කොරෝනා වෛරසය පැතිරීම වැළැක්වීමට පත්කළ කමිටුව අද (27) රැස්වෙයි

+++++++++++++++++++++++++++++++++++

= මේ පිටුවේ සිරස්තල =

• කොරෝනා වෛරසය පැතිරීම වැළැක්වීමට පත්කළ කමිටුව අද (27) රැස්වෙයි (විඩියෝ)

• කොරෝනා පරීක්ෂණවලදී රසායනාගාර සේවකයින් අනාරක්ෂිතයි

• කොරෝනා තවදුරටත් ව්‍යාප්ත වෙයි – මරණ 80 ක්, 324 කට බරපතලයි – චීන අගමැති වූහාන්හි සංචාරයක

• උගත්තු කියන්නේ හොඳ මිනිස්සු කියලා හිතන්න එපා – උදය ගම්මන්පිල (විඩියෝ)

• රටේ සදාචාරයට ජනපති අත ගැසිය යුතුයි – පූජ්‍ය කොටුගොඩ ධම්මාවාස හිමි (විඩියෝ)

• චීනයේ සිට මෙරට එන ගුවන් මගීන් වෙනම පර්යන්තයකින් රට ඇතුළට (විඩියෝ)

• ආර්ථිකව වැදගත් සියලු ආයතන සඳහා සභාපතිවරු පත්කර අවසන් – ආචාර්ය නාලක ගොඩහේවා (විඩියෝ)

• අතුරුදන් පියා සොයාදෙන ලෙස වෛද්‍ය පුතා ඉල්ලයි

• මහ මැතිවරණයෙන් 2/3 ක බහුතරයක් හිමිවන බව ජී.එල්. කියයි (විඩියෝ)

• ලිඳුල ගින්නකින් වෙළඳසැල් 02 ක්, නිවසක් සහ ලොරි රථයකට හානි (විඩියෝ)

• එන්.ජී.ඕ.වලට අවශ්‍ය ආකාරයට මෙරට අධ්‍යාපන ප්‍රතිසංස්කරණ කිරීමට ඉඩ ලබානොදිය යුතුයි – මැදගොඩ අභයතිස්ස හිමි (විඩියෝ)

• පසුගිය රජයේ සැලසුම්සහගත උත්සාහයක් ගැන අස්ගිරි ලේඛකාධිකාරී හිමියන් කියයි (විඩියෝ)

• ඝාතන කුමන්ත්‍රණයක් ගැන, මාගල්කන්දේ හිමියන්ගෙන් පැමිණිල්ලක් (විඩියෝ)

• බස් රථයක ප්‍රවේශ පත්‍ර නිකුත්කරන යන්ත්‍රය සොරා ගත් හැටි ආරක්ෂිත කැමරාවක සටහන් වෙයි (විඩියෝ)

• රියදුරු බලපත්‍ර සඳහා වෛද්‍ය සහතිකවලට දින වෙන් කිරීම හෙට සිට ඔන්ලයින් ක්‍රමයට

• නීතිපති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව හමුවට (විඩියෝ)

+++++++++++++++++++++++++++++++++++

කොරෝනා වෛරසය පැතිරීම වැළැක්වීමට පත්කළ කමිටුව අද (27) රැස්වෙයි

(27.01.2020 – 06:46 +0530 – sinhala.adaderana.lk)

කොරෝනා වෛරසය පැතිරීම වැලැක්වීම සඳහා ජනාධිපතිවරයාගේ උපදෙස් මත පත් කරන ලද ජාතික ක්‍රියාකාරී කමිටුව අද (27) රැස්වීමට නියමිතයි.

අද (27) පස්වරු 05:00 ට සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මියගේ ප්‍රධානත්වයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශයේ දී මෙම රැස්වීම පැවැත්වෙන බව එම අමාත්‍යාංශය සඳහන් කළේය.

මෙහිදී වෛරසය පිළිබඳව ගතයුතු ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳව සහ ක්‍රියාත්මක කළ යුතු ආරක්ෂක වැඩපිළිවෙල පිලිබඳව ද සාකච්ඡා කෙරෙනු ඇති.

මෙරට තුළ කොරෝනා වෛරසය පැතිරීම වැළැක්වීම සඳහා ජාතික ක්‍රියාකාරී කමිටුවක් පත්කරන ලෙසට ජනාධිපතිවරයා සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මියට උපදෙස් ලබා දී තිබුණි.

ඒ අනුව අමාත්‍යවරිය විසින් 22 දෙනෙකුගෙන් යුත් කමිටුවක් මේ සඳහා පත්කළ අතර එහි පළමු රැස්වීම අද පැවැත්වීමට නියමිතයි.

මෙම කමිටුවේ සාමාජිකයින් ලෙස ජනාධිපති අතිරේක ලේකම් රියර් අද්මිරාල් ජයනාත් කොළඹගේ, සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම් භද්‍රාණි ජයවර්ධන, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ, ගුවන් තොටුපල සමාගමේ සභාපති විශ්‍රාමික ජනරාල් ජේ.චන්ද්‍රසිරි, ආගමන විගමන පාලකවරයා ඇතුළු පිරිසක් නම් කර තිබේ.

මෙම කමිටුවට උපදෙස් ලබාදීම සඳහා තාක්ෂණික වැඩපිළිවෙලක් සකස් කිරීමට සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක් අද (27) පෙරවරු 11:00 ට සෞඛ්‍ය අමාත්‍යාංශයේ දී පැවැත්වීමට නියමිතයි.

මේ අතර කොරෝනා වෛරසය ආසාදිත වී ඇති බවට සැකකෙරෙන තවත් විදේශිකයන් දෙදෙනෙකු අංගොඩ අයි.ඩී. එච් උණ රෝහල වෙත ඇතුළත් කර තිබේ.

ඊයේ (26) පස්වරුවේ මොවුන් දෙදෙනා ක්වාලාලම්පුර් සිට පැමිණි යු.එල් 315 දරන ගුවන් යානයෙන් දිවයිනට පැමිණ ඇති බව සඳහන් වෙයි.

47 හැවිරිදි ඉන්දුනීසියානු ජාතිකයෙකු සහ 37 හැවිරිදි පාකිස්ථාන ජාතිකයෙකු මෙලෙස රෝහල වෙත ඇතුළත් කර තිබේ.

+++++++++++++++++++++

+++++++++++++++++++++

කොරෝනා පරීක්ෂණවලදී රසායනාගාර සේවකයින් අනාරක්ෂිතයි

(27.01.2020 – 12:48 +0530 – hirunews.lk/sinhala)

කොරෝනා වෛරසය සම්බන්ධයෙන් පරීක්ෂණ සිදු කිරීමේදී රසායනාගාර සේවකයින් දැඩි අනාරක්ෂිතතාවට පත්ව ඇති බව සෞඛ්‍ය වෘත්තියවේදීන්ගේ විද්වත් කමිටුව පවසනවා.

එහි සභාපති රවි කුමුදේශ් මහතා සඳහන් කළේ ඔවුන්ට අවශ්‍ය ශරීර ආවරණය කෙරෙන ඇඳුම් කට්ටල පවා නොමැතිව පරීක්ෂණ සිදුකරන නිසා මෙම තත්ත්වය උද්ගතව ඇති බවයි.

කොරෝනා වෛරසය හඳුනාගැනීම සඳහා පරීක්ෂණ සිදුකිරිමට පහසුකම් තිබුණද රෝගියෙකු වාර්තාවුවහොත් ඉදිරි පරීක්ෂණ සිදුකිරීම සඳහා පහසුකම් මෙරට තුළ නොමැති බවද ඔහු මෙහිදී ප්‍රකාශ කළා ෴

+++++++++++++++++++++

කොරෝනා තවදුරටත් ව්‍යාප්ත වෙයි – මරණ 80 ක්, 324 කට බරපතලයි – චීන අගමැති වූහාන්හි සංචාරයක

(27.01.2020 – 13:05 +0530 – hirunews.lk/sinhala)

කොරෝනා වෛරසය තවදුරටත් චීනය තුල ව්‍යාප්ත වෙමින් පවතින බවට විදෙස් වාර්තා ප්‍රකාශ කළා.

කෙසේ වෙතත් වෛරසය දරුණු ලෙස පැතිර යන වූහාන් නගරයට අද (27) චීන අග්‍රාමාත්‍ය ලී කෙකියෑන් මහතා ගොස් තිබෙනවා.

මුඛ ආවරණ පැළඳ ආරක්ෂිත නිල් පැහැති ප්ලාස්ටික් ඇඳුම් කට්ටලයකින් සැරසී චීන අග්‍රාමාත්‍යවරයා වූහාන් වෙත ගොස් සිටින බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ.

ඔහු කොරෝනා වෛරසය ආසාදිත රෝගින්ද හමුවී ඔවුන්ගේ සුවදුක් විමසීමට නියමිතයි.

වෛරසය ව්‍යාප්තිය මර්දනය සඳහා අග්‍රාමාත්‍යවරයා ක්‍රියාකාරී කමිටුවක්ද පත් කර තිබෙනවා.

විදෙස් වාර්තා තවදුරටත් සඳහන් කළේ වූහාන් නගරයේ පමණක් මිලියන 11 ක ජනතාවක් නිරෝධායන තත්ත්වයේ පසුවන බවයි.

කොරෝනා වෛරසයෙන් මේ වනවිට චීනයේ පුද්ගලයන් 80 දෙනෙකු මියගොස් ඇති අතර, තවත් 2744 ක වැඩි පිරිසකට වෛරසය ආසාදනය වී තිබෙනවා.

ඉන් 324 කගේ තත්ත්වය බරපතල බවයි විදෙස් වාර්තා පෙන්වා දෙන්නේ.

මියගිය අයගෙන් වැඩි පිරිසක් වැඩිහිටි පුද්ගලයන් සහ පූර්ව ශ්වසන ආබාධ සහිත වූවන් බවයි අනාවරණය වී ඇත්තේ.

තායිලන්තය, ඇමරිකාව, ඕස්ට්‍රේලියාව, දකුණු කොරියාව, සිංගප්පූරුව ඇතුළු විදෙස් රටවල් රැසකින් කොරෝනා වෛරසය වැලදී ඇති බවට තහවුරු වූ සිද්ධීන් 42 ක් වාර්තා වී තිබෙනවා.

දකුණු කොරියාවේ කොරෝනා ආසාධිත වූ බවට තහවුරු වූ පුද්ගලයන් 04 දෙනෙකු සිටින බව එරට වාර්තා අද අනාවරණය කළා.

මේ අතර කොරෝනා වෛරසයේ පූර්ව රෝග ලක්ෂණ පහළවීමට පෙර පුද්ගලයෙකුගෙන් තවත් පුද්ගලයෙකුට වෛරසය බෝවන බවටයි චීන නිලධාරීන් අනාවරණ කර ඇත්තේ.

මේ හේතුවෙන් වෛරසය පැතිරයාමේ අවදානම ඉහළ බවයි ඔවුන් කියා සිටියේ.

එමෙන්ම චීනයේ කොරෝනා වෛරසය පවතින නගරවලට පනවා ඇති සංචාරක තහනම තවදුරටත් දීර්ඝ කර තිබෙනවා.

විදෙස් වාර්තා සඳහන් කළේ ලූනා නව වසර වෙනුවෙන් ලබාදී තිබූ නිවාඩු කාලයද දීර්ඝ කිරීමට එරට බලධාරින් පියවර ගෙන ඇති බවයි.

පවතින තත්ත්වය හමුවේ චීනයේ පැවැත්විමට නියමිතව තිබූ ජාත්‍යන්තර තරඟ දෙකක සත්කාරකත්වය චීනයට අහිමිවී තිබෙනවා.

පෙබරවාරි මාසයේ පැවැත්වීමට නියමිත වූ ආසියානු ගෘහස්ථ මළල ක්‍රීඩා තරඟයේ සහ මාර්තු මස 13 සිට 15 දක්වා පැවැත්වීමට නියමිතව තිබූ ලෝක ගෘහස්ථ මළල ක්‍රීඩා තරඟයේ සත්කාරකත්වයයි මෙලෙස අහිමිවී ඇත්තේ.

මේ අතර කොරෝනා වෛරසය මර්දනයට චීනය, යුආන් බිලියන 11.21 ක මුදලක් වෙන් කර ඇති බව එරට මුදල් අමාත්‍යාංශය ප්‍රකාශ කළා.

වෛද්‍ය ප්‍රතිකාර, වෛද්‍ය උපකරණ හා වසංගත පාලන ද්‍රව්‍ය ප්‍රසම්පාදනය සඳහා එම මුදල් යොදවා ඇති බව සඳහන් ෴

***************************************

උගත්තු කියන්නේ හොඳ මිනිස්සු කියලා හිතන්න එපා – උදය ගම්මන්පිල

(27.01.2020 – 09:24 +0530 – sinhala.adaderana.lk)

ඉදිරි මහමැතිවරණයේදී, පාර්ලිමේන්තුවට ගැලපෙන සුදුසු පුද්ගලයන් පමණක් තෝරාපත් කර ගැනීම ජනතාව සතු වගකිමක් බව පිවිතුරු හෙළ උරුමයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා පවසයි.

කළුතර ප්‍රදේශයේ පැවති ජනහමුවක් අමතමින් මන්ත්‍රීවරයා මේබව සඳහන් කළේය.

‘බක්මහ අකුණු’ ළඟදීම එන බවත් පැවසු ගම්මන්පිල මහතා, එවැනි තත්ත්වයක් මත පාර්ලිමේන්තුවට අකුණක් ගසා 225 දෙනාම මිය යා යුතු බවට ඇතැම් පිරිස් මුහුණු පොත තුළින් අදහස් දක්වන බවත් පැවසීය.

ළඟ දී පාර්ලිමේන්තු සංකීර්ණය අසල දියවන්නාවෙන් කිඹුලෙක් මතු වී ඇති බවට පුවතක් වාර්තා වු බවත් පැවසු ගම්මන්පිල මහතා, එයද මුහුණු පොතේ ‘පාර්ලිමේන්තුවේ 225 දෙනාම කිඹුලා කන්න ඕන’ යනුවෙන් පළ වු බව කියා සිටියේය.

225 දෙනා අතර කිසිවෙකු පැරෂුට්වලින් පාර්ලිමේන්තුවට පැමිණ නැතැයි ද පැවසු ඒ මහතා, අවම වශයෙන් 225 න් 196 මහජනතාව විසින් තෝරා පත් කර ගෙන ඇතැයි ද පැවසීය.

අනෙක් අය පක්ෂවලට ලද ඡන්ද අනුව ජාතික ලැයිස්තුවෙන් පත් කළ අය බවද පැවසු ඒ මහතා, එසේ නම් හොරුන්ට ඡන්දය දී ‘හොරකම් කරනවා’ යනුවෙන් කෑ ගැසීමෙන් හෝ පිස්සන්ට ඡන්දය දී ‘ඌ පිස්සු කෙලිනවා’ යනුවෙන් කෑ ගැසීමෙන් ඵලක් නොවන බවත් කියා සිටියේය.

ගෝඨාභය මහතාගේ දැක්ම ක්‍රියාත්මක කිරීම සඳහා රටට ආදරය කරන මිනිසුන් හා දක්ෂ මිනිසුන් පත් කළ ගත යුතු බවත් ගම්මන්පිල මහතා පැවසීය.

රනිල් වික්‍රමසිංහ බැඳුම්කර වංචාවට චෝදනා ලැබුවෙක් වුවත් ඔහු නීතිඥයෙක් බවත්, රවී කරුණානායක මහතා ගණකාධිකාරිවරයෙක් බවත්, අර්ජුන් මහේන්ද්‍රන් යනු ලෝකය පිළිගත් ඉහළ බැංකු නිලධාරීයෙක් බවත් කියා සිටි ගම්මන්පිල මහතා ඒ නිසාවෙන් උගතුන් සෑම විටම හොඳ අය බවට සිතිය නොහැකි බවත් කියා සිටියේය.

නූගත් මිනිහෙක් හොරකමක් කළ විට එහි බලපෑම ඉතා සුළු එකක් වුවත් උගතුන් එවැනි දෙයක් සිදු කළහොත් එහි බලපෑම පරම්පරා ගණනාවක් බලපානු ඇතැයි ද ඒ මහතා පැවසීය.

***************************************

රටේ සදාචාරයට ජනපති අත ගැසිය යුතුයි – පූජ්‍ය කොටුගොඩ ධම්මාවාස හිමි

(27.01.2020 – 09:00 +0530 – sinhala.adaderana.lk)

රටේ සදාචාරය ආරක්ෂා කිරීම වෙනුවෙන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හට මහසංඝරත්නයේ සහය නිරන්තරයෙන් ලබා දෙන බව අමරපුර මහා නිකායේ උත්තරීතර මහානායක අග්ගමහා පණ්ඩිත අතිපූජ්‍ය කොටුගොඩ ධම්මාවාස මහානායක හිමියන් පවසයි.

උන්වහන්සේ සිය ජන්ම දිනය වෙනුවෙන් පැවති උත්සවයේදී මේ අදහස් පළ කළේය.

ඊයේට (26) යෙදී ඇති උන්වහන්සේගේ ජන්ම දිනය නිමිත්තෙන් ගල්කිස්ස ධර්මපාලාරාම විහාරස්ථානය වෙතගිය ජනාධිපතිවරයා නායක හිමිපාණන් වහන්සේ බැහැ දැක සුවදුක් විමසීය.

අනතුරුව උන්වහන්සේ වෙත නිදුක් නිරෝගි සුවය ප්‍රාර්ථනා කරමින් ජන්ම දින සුබපැතුම් පිරිනැමීය.

එහිදී අදහස් දැක්වු අග්ගමහා පණ්ඩිත අතිපූජ්‍ය කොටුගොඩ ධම්මාවාස මහානායක හිමියන් පවසා සිටියේ, රටේ පවතින අපරාධ නවතා දමා සදාචාරයට ජනපතිවරයා අත ගැසිය යුතු බවයි.

මහා සංඝයා වශයෙන් මෙන්ම රටේ සිටින අනන්‍ය ආගමික පූජකවරුන් සියලු දෙනාගේ ආශිර්වාදය ජනපතිවරයාට ඒ සඳහා හිමිවන බවත් උන්වහන්සේ පැවසීය.

***************************************

චීනයේ සිට මෙරට එන ගුවන් මගීන් වෙනම පර්යන්තයකින් රට ඇතුළට

(27.01.2020 – 12:09 +0530 – sinhala.adaderana.lk)

චීනයේ සිට මෙරටට පැමිණෙන පිරිස් වෙනුවෙන් කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපලේ වෙනම මගී පර්යන්තයක් වෙන් කිරිමට ගුවන්තොටුපළ බලධාරින් කටයුතු කර තිබේ.

මේ අතර, කොරෝනා වෛරසය ආසාදිත වී ඇති බවට මතු වූ සැකය මත අංගොඩ ජාතික බෝවන රෝග විද්‍යායතනය (IDH) වෙත ඇතුළත් කළ රෝගීන් සිව්දෙනාට එම වෛරසය ආසාදනය වී නොමැති බවට සිදුකළ පරීක්ෂණවල දී හෙළි වී තිබේ.

මේ අතර කොරෝනා වෛරසය පැතිරීම වැලැක්වීම සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ උපදෙස් මත පත් කරන ලද සාමාජිකයින් 22 දෙනෙකුගේ සමන්විත ජාතික ක්‍රියාකාරී කමිටුව අද (27) පස්වරුවේ රැස්වීමට නියමිතයි.

කමිටුවේ සාමාජිකයින් ලෙස ජනාධිපති අතිරේක ලේකම් රියර් අද්මිරාල් ජයනාත් කොළඹගේ, සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම් භද්‍රාණි ජයවර්ධන, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ, ගුවන් තොටුපල සමාගමේ සභාපති විශ්‍රාමික ජෙනරාල් ජේ.චන්ද්‍රසිරි, ආගමන විගමන පාලකවරයා ඇතුළු පිරිසක් නම් කර තිබේ.

මෙහිදී වෛරසය පිළිබඳව ගතයුතු ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳව සහ ක්‍රියාත්මක කළ යුතු ආරක්ෂක වැඩපිළිවෙල පිළිබඳව සාකච්ඡා කෙරෙනු ඇති.

මේ අතර මෙම වෛරස් රෝගී තත්වය හේතුවෙන් චීනයේ ඉගෙනුම ලබන ශ්‍රී ලාංකික සිසුන්ට මෙරටට පැමිණීම සඳහා විශේෂ වැඩසටහනක් ක්‍රියාත්මක කර ඇති බව ශ්‍රී ලංකන් ගුවන් සේවය පවසයි.

ඒ අනුව බෙයිජිං සහ කැන්ටන් දක්වා ශ්‍රී ලංකන් ගුවන් සේවයට අයත් යානා පියාසර කිරීමට නියමිත අතර එහිදී ඉගෙනුම ලබන ශ්‍රී ලාංකික සිසුන්ට ගුවන් යානා ප්‍රවේශ පත්‍ර ගාස්තුවෙන් සියයට 50 කට මිල අඩුකිරීමක් යටතේ මෙරටට පැමිණීමේ අවස්ථාව උදාවෙයි.

මේ අතර චීනයේ වෙසෙන ශ්‍රී ලාංකිකයින් පිළිබඳව තොරතුරු දැනගැනීම සඳහා බෙයිජිං හි පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ පැය 24 පුරා ක්‍රියාත්මක විශේෂ දුරකථන අංකයක් හඳුන්වා දී ඇති බව විදේශ කටයුතු අමාත්‍යාංශය සඳහන් කළේය.

ඒ අනුව 0086-10-65321861 හෝ 0086-10-65321862 යන දුරකථන අංක හරහා චීනයේ පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය හරහා සම්බන්ධවිය හැකි බවයි විදේශ කටයුතු අමාත්‍යාංශය සදහන් කළේය.

***************************************

ආර්ථිකව වැදගත් සියලු ආයතන සඳහා සභාපතිවරු පත්කර අවසන් – ආචාර්ය නාලක ගොඩහේවා

(27.01.2020 – 12:59 +0530 – sinhala.adaderana.lk)

ආර්ථික වශයෙන් වැදගත් සියලු ආයතන සඳහා සභාපතිවරු පත් කර අවසන් බව ආචාර්ය නාලක ගොඩහේවා මහතා පවසයි.

ගම්පහ පැවති උත්සවයකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඒ මහතා මෙබව සඳහන් කළේය.

එමෙන්ම සභාපතිවරුන් 300 කට අධික සංඛ්‍යාවක් මේ වන විට පත් කර අවසන් බවත් ඒ මහතා පැහැදි කළේය.

තව සභාපතිවරුන් පත් නොකල ඇතැම් ආයතන පවතින බවත් එවැනි ආයතන වෙනත් ආයතනයක් සමඟ සම්බන්ධ කරමින් කටයුතු කරන බවත් ඒ මහතා ප්‍රකාශ කළේය.

එහිදි මාධ්‍යවේදින් නැගු ප්‍රශ්නයකට පිලිතුරු දෙමින් ඒ මහතා පැවසුවේ පසු ගිය ආණ්ඩු සමයේ සභාපතිවරුන් පත් කරමින් වසර 5 ක් පුරා කිසිදු කර්යභාර්යයක් සිදු නොකර සිටි පිරිස වත්මන් ආණ්ඩු කටයුතු සම්බන්ධයෙන් ප්‍රශ්න කිරිමට තිබෙන අයිතිය කුමක්ද යනුවෙන් ආචාර්ය නාලක ගොඩහේවා මහතා පැවසීය.

***************************************

අතුරුදන් පියා සොයාදෙන ලෙස වෛද්‍ය පුතා ඉල්ලයි

(26.01.2020 – 13:32 +0530 – sinhala.adaderana.lk)

මහනුවර, කටුගස්තොට ප්‍රදේශයේ පදිංචිව සිටි දයාසිරි නවරත්න මහතා (78) ඉකුත් 21 දින සිට අතුරුදන් වී තිබේ.

එදින පෙ.ව 9.30 ට පමණ කටුගස්තොට නගරයට පැමිණි බවත් පසුව නැවත නිවසට නොපැමිණිම නිසා ජනවාරි 22 වන දින කටගස්තොට පොලීසියට පැමිණිල්ලක් ද කර ඇත.

1995 වර්ෂයේ සිට 2003 වර්ෂය දක්වා හැටන් ශ්‍රිපාද විද්‍යාලයේ ගුරුවරයෙකු වශයෙන් සේවය කර ඇති අතර විශ්‍රාමික සුවයෙන් පසුවන්නෙකි.

අතුරුදන් වු දිනයේ සිට බොහෝ ස්ථාන වල සෝයා බැලීම් කලද කිසිදු තොරතුරක් ලැබී නොමැති බැවින් තොරතුරක් ලදහොත් පහත සදහන් දුරකථනය අංක වලට දැනුම් දීමට කාරුණික වන මෙන් ඉල්ලා සිටියි.

071 922 6633
037 387 2722
077 967 5776

(වෛද්‍ය පවිත්‍ර නවරත්න )

***************************************

මහ මැතිවරණයෙන් 2/3 ක බහුතරයක් හිමිවන බව ජී.එල්. කියයි

(27.01.2020 – 12:47 +0530 – hirunews.lk/sinhala)

ඉදිරි මහ මැතිවරණයේදී ආණ්ඩුවට තුනෙන් දෙකක බහුතර බලයක් ලබා ගැනීමට හැකිවනු ඇතැයි විශ්වාසයක් පවතින බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පවසනවා.

එහි සභාපති, මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා මේ බව කියා සිටියේ බත්තරමුල්ල – නෙලුම් මාවත පක්ෂ කාර්යාලයේ අද (27) කැඳවා තිබූ මාධ්‍ය හමුවකට එක්වෙමින්.

ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණයට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් ඉදිරිපත් වන බවයි ඔහු තවදුරටත් කියා සිටියේ.

***************************************

ලිඳුල ගින්නකින් වෙළඳසැල් 02 ක්, නිවසක් සහ ලොරි රථයකට හානි

(27.01.2020 – 06:50 +0530 – hirunews.lk/sinhala)

ලිඳුල, ෆාමස්ටන් ප්‍රදේශයේ දැව වෙළඳසැලක ඊයේ (26) රාත්‍රියේ ගින්නක් හටගෙන තිබෙනවා.

මෙම ගින්නෙන් එම වෙළඳසැලට, නිවසකට, ගොඩනැගිලි ද්‍රව්‍ය අලෙවිසැලකට සහ ලොරි රථයකට හානි සිදුව ඇති බවයි අප වාර්තාකරු පැවසුවේ.

ප්‍රදේශවාසීන් සහ නුවරඑළිය ගිනි නිවීමේ ඒකකය එක්ව ගින්න නිවා දැමීමට උත්සහ කර ඇති අතර ඔවුන්ගේ උත්සහය ව්‍යර්ථ වී තිබෙනවා.

පසුව තලවකැලේ සහ නුවරඑළිය යුධ හමුදා කඳවුරුවල සෙබලුන්ගේ සහාය ඇතිව පැය තුන හමාරක මෙහෙයුමකින් අනතුරුව ගින්න නිවා දමා ඇති බවයි වාර්තා වන්නේ.

ගින්නට හේතුව තවමත් අනාවරණය වී නොමැති අතර ගින්නෙන් සිදුවූ හානිය මෙතෙක් තක්සේරුකර නැහැ.

***************************************

එන්.ජී.ඕ.වලට අවශ්‍ය ආකාරයට මෙරට අධ්‍යාපන ප්‍රතිසංස්කරණ කිරීමට ඉඩ ලබානොදිය යුතුයි – මැදගොඩ අභයතිස්ස හිමි

(26.01.2020 – 20:21 +0530 – hirunews.lk/sinhala)

රාජ්‍ය නොවන සංවිධානවලට අවශ්‍ය ආකාරයට මෙරට අධ්‍යාපන ප්‍රතිසංස්කරණ කිරීමට කිසිසේත් ඉඩ ලබා නොදිය යුතු බව මහාචාර්ය පූජ්‍ය මැදගොඩ අභයතිස්ස හිමියන් පවසනවා.

උන්වහන්සේ මේ බව සඳහන් කළේ මත්තේගොඩ ප්‍රදේශයේ පැවති උත්සවයකදී.

+++++++++++++++++++++

පූජ්‍ය මහාචාර්ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි

***************************************

පසුගිය රජයේ සැලසුම්සහගත උත්සාහයක් ගැන අස්ගිරි ලේඛකාධිකාරී හිමියන් කියයි

(26.01.2020 – 19:02 +0530 – hirunews.lk/sinhala)

රන්ජන් රාමනායක මන්ත්‍රීවරයාගේ හඬ පට අනුව පසුගිය රජය විසින් මෙරට දෙමුහුන් අධිකරණ ස්ථාපිත කිරීමේ සැලසුම්සහගත උත්සාහයක නිරත වී ඇති බවට සැකයක් මතු වන බව අස්ගිරි පාර්ශවයේ මහා ලේඛකාධිකාරී පූජ්‍ය මැදගම ධම්මානන්ද හිමියන් පවසනවා.

උන්වහන්සේ මේ බව කියා සිටියේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සභාපති මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා තමන් වහන්සේ බැහැ දැකීම සඳහා අද (26) පැමිණි අවස්ථාවේදියි.

මහනුවරට පැමිණි මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා, අස්ගිරි පාර්ශවයේ මහනායක අතිපූජ්‍ය වරකාගොඩ ශ්‍රී ඥානරතන නාහිමියන් බැහැදුටුවා.

අනතුරුව ඔහු අස්ගිරි පාර්ශවයේ මහාලේඛකාධිකාරී පූජ්‍ය මැදගම ධම්මානන්ද හිමියන් බැහැදුටුවා.

***************************************

ඝාතන කුමන්ත්‍රණයක් ගැන, මාගල්කන්දේ හිමියන්ගෙන් පැමිණිල්ලක්

(26.01.2020 – 19:01 +0530 – hirunews.lk/sinhala)

ඝාතන කුමන්ත්‍රණයක් සහ මරණ තර්ජන සම්බන්ධයෙන් නව සිංහල රාවය ජාතික සංවිධානයේ මහලේකම් පූජ්‍ය මගල්කන්දේ සුදත්ත හිමියන් පොලිස් මූලස්ථානයට අද (26) පැමිණිල්ලක් ඉදිරිපත් කළා.

පැමිණිල්ල භාර දීමෙන් පසු උන්වහන්සේ මාධ්‍ය වෙත අදහස් දක්වමින් කියා සිටියේ තමන් කිසිවිටෙකත් සත්‍ය වෙනුවෙන් පෙනී සිටීමට පසුබට නොවන බවයි.

***************************************

බස් රථයක ප්‍රවේශ පත්‍ර නිකුත්කරන යන්ත්‍රය සොරා ගත් හැටි ආරක්ෂිත කැමරාවක සටහන් වෙයි

(26.01.2020 – 16:44 +0530 – hirunews.lk/sinhala)

යාපනය සිට දියතලාව බලා ධාවනය වූ පෞද්ගලික බස් රථයක ප්‍රවේශ පත්‍ර නිකුත්කරන යන්ත්‍රය පුද්ගලයෙකු විසින් සොරකම් කරන අයුරු බස් රථයේ සවිකර තිබූ ආරක්ෂිත කැමරාවක සටහන්ව තිබුණා.

පසුගිය සිකුරාදා (24) අලුයම් කාලයේ මෙම සොරකම සිදුව ඇති අතර බස් රථයේ පැමිණි පුද්ගලයෙක් අදාල යන්ත්‍රය රැගෙන මාතලේ නගරයෙන් බැස ගොස් තිබෙනවා.

මෙම සොරකම සම්බන්ධයෙන් මාතලේ පොලිසිය දැනුවත්කර ඇති අතර එම පොලිසිය සොරකම සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වනවා.

***************************************

රියදුරු බලපත්‍ර සඳහා වෛද්‍ය සහතිකවලට දින වෙන් කිරීම හෙට සිට ඔන්ලයින් ක්‍රමයට

(26.01.2020 – 16:05 +0530 – hirunews.lk/sinhala)

රියදුරු බලපත්‍ර ලබා ගැනීමේදී අවශ්‍ය වෛද්‍ය සහතික සඳහා වෛද්‍ය පරීක්ෂණයට දින සහ වේලාව වෙන් කර ගැනීම හෙට (27) සිට ඔන්ලයින් ක්‍රමයට අවස්ථාව පවතින බව මගී ප්‍රවාහන කළමනාකරණ අමාත්‍යාංශය පවසනවා.

මෙම සේවාව පසුගිය සිකුරාදා සිට පැවතියේ පරීක්ෂණ මට්ටමේයි.

ඒ අනුව www.ntmi.lk වෙබ් අඩවියට පිවිසීමෙන් වෛද්‍ය සහතික සඳහා දින සහ වේලාව වෙන් කර ගැනීමට හැකියාව පවතිනවා ෴

***************************************

නීතිපති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව හමුවට

(26.01.2020 – 13:18 +0530 – hirunews.lk/sinhala)

මහාධිකරණ විනිසුරු ගිහාන් පිලපිටිය මහතා අත්අඩංගුවට ගන්නා ලෙස නීතිපති දප්පුල ද ලිවේරා පොලීසියට කළ දැනුම් දීම පිළිබඳ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ විශේෂ අවධානය යොමුව තිබෙනවා.

පසුගියදා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව රැස් වූ අවස්ථාවේදී තීරණය කර ඇත්තේ කථානායකවරයා විසින් නීතිපතිවරයා කැඳවා මේ පිළිබඳ කරුණු විමසිය යුතු බවටයි.

නීතිපති දප්පුල ද ලිවේරා

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව කථානායක කරු ජයසූරියගේ ප්‍රධානත්වයෙන් පසුගිය සිකුරුදා රැස් වූ අතර ඊට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ඇතුළු පක්ෂ විපක්ෂ නියෝජිතයින් එක්ව තිබුණා.

පාර්ලිමේන්තුවේ සන්නිවේදන දෙපාර්තමේන්තුවේ නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ මහාධිකරණ විනිසුරු ගිහාන් පිලපිටිය මහතා අත්අඩංගුවට ගන්නා ලෙස නීතිපති දප්පුල ද ලිවේරා පොලීසියට කළ දැනුම දීම පිළිබඳ එහිදී ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ විශේෂ අවධානය යොමුව ඇති බවයි.

නීතිපතිවරයා විසින් සිදුකළ මෙම නියෝගය හේතුවෙන් මහජනතාව අතර අධිකරණය පිළිබද විශ්වාසය බිද වැටීමට ඉඩ ඇති බවත් එවැනි නියෝග හේතුවෙන් අධිකරණ පද්ධතියේ ස්වාධීනත්වයට මෙන්ම විනිසුරුවරුන්ගේ වෘත්තීය ගරුත්වයට ද බලපෑම් සිදුවිය හැකි බවත්, එහිදි සාකච්ඡාවට ලක් කර තිබෙනවා.

පාර්ලිමේන්තුවේ සන්නිවේදන දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයේ තවදුරටත් දැක්වුණේ නීතිපතිවරයා දුන් නියෝග මත සිදුවූ මන්ත්‍රීවරුන් අත්අඩංගුවට ගැනීම් මෙන්ම පොලිස්පතිවරයා සහ හිටපු ආරක්ෂක ලේකම්වරයා අත්අඩංගුවට ගැනීම ගැන ද ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ අවධානය යොමු වූ බවයි.

ඒ හේතුවෙන් කථානායකවරයා විසින් නීතිපතිවරයා කැදවා ඒ පිළිබදව කරුණු විමසිය යුතු බවට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව තීරණය කර තිබෙනවා.

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *