පාස්කු දින ප්‍රහාරයට මෛත්‍රී සහ රනිල් වගකිව යුතුයි – ආනන්ද කුමාරසිරි

(08.03.2020 – 20:07 +0530 – sinhala.adaderana.lk)

පාස්කු ප්‍රහාරයට හිටපු ජනාධිපතිවරයා සහ හිටපු අග්‍රාමාත්‍යවරයා වගකිව යුතු බව ඒ පිළිබඳ සොයබැලීමට පත් කළ පාර්ලිමේන්තු තේරිම් කාරකසභාවේ අවසන් වාර්තාවේ සඳහන් කර ඇතැයි එහි සභාපති ආනන්ද කුමාරසිරි මහතා අද (08) අනාවරණ කළේය.

ඔහු මේ බව ප්‍රකාශ කළේ මොනරාගල පැවති මාධ්‍ය හමුවකදීයි.

පාස්කු දින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් කරුණු සොයබැලීමට පසුගිය වසරේ මැයි මාසයේදී පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් පත් කෙරුණු අතර එය පාර්ශ්ව රැසකින් සාක්ෂි සටහන් කරගනු ලැබුවේය.

එහි අවසන් වාර්තාව ඉකුත් ඔක්තෝබර් මාසයේදී පාර්ලිමේන්තුවේ සභාගත කෙරුණි.

කෙසේ වෙතත් කාදිනල් හිමිපාණන් පසුගියදා මාධ්‍ය හමුවකදී කියා සිටියේ එම කමිටුවේ විමර්ශන පිළිබඳ සෑහීමට පත් විය නොහැකි බවයි.

ඒ සම්බන්ධයෙන් අද මාධ්‍යෙව්දීන් කාරකසභා සභාපතිවරයාගෙන් විමසුවේය.

ප්‍රශ්නය – ඊයේ කාදිනල්තුමා චෝදනා කළා දෙපාර්ශ්වයම පාස්කු ඉරිදා සිද්ධිය යටගහන් ඉන්නවා කියලා?

පාස්කු ප්‍රහාරය පිළිබඳ සොයාබැලීමේ පාර්ලිමේන්තු කාරකසභායේ සභාපති ආනන්ද කුමාරසිරි –

“අඩුපාඩු වු තැන් පෙන්වා දී තිබෙනවා. බුද්ධි තොරතුර ලැබුණේ බොහොම කලින්. අවශ්‍ය පියවර ගත්තනම් මේ තරම් හානියක් නැහැ.”

ප්‍රශ්නය – ඔබතුමා කියන්නේ කව්ද මේකට වගකියන්න ඕනේ?

පාස්කු ප්‍රහාරය පිළිබඳ සොයාබැලීමේ පාර්ලිමේන්තු කාරකසභායේ සභාපති ආනන්ද කුමාරසිරි – “හිටපු ජනපති, අගමැති, ආරක්ෂක අංශ වාර්තාව ඉදිරිපත් කළා. හිටපු ජනපතිගෙන් අඩුපාඩු රැසක් සිදුවෙලා. හිටපු අගමැතිත් වගකියන්න ඕනේ. ආරක්ෂක රැස්වීම් වලට ආරාධනා කර නැහැ. ඒ විදිහටම අපි වාර්තා කරලා තියෙන්නේ.”

***************************************

ෆේස්බුක් සාදයක් වටලයි – තරුණ තරුණියන් 77 ක් අත්අඩංගුවට

(08.03.2020 – 21:31 +0530 – sinhala.adaderana.lk)

පන්නිපිටිය ප්‍රදේශයේ පැවති ෆේස්බුක් සාදයක් අතරතුරදී මත්ද්‍රව්‍ය සමඟ තරුණ තරුණියන් 77 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

අද (08) සවස සිදුකළ වැටලීමකදී මෙම අත්අඩංගුවට ගැනීම සිදු කර ඇති බව අද දෙරණ වාර්තාකරු පැවසීය.

අදාළ සැකකාර තරුණ තරුණියන් ගංජා, මත්ද්‍රව්‍යය සහ මත් පෙති භාවිතා කර ඇති බව වාර්තා වෙයි.

අත්අඩංගුවට ගත් පිරිස අතර තරුණයින් 60 ක් හා තරුණියන් 17 ක් සිටින බව අප වාර්තාකරු පැවසීය ෴

***************************************

සිරිසේන අමුම අමු කුඩුකේඩුවෙක්.. සත පහකතට විශ්වාස කරන්න එපා.. දැන් පොහොට්ටු අපේක්‍ෂකත්වය හිඟා කනවා..

(09.03.2020 – 15:00 +0530 – lankacnews.com)

රනිල් මෛත්‍රී සජිත් යනු එකම අච්චුවේ බඩු තුනක් බවත් පසුගිය කාලයේ දී යහපාලනය නමින් රට විනාශ කීරීමට මේ තුන් කට්ටුවම වග කිව යුතු බවත් කාර්මික අපනයන, ආයෝජන ප්‍රවර්ධන, සංචාරක හා ගුවන් සේවා ඇමති ප්‍රසන්න රණතුංග මහතා අවධාරණය කරයි.

පක්ෂය සමගි කර ගත නොහැකිව සමගි සංධාන බිහි කිරීම තරම් විහිළුවක් තවත් නැතැයි කී ප්‍රසන්න රණතුංග ඇමතිවරයා ලකුණක් තෝරා ගත නොහැකි පිරිසක් රට ගොඩ නගන්නේ කෙසේ දැයි ප්‍රශ්න කළේය. මෛත්‍රීපාල සිරිසේන හිටපු ජනාධිපතිවරයා කරපු තරමක් කළේ කුඩුකේඩු වැඩ යැයි කී ඔහු එදා අලුත් පක්ෂයක් පිහිටෙව්වොත් පාරක් පාරක් ගාණේ ඇවිද්දවනවා යැයි කිවු මෛත්‍රී අද පොහොට්ටුවෙන් අපේක්ෂකත්වය ලබා ගැනීම සදහා හිගමනේ යන බව ද කීවේය.

උඩුගම්පල රෙජී රණතුංග ශ්‍රවණාගාරයේ දී පැවති ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු මිනුවන්ගොඩ ආසන බල මණ්ඩලයේ දී ඇමතිවරයා මෙම අදහස් පළ කළේය. මෙහිදී වැඩි දුරටත් අදහස් දැක් වූ රණතුංග මහතා මෙසේ ද කීවේය.

“රනිල් මෛත්‍රී සුසංයෝගය මේ රට විනාශ කළා. ඒ ආණ්ඩුවේ ඇමතිවරයෙකු වු සජිත් ප්‍රේමදාස මහතා අද හැසිරෙන්නේ මැරිලා ඉපදිලා වගේ. රනිල් මෛත්‍රී සජිත් කියන්නේ එකම අච්චුවේ බඩු තුනක්. මේ තුන්දෙනා වගේ ම ඒ ආණ්ඩුවේ හිටපු. ඒ ආණ්ඩුවට කත් ඇද්ද අයත් අද මේ රට පත්වෙලා තියෙන තත්ත්වයට වග කිව යුතුයි. කාටවත් ඒ වගකීමෙන් මිදෙන්න බෑ. ඒ අවුරුදු හතර හමාර තුළ මේ රටේ ආර්ථිකය කඩා වැටුණා. ව්‍යාපාර වැහුණා. කොම්පැණි වහලා ආයෝජකයෝ ගියා. ජාතික ආරක්ෂාව බල්ලට දැම්මා. රටේ ආර්ථිකය කඩන් වැටුනා. අපි හදපු වරායවල්, ගුවන් තොටුපළවල් කුණු කොල්ලෙට වික්කා. රටක් හදපු, රට ගොඩ නගපු ජනතාවට ජීවිත දානය දුන් නායකයාව ගෙදර යවලා 2015 දි පත් කර ගත්තේ තක්කඩි රැළක්.

මේ තක්කඩි රැළට එරෙහිව අපි සටන් කරද්දි රනිල් මෛත්‍රී හවුල අපෙන් පළි ගත්තා. අපි අලුත් පක්ෂයක් හදන්න යනකොට අලුත් පක්ෂයක් හැදුවොත් පාරක් පාරක් ගාණේ ඇවිද්දවනවා කිව්වා. අපි පාරක් ගාණේ ඇවිද්දවනවා කිව්ව මෛත්‍රී අද අපේ පක්ෂයේ නාම යෝජනා හිඟා කනවා. ඕකට කියන්නේ ‘දිට්ඨ ධම්මවේදනීය කර්මය’ කියලා. මෛත්‍රී තනිකරම රටට කළේ කුඩුකේඩුකම්. පක්ෂයට කළේ කුඩුකේඩුකම්. මමනම් සතපහකට ඔය මනුස්සයව විශ්වාස කරන්නේ නෑ. විශ්වාස කරන්න බෑ. කියන්නේ එකක්; කරන්නේ තව එකක්. උදේට කියන දේ දවල්ට වෙනස් කරනවා. රෑට ආපහු වෙනස් කරනවා. ඒ වගේ අයව අපි කොහොමද විශ්වාස කරන්නේ ? දැන් මහින්ද මහත්තයා ළඟ අඩා වැටිලා. ආපහු තනතුරු වරප්‍රසාද වෙනුවෙන් කඩා ගෙන නොයයි කියලා විශ්වාසය තියෙන, අපිත් එක්ක නිවැරිදි ලෙස හිටගන්න, අපිව දාලා යන්නේ නැති මිනිස්සුයි අපි පාර්ලිමේන්තුවට යවන්න ඔනේ.

එක්සත් ජාතික පක්ෂය අද සී සී කඩ වෙලා ඉවරයි. සජිත් එක පැතත්ක. රනිල් එක පැත්තක. කරු එක පැත්තක. මේ අය තවත් ලකුණක් හොයා ගන්න බැරිව රණ්ඩු වෙනවා. පක්ෂය එකට තියාගන්න බැරුව රට ගොඩ නගන්නේ කොහොමද? එක වෙලාවකට කියනවා හදවතින් එනවාලු. තව වෙලාවක කියනවා ටෙලිෆෝනයෙන් එනවලු. ආයෙත් හංසයා ගැනත් කියනවා. අලියාගෙන් එනවා කියලත් කථා වෙනවා. මැතිවරණ කොමසාරිස්ටත් ලියුම් යවනවා. මම නම් ඕකට හොද ලකුණක් කිව්වා (සභාවෙන් : බුරුවා බූරුවා ලකුණ බුරුවා) නෑ නෑ බුරුවා ලකුණ හොද වැඩීයි. සීනුව අලියාගේ වලිගේ ගැට ගහන්න ඕනේ. ටෙලිෆෝන් එක බෙල්ලේ එල්ලලා හංසයාව මූණට දාගෙන හදවත පිටුපසට දාලා එකතු කරලා ලකුණක් හදාගත්ත නම් තමයි හොද.

19 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව හොදයි කියපු උදවිය අද ඒක නරකයි කියනවා. මේ 19 වන ව්‍යවස්ථා සංශෝධනයෙන් ජනාධිපතිගේ අතපය බැදලා. අගමැතිටත් වැඩ කරන්න විදිහක් නෑ. අපි නම් 19 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ගේනකොට විරුද්ධ වුණා. අත් බැදලා ජනාධිපතිටයි, අගමැතිටයි වැඩ කරන්න බෑ. ඒ නිසායි අපි කියන්නේ තුනෙන් දෙකේ බහුතර බලයක් අපිට දෙන්න කියලා.

මිනුවන්ගොඩ ප්‍රාදේශීය සභවේ සභාපති කුමාර අරංගල්ල, නගරාධිපති නීල් ජයසේකර වන මහත්වරුද කථා කළහ.

– ප්‍රදීප් අනුර කුමාර

***************************************

මුදල් කොල්ලයකට පොලිස් කොස්තාපල්වරුන් 3 දෙනෙකුගේ වැඩ තහනම්

(09.03.2020 – 16:35 +0530 – hirunews.lk/sinhala)

බණ්ඩාරගම – අටළුගම ප්‍රදේශයේ ව්‍යාපාරිකයෙකු සතුව තිබූ රුපියල් ලක්ෂ දෙකකට ආසන්න මුදලක් වංචාකොට කොල්ල කෑමේ සිද්ධියට අත්අඩංගුවට ගත් පොලිස් කොස්තාපල්වරුන් තුන් දෙනාගේ වැඩ තහනම් කර තිබෙනවා.

මෙලෙස වැඩ තහනමට ලක් කර ඇත්තේ මිරිහාන පොලීසියේ දූෂණ මර්ධන අංශයේ සේවය කළ පොලිස් කොස්තාපල්වරුන් තුන් දෙනෙක්.

බොරලැස්ගමුව ප්‍රදේශයේදී පසුගිය දා මෙම කොල්ලය සිදුව තිබූ අතර, සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් කොස්තාපල්වරුන් තුන් දෙනෙකු ඇතුළු සිව් දෙනෙකු පොලීසිය අත්අඩංගුවට ගනු ලැබුවා.

ඔවුන් අද නුගේගොඩ මහේස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව හෙට දිනය දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට ද නියෝග කෙරුණා ෴

***************************************

මහින්ද සුළඟින් ගෝඨාභිෂේකයට (08.03.2020)

***************************************

බවුසරයක බස් රථයක් ගැටී, බදුල්ල – මහියංගනය මාර්ගයේ අනතුරක්

(09.03.2020 – 11:53 +0530 – hirunews.lk/sinhala)

බදුල්ල – මහියංගනය මාර්ගයේ තල්දෙන විහාරස්ථානය අසල දී අද (09) පෙරවරුවේ සිදුවූ අනතුරකින් කුඩා දරුවක් ඇතුළු 14 දෙනෙකු බරපතළ තුවාල ලබා රෝහල් ගතකර තිබෙනවා.

අප වාර්තාකරු පැවසුවේ තුවාලකරුවන් බදුල්ල සහ මීගහකිවුල යන රෝහල් වෙත ඇතුළත් කළ බවයි.

බස් රථයක් මාර්ග අසල නවතා තිබූ බවුසරයක ගැටීමෙන් මෙම අනතුර සිදුව තිබෙනවා.

හල්දුම්මුල්ල ප්‍රදේශයේ පදිංචි පිරිසක් මෙම අනතුර මුහුණ පා තිබෙනවා.

අනතුරින් ඒ අසල තිබූ ලොරි රථයකට ද හානි සිදුව ඇති අතර බදුල්ල පොලීසිය අනතුර පිළිබද පරීක්ෂණ පවත්වනවා.

***************************************

යාපනය – මහනුවර ඒ-9 මාර්ගයේ තිරප්පනේ රිය අනතුරකින් 18 ක් රෝහලේ

(09.03.2020 – 11:16 +0530 – hirunews.lk/sinhala)

යාපනය – මහනුවර ඒ-9 මාර්ගයේ තිරප්පනේ ප්‍රදේශයේදි බස් රථයක් මාර්ගයෙන් ඉවතට ගොස් ගසක සහ කොන්ක්‍රීට් වැඩබිමක ගැටීමෙන් පුද්ගලයන් 18 දෙනෙකු තුවාල ලබා රෝහල් ගතකර තිබෙනවා.

අද (09) අලුයම 3.15 ට පමණ බස් රථයේ රියදුරුට නින්ද යාමෙන් මෙම අනතුර සිදුව ඇති බවයි පොලීසිය සඳහන් කළේ.

මොවුන් වන්දනා ගමනකට ගොස් නැවත පැමිණෙමින් සිටියදි මෙම අනතුර සිදුව ඇති බවයි වාර්තා වන්නේ.

***************************************

ලුණුගම්වෙහෙර අනතුරකින් 06 ක් ජීවිතක්ෂයට

(09.03.2020 – 06:31 +0530 – hirunews.lk/sinhala)

ලුණුගම්වෙහෙර – විසි දෙකේ මංසන්ධිය ප්‍රදේශයේ සිදුවූ අනතුරකින් පුද්ගලයින් 06 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තවත් පුද්ගලයින් තිදෙනෙක් තුවාල ලබා තිබෙනවා.

වෑන් රථයක් මාර්ගයෙන් ඉවතට පැන ගසක ගැටී මෙම අනතුර සිදුව ඇති බවයි පොලිසිය පැවසුවේ.

කතරගම වන්දනාවේ පැමිණි පිරිසක් රැගත් වෑන් රථයක් මෙලෙස අද (09) අලුයම අනතුරට ලක්ව ඇති බවයි වාර්තා වන්නේ.

තුවාල ලැබූවන්ගෙන් දෙදෙනෙකු හම්බන්තොට දිස්ත්‍රික් මහ රෝහලේත්, අනෙක් පුද්ගලයා දෙබරවැව – තිස්සමහාරාම මූලික රෝහලේත් ප්‍රතිකාර ලබනවා.

***************************************

මත්ද්‍රව්‍ය සමඟ පැවති ෆේස්බුක් සාදයක් වටලයි – ලාබාල තරුණියන් 17ක් ඇතුළු 77ක් අත්අඩංගුවේ

(08.03.2020 – 21:47 +0530 – hirunews.lk/sinhala)

පන්නිපිටිය – අරලියඋයන ප්‍රදේශයේ පැවති ෆේස්බුක් සාදයක් වටලා ගංජා සහ මත්පෙති සමඟ ලාබාල තරුණියන් 17 දෙනෙකු ඇතුලු 77 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මහරගම පොලීසියට ලද තොරතුරක් අනුව සිදුකළ වැටලීමේදී අත්අඩංගුවට ගත් පිරිස අතර මෙම ෆේස්බුක් සාදය සංවිධාන කළ පුද්ගලයාද වනවා.

මොවුන් ෆේස්බුක් හරහා මිතුරුවීමෙන් පසුව මෙම සාදය සංවිධාන කර තිබූ අතර, එය විවෘත වේදිකාවක පවත්වා තිබෙනවා.

ඒ සම්බන්ධයෙන් ජනතාවගෙන් ලද තොරතුරු අනුව මෙම වැටලීම සිදුකර ඇති අතර, පොලීසිය එම ස්ථානය පැමිණෙන අවස්ථාවේදී ඔවුන් අධික ලෙස බීමත්ව සිට ඇති බවයි වාර්තාවන්නේ.

අත්අඩංගුවට ගත් පිරිස අවුරුදු 17 ත් 35 ත් අතර වයස්වල පසුවන්නන් වන අතර, වැටලීම සිදුකරන අවස්ථාවේදී මොවුන් සතුව ගංජා සහ මත්පෙති තිබූ බවයි පොලීසිය සඳහන් කළේ.

මොවුන් හෙට (09) දිනයේ අධිකරණ වෛද්‍ය පරීක්ෂණයක් සඳහ යොමුකර ගංගොඩවිල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *