ප්‍රවීණ සංගීතඥ ජයන්ත රත්නායක දිවියෙන් සමු ගනියි

(06.04.2020 – 09:54 +0530 – sinhala.adaderana.lk)

ප්‍රවීණ සංගීතවේදී වික්ටර් රත්නායක මහතාගේ වැඩිමල් පුතා වන ප්‍රවීණ සංගීතඥ ජයන්ත රත්නායක මහතා අභාවප්‍රාප්ත වී තිබේ.

අද (06) උදෑසන ඒ මහතා මහරගම අපේක්ෂා රෝහලේදී අභාවප්‍රාප්ත වී ඇති බව වාර්තා වෙයි.

කලක් රෝගාතුරව සිටි ඒ මහතා මියයන විට 51 වන වියෙහි පසු විය ෴

+++++++++++++++++++++

අවසන් කටයුතු හෙට (7) සිදුකෙරේ (lankadeepa.lk)

+++++++++++++++++++++

ජයන්ත රත්නායක සමුගනී

(06.04.2020 – gossiplankanews.com)

සංගීත ශිල්පී ජයන්ත රත්නායක මහතා අභාවප්‍රාප්ත වී තිබෙනවා. කලක සිට පිළිකා රෝගී තත්වයකින් පීඩා විදි ඔහු ප්‍රවීණ සංගීතවේදී වික්ටර් රත්නායක මහතාගේ වැඩිමල් පුත්‍රයාය.

පසුගිය 2019 වසරේ මොහුගේ රෝග තත්වය ආරංචිවීමෙන් පසු කලා ශිල්පීන් එක්ව ඔහුට ආධාර පිණිස ප්‍රසංගයක්ද සංවිධානය කර තිබුණි.

දෙදරු පියෙකු වන ජයන්ත රත්නායක ගායකයෙකු මෙන්ම වාදකයෙකු ලෙස කටයුතු කළේය.

ඔහු අද උදෑසන මියගියේ මහරගම අපේක්ෂා රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදීය. මියයන විට 51 වන වියේ පසුවිය.

තම පිළිකා රෝග තත්වය ගැන පවසමින් ජයන්ත 2019 ලබාදුන් සම්මුඛ සාකච්ඡාව :

මට පිළිකාවක් – තාත්තා බැලුවෙවත් නෑ – ජයන්ත රත්නායක

(16.04.2019 – gossiplankanews.com)

ප්‍රවීණ ගායක වික්ටර් රත්නායකගේ වැඩිමල් පුත් ජයන්ත රත්නායක පිළිකා රෝගී තත්වයක් හේතුවෙන් පීඩා විඳින බව කණගාටුවෙන් යුතුව වාර්තා කරන්නට සිදුව තිබෙයි. මේ හේතුවෙන් පසුගියදා කලා ශිල්පීන් එක්ව ඔහුට ආධාර පිණිස ප්‍රසංගයක්ද සංවිධානය කර තිබුණි. මෙම ප්‍රසංගයට ජයන්තගේ පියා වන වික්ටර් ආවේ නැත. තම පියා ඇමතුමක් හෝ ලබාදී තම සුවදුක් නොවිමසූ බවත් ප්‍රසංගයට පිරිස ආවේ තමා නිසා මිස පියා නිසා නොවන බවත් ජයන්ත සතිඅන්ත පුවත්පතකට පවසා තිබේ.

මේ ගැන කළ විමසීමේදී ජයන්ත මෙසේ කියා තිබේ :

“පිළිකා රෝගී තත්ත්වයට අදාළ මුල්ම ශල්‍යකර්මය කළේ පසුගිය ජුලි මාසයේ. දැන් මම දිගටම බෙහෙත් ගත්නවා. සති දෙකකට සැරයක් දින දෙකක් මම රෝහල් ගතවෙලා ප්‍රතිකාර ලබාගන්නත් ඕන, මම ශාරීරිකව වැටිලා නැහැ. මම බෙහෙත් ටික වෙලාවට අරගෙන සෞඛ්‍ය සම්පන්නව ඉන්නවා.”

ඔබ වෙනුවෙන් පසුගියදා ප්‍රසංගයක් පැවැත්වුණා. එය ඔබට කොයිතරම් ශක්තියක් වෙන්න ඇතිද?

“මම මංගල සාදවල, ප්‍රියසම්භාෂණවල සංගීතය සපයනවනේ. ඒ අතරතුර මගේ අසනීපය ගැන කතා කරද්දි මහේන්ද්‍ර පැස්කුවල්, ගයානාත් දහනායක, නිරංජලා මංජලී එකතුවෙලා මං වෙනුවෙන් ප්‍රසංගයක් කරන්න කතා කර ගෙන තිබුණා. මංජලී, ලොක්කා එක්ක එකතුවෙලා ලෙලුම්ටත් කතා කරලා තමයි මේ ප්‍රසංගය සංවිධානය කරලා තිබුණේ. මගේ හිත ශක්තිමත් කරන්න තමයි ඔවුන් මේ වගේ දෙයක් කළේ. ලෙලුම් මල්ලි තමයි මේක සුළුවෙන් කරන්න ඕන නෑ ලොකුවට කරමු කියලා දන්න දන්න අයට දුරකථන ඇමතුම් දීලා මේ ප්‍රසංගය ගැන කියලා තිබුණේ.

පසුගිය 7 වැනිදා අදාළ ශිල්පීන් සතයක්වත් අය කරන්නේ නැතිව ප්‍රසංගයට ආවා. ප්‍රසංගය පැවැත්වුණේ මගේ පාසල වුණ ඩී.එස්. සේනානායක විද්‍යාලයේ. ප්‍රසංගය පවත්වන ශාලාව නොමිලේ ලැබුණ. ලෙලුගේ දුරකථන ඇමතුමට, මං වෙනුවෙන් මට තියන ළෙංගතුකම වෙනුවෙන් බොහෝ දෙනෙක් ප්‍රසංගයට ආවා. මේ තරම් ආදරයක් මට තියෙනවද කියලා මට හිතාගන්න බැරිවුණ.”

ඔබ වෙනුවෙන් ඒ තරම් විශාල පිරිසක් එතරම් ඔබ මිනිස්සු හම්බ කරලා නියෙනවා නේද?

“මම අවුරුදු හතේ, අටේ ඉඳන් ක්ෂේත්‍රයේ අයව හඳුනන්නේ. පොඩි කාලේ ඉඳන් මාව දන්න ප්‍රවීණ, නවක හැමෝම මගේ ඇවතුම් පැවතුම් දන්නවා. එදා සුනිල් ආරීයරත්න මහත්මයා ඇවිත් මං ගැන කතාවක් කළා. ඒ කරපු කතාවෙන් මට හිතාගන්න බැරිවුණා මම එච්චර වටිනවද කියලා. මම වැඩ කරන විදිහ හැමෝම දන්නවා. ලතා වල්පොළ, සුනිල් පෙරේරා, රෝහණ වීරසිංහ ඇතුළු විශාල පිරිසක් මං වෙනුවෙන් ආවම මට හිතාගන්න බැරි වුණා. මම කැළලක් ඇති කර ගත්ත කෙනෙක් නෙමෙයි. මම ක්ෂෙත්‍රයේ කා එක්කවත් තරහා වෙලා නැහැ.
මම මහ ලොකු මිනිහෙක් නෙවෙයි. මම කාගෙවත් පුතා නිසා නෙවෙයි ඒ අය ප්‍රසංගයට ආවේ. එහෙනම් මේ පුතාගේ තාත්තා එතැන ඉන්න ඕනෙ නේද? ඇත්තටම මනුස්සකමට බොහෝ දෙනෙක් මං වෙනුවෙන් ආවා. ඇත්තටම ඒකන් මට ලොකු හයියක් චිත්ත ශක්තියක් දැනුණ.”

ඔබට අවශ්‍ය වෙලාවේ කලා ක්ෂේත්‍රයේ බොහෝ අය ඔබ ළඟ ඉන්නවා එහෙනම් ?

“ඔව්. මට සති දෙකකට වරක් රෝහල්ගත වෙන්න වෙද්දිත් මගේ වාදක මණ්ඩල හිතවතුන් මාත් එක්ක නැවතිලා ඉන්නවා. සංගීත ක්ෂෙත්‍රයේ අය වගේම රංගන ක්ෂේත්‍රයේ අයත් මට ළෙන්ගතුයි. මම වරදක් නොකර හොඳින් ජීවත්වුණු නිසා තමයි හැමෝම මාත් එක්ක ඉන්නේ. හොඳ ජීවිතයක් ගත කළ එකේ ප්‍රතිඵලය මං අද විඳිනවා. මගේ චිත්ත ශක්තිය සියයට දෙසීයකින් වැඩිවුණා.

ඔබට අවශ්‍යම වෙලාවේ ඔබව අතහැරපු අයත් ඉන්නවා නේද?

“මම කෙනෙක්ට උදව්වක් කරලා තියෙනවා නම් මම කිසිම දෙයක් ආපසු බලාපොරොත්තු වෙලා නැහැ. නමුත් මට හිතුවාටත් වඩා උදවු කළ අය හිටියා. කොච්චර මනුස්සකම පිරි මිනිස්සුද ක්ෂේත්‍රයේ ඉන්නේ කියලා මට තේරුණා. මට ඒ අයගේ ආදරය දැනෙද්දි ඇස්වලට කඳුළු එනවා හුස්මත් හිරවෙනවා වගේ. මගේ පියාගෙන් දුරකථන ඇමතුමක්වත් ආවේ නැති වෙලාවක ක්ෂෙත්‍රයේ අයගේ ආදරය මට වැඩිපුර දැනෙනවා.”

ඔබේ පවුලේ අය ඔබ ගැන ගොඩක් හොයලා බලනවා නේද?

“මගේ බිරියයි දුවයි ඉතාම හොදින් මාව බලාගන්නවා. පුතා නම් පිටරට ඉගෙන ගන්නවා. මගේ බිරියගේ පාර්ශ්වයේ අය ඒ වගේම මගේ මල්ලි ලෙලුගේ පවුලේ අය සහ මගේ නංගිගේ පවුලේ අය මට ගොඩක් උදවු ලබාදෙනවා. අසනීප තත්ත්වය නිසා ඔබේ සංගීත කටයුතු නතර කරලා නෑ නේද? නැහැ. මම භාරගත්ත මංගල සාද. උත්සවවලට යනවා. මට රෝහල්ගත වෙන්න සිදුවෙන දවසකට මට වාදනය කරන්න තිබ්බොත් මම එදාට වෙන කෙනෙක් යොමු කරනවා. මම දුර්වල වෙලා නැහැ. මට ගායන කටයුතු කරන්න පුළුවන්.”

ඔබට ආදරය කරන පිරිසට කියන්නත් යමක් ඇති.

“මම අසනීප වුණ වෙලාවේ මට තේරුණ දේ තමයි අපි යනකොට බලය, ධනය කිසි දෙයක් අරගෙන යන්නේ නෑ, මනුස්සකම සහ හොද දේවල් විතරයි අරගෙන යන්නේ කියලා. ඒ නිසා හැමෝටම කියන්නේ හොඳ දේවල් කරන්න. කවදාවත් වරදින්නේ නෑ කියන දේ තමයි.”

සාකච්ඡා සටහන – තිළිණි විජේසිංහ

+++++++++++++++++++++

ජයන්ත රත්නායක සමග දියණිය සෙජිනි රත්නායක – සියත ටීවී – GOOD MORNING SRI LANKA – 16.02.2020

+++++++++++++++++++++

11-05-2019

+++++++++++++++++++++

https://www.youtube.com/watch?v=N1uZBYDyWok
22-12-2017

+++++++++++++++++++++

06-04-2020

+++++++++++++++++++++

https://www.youtube.com/watch?v=1fWr1XVerj8
06-04-2020

+++++++++++++++++++++

සංගීතවේදි ජයන්ත රත්නායකයන්ගේ අවසන් කටයුතු සිදුකෙරේ

(08.04.2020 – 15:28 +0530 – hirunews.lk/sinhala)

ප්‍රවීන සංගීතවේදී වික්ටර් රත්නායකයන්ගේ වැඩිමහල් පුත් ජයන්ත රත්නායකයන්ගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අද (08) සිදුකෙරුණා. ඒ, මාලඹේ තලාහේන පොදු සුසාන භූමියේදීයි.

මහරගම අපේක්ෂා රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී මිය යනවිට ඔහු 51 වන වියෙහි පසුවුනා.

+++++++++++++++++++++

දිවි මියැසියෙන් නික්ම ගිය ප්‍රවීණ සංගීතවේදියා

(08.04.2020 – 21:31 +0530 – sinhala.adaderana.lk)

දිවි මියැසිය නිමාකළ ප්‍රවීණ සංගීතවේදී ජයන්ත රත්නායක මහතාගේ අවසන් කටයුතු අද (08) සිදු කෙරුණි. ඒ මාලඹේ තලාහේන පොදු සුසාන භූමියේදී.

1968 වසරේ උපත ලැබූ ජයන්ත රත්නායක මහතා මෙරට ජනප්‍රිය සංගීත කණ්ඩායමක් වූ සිහ ශක්ති සමඟ ප්‍රසිද්ධ මියැසි වේදිකාව තරණය කළේය.

එමෙන්ම ළමා වැඩසටහන් සඳහා තේමා ගී තනු නිර්මාණය කරමින් ද ඔහු රසික ජනතාව අතර ප්‍රසිද්ධ චරිතයක් බවට පත් විය.

දෙදරු පියෙක් වූ ජයන්ත රත්නායක මහතා පසුගිය 6 වැනිදා අභාවප්‍රාප්ත වූයේ මහරගම අපේක්ෂා රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී. ඒ වන විට ඔහු 51 වැනි වියෙහි පසු විය.

කොස්වත්ත ප්‍රදේශයේ පෞද්ගලික මල්ශාලාවක තැන්පත් කර තිබූ දේහය ආගමික වතාවත්වලින් පසු මාලඹේ තලාහේන පොදු සුසාන භූමිය වෙත රැගෙන එනු ලැබීය.

කෙසේවෙතත් ජයන්ත රත්නායක මහතාගේ පියාණන් වූ ප්‍රවීණ සංගීතඥ ආචාර්ය වික්ටර් රත්නායක මහතා මෙම අවස්ථාවට සහභාගී වුණේ නැහැ.

දක්ෂ සංගීත සංයෝජකයෙක්, සංගීත අධ්‍යක්ෂවරයෙක් සහ දක්ෂ ගායන ශිල්පියෙකු ලෙස මෙරට සංගීත ක්ෂේත්‍රයට අනූපමේය සේවයක් ඉටුකළ ජයන්ත රත්නායක කලාකරුවාගේ වියෝව මෙරටට පිරිමැසිය නොහැකි පාඩුවක් වනු නොඅනුමානයි.

https://www.youtube.com/watch?v=41yh9Mzl4Gw#t=7

+++++++++++++++++++++

+++++++++++++++++++++

ඇඳිරි නීතිය අතරේ ජයන්ත රත්නායකයන් සමුගෙන ගිය හැටි

(09.04.2020 – gossiplankanews.com)

පසුගියදා දිවියෙන් සමුගත් සංගීතවේදී ජයන්ත රත්නායක මහතාගේ අවසන් කටයුතු ඊයේ (08) දහවල් මාලබේ, තලාහේන ආදාහනාගාරයේදී සිදුවිය. රටේ බලපවත්වන ඇඳිරි නීතිය නිසා මෙම අවස්ථාවට එක්වූයේ සීමිත පිරිසකි. ඡායාරූප කිහිපයක් පහතින් :

+++++++++++++++++++++

https://www.youtube.com/watch?v=S1N8uG1VkTM

+++++++++++++++++++++

07-10-2019

+++++++++++++++++++++

10-04-2020
********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *