බැඳුම්කර සිද්ධියට හිටපු අගමැති රනිල් අත්අඩංගුවට ගැනීමට නීතිපති නිර්දේශ නොකිරීම ගැන විවිධ අදහස්

(04.03.2020 – 21:46 +0530 – hirunews.lk/sinhala)

බැඳුම්කර සිද්ධිය සම්බන්ධයෙන් හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අත්අඩංගුවට ගැනීමට නීතිපතිවරයා නිර්දේශ නොකිරීම සම්බන්ධයෙන් දේශපාලනඥයන් අදහස් පළ කළා.

+++++++++++++++++++++++++++++++++++

රවී, ඇලෝසියස් ඇතුළු 12 දෙනාට විදෙස් ගතවීම තහනම් – වරෙන්තු නිකුත් කිරීම ගැන තීන්දුව අනිද්දා (06)

(04.03.2020 – 17:43 +0530 – hirunews.lk/sinhala)

බැඳුම්කර වංචාවට අදාළව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක, පර්පෙචුවෙල් ට්‍රෙෂරීස් සමාගමේ හිමිකරු අර්ජුන් ඇලෝසියස්, එහි ප්‍රධාන විධායක නිලධාරී කසුන් පලිසේන ඇතුලු 12 දෙනාට විදෙස් ගතවීම තහනම් කරමින් කොටුව මහේස්ත්‍රාත් අධිකරණය අද (04) නියෝගයක් නිකුත් කළා.

බැඳුම්කර වෙන්දේසියට කුමන්ත්‍රණය කිරීම, සාපරාධී අයථා පරිහරණය, වංචා සිදුකිරීම මෙන්ම ඊට අදාළව වෙළඳපොල හැසිරවීම යන චෝදනා යටතේ ඔවුන්ට එරෙහිව වරෙන්තුවක් ලබාගෙන අත්අඩංගුවට ගන්නා ලෙස ඊයේ (03) නීතිපතිවරයා විසින් වැඩබලන පොලිස්පතිවරයාට උපදෙස් ලබාදුන්නා.

ඒ අනුව වරෙන්තු නිකුත් කිරීම පිළිබඳ තීන්දුව අනිද්දා (06) ලබාදෙන බවයි කොටුව මහේස්ත්‍රාත් රංග දිසානායක අද ප්‍රකාශ කළේ.

2016 වසරේ මාර්තු 29 සහ 31 යන දෙදින පවත්වනු ලැබූ මහ බැංකු බැඳුම්කර වෙන්දේසිවලදී සිදුකරන ලද අපරාධමය වැරදි සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මහේස්ත්‍රාත් අධිකරණයට වාර්තාවක් ඉදිරිපත් කළා.

එහි සැකකරුවන් ලෙස,

  • පර්පෙචුවල් ට්‍රෙෂරීස් ලිමිටඩ්
  • රවී කරුණානායක
  • අර්ජුන් මහේන්ද්‍රන්
  • අර්ජුන ඇලෝසියස්
  • කසුන් පලිසේන
  • ජෙෆ්රි ඇලෝසියස්
  • රන්ජන් හුළුගල්ල
  • මුත්තුරාජා සුරේන්ද්‍රන්
  • අජාන් ගාර්දිය පුංචිහේවා
  • බුද්ධික සරත්චන්ද්‍ර
  • සංගරපිල්ලේ පදුමනාපන්
  • ඉන්දික සමන්කුමාර

යන අය නම් කර තිබෙනවා.

ඔවුන් පොදු දේපල විෂයෙහි සිදුකරන වැරදි සහ ලියාපදිංචි ස්කන්ධ හා සුරැකුම්පත් ආඥා පනතේ වගන්ති උල්ලංඝනය කර ඇති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට ගොනුකළ වාර්තාවේ සඳහන්.

සැකකරුවන් මහ බැංකුව විසින් ප්‍රාථමික අලෙවිකරුවන් සඳහා නිකුත් කරන ලද චර්යා ධර්ම සංග්‍රහය උල්ලංඝනය කරමින් වැදගත් හෙලි නොකළ යුතු තොරතුරු හෙලි කිරීම, ඒවා භාවිත කිරීම, වෙළඳපොල මිල තම වාසිය සඳහා කෘතිමව ඉහල දැමීම සහ ඒ සඳහා තැත් කිරීම, එම වැරදි සිදුකිරීම සඳහා කුමන්ත්‍රණය කිරීම මෙන්ම අනුබල දීම සිදුකර ඇති බව එම දෙපාර්තමේන්තුව අධිකරණයට දැනුම් දුන්නා.

ඊට අදාළව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් හරිප්‍රියා ජයසුන්දර මහත්මිය පැයකට ආසන්න කාලයක් අධිකරණය ඉදිරියේ කරුණු ඉදිරිපත් කළේ මහ බැංකු බැඳුම්කර වෙන්දේසිය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සිදුකරන ලද විමර්ශනවලදී සහ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාවේදී හෙලි වූ සාක්ෂි උධෲත ගෙනහැර දක්වමින්.

එහිදී ඇය පෙන්වා දුන්නේ විමර්ශනයේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සාක්ෂිකරුවන් 170 දෙනෙකුට වැඩි පිරිසකගේ ප්‍රකාශ සහ ලේඛණ 500 කට වැඩි සංඛ්‍යාවක් අධ්‍යයනය කළ බවයි.

නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය ඉදිරිපත් කළ කරුණු සැලකිල්ලට ගත් මහේස්ත්‍රාත්වරයා ප්‍රශ්න කළේ මෙම වැරදි සම්බන්ධයෙන් වරෙන්තුවක් නොමැතිව සැකකරුවන් අත්අඩංගුවට ගත හැකි බවයි.

එසේ නම් අධිකරණයෙන් වරෙන්තු ඉල්ලා සිටින්නේ ඇයි දැයි මහේස්ත්‍රාත්වරයා විමර්ශන නිලධාරීන්ගෙන් ප්‍රශ්න කළා.

සැකකරුවන්ගෙන් වැඩි දෙනෙක් සමාජයේ ඉහළ තනතුරු දරන බලපෑම් සිදුකළ හැකි බලයක් සහිත පුද්ගලයින් වන බැවින් ඔවුන් අත්අඩංගුවට ගැනීම දින කිහිපයකින් හෝ පමාවීම මගින් සමස්ත විමර්ශනයම අපතේ යාමක් සිදුවනු ඇති බව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් හරිප්‍රියා ජයසුන්දර එහිදී අධිකරණයට පෙන්වා දුන්නා.

“බළලාගේ කරේ ගෙජ්ජි බඳින්න කෙනෙක් පොලිස් දෙපාර්තමේන්තුවේ නැත්දැයි” මහේස්ත්‍රාත්වරයා එහිදී ප්‍රශ්න කළා.

ඒ සම්බන්ධයෙන් විමර්ශන නිලධාරීන් පිළිතුරු ලබානොදුන් අතර, මහේස්ත්‍රාත්වරයා විමසුවේ සැකකරුවන් පොදු දේපල පනත යටතේ සිදුකර ඇති වරදේ ප්‍රමාණය ගණනය කර ඇත්ද යන්නයි.

එය රුපියල් බිලියන 51 යි දශම 9 යි 8 ක් බව විමර්ශන නිලධාරීන් දැනුම් දුන්නා.

එහිදී මහේස්ත්‍රාත්වරයා කියා සිටියේ අපරාධයේ වටිනාකම රුපියල් පන්සියය ඉක්ම වන්නේ නම් එවැනි වරදක් සම්බන්ධයෙන් නඩු විභාග කිරීමේ බලයක් මහේස්ත්‍රාත් අධිකරණයට නොමැති බවයි.

එවැනි අවස්ථාවක තමන්ට සිදුකළ හැක්කේ දිවුරුම් පිට සාක්ෂි සටහන් කර ගැනීම පමණක් බව මහේස්ත්‍රාත්වරයා විවෘත අධිකරණයේදී කියා සිටියා.

එහිදී ජනාධිපති නීතිඥ රියෙන්සි අර්සකුලරත්න අධිකරණය හමුවේ කියා සිටියේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් සැකකරුවෙකු ලෙස නම් කර ඇති රවී කරුණානායක වෙනුවෙන් කරුණු දැක්වීමට අවසර ඉල්ලා සිටින බවයි.

එහිදී මහේස්ත්‍රාත්වරයා විමසුවේ නඩුවේ මුල් අවස්ථාවේ අධිකරණය හමුවේ කරුණු දැක්වීමක් පමණක් සිදුකරන විටෙක ඒ සම්බන්ධයෙන් ඔබේ සේවාදායකයා සැකකරුවෙකු ලෙස නම් කර ඇති බව දැන ගත්තේ කෙසේද යන්නයි.

ඒ සම්බන්ධයෙන් මාධ්‍ය ඔස්සේ අනාවරණය වූ කරුණු මත තමන් අධිකරණය හමුවේ පෙනී සිටින බව ජනාධිපති නීතිඥවරයා එහිදී පෙන්වා දුන්නා.

අපරාධ නඩු විධි විධාන සංග්‍රහයට අනුව සැකකරුවෙකුට ඒ සම්බන්ධයෙන් දැන ගැනීමට හැකියාවක් නොමැති බව පෙන්වා දුන් මහේස්ත්‍රාත්වරයා වරෙන්තු නිකුත් කිරීමක් හෝ සිතාසි ලබාගැනීමක් පිළිබඳව ගොනුකරන වාර්තාවක් අරබයා ඊට එරෙහිව සැකකරුවන් පිළිබඳව කරුණු දැක්වීමට අවසර ලබාදිය නොහැකි බව කියා සිටියා.

***************************************

හිටපු ජනපති මෛත්‍රීගේ ප්‍රකාශයට රාජ්‍ය ඇමැති රෝෂාන් පිළිතුරු දෙයි

(04.03.2020 – 21:42 +0530 – hirunews.lk/sinhala)

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඊයේ (03) පළ කළ අදහසට හිටපු රාජ්‍ය අමාත්‍ය රෝෂාන් රණසිංහ මහතා අද (04) පිළිතුරු ලබා දුන්නා.

***************************************

අමාත්‍ය විමල් වීරවංශ මහතා පාස්කු ප්‍රහාරය ගැන සොයන කොමිසමට යයි

(04.03.2020 – 20:37 +0530 – hirunews.lk/sinhala)

පාස්කු බෝම්බ ප්‍රහාරයට පසුදින කොච්චිකඩේ දේවස්ථානය අසල වෑන් රථයක අටවා තිබූ බෝම්බය නියමිත පරිදි පුපුරාගියේ නම්, පාස්කු ප්‍රහාරයෙන් මියගිය පිරිසට වඩා වැඩි පිරිසක් ජීවිතක්ෂයට වීමේ අවදානමක් පැවති බව, විශේෂ කාර්ය බලකා බෝම්බ නිශ්ක්‍රීය අංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ, සහකාර පොලිස් අධිකාරී දිමුතු සුරංග සමරනායක මහතා පවසනවා.

ඔහු මේ බව ප්‍රකාශ කළේ, පාස්කු ප්‍රහාරය සම්බන්ධව සොයාබලන ජනාධිපති කොමිසම හමුවේ සාක්ෂි දෙමින්.

පාස්කු ප්‍රහාරය සඳහා බෝම්බ රැගෙන පැමිණ වෑන් රථය කොච්චිකඩේ ශාන්ත අන්තෝනි දේවස්ථානය අසළ නවතා තිබියදී පසුගිය වසරේ (2019) අප්‍රේල් 22 වැනිදා සොයා ගැනුණු අතර, ජනතාව එම ස්ථානයෙන් ඉවත් කිරීමෙන් පසුව එහි අටවා තිබූ බෝම්බය පුපුරුවා හැරුණා.

එම අවස්ථාවේදී බෝම්බය නිශ්ක්‍රීය කිරීමේ කාර්යයේ නිරත වූයේ, විශේෂ කාර්ය බලකායේ සෝදිසි හා බෝම්බ නිශ්ක්‍රීය අංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ, සහකාර පොලිස් අධිකාරී දිමුතු සුරංග සමරනායක මහතායි.

ප්‍රියන්ත නම් නිලධාරියාගේ දැනුම් දීම මත තමා එම ස්ථානයට ගිය බවත්, මෙය නිශ්ක්‍රීය කිරීමට ඉතාමත් අපහසු සංකීර්ණ බෝම්බයක් බව ඔහු පැවසූ බවත්, පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් සොයා බලන ජනාධිපති කොමිසම හමුවේ සාක්ෂි දෙමින් සුරංග සමරනායක මහතා පැවසුවා.

රෙදි සෝදන යන්ත්‍රවලට භාවිත කාල විරාම යන්ත්‍රයක් මගින් බෝම්බය සක්‍රීය කර තිබූ අතර එය බින්දුවට පැමිණ තිබූ නමුත් බෝම්බයේ පරිපථයේ තිබූ දෝෂයක් හේතුවෙන් ඒ වනවිට එය පිපිරීමට ලක්ව නොතිබූ බවද සාක්ෂිකරු කොමිසම හමුවේ පැවසුවා.

බෝම්බ නිශ්ක්‍රීය උපකරණයක් යොදා ගනිමින් අදාළ තංගුස් නූල ඇදීමට ගිය අවස්ථාවේදී එය පහත් වූ බවත්, ඒ හේතුවෙන් බෝම්බය සක්‍රීය වූ බව වටහා ගත් බවත් සාක්ෂිකරු කොමිසම හමුවේ අනාවරණ කළා.

ඔහු ප්‍රකාශ කළේ, තංගුස් නූල ඇදීමත් සමග බෝම්බයේ පරිපථය සම්පූර්ණ වීම හේතුවෙන් එම අවස්ථාවේදී බෝම්බය පුපුරා ගිය බවයි.

ජනතාව රැස්ව සිටි අවස්ථාවක මෙම බෝම්බය පුපුරා ගියේ නම් කුමන තත්ත්වයක් ඇතිවන්නේදැයි කොමිසම විමසා සිටියා.

කොච්චිකඩේ දේවස්ථානයේ පළමු පිපිරීමෙන් පසු එය බැලීමට පැමිණෙන ජනතාව ඉලක්ක කර මෙම බෝම්බය අටවා තිබූ බවත්, එසේ වූවානම් පෙරදින මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරවලින් මියගිය පිරිසට වඩා වැඩි පිරිසක් මියයාමේ අවදානම පැවති බවත්, සාක්ෂිකරු පෙන්වා දුන්නා.

මේ අතර, සහරාන් හෂීම් සහ ඔහුගේ ප්‍රහාර සම්බන්ධයෙන් කර තිබූ ප්‍රකාශයක් පිළිබඳව සාක්ෂි ලබාදීම සඳහා අමාත්‍ය විමල් වීරවංශ මහතා පාස්කු ප්‍රහාරය පිළිබඳව සොයා බලන ජනාධිපති කොමිසමේ පොලිස් ඒකකය වෙත පැමිණ තිබුණා.

***************************************

බාලිකා විද්‍යාලයකට ඇතුළු වූ කොළඹ ප්‍රධාන පිරිමි පාසලක සිසුන්

(04.03.2020 – 20:57 +0530 – hirunews.lk/sinhala)

කොල්ලුපිටිය ප්‍රදේශයේ ප්‍රසිද්ධ බාලිකා විද්‍යාලයකට ඇතුළු වූ කොළඹ ප්‍රධාන පෙලේ පිරිමි පාසලක සිසුන් 20 දෙනකු කොල්ලුපිටිය පොලිසිය ඊයේ (03) සිය භාරයට ගෙන අවවාද කර මුදාහැර තිබුණා.

+++++++++++++++++++++++++++++++++++

බිග්මැච් අතරතුර විනය විරෝධී ලෙස හැසිරුණු යාපනයේ සිසුන් 40 ක් පොලිස් භාරයට

(04.03.2020 – 16:26 +0530 – hirunews.lk/sinhala)

පාසල් මහා ක්‍රිකට් තරගයක් අතරතුර විනය විරෝධී ලෙස හැසිරීම සම්බන්ධයෙන් යාපනය මධ්‍ය මහා විද්‍යාලයේ සිසුන් 40 දෙනෙකු පොලිස් භාරයට ගෙන තිබෙනවා.

වෙනත් පාසලක සිසුන්ට හිරිහැර වන ලෙස හැසිරීම ඇතුලු චෝදනා කිහිපයක් යටතේ මොවුන් අද පස්වරුවේ පොලිස් භාරයට ගෙන ඇති බවයි පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කළේ ෴

***************************************

තැපැල් ඡන්ද ඉල්ලුම් කිරීමේ අවස්ථාව අනිද්දා (06) සිට

(04.03.2020 – 19:40 +0530 – hirunews.lk/sinhala)

මෙවර මහ මැතිවරණයේදී රාජ්‍ය සේවකයින්ට තැපැල් ඡන්දය සඳහා අයදුම් කිරීමට මේ මස 06 වැනිදා සිට 16 වැනිදා දක්වා කාලය ලබාදී ඇති බව මැතිවරණ කොමිසම නිවේදනය කලා.

ඊට පෙර හෝ තැපැල් ඡන්දය සඳහා රාජ්‍ය සේවකයින්ට ඉල්ලුම් කළ හැකි අතර අයදුම්පත් මැතිවරණ කොමිසමේ වෙබ් අඩවියෙන් ලබා ගත හැකියි.

මේ අතර, මැතිවරණ කොමිසම නිවේදනය කළේ, මහ මැතිවරණය නිමවන තෙක් නව දේශපාලන පක්ෂ ලියාපදිංචි නොකරන බවයි. ඒ අනුව, මැතිවරණ කොමිසම වෙත අයදුම්පත් ඉදිරිපත් කළ නව දේශපාලන පක්ෂ 154 ක ලියාපදිංචි කටයුතු කල් දමා තිබෙනවා.

කෙසේ වෙතත්, කිසියම් දේශපාලන පක්ෂයක නම හෝ ලකුණ වෙනස් කිරීම සදහා මැතිවරණය ප්‍රකාශයට පත් කර තිබීම බාධාවක් නොවන බව සදහන්.

මේ අතර, මැතිවරණ කොමිසමේ නියෝජිතයින් සහ විද්‍යුත් මාධ්‍ය ආයතන ප්‍රධානීන් අතර සාකච්ජාවක් අද (04) පෙරවරුවේ මැතිවරණ මහලේකම් කාර්යාලයේදි පැවැත්වුණා.

එහිදි මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා දැනුම් දුන්නේ මෙවර මහ මැතිවරණයේදී එක් එක් පක්ෂ ඉදිරිපත් කරන ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූර අපේක්ෂකයින්ගේද නාම යෝජනා පත්‍රයක් කොමිසම වෙත ඉදිරිපත් කළ යුතු බවයි.

අදාළ නාම යෝජනා පත්‍රය සමඟ එම අපේක්ෂකයින්ගේ සුදුසුකම් ලැයිස්තුවක්ද ඉදිරිපත් කළ යුතු බව සභාපතිවරයා එහිදි ප්‍රකාශ කළා ෴

+++++++++++++++++++++++++++++++++++

+++++++++++++++++++++++++++++++++++

භික්ෂූන් වහන්සේට අපේක්ෂකත්වය එපා – අස්ගිරි පාර්ශවය ඉල්ලයි

(03.03.2020 – 19:35 +0530 – hirunews.lk/sinhala)

රට තුළ අද සිට මැතිවරණ නීතිය ක්‍රියාත්මක වන බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පවසනවා.

ඔහු මේ බව ප්‍රකාශ කළේ අද (03) මහනාහිමිවරුන් බැහැ දැකීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින්.

මැතිවරණ කොමිෂන් සභාවේ සභාපතිවරයා සහ එහි නියෝජිතයින් අද පෙරවරුවේ මල්වතු පාර්ශවයේ මහානායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සුමංගල නාහිමියන් සහ මල්වතු පාර්ශවයේ අනුනායක පූජ්‍ය දිඹුල්කුඹුරේ විමලධම්ම හිමියන් පළමුව බැහැදුටුවා.

අනතුරුව ඔවුන් අස්ගිරි පාර්ශවයේ මහානායක අතිපූජ්‍ය වරකාගොඩ ශ්‍රී ඤාණරතන නාහිමියන් බැහැදුටුවා.

හූරිකඩුව ශ්‍රී විද්‍යාසාගර පිරිවෙන වෙත පැමිණි කොමිෂන් සභාවේ නියෝජිතයින් රාමඤ්ඤ මහානිකායේ මහානායක පූජ්‍ය නාපානේ පේමසිරි හිමියන් ද බැහැදුටු බවයි අප වාර්තාකරු ප්‍රකාශ කළේ.

මේ අතර ඊයේ (02) පාර්ලිමේන්තුව විසුරුවා හැරීමත් සමග වසර 5 ක නිල කාලය සපුරා නොතිබීම හේතුවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 64 දෙනෙකුට විශ්‍රාම වැටුප අහිමි වනවා.

ඒ අතර එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරුන් 36 දෙනෙකු සිටින අතර, එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මන්ත්‍රීවරුන් 21 දෙනෙකුට සහ දෙමළ ජාතික සන්ධානයේ මන්ත්‍රීවරුන් 6 දෙනෙකුට මෙන්ම ජනතා විමුක්ති පෙරමුණේ එක් මන්ත්‍රීවරයෙකුද සිටීම විශේෂත්වයක්.

+++++++++++++++++++++++++++++++++++

මැතිවරණ කොමිසම උපාධිධාරී පුහුණුව අත්හිටු වීම ගැන අද සාකච්ඡාක්

(05.03.2020 – 12:01 +0530 – sinhala.adaderana.lk)

උපාධිධාරීන් රාජ්‍ය සේවයට බඳවා ගනීමේ වැඩසටහන යටතේ උපාධිධාරීන්ට පුහුණුව ලබාදීම අත්හිටුවීමට ගත් තීරණය පිළිබඳව අද (05) දින මැතිවරණ කොමෂන් සභාව සමඟ සාකච්ඡා කරන බව සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි.

කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

උපාධිධාරී 45,585 දෙනෙකු සඳහා මාර්තු පළමුවෙනි දින වන විට අභ්‍යාස ලාභීන් ලෙස රජයේ පත්වීම් ලබාදී තිබුණු අතර එම පත්වීම් ලිපි මැතිවරණය ප්‍රකාශ කිරීමට පෙර ජනාධිපති ලේකම් කාර්යාල විසින් තැපැල් යොමු කළ තිබූ බව කැබිනට් ප්‍රකාශකවරයා මෙහිදී පැවසීය.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් මැතිවණයේදී පොරොන්දු වූ පරිදි මෙම පත්වීම් ලිපි අදාල උපාධිධාරීන් වෙත යොමුකළ බවත් එම පත්වීම් කිසිවිටෙක ඉදිරි මැතිවරණය සඳහා බලනොපාන බවත් අමාත්‍යවරයා වැඩිදුත් පැවීසීය.

***************************************

ලෝකයම බිය ගැන්වූ කොරෝනා නිසා, මුදල් භාවිතයේදී සැලකිලිමත් වන ලෙස ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් අනතුරු ඇඟවීමක්

(04.03.2020 – 17:33 +0530 – hirunews.lk/sinhala)

මේ වන විට ලොවම කළඹමින් පැතිර යන කොවිඩ් 19 හෙවත් කොරෝනා වෛරසය පිළිබඳ ලෝක සෞඛ්‍ය සංවිධානය අලුත්ම අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබෙනවා. ඒ සඳුදා (02) දිනයේදී යි.

ඒ වෛරසය මුදල් නෝට්ටු හරහා පැතිර යාමක් පිළිබඳවයි. මේ හේතුවෙන්… මුදල් හුවමාරුවේදී ඒ සඳහා වන තාක්ෂණික ක්‍රමවේද අනුගමනය කරන ලෙසයි, ලෝක සෞඛ්‍ය සංවිධානය ජනතාවගෙන් ඉල්ලා සිටියේ.

මුදල් නෝට්ටු මතුපිටින් මෙම වෛරසය ව්‍යාප්ත වීමේ ඉඩකඩ ඇති බවයි ඔවුන් වැඩිදුරටත් සඳහන් කරන්නේ. මේ හේතුවෙන් online එසේත් නැත්තම්, තාක්ෂණික ක්‍රමවේද තුළින් මුදල් හුවමාරු සිදු කළ යුතු වන අතර මුදල් පරිහරණයෙන් පසු අත් සේදිය යුතු බවයි, ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රකාශකයෙකු සඳහන් කළේ.

මුදල් නෝට්ටු මඟින් බැක්ටීරියා හුවමාරු විය හැකි බවට එංගලන්තය විසින් හඳුනාගෙන ඇති අතර ඔවුන් මුදල් පරිහරණයෙන් පසු දෑත් සේදීම සිදු කරනු ලබනවා.

කෙසේ වෙතත්, පසුගිය මාසයේ දී වෛරසය වැළැක්වීමේ උත්සහයක් ලෙස කොරියාවේ සහ චීනයේ බැංකු වසින් භාවිතා කළ මුදල් නෝට්ටු විෂබීජහරණය කිරීම සිදු කළා.

එංගලන්ත බැංකු මුලාශ්‍රයක් පැවසුවේ, කොරියාව සහ චීනය විසින් එසේ සිදු කළත් තමන් එසේ කිරීමට සැලසුමක් නැති බවයි.

+++++++++++++++++++++++++++++++++++

+++++++++++++++++++++++++++++++++++

ප්‍රථම කොරෝනා නිරෝධායන මධ්‍යස්ථානය ලාදුරු රෝහලේ – ප්‍රදේශවාසීන්ගෙන් විරෝධයක්

(04.03.2020 – 16:49 +0530 – hirunews.lk/sinhala)

හැඳල – ලාදුරු රෝහල මෙරට ප්‍රථම කොරෝනා නිරෝධායන මධ්‍යස්ථානය බවට පත් කර තිබෙනවා.

ඒ අනුව කොරෝනා වෛරසය සීග්‍රයෙන් පැතිරෙන ඉරානය, දකුණු කොරියාව සහ ඉතාලියේ සිට මෙරටට පැමිණෙන සියලු ගුවන් මගීන් දින 14 ක නිරෝධායනයට ලක් කිරීම සඳහා මෙම ස්ථානයට යොමුකරන කරනු ඇති.

සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා මාධ්‍ය වෙත අදහස් දක්වමින් කියා සිටියේ මෙම මධ්‍යස්ථානයේ කටයුතු සඳහා ශ්‍රී ලංකා යුද හමුදාවේ සම්පූර්ණ සහය ලබාගන්නා බවයි.

කෙසේ වෙතත් ලාදුරු රෝහල කොරෝනා නිරෝධායන මධ්‍යස්ථානයක් බවට පත් කිරීමට රජය ගෙන ඇති තීරණයට ප්‍රදේශවාසීන් මෙන්ම ආගමික නායකයින්ද අද (04) විරෝධය පළ කළා.

නමුත් සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පෙන්වා දෙන්නේ මෙමඟින් අවට ප්‍රදේශවාසීන්ගේ සෞඛ්‍ය තත්ත්වයට බලපෑමක් එල්ල නොවන බවයි.

මේ අතර දකුණු කොරියාවේ සිට මීට සතියකට පමණ ඉහතදී මෙරටට පැමිණි ශ්‍රී ලාංකික පවුලක මාස 8 ක බිළිඳෙකුට කොරෝනා වෛරසය අසාදනය වී ඇති බවට වන සැකය මත බදුල්ල මහ රෝහලට ඇතුළත් කර තිබෙනවා.

රෝහල් අධ්‍යක්‍ෂ වෛද්‍ය උපුල් කරුණාරත්න මහතා සඳහන් කළේ බිළිඳාට උණ සහ සෙම්ප්‍රතිශ්‍යාව පවතින බවයි.

කෙසේ වෙතත් බිළිඳා සෙසු රෝගීන්ගෙන් වෙන් කර ප්‍රතිකාර කටයුතු සිදුකරගෙන යන අතර, ජෛව සාම්පලද පරීක්ෂණ සඳහා යොමුකර තිබෙනවා.

එසේම චීන ජනාධිපති ෂී ජින් පින් මහතාගේ බිරිඳ විසින් කොළඹ දේවිබාලිකා විද්‍යාලයට විශේෂ ලිපියක් යොමුකර තිබෙනවා.

ඒ, විද්‍යාලයේ චිත්‍ර කලා සංගමයේ සිසු සිසුවියන් 50 දෙනෙකු කොරෝනා වෛරසයෙන් විපතට පත්ව සිටින චීනය තනි නොකරන බවට පවසමින් පසුගියදා සිතුවම් කර යැවූ චිත්‍ර පිළිබඳ ස්තූතිය පළ කරමින්.

කොරෝනා වෛරසය ආසාදනය වී ඉතාලියේ රෝහල් ගතව සිටින ඩබ්ලිව්.ඒ.කුමුදුනී මහත්මියගේ තත්ත්වය ද මේ වනවිට සුව අතට හැරෙමින් පවතින බව වාර්තා වනවා.

දිවයිනට පැමිණ දේශීය වෛද්‍ය ප්‍රතිකාර ලබා ගැනීමට කැමැත්තෙන් සිටින බවයි ඇය හිරු ප්‍රවෘත්ති අංශයට අදහස් දක්වමින් කියා සිටියේ.

මේ අතර කොවිඩ් නයින්ටීන් හෙවත් නව කොරෝනා වෛරසය වැළඳීමෙන් මේ වනවිට පුද්ගලයින් 3198 දෙනෙකු ජිවිතක්ෂයට පත්ව තිබෙනවා. ආසාදිතයන් සංඛ්‍යාව 93,455 ක්.

***************************************

කෝටි ගණනක රත්‍රං සමඟ ගුවන් තොටුපල සාප්පු සංකීර්ණයේ සේවකයන් දෙදෙනෙකු අත්අඩංගුවට

(04.03.2020 – 16:32 +0530 – hirunews.lk/sinhala)

රුපියල් දෙකෝටි 44 ලක්ෂ 89,480 ක වටිනාකමින් (රු. 2,44,89,480)යුත් රත්‍රං තොගයක් සමඟ සැකකරුවන් දෙදෙනෙකු කටුනායක ගුවන් තොටුපල රේගුව අත්අඩංගුවට ගෙන තිබෙනවා.

කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපලේ තීරුබදු රහිත වෙළඳ සංකීර්ණයේ සේවයේ නිරත දංඕවිට සහ රාගම ප්‍රදේශවල පදිංචි 25 සහ 26 හැවිරිදි පුද්ගලයින් දෙදෙනෙකුයි මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ.

ඔවුන් මෙම රත්‍රං තොගය ගුවන් තොටුපලේ නීතිවිරෝධී අයුරින් පිට කිරීමට උත්සාහ කිරීමේදී අත්අඩංගුවට ගෙන ඇති අතර, එම රත්‍රං තොගයේ බර කිලෝග්‍රෑම් 3.103 ක්.

***************************************

පාර්ලිමේන්තුව විසුරුවා හැරීමෙන් පසු පළමු කැබිනට්ටුව රැස්වෙයි

(04.03.2020 – 13:20 +0530 – hirunews.lk/sinhala)

පාර්ලිමේන්තුව විසුරුවා හැරීමෙන් පසු රැස්වන පළමු කැබිනට් හමුව මේ වනවිට (04 දින) ජනාධිපති කාර්යාලයේදී පැවත්වෙනවා.

මෙම හමුව පෙරවරු 10:30 ට ආරම්භ වුයේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන්.

මෙහිදි මැතිවරණ සමය තුල සේවා කටයුතු පවත්වා ගෙන යාම, ඉදිරි උත්සව සමය සහ මහ මැතිවරණය සම්බන්ධයෙන් වැඩි අවධානයක් යොමුකිරිමට නියමිත බවයි වාර්තා වන්නේ.

එමෙන්ම, අනිවාර්ය නිවාඩු යවා සිටින පොලිස්පති පුජිත් ජයසුන්දර ලබන 14 වනදායින් විශ්‍රාම යාමෙන් පසු පත්වන නව පොලිස්පතිවරයා සම්බන්ධයෙන් ද එහිදී සාකච්ජාවට ලක් වනු ඇති.

ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති චන්දන වික්‍රමරත්න මහතා දැනට පොලිස්පතිධුරයේ වැඩබැලීම සිදුකරන අතර ස්ථිර පොලිස්පතිවරයෙකු පත් කරන්නේද, එලෙස පත් කිරිමක් සිදුකරන තෙක් තවදුරටත් චන්දන වික්‍රමරත්න මහතා වැඩබලන පොලිස්පති ලෙස කටයුතු කිරිමට අනුමැතිය ලබා දෙන්නේද යන්න පිලිබද තීරණය කළ යුත්තේ ව්‍යවස්ථාදායක සභාව විසින්.

පොලිස්පතිධූරය සදහා වැඩබලන පොලිස්පති චන්දන වික්‍රමරත්න මහතා ජ්‍යෙෂ්ඨත්වය අනුව ඉදිරියෙන්ම සිටින අතර මේ වන විට වැඩ තහනමට ලක්ව සිටින ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලලිත් ජයසිංහ, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන් වන ජගත් අබේසිරි ගුණවර්ධන, නන්දන මුණසිංහ, ෆ‍්‍රෑන්ක් ප්‍රනාන්දු, රවි විජේගුණවර්ධන, රොෂාන් ප්‍රනාන්දු, නිලන්ත ජයවර්ධන, ලලිත් පතිනායක, පද්මසිරි මුණසිංහ, රොහාන් සිල්වා සහ දේශබන්දු තෙන්නකෝන් යන මහත්වරුද ඒ අතර වනවා.

ලබන 14 වනදායින් පසු පුරප්පාඩු වන පොලිස්පති ධුරය සදහා කැබිනට් මණ්ඩලය විසින් ලබා දෙන නම් ජනාධිපතිවරයා වෙත ඉදිරිපත් කෙරෙන අතර අනතුරුව ජනාධිපතිවරයා විසින් නිර්දේශිත නම් තුනක් ව්‍යවස්ථාදායක සභාවට යොමු කෙරෙනු ඇති.

අනතුරුව, ජනාධිපතිවරයාගේ නිර්දේශ යෝජනා අනුව ව්‍යවස්ථාදායක සභාව විසින් පොලිස්පතිධූරය සදහා පත් කරන්නේ කවුරුන්ද යන්න පිළිබද අවසන් තීරණයකට එළඹීට නියමිතයි.

පාර්ලිමේන්තු විසුරුවා හැර ඇති අවස්ථාවක, ව්‍යවස්ථාදායක සභාවට රැස්වීමේ කිසිදු බාධාවක් නොමැති බවයි පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහ ලේකම් නීල් ඉද්දවල මහතා ප්‍රකාශ කලේ.

කෙසේ වෙතත්, ව්‍යවස්ථාදායක සභාව රැස්වන නියමිත දිනයක් මෙතෙක් ප්‍රකාශ වි නොමැති බව ද ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළා ෴

+++++++++++++++++++++++++++++++++++

***************************************

උපාධිධාරි අභ්‍යාසලාභි පත්වීම් අර්බුදයක

(04.03.2020 – 13:07 +0530 – hirunews.lk/sinhala)

මහ මැතිවරණයට අදාළව මූලික කටයුතු සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සදහා දිස්ත්‍රික් තේරීම්භාර නිලධාරින්, නියෝජ්‍ය මැතිවරණ කොමසාරිස්වරු සහ සහකාර මැතිවරණ කොමසාරිස්වරු හෙට (05) කොළඹට කැදවා තිබෙනවා.

එහිදී නාමයෝජනා කැදවීම ඇතුළු ඉදිරි කටයුතු සම්බන්ධයෙන් දීර්ඝ ලෙස අවධානය යොමු කරනු ඇති.

මහ මැතිවරණයට අදාළව තැපෑලෙන් ජන්දය ඉල්ලුම් කිරීමට බලාපොරොත්තු වන රාජ්‍ය සේවකයින්ට ඒ සඳහා මේ මස 09 සිට 16 වනදා දක්වා කාලය පවතින බව මැතිවරණ කොමිෂන් සභාව ප්‍රකාශ කළා.

එහි උසස් නිලධාරියෙකු සදහන් කළේ ඊට පෙර හෝ තැපැල් ජන්ද සඳහා ඉල්ලුම් කළ හැකි අතර ඒවා තමන්ට ජන්දය හිමි දිස්ත්‍රික්කයේ මැතිවරණ කාර්යාලය වෙත එවිය යුතු බවයි.

මැතිවරණ කොමිසමේ වෙබ් අඩවියෙන් ද ඊට අදාළ අයදුම්පත් ලබා ගත හැකි බවයි ඔහු සදහන් කළේ.

2019 ඡන්ද නාම ලේඛනයට අනුව මෙවර මහ මැතිවරණය පැවැත්වෙන අතර ඒ අනුව එහි තොරතුරු වලට අනුව අයදුම්පත් සම්පූර්ණ කළ යුතු වනවා.

මේ අතර, මහ මැතිවරණය නිම වනතුරු කිසිදු නව දේශපාලන පක්ෂයක් මැතිවරණ කොමිෂන් සභාවේ ලියාපදිංචි නොකරන බව ද එම කොමිසම සදහන් කළා.

ඒ අනුව මැතිවරණ කොමිෂන් සභාවට අයදුම්පත් ඉදිරිපත් කළ නව දේශපාලන පක්ෂ 154 ක ලියාපදිංචියට අදාල කටයුතු කල් දැමීමටයි ඔවුන් තීරණය කර ඇත්තේ.

මේ වනවිට මැතිවරණ කොමිෂන් සභාවේ දේශපාලන පක්ෂ 70 ක් ලියාපදිංචි කර තිබෙන අතර, කිසියම් පක්ෂයක නම වෙනස් කිරීම හා ලකුණ වෙනස් කිරීමට මැතිවරණයක් ප්‍රකාශයට පත් කර තිබීම බාධාවක් වන්නේ නැහැ.

මේ අතර, මේ දිනවල ලබාදෙන උපාධිධාරී අභ්‍යාසලාභි පත්වීම් මාස දෙකකට අත්හිටුවන ලෙස රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයට දැනුම් දී ඇති බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා ප්‍රකාශ කළා ෴

***************************************

දුම්රියේ වෙන්කළ ආසන ප්‍රවේශපත්‍ර පරීක්ෂාව අද (04) සිට

(04.03.2020 – 09:15 +0530 – hirunews.lk/sinhala)

දුම්රිය ගමන අතරතුර වෙන් කළ ආසන ප්‍රවේශපත්‍ර පරීක්ෂාව අද (04) සිට සිදුකරන බව දුම්රිය දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළා.

දෙපාර්තමේන්තු විධිවිධාන අනුව වෙන් කළ ආසනයක ගමන් කළ හැක්කේ ජාතික හැඳුනුම්පත හෝ විදේශ ගමන් බලපත්‍ර අංක සඳහන් ප්‍රවේශපත්‍ර දරන්නෙකුට පමණයි.

එම නිසා තම ජාතික හැඳුනුම්පත් අංකය හෝ විදේශ ගමන් බලපත්‍ර අංකය ප්‍රවේශපත්‍රයේ නිවැරදිව සටහන්ව තිබේදැයි පරීක්ෂා කළ යුතුයි.

වයස අවුරුදු 18 ට අඩු හැඳුනුම්පත් නොමැති ළමයින් සඳහා දෙමාපියන්ගේ අනන්‍යතා පත්‍රය පිළිගනු ලබනවා.

එම නිසා අද සිට අදාළ ප්‍රවේශපත්‍ර පරීක්ෂා කරන අතර, එහිදී අනන්‍යතාවද සංසන්දනය කිරීමක් සිදුකරන බව දුම්රිය දෙපාර්තමේන්තුව නිවේදනය කළා.

එහි වෙනස්කම් පැවතුණහොත් සිදුවන අපහසුතා පිළිබඳව වග නොකියන බවයි දුම්රිය දෙපාර්තමේන්තුව වැඩිදුරටත් කියා සිටියේ ෴

***************************************

කොළඹ තේ අමුතු රසයි නම් දැනුම්දෙන්න – දුරකථන අංකයක්

(05.03.2020 – 07:29 +0530 – hirunews.lk/sinhala)

කොළඹ නගරයේ ආපනශාලාවලින් ලබාදෙන තේ වල රසය පිළිබදව ගැටලු ඇත්නම් වහාම දැනුම් දෙන ලෙස කොළඹ මහනගර සභාවේ මධ්‍යම ආහාර පාලන ඒකකය ජනතාවට දැනුම් දෙනවා.

ඇතැම් ආපනශාලාවල තේ සැදීම සදහා කසළ තේ උපයෝගි කරගන්නා බවට ලැබෙන පැමිණිලි ඉහළ ගොස් ඇති බවයි එහි වැඩබලන ආහාර පරීක්ෂක එම්.බී. ලාල්කුමාර මහතා හිරු ප්‍රවෘත්ති අංශයට කියා සිටියේ.

පසුගියදා ගාලු මුවදොර ප්‍රදේශයේදි එලෙස කසළ තේ කිලෝග්‍රෑම් 3000 ක් ප්‍රවාහනය කළ ලොරි රථයක් පොලිසිය අත්අඩංගුවට ගත් අතර එහි හිමිකරු සහ රියදුරා ප්‍රකාශ කර ඇත්තේ මේවා කොළඹ නගරයේ ආපනශාලවලට බෙදාහැරීමට රැගෙන ආ බවයි.

මෙලෙස කසළ තේ උපයෝගී කර ගනිමින් තේ සකස් කරන බවට තොරතුරු ඇත්නම් 011 267 6161 යන දුරකථන අංකයට දැනුම් දිය හැකි බවයි කොළඹ මහනගර සභාවේ වැඩබලන ආහාර පරීක්ෂක එම්.බී. ලාල්කුමාර මහතා සදහන් කළේ ෴

***************************************

නව ජල පහසුකම් ලබා ගැනීමේදී මූලික ගෙවීම රුපියල් 2500 දක්වා අඩු කෙරේ

(05.03.2020 – 11:02 +0530 – hirunews.lk/sinhala)

නව ජල පහසුකම් ලබා ගැනීමේදී ගෙවිය යුතු රුපියල් 8000 මූලික ගෙවීම, රුපියල් 2500 දක්වා අඩු කිරීමට කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා.

සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා මේ බව කියා සිටියේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ දැන් (05 දින) පැවැත්වෙන කැබිනට් තීරණ දැනුම් දෙන මාධ්‍ය හමුවට එක්වෙමින් ෴

***************************************

වසරේ දැවැන්තම තාක්ෂණික හා වෙළෙඳ ප්‍රදර්ශනය

(05.03.2020 – 09:34 +0530 – sinhala.adaderana.lk)

වසරේ දැවැන්තම තාක්ෂණික හා වෙළෙඳ ප්‍රදර්ශනය වන INNOTECH 2020 ප්‍රදර්ශනය මාර්තු මස 11, 12, 13 සහ 14 යන දිනවල හෝමාගම පිටිපන නගරයේදී පැවැත්වෙයි.

ඒ පිළිබඳව දැනුවත් කිරීමේ ප්‍රවෘත්ති සාකච්ඡාවක් ඊයේ (04) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තු පරිශ්‍රෙය්දී පැවැත්වුණි.

අධ්‍යාපන අමාත්‍යංශය, උසස් අධ්‍යාපන තාක්ෂණ හා නවෝත්පාදන අමාත්‍යංශය සහ අනෙකුත් තාක්ෂණ ආයතන එක්ව මෙම ප්‍රදර්ශනය සංවිධානය කරන අතර ත්‍රිවිධ හමුදාවේ සහ පොලීසියේ නව නිපැයුම් සහ ප්‍රදර්ශන භාණ්ඩ, විශ්ව විද්‍යාල යටතේ සිදුකරනු ලැබූ පර්යේෂණ ප්‍රතිඵල නැනෝ තාක්ෂණය, ජෛව තාක්ෂණය, රොබෝ තාක්ෂණය ,ඩ්‍රෝන යන්ත්‍ර භාවිතය ඇතුළු රටේ විවිධ ප්‍රදේශ වල නවෝත්පාදන 1200 ක් පමණ ඉදිරිපත් කිරීමට නියමිතය.

ක්‍රීඩා උත්සව, අධ්‍යාපන චාරිකා ඇතුළු පාසල් සිසුන්ගේ සියළු භාහිර ක්‍රියාකාරකම් පළමු පාසල් වාරය තුළ අවසන් කළ යුතු බැවින් මෙම ප්‍රදර්ශනය මාර්තු මාසයේදී පැවැත් වීමට සැළසුම් කළ බවත් ප්‍රදර්ශනය සඳහා කිසිදු මුදලක් අය නොකරන බවත් සඳහන් කළ උසස් අධ්‍යාපන අමාත්‍යවරයා සිසුන්ට නව දැනුම් සම්භාරයක් ලබා දීම මිස පටු දේශපාලන අරමුණු කිසිවක් නොමැති බවත් තාක්ෂණ හා නවෝත්පාදන ප්‍රදර්ශනයෙ දරුවන්ගේ දක්ෂතා ප්‍රදර්ශනය කරන ජාතික ප්‍රදර්ශනයක් බවත් අවධාරණය කළේය.

හෝමාගම පිටිපන මහින්ද රාජපක්ෂ ජාතික පාසල, ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයීය තාක්ෂණ පීඨය, ශ්‍රී ලංකා නැනෝ තාක්ෂණ ආයතනය , ජාතික ව්‍යාපාර කළමණාකරන පාසල හෙවත් හරිත විශ්ව විද්‍යාලය සහ මිනුම් ඒකක පුමිති සේවා දෙපාර්තමේන්තු භූමිය ඇතුළු අක්කර 300 ක භූමි ප්‍රමාණය තුළ ප්‍රදර්ශනය පැවැත්වේ.

නියමු ව්‍යාපෘතියක් ලෙස ආරම්භකරන මෙම ප්‍රදර්ශනයෙන් අනතුරුව ඉදිරියේදී සෑම දිස්ත්‍රික්කයක්ම ආවරණය වන පරිදි ප්‍රදර්ශනය පැවැත්වීමට බලාපොරොත්තු වන අතර එමගින් ලැබෙන සම්පුර්ණ ආදායම මහපොළ ශිෂ්‍යත්ව අරමුදලට බැරකරන බවද අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.

ප්‍රදර්ශනය සඳහා උතුරු නැගෙනහිර ඇතුළු පාසල් 400 ක පමණ සිසුන් සහභාගී වීමට නියමිත අතර දුරබැහැර සිට පැමිණෙන සිසුන්ගේ නවාතැන් ඇතුළු අනෙකුත් පහසුකම් සැපයීම අධ්‍යාපන අමාත්‍යංශයේ අධීක්ෂණය යටතේ සිදු කරයි.

පුරා දින 04 ක් පුරා මෙම ප්‍රදර්ශනය පැවැත්වෙන අතර ප්‍රදර්ශනය අවසානයේ හෝමාගම පිටිපන හරිත සරසවිය ඉදිරිපිට ඉදිකර ඇති ශ්‍රී ලංකාවේ ප්‍රථම තාක්ෂණය පීඨය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ සිසුන්ට පවරාදීමට නියමිත බව ද අමාත්‍යවරයා පැවසීය. ප්‍රදර්ශනය රාත්‍රී 10 දක්වා පැවැත්වෙන අතර විනෝදාස්වාදාත්මක ක්‍රියාකාරකම් සහ සංස්කෘතික අංග රැසකින්ද මෙම ප්‍රදර්ශනය සමන්විත වේ.

***************************************

දේශපාලන පළිගැනීම් පිළිබඳ ජනාධිපති කොමිසමේ පැමිණිලි දහස ඉක්මවයි

(05.03.2020 – 07:02 +0530 – sinhala.adaderana.lk)

දේශපාලන පළිගැනීම් පිළිබඳ ජනාධිපති කොමිසම වෙත ලැබී ඇති පැමිණිලි සංඛ්‍යාව දහස ඉක්මවා තිබේ.

ජනා‍ධිපති කොමිසම වෙත මේ වන විට පැමිණිලි 1187 ක් ලැබී ඇති බව එහි ප්‍රකාශකයෙකු අද දෙර‍ණට සඳහන් කළේය.

කොමිසම වෙත පැමි‍ණිලි භාර ගැනීමේ කටයුතු හෙට (06) දිනයෙන් අවසන් වීමට නියමිතයි.

පැමිණිලි භාර ගැනීමෙන් අනතුරුව ඒවායේ මූලික පරීක්ෂණ කටයුතු ජනා‍ධිපති කොමිසමේ පොලිස් ඒකකය විසින් සිදුකරන අතර අනතුරුව සාක්ෂි විමසීමේ කටයුතු කොමිසමේ සාමාජිකයින් විසින් ආරම්භ කරනු ඇති ෴

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *