හෙරොයින් කිලෝ 192 ක් සමඟ කතුන් 2 ක් හා පිරිමියෙකු බණ්ඩාරගම ප්‍රදේශයේ දී අත්අඩංගුවට

(30.01.2020 – 09:50 +0530 – sinhala.adaderana.lk)

හෙරොයින් තොඟයක් සහ ගිනි අවි 10 ක් සමඟ කාන්තාවන් දෙදෙනෙකු ඇතුළු පුද්ගලයින් තිදෙනෙකු බණ්ඩාරගම ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන තිබේ.

බස්නාහිර උතුර විශේෂ විමර්ශන ඒකකය විසින් අද (30) උදෑසන සිදු කළ වැටලීමකදී මොවුන් අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය පැවසුවේය.

ඔවුන් සතුව තිබී හෙරොයින් කිලෝග්‍රෑම් 192 ක තොගයක්, පිස්තෝල වර්ගයේ ගිනි අවි 10 ක් සහ මැගසින් 19 ක් පොලිස් භාරයට ගෙන තිබේ.

සැකකාරියන් දෙදෙනා සහ සැකකරු සම්බන්ධයෙන් බස්නාහිර උතුර විශේෂ විමර්ශන ඒකකය වැඩිදුර විමර්ශන සිදු කරයි ෴

***************************************

කොරෝනා වෛරසයෙන් මිය ගිය ගණන 170 දක්වා ඉහළට

(30.01.2020 – 06:14 +0530 – sinhala.adaderana.lk)

නව කොරෝනා වෛරසය ආසාදනයෙන් චීනයේ සිදුවූ මරණ සංඛ්‍යාව 170 දක්වා ඉහළ ගොස් තිබේ.

මේ වන විට ලොවපුරා වාර්තා වී ඇති වෛරස ආසාදිතයන් සංඛ්‍යාව 7,700 කට ආසන්නයි.

මේ අතර වෛරස ආසාදිතයෙක් වාර්තා වූ නවතම රාජ්‍යය බවට ෆින්ලන්තය පත්ව තිබේ.

චීනයේ වූහාන් නගරයෙන් පළමුවරට වාර්තා වූ කොරොනා වෛරස ආසාදනය අද වන විට ලෝකයේ රටවල් රැසක් වෙත ව්‍යාප්ත වී පවතියි.

මෙසේ වෛරස ආසාදිතයෙක් වාර්තා වූ නවතම රාජ්‍ය වන්නේ ෆින්ලන්තයයි.

එහි සංචාරය සඳහා මීට දින කිහිපයකට පෙර වූහාන් සිට පැමිණි 32 හැවිරිදි කාන්තාවක් මෙසේ වෛරස ආසාදනයෙන් පෙළෙන බව එරට වාර්තා අද අනාවරණය කෙරුණි.

මේ අතර නව කොරෝනා වෛරස ආසාදනය හේතුවෙන් සිදුවූ මරණ සංඛ්‍යාව ගතවූ දින 3 ක කාලය තුළ කැපී පෙනන ලෙසින් වර්ධනය වී තිබේ.

එමෙන්ම ලොව පුරා වෛරස අසාදිතයන් වාර්තාවීමේ ද ශීඝ්‍ර වර්ධනයක්ද දක්නට ලැබෙයි.

මෙම තත්ත්වය සලකා සමස්ත ලෝකය දැඩි සේ අවදානයෙන් පසුවිය යුතු බව ලෝක සෞඛ්‍ය සංවිධානයේ හදිසි සෞඛ්‍ය වැඩසටහනේ ප්‍රධානියා අවධාරණය කළේය.

එමෙන්ම කොරෝනා වෛරසයේ නවතම තත්ත්වය පිළිබද සොයාබලා එය ගෝලීය සෞඛ්‍ය අවදානම් තත්ත්වයක් ලෙසින් නම් කළ යුතුද නැතිද යන්න ඉදිරියේදී තීරණය කරන බවත් එම ආයතනය පවසයි.

මේ අතර චීනය වෙත ගුවන් ගමන් අවලංගු කිරීමට ලෝකයේ ප්‍රධාන ගුවන් සමාගම් කිහිපයක් තීරණය කර තිබේ.

එමෙන්ම චීනයේ ඇති සිය කාර්යාල වසා දැමිමට ගූගල් සමාගමද තීරණය කර ඇති අතර සමාගම පවසන්නේ, සිය සේවකයන්ගේ ආරක්ෂාව වෙනුවෙන් මෙම පියවර ගත් බවයි.

තවද චීනයේ නැන්ජියෑන් නුවරදී පැවැත්වීමට නියමිතව පැවැති ලෝක ගෘහස්ත මලල ක්‍රීඩා තරගාවලියද ද කල්දැමීමට බලධාරීන් තීන්දු කර තිබේ.

අදාළ තරගාවලිය ලබන මාර්තු මස 13-15 කාලසීමාවේදී පැවැත්වීමට නියමිතව පැවතියා.

මේ අතර ගත වූ දින හතර තුළ චීනයේ සිටි ශ්‍රී ලාංකික සිසුන් 488 දෙනෙකු දිවයිනට පැමිණ තිබේ.

චීනයේ ග්වැන්ෂෝහි උසස් අධ්‍යාපනය හදාරමින් සිටි ශ්‍රී ලාංකික සිසුන් 25 දෙනෙකු පමණ අද අලුයම දිවයිනට පැමිණියේය.

මේ අතර කොරෝනා වෛරසය පිළිබඳ බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොලේ කාර්ය මණ්ඩලය දැනුවත් කිරීමේ වැඩසටහනක්ද ඊයේ එම පරිශ්‍රෙය්දී සිදු කෙරුණි ෴

+++++++++++++++++++++++++++++++++++

චීනයේ සෑම ප්‍රාන්තයකටම කොරෝනා පැතිරේ – ආසියානු කොටස් වෙළඳපොළත් කඩා වැටේ

(30.01.2020 – 12:44 +0530 – hirunews.lk/sinhala)

මාරාන්තික නව කොරෝනා වෛරසය ආසාදිතයන් චීනයේ සෑම ප්‍රාන්තයකින්ම මේ වනවිට වාර්තා වෙමින් පවතින බව එරට මාධ්‍ය අද වාර්තා කළා.

කොරෝනා වෛරසය හේතුවෙන් මේ වනවිට චීනයේ 170 දෙනෙකු මියගොස් තවත් 7711 දෙනෙකුට වෛරසය ආසාදනය වී ඇති බවටයි හෙළිවී ඇත්තේ.

කොරෝනා බවට සැක කෙරෙන තවත් 12,167 ක් දෙනෙකුද රෝහල්ගතව සිටින බවද චීන මාධ්‍ය වාර්තා කර තිබුණා.

රටවල් 21 කින් කොරෝනා ආසාදිතයින් මේ වනවිට වාර්තා වී ඇති අතර, ඒ අතරට අද (30) එක්වූ නවතම රට වූයේ පින්ලන්තයයි.

වූහාන් ප්‍රාන්තයේ සිට පින්ලන්තයේ සංචාරය කිරීම සඳහා දින 05 කට පෙර පැමිණි 32 හැවිරිදි චීන ජාතික කාන්තාවකට මෙලෙස කොරෝනා වෛරසය වැළඳී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

එමෙන්ම චීනයේ අසල්වැසි රාජ්‍යයක් වන ටිබෙටයෙන්ද පළමුවරට කොරෝනා වෛරසය ආසාදනය වූ පුද්ගලයෙකු වාර්තාවී තිබෙනවා.

එමෙන්ම, කොරෝනා වසංගතයේ තිඹිරි ගෙය වූ චීනයේ හුබෙයි ප්‍රාන්තයේ වූහාන් නගරයේ සිට ජපානය සිය රටට ගෙන්වාගත් වැසියන් තුන් දෙනෙකුට කොරෝනා වෛරසය වැළඳී ඇති බවට තහවුරු වී තිබෙනවා.

ජපාන වැසියන් 206 දෙනෙකු මෙලෙස වූහාන් නගරයේ සිට ජපානය සිය රට ගෙන්වා ගෙන ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

නව කොරෝනා වෛරසයෙන් බේරීම සඳහා චීන ජාතිකයින් ප්ලාස්ටික් හිස් වැසුම්, ජල බෝතල් සහ ප්ලාස්ටික් බෑග් භාවිතයට පෙළඹී ඇති බව වාර්තා වනවා. කොරෝනා වෛරසය පැතිරීමත් සමඟ චීනයේ මේ වනවිට ආරක්ෂිත මුහුණු ආවරණ හිඟයක් මතුවීම හේතුවෙනුයි මෙම පියවරයන් ගෙන ඇත්තේ.

මුහුණු ආවරණ නිෂ්පාදන ඉල්ලුමට අනුව සැපයුම ලබාදීමට නොහැකි වී ඇති බවද එරට මාධ්‍ය වාර්තා කර තිබුණා. මෙම තත්ත්වය හමුවේ කොරෝනා වෛරසයෙන් බේරීම සඳහා චීන ජාතිකයන් දැවැන්ත උත්සහයක යෙදෙන අයුරු සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වෙමින් පවතිනවා.

ෂැංහයි සිට ඕස්ට්‍රේලියාවේ පර්ත් නුවර බලා ගමන් කළ ගුවන් යානයක සිටි චීන ජාතික යුවළක් ආරක්ෂිත හිස්වැසුම් පැළඳ සිටින අයුරු දැක්වෙන ඡායාරූපයක් සමාජ මාධ්‍ය ඔස්සේ පළවීම ඊට එක් නිදසුනක් ලෙස දැක්විය හැකියි.

මේ අතර, ඉන්දියාවේ මදුරෙයි නගරයේ මුහුණු ආවරණ නිෂ්පාදන කර්මාන්තශාලාවල සේවකයින් අතිකාල සිදුකරමින් චීනයට අවශ්‍ය මුහුණු ආවරණ නිෂ්පාදන කටයුතු මේ වනවිට සිදුකරන බවද ඉන්දීය මාධ්‍ය අද වාර්තා කළා.

එමෙන්ම, ලොව සුප්‍රකට ගූගල් සමාගම චීනය, හොංකොං සහ තායිවානයේ පිහිටි සිය කාර්යාල තාවකාලිකව වසා දැමීමට තීරණය කර තිබෙනවා.

විකුණුම් සහ ඉංජිනේරු යන අංශයන් මුල් කර ගනිමින් මෙම රටවල ගූගල් සමාගමේ කාර්යාල පිහිටුවා තිබෙනවා.

මේ අතර ආසියාවේ සිට කිසිදු පුද්ගලයෙකුට තම රටට ඇතුල්වීමට අවසර නොදීමට පැපුවා නිව්ගිනියා රාජ්‍ය තීරණය කර තිබුණා.

නිවේදනයක් නිකුත් කරමින් එම රජය සඳහන් කළේ ආසියානු ජාතිකයින් රැගත් කිසිදු ගුවන් යානයකට හෝ මගී නෞකාවකට තම රටට ඇතුල් වීමට අවසර නොදී යළි හරවා යැවීමට තීරණය කර ඇති බවයි.

එමෙන්ම පැපුවා නිව්ගිනියාව සිය ඉන්දුනීසියානු දේශ සිමාවද වසා දමා තිබෙනවා.

ආසියානු රටක සංචාරය කොට යළි පැමිණෙන සිය පුරවැසියන්ව දැඩි වෛද්‍ය පරීක්ෂණයකට ලක් කිරීම අනිවාර්ය බවයි පැපුවා නිව්ගිනියාවේ සෞඛ්‍ය අමාත්‍යාංශය දැනුම් දී ඇත්තේ.

එමෙන්ම, පවතින තත්ත්වය හමුවේ ලෝක සෞඛ්‍ය සංවිධානයේ විශේෂ රැස්වීමක් අද (30) පැවැත්වෙනවා.

එහිදී මාරාන්තිකම කොරෝනා වෛරසය පැතිරයාමේ තත්ත්වය සැලකිල්ලට ගෙන ලොව පුරා හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත්කරන්නේද නැද්ද යන්න සම්බන්ධයෙන් සාකච්ඡා කෙරෙනු ඇති.

කොරෝනා වසංගතය හේතුවෙන් ආසියානු කොටස් වෙළඳපොලද පහත වැටී තිබෙනවා.

විදෙස් වාර්තා සඳහන් කළේ පවතින තත්ත්වය හමුවේ චීනයේ ආර්ථිකය කඩාවැටීමකට ලක්වනු ඇති බවයි ෴

+++++++++++++++++++++

නව කොරෝනා වෛරසයෙන් බේරීම සඳහා චීන ජාතිකයින් ප්ලාස්ටික් හිස් වැසුම්, ජල බෝතල් සහ ප්ලාස්ටික් බෑග් භාවිතයට පෙළඹී ඇති අයුරු :

+++++++++++++++++++++++++++++++++++

කොරෝනා ගැන සාකච්ජාවට පාර්ලිමේන්තු කාරක සභාවක් රැස්වේ – කොළඹ වැසියන්ගේ ප්‍රතිශක්තිය වැඩි කරන්න දේශීය ඖෂධයක්

(30.01.2020 – 11:23 +0530 – hirunews.lk/sinhala)

අංගොඩ – අයි.ඩී.එච්. හෙවත් ජාතික බෝවන රෝග විද්‍යායාතනයේ ප්‍රතිකාර ලබන කොරෝනා වෛරසය ආසාදිත චීන කාන්තාව තවදුරටත් රදවාගෙන ප්‍රතිකාර සිදුකිරීමට අපේක්ෂා කරන බව විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම මහතා ප්‍රකාශ කළා.

මේ වනවිට ඇයගේ සෞඛ්‍ය තත්ත්වය සුව අතට හැරි ඇති නමුත්, ඇයගේ සෞඛ්‍ය තත්ත්වය තවදුරටත් නිරීක්ෂණය කිරීම සදහා මෙලෙස රෝහලේ රදවා තබා ගැනීමට කටයුතු කරන බවයි.

එම කාන්තාවට අමතරව, කොරෝනා වෛරසය ආසාදනය වූ බවට සැක කෙරෙන තවත් චීන ජාතිකයන් 8 දෙනෙකු රෝහලේ ප්‍රතිකාර ගන්නා බවද, වෛද්‍යවරයා සදහන් කළා.

ඊයේ (29) රාත්‍රියේ චීන ජාතිකයන් කිහිපදෙනෙකු සහ රුසියානු ජාතිකයෙකු ප්‍රතිකාර ලබාගැනීමට ජාතික බෝවන රෝග විද්‍යායාතනයට ඇතුළත්වී තිබූ අතර, රුසියානු ජාතිකයා අද (30) උදෑසන ප්‍රතිකාර ලබා රෝහලෙන් පිටව ගොස් තිබෙනවා.

කොරෝනා වෛරසය වැළදුණු චීන ජාතික කාන්තාව එහි ප්‍රතිකාර ලැබීම හේතුවෙන් රෝහලේ බාහිර රෝගී අංශයටද මේ වනවිට රෝගීන් පැමිණීමේ අඩුවක් දක්නට ලැබෙන බවද වාර්තාවනවා.

කෙසේ වෙතත් සුළු සේවකයින් රාජකාරියට වාර්තා නොකරන බවට ජාතික පුවත්පතක අද (30) පළ වාර්තාව අසත්‍ය බවයි විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම මහතා සදහන් කළේ.

නියමිත පරිදි සුළු සේවකයින් සේවයට වාර්තා කර ඇති බව ද, ඔහු කියා සිටියා.

මේ අතර වෛද්‍ය රසායනාගාර වෘත්තියවේදින්ගේ විද්වත් ආයතනය සෞඛ්‍ය ඇමතිනි පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය වෙත ලිපියක් යොමුකර තිබෙනවා.

ඒ කොරෝනා වැනි ඉහළ අවදානම් සහිත රෝග කාරකයන්ගෙන් සමන්විත නිදර්ශක පරීක්ෂා කිරීම සඳහා ලෝක සෞඛ්‍ය සංවිධානයේ නිර්මිතයන්ට අදාළ රසායනාගාරයක් ශ්‍රී ලංකාව තුළ කඩිනමින් ස්ථාපිත කරන ලෙස ඉල්ලමින්.

එහි සභාපති රවී කුමුදේශ් මහතා අත්සනින් යුතුව නිකුත් කළ අදාළ ලිපියේ වැඩිදුරටත් සදහන් කර ඇත්තේ මෙවැනි රසායනාගාරයක් නොමැති නිසා සෞඛ්‍ය කාර්ය මණ්ඩල වරින්වර අනාරක්ෂිත තත්ත්වයට පත්වන අතර, එමඟින් සෞඛ්‍ය සේවාවටද බරපතල විවේචන එල්ලවන බවයි.

මේ අතර පසුගිය දින 4 තුළ චීනයේ සිට ශ්‍රී ලාංකිකයින් 661 දෙනෙකු දිවයිනට පැමිණ තිබෙනවා.

ඊයේ (29) පස්වරු හතරේ සිට අද (30) උදෑසන දක්වා ගුවන් යානා 5 කින් එරට සිට මෙරටට පුද්ගලයින් 281 දෙනෙකු පැමිණි බවයි ගුවන්තොටුපළ කාර්යභාර නිලධාරියා සඳහන් කළේ.

මේ අතර, චීනයේ – වූහාන් නගරයේ රැදී සිටින සිසුන්ගේ දෙමව්පියන් පිරිසක් සහ චීනයේ සිට මෙරටට පැමිණි සිසුන් පිරිසක් කොළඹ පිහිටි එක්සත් ජාතීන්ගේ කාර්යාලයට අද (30) ලිපියක් භාර දුන්නා.

ඔවුන් එමගින් සදහන් කර ඇත්තේ වූහාන් නගරයේ සිරවී සිටින සිසුන් කඩිනමින් දිවයිනට රැගෙන ඒමට මැදිහත් වන ලෙසටයි.

මේ අතර, රජරට විශ්වවිද්‍යාලයේ කථිකාචාර්යවරයෙකු ලෙස කටයුතු කර දැනට ආචාර්ය උපාධිය හැදෑරීම සදහා වූහාන් නගරයට ගොස් සිටින ප්‍රගීත් රොෂාන් වීරතුංග මහතා හිරු ප්‍රවෘත්ති අංශයට කියා සිටියේ තමන් ඇතුළු පිරිසට තාතාපති කාර්යාල මට්ටමේ පහසුකම් සලසා නොමැති බවයි.

මේ අතර මාරාන්තික නව කොරෝනා වෛරසය සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ සෞඛ්‍ය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභා විශේෂ රැස්වීමක් මේ වනවිට පැවැත්වෙනවා.

ඒ සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිලධාරීන් කිහිපදෙනෙකු එක්ව සිටින බවයි වාර්තාවන්නේ.

ප්‍රතිශක්තිකරණය ඉහළ නැංවෙන දේශීය ඖෂධ වට්ටෝරුවක් කොළඹ නගරවාසීන්ට ලබාදීමට කොළඹ මහනගර සභාවේ ස්වදේශ වෛද්‍ය දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබෙනවා.

නොමිලේ මෙම ඖෂධ වට්ටෝරුව හෙට සිට කොළඹ මහ නගර සීමාවේ පිහිටි දේශීය ඖෂධ සැල් විස්සකින් ලබාගත හැකි බවයි එහි ප්‍රධානී වෛද්‍ය එම්.ජේ. මාරසිංහ මහතා කියා සිටියේ ෴

+++++++++++++++++++++++++++++++++++

ජනතාව මුහුණු ආවරණ පැළඳීමේ කිසිදු තර්කානුකූල පදනමක් නෑ – මහාචාර්ය මලික් පීරිස්

(29.01.2020 – 20:09 +0530 – hirunews.lk/sinhala)

නව කොරෝනා වෛරසය ශ්‍රී ලංකාව තුළ ව්‍යාප්ත වන බවට නිශ්චිත සාක්ෂි නොමැති පසුබිමක ජනතාව මුහුණු ආවරණ පැළඳීමේ කිසිදු තර්කානුකූල පදනමක් නැතැයි හොංකොං විශ්ව විද්‍යාලයේ ක්ෂුද්‍රජීව විද්‍යා අංශයේ මහාචාර්ය මලික් පීරිස් මහතා පවසනවා.

හොංකොංහි සිට ස්කයිප් තාක්ෂණය ඔස්සේ හිරු ප්‍රවෘත්ති සමග සාකච්ඡාවකට එක්වෙමින් මහාචාර්යවරයා මේ බව සඳහන් කළා.

මීට පෙර චීනයේ පැතිර ගිය සාර්ස් සහ ඉන්ෆ්ලුවෙන්සා රෝගකාරක වෛරස සොයාගත් මහාචාර්ය මලික් පීරිස් මහතා මෙරට වෛද්‍ය පර්යේෂණ ආයතනයේ කොරෝනා වෛරසය හඳුනාගැනීමේ තාක්ෂණය වැඩිදියුණු කිරීමටද සුවිශේෂී දායකත්වයක් ලබා දුන්නා.

+++++++++++++++++++++++++++++++++++

29-01-2020

+++++++++++++++++++++++++++++++++++

තානාපති කාර්යාලය තාම මුකුත් බැලුවෙ නැහැ – වුහාන්හි සිරවී සිටින ආචාර්ය උපාධි අපේක්ෂක සරසවි සිසුවාගෙන් චෝදනා

(30.01.2020 – gossiplankanews.com)

මේ වනවිට චීනයේ වුහාන්හි සිරවී සිටින ශ්‍රී ලාංකික සිදුන් 31 දෙනාගෙන් කෙනෙකු වන රජරට විශ්ව විද්‍යාලයේ කථිකාචාර්යවරයෙකු වශයෙන් කටයුතු කර දැනට අචාර්ය උපාධිය හැදැරිම සදහා චීනයේ වුහාන් ප්‍රදේශයේ රැදි සිටන ප්‍රගිත් රොෂාන් විරතුංග මහතා වි.චැට් තාක්ෂණය ඔස්සේ මාධ්‍යයට අදහස් දක්වා චෝදනාවක් එල්ල කර තිබේ.

ලංකාවේ හැටන් නොර්වුඩ් ප්‍රදේශයේ පදිංචි කරුවෙකු වන ඔහු කියා සිටියේ දැඩි අවදානම් කලාපයේ සිටින ශ්‍රි ලාංකික සිසුන් ඉවත් කර ගැනිමට ශ්‍රි ලංකා තනාපති කාර්යාලයෙන් මේ වන විට කිසිදු ක්‍රියාමාර්ගයක් ගෙන නොමැති බවයි.

චීනයේ වුහාන් ප්‍රදේශයේ කොරෝනා වෛරසය පැතිර ගොස් ඇති දැඩි අවදානම් කලාපයක් ලෙස හදුනාගෙන ඇති බවත්, එම කලාපය තුල විශ්ව විද්‍යාල කිහිපයකම ශ්‍රි ලාංකිය සිසු සිසුවියන් විශාල පිරිසක් අධ්‍යාපන කටයුතු වල නියැලි සිටින බව ඔහු දන්වා සිටි අතර පවත්නා තත්ත්වය මත එරට විශ්ව විද්‍යාල බලධාරින් නේවාසිකාගාරවලින් බැහැරව නොයන ලෙස උපදෙස් ලබා දි ඇති බවත්, තමන් චිනයේ පිහිටි ශ්‍රිලංකා තනාපති කාර්යයාල සමග නිතර සම්බන්ධතා පැවැත්වුවද ශ්‍රි ලංකා තනාපති කාර්යයාලයේ බලධාරින් වුහාන් ප්‍රදේශයේ රැදි සිටින ශ්‍රි ලාංකික සිසුන් මෙතෙක් ඉවත් කර ගැනිමට කිසිදු උනන්දුවක් දක්වා නොමැති බව ඔහු කියා සිටියි.

එම අවදානම් කලාපය තුළ සිටින ශ්‍රි ලංකා සිසුන්ට කොරෝනා වෛරසය වැලදි නොමැති බවට තහවුරු වි ඇති බවත්, තමන් සමඟ සිටින අධ්‍යාපනය ලබන සිසු සිසුවියන් 31 දෙනෙකු රැදි සිටින බවත්, විවිධ දුෂ්කරතා සහ අවම පහසුකම් යටතේ නේවාසිකාගාර වලට වි සිටින බවත් ඔහු කියා සිටියි.

තමන් ඇතුළු චිනයේ වුහාන් අවදානම් කලාපයේ සිටින ශ්‍රි ලාංකික සිසු සිසුවියන් මෙරටට ගෙන්විමට කටයුතු කරන ලෙස ඔහු මෙරට බලධාරින්ගෙන් ඉල්ලා සිටියි.

ඔහු ‘වී චැට්’ ඔස්සේ මේ ගැන කියූ හැටි ඕඩියෝව පහතින් :

***************************************

කැබිනට් මාධ්‍ය හමුව ඇරඹෙයි

(30.01.2020 – 10:19 +0530 – sinhala.adaderana.lk)

කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුව මේ වන විට ආරම්භ කර තිබේ.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ දී පැවැත් වෙන කැබිනට් මාධ්‍ය හමුවේ දී සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා විසින් කැබිනට් තීරණ දැනුම් දෙනු ලබයි.

කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුව

Posted by Ada Derana Sinhala on Wednesday, January 29, 2020

***************************************

අජිත් පී. හා ෆොන්සේකා එජාප කෘත්‍යාධිකාරී මණ්ඩල සමාජිකත්වය ඉවතට

(30.01.2020 – 08:04 +0530 – sinhala.adaderana.lk)

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන අජිත් පී. පෙරේරා සහ ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා යන අයගේ එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරි මණ්ඩල සාමාජිකත්වය ඉවත් කර තිබේ.

පක්ෂයේ සාමූහික විනය කඩකිරිමේ චෝදනාව මත මෙම තීරණය ගෙන ඇති බව එක්සත් ජාතික පක්ෂ ආරංචි මාර්ග සඳහන් කළේය.

එක්සත් ජාතික පක්ෂයේ නව කෘත්යාංධිකාරි මණ්ඩලය ඊයේ(29) දිනයේ පත් කෙරුණු අතර අජිත් පී පෙරේරා මන්ත්‍රීවරයාගේ සහ සරත් ෆොන්සේකාගේ නම ඊට ඇතුළත් කර නොමැති බව සඳහන් වෙයි.

ඒ අනුව ඔවුන් දෙදෙනාට අද (30) පස්වරුවේ පැවැත්වෙන එම පක්ෂයේ කෘත්‍යාධිකාරි මණ්ඩල රැස්විමට සහභාගී විය නොහැකි බවයි එක්සත් ජාතික පක්ෂ ආරංචි මාර්ග සඳහන් කළේය.

එක්සත් ජාතික පක්ෂයේ කෘත්යානධිකාරි මණ්ඩලය පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අද පස්වරු 03.00 ට රැස්විමට නියමිතව තිබේ.

එහිදී පක්ෂයේ නායකත්වය ඇතුළු පක්ෂයේ පවතින ගැටළු සම්බන්ධයෙන් අවසන් එකඟතාවයකට පැමිණිමට නියමිත බව සඳහන් ෴

***************************************

දේශපාලන පළිගැනීම් සම්බන්ධ ජනපති කොමිසමට පැමිණිලි බාර ගැනීම 20 දා අවසන්

(30.01.2020 – 08:02 +0530 – sinhala.adaderana.lk)

2015 වර්ෂයේ සිට 2019 වර්ෂය දක්වා වූ කාලය තුළ දේශපාලන පළිගැනීම් සම්බන්ධව විමර්ශනය කිරීමේ ජනාධිපති පරික්ෂණ කොමිෂන් සභාව පැමිණිලි භාරගැනීමේ කාලය ලබන මස 20 වන දායින් අවසන් වීමට නියමිතව තිබේ.

එම කොමිසමේ ප්‍රකාශයෙකු සඳහන් කළේ ජනාධිපති කොමිසම සඳහා පැමිණිලි භාර ගැනීමේ කටයුතු මේ දිනවල සිදු කරන බවයි.

අදාල කාලය තුළ දේශපාලනමය වශයෙන් පළිගැනීමට ලක්වූවන් සිටී නම් ඔවුන්ට ජනපති කොමිසමට පැමිණිලි ඉදිරිපත් කිරීමේ හැකියාව පවතියි.

ලේකම්, 2015 වර්ෂයේ සිට 2019 වර්ෂය දක්වා වූ කාලය තුළ දේශපාලන පළිගැනීම් සම්බන්ධව විමර්ශනය කිරීමේ ජනාධිපති පරික්ෂණ කොමිශන් සභාව, බ්ලොක් අංක 2, දෙවන මහල, බණ්ඩාරණායක සම්මන්ත්‍රණ ශාලාව, කොළඹ 7 යන ලිපිනයට අදාල පැමිණිලි ඉදිරිපත් කළ හැකි වෙයි.

පැමිණිලි භාරගැනීමෙන් අනතුරුව එම පැමිණිලි සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කිරීම සඳහා ජනාධිපති කොමිසමේ සාමාජිකයින් රැස්වීමට නියමිතයි ෴

***************************************

අතහැර දමා ඇති ව්‍යාපෘතිවල වැඩ අවසන් කරන්න අගමැතිගේ අවධානය

(30.01.2020 – 07:56 +0530 – sinhala.adaderana.lk)

නව නගර සැලසුම් සහ නව ව්‍යාපෘති කිහිපයක් ආරම්භ කිරිමටත් පසුගිය කාලයේ අතහැර දමා තිබූ නගර සැලසුම් සහ නිවාස ව්‍යාපෘතිවල වැඩ අවසන් කිරිමටත් ක්‍රියා කරන බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

අග්‍රාමාත්‍යවරයා පෙන්වා දෙන්නේ නව අයවැය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරිමේදී නගර සැලසුම් ක්‍රියාත්මක කිරිම හා නිවාස වැඩසටහන් නිර්මාණශිලීව ගෙන යාම සඳහා අවශ්‍ය ප්‍රතිපාදන වෙන් කරන බවයි.

නාගරික සංවර්ධන අමාත්‍යාංශය සහ නිවාස පහසුකම් අමාත්‍යාංශය යන අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන ආයතනවල ප්‍රගති සමාලෝචන රැස්විමට එක්වෙමින් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා මෙම අදහස් පල කර තිබේ.

කොළඹ වරාය නගරය ඇතුළු කොළඹ කේන්ද්‍ර කර ගනිමින් නගර කිහිපයත සිදුවන නාගරික සංවර්ධනයට අදාල ගොඩනැඟිලි ඉදිකිරිම, මං මාවත් සැකසීම, දුම්රිය මාර්ග සැකසීම, උද්‍යාන නිර්මාණය කිරිම සහ අළුත්වැඩියා කටයුතුවලට අදාල ප්‍රගතිය මෙන්ම මහනුවර, යාපනය සහ අනුරාධපුර ඇතුළු නගර කිහිපයක සංවර්ධන කටයුතු පිළිබඳව ද මෙහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡා වී ඇති බව සඳහන්.

ඉදිරියේදී විදේශීය ඉදිකිරිම් විශේෂඥයින් වෙනුවට දේශිය විශේෂඥයින්ට අවස්ථාව ලබාදීමට ද පිටරටින් රජයේ රෝහල්වලට ඇඳන් ගෙන්වීම නතර කිරිමට ද මෙහිදී අවධානය යොමුව තිබේ.

මේ අතර කොරෝනා වෛරසය පිළිබඳව ජනතාව අනිසි බියක් ඇතිකර ගත යුතු නොවන බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

අනුරාධපුර ප්‍රදේශයේ පැවති උත්සවයකට එක්වෙමින් අග්‍රාමාත්‍යවරයා මෙම අදහස් පල කළේය ෴

***************************************

විරෝධතාකරුවන්ට රජයෙන් පණිවුඩයක්

(30.01.2020 – 07:30 +0530 – sinhala.adaderana.lk)

උපාධි සහ ඒ හා සමාන උසස් ජාතික ඩිප්ලෝමාධාරින්ට පොරොන්දු වූ පරිදි රැකියා ලබාදීමට අවශ්‍ය සියලු තොරතුරු රැස්කර අවසන් බව රජය පවසයි.

නිවේදනයක් නිකුත් කරමින් ජනාධිපති කාර්යාලය පෙන්වා දෙන්නේ අදාල වැඩසටහන සඳහා මූල්‍ය ප්‍රතිපාදන සැලසීමේ ක්‍රියාවලිය ද සිදුවෙමින් පවතින බවයි.

රාජ්‍ය, අර්ධ රාජ්‍ය සහ දෙපාර්තමේන්තුවල පවතින පුරප්පාඩු අනුව උපාධියට සරිලන රැකියාවක් ලබාදීම රජයේ අරමුණ වන අතර පොරාන්දු වූ පරිදි 53,000 කට ආසන්න සියලු උපාධිධාරින්ට රැකියා ලබාදීම මාර්තු 01 වනදා ආරම්භ කරන බව ජනාධිපති කාර්යාලය පවසයි.

විවිධ රාජ්‍ය ආයතනවල තාවකාලික, අනියම් සහ කොන්ත්‍රාත් පදනමේ සේවයේ නියුතු දින 180 සම්පූර්ණ කළ පිරිසගේ රැකියා සුරක්ෂිතතාව සහ ස්ථිර භාවය පිළිබඳව ද රජයේ අවධානය යොමුව තිබේ.

අදාල ආයතන සමඟ සාකච්ඡා කළ සුදුසුකම් ඇති සියලු දෙනා ස්ථිර සේවයේ පිහිටවන අතර විශ්වවිද්‍යාල සහ වෙනත් අධ්‍යාපන ආයතනවල ඉගෙනුම ලබන සිසුන් මුහුණදෙන ගැටළු සම්බන්ධයෙන් ද ගතවූ දෙමස තුළ පුළුල්ව අධ්‍යයනය කරුණු ලැබූ බව ජනාධිපති කාර්යාලය පෙන්වා දෙයි.

එකී ගැටළුවලට කඩිනමින් හොඳම විසඳුමක්දිම රජයේ අපේක්ෂාව බවත්, උද්ඝෝෂණකරුවන්ට ජනාධිපති කාර්යාලය අභියසට පැමිණ විරෝධය පල කිරිමට පූර්ණ නිදහස ලබාදී ඇති බවත් මෙය ඉතිහාසයේ කිසිදු රජයක් නොගත් තීරණයක් බවත් ජනාධිපති කාර්යාලය පවසයි.

ගැටළු විසදා උද්ඝෝෂණ හා විරෝධතා ඇති වීමට මුල්වන සාධක ඉවත් කිරිම ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රතිපත්තිය වන අතර ජනාධිපති කාර්යාලයේ නිලධාරින් උද්ඝෝෂණකරුවන්ට ඇහුන්කන්දීමට විශාල කාලයක් වැය කර තිබේ.

විරෝධතා දක්වන කණ්ඩායම්වල ඉල්ලීම් බොහෝ හෙයින් සමානවල බව පෙන්වා දෙන ජනාධිපති කාර්යාලය පවසන්නේ ඊයේ (29) දිනයේ පමණක් කණ්ඩායම් 06 ක් ජනාධිපති කාර්යාලය අභියසට පැමිණ උද්ඝෝෂණය කළ බවයි.

එම සියලු පාර්ශව සමඟ සාකච්ඡා කිරිමට නිලධාරින්ට විශාල කාලයක් වැය වන අතර එහි ප්‍රතිඵලය ඔවුන් වෙනුවෙන් රජය ඉටුකිරමට අපේක්ෂා කරන වැඩසටහනට වෙන්කළ කාලය දිනෙන් දින අපතේයාමක් බව ජනාධිපති කාර්යාලය පෙන්වා දෙයි.

විරෝධතා හේතුවෙන් ඇති වන මාර්ග අවහිරතා ජනතාවට මහත් පීඩාවක් වන අතර විරෝධතාකරුවන්ගේ ද කාලය,ශ්‍රමය සහ මුදල් එමඟින් අනවශ්‍ය ලෙස අපතේයාමක් සිදු වන බැවින් යතාර්ථය තේරුම් ගෙන රජයේ වැඩපිළිබඳ විශ්වාසය තබා එය සාර්ථක කර ගැනිමට සහය වන ලෙස රජය උද්ඝෝෂණ කණ්ඩායම්වලින් ඉල්ලා සිටියි ෴

***************************************

මහ බැංකුවෙන් 2020 ඩිජිටල් පෙරළියක්

(30.01.2020 – 06:48 +0530 – sinhala.adaderana.lk)

ශ්‍රී ලංකා මහබැංකුව විසින් 2020 වසර ‘ඩිජිටල් ගනුදෙනු වර්ෂය’ ලෙස හඳුන්වා තිබේ.

මුදල් භාවිතය අවම කරමින් ඩිජිටල් ගෙවීම් ක්‍රම සඳහා ජනතාව හුරුකරවීම මෙහි අරමුණයි.

ශ්‍රී ලංකා මහබැංකුව , 2020 වසර ඩිජිටල් ගනුදෙනු වර්ෂය ලෙස හඳුන්වා ඇති අතර ඒ පිළිබඳ මාධ්‍ය දැනුවත් කිරීම ඊයේ (29) සිදුකෙරුණි.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වු ශ්‍රී ලංකා මහ බැංකුවේ, ගෙවීම් හා පියවීම් දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ
ධර්ම ශ්‍රී කුමාරතුංග මහතා පවසා සිටියේ, ජල විදුලිපත් හා අනෙකුත් බිල්පත් හා රක්ෂණ වාරික ගෙවීම් තමන් සිටින ස්ථානයේ සිට පාරිභෝගිකයාට ගෙවීම් කළ හැකි බව ද පැවසීය.

මේ වන විට බැංකු විසින් මිලියන 23 කට වඩා ප්‍රමාණයක් හර කාඩ්පත් නිකුත් කර ඇති බවත් පැවසු ඒ මහතා, හැකි සෑම අවස්ථාවක දීම මෙම හර කාඩ්පත් තමන්ගේ ගෙවීම් කටයුතු සඳහා භාවිතා කරන ලෙසත් ජනතාවගෙන් ඉල්ලා සිටියේය.

ශ්‍රී ලංකා මහබැංකුව විසින් 2018 වර්ෂයේ දී QR කේත අංක හඳුන්වා දුන් බවත් පැවසු ඒ මහතා, ඒ අනුව බැංකුවලට කොමිස් මුදල 0.5 % කින් අඩුකරන්න දැනුම් දුන් බවත් පැවසීය.

නමුත් මෙම සංකල්පය මහජනතාව තුළට නොගියේ නම් මුදල් භාවිතය වැඩි වෙන බවත්, එහිදී මුදල් අච්චු ගැසීමට විශාල මුදලක් වැය වෙන බවත් එය අඩු කර ගැනීම සඳහා මෙවැනි ඩිජිටල් ක්‍රමවේදයන් යෝග්‍ය බවත් ඒ මහතා කියා සිටියේය.

එමෙන්ම මහ බැංකුව වශයෙන් ප්‍රධාන අරමුණ වන්නේ, මුදල් භාවිතය අඩු කර කාඩ් හෝ වෙනත් ක්‍රමවේදයන් හඳුන්වා දී එයට ජනතාව හුරු කිරීම බවත් ඒ මහතා පැවසීය.

***************************************

ෂැංග්‍රිලා සහ දෙහිවල බෝම්බකරුවන් සමඟ ගණුදෙනු කළ මවුලවියෙක්

(29.01.2020 – 22:30 +0530 – sinhala.adaderana.lk)

බස්නාහිර පළාත් හිටපු ආණ්ඩුකාර අසාද් සාලි මහතා විසින් සඳහන් කළ තාසිම් මවුලවිවරයා ෂැංග්‍රිලා මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරය එල්ල කළ මොහොමඩ් ඊබ්‍රාහිම් ඉල්හාම් සමග දුරකථන සබඳතා පැවැත් වු බවට පාස්කු ඉරුදින ප්‍රහාරය පිළිබඳ විමර්ශනය කෙරෙන ජනාධිපති විමර්ශන කොමිසම හමුවේ අනාවරණ වුණි.

එමෙන්ම දෙහිවල ‘ට්‍රොපිකල් ඉන්’ ලැඟුම්හල තුළ බෝම්බය පුපුරුවා මියගිය ජමෙයිල් මොහොමඩ් නැමැත්තා මවුලවිවරයාගේ ඥාතියෙකු වන බව ද කොමිසමේදී හෙළි වුණි.

පාස්කු ඉරුදින ප්‍රහාරය පිළිබඳ විමර්ශනය කෙරෙන ජනාධිපති විමර්ශන කොමිසම හමුවේ බස්නාහිර පළාත් හිටපු ආණ්ඩුකාර අසාද් සාලි මහතා විසින් සඳහන් කළ තාසිම් මවුලවිවරයා ඊයේ (28) දිනයේදී සාක්ෂි ලබා දුන්නේය.

අල්හාජ් මොහොඩ් සාලි මොහොමඩ් තාසිම් නැමති මවුලවිවරයා 2019 මාර්තු 26 වැනිදා තත්ත්පර 93 ක දුරකථන ඇමතුමක් ඊබ්‍රාහිම් ඉල්හාම්ගේ ජංගම දුරකථනයට ලබාගෙන ඇති බව දුරකථන දත්ත විශ්ලේෂණයේදි අනාවරණය වු බව රජයේ ජ්‍යෙෂ්ඨ අධිනීතීඥවරිය කොමිසම හමුවේ සඳහන් කළේය.

එහිදී ඉල්හාම් සමග තමාගේ සම්බන්ධයක් නොමැති බවත් තමන් හඳුනන්නේ ඔහුගේ පියා බවත් මවුලවිවරයා ප්‍රකාශ කළේය.

එහිදී රජයේ ජ්‍යෙෂ්ඨ අධිනීතීඥවරිය ප්‍රශ්න කළේ, පියාගේ දුරකතන අංකයට ඇමතුම් නොගෙන පුතාගේ දුරකථනයට ඇමතුම් ලබාගත්තේ ඇයි ද යන්නයි.

එහිදී මව්ලවිවරයාට නිශ්චිතව කොමිසමට පිළිතුරු දීමට හැකිවූයේ නැහැ.

කොමිසම මව්ලවිවරයාට මතක් කර දුන්නේ, ඊබ්‍රාහිම් ඉල්හාම් යනු ෂැංග්‍රිලා හෝටල් බෝම්බ පිපිරිමට සම්බන්ධවු අයෙක් බවයි.

මෙහිදී රජයේ ජ්‍යෙෂ්ඨ අධිනීතීඥවරිය විසින් දෙහිවල ‘ට්‍රොපිකල් ඉන්’ ලැගුම් හලේදී බෝම්බය පුපුරවාගත් ජමිල් මොහොමඩ් නැමැත්තා හඳුනනවාද යන්න තාසිම් මවුලවිවරයාගෙන් විමසා සිටියේය.

ඊට පිළිතුරු දුන් මවුලවිවරයා ප්‍රකාශ කළේ, ජමිල් මොහොමඩ් තමාගේ මස්සිනාගේ පුත්‍රයා වන බවත් තමා ඔහු සමඟ කිසිදු සම්බන්ධයක් නොපැවැත් වූ බවයි.

මෙහිදි කොමිසම විසින් සහාරන්ගේ විඩියෝ පටයක් මවුලවිවරයා වෙත පෙන්වනු ලැබුවේය.

එහිදී මව්ලවිවරයා පැවසුවේ, එම වීඩියෝ පටයේ ඇති සහරාන්ගේ දේශන ඉස්ලාම් ආගමට විරුද්ධ බවයි.

එමෙන්ම එය අයි.එස්.අයි.එස්. අදහස් බවත් ඒවා කුරාණයේ සදහන් දේවල් නොවන බව ද මවුලවිවරයා මෙහිදි ප්‍රකාශ කළේය.

සහරාන්ගේ එම වීඩියෝ පටය සම්බන්ධයෙන් තමන් හිටපු ජනාධිපතිවරයා දැනුවත් කරන අවස්ථාවේදී ආරක්ෂක ප්‍රධානීන් ද එහි සිටි බව මව්ලවිවරයා මෙහිදී ප්‍රකාශ කළේය.

මෙහිදී කොමිසම ප්‍රශ්න කළේ, ජනාධිපතිවරයා ඊට ප්‍රතිචාර දැක්වූයේ කෙසේ ද යන්නයි.

එහිදි ඉදිරි පියවර ගැනීම සදහා කටයුතු කරන බව ජනාධිපතිවරයා පැවසූ බව මව්ලවිවරයා කොමිසම හමුවේ සාක්ෂි ලබාදෙමින් පැවසුවේය.

ඊට අමතරව මව්ලවිවරයා පැවසුවේ, තමන් විසින් හිටපු ආරක්ෂක ලේකම්වරුන් වන කරුණාසේන හෙට්ටිආරච්චි සහ හේමසිරි ප්‍රනාන්දු යන මහත්වරුන්ට ජමෙයිතුල්ලා උලමා සංවිධානය සහ සහරාන් පිළිබඳ ලිඛිතව දැනුම් දුන් බවයි.

2018 දෙසැම්බර් 29 වෙනිදා අසාද් සාලි මහතා දුරකතන ඇමතුම් 04 ක් තාසීම් මවුලවිට ලබාදී ඇති බව දුරකතන විශ්ලේෂණයේදී පෙනී ගොස් ඇති බව රජයේ අධිනීතිඥවරිය මෙහිදී අනාවරණ කළේය.

ඒ පිළිබදව ප්‍රශ්න කිරීමේදී තාසීම් මවුලවි පැවැසුවේ ඊබ්‍රාහිම් මවුලවි අල්ලාගැනීම සහ පොලීසියට භාරදුන්නේ දැයි අසාද් සාලි මහතා තමාගෙන් විමසූ බවයි.

ඊබ්‍රාහිම් මවුලවිගේ පුතුන් දෙදෙනා පොලීසියට භාරදෙන්න යැයි අසාද් සාලි මහතා ප්‍රකාශ කලේදැයි කොමිසම මව්ලවිවරයාගෙන් විමසා සිටියේය.

ඊට පිළිතුරු දෙමින් තාසිම් මවුලවිවරයා සදහන් කළේ අසාද් සාලි එවැනි දෙයක් ප්‍රකාශ නොකළ බවයි ෴

+++++++++++++++++++++

***************************************

පැතිර යන උණ රෝගී තත්ත්වයක් හේතුවෙන් ශ්‍රී පාද විද්‍යා පිඨය වසා දමන්න උපදෙස්

(30.01.2020 – 12:25 +0530 – sinhala.adaderana.lk)

හැටන් ශ්‍රී පාද විද්‍යා පිඨය තුළ වෛරස් උණ රෝගයක් පැතිර යාමේ අවධානමක් හේතුවෙන් විද්‍යා පිඨය තාවකාලිකව වසා දමන ලෙස කොටගල සෞඛ්‍ය වෛද්‍ය අධිකාරි කාර්යයාලයේ නිලධාරින් විසින් දැනුම් දී ඇත.

ඒ අනුව පෙබරවාරී මස 5 වන දින තෙක් පීඨය වසා තබන ලෙස අද (30) දිනයේ දී පීඨාධිපතිනියට උපදෙස් දී තිබේ.

එම විද්‍යා පිඨයේ අධ්‍යාපනය ලබන ගුරු සිසු සිසුවියන් 75 කට ආසන්න පිරිසකට ඊයේ (29) දින සිට උණ රෝගය සහ ස්වසන අපහසුතා ඇති විම නිසා කොටගල ප්‍රාදේශිය රෝහලෙන් ප්‍රතිකාර ලබා පිටව ගොස් ඇත.

අද (30) දිනයේ දීත් සියයකට ආසන්න පිරිසක් ප්‍රතිකාර ලැබීමට පැමිණි බවද රෝහල් ආරංචි මාර්ග පවසයි.

එම පිරිස අතරින් පීසක් කොටගල රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබන අතර, අනෙකුත් පිරිස දික්ඔය රජයේ දිස්ත්‍රික් මුලික රෝහල වෙත යොමු කිරිමටද පියවර ගෙන ඇත.

මහජන සෞඛ්‍ය නිලධාරින් විසින් අද (30) දිනයේ දී එම විද්‍යාපීඨයේ නේවාසික ස්ථාන පරික්ෂා කීමටත් විෂබීජ නාශක ඉසමින් ජිවානුහරනය කිරිමට පියවර ගන්නා බවත් පැවසීය.

මේ සම්බන්ධයෙන් ශ්‍රිපාද විද්‍යාපිඨයේ නිලධාරිනියක් පැවසුවේ වෛද්‍ය නිගමනය අනුව උපදෙස් ලබා ගැනිමට ලිපියක් යොමුකර ඇති බවයි ෴

***************************************

බැදුම්කර වෝහාරික වාර්තාව, වංචාව වසන් කරන්න සකස් කළ වාර්ථාවක් – මන්ත්‍රී කංචන විජේසේකර

(29.01.2020 – 21:04 +0530 – hirunews.lk/sinhala)

බැදුම්කර ගනුදෙනු පිළිබඳව සකස් කෙරුණු වෝහාරික විගණන වාර්ථාව පසුගිය ආණ්ඩුවේ බැදුම්කර වංචාව වසන් කර ගැනීම සඳහා සකස් කළ වාර්ථාවක් බව එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී කංචන විජේසේකර මහතා පවසනවා.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු මූලස්ථානයේ අද පැවති ප්‍රවෟත්ති සාකච්ඡාවකදී ඔහු මේ අදහස් පළ කළ අතර ඊට පාර්ලිමේන්තු මන්ත්‍රී ඩී.වී. චානක මහතාද එක්වුණා.

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *