දුමින්ද සිල්වාගේ නඩු තීන්දුව වෙනස් කිරීමට, රන්ජන් අධිකරණයට කළ බලපෑම් හෙළිවේ

(06.01.2020 – 19:26 +0530 – hirunews.lk/sinhala)

= දුමින්ද සිල්වාගේ නඩු තීන්දුව වෙනස් කිරීමට, රන්ජන් අධිකරණයට කළ බලපෑම් හෙළිවේ – රහස් රැසක් ඇතුළත් හඬ පටත් එළියට =

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා සිරගත කිරීම සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ශානි අබේසේකර ඇතුළු පාර්ශව කිහිපයක් සිදුකළ කුමන්ත්‍රණයක තොරතුරු අද අනාවරණ කෙරුණා.

කොළඹ අද (06) පැවති මාධ්‍ය හමුවකදී රාජ්‍ය අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන මහතා හඬ පට කිහිපයක් ද එළිදක්වමින් අදාළ හෙළිදරව්ව කළ අතර, රාජ්‍ය අමාත්‍ය ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා ද ඊට එක්වෙමින් අදහස් පළ කළා.

මේ අතර, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා වරදකරු කරමින් නඩු තීන්දුව ලබාදීමට පෙර මහාධිකරණ විනිසුරු පද්මිනී එන්. රණවකට පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක දුරකථනය ඔස්සේ බලපෑම් සිදුකළ බවට මව්බිම වෙනුවෙන් රණවිරුවෝ සංවිධානය ද චෝදනා කරනවා.

කොළඹ අද (06) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් එහි කැදවුම්කරු විශ්‍රාමික මේජර් නීතිඥ අජිත් ප්‍රසන්න මහතා මේ බව කියා සිටියා.

එමෙන්ම, හිටපු මහාධිකරණ විනිසුරු පද්මිණී එන්. රණවක සහ පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක අතර සිදුවු දුරකථන සංවාදයක හඬ පටයක් සිංහලේ සංවිධානයේ ජාතික සංවිධායක ප්‍රදීප් සංජීව පෙරේරා මහතා මාධ්‍ය වෙත ලබාදුන්නා. ඒ, එම සංවිධානය ජාතික පොලිස් කොමිෂන් සභාව වෙත අද (06) පැමිණි අවස්ථාවේදියි.

මේ අතර, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ශානි අබේසේකර සමඟ එක්ව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා වරදකරු කරමින් ලබාදුන් නඩු තීන්දුවට බලපෑම් කිරීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක අත්අඩංගුවට ගත යුතු බව නව සිංහල රාවය සංවිධානය ප්‍රකාශ කළා.

එහි මහලේකම් පූජ්‍ය මාගල්කන්දේ සුදත්ත හිමියන් අද (06) මේ බව සඳහන් කළේ ඒ සම්බන්ධයෙන් වූ හඬපට ද මාධ්‍ය වෙත නිකුත් කරමින්.

+++++++++++++++++++++

දුමින්ද සිල්වාගේ නඩු තීන්දුව වෙනස් කිරීමට, රන්ජන් අධිකරණයට කළ බලපෑම්වලට දසතින් විරෝධය

(07.01.2020 – 07:46 +0530 – hirunews.lk/sinhala)

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වාට හිමි වූ නඩු තීන්දුව දේශපාලන බලපෑමක් මත ලබාදුන් නඩු තීන්දුවක් බවට එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායකගේ නිවසින් සොයා ගත් හඬ පට වලින් තහවුරු වන බව අමාත්‍ය විමල් වීරවංශ මහතා පවසනවා.

මේ අතර, රන්ජන් රාමනායක විසින් අධිකරණයට සහ පොලීසියට සිදුකළ බලපෑම් සම්බන්ධයෙන් දසතින් එල්ල වන්නේ දැඩි විරෝධයක්.

අමාත්‍යවරුන් සහ සිවිල් සංවිධානවල නියෝජිතයින් රැසක් ඒ පිළිබදව මාධ්‍ය වෙත අදහස් දක්වමින් විරෝධය පළ කළා.

එහිදී ඔවුන් සඳහන් කළේ රන්ජන් රාමනායකට සහ ශානි අබේසේකරට එරෙහිව නීතිය ක්‍රියාත්මක කළ යුතු බවයි.

මේ අතර, යහපාලන ආණ්ඩුව විසින් සමස්ත අධිකරණ පද්ධතියම විනාශ කර අවසන් බව හිටපු අධිකරණ අමාත්‍ය ආචාර්ය විජේදාස රාජපක්ෂ මහතා පවසනවා.

ඔහු මේ බව කියා සිටියේ හිරු ටීවී ඔස්සේ විකාශය වන සලකුණ දේශපාලන වැඩසටහනට ඊයේ (06) එක්වෙමින්.

+++++++++++++++++++++

රංජන්ගේ හඬපට කිහිපයක් ජාතික පොලිස් කොමිසමට

(06.01.2020 – 20:10 +0530 – hirunews.lk/sinhala)

අධිකරණයේ ඇතැම් විනිශ්චයකාරවරුන්ට පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමනායකගේ මැදිහත්වීමෙන් මාරුවීම්, උසස්වීම් සහ සේවා දිගු ලබා දුන් ආකාරය පිළිබඳ අනාවරණ වන හඬපට කිහිපයක් සිංහලේ සංවිධානය ජාතික පොලිස් කොමිසම වෙත අද භාර දුන්නා.

එම හඬපට අතර හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා මහතා සිරගත කිරීම සම්බන්ධයෙන් තීන්දුව ලබාදීමට අදාළ තොරතුරු ද ඇති බව එම සංවිධානය අනාවරණ කළා.

පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමනායක විවිධ අවස්ථාවල අධිකරණයේ ඇතැම් විනිශ්චයකාරවරුන්ට මාරුවීම්, උසස්වීම් සහ සේවා දිගු ලබාදීම සදහා කටයුතු කර ඇති බවට සිංහලේ ජාතික සංවිධානය ජාතික පොලිස් කොමිසමට පැමිණිලි කිරීමෙන් අනතුරුව මාධයට අදහස් පළ කළා.

+++++++++++++++++++++

+++++++++++++++++++++

ජොන්සටන්-නාමල් ඇතුලට දාන්නැයි රන්ජන් බලපෑම් කල හඬ පටය මෙන්න..

(06.01.2020 – 12:00 +0530 – lankacnews.com)

එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා පසුගිය රජයේ ඇමතිවරයෙකු සිටියදී පොලිස් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු ප‍්‍රධානියෙකු ලබා දුන් තවත් හඬ පටයක් ප්‍රසිද්ධියට පත්වී ඇත.

ඔහු එහිදී දන්වා සිටින්නේ නාමල් රාජපක්ෂ මහතා සහ ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා හැකි ඉක්මනින් ඇතුළට දමන ලෙසයි.

එම කොට්ඨාශය විසින් සිදු කරක පරීක්ෂණ කටයුතු සම්බන්ධයෙන් ද ඔහු තවත් කාරණා ගණනාවක් විමසනු ලැබීය.

https://youtu.be/K3mPi6SV5B0

+++++++++++++++++++++++++++++++++++

පාස්කු ප්‍රහාරය පිළිබඳ සංවාදයකුත් රන්ජන්ගේ දුරකතන සංවාද ගොනුවෙන් මතු වෙයි

(07.01.2020 – nethnews.lk)

පාර්ලිමේන්තු මන්තී‍්‍ර රන්ජන් රාමනායක, පාස්කු ඉරිදා ප‍්‍රහාරයේ විමර්ශන පිළිබඳව එවකට අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්‍ෂවරයා වූ ශානි අබේසේකර ගෙන් තොරතුරු විමසන හඬපටයක්ද මේ වන විට සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වෙමින් තිබෙනවා.

පාස්කු ඉරිදා ප‍්‍රහාරය එල්ල වූ සමයේදී සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වූ අනතුරු ඇගවීමේ ලිපි සහ බුද්ධි අංශ සම්බන්ධයෙන් මෙම දුරකතන සංවාදයේදී ඔවුන් දෙදෙනා අතර මෙවැනි සංවාදයක් ඇති වී තිබෙනවා.

හිටපු සොලිසිටර් ජෙනරාල් දිල්රුක්ෂි ඩයස් සහ ඇවන්ගාඩ් සමාගමේ සභාපති නිශ්ෂංක සේනාධිපති සමග ඉකුත්දා සිදු වූ දුරකතන සංවාදය සම්බන්ධයෙන්ද මෙහිදී රන්ජන් රාමනායක මන්තී‍්‍රවරයා සහ එවකට අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්‍ෂවරයා වූ ශානි අබේසේකර අතර ඇති වූ සංවාදයක් ද මේ වන විට මීට අදාළව සංසරණය වෙනවා.

රන්ජන් රාමනායක මන්තී‍්‍රවරයා රූගත කිරීමක් අතරතුර එවකට අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්‍ෂවරයා වූ ශානි අබේසේකරට ලබා ගත් දුරකතන ඇමතුමක හඬපටයද මේ වන විට සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වෙමින් තිබෙනවා.

+++++++++++++++++++++++++++++++++++

රනිල්-රන්ජන් එක්ව මහින්දානන්ද ඝාතන කුමන්ත‍්‍රණයක.. පොලිස්පතිගෙන්ද උපදෙස්.. හඬපටය මෙන්න..

(07.01.2020 – 10:00 +0530 – lankacnews.com)

වත්මන් රාජ්‍ය ඇමැති මහින්දානන්ද අලුත්ගමගේ මහතාව පසුගිය රජය සමයේ දී වෙඩි තබා ඝාතනය කිරීමට කරන ලද කුමන්ත්‍රණයක් හෙළිදරව් වී තිබේ.

එවකට රාජ්‍ය ඇමැති රංජන් රාමනායක විසින් සිදුකරන ලද දුරකතන සංවාදයකින් මේ බව හෙළිව ඇත.

රන්ජන් රාමනායක එම සංවාදය සිදු කරන්නේ එවකට අගමැති රනිල් වික්‍රමසිංහ සමගයි.

අත්වැරදීමකින් ගිනි අවිය පත්තු වූ බව පවසමින් මහින්දානන්ද අලුත්ගමගේ මහතා ඝාතනය කිරීම සඳහා කුමන්ත්‍රණය සිදු කරනු එම හඬපටයේ සටහන් වී ඇත.

ඒ සඳහා එවකට අගමැති රනිල් වික්‍රමසිංහද උපදෙස් ලබාදෙනු ඇසේ.

පොලිස්පතිවරයාද තමනට උපදෙස් දුන්නේ යයිද රංජන් රාමනායක විසින් එහිදී හිටපු අගමැතිවරයාට කියයි.

https://www.facebook.com/maluthgamage/videos/607496489821857/

+++++++++++++++++++++++++++++++++++

රන්ජන්ගේ හඬ පට ගබඩාව ගැන නිවැරදි ඔත්තුව දුන්නේ ඔහුගේම මිතුරෙක්..

(07.01.2020 – 00:03 +0530 – lankacnews.com)

රන්ජන් රාමනායකගේ හඬ පට තොගය ගැන නිවැරදි ඔත්තුව දුන්නේ ඔහුගේම මිතුරෙක් බව පාර්ලිමේන්තු මන්ත‍්‍රී උදය ගම්මන්පිල මහතා පවසයි.

ඔහු මේ බව කියා සිටියේ පසුගිය රජය සමයේ රජයට මිලියන ගණනක් පාඩු කරමින් රාජ්‍ය අනුග්‍රහයෙන් සිදුවූ වාහන කැබලි කිරීමේ වංචාවක් සම්බන්ධයෙන් කල පැමිණිල්ලකට අදාලව වැඩිදුර ප්‍රකාශයක් ලබාදීම සදහා අල්ලස් හෝ දූෂණය විමර්ශන කොමිසම වෙත පැමිණි අවස්ථාවේ මාධ්‍ය වෙත දක්වමිනි.

ඔහු එහිදී මෙසේද පැවසීය :

“පසුගිය ආණ්ඩුවේ ප්‍රධානතම වංචා-දූෂණ දහයක් පිළිබඳව එදා අප අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසන් සභාව වෙත පැමිණිලි කළා. ඒ දූෂණ 10 තමයි අප top 10 විදියට හඳුන්වලා පොතක් විදිහට මුද්‍රණය කරලා ප්‍රසිද්ධ කළේ. මම අල්ලස් කොමිසමට පැමිණිල්ල සිදු කළේ 2017 පෙබරවාරි 15 වෙනිදා වුවත් ඒ පිළිබඳව මීක් කියලා ශබ්දයක්වත් තිබුනේ නෑ.

තුන් වසරකට පසුව අල්ලස් කොමිසම සුව නින්දෙන් අවදි වෙලා රවී කරුණානායක හිටපු අමාත්‍යවරයාගේ දූෂණ පිළිබඳව මා කළ පැමිණිල්ල විමර්ශනය කිරීමට තීරණය කිරීම සම්බන්ධයෙන් මා සතුටු වෙනවා. මේ වංචා-දූෂණ 10 පිළිබඳවම කඩිනමින් කටයුතු කරාවි කියලා අප බලාපොරොත්තු වෙනවා. හොඳට විවේක ගත්තා දැන් ඇති. දැන් වැඩේට බැහැලා තිබීම ගැන අප අල්ලස් කොමිසම ගැන සතුටු වෙනවා. මෙය කාර්යක්ෂමව සිදු වෙනවද කියන එක ගැන අප විමසිල්ලෙන් බලා සිටින බව අප රටටත් විශේෂයෙන්ම අල්ලස් කොමිසමටත් ප්‍රකාශ කරනවා.

රංජන් රාමනායක අමාත්‍යවරයා අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් ජනතාව අපට දොස් නගනවා. පිස්තෝලයක් තිබුන කියලා, නිල් චිත්‍රපට තිබුණා කියලා මෙයාව අත්අඩංගුවට ගත්තා නේද කියලයි දොස් නගන්නේ. ඒක පට්ටපල් බොරුවක්. පොලිසිය සිදුවීම නිසිලෙස වාර්තා නොකිරීම නිසයි මේ වැරදීම රටට ගිහිල්ලා තියෙන්නේ. පොලීසිය විසින් මහේස්ත්‍රාත් අධිකරණයෙන් සෝදිසි වරෙන්තුවක් ලබා ගෙන තියෙන්නේ.

රංජන් රාමනායක මන්ත්‍රිතුමා තමන්ට ලැබෙන දුරකථන ඇමතුම් ස්වයංක්‍රීයව ගබඩාවන ඇප් එකක් දමා ගෙන සිටිනවා. මෙම දුරකථනයේ තිබෙන වාර්තාවන්ට අනුව පසුගිය රජය සමයේ විනිශ්චකාරවරුන්ට පොලිසියේ නිලධාරීන්ට තමන්ගේ විරුද්ධවාදීන්ට එරෙහිව කටයුතු කිරීම සඳහා රන්ජන් රාමනායක මන්ත්‍රිවරයා බලපෑම් කළ ආකාරය අපූරුවට සටහන් වෙලා තියෙනවා.

රන්ජන් රාමනායක මන්ත්‍රිතුමාගේ සමීපතම මිත්‍රයෙක් තමයි මෙම දුරකථනයේ මේවා සටහන් වන බවත් දුරකථනයේ මතක ගබඩාව පිරුණු විට ඒවා සීඩී තැටි වලට පිටපත්කර සියලුම දුරකථන සංවාද අරන් තියා ගන්නා බවටත් රජයේ දේශපාලකයෙකුට තොරතුරු ලබා දුන්නේ. එම දේශපාලකයා රංජන්ගේ මිත්‍රයාව පොලිසිය වෙත යොමු කරලා. පොලිසියට ඔහු විසින් ලබා දුන් දුරකථන සංවාද වලට අනුව රන්ජන් රාමනායක මන්ත්‍රිවරයා සහ පසුගිය ආණ්ඩුවේ ප්‍රබලයන් පොලිසියට සහ අධිකරණයට කළ බලපෑම් හෙළිවුණා.

ඊට කලින් හිටපු සොලිසිටර් ජනරාල්වරයෙක්, අල්ලස් කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල්වරියක් වගේම හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන් පාපොච්චාරණය කරමින්, තමන් දේශපාලන බලපෑම් මත දේශපාලන දඩයම් වලට සම්මාදම් උනාය, නැතිනම් සම්මාදන් වීමට බල කළාය කියලා ප්‍රසිද්ධ කලා. සෑම විටම පසුගිය ආණ්ඩුවේ දේශපාලකයන් එය ප්‍රතික්ෂේප කරමින් නිවේදන නිකුත් කළා. සාක්ෂි තිබුණේ නැහැ. ප්‍රකාශ පමණයි.

නමුත් ඔන්න දැන් සාක්ෂි එලියට ඇවිත් තියෙනවා. ඒ නිසා පොලිසිය සෝදිසි වරෙන්තුවක් ගත්තේ සිල්ලර කාරණයකට නෙවෙයි. පසුගිය වසර පහ තුළ අධිකරණයට රාජ්‍ය නිලධාරීන්ට යුක්තිය ඉටු කිරීමට බලපෑම් සිදුවූ බවට සාක්ෂි තිබෙන තැනින් එම සාක්ෂි අරගන්නයි. එතන ගිහිල්ලා පරික්ෂා කරද්දී පිස්තෝලයක් හමු වෙනවා. පිස්තෝලයක් හමුවුනාම පොලිස් නිලධාරීන් බැඳිලා ඉන්නවා නිවසේ අයිතිකරුගෙන් ඒ පිළිබඳ බලපත්‍රය ඉල්ලා සිටින්න. බලපත්‍රය නොමැතිනම් ඒ පිළිබඳව උසාවියට වාර්තා කරන්න. පොලිසිය ගිය වැඩේ කළා.

දේශපාලන විරුද්ධවාදීන් මර්ධනයට අධිකරණය සහ පොලීසිය භාවිතා කළ ආකාරය පිළිබඳව ප්‍රබල සාක්ෂි පොලීසියට ලැබුණ. ඊට අමතරව එතැන තිබුණා බලපත්‍රයක් නොමැති පිස්තෝලයක් සහ අසභ්‍ය වීඩියෝ පට. නමුත් පොලිසිය ගියේ මේවා අල්ලන්නට නොවෙයි. ඒවා සිල්ලර කාරණා තමයි. අල්ලන්නට ගියේ අධිකරණයට බලපෑම් කිරීම සම්බන්ධව විමර්ශන නිලධාරීන්ට බලපෑම් කිරීම පිළිබඳව පිළිබඳව තිබෙන ප්‍රබල සාක්ෂි සහිත සී ඩී පට. ඒ සියල්ල දැන් අහු වෙලා ඉවරයි. මෙදා පොටේ නම් රන්ජන් පමණක් නොවෙයි රන්ජන්ට උඩින් සිටි අයත් අමාරුවේ වැටිලා ඉවරයි කියන එක අප ජනතාවට දැනුම් දෙනවා.”

– අරවින්ද අතුකෝරල

+++++++++++++++++++++++++++++++++++

රංජන්ගේ හඬ පටවලින් නීතිය නැමුව හැටි පේනවා – නාමල් රාජපක්ෂ

(07.01.2020 – 09:47 +0530 – sinhala.adaderana.lk)

පසුගිය යහපාලන ආණ්ඩුව මෙන් වත්මන් රජය කිසියම් මන්ත්‍රීවරයෙකු අත්අඩංගුවට ගැනීමේදී මාධ්‍ය සංදර්ශන පැවැත්වීමට කිසිදු අවශ්‍යතාවක් නොමැති බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පවසයි.

හම්බන්තොට දී මාධ්‍යයට අදහස් දක්වමින් මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළේය.

රංජන් රාමනායක මහතාගේ හඬ පටවලින් ඔවුන් නීතිය නැමු ආකාරය මනාව පැහැදිලි වන බවද මන්ත්‍රීවරයා මෙහිදී පැවසීය.

FCID ප්‍රධානියා විසින්ද මෙවැනි ක්‍රියා පිළිබඳ ප්‍රසිද්ධියේ මාධ්‍යයට හෙළි කළ බවත් පැවසු ඒ මහතා, නීතිපති දෙපාර්තමේන්තුවේ ප්‍රධානියෙක් ද නීතිය නැමු ආකාරය පිළිබඳ පැවසු බවත් කියා සිටියේය.

අරලියගහ මන්දිරයේ ජනතා විමුක්ති පෙරමුණේ නායකයින් හා එක්සත් ජාතික පක්ෂ නායකයින් නීතිය නැමු ආකාරය හෙළි වු බවත් පැවසු නාමල් රාජපක්ෂ මහතා, අද වන විට එවැනි කිසිදු බලපෑමක් නැතැයි ද පැවසීය.

අධිකරණ නියෝගයක් මත කථානායකවරයා පවා දැනුවත් කර රංජන් රාමනායක මහතාගේ නිවස සෝදිසි කළ බවත් එම අවස්ථාවේ දී ඒ මහතා සජීවි වීඩියෝවක් මුහුණුපොත තුළින් ප්‍රචාරය කර තමාගේ ගිනි අවියේ බලපත්‍රය කල් ඉකුත් වී ඇතැයි ඒ මහතාම පවසමින් ජනතාව නොමඟ ඇරීමට උත්සහ කළ බවත් මන්ත්‍රීවරයා කියා සිටියේය.

පසුගිය ආණ්ඩුව කළ ආකාරයට මාධ්‍ය සංදර්ශන දැමීමට තම ආණ්ඩුවේ බලාපොරොත්තුවක් නොමැති බවත්, රංජන් රාමනායක මහතාගේ හඬ පට තුළ තමාගේ කට වැඩි යැයි පවසමින් ‘නාමල්වත් ඇතුළට දාපන්’ යනුවෙන් ඇති බවත් මෙය එජාපයේ ක්‍රමවේදයක් බවත් ඒ මහතා පැවසීය.

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *