ශ්‍රී ලංකාවේ කොරෝනා වෛරස් ආසාදිත මරණ සංඛ්‍යාව 4 ක් දක්වා ඉහළට

+++++++++++++++++++++++++++++++++++

= මේ පිටුවේ සිරස්තල =

• ශ්‍රී ලංකාවේ කොරෝනා වෛරස් ආසාදිත මරණ සංඛ්‍යාව 4 ක් දක්වා ඉහළට

• කොරෝනා ආසාදනය වීමෙන් මිය ගිය හතරවැන්නා රත්මලානේ පදිංචිකරුවෙක් – ඉන්දියාවේ සංචාරය කර ඇති බවට ද තොරතුරු

• මෙරට මුළු ආසාදිතයින් 151 දක්වා ඉහළට – තවමත් වැඩිම රෝගීන් කොළඹින්

• එකම ඔසු ඇනවුම් ෆාමසි කිහිපයකට යොමු කිරීමෙන් ගැටලු රැසක්

• තැපෑලෙන් බෙහෙත් පාර්සල් 11,700 ක් බෙදා හරී

• යාපනයෙන් තවත් කොරෝනා 03 දෙනෙක්.. තිදෙනාම ස්විස් දේවගැතිගේ පූජාවට සම්බන්ධ වූවන්.. එක් අයෙකු මෙරට ප්‍රධානියා…

• හකීම් හා උලමා කොරෝනා බෝ කර රට වනසන තැතක..

• මුස්ලිම් ආගමික නායකයෝ තම අනුගාමිකයන් ආගමික ඒකාරාශී වීමෙන් වැලැක්වීමට සක්‍රියව මැදිහත් වන්න- මහින්දානන්ද අළුත්ගමගේ

• අණ නොතැකු මෝටර් රථයකට එගොඩඋයනේ දී පොලී‍සියෙන් වෙඩි – 3 කට තුවාලයි

• ඇඳිරි නීතිය උල්ලංඝණය කරමින් ධාවනය කළ, මෝටර් රථයේ සිටි සිව්දෙනාම අත්අඩංගුවට

• අසත්‍ය ප්‍රකාශ සම්බන්ධයෙන් ජනපතිගෙන් විශේෂ නිවේදනයක්

• රට තුළ ආහාර නිෂ්පාදනය කඩිනම් කිරීමට රජයෙන් නව වැඩපිළිවෙලක්

+++++++++++++++++++++++++++++++++++

ශ්‍රී ලංකාවේ කොරෝනා වෛරස් ආසාදිත මරණ සංඛ්‍යාව 4 ක් දක්වා ඉහළට

(02.04.2020 – 21:58 +0530 – hirunews.lk/sinhala)

කොවිඩ් 19 ආසාදනය වූ තවත් පුද්ගලයෙකු අද (02) ජීවිතක්ෂයට පත්වුණා.

එම මරණයත් සමඟ මෙරටින් වාර්තාවන කොවිඩ් 19 මරණ සංඛ්‍යාව 4 ක් දක්වා ඉහළ යනවා.

මෙලෙස මියගොස් ඇත්තේ අයි.ඩී.එච්. රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි 58 හැවිරිදි පිරිමි පුද්ගලයෙක් වන අතර නිව්මෝනියා රෝගී තත්ත්වය උත්සන්න වීමෙන් ඔහු මිය ගොස් ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා සඳහන් කළා ෴

+++++++++++++++++++++

කොරෝනා ආසාදනය වීමෙන් මිය ගිය හතරවැන්නා රත්මලානේ පදිංචිකරුවෙක් – ඉන්දියාවේ සංචාරය කර ඇති බවට ද තොරතුරු

(03.04.2020 – 11:04 +0530 – hirunews.lk/sinhala)

කොරෝනා වෛරසය ආසාදනය වීමෙන් අයි.ඩී.එච්. රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී ඊයේ මිය ගිය 58 හැවිරිදි පුද්ගලයා රත්මලාන ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බව අනාවරණ වනවා.

ඔහු පසුගිය 16 වන දා අයි.ඩී.එච්. රෝහලට ඇතුළත් වී ඇති අතර, සිය බිරිඳ සමඟ පසුගිය දිනෙක ඉන්දියාවේ සංචාරයක ද නිරත වී ඇති බව සඳහන්.

ඔහුගේ බිරිඳට ද කොරෝනා වෛරසය ආසාදනය වී ඇති අතර, ඇය ද ප්‍රතිකාර සඳහා අයි.ඩී.එච්. රෝහලට ඇතුළත් වී ඇති බවටයි වාර්තා වන්නේ.

ඇය මේ වන විට සුවය ලබා රෝහලෙන් නික්මී ස්වයං නිරෝධායනයට ලක් කර තිබෙනවා.

කෙසේ වෙතත් ගුවන් තොටුපොලේ දී ඉතාලියෙන් ආ පිරිසකට ඔවුන් මැදිවූ බවටද තොරතුරු අනාවරණ වනවා.

මිය ගිය පුද්ගලයාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අද (03) සිදුකිරීමට නියමිතයි ෴

+++++++++++++++++++++

කොරෝනා බිලිගත් සිව්වන පුද්ගලයාගේ අවසන් කටයුතු

+++++++++++++++++++++++++++++++++++

මෙරට මුළු ආසාදිතයින් 151 දක්වා ඉහළට – තවමත් වැඩිම රෝගීන් කොළඹින්

(02.04.2020 – 19:31 +0530 – hirunews.lk/sinhala)

මෙරට කොවිඩ් 19 හෙවත් නව කොරෝනා වෛරස් ආසාදිතයින් සංඛ්‍යාව 151 ක් දක්වා මේ වනවිට ඉහළ ගොස් තිබෙනවා.

සෞඛ්‍ය අමාත්‍යාංශයේ වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කළේ පුද්ගලයින් 126 දෙනෙකු මේ වනවිට වෛද්‍ය අධීක්ෂණ යටතේ පසුවන බවයි.

ඊයේ (01) වෛරසය ආසාදනයෙන් මියගිය මරදානේ පදිංචිකරුගේ බෑණා, මුනුපුරා මෙන්ම යාපනයේ පැවති යාච්ඥා මෙහෙයේදී කොරෝනා ආසාදනය වූ දේවගැතිවරයා විසින් ජල ටැංකියකදී බෞතිස්ම කළ දෙදෙනෙකු ද නව ආසාදිතයන් අතර සිටිනවා.

එමෙන්ම, තහවුරු කරන ලද කොරෝනා රෝගීන්ගේ ව්‍යාප්තිය අනුව, මේ දක්වා වැඩිම රෝගීන් සංඛ්‍යාවක් වාර්තා වී ඇත්තේ කොළඹ දිස්ත්‍රික්කයෙන්.

එම සංඛ්‍යාව 33 ක් වන අතර, පුත්තලම දිස්ත්‍රික්කයෙන් රෝගීන් 25 ක් කළුතර දිස්ත්‍රික්කයෙන් රෝගීන් 24 ක් සහ ගම්පහ දිස්ත්‍රික්කයෙන් රෝගීන් 11 ක්, සොයා ගෙන තිබෙනවා.

සෞඛ්‍ය අමාත්‍යාංශය අද (02) පෙරවරුවේ නිකුත් කළ එම වාර්තාවේ දැක්වෙන්නේ මහනුවර සහ යාපනය දිස්ත්‍රික්කවලින් රෝගීන් 4 දෙනෙකු බැගින් සොයා ගෙන ඇති බවයි.

රත්නපුර දිස්ත්‍රික්කයෙන් හමුවී ඇති රෝගීන් සංඛ්‍යාව 3 ක් වන අතර, කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් කොරෝනා රෝගීන් සංඛ්‍යාව 2 ක් සොයා ගෙන තිබෙනවා.

කෑගල්ල, ගාල්ල, මඩකලපුව, බදුල්ල හා මාතර යන දිස්ත්‍රික්කවලින් එක් රෝගියෙකු බැගින් හමුවී ඇති බවයි සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කළේ.

මේ අතර, නිරෝධායනයට ලක් කළ පුද්ගලයින් 187 දෙනෙකු අද දිනයේ නිවෙස් වෙත පිටත් කර හැරුණා.

එමෙන්ම, පසුගිය මාර්තු 17 වනදා බණ්ඩාරවෙල ප්‍රදේශයේ සංචාරක හෝටලයකින් කොරෝනා රෝගියෙකු වාර්තා වූ අතර, පසුව එහි කාර්ය මණ්ඩලය එම හෝටලයේම නිරෝධායනයට ලක් කළා.

දින 14 ක් සම්පූර්ණ කළ පසු එම සේවකයින්ට නිරෝධායනය වූ බවට ලබා දෙන සහතිකය ලබාදී දිනයේ මුදා හැරිමට කටයුතු කර ඇති බව සඳහන්.

කොවිඩ් 19 වෛරසය පැතිර යාමේ දැඩි අවදානමක් සහිත පුත්තලම සහ කොළඹ ප්‍රදේශවල සිට පැමිණ තලවකැලේ – හේමචන්ද්‍ර මාවතේ සැඟව සිටි පුද්ගලයින් දෙදෙනෙකු ඔවුන් රැදී සිටි නිවසේම ස්වයං නිරෝධායනයට ලක් කිරීමට පියවර ගැණුනා.

මේ අතර, වව්නියාව – කට්කුලි ප්‍රදේශයේ 56 හැවිරිදි කාන්තාවක් දින ගණනාවක් පැවති උණ රෝගී තත්ත්වයක් හේතුවෙන් වව්නියාව රෝහලට ඊයේ (01) ඇතුළත් කිරීමෙන් අනතුරුව ජිවිතක්ෂයට පත්ව තිබෙනවා.

ඇයගේ රුධිර සාම්පල වැඩිදුර පරීක්ෂණ සඳහා යොමුකර ඇති බව සඳහන්.

එම වාර්තාව ලැබෙනතුරු එම කාන්තාවගේ මළ සිරුර වව්නියාව රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති බවයි රෝහල් අධ්‍යක්ෂවරයා සඳහන් කළේ.

මේ අතර, මත්තේගොඩ නිවාස සංකීර්ණයේදී ජිවිතක්ෂයට පත්වූ පුද්ගලයාට කොවිඩ් 19 වෛරසය ආසාදනය වී නොමැති බව අනාවරණ වී තිබෙනවා.

කළුබෝවිල ශික්ෂණ රෝහලේදී සිදුකෙරුණු පශ්චාත් මරණ පරීක්ෂණයේදී අනාවරණ වී ඇත්තේ එම පුද්ගලයා හෘදයාබාධයකින් ජිවිතක්ෂයට පත්ව ඇති බවයි.

පසුගිය 20 වනදා මාලදිවයිනේ සිට මෙරටට පැමිණ තිබූ එම පුද්ගලයා ජිවිතක්ෂයට පත්වීමෙන් පසු ඔහුගේ දේහය මුද්‍රා තබා කළුබෝවිල ශික්ෂණ රෝහල වෙත යොමුකළ අතර කොවිඩ් 19 වෛරසය ආසාදනය වී ඇත්දැයි පරික්ෂා කිරිම සඳහා ශරීර කොටස් වෛද්‍ය පර්යේෂණ ආයතනය වෙත යොමු කෙරුණා.

කොවිඩ් 19 වෛරසය ආසාදනය වූ එකම පවුලේ පුද්ගලයින් 5 දෙනෙකු හඳුනා ගැනීම හේතුවෙන් බණ්ඩාරගම – අටලුගම හුදකලා කිරිමට පියවර ගෙන මේ වනවිට දින 6 ක් ගතවනවා.

මේ අතර, රිජ්වේ ආර්යා ළමා රෝහලේ කොරෝනා ආසාදිත ළමයින් සිටින බවට අසත්‍ය ප්‍රචාර පැතිරූ පුද්ගලයින් සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පරික්ෂණ ආරම්භ කර ඇති බවයි නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ කියා සිටියේ.

කොරෝනා වෛරසය පාලනය සහ මැඩපැවැත්වීමට විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය, සෞඛ්‍ය අමාත්‍යවරිය වෙත යෝජනා 6 ක් ඉදිරිපත් කර තිබෙනවා.

ඒ සෞඛ්‍ය අමාත්‍යාංශයේදි සෞඛ්‍ය ඇමතිනි පවිත්‍රා වන්නිආරච්චි ඊයේ (01) හමුවූ අවස්ථාවේදීයි. විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය ඉදිරිපත් කළ යෝජනා 6 මෙලෙස සඳහන් කෙරුණා.

මේ අතර, කොරෝනා වෛරසය පැතිර යාම වැළැක්වීම සඳහා ගාල්ල දිස්ත්‍රික්කය තුළ පුද්ගලයින් කොටස් 4 කට බෙදා නිරෝධායනය කිරීමට පියවර ගෙන ඇති බව ගාල්ල දිස්ත්‍රික් වසංගත රෝග විද්‍යාඥ වෛද්‍ය වෙනුර සිංගාරච්චි මහතා ප්‍රකාශ කළා.

ඒ අනුව, ප්‍රාදේශීය වෛද්‍ය නිලධාරි කොට්ඨාශ මට්ටමින් කොරෝනා ආසාදිතයින් සමග සබඳතා පැවැත්වූ අය ලැයිස්තු ගත කිරීමක්, විදෙස් රටවලින් පැමිණි පුද්ගලයින්, නිරෝධායන මධ්‍යස්ථානවල සිට පැමිණි පුද්ගලයින් සහ පිට පළාත්වලින් පැමිණි පුද්ගලයින් වෙන වෙනම ලැයිස්තුගත කෙරෙනු ඇති.

එසේම, රාජසන්තක කරන ලද සියලුම එතනෝල් කොරෝනා මර්දන කටයුතු සඳහා පොලිස් දෙපාර්තමේන්තුව වෙත මුදා හරින ලෙස ජනාධිපති ලේකම්වරයා රේගු සහ සුරාබදු දෙපාර්තමේන්තුව වෙත නියෝග කර තිබෙනවා.

ඒ අනුව, සුරාබදු දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගෙන මෙලෙස රාජසන්තක කළ තවත් එතනෝල් ලීටර 75,000 කට ආසන්න ප්‍රමාණයක් පොලිසිය වෙත ලබාදීමට කටයුතු කරන බවයි සුරාබදු දෙපාර්තමේන්තුවේ මාධ්‍ය ප්‍රකාශක කපිල කුමාරසිංහ මහතා කියා සිටියේ.

+++++++++++++++++++++++++++++++++++

එකම ඔසු ඇනවුම් ෆාමසි කිහිපයකට යොමු කිරීමෙන් ගැටලු රැසක්

(02.04.2020 – 19:59 +0530 – lankadeepa.lk)

වට්ස්ඇප් සහ වයිබර් ඔස්සේ ඔසු ඇණවුම් කිරිමේ ක්‍රමවේදයේදි සමහර පාරිභෝගිකයින් ෆාමසී කිපයකට ඇණවුම් යොමු කිරිමෙන් ගැටළුවක් මතුවි ඇතැයි සමස්ත ලංකා ඔසුසැල් හිමියන්ගේ සංගමයේ සභාපති චන්දික ගන්කන්ද මහතා පැවසිය.

එලෙස ඔසුසැල් කිපයකට ඔසු වට්ටෝරු යොමු කර පළමුව නිවෙසට ලැබෙන ඔසු මිලදි ගන්නා පාරිභෝගිකයින් අනෙක් ෆාමසී වලින් පසුව ගෙනෙන ඔසු භාර නොගන්නා බවට රටපුරා ෆාමසී හිමියන් තමාට දැන්වු බව ද ඔසුසැල් හිමියන්ගේ සංගමයේ සභාපති වරයා පැවසිය.

එක් ඔසුසැලකට දිනකට බෙහෙත් වට්ටෝරු තුන් සියයක් හාර සියයක් ලැබෙන බැව්න් දුෂ්කරතා මැද වට්ටෝරු සුදානම් කර නිවෙස් වලට යැවිමෙන් පසු බාර නොගැනිම ගැටළු සහගත බව ද ඔසුසැල් හිමියන්ගේ සංගමයේ සභාපති වරයා පැවසිය.

මේ නිසා එක් ෆාමසීයකට පමණක් දුරකථන සන්නිවේදන ක්‍රම ඔස්සේ ඇණවුම් ලබාදෙන ලෙස ඔහු පාරිභෝගිකයින් ගෙන් ඉල්ලීමක් කළේය.

පුද්ගලික ඔසුසැල් 3200 ක් මෙරට තිබෙන බවත් මේ වනවිට ඔසුසැල් 2000 ට ආසන්න ප්‍රමාණයක් විවෘත කර සේවා ලබාදෙන බවත් ඔසුසැල් හිමියන්ගේ සංගමයේ සභාපති වරයා කීවේය.

දුරකථන සන්නිවේදන ක්‍රම ඔස්සේ ලැබෙන ඇණවුම් ඉක්මනින් ලබාදිමට සියලුම ෆාමසී උත්සාහ කරන අතර දෙදිනක් තුළ බෙහෙත් පාර්සලය නිවෙස් වලට ලබාදිම සිදුකෙරෙන බවත් බොහෝ විට එක් දිනයක් තුළ එය ඉටුකරන ෆාමසී ද ඇතැයි ඔහු පැවසිය.

දැනට බටහිර ඔසුවල කිසිදු හිගයක් නොමැති නමුත් සමහර පාරිභෝගිකයින් මාස කිපයකට සරිලන ලෙස ඔසු මිලදි ගෙන ගබඩාකර තබාගැනිම ඵලරහිත ක්‍රියාවක් බවද චන්දික ගන්කන්ද මහතා පැවසිය.

එමගින් සිදුවනුයේ ඔසුවල ගුණාත්මක බව අඩුවිම පමණි. ඒනිසා අවශ්‍ය ප්‍රාමාණය පමණක් ලඟ තබාගන්නා ලෙසද ඔසුසැල් හිමියන්ගේ සංගමයේ සභාපති වරයා කීවේය ෴

+++++++++++++++++++++

From health.gov.lk :

කරුණාකර ෆාමසි වල WhatsApp / Viber අංක වලට ඇමතුම් ගැනීමෙන් වලකින්න. ඔබගේ ඇනවුම එක් ෆාමසියකට පමණක් යොමු කරන්න. පවතින කාර්යය බහුල තත්වය මත ඔබේ ඇනවුම තරමක් පමා විය හැක.

Please do not call pharmacies though their WhatsApp/Viber numbers. Please send your request only to one pharmacy. Due to high number of orders, your order might get delayed.

http://www.health.gov.lk/moh_final/english/others.php?pid=209

+++++++++++++++++++++++++++++++++++

තැපෑලෙන් බෙහෙත් පාර්සල් 11,700 ක් බෙදා හරී

(02.04.2020 – 20:02 +0530 – hirunews.lk/sinhala)

රජයේ විශ්‍රාමිකයින්ට අද (02) විශ්‍රාම වැටුප් ලබාදුන් අතර, එය හෙට සහ ලබන 6 වනදා ද ක්‍රියාත්මකයි.

විශ්‍රාමිකයින්ට රාජ්‍ය සහ පෞද්ගලික බැංකු වෙත පැමිණීමට අද නොමිලේ ශ්‍රී ලංගම බස් රථ ද යොදවා තිබුණා.

ඒ සඳහා ත්‍රිවිධ හමුදාව ද මැදිහත් වූ අතර, විශ්‍රාමික හැඳුනුම්පත අවසර පත්‍රයක් ලෙස යොදා ගෙන පෞද්ගලික වාහනවලින් අදාළ ආයතන වෙත පැමිණීමට ද ඔවුන්ට අවස්ථාව ලබාදුන් බවයි පොලීසිය ප්‍රකාශ කළේ.

මේ අතර විශ්‍රාම වැටුප ලබාදීමට සමගාමීව ඔවුන්ට අවශ්‍ය ඖෂධ මිලදී ගැනීමට මෙම දින තුන ඖෂධ අලෙවිසැල් විවෘත කිරීමට ද රජය ගත් තීරණයට අනුව දිවයිනේ බොහෝ ප්‍රදේශවල රජය සහ පෞද්ගලික ඔසුසල් ද විවෘත කර තිබුණා.

එසේම, දිවයින පුරා ඖෂධ නිවෙස් වෙත බෙදා හැරීමේ වැඩපිළිවෙල යටතේ ඖෂධ පාර්සල් 11,765 ක් බෙදා හැර අවසන් කළ බවයි තැපැල් දෙපාර්තමේන්තුව සඳහන් කළේ ෴

+++++++++++++++++++++++++++++++++++

යාපනයෙන් තවත් කොරෝනා 03 දෙනෙක්.. තිදෙනාම ස්විස් දේවගැතිගේ පූජාවට සම්බන්ධ වූවන්.. එක් අයෙකු මෙරට ප්‍රධානියා…

(03.04.2020 – 10:04 +0530 – lankacnews.com)

කොරෝණා වයිරසය වැළඳී ඇති බවට සැකපිට යාපනය ශික්ෂණ රෝහලට ඇතුලත් කෙරුණු තවත් රෝගීන් තිදෙනෙකුට ඊයේ (02) දිනය වන විට එම වයිරසය වැළඳී ඇති බවට තහවුරු වී ඇතැයි යාපනය ශික්ෂණ රෝහලේ අධ්‍යක්ෂක වෛද්‍ය ටී.සත්‍යමූර්ති මහතා පැවසුවේය.

අදාල රෝගීන් තිදෙනාගෙන් පළමුව එක් රෝගියෙකුත් අනතුරුව තවත් රෝගීන් දෙදෙනෙකු හඳුනාගෙන ඇති අතර මේ අනුව යාපනය දිස්ත්‍රීක්කයෙන් හමුවූ මුලු රෝගීන් ගණණ 04 ක් වන අතරම එම රෝගීන් 04 දෙනාම කොරෝණා වයිරස්ය වැළඳුනු ස්විස්ටර්ලන්ත දේවගැතිවරයාගේ දේව මෙහෙයන්ට සහභාගී වූවන් වශයෙන් හෙලි වී ඇති බවටද වෛද්‍ය සත්‍යමූර්ති මහතා පැවසුවේය.

මේ අතර ඊයේ (02) දින වාර්ථා වූ රෝගීන්ගෙන් එක් අයෙකු ස්විස්ටර්ලන්ත දේවගැතිවරයාගේ නිකායට සමබන්ධ ශ්‍රීලංකාවේ ප්‍රධානියා වශයෙන්ද තොරතුරු වාර්ථා වී ඇත.

අරියාලෙයි ප්‍රදේශයේ ස්විස් දේවගැතිවරයා විසින් පවත්වන ලද දේව මෙහෙය වෙනුවෙන් වව්නියාව, මන්නාරම, කිලිනොච්චිය හා යාපනය යන දිස්ත්‍රීක්කයන්ගෙන් පුද්ගලයින් 150 කට අධික පිරිසක් සහභාගී වී ඇති අතර ඉන් හඳුනාගත් 50 කට අධික පිරිසක් හඳුනාගෙන පොලීසිය හා සෞඛ්‍ය නිලධාරීන් විසින් නිරෝධායනය කිරීමටද පියවර ගෙන තිබුණි.

– වන්නි රොමේෂ් මධුෂංඛ

+++++++++++++++++++++++++++++++++++

හකීම් හා උලමා කොරෝනා බෝ කර රට වනසන තැතක..

(03.04.2020 – 06:26 +0530 – lankacnews.com)

රවුෆ් හකීම් සහ උලමා සංවිධානය විසින් කොරෝනා වැළඳී මිය ගිය මුස්ලිම් ජාතිකයන්ගේ සිරුරු භූමදානය කිරීමට අවසර ඉල්ලීම අතිශය භයානක බව මොහොමඩ් මුසාම්මිල් මහතා පවසයි.

ඕනෑම ආගමක ඉගැන්වීම් සමාජ පොදු යහපතට විය යුතු බවත් එසේ නොවන අවස්ථාවල එනම් ආගමික ඉගැන්වීම් පොදු යහපතට එරෙහි වන කල ක්‍රියාත්මක නොකළ යුතු බවත් හෙතෙම පෙන්වා දෙයි.

මුස්ලිම් සම්ප්‍රදාය අනුව අයකු භූමදානය කරන විට කතෝලික සහ බෞද්ධ සම්ප්‍රදාය තුළ මෙන් වළ සම්පූර්ණයෙන් නොවසන බවත් වළ මතුපිට ලෑලි තට්ටුවක් අතුරා ඒ මත පස් අතුරන බවත් මුසාම්මිල් මහතා අනාවරණය කරයි.

එවිට සතියක් දෙකක් ඇතුළත ලෑලි දිරාපත්වී පස් තට්ටුව පහළට කඩා වැටෙන අතර ඒ ආකාරයට කොරෝනා ආසාදිතයකු භූමදානය කළහොත් ඉතාම පහසුවෙන් එය කොරෝනා තිප්පොළක් විය හැකි බවත් ඔහු හෙළි කරයි.

උලමා සභාව සහ හකීම් උත්සාහ කරන්නේ මේ රට කොරෝනා බෝ කර හෝ වනසා දැමීමේ අරමුණින් බවට ද මොහොමඩ් මුසාම්මිල් මහතා චෝදනා කළේය ෴

+++++++++++++++++++++++++++++++++++

මුස්ලිම් ආගමික නායකයෝ තම අනුගාමිකයන් ආගමික ඒකාරාශී වීමෙන් වැලැක්වීමට සක්‍රියව මැදිහත් වන්න- මහින්දානන්ද අළුත්ගමගේ

(03.04.2020 – 09:27 +0530 – lankaleadnews.com)

දෙරණ රූපවාහිනියේ වාද පිටිය වැඩසටහන අතර තුර ලැබෙන කෙටි විරාමයේදී මහින්දානන්ද අළුත්ගමගේ මහතා ඉදිරිපත් කළ අදහස් ජාතිවාදී යැයි පවසමින් සමාජ ජාලා තුළ හුවමාරු වූ අදහස් වලට ඒ මහතා විසින් පිළිතුරු වීඩියෝ පටයක් අන්තර්ජාලයට මුදා හැර ඇත.

එම වීඩියෝ පටය මගින් එතුමා අසත්‍යය දේශපාලනික මතවාද වලට යට නොවී සාවධානව රජයේ COVID-19 මර්ධන වැඩපිළිවෙලට සහයෝගය ලබාදෙන ලෙස ඉල්ලා සිටින අතර තම අනුගාමිකයන් ආගමික ඒකාරාශී වීමෙන් වැළැක්වීමට සක්‍රියව මැදිහත් වන ලෙස මුස්ලිම් ආගමික නායකයන්ගෙන් ඉල්ලා සිටී.

+++++++++++++++++++++++++++++++++++

අණ නොතැකු මෝටර් රථයකට එගොඩඋයනේ දී පොලී‍සියෙන් වෙඩි – 3 කට තුවාලයි

(03.04.2020 – 07:10 +0530 – sinhala.adaderana.lk)

එ‍ගොඩඋයන වසමේ මෝදර අළුත් පාලම අසල ස්ථාපිත කර ඇති දිස්ත්‍රික් මායිම් මාර්ග බාධකයේ දී ඇඳිරි නීතිය උල්ලංඝනය කරමින් අණ නොතකා ධාවනය වු මෝටර් රථයකට වෙඩි තැබීමක් සිදු කර තිබේ.

මෙම මෝටර් රථය මොරටුව දෙස සිට පානදුර දෙසට ධාවනය කර ඇති අතර, එගොඩඋයන පරණ පාරේ මාර්ග බාධකයේ දී රථය නැවැත්වීම සඳහා සංඥා කර සිටිය ද එම රථය නොනවත්වා ධාවනය කර තිබේ.

ඒ බව මෝදර අළුත් පාලම අසල මාර්ග බාධක රාජකාරියේ යෙදී සිටි නිලධාරීන් දැනුවත් කර ඇතැයි පොලිස් මාධ්‍ය කොට්ඨාසය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

එම මාර්ග බාධකයේ දී මෙම රථය නැවැත්වීමට සංඥා කල ද එම අවස්ථාවේ දී ද කාර් රථය නොනවත්වා ධාවනය කිරීම හේතුවෙන් එහි රාජකාරියේ යෙදී සිටි පොලිස් නිලධාරියෙකු විසින් වෙඩි තැබීමක් සිදු කර තිබේ.

අළුත් පාලමට ‍අනෙක් පැත්තෙන් ඇති පානදුර දකුණ පොලිස් ස්ථානයේ මාර්ග බාධකයේ නිලධාරීන් ද මෙම රථය නැවැත්වීමට සංඥා කර ඇති නමුත් රථය නොනවත්වා ධාවනය වී තිබේ.

මේ සම්බන්ධයෙන් පරීක්ෂා කිරීමේ දී එම කාර් රථය පානදුර රෝහල අසල නවතා තිබිය දී සොයා ගෙන ඇති අතර, වෙඩි තැබීම හේතුවෙන් කාර් රථයේ ගමන් ගත් පුද්ගලයින් සිව්දෙනෙකුගෙන් තිදෙනෙක් තුවාල ලබා පානදුර රෝහලට ඇතුළත් කිරීමෙන් පසු එක් තුවාලකරුවෙක් වැඩිදුර ප්‍රතිකාර සඳහා කොළඹ ජාතික රෝහලට මාරු කර යවා තිබේ.

සිද්ධිය සම්බන්ධයෙන් කාර් රථයේ රියදුරු සමඟ තුවාල ලැබු තිදෙනා අත්අඩංගුවට ගෙන ඇති අතර, තුවාල ලැබුවන් පොලිස් ආරක්ෂාව යටතේ ප්‍රතිකාර ලබයි.

එගොඩඋයන පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.

https://www.youtube.com/watch?v=zhE2N9NU9rA#t=5

+++++++++++++++++++++

+++++++++++++++++++++

ඇඳිරි නීතිය උල්ලංඝණය කරමින් ධාවනය කළ, මෝටර් රථයේ සිටි සිව්දෙනාම අත්අඩංගුවට

(03.04.2020 – 12:56 +0530 – hirunews.lk/sinhala)

මොරටුව – එගොඩඋයන ප්‍රදේශයේදී පොලිස් අණ නොතකා ධාවනය කළ මෝටර් රථයේ සිටි පුද්ගලයන් කිසියම් නීතිවිරෝධී කටයුත්තක් සඳහා යමින් සිට ඇති බවට පොලීසිය සැක පළ කළා.

ඊයේ (02) රාත්‍රී 10:20 ට පමණ එම මෝටර් රථය මොරටුව සිට පානදුර දෙසට ධාවනය වෙමින් තිබූ අතර ඇඳිරි නීතිය උල්ලංගණය කරමින් එගොඩඋයන – පරණ පාර මාර්ග බාධකයේදී පොලිස් අණ නොතකා එය ධාවන කර තිබෙනවා.

එහිදී එම පොලිස් නිළධාරීන් ඒ සම්බන්ධයෙන් මොරටුව – එගොඩඋයන – මෝදර අලුත්පාලම අසළ දිස්ත්‍රික් මායිම් මාර්ග බාධක රාජකාරියේ යෙදී සිටින නිලධාරීන්ට දැනුම් දී ඇති අතර, පසුව ඔවුන් ද අදාළ රථය නවත්වන ලෙසට සංඥා කළ ද එම පොලිස් අණ නොතකා මෝටර් රථය ඉදිරියට ධාවනය වුණා.

එහිදී මෝටර් රථයට මාර්ග බාධකයේ රාජකාරියේ යෙදී සිටි පොලිස් නිලධාරියෙකු වෙඩි තැබීමක් සිදුකර තිබෙනවා.

අනතුරුව අලුත්පාලමට අනෙක්පස පිහිටා ඇති පානදුර – දකුණ පොලිස් ස්ථානයේ මාර්ග බාධක නිලධාරීන් ද එය නතර කිරීමට සංඥා කළ බවයි පොලිස් මාධ්‍ය කොට්ඨාශය සඳහන් කළේ.

එහෙත් රථය නොනවත්වා ධාවනය කර තිබෙනවා.

පසුව පානදුර රෝහල අසළ නවතා තිබූ මෝටර් රථය සොයාගෙන ඇති අතර, එහි ගමන් ගත් සිව් දෙනෙකුගෙන් තුන් දෙනෙකු වෙඩි වැදිම හේතුවෙන් තුවාල ලබා සිටීම නිසා පානදුර රෝහලට ඇතුළත් කෙරුණා.

එහිදී එක් අයෙකු වැඩිදුර ප්‍රතිකාර සඳහා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කරනු ලැබුවා.

ඔහු වයස අවුරුදු 19 ක් වන බත්තරමුල්ල ප්‍රදේශයේ පදිංචි තරුණයෙක්.

අනෙක් තිදෙනා පානදුර ප්‍රදේශයේ පදිංචිකරුවන් වන අතර, ඔවුන් 20 සහ 25 හැවිරිදි වියේ පසුවන්නන් බවයි පොලිසිය සඳහන් කළේ.

සිද්ධිය සම්බන්ධයෙන් මෝටර් රථයේ රියදුරු සහ තුවාල ලැබූ තිදෙනා අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඔවුන් පොලිස් ආරක්ෂාව යටතේ ප්‍රතිකාර ලබන බවයි පොලිස් මාධ්‍ය කොට්ඨාශය වැඩිදුරටත් සඳහන් කළේ.

සිද්ධිය සම්බන්ධයෙන් විමසීමේදී උසස් පොලිස් නිලධාරියෙකු සඳහන් කළේ සැකකරුවන් මත්ද්‍රව්‍ය ජාවාරම් සඳහා යමින් සිටි බවට සැක කරන බවයි ෴

+++++++++++++++++++++

https://www.youtube.com/watch?v=wXjGlFWhkx8#t=5

+++++++++++++++++++++++++++++++++++

අසත්‍ය ප්‍රකාශ සම්බන්ධයෙන් ජනපතිගෙන් විශේෂ නිවේදනයක්

(03.04.2020 – 11:49 +0530 – hirunews.lk/sinhala)

මේ දිනවල රට තුල පවත්න හදිසි තත්ත්වය හමුවේ විවිධ වෙබ් පිටු සහ සමාජ මාධ්‍ය ඔස්සේ තමන්ගේ ප්‍රකාශ ලෙස සකස් කරන ලද විවිධ අසත්‍ය පණිවුඩ හුවමාරු වෙමින් පවතින බවට නිරීක්ෂණය වී ඇති බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ප්‍රකාශ කරනවා.

ජනාධිපතිවරයා අවධාරණය කර සිටින්නේ මේ හේතුවෙන් විවිධ සාවද්‍ය ප්‍රකාශ ජනගත වීමට ඉඩ ඇති බවයි.

මේ හේතුවෙන් තමන් විසින් සිදුකරනු ලබන නිවේදන හෝ ප්‍රකාශ සිය නිල වෙබ් පිටු සහ සමාජ මාධ්‍ය හරහා පමණක් ප්‍රකාශයට පත් කරන බවයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සඳහන් කර සිටින්නේ.

මේ සම්බන්ධයෙන් වන විශේෂ සටහනක් ජනාධිපතිවරයාගේ නිල ෆේස් බුක් පිටුවේ මෙලෙස පළකර තිබුණා.

+++++++++++++++++++++++++++++++++++

රට තුළ ආහාර නිෂ්පාදනය කඩිනම් කිරීමට රජයෙන් නව වැඩපිළිවෙලක්

(03.04.2020 – 11:14 +0530 – hirunews.lk/sinhala)

කොරෝනා වසංගත තත්ත්වය හමුවේ අඛණ්ඩව රට තුළ ආහාර නිෂ්පාදනය කඩිනම් කිරීමේ අරමුණෙන් සෞභාග්‍යා ගෙවත්ත නමින් ගෙවතු දස ලක්ෂයක් වගා කිරිමේ වැඩසටහනක් දියත් කර තිබෙනවා.

මහවැලි, කෘෂිකර්ම, වාරිමාර්ග සහ ග්‍රාමීය සංවර්ධන අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන මෙම වැඩසටහන යටතේ බීජ වර්ග 5 කින් යුත් බීජ පැකට්ටුවක් සහ ඊට අවශ්‍ය උපදෙස් පත්‍රිකාවක් මෙන්ම එළවළු පැළ සහිත බඳුනක් ලබාදීමට කටයුතු කෙරෙනු ඇති.

මේ පිළිබඳ වැඩි විස්තර, බීජ සහ පැළ ඇණවුම් www.saubagya.lk යන වෙබ් අඩවියෙන් ලබා ගත හැකි බවයි මහවැලි, කෘෂිකර්ම, වාරිමාර්ග සහ ග්‍රාමීය සංවර්ධන අමාත්‍යාංශය සඳහන් කළේ ෴

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *