කොවිඩ්-19 වෛරස් ව්‍යාප්තිය වැළැක්වීමට විශේෂඥ වෛද්‍ය සම්මේලනයෙන් යෝජනා පෙළක්

+++++++++++++++++++++++++++++++++++

= මේ පිටුවේ සිරස්තල =

• කොවිඩ්-19 වෛරස් ව්‍යාප්තිය වැළැක්වීමට විශේෂඥ වෛද්‍ය සම්මේලනයෙන් යෝජනා පෙළක්

• කොරෝනා වෛරසය පැතිරිය හැකි ප්‍රදේශ ගැන දැනුම් දීමක්

• අද (17) සිට දින 3 ක් දුම්රිය ගමන් වාර 86 ක් අවලංගු කෙරේ

• කටාර්-බහරේන්-කැනඩා සිට පැමිණෙන පිරිසට ලංකාවට ඇතුළු වීම තහනම්

• සති දෙකක් (02) කටුනායක ගුවන්තොටුපොළ වසා දමයි

• මාතර ආයුර්වේද රෝහලකින් ප්‍රතිශක්තිකරණය වැඩි කරන්න ඖෂධයක්

• ‘කොරෝනා වැළැක්වීමට ආයුර්වේද ඔසු නිර්දේශ කර නෑ’ – ආයුර්වේද කොමසාරිස් සහ ආයුර්වේද වෛද්‍ය සභාවේ සභාපති

• නිරෝධායන මෙහෙයුම්වලට සම්බන්ධ වූ යුධ හමුදා නිලධාරියෙකුටත් වෛරසය ආසාදනය වෙයි

• කොරෝනා මර්දන ජාතික මෙහෙයුම් මධ්‍යස්ථාන ප්‍රධානි තනතුරට හමුදාපති ශවේන්ද්‍ර සිල්වා පත්කරයි

• නිවාඩුවක් ප්‍රකාශයට පත් කර ඇති මොහොතක, විවෘතව පවතින පෞද්ගලික ආයතනවලට දැනුම් දීමක්

• බන්ධනාගාර රැඳවූවන් බැලීම සති දෙකකට නවතී

• ‘නවකවද කොරෝනා’ව පතුරුවන අයියලා කවුද? කරෙන් දැනෙන පුහුල් හොරා හඳුනාගත හැකි සරල ක්‍රම 20 ක් මෙන්න

+++++++++++++++++++++++++++++++++++

කොවිඩ්-19 වෛරස් ව්‍යාප්තිය වැළැක්වීමට විශේෂඥ වෛද්‍ය සම්මේලනයෙන් යෝජනා පෙළක්

(17.03.2020 – 11:19 +0530 – hirunews.lk/sinhala)

කොවිඩ් නයින්ටීන් හෙවත් කොරෝනා වෛරසය මෙරට ව්‍යාප්තිය වැළැක්වීම සඳහා ගත යුතු පියවර පෙළක් වෛද්‍ය විශේෂඥයන්ගේ සම්මේලනය මගින් යෝජනා කර තිබෙනවා.

වෛරසය මැඬලීම සඳහා රජය මෙතෙක් ගෙන ඇති පියවර පිළිබදව ප්‍රසාදය පළ කරන එම සංගමය වැඩිදුරටත් සඳහන් කළේ එම කාර්යයන් තවදුරටත් කාර්යක්ෂම කිරීම සඳහා මෙම යෝජනා ඉදිරිපත් කරන බවයි.

එමගින් ඉදිරිපත් කරන පළමු යෝජනාව වන්නේ මෙරට සියළුම ගුවන් තොටුපළ සහ වරාය හරහා මගීන් හුවමාරු වීම වහාම ක්‍රියාත්මක වන පරිදි සති දෙකක කාලයකට අත්හිටුවීමයි.

එමෙන්ම, අධි අවදානම් රටවල් පමණක් නොව සියළුම රටවලින් පැමිණෙන සියල්ලන් දින 14 ක නිරෝධායන කාලයකට යටත් කිරීම එවැනි තවත් යෝජනාවක්.

වෛරසය තවදුරටත් මෙරට තුළ ව්‍යාප්ත වීම වැළැක්වීමේ තීරණාත්මක පියවරක් ලෙස මුළු දිවයිනම සතියක කාලයක් මුළුමනින් වසා දැමීමටත් අවශ්‍ය වුවහොත් එය දෙවැනි සතියක් දක්වා දීර්ඝ කිරීමටත් පියවර ගන්නා ලෙස වෛද්‍ය විශේෂඥයන්ගේ සම්මේලනය ඉල්ලා සිටිනවා.

මේ අතර, ඓතිහාසික සහ පුරාවිද්‍යා ස්මාරක භූමි දේශීය සහ විදේශීය සංචාරකයන් සඳහා ඉදිරි දින තුන තුළ වසා තැබීමට බුද්ධ ශාසන, සංස්කෘතික හා ආගමික කටයුතු අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා.

ඒ, එම වැඩබිම්වල සේවකයන් පුරාවිද්‍යා භූමි සංචාරකයන් සඳහා විවෘත කිරීමට පවතින දුෂ්කරතා දැනුම් දීමෙන් අනතුරුවයි.

මේ අතර, කොවිඩ් නයින්ටීන් ගෝලීය ව්‍යාප්තිය හේතුවෙන් ටෝකියෝ ඔලිම්පික් උළෙල කල් දැමීමට මෙතෙක් තීරණයක් ගෙන නොමැති බව ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුව යළි අවධාරණය කළා.

ඒ සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් අද දිනයේත් පැවැත්වීමට නියමිතයි ෴

+++++++++++++++++++++++++++++++++++

කොරෝනා වෛරසය පැතිරිය හැකි ප්‍රදේශ ගැන දැනුම් දීමක්

(17.03.2020 – 12:24 +0530 – hirunews.lk/sinhala)

පුත්තලම දිස්ත්‍රික්කයේ බොහෝ ප්‍රදේශවලට කොරෝනා වෛරසය ව්‍යාප්ත වීමේ අවධානමක් පවතින බව මහජාන සෞඛ්‍ය පරීක්ෂක නිළධාරීන් පවසනවා.

එමෙන්ම බස්නාහිර පළාතේ, කොළඹ දිස්ත්‍රික්කයෙත් එම අවධානම පවතින බවයි ඔවුන් පෙන්වා දෙන්නේ.

දකුණු පළාතේ ඇතැම් ප්‍රදේශවලට ද කොරෝනා වෛසරය ව්‍යාප්තවීමේ අවධානමක් ද පවතින බව ද හදුනාගෙන තිබෙනවා ෴

+++++++++++++++++++++++++++++++++++

අද (17) සිට දින 3 ක් දුම්රිය ගමන් වාර 86 ක් අවලංගු කෙරේ

(17.03.2020 – 10:46 +0530 – hirunews.lk/sinhala)

රජය මගින් විශේෂ දින 3ක නිවාඩුවක් ප්‍රකාශයට පත් කිරීමට අනුකූලව අද සිට ලබන 19 වන දා දක්වා දුම්රිය ගමන් වාර 86 ක් අවලංගු කරන බව දුම්රිය දෙපාර්තමේන්තුව සදහන් කළා.

දිනපතා ක්‍රියාත්මක වන කාර්යාල දුම්රිය ද ඊට ඇතුළත් වන බවයි එහි ප්‍රකාශකයෙකු කියා සිටියේ.

කොවිඩ් නයින්ටීන් වෛරසය ව්‍යාප්ත වීමේ අවදානම හේතුවෙන් විදේශ කටයුතු අමාත්‍යාංශයේ කොන්සියුලර් සේවා අංශය අද (17) සිට 20 වන දා දක්වා වසා තැබෙන බව නිවේදනය කරනු ලැබුවා.

සේවා ලබා ගැනීමට පැමිණෙන මහජනතාවගේ සහ කාර්ය මණ්ඩලයේ සුරක්ෂිතතාව වෙනුවෙන් එම පියවර ගනු ලැබූ බවයි විදේශ සබඳතා අමාත්‍යාංශය සඳහන් කළේ.

ඒ අනුව කොළඹ සෙලින්කෝ ගොඩනැගිල්ලේ පිහිටි කොන්සියුලර් සේවා අංශයේ කටයුතු අද සිට 20 වන දා දක්වා සිදුනොකෙරන අතර විදේශයන්හි සිදුවන මරණවලට අදාළ සහතික පමණක් කලින් ඇමතීමෙන් ලබා ගත හැකි වනු ඇති.

රජය මගින් විශේෂ නිවාඩු දින ප්‍රකාශයට පත් කිරීම හේතුවෙන් කොළඹ ඇමරිකානු තානාපති කාර්යාලයේ වීසා නිකුත් කිරීමේ සියළුම සේවාවන් ද අද ක්‍රියාත්මක නොවන බව එම තානාපති කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කළා. කලින් වේලාවන් වෙන් කර ගත් අයට මේ අනුව නව වේලාවන් ලබා ගැනීමට සිදුවනු ඇති. මෙය ඇමරිකානු පුරවැසියන් සඳහා අදාළ නොවන බවයි කොළඹ ඇමරිකානු තානාපති කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කළේ ෴

+++++++++++++++++++++++++++++++++++

කටාර්-බහරේන්-කැනඩා සිට පැමිණෙන පිරිසට ලංකාවට ඇතුළු වීම තහනම්

(17.03.2020 – 12:23 +0530 – sinhala.adaderana.lk)

අද (17) මධ්‍යම රාත්‍රියේ සිට වහාම ක්‍රියාත්මක වන පරිදි කටාර්, බහරේන් සහ කැනඩා යන රට වලින් පැමිණෙන සියලු මගීන්ට ශ්‍රී ලංකාවට ඇතුළු වීමට අවසර නොමැති බව සිවිල් ගුවන්සේවා අධිකාරිය නිවේදනය කරයි ෴

+++++++++++++++++++++++++++++++++++

සති දෙකක් (02) කටුනායක ගුවන්තොටුපොළ වසා දමයි

(17.03.2020 – 14:01 +0530 – lankadeepa.lk)

අද (17) සිට ක්‍රියාත්මක වන පරිදි සති දෙකක් (02) කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොල වසා දැමීමට කටයුතු කරන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පැවසීය.

ජනාධිපති ලේකම් කාර්යාලේ අද (17) පැවැති මාධ්‍ය හමුවකදී ජනාධිපතිවරයා මේ බව කීවේය.

ඒ අනුව අද (17) සිට සති දෙකක් යන තුරු ශ්‍රී ලංකාවට පැමිණිමට නියමිතව තිබු සියලු ගුවන් ගමන් අත්හිටුවා තිබේ.

දඹදිව වන්දනාවේ ගොස් සිටින පුද්ගලයින් 891 දෙනකු යළි කඩිනමින් ශ්‍රී ලංකාවට රැගෙන ඒම සඳහා වැඩිම මගීන් ප්‍රමාණයක් ගෙන ආ හැකි විශේෂිත ගුවන් යානා දෙකක් යොදවන බවද එහිදී ජනාධිපතිවරයා සඳහන් කළේය ෴

+++++++++++++++++++++++++++++++++++

මාතර ආයුර්වේද රෝහලකින් ප්‍රතිශක්තිකරණය වැඩි කරන්න ඖෂධයක්

(17.03.2020 – 13:35 +0530 – lankadeepa.lk)

කොරෝනා වයිරසයෙන් ආරක්ෂා වීමට අවශ්‍ය ප්‍රතිශක්තිය වර්ධනය වන ඖෂධයක් නිෂ්පාදනය කර නොමිලේ ලබා දීමට මාතර කොටපොල , වරල්ල දිසානායක රජයේ ආයුවේද රෝහල කටයුතු කරන බව රෝහල් කාර්ය භාර වෛද්‍ය නිලධාරී කේ.එම්. ප්‍රියන්ත මහතා පවසයි.

රට තුළ පවත්නා සෞඛ්‍ය තත්ත්වය සම්බන්ධයෙන් ආයුර්වේද දෙපාර්තමේන්තුව හැටියට සිදුකළ හැක්කේ කුමක්ද යන්න දකුණු පළාත් ආයුර්වේද දෙපාර්තමේන්තුවේ කොමසාරිස් සිරිල් ගුරුගේ මහතා සමග සාකච්ඡා කර ඔහුගේ උපදෙස් මත මෙම තීන්දුව ගෙන තිබේ.

මෙම වැඩසටහන පසුගිය සෙනසුරාදා සිට ජනතාවට වරල්ල දිසානායක රජයේ ආයුවේද රෝහලේදී ක්‍රියාත්මක කළ බවත්, මෙම ඖෂධය ලබා ගැනීමට විශාල පිරිසක් මේ වන විටත් පැමිණෙන බවත් රෝහල් කාර්ය භාර වෛද්‍ය නිලධාරී වරයා වැඩිදුටත් අප සමග පැවසීය.

රෝහල තුළ දීම නිෂ්පාදනය කරන මේ ‍ඖෂධය දින පහක් පාවිචි කිරීමට ලබා දෙන අතර, ඉන් පසු එළඹෙන දින හතෙහි උදේ සහ සවස ඉඟුරු ග්‍රෑම් පහක්, බදින ලද කොත්මල්ලි ග්‍රෑම් 15 ක්, වෙනිවැල්ගැට ග්‍රෑම් 10 ක්, සුදු ළුනු බික් දෙකක්, තම්බාගත් ජලය මිලි ලිටර් 150 කට අඬු කෝප්ප එකක් ලෙසට දිනපතා පානය කළයුතු අතර, ඉන් පසු එළඹෙන දින හතෙහි උදේ සහ සවස ඉඟුරු, බදින ලද කොත්තමල්ලි තම්බා රෝහලෙන් ලබාදෙන කල්කය සමග පානය කිරීමෙන් මෙම සති තුනක කාලයේ සිරුරේ වෛරස් රෝග ප්‍රතිශක්තිය නැංවීම අපේක්ෂා කෙරේ.

මෙම ප්‍රතිශක්තිය වර්ධනය වන ඖෂධය නිෂ්පාදනය කිරීමට අවශ්‍ය කරන ද්‍රව්‍ය වලින් දේවදාර, වද කහ, කොත්තමල්ලි, කළාදුරු අල, ඉඟුරු, බිම් කොහොඹ (කිරාත), සුදු ළුනු ආදියෙහි හිඟතාවයක් පවතින බවත් එම ද්‍රව්‍ය රෝහලට සැපයීමට හැකි අයට 041 227 1302 අංකයෙන් තමන්ව සම්බන්ධකර ගනිමින් මේ ජාතික කර්ත්‍යව්‍යයට සහයෝගය දක්වන මෙන් රෝහල් කාර්ය භාර වෛද්‍ය නිලධාරී වරයා ඉල්ලා සිටී.

දිවා සහ රාත්‍රී සේවාවක් ලෙසට සිදුකරන මෙම සත්කාරය තුළින් , පසුගිය 15 වන දින වන විට ප්‍රතිශක්තීකරණ ඖෂධය පවුල් 3,717 කට අයත් පුද්ගලයින් 25,070 ක් අතරේ ඖෂධ ලීටර් 752 ක් බෙදාහැර තිබේ.

– අජිත් ලංකා තිලක විසින්

+++++++++++++++++++++

‘කොරෝනා වැළැක්වීමට ආයුර්වේද ඔසු නිර්දේශ කර නෑ’ – ආයුර්වේද කොමසාරිස් සහ ආයුර්වේද වෛද්‍ය සභාවේ සභාපති

(17.03.2020 – 06:30 +0530 – lankadeepa.lk)

කොරෝනා රෝගය බෝවීම වැළැක්වීමට හැකියැයි පවසමින් ආයුර්වේද ඖෂධ සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ සිදුකෙරෙන ප්‍රචාරවලට නොරැවටෙන ලෙසත් එවැනි ප්‍රචාර සිදුකරන පුද්ගලයන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන බවත් ආයුර්වේද කොමසාරිස් සහ ආයුර්වේද වෛද්‍ය සභාවේ සභාපති කේ.ඩී.ඒ.එස්. කුමාරතුංග මහතා නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

ආයුර්වේද වෛද්‍ය සභාව වැඩිදුරටත් පෙන්වා දෙන්නේ ආයුර්වේද ඖෂධයක් නිෂ්පාදනය කිරීම හෝ ආනයනය, අපනයනය හෝ එම ඖෂධ රෝගීන් වෙත නියම කිරීම, ලියාපදිංචි වෛද්‍යවරයකුට හැර වෙනත් කිසිම පුද්ගලයකුට සිදුකිරීමට 1961 අංක 31 දරණ ආයුර්වේද පනත අනුව නොහැකි බවයි.

එම පනතේ 69 වැනි වගන්තිය අනුව ඖෂධ ගැන සමාජ මාධ්‍යජාලා හා වෙනත් ප්‍රචාරණ මාධ්‍යයන් ඔස්සේ සිදුකරනු ලබන ප්‍රචාරය කිරීම වරදක් වන බව ද එම නිවේදනයේ දැක්වේ.

එමෙන්ම එහි වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ කොරෝනා සුවකිරීම සම්බන්ධයෙන් කිසිදු පරීක්ෂණාත්මක තහවුරු කිරීමකින් තොර ඖෂධ වට්ටෝරු භාවිතා කිරීම සඳහා මහජනතාව පෙළඹවීම හා නොමඟ යවන සුළු ප්‍රකාශ සිදුකරන තැනැත්තන් සම්බන්ධයෙන් සභාවට පැවරී ඇති බලතල ප්‍රකාරව අවශ්‍ය නීතිමය ක්‍රියාමාර්ග ගනු ලබන බවයි.

ආයුර්වේද වෛද්‍ය සභාව පවසන්නේ කොවිඩ් – 19 වෛරසය හේතුවෙන් ඇතිවන කොරෝනා රෝග ලක්ෂණ ඇති අයකු වාර්තා වුවහොත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විසින් නිර්දේශ කර ඇති රජයේ රෝහලකට කඩිනමින් යොමු වී අවශ්‍ය ප්‍රතිකාර ලබාගත යුතු බවයි ෴

+++++++++++++++++++++++++++++++++++

නිරෝධායන මෙහෙයුම්වලට සම්බන්ධ වූ යුධ හමුදා නිලධාරියෙකුටත් වෛරසය ආසාදනය වෙයි

(17.03.2020 – 14:18 +0530 – hirunews.lk/sinhala)

කොරෝනා නිරෝධායන මෙහෙයුම්වලට සම්බන්ධ වූ යුධ හමුදා නිලධාරියෙකුට, එම වෛරසය ආසාදනය වී ඇති බව, හමුදා ප්‍රකාශකවරයා දැනුම් දෙනවා ෴

+++++++++++++++++++++++++++++++++++

කොරෝනා මර්දන ජාතික මෙහෙයුම් මධ්‍යස්ථාන ප්‍රධානි තනතුරට හමුදාපති ශවේන්ද්‍ර සිල්වා පත්කරයි

(17.03.2020 – 14:28 +0530 – hirunews.lk/sinhala)

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ උපදෙස් පරිදි කොවිඩ්-19 වෛරසය පාලනය සඳහා වන ජාතික මෙහෙයුම් මධ්‍යස්ථානයේ ප්‍රධානියා ලෙස හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පත් කර තිබෙනවා.

මහජන සුබසිද්ධිය සහතික කිරීම සඳහා පොදු සෞඛ්‍ය සහ සෙසු සේවාවන්හි මනා සම්බන්ධීකරණයකින් යුත් නිවාරණ හා කළමනාකරණ පියවර ගන්නා බවට සහතික කිරීමේ අරමුණින් මෙම මධ්‍යස්ථානය රාජගිරියේ ස්ථාපනය කර ඇති බවයි ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කළේ.

මධ්‍යස්ථානය යටතට ගැනෙන සේවා සම්බන්ධීකරණයට සේවා අවශ්‍යතා ප්‍රමුඛතාව මත සියලුම නිලධාරීන් සහභාගි කරගන්නා අතර, ඒ සඳහා ඔවුන් සෑම විටම සූදානමින් සිටිය යුතු බවද රජය දැනුම් දෙනවා ෴

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ උපදෙස් පරිදි අංක. 1090, ශ්‍රී ජයවර්ධනපුර, රාජගිරිය ලිපිනයේ ස්ථාපනය කර ඇති කොවිඩ්-19 වෛරසය පාලනය සඳහා වන ජාතික මෙහෙයුම් මධ්‍යස්ථානයේ ප්‍රධානියා ලෙස හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා පත් කර ඇත. (sinhala.adaderana.lk)

+++++++++++++++++++++++++++++++++++

නිවාඩුවක් ප්‍රකාශයට පත් කර ඇති මොහොතක, විවෘතව පවතින පෞද්ගලික ආයතනවලට දැනුම් දීමක්

(17.03.2020 – 13:05 +0530 – hirunews.lk/sinhala)

රට තුළ පවතින වත්මන් තත්ත්වයත් සමඟ රජය විසින් පෞද්ගලික අංශය සඳහා ද නිවාඩුවක් ලබාදෙන ලෙසට ඉල්ලීමක් කර තිබියදී පෞද්ගලික ආයතන විවෘතව පවතින්නේ නම් ඒ පිළිබදව කම්කරු සබඳතා දෙපාර්තමේන්තුව දැනුවත් කළ යුතු බව රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය පවසනවා.

එම අමාත්‍යාංශය සඳහන් කළේ රජය විසින් නිවාඩු ලබාදී ඇති අවස්ථාවක පෞද්ගලික ආයතන විවෘතව තබන්නේ නම් ඊට හේතුව පැහැදිලි කර ලිඛිතව කම්කරු දෙපාර්තමේන්තුව දැනුවත් කළ යුතු බවයි.

රජය විසින් අද, හෙට සහ අනිද්දා (17,18,19) යන තෙදින තුළ නිවාඩුවක් ප්‍රකාශයට පත් කළ ද ඊට බැංකු, අත්‍යාවශ්‍ය සේවා සහ දිස්ත්‍රික් මෙන්ම ප්‍රාදේශීය ලේකම් කාර්යාල ඇතුළත් වන්නේ නැහැ.

අද (17) සිට දින 3 ක කාලයක් රජය විසින් විශේෂ නිවාඩු ප්‍රකාශයට පත් කළේ ද කොරෝනා වෛරසය රට තුළ ව්‍යාප්ත වීමේ අවදානම අවම කිරීමේ අරමුණෙන්.

මේ වන විට රට තුළ කොරෝනා ආසාදිතයින් 28 දෙනෙකු හඳුනාගෙන තිබෙනවා.

ඊයේ (16) දිනයේදී පමණක් කොවිඞ් නයින්ටීන් වෛරසය ආසාදනය වූ රෝගීන් 10 දෙනෙකු හඳුනා ගැනීමත් විශේෂත්වයක්.

එමෙන්ම තවත් සැක සහිත පුද්ගලයින් 204 දෙනෙකු දිවයිනේ රෝහල් 16 ක ප්‍රතිකාර ලබන බවයි සෞඛ්‍ය අංශ සඳහන් කළේ.

මේ අතර, දැනට කොරෝනා ආසාදිත වූ රෝගීන්ට ප්‍රතිකාර කරනු ලබන අංගොඩ අයි.ඩී.එච්. රෝහලට අමතරව පොළොන්නරුවේ පිහිටි වැලිකන්ද රෝහල ද කොරෝනා ආසාදනය වූ රෝගීන් පමණක් රදවා තැබීමට රජය තීරණය කර තිබෙනවා.

ඊට අදාළ මූලික අවශ්‍යතා සහ පහසුකම් මේ වන විටත් යුද හමුදාවේ මැදිහත්වීමෙන් සකස් කරමින් සිටින බව සඳහන්.

එමෙන්ම, යුරෝපය, ඉරානය සහ දකුණු කොරියාවේ සිට මෙරටට පැමිණි ශ්‍රී ලාංකිකයන්ට ලියාපදිංචි වීමේදී පොලීසියට පැමිණීම අත්‍යවශ්‍ය නොවන අතර පොලීසියට දුරකථන ඇමතුමක් ලබාදී ලියාපදිංචි වීමේ හැකියාව පවතින බව පොලිස් මාධ්‍ය කොට්ඨාශය පවසනවා.

මීට පෙර ආරක්ෂක අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ මාර්තු 1 වන දාත්, 15 වන දාත් අතර කාලය තුළ යුරෝපය, ඉරානය සහ දකුණු කොරියාවේ සිට පැමිණ ඇත්නම්, ඔවුන් ළඟම ඇති පොලිස් ස්ථානයට ගොස් ලියාපදිංචි වන ලෙසටයි.

මේ අතර, කොවිඩ් නයින්ටීන් හෙවත් කොරෝනා වෛරසය මෙරට ව්‍යාප්තිය වැළැක්වීම සඳහා ගත යුතු පියවර පෙළක් වෛද්‍ය විශේෂඥයන්ගේ සම්මේලනය මගින් යෝජනා කර තිබෙනවා.

වෛරසය මැඬලීම සඳහා රජය මෙතෙක් ගෙන ඇති පියවර පිළිබදව ප්‍රසාදය පළ කරන එම සංගමය වැඩිදුරටත් සඳහන් කළේ එම කාර්යයන් තවදුරටත් කාර්යක්ෂම කිරීම සඳහා මෙම යෝජනා ඉදිරිපත් කරන බවයි.

එමගින් ඉදිරිපත් කරන පළමු යෝජනාව වන්නේ මෙරට සියළුම ගුවන් තොටුපළ සහ වරාය හරහා මගීන් හුවමාරු වීම වහාම ක්‍රියාත්මක වන පරිදි සති දෙකක කාලයකට අත්හිටුවීමයි.

රජය මගින් විශේෂ දින 3 ක නිවාඩුවක් ප්‍රකාශයට පත් කිරීමට අනුකූලව අද සිට ලබන 19 වන දා දක්වා දුම්රිය ගමන් වාර 86 ක් අවලංගු කරන බව දුම්රිය දෙපාර්තමේන්තුව සදහන් කළා. දිනපතා ක්‍රියාත්මක වන කාර්යාල දුම්රිය ද ඊට ඇතුළත් වන බවයි එහි ප්‍රකාශකයෙකු කියා සිටියේ.

මේ අතර, ඓතිහාසික සහ පුරාවිද්‍යා ස්මාරක භූමි දේශීය සහ විදේශීය සංචාරකයන් සඳහා ඉදිරි දින තුන තුළ වසා තැබීමට බුද්ධ ශාසන, සංස්කෘතික හා ආගමික කටයුතු අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා. ඒ, එම වැඩබිම්වල සේවකයන් පුරාවිද්‍යා භූමි සංචාරකයන් සඳහා විවෘත කිරීමට පවතින දුෂ්කරතා දැනුම් දීමෙන් අනතුරුවයි.

කොරෝනා වෛරසය සම්බන්ධයෙන් අසත්‍ය ප්‍රචාර සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරණය කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනාගෙන් එක් අයෙකු ඊයේ (16) දින කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රුපියල් ලක්ෂ 5 ක ශරීර ඇප දෙකක් මත මුදා හැර තිබෙනවා.

අනෙක් සැකකරු අද (17) දින කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි. ඔවුන් දෙදෙනා පෙරේදා දිනයේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගනු ලැබුවා.

එමෙන්ම, කොරෝනා වෛරසය සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ අසත්‍ය ප්‍රචාර පැතිර වූ තවත් 40 දෙනෙකු සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කර ඇති බවයි පොලීසිය සඳහන් කළේ.

කොවිඩ් නයින්ටීන් වෛරසය ව්‍යාප්ත වීමේ අවදානම හේතුවෙන් විදේශ කටයුතු අමාත්‍යාංශයේ කොන්සියුලර් සේවා අංශය අද (17) සිට 20 වන දා දක්වා වසා තැබෙන බව නිවේදනය කරනු ලැබුවා.

සේවා ලබා ගැනීමට පැමිණෙන මහජනතාවගේ සහ කාර්ය මණ්ඩලයේ සුරක්ෂිතතාව වෙනුවෙන් එම පියවර ගනු ලැබූ බවයි විදේශ සබඳතා අමාත්‍යාංශය සඳහන් කළේ.

රජය මගින් විශේෂ නිවාඩු දින ප්‍රකාශයට පත් කිරීම හේතුවෙන් කොළඹ ඇමරිකානු තානාපති කාර්යාලයේ වීසා නිකුත් කිරීමේ සියළුම සේවාවන් ද අද (17) ක්‍රියාත්මක නොවන බව එම තානාපති කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කළා.

මේ අතර, අද (17) මධ්‍යම රාත්‍රියෙන් පසු කටාරය, කැනඩාව හෝ බහරේනයේ සිට ශ්‍රී ලංකාවට පැමිණෙන ගුවන් මගීන්ට ඉදිරි සති දෙක තුළ රටට ඇතුළුවීමට අවසර හිමි වන්නේ නැහැ. අදාළ රටවල පසුගිය දින 14 ගත කළ පුද්ගලයන්ට ද එය අදාළ වන බවයි සිවිල් ගුවන් සේවා අධිකාරිය සඳහන් කළේ ෴

+++++++++++++++++++++++++++++++++++

බන්ධනාගාර රැඳවූවන් බැලීම සති දෙකකට නවතී

(17.03.2020 – 15:11 +0530 – hirunews.lk/sinhala)

අද (17) සිට සති දෙකක කාලයක් බන්ධනාගාර රැඳවියන් බැලීම සඳහා ඥාතීන් කිසිවෙකුටත් අවස්ථාව ලබා නොදීමට බන්ධනාගාර දෙපාර්තමේන්තුව තීරණය කර තිබෙනවා.

කොරෝනා වෛරසය පැතිරයාමේ අවදානම හේතුවෙන් මෙම තීරණය ගත් බවයි බන්ධනාගාර කොමසාරිස් ජනරාල් ජයසිරි තෙන්නකෝන් මහතා කියා සිටියේ ෴

***************************************

‘නවකවද කොරෝනා’ව පතුරුවන අයියලා කවුද? කරෙන් දැනෙන පුහුල් හොරා හඳුනාගත හැකි සරල ක්‍රම 20 ක් මෙන්න

(16.03.2020 – 12:11 +0530 – lankaleadnews.com)

  1. නවකවදය කියා දෙයක් කැම්පස්වල නැතැයි යන අමූලික බොරුව කාලයක් තිස්සේ රටට කියමින් සිටින්නේ අන්තරය විසිනි.
  2. මා කැම්පස් යාමට පෙර මට හමුවූ අන්තරේ, ජවිපෙ අයියලා සියලු දෙනා දස අතේ දිවුරමින් කීවේ මාධ්‍යවල කියන ආකාරයේ නවකවදයක් කැම්පස්වල නැති බවය. ඔවුන් මේ බොරුව රටට පමණක් නොව තම පක්ෂයේ සහෝදරයන්ටද කියති.
  3. නවකවදයක් නැතැයි කියන අතරේ, සියල්ල දූෂණය වූ කුරිරු සමාජයේ කැම්පස් පමණක් පිරිසිදු නැති බැවින් යම් යම් දේ සිදුවිය හැකි බවට ඊනියා තර්ක දමමින්, තමන්ගේ අපරාධ පොදු සමාජය පිට පටවන්නට වලි කන්නේද අන්තරය විසිනි.
  4. බාහිර සමාජයට, මාධ්‍යවලට එවැනි බොරු විදින අන්තරේ නියෝජිතයෝ සරසවි ඇතුළේ නවකවදය නැවැත්වීම ගැන කිසිදා වචනයක්වත් කථා නොකරන අතර, ඊට උද්යෝගයෙන් සහභාගී වෙති.
  5. සෑම සරසවියකම නවකවදය මෙහෙයවන්නේ ඊනියා පොදු සිසුන් විසින් නොව අන්තරයට සම්බන්ධ ශිෂ්‍ය සංගම්වල පූර්ණ මැදිහත්වීමෙනි.
  6. නවකවද වැඩසටහන් අවසානයේ හෙම්බත් වී සිටින ශිෂ්‍යයන්ට වැදි බණ සහිත දේශන පවත්වන්නේ අන්තරයේ ශිෂ්‍ය සංගම් නියෝජිතයන් විසිනි.
  7. ඇතැම් අවස්ථාවල මේ දේශනවලට අන්තරේ කැඳවුම්කරු වැනි ප්‍රසිද්ධ අයද සහභාගී වෙති.
  8. නවකවදය නම් නිවට නින්දිත ක්‍රියාවලියට නවක නම්නීකරණය, නවක අනුරූපිතා වැඩසටහන වැනි ගරු නම්බු නාම පිරිනමා ඊට නිල භාවයක් හිමි කර දී ඇත්තේද අන්තරය විසිනි.
  9. අමානුෂික නවකවදයට තමන් සම්පූර්ණ විරුද්ධ වන අතර, ඒ වෙනුවට නවක නම්නීකරණය නමැති අගනා වටිනා වැඩසටහනක් තමන්ගේ මැදිහත් වීමෙන් ක්‍රියාත්මක කරන බව අන්තරේ නියෝජිතයෝ ප්‍රසිද්ධ මාධ්‍ය ඉදිරියේ පවා නිතර ප්‍රකාශ කර ඇත.
  10. මේ නල්ලමලේ නම්නීකරණය ක්‍රියාත්මක කිරීම යනු තකතීරු නවකවදය ක්‍රියාත්මක කිරීම මිස වෙන ඉටිගෙඩියක් නොවන බව බව සරසවියක් අසලින් යන බල්ලෝ පූසෝ පවා හොඳින්ම දනිති.
  11. ඊනියා නම්නීකරණ, අනුරූපිතා වැඩසටහන් සකසා, ඒවා පරිපාලනයට ඉදිරිපත් කරමින්, නවකවදයට පරිපාලනයෙන් එල්ල විය හැකි සියලු විරෝධතා කළමනාකරණය කරන්නේ අන්තරය විසිනි.
  12. 1997 නවකවදයට විරුද්ධව පනතක් ගෙන ආ අවස්ථාවේ ඊට එරෙහිව පාර්ලිමේන්තුව වටලා උද්ඝෝෂණ කළේ අන්තරය විසිනි.
  13. 1997 නවකවද පනතට එකග නොවූ එකම මන්ත්‍රීවරයා වූයේ එවකට පාර්ලිමේන්තුවේ සිටි එකම ජවිපෙ මන්ත්‍රීවරයා වූ නිහාල් ගලප්පත්ති පමණි.
  14. සරසවි පරිපාලනය හෝ රජය මගින් නවකවදයට එරෙහිව ක්‍රියාමාර්ග ගැනීමට උත්සාහ කළ සෑම අවස්ථාවකම ශිෂ්‍ය මර්දනය නැමති කෙප්පය දෙසා බාමින් ඊට එරෙහිව යකා නටන්නේ අන්තරය විසිනි.
  15. නවකවද සිදුවීම් නිසා සිසුන් අත්අඩංගුවට පත්වූ අවස්ථාවල ඔවුන් වෙනුවෙන් උසාවි දුවන්නේ, නඩු කියන්නේ, පිකටින්, උද්ඝෝෂණ ආදී සියල්ල කරනුයේ අන්තරය විසිනි.
  16. නවකවද සිදුවීම් නිසා චෝදනාවන්ට ලක්වූ කිසිදු ශිෂ්‍යයෙකුට එරෙහිව අන්තරය කිසිදා කටයුතු කර නැති අතර, ඔවුන්ට පක්ෂව ඔවුන් බේරාගැනීම වෙනුවෙන් කටයුතු කරති.
  17. නවකවදය නිසා සිසුන් බරපතළ අසාධාරණයන්ට ලක්වූ කිසිදු අවස්ථාවක අන්තරය අසාධාරණයට ලක්වූ අය වෙනුවෙන් පෙනී සිට නැති අතර, අසාධාරණය සිදු කළ අයගේ ආරක්ෂාව වෙනුවෙන් කටයුතු කරති.
  18. නවකවදය නිසා වාර්ෂිකව විශ්වවිද්‍යාල උපාධි අතහැර යන සිය ගණනක් සිසුන්ගේ අධ්‍යාපන අයිතිය ගැන අන්තරේ අයියලා කිසිදා වචනයක්වත් කතා නොකරති.
  19. පාරවල්වල උද්ඝෝෂණ සඳහා පැමිණෙන සිසුන්ගෙන් සීයට අසූවකට වඩා පැමිණෙන්නේ කැමැත්තෙන් නොව නවකවදය ඔස්සේ ගොඩනගා ගත් ජ්‍යෙෂ්ඨත්ව ත්‍රස්තවාදයට ඇති බිය හේතුවෙනි.
  20. සමාජවාදී ශිෂ්‍ය සංගමය මගින් ප්‍රකාශයට පත් කළ ‘තෙල් බැම්මෙන් ඔබ්බට’ කෘතිය කියවීමෙන් විදග්ධ ලෙස නවකවදය සාධාරණීකරණය කිරීමට ඔවුන් දරන උත්සාහය හොඳින් අධ්‍යයනය කළ හැකිය.

ටයර් පෙරළීමේ කතාව නිසා දැන් නවකවදය ගැන නැවතත් සංවාදයක් ඇතිවී තිබේ. ටයර් කතාව ඇත්තක් වුවද බොරුවක් වුවද නවකවදය නමැති සංවිධානාත්මක අපරාධය දිනපතා සරසවිවල සිදුවන බැවින් මේ සටහන ඊට සම්පූර්ණයෙන් අදාළය.

– ඉසුරු ප්‍රසංග

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *