ඒ 09 මාර්ගයේ මාරක අනතුරෙන් මියගිය සංඛ්‍යාව ඉහළට

+++++++++++++++++++++++++++++++++++

= මේ පිටුවේ සිරස්තල =

• ඒ 09 මාර්ගයේ මාරක අනතුරෙන් මියගිය සංඛ්‍යාව ඉහළට (විඩියෝ)

• දකුණු කොරියාවේ සිට පැමිණි මගීන් විශේෂ පරීක්ෂාවට

• අනුලා විද්‍යාලය ඉදිරිපිට විරෝධතාවයට, කිසිදු සම්බන්ධයක් නෑ – ආදි ශිෂ්‍යා සංගමය (විඩියෝ)

• වත්මන් දේශපාලන තත්ත්වය සම්බන්ධයෙන් විවිධ අදහස් (විඩියෝ)

• පාස්කු ඉරිදා ප්‍රහාරයේ ප්‍රධාන විත්තිකරුවා හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන – මුජිබර් රහුමාන් (විඩියෝ)

• ‘හිරු සී.අයි.ඒ.’ : විදෙස් කත නිදහස් කරගත් CIA මෙහෙයුම (විඩියෝ)

• යුද හමුදාපතිගේ ඇමරිකානු තහනමට හේතුව පසුගිය ආණ්ඩුවයි – පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමි (විඩියෝ)

• දක්ෂිණ අධිවේගයේ මාතර – හම්බන්තොට කොටස ජනතා අයිතියට (විඩියෝ)

• පිළියන්දල වෑවල ප්‍රදේශයේ කර්මාන්ත ශාලාවක ගින්නක් : 120 බස් පාරේ රථවාහන තදබදයක් (විඩියෝ)

• මාර්ග අංක 163 දෙහිවල – බත්තරමුල්ල පෞද්ගලික බස් වර්ජනයක

• පිළිමතලාව සිට වත්තේගම දක්වා නව කාර්යාල දුම්රියක් අද (24) සිට

• ඉන්දියාවේ සම්බාහන මධ්‍යස්ථානවලට ලංකාවේ කාන්තාවන් රැගෙන යන මිනිස් ජාවාරමක තොරතුරු හෙළිවේ

• සුමන්තිරන් හැමදාම රණවිරුවන් එක්ක වෛරයෙන් – අමාත්‍ය බන්දුල ගුණවර්ධන (විඩියෝ)

• රට පාවා දුන් ජිනිවා ගිවිසුම නිවැරදි කළ යුතුයි – අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන (විඩියෝ)

• එයාර්බස් ගනුදෙනුවට නිමල් පෙරේරා ගේ නමත් ඈඳෙයි – අධිකරණයෙන් විදෙස් ගමන් තහනමක්

+++++++++++++++++++++++++++++++++++

ඒ 09 මාර්ගයේ මාරක අනතුරෙන් මියගිය සංඛ්‍යාව ඉහළට

(24.02.2020 – 06:41 +0530 – hirunews.lk/sinhala)

යාපනය – මහනුවර ඒ 09 මාර්ගයේ ඕමන්තේ ප්‍රදේශයේ දී ඊයේ (23) රාත්‍රීයේ බස් රථයක් සහ ජීප් රථයක් ගැටීමෙන් සිදුවූ අනතුරෙන් මිය ගිය සංඛ්‍යාව ඉහළ ගොස් තිබෙනවා.

ඒ, අනුව එම අනතුරෙන් මියගොස් ඇති සංඛ්‍යාව 05 ක් බවයි වාර්තා වන්නේ.

පොලිසිය පවසන්නේ අනතුරෙන් පුද්ගලයින් 21 ක් තුවාල ලබා ඇති බවයි.

වව්නියාවේ සිට පේදුරුතුඩුව දක්වා ධාවනය වූ බස් රථයක් සහ යාපනයේ සිට කොළඹ දෙසට පැමිණි ජීප් රථයක් ගැටීමෙන් ඊයේ (23) රාත්‍රියේ මෙම අනතුර සිදුව තිබෙනවා.

අනතුරෙන් මියගොස් ඇත්තේ ජීප් රථයේ ගමන් ගත් කාන්තාවක් ඇතුළු පිරිමි පුද්ගලයින් සිව්දෙනෙක්.

අනතුර සිදුවන අවස්ථාවේ ජීප් රථයේ පුද්ගලයින් 06 දෙනෙකු සිට ඇති බව සඳහන්.

+++++++++++++++++++++

ඕමන්තේ සිදුවූ අනතුරකින් 5 ක් මරුට

(23.02.2020 – 09:41 +0530 – lankadeepa.lk)

යාපනය නුවර ඒ 09 මාර්ගයේ වව්නියාව ඕමන්තේ ප්‍රදේශයේදී අද (23) රාත්‍රී බස් රථයක් සහ ජීප් රථයක් මුහුණට මුහුණ ගැටීමෙන් පුද්ගලයින් පස්දෙනකු ජීවිතක්ෂයට පත්ව තවත් 20 දෙනෙකු පමණ තුවාල ලබා රෝහල්ගත කර ඇතැයි ඕමන්ත පොලිසිය කියයි.

යාපනයේ සිට කොළඹ බලා ධාවනය වූ ලංකා ගමනාගමන මණ්ඩලයට අයත් බස් රථයක් හා වව්නියාව සිට පේදුරුතුඩුව දක්වා ගමන් ගත් ජීප් රථයක් එකිනෙක ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බව පොලිසිය පැවසීය.

අනතුර සිදුවන අවස්ථාවේ බස් රථය සහ ජීප් රථය ගිනිගෙන ඇති අතර එහි සිටි මගීන් දෙදෙනකු සහ ජීප් රථයේ රියදුරු එම ස්ථානයේදීම ජීවිතක්ෂයට පත්ව ඇතැයි පොලිසිය කීය.

තුවාල ලැබූවන් කඩිනමින් වවුනියාව මහ රෝහල වෙත ඇතුළත් කළ බව පොලිසිය පැවසීය.

ගිනි ගත් බස්රථය සහ ජීප් රථය වව්නියාව නගර සභාවේ ගිනි නිවීම් ඒකකය සහ පොලිසිය එක්ව නිවා දමා තිබේ.

+++++++++++++++++++++

ඕමන්ත අනතුරින් මියගොස් ඇත්තේ වැල්ලවත්තේ පදිංචිකරුවන්

(24.02.2020 – 07:50 +0530 – sinhala.adaderana.lk)

වවුනියාව, ඕමන්ත පනික්කර්නිරාවි ප්‍රදේශයේ ඊයේ (23) රාත්‍රියේ සිදුවු රිය අනතුරින් ජිවිතක්ෂයට පත්වු පිරිස වැල්ලවත්ත ප්‍රදේශයේ පදිංචි පිරිසක් වන බව ඕමන්ත පොලීසිය පවසයි.

වව්නියාව දෙස සිට පේදුරුතුඩුව දක්වා ගමන්ගත් පේදුරුතුඩුව ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩල ඩිපෝවට අයත් බස් රථයක් හා යාපනය දෙස සිට වැල්ලවත්ත දක්වා ගමන්ගත් ජීප් රථයක් එකිනෙක ගැටීමෙන් අනතුර සිදුව ඇති බවද පොලීසිය පැවසීය.

අනතුර හේතුවෙන් වාහන දෙකම ගිනිගෙන ඇති අතර, ජීප් රථයේ ගමන්ගත් පස් දෙනෙකු ජිවිතක්ෂයට පත්ව ඇත.

මේ අතර ජීප් රථයේ රියදුරු හිර වී සිට ඇති අතර, තුවාලකරු ගැනීමට උත්සහ කිරිමේ දී බස් රථය සහ ජීප් රථය ගිනි ගෙන ඇත.

ගින්න හේතුවෙන් එම පුද්ගලයා පිළිස්සී මියගොස් තිබේ.

මරණකරුවන් අතර ජීප් රථයේ රියදුරු ඇතුළු පිරිමි පුද්ගලයින් 4 ක් හා කාන්තාවක් වන බවත් ඔවුන් වැල්ලවත්ත ප්‍රදේශයේ පදිංචිකරුවන් බවත් පොලීසිය පවසයි.

පිළිස්සීමෙන් මිය ගිය පුද්ගලයාගේ මෘත දේහය සම්බන්ධයෙන් මුලික මහේස්ත්‍රාත් පරීක්ෂණ සිදු කර ඇත.

මෘත ශරීරයන් වව්නියාව රෝහලේ තැන්පත් කර තිබේ.

අනතුරින් බස් රථ රියදුරු ද තුවාල ලබා ඇත.

+++++++++++++++++++++

***************************************

දකුණු කොරියාවේ සිට පැමිණි මගීන් විශේෂ පරීක්ෂාවට

(24.02.2020 – 07:29 +0530 – hirunews.lk/sinhala)

දකුණු කොරියාවේ සිට සහ චීනයේ ෂැංහයි සිට ගුවන් යානා දෙකකින් පැමිණි මගීන් 395 දෙනෙකු කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපලේදී විශේෂ පරීක්ෂාවකට ලක් කර තිබෙනවා.

ගුවන් තොටුපලේ කාර්යභාර නිලධාරීවරයා සඳහන් කළේ දකුණු කොරියාවේ සිට ඊයේ පස්වරු 6.04 ට පැමිණි කොරියන් ගුවන් සේවයට අයත් යානයක සිටි මගීන් 267 දෙනෙකු සහ ෂැංහයි සිට රාත්‍රියේ පැමිණි යානයේ සිටි මගීන් 128 දෙනෙකු මෙලෙස විශේෂ පරීක්ෂාවට ලක් කළ බවයි.

එම මගීන් අතර සැක සහිත උණ රෝගී තත්ත්වයෙන් පසුවන කිසිවෙකු සිට නොමැති බවද කාර්යභාර නිලධාරීවරයා සඳහන් කළා.

කොවිඩ්-19 හෙවත් නව කොරෝනා වෛරසයේ ව්‍යාප්තියත් සමඟ දකුණු කොරියාවේ සිට පැමිණෙන සියළු මගීන් විශේෂ පරීක්ෂාවට ලක් කිරීම සහ දින 14 ක කාලයක් පසු විපරමට ලක් කිරීම ඊයේ (23) සිට ආරම්භ කළා.

එමෙන්ම, කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේ වෙනම පර්යන්තයකින් ඇතුළු කර ගැනීමද සිදුකෙරෙනවා.

රටවල් 30ක පමණ ව්‍යාප්ත වී ඇති ‘කොවිඩ්-නයිටීන්’ හෙවත් නව කොරෝනා වෛරසයෙන් මේ වන විට මිය ගිය සංඛ්‍යාව 2470 දක්වා ඉහළ ගොස් ඇති අතර, ආසාදිත සංඛ්‍යාව ද 78,999 ක් බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.

ජපානයේ යොකොහොමා වරායේ නිරෝධායනයට ලක් කෙරෙන ‘ඩයමන්ඩ් ප්‍රින්සස්’ නෞකාවේ එම වෛරසය ආසාදනය වීමෙන් සිදුවූ 3 වන මරණය ද ඊයේ වාර්තා වුණා.

ජපානයේ සෞඛ්‍ය අමාත්‍යාංශය නිවේදනය කර ඇත්තේ 80 හැවිරිදි ජපාන ජාතිකයෙකු මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇති බවයි. එම නෞකාවේ 600 කට අධික පිරිසකට ‘කොවිඩ්-නයිටීන්’ ආසාදනය වී ඇති බව තහවුරු වී ඇති අතර, ඉන් කිහිප දෙනෙකුගේ තත්ත්වය බරපතල බව විදෙස් වාර්තා සඳහන් කළා.

දකුණු කොරියාවේ ද වෛරසයේ සීග්‍ර ව්‍යාප්තියත් සමඟ මේ වන විට පුද්ගල මරණ 6 ක් වාර්තා වී තිබෙනවා.

එරට තුළ වෛරසය ආසාදිත මුළු සංඛ්‍යාව 600 කට අධික බව සඳහන්.

චීනයට පසුව වැඩිම මරණ සංඛ්‍යාවක් වාර්තා වන ඉරානයේ ද මේ වන විට ‘කොවිඩ්-නයිටීන්’ ආසාදනයෙන් 8 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති අතර, ආසාදිත මුළු සංඛ්‍යාව 43 ක් ෴

***************************************

අනුලා විද්‍යාලය ඉදිරිපිට විරෝධතාවයට, කිසිදු සම්බන්ධයක් නෑ – ආදි ශිෂ්‍යා සංගමය

(23.02.2020 – 22:14 +0530 – hirunews.lk/sinhala)

නුගේගොඩ අනුලා විද්‍යාලය ඉදිරිපිට පැවති විරෝධතාවයට එම විද්‍යාලයේ ආදි ශිෂ්‍යා සංගමයේ කිසිඳු සම්බන්ධයක් නැතැයි එම සංගමයේ සාමාජිකාවන් අද (23) ප්‍රවෘත්ති සාකච්ඡාවක් පවත්වමින් ස‍ඳහන් කළා.

කෙසේ වෙතත් අදාළ ප්‍රවෘත්ති සාකච්ඡාව පැවැත්වූ සාමාජිකාවන් තිදෙනාගෙන් දෙදෙනෙක්ම පාසල ඉදිරිපිට පැවති විරෝධතාවයේදී දක්නට ලැබුණා.

විගණනකාධිපතිවරයාට හෝ එම දෙපාර්තමේන්තුවට කිසිදු පුද්ගලයෙක් චෝදනා නොකල බව ආදි ශිෂ්‍යා සංගමයේ ලේකම්වරිය පැවසුව ද දින දෙකක් පැවති උද්ඝෝෂණයේදී නම් සදහන් කරමින් උද්ඝෝෂකයන් විගණන නිලධාරීන් හට චෝදනා කල ආකාරයයි මේ…

මෙහි හාස්‍යජනකම කාරණය වන්නේ අදාළ උද්ඝෝෂණයට ආදිශිෂ්‍යා සංගමයේ කිසිඳු සම්බන්ධයක් නැතැයි කියමින් අද (23) ප්‍රවෘත්ති සාකච්ඡාවක් පැවැත්වූ එම සංගමයේ ප්‍රධාන කමිටු සාමාජිකා ශෂිකා ගුණතිලක හා ලේකම්වරිය වන වසන්ති ජයරත්න යන මහත්මියන් දෙදෙනාද එදින උද්ඝෝෂණයට සහභාගී වී සිටීමයි.

ආදි ශිෂ්‍යා සංගමයේ ඇතැම් නිලධාරිනියන් උද්ඝෝෂණයේදී විගණන නිලධාරීන් දූෂිත බවට බැන වදින විටත් එම සංගමයේ ලේකම්වරිය ඒ අසළ සිටින ආකාරයයි මේ…

***************************************

වත්මන් දේශපාලන තත්ත්වය සම්බන්ධයෙන් විවිධ අදහස්

(23.02.2020 – 20:21 +0530 – hirunews.lk/sinhala)

වත්මන් දේශපාලන තත්ත්වය සම්බන්ධයෙන් පක්ෂ විපක්ෂ දේශපාලනඥයින් අද විවිධ අදහස් පළ කළා.

***************************************

පාස්කු ඉරිදා ප්‍රහාරයේ ප්‍රධාන විත්තිකරුවා හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන – මුජිබර් රහුමාන්

(23.02.2020 – 20:14 +0530 – hirunews.lk/sinhala)

පාස්කු ඉරිදා ප්‍රහාරයේ ප්‍රධාන විත්තිකරුවා හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා බව එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා පවසනවා.

කොළඹ අද (23) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් ඔහු සඳහන් කළේ හිටපු ජනාධිපතිවරයා ශ්‍රී ලංකා නිදහස් පොදුජන සන්ධානයේ සභාපතීත්වය ලබාගත්තේද එම චෝදනාවෙන් ගැළවීම සඳහා බවයි.

මේ අතර, එක්සත් ජාතික පක්ෂයේ පවතින අර්බුදය සම්බන්ධයෙන්ද පක්ෂ නියෝජිතයින් අදත් අදහස් පළකළා.

***************************************

‘හිරු සී.අයි.ඒ.’ : විදෙස් කත නිදහස් කරගත් CIA මෙහෙයුම

(23.02.2020 – 19:47 +0530 – hirunews.lk/sinhala)

කළුතර – වාද්දුව දුම්රියපොළ ආසන්නයේ ඇති සංචාරක නිකේතනයක ජර්මන් ජාතික කාන්තාවක් බලහත්කාරයෙන් සිරකරගෙන සිටින බවට ‘හිරු සී.අයි.ඒ.’ තොරතුරු අනාවරණය කර ගත්තා.

ඒ අනුව ක්ෂණිකව ක්‍රියාත්මක වූ ‘හිරු සී.අයි.ඒ.’ කණ්ඩායම අදාළ ජර්මන් ජාතික කාන්තාව එම ස්ථානයෙන් මුදා ගැනීම සඳහා ක්‍රියාත්මක වුණා.

අද ‘හිරු සී.අයි.ඒ.’ අනාවරණය ඒ පිළිබඳවයි.

වෛද්‍ය ප්‍රතිකාර ගැනීම සඳහා පසුගිය වසරේදී මෙරටට පැමිණි ඇති කැතරින් නම් මෙම ජර්මානු ජාතික කාන්තාව නවාතැන් ගෙන ඇත්තේ වාද්දුව ප්‍රදේශයේ ඇති සංචාරක නිකේතනයක් තුළයි.

මෙම ස්ථානය නවීකරණය කර පවත්වාගෙනයාම සඳහා මුදල් ආයෝජනය කරන ලෙස එහිදී නිකේතනයේ හිමිකරු විදෙස් කතගෙන් ඉල්ලා තිබෙනවා. ඒ සංචාරක නිකේතනයෙන් ලැබෙන ආදායම සමසේ බෙදාගැනීමේ පොරොන්දුව මතයි.

ඒ අනුව මෙම ජර්මන් ජාතික කාන්තාව රුපියල් ලක්ෂ 78 කට ආසන්න මුදලක් මෙම ස්ථානය නවීකරණය කිරීමට මුදල් යොදවා තිබෙනවා.

නමුත්, නවීකරණ කටයුතු අවසන් වු පසු පොරොන්දු වු පරිදි මෙහි හිමිකරු ඇයව ව්‍යාපාරයට සම්බන්ධ කර නොගෙන ඇයට නවාතැනින් ඉවතට යා නොදී මරණ තර්ජන එල්ල කර තිබුණා.

ඇය මුහුණදුන් කටුක අත්දැකීම ඇය වට්ස් ඇප් හරහා ඇමතුමක් ලබා ගනිමින් ‘හිරු සී.අයි.ඒ.’ වෙත ප්‍රකාශ කළා.

***************************************

යුද හමුදාපතිගේ ඇමරිකානු තහනමට හේතුව පසුගිය ආණ්ඩුවයි – පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමි

(23.02.2020 – 18:55 +0530 – hirunews.lk/sinhala)

යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතාට ඇමරිකාව පැනවූ සංචාරක තහනමට හේතුවුයේ පසුගිය ආණ්ඩුව ජිනිවා මානව හිමිකම් කොමිසමේදී එකඟ වූ යෝජනාවලිය බව පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමියන් පවසනවා.

කොළඹ අද (23) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් උන්වහන්සේ ප්‍රකාශ කළේ යහපාලන ආණ්ඩුවේ විදේශ අමාත්‍යවරයා ජිනිවා මානව හිමිකම් කොමිසමට මෙම යෝජනාවලිය ඉදිරිපත් කරනු ලැබුවේ එවකට සිටි ජනාධිපතිවරයාගේ හෝ අමාත්‍ය මණ්ඩලයේ අනුමැතියකින් තොරව බවයි.

***************************************

දක්ෂිණ අධිවේගයේ මාතර – හම්බන්තොට කොටස ජනතා අයිතියට

(23.02.2020 – 16:10 +0530 – hirunews.lk/sinhala)

දක්ෂිණ අධිවේගී මාර්ගයේ මාතර – ගොඩගම පිවිසුමේ සිට හම්බන්තොට දක්වා කොටස අද (23) ජනතා අයිතියට පත් කෙරුණා.

ඒ, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන්. ඒ අනුව කොට්ටාව පිවිසුමේ සිට පැය දෙක හමාරක් (2½) වැනි කාලයකින් හම්බන්තොට දක්වා ගමන් කිරීමට ජනතාවට අවස්ථාව උදා වනවා.

දක්ෂිණ අධිවේගී මාර්ගයේ මාතර – ගොඩගම සිට හම්බන්තොට දක්වා කොටස ජනතා අයිතියට පත් කිරීමේ නිළ උත්සවය ආරම්භ වූයේ ගොඩගම – පාලටුව පිවිසුම ආසන්නයෙන්.

එහිදී ජනාධිපතිවරයා සහ අග්‍රාමාත්‍යවරයා අධිවේගී මාර්ගය විවෘත කිරීම වෙනුවෙන් සමරු ඵලකයක් නිරාවරණය කළා.

ඉන් අනතුරුවයි සර්ව ආගමික ආශිර්වාද මධ්‍යයේ අධිවේගී මාර්ගය ජනතා අයිතියට පත් කෙරුණේ.

ඒ අනුව ගොඩගම – පාලටුව අධිවේගී හුවමාරුවේ සිට බරවකුඹුක දක්වා වන පළමු ප්‍රවේශ පත්‍රය ජනාධිපතිවරයා විසින් මිලදී ගැනීම ද සිදුවුණා.

අනතුරුව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අධිවේගී මාර්ගය ඔස්සේ බරවකුඹුක දක්වා ගමන් කළ අතර, එම රථය පැදවූයේ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා විසින්.

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ද අධිවේගී මාර්ගයේ ගමන් කළ අතර ඔහු ගමන් ගත් රථය පැදවූයේ මාර්ග සහ මහාමාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතායි.

2016 වසරේ වැඩ කටයුතු ආරම්භ කෙරෙනු දක්ෂිණ අධිවේගී මාර්ගයේ මාතර – හම්බන්තොට දක්වා කොටසේ ඉදිකිරීම් අදියර 4 කින් සමන්විත වූ අතර, එහි සමස්ත දුර කිලෝමීටර් 96 ක්. ඊට අන්තර් හුවමාරු මධ්‍යස්ථාන 8 ක් ද ඇතුළත් වනවා.

රුපියල් බිලියන 268 ක ප්‍රතිපාදන යටතේ ඉදිකෙරුණු මෙම කොටස ජනතා අයිතියට පත්වීමත් සමඟ දක්ෂිණ අධිවේගී මාර්ගයේ සමස්ත දුර ප්‍රමාණය කිලෝමීටර් 223 ක්.

අද ජනතා අයිතියට පත් කළ මාතර – හම්බන්තොට අධිවේගී මාර්ගයේ මගී ප්‍රවාහන බස් රථ ගමනාගමනය ද හෙට (24) සිට ආරම්භ වනවා.

ඒ අනුව හම්බන්තොට සිට කොළඹ කොටුව දක්වා බස් රථ ප්‍රවේශ පත්‍රයක ගාස්තුව රුපියල් 880 ක් වන අතර, තංගල්ල සිට කොළඹ කොටුව දක්වා ගාස්තුව රුපියල් 680 ක්.

හම්බන්තොට සිට කොට්ටාව – මාකුඹුර දක්වා රුපියල් 810 ක ගාස්තුවක් අය කෙරෙන අතර තංගල්ල සිට මාකුඹුර දක්වා අය කෙරෙන ගාස්තුව රුපියල් 610 ක්.

***************************************

පිළියන්දල වෑවල ප්‍රදේශයේ කර්මාන්ත ශාලාවක ගින්නක් : 120 බස් පාරේ රථවාහන තදබදයක්

(24.02.2020 – 10:29 +0530 – sinhala.adaderana.lk)

පිළියන්දල වෑවල ප්‍රදේශයේ කර්මාන්ත ශාලාවකට අයත් රසායනික ද්‍රව්‍ය ගබඩා කර තිබු ගබඩා සංකීර්ණයක හටගත් ගින්න මේ වනවිට පාලනය කර ඇති බව පොලිසිය පවසයි.

අද (24) උදෑසන මෙම ගින්න හටගෙන ඇති අතර ගින්න මැඩ පැවැත්වීම සඳහා දෙහිවල ගල්කිස්ස මහනගර සභාවේ ගිනි නිවිමේ රථ යොදවා තිබේ.

ගින්න හේතුවෙන් 120 කොළඹ – හොරණ ප්‍රධාන මාර්ගයේ අධික රථවාහන තදබදයක්ද පැවැති බව වාර්තා වෙයි.

ගින්නට හේතුව මෙතෙන් අනාවරණය වී නොමැති අතර පිළියන්දල පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

***************************************

මාර්ග අංක 163 දෙහිවල – බත්තරමුල්ල පෞද්ගලික බස් වර්ජනයක

(24.02.2020 – 10:13 +0530 – hirunews.lk/sinhala)

මාර්ග අංක 163 දෙහිවල – බත්තරමුල්ල පෞද්ගලික බස් රථ අද (24) උදෑසන සිට වර්ජනයක් ආරම්භ කර තිබෙනවා. ඒ, බත්තරමුල්ලේ බස් රථ නවතා තැබීම සඳහා නියමිත ස්ථානයක් නොමැති බව පවසමින්.

***************************************

පිළිමතලාව සිට වත්තේගම දක්වා නව කාර්යාල දුම්රියක් අද (24) සිට

(24.02.2020 – 10:43 +0530 – hirunews.lk/sinhala)

පිළිමතලාව හා වත්තේගම අතර නව කාර්යාල දුම්රියක් අද (24) සිට ධාවනයට එක් කළ බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා.

එහි ප්‍රකාශකයෙකු සඳහන් කළේ ඒ අනුව පිළිමතලාව දුම්රිය ස්ථානයේ උදෑසන 7.50 ට පිටත්වී මෙම දුම්රිය උදෑසන 8.56 ට වත්තේගම දුම්රිය ස්ථානය වෙත ලඟා වූ බවයි.

පිළිමතලාවේ සිට පවතින මාර්ග තදබදයට විසඳුමක් ලෙස මෙම නව කාර්යාල දුම්රිය යෙදවීමට තීරණය කර තිබෙනවා ෴

***************************************

ඉන්දියාවේ සම්බාහන මධ්‍යස්ථානවලට ලංකාවේ කාන්තාවන් රැගෙන යන මිනිස් ජාවාරමක තොරතුරු හෙළිවේ

(24.02.2020 – 07:31 +0530 – hirunews.lk/sinhala)

ඉන්දියාවේ සම්බාහන මධ්‍යස්ථානවල කටයුතු කිරීම සඳහා මෙරට කාන්තාවන් රැගෙන යාමේ සංවිධානාත්මක මිනිස් ජාවාරමක් සම්බන්ධයෙන් තොරතුරු අනාවරණ වී තිබෙනවා.

ඒ, ආගමන විගමන දෙපාර්තමේන්තුවේ නිලධාරීන් පිරිසක් කටුනායක ගුවන් තොටුපළේ පිටත්වීමේ පර්යන්තයේ සැක කටයුතු ලෙස රැදී සිටි ශ්‍රී ලාංකික කාන්තාවන් දෙදෙනෙකු සහ ඉන්දීය ජාතිකයෙකු අත්අඩංගුවට ගැනීමත් සමඟයි.

කාන්තාවන් දෙදෙනා 30 හැවිරිදි වියේ පසුවන අනුරාධපුර සහ මාතර ප්‍රදේශවල පදිංචිකාරිනියන් වන අතර, ඔවුන් මෙරට රූපලාවන්‍යාගාරවල කටයුතු කර ඇති බවට මූලික පරීක්ෂණවලදී හෙළිවුණා.

ඉන්දීය කාන්තාවක් විවාහ කරගෙන සිටින ශ්‍රී ලාංකික තැරැව්කරුවෙකු විසින් මෙම කාන්තාවන් දෙදෙනා ගල්කිස්ස ප්‍රදේශයේ ලැගුම්හලක් වෙත රැගෙන විත් ඉන්දීය ජාතිකයා වෙත භාරදී තිබෙනවා.

ඔහු මෙම කාන්තාවන්ට එච්.අයි.වී.වෛරසය ආසාදනය වී ඇත්දැයි රුධිර සාම්පල පරීක්ෂණයක් සිදුකිරීමෙන් අනතුරුව ගුවන් ප්‍රවේශපත්‍ර මිලදී ගෙන ඇති බවයි අනාවරණ වී ඇත්තේ.

පසුව ඉන්දියාවේ චෙන්නායි බලා පිටත්ව යාමට ගුවන් තොටුපල පර්යන්තය වෙත පැමිණි අවස්ථාවේදී සැකකටයුතු අන්දමින් හැසිරීම හේතුවෙන් ආගමන විගමන නිලධාරීන් මොවුන් අත්අඩංගුවට ගනු ලැබුවා.

මොවුන් තුන්දෙනාගෙන් සිදුකරන ලද ප්‍රශ්න කිරීම්වලින් අනතුරුව මෙරට තුළ මෙම මිනිස් ජාවාරම සංවිධාන කරන ශ්‍රී ලාංකික තැරැව්කරු සහ ඔහුගේ සහයක කාන්තාවක්ද අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඔවුන් සතුව තිබී ශ්‍රී ලාංකික කාන්තාවන් විශාල සංඛ්‍යාවකගේ විදේශ ගමන් බලපත්‍ර තොගයක්ද සොයාගනු ලැබුවා ෴

***************************************

සුමන්තිරන් හැමදාම රණවිරුවන් එක්ක වෛරයෙන් – අමාත්‍ය බන්දුල ගුණවර්ධන

(24.02.2020 – 10:59 +0530 – sinhala.adaderana.lk)

රට තුළ සිදුවූයේ දෙමළ ජනතාව ඉලක්ක කරගත් යුද්ධයක් නොව ජාති ආගම් බේදයකින් තොරව සියලු ජනතාව මුදාගැනීමේ මානුෂීය මෙහෙයුමක් වන බැවින් තමන් දරන වෛරී ස්වරූපයෙන් මිදෙන ලෙස අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා දෙමළ ජාතික සන්ධානයේ එම්.ඒ සුමන්තිරන් මන්ත්‍රීවරයාගෙන් ඉල්ලා සිටියි.

අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ හෝමාගම දී ඊයේ(23) පැවති පොදුජන ඉංජිනේරු පෙරමුණේ වැඩසටහනකට එක්වෙමින්.

ප්‍රශ්නය – උතුරේ දෙමළ දේශපාලන පක්ෂ කියලා තියෙනවා ජිනීවා යෝජනා එහෙම ඉවත් කර ගන්න බෑ කියලා

මෙයට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා පවසා සිටියේ ඔවුන්ගේ එකම පරමාර්ථය මෙය බවයි.

රණවිරුවන් දඬුකඳේ ගැසීම සඳහා නොසන්සිදෙන වෛරයකින් සුමන්තිරන් මහතා පාර්ලිමේන්තුව තුළත් ඉන් පිටත් පෙනී සිටිය බව පැවසු අමාත්‍යවරයා, එම වෛරයෙන් මිදී දෙමළ ජනතාවට විරුද්ධව කළ අරගලයක් නොව මෙය සියලු ජනතාවට ජීවිත් වීමට කළ මානුෂීය මෙහෙයුමක් බව තේරුම් ගත යුතු බවත් පැවසීය.

විපක්ෂ නායකවරයා වශයෙන් සජිත් ප්‍රේමදාස මහතා පවා ශවේන්ද්‍ර සිල්වා මහතා ආරක්ෂා කළ යුතු යැයි පවසන බවත් අමාත්‍යවරයා කියා සිටියේය.

ප්‍රශ්නය – මේ දවස්වල ආණ්ඩුවට චෝදනාවක් තියෙනවා එයාර් බස් සම්බන්ධයෙන් දඩුවම් කරන්න ඔබ තුමාගේ අදහස කුමක් ද?

මෙයට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා පවසා සිටියේ, ඕනෑම ආණ්ඩුවක් යටතේ යම් යම් පුද්ගලයින් විසින් හොරකම් කළ හැකි වුවත් ඒවාට දඩුවම් කළ යුතු බවයි.

***************************************

රට පාවා දුන් ජිනිවා ගිවිසුම නිවැරදි කළ යුතුයි – අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන

(24.02.2020 – 09:03 +0530 – sinhala.adaderana.lk)

රණවිරුවන්ගේ ආරක්ෂාවට තර්ජනයක් වන ජිනීවා යෝජනාව ඇතුලු රටට විරුද්ධ සියලු යෝජනා එකින් එක නිවැරදි කරමින් සිටින බව විදේශ සබඳතා අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පවසයි.

මහජන එක්සත් පෙරමුණේ කඩුවෙල දිස්ත්‍රික් බලමණ්ඩලය අමතමින් අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ, පළාත් පාලන ආයතනවලින් ඉවත් කළ බලය නැවතත් එම ආයතනවලටම පැවරීමට රජයේ අවධානය යොමුව ඇති බවයි.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වු අමාත්‍යවරයා පවසා සිටියේ, රට පාවා දුන් ජීනිවා ගිවිසුම නිවැරදි කළ යුතුව ඇති බවයි.

අපේ රටේ රණවිරුවන්ගේ ආරක්ෂාවන්ට විරුද්ධව ගොඩනැඟුණු අසත්‍ය යෝජනාව පිළිබඳව පැහැදිලි කළ යුතුව ඇතැයි ද අමාත්‍යවරයා පැවසීය.

රටට විරුද්ධව ගත් පියවර එකින් එක මේ වන විට නිවැරදි කරමින් ඇති බවත් පැවසු අමාත්‍යවරයා, ඒ තුළින් ජාතික ස්වදේශ ව්‍යාපාරවලට විශ්වාසයක් ඇති ආර්ථික ප්‍රගතියක් ඇති කළ හැකි බවත් කියා සිටියේය.

ඉදිරියේ දී පළාත් පාලන ආයතනවලින් උඳුරා ගත් බලය නැවත වතාවක් ඒවාට පැවරීමට අගමැතිවරයා කටයුතු කරමින් සිටින බවත් පැවසු අමාත්‍යවරයා, ඒ තුළින් මහජනතාවට කිට්ටු ආයතනය වශයෙන් පළාත් පාලන ආයතනය වඩාත් ශක්තිමත් කිරීමට කටයුතු කරන බවත් පැවසීය.

***************************************

එයාර්බස් ගනුදෙනුවට නිමල් පෙරේරා ගේ නමත් ඈඳෙයි – අධිකරණයෙන් විදෙස් ගමන් තහනමක්

(20.02.2020 – biz.adaderana.lk)

මෙරට කෝටිපති ව්‍යාපාරිකයෙකු මෙන්ම කොළඹ කොටස් වෙළෙඳපොළ මහාපරිමාණ ආයෝජකයෙකු ද වන නිමල් පෙරේරා හට විදෙස් ගමන් තහනමක් පැනවීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය ඊයේ (19) නියෝග කරන ලදී. තවද ඔහුට අයත් මෙරට බැංකු ගිණුම් 4 ක තොරතුරු ලබා ගැනීමට ද අධිකරණය විසින් නියෝග කර ඇත.

ආන්දෝලනාත්මක එයාර්බස් ගනුදෙනුවට අදාළව ශ්‍රීලංකන් ගුවන් සේවයේ හිටපු ප්‍රධාන විධායක නිලධාරී කපිල චන්ද්‍රෙස්න ගේ බිරිඳට අයත් විදෙස් බැංකු ගිණුමකින් ඩොලර් ලක්ෂ 8 ක මුදලක්, නිමල් පෙරේරා ට අයත් SABRE VISION LTD නම් බැංකු ගිණුමකට හුවමාරු වී තිබීම අනාවරණය වීම හේතුවෙන් කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය මෙම නියෝගය නිකුත් කර තිබේ.

මේ සම්බන්ධයෙන් නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල් තුසිත් මුදලිගේ විසින් ඊයේ (19) දිනයේ දී අධිකරණයට කරුණු වාර්තා කරන ලදී. එම කරුණුවලට අනුව 2013 වසරේ දී ශ්‍රීලංකන් ගුවන් සේවය, ප්‍රංශයේ එයාර් බස් සමාගමෙන් ගුවන් යානා 14 ක් මිල දී ගැනීමට සැලසුම් කර ඇත. ඒ අතර ශ්‍රීලංකන් ගුවන් සේවයේ එවකට හිටපු ප්‍රධාන විධායක නිලධාරී කපිල චන්ද්‍රෙස්නගේ බිරිඳ වන ප්‍රියංකා විජේනායකගේ නමින් බෘෘනායි හි සංස්ථාපනය කර තිබූ BIZ SOLUTION නම් සමාගමට අයත් සිංගප්පූරුවේ බැංකු ගිණුමකට 2013 දෙසැම්බර් 27 දින ඩොලර් මිලියන 2 ක මුදලක් ගිණුම්ගත වී තිබේ. මෙම මුදල් අදාළ ගිණුමට ලැබී ඇත්තේ ප්‍රංශයේ එයාර්බස් සමාගමේ මව් සමාගම වන EADS වෙතිනි.

මේ අතර 2014 නොවැම්බර් 19 සහ දෙසැම්බර් 22 දිනවල අවස්ථා දෙකක දී BIZ SOLUTION බැංකු ගිණුමෙන් බ්‍රිටිෂ් වර්ජින් අයිලන්ඩ් හි ලියාපදිංචි කර ඇති SABER VISION LTD නම් බැංකු ගිණුමකට ඩොලර් ලක්ෂ 8 ක මුදලක් හුවමාරු වී ඇත. නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල්වරයා මේ බව අධිකරණයට අනාවරණය කරමින් කියා සිටියේ මෙම SABER VISION LTD ගිණුමේ වන්නකවත්තවඩුගේ දොන් නිමල් හේමසිරි පෙරේරාට අයත් බවයි.

ශ්‍රීලංකන් ගුවන් සේවයේ හිටපු ප්‍රධාන විධායක නිලධාරී කපිල චන්ද්‍රසේන හා ඔහුගේ බිරිඳ වන ප්‍රියංකා විජේනායක ලබන මාර්තු 04 දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර ඇත.

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *