මත්පැන් පානය කරමින් සිසුවාගේ හිසට ටයරය දාලා.. යන්ත්‍ර ගැලෙව්වොත් ජීවිතය අවසන් – සිසු ඝාතන තැත ජපුර සරසවිය කළඹයි !

(09.03.2020 – 09:35 +0530 – truenews.lk)

ටයරයක් වැදීමෙන් බරපතල තුවාල ලබා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර ඇති සිසුවා සම්බන්ධයෙන් වන පොලිස් පරීක්ෂණ සඳහා ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ සහාය හිමි නොවන බව වාර්තා වනවා.

මත්පැන් පානය කරමින් සිටි ජ්‍යෙෂ්ඨ සිසුන් පිරිසක් විසින් මෙම අපරාධය කර ඇති බවටයි ඔහුගේ සොහොයුරා චෝදනා කරන්නේ.

“මගේ මල්ලි විශ්වවිද්‍යාලයට ආවේ පුදුම පීඩනයක් විඳලා. අපේ අම්මා පිළිකාවකින් නැතිවෙලා මාසයක් යන්න කලින් මල්ලි උසස් පෙළට මුහුණ දීලා ඒ විභාගය උසස් විදිහට පාස්වෙලා ජයවර්ධනපුර මැනේජ්මන්ට් ෆැකල්ටියට ආවා. ඒත් මල්ලි අද ඉන්නේ ජීවත් වෙයිද නැද්ද කියලා විශ්වාසයක් නැති තැනක. මල්ලිත් එක්කම ඉන්න කවුරු හරි ළමයෙක් කරපු මේ වැඩේ නිසා මගේ මල්ලිගේ සම්පූර්ණ ජීවිතයම විනාශ වෙනවා.” යැයි ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ කළමනාකරණ පීඨයේ පළමු වසර ශිෂ්‍ය පසිඳු හිරුෂාන්ගේ වැඩිමහල් සොහොයුරා වන ලක්ෂාන් සිල්වා මහතා පවසනවා.

විශ්වවිද්‍යාලයේ නවක වධය ලබාදෙන කාලසීමාව අවසන් වූ පසුව ඉකුත් 05 වැනිදා රාත්‍රියේ ජයවර්ධනපුර සරසවි භූමියේදී පැවැත්වූ උත්සවය අතරතුරදී මුහුණ දුන් අනතුරක් නිසා පසිඳු හිරුෂාන් කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ මේ වනවිට ප්‍රතිකාර ලබනවා.

පසිඳුගේ වැඩිමහල් සොහොයුරා පවසන ආකාරයට ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ක්‍රීඩාගාරය පහත මහලේ පසිඳු හිරුෂාන් සමග ඔහුගේ මිතුරෙකු සිට ඇති අතර ඉහළ මහලේ මත්පැන් පානය කරමින් සිටි ජ්‍යෙෂ්ඨ සිසුන් පිරිසක් විසින් විශාල ප්‍රමාණයේ වාහන ටයරයක් පසිඳුගේ හිසට අතහැර තිබෙනවා.

එය හිසේ වැදී මුණින් අතට වැටුණ පසිඳුගේ හිස අසල තිබූ කණ්ඩියක වැදී හිස්කබල ඇතුළතින් පුපුරන තරමේ ආබාධයකට ලක්ව ඇති බව වාර්තා වනවා.පසිඳුගේ සොහොයුරා කියා සිටින්නේ තම සොහොයුරාගේ ජීවිතය දැඩි අවදානමක ඇති බවට වෛද්‍යවරුන් පැවසූ බවයි.

“සීනියර්ස්ලා පැවිලියන් එක උඩ බිබී ඉඳලා මගේ මල්ලිටයි, එයාගේ යාළුවටයි කියලා වතුර ගෙනැත් දෙන්න කියලා. මල්ලිලා ඒක දීලා බෝඩිමට යන්න හදද්දි මල්ලිලාට සීනියර්ස්ලා ඉන්න කියලා. ඒකට බැහැ කියලා ආපු නිසා තමයි ටයර් එක උඩ ඉඳන් ඇඟට වදින්නම අතෑරල තියෙන්නේ” පසිඳුගේ සොහොයුරා පැවසුවා.

“එතැන හිටපු මල්ලිගේ යාළුවෙක් කිව්වා ඔළුව වැදුණ ගමන් මල්ලි එක සැරයක් නැගිටලා අනේ මගේ ඔළුව රිදෙනවා කියලා සිහිය නැතුව වැටුණා කියලා. එවෙලේ ඉඳන් තාම සිහිය නැහැ. මල්ලි දැනට ඉන්නේ යන්ත්‍රවල ආධාරයෙන්. දොස්තරලා කියන්නේ මේ මැෂින් කවදා වෙනතුරු අවශ්‍ය වේවිද දන්නෙ නැහැ කියලා. මල්ලි ජීවත් වුණත් හදිසි කෝමා, ශරීරය සමබරතාව නැතිවන ආකාරයේ තත්ත්වයට මල්ලි අනිවාර්යයෙන්ම පත්වෙනවා කියලා” යැයි තම සොහොයුරාට සිදුවූ මෙම හදිසි විපත දරාගත නොහැකිව පසිඳුගේ සොහොයුරා සඳහන් කළා.

දරුවන් තිදෙනකුගෙන් යුතු පවුලක පසිඳු බාලයා වන අතර වැඩිමහල් සොහොයුරිය නීතිඥවරියකි.

සිදුවීම සම්බන්ධයෙන් පොලිස් විමර්ශනයක් සිදු වනවා.පසිඳුගේ සොහොයුරා කියා සිටියේ තම සොහොයුරාට සිදුවූ මෙම අනතුර සම්බන්ධයෙන් සිදුකරන පරීක්ෂණ සඳහා විශ්වවිද්‍යාලයේ සිසුන්ගේ කිසිදු සහයෝගයක් නොලැබෙන බවයි. මෙවැනි සිදුවීමක් සිදුවූ බවක්වත් නොදන්නා සේ ජ්‍යෙෂ්ඨ සිසුන් හැසිරෙන බවද ඔහු සඳහන් කළා.

+++++++++++++++++++++

ටයරයක් අතහැර සිසුවා මරන්න හැදීම අත්වැරදීමක් ලු.. බලධාරීන්ට මැදිහත් වීමට අයිතියක් නැතිලු – මෙන්න සංගම් කියන කතාව

(10.03.2020 – 07:24 +0530 – truenews.lk)

ටයරයක් හිස මතට අතහරිමින් ජයවර්ධනපුර විශ්ව විද්‍යාල සිසුවෙකුට මරණාසන්න තුවාල ඇති කළ සිදුවීම අත්වැරදීමක් බව එම විශ්ව විද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමය පවසනවා.

එම සංගමය මාධ්‍ය හමුවක් පවත්වමින් සඳහන් කළේ බලධාරීන්ට ඒ සමබන්ධයෙන් මැදිහත් වීමට අයිතියක් නැති බවයි.

ටයරයක් වැදීමෙන් බරපතල තුවාල ලබා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර ඇති සිසුවාගේ තත්ත්වය බරපතල වන අතර ඔහු ජිවත් වන්නේ යන්ත්‍රයක ආධාරයෙනුයි.

මත්පැන් පානය කරමින් සිටි ජ්‍යෙෂ්ඨ සිසුන් පිරිසක් විසින් මෙම අපරාධය කර ඇති බවටයි ඔහුගේ සොහොයුරා චෝදනා කරන්නේ.

+++++++++++++++++++++

ජපුර සරසවි නවක වධයේ තවත් තිරිසන් කතාවක් – අරක්කු බොන ගමන් ජ්‍යෙෂ්ඨයෝ කනිෂ්ඨයාගේ හිසට ටයරයක් අත ඇරලා – සිසුවා ජීවිතයත් මරණයත් අතර සටනක

(09.03.2020 – nethgossip.lk)

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ශිෂ්‍යයෙක් විශ්වවිද්‍යාලයීය ක්‍රීඩාගාරයේ ඉහළ සිට තරප්පු පෙළ දිගේ එවූ ටයරයක් වැදීමෙන් පහළ ක්‍රීඩාගාරයේ සිටි සිසුවකු තුවාල ලබා පසුගිය 06 වැනිදා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර ඇති අතර ඔහුගේ තත්ත්වය බරපතළ බව රෝහල් ආරංචි මාර්ග පවසයි.

මෙසේ අනතුරට ලක්ව ඇත්තේ නව අධ්‍යයන වසර සඳහා කළමනාකරණ පීඨයට ඇතුළත් වූ මිනුවන්ගොඩ පදිංචි පසිඳු හිරුෂාන් නමැති සිසුවෙකි.

මෙම අනතුර සිදු වී ඇත්තේ එදින අලුයම 1.30 ට පමණ ය.

කළමනාකරණ පීඨයේ පළමු වසර සිසුසිසුවියන් පිළිගැනීමේ තෙමසක කාලසීමාව අවසන් වීමේ සාදය ඉකුත් 5 වැනිදා පවත්වා ඇති අතර සාදයෙන් පසු තවදුරටත් සිසුන් පිරිසක් එහි රැඳී සිට තිබේ.

ඒ අතරින් සිසුන් කිහිප දෙනෙක් ඉහළ ක්‍රීඩාගාරයේ සිටින්නට ඇතැයි පරිපාලන අංශ සැකකරයි. සාදය සංවිධානය කර ඇත්තේ එම පීඨයේ දෙවැනි වසර සිසුන් ය.

ක්‍රීඩාගාරයේ ඉහළ සිට ආ ටයරය වැදීමත් සමගම ශිෂ්‍යයා බිම ඇද වැටී තිබේ.

බිම වැටීමෙන් හිසට බරපතළ හානි සිදු වී ඇතැයි රෝහල් ආරංචි මාර්ග පවසයි. එම අවස්ථාවේ සිසුන් හා ආරක්ෂක අංශ එක්ව සිසුවා වහාම කළුබෝවිල රෝහලට ඇතුළත් කිරීමට පියවර ගෙන ඇති අතර එම රෝහලින් කොළඹ ජාතික රෝහලට මාරු කර තිබේ. කෙසේ වෙතත් සිසුවාගේ තත්වය ඉතා බරපතළ තත්වයක පවතින බවට වෛද්‍යවරුන් පවසන අතර ජීවිතය පවා සැකසහිත බව වෛද්‍යවරුන්ගේ මතය වී තිබේ.

අනතුර සම්බන්ධයෙන් විනයාධිකාරිගේ ප්‍රධානත්වයෙන් මූලික පරීක්ෂණයක් පැවැත්වෙන අතර එම පරීක්ෂණ වාර්තාව අනුව ඉදිරි ක්‍රියාමාර්ග ගන්නා බව උපකුලපති මහාචාර්ය සුදන්ත ලියනගේ මහතා පැවසීය.

තරප්පු පෙළ දිගේ ටයරය එවා ඇත්තේ කවුරුන් ද යන්න අනාවරණය වී නැතැයි ද මහාචාර්යවරයා කීවේය.

කෙසේ වෙතත් මෙම ක්‍රියාව සිදුකළ අදාළ ජ්‍යේෂ්ඨ සිසුන්, මෙය ටයරක් අතෑරීමෙන් සිදුවූ අනතුරක් නොව යතුරුපැදි අනතුරක් නිසා සිදූවක් බවට කියමින් සිද්ධිය යටපත් කිරීමේ උත්සහයක නිරත වන බවද වාර්තාවේ ෴

+++++++++++++++++++++

ජ්‍යෙෂ්ඨ නරුමයන්ගේ නොහොබිනා වැඩකින් මගේ පුතා දැන් ජීවිතයත් මරණයත් අතර සටනක – පසිඳුගේ පියා

(10.03.2020 – gossiplankanews.com)

“පුතා උසස් පෙළ විභාගයට සූදානම් වෙන අතර දී මගේ බිරිය අවසන් ගමන් ගියා. පුතා විභාගයට ගියේ අම්මාගේ හත් දොහේ දානයත් දීලා. නොමනා අන්දමින් හැසිරුණු ජ්‍යෙෂ්ඨයන් යැයි කියා ගන්නා නරුමයින් පිරිසකගේ නොහොබිනා ක්‍රියාවක් නිසා අද ජීවිතයත් මරණයත් අතර සටනක යෙදෙනවා” තම පුතුගේ දිවි බේරා ගැනීමට ඉක්මන් පියවරක් ගන්නා ලෙසත්
මරණකරුවන්ට එරෙහිව නීතිය ක්‍රියාවේ යොදවන ලෙසත් ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේදී නවකවදයට ගොදුරුවූ නවක සිසුවාගේ පියා ජනාධිපතිවරයා ඇතුළු රජයෙන් බැගෑපත්ව ඉල්ලා සිටී.

කළමනාකරණ පීඨයේ නවක සිසුවකු වූ මිනුවන්ගොඩ, කමරාගොඩ අක 261 බී නිවසේ පදිංචි ජේ.ඒ. පසිදු හිරුෂාන් 21 තරුණයා මෙම සිදුවීමෙන් හිසට සිදුවූ බරපතළ තුවාල සහිතව කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටී.

පසිදු ජේ.ඒ. ඔගස්ටින් සිල්වා මහතාගේ හා නැසීගිය ටෙක්ලා පීරිස් මහත්මියගේ බාලදරුවාය. ඔහුට ලක්මාල් සිල්වා හා ශර්මිලා සිල්වා යනුවෙන් සොයුරෙක් හා සොයුරියක්ද වෙති. විශ්වවිද්‍යාලයේ නවක වදය හමාර කරමින් පසුගිය 5 වැනිදා රාත්‍රියේ ක්‍රීඩා මණ්ඩපයේ පැවති සාදයේ අවසාන භාගයේ පසුගිය 6 වැනිදා අලුයම පසිඳු ක්‍රීඩා මණ්ඩපයේ ඉහල මාලයේ සිට පඩිපෙළ බසිමින් සිටින අවස්ථාවේදී ඉහළින් තල්ලුකර දැමු විශාල ටයරයක ගැටී ඇද වැටී හිසට බරපතළ තුවාල සිදුව සිටියදී රෝහල්ගත කිරීමෙන් පසු දිවි ගෙවන්නේ යන්ත්‍ර සූත්‍ර ආධාරයෙනි.

ඒ අවස්ථාවේ ඉහළ මාලයේ මධුවිතෙත් සන්තර්පනය වෙමින් සිටි ජ්‍යෙෂ්ඨ සිසුන් විසින් මේ අපරාධය කළ බව හෙලිවී ඇතැයි පියා සඳහන් කළේය. තම පුතුට සිදුවූ අපරාධය පිළිබඳව කරුණු දැක්වූ ඔගස්ටින් සිල්වා මහතා මෙසේද කීය.

මගේ පුතා ඉගෙනගත්තේ උඩුගම්පොල ශාන්ත පීතර විදුහලේයි. මම එදිනෙදා ගොවිතැන්බත් කරලා දරුවන්ට ඉගැන්වූවා. පුතා සාමාන්‍ය පෙළ ඉහළින් සමත් වුණා. උසස්පෙල වාණිජ විෂය ධාරාව හැදෑරූ මගේ පුතා ඒ සාමාර්ථ තුනක් ඇතිව සමත්වුණා. පාසලෙන්ම ඒ සාමාර්ථ තුනක් ගත්තේ පුතාත් පුතාගේ මිතුරාත් විතරයි. ඒ දවස්වල ඉඳලාම පුතා උපකාරක පන්ති පැවැත්වුවා. පුතාට හොඳට උගන්වන්න හැකියාව තිබුණා. පුතා ඒ ගැන කා අතරත් ප්‍රසිද්ධ වුණා.

ඒ පීඩනයත් එක්ක මගේ පුතා ඉහළින් සමත් වුණා. මට ඒක ආඩම්බරයක්. 2019 දෙසැම්බර්වලදී පුතා විශ්වවිද්‍යාලයට ඇතුළත් වුණා. පුතා මිතුරන් සමග නවාතැනකට වී ඉගෙනුම් කටයුතු කළා. හැම සති අන්තයකම ගෙදර එනවා. ගිය සතියට කලින් සිකුරාදත් ඇවිල්ලා ඉරිදා ගියා. සිකුරාදා එනවා කිව්වා. පුතා ගෙදර එනවා කිව් දා උදේම පුතාගේ මිතුරාගේ අම්මත් තාත්තත් ඇවිත් මේ වින්නැහිය ගැන කිව්වා. අපට මොනවා උනාද කියලා මට හිතා ගන්නත් බැහැ.

මගේ පුතා කිසිදා කාටවත් කරදරයක් හිරිහැරයක් කරපු කෙනෙක් නොවෙයි. මම අනෙක් පුතා එක්ක ගිහින් බැලුවා. ඒ වනවිටත් පුතාට ශල්‍යකර්මයක් කර තිබුණා. සාදය අවසන් වෙන වෙලාව නිසා පුතාගේ මිතුරා බෝඩිමට යන්න කතා කරද්දී එයා එක්ක දුරකතනයෙන් කතා කරමින් පඩි පෙළ බහිද්දී මේ අපරාධය කර ඇති බව දැනගන්න ලැබුණා. මොන හිතකින් මේ අපරාධය කළාද කියා මට නම් තේරෙන්නේ නැහැ. විශ්වවිද්‍යාලයේ බලධාරීන් කිව්වේ හැම වසරකම අවසර දෙන නිසා මේ සාදයට අවසර දුන්නා කියලයි.

ටයර් දාලා තියෙන කාමරයක් තිබුණත් ඒවා එලියේ දාලා තිබී ඇති බවත් එහිදී දැනගන්න ලැබුණා. ඒවා නියමිත විදියට කර තිබුණා නම් මගේ පුතාට මේ වින්නැහිය වෙන්නේ නැහැ. පාලකයින් ඇඟ බේරාගෙන රස්සාව බේරාගෙන ඉන්න හදන බව මට පේනවා. සිසුන් අරක්කු ගෙනැවිත් ඇත්තේ හොරෙන් බවත්, පාලකයින්ගෙන් මම අහද්දී දැනගන්න ලැබුණා. හොරෙන් වැඩ කරන්න පුළුවන් නම් පාලකයෝ මොකටද?

දැන් වෙච්ච දේ වෙලා ඉවරයි. මොන ලෝකෙකට ගෙනිහින් හරි මගේ පුතා සනීප කරලා දෙන්න. ඒ සඳහා මට උපකාර කරන්න කියා ජනාධිපතිතුමාගෙන්, අගමැතිතුමාගෙන් මම ඉල්ලනවා. මේ වනවිට පසිඳු සිව්වැනි දිනටත් දිවි ගෙවාගෙන යන්නේ මැෂින්වල පිහිටෙනි. ඒවා ඉවත් කළ දිනට පුතුගේ අනාගතය ගැන තීරණයක් ගැනීමට සිදුවන නිසා ඊට පෙර තම ඉල්ලීමට ඇහුම්කන් දෙන ලෙසත් තම පුතුට මේ අපරාධය කරන්නට දායක වූ සියලු දෙනාට නීතිය ක්‍රියාවේ යොදවන ලෙසත් ඔගස්ටින් මහතා රජයෙන් ඉල්ලා සිටියේ ය. මේ වනතුරු තම පැමිණිලි සම්බන්ධයෙන් නිසි පියවරක් ගෙන නැති බවද ඔහු සඳහන් කළේ වේදනාවෙනි. නවක වදයේ උච්චස්ථානය ගැන පියකු තම හදවතේ වේදනාව පිට කළේ එසේය.

අනතුරට ලක් වූ පසිඳු හිරුෂාන්ගේ වැඩිමහල් සොයුරු ලක්ෂාන් සිල්වා මහතා තම මල්ලී පිළිබඳව මෙසේ කීය :

“මල්ලිගේ ජීවිතය ගැන හරියට වචනයක් කියන්න බැහැ කියලා වෛද්‍යවරුන් කියනවා. එයාගෙ ජීවිතය බේරල නැවත ගන්න පුළුවන් තත්වයට ඔහුව පත් කරන ලෙස මම වෛද්‍යවරුන්ගෙන් ඉල්ලා සිටිනවා. මල්ලි ඕලෙවල් ලියන්න ඉද්දි අපේ අම්මා පිළිකාවක් හැදිල නැති වුණා. වයස නිසා තාත්තට රස්සාවක් කරන්න බැහැ. තාත්තා ගෙදර ඉන්නෙ. අපේ අක්කා නීතිඥවරියක්. මම මීගමුව අධ්‍යාපන කලාප කාර්යාලයේ රැකියාවක් කරනවා. අක්කයි මමයි මල්ලිගේ අධ්‍යාපන වැඩවලට උදව් කරනවා.

මල්ලි ඉගෙන ගන්න දක්‍ෂයි. බම්බලපිටිය ශාන්ත පීතර විද්‍යාලයෙන් උසස් අධාපාපනය හැදෑරු එයා ඒ තුනක් අරගෙන ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ කළමනාකරණ පීඨයට තේරුණා. පසුගිය ඔක්තෝබර් මාසයේ එයාගේ අධ්‍යයන කටයුතු ආරම්භ කෙරුණා. ඉකුත් 5 වැනිදා විශ්ව විද්‍යාලයේ රැග් සීසන් එක ඉවරවෙලා පැවැත්වෙන කැම්පස් භාෂාවෙන් “ෂෝෂල්” එක කියලා හඳුන්වන සාදයට එයා ගියා.

මල්ලි මේ සාදයට සහභාගි වී තිබෙනවා. ඉකුත් 5 වැනිදා ඔහු ක්‍රීඩා කටයුත්තක නිරතවීමෙන් පසු රාත්‍රී 9 ට පමණ මෙම සාදයට සහභාගි වී තිබෙනවා. එදින පාන්දර 1.30 වන තෙක් ඔහු එහි රැඳී සිට නිදිමත හැදුණු නිසා බෝඩිමට යමු යැයි මිතුරෙකුට පවසා පිටත්වීමට හදද්දී වතුර ටිකක් බී එන්නම් කියා පැවිලියන් එකේ උඩ පැත්තට ගිහින් තියෙනවා. වතුර ටිකක් ඉල්ලද්දී සීනියස්ලා ඔහුට වතුර දීලා තිබෙනවා. එතනදී මල්ලි හා මේ අය අතර ඇති වූ කතාබහ පිළිබඳ කවුරුවත් දන්නේ නැහැ.

මේ සාදයට ආපු හුඟ දෙනෙක් මත්පැන් බී විනෝද වෙමින් නට නටා ගීත ගායනා කර ඇති බව මට දැනගැනීමට ලැබුණා. සාදයේද මත්පැන් තිබී තිබෙනවා. එහෙම බීපු පිරිසක් තමයි මල්ලිට වතුර දී තිබෙන්නේ. රැග් සීසන් එකෙන් පසුව පැවැත්වෙන මේ ෂෝෂල් එකට පැරණි ශිෂ්‍යයන් මෙම විශ්වවිද්‍යාලයෙන් ඉවත් වූ ශිෂ්‍ය ශිෂ්‍යාවනුත් සහභාගි වී තිබෙනවා.

වතුර බීපු තැන සිදුවුණු කතාබහ ගැන කවුරුවත් දන්නේ නැහැ. මල්ලි එතනින් එද්දි එතැන හිටපු අය ව්‍යායාම්වලට යොදාගන්න ජේ.සී.බී. ගල් ටයර් එකක් වතුර බීපු තැන හිටපු කට්ටියගෙන් පිරිසක් පහලට තල්ලු කරලා. මල්ලිගෙ දිහාවට ඒක එද්දී කට්ටිය කෑ ගහල ඔන්න ටයර් එක ඔයාගෙ දිහාවට එනවා කියලා තියෙනවා. කෑගැහිල්ල ඇහුණ මල්ලි ඒ දිහා බලද්දීම වගේ ටයර් එක එයාගෙ ඇගේ හැපිල එයා වැටිලා තියෙනවා.

මේ අනතුර සිදුවුණ තැනට දුවල ආව මල්ලිගෙ මිතුරයි තව සීනියස්ලා දෙන්නෙකුයි එකතුවෙලා කැම්පස් එකේ ඇම්බියුලන්ස් එකේ ඔහුව කළුබෝවිල රෝහලට ඇතුළත් කරලා. ඔළුවේ කිසිඳු තුවාලයක් නැතුව නහයෙන් හා කටින් ලේ එන නිසා කළුබෝවිල රෝහලේ අනතුරු ඒකකයට ඇතුළත් කරලා තියෙනවා.

මල්ලිගෙ කුඩා මොළය කුඩුවෙලා මොළයට ලේ බැහැල කියල කොළඹ ජාතික රෝහලේ වෛද්‍යවරු පවසනවා. මල්ලිව චෙක් කරද්දී ඔහුගේ ඇගේ ඇල්කොහොල් නැති බව ඔප්පු වුණාට පස්සේ වෙද්‍යවරු මොළයට සැත්කමක් කරලා තියෙනවා. ඊට පස්සේ එයාගේ ශරීරය මැෂින් එකකට සම්බන්ධ කරල මේ වන විට කෘත්‍රීම ස්වසනය ලබාදෙමින් සිටිනවා. මල්ලිට පැය හතරක සැත්කමක් කළත් ඔහුගේ ජීවිතය ගැන නිශ්චිතව කියන්න බැහැ කියල වෙද්‍යවරුන් පවසනවා. අනේ කොහොම හරි එයාව හොඳ කරල නැවත ඉගෙන ගන්න පුළුවන් තත්ත්වයට පත් කර දෙන ලෙස මම වෛද්‍යවරුන්ගෙන් ඉල්ලා සිටිනවා ෴

+++++++++++++++++++++

ජපුර ජ්‍යෙෂ්ඨයෝ ට්‍රැක්ටර් ටයරයක් ඇඟට එවා වීදුරු කුඩු කරගෙන ඇද වැටුණ නවකයාට බරපතලයි

(09.03.2020 – gossiplankanews.com)

ශ්‍රී ජයවර්ධනපුර සරසවි ක්‍රීඩාගාරයේ ඉහළ සිට තරප්පු පෙළ දිගේ එවූ ට්‍රැක්ටර් වලට යොදන විශාල ටයරයක් වැදීම නිසා පහළ ක්‍රීඩාගාරයේ සිටි සිසුවකු වීදුරු කන්ණාඩියක් කුඩු කරගෙන ඇදවැටී තුවාල ලබා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කරන්නට සිදුවූ සිද්ධියක් ඉකුත් 05 වැනිදා වාර්තාවී ඇති අතර මෙම අනතුර නිසා ශිෂ්‍යයාගේ හිසට බරපතළ හානි සිදු වී ඇතැයිද තත්වය බරපතල බවද රෝහල් ආරංචි මාර්ග පවසයි.

මෙසේ අනතුරට ලක්ව ඇත්තේ නව අධ්‍යයන වසර සඳහා කළමනාකරණ පීඨයට ඇතුළත් වූ මිනුවන්ගොඩ පදිංචි පසිඳු හිරුෂාන් නමැති සිසුවෙකි.

කළමනාකරණ පීඨයේ පළමු වසර සිසුසිසුවියන්ට පසුගිය මාස කිහිපයේ නවක වදය පැවතී ඇති අතර එය අවසන් කරමින් පැවති පිළිගැනීමේ සාදයකදී ඉකුත් 5 වැනිදා අලුයම 1.30 ට පමණ මෙය සිදුව ඇත.

සාදය රාත්‍රී 12 පමණ වනවිට අවසන් වුවත් සාදයෙන් පසු තවදුරටත් සිසුන් පිරිසක් එහි රැඳී සිටි බවත් සාදය සංවිධානය කළ දෙවැනි වසර සිසුන් අතරින් කෙනෙකු ටයරය ඉහළ සිට පහළට වැදෙන්නට එවන්නට ඇති බවද සැක කෙරේ.

ජ්‍යෙෂ්ඨයින් තවදුරටත් එහි රැදී සිටින්නට කළ අණට පසිඳු අකමැතිවී යන්නට හැදූ නිසා ටයරය ඔහු වෙත හිතාමතාම අතහැර ඇති බව පසිඳු සමග සිටි මිතුරෙකු දන්වා ඇත.

ක්‍රීඩාගාරයේ ඉහළ සිට ආ ටයරය වැදීමත් සමගම පසිඳුට එයින් වැළකෙන්නට බැරිව ගොස් ඇති අතර ඔහුගේ සිරුරේ එය වැදී බිම ඇද වැටී අසළ තිබූ වීදුරු කණ්නාඩියක්ද බිඳගෙන වැටී තිබෙයි. වේගයෙන් ආ ටයරය අනපේක්ෂිත ලෙස ඔහුව පෙරළූ අවස්ථාවේ විදුරු පතුරුද ඔහුගේ හිස පසාරු කරගෙන යාම නිසා බිම වැටුණ ඔහුගේ හිසට බරපතළ හානි සිදු වී ඇතැයි පැවසේ.
එම අවස්ථාවේ සිසුන් හා ආරක්ෂක අංශ එක්ව සිසුවා වහාම කළුබෝවිල රෝහලට ඇතුළත් කිරීමට පියවර ගෙන තිබූ අතර එම රෝහලින් කොළඹ ජාතික රෝහලට මාරු කර තිබෙයි.

අනතුර සම්බන්ධයෙන් විනයාධිකාරිගේ ප්‍රධානත්වයෙන් මූලික පරීක්ෂණයක් පැවැත්වෙන අතර එම පරීක්ෂණ වාර්තාව අනුව ඉදිරි ක්‍රියාමාර්ග ගන්නා බව උපකුලපති මහාචාර්ය සුදන්ත ලියනගේ මහතා සඳහන් කර ඇත.

තරප්පු පෙළ දිගේ ටයරය එවා ඇත්තේ කවුරුන් ද යන්න තවම අනාවරණය වී නැතැයි ද මහාචාර්යවරයා සඳහන් කර ඇත.

අනතුරට ලක්වූ කළමනාකරණ පීඨයේ පළමු වසර ශිෂ්‍ය පසිඳු හිරුෂාන්ගේ වැඩිමහල් සොහොයුරා වන ලක්ෂාන් සිල්වා පවසන ආකාරයට ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ක්‍රීඩාගාරය පහත මහලේ පසිඳු හිරුෂාන් සමග ඔහුගේ මිතුරෙකු සිට ඇත. ඉහළ මහලේ සිටි ජ්‍යෙෂ්ඨ සිසුන් පිරිසක් විසින් ට්‍රැක්ටර ටයරයක් පසිඳුගේ හිසට අතහැර ඇත.

එය හිසේ වැදී මුණින් අතට වැටුණ පසිඳුගේ හිස අසල තිබූ කණ්ඩියක වැදී හිස්කබල ඇතුළතින් පුපුරන තරමේ ආබාධයකට ලක්ව ඇත.පැය 7 ක දීර්ඝ සැත්කමකින් පසු පසිදු හිරැෂාන් තවමත් සිහිසුන්ව සිටී. පසිඳුගේ සොහොයුරා කියා සිටින්නේ තම සොහොයුරාගේ ජීවිතය දැඩි අවදානමක ඇති බවට වෛද්‍යවරුන් පැවසූ බවයි.

“සීනියර්ස්ලා පැවිලියන් එක උඩ ඉඳලා මගේ මල්ලිටයි, එයාගේ යාළුවටයි කියලා වතුර ගෙනැත් දෙන්න කියලා. මල්ලිලා ඒක දීලා බෝඩිමට යන්න හදද්දි මල්ලිලාට සීනියර්ස්ලා ඉන්න කියලා. ඒකට බැහැ කියලා ආපු නිසා තමයි ටයර් එක උඩ ඉඳන් ඇඟට වදින්නම අතෑරල තියෙන්නේ” පසිඳුගේ සොහොයුරා පැවසීය.

“එතැන හිටපු මල්ලිගේ යාළුවෙක් කිව්වා ඔළුව වැදුණ ගමන් මල්ලි එක සැරයක් නැගිටලා ‘අනේ මගේ ඔළුව රිදෙනවා’ කියලා සිහිය නැතුව වැටුණා කියලා. එවෙලේ ඉඳන් තාම සිහිය නැහැ. මල්ලි දැනට ඉන්නේ යන්ත්‍රවල ආධාරයෙන්. දොස්තරලා කියන්නේ මේ මැෂින් කවදා වෙනතුරු අවශ්‍ය වේවිද දන්නෙ නැහැ කියලා. මල්ලි ජීවත් වුණත් හදිසි කෝමා, ශරීරය සමබරතාව නැතිවන ආකාරයේ තත්ත්වයට මල්ලි අනිවාර්යයෙන්ම පත්වෙනවා කියලා” සොහොයුරා පැවසීය.

පසිඳුගේ සොහොයුරා කියා සිටියේ තම සොහොයුරාට සිදුවූ මෙම අනතුර සම්බන්ධයෙන් සිදුකරන පරීක්ෂණ සඳහා විශ්වවිද්‍යාලයේ සිසුන්ගේ කිසිදු සහයෝගයක් නොලැබෙන බවයි. මෙවැනි සිදුවීමක් සිදුවූ බවක්වත් නොදන්නා සේ ජ්‍යෙෂ්ඨ සිසුන් හැසිරෙන බවද ඔහු කියා තිබේ.

පසිදු හිරැෂාන් සාන්ත පීතර විද්‍යාලයේ ආදි සිසුවෙකු වන අතර උසස් පෙළ විශිෂ්ට ප්‍රතිඵල ලබා සරසවි වරම් ලැබූ අයෙකි. මිනුවන්ගොඩ පුදේශයේ කමරාගොඩ ඔහු විසුවේය. කමරාගොඩ පල්ලියේ ඉතා ක්‍රියාශීලී තරුණ සාමාජිකයෙකු වන අතර පල්ලියේ කටයුතුවලට බෙහෙවින් සම්බන්ධව සිටි අයෙකි.

මගේ මල්ලි විශ්වවිද්‍යාලයට ආවේ පුදුම පීඩනයක් විඳලා. අපේ අම්මා නැතිවෙලා මාසයක් යන්න කලින් මල්ලි උසස් පෙළට මුහුණ දීලා ඒ විභාගය උසස් විදිහට පාස්වෙලා ජයවර්ධනපුර මැනේජ්මන්ට් ෆැකල්ටියට ආවා.

ඒත් මල්ලි අද ඉන්නේ ජීවත් වෙයිද නැද්ද කියලා විශ්වාසයක් නැති තැනක. මල්ලිත් එක්කම ඉන්න කවුරු හරි ළමයෙක් කරපු මේ වැඩේ නිසා මගේ මල්ලිගේ සම්පූර්ණ ජීවිතයම විනාශ වෙනවා” සොහොයුරා පැවසීය.

අනතුරට පත් පසිඳු දරුවන් තිදෙනකුගෙන් යුතු පවුලක බාලයා වන අතර වැඩිමහල් සොහොයුරිය නීතිඥවරියකි. සිදුවීම සම්බන්ධයෙන් පොලිස් විමර්ශනයක් සිදුවේ ෴

+++++++++++++++++++++

ජ.පුර සිසුවා ගැන සමාජ මාධ්‍ය කතාව බොරු

(10.03.2020 – 18:06 +0530 – hirunews.lk/sinhala)

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ පැවති උත්සවයකින් අනතුරුව පවත්වන ලද සාදයකදී අනතුරට ලක් වූ සිසුවා සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ පළවන ඇතැම් වාර්තා අසත්‍ය බව කොළඹ ජාතික රෝහලේ ප්‍රධාන පුහුණු හෙද නිලධාරිනී පුෂ්පා රම්‍යානි ද සොයිසා මහත්මිය පවසනවා.

ඇය කියා සිටින්නේ එම සිසුවා දැඩි සත්කාර ඒකකයේ අසාධ්‍ය තත්වයෙන් තවමත් ප්‍රතිකාර ලබන බවයි.

එසේම වැඩිදුරටත් මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ ඇය සඳහන් කළේ එම සිසුවාගේ බව පවසමින් සමාජ මාධ්‍ය ඔස්සේ පළවන රෝගියෙකුගේ ඡායාරූපයද එම සිසුවාගේ නොවන බවයි.

මේ අතර අනතුරට ලක් වූ සිසුවාගේ තත්ත්වය ඊයේ (09) දිනට වඩා යහපත් බව කොළඹ ජාතික රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය ලයනල් මුහම්දිරම්ගේ අද (10) පෙරවරුවේ ප්‍රකාශ කර සිටියා.

ඔහුගේ තත්ත්වය යහපත් අතට හැරෙමින් තිබෙන බැවින් කෘතීම ස්වසන යන්ත්‍රය (ventilator) ඉවත් කර ස්භාවිකව හුස්ම ගැනීමට ඉඩ සලසා ඇති බවත් හෙතෙම වැඩිදුරටත් පවසා සිටියා.

පසුගිය 6 වන දා විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී උත්සවයක් සංවිධානය කර තිබී ඇත්තේ කළමනාකරණ පීඨයේ පළමු වසර සිසුන්ගේ මූලිකත්වයෙන්.

නවකවදය නිමාව සලකුණු කරන මෙම උත්සවය සරසවි සිසුන් හඳුන්වන්නේ බකට් සාදය ලෙසින්.

මෙම උත්සවය රාත්‍රී 8.30 ට පමණ අවසන් වී ඇති අතර ඊට සහභාගි වූ සිසුන් බහුතරයක් එම පරිශ්‍රයෙන් ඉවත්ව ගොස් තිබෙනවා.

කෙසේ වෙතත්, සිසුන් පිරිසක් තවදුරටත් එම ස්ථානයේ රැදී සිට විනෝද වෙමින් සිට ඇති බවටයි වාර්තා වන්නේ.

එහිදී විනෝද වන ස්ථානයට ගෙන විත් තිබූ ටයරයක් උස් ස්ථානයක සිට මෙම සිසුවාගේ හිසට වැටී අනතුරට ලක්ව දකුණු කොළඹ ශික්ෂණ රෝහලට ඇතුළත් කරනු ලැබුවා.

එහිදී සිසුවා අසාධ්‍ය තත්ත්වයේ පසුවීම හේතුවෙන් කොළඹ ජාතික රෝහලට මාරු කර යැවුණේ වැඩිදුර ප්‍රතිකාර සඳහායි ෴

+++++++++++++++++++++

නවකවදය අතරතුර තුවාල ලැබූ ජපුරේ සිසුවා තවමත් දැඩි සත්කාර ඒකකයේ

(10.03.2020 – 23:06 +0530 – sinhala.adaderana.lk)

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ පරිශ්‍රයේ සිදු වූ අනතුරකින් තුවාල ලබා කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කෙරුණු පසිඳු හිරුෂාන් සිසුවා තවදුරටත් එහි ප්‍රතිකාර ලබමින් සිටින බව එම රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය කුමාර වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කළේය.

අනතුර පිළිබඳව පොලිස් කන්ඩායමක් මගින් විශේෂ විමර්ශනයක් ක්‍රියාත්මක අතර සිසුන් තිදෙනකු අදාල ටයරය හා සම්බන්ධව සිට ඇතැයි හඳුනාගෙන තිබෙන බව ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ වැඩ බලන උපකුලපතිවරයා අනාවරණ කළේය.

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ පළමු වසරේ සිසුවකු වූ පසිඳු හිරුෂාන් පසුගිය මාර්තු 05 වැනිදා එම විශ්ව විද්‍යාල පරිශ්‍රෙය් සිදු වූ අනතුරකින් තුවාල ලබා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කෙරුණු අතර ඔහු ප්‍රතිකාර ලබමින් සිටියේ දැඩි සත්කාර ඒකකයේයි.

විශ්වවිද්‍යාලයේ ජ්‍යේෂ්ඨ සිසුන් පසිඳු වෙත තල්ලු කර යැවූ විශාල ට්‍රැක්ටර් ටයරයක් වැදී ඔහුගේ හිසට සිදු වූ අභ්‍යන්තර තුවාල හේතුවෙන් ජීවිත අවදානමකට පත්ව සිටින බව පසිඳුගේ සොහොයුරා ප්‍රකාශ කළේය.

පසිඳුගේ මොළයට අනතුරින් හානි සිදුව තිබූ අතර ඔහුගේ තත්වය විමසා බැලීම සඳහා අද උසස් අධ්‍යාපන අමාත්‍යවරයාද ජාතික රෝහල වෙත පැමිණියේය.

මේ අතර පසිඳු හිරුෂාන් මුහුණ දුන් අනතුර සම්බන්ධයෙන් ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාල පාලනාධිකාරිය මූලික විමර්ශනයක් සිදු කර එහි වාර්තාව අද (10) දින තමා ලබාගත් බව එහි වැඩබලන උපකුලපති මහාචාර්ය සුදන්ත ලියනගේ මහතා ‘අද දෙරණ’ට සඳහන් කළේය.

ඉකුත් මාර්තු 05 වැනිදා රාත්‍රියේ පැවැත්වී ඇත්තේ ජ්‍යෙෂ්ඨයන් නවකයන්ට නවක වදය ලබාදෙන කාලසීමාව නිමාවේ අවසන් සාදය බවත් , එය නිමා වීමෙන් පසු රාත්‍රී එක වනතුරු සිසුන් පිරිසක් රැඳී සිට ඇති බවත් පැවසූ උපකුලපතිවරයා අවධාරණය කර සිටියේ අනතුර සම්බන්ධයෙන් අදාල සිසුන් වරදකරු වුවහොත් ඔවුන්ගේ ශිෂ්‍යභාවය සම්පූර්ණයෙන්ම අහෝසි කරන බවයි.

එමෙන්ම අනතුරට ලක්ව සිටින පසිඳු හිරුෂාන් සිසුවාට විදෙස් රෝහලක ප්‍රතිකාර අවශ්‍ය වේනම් ඒ සඳහා අවශ්‍ය අනූග්‍රහය දැක්වීමටද ජයවර්ධනපුර විශ්ව විද්‍යාලය තීරණයක් ගත් බවයි.

මේ අතර බස්නාහිර පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා අද පැමිණ සිද්ධිය වූ ස්ථානය නිරීක්ෂණය කර තිබේ.

වැඩබලන උපකුලපති මහාචාර්ය සුදන්ත ලියනගේ මහතා ප්‍රකාශ කළේ සිද්ධියට සම්බන්ධ සිසුන් හඳුනාගැනීම මේ වන විට ආරම්භ කර ඇති අතර පොලිසිය දැනටමත් විශ්වවිද්‍යාලයේ ආරක්ෂක නිලධාරියාගෙන් හා විනයාධිකාරීතුමන්ගෙන් ප්‍රකාශ සටහන් කරගෙන ඇති බවයි.

එමෙන්ම සිසුන් තිදෙනකු ටයරය හා සම්බන්ධව සිට ඇතැයි හඳුනාගෙන ඇති බවත් වැඩ බලන උපකුලපතිවරයා අනාවරණ කළේය.

සිද්ධිය සම්බන්ධයේන විශ්වවිද්‍යාලයේද සහාය ඇතිව විශේෂ පොලිස් කන්ඩායමක් මගින් විමර්ශන ක්‍රියාත්මකයි.

මේ අතර අද (10) මාධ්‍ය හමුවක් පවත්වමින් අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය සහ ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමය ප්‍රකාශ කළේ පසිඳු මුහුණදුන් අනතුර නොසැලකිල්ලක් මත සිදු වූවක් විය හැකි බවයි.

***************************************

කොරෝනා නිරෝධායන මඩකලපුවේ බෑ.. හර්තාල් සහ බස් වර්ජන සුදානමින්.. හිස්බුල්ලාගේ සැළසුමක්

(10.03.2020 – 09:59 +0530 – truenews.lk)

කොරෝනා නිරෝධායන මධ්‍යස්ථානයක් ලෙස මඩකලපුවේ පිහිටි ෂරියා විශ්වවිද්‍යාලය භාවිතා කිරීමට විරුද්ධව එහි සභාපති ලෙස කටයුතු කරන හිටපු ආණ්ඩුකාර එම්.එල්.ඒ.එම්. හිස්බුල්ලා විසින් විරෝධතාවක් සංවිධානය කරමින් සිටින බව වාර්තා වනවා.

ඊට විරුද්ධව හර්තාල් සංවිධානය කරන්නැයි මඩකලපු ප්‍රදේශයේ සිය ආධාරකරුවන්ට ඔහු දැනුම්දී තිබෙනවා.

ඒ අනුව ඔවුන් විසින් එම ප්‍රදේශයේ හර්තාල් කරන ලෙසත්, බස් ධාවනයෙන් ඉවත් වන ලෙසත් සදහන් පත‍්‍රිකා බෙදා හරිමින් සිටිනවා.

එම විශ්වවිද්‍යාලයේ අද දිනයේ සිට කොරෝනා නිරෝධායන මධ්‍යස්ථානයක් ලෙස භාවිතා කිරීමට නියමිතයි ෴

+++++++++++++++++++++++++++++++++++

නිරෝධායනයට පමා වී නොසන්සුන් වූ ශ්‍රී ලාංකිකයන්

(10.03.2020 – 17:12 +0530 – hirunews.lk/sinhala)

දකුණු කොරියාවෙන් සහ ඉතාලියෙන් අද (10) අලුයම ගුවන් මගීන් 181 දෙනෙකු දිවයිනට පැමිණියා.

ඉන් අනතුරුවයි සෞඛ්‍ය අමාත්‍යාංශයේ මැදිහත්වීමෙන් ඔවුන් බස් රථවල නංවා ‘බැටික්ලෝ කැම්පස්’ හි ස්ථාපිත කර ඇති නිරෝධායන මධ්‍යස්ථාන වෙත යොමු කරනු ලැබුවේ.

කෙසේ වෙතත් එම අවස්ථාවේ ඇතිවූ යම් අපහසුතාවයක් හේතුවෙන් විදේශයේ සිට පැමිණි ගුවන් මගීන් සහ සෞඛ්‍ය නිලධාරින් අතර උණුසුම් තත්ත්වයක් හට ගත්තා.

ගුවන් තොටුපල ආරක්ෂක නිලධාරීන් සහ වෛද්‍යවරුන් මැදිහත්වී එම තත්ත්වය සමතයකට පත්කර කිරීමට කටයුතු කර තිබෙනවා.

විදේශයේ සිට පැමිණි ගුවන් මගීන් සහ සෞඛ්‍ය නිලධාරින් අතර ඇතිවූ නොසන්සුන්තාවය පිලිබඳව පටිගත කළ දර්ශන කිහිපයක් ඉතාලියේ සිට පැමිණි ගුවන් මගියෙකු අප වෙත එවා තිබෙනවා.

එම වීඩියෝව :

+++++++++++++++++++++++++++++++++++

නිරෝධායනයට 7500 ක් අය කරන කතාවේ, ඇත්ත – නැත්ත

(10.03.2020 – 13:54 +0530 – hirunews.lk/sinhala)

විදේශ ගතව සිට පැමිණෙන, නිරෝධායන මධ්‍යස්ථාන වලට යොමු කරන මගීන්ගෙන් දින 14 ක ආහාර වේල් 3 සඳහා රුපියල් 7500 ක මුදලක් අය කරන බවට ගුවන් තොටුපළේ දී දැන්වීමත් සමඟ එම ස්ථානයේ අද (10) පෙරවරුවේ උණුසුම් තත්ත්වයක් හට ගත් බවයි ගුවන් තොටුපළ හිරු වාර්තාකරු සදහන් කළේ.

කෙසේ නමුත් එලෙස ගුවන් මගීන්ගෙන් අය කිරීමක් සිදුනොකරන බවයි වැඩබලන ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී, හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා අවධාරණය කළේ.

දකුණු කොරියාවෙන් සහ ඉතාලියෙන් අද අලුයම පැමිණි ගුවන් මගීන් 181 දෙනෙකු මඩකලපුව – බැටිකලෝ කැම්පස් හි ස්ථාපිත කර ඇති නිරෝධායන මධ්‍යස්ථාන වෙත මුල් වරට යොමු කරනු ලැබුවා.

ඊට දකුණු කොරියාවෙන් පැමිණි ශ්‍රී ලාංකිකයින් 164 දෙනෙකු, කොරියානු ජාතිකයින් දෙදෙනෙකු සහ ඉතාලියෙන් පැමිණි ශ්‍රී ලාංකිකයින් 15 දෙනෙකු අයත්. ඔවුන් අද (10) කටුනායක ගුවන් තොටුපළට පැමිණීමෙන් පසු සෞඛ්‍ය අමාත්‍යාංශයේ මැදිහත්වීමෙන් බස් රථවල නංවා බැටික්ලෝ කැම්පස් වෙත රැගෙන යනු ලැබුවා.

කෙසේ වෙතත් නිරෝධායන මධ්‍යස්ථානයට රැගෙන යාමට සිටි විදෙස් ගතව සිට පැමිණි ශ්‍රී ලාංකිකයෙකු, ගුවන් තොටුපළේ වෙනත් ස්ථානයක සිටි සිය ඥාතිකුට දුරකතනයෙන් ඇමතූ අවස්ථාවේ, අප මාධ්‍යවේදියා විසින් රු. 7500 ගැන කිවූ කතාව පටිගත කර තිබුණේ මෙලෙසින්.

+++++++++++++++++++++++++++++++++++

දකුණු කොරියාවේ සහ ඉතාලියේ සිට පැමිණි ගුවන් මගීන් 24 දෙනෙකු කන්දකාඩු නිරෝධායන මධ්‍යස්ථානයට

(10.03.2020 – 15:51 +0530 – hirunews.lk/sinhala)

දකුණු කොරියාවෙන් සහ ඉතාලියෙන් අද අලූයම පැමිණි ගුවන් මගීන් 24 දෙනෙකු පොලොන්නරුව කන්දකාඩු යුධ හමුදා කඳවුරේ ස්ථාපිත කර ඇති නිරෝධායන මධ්‍යස්ථාන වෙත රැගෙන විත් තිබෙනවා.

ඔවුන් සියලුම දෙනා පිරිමි පුද්ගලයින් බවයි අප වාර්තාකරු සදහන් කළේ.

අද උදෑසන 11ට පමණ මෙම පිරිස ශ්‍රී ලංකා ගුවන් හමුදාවට අයත් හෙලිකොප්ටර් යානයකින් කන්දකාඩු නිරෝධායන මධ්‍යස්ථාන වෙත රැගෙනවිත් තිබෙනවා.

+++++++++++++++++++++

***************************************

දේශපාලන පළිගැනීම් සොයන ජනපති කොමිසමේ ලේකම්වරියට යළි වරෙන්තු

(10.03.2020 – 16:31 +0530 – hirunews.lk/sinhala)

නොතීසි නිකුත් කර තිබියදී අධිකරණයේ පෙනී නොසිටි ‘දේශපාලන පළිගැනීම් සොයා බලන සොයන ජනපති කොමිසමේ’ ලේකම්වරිය වන පර්ල් කේ. වීරසිංහ මහත්මියට කොළඹ ත්‍රිපුද්ගල විශේෂ මහාධිකරණය අද (10) නැවතත් වරෙන්තු නිකුත් කළා.

ඒ අලි ජාවාරම්කරුවෙකු වන නිරාජ් රොෂාන් හෙවත් අලි රොෂාන් නමැත්තා ඇතුළු සැකකරුවන් 8 දෙනෙකුට එරෙහි නඩුව විකුම් කළුආරච්චි, ධම්මික ගනේපොල සහ ආදිත්‍ය පටබැඳිගේ යන ත්‍රිපුද්ගල විනිසුරු මඩුලල් හමුවේ අද (10) විභාගයට ගත් අවස්ථාවේදීයි.

එහිදී විනිසුරු මඩුල්ල වැඩබලන පොලිස්පතිවරයාට නියම කළේ එම නියෝගය අනිද්දා (12) හෝ ඊට පෙර ක්‍රියාත්මක කරන ලෙසයි.

එය ක්‍රියාත්මක නොකරන්නේ නම් අනිද්දා (12) අධිකරණය හමුවේ පෞද්ගලිකව පෙනී සිට කරුණු දැක්වීමටද වැඩබලන පොලිස්පතිවරයාට එහිදී නියෝග කෙරුණා ෴

***************************************

මීගමුවේ හෝටලයේ ගැටුමට සම්බන්ධ සැකකරුවන් සියලුදෙනා අත්අඩංගුවට

(10.03.2020 – 15:36 +0530 – hirunews.lk/sinhala)

මීගමුව – පෙරියමුල්ල ප්‍රදේශයේ හෝටලයක ඇතිවූ ගැටුම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනීමට අවශ්‍යව සිටි සැකකරුවන් 6 දෙනා නීතීඥවරු මාර්ගයෙන් මීගමුව පොලීසියට භාරවී තිබෙනවා.

පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කළේ ඒ අනුව මේ වනවිට සිද්ධියට සම්බන්ධ සැකකරුවන් හත්දෙනාම අත්අඩංගුවට ගෙන ඇති බවයි.

මීට පෙර එක් සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබූ අතර, සැකකරුවන් හෙට මීගමුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

ඊයේ (09) රාත්‍රියේ අදාළ හෝටලයට කඩා වැදුණු පිරිසක් එහි හිමිකරු සහ කාර්ය මණ්ඩලය සමඟ ඇති කර ගත් ගැටුමේදී එහි සේවකයෙකු මිය ගොස් තවත් 3 දෙනෙකු තුවාල ලැබුවා.

මෙම පිරිස හෝටලයට පැමිණ මත්පැන් පානය කිරීමට උත්සාහ කිරීමේදී හෝටල් හිමිකරු සහ සේවකයන් ඊට විරුද්ධ වීමත් සමඟයි ගැටුම හටගෙන ඇත්තේ.

***************************************

රවී ඇතුළු 4 දෙනාගේ පෙත්සම් අභියාචනාධිකරණයේදී හෙට (11) කැදවයි

(10.03.2020 – 13:08 +0530 – hirunews.lk/sinhala)

තමන් අත්අඩංගුවට ගන්නා ලෙස දන්වමින් කොටුව මහේස්ත්‍රාත් අධිකරණය නිකුත් කර ඇති වරෙන්තුව රිට් ආඥා නියෝගයක් මඟින් අත්හිටුවන්නැයි ඉල්ලා හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක ඇතුළු 4 දෙනෙකු ගොනු කළ පෙත්සම් සලකා බැලීම සඳහා හෙට (11) කැදවීමට අභියාචනාධිකරණය තීරණය කළා.

ඒ, එම පෙත්සම් අභියාචනාධිකරණ සභාපති විනිසුරු ඒ.එච්.එම්.ඞී. නවාස් සහ අර්ජුන ඔබේසේකර හමුවේ කැදවූ අවස්ථාවේදියි.

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක, පර්පචුවල් ටෙ‍්‍රෂරීස් සමාගමේ හිමිකරු අර්ජුන් ඇලෝසියස්, මහබැංකු නිලධාරියෙකු වන සංගර පිල්ලෙයි පදුමනාදන් සහ ඔහුගේ නීති නිලධාරියා වන සමන් කුමාර යන 4 දෙනා මෙම පෙත්සම් ගොනු කර තිබුණා.

එහිදී නීතිපති දෙපාර්තමේන්තුව වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා පෙන්වා දුන්නේ පෙත්සම්වල වගඋත්තරකරුවන් ලෙස දක්වා ඇති නීතිපතිවරයා, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයා, වැඩබලන පොලිස්පතිවරයා ඇතුළු පිරිසට සිතාසි නිකුත් කර නොමැති බවයි.

එහිදී අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල නියෝග කළේ හදිසි කරුණක් ලෙස සලකා වගඋත්තරකරුවන්ට සිතාසි නිකුත් කරන ලෙසයි.

2016 වසරේදී සිදුවූ බැදුම්කර වෙන්දේසි දෙකකදී රජයට රුපියල් බිලියන 50 කට වැඩි පාඩුවක් සිදු කළේ යැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක, හිටපු මහ බැංකු අධිපතිවරයෙකු වූ අර්ජුන මහේන්ද්‍රන්, පර්පචුවල් ටෙ‍්‍රෂරීස් සමාගමේ හිමිකරු අර්ජුන් ඇලෝසියස් ඇතුළු 10 දෙනෙකු අත්අඩංගුවට ගන්නා ලෙස කොටුව මහේස්ත්‍රාත් අධිකරණය පසුගිය 6 වනදා වරෙන්තු නිකුත් කළා ෴

***************************************

ඇමති චමල් අද හෙළිකරන හම්බන්තොට උකුස්සා

(10.03.2020 – 20:17 +0530 – hirunews.lk/sinhala)

හම්බන්තොට දිස්ත්‍රික්කයේ පොහොට්ටුවේ නාමයෝජනා ලැයිස්තුව චමල් හෙළිකරයි

ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණයේදී හම්බන්තොට දිස්ත්‍රික්කය සඳහා වූ නාමයෝජනා පිළිබඳ අමාත්‍ය චමල් රාජපක්ෂ මහතා ඊයේ (09) පැවති බෙලිඅත්ත ආසන බල මණ්ඩල රැස්වීමේදී මෙලෙස අදහස් පළ කළා.

+++++++++++++++++++++

***************************************

කොරෝනා ආසාදිත ශ්‍රී ලාංකිකයන් දෙදෙනෙකු ඇතුළු 15 එක්සත් අරාබි එමීර් රාජ්‍යයෙන් හමුවෙයි

(10.03.2020 – 19:25 +0530 – hirunews.lk/sinhala)

කොරෝනා වෛරසය ආසාදනය වූ ශ්‍රී ලාංකිකයන් දෙදෙනෙකු ඇතුළු 15 දෙනෙකු එක්සත් අරාබි එමීර් රාජ්‍යයෙන් හමුවී ඇති බව, විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

+++++++++++++++++++++

+++++++++++++++++++++++++++++++++++

171 ක් කන්දකාඩු සහ මඩකලපුව කොරෝනා නිරෝධායන මධ්‍යස්ථානවලට

(10.03.2020 – 19:17 +0530 – hirunews.lk/sinhala)

විදෙස් රටවලින් පැමිණෙන පිරිස් සඳහා ප්‍රමාණවත් පහසුකම් පොළොන්නරුව – කන්දකාඩු සහ පූනානි පිහිටි බැටිකලෝ කැම්පස් ආයතනයේ පිහිටුවා ඇති නිරෝධායන මධ්‍යස්ථානවල පවතින බව යුද හමුදාව පවසනවා.

යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කළේ එලෙස නිරෝධායන කටයුතු සඳහා යොමුකරන පිරිස් දින 14 ක් එහි රැඳී සිටිය යුතු අතර, ඔවුන්ට අවශ්‍ය සියලු පහසුකම් යුද හමුදාවේ සහ සෞඛ්‍ය අමාත්‍යාංශයේ ඍජු මැදිහත්වීම යටතේ ලබාදෙන බවයි.

අද (10) අලුයම දකුණු කොරියාවේ සහ ඉතාලියේ සිට පැමිණි මගීන් 171 දෙනෙකු නිරෝධායන කටයුතු සඳහා පූනානි සහ කන්දකාඩු මධ්‍යස්ථානවලට යොමු කෙරුණා.

ඉන් මගීන් 24 දෙනෙකු කන්දකාඩු වෙත රැගෙන යනු ලැබුවේ ගුවන් හමුදාවට අයත් විශේෂ හෙලිකොප්ටර් යානයකින්.

අනෙක් පිරිස බස්රථවලින් අදාළ ස්ථානවලට රැගෙන ගියා.

තවත් පිරිසක් අද පස්වරුවේ දිවයිනට පැමිණිමට නියමිත අතර, ඔවුන්ද එම මධ්‍යස්ථානවලට යොමුකිරීමට නියමිතයි.

මේ අතර අද අලුයම පැමිණි පිරිස් නිරෝධායන මධ්‍යස්ථානවලට රැගෙන යාම සඳහා සූදානම් වන අවස්ථාවේ කටුනායක ගුවන් තොටුපලේදී උණුසුම් තත්වයක් ඇතිවුණා.

ඒ දින 14 ක කාලයක් නිරෝධායන කටයුතුවලට යොමුකරන පිරිසගෙන් ආහාර සඳහා රුපියල් 7,500 ක මුදලක් අය කරන බවට විදේශ රටවල සිට පැමිණි කිහිපදෙනෙකු චෝදනා කිරීමත් සමඟයි.

කෙසේ වෙතත් යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කළේ නිරෝධායන කටයුතුවලට ලක් කරන කිසිදු පුද්ගලයෙකුගෙන් මුදල් අයකිරීමක් සිදු නොවන බවයි.

එමෙන්ම අදාළ පිරිස් නිරෝධායන කටයුතු සඳහා යොමුකරන්නේ ජනතාවගේ සෞඛ්‍යය තත්ත්වය ආරක්ෂා කිරීමට මිස ඔවුන් අපහසුතාවට පත් කිරීමට නොවන බවයි යුද හමුදාපතිවරයා කියා සිටියේ.

මේ අතර ඉතාලියේ සිට මීට දින 10 කට පෙර ශ්‍රී ලංකාවට පැමිණි ඉතාලි ජාතික යුවළක් ප්‍රතිකාර සඳහා ත්‍රිකුණාමලය රෝහලට ඇතුළත් කර තිබෙනවා.

ඒ ඔවුන්ට ඇතිවූ රෝගී තත්ත්වයක් හේතුවෙන්.

කෙසේ වෙතත් රෝහල් ආරංචි මාර්ග සඳහන් කළේ ඔවුන්ට කොරෝනා වෛරසය ආසාදනය වූ බවට සැක කළ හැකි රෝග ලක්ෂණ නොපවතින බවයි.

ඉතාලි රාජ්‍යය නිරෝධායන කලාපයක් බවට පත් කිරීමත් සමඟ එරටින් පිටවීමේදී බාධා මතුව ඇතැයි ඉතාලියේ ශ්‍රී ලංකා තානාපති සිසිර සෙනෙවිරත්න මහතා සඳහන් කළා.

හිරු ප්‍රවෘත්ති අංශයට අදහස් දක්වමින් ඔහු කියා සිටියේ ඇතැම් ගුවන් සමාගම්වලට අයත් යානා ඉතාලියට පැමිණීමද මේ වනවිට සීමාවී ඇති බවයි.

මේ අතර ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ රට රැකියා සඳහා පිටත්වීම තාවකාලිකව කල් දැමීම වඩා සුදුසු යැයි යෝජනා කරන බවයි.

කොවිඩ් – 19 හෙවත් නව කොරෝනා වෛරසය ආසාදිත වූවන් එක්ලක්ෂ 14,595 ක් මේ වනවිට ලෝකය පුරා රටවලින් වාර්තාවනවා.

ඉන් වැඩිම සංඛ්‍යාවක් චීනයෙන් වාර්තාවන අතර, එය 80,756 ක්.

මියගිය සංඛ්‍යාව 4028 ක් බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.

ඉතාලියෙන් මරණ 463 ක් වාර්තාවනවා.

මැදපෙරදිග කලාපයේ වැඩිම බලපෑමක් එල්ලවී ඇත්තේ ඉරානයටයි.

එරටින් මරණ 237 ක් වාර්තාවන අතර, පවතින තත්ත්වය හේතුවෙන් බන්ධනාගාර ගතව සිටින රැඳවියන් 70,000 ක් පමණ තාවකාලික පදනම මත නිදහස් කිරීමට ඉරාන රජය පියවර ගත්තා.

කෙසේ වෙතත් දකුණු කොරියාවේ මෙම වෛරසය ආසාදිතයන්ගේ සහ වාර්තාවන මරණ සංඛ්‍යාවේ කැපී පෙනෙන අඩුවීමක් මේ වනවිට දක්නට ලැබෙන බවයි විදෙස් මාධ්‍ය අද වාර්තා කළේ.

මේ අතර උතුරු කොරියානු සෙබළුන් 200 ක් පමණ කොරෝනා ආසාදනය වීමෙන් මියගොස් ඇති අතර, තවත් 400 දෙනෙකු පමණ නිරෝධායනයට යොමු කර ඇති බව දකුණු කොරියානු මාධ්‍ය වාර්තා කළා.

කෙසේ වෙතත් එම තොරතුරු ප්‍රතික්ෂේප කරන බවයි උතුරු කොරියානු රජය නිවේදනය කළේ.

මේ අතර මෙම වසංගත තත්ත්වයත් සමඟ ගෝලීය ආර්ථිකයට ඇමරිකානු ඩොලර් ටි‍්‍රලියන 2 ක පමණ පාඩුවක් සිදුවනු ඇති බව එක්සත් ජාතීන්ගේ සංවිධානය ප්‍රකාශ කළා.

+++++++++++++++++++++

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

Comments 1

  • I think this evil habit of ragging by seniors must be totally banned from universities and anyone trying it must be banished from higher education, period! In this case the university must be shut until this investigation completed and all those senior students that committed this terrible crime are arrested and put before the court. Anyone that remains mum must also be sent home or keep in remand until they talk. Ragging is a growing cancer in our universities. This foreign disease must be eliminated from our society like what we have to do with corona virus. I have no smapthy at all for the senior students that committed this crime. The student union must also be abolished if they say it was a mistake and they had nothing to do with it. If they know that it was a mistake then clearly they have something to do with committing the crime. So let us have these officials in jail too.

bo වෙත ප්‍රතිචාරයක් සටහන් කරන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *