයි වරාය අධිකාරිය පෙන්වා දෙන්නේ.

එබැවින් මෙම අංගන කර ඇති වාහන ඉතා ඉක්මනින් වරාය පරිශ්‍රයෙන් ඉවත්කර ගන්නා ලෙසට අදාළ ආනයනකරුවන් වෙත ශ්‍රී ලංකා වරාය අධිකාරිය දැනුම් දෙනවා.

එසේම, නාවික හමුදාව විසින් කොරෝනා වෛරසය ව්‍යාප්ත වීම පාලනය කිරිම සඳහා සිදුකරන වැඩසටහන් වෙනුවෙන් අවශ්‍ය ආරක්ෂිත මුහුණු ආවරණ තොගයක් අද (30) නාවික හමුදාව වෙත ලබාදී තිබෙනවා.

ඒ කොරියාවේ – බුසාන් සමුද්‍ර හා සාගර විශ්වවිද්‍යාලයේ මහාචාර්යවරයෙකු විසින්.

එමෙන්ම, විවිධ සංවිධාන සහ ආයතන මගින් ද නාවික හමුදාව වෙත මේ වනවිට අවශ්‍ය ද්‍රව්‍යමය ආධාර ලබාදී තිබෙනවා ෴

***************************************

පොහොර සඳහා බිලියන 10 ක් වෙන් කරයි

(30.04.2020 – 15:20 +0530 – hirunews.lk/sinhala)

පොහොර මෙටි‍්‍රක් ටොන් එක්ලක්ෂ 50,000 ක් ගොවීන්ට ලබාදීම සඳහා බිලියන 10 ක මුදලක් වෙන් කළ බව සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා ප්‍රකාශ කළා.

අද (30) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ මැයි 20 වනදා සිට ගොවීන්ට මෙම පොහොර බෙදාදෙන බවයි ෴

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *