ශ්‍රී ලංකාව මුස්ලිම් රාජ්‍යයක් බවට පත් කිරීමේ සැලැස්මක් ගැන ලැබුණු තොරතුරක් පිළිබඳ විජේදාස රාජපක්ෂ හෙළිකරයි

+++++++++++++++++++++++++++++++++++

= මේ පිටුවේ සිරස්තල =

• ශ්‍රී ලංකාව මුස්ලිම් රාජ්‍යයක් බවට පත් කිරීමේ සැලැස්මක් ගැන ලැබුණු තොරතුරක් පිළිබඳ විජේදාස රාජපක්ෂ හෙළිකරයි (විඩියෝ)

• ගලගොඩඅත්තේ හිමිට – බොදු බල සේනාවට නෝර්වේ ආධාර දුන්නා – ආචාර්ය විජයදාස රාජපක්ෂ

• හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන්ගේ බිරිඳ සහ සොහොයුරාගේ බැංකු ගිණුම් පරීක්ෂා කිරීමට රහස් පොලීසියට අවසර

• බම්බලපිටියේ ගින්නක් (විඩියෝ)

• රෝහණ බැද්දගේ මහතා මාලදිවයිනේ ශ්‍රී ලංකා තානාපති ලෙස නම් කිරීම අනුමතයි (විඩියෝ)

• ETI තැන්පත්කරුවන් වෝඩ් පෙදෙසේ විරෝධතාවක (විඩියෝ)

• ක්‍රීඩකයන් බිමින් යවා උඩින් ගිය ක්‍රිකට් ලොක්කෝ (විඩියෝ)

• ප්‍රතිපත්තිවලට වඩා උද්ඝෝෂණවලට කාලය වැය කිරීමට සිදුව ඇතැයි ජනපති කියයි (විඩියෝ)

• බදියුදීන්ගේ බිරිඳ සහ සොහොයුරාගේ බැංකු ගිණුම් පරීක්ෂා කිරීමට රහස් පොලීසියට අවසර

• සම අනුග්‍රාහකත්වයෙන් ඉවත් වූ පසු රටවල් රැසක සහය ලැබුණු බව විදේශ ඇමති කියයි (විඩියෝ)

• ‘බිග්මැච් පෙරේඩ්’වලදී හිරිහැර කළොත් නීතිය තදින්

• රුපියල් බිලියනයක හෙරොයින් සහ අයිස් ගාලූ මුහුදෙන් සොයා ගනී

+++++++++++++++++++++++++++++++++++

ශ්‍රී ලංකාව මුස්ලිම් රාජ්‍යයක් බවට පත් කිරීමේ සැලැස්මක් ගැන ලැබුණු තොරතුරක් පිළිබඳ විජේදාස රාජපක්ෂ හෙළිකරයි

(28.02.2020 – 22:38 +0530 – hirunews.lk/sinhala)

පියවර 4 ක් යටතේ ශ්‍රී ලංකාව මුස්ලිම් රාජ්‍යයක් බවට පත් කිරීමේ සැලැස්මක් ජමෙයිතුල් උලමා සංවිධානයෙන් ක්‍රියාත්මක කළ බවට තමන්ට තොරතුරු ලැබී තිබූ බව හිටපු අධිකරණ අමාත්‍ය ආචාර්ය විජේදාස රාජපක්ෂ මහතා සඳහන් කළා.

ඔහු මේබව සඳහන් කළේ පාස්කු ප්‍රහාරය පිළිබඳ සොයා බැලීම සඳහා පත්කළ ජනාධිපති විමර්ශන කොමිසම හමුවේ අද (28) සාක්ෂි ලබාදෙමින්.

පාස්කු ප්‍රහාරය පිළිබඳ සොයා බලන ජනාධිපති විමර්ශන කොමිසම හමුවේ සාක්ෂි ලබාදුන්නේ පැවති රජයේ අධිකරණ අමාත්‍යවරයෙකු ලෙස කටයුතු කළ ආචාර්ය විජේදාස රාජපක්ෂ මහතායි.

ජනාධිපති විමර්ශන කොමිෂන් සභාව විසින් එහිදී 2016 වර්ෂයේ නොවැම්බර් මස ආචාර්ය විජේදාස රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවේදී අය-වැය විවාදයක් අතරතුර එවකට රටේ ගොඩනගමින් පවතින අන්තවාදය සම්බන්ධයෙන් සිදු කර තිබූ ප්‍රකාශයක වීඩියෝවක් ඉදිරිපත් කර සිටියා.

ප්‍රශ්න කිරීම ආරම්භ කරමින් රජයේ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය හිටපු අමාත්‍යවරයාගෙන් විමසා සිටියේ බහුවාර්ගික රටක් ලෙස අන්තවාදය සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේදී එවැනි ප්‍රකාශයක් කළේ මන්ද යන්නයි.

ඊට පිළිතුරු දෙමින් ආචාර්ය විජේදාස රාජපක්ෂ මහතා සඳහන් කළේ එවක ජනාධිපතිවරයාගේ ආරාධනයකට අනුව තමන්ට ආරක්ෂක මණ්ඩලයේ රැස්වීමකට සහභාගි වූ බවත්, අදාළ රැස්වීම සඳහා හිටපු අගමැතිවරයා, හිටපු පොලිස්පතිවරයා සහ යුද හමුදා ඉහළපෙළේ නිලධාරීන්ද එක්ව සිටි බවයි.

එහිදී එවකට රාජ්‍ය බුද්ධි සේවයේ අධ්‍යක්ෂ නියෝජ්‍ය පොලිස්පති නිලන්ත ජයවර්ධන මහතා රටේ ආරක්ෂක තත්ත්වය සම්බන්ධයෙන් ඉදිරිපත් කිරීමක් සිදුකරමින් රටට එරෙහිව කිසිදු ආරක්ෂක තර්ජනයක් නොමැති බව ආරක්ෂක මණ්ඩලයේදී සඳහන් කළ බව විජේදාස රාජපක්ෂ මහතා පැවසුවා.

නමුත් අන්තවාදය පෝෂණය වීම සම්බන්ධයෙන් තමන්ට ලැබී තිබූ තොරතුරු අනුව ආරක්ෂක මණ්ඩලයේදී අදාළ බුද්ධි අංශ නිලධාරියා සිදුකළ ඉදිරිපත් කිරීම පිළිබඳ තමන්ට කිසිදු විශ්වාසයක් නොතිබූ හෙයින් මේ සම්බන්ධයෙන් ජනතාව දැනුවත් කළ යුතු යැයි බවට තමන්ට හැඟී ගිය බව සාක්ෂි ලබාදෙමින් ආචාර්ය විජේදාස රාජපක්ෂ මහතා සඳහන් කළා.

ඔහු එහිදි සඳහන් කළේ රටේ ගොඩනැගෙමින් පැවති අන්තවාදය සම්බන්ධයෙන් තමන්ට ලැබුණු තොරතුරු එවක ජනපති, අගමැති ඇතුළු නායකයින්ට හෝ ඇමති මණ්ඩලයට ඉදිරිපත් කිරීමෙන් පළක් නොවන බව වැටහුණු බවත්, අදාළ තොරතුරු සම්බන්ධයෙන් ජනතාව හෝ ආරක්ෂක අංශ දැනුවත් කළ යුතු බවත් තමන්ට හැඟී ගිය හෙයින් මෙලෙස පාර්ලිමේන්තුවේදි ප්‍රකාශයක් ඉදිරිපත් කළ බවයි.

පොලිස්පතිවරයා ලෙස පූජිත් ජයසුන්දර පත්කිරීමේදී සහ ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු පත් කිරීමේදී අදාළ පත්කිරීම් සුදුසු නොවන බව තමන් අවස්ථා 10 කදී පමණ ජනාධිපතිවරයා දැනුවත් කළ නමුත්, ඒ සම්බන්ධයෙන් යහපත් ප්‍රතිචාරයක්ද නොලැබුණු බව වැඩිදුරටත් සාක්ෂි ලබාදෙමින් හිටපු අමාත්‍ය ආචාර්ය විජේදාස රාජපක්ෂ මහතා පෙන්වා දුන්නා.

පොලිස්පතිවරයා පත් කිරීමේදී එවක අග්‍රාමාත්‍යවරයා සහ කථානායකවරයා විසින් පූජිත් ජයසුන්දර මහතා එක්සත් ජාතික පක්ෂයට පක්ෂපාතී පුද්ගලයෙකු බව සඳහන් කරමින් ඔහු පොලිස්පති ලෙස පත්කළ යුතු බවට ජනාධිපතිවරයාටද බලපෑම් සිදුකර ඇති බව හිටපු අමාත්‍යවරයා සඳහන් කළා.

පසුව පොලිස්පති පූජිත් ජයසුන්දර රාජ්‍ය නොවන සංවිධානවලට අයත් සමන් රත්නප්‍රිය, මහාචාර්ය සරත් විජේසූරිය, ජේ.සී. වැලිඅමුණ වැනි පුද්ගලයන්ගේ උපදෙස් අනුව ක්‍රියාකළ බවට තමන් දැඩි කළකිරීමෙන් යුතුව නිරීක්ෂණය කළ බවද කොමිසම හමුවේ අනාවරණ කළා.

මුස්ලිම් ආගමික නායකයින් පිරිසක් සහ ජමෙයිතුල් උලමා සංවිධානයේ පිරිසක් පැමිණ තමන් හමුවී පාර්ලිමේන්තුවේ සිදුකළ ප්‍රකාශය සම්බන්ධයෙන් සහ අන්තවාදී සංවිධානවල හැසිරීම් සම්බන්ධයෙන් සාකච්ඡා කළ බවත්, ඔවුන් සමග බස්නාහිර පළාත් හිටපු ආණ්ඩුකාර අසාද් සාලි මහතාද පැමිණ සිටි බව කොමිසම හමුවේ සාක්ෂි ලබාදෙමින් විජේදාස රාජපක්ෂ මහතා පැවසුවා.

මීට අමතරව, එවක රජයේ හිටපු සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතාද ප්‍රවෘත්ති සාකච්ඡාවක් පවත්වමින් රටේ කිසිදු අන්තවාදී ක්‍රියා සිදුනොවන බවත් රටේ ආරක්ෂාව තහවුරු වී ඇති බවත් සඳහන් කර සිටි බවද විජේදාස රාජපක්ෂ මහතා සඳහන් කළා.

අනතුරුව රජයේ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය විමසා සිටියේ අන්තවාදය පෝෂණය කරන දේශපාලනඥයින් සිටිනවාද යන්නයි.

ඊට පිළිතුරු දෙමින් හිටපු අමාත්‍යවරයා සඳහන් කළේ එම්.එල්.ඒ.එම්. හිස්බුල්ලා, මුජිබර් රහුමාන් සහ අසාද් සාලි යන පුද්ගලයින් එලෙස අන්තවාදය පෝෂණය කළ බවයි.

2018 වර්ෂයේ මාවනැල්ල බුදුපිළිම කැඩීමේ සිද්ධිය සහ තවත් අන්තවාදී සිද්ධීන් සම්බන්ධයෙන් විමර්ශන සිදුකළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ට අසාද් සාලි සහ හිස්බුල්ලා බලපෑම් සිදුකළ බවට විමර්ශන සිදුකළ නිලධාරීන් තමන්ට පැවසු බව විජේදාස රාජපක්ෂ මහතා විමර්ශන කොමිසම හමුවේ අනාවරණ කළා.

මීට අමතරව, පාස්කු ප්‍රහාරයට සම්බන්ධවූ දෙමටගොඩ ප්‍ර දේශයේ පදිංචි ඊබ්‍රාහිම් පවුල සමග එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතාට ඉතා කිට්ටු සම්බන්ධතාවක් පවතින බව තමා දන්නා බවද ඔහු කොමිසම හමුවේ පැවසුවා.

මීට අමතරව, 2008 වසරේදී තමිල්නාඩුවේ දුම්රිය ස්ථානයකදී ශ්‍රී ලාංකික භික්ෂූන් වහන්සේ නමකට පහරදීමේ සිද්ධියට සම්බන්ධවී තිබුණේ තවුහිද් ජමාත් සංවිධානයේ අබ්දුල් රාසික් නමැති පුද්ගලයා බවද තමිල්නාඩු පොලිසිය විසින් අනාවරණ කරගෙන තිබූ බවද ඔහු පෙන්වා දුන්නා.

ඔහු වැඩිදුරටත් සඳහන් කළේ එවක ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක වූ ජමෙයිතුල් උලමා සංවිධානය පියවර 4 ක් ඔස්සේ ශ්‍රී ලංකාව මුස්ලිම් රාජ්‍යයක් කිරීමට සැලසුම් සකසා තිබූ බව සම්ප්‍රදායික මුස්ලිම් මිතුරන් මාර්ගයෙන් තමන්ට දැන ගැනීමට හැකිවූ බවයි.

ඒ අනුව, එහි පළමු අදියර ලෙස හලාල් සහතිකයත්, දෙවන අදියර ලෙස කාන්තාවන්ගේ මුහුණු ආවරණය කිරීමත්, තුන්වන අදියර ලෙස ශරියා නීතිය මෙරට ක්‍රියාත්මක නීතියක් බවට පත්කිරීමත් සහ අරාබි භාෂාව ඉගැන්වීම හරහා මෙරට මුස්ලිම් රාජ්‍යයක් බවට පත්කිරීමටත් සැලසුම් කර තිබූ බවට තමන්ට තොරතුරු ලැබුණු බව හිටපු අමාත්‍යවරයා සඳහන් කළා.

එහිදී කොමිසම ප්‍රශ්න කර සිටියේ මේ සඳහා දේශපාලන ආධාර ලබාදුන්නේ කවුරුන්ද යන්නයි.

ඊට පිළිතුරු ලබාදෙමින් විජේදාස රාජපක්ෂ මහතා සඳහන් කළේ එම්.එල්.ඒ.එම්. හිස්බුල්ලා, රිෂාඩ් බදියුදීන්, වැනි පුද්ගලයින් හරහා ලැබෙන මැදපෙරදිග ආධාර ඔස්සේ ශරියා නීතිය ඉගැන්වීම වැනි දෑ ක්‍රියාත්මක වූ ඇති බවයි.

2015 යහපාලන ආණ්ඩුව ක්‍රියාත්මක වීමේදී සම්බන්ධ කරගත් ඇතැම් මුස්ලිම් දේශපාලනඥයින් ඔස්සේ අන්තවාදී කණ්ඩායම්වලට දේශපාලන සහයද ලැබුණු බව සාක්ෂි ලබාදෙමින් විජේදාස රාජපක්ෂ මහතා පැවසුවා.

ඒවන විට රටේ ප්‍රබල බුද්ධි අංශයක් ක්‍රියාත්මක වූ අතර යහපාලන ආණ්ඩුව විසින් යුද සහ නාවික බුද්ධි අංශ නිලධාරීන් 323 ක් ප්‍රශ්න කිරීම්වලට ලක්කිරීම සහ අත්අඩංගුවට ගැනීම හරහා බුද්ධි අංශ සම්පූර්ණයෙන්ම අකර්මන්‍ය වූ බව අනාවරණ කළා.

මීට අමතරව, එවක ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා විසින් ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ සභාපති ධුරයට මුස්ලිම් ජාතිකයෙකු පත්කළ බවත්, ඔහු ගුවන් විදුලිය ඔස්සේ භික්ෂුන් වහන්සේලා දේශනා කරන බණ හෝ පිරිත් ප්‍රචාරය තහනම් කර තිබූ බවත්, වහාබ්වාදයට අනුබල දෙන යම් යම් ප්‍රකාශ දෙමළ භාෂාවෙන් විකාශය කිරීමට නිර්දේශ කර තිබූ බවත්කොමිසම හමුවේ කියා සිටියා.

අනතුරුව කොමිසම ප්‍රශ්න කර සිටියේ තමන් සිදුකළ සොයාබැලිම්වලදී මද්‍රසා පාසල් පිළිබඳ තොරතුරු හෙළිවූයේද යන්නයි.

ඇතැම් ජාත්‍යන්තර පාසල් තුළ සිදුකළ අන්තවාදී දේශනවල ප්‍රතිඵලයක් ලෙස පාස්කු ප්‍රහාරය පෙන්වා දිය හැකි බව ඊට පිළිතුරු ලබාදුන් විජ්දාස රාජපක්ෂ මහතා පැවසුවා.

වැඩිදුරටත් සාක්ෂි දෙමින් හිටපු අමාත්‍යවරයා සඳහන් කළේ හම්බන්තොට වරාය චීන රජයට ලබාදීමේදී ඇමරිකාව, ජපානය, ඉන්දියාව සහ යුරෝපා රටවල් රැසක් හිටපු ජනපති, අගමැති සහ ආණ්ඩුවේ ප්‍රධානීන් රැසක් හමුවී හම්බන්තොට වරාය ලෝකයෙන් බාගයක් පමණ අඩපණ කළ හැකි ස්ථානීය වශයෙන් වැදගත් භූමියක් බැවින් එම ගිවිසුම අවලංගු කරන ලෙසට දැඩිව ඉල්ලීම් කළ බවයි.

නමුත්, එය ඉටු නොවීම හේතුවෙන් පාස්කු ප්‍රහාරය එල්ල කරන්නට ඇති බවට තමන් සැකකරන බව හිටපු අමාත්‍ය විජේදාස රාජපක්ෂ මහතා කොමිසම හමුවේ සඳහන් කළා.

අදාළ ප්‍රහාරය ඔස්සේ රට තුළ ගැටුම් ඇති කිරීම හරහා සෝෆා සහ ඵක්‍ක්‍ යන ගිවිසුම් මෙරට තුළ ක්‍රියාත්මක කරවා ගැනීමද මෙහි අරමුණ විය හැකි බවත්, ඔහු පෙන්වා දුන්නා.

ප්‍රහාරයට පසුව පැවති ආරක්ෂක මණ්ඩල රැස්වීමට තමන් සහභාගි වූ බවත්, පූජිත් ජයසුන්දර වෙනුවට කොස්තාපල්වරයෙකු පොලිස්පති ධුරයට පත්ව සිටියේ නම් ප්‍රහාරය සිදු නොවීමට ඉඩ තිබූ බවත්, තමා ආරක්ෂක මණ්ඩල රැස්වීමේදී සියලුදෙනාට ප්‍රකාශ කළ බව ආචාර්ය විජේදාස රාජපක්ෂ මහතා ජනාධිපති කොමිසම ඉදිරියේ ප්‍රකාශ කළා.

+++++++++++++++++++++

+++++++++++++++++++++

ගලගොඩඅත්තේ හිමිට – බොදු බල සේනාවට නෝර්වේ ආධාර දුන්නා – ආචාර්ය විජයදාස රාජපක්ෂ

(28.02.2020 – 17:31 +0530 – lankadeepa.lk)

ශ්‍රී ලංකාව තුළ බෞද්ධ අන්තවාදය ක්‍රියාත්මක කරවීම උදෙසා නෝර්වේ රාජ්‍යය, ගලගොඩඅත්තේ ඥනසාර හිමි ප්‍රමුඛ බොදු බල සේනා සංවිධානයට මුදල් ලබාදී ඇතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා අද (28) පාස්කු ඉරුදින බෝම්බ ප්‍රහාරය පිළිබඳ ජනාධිපති විමර්ශන කොමිෂන් සභාව හමුවේ සාක්ෂි ලබා දෙමින් ප්‍රකාශ කළේය.

බෞද්ධ අන්තවාදයට අදාළ ව්‍යාපෘතියක් ශ්‍රී ලංකාව තුළ ව්‍යාප්ත කිරීම සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා බොදුබල සේනාවේ භික්ෂූන් කණ්ඩායමක් නෝර්වේ රාජ්‍යයට ගෙන්වාගෙන මාර්ගෝපදේශනයක් ලබා දීමට එම රාජ්‍යයේ පිරිසක් කටයුතු කර ඇති බවද විජයදාස රාජපක්ෂ මහතා ජනාධිපති කොමිසම හමුවේ සඳහන් කළේය.

තමා පසුගිය යහපාලන ආණ්ඩුවේ අධිකරණ සහ බුද්ධශාසන අමාත්‍ය ධූරය දැරූ සමයේ කළ සොයා බැලීමකදී මෙම කරුණු අනාවරණය කර ගැනීමට හැකි වූ බවද ඒ මහතා පැවසීය.

කුලියාපිටියේදී සහ කුරගල දී බොදුබල සේනාවේ භික්ෂූන් වහන්සේලා පිරිසක් සමඟ ගලගොඩඅත්තේ ඥානසාර හිමි මුස්ලිම් ජනතාව සමග ගැටුම් ඇතිකරගෙන ජාතිවාදී කෝලාහලයක් දක්වා එය වර්ධනය කිරීමට උත්සාහ කළ ද අධිකරණ අමාත්‍යවරයා ලෙස තමාගේ මැදිහත්වීම මත ආරක්ෂක අංශ යොදවා එම තත්ත්වය මැඩ පැවැත්වීමට හැකිවූ බවද විජයදාස රාජපක්ෂ මහතා කියා සිටියේය.

පැය හතරකට ආසන්න කාලයක් විජයදාස රාජපක්ෂ මහතා ජනාධිපති කොමිසම හමුවේ සාක්ෂි ලබා දුන්නේය.

පාස්කු ඉරුදින බෝම්බ ප්‍රහාරය පිළිබඳ ජනාධිපති විමර්ශන කොමිෂන් සභාව අභියාචනාධිකරණ විනිසුරු ජනක් ද සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ ස්ථාපිත කර තිබෙන විශේෂ කාර්යාලයේ දී අද (28) රැස්විය ෴

***************************************

හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන්ගේ බිරිඳ සහ සොහොයුරාගේ බැංකු ගිණුම් පරීක්ෂා කිරීමට රහස් පොලීසියට අවසර

(28.02.2020 – 19:16 +0530 – hirunews.lk/sinhala)

හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන්ගේ බිරිඳගේ සහ ඔහුගේ සහෝදරයෙකු වන රියාජ් බදියුදීන්ගේ බැංකු ගිණුම් වාර්තා ලබාගැනීමට ගල්කිස්ස මහේස්ත්‍රාත් උදේශ් රණතුංග අද (28) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අවසර ලබාදුන්නා.

ඒ, පසුගිය ආණ්ඩුව සමයේ සතොස ආයතනයේ සිදුවූ බව කියන මූල්‍ය වංචාවකට අදාළ බවට සැක කෙරෙන ලිපි ගොනු සොයා ගත් වැල්ලවත්ත ප්‍රදේශයේ නිවස සම්බන්ධයෙන් වන නඩුවේ විමර්ශනවල ප්‍රගතිය පිළිබඳව අධිකරණයට කරුණු වාර්තා කළ අවස්ථාවේදීයි.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය පොලිස්පතිවරයාට සහ අධ්‍යක්ෂවරයාට ලද තොරතුරකට අනුව ගල්කිස්ස අධිකරණය හරහා ලබා ගත් නියෝගයක් මත අදාළ නිවස පසුගියදා පරීක්ෂාවට ලක් කළා.

එහි තිබී ඉඩම් ඔප්පු 240 ක් සහ සතොස ආයතනයේ සිදුවූ මූල්‍ය වංචාවකට අදාළ බවට සැක කෙරෙන ලේඛන කිහිපයක් සොයාගත් අතර, එම නිවසේ සිටි ඉම්රාන් මොහොමඩ් නැමැති පුද්ගලයෙකුද අත්අඩංගුවට ගැණුනා.

ඒ සම්බන්ධයෙන් සිදුකෙරෙන විමර්ශන පිළිබඳව අධිකරණයට කරුණු වාර්තා කරමින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කියා සිටියේ මීට පෙර දින දෙකකදී රිෂාඩ් බදියුදීන්ගේ බිරිඳ වන එම්.එම්.අයිෂාගෙන් ප්‍රකාශ ලබාගත් බවයි.

ඇයගේ නමට පවතින එම නිවස සහ එහි කටයුතු රිෂාඩ් බදියුදීන්ගේ සොහොයුරෙකු වන රියාජ් බදියුදීන්ට පවරා තිබූ බව ඇය එහිදී ප්‍රකාශ කර ඇති බවයි සී.අයි.ඩී. නිලධාරීන් අධිකරණයට දැනුම් දුන්නේ.

එබැවින් තමන් මේ සම්බන්ධයෙන් කිසිවක් නොදන්නා බවද ඇය ප්‍රකාශ කර තිබෙනවා. ඒ අනුව මේ පිළිබඳව වැඩිදුර විමර්ශන තවදුරටත් සිදුකරන බව පැවසූ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අද (28) තුන්වන දිනටත් ඇයගෙන් ප්‍රකාශ සටහන් කර ගන්නා බව සඳහන් කළා.

මීට අමතරව වැල්ලවත්ත ප්‍රදේශයේ නිවස සෝදිසි කළ අවස්ථාවේදී එහි සිටියදී අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කළ ඉම්රාන් මොහොමඩ් අද (28) අධිකරණයෙන් ඇප ඉල්ලීමක් සිදුකළා.

කෙසේ වෙතත්, එම ඉල්ලීම ප්‍රතික්ෂේප කරමින් මහේස්ත්‍රාත්වරයා නියෝග කළේ සැකකරු ලබන මස 13 වැනිදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාරගත කිරීමටයි.

එමෙන්ම, ඔහුගේ බැංකු ගිණුම් වාර්තා පරීක්ෂා කිරීමටද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට මහේස්ත්‍රාත්වරයා අවසර ලබාදුන්නා.

මේ අතර, අධිකරණයට අපහාස කිරීම සහ සාක්ෂිකරුවන්ට බලපෑම් කිරීමේ චෝදනාව යටතේ මව්බිම වෙනුවෙන් රණවිරුවෝ සංවිධානයේ කැදවුම්කරු විශ්‍රාමික මේජර් අජිත් ප්‍රසන්න ඇතුළු 3 දෙනෙකු ලබන මස 10 වන දක්වා අද යළි රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණා.

ඒ, ඔවුන් කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ප්‍රියන්ත ලියනගේ හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.

තරුණයින් 11 දෙනෙකු පැහැර ගැනීමේ සිද්ධියට අදාළව අධිකරණයේ විභාග වන නඩුව සම්බන්ධයෙන් මාධ්‍ය හමුවක් පවත්වා අධිකරණයට අපහාස කිරීම සහ නඩුවේ සාක්ෂිකරුවන්ට බලපෑම් සිදුකිරීම සැකකරුවන්ට එරෙහිව එල්ල වී ඇති චෝදනාවයි.

එමෙන්ම, කොළඹ ෂැංග්‍රිලා හෝටලයට මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක් එල්ල කළ කෝටිපති ව්‍යාපාරික මොහොමඩ් ඊබ්‍රහිම් ඉල්හාම් අහමඩ්ගේ පියා ඇතුළු හය දෙනා ලබන මස 13 වැනිදා දක්වා අද යළි රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණා.

ඒ, සැකකරුවන් කොළඹ වැඩබලන නිළ නොලත් මහේස්ත්‍රාත් නීතිඥ සංජීව ඇන්තනි හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි ෴

***************************************

බම්බලපිටියේ ගින්නක්

(28.02.2020 – 15:13 +0530 – sinhala.adaderana.lk)

බම්බලපිටිය, ආර්.ඒ ද මෙල් මාවතේ පිහිටි ඉදිකිරීම් ස්ථානයක ගින්නක් හටගෙන ඇත.

අද (28) පස්වැරු 02.00 ට පමණ ඉදිකිරිම් සිදුකරන ගොඩනැඟිල්ලක ගින්න හටගෙන ඇති බවයි වාර්තා වන්නේ.

ගින්න මැඩපැවැත්වීම සඳහා ගිනි නිවීමේ ඒකක කටයුතු කරමින් සිටින අතර ගිනි නිවීමේ රථ 05 ක් ඒ සඳහා යොදවා ඇති බව කොළඹ ගිනි නිවීමේ ඒකකය සඳහන් කළේය.

+++++++++++++++++++++

***************************************

රෝහණ බැද්දගේ මහතා මාලදිවයිනේ ශ්‍රී ලංකා තානාපති ලෙස නම් කිරීම අනුමතයි

(28.02.2020 – 16:37 +0530 – hirunews.lk/sinhala)

මාලදිවයිනේ නව ශ්‍රී ලංකා තානාපතිවරයා ලෙස ප්‍රවීන ගායන ශිල්පී රෝහණ බැද්දගේ මහතා පත් කිරීමට රජය විසින් ඉදිරිපත් කළ යෝජනාවට පාර්ලිමේන්තුවේ උසස් නිලතල පිළිබඳ කාරක සභාවේ අනුමැතිය හිමිව තිබෙනවා.

කතානායක කරූ ජයසූරියගේ ප්‍රධානත්වයෙන් අද (28) පාර්ලිමේන්තුවේදී එම කමිටුව රැස්වුණා ෴

+++++++++++++++++++++

+++++++++++++++++++++

Tone Poem 10-Rohana Beddage & Saman Lenin with Dinesh Subasinghe

***************************************

ETI තැන්පත්කරුවන් වෝඩ් පෙදෙසේ විරෝධතාවක

(28.02.2020 – 20:13 +0530 – hirunews.lk/sinhala)

ඊ.ටී.අයි. මූල්‍ය ආයතනයේ ප්‍රධාන කාර්යාලය ඉදිරිපිට අඛණ්ඩ උපවාසයේ යෙදී සිටින තැන්පත්කරුවන් අද (28) දහවල් වෝඩ් පෙදෙස මාර්ගය අවහිර කරමින් විරෝධතාවක් ආරම්භ කළා.

ඔවුන් පවසන්නේ ඊ.ටී.අයි. මූල්‍ය ආයතනය තම තැන්පතු මුදල් වංචා කර අදට වසර දෙකක් ගතව ඇතත් ඊට නීතිය නිසි ලෙස ක්‍රියාත්මක නොවුණු බවයි.

ඊ.ටී.අයි. තැන්පත්කරුවන් එහි ප්‍රධාන කාර්යාලය ඉදිරිපිට උපවාසයක නිරත වන්නේ දින 4 ක කාලයක සිටයි.

කෙසේ වෙතත් අද (28) ඔවුන් එම ආයතනය ඉදිරිපිට මාර්ගය අවහිර කරමින් විරෝධතාවක නිරත වුණේ ETI ආයතනය තම මුදල් වංචාකර අදට වසර දෙකක් ගතව ඇතත් නිසි පරිදි නීතිය ක්‍රියාත්මක නොවුණු බව පවසමින්.

විරෝධතාව හේතුවෙන් වෝඩ් පෙදෙසේ මාර්ග රැසක දැඩි රථ වාහන තදබදයක් ද ඇති වුණා.

අනතුරුව පොලිසිය පැමිණ විරෝධතාකරුවන් මාර්ගයෙන් ඉවත් කිරීමට උත්සාහ කළ අතර එහිදී ඇතිවූයේ උණුසුම් තත්ත්වයක්.

පොලිසිය කෙතරම් උත්සහ කළද විරෝධතාකරුවන් මාර්ගයෙන් ඉවත් කිරීමට හැකි වූයේ නැහැ.

විරෝධතාකරුවන් මේ වන විටත් මාර්ගය අවහිර කරමින් විරෝධතාවයේ නිරතවනවා.

***************************************

ක්‍රීඩකයන් බිමින් යවා උඩින් ගිය ක්‍රිකට් ලොක්කෝ

(28.02.2020 – 20:06 +0530 – hirunews.lk/sinhala)

සංචාරක බටහිර ඉන්දීය කොදෙව් ක්‍රිකට් කණ්ඩායම සහ ශ්‍රී ලංකාව අතර දෙවන එක්දින ක්‍රිකට් තරගය පැවැත්වුණේ හම්බන්තොට මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදියි.

මෙම තරගයට ක්‍රීඩා කළ දෙපිලේම ක්‍රීඩකයින් බිමින් යවා තරගය නැරඹීමට ක්‍රිකට් ආයතන නිලධාරින් සහ කාර්ය මණ්ඩලය උඩින් ගිය පුවත මේ වන විට ක්‍රීඩා ක්ෂේත්‍රයේ බොහෝ සෙයින් කතාබහට ලක්වනවා.

අද (28) රෙඩ් කාර්ඩ් වෙන් වන්නේ ඒ වෙනුවෙන්.

ශ්‍රී ලංකා – කොදෙව් දෙවන එක්දින ක්‍රිකට් තරගය පැවති පසුගිය 26 වනදා දහවල් මත්තල රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන් තොටුපලට පැමිණි විශේෂ ගුවන් යානය මාධ්‍යයේ විශේෂ අවධානයට ලක්වුණා.

ඒ මෙම ගුවන් යානයේ පැමිණි හතළිහකට ආසන්න ගුවන් මගීන් අතර ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ විධායක කමිටු නිලධාරින්, ඔවුන්ගේ පවුල්වල සාමාජිකයින්, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන ප්‍රධානීන්ගේ ලේකම්වරියන් සහ ක්‍රිකට් ආයතනයේ සේවකයින් පිරිසක් සිටීමයි.

එසේ ගුවන් මගින් මත්තලට පැමිණි මෙම පිරිස බස් රථ යොදා ක්‍රීඩාංගණයට රැගෙන යන්නට ක්‍රිකට් බලධාරීන් පියවරගෙන තිබුණා.

කිසියම් අයෙක් ගුවන් මගින් මත්තලට පැමිණ මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පැවති කොදෙව් – ශ්‍රී ලංකා එක්දින තරගය නැරඹීම අපට ගැටළුවක් නොවේ.

පැය දෙක හමාරකටත් අඩු කාලයකින් දක්ෂිණ අධිවේගී මාර්ගය ඔස්සේ මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයට යාමට දැන් පහසුකම් තිබෙනවා.

එසේ තිබියදී ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රධානීන් තම හිතවතුන්ගේ සුඛ විහරණය වෙනුවෙන් මෙසේ කාබාසිනියා කර දමන්නේ කාගේ මුදල්ද යන්න අපට ඇති ගැටලුවයි.

ඒ අතර වාරයේ රට වෙනුවෙන් දහදිය හෙළනා ක්‍රීඩකයින් බස් රථයක නංවා දක්ෂිණ අධිවේගී මාර්ගය ඔස්සේ පිටත් කර හරින්නට ඔවුන් කටයුතු කර තිබීමද කනගාටුවට කරුණක්.

ක්‍රීඩාව සංවර්ධනය කරනවා වෙනුවට තමන්ගේ සුඛ විහරණය ගැන පමණක්ම සිතීම වත්මන් ක්‍රිකට් ප්‍රධානීන්ගේ ද ප්‍රමුඛතම කාර්ය වී තිබෙනවා.

කෝප් කමිටුවද ඒ පිළිබඳ හොඳ සාක්ෂිකරුවෙක්.

මෙවන් කරුණු සම්බන්ධයෙන් ප්‍රශ්න නගන මාධ්‍ය ක්‍රිකට් සභාපතිවරයාට පෙනෙනුයේ නයාට අඳු කොළ මෙන්.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සාමාජිකයින්ගේ තීන්දු තීරණ මත ක්‍රියාත්මක වුවත් එය රටේ නීතියට සහ මෙරට ක්‍රීඩා නීතියට යටත් බව වත්මන් ක්‍රිකට් සභාපතිවරයාට අමතකව ගොස් තිබීම හාස්‍යයට කරුණක්.

ක්‍රීඩකයින් වෙහෙස මහන්සියෙන් උපයා දෙන මුදලින් සුර සැප විඳිමින් වැජඹෙන ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රධානින් සිදු කරනා මෙම අඳ බාල ක්‍රියාවන් පිළිබඳව නොදුටු දෑසින් පසුවීමට තරම් වගකිව යුතු මාධ්‍යක් ලෙස අප නිවට නොවන බවද ඔවුන්ට පසක් කර දිය යුතුයි.

***************************************

ප්‍රතිපත්තිවලට වඩා උද්ඝෝෂණවලට කාලය වැය කිරීමට සිදුව ඇතැයි ජනපති කියයි

(28.02.2020 – 19:36 +0530 – hirunews.lk/sinhala)

ප්‍රතිපත්තිවලට වඩා උද්ඝෝෂණවලට තම කාලය වැය කිරීමට සිදුව ඇති බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසනවා.

ජනාධිපතිවරයා මේ බව කියා සිටියේ අද (28) පෙරවරුවේ පාර්ලිමේන්තු සංකීර්ණයේදී පැවති රජයේ ගිණුම් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේ සම්මාන ප්‍රදානෝත්සවයකට එක්වෙමින්.

රජයේ ගිණුම් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේ වාර්තාවට අනුව, 2018 වසරේදී ඉහළ කාර්ය සාධන මට්ටමක් ළඟා කර ගත් රාජ්‍ය, පළාත් සභා සහ පළාත් පාලන ආයතන 110 කට සම්මාන පිරිනැමීම මෙහිදී සිදුවුණා.

එම අවස්ථාවට එක්වෙමින් කතානායක කරූ ජයසූරිය අදහස් දක්වා සිටියා.

***************************************

බදියුදීන්ගේ බිරිඳ සහ සොහොයුරාගේ බැංකු ගිණුම් පරීක්ෂා කිරීමට රහස් පොලීසියට අවසර

(28.02.2020 – 19:16 +0530 – hirunews.lk/sinhala)

හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන්ගේ බිරිඳගේ සහ ඔහුගේ සහෝදරයෙකු වන රියාජ් බදියුදීන්ගේ බැංකු ගිණුම් වාර්තා ලබාගැනීමට ගල්කිස්ස මහේස්ත්‍රාත් උදේශ් රණතුංග අද (28) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අවසර ලබාදුන්නා.

ඒ, පසුගිය ආණ්ඩුව සමයේ සතොස ආයතනයේ සිදුවූ බව කියන මූල්‍ය වංචාවකට අදාළ බවට සැක කෙරෙන ලිපි ගොනු සොයා ගත් වැල්ලවත්ත ප්‍රදේශයේ නිවස සම්බන්ධයෙන් වන නඩුවේ විමර්ශනවල ප්‍රගතිය පිළිබඳව අධිකරණයට කරුණු වාර්තා කළ අවස්ථාවේදීයි.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය පොලිස්පතිවරයාට සහ අධ්‍යක්ෂවරයාට ලද තොරතුරකට අනුව ගල්කිස්ස අධිකරණය හරහා ලබා ගත් නියෝගයක් මත අදාළ නිවස පසුගියදා පරීක්ෂාවට ලක් කළා.

එහි තිබී ඉඩම් ඔප්පු 240 ක් සහ සතොස ආයතනයේ සිදුවූ මූල්‍ය වංචාවකට අදාළ බවට සැක කෙරෙන ලේඛන කිහිපයක් සොයාගත් අතර, එම නිවසේ සිටි ඉම්රාන් මොහොමඩ් නැමැති පුද්ගලයෙකුද අත්අඩංගුවට ගැණුනා.

ඒ සම්බන්ධයෙන් සිදුකෙරෙන විමර්ශන පිළිබඳව අධිකරණයට කරුණු වාර්තා කරමින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කියා සිටියේ මීට පෙර දින දෙකකදී රිෂාඩ් බදියුදීන්ගේ බිරිඳ වන එම්.එම්.අයිෂාගෙන් ප්‍රකාශ ලබාගත් බවයි.

ඇයගේ නමට පවතින එම නිවස සහ එහි කටයුතු රිෂාඩ් බදියුදීන්ගේ සොහොයුරෙකු වන රියාජ් බදියුදීන්ට පවරා තිබූ බව ඇය එහිදී ප්‍රකාශ කර ඇති බවයි සී.අයි.ඩී. නිලධාරීන් අධිකරණයට දැනුම් දුන්නේ.

එබැවින් තමන් මේ සම්බන්ධයෙන් කිසිවක් නොදන්නා බවද ඇය ප්‍රකාශ කර තිබෙනවා. ඒ අනුව මේ පිළිබඳව වැඩිදුර විමර්ශන තවදුරටත් සිදුකරන බව පැවසූ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අද තුන්වන දිනටත් ඇයගෙන් ප්‍රකාශ සටහන් කර ගන්නා බව සඳහන් කළා.

මීට අමතරව වැල්ලවත්ත ප්‍රදේශයේ නිවස සෝදිසි කළ අවස්ථාවේදී එහි සිටියදී අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කළ ඉම්රාන් මොහොමඩ් අද (28) අධිකරණයෙන් ඇප ඉල්ලීමක් සිදුකළා.

කෙසේ වෙතත්, එම ඉල්ලීම ප්‍රතික්ෂේප කරමින් මහේස්ත්‍රාත්වරයා නියෝග කළේ සැකකරු ලබන මස 13 වැනිදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාරගත කිරීමටයි.

එමෙන්ම, ඔහුගේ බැංකු ගිණුම් වාර්තා පරීක්ෂා කිරීමටද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට මහේස්ත්‍රාත්වරයා අවසර ලබාදුන්නා.

මේ අතර, අධිකරණයට අපහාස කිරීම සහ සාක්ෂිකරුවන්ට බලපෑම් කිරීමේ චෝදනාව යටතේ මව්බිම වෙනුවෙන් රණවිරුවෝ සංවිධානයේ කැදවුම්කරු විශ්‍රාමික මේජර් අජිත් ප්‍රසන්න ඇතුළු 3 දෙනෙකු ලබන මස 10 වන දක්වා අද යළි රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණා.

ඒ, ඔවුන් කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ප්‍රියන්ත ලියනගේ හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.

තරුණයින් 11 දෙනෙකු පැහැර ගැනීමේ සිද්ධියට අදාළව අධිකරණයේ විභාග වන නඩුව සම්බන්ධයෙන් මාධ්‍ය හමුවක් පවත්වා අධිකරණයට අපහාස කිරීම සහ නඩුවේ සාක්ෂිකරුවන්ට බලපෑම් සිදුකිරීම සැකකරුවන්ට එරෙහිව එල්ල වී ඇති චෝදනාවයි.

එමෙන්ම, කොළඹ ෂැංග්‍රිලා හෝටලයට මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක් එල්ල කළ කෝටිපති ව්‍යාපාරික මොහොමඩ් ඊබ්‍රහිම් ඉල්හාම් අහමඩ්ගේ පියා ඇතුළු හය දෙනා ලබන මස 13 වැනිදා දක්වා අද යළි රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණා.

ඒ, සැකකරුවන් කොළඹ වැඩබලන නිළ නොලත් මහේස්ත්‍රාත් නීතිඥ සංජීව ඇන්තනි හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි ෴

***************************************

සම අනුග්‍රාහකත්වයෙන් ඉවත් වූ පසු රටවල් රැසක සහය ලැබුණු බව විදේශ ඇමති කියයි

(29.02.2020 – 16:24 +0530 – hirunews.lk/sinhala)

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේදී ශ්‍රී ලංකාව සම අනුග්‍රාහකත්වය දැක්වූ යෝජනාවලින් ඉවත් වීම ප්‍රකාශයට පත් කිරීමෙන් අනතුරුව රටවල් රැසක සහයෝගය ඒ සඳහා හිමිවූ බව විදේශ සබඳතා අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා ප්‍රකාශ කළා.

ඒ එක්සත් ජාතින්ගේ මානව හිමිකම් කොමිසමේ 43 වන සැසිවාරයට සහභාගිවීමෙන් අනතුරුව අද (29) පස්වරුවේ යළි දිවයිනට පැමිණි අවස්ථාවේ මාධ්‍ය වෙත අදහස් දක්වමින්.

+++++++++++++++++++++

***************************************

‘බිග්මැච් පෙරේඩ්’වලදී හිරිහැර කළොත් නීතිය තදින්

(29.02.2020 – 13:46 +0530 – hirunews.lk/sinhala)

අන්තර් පාසල් ක්‍රිකට් තරගාවලි හෙවත් බිග් බැච් වලට සමගාමීව පැවැත්වෙන රථ වාහන පෙළපාලි වලදී අදාළ පාසල්වල කීර්ති නාමය ආරක්ෂා වන පරිදි කටයුතු කරන ලෙස දන්වමින් අධ්‍යාපන අමාත්‍යාංශය සිසුන්ට උපදෙස් මාලාවක් නිකුත් කර තිබෙනවා.

එම තරගාවලි පවත්වන සියළු ජාතික පාසල්වල විදුහල්පතිවරුන්, ආදි ශිෂ්‍ය සංගම් නියෝජිතයින් සහ ශිෂ්‍ය නායකයන් දැනුවත් කිරීම වෙනුවෙන් ඊයේ පැවති හමුවකදී අධ්‍යාපන අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා විසින් මෙම උපදෙස් ලබාදුන් බවයි එම අමාත්‍යාංශය නිවේදනය කළේ.

ඒ අනුව බාලිකා පාසල්වල දැරියන්ට හිරිහැර කිරීම, එම පාසල්වලට බලහත්කාරයෙන් ඇතුළුවීමට උත්සාහ දැරීම, තම පාසලේ අන්‍යන්‍යතාවට හා කීර්ති නාමයට නිගරු වන ආකාරයේ අසභ්‍ය වදන් සහිත දැන්වීම් පුවරු ප්‍රදර්ශනය කිරීම හා ඉතා අපරික්ෂාකාරී අයුරින් රථ වාහනවල ගමන් කිරීම ඇතුළු ක්‍රියාවන්ගෙන් වැළකී සිටිය යුතු වනවා.

එසේම, මහජනතාවගෙන් මුදල් සිඟා කෑම මෙන්ම මහමග ගමන් කරන පුද්ගලයන්ට උසුලූ විසුළු කිරීමෙන් ද වළකින ලෙසයි අධ්‍යාපන අමාත්‍යාංශය දන්වා සිටින්නේ.

සිසුවෙකු විනය විරෝධීව හැසිරුණහොත් නීතිය අකුරටම ක්‍රියාත්මක කිරීමට ද පොලීසිය සූදානමින් සිටිනවා ෴

***************************************

රුපියල් බිලියනයක හෙරොයින් සහ අයිස් ගාලූ මුහුදෙන් සොයා ගනී

(29.02.2020 – 18:33 +0530 – hirunews.lk/sinhala)

රුපියල් බිලියන 1.2 ක වටිනාකමකින් යුත් හෙරොයින් සහ අයිස් මත්ද්‍රව්‍ය තොගයක් ගාලූ මුහුදේ සිදුකළ මෙහෙයුමකදී නාවික හමුදාව සහ පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය අත්අඩංගුවට ගෙන තිබෙනවා.

නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ හෙරොයින් කිලෝග්‍රෑම් 68 ක් සහ අයිස් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 50 ක් මෙලෙස අත්අඩංගුවට ගත් බවයි ෴

+++++++++++++++++++++

sinhala.adaderana.lk
********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *