රංජන් රාමනායකගේ පක්ෂ සාමාජිකත්වය ගැන විමසන්න ‘සිංහලේ සංවිධානය’ සිරිකොතට

(24.01.2020 – 19:47 +0530 – hirunews.lk/sinhala)

පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමනායකගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටවූ බවට එක්සත් ජාතික පක්ෂය දිගින් දිගටම බොරු ප්‍රචාර ගෙනයමින් සිටින බව ‘සිංහලේ ජාතික සංවිධානයේ’ ජාතික සංවිධායක ප්‍රදීප් සංජීව මහතා පවසනවා.

අද (24) පෙරවරුවේ සිරිකොත පක්ෂ මූලස්ථානය වෙත පැමිණීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මේ බව සදහන් කළා.

පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමනායකගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටු වීම සම්බන්ධ ලේඛන ඇත්නම් ඒවා ලබාදෙන ලෙස ඉල්ලා සිංහලේ ජාතික සංවිධානය අද එක්සත් ජාතික පක්ෂ සිරිකොත පක්ෂ මූලස්ථානය වෙත පැමිණියා.

එහිදී එක්සත් ජාතික පක්ෂ මහලේකම් අකිල විරාජ් කාරියවසම් මහතාගේ සම්බන්ධීකරණ ලේකම්වරයෙකු හා ප්‍රදීප් සංජීව මහතා අතර මෙලෙස සංවාදයක් සිදුව තිබෙනවා.

පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමනායක සහ හිරුණිකා ප්‍රේමචන්ද්‍රගේ පදනම් විරහිත ප්‍රකාශ සම්බන්ධයෙන් අදත් විවිධ පාර්ශ්ව අදහස් පළ කළා.

+++++++++++++++++++++

රන්ජන්ගේ හඬපට සහ ගිනි අවියේ රස පරීක්ෂක වාර්තාව ලබන සතියේ

(25.01.2020 – 07:29 +0530 – hirunews.lk/sinhala)

පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායකගේ නිවසේ තිබී සොයාගත් දෘඩ තැටි, සංයුක්ත තැටි, බලපත්‍ර රහිත ගිනි අවිය සහ ජීව පතොරොම් සම්බන්ධයෙන් රජයේ රස පරීක්ෂකවරයාගේ වාර්තාව ලබන සතියේ අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

එහි උසස් නිලධාරියෙකු සඳහන් කළේ ඊට අදාළ පරීක්ෂණ කටයුතු මේ වනවිට අවසන් මට්ටමේ පවතින බවයි.

මෙම දෘඩ තැටි, සංයුක්ත තැටි, ගිනි අවිය සහ ජීව පතොරොම් කොළඹ අපරාධ කොට්ඨාශය මගින් රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුවට පසුගිය 09 වනදා භාර දී තිබුණා.

රන්ජන් රාමනායක සතුව තිබී රස පරීක්ෂක දෙපාර්තමේන්තුවට භාර දුන් හඬ පට එහි පරිඝනක අපරාධ අංශය මගින් ද බලපත්‍ර රහිත ගිනි අවිය සහ ජීව උණ්ඩ සම්බන්ධයෙන් ගිනි අවි අංශය මගින් ද විමර්ශනය කරනු ලබනවා.

මේ අතර අධිකරණ විනිසුරුවරුන්ගේ රාජකාරියට බලපෑම් කිරිම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මේ මස 29 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතවයි පසුවන්නේ ෴

+++++++++++++++++++++

ජොන්ස්ටන්ගේ නඩුව ගැන රංජන්ගේ චෝදනාවක් පැමිණිලිකාර පාර්ශ්වයේ සාක්ෂිකාරියක් ප්‍රතික්ෂේප කරයි

(24.01.2020 – 19:57 +0530 – hirunews.lk/sinhala)

තමන් මුදල් ලබාගෙන අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාට එරෙහිව විභාග වූ ලංකා සතොස නඩුවේදී තීන්දුවට බලපෑම් කළ බවට පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමනායක මහතා පාර්ලිමේන්තුවේදී සිදුකළ ප්‍රකාශය ප්‍රතික්ෂේප කරන බව එම නඩුවේ පැමිණිලිකාර පාර්ශ්වයේ සාක්ෂිකාරියක වූ ඈන් රොෂානි මහත්මිය පවසනවා.

ඇය මේ බව සඳහන් කළේ කුරුණෑගල අද (24) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී.

2013 වසරේ පැවති වයඹ පළාත් සභා මැතිවරණ සමයේදී කුරුණෑගල ලංකා සතොස අලෙවිසල් තුනකින් රුපියල් මිලියන 5 කට අධික භාණ්ඩ මිලදීගෙන මුදල් නොගෙවීමේ චෝදනාවට 2015 මැයි 5 වැනි දින එවකට පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වූ ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසය මගින් අත්අඩංගුවට ගත්තා.

අනතුරුව රක්ෂිත බන්ධනාගාර ගතකර සිටි මන්ත්‍රීවරයා පසුව මැයි මස 28 වැනි දින ඇප මත මුදාහැරුණා.

මෙම නඩුව 2018 සැප්තැම්බර් 3 වැනිදා සිට කුරුණෑගල මහාධිකරණයේදී අඛණ්ඩව විභාග කළ අතර, එම වසරේ ඔක්තෝබර් 17 දින මන්ත්‍රීවරයා නිදොස්කොට නිදහස් කිරීමට මහාධිකරණය පියවර ගත්තා.

පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමනායක මෙම නඩුව සම්බන්ධයෙන්ද පසුගිය 21 වැනිදා පාර්ලිමේන්තුවේදී අදහසක් පළ කළා.

අදාළ චෝදනාව එල්ලවූ කුරුණෑගල – යන්තම්පලාව – ලංකා සතොස අලෙවිසැලේ වෙළෙඳ සේවිකා ඈන් රොෂානි මහත්මිය අද (24) සිය නිවසේදී ප්‍රවෘත්ති සාකච්ඡාවක් පවත්වමින් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමනායකගේ අදහස් ප්‍රතික්ෂේප කළා.

+++++++++++++++++++++

රංජන්ගේ ආන්දෝලනාත්මක හඬපට ගැන විවිධ අදහස්

(24.01.2020 – 19:07 +0530 – hirunews.lk/sinhala)

රංජන් රාමනායක මන්ත්‍රීවරයාගේ ආන්දෝලනාත්මක හඬපට සම්බන්ධයෙන් අදත් විවිධ පාර්ශ්ව අදහස් පළ කළා.

+++++++++++++++++++++

රංජන් සමඟ දුරකථන සංවාදවල නිරත වූ විනිසුරු පද්මිණී රණවකට නීතිය ක්‍රියාත්මක වී නැතැයි චෝදනා

(25.01.2020 – 20:58 +0530 – hirunews.lk/sinhala)

රංජන් රාමනායක මන්ත්‍රීවරයා සමඟ දුරකථන සංවාදවල නිරත වූ විනිසුරු පද්මිණී රණවක මහත්මිය සම්බන්ධයෙන් මෙතෙක් නීතිය ක්‍රියාත්මක වී නොමැති බවට ‘සිංහලේ’ සංවිධානය චෝදනා කරනවා.

එම සංවිධානයේ නියෝජිතයින් අද (25) මැගසින් බන්ධනාගාරයට පැමිණි අවස්ථාවේ මාධ්‍යයට අදහස් දක්වමින් මෙම චෝදනාව සිදු කළා.

අධිකරණයට අපහාස කිරීමේ චෝදනාව යටතේ ඊයේ (24) රක්ෂිත බන්ධනාගත කෙරුණු විශ්‍රාමික මේජර් අජිත් ප්‍රසන්නගේ සුවදුක් බැලීමට ජාතික සංවිධාන කිහිපයක නියෝජිතයින් අද (25) මැගසින් බන්ධනාගාරයට පැමිණියා.

+++++++++++++++++++++

සිංහලේ සංවිධානයෙන් චෝදනාවක්

(25.01.2020 – 20:39 +0530 – hirunews.lk/sinhala)

එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා, රංජන් රාමනායක මන්ත්‍රීවරයාව යොදා ගනිමින් මෙරට ජනතාවට අධිකරණය පිළිබඳ විශ්වාසය බිඳවැට්ටවීමේ උත්සාහයක නිරතව ඇති බවට, ‘නව සිංහල රාවය’ සංවිධානය චෝදනා කරනවා.

අද (25) කොළඹ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී එහි මහලේකම්, පූජ්‍ය මාගල්කන්දේ සුදත්ත හිමි මේ අදහස් පළකළා.

මේ අතර, සිංහල රාවය ජාතික සංවිධානය කොළඹ පැවැත්වූ ප්‍රවෘත්ති සාකච්ඡාවකදී පැවසුවේ, රංජන් රාමනායක මන්ත්‍රීවරයා පාර්ලිමේන්තු වරප්‍රසාද භාවිත කරමින් විවිධ පාර්ශ්වයන්ට අභූත චෝදනා එල්ල කරන බවයි.

+++++++++++++++++++++

දුමින්ද ඉල්ලා මාලඹේදී තවත් උද්ඝෝෂණයක්

(25.01.2020 – 18:46 +0530 – hirunews.lk/sinhala)

පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායකගේ හඬ පට මගින් අනාවරණ වන අධිකරණයට බලපෑම් සිදුකිරීම් පිළිබදව කරුණු විමර්ශනය කර, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා මහතාට සාධාරණය ඉෂ්ඨ කරන ලෙස ඉල්ලා පැවැත්වෙන විරෝධතා මාලාවේ තවත් විරෝධතාවයක් අද (25) පැවැත්වුණා.

ඒ මාලඹේ ප්‍රධාන බස් නැවතුම්පොල ආසන්නයේදීයි.

කඩුවෙල ජනතාව එම විරෝධතාව සංවිධානය කර තිබූ අතර ඊට ‘සිංහලේ ජාතික සංවිධානය’, ‘ලාංකික අපි ජාතික සංවිධානය’, ‘දේශප්‍රේමී එක්සත් ජාතික පක්ෂය’ සහ තවත් සිවිල් සංවිධාන රැසක් එක්ව සිටියා.

මාලඹේ ප්‍රධාන බස් නැවතුම්පොල අසල විරෝධතාවයේ නිරත වූ ඔවුන් පසුව තලාහේන මංසන්ධිය දක්වා පාගමනින් පැමිණියා.

+++++++++++++++++++++

අධිකරණ ක්ෂේත්‍රයේ ගැටලූකාරි තත්ත්වය ගැන සොයන්න නීතිඥ සංගමය කමිටුවක් පත් කරයි

(25.01.2020 – 18:40 +0530 – hirunews.lk/sinhala)

අධිකරණ ක්ෂේත්‍රය සම්බන්ධයෙන් වර්තමානයේ කතාබහට ලක්ව ඇති සුවිශේෂී කරුණු පිළිබඳව අධ්‍යයනය කර නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහා ‘ශ්‍රී ලංකා නීතිඥ සංගමය’ කමිටුවක් පත්කර තිබෙනවා.

අද (25) පැවති එහි මාසික සභා රැස්වීමේදී මෙම කමිටුව පත්කර ඇති අතර, ඊට ජ්‍යෙෂ්ඨතම නීතිඥයින් හය දෙනෙකු ඇතුළත්.

කමිටුව ලබාදෙන නිර්දේශ සමාලෝචනය කිරීමෙන් පසු ශ්‍රී ලංකා නීතිඥ සංගමය සිය මතය ලබන සතිය තුළ ප්‍රකාශයට පත්කරන බවයි එහි ලේකම් නීතිඥ කෞෂල්‍ය නවරත්න මහතා හිරු ප්‍රවෘත්ති අංශයට සඳහන් කළේ.

මේ අතර, එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ, රන්ජන් රාමනායක මන්ත්‍රීවරයා යොදා ගනිමින් මෙරට ජනතාවට අධිකරණය පිළිබඳව විශ්වාසය බිඳ හෙලීමේ උත්සාහයක නිරතව ඇති බවට නව ‘සිංහල රාවය’ සංවිධානය චෝදනා කරනවා.

කොළඹ අද (25) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් එම සංවිධානයේ මහලේකම් පූජ්‍ය මාගල්කන්දේ සුදත්ත හිමියන් මෙම චෝදනාව එල්ල කළා.

එසේම සිංහල රාවය සංවිධානය ද කොළඹ අද (25) පැවති මාධ්‍ය හමුවකදී ප්‍රකාශ කළේ රන්ජන් රාමනායක මන්ත්‍රීවරයා පාර්ලිමේන්තු වරප්‍රසාද භාවිත කර විවිධ පාර්ශවයන්ට අභූත චෝදනා එල්ල කරන බවයි ෴

+++++++++++++++++++++

රන්ජන්ගේ හඬ සන්සන්දනය කළ නොහැකි බවට අධිකරණයට දැනුම් දුන්නේ නෑ – රජයේ රස පරීක්ෂක

(25.01.2020 – 20:00 +0530 – sinhala.adaderana.lk)

තමා වෙත යොමුකර ඇති රන්ජන් රාමනායක මන්ත්‍රීවරයාගේ හඬපට ඔහුගේ හඩ සමඟ සන්සන්දනය කළ නොහැකි යැයි, අධිකරණයට දැනුම්දීමක් කර නොමැති බව රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුව පවසයි.

ප්‍රධාන පුවත් පත් අද (25) ඒ සම්බන්ධයෙන් වාර්තා කර තිබූ ප්‍රවෘත්තියකට අදාළව ‘අද දෙරණ’ කළ විමසීමකදී රජයේ රස පරීක්ෂක ඒ.වැලිඅංග මහතා මේ බව ප්‍රකාශ කළේය.

රජයේ රස පරීක්ෂක දෙපාර්තුමේන්තුව වෙත ඉදිරිපත් කෙරුණු රන්ජන් රාමනායක මහතාගේ හඬපටවල හඬ අපහැදිලි බැවින් එය පදනම් කරගෙන මන්ත්‍රීවරයාගේ හඬ සංසන්දනය කළ නොහැකි බව එම දෙපාර්තුමේන්තුව අධිකරණයට දැනුම් දී ඇති බව අද ප්‍රධාන පුවත්පත් වාර්තාකර කර තිබුණි.

රක්ෂිත බන්ධනාගාරගත කර සිටින මන්ත්‍රීවරයාගේ සුවදුක් විමසීම සඳහා අද (25) පැමිණි දිවුලපිටිය ප්‍රාදේශීය සභා මන්ත්‍රී හර්ෂණ අමරසිංහ මහතාද ඒ බව ප්‍රකාශ කළේය.

කෙසේ වෙතත් ඒ සම්බන්ධයෙන් ‘අද දෙරණ’ රජයේ රස පරීක්ෂකවරයාගෙන් සිදුකළ විමසීමකදී ඔහු සඳහන් කළේ තම දෙපාර්තුමේන්තුව එවැනි දැනුම් දීමක් මෙතෙක් සිදුකර නොමැති බවයි.

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *