හෙළ ඔසු වලින් කොරෝනා මර උගුලෙන් ගැලවෙන මඟ ලොව පතල ඖෂධ විද්‍යා මහාචාර්යවරයකු පහදයි…

(16.03.2020 – 00:01 +0530 – lankacnews.com)

සීග්‍රයෙන් පැතිර යන කොරෝනා වෛරස් ආසාදනයෙන් ගැලවීමට නිශ්චිත ක්‍රමවේද කිහිපයක් රජරට විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයේ මහාචාර්ය චන්න ජයසුමන මහතා පැහැදිලි කර ඇත.

පවුලේ අයගේ ආරක්ෂාව උදෙසා ගෘහනියන්ට පහසුවෙන් අනුගමනය කල හැකි ක්‍රියා මාර්ග කිහිපයක් ඔහු එහිදී විස්තර කරයි.

  1. උදෑසන තේ සහ කිරිවෙනුවට කැඳ පානය කිරීම; කැඳ සකසා ගැනීමට කළු හීනටි හෝ වෙනත් දේශීය සහල් වර්ගයක් සකසා ගැනීම සුදුසුය.
  2. සවස තේ පානය වෙනුවට කොත්තමල්ලි සහ ඉඟුරු තම්බා පානය කිරීම
  3. ව්‍යංජන සකස් කිරීමේදී සුදුළුනු සහ කරාබු නැටි බහුලව යොදා ගැනීම
  4. සතියකට දින 2 ක් හෝ 3 ක් ප්‍රධාන ආහාර වේල් අතර මොනර කුඩුම්බිය කැඳ පානය

+++++++++++++++++++++++++++++++++++

https://www.facebook.com/NewsfirstSL/videos/3075882689140328/
කොරෝනා ආසාදිතයින් 11 ක් දක්වා ඉහළට (15.03.2020)

+++++++++++++++++++++++++++++++++++

කොරෝනා නිරෝධායන මධ්‍යස්ථාන 12 ක් දිවයින පුරා ස්ථාපිත කෙරේ

(16.03.2020 – 08:09 +0530 – hirunews.lk/sinhala)

කොවිඩ්-19 හෙවත් නව කොරෝනා වෛරසය ව්‍යාප්තවීම වැළැක්වීම සඳහා මෙරටට පැමිණෙන පුද්ගලයන් නිරෝධායනය කිරීම සඳහා මේ වනවිට දිවයින පුරා මධ්‍යස්ථාන 12 ක් ස්ථාපිත කර ඇති බව ශ්‍රී ලංකා යුද හමුදාව පවසනවා.

පොම්පෙමඩු, පූනානි, කන්දකාඩු, පනිච්චන්කර්නි, මයියන්කුලම් හි පිහිටි ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක බලමුළුව, බොරවැව, ගල්කන්ද, කහගොල්ල, දියතලාව යුද හමුදා රෝහල සහ දියතලාව ගැමුණු හේවා බලකා කඳවුරේ එම නිරෝධායන මධ්‍යස්ථාන පිහිටුවා ඇති බවයි යුද හමුදාව සඳහන් කළේ.

එමෙන්ම සියලු පහසුකම්වලින් යුත් නිරෝධායන මධ්‍යස්ථාන දෙකක් දම්මින්න සහ රන්ටැඹේ ප්‍රදේශවලද ස්ථාපිත කර තිබෙනවා.

එම මධ්‍යස්ථානවල වර්ගීකරණය කරන ලද පුද්ගලයන් 1723 දෙනෙකු නිරෝධායනයට ලක් කිරීම මේ වනවිටත් ආරම්භ කර ඇති අතර විදේශිකයන් 8 දෙනෙකුද එහි සිටින බවයි යුද හමුදාව සඳහන් කළේ.

මේ අතර ඇමරිකාවේ පුද්ගලයන් 50 කට වැඩි පිරිසකගේ සහභාගීත්වයෙන් පවත්වන සියලු රැස්වීම් ඇතුලු අවස්ථා ඉදිරි සති 8 ක කාලය තුළ අවලංගු කිරීමට රජය උපදෙස් ලබාදී තිබෙනවා.

ඇමරිකාවේ නව කොරෝනා මරණ සංඛ්‍යාව 62 දක්වා ඉහළ යාමත් සමඟයි ඇමරිකානු රජය එම උපදෙස් ලබාදී ඇත්තේ.

කොරෝනා වෛරසයේ බලපෑම මේ වනවිට සතුන්ටද එල්ලවී ඇති අතර, තායිලන්තයට පැමිණෙන විදේශිකයන් ලබාදෙන ආහාර මත යැපුණු වඳුරන් සිය ගණනක් කුසගින්නේ පෙළීම හේතුවෙන් මාර්ගයේ ආහාර සොයමින් ගමන් කරන අයුරු මෙන්ම ආහාරවලට පොරකන අයුරු දැක්වෙන වීඩියෝවක් මේ වනවිට අන්තර්ජාලයේ සැරිසරනවා ෴

+++++++++++++++++++++++++++++++++++

ලොව පුරා කොරෝනා ව්‍යාප්තියත් සමඟ රටවල් 14 ක කන්සියුලර් සේවා අද (16) සිට සීමා

(16.03.2020 – 09:03 +0530 – hirunews.lk/sinhala)

ශ්‍රී ලාංකික කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 18 දක්වා ඉහල ගොස් ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා ප්‍රකාශ කළා. ඒ ඊයේ (15) පස්වරුවේ තවත් ආසාදිතයන් 7 දෙනෙකු සොයා ගැනීමත් සමඟයි.

පිරිමි පුද්ගලයින් වන අතර මොවුන් සියලු දෙනා ඉතාලියේ සිට පැමිණ කන්දකාඩු නිරෝධායන මධ්‍යස්ථානයට යොමු කළ අය බවයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා කියා සිටියේ.

මෙම රෝගීන් සියළු දෙනා මේ වනවිට පොළොන්නරුව රෝහලේ ප්‍රතිකාර ලබන බවයි ඔහු තවදුරටත් සඳහන් කළේ.

ඊට අමතරව කොරෝනා ආසාදනය වී ඇති බවට සැකපිට තවත් 130 කට අධික පිරිසක් දිවයිනේ රෝහල් 14 ක ප්‍රතිකාර ලබනවා.

එමෙන්ම, විදෙස්ගතව සිට මෙරටට පැමිණ කන්දකාඩු, මඩකලපුව සහ දියතලාව ඇතුළු නිරෝධායන මධ්‍යස්ථාන වලට යොමු කර ඇති පුද්ගලයින් සංඛ්‍යාව 1715 ක් වන අතර, ඉන් 14 දෙනෙකු සැකසහිත රෝගී තත්ත්වයන් හේතුවෙන් රෝහල් ගත කර තිබෙනවා.

කොරෝනා වෛරසය ව්‍යාප්ත වීමේ අවදානම සමඟ අද රජයේ, බැංකු සහ වෙළඳ නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත් කොට මහජනයා ගැවසෙන විෂබීජහරණයට ලක් කරන බවයි සම කැබිනට් ප්‍රකාශක, අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා කොළඹ ඊයේ (15) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් සඳහන් කළේ.

මේ අතර, අද (16) දිනය නිවාඩු දිනයක් ලෙස නම් කර තිබුණ ද සෞඛ්‍ය සේවාව සඳහා නිවාඩු දිනයක් නොවන බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කළා.

එමෙන්ම පිටකොටුව මැනිං වෙළඳපොල මෙන්ම තොග සහ සිල්ලර වෙළඳසැල් විවෘතව තබන ලෙසයි රජය වෙළඳුන්ගෙන් ඉල්ලා සිටියේ.

එමෙන්ම කොරෝනා වෛරසය පිළිබඳ ජනතාවට යම් විමසීමක් හෝ දැනුම් දීමක් සිදුකිරීමට අවශ්‍ය වන්නේ නම්, ඒ සඳහා 117 යන දුරකථන අංකයක් ද හඳුන්වා දී තිබෙනවා.

ලොව පුරා කොරෝනා ව්‍යාප්තියත් සමඟ රටවල් 14 ක කන්සියුලර් සේවා අද සිට සීමා කරන බව විදේශ සබඳතා අමාත්‍යාංශය ඊයේ නිවේදනය කළා.

බ්‍රිතාන්‍ය, බෙල්ජියම, නෝර්වේ, ඉතාලිය, ඉරානය, දකුණු කොරියාව, ප්‍රංශය, ස්පාඤ්ඤය, ජර්මනිය, ස්විට්සර්ලන්තය, ඩෙන්මාර්කය, නෙදර්ලන්තය, ස්වීඩනය සහ ඔස්ට්‍රියාව මෙම රටවල් 14 ට අයත්.

ඒ අනුව අද (16) සිට ශ්‍රී ලංකා දූත මණ්ඩල විසින් ඉටුකරනු ලබන කන්සියුලර් සේවාවන්, හදිසි සංචාරක ලේඛන නිකුත් කිරීම, මරණ ලියාපදිංචි කිරීම සම්බන්ධ සහතික නිකුත් කිරීම සහ වෙනත් අවශ්‍ය යැයි සැළකෙන හදිසි සේවාවන් සීමා කරනු ඇති.

මේ අතර ස්වයං නිරෝධායනයකට ලක්වූ විදේශ සබඳතා අමාත්‍යාංශයේ නිලධාරිනිය සම්බන්ධයෙන් එම අමාත්‍යාංශය වැඩිදුර තොරතුරු වාර්තා කර තිබෙනවා.

නිවේදනයක් නිකුත් කරමින් ඔවුන් කියා සිටියේ මෙම නිලධාරිනිය ජිනීවා මානව හිමිකම් සැසිවාරයට සහභාගිවූ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා ඇතුලු දූත පිරිස සමඟ කටයුතු කරනු ලැබුවේ, පෙබරවාරි මස 20 වනදා සිට මාර්තු 1 වනදා දක්වා කාලය තුළ යුරෝපයේ පෞද්ගලික සංචාරයේ නියුතුව සිටි වෛරසය ආසාදනය වූ ඇයගේ පවුලේ සාමාජිකයා තනිව හමුවීමට පෙර බවයි.

එමෙන්ම මෙම නිලධාරිනිය මේ මස 8 වනදා නැවත ශ්‍රී ලංකාවට පැමිණ ඇති අතර, එදින සිට විදේශ කටයුතු අමාත්‍යවරයා සහ නිලධාරිනිය අතර කිසිදු හමුවක් සිදුව නොමැති බවද එම නිවේදනයේ දැක්වෙනවා ෴

+++++++++++++++++++++++++++++++++++

සීඝ්‍රයෙන් පැතිරෙන කොරෝනා නිසා විවාහ උත්සවවලට පොලිසියෙන් දැනුම් දීමක්

(16.03.2020 – 07:08 +0530 – hirunews.lk/sinhala)

කොරෝනා වෛරසය රට තුළ ව්‍යාප්තවීමේ අවදානම සැළකිල්ලට ගනිමින් මහජනතාව වැඩි වශයෙන් රැස්වන සියලුම රාජ්‍ය සහ පෞද්ගලික අංශයේ උත්සව දින 14 ක කාලයක් තහනම් කෙරුනද විවාහ උත්සව තහනම් කිරීමට පොලීසිය පියවර ගෙන නොමැති බව නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා ප්‍රකාශ කළා.

එවැනි උත්සවයක් පවත්වන්නේ නම්, සෞඛ්‍ය බලධාරීන් සමඟ සාකච්ඡා කර නිරෝධායනයට පියවර ගන්නා ලෙසටත් කොළඹ ඊයේ (15) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු කියා සිටියේ.

+++++++++++++++++++++++++++++++++++

දකුණු කොරියාවේ සිට පැමිණ නිරෝධායනයට නොගොස් පලා ගිය හතරක් (04) පොලිස් අත්අඩංගුවට

(16.03.2020 – 10:28 +0530 – lankaleadnews.com)

දකුණු කොරියාවේ සිට මෙරටට පැමිණ ගුවන්තොටුපොළේදී පලාගොස් නිවෙස්වලට පැමිණි තරුණයන් සිවුදෙනකු රත්නපුර පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

ඔවුන් නිරෝධායන කටයුතු සඳහා භාරදීමට නියමිත බව පොලිසිය සඳහන් කළේය.

කටුනායක ගුවන්තොටුපොළේදී මොවුන් එහි නිලධාරීන්ට හොරෙන් පලාවිත් නිවෙස්වල රැඳී සිටියදී ගුවන්තොටුපොළ මඟින් ලබාදුන් තොරතුරු මත මෙම තරුණයන් සොයාගෙන ඇත.

රත්නපුර පොලිස් අධිකාරි සේනක වීරසිංහ මහතාගේ උපදෙස් මත මූලස්ථාන පොලිස් පරීක්ෂක රොහාන් ඕලුගල මහතා ඇතුළු නිලධාරීන්ගේ මෙහෙයවීමෙන් මෙම තරුණයන් පොලිසිය විසින් සොයා ගනු ලැබුවා. නිරෝධායනයට බියෙන් තම නිවෙස්වල සිටි නමුත් පිටතට නොගිය බව ඔවුන් පොලිසියට පවසා තිබේ ෴

+++++++++++++++++++++++++++++++++++

ලොව පුරා සිදුවු කොරෝනා මරණ සංඛ්‍යාව 6500 ය ඉක්මවයි – ඉතාලියේ එක් දිනක දී මරණ 368 ක්

(16.03.2020 – 07:26 +0530 – sinhala.adaderana.lk)

ලොව රටවල් 140 කට ආසන්න සංඛ්‍යාවක පැතිර ගොස් ඇති නව කොරෝනා වෛරසය හේතුවෙන් අද (16) වන විට මියගිය ගණන 6,500 ක් ඉක්මවා තිබේ.

විදෙස් මාධ්‍ය වාර්තා කළේය, වෛරසයෙන් දැඩි බලපෑම් එල්ල වී ඇති ඉතාලිය, ස්පාඤ්ඤය සහ ප්‍රංශය යන යුරෝපා රාජ්‍යයන් තුනෙන් එක් දිනක් තුළ වාර්තා වූ වැඩිම සංඛ්‍යාව ඊයේ(15) වාර්තා වී ඇති බවයි.

ලොව රටවල් 140 කට ආසන්න සංඛ්‍යාවක පැතිර ඇති නව කොරෝනා වෛරස් වසංගතයෙන් අද (16) වනවිට සිදුව ඇති මරණ ගණන 6,500 ඉක්මවයි.

වෛරසය ආසාදිත සමස්ත ගණන 169,000 ඉක්මවන අතර අතර සුවය ලැබූ පිරිස 76,000 කට අධිකයි.

චීනයේ වූහාන් නුවරින් ඇරඹි කොරෝනා වෛරසය කෙටි කාලයක් තුළ පාලනය කිරීමට චීනයට හැකි වීම විශේෂත්වයක්.

ඊයේ (15) දිනයේ දී චීනයෙන් නව ආසාදිතයින් 16 දෙනෙකු සහ මරණ 14 කට අධික සංඛ්‍යාවක් වාර්තා වී තිබේ.

අද (16) වනවිට නව කොරෝනා වෛරසයේ කේන්ද්‍රස්ථානය බවට පත්ව ඇති යුරෝපයේ ඉතාලිය, ස්පාඤ්ඤය සහ ප්‍රංශය යන රාජ්‍යයන්වලින් එක් දිනක් තුළ වාර්තා වූ වැඩිම සංඛ්‍යාව ඊයේ (15) වාර්තා විය.

චීනයෙන් පසු වැඩිම කොරෝනා බලපෑමට ලක්වූ ඉතාලියෙන් මරණ1,809 ක් වාර්තා වන අතර සමස්ත ආසාදිතයින් ගණන 24,747 ක්.

ඉතාලි සෞඛ්‍යය අංශ ප්‍රකාශ කළේ ගත වූ පැය 24 තුළ නව මරණ 368 ක් වාර්තා වී ඇති බවයි.

ඉතාලියට පසුව යුරෝපායේ වැඩිම බලපෑමට ලක්ව ඇති අනෙක් රාජ්‍ය වන්නේ ස්පාඤ්ඤය වන අතර එරටින් ආසාදිතයින් 7,844 ක් හමු වී තිබේ.

මරණ 288, දක්වා ඉහළ ගොස් ඇත්තේ, ඊයේ දිනයේ දී නව මරණ 97 කට අධික සංඛ්‍යාවක් වාර්තා වීමත් සමඟයි.

මේ අතර ප්‍රංශයෙන් ආසාදිතයින් 5,423 ක් සහ මරණ 127 ක් වාර්තා වාර්තා වෙයි.

එක්සත් රාජධානියෙන් ආසාදිතයින් 1,391 දෙනෙකු වාර්තා වන අතර සිදුව ඇති මරණ ගණන 35 ක්.

නව කොරෝනා වෛරසයෙන් මහලු පුද්ගලයින්ට දැඩි අවධානමක් පවතින අතර ආරක්‍ෂිත පියවරක් ලෙස වයස අවුරුදු 70 ට වැඩි සෑම බ්‍රිතාන්‍ය ජාතිකයෙකුටම දීර්ඝ කාලයක් නිවෙස් තුළම රඳවා තැබීමේ ක්‍රමවේදයක් කෙරෙහි බලධාරීන්ගේ අවධානය යොමුව තිබේ ෴

***************************************

රියදුරෙකුට පහරදුන්නැයි පිළියන්දල මාර්ග කිහිපයක බස් වර්ජනයක්

(16.03.2020 – 10:00 +0530 – hirunews.lk/sinhala)

බස් රථ රියදුරෙකුට පහරදීමේ සිද්ධියක් මුල් කරගනිමින් මාර්ග අංක 341, 296, 341/2 බස් රථ සේවකයන් වර්ජනයක් ආරම්භ කර තිබෙනවා.

මහරගම – පිළියන්දල සහ කොට්ටාව – පිළියන්දල බස් රථ මෙන්ම කරදියාන – මහරගම බස් රථ මේ හේතුවෙන් ධාවනය නොවන බවයි හිරු වාර්තාකරු සඳහන් කළේ ෴

***************************************

කේවියට් දැන්වීම් ලියාපදිංචි නීති දැඩි කෙරේ

(16.03.2020 – 15:44 +0530 – lankadeepa.lk)

ඉඩම් සම්බන්ධයෙන් සිදුකෙරෙන කේවියට් දැන්වීම් ලියාපදිංචි කිරීමේ නීතිය දැඩි කිරීමට රෙජිස්ට්‍රාර් ජනරාල් දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබේ.

කේවියට් දැන්වීම් ලියාපදිංචි කිරීම සම්බන්ධයෙන් මහජන පැමිණිලි හා චෝදනා නිරතුරුව ම ලැබීම හේතුවෙන් මෙම පියවර ගත් බව රෙජිස්ට්‍රාර් ජනරාල් එන්. සී. විතානගේ මහතා පැවසීය.

දේපළවලට කිසිදු සම්බන්ධයක් නැති පුද්ගලයන් විසින් පළිගැනීමේ චේතනාවෙන් හෝ විකිණීමට ඇති ඉඩමක් නම් එය වැළැක්වීමේ චේතනාවෙන් කේවියට් දැන්වීම් ලියාපදිංචි කරන බවට සහ කේවියට්කරුවන්ට නිසි පරිදි ඉඩම් ලියාපදිංචි කිරීමේ කාර්යාල මගින් දැනුම් දීම් සිදුනොකරන බවට චෝදනා ලැබෙන බවද ඔහු කීය.

ඒ අනුව, මින් ඉදිරියට කේවියට් දැන්වීම් ලියාපදිංචියට බාරදෙන පුද්ගලයන් පරීක්ෂා කිරීම, ඒ බව ලිඛිත සාක්ෂි හා දිවුරුම් ප්‍රකාශ මගින් තහවුරු කරගැනීම, කේවියට්කරු ඉඩමේ අයිතිකරු නොවන අවස්ථාවක එම ඉඩමට ඔහුට ඇති සම්බන්ධතාවය දිවුරුම් ප්‍රකාශයක් මගින් තහවුරු කරගැනීම අනිවාර්ය බවද විතානගේ මහතා පැවසීය.

තවද කේවියට් දැන්වීමත් අවලංගු කිරීමකදී ද එය ලියාපදිංචි කළ අය විසින් ම එම අවලංගු කිරීම සිදුකරන්නේ ද යන්න ලිඛිත සාක්ෂි හා දිව්රුම් ප්‍රකාශයක් මගින් තහවුරු කරගැනීම අනිවාර්ය බවට නීති සකස් කළ බවද රෙජිස්ට්‍රාර් ජනරාල්වරයා කීය ෴

***************************************

එජාපයට සහ සමගි ජනබලවේගයට නාමයෝජනාවත් සකස් කරගන්න බැරිවෙලා – රෝහිත අබේගුණවර්ධන

(16.03.2020 – 12:44 +0530 – hirunews.lk/sinhala)

එක්සත් ජාතික පක්ෂයට සහ සමගි ජනබලවේගයට නාමයෝජනා පත්‍ර සකස් කරගැනීමට හෝ නොහැකි තත්ත්වයක් උද්ගතව ඇති බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පවසනවා.

හිටපු රාජ්‍ය අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන මහතා මේ බව කියා සිටියේ බත්තරමුල්ල – නෙළුම් මාවත පක්ෂ කාර්යාලයේ අද (16) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්.

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *