මාලබේ නෙවිල් ප්‍රනාන්දු රෝහලට වත්මන් ආණ්ඩුවත් මුදල් ගෙවලා

(30.12.2019 – 22:15 +0530 – lankaleadnews.com)

නීත්‍යානුකූල ලෙස රජයට පවරානොගත් නෙවිල් ප්‍රනාන්දු රෝහලට වර්තමාන ආණ්ඩුව යටතේ මුදල් ගෙවා තිබෙන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කරයි.

මේ මාසයට අදාළව රුපියල් මිලියන දෙසිය පනහක (250) මුදලක් ගෙවා තිබෙන බවත් මේ අනුව නෙවිල් ප්‍රනාන්දු රෝහලට සමස්ත කාලය තුල රුපියල් මිලියන පන්දහසකට වැඩි ප්‍රමාණයක් ගෙවා තිබෙන බවද එම සංගමයේ ලේකම් වෛද්‍ය හරිත අලුත්ගේ මහතා සඳහන් කළේය.

මේ නිසා කඩිනමින් නෙවිල් ප්‍රනාන්දු රෝහලට රජයට පවරා ගැනීමට අවශ්‍ය කටයුතු කලයුතු බවත් එසේ නොමැති නම් රජයට පවරා නොගෙන එම රෝහලට මෙතෙක් ගෙවා තිබෙන මුදල් නැවත අයකර ගතයුතු බවද කියා සිටියේය.

පසුගිය ආණ්ඩුව සයිටම් ආයතනය අහෝසි කිරීම යටතේ නෙවිල් ප්‍රනාන්දු රෝහල රජයට පවරාගත් බවට සඳහන් කරමින් මාසිකව රජයේ මුදල් එම රෝහලේ කටයුතු වලට යෙදවූ බවත් මේ අනුව වර්තමාන ආණ්ඩුව එම කටයුක්ත සිදුකරන බවද සඳහන් ක‍ළේය ෴

***************************************

1962 කතෝලික කුමන්ත්‍රණය මැඩපැවැත්වීම

(30.12.2019 – 14:08 +0530 – lankaleadnews.com)

1962 කතෝලික කුමන්ත්‍රණය මැඩපැවැත්වීමෙන් වසර 3 කට පසුව එතෙක් පැවති සිරිමාවෝ ආණ්ඩුව පරදා ඩඩ්ලි සේනානායකගේ එක්සත් ජාතික පක්ෂය ප්‍රධාන කොටගත් ආණ්ඩුව බලයට පත්වෙනවා. ඉතිහාසයේ පටන්ම එක්සත් ජාතික පක්ෂය බලයට ආ විට ඔවුන් හට මුලින්ම වැලදෙන සුපුරුදු රෝගයක් වන සහජීවන අමාරුව මේ ආණ්ඩුවටත් අඩු නැතුව ආරම්භයේදීම ඇති වෙනවා.

එහි ප්‍රතිඵලයක් ලෙසට සිරිමාවෝ ආණ්ඩුවෙන් සිදුකල දේශීයත්වයට මුල් තැන දුන් ප්‍රතිපත්ති දෙස වපරැසින් බලමින් ඔවුන් ඔවුන්ගේ සුපුරුදු සිංහල බෞද්ධ පදනම දුර්වල කිරීමේ ක්‍රියාමාර්ගය ආරම්භ කරනවා.එහි මූලික කාර්‍ය ලෙසින් සිදුවන්නේ තමන් හට බලයට පත්වීමට දැඩි ලෙස ආධාර වුනු මිෂනාරී සමාගම් සැනසීම උදෙසා සදහා සහ කතෝලික කුමන්ත්‍රණය තුල ඔවුන් ලද අපකීර්තිය තනුක කිරීම සදහා තවත් එවැනි හමුදා කුමන්ත්‍රණයක් ඩඩ්ලිගේ ආණ්ඩුව පෙරලීම උදෙසාද හමුදාවන් තුලින් පැණ නැග ඇති බව සදහන් කරමින් හමුදාවන්හී සිටින ප්‍රමුඛ පෙලේ බෞද්ධ නිලධාරීන් සහ විපක්ෂයේ දේශපාලන ක්‍රියාකාරීන් පිරිසකට එරෙහිව චෝදනා ගොනුකිරීමයි.

මේ හේතුව නිසාවෙන් මේජර් ජනරාල් රිචඩ් උඩුගම, සිරිමාවෝ රජයේ අභ්‍යන්තර කටයුතු සහ ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම් තනතුර දැරූ එන්.කිව්.ඩයස්, හේන්පිටගෙදර ඥානසීහ හාමුදුරුවන්, කපිතාන් සිරිසේන ඇතුලු පිරිසක් අත්අඩංගුවට පත්වෙනවා.එමෙන්ම එවකට යුධ හමුදාවේ මේජර් තනතුරේ සිටි ඩෙන්සිල් කොබ්බෑකඩුව ඇතුලු පිරිසක් අනිවාර්‍ය නිවාඩු යවනවා. මෙකී කුමන්ත්‍රණ චෝදනාව නගා අත්අඩංගුවට ගත් හේන්පිටගෙදර ඥානසීහ හාමුදුරුවන්ගේ සමීපතමයෙකු වූ දොඩම්පේ මුදලාලි නම් චරිතය රහස් පොලිස් අත්අඩංගුවේදී මිය යනවා. ඔහු සාක්ෂි ඉදිරිපත් කිරීමට මැලිවී රහස් පොලිස් ගොඩනැගිල්ලේ හතරවෙනි තට්ටුවෙන් පැන සිය දිවි නසාගත් බවට රජය පාර්ශවයෙන් ප්‍රකාශ කරනු ලැබුවත් සත්‍ය සිදුවීම වුනේ අභූත කුමන්ත්‍රණ චෝදනාවන් පිලි නොගැනීම නිසා රහස් පොලිස් නිලධාරීන් විසින් ඔහුව හතරවෙනි තට්ටුවෙන් පහලට තල්ලු කිරීමයි. එකල පොලිසියේ ශානි අබේසේකර පාට් එක රගදැක්වූ රාහුල් සිල්වා වැනි නිලධාරීන් වෙත මෙම ඝාතන චෝදනාව පසුව සෘජුව එල්ල වුනා.

කෙසේවෙතත් මෙය ජනතාවගේ අනුකම්පාව ලබාගැනීම උදෙසා බොලඳ පිටපතක් අනුව රඟදැක්වූ නාටකයක් බවට අධිකරණය ඉදිරියේ ඔප්පුවන විට එක් ජීවිතයක්ද අකාලයේ නැතිවී අවසන්. සාක්ෂි නොමැතිවීම නිසා ඉවත්වූ මෙම අභූත කුමන්ත්‍රණ චෝදනාව යූඇන්පී ආණ්ඩුවේ ජනප්‍රියත්වය දැඩි ලෙස පහත වැටීමටත් හේතුවක් වුනා.

රිච්ඩ් උඩුගම පසුව දේශපාලනයට පිවිස 1970 මහ මැතිවරණයේදි සමගි පෙරමුණ නියෝජනය කරමින් පාර්ලිමේන්තුවට තේරීපත්වන අතර, 1970 වසර තුලදීම අනිවාර්‍ය නිවාඩු යැවු මේජර් කොබ්බෑකඩුව ඇතුලු සියලු දෙනාම නැවත සේවයේ පිහිටවනවා. එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවේ බලය පිට අත්තනෝමතිකව කටයුතු කල රහස් පොලිස් පරීක්ෂක රාහුල් සිල්වා පසුකාලීනව අතිශය දුක්ඛදායී ලෙස මරණයට පත්වන්නේ මානසික රෝගීයෙකුද බවට පත්වීමෙන් පසුවයි. එමෙන්ම එක්සත් ජාතික පක්ෂයෙන් බිහිවූ යම් තරමකට හෝ ජනතාවාදී නායකයෙක් වන ඩඩ්ලි සේනානායකගේ දේශපාලන ජීවිතය අවසන් කිරීමටද මෙය අවසානයේ හේතුවක් වෙනවා.

වර්තමාන එක්සත් ජාතික පක්ෂ ක්‍රියාකාරීත්වය තුල සිදුවන විසුලු සහගත නාඩගම් දුටුවිට අප පුදුම නොවිය යුත්තේද මෙවැනි විසුලුකාරී ඉතිහාසයක් මතම ඔවුන්ගේ පක්ෂය ගොඩනැගී ඇති බැවින්. ඔවුන් ආමන්ත්‍රණය කරන ජන කොටස ඔවුන්ගෙන් බලාපොරොත්තු වන්නේද එවැනිවූ ක්‍රියාකාරීත්වයක්ම පමණයි. රාජිත, රන්ජන්, චම්පික, සජිත්, හරීන්, සේනසිංහ වැන්නවුන් අකුරටම ඉටු කලේත් තවමත් ඉටුකරන්නේත් අනාගතයේදී ඉටු කරනු ලබන්නේත් අන්න ඒ පක්ෂයෙන් ඔවුන්ට උරුමවී ඇති ඓතිහාසික වගකීමට එහාගිය දෙයක් නොවේ.

– මිගාර සමරකෝන්

***************************************

භික්ෂූන් වහන්සේ මැතිවරණවලට ඉදිරිපත්වීම සුදුසු නෑ – පූජ්‍ය මැදගම ධම්මානන්ද හිමි

(30.12.2019 – 20:58 +0530 – hirunews.lk/sinhala)

භික්ෂූන් වහන්සේ මැතිවරණවලට ඉදිරිපත්වීම නුසුදුසු බව අස්ගිරි පාර්ශ්වයේ ලේඛකාධිකාරී පූජ්‍ය මැදගම ධම්මානන්ද හිමියන් පවසනවා.

උන්වහන්සේ මේ බව පැවසුවේ අද (30) මහනුවර ප්‍රදේශයේ පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින්.

***************************************

රාජිතගේ වෛද්‍යවරයා ගැන හොයන්න සෞඛ්‍ය ඇමැතිනියට පැමිණිල්ලක්

(30.12.2019 – 20:31 +0530 – hirunews.lk/sinhala)

පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න මහතාට ප්‍රතිකාර කරනු ලබන වෛද්‍යවරයා, වෛද්‍ය ආචාර ධර්ම කඩකර ඇද්ද යන්න සොයා බලන ලෙස ඉල්ලා පූජ්‍ය ජඹුරේවෙල චන්ද්‍රරතන හිමියන් අද (30) සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මියට පැමිණිල්ලක් ඉදිරිපත් කළා.

+++++++++++++++++++++

***************************************

සැකයක් තබා අවසන්වූ හුස්ම – දරු ප්‍රසූතියට අවිස්සාවේල්ල මූලික රෝහලට ඇතුළත් කෙරුණු මවක් මියයාම

(31.12.2019 – 07:56 +0530 – sinhala.adaderana.lk)

දරු ප්‍රසූතියට අවිස්සාවේල්ල මූලික රෝහලට ඇතුළත් කෙරුණු මවක් මියයාම සම්බන්ධයෙන් එම රෝහල් බලධාරීන් වගකිව යුතු බවට ඇයගේ පවුලේ ඥාතීන් චෝදනා කරයි.

මෙලෙස මිය ගොස් ඇත්තේ 41 හැවිරිදි දෙදරු මවකි.

කොස්ගම මිල්ලගහවත්ත ප්‍රදේශයේ පදිංචි 41 හැවිරිදි උදාරි දීපිකා ගමගේ අවිස්සාවේල්ල මූලික රෝහලට ඇතුළත් වී ඇත්තේ සිය තුන්වැනි දරු ප්‍රසූතිය සඳහායි.

ඇය දෙසැම්බර් 27 වැනිදා උදෑසන 9ට පමණ සිසේරියන් සැත්කමකට මුහුණදී සිය දරු ප්‍රසූතිය සිදු කර තිබුණි.

ප්‍රසූතියෙන් පසු මව සහ බිළිදා හොඳ සෞඛ්‍ය තත්ත්වයෙන් පසුවූවත් එදින සවස් වනවිට ඇය නැවතත් සැත්කමකට භාජනය කර තිබේ.

කෙසේ වෙතත් එදින රාත්‍රියේ උදාරි රෝහලේදීම ජීවිතක්ෂයට පත් වූ අත රෝහල් කාර්යමණ්ඩලයේ නොසැලකිමත්කම හේතුවෙන් ඇගේ මරණය සිදුවූ බවට ඥාතීන් චෝදනා කරයි.

මේ නැගෙන චෝදනාව පිළිබඳව ‘අද දෙරණ’ අවිස්සාවේල්ල මූලික රෝහලේ බලධාරීන්ගෙන් විමසුවේය.

***************************************

බන්ධනාගාර ලොක්කෝ හිටි හැටියේ කෝටිපතියන් වෙලා – නව රජයෙන් පරීක්ෂනයක් අරඹයි

(30.12.2019 – nethnews.lk)

හිටිහැටියේ කෝටිපතියන් බවට පත්වූ උසස් බන්ධනාගාර නිලධාරීන් පිළිබඳ පැමිණිලි රැසක් ලැබී ඇතැයි මානව හිමිකම් හා නීති ප්‍රතිසංස්කරණ අමාත්‍යංශය පවසයි.

ඒ අනුව, ඔවුන්ගේ වත්කම් පරීක්ෂා කිරීම සඳහා අල්ලස් කොමිසමට දැනුම්දෙන බවද, රාජ්‍ය අමාත්‍ය මොහාන් ද සිල්වා මහතා පැවසීය.

බන්ධනාගාර උසස් නිලධාරීන් දස දෙනෙකු ඉඩකඩම්, යාන වාහන, ඇතුළු මහා පරිමාණ දේපළ රැසකට හිමිකම් කියන බවද, සාමාන්‍ය නිලධාරීන් ලෙස රාජකාරියට පැමිණ වසර කිහිපයක් ඇතුළත ඔවුන් මහා ධනවතුන් බවට පත්වීම විශාල අබිරහසක් බවද, රාජ්‍ය අමාත්‍යවරයා කීය.

බන්ධනාගාරවල සිදුවන නීති විරෝධී ක්‍රියාවන්ට මෙම තත්ත්වයද බලපා ඇති බවට සැකයක් මතු වී ඇතැයි පෙන්වා දෙන රාජ්‍ය අමාත්‍යවරයා ඇතැම් නිලධාරීන් වසරකදී වාර ගණනක් තම වියදමෙන් විදේශ සංචාර, විනෝද ගමන්, විවාහ මංගල උත්සව, මධුසමය ගත කිරීම මෙන්ම පවුල් පිටින් සති මාස ගණන් විදේශ රටවල ගත කිරීම හා මෙරටදී ලක්ෂපති උපන්දින සාද, ප්‍රිය සම්භාෂණ පැවැත්වීම පුදුම උපදවන බවද, වසර ගණනාවකට පෙර පාපැදියෙන් රැකියාවට පැමිණි ඇතැම් උසස් නිලධාරීන් අද වනවිට සුඛෝපභෝගී වාහන රැසකට හිමිකම් කියන බවද, අමාත්‍යවරයා අනාවරණය කළේය.

දෙපාර්තමේන්තුවේ යහපත් නිලධාරීන් අතලොස්සකගේ මෙන්ම දෙපාර්තමේන්තුවේ ගෞරවයද මෙවැනි නිලධාරීන් නිසා කෙලෙසෙන බව අමාත්‍යංශය කියයි ෴

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *