අද (20) හවස සිට සඳුදා (23) උදෑසන දක්වා මුළු දිවයිනටම ඇඳිරි නීතිය

+++++++++++++++++++++++++++++++++++

= මේ පිටුවේ සිරස්තල =

• අද (20) හවස සිට සඳුදා (23) උදෑසන දක්වා මුළු දිවයිනටම ඇඳිරි නීතිය (විඩියෝ)

• දුම් බොන අයට රෝගය වැළදීමේ හැකියාව ඉතා ඉහළයි – GMOA

• නාත්තණ්ඩියේ පවුලක් ස්වයං නිරෝධායනයෙන් පසුව සමාජයට (විඩියෝ)

• මධ්‍යස්ථාන 17 ක පුද්ගලයින් 2463 ක් නිරෝධායනයට – විදේශිකයින් 27 ක් ඒ අතර

• කොරෝනා මරණ 10,000 ඉක්මවයි – සෑම මිනිත්තු 10 කට වරක් ඉරානයෙත් මරණයක්

• “නව කොරෝනා වයිරසයෙන් මිලියන ගණනක් මිය යන්න පුළුවන්” – එක්සත් ජාතීන්ගේ මහලේකම්

• මත්තල රාජපක්ෂ අන්තර්ජාතික ගුවන්තොටුපොළේ ආරක්ෂාවට ගුවන් කඳවුරක්

• කොවිඩ් නිසා ලේ හිගයක් – රුධිර සංචිත සීඝ්‍රයෙන් පහතට ප්‍රමාණවත් දින 2 කට පමණයි

• අපේක්ෂා රෝහලට එන්න එපා

• මෙරටින් හමුවූ කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 65 දක්වා ඉහළට (විඩියෝ)

• කොරෝනා ආසාදිතයින් වැඩිම පිරිස ගම්පහ දිස්ත්‍රික්කයෙන්

• කොරෝනාවලට ශ්‍රී ලංකාවෙන් සොයාගත් බෙහෙත (විඩියෝ)

• ඉතාලියෙන් ඇවිත් කොරෝනා බෝ කරපු ශ්‍රී ලාංකිකයන්ගේ සැබෑ පැටිකිරිය හෙළිවෙයි..! (විඩියෝ)

+++++++++++++++++++++++++++++++++++

අද (20) හවස සිට සඳුදා (23) උදෑසන දක්වා මුළු දිවයිනටම ඇඳිරි නීතිය

(20.03.2020 – 09:12 +0530 – sinhala.adaderana.lk)

අද (20) පස්වරු 06:00 සිට ලබන සඳුදා (23) පෙරවරු 06:00 දක්වා මුළු දිවයිනටම බලපැවැත්වෙන පරිදි ඇඳිරි නීතිය පනවා තිබේ.

ජනාධිපති කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් මේ බව නිවේදනය කළේය.

මේ අතර පුත්තලම පොලිස් කොට්ඨාසයේ, හලාවත පොලිස් කොට්ඨාසයේ හා මීගමුව පොලිස් කොට්ඨාසයේ කොච්චිකඩේ පොලිස් වසමට පැනවු පොලිස් ඇඳිරි නීතිය තාවකාලිකව ඉවත් කර තිබේ.

ඒ අනුව පුත්තලම, ආනමඩුව, කල්පිටිය, කරුවලගස්වැව, මුන්දලම, නවගත්තේගම, පල්ලම, වනාතවිල්ලුව, උඩප්පුව, නොරොච්චෝලේ, සාලිය වැව , හලාවත, දංකොටුව, කොස්වත්ත, මාදම්පේ, මාරවිල, වෙන්නප්පුව, ආරච්චිකට්ටුටන හා කොච්චිකඩේ පොලිස් වසමට ඇඳිරි නීතිය තාවකාලිකව ඉවත් කරයි.

ජා ඇල සහ වත්තල යන පොලිස් වසමේවලටත් බලපැවැත් වෙන පිරිදි පනවා තිබු පොලිස් ඇඳරි නීතිය අද (20) දින උදෑසන 9 ට තාවකාලිව ඉවත් කර නැවත අද දින දහවල් 12 ට නැවත දැනුම් දෙන තුරු ඉහත පොලිස් වසම් සියල්ලටම බලපැවැත් වෙන ලෙස ක්‍රියාත්මක කරන බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය නිවේදනය කරයි.

ඇඳිරි නිතිය බලපැවැත්වෙන ප්‍රදේශ හරහා ගමන් ගන්නා පොදු ප්‍රවාහන සේවා හා අත්‍යාවශ්‍ය සේවා කටයුතු සිදු කිරීමට හැක.

+++++++++++++++++++++++++++++++++++

දුම් බොන අයට රෝගය වැළදීමේ හැකියාව ඉතා ඉහළයි – GMOA

(20.03.2020 – 10:04 +0530 – sinhala.adaderana.lk)

කොරෝනා වෛරසය ව්‍යාප්තවිමට දුම්පානය ප්‍රධාන හේතුවක් වන බව රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය පවසයි.

එම සංගමයේ ලේකම් වෛද්‍ය හරිත අලුත්ගේ මහතා කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් මේ බව සඳහන් කළේය.

මෙහිදී අදහස් දැක්වු වෛද්‍යවරයා පවසා සිටියේ, මෙම තත්ත්වය පිළිබඳ දිගින් දිගටම රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය දැනුවත් කළ බවයි.

පවතින නීතිය ප්‍රමාණවත් නොමැති නම් නීතියක් අලුතින් නිර්මාණය කර හෝ රට තුළ හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කළ යුතු බවත් පැවසු ඒ මහතා, ගැසට් නිවේදනයක් මඟින් මේ බව නීතියක් බවට පත් කරන ලෙසත් පැවසීය.

මේ අතර, දුම්පානය වෛරසය ව්‍යාප්තියට ඍජු බලපෑමක් බවත් පැවසු වෛද්‍යවරයා, දුම්වැටි අලෙවිය ඉතා අවධානම් සහගත කටයුත්තක් බවත් කියා සිටියේය.

දුම් පානය කරන පුද්ගලයින්ට රෝගය වැළදීමේ ප්‍රතිශතය ඉතා ඉහළ බවත් පැවසු වෛද්‍ය හරිත අලුත්ගේ මහතා, කරුණාකර ජීවිතයට ආදරේ නම් දුම් පානය වහාම නතර කළ යුතු බවත් පැවසීය ෴

+++++++++++++++++++++++++++++++++++

නාත්තණ්ඩියේ පවුලක් ස්වයං නිරෝධායනයෙන් පසුව සමාජයට

(20.03.2020 – 08:38 +0530 – sinhala.adaderana.lk)

ඉකුත් 3 වැනිදා ඉතාලියේ සිට පැමිණ නාත්තන්ඩියේ පදිංචිව සිටි කාන්තාවක් ඇතුළු ඇයගේ පවුලේ සාමාජිකයින් ස්වංනිරෝධායනය කිරීමෙන් පසුව සමාජ ගත කර තිබේ.

දින 15 ක් ස්වංනිරෝධායනයට ලක්විමෙන් පසු ඔවුන් මෙලෙස ඊයේ (19) පස්වරුවේ සමාජගත කිරිම සිදු කෙරුණි.

ඊට අදාළ වෛද්‍ය සහිතකය නිකුත් කිරිම හා ප්‍රදේශයේ ජනතාව දැනුවත් කිරීම ඊයේ (19) සිදු කරනු ලැබීය.

ඒ අනුව ඔවුන්ගේ නිවස ඉදිරිපිට එම සහතිකය ප්‍රදර්ශනය කරන බවත් මින් ඉදිරියට ඔවුන්ට පරිසමින් ජීවත් වෙන ලෙසත් සෞඛ්‍ය බලධාරීන් විසින් දන්වනු ලැබීය.

+++++++++++++++++++++++++++++++++++

මධ්‍යස්ථාන 17 ක පුද්ගලයින් 2463 ක් නිරෝධායනයට – විදේශිකයින් 27 ක් ඒ අතර

(20.03.2020 – 07:51 +0530 – sinhala.adaderana.lk)

මේ වන විට නිරෝධායන මධ්‍යස්ථාන 17 ක් තුළ පුද්ගලයින් 2463 දෙනෙකු නිරෝධනයට ලක්වන බව කොවිඩ් නයින්ටීන් පැතිරිම වැලැක්විමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසයි.

එම නිරෝධායන මධ්‍යස්ථාන තුළ විදේශිකයින් 27 දෙනෙකු ද සිටින බව වාර්තා වෙයි.

ඉන්දියාවේ නවදිල්ලි නගරයේ සිට පැමිණි ශ්‍රී ලාංකික වන්දනාකරුවන් ද ස්වයං නිරෝධායන ක්‍රියාවලිය සඳහා මේ වන විට යොමු කර තිබේ.

දඹදිව වන්දනාවේ ගොස් මේ වන විට ඉන්දීයාවේ රැදී සිටින ශ්‍රී ලාංකිකයින් නැවත දිවයිනට ගෙන්වා ගැනිමේ කටයුතු ක්‍රියාත්මක වෙමින් පවතින බව විදේශ සබඳතා අමාත්‍යාංශය පවසයි.

ශ්‍රී ලන්කන් ගුවන් සමාගමට අයත් විශේෂ ගුවන් යානයකින් එම පිරිස දිවයිනට ගෙන්වා ගැනිමට නියමිතයි.

මේ අතර සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආච්චි මහත්මිය විසින් ඊයේ පස්වරුවේ අයි.ඩී.එච් රෝහලේ විශේෂ නිරික්ෂණ චාරිකාවක නිරත වී තිබේ.

කොරෝනා වෛරසය ආසාදිත රෝගීන්ට ප්‍රතිකාර කරන ආකාරය පිළිබඳව සොයා බැලූ අමාත්‍යවරිය රෝහලේ වෛද්‍යවරුන් ඇතුළු සෞඛ්‍ය කාර්යය මණ්ඩලවල අවශ්‍යතාවන් පිළිබඳව ද සොයා බැලූ බව සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කළේය.

මේ අතර වෙළඳපොල තුළ කිසිදු භාණ්ඩ හිඟයක් නොමැති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසයි.

ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් නාලක කළුවැව මහතා සඳහන් කළේ ඉදිරි මාස කිහිපය සඳහා ප්‍රමාණවත් තරම් ආහාර පාන රට තුළ පවතින බවයි.

මේ අතර භාණ්ඩ සැඟවිමට හා වැඩි මිලට අලෙවි කරන වෙළඳුන් සොයා දිවයින පුරා වැටලීම් සිදු කරන බව පොලීසිය පවසයි.

අද (20) දිනයේ සිට මෙම වැටලීම් සිදු කරන බව නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළේය ෴

+++++++++++++++++++++++++++++++++++

කොරෝනා මරණ 10,000 ඉක්මවයි – සෑම මිනිත්තු 10 කට වරක් ඉරානයෙත් මරණයක්

(20.03.2020 – 07:00 +0530 – sinhala.adaderana.lk)

කොවිඩ් නයින්ටීන් ආසාදනයවිමෙන් මියගිය පුද්ගලයින් සංඛ්‍යාව 10,000 ඉක්මවා තිබේ.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ පුද්ගලයින් 10,041 දෙනෙකු මේ වන විට මියගොස් ඇති බවයි.

මේ වන විට ලොව පුරා පුද්ගලයින් දෙලක්ෂ 44,950 දෙනෙකුට කොවිඩ් නයින්ටීන් වෛරසය ආසාදනය වී ඇති අතර පුද්ගලයින් 87,408 දෙනෙකු සුව වී තිබේ.

ඊයේ (19) දිනය තුළ ද වැඩිම මරණ සංඛ්යාතවක් ඉතාලියෙන් වාර්තා වන අතර එම සංඛ්‍යාව 427 ක්.

ඒ අනුව මේ වන විට කොරෝනා වෛරසය හේතුවෙන් වැඩිම මරණ සංඛ්‍යාවක් වාර්තා වූ රට ලෙස ඉතාලිය පත්ව තිබේ.

චීනය තුළ මරණ 3245 ක් වාර්තා වන අතර ඊයේ දිනය වන විට ඉතාලියෙන් මරණ 3405 ක් වාර්තා වී තිබේ.

ඉරානයේද වෛරසය හේතුවෙන් සිදු වන මරණ සංඛ්‍යාව සීඝ්‍රයෙන් වැඩිවී ඇති අතර සෑම මිනිත්තු 10 කට වරක් ඉරානයෙන් එක් මරණයක් වාර්තා වන බව විදෙස් මාධ්‍ය සඳහන් කළේය ෴

+++++++++++++++++++++++++++++++++++

“නව කොරෝනා වයිරසයෙන් මිලියන ගණනක් මිය යන්න පුළුවන්” – එක්සත් ජාතීන්ගේ මහලේකම්

(20.03.2020 – 01:01 +0530 – lankaleadnews.com)

නව කොරෝනා වයිරසය තවදුරටත් ව්‍යාප්ත වුවහොත් ලොව පුරා මිනිසුන් මිලියන ගණනක් මිය යා හැකි යැයි එක්සත් ජාතීන්ගේ මහලේකම් ඇන්තෝනියෝ ගුටරෙස් අද (19) ලොවට අනතුරු ඇඟවීය.

මෙම වයිරසය දුප්පත් රටවල පැතිර ගියහොත් විශාල හානියක් සිදුවිය හැකි බව කී මහලේකම්වරයා ඉන් වැළැක්වීමට නම් මුළු ලොවම නව කොරෝනා වයිරසයට එරෙහිව එක්ව සටන් කළ යුතු යැයි ද කීය.

“ලැව්ගින්නක් ලෙස වයිරසයට ව්‍යාප්ත වීමට ව්‍යාප්ත වීමට ඉඩ දුන්නොත් මිලියන ගණනක් මිය යන්න පුළුවන්. විශේෂයෙන්ම ලොව අවදානම් කලාපවලට මෙයින් වෙන්න පුළුවන් හානිය ඉතාම වැඩි” යැයි ද ඔහු කීවේය.

“මුළු ලෝකයම සහයෝගයෙන් සහෝදරත්වයෙන් වැඩ කරන්න ඕනෑ. හැමෝම මේකට උනන්දු වෙන්න ඕනෑ. මේ සඳහා සදාචාරාත්මක අවශ්‍යතාවක්. එය අත්‍යවශ්‍ය” යැයි ද හෙතෙම කීය.

ගෝලීය වසංගතයක් බවට පත්ව තිබෙන නව කොරෝනා වයිරසය “සෞඛ්‍ය ව්‍යවසනයක්” යැයි ද ඒ සඳහා මුළු ලොවම එක්ව සටන් කළ යුතු යැයි ද හෙතෙම කීය.

“හැම රටක්ම ඔවුන්ට හැකි පමණින් ඔවුන්ගේම උපායමාර්ග ගනිමින් ඉන්නවා. මේ කටයුත්තකම විනිවිදභාවය තිබිය යුතුයි.

අපි ඉක්මන් පියවර ගත යුතුයි. ඒ වගේම අර්බුදයකට මුහුණ දීමට ශක්තිය නැති රටවලට උදව් උපකාර කළ යුතුයි. ඒ වගේම ලෝක සෞඛ්‍ය සංවිධානය බහුපාර්ශ්වීය සටනක් ගෙන යනවා. සෑම රටක්ම සෑම ආණ්ඩුවක්ම ඊට සහයෝගය දැක්විය යුතු” යැයි ද එක්සත් ජාතීන්ගේ මහලේකම්වරයා වැඩිදුරටත් කීවේය.

එක්සත් ජාතීන්ගේ සංවිධානයේදීය (ඒ.එෆ්.පී.)

***************************************

මත්තල රාජපක්ෂ අන්තර්ජාතික ගුවන්තොටුපොළේ ආරක්ෂාවට ගුවන් කඳවුරක්

(20.03.2020 – 10:40 +0530 – lankaleadnews.com)

මත්තල රාජපක්ෂ අන්තර්ජාතික ගුවන්තොටුපොළ පරිශ්‍රයේ ගුවන් හමුදා කඳවුරක් ස්ථාපනය කිරීමට රජය තීරණය කර ඇත.

එම කඳවුර සඳහා ගුවන් තොටුපොළට යාබද අක්කර 200 ක භූමි ප්‍රමාණයක් වෙන්කර දීමට ඇමැති මණ්ඩලය තීරණය කළේය.

ශ්‍රී ලංකාවේ සියලුම ගුවන් තොටුපොළවල ආරක්ෂාව තහවුරු කිරීම සඳහා ගුවන් හමුදාවට පවරා ඇති වගකීම ක්‍රියාත්මක කිරීමේ තවත් පියවරක් ලෙස මෙම ගුවන් හමුදා කඳවුර ස්ථාපනය කරන බව රජය ප්‍රකාශ කරයි.

ඒ අනුව කටුනායක බණ්ඩාරනායක අන්තර්ජාතික ගුවන්තොටුපොළට ලබාදෙන ආරක්ෂාවට සමාන ආරක්ෂාවක් මත්තල ගුවන් තොටුපොළටද මෙම නව කඳවුර හරහා ගුවන් හමුදාව විසින් සැපයීමට නියමිතය ෴

***************************************

කොවිඩ් නිසා ලේ හිගයක් – රුධිර සංචිත සීඝ්‍රයෙන් පහතට ප්‍රමාණවත් දින 2 කට පමණයි

(20.03.2020 – 04:40 +0530 – lankaleadnews.com)

කොවිඩ්–19 වෛරසය ව්‍යාප්ත වීමත් සමග ජංගම රුධිර කඳවුරු ඇනහිටීම නිසා ජාතික රුධිර පාරවිලයනය මධ්‍යස්ථානය සතුව පවතින රුධිර සංචිත සීග්‍රයෙන් පහත වැටී ඇති බව එහි අධ්‍යක්ෂ වෛද්‍ය ලක්ෂ්මන් එදිරිසිංහ මහතා පවසයි.

දැනට පවතින රුධිර සංචිත දින දෙකකට පමණක් ප්‍රමාණවත් වන අතර ලබන සතිය වන විට එය ගැටලුවක් වන බව අධ්‍යක්ෂවරයා පවසයි.

මහරගම අපේක්ෂා රෝහලේ සහ බොරැල්ල රිජ්වේ ආර්යා ළමා රෝහලේ ප්‍රතිකාර කරන රෝගීන්ට රුධිර පට්ටිකා දෛනිකව ලබා දිය යුතුය. තවද ජාතික රුධිර පාරවිලයන මධ්‍යස්ථානයේ රුධිර පට්ටිකා සාමාන්‍යයෙන් ගබඩා කර තබා ගත හැක්කේ දින පහක කාලසීමාවක් පමණි. තැලසීමියා රෝගීන්ටද දෛනිකව රුධිරය සැපයිය යුතුය. දිවයින පුරා රුධිර පාරවිලයන මධ්‍යස්ථාන 105 ක් ක්‍රියාත්මකය. දෛනික ජංගම රුධිර කඳවුරු පවත්වමින් රුධිර මධ්‍යස්ථාන රුධිර ඒකක 4000 ක් එකතු කරයි. කොවිච්–19 වෛරසය ව්‍යාප්ත වීම, ඇඳිරිනීතිය පැනවීම හේතුවෙන් ජංගම රුධිර කඳවුරු පැවැත්වීමට නොහැකි තත්ත්වයක් මතුව ඇත.

රුධිර සංචිත ප්‍රමාණය වැඩි කර ගැනීම සඳහා රුධිර පරිත්‍යාගශීලීන් නාරාහේන්පිට ජාතික රුධිර පාරවිලයන මධ්‍යස්ථානයට පැමිණ හෝ දිවයින පුරා මහා සහ ශික්ෂණ රෝහල්වල ඇති රුධිර මධ්‍යස්ථානවලට රුධිරය පරිත්‍යාග කළ හැකිය. 011 533 2153 හෝ 011 533 2154 යන දුරකථන අංකවලට අමතමින් වේලාව වෙන් කර ගැනීමට රුධිර පරිත්‍යාගශීලීන්ට අවස්ථාව උදාවන බව අධ්‍යක්ෂ වෛද්‍ය ලක්ෂ්මන් එදිරිසිංහ මහතා පවසයි. සෑම දිනකම පෙරවරු 8.00 සිට පස්වරු 6.00 දක්වා රුධිරය පරිත්‍යාග කළ හැකි බව ඔහු අවධාරණය කර සිටි​යේය ෴

+++++++++++++++++++++++++++++++++++

අපේක්ෂා රෝහලට එන්න එපා

(20.03.2020 – 12:39 +0530 – lankadeepa.lk)

මහරගම අපේක්ෂා රෝහලට කිසිදු බාහිර පුද්ගලයකුට නොපැමිණෙන ලෙස එහි විශේෂඥ වෛද්‍යවරු ජනයාගෙන් බැගෑපත් ව ඉල්ලීමක් කර සිටිති.

වාට්ටුවල රැඳී සිටින රෝගීන් ගැන විමසා බැලීමට හෝ බාහිර පුද්ගලයකුට එහි නොපැමිණෙන ලෙස ඔවුන් අනතුරු අඟවා ඇත.

රෝහලේ සිටින රෝගියකුට කොරෝනා වයිරසය ආසාදනය වුවහොත් මහත් විනාශයක් දක්වා එය වර්ධනය විය හැකි බව ඔවුහු පවසති.

පිළිකා රෝගීන්ගේ සෞඛ්‍ය තත්වය දුර්වල බැවින් එවැන්නක් ඉතා ඉක්මණින් ව්‍යාප්තවනු ඇති බව රෝහලේ ජ්‍යෙෂ්ඨ වෛද්‍ය උපදේශකවරයෙක් සඳහන් කළේය. රෝහලේ කාර්ය මණ්ඩලය සහ වෛද්‍යවරුන් පවා අවදානම් තත්වයක සිටින බවද ඔහු පැවසීය.

වෛද්‍යවරයකුට, කාර්ය මණ්ඩලයේ සාමාජිකයකුට හෝ වයිරසය ආසාදනය වූයේ නම්, ඔවුන්ට නිරෝධායනයට යොමුවීමට සිදුවන බැවින්, රෝගීන්ට දිනපතා කෙරෙන ප්‍රතිකාර අඩාල වනු ඇත ෴

+++++++++++++++++++++++++++++++++++

මෙරටින් හමුවූ කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 65 දක්වා ඉහළට

(20.03.2020 – 11:50 +0530 – hirunews.lk/sinhala)

කොවිඩ්-19 හෙවත් කොරෝනා වෛරසය ආසාදනය වූ මෙරට පුද්ගලයින් සංඛ්‍යාව 65 ක් දක්වා ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ වසංගත රෝග විද්‍යා අංශය ප්‍රකාශ කළා.

ඔවුන් නිකුත් කළ නවතම නිවේදනයේ දැක්වෙන්නේ දැනට පුද්ගලයින් 218 දෙනෙකු වෛද්‍ය අධීක්ෂණය යටතේ පසුවන බවයි.

වැඩිම රෝගීන් සංඛ්‍යාවක් වාර්තා වී ඇත්තේ ගම්පහ දිස්ත්‍රික්කයෙන් වන අතර එම සංඛ්‍යාව 18 ක්. කොළඹ දිස්ත්‍රික්කයෙන් රෝගීන් 17 දෙනෙකු, පුත්තලම දිස්ත්‍රික්කයෙන් රෝගීන් 12 දෙනෙකු, කුරුණෑගල සහ කළුතර දිස්ත්‍රික්කවලින් රෝගීන් 4 දෙනෙකු බැගින් සොයාගෙන තිබෙනවා.

රත්නපුර දිස්ත්‍රික්කයෙන් හමුවී ඇති රෝගීන් සංඛ්‍යාව 3 ක්.

ගාල්ල, කෑගල්ල, මාතර, මඩකලපුව සහ බදුල්ල යන දිස්ත්‍රික්කවලින් ද රෝගියෙකු බැගින් සොයාගෙන ඇති බවයි වසංගත රෝග විද්‍යා අංශය ප්‍රකාශ කළේ. මෙතෙක් තහවුරු කර ගත් කොරෝනා රෝගීන්ගෙන් සියයට 45.2 ක් වයස අවුරුදු 41 ත්, 50 ත් අතර පසුවන්නන්.

මේ අතර, නිරෝධානයන මධ්‍යස්ථාන 16 ක පුද්ගලයින් 2463 කට අධික පිරිසක් නිරෝධායනයට ලක් කර තිබෙන බවයි කොවිඩ් නයින්ටීන් පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කළේ.

රන්ටැඹේ ප්‍රදේශයේ ද තවත් නිරෝධායන මධ්‍යස්ථානයක් ඉදිකිරීමේ කටයුතු මේ වනවිට ආරම්භ කර තිබෙනවා.

එමෙන්ම මේ වන විට රෝහල් 25 ක ආසාදිතයින් හඳුනා ගැනීමේ කටයුතු සිදුකෙරෙන බවයි වසංගත රෝග විද්‍යා ඒකකයේ වෛද්‍ය සුදත් සමරවීර මහතා කියා සිටියේ.

කොරෝනා වෛරසය පැතිරීම වැළැක්වීම සඳහා අද (20) දිනයේත් පොදු ස්ථාන රැසක් විෂබීජහරණ කටයුතු සිදුකරනු දක්නට ලැබුණා.

කොටුව දුම්රියපොළ, කොළඹ නැව් තටාකාංගණ පරිශ්‍රය, ගුවන් තොටුපළ වැනි ස්ථාන මෙලෙස විෂබීජහරණයට ලක් කර තිබෙනවා.

එමෙන්ම, වැඩබිම් සහ සේවකයින් ගැවසෙන ස්ථාන ඉදිරියේදී විෂබීජහරණය කිරීමට කටයුතු කරන බවයි නාවික හමුදා මාධ්‍ය ඒකකය සඳහන් කළේ.

මේ අතර, දඹදිව වන්දනාවේ ගොස් චෙන්නායි මහාබෝධී මධ්‍යස්ථානයේ රැඳී සිටින අවසන් කණ්ඩායමත් අද (20) දිනයේ දිවයිනට ගෙන්වා ගැනීමට නියමිතයි.

කොරෝනා රෝග තත්ත්වය හේතුවෙන් මේ වන විට දිවයින පුරා ඉන්ධන අලෙවිය සියයට 20 කින් පහත වැටී ඇතැයි ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව ප්‍රකාශ කළා.

මේ අතර, ජනාධිපති මාධ්‍ය අංශය මීට ටික වේලාවකට පෙර නිවේදනය කළේ වහාම ක්‍රියාත්මක වන පරිදි විනෝද චාරිකා, වන්දනා සහ සංචාරක ගමන් තහනම් කිරීමට රජය තීරණය කර ඇති බවයි.

එමෙන්ම, අද (20) පස්වරු 6 යේ සිට සඳුදා පෙරවරු 6 දක්වා කාලය තුළ සියළු දුම්රිය අවලංගු වන බව දුම්රිය දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළා.

+++++++++++++++++++++++++++++++++++

කොරෝනා ආසාදිතයින් වැඩිම පිරිස ගම්පහ දිස්ත්‍රික්කයෙන්

(20.03.2020 – 15:11 +0530 – sinhala.adaderana.lk)

මෙරටින් හඳුනාගත් නව කොරෝනා වෛරස ආසාදිතයින්ගෙන් වැඩිම පිරිසක් වාර්තා වී ඇත්තේ ගම්පහ දිස්ත්‍රික්කයෙන් බව වසංගත රෝග විද්‍යා අංශය පවසයි.

මේ වන විට මෙරටින් තහවුරු වී ඇති ආසාදිතයින් 65 දෙනාගෙන් 18 දෙනෙකු ගම්පහ දිස්ත්‍රික්කයෙන් වාර්තා වී ඇති බව වසංගත රෝග විද්‍යා අංශය පෙන්වා දෙයි.

කොළඹ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 17 දෙනෙකු, පුත්තලම දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 12 දෙනෙකු, කෑගල්ල සහ කළුතර යන දිස්ත්‍රික්කවලින් ආසාදිතයින් සිව්දෙනා බැගින් සහ රත්නපුර දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් තිදෙනෙකු හඳුනා ගෙන තිබේ.

ගාල්ල, කෑගල්ල, මාතර, මඩකලපුව සහ බදුල්ල යන දිස්ත්‍රික්කවලින් එක් කොරෝනා ආසාදිතයෙකු බැගින් හඳුනාගෙන ඇති බව වසංගත රෝග විද්‍යා අංශය පවසයි.

ඔවුන් මේ වන විට ජාතික බෝවන රෝග විද්‍යා ආයතනය හෙවත් අයි.ඩි.එච්.රෝහලේ ප්‍රතිකාර ලබයි.

මේ අතර කොරෝනා වෛරසයේ සැක කටයුතු රෝග ලක්ෂණ පෙන්නුම් කරන පුද්ගලයින් 218 දෙනෙකු දිවයින පුරා රෝහල් 14 ක වෛද්‍ය අධීක්ෂණය යටතේ පසුවන බව ද වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කළේය ෴

+++++++++++++++++++++++++++++++++++

කොරෝනාවලට ශ්‍රී ලංකාවෙන් සොයාගත් බෙහෙත

(18.03.2020 – YouTube – Talk with Chatura)

මාරාන්තික කොරෝනා වෛරසය මිනිස් සෛලවලට ඇතුළු වීම ඖෂධ කිහිපයක් යොදාගෙන වැළැක්විය හැකි ක්‍රමයක් කොළඹ විශ්වවිද්‍යාලයේ පර්යේෂණ කණ්ඩායමක් විසින් ඉදිරිපත් කරනු ලැබ තිබේ.

කොළඹ විශ්වවිද්‍යාලයේ ජෛව රසායනික අණුක ජීවවේදී සහ ජෛව තාක්ෂණ ආයතනයේ සෛල විද්‍යා හා අණුක ජීව විද්‍යාව පිළිබඳව කථිකාචාර්ය ආචාර්ය සමීර ආර්. සමරකෝන් මහතාගේ ප්‍රධානත්වයෙන් ආචාර්ය කනිෂ්ක සේනතිලක මහතාගේ සහ මහාචාර්ය කමනී තෙන්නකෝන් මහත්මියගේ සහයෝගිතාවයෙන් මෙම පර්යේෂණය සිදු කෙ‍රිණි.

ජෛව තොරතුරු තාක්ෂණය යටතේ දියුණු පරිගණක මෘදුකාංග යොදාගෙන සිදු කළ මෙම පර්යේෂණයට අනුව දැනට සායනික තත්ත්ව යටතේ භාවිතයට ගැනෙන ඇමෙරිකාවේ ආහාර සහ ඖෂධ නියාමන ආයතනයේ අනුමැතිය ලත් ඖෂධ කිහිපයක් ආධාරයෙන් වෛරසය නිවාරණය කිරීමට හැකියාව ඇති බව මෙම පර්යේෂණ කණ්ඩායම සොයාගෙන තිබේ.

එළකිරි බීමෙන් පිලිකා අවධානම වැඩිවේ (දෙනුන්ට ලබාදෙන හෝමෝන නිසා)
.
• පිලිකා සෛල විනාශකිරීමේ හැකියාව ගොරක (Garcinia cambogia) වලට තිබේ

+++++++++++++++++++++++++++++++++++

ඉතාලියෙන් ඇවිත් කොරෝනා බෝ කරපු ශ්‍රී ලාංකිකයන්ගේ සැබෑ පැටිකිරිය හෙළිවෙයි..!

(17.03.2020 – YouTube : Harindra Jayalal)

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *