ලංකාවේ කොරෝනා ආසාදිතයින් ගණන 237ක් දක්වා ඉහළට

+++++++++++++++++++++++++++++++++++

= මේ පිටුවේ සිරස්තල =

• ලංකාවේ කොරෝනා ආසාදිතයින් ගණන 237ක් දක්වා ඉහළට

• කොවිඩ් 19 හමුවේ පීඩාවට පත් විදේශ ගත ශ්‍රී ලාංකික ශ්‍රමිකයින්ට සහන රැසක්

• කොවිඩ් 19 අරමුදලේ තැන්පත් ශේෂය මිලියන 655 ක්

• පුත්තලමට තද සුළං – නිවාස 245 කට හානි

• පුත්තලමට හැමු සුළඟින් නිවාස 635 කට හානි

• නිරෝධායනයට පිරිසක් රැගෙන යමින් තිබූ බස් රථ දෙකක් ලොරියක ගැටීමෙන් එක් අයෙක් මරුට – 29කට තුවාල (විඩියෝ)

• මහ කන්නයේ වී අස්වැන්න මාස 9 කට ප්‍රමාණවත් – බ්‍රිගේඩියර් ඉන්ද්‍රජිත් කඳනආරච්චි

• රටේ සහල් හිඟයක් ඇති වීමේ අවදානමක් – වෙළෙන්දන් සහල් මිළට නොගනී

• බදියුදීන්ගේ සොහොයුරා බෝම්බකරුවෙක් සමඟ සෘජු සබඳතා පැවැත්වූ බව හෙළි වෙයි

• නාගලගම්වීදියේ සහ වේල්ලවීදියේ පුද්ගලයින් 100 ක් නිරෝධායනයට

• පිටකොටුවේ මෙහෙයුමෙන් කොරෝනා රෝගීන් ඇසුරු කළ 300 ක් සොයා ගනී – යාචකයන්, ගණිකාවන්, මත්ලෝලීන්, නාටාමින්, ජංගම වෙළෙන්දන් ඒ අතර (විඩියෝ)

• කෙසෙල්වත්තේ නිවාස 58 ක් හුදකලා කෙරේ

• අවසන් ආසාදිතයින් සිව්දෙනාම (04) නිරෝධායන මධ්‍යස්ථාන තුළ සිටි අය

• කෙරෝනා ආසාදිතයින් ඇසුරු කළ යාචකයින් සොයා මෙහෙයුමක්

• ඉන්දුනීසියාවේ දේව මෙහෙයට ගිය ආසාදිතයාගේ පුතාටත් කොරෝනා

• PCR පරීක්ෂණ සංඛ්‍යාව ඉහළ නැංවීමට පියවර (විඩියෝ)

• ඉදිරි දින කිහිපය තුළ රාජ්‍ය සහ පෞද්ගලික අංශ සේවා ඇරඹීමට රජයේ අවධානය (විඩියෝ)

• කොවිඩ් 19 අරමුදලේ තැන්පත් ශේෂය මිලියන 655 ක්

• කොමඩු අස්වැන්න අපනයනය කරන්න පුද්ගලික සමාගමක් ඉදිරිපත් වෙයි (විඩියෝ)

• මාධ්‍ය හැඳුනුම්පත අවභාවිත කර දුම්වැටි ප්‍රවාහනය කළ සමාජ මාධ්‍ය ක්‍රියාකාරිකයෙකු අත්අඩංගුවට (විඩියෝ)

+++++++++++++++++++++++++++++++++++

ලංකාවේ කොරෝනා ආසාදිතයින් ගණන 237ක් දක්වා ඉහළට

(15.04.2020 – 21:38 +0530 – sinhala.adaderana.lk)

අද (15) දිනයේ තවත් කොරෝනා වෛරසය ආසාදනය පුද්ගලයින් දෙදෙනෙක් වාර්තා වි ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය නිවේදනය කරයි.

ඒ අනුව කොවිඩ් නයින්ටීන් වෛරසය ආසාදනය වූ සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 237 දක්වා ඉහළ ගොස් තිබේ.

කෙසේවෙතත් තවත් දෙදෙනකු පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව යාමත් සමඟ මෙරට පූර්ණ සුවය ලැබූ ගණන 63 දක්වා ඉහළ ගොස් ඇත.

ඊයේ (14) පස්වරුවේ අලුතින් 14 දෙනකු සහ අද (15) දිනයේ රෝගීන් සිව් දෙනෙකු (04) හඳුනාගැනීමත් සමඟ ලංකාවේ කොරෝනා ආසාදිතයින් ‍ගණන මෙලෙස වැඩි වී තිබේ.

ඊයේ (14) හඳුනාගත් ආසාදිතයින් සියලුදෙනා වාර්තා වූයේ නිරෝධායන මධ්‍යස්ථානවලින්.

08 දෙනෙකු යාපනය පළාලි නිරෝධායන මධ්‍යස්ථානයෙන් , 04 දෙනෙක් කිලිනොච්චිය මුංකොවිල් නිරෝධායන මධ්‍යස්ථානයෙන් , එක් අයකු පුත්තලම නිරෝධායන මධ්‍යස්ථායෙන් හා අනෙක් පුද්ගලයා වෙනත් නිරෝධායන මධ්‍යස්ථානයකින් හඳුනාගෙන තිබේ ෴

+++++++++++++++++++++++++++++++++++

කොවිඩ් 19 හමුවේ පීඩාවට පත් විදේශ ගත ශ්‍රී ලාංකික ශ්‍රමිකයින්ට සහන රැසක්

(15.04.2020 – 12:57 +0530 – hirunews.lk/sinhala)

කොවිඩ් 19 වෛයිරසය ලොව පුරා පැතිරයාමත් සමඟ විදේශ රැකියාවල නිරත වී සිටින විදේශ ගත ශ්‍රී ලාංකික ශ්‍රමිකයින් සම්බන්ධව මැදිහත්වි කටයුතු කිරිමට විදේශ සේවා නියුක්ති කාර්යාංශය පියවරගෙන තිබෙනවා.

ඒ අනුව විදේශ දූත මණ්ඩල 16 ක කම්කරු සුභසාධන අංශ හා ඍජුව සම්බන්ධව අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීමට විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සභාපතිවරයා විසින් අදාල නිලධාරින්ට උපදෙස් ලබාදී ඇති බවයි එම කාර්යාංශයේ නිවේදනය කරන්නේ.

ඒ අනුව විදේශ දූත මණ්ඩල 16 ක කම්කරු සුභසාධන අංශ වෙත දැනටමත් කාර්යාංශයේ කම්කරු සුබසාධන අරමුදල මඟින් වෙන්කර ඇති ප්‍රතිපාදන භාවිතාකර වසංගතයෙන් පීඩාවට පත් විදේශ ගත ශ්‍රී ලාංකික ශ්‍රමිකයින්ට අවශ්‍ය පහසුකම් සලසා ඇති බවයි විදේශ සේවා නියුක්ති කාර්යාංශය නිවේදනය කළේ.

එම විදේශ දූත මණ්ඩල 16 ක පිහිටි කම්කරු සුභසාධන අංශ අතරට අබුඩාබි, බහරේන්, සයිප්‍රස්, ඩුබායි, ඊශ්‍රායල්, ජෝර්දාන්, කුවේට්, ලෙබනන්, මැලේසියා, ඕමාන්, මාලදිවයින්, කටාර්, රියාද්, දකුණු කොරියාව සහ සිංගප්පූරුව අයත්.

මේ අතර කොරෝනා වෛයිරසයෙන් විදේශ ගත ශ්‍රී ලාංකික ශ්‍රමිකයින් ආරක්ෂා කිරිම සඳහා මුඛ ආවරණ, අත් සේදුම්කාරක ඇතුළු පිරිසිදු කිරිමේ ද්‍රව්‍ය ලබාදීමට විදේශ දූත මණ්ඩල 16 ක කම්කරු අංශ මඟින් කටයුතු කර තිබෙනවා.

තවද මෙරට විශේෂඥ වෛද්‍යවරයකු සමඟ පැවැත්වු සම්මුඛ සාකච්ඡා මාලාවක් විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ මුහුණුපොත හරහා ප්‍රචාරය කිරිම මඟින් විදේශ ගත ශ්‍රී ලාංකික ශ්‍රමිකයිට වෛයිරසයෙන් ආරක්ෂා විමට ගත හැකි උපදෙස් ලබාදී ඇති බව එම කාර්යාංශය පවසනවා.

මේ අතර විදේශ සේවා නියුක්ති කාර්යාංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර සිටියේ විදේශ දූත මණ්ඩලවල පිහිටි කම්කරු අංශයන්හි ක්ෂණික ඇමතුම් අංක හදුන්වාදීම මඟින් විදේශ ගත ශ්‍රී ලාංකික ශ්‍රමිකයින්ට වෛයිරසයෙන් ආරක්ෂා වීමට අවශ්‍ය උපදෙස් ලබාදෙන ලදී ඇති අතර සියලුම කම්කරු අංශ නිලධාරින් හා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ උසස් නිලධාරින් සම්බන්ධවන පැය 24 පුරා ක්‍රියාත්මක WhatsApp සමුහ කණ්ඩායමක් (WhatsApp Group) ආරම්භකර එමඟින් තොරතුරු ලබාගැනීම, පැමිණිලි ලබාගැනිම හා සන්නිවේදනය කිරීම සාර්ථකව සිදුකිරීම නිසා ශ්‍රමිකයින්ගේ ගැටළු රැසකට මේ වන විටත් ක්ෂණිකව විසඳුම් ලබාදී ඇති බවයි ෴

+++++++++++++++++++++++++++++++++++

කොවිඩ් 19 අරමුදලේ තැන්පත් ශේෂය මිලියන 655 ක්

(15.04.2020 – 20:49 +0530 – sinhala.adaderana.lk)

‘COVID – 19 සෞඛ්‍ය හා සමාජ ආරක්ෂණ අරමුදල’ මෙහෙයවීම සඳහා වන කළමනාකරණ කමිටුව අද (15) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී රැස්ව තිබේ.

මහ බැංකුවේ අධිපති මහාචාර්ය ඩබ්. ලක්ෂ්මන් මහතා අරමුදලේ සභාපතිත්වය දරයි.

ජනාධිපති කාර්යාලයේ ප්‍රධාන මූල්‍ය නිලධාරි රවින්ද්‍ර ජේ. විමලවීර මහතා අරමුදලේ ලේකම් ධූරය හොබවන අතර අමාත්‍යාංශ ලේකම්වරු, ආයතන ප්‍රධානීන් ඇතුළු 16 දෙනෙකුගෙන් කමිටුව සමන්විතය.

අරමුදලට විවිධ පාර්ශවයන්ගෙන් ආධාර මුදල් ලැබෙමින් පවතින බවද ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කරයි.

එය පිහිටුවීමෙන් ජනාධිපතිවරයා අපේක්ෂා කළ අරමුණු ඉටුකර ගැනීම සඳහා ගතයුතු ඉදිරි ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් කමිටුවේ සාකච්ඡාවට ලක් කර තිබේ.

කොරෝනා මර්දනය සඳහා අවශ්‍ය ඖෂධ, වෛද්‍ය පර්යේෂණ උපකරණ හා ධාරිතා වර්ධනය ඇතුළු සෞඛ්‍ය ආරක්ෂණ පහසුකම් සඳහා මූල්‍ය අවශ්‍යතා සැලසීම, සෞඛ්‍ය ක්ෂේත්‍රයේ සහ මහජන සේවා සපයන්නන්ගේ සෞඛ්‍ය ආරක්ෂාව සහ සුරක්ෂිතභාවය මෙන්ම ළමයින්, කාන්තාවන් අඩු ආදායම්ලාභීන් වැඩිහිටියන් ආබාධිතයන් හා අවදානමට ලක් විය හැකි පුද්ගලයන් වෙනුවෙන් මූලික අවශ්‍යතා සැපයීම අරමුදලේ අරමුණු අතර වේ.

WHO, UNICEF, UNDP, WB, ADB සහ ශ්‍රී ලංකාවේ ප්‍රධාන සංවර්ධන හවුල්කාර ප්‍රජාව හා නියෝජිත ආයතන සමඟ අරමුදල් රැස් කිරීම සම්බන්ධීකරණය ද අරමුදලෙන් අපේක්ෂා කෙරෙයි.

ආයතනිකව හා පෞද්ගලිකව ලැබෙන පරිත්‍යාග සහ ඝෘජු තැන්පතු සමඟ COVID 19 සෞඛ්‍ය හා සමාජ ආරක්ෂණ අරමුදලේ ශේෂය අද (15) වන විට රුපියල් මිලියන 655 කට ආසන්න වී තිබේ.

රක්නා ආරක්ෂක ලංකා ආයතනය පරිත්‍යාග කළ රුපියල් මිලියන 03 ක් සහ ‘අපි වෙනුවෙන් අපි’ අරමුදලෙහි දකුණු කොරියානු ශාඛාව පිරිනැමු රුපියල් ලක්ෂ 04 ක මුදල ආරක්ෂක ලේකම් විශ්‍රාමික මේජර් ජනරාල් කමල් ගුණරත්න මහතා විසින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත භාරදෙනු ලැබිණ.

NDB බැංකුව රුපියල් මිලියන 07 ක්, ලංකා හෝස්පිටල් කෝපරේෂන් හය මිලියන 6.7 ක්, කොමර්ෂල් බැංකුව රුපියල් මිලියන 10 ක්, කලම්බු ඩොක්යාඩ් පීඑල්සී ආයතනය සහ ඩී.ජේ.ඒ. සමරසිංහ මහතා රුපියල් මිලියන 05 බැගින් ද, නාගරික සංවර්ධන අධිකාරිය මිලියන් 2.5 ක්, ශ්‍රී ලංකා වරලත් පිරිස් කළමනාකරණ ආයතනය, ශ්‍රී ලංකා උසස් තාක්ෂණ අධ්‍යාපන ආයතනය සහ සමන් ඉන්ඩස්ට්රිඩස් ඇන්ඩ් සප්ලයරස් පෞද්ගලික සමාගම රුපියල් මිලියනය බැගින් ද, ශ්‍රී ලංකා වෘත්තීය පුහුණු අධිකාරිය මිලියන 02 ක් ද අරමුදලට ප්‍රදානය කර තිබේ.

BASF ලංකා පෞද්ගලික සමාගම ලක්ෂ 05 ක්, නුගේගොඩ ඩබ්. මංජුල බොතේජු මහතා රුපියල් ලක්ෂයකින් සහ රන්ජන් ද සිල්වා මහතා රුපියල් ලක්ෂ 02 ක් සහ ශ්‍රී ලංකා පොලිස් යුද ආබාධිත රණවිරු සංගමය රුපියල් 60,000 ක් ද අරමුදලට පරිත්‍යාග කර ඇත.

ලංකා බැංකුවේ ආයතන ශාඛාවේ අංක 85737373 දරණ විශේෂ ගිණුමට පරිත්‍යාග බැර කෙරේ.

දෙස් විදෙස් පරිත්‍යාගශිලීහූ ගිණුමට දායක වී සිටිති.

නීත්‍යානූකූල ගිණුම් මඟින් අරමුදලට කෙරෙන පරිත්‍යාග මුදල් බදු සහ විදේශ විනිමය රෙගුලාසිවලින් නිදහස් කර ඇත.

චෙක්පත් හෝ ටෙලි ග්‍රාෆ් සම්ප්‍රේෂණ මඟින් මුදල් තැන්පත් කිරීමට පිළිවන.

දුරකථන අංක : 011 235 4479 / 011 235 4354 ඔස්සේ අධ්‍යක්ෂ ජනරාල් (පරිපාලන) කේ.බී. එගොඩවෙලේ මහතා අමතා වැඩි විස්තර දැන ගැනීමට හැක ෴

***************************************

පුත්තලමට තද සුළං – නිවාස 245 කට හානි

(15.04.2020 – 20:14 +0530 – sinhala.adaderana.lk)

පුත්තලම් දිස්ත්‍රික්කයට අද (15) සවස 04:30 ට පමණ තද සුළං තත්ත්වයක් ඇතිව තිබෙන බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.

ප්‍රාදේශීය කොට්ඨාශ 6 ක මෙම තත්ත්වය වාර්තා වු බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ප්‍රදීප් කොඩිප්පිලි මහතා සඳහන් කරයි.

පුත්තලමේ නිවාස 245 කට හානි සිදුව තිබේ.

එම නිවාසවලට හානිය තක්සේරු කිරීම සඳහා අවශ්‍ය පරිදි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය කටයුතු යොදමින් සිටින බවත් ඒ මහතා පවසයි.

කරුවලගස්වැව නිවාස 110 ක්, නවගත්තේගම නිවාස 60, ආණමඩුව නිවාස 53 ක් වනාතවිල්ලුවෙන් නිවාස 15 ක් හා පුත්තලමේ නිවාස 04 ක් හා මහකුඹුක්වැව ප්‍රදේශයෙන් නිවාස 03 ක් ආදි වශයෙන් නිවාස හානි වාර්තා වන බවද කොඩිප්පිලි මහතා කියා සිටියේය.

මේ වන විට ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ හදිසි මෙහෙයුම් මැදිරිය හා ත්‍රිවිධ හමුදාව හා පොලීසිය එක්ව වැඩ කටයුතු සිදු කරන බවද ඒ මහතා පැවසීය.

එම පීඩාවට පත් ජනතාවට මුල්‍යමය හා ද්‍රව්‍ය සහන ලබා දීමට කටයුතු කරන බවත්‍ කොඩිප්පිලි මහතා කියා සිටියේය.

පීඩාවට පත් ජනතාව සිටි නම් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ 117 දුරකථන අංකය ඔස්සේ සම්බන්ධ විය හැකියි ෴

+++++++++++++++++++++

පුත්තලමට හැමු සුළඟින් නිවාස 635 කට හානි

(16.04.2020 – 11:03 +0530 – sinhala.adaderana.lk)

පුත්තලම දිස්ත්‍රික්කයට ඊයේ (15) ඇති වු තද සුළං තත්ත්වයෙන් නිවාස 635 කට හානි සිදුව තිබේ.

එයින් නිවාස 37 ක පමණ වහළ සම්පූර්ණයෙන්ම හානියට පත්ව ඇතැයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

පුත්තලම දිස්ත්‍රික්කයේ කරුවලගස්වැව, නවගත්තේගම, පුත්තලම, වනාතවිල්ලුව සහ මහකුඹුක්කඩවල යන ප්‍රාදේශිය ලේකම් කොට්ඨාස 5 ක නිවාස මෙලෙස විනාශ වී ඇත.

මේ වන විට අවතැන් ජනතාව ආරක්ෂිත ස්ථානවල රඳවා තිබේ.

සම්පූර්ණයෙන්ම වහල හානියට පත්ව ඇති නාවස අද (16) උදෑසන 10 ට පෙර තාවකාලික ආවරණ ලබා දීමට අවශ්‍ය පියවර ගත් බවද රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

හානියට පත්ව ඇති නාවසවල හානිය කොපමණ ද ගණන් බැලීම මේ වන විට සිදුවන අතර හානියට පත්ව ඇති නිවාස සඳහා වන්දි මුදල් ලබා දිම අද (16) දිනයේ දීම අවසන් කිරීමට උපදෙස් ලබා දී ඇත ෴

***************************************

නිරෝධායනයට පිරිසක් රැගෙන යමින් තිබූ බස් රථ දෙකක් ලොරියක ගැටීමෙන් එක් අයෙක් මරුට – 29කට තුවාල

(15.04.2020 – 18:43 +0530 – hirunews.lk/sinhala)

වරකාපොළ ප්‍රදේශයේදී සිදුවූ බස් රථ අනතුරකින් පුද්ගලයන් එක් අයෙකු මියගොස් තවත් 29 දෙනෙකු තුවාල ලබා රෝහල් ගතකර තිබෙනවා.

අද (15) පස්වරු 04:50 ට පමණ මහනුවර කොළඹ ප්‍රධාන මාර්ගයේ වරකාපොළ තැපැල් කාර්යාලය අසලදීයි අනතුර සිදුවී ඇත්තේ.

නිරෝධායන කටයුතු සඳහා පුද්ගලයන් පිරිසක් සාම්පූර් දක්වා රැගෙන යමින් තිබූ නාවික හමුදාවට අයත් බස් රථ දෙකක කොළඹ දෙසට ධාවනය වූ එලවළු රැගත් ලොරියක් ගැටීමෙන් අනතුර සිදුව තිබෙනවා.

තුවාල ලැබූවන් ඇතුලත් කර ඇත්තේ වරකාපොළ රෝහලටයි.

මියගොස් ඇත්තේ එලවළු ප්‍රවාහනය කළ ලොරියේ රියදුරා බව සඳහන්.

තුවාලකරුවන් අතර නාවික හමුදා සෙබලුන් තුන් දෙනෙකු (03) ද වනවා.

සිද්ධිය පිළිබඳ වරකාපොළ පොලිසියයි විමර්ශණ සිදු කරන්නේ.

+++++++++++++++++++++

+++++++++++++++++++++++++++++++++++

මහ කන්නයේ වී අස්වැන්න මාස 9 කට ප්‍රමාණවත් – බ්‍රිගේඩියර් ඉන්ද්‍රජිත් කඳනආරච්චි

(15.04.2020 – 18:41 +0530 – sinhala.adaderana.lk)

ජනාධිපතිවරයාගේ උපදෙස් මත රජය විසින් වී මිලදීගැනීමේ ක්‍රියාවලියට යුද හමුදාව මැදිහත්වීමෙන් වී මිලදී ගැනීම මෙන්ම අත්‍යවශ්‍ය සේවා පවත්වාගෙන යාම කාර්යක්ෂම වූ බව බ්‍රිගේඩියර් ඉන්ද්‍රජිත් කඳනආරච්චි මහතා පවසයි.

අද (15) පෙරවරුවේ ‘අද දෙරණ බිග් ෆෝකස්’ සංවාදයට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කළේය.

මේ වන විට මහ කන්නයේ ඉතා සරු වී අස්වැන්නක් ඇති බවත් එම වී මාස 09 කට පමණ ප්‍රමාණවත් බවත් ඒ මහතා ප්‍රකාශ කළේය.

එනිසා කිසි ලෙසකින්වත් ඉදිරියේ දී හාල් හිඟයක් ඇති නොවන බවත් ඒ මහතා පැවසීය ෴

+++++++++++++++++++++

රටේ සහල් හිඟයක් ඇති වීමේ අවදානමක් – වෙළෙන්දන් සහල් මිළට නොගනී

(16.04.2020 – 07:30 +0530 – truenews.lk)

රටේ සහල් හිඟයක් ඇති වීමේ අවදානමක් පවතින බව වෙළෙඳ පොළ ආරංචි මාර්ග සඳහන් කරනවා.

පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය සහල් සඳහා පාලන මිලක් පනවමින් පසුගිය 10 වැනිදා ගැසට් නිවේදනයක් නිකුත් කළ අතර කැකුළු සහල් කිලෝවක් රුපියල් 85 කටත්, නාඩු සහ සම්බා කිලෝවක් රුපියල් 90 කටත් අලෙවි කළ යුතු බවද එහි සඳහන් වුණා.

එහෙත් මහා පරිමාණ වී මෝල් හිමියන් මේ වන විට පාලන මිලට වඩා රුපියලක් අඩුවෙන් වෙළෙඳ පොළට සහල් නිකුත් කර තිබෙනවා.

එම නිසා පාලන මිලට අලෙවි කිරීමේදී තමන්ට පාඩුවක් සිදුවන බව සහල් වෙළෙන්දන් ප්‍රකාශ කරනවා.

මේ හේතුවෙන් සහල් තොග මිලදී නොගත් බව ඇතැම් වෙළෙඳුන් සඳහන් කළා ෴

***************************************

බදියුදීන්ගේ සොහොයුරා බෝම්බකරුවෙක් සමඟ සෘජු සබඳතා පැවැත්වූ බව හෙළි වෙයි

(15.04.2020 – 18:21 +0530 – sinhala.adaderana.lk)

හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන්ගේ සොහොයුරු රියාජ් බදියුදීන් පාස්කු ප්‍රහාරයේ බෝම්බකරුවකු සමඟ ඍජු සබඳතා පැවැත්වූ බව හෙළි වී ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී ජාලිය සේනාරත්න මහතා අද (15) අනාවරණ කළේය.

පාස්කු ප්‍රහාරයේ විමර්ශනවලට අදාලව රියාජ් බදියුදීන්ව ඊයේ (14) පස්වරුවේ පුත්තලම ප්‍රදේශයේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් අත්අඩංගුවට ගැනුණි.

පසුගිය වසරේ අප්‍රේල් 21 පාස්කු ඉරිදා දේවස්ථාන සහ හෝටල් ඇතුළු ස්ථාන 8 ක බෝම්බ පුපුරුවාගනිමින් සිදු කළ ම්ලෙච්ඡ මිනිස් ඝාතනය හේතුවෙන් පුද්ගලයින් 250 කට ආසන්න පිරිසකට ජීවිත අහිමි කළ ත්‍රස්තවාදීන් පිළිබඳ විමර්ශන කටයුතු සාධාරණ සහ අපක්ෂපාතී ලෙස සිදු නොවන බවට පාර්ශ්ව රැසකින් චෝදනා එල්ල වුණි.

එවැනි පසුබිමක ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ උපදෙස් මත අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ විශේෂ කණ්ඩායමක් මේ පිළිබඳව පරීක්ෂණ ආරම්භ කළ අතර ඔවුන් මරාගෙන මැරෙන ත්‍රස්තවාදීන් මෙහෙයවූ දෙදෙනෙකු පසුගියදා අත්අඩංගුවට ගනු ලැබුවේය.

එමෙන්ම ඊයේ (14) රාත්‍රියේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ එම විමර්ශන කණ්ඩායම විසින් පුත්තලම ප්‍රදේශයේදී හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන්ගේ සහෝදරයෙක් වන පනියුදීන් මොහොමඩ් රියාජ් බදියුදීන් ඇතුළු තවත් පුද්ගලයින් හය දෙනෙකු (06) අත්අඩංගුවට ගනු ලැබුවේය ෴

+++++++++++++++++++++++++++++++++++

නාගලගම්වීදියේ සහ වේල්ලවීදියේ පුද්ගලයින් 100 ක් නිරෝධායනයට

(15.04.2020 – 23:15 +0530 – sinhala.adaderana.lk)

ජා ඇල සුදුවැල්ල ග්‍රාමයේ නිරෝධායන කටයුතු මඟ හැර සිට කෙරෝනා වෛරසය ආසාධනයවූ පුද්ගලයින් සමඟ සබඳතා පැවැත් වූ කොළඹ ගුණසිංහපුර, වේල්ලවීදිය, ග්‍රෑන්ඩ්පාස් සහ නාගලගම්වීදිය ප්‍රදේශයන්හි තවත් පුද්ගලයින් 100 දෙනෙක් නිරෝධායනයට යොමු කර තිබේ.

අද (15) දිනයේ දී මෙම පිරිස ත්‍රිකුණාමලය, සාම්පූර් ප්‍රදේශයේ පිහිටා ඇති නාවික හමුදා මැරීන් බළඝණ මූලස්ථානයෙහි ස්ථාපිත කර ඇති නිරෝධායන මධ්‍යස්ථානය වෙත යොමු කිරීමට කටයුතු කර ඇත.

ජා ඇල සුදුවැල්ල ග්‍රාමයේ ස්වයං නිරෝධායනයට ලක් කර සිටි පුද්ගලයින් 28 දෙනෙකු එම නිරෝධායන කටයුතු මඟ හැර හැසිරෙමින් සිටීම හේතුවෙන් 2020 අප්‍රේල් 09 වන දින නාවික හමුදා බුද්ධි මෙහෙයුමකින් පසු නිරෝධායන කටයුතු සඳහා යොමු කරන ලද අතර, එහිදී එම කණ්ඩායමේ සිටි පුද්ගලයින් 06 දෙනෙකු කොරෝනා ආසාධිතයින් බවට තහවුරු විය.

මෙම පිරසේ සිටි ඇතැම් පුද්ගලයින් සමඟ සබඳතා පවත් වන ලද කොළඹ ගුණසිංහපුර, වේල්ලවීදිය, ග්‍රෑන්ඩ්පාස් සහ නාගලගම්වීදිය ප්‍රදේශයන්හි පුද්ගලයින් 100 දෙනෙකු මේ අනුව අද නිරෝධානයනය සඳහා යොමු කිරීමට කටයුතු කර ඇත.

මෙම පිරිසට කාන්තාවන් 07 ක් සහ පිරිමි පුද්ගලයින් 93 ක් ඇතුලත් වන අතර, පවතින තත්වය හමුවේ ප්‍රදේශවාසීන්ගේ ආරක්‍ෂාව සහ සෞඛ්‍යමය හේතූන් මත මෙම පුද්ගලයින් මූලික සෞඛ්‍ය පරීක්‍ෂණයකින් පසු මෙලෙස නිරෝධායන මධ්‍යස්ථානය වෙත යොමු කිරීමට කටයුතු කර තිබේ.

+++++++++++++++++++++

පිටකොටුවේ මෙහෙයුමෙන් කොරෝනා රෝගීන් ඇසුරු කළ 300 ක් සොයා ගනී – යාචකයන්, ගණිකාවන්, මත්ලෝලීන්, නාටාමින්, ජංගම වෙළෙන්දන් ඒ අතර

(16.04.2020 – 07:10 +0530 – truenews.lk)

ජාඇළ සුදුවැල්ල ප්‍රදේශයෙන් සොයා ගත් කොවිඩ් – 19 වෛරස ආසාදිතයන් ඇසුරු කළ පිරිස් වෙසෙන පිටකොටුව ගුණසිංහපුර සහ නාගලගම්වීදිය ප්‍රදේශවල පුද්ගලයන් 300 කට ආසන්න පිරිසක් නිරෝධායනය සඳහා යොමු කිරීමට ඊයේ (15 වැනිදා) පියවර ගෙන තිබෙනවා.

රාජ්‍ය බුද්ධි ඒකකය, ශ්‍රී ලංකා යුද හමුදාව, පොලිසිය සහ නාවික හමුදාව ඒකාබද්ධව ඊයේ සිදු කළ මෙහෙයුමකින් පසු මෙලෙස නිරෝධායනය කළ යුතු පිරිස හඳුනාගෙන තිබුණා.

ඒ අනුව ගුණසිංහපුර මහල් නිවාස සංකීර්ණයේ පුද්ගලයන් 100 ක් ශ්‍රී ලංකා නාවික හමුදාවේ සාම්පූර් නිරෝධායන මධ්‍යස්ථානයට යොමුකර ඇති අතර එම පිරිස අතර කෙසෙල්වත්ත පොලිසිය විසින් අත්අඩංගුවට ගත් සැකකරුවන් දස දෙනකුද සිටින බව ආරක්ෂක අංශ සඳහන් කළා.

පිටකොටුව නාගලගම්වීදිය ප්‍රදේශයේ පුද්ගලයන් 150 ක් පුනානි නිරෝධායන කඳවුර වෙත යොමු කර තිබෙනවා. එම පිරිස සමග සිටි මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූවන් 20 දෙනකු සාම්පූර් නිරෝධායන කඳවුර වෙත යොමු කිරීමට ආරක්ෂක අංශ පියවර ගෙන තිබුණා.

ගුණසිංහපුර මහල් නිවාස සංකීර්ණයේ පුද්ගලයන් 25 දෙනකු ස්වයං නිරෝධායනයටද යොමුකර තිබෙනවා. ගුණසිංහපුර සහ නාගලගම්වීදිය යන ප්‍රදේශවලින් මෙලෙස නිරෝධායනයට යොමු කළ පිරිස අතර යාචකයන්, ගණිකාවන්, මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවූවන්, නාටාමින්, ජංගම වෙළෙන්දන්ද සිටින බව ආරක්ෂක අංශ සඳහන් කළා.

ඔවුන්ගෙන් සමහර පිරිස් පිටකොටුව මැනිං වෙළෙඳ පොළ සහ හතරවන හරස් වීදියේ සේවා කටයුතු සිදුකරන අය බවද අනාවරණය වී තිබෙනවා ෴

+++++++++++++++++++++

+++++++++++++++++++++

කෙසෙල්වත්තේ නිවාස 58 ක් හුදකලා කෙරේ

(16.04.2020 – 13:08 +0530 – hirunews.lk/sinhala)

ජාතික රෝහලේදී කොරෝනා රෝගියෙකු බවට ඊයේ (15) තහවුරු වූ කාන්තාවට එම වෛරසය වැළඳී ඇති බවට හෙළිවූයේ ඇය ඉන්දියාවට ගොස් මෙරටට පැමිණ දින 33 කට පසුව බව පොලීසිය පවසනවා.

කෙසෙල්වත්ත පොලීසියේ ප්‍රකාශකයෙකු සඳහන් කළේ, ඇය මෙරටට පැමිණි පසු පොලීසියේ ලියාපදිංචි වී දින 14 ක කාලයක් නිවසේ නිරෝධායනයට ද ලක්ව ඇති බවයි.

59 හැවිරිදි මෙම කාන්තාව කෙසෙල්වත්ත – බණ්ඩාරනායක මාවතේ පදිංචිකාරිණියක්.

නුගේගොඩ ප්‍රදේශයේ වන්දනා චාරිකා සඳහා පුද්ගලයින් රැගෙන යන ආයතනයක් හරහා පසුගිය පෙබරවාරි මස 29 වැනිදා මෙම කාන්තාව සිය ස්වාමි පුරුෂයා සහ වැඩිමහල් පුත්‍රයා සමඟ දඹදිව වන්දනාවේ ගොස් නැවත දිවයිනට පැමිණ ඇත්තේ මාර්තු මස 12 වනදායි.

කෙසේ වෙතත්, ඊයේ (15) උදෑසන තමන් අසනීප තත්ත්වයකින් පසුවන බවට එම කාන්තාව කළ දැනුම්දීමකින් අනතුරුව කොළඹ මහ නගර සභාවේ සෞඛ්‍ය අංශ ඇගේ නිවසට ගොස් තිබූ බවයි කොළඹ මහ නගර සභාවේ දිසා අංක 2 භාර මහජන සෞඛ්‍ය පරීක්ෂක එච්.එම්.ටී. හේරත් මහතා කියා සිටියේ.

මේ වනවිට මෙම කාන්තාව සමඟ වන්දනා චාරිකාවට එක්වූ ඇගේ සැමියා, වැඩිමහල් පුත්‍රයා මෙන්ම අනෙක් පුතුන් දෙදෙනා ද රෝහල් ගතකර තිබෙනවා. කෙසේ වෙතත්, වැඩිමහල් පුත්‍රයාට කළ පරීක්ෂාවේදී ඔහුට කොරෝනා වැළඳී නොමැති බවට තහවුරු වුණා.

මෙම කාන්තාවට කොරෝනා වැළඳී ඇති බවට හෙළිවීමත් සමඟ ඇගේ නිවස පිහිටි කෙසෙල්වත්ත, බණ්ඩාරනායක ප්‍රදේශයේ නිවාස 58 ක් හුදකලා කර තිබෙනවා.

මෙම කාන්තාව සමඟ ඊයේ (15) අලුතින් පුද්ගලයින් හතරදෙනෙකුට (04) කොරෝනා ආසාදනය වී ඇති බවට හෙළිවූ අතර, ඔවුන් සියලුදෙනාම මේ වනවිට නිරෝධායන කඳවුරුවල රඳවා සිටින පුද්ගලයින් වනවා.

මේ වනවිට මෙරටින් වාර්තා වන කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව දැක්වෙන්නේ 238 ක් ලෙසයි.

සුවය ලබා පුද්ගලයින් 65 දෙනෙකු නිවෙස් වෙත පිටව ගොස් ඇති අතර, වෛද්‍ය අධීක්ෂණය යටතේ පසුවන රෝගීන් සංඛ්‍යාව 168 ක්.

මේ අතර කෙසෙල්වත්ත පොලීසියේ නිලධාරීන් විසිදෙනෙකු අත්තිඩිය පොලිස් විද්‍යා පීඨයේ නිරෝධායනයට යොමුකර තිබෙනවා.

ගුණසිංහපුර ප්‍රදේශයෙන් පෙරේදා (14) වාර්තාවූ කොරෝනා වෛරස් ආසාදිතයා ළඟින් ඇසුරු කළ පුද්ගලයෙකු ඇඳිරි නීතිය උල්ලංඝනය කිරීමේ චෝදනාව මත අත්අඩංගුවට ගනු ලැබුවා. පසුව ඔහුව කෙසෙල්වත්ත පොලීසියට රැගෙනවිත් ඇති අතර, ඒ හේතුවෙනුයි එම පොලීසියේ නිලධාරින් මෙලෙස නිරෝධායනයට ලක් කර ඇත්තේ.

මේ අතර වසාදමා ඇති කර්මාන්තශාලා සම්බන්ධයෙන් සමීක්ෂණයක් සිදුකිරීමට කම්කරු දෙපාර්තමේන්තුව තීරණය කර තිබෙනවා. ඒ අනුව දෙපාර්තමේන්තුව සතුව ඇති දත්ත උපයෝගී කරගනිමින් කර්මාන්තශාලා සම්බන්ධයෙන් සොයාබැලීම සිදුකරන බවයි එම දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ඒ. විමලවීර මහතා හිරු ප්‍රවෘත්ති අංශයට අදහස් දක්වමින් කියා සිටියේ.

මේ අතර ඉදිරි දින කිහිපය තුළ රාජ්‍ය සහ පෞද්ගලික අංශයේ සේවා යළි ආරම්භ කර දෛනික කටයුතු යථාවත් කිරීම කඩිනම් කළ යුතු බවට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඊයේ (15) අවධාරණය කළා. දේශීය ආර්ථිකය මෙන්ම ජනජීවිතය ආරක්ෂාවන අයුරින් මෙම කටයුතු ක්‍රියාත්මක විය යුතු බවයි ජනාධිපතිවරයා අමාත්‍යාංශ ලේකම්වරුන් සමඟ පැවති විශේෂ හමුවකදී සඳහන් කර ඇත්තේ. මේ අනුව රටේ කර්මාන්තශාලා සහ සේවා කටයුතු සාමාන්‍ය තත්ත්වයට පත් කිරීමට අදාළව මාර්ගෝපදේශ සකස් කිරීම සෞඛ්‍ය අමාත්‍යාංශය මගින් ආරම්භ කර ඇති බවයි එහි ලේකම් භද්‍රානි ජයවර්ධන මහත්මිය සඳහන් කළේ ෴

+++++++++++++++++++++

අවසන් ආසාදිතයින් සිව්දෙනාම (04) නිරෝධායන මධ්‍යස්ථාන තුළ සිටි අය

(15.04.2020 – 22:23 +0530 – sinhala.adaderana.lk)

අද (15) දිනයේ අවසන් වරට වාර්තා වු කොරෝනා ආසාදිතයින් සිව් දෙනාම නි‍රෝධායන මධ්‍යස්ථානවල සිටි අය බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පවසයි.

ඉන් දෙදෙනෙක් යාපනයේ පලාලී නිරෝධායන මධ්‍යස්ථානයෙන් වාර්තා වෙයි.

මේ අතර ලංකාවේ කොවිඩ් නයින්ටීන් වෛරසය ආසාදනය වූ සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 237 දක්වා ඉහළ ගොස් තිබේ.

මෙරට පූර්ණ සුවය ලැබූ ගණන 63 දක්වා ඉහළ ගොස් ඇත.

ඊයේ (14) පස්වරුවේ අලුතින් 14 දෙනකු සහ අද දිනයේ රෝගීන් සිව් දෙනෙකු (04) හඳුනාගැනීමත් සමඟ ලංකාවේ කොරෝනා ආසාදිතයින් ‍ගණන මෙලෙස වැඩි වී තිබේ.

ඊයේ (14) හඳුනාගත් ආසාදිතයින් සියලුදෙනා ද වාර්තා වූයේ නිරෝධායන මධ්‍යස්ථානවලින්.

එයින් 08 දෙනෙකු යාපනය පළාලි නිරෝධායන මධ්‍යස්ථානයෙන් , 04 දෙනෙක් කිලිනොච්චිය මුංකොවිල් නිරෝධායන මධ්‍යස්ථානයෙන් , එක් අයකු (01) පුත්තලම නිරෝධායන මධ්‍යස්ථායෙන් හා අනෙක් පුද්ගලයා (01) වෙනත් නිරෝධායන මධ්‍යස්ථානයකින් හඳුනාගෙන තිබේ.

+++++++++++++++++++++

කෙරෝනා ආසාදිතයින් ඇසුරු කළ යාචකයින් සොයා මෙහෙයුමක්

(15.04.2020 – 22:12 +0530 – sinhala.adaderana.lk)

ජාඇල, සුදුවැල්ල ප්‍රදේශයෙන් හමුවූ වෛරස් ආසාදිතයින් ඇසුරු කළ සහ මත්ද්‍රව්‍ය භාවිත කළ පිටකොටුවේ යාචකයින් සහ වීදී ජනතාව සොයා නාවික හමුදාව, පොලිසිය සහ සෞඛ්‍ය අංශ අද (15) ඒකාබද්ධ මෙහෙයුමක් දියත් කරනු ලැබීය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වු නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක ලුතිතන් කමාන්ඩර් ඉසුරු සූරියබණ්ඩාර මහතා පවසා සිටියේ, නාවික හමුදාව විසින් ගුණසිංහපුර, වේල්ලවීදිය හා ග්‍රෑන්ඩ්පාස් යන ස්ථානවල මෙම මෙහෙයුම සිදු කළ බවයි.

එහිදී මෙම ආසාදිතයින් සමඟ සබඳතා පැවැත් වු බවට තොරතුරු ලැබී ඇති පුද්ගලයින් 100 දෙනෙක් නාවික හමුදාව විසින් නිරෝධායනයට යොමු කළ බවත් ඒ මහතා පැවසීය.

+++++++++++++++++++++

ඉන්දුනීසියාවේ දේව මෙහෙයට ගිය ආසාදිතයාගේ පුතාටත් කොරෝනා

(15.04.2020 – 21:53 +0530 – sinhala.adaderana.lk)

ඉන්දුනීසියාවේ ආගමික දේව මෙහෙයකට‍ සඳහා ගොස් ‍ඉකුත් මාර්තු 16 වැනිදා මෙරටට පැමිණි පුත්තලම, රත්මල්යාය අල්කාසිම්සිටි නිවාස යෝජනා ක්‍රමයේ පදිංචිව සිටි 62 හැවිරිදි කොවිඩ් 19 ආසාදිතයාගේ වැඩිමහල් පුත්‍රයාටත් වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වී තිබේ.

ඒ ඔහු මේ දිනවල රැදී සිටින පූනානි නිරෝධායන මධ්‍යස්ථානයේ රැදී සිටින අතරතුරයි.

38 හැවිරිදි වියේ පසුවන ඔහු කල්පිටිය ප්‍රදේශයේ පාසලක නියෝජ්‍ය විදුහල්පතිවරයෙක්.

ඒ අනුව ඔහු පදිංචිව සිටි අල්කාසිම්සිටි නිවස සහ ඒ අවට පදිංචිකරුවන් පිළිබඳ විස්තර ලබා ගැනීමට පුත්තලම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලයේ නිලධාරින් අද (15) එහි පැමිණියේය.

+++++++++++++++++++++

PCR පරීක්ෂණ සංඛ්‍යාව ඉහළ නැංවීමට පියවර

(15.04.2020 – 21:50 +0530 – sinhala.adaderana.lk)

කොවිඩ් ආසාදිතයන් හඳුනාගැනීම සඳහා කෙරෙන කොවිඩ් පී.සී.ආර් පරීක්ෂණ සංඛ්‍යාව ඉහළ නැංවීමට මෙරට සෞඛ්‍ය අංශ පියවර ගෙන තිබේ.

මාර්තු මස මුලදී ආයතන දෙකකදී පමණක් පී.සී.ආර් පරීක්ෂණ කෙරුණු නමුත් මේ වන විට දිවයින පුරා ආයතන 11 ක එම පරීක්ෂාවන් සිදු කෙරෙයි.

මේ දක්වා අට දහසක් පී.සී.ආර් පරීක්ෂාවට භාජනය කර ඇති අතර ඒ අතරින් 233 දෙනකු කොවිඩ් ආසාදිතයන් බව තහවුරු කර ගැනුණි.

ඉකුත් මාර්තු 16 වනදා වන විට දෛනිකව පී.සී.ආර් පරීක්ෂණ 100 ක් පමණක් සිදු කෙරුණද , අප්‍රේල් පළමු වනදා වන විට එම ගණන 200 දක්වාත් , අප්‍රේල් 12 වනදා වන විට 600 දක්වාත් ඉහළ නංවා තිබේ.

එසේම රෝහල් වෙත පැමිණෙන කොවිඩ් 19 රෝගීන් සඳහා පමණක් එම පරීක්ෂාව සිදු නොකොට හඳුනා ගැනුනු මුල් ආසාදිතයන් සමඟ සබඳතා පැවැත්වූ පිරිස් අයත්වන ප්‍රජා සාම්පලද එම පරීක්ෂාවට ලක් කර තිබීම විශේෂත්වයක්.

ඒ අනුව එවන් 1197 දෙනකු පීසීආර් පරීක්ෂාවට ලක් කොට ඇති අතර කොවිඩ් ආසාදිතයන් 43 දෙනකු ඒ අතුරින් හඳුනාගෙන තිබේ.

+++++++++++++++++++++

+++++++++++++++++++++++++++++++++++

ඉදිරි දින කිහිපය තුළ රාජ්‍ය සහ පෞද්ගලික අංශ සේවා ඇරඹීමට රජයේ අවධානය

(15.04.2020 – 23:00 +0530 – sinhala.adaderana.lk)

ඉදිරි දින කිහිපය තුළ රාජ්‍ය සහ පෞද්ගලික අංශයේ සේවා යළි ආරම්භ කර දෛනික කටයුතු යතාවත් කිරීම කඩිනම් කළයුතු බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අවධාරණය කරයි.

දේශීය ආර්ථිකය මෙන්ම ජන ජීවිතය ආරක්ෂා වන අයුරින් සියලු කටයුතු ක්‍රියාත්මක විය යුතු බව ද ජනාධිපතිවරයා පවසයි.

රජයේ ඉදිරි වැඩකටයුතු සම්බන්ධයෙන් අමාත්‍යාංශ ලේකම්වරු සමඟ අද (15) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී පැවති විශේෂ හමුවේ දී ජනාධිපතිතුමා මේ බව අවධාරණය කළේය.

රාජකාරී කටයුතු බාධාවකින් තොරව සිදුකරගෙන යා හැකි අන්දමින් ඇඳිරි නිතිය ලිහිල් කිරීම කෙරෙහි සාකච්ඡාවට ලක් කර ඇති අතර, ජනතාව ඒකරාශිවීමට ඉඩ නොතබා නියමිත සෞඛ්‍ය උපදෙස් පිළිපදිමින් සේවා කටයුතු පවත්වාගෙන යාමේ වගකීම අමාත්‍යාංශ ලේකම්වරු සහ ආයතන ප්‍රධානීන් වෙත පැවරෙන බවද ජනාධිපතිවරයා පවසා තිබේ.

කෘෂි, ධීවර සහ ව්‍යාපාර ඇතුළු කර්මාන්ත ආයතන යළි ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය පසුබිම සැකසීමේ දී ඊට අවශ්‍ය සහාය අමාත්‍යාංශ වෙතින් ලබාදීමට ක්‍රියාකරන ලෙස ද ජනාධිපතිතුමා ලේකම්වරුන්ට දැනුම් දී ඇත.

අළුත් ආර්ථික රටාවක් ගොඩනැගීමේ යාන්ත්‍රණය සැකසීමේ වගකීම අමාත්‍යාංශ වෙත පැවරෙන බව ජනාධිපතිවරයා මෙහිදී සඳහන් කළේය.

මාර්ග ලක්ෂයක් ඉදිකිරීමේ වැඩසටහන ඇතුළු නැවතී ඇති සංවර්ධන ව්‍යාපෘති යළි ඇරඹීමට පියවර ගන්නා අතර, සෙසු රටවල් මුහුණදි ඇති තත්ත්වය සැලකිල්ලට ගනිමින් දේශීය කෘෂි ආර්ථිකය කෙරෙහි විශේෂ අවධානය යොමුවිය යුතු බව ද අවධාරණය කෙරිණි.

අපනයන කෘෂි බෝග කෙරෙහි විශේෂ අවධානය යොමු කරමින් වගාකළ හැකි බිම් ඵලදායී ලෙස ඊට දායක කර ගැනීමට අවශ්‍ය පසුබිම සකස් කරන ලෙස ද ජනාධිපතිවරයා නිලධාරීන්ට උපදෙස් දි තිබේ.

ඒ වෙනුවෙන් රාජ්‍ය යාන්ත්‍රය ගමට ගෙන යාමේ වැදගත්කම ද ජනාධිපතිවරයා විසින් පැහැදිලි කර ඇත.

අළුත් ව්‍යාපාර කෙරෙහි අවධානය යොමු කළ යුතු බවත්, එමෙන්ම අත්දැකීම් සහිත ව්‍යාපාරිකයන්ට ද අවස්ථාව සලසා දිය යුතු බවද ජනාධිපතිවරයා අවධාරණය කර තිබේ.

සමස්තයක් ලෙස ප්‍රතිපත්තිමය ආකාරයකින් ආර්ථිකය ගොඩනැඟිම කෙරෙහි සියලු දෙනාගේ අවධානය යොමුවිය යුතු බව ද ජනාධිපතිතුමා පෙන්වා දුන්නේය.

ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දර, ජනාධිපති ප්‍රධාන උපදේශක ලලිත් වීරතුංග, අග්‍රාමාත්‍ය ලේකම් ගාමිණි සෙනරත්, කැබිනට් ලේකම් එස්. අමරසේකර යන මහත්වරු සහ අමාත්‍යාංශ ලේකම්වරු සාකච්ඡාවට එක්ව සිටියහ.

+++++++++++++++++++++++++++++++++++

කොවිඩ් 19 අරමුදලේ තැන්පත් ශේෂය මිලියන 655 ක්

(15.04.2020 – 20:49 +0530 – sinhala.adaderana.lk)

‘COVID – 19 සෞඛ්‍ය හා සමාජ ආරක්ෂණ අරමුදල’ මෙහෙයවීම සඳහා වන කළමනාකරණ කමිටුව අද (15) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී රැස්ව තිබේ.

මහ බැංකුවේ අධිපති මහාචාර්ය ඩබ්. ලක්ෂ්මන් මහතා අරමුදලේ සභාපතිත්වය දරයි.

ජනාධිපති කාර්යාලයේ ප්‍රධාන මූල්‍ය නිලධාරි රවින්ද්‍ර ජේ. විමලවීර මහතා අරමුදලේ ලේකම් ධූරය හොබවන අතර අමාත්‍යාංශ ලේකම්වරු, ආයතන ප්‍රධානීන් ඇතුළු 16 දෙනෙකුගෙන් කමිටුව සමන්විතය.

අරමුදලට විවිධ පාර්ශවයන්ගෙන් ආධාර මුදල් ලැබෙමින් පවතින බවද ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කරයි.

එය පිහිටුවීමෙන් ජනාධිපතිවරයා අපේක්ෂා කළ අරමුණු ඉටුකර ගැනීම සඳහා ගතයුතු ඉදිරි ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් කමිටුවේ සාකච්ඡාවට ලක් කර තිබේ.

කොරෝනා මර්දනය සඳහා අවශ්‍ය ඖෂධ, වෛද්‍ය පර්යේෂණ උපකරණ හා ධාරිතා වර්ධනය ඇතුළු සෞඛ්‍ය ආරක්ෂණ පහසුකම් සඳහා මූල්‍ය අවශ්‍යතා සැලසීම, සෞඛ්‍ය ක්ෂේත්‍රයේ සහ මහජන සේවා සපයන්නන්ගේ සෞඛ්‍ය ආරක්ෂාව සහ සුරක්ෂිතභාවය මෙන්ම ළමයින්, කාන්තාවන් අඩු ආදායම්ලාභීන් වැඩිහිටියන් ආබාධිතයන් හා අවදානමට ලක් විය හැකි පුද්ගලයන් වෙනුවෙන් මූලික අවශ්‍යතා සැපයීම අරමුදලේ අරමුණු අතර වේ.

WHO, UNICEF, UNDP, WB, ADB සහ ශ්‍රී ලංකාවේ ප්‍රධාන සංවර්ධන හවුල්කාර ප්‍රජාව හා නියෝජිත ආයතන සමඟ අරමුදල් රැස් කිරීම සම්බන්ධීකරණය ද අරමුදලෙන් අපේක්ෂා කෙරෙයි.

ආයතනිකව හා පෞද්ගලිකව ලැබෙන පරිත්‍යාග සහ ඝෘජු තැන්පතු සමඟ COVID 19 සෞඛ්‍ය හා සමාජ ආරක්ෂණ අරමුදලේ ශේෂය අද වන විට රුපියල් මිලියන 655 කට ආසන්න වී තිබේ.

රක්නා ආරක්ෂක ලංකා ආයතනය පරිත්‍යාග කළ රුපියල් මිලියන 03 ක් සහ ‘අපි වෙනුවෙන් අපි’ අරමුදලෙහි දකුණු කොරියානු ශාඛාව පිරිනැමු රුපියල් ලක්ෂ 04 ක මුදල ආරක්ෂක ලේකම් විශ්‍රාමික මේජර් ජනරාල් කමල් ගුණරත්න මහතා විසින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත භාරදෙනු ලැබිණ.

NDB බැංකුව රුපියල් මිලියන 07 ක්, ලංකා හෝස්පිටල් කෝපරේෂන් මිලියන 6.7 ක්, කොමර්ෂල් බැංකුව රුපියල් මිලියන 10 ක්, කලම්බු ඩොක්යාඩ් පීඑල්සී ආයතනය සහ ඩී.ජේ.ඒ. සමරසිංහ මහතා රුපියල් මිලියන 05 බැගින් ද, නාගරික සංවර්ධන අධිකාරිය මිලියන් 2.5 ක්, ශ්‍රී ලංකා වරලත් පිරිස් කළමනාකරණ ආයතනය, ශ්‍රී ලංකා උසස් තාක්ෂණ අධ්‍යාපන ආයතනය සහ සමන් ඉන්ඩස්ට්රිඩස් ඇන්ඩ් සප්ලයරස් පෞද්ගලික සමාගම රුපියල් මිලියනය (01) බැගින් ද, ශ්‍රී ලංකා වෘත්තීය පුහුණු අධිකාරිය මිලියන 02 ක් ද අරමුදලට ප්‍රදානය කර තිබේ.

BASF ලංකා පෞද්ගලික සමාගම ලක්ෂ 05 ක්, නුගේගොඩ ඩබ්. මංජුල බොතේජු මහතා රුපියල් ලක්ෂයකින් (01) සහ රන්ජන් ද සිල්වා මහතා රුපියල් ලක්ෂ 02 ක් සහ ශ්‍රී ලංකා පොලිස් යුද ආබාධිත රණවිරු සංගමය රුපියල් 60,000 ක් ද අරමුදලට පරිත්‍යාග කර ඇත.

ලංකා බැංකුවේ ආයතන ශාඛාවේ අංක 85737373 දරණ විශේෂ ගිණුමට පරිත්‍යාග බැර කෙරේ.

දෙස් විදෙස් පරිත්‍යාගශිලීහූ ගිණුමට දායක වී සිටිති.

නීත්‍යානූකූල ගිණුම් මඟින් අරමුදලට කෙරෙන පරිත්‍යාග මුදල් බදු සහ විදේශ විනිමය රෙගුලාසිවලින් නිදහස් කර ඇත.

චෙක්පත් හෝ ටෙලි ග්‍රාෆ් සම්ප්‍රේෂණ මඟින් මුදල් තැන්පත් කිරීමට පිළිවන.

දුරකථන අංක 011 235 4479 / 011 235 4354 ඔස්සේ අධ්‍යක්ෂ ජනරාල් (පරිපාලන) කේ.බී. එගොඩවෙලේ මහතා අමතා වැඩි විස්තර දැන ගැනීමට හැක ෴

+++++++++++++++++++++++++++++++++++

කොමඩු අස්වැන්න අපනයනය කරන්න පුද්ගලික සමාගමක් ඉදිරිපත් වෙයි

(15.04.2020 – 18:51 +0530 – sinhala.adaderana.lk)

කොවිඩ් නයින්ටීන් වසංගතයත් සමඟ රට තුළ පවතින ඇඳිරි නීතිය හේතුවෙන් විකුණා ගැනීමට නොහැකි වී ඇති කොමඩු අස්වැන්න අපනයනය කිරීමට මෙරට පෞද්ගලික සමාගමක් අද (15) ඉදිරිපත් වුණි.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සිදුකළ ඉල්ලීමක් මත එම සමාගම අද පළමු අස්වැන්න මිලදී ගත්තේය.

ශ්‍රී ලංකාවේ මහවැලි ව්‍යාපාරය ඇතුළු වියළි කලාපීය ප්‍රදේශවල සරුවට වැවෙන කොමඩු, අපේ රටේ ගොවීන් අතර ඉතා ජනප්‍රිය භෝග වගාවක්.

නමුත්, රටේ පවතින ඇඳිරි නීති වාතාවරණය තුළ එම අස්වනු අලෙවි කර ගැනීමට නොහැකි වීමත්, අස්වනු සඳහා ප්‍රමාණවත් මුදලක් නොලැබීමත් ගොවීන් මුහුණ දෙන ප්‍රධාන ගැටලුවක් බවට පත්ව ඇත.

කොමඩු අස්වැන්න මෙලෙස විකුණා ගත නොහැකිව ඇති පසුබිමක ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මැදිහත් වී මෙරට පළතුරු හා ආර්ථික භෝග අපනයන සමාගමක් වන සැන්මික් සමූහ ව්‍යාපාරය සමග ඊයේ (14) සිදු කළ සාකච්ඡාවකින් අනතුරුව අද (15) දිනයේදීම කොමඩු මිලදී ගැනීම ආරම්භ කළේය.

සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව හරහා දිවයින පුරා සිටින ගොවීන්ගෙන් කොමඩු මිලදී ගැනෙනු ඇති.

මෙම ආයතනයෙන් දෛනිකව ටොන් 25 ක ප්‍රමාණයක් මිලදී ගැනීම සිදු කෙරෙයි.

ඒ අනුව කොමඩු මිලදී ගැනීම සියයට සියයකින් වැඩිකර ඒවා කොමඩු, යුෂ ලෙස සකස් කර අමෙරිකාව, ඔස්ට්‍රේලියාව, එංගලන්තය සහ යුරෝපානු රටවල් වෙත අපනයන කිරීමට සැලසුම් කර තිබේ.

+++++++++++++++++++++++++++++++++++

මාධ්‍ය හැඳුනුම්පත අවභාවිත කර දුම්වැටි ප්‍රවාහනය කළ සමාජ මාධ්‍ය ක්‍රියාකාරිකයෙකු අත්අඩංගුවට

(15.04.2020 – 21:16 +0530 – hirunews.lk/sinhala)

බස්නාහිර පළාත් බුද්ධි ඒකකයට ලද තොරතුරකට අනුව පානදුර ප්‍රදේශයේදී, නීතිවිරෝධීව මෝටර් රථයක ප්‍රවාහනය කරමින් තිබූ රුපියල් 2,60,000 ක වටිනාකමින් යුත් දුම්වැටි සහ විදේශයක නිෂ්පාදිත මත්පැන් බෝතලයක් සමගින් පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අප වාර්තාකරු පැවසුවේ, අදාළ පුද්ගලයා සමාජ මාධ්‍ය ක්‍රියාකරුවෙකු බවත්, මාධ්‍ය හැඳුනුම්පත අවභාවිත කරමින් මෙම ක්‍රියාව සිදුකර ඇති බවත් ප්‍රශ්න කිරීමේදී හෙළිවී ඇති බවයි.

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *