කොරෝනා නිරෝධායන මධ්‍යස්ථාන එපා.. වවුනියාවේ විරෝධතා.. ඒ නොතකා හමුදාවෙන් 265 ක් රඳවයි..

(15.03.2020 – 11:20 +0530 – lankacnews.com)

දකුණේ සිට උතුරට කොරෝනා වයිරස් ආසාධිතයින් බවට සැකකෙරෙන පුද්ගලයින් රැගෙන ඒමෙන් උතුරේ ජනතාවට දැඩි බියකින් ජීවත් වීමට සිදුව ඇති බව පවසමින් වව්නියාවේ පිහිටුවා ඇති නිරෝධායන මධ්‍යස්ථානය වහාම ඉවත් කරන ලෙස ඉල්ලා ප්‍රදේශවාසීන් පිරිසක් විසින් ඊයේ (14) දින විරෝධතාවයක නිරත වූහ.

වව්නියාව පම්පමඩුව යුදහමුදා කඳවුරේ පිහිටුවා ඇති නිරෝධායන මධ්‍යස්ථානය වහාම ඉවත්කරන ලෙසට ඉල්ලා වව්නියාව නෙලුක්කුලම් මංසන්ධියේ ප්‍රාදේශීය සභාව, දේශපාලන නියෝජිතයින් හා ගම්වාසීන් පිරිසක් විසින් මෙම විරෝධතාව සංවිධානය කොට තිබුණි.

කොරෝනා වයිරසය පැතිරීමේ අවධානම් තත්වයක් තිබියදී සැකකටයුතු පුද්ගලයින් දකුණේ සිට උතුරට රැගෙන ඒම කිසිසේත් පිළිගත නොහැකි බවත් එමගින් උතුරේ ජනතාවටද දැඩි බියකින් ජීවත්වීමට සිදුව තිබෙන බවත් ඒනිසා අදාල නිරෝධායන මධ්‍යස්ථානය වහාම ඉවත්කල යුතු යැයි විරෝධතා කරුවන් පවසා සිටියහ.

එමෙන්ම නිරෝධායනය වෙනුවෙන් වව්නියාවට රැගෙන එන අවස්ථාවේදීද නගරයේ ජනතාවට හෝ ප්‍රදේශවාසී ජනතාවට කිසිදු දැනුම්දීමක් සිදු නොකොට එකවර නිරෝධායනය වෙනුවෙන් සැකකටයුතු පුද්ගලයින් රැගෙනඒම මගින් වව්නියාවේ ජනතාව බිල්ලට තැබීමක් බවටත් අදාල මධ්‍යස්ථානය ඉවත් කිරීමට හෝ එම මධ්‍යස්ථානය අවට සිටින ජනතාව ඉවත් කිරීමට හෝ කඩිනම් විසඳුමක් බලධාරීන් විසින් ගත යුතු බවට විරෝධතා කරුවන් වැඩි දුරටත් පැවසීය.

කොරෝනා වයිරසය පැතිරීමේ අවධානමත් සමග ශ්‍රීලංකාවට වෙනත් රටවල සිට පැමිණි මගීන් 265 දෙනෙකු ඊයේ (14) සවස වන විට වව්නියාව පම්පමඩුව යුද හමුදා කඳුවරක් වෙතට රැගෙනවිත් නිරෝධායන කටයුතුවල නිරත කරවීමට පියවර ගෙන ඇත.

පම්පමඩුව යුද හමුදා කඳවුරක් මෙසේ නිරෝධායන මධ්‍යස්ථානයක් වශයෙන් පිහිටුවා ඇති අතර කටුනායක සිට බස් රථමගින් අවස්ථා කිහිපයකදී මෙම පිරිස් රැගෙනවිත් නිරෝධායන කටයුතු සිදු කිරීමට යුද හමුදාව විසින් පියවර ගෙන ඇත.

මේ අනුව පම්පමඩුව නිරෝධායන මධ්‍යස්ථානය අවට ප්‍රදේශයද පූර්ණ සෞඛ්‍ය ආරක්ෂිත ප්‍රදේශයක් බවට පත් කොට තිබෙන නිසා ප්‍රදේශවාසී ජනතාවට බියකින් තොරව ආරක්ෂිත පියවර ගනිමින් දෛනික කටයුතු වල නිරත වන ලෙසටද ආරක්ෂක අංශ විසින් වැඩි දුරටත් දැනුම් දී ඇත.

– වන්නි රොමේෂ් මධුෂංඛ

***************************************

පොළොන්නරුව දිස්ත්‍රික් කණ්ඩායම් නායකයා ලෙස රොෂාන් රණසිංහ නාමයෝජනා අත්සන් තබයි – ශ්‍රීලනිපය තීරණාත්මක මාධ්‍ය හමුවක් කැඳවයි

(15.03.2020 – 14:38 +0530 – lankaleadnews.com)

එළඹෙන මහ මැතිවරණය සඳහා ශ්‍රී ලංකා නිදහස් පොදුජන සන්ධානයෙන් තරග වදින හිටපු රාජ්‍ය අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා පොළොන්නරුව දිස්ත්‍රික් කණ්ඩායම් නායක ලෙස අදාළ නාම යෝජනා පත‍්‍රයට අද (15) අත්සන් කර තිබේ.

ඒ, වීරකැටිය කාල්ටන් නිවසේ ශ්‍රී ලංකා නිදහස් පොදුජන සන්ධානයේ නායක අග‍්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඉදිරියේයි.

එම කණ්ඩායමේ අපේක්ෂකයෙකු ලෙස හිටපු ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාද පසුගියදා නාමයෝජනා අත්සන් කළේය.

අද (15) දිනයේ නාමයෝජනා සඳහා අත්සන් තැබීමෙන් පසු හිටපු රාජ්‍ය අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා මාධ්‍ය වෙත පවසා ඇත්තේ සිය වසර පහක කැපවීමට නිසි තැන හිමිවූ බවයි.

මේ අතර ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අද (15) පස්වරුවේ හදිසි මාධ්‍ය හමුවක් කැඳවා තිබේ ෴

***************************************

කොරෝනා වෛරසය වැලදී ඇති බව වසන් කරොත් මාස 6 ක සිර දඬුවම් – සමාජ මාධ්‍ය ඔස්සේ අසත්‍ය තොරතුරු පැතිරූ 23 ක් ගැන පරීක්ෂණ

(15.03.2020 – 14:26 +0530 – sinhala.adaderana.lk)

කොරෝනා වෛරසය වැලදී ඇති බව වසන් කරමින් සිටි නම් එවැනි පුද්ගලයින්ට මාස 6 ක සිර දඬුවම් නියම කරන බව පොලීසිය දැනුම් දෙයි.

පොලිස් මුලස්ථානයේ අද (15) මේ වන පැවැත්වේන විශේෂ මාධ්‍ය හමුවේදි නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා මේ බව පැවසීය.

එමෙන්ම සමාජ ජලා ඔස්සේ අසත්‍ය ප්‍රකාශ පතුරවන පිරිස් සම්බන්ධයෙන්ද නිතීය ක්‍රියාත්මක කරන අතර මේ වන විට එවැනි අසත්‍ය ප්‍රචාර සිදු කර 23 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බවද ඒ මහතා දැනුම් දුන්නේය.

පුද්ගලික සාද සම්බන්ධයෙන් පොලීසිය කටයුතු නොකරන නමුත් විවාහ උත්සව වැනි කටයුතු වලදි දැඩිව සෞඛ්‍ය උපදෙස් අනුගමනය කිරීමට දැනුම් දෙන බවද ඒ මහතා පවසයි ෴

සමාජ මාධ්‍ය ඔස්සේ කොරෝනා ගැන අසත්‍ය තොරතුරු පැතිරූ 23 ක් ගැන පරීක්ෂණ

කොරෝනා වෛරසය සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ අසත්‍ය ප්‍රකාශ ගෙන ගිය 23 දෙනෙකු සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කර ඇති බව නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා ප්‍රකාශ කළා.

ඒ, පොලිස් මූලස්ථානයේ දැන් පැවැත්වෙන මාධ්‍ය හමුවට එක්වෙමින්.

එමෙන්ම, මුහුණු ආවරණ ගබඩා කරගෙන සිටින සහ වැඩි මිලට අලෙවි කරන වෙළඳුන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන බවයි නියෝජ්‍ය පොලිස්පතිවරයා තවදුරටත් කියා සිටියේ ෴

යාපනය ජාත්‍යාන්තර ගුවන්තොටුපල සති දෙකකට වැසෙයි

වහාම ක්‍රියාත්මක වන පරිදි සති දෙකක (02) කාලයක් සඳහා යාපනය ජාත්‍යන්තර ගුවන්තොටුපල වසා දැමීමට කටයුතු කළ බව සිවිල් ගුවන්සේවා අධිකාරිය පවසයි.

ඒ රටපුරා කොරෝනා වෛරසය ව්‍යාප්ත වීමේ අවදානම සලකමින් ෴

+++++++++++++++++++++++++++++++++++

කොරෝනා බවට සැකකෙරෙන පුද්ගලයින්ට ප්‍රතිකාර කිරීම ප්‍රතික්ෂේප කළ වෛද්‍යවරයෙකු ගැන පරීක්ෂණ

(15.03.2020 – 15:07 +0530 – hirunews.lk/sinhala)

මීගමුව රෝහලට ඇතුළත් කර ඇති කොරෝනා වෛරසය ආසාදිත වී ඇති බවට සැකකෙරෙන පුද්ගලයින්ට ප්‍රතිකාර කිරීම ප්‍රතික්ෂේප කළ වෛද්‍යවරයා සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්වන ලෙස රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාගෙන් ඉල්ලීමක් කර තිබෙනවා.

ඒ අනුව අදාළ වෛද්‍යවරයා යම්කිසි වරදක් සිදුකර ඇත්නම් ඊට අදාළව විනය ක්‍රියාමාර්ග ගන්නා ලෙස ඉල්ලීමක් කළ බවයි එම සංගමය සඳහන් කළේ.

කොරෝනා වෛරසය ආසාදනය වූ බවට සැක කෙරෙන පුද්ගලයින් මීගමුව රෝහලට ඇතුලත් කිරීමත් සමඟ එම රෝහලේ සේවය කරන වෛද්‍යවරුන් පිරිසක් අද (15) අදාළ රෝගීන් පරීක්ෂා කිරීම ප්‍රතික්ෂේප කර ඇති බවට තොරතුරු වාර්තා වුණා.

රෝහල් ආරංචි මාර්ග සඳහන් කළේ එක් විශේෂඥ වෛද්‍යවරයෙකු මූලික වී මෙම කටයුත්ත සිදුකර ඇති බවටයි ෴

+++++++++++++++++++++++++++++++++++

රාජ්‍ය නායක වීඩියෝ සංවාදය අද (15) සන්ධ්‍යාවේ

(15.03.2020 – 12:35 +0530 – hirunews.lk/sinhala)

කොරෝනා වෛරසයේ ව්‍යාප්තිය පිළිබඳ දකුණු ආසියානු රටවල රාජ්‍ය නායකයන්ගේ වීඩියෝ සංවාදය අද (15) පස්වරු පහට පැවැත්වෙන බව ඉන්දීය මාධ්‍ය වාර්තා කළා.

ඒ, කොරෝනා වෛරසයට එරෙහිව සටන් වැදීම සඳහා ශක්තිමත් ක්‍රමෝපායක් සැකසීමට දකුණු ආසියාතික රටවල නායකත්වය එක්විය යුතු බවට ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා සිදුකළ ප්‍රකාශයේ ප්‍රතිඵලයක් ලෙසින්.

ඊට ප්‍රතිචාර දක්වමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සඳහන් කළේ එවැනි සංවාදයක් සඳහා එක්වීමට ශ්‍රී ලංකාව සූදානම්ව සිටින බවයි.

මෙම තීරණාත්මක අවධියේ ජනතාවගේ සුරක්ෂිතතාව උදෙසා සහෝදරත්වයෙන් එක්විය යුතු බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සිය පණිවුඩයෙන් අවධාරණය කළා.

සාක් රාජ්‍ය නායකයන්ගේ වීඩියෝ සංවාදය සෞඛ්‍ය සම්පන්න ලෝකයක් ගොඩනැගීම සඳහා වූ කාලීන පියවරක් ලෙසයි අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් සඳහන් කළේ.

කොවිඩ් 19 හෙවත් නව කොරෝනා වෛරසයට එරෙහිව සටන් වැදීමේ මාර්ග සිතියමක් සැකසීම සම්බන්ධයෙන් මෙම වීඩියෝ සංවාදයේදී සාකච්ඡා කරන බවද ඉන්දීය අග්‍රාමාත්‍යවරයා කියා සිටියා.

දකුණු ආසියාතික රටවල නායකයන්ගේ එක්වීම ඒවායේ ජනතාවට සාධනීය ප්‍රතිඵල ගෙන එනු ඇති බවට අගමැති මෝදි මෙහිදී විශ්වාසය පළ කළා.

සාක් රාජ්‍ය නායකයන්ගේ වීඩියෝ සංවාදයට එක්වීමට සූදානම් බව පාකිස්ථාන අගමැති ඉම්රාන් ඛාන් මහතාද ප්‍රකාශ කර තිබෙනවා ෴

https://www.facebook.com/hirunews/videos/298766661103306/

+++++++++++++++++++++++++++++++++++

විදේශ අමාත්‍යාංශ කාර්යය මණ්ඩලයේ පිරිසක් ස්වයං නිරෝධායනයට

(15.03.2020 – 13:04 +0530 – sinhala.adaderana.lk)

විදේශ සබඳතා අමාත්‍යාංශයේ නිලධාරිනියකගේ පවුලේ සාමාජිකයෙකුට නව කොරෝනා වෛරසය ආසාදනය වීම හේතුවෙන් එම නිලධාරිනිය සහ ඇය සමඟ සබඳතා පැවැත්වු අමාත්‍යාංශ කාර්යය මණ්ඩලය ස්වයං නිරෝධායන ක්‍රියාවලියකට යොමුකර ඇත.

විදේශ සබඳතා අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් පවසන්නේ වෛරසය සම්ප්‍රේෂණය වීමේ අවදානම අවම කරගැනිමේ අරමුණින් මෙම පියවර ගත් බවයි.

අදාළ නිලධාරිනිය මීට සති දෙකකට පමණ පෙර රාජකාරී කටයුත්තක් සඳහා යුරෝපා රටක සංචාරයක ද නිරත වී ඇති බව සඳහන්.

ඇයගේ පවුලේ සාමාජිකයෙකු කොරෝනා ආසාදිතයෙකු බවට හඳුනාගැනීමත් සමඟ එම නිලධාරිනිය පසුගිය සිකුරාදා දිනයේ සිට ස්වයං නිරෝධායන ක්‍රියාවලියකට යොමුකර ඇති බවයි විදේශ සබදතා අමාත්‍යාංශය සඳහන් කළේ.

එමෙන්ම ඇය සමඟ රාජකාරී කටයුතුවලට සම්බන්ධ අමාත්‍යාංශ කාර්යය මණ්ඩලයට ද ස්වයං නිරෝධායනයට උපදෙස් ලබා දී ඇති අතර අමාත්‍යාංශයේ අදාළ අංශ ද විෂබීජ හරණය සදහා පියවර ගෙන ඇත.

මීට අමතරව අමාත්‍යාංශ කාර්යය මණ්ඩලයේ සහ සෙසු පිරිසගේ ආරක්ෂාව සහතික කිරීම සඳහා කඩිනම් ක්‍රියාමාර්ග ගනිමින් සිටින බව ද විදේශ සබඳතා අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයේ සඳහන් ෴

+++++++++++++++++++++++++++++++++++

කොරෝනා පරීක්ෂණ සිදුකරන්න රජයේ රෝහල් 15 ක් නිර්දේශ වෙයි

(15.03.2020 – 12:28 +0530 – sinhala.adaderana.lk)

කොරෝනා වෛරසය පිළිබඳව වෛද්‍ය පරීක්ෂණ සිදුකර ගැනීම සඳහා රජයේ රෝහල් 15 ක් නිර්දේශ කර ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

වෛරසය පිළිබද ප්‍රතිකාර හා නිරෝධායන කටයුතු වෙනුවෙන් එම රෝහල් නිර්දේශ කර ඇති බවයි සෞඛ්‍ය අමාත්‍යාංශයේ වසංගත රෝග විද්‍යා අංශය පෙන්වා දෙන්නේ.

අයි.ඩි.එච්.රෝහල, කොළඹ ජාතික රෝහල, මහනුවර රෝහල, රිජ්වේ ආර්යා ළමා රෝහල, ද සොයිසා මාතෘ රෝහල, රාගම, කරාපිටිය, යාපනය, මඩකලපුව, රත්නපුර සහ අනුරාධපුරය යන ශික්ෂණ රෝහල්වල මෙන්ම කුරුණෑගල, බදුල්ල, ගම්පහ සහ මීගමුව යන මහ රෝහල්වල මේ සඳහා පහසුකම් සලසා ඇති බව සඳහන්.

නව කොරෝනා වෛරසය සම්බන්ධයෙන් ප්‍රතිකාර හා නිරෝධායන කටයුතු සඳහා පෞද්ගලික රෝහල් වලට අවසර ලබාදීම පිළිබද සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් නියාමනයක් සිදුකිරීමට ද පියවර ගනිමින් සිටින බවයි වාර්තා වන්නේ ෴

+++++++++++++++++++++++++++++++++++

සෑම දුම්රිය හා බස් නැවතුම්පොලකටම දෑත් සේදීමේ පහසුකම්

(15.03.2020 – 11:53 +0530 – sinhala.adaderana.lk)

දැනට කොළඹ දුම්රිය ස්ථානයේ හා කොළඹ බැස්ටියන් මාවතේ පිහිටි පුද්ගලික බස් රථ නැවතුම්පොළෙහි මෙන්ම කොළඹ ලංගම බස් නැවතුම්පොළේ ද මගී ජනතාව කොරෝනා වෛරස් ආසාදනයෙන් ආරක්ෂා කර ගැනීම සඳහා දෑත් සෝදාගැනීමේ පහසුකම් සපයා තිබේ.

මෙම වැඩ පිළිවෙළතවත් පුළුල් කරමින් දිවයිනේ සෑම දුම්රියපොලකම, මෙන්ම බස් නැවතුම්පොළවල ද මගීන්ට දෑත්සෝදා ගැනීමේ පහසුකම් සපයන්නැයි ප්‍රවාහණ සේවා කළමනාකරණ අමාත්‍ය මහින්ද අමරවීර මහතා අද දින (15) පෙරවරුවේ අදාල බලධාරින්ට උපදෙස් ලබා දී ඇත.

බස් රථයට හෝ දුම්රියට නැගීමට පෙර දෑත් සෝදා ගැනීමත්, බස් රථයෙන් හෝ දුම්රියෙන් බසින විට එම දුම්රියපොලවල හා බස් රථ නැවතුම්පොලවල දී තම දෑත් පිරිසිදු කර ගැනීමත් සිදු කර ගන්නා ලෙසත් අමාත්‍යවරයා මගි ජනතාවගෙන් ඉල්ලා සිටියි.

කොරෝනා වෛරසය ආසාදනය වීම වළක්වා ගැනීම සඳහා ජනාධිපතිවරයා උපදෙස් පරිදි සියලුම දුම්රිය හා බස් රථ විෂබීජානුහරණය කිරීමේ වැඩ පිළිවෙළක් ද මේ වනවිට ආරම්භ කර ඇති අතර එම කටයුතු නිසි පරිදි ක්‍රියාත්මක වන්නේ ද යන්න දෛනික අධීක්ෂණයකට ලක් කරන ලෙස අමාත්‍යවරයා ජාතික ගමනාගමන කොමිසමට හා ලංකා ගමනාමණ්ඩලයට මෙන්ම ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුවට ද උපදෙස් දී තිබේ.

ඇතැම් මගින් ගමනාන්තයට පෙර බස් රථවලින් බැස යන බැවින් එම මගී ජනතාව ද තම නිවෙසට ගිය වහාම පළමුව හොඳින් සබන් හෝ වෙනත් විෂබීජානුහරණ ද්‍රව්‍යයක් යොදා ගනිමින් දෑත් පිරිසිදු කර ගන්නා ලෙසත්, එමඟින් තම පවුලේ සාමාජිකයින්ට මෙම වෛරසය ආසාදනය වීම වළක්වා ගැනීමට හැකි බවත් අමාත්‍යවරයා සඳහන් කළේය ෴

+++++++++++++++++++++++++++++++++++

ඉතාලියෙන් ඇවිත් නිරෝධානය නොවු පිරිස හඳුනාගෙන නිරෝධායන කරන්න තීරණයක්

(15.03.2020 – 11:35 +0530 – sinhala.adaderana.lk)

මාර්තු මස පළමුවනදා සිට 9 වනදා දක්වා ඉතාලියේ සිට මෙරටට පැමිණ නිරෝධායනය නොවු ශ්‍රී ලාංකිකයින් හඳුනාගෙන ඔවුන් ද නිරෝධායනයට ලක් කිරීම ආරම්භ කරන බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පවසයි.

“කොරෝනා ඇත්ත සහ බොරුව” කොවිඩ් 19 හෙවත් කොරෝනා වෛරස් ව්‍යාප්තිය හා පාලනය සම්බන්ධ වත්මන් තත්ත්වය පිළිබඳ ජනතාව දැනුවත් කිරීමේ ඒකාබද්ධ රූපවාහිනි සංවාදාත්මක වැඩසටහනට එක්වෙමින් ඒ මහතා මේ බව පැවසීය.

කොවිඩ් නයින්ටීන් හෙවත් නව කොරෝනා වෛරසය දිවයින තුළ පැතිරයාම පාලනය කිරීම හා එහි වත්මන් තත්ත්වය පිළිබඳ ජනතාව දැනුවත් කිරීමේ සජීවීවැඩසටහනක් සියලු විද්‍යුත් මාධ්‍ය ඒකාබද්ධව අද (15) පෙරවරුවේ පැවැත්වුණි.

සියලුම රූපවාහිනි හා ගුවන් විදුලි නාලිකා ඔස්සේ අද (15) පෙරවරු 10:00 සිට පෙරවරු 11:30 දක්වා විකාශය කළ මෙම සංවාදමය වැඩසටහන රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සහ විද්‍යුත් විකාශකයින්ගේ සංසදය එක්ව සංවිධානය කර තිබුණි.

නව කොරෝනාවෛරසයට අදාළ වගකීම් සහගත තොරතුරු පමණක් සන්නිවේදනය කිරීම පිණිස ක්‍රියාත්මක ඒකාබද්ධ මාධ්‍ය මෙහෙයුමේ එක් පියවරක් ලෙස අද (15) පෙරවරුවේ පැවති මෙම වැඩසටහනේ තේමාව වීතිබුණේ “කොරෝනා ඇත්ත සහ බොරුව” යන්නයි.

වැඩසටහන සඳහා සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ, යුධ හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා, විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම, විශේෂඥ වෛද්‍ය පබා පලිහවඩන යන මහත්ම මහත්මීන් ඇතුළු පිරිසක් සහභාගි වී සිටියා ෴

+++++++++++++++++++++++++++++++++++

එක්සත් රාජධානිය – නෝර්වේ – බෙල්ජියම සිට එන ගුවන් ගමන් සති 2 ක් අත්හිටුවයි

(15.03.2020 – 16:26 +0530 – sinhala.adaderana.lk)

එක්සත් රාජධානිය, නෝර්වේ සහ බෙල්ජියමේ සිට ශ්‍රී ලංකාවට පැමිණෙන සියලු ගුවන් ගමන් හෙට (16) සිට සති දෙකක කාලයක් සඳහා අත්හිටුවා ඇති බව සිවිල් ගුවන්සේවා අධිකාරිය දන්වා ඇත ෴

+++++++++++++++++++++++++++++++++++

IDH රෝහලේ ප්‍රතිකාර ලබන දස දෙනාගේ සෞඛ්‍ය තත්ත්වය යහපත්

(15.03.2020 – 15:41 +0530 – sinhala.adaderana.lk)

නව කොරෝනා වෛරසය ආසාදන වී අයි.ඩි.එච්.රෝහලේ ප්‍රතිකාර ලබන පුද්ගලයින් දස දෙනාගේ සෞඛ්‍ය තත්ත්වය යහපත් බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පවසයි.

ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැත්වෙන මාධ්‍ය හමුවට එක්වෙමින් අනිල් ජාසිංහ මහතා පැවසුවේ දිවයිනේ රෝහල් 15 ක සැක සහිත රෝග ලක්ෂණ පෙන්නුම් කළ පුද්ගලයින් 133 දෙනෙකු වෛද්‍ය අධීක්ෂණය යටතේ රැදි සිටින බවයි.

පසුගිය කාලය තුළ දිවයිනට පැමිණි පුද්ගලයින් 4400 කට අධික පිරිසක් සම්බන්ධයෙන් මේ වන විට පසු විපරම් සිදුකර ඇති අතර එම පිරිසට විදෙස් ජාතිකයින් ද අයත් වන බව අනිල් ජාසිංහ මහතා සදහන් කළේය ෴

+++++++++++++++++++++++++++++++++++

තවත් කොරෝනා ආසාදිතයින් 7 ක් සොයා ගනියි – මුළු ගණන 18 ක් දක්වා ඉහළට

(15.03.2020 – 20:56 +0530 – sinhala.adaderana.lk)

ශ්‍රී ලාංකික කොරෝනා ආසාදිත රෝගීන් 7 දෙනෙකු තහවුරු කර ගෙන ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා තහවුරු කරයි.

මෙම රෝගීන් 7 දෙනා පිරිමි පුද්ගලයින් වන අතර ඔවුන් සියලු දෙනාම ඉතාලියේ සිට පැමිණ කන්දකාඩු නිරෝධාන මධ්‍යස්ථානයට යොමු කළ අය වේ.

මෙම රෝගීන් සියලු දෙනා පොලොන්නරුව රෝහලේ ප්‍රතිකාර ලබති.

ඒ අනුව මේ වන විට තහවුරු කර ගෙන ඇති මුළු ශ්‍රී ලංකික කොරෝනා අසාදිත රෝගීන් සංඛ්‍යාව 18 ක් වේ.

+++++++++++++++++++++

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

Comments 1

bo වෙත ප්‍රතිචාරයක් සටහන් කරන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *