කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 150 ක් දක්වා ඉහළට

+++++++++++++++++++++++++++++++++++

= මේ පිටුවේ සිරස්තල =

• ලංකාවේ කොරෝනා ආසාදිතයින් ගණන 150 ක් දක්වා ඉහළට

• කොරෝනා ආසාදනය වී මියගිය මරදානේ පුද්ගලයාගේ අවසන් කටයුතු සිදුකෙරේ

• ඊයේ (01) මියගිය පුද්ගලයා විසූ මරදාන ප්‍රදේශයේ 2000 කට ආසන්න පිරිසක් නිරෝධායනයට (විඩියෝ)

• ඊයේ (01) මියගිය කොරෝනා රෝගියා මුලින්ම ආවේ ජ’පුර රෝහලට, අපි බුද්ධිමත්ව වැඩ කළ නිසා රෝහල බේරුණා

• තෙවැනියාගේ අවසන් කටයුතු වලට විරුද්ධව ප්‍රදේශවාසීන් සුසාන භූමි දොර වහලා – රට වන්දනාවේ ගිය බෑනා රෝයල් තෝමියන් මැච් එකටත් ගිහින් (විඩියෝ)

• ඊයේ (01) මිය ගිය Covid 19 ආසාදිතයාගේ බෑණාට සහ මුණුපුරාටත් වෛරසය ආසාදිත බව තහවුරු වෙයි

• කැළණි ගඟේ ජලයේ ගුණාත්මක බව ඉහළට

• රාමඤ්ඤ මහ නිකායේ විහාරස්ථාන වෙතට මහා නාහිමියන්ගෙන් දැනුම්දීමක්

• කොරෝනා වෛරසය මැද මැලේරියාවත් හිස ඔසවයිද ?

• විශ්‍රාම වැටුප්ලාභීන්ට ප්‍රවාහන පහසුකම් සඳහා ලංගම සහයට (විඩියෝ)

• එක රටක් , එක නීතියක් – අවසන් කටයුතු කරන ආකාරය ගැන රජයෙන් පිළිතුරක් (විඩියෝ)

• සමෘද්ධි නොලබන පවුල් 633,000 කටත් රු. 5000 දීමනාව

• අප්‍රේල් 9 වනදා රජය ආරම්භ කරන විශේෂ වැඩසටහන (විඩියෝ)

• රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයෙන් යෝජනාවක්

• දෙහිවල නැදිමාල රබර්වත්ත පාරේ පවුලටම කොරෝනා

• පාස්කු බෝම්බ ප්‍රහාරයට සම්බන්ධ වූ දෙදෙනෙකු අත්අඩංගුවට (විඩියෝ)

+++++++++++++++++++++++++++++++++++

ලංකාවේ කොරෝනා ආසාදිතයින් ගණන 150 ක් දක්වා ඉහළට

(02.04.2020 – 17:26 +0530 – sinhala.adaderana.lk)

තවත් කොවිඩ් නයින්ටීන් ආසාදිතයින් දෙදෙනෙකු හඳුනා ගැනීමත් සමඟ මෙරටින් හදුනාගත් නව කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 150 දෙනෙකු දක්වා ඉහළ ගොස් තිබේ.

අද (02) පස්වරුවේ වසංගත රෝග විද්‍යා අංශය නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ අද (02) දිනය තුළ තවත් ආසාදිතයින් දෙදෙනෙකු තහවුරු වී ඇති බවයි.

මෙම රෝගීන් දෙදෙනාම ඊයේ (01) දිනයේ මිය ගිය කොරෝනා ආසාදිතයා ලඟින් ඇසුර කළ පුද්ගලයින් බව අනාවරණය වී ඇත.

ඒ අනුව මේ වන විට ප්‍රතිකාර ලබමින් සිටින රෝගීන් සංඛ්‍යාව 126 ක් වන අතර, සුවය ලබා රෝහල්වලින් පිටත්ව ගිය සංඛ්‍යාව 21 ක් වේ.

එමෙන්ම වෛරසය ආසාදනය වීමෙන් මෙ වන විට තිදෙනෙකු මිය ගොස් ඇත ෴

+++++++++++++++++++++++++++++++++++

කොරෝනා ආසාදනය වී මියගිය මරදානේ පුද්ගලයාගේ අවසන් කටයුතු සිදුකෙරේ

(02.04.2020 – 14:27 +0530 – hirunews.lk/sinhala)

කොරෝනා වෛරසය වැළඳී මියගිය මරදාන – ඉමාමුල් අරුස් මාවතේ පදිංචි 73 හැවිරිදි පුද්ගලයාගේ අවසන් කටයුතු අද (02) දහවල් සිදු කර තිබෙනවා. ඒ කොට්කාවත්ත මුල්ලේරියාව අදාහනාගාරයේදීයි.

ආදාහනය සිදුකිරීමට පෙර ඔහුගේ ඥාතින්ට ද දේහය දැක බලා ගැනීමට අවස්ථාව ලබාදී තිබෙනවා.

අවසන් කටයුතු පොලීසිය සහ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ මැදිහත්වීමෙන් සිදුකර ඇති බවයි වාර්තා වන්නේ.

මේ වනවිට ඔහු පදිංචිව සිටි මරදාන – ඉමාමුල් අරුස් මාවතේ පිහිටි නිවාස සංකීර්ණයේ කොටසක් ද වසා දමා ඇති අතර, එහි සිටින පවුල් 230 කට අයත් පුද්ගලයින් 819 ක් ස්වයං නිරෝධායනයට යොමු කර තිබෙනවා.

මේ අතර, බගවන්තලාව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය යටතේ පාලනය වන හැටන් – පොඩයිස් වතුයායේ පවුල් 5 කට අයත් සාමාජිකයින් 20 දෙනෙකු පමණ ස්වයං නිරෝධායනයට යොමුකර ඇති බවයි හිරු වාර්තාකරු සඳහන් කළේ.

ඒ ඉන්දියාවේ සිට පැමිණි පුද්ගලයෙකු එහිදී යාච්ඥාවක් පවත්වා ඇති බවට සෞඛ්‍ය අංශ තොරතුරු අනාවරණය කර ගැනීමෙන් පසුවයි.

+++++++++++++++++++++

ඊයේ (01) මියගිය පුද්ගලයා විසූ මරදාන ප්‍රදේශයේ 2000 කට ආසන්න පිරිසක් නිරෝධායනයට

(02.04.2020 – 13:55 +0530 – sinhala.adaderana.lk)

කොවිඩ් නයින්ටීන් වෛරසය ආසාදනය වීමෙන් මෙරට තුළ මියගිය සංඛ්‍යාව තිදෙනෙකු දක්වා ඉහළගොස් තිබේ.

මේ අතර අද දිනයේදි වෛරසය ආසාදිත තවත් රෝගීන් දෙදෙනෙකු වාර්තා වීමත් සමග මෙරට තුළ වාර්තා වූ සමස්ත රෝගීන් සංඛ්‍යාව 148 ක්.

කොවිඩ් නයින්ටීන් වෛරසය ආසාදනය වීම හේතුවෙන් මෙරටදි සිදු වූ තුන්වන මරණය ඊයේ (01) රාත්‍රීයේදී අයි.ඩී.එච්. රෝහලෙන් වාර්තා විය.

එම පුද්ගලයාට කොවිඩ් නයින්ටීන් වෛරසය ආසාදනය වී ඇති බවට හදුනාගනු ලැබුවේ ද ඊයේ (01) දිනයේ යි.

රෝගී තත්ත්වය වසන් කරමින් ශ්‍රී ජයවර්ධනපුර රෝහලට ඇතුළත් වී ඇති මෙම පුද්ගලයා සම්බන්ධයෙන් සිදුකළ වෛද්‍ය පරීක්ෂණයකින් අනතුරුව ඔහුට වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වී තිබේ.

රෝගීන් මෙලෙස තොරතුරු වසන් කිරීම හේතුවෙන් ගැටලු රැසකට මුහුණදිමට සිදුවන බවයි අද දෙරණ කළ විමසීමකදී ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය රත්නසිරි හේවගේ මහතා සඳහන් කළේය.

මරදාන ගිනි නිවන හමුදා මූලස්ථානය අසල ඉමාමුල් අරූස් මාවතේ පිහිටි මහල් නිවාස සංකීර්ණයේ අදාළ පුද්ගලයා පදිංචිව සිටියේය.

හැත්තෑ තුන් හැවිරිදි මියගිය පුද්ගලයා දියවැඩියාව, අධි රුධිර පීඩනය,දීර්ඝ කාලීන වකුගඩු අඩපණ වීම ආදි රෝග තත්ත්වයන්ගෙන් පෙලී ඇති බවයි සෞඛ්‍ය අමාත්‍යංශය පවසන්නේ.

එම ආසාදිතයාගේ දියණිය,බෑණා සහ ඔවුන්ගේ දරුවන් දෙදෙනාද වෛරසය වැළදී ඇතැයි යන සැකය මත ප්‍රතිකාර සඳහා යොමු කෙරුණු බවයි මැද කොළඹ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී ධම්මික අධිකාරීවත්තගේ මහතා පවසන්නේ.

මේ අතර අදාල රෝගියා ජීවත් වූ නිවාස සංකීර්ණයේ සිටින පුද්ගලයින් දෙදහසක පමණ පිරිස ස්වයං නිරෝධායනයට යොමුකර තිබේ.

මෙම මරණයත් සමග කොවිඩ් නයින්ටින් වෛරසය හේතුවෙන් මෙරට සිදුවූ මරණ සංඛ්‍යාව 03ක් දක්වා ඉහළ ගොස් ඇත.

මාර්තු මස එකලොස්වෙනිදා සිට මේ දක්වා කාලය තුළ මෙරටින් කොවිඩ් නයින්ටීන් වෛරසය අසාදිත වූ රෝගීන් 148 දෙනෙකු වාර්තා වී තිබේ.

ඉන් 21 දෙනෙකු සම්පූර්ණයෙන්ම සුවය ලබා රෝහලෙන් පිටව ගොස් ඇති අතර රෝහල්ගතව ප්‍රතිකාර ලබන සංඛ්‍යාව 124 ක්.

https://www.youtube.com/watch?v=ZBOMUmw94XU

+++++++++++++++++++++

ඊයේ (01) මියගිය කොරෝනා රෝගියා මුලින්ම ආවේ ජ’පුර රෝහලට, අපි බුද්ධිමත්ව වැඩ කළ නිසා රෝහල බේරුණා

(02.04.2020 – webgossip.lk)

“අයි.ඩී.එච්. රෝහලේදී මියගිය කොරෝනා ආසාදිත රෝගියා මුලින්ම ශ්‍රී ජයවර්ධනපුර මහ රෝහලට ආවේ වෙනත් රෝගාබාධයක් ගැන කියමින්. කොහොම වුනත් අපේ රෝහල් කාර්ය මණ්ඩලය ඉතා බුද්ධිමත්ව කටයුතු කරපු නිසා එම රෝගියාට නිරාවරණය වුනේ නැහැ……” යැයි එම රෝහල් අධ්‍යක්ෂ වෛද්‍ය රත්නසිරි හේවගේ මහතා පැවැසීය.

කොරෝනා ආසාදිතව රෝහලට පැමිණි 72 හැවිරිදි මරදාන පදිංචිව සිටි පුද්ගලයකු මරුමුවට පත්වීම සම්බන්ධයෙන් අද (02 වැනිදා)උදේ ඒ මහතාගෙන් විමසා සිටි අවස්ථාවේ ඔහු එසේ කියා සිටියේය.

මෙහිදී තවදුරටත් කතා කළ ඒ මහතා මෙසේද කියා සිටියේය :

“මේ රෝගියා ඊයේ (01 වැනිදා) දහවල් අපේ ජයවර්ධනපුර රෝහලට ආවේ වෙනත් රෝගයක් සදහා ප්‍රතිකාර ගන්න ආ බව කියමින්. නමුත් අපේ කාර්ය මණ්ඩලය ඉතා බුද්ධිමත්ව ඔහුව කෙලින්ම රෝහලේ ස්ථාපනය කරලා තියෙන විශේෂ නිරීක්ෂණ වාට්ටුවට ඇතුලත් කර තිබෙනවා. මේ වෙලාවේ අපේ කාර්ය මණ්ඩලය විශේෂ ඇදුම් කට්ටලවලින් සැරසී ඉදගෙනයි ඒ කටයුතු සියල්ලක්ම කරලා තිබෙන්නේ.

මෙම රෝගියා මුස්ලිම් ජාතිකයෙක්.

පසුව ඔහුගේ රුධිර සාම්පල පරීක්ෂා කිරීමේදී පොසිටිව් වුනා. මේ නිසා අපි ඔහුව අංගොඩ අයි.ඩී.එච්.රෝහලට මාරුකර යවන්න පියවර ගත්තා. රෝහලට ඇතුලත් කරන අවස්ථාවේ ඔහු මියගොස් තිබෙනවා. අපේ කාර්ය මණ්ඩලය ඔහුට නිරාවරණය නොවී කටයුතු කිරීම නිසා ගැටලුවක් ඇතිවුණේ නැහැ. මේ පුද්ගලයා මරදානේ ඉදලා කෙලින්ම මේ රෝහලට ආවේ ඇයි කියලා දන්නේ නැහැ. කොහොම වුනත් අපේ රෝහල් කාර්ය මණ්ඩලය මේ වෙලාවේ බුද්ධිමත්ව කටයුතු කිරීම සම්බන්ධයෙන් ඔවුන්ට මගේ ස්තුතිය පුදකරනවා. කොහොම වුනත් රට තුල මේ පවතින තත්වය හමුවේ මොනම රෝහලකට ගියත් රෝගීන් ඇත්ත කියන එක වටිනවා.”

– ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන්

+++++++++++++++++++++

තෙවැනියාගේ අවසන් කටයුතු වලට විරුද්ධව ප්‍රදේශවාසීන් සුසාන භූමි දොර වහලා – රට වන්දනාවේ ගිය බෑනා රෝයල් තෝමියන් මැච් එකටත් ගිහින්

(02.04.2020 – gossiplankanews.com)

ඊයේ (01) රාත්‍රියේ සිදුවූ කොරෝනා ආසාදිත පුද්ගලයාගේ මරණයට පෙර හා පසු සිදුවීම් ගණනාවක් ගැන තොරතුරු මේ වනවිට වාර්තාවී තිබේ. මියගිය අයගේ අවසන් කටයුතු වලට සුසාන භූමි දෙකක ප්‍රදේශවාසීන්ගේ විරෝධතා පැනනැගීමේ සිදුවීම්ද වාර්තාවේ.

මරදානේ ආර්නොල්ඩ් රත්නායක මාවතට යාවූ ඉමාමුල් අරුස් මාවතේ තට්ටු නිවාසයක පදිචිව සිටි මියගිය පුද්ගලයාට කොරෝනා රෝගය ධනාත්මකවූ අවසන් මොහොතේ අයිඩීඑච් රෝහලට ඇතුළත් කරන විටත් මියගොස් තිබුණි.

ඒ අනුව අයිඩීඑච් රෝහලට ආසන්න සුසාන භූමි දෙක වන මුල්ලේරියාව උඩුමුල්ල පොදු සුසාන භූමිය හෝ කොටිකාවත්ත සුසාන භූමියේදී අවසන් කටයුතු කරන්නට සූදානමක් තිබුණි. මුස්ලිම් ජාතිකයෙකුවූ නිසා ඔහුට ආගමානුකූලව වැළලීමට අවසර දිය හැකිවූයේ ජාත්‍යන්තර නිරෝධායන නීති රෙගුලාසිවලට යටත්වයි. එහිදී අඩි 8 කට වැඩි ගැඹුරක් යුතු වළක එය සිදු කළ යුතුවන්නේ විෂබීජ පිටතට ඒම වැළැක්වීමටය.

මියගිය අය ආදාහනය කරන්නේ නම් මින් පෙර දෙන්නාට සිදු කළයුතු ආකාරයට ආරක්ෂිත ක්‍රමවේදයක් මත එය සිදු කළයුතුව තිබුණි.

එහෙත් උඩුමුල්ල සුසාන භූමියේ මෙන්ම කොටිකාවත්ත සුසාන භූමියේද මෙම පුද්ගලයාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු සිදු කිරීමට ප්‍රදේශවාසීන් අකමැත්ත පළකර තිබෙයි. අවසන් කටයුතු කරන්නට දේහය රැගෙන යනවිට ප්‍රදේශ වාසීන් මැදිහත්වී සුසාන භූමිවල ගේට්ටු වසා දමා තිබීම හේතුවෙන් සෞඛ්‍ය අංශ දැඩි අපහසුතාවට ලක්වු බවද වාර්තාවේ.‍

කොරෝනා රෝගියෙකුගේ දේහය පිළිබඳ අවසන් කටයුතු ඉහත ආකාරයට සිදු කිරීම මඟින් රෝගය බෝ වන්නේ නැති බව සෞඛ්‍ය අංශ පෙන්වාදී ඇත.

මියගිය 72 හැවිරිදි පුද්ගලයාට දියවැඩියාව, අධික රුධිර පීඩනය, දීර්ඝ කාලීන වකුගඩු අඩපන වීම ආදී රෝග තිබූ අතර ඔහුට කොරෝනා ආසාදනය වන්නට ඇත්තේ එම නිවසේ වාසය කරන, විදේශ වන්දනාගමනක ගොස් පැමිණි බෑනාගෙන් බවට විශ්වාස කෙරේ.

කෙසේ වෙතත් තම බෑනා රට ගොස් ආ බව ප්‍රතිකාර ගන්නට ගිය සෑම අවස්ථාවකම ඔහු සගවා තිබේ. මීට දින 10 කට පෙර ඔහුගේ නිවසට ආසන්නයේම තිබෙන කොළඹ ජාතික රෝහලෙන්ද ඔහු ප්‍රතිකාර ලබා ඇති බව දැන් හෙළිව තිබෙන අතර ඊට පසු නිවසට ආසන්න ඩිස්පැන්සරියකින්ද ප්‍රතිකාර ලබාගෙන ඇත. මියගිය දිනයේ ඔහු ශ්‍රී ජයවර්ධනපුර රෝහලට ගිය පසු කොරෝනා පරීක්ෂණය සඳහා යොමු කරන ලද අතර ඒ වනවිට ඔහු දැඩි අසාධ්‍ය තත්වයට පත්ව සිටි බව කියැවේ. ඔහු අයිඩීඑච් රෝහලට මාරු කරද්දී මියගියේය.

ඔහුට රෝගය වැළඳෙන්නට ඇත්තේ බෑනාගෙනි.

විදේශගත වන්දනාවක නිරතව සිටි බෑනා පසුගිය පෙබරවාරි මාසයේ 28 වනදා ලංකාවට පැමිණ ඇති අතර අනතුරුව රාජකීය – ශාන්ත තෝමස් ක්‍රිකට් තරගය නරඹන්නට ගොස් තිබෙන බවද කියැවේ.

ඊයේ (01) මියගිය තැනැත්තා කොරෝනා ආසාදිතයෙකු බව දැනගත් පසු මේ කියන බෑනා හා ඔහුගේ බිරියත් දරු දෙන්නාත් කොරෝනා පරීක්ෂණය සඳහා රෝහල් ගත කර ඇත.

රෝහල් ගත කරන්නට ඔවුන් ගිලන් රථයකින් රැගෙන යන අවස්ථාව නිවාස සංකීර්ණයේ ඉහළ මාලයේ සිටි අය වීඩියෝ ගත කර තිබුණි.

රෝගියා ජීවත්වූ මරදාන ඉමාමුල් අරුස්මාවත මේ වන විට වසා දමා තිබෙයි. ප්‍රදේශයේ පවුල් 230 ක 819 දෙනෙකු නිරෝධායනයට යොමු කර ඇති බව සෞඛ්‍ය අංශ දන්වා ඇත.

මෙම පුද්ගලයාගේ ආදාහන කටයුතු අවසානයේ කොටිකාවත්ත පොදු සුසාන භූමියේදී සිදු විය.

+++++++++++++++++++++

ඊයේ (01) මිය ගිය Covid 19 ආසාදිතයාගේ බෑණාට සහ මුණුපුරාටත් වෛරසය ආසාදිත බව තහවුරු වෙයි

(02.04.2020 – 17:55 +0530 – sinhala.adaderana.lk)

කොවිඩ් 19 වෛරසය ආසාදනයෙන් ඊයේ (01) මියගිය පුද්ගලයාගේ බෑණාට සහ මුණුපුරාටද වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වී ඇති බව සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය පවසයි.

කොවිඩ් 19 වෛරසය ආසාදනයෙන් ඊයේ (01) මියගිය පුද්ගලයා ඇසුරු කළ 300 දෙනෙකු නිරෝධායනය සඳහා පූනානි කඳවුර වෙත යොමුකර ඇති බව යුද හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි ෴

***************************************

කැළණි ගඟේ ජලයේ ගුණාත්මක බව ඉහළට

(02.04.2020 – 14:19 +0530 – hirunews.lk/sinhala)

කැළණි ගඟේ ජලයේ ගුණාත්මක බව ඉහළ මට්ටමක පවතින බව මධ්‍යම පරිසර අධිකාරිය පවසනවා. නිවේදනයක් නිකුත් කරමින් එහි සභාපති එස්. අමරසිංහ මහතා සඳහන් කළේ.

රටේ පවතින තත්ත්වයත් සමඟ කැළණි ගඟ අවට සියලුම කර්මාන්තශාලා වසා දැමීම නිසා ඒවායෙන් ගඟට මුදාහරින අපද්‍රව්‍ය අවම වීම මෙලෙස ජලයේ ගුණාත්මක බව ඉහළ යාමට හේතු වී ඇති බවයි.

ඊයේ (01) දිනයේදී කැළණි ගඟේ ගුණාත්මකභාවය පරීක්ෂා කිරීම සඳහා කඩුවෙල පාලම, කළුවැල පාලම ඇතුලු ස්ථාන කිහිපයකින් ජල සාම්පල ලබාගෙන රසායනාගාර පරීක්ෂණ සිදු කර තිබෙනවා ෴

***************************************

රාමඤ්ඤ මහ නිකායේ විහාරස්ථාන වෙතට මහා නාහිමියන්ගෙන් දැනුම්දීමක්

(02.04.2020 – 14:16 +0530 – hirunews.lk/sinhala)

තම නිකායට අයත් විහාරස්ථාන හා ආරණ්‍ය සේනාසනවල රතන සූත්‍රය සජ්ඡායනය කර රටට ආශිර්වාද කරන ලෙසට රාමඤ්ඤ මහා නිකායේ මහනායක අතිපූජ්‍ය අග්ගමහා පණ්ඩිත නාපානේ පේමසිරි නාහිමියන් ඉල්ලීමක් කර තිබෙනවා.

කොරෝනා වෛරසය පැතිරයාමත් සමඟ රට තුළ උද්ගතවී ඇති තත්වය හේතුවෙන් මහ නාහිමියන් මෙම ඉල්ලීම කර ඇති අතර, ඒ අනුව මේ මස 07 වනදා පෙරවරු හතේ (07:00) සිට පස්වරු හය (06:00) දක්වා ලක්ෂ වාරයකට වඩා රතන සූත්‍රය සජ්ඡායනා කර රටට ආශිර්වාද කරන ලෙසයි දැනුම් දී ඇත්තේ.

රාමඤ්ඤ මහා නිකාය යටතේ විහාරස්ථාන 2,000 ක් සහ ආරණ්‍ය සේනාසන 265 ක් පවතිනවා ෴

***************************************

කොරෝනා වෛරසය මැද මැලේරියාවත් හිස ඔසවයිද ?

(02.04.2020 – 13:11 +0530 – hirunews.lk/sinhala)

ශ්‍රී ලංකාව මැලේරියා රෝගය තුරන් කළ රටක් ලෙස ප්‍රසිද්ධියට පත් වුවද මැලේරියා රෝගය වැළඳුණු රෝගියෙකු කල්පිටිය ප්‍රදේශයෙන් වාර්තා වී තිබෙනවා.

මෙලෙස මැලේරියා රෝගයට ගොදුරුව ඇත්තේ 21 හැවිරිදි කල්පිටිය, නොරොච්චෝලේ, ආලංකුඩාව ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙක්.

ජාතික මැලේරියා මර්දන ව්‍යාපාරයේ අධ්‍යක්‍ෂ වෛද්‍ය ප්‍රසාද් රණවීර මහතා කියා සිටියේ පසුගිය මස 14 වනදා එම පුද්ගලයා අප්‍රිකානු රටක් වන කෙන්යාවේ සංචාරයක නිරතව මෙරටට පැමිණ දින 14ක් නිවස තුළම ස්වයං නිරෝධායනයට ලක්ව ඇති බවයි.

නිරෝධායනයට ලක්ව දින 3 කට පසුව උණ රෝගී තත්ත්වයක් හේතුවෙන් මොහු මැලේරියා පරීක්ෂණයකට ලක් කර තිබෙනවා. ඒ අනුව මොහුට මැලේරියාව වැලදී ඇති බව ඊයේ (01) තහවුරු වුණා.

මොහු මේ වනවිට පුත්තලම මූලික රෝහලේ ප්‍රතිකාර ලබනවා.

1986 වසරෙන් පසුව මෙරට මැලේරියා රෝගියෙකු වාර්තා නොවුණ පසුබිමක් පැවතියද මේ වසරේ පළමු වරට මැලේරියා රෝගියෙකු වාර්තා වන්නේ මහනුවර ප්‍රදේශයෙන්.

මෙම තත්ත්වය මත විදේශයන් හි සිට මෙරටට පැමිණි පුද්ගලයින් කොරෝනා වෛරස් පරීක්ෂණයට මෙන්ම මැලේරියා පරීක්ෂණයටද යොමුකිරීම වැදගත් බවයි ජාතික මැලේරියා මර්දන ව්‍යාපාරයේ අධ්‍යක්‍ෂ වෛද්‍ය ප්‍රසාද් රණවීර මහතා කියා සිටියේ ෴

***************************************

විශ්‍රාම වැටුප්ලාභීන්ට ප්‍රවාහන පහසුකම් සඳහා ලංගම සහයට

(02.04.2020 – 13:04 +0530 – hirunews.lk/sinhala)

විශ්‍රාම වැටුප්ලාභීන්ට තම විශ්‍රාම වැටුප ලබා ගැනීම සඳහා රාජ්‍ය සහ පෞද්ගලික බැංකු වෙත පැමිණීමට නොමිලේ ලංගම බස් රථ යොදවා තිබෙන අයුරු දක්නට ලැබුණා.

රාජ්‍ය සහ පෞද්ගලික බැංකු විසින් අද (02) දින විශ්‍රාම වැටුප් ගෙවීම් සිදු කළ අතර තමන් පදිංචි වසමේ ග්‍රාම නිලධාරිවරයාගේ අධීක්ෂණය යටතේ යුද හමුදාවේ ආරක්ෂාව මධ්‍යයේ විශ්‍රාමික ප්‍රතිලාභීන් බැංකු වෙත රැගෙනවිත් ඔවුන් ඒවා ලබා ගැනීමෙන් අනතුරුව යලිත් නිවෙස්වලට යාමට කටයුතු සලස්වා තිබුණා.

විශ්‍රාමිකයන්ට අද (02), හෙට (03) සහ මේ මස 06 වනදා (සඳුදා) විශ්‍රාම වැටුප් ගෙවන බවට රජය මීට පෙර ප්‍රකාශ කර තිබූ අතර ඔවුන් දැනුම් දුන්නේ තැපැල් කාර්යාලවලින් විශ්‍රාම වැටුප් ලබා ගන්නා විශ්‍රාමිකයන්ට ඒ වෙත පැමිණීමට අවශ්‍ය නොවන බවයි.

ඒ වෙනුවට ඔවුන්ගේ නිවෙස්වලට හෝ ග්‍රාමසේවක වසම් තුළට තැපැල් දෙපාර්තමේන්තුව මඟින් විශ්‍රාම වැටුල් ගෙනවිත් භාර දෙන බවද රජය මීට පෙර නිවේදනය කළා.

මේ අතර විශ්‍රාම වැටුප ලබාදීමට සමගාමීව ඔවුන්ට අවශ්‍ය ඖෂධ මිලදී ගැනීමට මෙම දින තුන ඖෂධ අලෙවිසැල් විවෘත කිරීමට ද රජය ගත් තීරණයට අනුව දිවයිනේ බොහෝ ප්‍රදේශවල රජය සහ පෞද්ගලික ඔසුසල් ද විවෘත කර තිබුණා.

මේ සඳහා ගමන් කිරීමේදී විශ්‍රාමිකයන්ට ඔවුන්ගේ විශ්‍රාමික හැඳුනුම්පත, ඇඳිරි නීති බලපත්‍රය ලෙස භාවිත කළ හැකි බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී ජාලිය සේනාරත්න මහතා ප්‍රකාශ කළේ.

+++++++++++++++++++++++++++++++++++

එක රටක් , එක නීතියක් – අවසන් කටයුතු කරන ආකාරය ගැන රජයෙන් පිළිතුරක්

(02.04.2020 – 12:08 +0530 – hirunews.lk/sinhala)

සැමට එක රටක් එක නීතියක් යන තේමාව යටතේ ජනාධිපතිවරයා කටයුතු කරනු ඇති බව අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා ප්‍රකාශ කළා.

පුද්ගලිකව යම් අයෙකු අකමැති වුවත්, ලෝක සෞඛ්‍ය සංවිධානයට අනුව සෞඛ්‍ය බලධාරීන් ගනු ලබන තීරණවලට එකඟවිය යුතු බවයි ඔහු සඳහන් කළේ .

ඔහු මේ බව කියා සිටියේ, කොරෝනා හේතුවෙන් මියගිය ඇතැම් පුද්ගලයන්ගේ අවසන් කටයුතු, සිදු කරණ ක්‍රමය ගැන ඇතැම් දේශපාලකයන් හා පුද්ගලයන් මතු කරන ප්‍රශ්න පිළිබඳ, මාධ්‍යවේදියෙකු කැබිනට් තීරණ දැනුම් දීමේ අද (02) පැවති මාධ්‍ය හමුවේදී විමසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින්.

ලෝක සෞඛ්‍ය සංවිධනයේ හා සෞඛ්‍ය බලධාරීන්ගේ උපදෙස් පරිදි , නීතියට ගරු කරමින් සෑම කෙනෙක්ම කටයුතු කළ යුතු බවත් සැමටම වටිනා ජිවිතයක් මෙන්ම ගෞරවනීය මරණයක් අත්විය යුතු බවත් ඇමතිවරයා සඳහන් කළා.

+++++++++++++++++++++++++++++++++++

සමෘද්ධි නොලබන පවුල් 633,000 කටත් රු. 5000 දීමනාව

(02.04.2020 – 10:53 +0530 – hirunews.lk/sinhala)

සමෘද්ධි ප්‍රතිලාභ ලබන ජනතාවට රු. 5000 දීමනාව ලබාදීම ක්‍රියාත්මක වන අතර එම ප්‍රතිලාභ නොලබන පොරොත්තු ලේඛනයේ සිටින 633,000 කට අධික පවුල් සංඛ්‍යාවකට රු. 5000 දීමනාව ලබාදෙන බව සමෘද්ධි අධ්‍යක්ෂ ජනරාල්වරයා කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී පැවසුවා ෴

+++++++++++++++++++++++++++++++++++

අප්‍රේල් 9 වනදා රජය ආරම්භ කරන විශේෂ වැඩසටහන

(02.04.2020 – 10:37 +0530 – hirunews.lk/sinhala)

වගා කටයුතු සඳහා, මේ මස 9 වනදා විශේෂ වැඩසටහනක් ලෙස කුඩා හා විශාල පරිමාණයෙන් වගා කටයුතු ආරම්භ කිරීම සඳහා රජය විසින් ජනතාව වෙත බීජ ලබාදීමට කැබිනට් රැස්වීමේදී තීරණය කර තිබෙනවා.

ශ්‍රී ලංකාව දේශීය කෘෂිකර්මාන්තයෙන් ස්වයංපෝෂිත ආර්ථිකයක් කරා ගෙන යාමයි එහි අරමුණ වන්නේ.

ලෝක සෞඛ්‍ය සංවිධානයේ අනුදැනුම යටතේ කොරෝනා වෛරසය සම්බන්ධයෙන් සිදුකෙරෙන පරීක්ෂණ කටයුතු සඳහා විශාල පිරිසක් යෙදවීමටද රජය තීරණය කර තිබෙනවා.

මේ අතර, ඖෂධ සහ ඉන්ධන හැර අනෙකුත් අත්‍යාවශ්‍ය නොවන ද්‍රව්‍ය ඉදිරියේදී ආනයනය කිරීම සීමා කිරීමට සහ තහනම් කිරීමට රජය තීරණය කර ඇති බව සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා ප්‍රකාශ කළා.

ඔහු මේ බව කියා සිටියේ කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී අද (02) පෙරවරුවේ එක්වෙමින්.

+++++++++++++++++++++

+++++++++++++++++++++++++++++++++++

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයෙන් යෝජනාවක්

(02.04.2020 – 07:58 +0530 – hirunews.lk/sinhala)

කොරෝනා වෛරසය පාලනය සඳහා නිසි ක්‍රියාමාර්ග නොගතහොත් එක් පුද්ගලයෙකුගෙන් මසක් ඇතුළත තවත් 406 දෙනෙකුට පැතිරීමේ අවදානමක් පවතින බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසනවා.

ඔවුන් නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ රෝගීන් සියයට විස්සකට රෝග ලක්ෂණ මතු නොවන අතර, තවත් සියයට 60 කට ඉතා මද වශයෙන් රෝග ලක්ෂණ ඇතිවන බවයි.

එබැවින් සැබෑ වශයෙන්ම කොරෝනා වෛරසය වැළඳී රෝගය අන් අයට සම්ප්‍රේෂණය කරන පිරිසගෙන් සියයට 80 ක්ම රෝගය පතුරුවන බවට සොයාගැනීමට අපහසු කාණ්ඩයට අයත් බවද එහි සඳහන්.

එබැවින් ශ්‍රී ලංකාව තුළ කොරෝනා වෛරසයට මුහුණදීමේ ක්‍රමවේද කිහිපයක් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය යෝජනා කරනවා.

ඒ අනුව පුද්ගල සංචාරණ සීමා සියයට 80 ක මට්ටමක පවත්වා ගෙන යාම, පරීක්ෂණ පහසුකම් වැඩි කිරීම, රෝග ප්‍රතිකාර කටයුතු සඳහා වෙන්වූ සුවිශේෂී රෝහල් ආරම්භ කිරීම එම යෝජනා අතර වනවා.

එමෙන්ම කොරෝනා රෝගීන් සඳහා විශේෂ රෝහලක් වෙන් කරන්නේ නම් ඇඳන් 700 කින් යුත් නවීනතම පහසුකම් වලින් සමන්විත රෝහලක් වන කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයට අනුබද්ධ රෝහල ඊට වඩා සුදුසු බවයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පෙන්වා දෙන්නේ ෴

+++++++++++++++++++++++++++++++++++

දෙහිවල නැදිමාල රබර්වත්ත පාරේ පවුලටම කොරෝනා

(02.04.2020 – gossiplankanews.com)

පසුගියදා කළුබෝවිල දකුණු කොළඹ රෝහලේදී වැලඳී ඇති රෝගය පිළිබඳව වසන්කරමින් සිටියදී කොරෝනා ආසාදිත බවට හඳනාගත් සංචාරක මඟ පෙන්වන්න පුද්ගලයාගේ පවුලේ අයටද කොරෝනා රෝගය වැළඳී ඇති බව අද සොයාගෙන තිබේ.

දෙහිවල, නැදිමාල, රබර්වත්ත පාර, අරුණාලෝක මාවත ප්‍රදේශයේ පදිංචිව සිටි මෙම පුද්ගලයාට ඕස්ට්‍රේලියාවේ සිට පැමිණි සංචාරකයන් ඇසුරුකිරීමෙන් මෙම වයිරසය බෝවන්නට ඇතැයි සැක පළවී තිබුණි. මොහුට රෝගය වැළඳණ පසු පවුලේ අය පරීක්ෂා කෙරුණ අතර පුද්ගලයාගේ බිරියට සහ බෑනාටත් කොවිඩ්-19 වැලඳී ඇතැයි හඳුනාගෙන තිබේ.

එම දෙදෙනාද අංගොඩ අයි.ඩී.එච්. රෝහලට ඇතුළත් කළ බව දෙහිවල මහජන සෞඛ්‍ය පරීක්ෂක කාර්යාලය පවසයි.

සංචාරක මඟ පෙන්වන්නකුවූ එම රෝගියා තම බිරිය, දුව, පුතා සහ දුවගේ සැමියා සමග නැදිමාල නිවෙසේ පදිංචිව සිට ඇත.

විදෙස්ගතව සිටින තම පුත්‍රයාගේ හිතවත් ඕස්ට්‍රේලියාවේ පදිංචි යුවළක් ශ්‍රී ලංකාවේ සංචාරයකට පැමිණ සිටියදී අත්තිඩිය, පැරකුම්බා මාවත ප්‍රදේශයේ පිහිටි රෝගීවූ පුද්ගලයාගේ පුතාට අයත් නිවෙසක මාර්තු 14 වැනි දින සිට නවාතැන් ගෙන සිට ඇත.

රෝගියා විටින් විට දෙහිවල, නැදිමාල, රත්මලාන, කරගම්පිටිය වැනි ප්‍රදේශයන් කරා ගමන් කර ඇති බවත් නැදිමාලේ පදිංචි නෑ හිතමිතුරන් පිරිසක් සමඟ කරගම්පිටිය ප්‍රදේශයේ පිහිටි ස්ථානයක සංග්‍රහයක් සඳහා ද සහභාගි වී ඇති බවට තොරතුරු අනාවරණය වී ඇත.

මෙම සිද්ධිය සැලවීමත් සමඟ දෙහිවල පොලිසියේ ස්ථානාධිපතිවරයා ඇතුළු නිලධාරීන් හා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් මෙන්ම දෙහිවල ගල්කිස්ස මහනගර සභාවේ නිලධාරීන් විසින් මෙම රෝගීන් හඳුනාගත් නැදිමාල අරුණාලෝක මාවත ප්‍රදේශයේ පිහිටි නිවෙස මුද්‍රා තබා සියලුම ආරක්ෂිත ක්‍රමවේද භාවිත කරමින් එම නිවෙස හා ඒ අවට විසබීජානුහරණය කළබවත් එම නිවෙසේ පදිංචිව සිටි වයිරසය ආසාදිත පුද්ගලයාගේ දියණිය සහ පුතා දින 14 ක නිරෝධායන ක්‍රියාවලියට යොමු කර ඇති බවත් දෙහිවල පොලිසිය සඳහන් කළේය ෴

***************************************

පාස්කු බෝම්බ ප්‍රහාරයට සම්බන්ධ වූ දෙදෙනෙකු අත්අඩංගුවට

(02.04.2020 – 16:57 +0530 – hirunews.lk/sinhala)

පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරයට සම්බන්ධ වූ පුද්ගලයින් දෙදෙනෙකු ගොතටුව සහ මට්ටක්කුලිය යන ප්‍රදේශවලදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි ජාලිය සේනාරත්න මහතා ප්‍රකාශ කළේ සිනමන් ග්‍රෑන්ඩ් බෝම්බකරුට සහය දැක්වූ පුද්ගලයෙකු ගොතටුව සහ කොච්චිකඩේ ශාන්ත අන්තෝනි දේවස්ථානයට බෝම්බ ප්‍රහාරය එල්ල කළ පුද්ගලයාට සහය දැක්වූ පුද්ගලයෙකු මට්ටක්කුලිය ප්‍රදේශයේදී මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති බවයි ෴

+++++++++++++++++++++

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *