කොරෝනා වෛරසය වැළඳුණු මෙරට පළමු රෝගියා හඳුනාගනී

+++++++++++++++++++++++++++++++++++

= මේ පිටුවේ සිරස්තල =

• කොරෝනා වෛරසය වැළඳුණු මෙරට පළමු රෝගියා හඳුනාගනී (විඩියෝ)

• ශ්‍රී ලංකාවේ පළමු කොරෝනා වෛරස් ආසාධිත රෝගියා වාර්තාවෙයි (විඩියෝ)

• චීනයේ සිටි ලාංකික සිසුන් 50 ක් දිවයිනට

• කොරෝනා මරණ ගණන තවත් ඉහළ යද්දී, වෛරසයට එරෙහිව විශ්මිත සොයාගැනීමක්

• කොරෝනා නිසා මියගිය ගණන තවත් ඉහළ යයි – බීජිං නගරයෙන් පළමු මරණය වාර්තා වෙයි

• චීන ජාතිකයින් සඳහා වීසා නිකුත් කිරීමේදී නව නිර්ණායකයක් (විඩියෝ)

• අද (28) උදෑසන 6 සිට ගුවන්තොටුපොළ පර්යන්තයට ඇතුළුවීම ගුවන් මගීන්ට පමණක් සීමා කරයි

• සුදු වෑන් රියදුරන්ගෙන් CIDයට පැය 5 ක ප්‍රකාශයක් (විඩියෝ)

• MCC ගිවිසුම සම්බන්ධයෙන් මහජන අදහස් විමසයි (විඩියෝ)

• ශානි අබේසේකරට CIDයේ නිළ රථයක් දුන් ඒ.එස්.පී.වරයෙකු ගැන පරීක්ෂණ

• කරන්නාගොඩට සහ දසනායකට එරෙහි නඩු අත්හිටුවන්නැයි දේශපාලන පලිගැනීම ගැන සොයන කොමිසම නීතිපතිට දන්වයි (විඩියෝ)

• අලුතින් හදන ව්‍යවස්ථාව දොලපිදේනි දෙන ව්‍යවස්ථාවක් වෙන්න බෑ – රාජ්‍ය අමාත්‍ය විදුර වික්‍රමනායක (විඩියෝ)

• බැඳුම්කර වංචාව විමර්ශනය කළ යුත්තේ CIDයෙන් – කෙහෙළිය රඹුක්වැල්ල (විඩියෝ)

• ‘විදෙස් කිරි පිටි ගැන රටට ප්‍රකාශයක් කළ යුතුයි’ – සෞඛ්‍ය අධ්‍යක්‍ෂ ජනරාල්වරයාට පාරිභෝගික අයිතීන් සුරකීමේ ජාතික ව්‍යාපාරය අභියෝග කරයි

• ශ්‍රී ලංකා ටෙලිකොම් වේගවත් බ්‍රෝඩ්බෑන්ඩ් සේවාවක් සඳහා 5G තාක්ෂණය සාර්ථකව අත්හදා බලයි

+++++++++++++++++++++++++++++++++++

කොරෝනා වෛරසය වැළඳුණු මෙරට පළමු රෝගියා හඳුනාගනී

(27.01.2020 – 21:02 +0530 – sinhala.adaderana.lk)

මාරාන්තික නව කොරෝනා වෛරසය වැළඳුණු මෙරට පළමු රෝගියා හඳුනාගෙන ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය මීට ටික වේලාවකට පෙර තහවුරු කළේය.

සෞඛ්‍ය අමාත්‍යාංශයේ ප්‍රධාන වසංගත රෝග විද්‍යාඥ විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා අද දෙරණට ප්‍රකාශ කළේ චීනයේ හුබෙයි පළාතේ සිට මෙරටට පැමිණි චීන ජාතික කාන්තාවක් ආසාධිත තත්ත්වයේ අංගොඩ රෝහලට ඇතුළත් කර ඇති බවයි.

ඇයට කොරෝනා වෛරසය වැළඳී ඇති බව සෞඛ්‍ය අංශ තහවුරු කරයි.

+++++++++++++++++++++

ශ්‍රී ලංකාවේ පළමු කොරෝනා වෛරස් ආසාධිත රෝගියා වාර්තාවෙයි

(27.01.2020 – 21:01 +0530 – hirunews.lk/sinhala)

ශ්‍රී ලංකාවෙන් ප්‍රථම කොරෝනා වෛරස් ආසාදිතයා අද (27) හමුවූ බව සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශය පවසනවා.

ආසාදිතයා චීනයේ හුබේ ප්‍රාන්තයේ සිට මෙරටට පැමිණි 43 හැවිරිදි චීන ජාතික කාන්තාවක්.

ඇය මේ වන විට ජාතික බෝවන රෝග විද්‍යාතනයේ නිරෝධායනය කර සිටින බව සෞඛ්‍ය අමාත්‍යංශයේ ප්‍රධාන වසංගත රෝග විද්‍යාඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා පැවසුවා.

රෝගියාගේ ආශ්‍රිතයන්ද වහාම පරික්ෂාවට ලක් කෙරෙනු ඇති.

රෝගය පැතිරීම වැලැක්වීමට ගත යුතු සියලු ක්‍රියාමාර්ග ගනිමින් සිටින බැවින් ජනතාව අනියත බියක් ඇතිකර නොගන්නා ලෙස සෞඛ්‍ය අමාත්‍යංශය අවධාරණය කරනවා ෴

+++++++++++++++++++++

+++++++++++++++++++++

චීනයේ සිටි ලාංකික සිසුන් 50 ක් දිවයිනට

(27.01.2020 – 21:36 +0530 – sinhala.adaderana.lk)

චීනයේ අධ්‍යාපනය ලැබීමට ගොස් සිටි ශ්‍රී ලාංකික සිසුන් 50 දෙනෙකු අද (27) සවස කටුනායක ගුවන් තොටුපළ වෙත චීනයට අයත් ගුවන් යානා දෙකකින් පැමිණි බව ගුවන් තොටුපළ සෞඛ්‍ය වෛද්‍ය ඒකකයේ වෛද්‍ය චන්දික බණ්ඩාර වික්‍රමසූරිය මහතා පැවසීය.

මෙයින් පළමු ගුවන් යානය අද සවස 5.54 ට චීනයේ කුංමිං සිට පැමිණි එම්.යූ. 713 දරන ගුවන් යානයයි.

අනෙක් ගුවන් යානය වූයේ අද සවස 6.34 ට චීනයේ ෂැංහයි සිට කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණි එම්.යූ. 231 දරන ගුවන් යානයයි.

මෙම ගුවන් යානා දෙකම චයිනා ඊස්ටන් ගුවන් සේවයට අයත් ගුවන් යානා වේ.

මෙසේ පැමිණි සිසුන් සියලු දෙනාම යහපත් සෞඛ්‍ය තත්වයෙන් පසු වූ බවත්, ඔවුන් සියලු දෙනා ඔවුන්ගේ නිවෙස් කරා ගිය බවත් වෛද්‍ය චන්දික මහතා වැඩිදුරටත් පැවසීය ෴

+++++++++++++++++++++++++++++++++++

කොරෝනා මරණ ගණන තවත් ඉහළ යද්දී, වෛරසයට එරෙහිව විශ්මිත සොයාගැනීමක්

(28.01.2020 – 07:50 +0530 – hirunews.lk/sinhala)

කෙරෝනා වෛරසය ආසාදනය වීමෙන් චීනයේ මිය ගිය සංඛ්‍යාව 106 දක්වා ඉහළ ගොස් තිබෙනවා.

නවතම විදෙස් වාර්තා සඳහන් කළේ එම වෛරසය ආසාදනය වූ බවට තවත් අලූතින් රෝගීන් 1400 කට ආසන්න ප්‍රමාණයක් තහවුරු වී ඇති බවයි.

ඒ අනුව චීනය පුරා කොරෝනා වෛරසය ආසාදිත රෝගීන් සංඛ්‍යාව 4000 කට අධික වනවා.

හුබෙයි ප්‍රාන්තයේ කොරෝනා වෛරසය ආසාදනය වීමෙන් මේ වන විට පුද්ගල මරණ 24 ක් වාර්තා වී ඇති අතර, 1291 කට අධික ප්‍රමාණයකට වෛරසය ආසාදනය වී තිබෙනවා.

මේ අතර, කොරෝනා වෛරසයෙන් වැළකී සිටීම සඳහා එම වෛරසයට එරෙහිව ක්‍රියා කළ හැකි ප්‍රතිජීවක ඖෂධයක් සොයාගෙන ඇති බව චීන මාධ්‍ය වාර්තා සඳහන් කළේ ෴

+++++++++++++++++++++++++++++++++++

කොරෝනා නිසා මියගිය ගණන තවත් ඉහළ යයි – බීජිං නගරයෙන් පළමු මරණය වාර්තා වෙයි

(28.01.2020 – 06:39 +0530 – hirunews.lk/sinhala)

චීනයේ බීජිං නුවරින් ද කොරෝනා වෛරසය ආසාදනය වීමෙන් ප්‍රථම මරණය වාර්තා වී තිබෙනවා.

මෙතෙක් එම වෛරසය ආසාදනය වී නියුමෝනියා තත්ත්වය ඇති වීමෙන් මරණ බහුතරයක් වාර්තා වූයේ හුබෙයි ප්‍රාන්තයේ වූහාන් නුවරින්.

ෂැංහයි නුවරින් ද එක් මරණයක් වාර්තා වූ අතර බීජිං අගනුවරින් මරණයක් වාර්තා වීම වෛරසය තවදුරටත් පැතිරීමේ අවදානම පිළිබිඹු කරන බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.

චීනය වෛරසය පැතිරීම වැළැක්වීම සඳහා වූහාන් ඇතුළු හුබෙයි ප්‍රාන්තයේ ප්‍රධාන නගර සියල්ලම මුද්‍රා තබා ඇති අතර ඒවායින් කිසිවෙකුට පිටවීමට අවසර ලබාදී නැහැ.

චීන රජය එම පියවර ගෙන ඇත්තේ ශ්‍රී ලංකාව ඇතුළු රටවල් රැසක් වූහාන් නගරයේ සිටින සිය පුරවැසියන් ඉවත් කර ගැනීම සඳහා ඉල්ලීම් කර තිබියදියි.

මේ නිසා මිලියන සංඛ්‍යාත පිරිසක් හුබෙයි ප්‍රාන්තයේ සිර වී සිටින අතර, විදේශිකයන් ද ඒ අතර සිටිනවා.

මේ අතර, ඇමරිකා එක්සත් ජනපදය සඳහන් කළේ සිය පුරවැසියන්ට චීනයේ සංචාරය කිරීම පිළිබදව නැවත සලකා බලන ලෙස ඉල්ලා සිටින බවයි.

විශේෂයෙන් ඔවුන්ට හුබෙයි ප්‍රාන්තයේ සංචාරය කිරීමෙන් වැළකී සිටින ලෙස ඉල්ලීමක් කර තිබෙනවා.

එමෙන්ම, ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් කියා සිටියේ වෛරසය පැතිරීම වැළැක්වීම සඳහා ලබාදිය හැකි ඕනෑම සහයක් චීනයට ලබාදීමට සූදානම් බවයි ෴

+++++++++++++++++++++++++++++++++++

චීන ජාතිකයින් සඳහා වීසා නිකුත් කිරීමේදී නව නිර්ණායකයක්

(28.01.2020 – 06:57 +0530 – hirunews.lk/sinhala)

චීනයේ සිට මෙරටට පැමිණෙන පුද්ගලයින්ට පැමිණීමෙන් පසු වීසා නිකුත් කිරීම වහාම අත්හිටුවා තිබෙනවා.

+++++++++++++++++++++++++++++++++++

අද (28) උදෑසන 6 සිට ගුවන්තොටුපොළ පර්යන්තයට ඇතුළුවීම ගුවන් මගීන්ට පමණක් සීමා කරයි

(28.01.2020 – 06:19 +0530 – hirunews.lk/sinhala)

ගුවන් මගීන් හැර සෙසු පුද්ගලයින්ට ගුවන්තොටුපොළ පර්යන්තයට ඇතුළුවීම අද (28) පෙරවරු හයේ සිට තාවකාලිකව නතරකර තිබෙනවා.

***************************************

සුදු වෑන් රියදුරන්ගෙන් CIDයට පැය 5 ක ප්‍රකාශයක්

(28.01.2020 – 07:42 +0530 – sinhala.adaderana.lk)

සුදු වෑන් මාධ්‍ය හමුවට පෙනී සිටි පුද්ගලයින් දෙදෙනා පැය පහක පමණ කාලයක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ ප්‍රකාශයක් ලබාදීමෙන් අනතුරුව ඊයේ (27) පස්වරුවේ ඉන් පිටව ගොස් තිබේ.

හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතාගෙන් තමන්ට මරණ තර්ජන එල්ල වන බවට පවසමින් ඔවුන් දෙදෙනා ඊයේ (27) දහවල් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණ පැමිණිල්ලක් ඉදිරිපත් කරනු ලැබුවේය.

පසුගිය ජනාධිපතිවරණය සමයේ පැවැත් වූ ආන්දෝලනාත්මක සුදු වෑන් මාධ්‍ය හමුව සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා දීම සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න මහතා ඊයේ (27) දෙවන දිනටත් පෙරවරු 11:30 ට පමණ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණියේය.

මේ අතර සුදුවෑන් මාධ්‍ය හමුවේ සැබෑ තොරතුරු හෙළිනොකරන්නැයි බලකරමින් පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න මහතා තමන්ට මරණ තර්ජන එල්ල කරන බවට සුදුවෑන් රථ රියදුරන් ලෙස මාධ්‍ය හමුවේ පෙනී සිටි පුද්ගලයින් වැඩිදුරටත් පැවසීය.

ඒ, ඊයේ (27) දහවල් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් ඉදිරිපත් කිරීමට පැමිණි අවස්ථාවේදීයි.

+++++++++++++++++++++

***************************************

MCC ගිවිසුම සම්බන්ධයෙන් මහජන අදහස් විමසයි

(28.01.2020 – 06:58 +0530 – sinhala.adaderana.lk)

යෝජිත එම්.සි.සි.ගිවිසුම සම්බන්ධයෙන් මහජන අදහස් විමසීමට එම ගිවිසුම සම්බන්ධයෙන් අධ්‍යයනය කිරීමට පත් කළ විද්වත් කමිටුව තීරණය කර තිබේ.

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ යෝජනාවක් අනුව අමාත්‍ය මණ්ඩලය විසින් මෙම කමිටුව පත් කරනු ලැබුවේය.

ගිවිසුම සම්බන්ධයෙන් එහි අන්තර්ගතය හා එහි තිබිය හැකි බලපෑම් සම්බන්ධයෙන් යම් ආයතනයකට, සංගමයකට හෝ පුද්ගලයෙකුට සිය අදහස් සහ උදහස් තොරතුරු, ඇගයීම් හෝ යෝජනා විද්වත් කමිටුව වෙත ඉදිරිපත් කිරීමේ අවස්ථාව මේ අනුව හිමි වෙයි.

ලබන පෙබරවාරි මස 15 වන දිනට පෙර සභාපති එම්.සි.සි.ගිවිසුම අධ්‍යයනය සදහා වු කමිටුව නෙළුම් පියස අරලියගහ මන්දිරය කොළඹ 03 යන ලිපිනයට තැපැල් මගින් අදහස් දැක්වීමේ අවස්ථාව පවතින අතර mccreview@pmoffice.gov.lk යන විද්‍යුත් ලිපිනයට විද්‍යුත් පණිවිඩයක් මගින් හෝ අදහස් දැක්වීමේ හැකියාව පවතින බවයි අග්‍රාමාත්‍ය කාර්යාලය සඳහන් කළේය.

ඉදිරිපත් කරන අදහස් හා යෝජනා සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු විමසීමේ අවශ්‍යතාවක් ඇතැයි කමිටුව තීරණය කරන්නේ නම් කමිටුව ඉදිරියේ අදහස් දැක්විමේ අවස්ථාවක් ලබාදීමට ද තීරණය කර තිබේ.

එම නිසා අදහස් හා යෝජනා ඉදිරිපත් කරන්නන්ගේ හෝ ආයතනවල සම්බන්ධීකරණ දුරකථන අංක තැපැල් ලිපිනය, විද්‍යුත් ලිපිනය සදහන් කර එවන ලෙස ද කමිටුව ඉල්ලීමක් කර ඇති බවයි අග්‍රාමාත්‍ය කාර්යාලය සඳහන් කළේය.

+++++++++++++++++++++

***************************************

ශානි අබේසේකරට CIDයේ නිළ රථයක් දුන් ඒ.එස්.පී.වරයෙකු ගැන පරීක්ෂණ

(27.01.2020 – 19:28 +0530 – hirunews.lk/sinhala)

අධිකරණ නියෝගයක් මත ප්‍රකාශයක් ලබාදීම සඳහා රහස් පොලීසියට පැමිණි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ශානි අබේසේකරට ඉන් පිටව යාම සඳහා එම දෙපාර්තමේන්තුවේ නිළ රථයක් ලබාදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් විශේෂ විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සේවයේ නියුතු සහකාර පොලිස් අධිකාරීවරයෙකු විසින් මෙලෙස නිළ රථයක් ලබාදී ඇති බවටයි එහි ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙකු හිරු ප්‍රවෘත්ති අංශයට සඳහන් කළේ.

වැඩ තහනමකට ලක්ව සිටින පොලිස් නිලධාරියෙකුට ගමන් කිරීම සඳහා පොලිස් නිළ රථයක් ලබාදීම වැරදි ක්‍රියාවක් බවටයි එම සහකාර පොලිස් අධිකාරීවරයාට චෝදනා එල්ල වී ඇත්තේ.

අධිකරණ නියෝගයක් අනුව ප්‍රකාශයක් ලබාදීම සඳහා ශානි අබේසේකර පසුගිය 23 වන දා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවට කැදවා තිබුණා.

කෙසේ වෙතත්, එම ප්‍රකාශය ලබාදීමෙන් අනතුරුව හිටපු අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ශානි අබේසේකර ඉන් පිටව ගොස් ඇත්තේ පොලිස් නිළ රථයකින් බවටයි අනාවරණ වී ඇත්තේ ෴

***************************************

කරන්නාගොඩට සහ දසනායකට එරෙහි නඩු අත්හිටුවන්නැයි දේශපාලන පලිගැනීම ගැන සොයන කොමිසම නීතිපතිට දන්වයි

(27.01.2020 – 15:02 +0530 – hirunews.lk/sinhala)

විමර්ශන අවසන් වන තුරු වසන්ත කරන්නාගොඩ මහතාට සහ ඩී.කේ.පී දසනායක මහතාට එරෙහි නඩු අත්හිටුවන්නැයි, දේශපාලන පලිගැනීම ගැන සොයන ජනාධිපති කොමිසම නීතිපතිට දන්වා තිබෙනවා.

***************************************

අලුතින් හදන ව්‍යවස්ථාව දොලපිදේනි දෙන ව්‍යවස්ථාවක් වෙන්න බෑ – රාජ්‍ය අමාත්‍ය විදුර වික්‍රමනායක

(28.01.2020 – 09:20 +0530 – sinhala.adaderana.lk)

විදේශ රටවලින් කුමන බලපෑම් පැමිණියත් වෙනත් රටක ව්‍යවස්ථාවක පිටපතක් නොවන ව්‍යවස්ථාවක් නිර්මාණය කළ යුතු බව රාජ්‍ය අමාත්‍ය විදුර වික්‍රමනායක මහතා පවසයි.

ඔහු මේ බව සඳහන් කළේ හොරණ මදුරාවල ප්‍රදේශයේ ඊයේ (27) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින්ය.

එහිදී වැඩිදුරටත අදහස් දක්වමින් රාජ්‍ය අමාත්‍ය විදුර වික්‍රමනායක මහතා මෙසේ පැවසීය.

“අපේ රටේ තිබෙන්නා වූ ව්‍යවස්ථාව හැල්ලූවෙච්ච, බාල්දු වෙච්ච, දියාරු වෙච්ච ව්‍යවස්ථාවක්. දැන්වත් අපි සියලුදෙනාම එකට එකතුවෙලා අලුත් ව්‍යවස්ථාවක් මේ රටට හදන්නට ඕනේ.

හැබැයි මේ අලුත් ව්‍යවස්ථාව හදනකොට කල්ලි කණ්ඩායම්වලට අවශ්‍ය ආකරයට දොලපිදේනි දෙන ව්‍යවස්ථාවක් නොවිය යුතුයි.

ජාතීන් වෙන්නට පුළුවන්, ආගම් වෙන්නට පුළුවන්, අපි පිළිගන්නට වෙනවා අපේ රටේ කාලයක් තිස්සේම මුල්බැසගත්ත දේවල් සිංහලකම වේවා, බෞද්ධකම වේවා, ඒවාට ගෞරවයක් දෙමින් ඒවාගේ අනේකුත් ජාතීන් සහ ආගම් පාගන්නේ නැති හෙළාදකිනේ නැති, කොන් කරන්නේ නැති, වැඩපිළිවලකට අපි යන්නට ඕනේ.

එකතුවක් තුළ පමණයි අලුත් රටක් ගොඩනගන්නට පුළුවන් වෙන්නේ. මේ ව්‍යවස්ථාව වෙනත් රටක ව්‍යවස්ථාවක අනුපිටපතක් නොවිය යුතුයි.”

***************************************

බැඳුම්කර වංචාව විමර්ශනය කළ යුත්තේ CIDයෙන් – කෙහෙළිය රඹුක්වැල්ල

(28.01.2020 – 08:55 +0530 – sinhala.adaderana.lk)

බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් විමර්ශන සිදුකළ යුත්තේ අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව බව රාජ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පවසයි.

ඔහු පෙන්වා දෙන්නේ මහබැංකු වෝහාරික වාර්තාවෙන් මහබැංකු බැදුම්කර සිද්ධිය සම්බන්ධයෙන් නිවැරදි තොරතුරු අනාවරණ කරගත නොහැකි බවයි.

මහනුවරදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මේ බව සඳහන් කළේය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වු ඒ මහතා පවසා සිටියේ, බැඳුම්කරයට පිටිපන කොමිසම යනුවෙන් සිරිකොත සිටිය නිතීඥයින්ගේ එකතුවක් සකස් කර ගත් බවයි.

එයින් රටේ ජනතාව මුලා කිරීමට උත්සහ කළ බවත් පැවසු ඒ මහතා, පසුව කෝප් කමිටුව තුළින් ද ජනතාව නොමඟ යැවීමට කටයුතු කළ බවත් කියා සිටියේය.

රටේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හා එවැනි අනෙකුත් ආයතන තුළින් මේ සිදු කර ඇති අපරාධ සෝදිසි කළ යුතු බව තම යෝජනා කරන බවද රඹුක්වැල්ල මහතා පවසයි.

වෝහාරික විගණන වාර්තාව සිදු කරනු ලබන්නේ ද හොරකම් සිදු කළ අයගෙන් බව පවසන අමාත්‍යවරයා, ඒ සම්බන්ධයෙන් ක්‍රියාමාර්ග ගත යුතු ආයතන තුළින් එය විසඳා ගත යුතු බවද ඒ මහතා කියා සිටියේය.

***************************************

‘විදෙස් කිරි පිටි ගැන රටට ප්‍රකාශයක් කළ යුතුයි’ – සෞඛ්‍ය අධ්‍යක්‍ෂ ජනරාල්වරයාට පාරිභෝගික අයිතීන් සුරකීමේ ජාතික ව්‍යාපාරය අභියෝග කරයි

(28.01.2020 – 07:16 +0530 – lankaleadnews.com)

දෙස් විදෙස් කිරිපිටි පරිභෝජනයට සුදුසු ද නුසුදුසුද යන්න සොයා බලා වහාම වාර්තාවක් ලබාදෙන ලෙස පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය රජයෙන් ඉල්ලීමක් කරයි.

ආනයනික කිරිපිටි භාවිතය නිසා ලෙඩ රෝග 21 ක් වැළඳෙන බවට ප‍්‍රකාශ කරන බවත්, එය සත්‍ය ද අසත්‍ය ද යන්න සෞඛ්‍ය අධ්‍යක්‍ෂ ජනරාල්වරයා රටට ප‍්‍රකාශයක් නිකුත් කළ යුතු බවත් පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරයේ සභාපති රංජිත් විතානගේ මහතා ඊයේ (27 වැනිදා) බොරැල්ල එන්. එම්. පෙරේරා මධ්‍යස්ථානයේ පැවති මාධ්‍ය හමුවකදී කීවේය.

එසේම පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය මගින් පත් කළ කමිටුව මගින් නිකුත් කළ ශ‍්‍රී ලංකාවට ආනයනය කරන කිරිපිටිවල ප‍්‍රමිතිය සම්බන්ධයෙන් පැන නැඟී ඇති ගැටලු පිළිබඳ අතුරු වාර්තාවට අනුව එම කිරිපිටි භාවිතට සුදුසු බව නිර්දේශ කර තිබෙන බවත් හෙතෙම පැවසීය.

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සහ අදාළ අතුරු වාර්තාව ආනයනික කිරිපිටි සම්බන්ධයෙන් මත දෙකක් දරන බවත්, එම නිසා ආනයනික කිරිපිටි මෙන්ම දේශීය කිරිපිටි සම්බන්ධයෙන් ද විධිමත් ලෙස ලෙස සායා බලා වහාම වාර්තාවක් රටට ලබාදෙන ලෙසට රජයෙන් ඉල්ලා සිටින බවත් රංජිත් විතානගේ මහතා සඳහන් කළේය.

මේ වන විට ශ‍්‍රී ලංකාවට ආනයනය කරන කිරිපිටිවල ප‍්‍රමිතිය සම්බන්ධයෙන් පැන නැඟී ඇති ගැටලූ පිළිබඳ අතුරු වාර්තාව පාර්ලිමේන්තුවේ තිබෙන බවත්, එම වාර්තාව තවදුරටත් පාර්ලිමේන්තුවේ සඟවා තබන්නේ නැතිව විවාදයට ගන්නා ලෙසත් මැති ඇමැතිවරුන්ගෙන් ඉල්ලා සිටින බවත් ඒ මහතා පෙන්වා දුන්නේය.

කිරිපිටි භාවිතයට නුසුදුසු නම් ඒ සඳහා විකල්පයෙන් රජයෙන් බලාපොරොත්තු වන බවත්, දැන දැනම විස සහිත කිරිපිටි භාවිතයට ඉඩදීම බරපතල දඬුවම් ලැබිය හැකි වරදක් බවත් රංජිත් විතානගේ මහතා වැඩිදුරටත් සඳහන් කළේය ෴

***************************************

ශ්‍රී ලංකා ටෙලිකොම් වේගවත් බ්‍රෝඩ්බෑන්ඩ් සේවාවක් සඳහා 5G තාක්ෂණය සාර්ථකව අත්හදා බලයි

(27.11.2019 – biz.adaderana.lk)

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම ඩිජිටල් සේවා සැපයුම්කරු වන ශ්‍රී ලංකා ටෙලිකොම් සමාගම තම ඩිජිටල් සන්නිවේදන ගමන්මඟේ නවතම සන්ධිස්ථානයකට පැමිණ තිබේ. ඒ, ස්ථාවර රැහැන් රහිතව 5G බ්‍රෝඩ්බෑන්ඩ් පහසුකම ශ්‍රී ලාංකිකයන්ට සැපයීමයි.

ගෘහස්ථ පාරිභෝගිකයාගේ සිට රාජ්‍ය ආයතන, බහු ජාතික සමාගම් ඇතුළුව සෑම තරාතිරමකම ආයතන හා නිවාස වෙත නවීන සන්නිවේදන පහසුකම් ලබාදෙමින් මිලියන 1.6 කට වැඩි පාරිභෝගික ප්‍රජාවකට සේවා සපයන, වසර 160 ට වැඩි කාලයක් ජාතියේ සන්නිවේදකයා වූ ශ්‍රී ලංකා ටෙලිකොම් සමාගම, විශ්වාසකරනු ලබන්නේ නවීන හා උසස් තාක්‍ෂණික විධික්‍රම භාවිත කරමින් සෑම තැනකටම අතිශය වේගවත් ජාලයන් හිමිවියයුතු බවයි. ඒ අනුව, ශ්‍රී ලංකා ටෙලිකොම් සමාගම 5G තාක්ෂණයෙන් වේගවත් බ්‍රෝඩ්බෑන්ඩ් සේවාවක් තම පාරිභෝගික ජනතාව වෙත පිරිනැමීම සඳහා මේවනවිට සියළු අත්හදා බැලීම් සිදුකොට අවසන්ය.

වේගවත් හා අඛණ්ඩ වීඩියෝ සේවා ලබා ගැනීමට ගෘහස්ථ පාරිභෝගිකයින් පවා උනන්දු වන අතර ඔවුන්ගේ දුරකථන, ලැප්ටොප්, ටැබ්ලට් සහ වෙනත් ස්මාර්ට් උපාංග සඳහා අන්තර්ජාල පහසුකම අවශ්‍ය වේ. එම ඉල්ලීම ඉතා විශිෂ්ඨ ලෙස සපුරාලීමට 5G සේවාවත් සමග අවස්ථාව උදාවේ. රැහැන් රහිත අධිවේගී 5G බ්‍රෝඩ්බෑන්ඩ් සේවාව නිවාසවලට මෙන්ම ව්‍යාපාරවලටද ඉතාමත් ආකර්ශනීය සේවාවක් වනු ඇත.

අත්හදා බැලීමේදී 5G බ්‍රෝඩ්බෑන්ඩ් සේවාව 1.7 Gbps වේගයක් වාර්තා කර තිබේ. අත්හදා බැලීම අති සාර්ථකව අවසන්කොට ඇති නව 5G සේවාව ශ්‍රී ලංකාවේ මහා පරිමාණ ව්‍යාපාරිකයින්හට මෙන්ම කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින්ටද මේ වනවිට තම ව්‍යාපාර නවීන ලෝකයට හා පාරිභෝගික අවශ්‍යතාවයන්ට ගැලපෙන ලෙස පවත්වාගෙන යාම සඳහා අධිවේගී අන්තර්ජාල සේවාව අත්‍යවශ්‍ය වන බැවින්, එම ව්‍යාපාර නංවාලීමට SLT 5G සේවාව මහඟු අවස්ථාවක් වනු ඇති බව ශ්‍රී ලංකා ටෙලිකොම් සමාගම විශ්වාසය පලකරයි. බැංකු කටයුතු, මදුල් අයකර ගැනීම් සහ ගෙවීම් වැනි මුල්‍ය කටයුතු සඳහා කාලය හා ශ්‍රමය වැය නොකොට, තම ගනු දෙනු වේගවත්ව අධිවේගී අන්තර්ජාල සේවාව මගින් පහසු කරගැනීමටද ඔවුනට අවස්ථාව හිමිවේ. මේ කටයුතු සපුරාගැනීම සඳහා ඇති හොඳම විසඳුම නවතම SLT 5G බ්‍රෝඩ්බෑන්ඩ් සේවාව වන බව අපගේ විශ්වාසයයි.

විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ (TRCSL) අධීක්ෂණය මත කරන ලද අත්හදා බැලීම්වලදී 3.5 Ghz සංඛ්‍යාත පරාසය තුළ ස්ථාවර 5G සේවාවන් ඉතාමත් විශ්ෂ්ඨ අයුරින් ලබා දීමේ හැකියාව ශ්‍රී ලංකා ටෙලිකොම් සමාගම තහවුරු කරගනු ලැබීය. මේ අනුව, දිනෙන් දින අත්‍යාවශ්‍ය සේවාවක් බවට තීව්‍ර වෙමින් පවතින ඩිජිටල් තාක්ෂණික පහසුකම ශ්‍රී ලංකාවට උසස් මට්ටමින් ලබාදීම 5G තාක්‍ෂණය බලගැන්වීමේ අපේක්ෂාව වේ. කරනලද සාර්ථක අත්හදා බැලීම හමුවේ ඉතා වේගවත්, උසස් හා පුළුල් ඩිජිටල් සේවාවක් තම පාරිභෝගික ජනතාව වෙත ලබාදීම ශ්‍රී ලංකා ටෙලිකොම් සමාගමේ බලාපොරොත්තුව වේ.

දැනට පවතින බ්‍රෝඩ්බෑන්ඩ් සබඳතා ඔස්සේ එකවර උපාංග කිහිපයකට සම්බන්ධතාවය ලබාදීමේදී ඇතිවන අන්තර්ජාලයේ වේගය අඩුවීමේ දෝශයට නව SLT 5G සේවාව නිසි පිළියමක් වනු ඇත. රැහැන් රහිත සබඳතාවයක් ලෙස අති නවීනතම තාක්ෂණයෙන් ඔබ වෙත ලබාදෙන මෙම 5G සේවාව විශ්වසනීයත්වය සහ ඉහළ උපයෝගීතාවයක් ලබාදෙන නවීන ලෝකයේ සෑම පාරිභෝගිකයකුගේම ගෞරවනීය ප්‍රශංසාව හිමිවූවකි.

ශ්‍රී ලංකාවේ ජාතික තොරතුරු හා සන්නිවේදන ප්‍රමුකයා වන ශ්‍රී ලංකා ටෙලිකොම් සමාගම (SLT) විසින් සපයනු ලබන මෙම 5G සේවාව මගින් වේගය අඩුවකින් තොරව හෝ ප්‍රමාදයන් නොවී ඔබ කැමති තරම් බාගතකර ගැනීමේ සහ නැරඹීමේ පහසුකමද හිමිවේ.

ඔබ කැමති විටක ඔබ කැමති තැනකට කිසිදු අපහසුතාවටකින් තොරව රැගෙන යාමට හැකි රැහැන් රහිත අධිවේදී මෙම සබඳතාව නොදුරේදීම ඔබ වෙත ලබා දීමට ශ්‍රී ලංකා ටෙලිකොම් සමාගමේ අපේක්ෂාව වේ ෴

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *