තවත් ආසාදිතයින් 18 ක් – සමස්ත ආසාදිතයින් ගණන 523 දක්වා වැඩි වෙයි

+++++++++++++++++++++++++++++++++++

= මේ පිටුවේ සිරස්තල =

• තවත් ආසාදිතයින් 18 ක් – සමස්ත ආසාදිතයින් ගණන 523 දක්වා වැඩි වෙයි

• හෙටත් (27) මුළු රටටම ඇඳිරි නීතිය (විඩියෝ)

• හමුදාපතිගෙන් නිවාඩු ගොස් සිටින ත්‍රිවිධ හමුදා නිලධාරීන්ට ඉල්ලීමක් (විඩියෝ)

• සියලු ත්‍රිවිධ හමුදා නිලධාරින්ගේ හා සෙසු නිලයින්ගේ නිවාඩු අවලංගු වෙයි

• ඇඳිරි නීතිය කැඩූ පුද්ගලයින් 38,762 ක් අත්අඩංගුවට

• මියගිය වැලිසර කඳවුරේ නිලධාරියාගේ අවසන් කටයුතුත් නිරෝධායන නීතින්ට අනුව (විඩියෝ)

• ඊයේ (25) PCR සිදු කළ බණ්ඩාරනායක මාවතේ කිසිවෙකුටත් කොරෝනා නෑ

• මාස 6 ක දරුවෙකුටත් කොරෝනා – ආසාදිතයින් ඇසුරු කළ පිරිස් අදත් (26) නිරෝධායනයට (විඩියෝ)

• සීදුව කඳවුරේ යුද හමුදා විශේෂ බලකා නිලධාරියෙකුටත් කොරෝනා (විඩියෝ)

• දින 14 ක් ස්වයං නිරෝධායනය වූ පුද්ගලයෙකු නැවතත් බන්ධනාගාරයට

• ඇඹිලිපිටිය ප්‍රධාන මහේස්ත්‍රාත්වරිය නිරෝධායනයට

• ලංගම බස් රථයේ පා පුවරුවේ නිර්මාණය වූ විෂබීජ හරණ කුටිය (විඩියෝ)

• සමාජ මාධ්‍ය වාර්තා සම්බන්ධයෙන් ශ්‍රී ලංකන් ගුවන් සේවයෙන් කරුණු පැහැදිලි කිරීමක්

• ඩොලරයට සාපේක්ෂව රුපියල ස්ථාවර මට්ටමක – මහ බැංකුවේ නියෝජ්‍ය අධිපති කියයි (විඩියෝ)

• ජනපතිගේ සහභාගීත්වයෙන් කතරගම පුදබිමේ සර්වරාත්‍රික පරිත්‍රාණ ධර්ම දේශනයක් (විඩියෝ)

• ඉන්දියාවේ සිටි ශ්‍රී ලාංකිකයන් පිරිසක් රැගත් ගුවන් යානයක් දිවයිනට

• අපොස සාමාන්‍ය පෙළ විභාග ප්‍රතිඵල ඉදිරි දින දෙක තුළ

+++++++++++++++++++++++++++++++++++

තවත් ආසාදිතයින් 18 ක් – සමස්ත ආසාදිතයින් ගණන 523 දක්වා වැඩි වෙයි

(27.04.2020 – 01:01 +0530 – sinhala.adaderana.lk)

ඊයේ (26) රාත්‍රී 11:58 වන තවත් කොරෝනා ආසාදිතයින් 18 දෙනෙකු වාර්තා වී ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

ඒ අනුව ලංකාවේ සමස්ත කොරෝනා ආසාදිතයින් ගණන 523 ක් දක්වා ඉහළ ගොස් තිබේ.

ඒ අනුව ඊයේ (26) දිනයට පමණක් කොරෝනා ආසාදිතයින් 63 දෙනෙකු වාර්තා වී තිබේ.

ප්‍රතිකාර ලබා සුවය ලැබු සමස්ත ආසාදිතයින් ගණන 120 ක් වෙයි.

මේ අතර තවත් පුද්ගලයින් 396 ක් වෛද්‍ය අධීක්ෂණය යටතේ සිටියි.

ලංකාවේ කොරෝනා ආසාදනය වීමෙන් පුද්ගලයින් 07 දෙනෙක් ජීවික්ෂයට පත්ව තිබේ ෴

+++++++++++++++++++++++++++++++++++

හෙටත් (27) මුළු රටටම ඇඳිරි නීතිය

(26.04.2020 – 19:58 +0530 – sinhala.adaderana.lk)

නිවාඩු ගොස් සිටින ත්‍රිවිධ හමුදා නිලධාරීන් කඳවුරු වෙත ගෙන්වා ගැනීම පහසුවන පරිදි හෙට (27), සඳුදා රට පුරා ඇඳිරි නීතිය පනවනු ලැබේ.

ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කරන්නේ කොළඹ, ගම්පහ, කළුතර සහ පුත්තලම දිස්ත්‍රික්ක හැර සෙසු දිස්ත්‍රික්කවල ඇඳිරි නීතිය 28 වනදා අඟහරුවාදා අලුයම 05:00 ට ඉවත් කොට එදිනම රාත්‍රී 08:00 සිට යළි ක්‍රියාත්මක කෙරේ.

+++++++++++++++++++++++++++++++++++

හමුදාපතිගෙන් නිවාඩු ගොස් සිටින ත්‍රිවිධ හමුදා නිලධාරීන්ට ඉල්ලීමක්

(26.04.2020 – 21:00 +0530 – sinhala.adaderana.lk)

නිවාඩු ලබා සිටින ත්‍රිවිධ හමුදා නිලධාරීන් තම කඳවුරු වෙත ආපසු යාමට ප්‍රවාහන පහසුකම් සොයාගත නොහැකි නම් ළඟම ඇති කඳවුරට වාර්තා කරන ලෙස ඉල්ලා සිටින බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

මේ අතර ත්‍රිවිධ හමුදා නිලධාරීන් නැවත ඔවුන්ගේ ස්ථාන වෙත වාර්තා කිරීම සඳහා ප්‍රවාහන පහසුකම් ලබා දෙන බව යුද හමුදා ප්‍රධානියා පවසා තිබේ.

+++++++++++++++++++++

+++++++++++++++++++++++++++++++++++

සියලු ත්‍රිවිධ හමුදා නිලධාරින්ගේ හා සෙසු නිලයින්ගේ නිවාඩු අවලංගු වෙයි

(26.04.2020 – 17:47 +0530 – sinhala.adaderana.lk)

ආරක්ෂක අමාත්‍යාංශයේ උපදෙස් පරිදි නැවත දැනුම්දෙන තුරු ත්‍රිවිධ හමුදාවට අයත් නීලධාරි හා සෙසු නිලයින්ගේ නිවාඩු හා කෙටි නිවාඩු අවලංගු කර ඇත.

ඒ අනුව දැනට නිවාඩු මත සිටින නීලධාරි හා සෙසු නිලයින් කඩිනමින් තමන් සේවය කරන කඳවුරු වෙත වාර්තා කල යුතුයි.

එලෙස නිවාඩු මත සිටින නිලධාරි හා සෙසු නිලයින් වහාම තමන් සේවය කරන කදවුරේ ප්‍රධානියා හෝ වගකිවයුතු නිලධාරියෙකු දුරකථන මාර්ගයෙන් අමතා වැඩිදුර උපදෙස් ලබා ගැනීමට කටයුතු කළ යුතුය.

ආරක්ෂක ලේකම් මේජර් ජෙනරාල් (විශ්‍රාමික) කමල් ගුණරත්න මහතා විසින් ත්‍රිවිධ හමුදාධිපතිවරුන්ට නිකුත් කළ නියෝගයේ සදහන් කර තිබුණේ නිලධාරීන් සහ සෙසුනිලයින් සඳහා ලබා දී ඇති සියලුම නිවාඩු අවලංගු කිරීමේ තීරණය අද ‍(26) දින ගනු ලැබූ බවයි ෴

+++++++++++++++++++++++++++++++++++

ඇඳිරි නීතිය කැඩූ පුද්ගලයින් 38,762 ක් අත්අඩංගුවට

(26.04.2020 – 21:23 +0530 – sinhala.adaderana.lk)

මාර්තු විසිවැනිදා (20) සිට මේ දක්වා ඇඳිරි නීතිය කඩකිරීම හේතුවෙන් අත්අඩංගුවට ගත් පුද්ගලයින් සංඛ්‍යාව 38,762 දක්වා ඉහළ ගොස් තිබේ.

පොලිස්භාරයට ගෙන ඇති රථ වාහන සංඛ්‍යාව නවදහස් නවසිය හැත්තෑතුන‍කි (9973).

මුළු දිවයිනටම ඇඳිරි නීතිය ක්‍රියාත්මක වන අද (26) දිනයේත් ඇඳිරි නීතිය කඩකරන්නන් සහ සෞඛ්‍ය උපදෙස් අනුගමනය නොකර මාර්ගයේ ගමන් කරන පුද්ගලයින් සොයා මෙහෙයුම් ක්‍රියාත්මක කෙරුණි.

ඇඳිරි නීතිය පවතින අතරවාරයේ අත්‍යවශ්‍ය සේවා පුවරුවක් ප්‍රදර්ශනය කරමින් ලොරි රථයකින් කේරල ගංජා ප්‍රවාහනය කළ පුද්ගලයෙකු සහ මිලදී ගැනීම සඳහා පැමිණ සිටි පුද්ගලයින් දෙදෙනෙක් කැප්පෙටිපොල ආර්ථික මධ්‍යස්ථානය අසලදී ඊයේ පස්වරුවේ වැලිමඩ පොලීසිය අත්අඩංගුවට ගෙන තිබේ.

එමෙන්ම අත්‍යවශ්‍ය සේවා බලපත්‍රයක් සහිතව ත්‍රිරෝද රථයකින් සිල්ලර භාණ්ඩ අලෙවි කරන අතරතුර අයිස් සහ හෙරොයින් මත්ද්‍රව්‍ය අලෙවි කිරීමේ නිරත වූ පුද්ගලයින් දෙදෙනෙක් ඊයේ (25) පස්වරුවේ අත්අඩංගුවට ගෙන තිබුණේ කලුතර, පයාගල ප්‍රදේශයෙන්ය.

ඒ අතර පානදුර නිව්ඩාව ඉදිපිල්ලෑව බොල්ගොඩ ගඟ රක්ෂිතයේ ළඳු කැළෑවක නීතිවිරෝධීව මත්පැන් නිෂ්පාදනයට සූදානමින් සිටි පුද්ගලයෙක් වලාන දූෂණ මර්දන ප්‍රහාරක ඒකකයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගනු ලැබුවේය.

එමෙන්ම බෙලිඅත්ත වීරසිංහ මාවතේ නිවසක් තුළ ද නීතිවිරෝධීව මත්පැන් නිෂ්පාදනයේ නිරත වූ අයෙකුද පොලිස් අත්අඩංගුවට පත්වුණි.

අදාළ නිවසේ තිබූ ගංජා තවානක්ද විනාශ කිරීමට එහිදී පියවර ගැණුනි.‍

මේ අතර බේරුවල ප්‍රදේශයේ ඉස්ලාම් දේවස්ථානයක් අසළ ජනතාව ඒකරාශී කර කැඳවර්ගයක් බෙදා හැරීමට කටයුතු සූදානම් කළ පුද්ගලයෙක් ඒ සඳහා උපයෝගී කළ භාණ්ඩද සමඟ ඊයේ (25) පස්වරුවේ බේරුවල පොලීසිය විසින් අත්අඩංගුවට ගත්තේය.

ඒ කොවිඩ්-19 ව්‍යාප්තිය සමඟ බේරුවල ප්‍රදේශ කිහිපයක් හුදෙකලා කර ඇති පසුබිමක මෙවැනි ක්‍රියාකාරකම්හි නිරත නොවන්නැයි පොලීසිය කළ දැනුම්දීම් වලට අනුකූලව කටයුතු නොකිරීම හේතුවෙන්ය.

මේ අතර මෙවර රාමලාන් මාසය තුළ සිදුකරන කාර්යයන් හැකිතාක් සිය නිවෙස් වලට සීමා කරන්නැයි ඉස්ලාම් පූජකවරයෙක් සිදු කරන ඉල්ලීමක් සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ නිල ෆේස් බුක් පිටුවේ සදහන් කර තිබුණි ෴

+++++++++++++++++++++++++++++++++++

මියගිය වැලිසර කඳවුරේ නිලධාරියාගේ අවසන් කටයුතුත් නිරෝධායන නීතින්ට අනුව

(26.04.2020 – 20:57 +0530 – sinhala.adaderana.lk)

වැලිසර නාවික හමුද කඳවුරට අනුයුක්තව සේවය කළ සුනිල් බණ්ඩාර නැමැති ලුතිනන් කමාන්ඩර්වරයෙක් මියගොස් ඇත.

ඒ කොළඹ නාවික මහ රෝහලේ දැඩිසත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදීයි.

මේ සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරන නාවික හමුදාව පවසන්නේ අදාළ නිලධාරියා මියගොස් ඇත්තේ, මී උණ රෝගී තත්ත්වය උත්සන්න වීමෙන් බවයි.

35 හැවිරිදි ගලෙන් බිදුණු වැව ප්‍රදේශයේ පදිංචිකරුවෙක් වන අදාළ නාවික නිලධාරියාගේ ආදාහන කටයුතු වැලිසරදී සිදුකෙරුණේ, කොවිඩ් නයින්ටීන් ආසාදනය වී මිය ගිය පුද්ගලයෙකුගේ අවසන් කටයුතු සිදුකෙරෙන ආකාරයෙන්.

+++++++++++++++++++++

ඊයේ (25) PCR සිදු කළ බණ්ඩාරනායක මාවතේ කිසිවෙකුටත් කොරෝනා නෑ

(26.04.2020 – 20:16 +0530 – sinhala.adaderana.lk)

කොළඹ-කෙසෙල්වත්ත බණ්ඩාරනායක මාවතේ පදිංචිකරුවන් 160 දෙනෙකු අද (26) PCR පරික්ෂාවට ලක් කෙරුණි.

එමෙන්ම ඊයේ (25) දිනයේදි බණ්ඩාරනායක මාවතේ PCR පරික්ෂණයට ලක් කළ පුද්ගලයින් 160 අතුරින් කිසිවෙකුට වෛරසය ආසාදනය වි නොමැති බවට තහවුරු වි තිබේ ෴

+++++++++++++++++++++

මාස 6 ක දරුවෙකුටත් කොරෝනා – ආසාදිතයින් ඇසුරු කළ පිරිස් අදත් (26) නිරෝධායනයට

(26.04.2020 – 20:12 +0530 – sinhala.adaderana.lk)

කුරුණෑගල ශික්ෂණ රෝහලෙන් සොයාගැනුණු නව ආසාදිතයින් 6 දෙනා ඊයේ (25) රාත්‍රියේම අංගොඩ බෝවන රෝග විද්‍යායතනය වෙත යොමු කෙරුණි.

මෙම ආසාදිතයින් 6 දෙනා අතරට පඬුවස්නුවර බණ්ඩාර කොස්වත්ත ප්‍රදේශයේ පදිංචි කොවිඩ් ආසාදිත නාවික හමුදා සෙබලාගේ බිරිඳ හා මාස 6 ක් වයසැති දරුවා ද වෙයි.

එමෙන්ම පඬුවස්නුවර නාවික සෙබලා සමඟ එකම යතුරු පැදියේ පැමිණි වරකාපොල පාදෙණිය හෙට්ටිගෙදර ප්‍රදේශයේ පදිංචි තවත් නාවික සෙබලෙකු ටද කොවිඩි 19 ආසාදනය වී ඇති බව ඊයේ (25) තහවුරු වුණි.

ඒ අදාළ සෙබළ පෙරේදා (24) දින කුරුණෑගල ශික්ෂණ රෝහලට ඇතුළත් කිරීමෙන් පසුවයි.

කුරුණෑගල ශික්ෂණ රෝහලේදී හඳණාගත් රෝගීන් 6 දෙනාට අතරට පනාගොඩ යුද හමුදා කඳවුරේ සේවය කළ සෙබළුන් දෙදෙනකු (2) ද වෙයි.

ඉන් එක් සෙබලෙක් මැල්සිරිපුර මහයාය ප්‍රදේශයේ පදිංචිකරුවෙක් අතර අනෙක් සෙබළා අලව්ව ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

මේ වන විට මැල්සිරිපුර සෙබළාගේ මහයාය ගම්මානයට ඇතුළුවන මාර්ග 3 ක් තාවකාලික මාර්ග බාධක යොදා වසා දැමිමට පොලිසිය අද (26) පියවර ගත්තේය.

පසුගිය 11 වැනිදා නිවාඩු ලබා අලව්වේ පිහිටි නිවසට පැමිණි අනෙක් යුද හමුදා සෙබළා ආගිය ස්ථාන අද (26) විෂභිජහරණයට ලක්කෙරුණි.

මේ අතර පසුගිය 18 වැනිදා අවිස්සාවෙල්ල කුඩගම යිහැල්ලවත්ත ප්‍රදේශයේ නිවසට පැමිණ සිටි වැලිසර නාවික සෙබළෙකු ටද කොවිඩ් නයින්ටීන් වැලදී ඇති බව තහවුරු වී තිබුණි.

ඒ අනුව ඔහු ඇසුරු කළ නිවෙස් 8 ක පුද්ගලයින් 30 ස්වයං නිරෝධායනයට ලක් කෙරුණි.

මේ අතර වැලිසර නාවික හමුදා කඳවුරේ සෙබදුන් දෙදෙනකු (2) හා යුද හමුදා සෙබලුන් කිහිප දෙනෙකු රත්නපුරයේ සිට පසුගිය 22 වැනිදා කෙසෙලේ වෙලඳමේ නිරත පුද්ගලයෙකු විසින් සිය ලොරි රථයෙන් ලුණුගම්වෙහෙර ප්‍රදේශයට රැගෙන විත් තිබුණි.

එලෙස පැමිණි නාවික හමුදා සෙබලෙක් කොවිඩ්-19 වෛරස ආසාදිතයෙකු ලෙස හඳුනා ගැනිමත් සමග ලොරි රථයේ හිමිකරුට නිවසේම ස්වං නිරෝධායනය වන ලෙසට සෞඛ්‍ය අංශ උපදෙස් දි තිබුණි.

කෙසේ වෙතත් අද (26) දිනයේදි ඔහුව PCR පරික්ෂණයට ලක් කිරිමට නියමිතව තිබු අතර ගිලන් රථයක් ඔහුගේ නිවසට පැමිණෙනවා වෙනුවට ඔහුව ගිලන් රථය ඇති තිස්සමහාරාම නගරයට යතුරු පැදියකින් ගෙන්වා ගෙන ඇත.

මේ අතර කොවිඩ්-19 වෛරසය ආසාදනය වූ හම්බන්තොට බැරගම දහමිපුර ප්‍රදේශයේ පදිංචි නාවික හමුදා සෙබළාගේ බිරිඳ, දරුවා, මව සහ නැගනිය හා ඔහු ඇසුරු කළ තවත් පිරිසක් නිරෝධායනයට ලක් කෙරුණි.

මේ අතර පිළියන්දල පැලන්වත් ප්‍රදේශයේ කොවිඩ් ආසාදිත නාවික සෙබළාගේ පවුලේ සාමජිකයින් නිරෝධායනය කිරීම සඳහා නාවික හමුදාව විසින් රැගෙන යනු ලැබීය.

එමෙන්ම ඔහු ගමන් ගත් ස්ථාන විෂබීජහරණයට ලක්කෙරුණි ෴

+++++++++++++++++++++

+++++++++++++++++++++++++++++++++++

සීදුව කඳවුරේ යුද හමුදා විශේෂ බලකා නිලධාරියෙකුටත් කොරෝනා

(26.04.2020 – 20:22 +0530 – sinhala.adaderana.lk)

ආසාදිතයින් අතර සිටින නාවික හමුදා නිලධාරිනියකගේ සැමියාට ද කොරෝනා ආසාදනය වී ඇති බව හඳුනා ගැණුනි.

එම නාවික හමුදා නිලධාරිනිය ගම්පහ බෙම්මුල්ල ප්‍රදේශයේ පදිංචිකාරිනියක්.

සෞඛ්‍ය අංශ පැවසුවේ, ඇයගේ සැමියා සීදුව විශේෂ බලකා කඳවුරට අනුයුක්ත කපිතාන්වරයෙක් බවයි.

ඔහුට කොවිඩ් ආසාදනය වී ඇති බව තහවුරු වූ තිබුණේ, පසුගියදා ගම්පහ රෝහලෙන් කරන ලද පි.සී.ආර්. පරීක්ෂණයෙන් පසුවයි.

මේ වන විට අදාළ හමුදා නිලධාරියා අයි.ඩී.එච්. රෝහල ප්‍රතිකාර ලබයි.

සෞඛ්‍ය අංශ පවසන්නේ, හමුදා සාමාජිකයින් 140 ත් 150 ත් පිරිසක් සිටින සීදුව විශේෂ බලකා කඳවුර සම්පූර්ණයෙන් හුදෙකලා කර ඇති බවයි ෴

+++++++++++++++++++++

+++++++++++++++++++++

+++++++++++++++++++++

+++++++++++++++++++++

+++++++++++++++++++++++++++++++++++

දින 14 ක් ස්වයං නිරෝධායනය වූ පුද්ගලයෙකු නැවතත් බන්ධනාගාරයට

(26.04.2020 – 17:40 +0530 – hirunews.lk/sinhala)

ඇදිරිනීතිය පැවති කාලය තුළ ලොරිවලින් පැමිණ පොලීසියට හසුවී අධිකරණය මගින් මීට දින 14 කට පෙර ස්වයං නිරෝධායනය කළ පුද්ගලයෙකු එය අවසන් කර නැවත බන්ධනාගාර නිළධාරීන් භාරයට පත්ව තිබෙනවා.

ඇදිරිනීති අවස්ථාවේදී කොළඹ සිට ලොරි රථවලින් පැමිණි පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන මාතර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමේන් අනතුරුව දින 14 ක් ඔහුගේ නිවසේම ස්වයං නිරෝධායනය කරන ලෙස මාතර මහේස්ත්‍රාත් අධිකරණය මගින් නියෝගයක් කර තිබුණා.

තිහගොඩ පොලීසිය මගින් අධිකරණයට ඉදිරිපත් කරන ලද මෙම පුද්ගලයා කොළඹ ප්‍රදේශයේ ඉදිකිරීම්වල අත්වැඩ දෙන්නෙකු බව සදහන්.

අධිකරණ නියෝගය අනුව මාතර බන්ධනාගාරයේ නිළධාරීන් විසින් මෙම පුද්ගලයා පදිංචි පනාමුර මුල්ඇඩියාවල ප්‍රදේශයේ ඔහුගේ නිවසට මෙම සැකකරු රැගෙන විත් අඹිලිපිටිය සෞඛ්‍ය වෛද්‍ය නිළධාරීන් හරහා දින 14 ක් ස්වයං නිරෝධායනයේ යොදවා තිබෙනවා.

එම ස්වයං නිරෝධායනය 26 දා අවසන් වූ අතර ඇඹිලිපිටිය සෞඛ්‍ය වෛද්‍ය නිළධාරීන් පැමිණ මෙම පුද්ගලයා වෙත නිරෝධායන සහතිකය නිකුත් කරන තිබෙනවා.

ඉන් අනතුරුව බන්ධනාගාර නිළධාරීන් විසින් මෙම පුද්ගලයා නැවත අත්අඩංගුවට ගෙන මාතර මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීම සදහා රැගෙන ගොස් තිබෙනවා ෴

+++++++++++++++++++++++++++++++++++

ඇඹිලිපිටිය ප්‍රධාන මහේස්ත්‍රාත්වරිය නිරෝධායනයට

(26.04.2020 – 15:56 +0530 – hirunews.lk/sinhala)

ඇඹිලිපිටිය ප්‍රධාන මහේස්ත්‍රාත්වරිය සිය නිවසේ සිට දින 14 ක කාලයක් ස්වයං නිරෝධායනයට ලක්වීමට පියවර ගෙන ඇති බව සබරගමු පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය කපිල කන්නංගර මහතා පවසනවා.

ප්‍රධාන මහේස්ත්‍රාත්වරියගේ සැමියා වැලිසර නාවික හමුදා කදවුරේ නිලධාරියෙකු වන අතර, ඔහු පසුගිය 12 වන දා සිට 20 වන දා දක්වා කාලය තුළ නිවාඩු ලබා නිවසට පැමිණීම හේතුවෙන් ඇය මෙලෙස ස්වයං නිරෝධායනයට යොමු වූ බවයි සබරගමුව පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය කපිල කන්නංගර මහතා කියා සිටියේ.

මහේස්ත්‍රාත්වරියගේ සැමියාට කොරෝනා ආසාදනය වී ඇති බවට මෙතෙක් තහවුරු වී නැති බව ද ඔහු සඳහන් කළා ෴

+++++++++++++++++++++++++++++++++++

ලංගම බස් රථයේ පා පුවරුවේ නිර්මාණය වූ විෂබීජ හරණ කුටිය

(26.04.2020 – 15:27 +0530 – hirunews.lk/sinhala)

ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයට අයත් බස් රථයක් තුල විෂබීජ හරණ කුටියක් නිර්මාණය කිරීමට, ලංගම වයඹ ප්‍රාදේශීය කළමණාකාර ඉංජිනේරු සුමිත් හේරත් මහතා සමත්ව තිබෙනවා.

බස් රථයේ පසුපස දොරටුවේ මෙම විෂ බීජ හරණ කුටිය නිර්මාණය කර ඇති අතර මෙමඟින් බස් රථයට නංවාගන්නා සෑම මගියෙකුම විෂබීජ හරණය කිරීම සිදුකරනු ලබනවා.

ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ සභාපතිවරයාගේ උපදෙස් මත කුරුණෑගල දකුණ ඩිපෝවට අයත් බස් රථයක මෙම නව නිර්මාණය සිදුකළ බවයි එහි නිර්මාණකරු, ඉංජිනේරු සුමිත් හේරත් අප සමඟ පවසා සිටියේ.

මෙම නිර්මාණය සඳහා පිරිවැය ලෙස වැයවී ඇත්තේ රුපියල් දසදහසක පමණ මුදලක්.

බලධාරීන් සමඟ සාකච්ඡාකර ඉදිරියේදී මෙම විෂබීජ හරණ කුටි ලංගම බස් රථවල සවිකිරීමට අපේක්ෂාකරන බවයි ඉංජිනේරු සුමිත් හේරත් වැඩිදුරටත් පවසා සිටියේ.

+++++++++++++++++++++++++++++++++++

සමාජ මාධ්‍ය වාර්තා සම්බන්ධයෙන් ශ්‍රී ලංකන් ගුවන් සේවයෙන් කරුණු පැහැදිලි කිරීමක්

(26.04.2020 – 17:40 +0530 – sinhala.adaderana.lk)

ඉන්දියාවේ අතරමංව සිටි ශ්‍රී ලාංකික සිසුන් නැවත ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීම සඳහා වි‍ශේෂයෙන් ක්‍රියාත්මක කරන ලද ගුවන් ගමන සඳහා, මගීන්ගෙන් ශ්‍රී ලංකන් ගුවන් සමාගම විසින් අධික ලෙස මුදල් අය කර ඇති බව අඟවමින් මේ වන විට සංසරණය වෙමින් පවතින සමාජ මාධ්‍ය වාර්තා පිළිබඳ ශ්‍රී ලංකන් ගුවන් සමාගම විසින් කරුණු පැහැදිලි කරමින් මාධ්‍ය නිවේදනයක් නිකුත් කර ඇත.

එම නිවේදනයේ මෙසේ සඳහන්ය :

“ශ්‍රී ලංකන් ගුවන් සේවය අදාළ සිසුන් සහ ඔවුන්ගේ දෙමාව්පියන් විසින් ශ්‍රී ලංකා රජය වෙත කරන ලද ඉල්ලීම මත පදනම්ව ඉහත සඳහන් ගමනාන්ත වෙත විශේෂ ප්‍රතිපත්ති මත ක්‍රියාත්මක වන ගුවන් මෙහෙයුම් සිදුකළ බව ප්‍රකාශ කිරීමට කැමැත්තෙමු.

ඒ අනුව බොහෝ රටවල ගුවන්තොටුපල සහ ගුවන් මෙහෙයුම් වසා දමා ඇති අවස්ථාවක ශ්‍රී ලංකා රජය සහ අනෙකුත් රජයේ දෙපාර්තමේන්තු, ගුවන්තොටුපල සහ ගුවන් සේවා සමාගම, සන්නද්ධ හමුදා, රජයේ වෛද්‍ය ආයතන සහ ශ්‍රී ලංකා විදේශ අමාත්‍යංශය එක්ව මෙම විශේෂ ගුවන් මෙහෙයුම් සඳහා අවශ්‍ය ජාත්‍යන්තර රජයේ අනුමැතිය ලබා ගනිමින් ශ්‍රී ලංකන් ගුවන් සේවය සමඟ එක්ව මෙම ගුවන් ගමන් සංවිධානය කර තිබේ.

ශ්‍රී ලංකාවේ සිට ඉන්දියාව වෙත විශේෂ ගුවන් යානය පිටත්ව යන ලද්දේ 50% හෝ ඊට අඩු සමස්ත ගුවන් ධාරිතා සාධකය සමඟය.

ගුවන් සේවය දැනට පියාසර නොකරන ගමනාන්ත වෙත ගමන් කරන විට, එනම් අමරිට්සර් හි මෙහෙයුම් පිරිවැය වන ගොඩබෑම / ගුවන් යානා නැවැත්වීම / භූමිය හැසිරවීම යනාදිය සැපයුම්කරුවන් සමඟ සේවා ගිවිසුම් නොමැති විට පවත්නා මිල ගණන් යටතේ එය දැරීමට සිදුවිය.

ඒ අනුව මෙම පිරිවැය වෙනත් ගුවන් ගමන්වලට සාපේක්ෂව ඉහළ ය.

මෙම ප්‍රධාන මෙහෙයුම් පිරිවැය ගුවන් සමාගමේ පාලනයෙන් ඔබ්බට යන අතර ධාරිතාව අඩු සාධක තිබියදීත් එය දැරීමට සිදුවේ.

බොහෝ ගුවන් තොටුපලවල් වසා දමා ඇති බව තවදුරටත් සැලකිල්ලට ගනිමින් ආපසු පැමිණීමේ ගමන සඳහා ආහාර සැපයීමේ සේවා සැපයීම සහ බලාපොරොත්තු නොවූ ඕනෑම හදිසි අවස්ථාවක් සඳහා ගොඩබිම් සේවා සංවිධානය කිරීම වෙනුවෙන් ශ්‍රී ලංකන් ගුවන් සමාගමට කොළඹ සිට ඉන්ධන රැගෙන යාමට සිදු විය.

විශේෂයෙන්ම COVID-19 ත්ත්ත්වය යටතේ දී පවතින මෙහෙයුම් ක්‍රියාපටිපාටීන් මත මෙම ගුවන් යානා ක්‍රියාත්මක වූ අතර එමඟින් කාර්ය මණ්ඩලය සඳහා පුද්ගලික ආරක්ෂණ උපකරණ භාවිතා කිරීම, ගැඹුරු පිරිසිදු කිරීම, මතුපිට මීදුම ඉවත් කිරීම් සහ ගුවන් යානා විෂබීජ නාශක සඳහා වන ක්‍රමවේද ඇතුළු වියදම් තවදුරටත් ඉහළ යන ලදී.

එම හේතූන් මත මුළුපිරිවැය අඩු මගීන් අතර බෙදී යන විට, එක් අයෙකු සඳහා වැයවන පිරිවැය සැලකිය යුතු ලෙස වැඩි වේ.

ගෝලීය ගුවන් කර්මාන්තයම වසා දමා ඇති අවස්ථාවක, ශ්‍රී ලංකන් ගුවන් සේවයේ ගුවන් නියමුවන්, ගුවන් කාර්ය මණ්ඩලය, භූමිය හැසිරවීමේ කාර්ය මණ්ඩලය, සැලසුම්කරුවන් සහ තිරය පිටුපස සිටින තවත් බොහෝ සාමාජිකයන් ඇතුළු ගුවන් සේවයේ සියලු සේවකයින් ඔවුන්ගේ ජීවිතවල ආරක්ෂාව අවදානමකට ලක් කරමින් මෙම වාණිජමය අරමුණක් නොමැති මානුෂීය ගුවන් ගමන් ක්‍රියාත්මක කිරීමට පවුලක් ලෙස එක්ව සිටියි.

වෙළඳපොල ගතිකතාවයන් මත පදනම් වූ සාමාන්‍ය වෙළඳපොල ගාස්තු මෙන් නොව, වරලත් ගුවන් ගමන් සඳහා තනිකරම ගාස්තු උපුටා දැක්වීමට ගුවන් සමාගමට සිදු වූයේ මේ හේතූ මතය.”

+++++++++++++++++++++++++++++++++++

ඩොලරයට සාපේක්ෂව රුපියල ස්ථාවර මට්ටමක – මහ බැංකුවේ නියෝජ්‍ය අධිපති කියයි

(26.04.2020 – 22:24 +0530 – sinhala.adaderana.lk)

අද වන විට අමෙරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියල යම් ස්ථාවර මට්ටමක පවතින බව ශ්‍රී ලංකා මහ බැංකුවේ නියෝජ්‍ය අධිපති එච්.ඒ.කරුණාරත්න මහතා පවසයි.

ඔහු මේ බව පැවසුවේ, ‘දේශීය දේශයක් ගොඩනැගීම සඳහා වන මාධ්‍ය මෙහෙයුම’ වැඩසටහනට එක්වෙමින්.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ඒ මහතා පැවසුවේ ඩොලරයේ අගය වැඩිවීමෙන් සිදුවන අවාසිය වාසියක් බවට පරිවර්ථනය කරගත යුතු බවයි.

ඒ සඳහා අනවශ්‍ය දේවල් මෙරටට ගෙන්වීම වැනි ක්‍රියාවලියන් දෙස ආපසු හැරී බැලීමට මෙය හොඳ අවස්ථාවක් බවත් ඒ මහතා පැවසීය.

මෙම සාකච්ඡාවට විද්වතුන් කිහිපදෙනෙකුම එක්ව සිටියේය.

+++++++++++++++++++++

+++++++++++++++++++++++++++++++++++

ජනපතිගේ සහභාගීත්වයෙන් කතරගම පුදබිමේ සර්වරාත්‍රික පරිත්‍රාණ ධර්ම දේශනයක්

(26.04.2020 – 13:22 +0530 – hirunews.lk/sinhala)

ජනතාවට සහ රටට සෙත් පතා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සහභාගීත්වයෙන් ඓතිහාසික කතරගම පුදබිමේදී ඊයේ (25) රාත්‍රියේ සර්වරාත්‍රික පරිත්‍රාණ ධර්ම දේශනයක් පැවැත්වුණා.

කතරගම පුද බිමට පැමිණි ජනාධිපතිවරයා කිරිවෙහෙර රජමහා විහාරාධිපති රුහුණු මාගම්පත්තුවේ ප්‍රධාන සංඝනායක පූජ්‍ය කොබවක ධම්මින්ද හිමියන් බැහැදැක ආශිර්වාද ලබාගත් බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ.

කොරෝනා වෛරසය මර්දනයට ගෙන යන වැඩපිළිවෙල සම්බන්ධයෙන් සිය ප්‍රසාදය පළ කළ උන්වහන්සේ කොවිඞ් 19 සෞඛ්‍ය සහ සමාජ ආරක්ෂණ අරමුදලට රුපියල් මිලියනයක් පරිත්‍යාග කර තිබෙනවා.

කිරිවෙහෙර සෑ රදුන් අභියස විශේෂ ආගමික වතාවත්වල නිරතවූ ජනාධිපතිවරයා කතරගම මහා දේවාලය ඇතුලු සෙසු දේවාල වෙතද ගොස් ආගමික වතාවත්වල නිරතවූ බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ.

+++++++++++++++++++++

+++++++++++++++++++++++++++++++++++

ඉන්දියාවේ සිටි ශ්‍රී ලාංකිකයන් පිරිසක් රැගත් ගුවන් යානයක් දිවයිනට

(26.04.2020 – 12:30 +0530 – hirunews.lk/sinhala)

ඉන්දියාවේ කොයිබතූර් සිටි ශ්‍රී ලාංකිකයන් 113 දෙනෙකු රැගත් ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ විශේෂ ගුවන් යානයක් කටුනායක ගුවන්තොටුපලට පැමිණ තිබෙනවා.

දිවයිනට පැමිණීමට නොහැකිව ඉන්දියාවේ කොයිම්බතූර් හි රැඳී සිටින පිරිස දිවයිනට ගෙන්වා ගැනීම සඳහා ශ්‍රී ලංකන් ගුවන් සේවයට අයත් විශේෂ ගුවන් යානය අද (26) උදෑසන කටුනායක ගුවන් තොටුපලෙන් පිටත්වුණා.

මෙම යානය ගුවන් නියමුවන් ඇතුලු හත්දෙනෙකුගෙන් (7) යුත් කාර්ය මණ්ඩලයකින් සමන්විතයි.

එමෙන්ම කොරෝනා වෛරසය පැතිරීම වැළැක්වීම සඳහා ගනු ලබන පියවරක් ලෙස ගුවන් මගීන් ප්‍රවාහනය සඳහා සීමාවන් පැනවූවද කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපලේ ගුවන් ගමන් මෙහෙයුම් කටයුතු සම්පූර්ණයෙන්ම ක්‍රියාත්මක වන බව ශ්‍රී ලංකා සිවිල් ගුවන් සේවා අධිකාරිය ප්‍රකාශ කළා.

+++++++++++++++++++++++++++++++++++

අපොස සාමාන්‍ය පෙළ විභාග ප්‍රතිඵල ඉදිරි දින දෙක තුළ

(26.04.2020 – 10:47 +0530 – hirunews.lk/sinhala)

පසුගිය වසරේ (2019) පැවති අපොස සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල ඉදිරි දින දෙක තුළ නිකුත් කිරීමට කටයුතු කරන බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා.

විභාග කොමසාරිස් ජනරාල් සනත් පූජිත මහතා සඳහන් කළේ ප්‍රතිඵල නිකුත් කිරීමට අදාළ කටයුතු මේ වනවිට අවසන් අදියරේ පවතින බවයි.

කොරෝනා වෛරස් වසංගත තත්ත්වයත් සමඟ උද්ගතව ඇති තත්ත්වය හමුවේ ප්‍රතිඵල පාසල් වෙත තැපැල් කිරීම සිදු නොකෙරෙන බවයි විභාග කොමසාරිස් ජනරාල්වරයා කියා සිටියේ.

ඒ අනුව ප්‍රතිඵල ලේඛණ පාසල්වල විදුහල්පතිවරුන්ට මාර්ගගත හෙවත් ඔන්ලයින් ක්‍රමයට ලබාදීම සඳහා ක්‍රමවේදයක් සකස් කෙරෙන බවද ඔහු ප්‍රකාශ කළා ෴

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *