සමාගම් වලට සහනාධාර දෙමින් වී ගොවියාට පණ දිය හැකිද? – භාණ්ඩාගාර ලේකම්තුමාට පිළිතුරක්

(28.12.2019 – 09:30 +0530 – lankaleadnews.com)

පසුගිය ඉරිදා දිවයින පුවත්පතට සාකච්ඡාවක් ලබා දෙමින් භාණ්ඩාගාර ලේකම් එස්.ආර්. ආටිගල මහතා රජය විසින් පාන් පිටි සමාගම් වලට බදු සහන දීම පිලිබඳව ප්‍රධාන කරුනු දෙකක් සඳහන්කොට ඇත. පළමුවැන්න රජයේ ප්‍රමුඛතාවය ගොවි ප්‍රජාවගේ ජීවනෝපාය වැඩි දියුනු කිරීම බවය. දෙවැන්න තිරිඟු පිටි බදු අඩු කොට ඇත්තේ තාවකාලිකව සහල් වලට ආදේශකයක් ලෙස තිරිඟු පිටි දිරිමත් කිරීම සඳහා බවය. ඒ අනුව මහා භාණ්ඩාගාරයේ උපදෙස් මත ගනු ලැබූ එම තීන්දුව මඟින් ලේකම්වරයා සඳහන් කරන ප්‍රමුඛතම අපේක්ෂාව අභියෝගයට ලක් වන බව පැහැදිලිව පෙනී යයි.

තිරිඟු පිටි සමාගම් වලට බදු සහන ලබා දීම යනු වසර 20 කට අධික කාලයක් තිස්සේ ජාතික සංවිධාන සහ ගොවි සංවිධාන වල ප්‍රබල ඉල්ලීමකට සම්පුර්ණයෙන්ම ප්‍රතිවිරුද්ධ තීන්දුවකි. කෙසේ වෙතත් අමාත්‍ය මණ්ඩලය විසින් පාන් පිටි ආනයනය කරන සමාගම් වලට ලබා දී ඇති මහා පරිමාන බදු සහනාධාරය කි.ග්‍රෑම් එකකට රු. 28 කි. එනම් කි.ග්‍රෑම් එකකට රු. 36 ක් වූ බද්ද රු. 8 ක් දක්වා අඩු කොට ඇත. ඉතා කළබලයෙන් ගනු ලැබූ මෙම තීන්දුව සාධාරණීකරණය කිරීම සඳහා දේශපාලන නායකයින් විසින් හේතු දෙකක් ඉදිරිපත් කරන බව පෙනේ. පළමු වැන්න භාන්ඩාගාර ලේකම් සඳහන් කරන ආකාරයට සහල් මිල ඉහළ යන තත්වයක් තුළ පාන්පිටි මිල අඩු කිරීමෙන් මහජනයාට සහනයක් ලබා දීමය. එය තාවකාලික පියවරක් බවද පැවසේ. දෙවැන්න තිරිඟු ඇට ආනයනය කොට අඹරා තිරිඟු පිටි වෙළඳ පොළට ඉදිරිපත් කරන ත්‍රිකුණාමළයේ පිහිටි මහා විදේශීය සමාගමේ ඒකාධිකාරිය බිඳ හෙළීමය. නමුත් බදු අඩු කිරීමේ තීන්දුව සත්‍ය වශයෙන්ම තාවකාලික නම් ඒ මඟින් ආණ්ඩුවේ දෙවන තර්කය එනම් ඒකාධිකාරය බිඳ හෙළීමේ තර්කය බිඳ වැටේ.

පළමුවෙන්ම රජයට බදු ආදායම් අහිමිවන සහ ගොවිපවුල් 15 ලක්ෂයක ජීවත් වීමේ අයිතියට මෙන්ම කුඩා දරුවාගේ පටන් මහා සමාජය මුහුණ දෙන බරපතල සෞඛ්‍ය ප්‍රශ්ණයකට අදාළව ඒ ආකාරයට විධිමත් සොයා බැලීමකින් හෝ අදාල සියලු පාර්ශව වල අදහස් විමසීමකින් තොරව මහා පරිමාණ සහල් මෝල් හිමියන් සමග පමණක් සාකච්ඡා කොට කලබල කාරී ලෙස තීන්දු ගැනීම යනු ඉතා බරපතල නිශේධාත්මක සංඥාවකි. සමාජ ආර්ථික දේහය තුළ මුල් බැසගත් සහ දීර්ඝ කාලයක් තිස්සේ සංවාදයකට ලක් වූ ගැටළුවක් විසඳීමට ප්‍රවේශ වන්නේ ඒ ආකාරයට නම් නව ජනවරම පිළිබඳව අසීමිත බලාපොරොත්තු සහිතව මහ පාරේ චිත්‍ර අඳින, කසළ ඉවත් කරන හෝ පැළ සිටුවන උද්යෝගිමත් තරුණයාගේ අපේක්ෂා ඉටු කරන්නේ කෙසේද?

ඉහත සඳහන් කළ පළමු නිදහසට කාරණය වන සහල් මිල ඉහළ යාම නිසා පාන් පිටි මිල අඩු කිරීම වැනි ළමා උත්තර මඟින් ඒ තරුණයින්ගේ උසස් මනෝභාවයට ප්‍රතිචාර දැක්විය හැකිද? මහා පරිමාණ සහල් මෝල් හිමියන් විසින් පාරිභෝගික අධිකාරියේ අවසරය නොමැතිව සහල් මිල ඉහළ දැමීම දඬුවම් ලැබිය යුතු වරදකි. අංක 2125/66 (2019/05/31) දරණ ගැසට් නිවේදනය අනුව සම්බා සහල් කිලෝවක උපරිම මිල රු. 85 ක් වන අතර නාඩු කිලෝවක උපරිම මිල රු. 80 ක් විය යුතුය. මහා පරිමාන වී මෝල් හිමියන්ගේ ඉල්ලීම් පරිදි ආණ්ඩුව මිල වැඩි වීමක් ලබා දුන්නද ඒ මඟින් සත්‍යවශයෙන්ම සිදුවූයේ ඒ වන විටත් රු. 100 දක්වා නීති විරෝධීව වැඩි කොට තිබූ මිල නීත්‍යානුකූල කිරිමය. නමුත් එසේ මිල වැඩි කිරීම සාධාණීකරණය කළ නොහැක. ඊට හේතුව වෙළඳපොළේ වී මිල වැඩි නොවීමය. මහා පරිමාන මෝල් හිමියන් විසින් වී මිලදී ගන්නා විට ගොවියන්ගේ කේවල් කිරීමේ බලය බිඳ දමා සහතික මිලට වඩා අඩුවෙන් වී මිලදී ගෙන විශාල වශයෙන් තොග රැස් කිරීමෙන් පසුව වෙළඳපොළට සහල් නිකුත් කිරීම පාලනය කිරීම මඟින් සහල් මිල ඉහළ දමන බව ක්ෂේත්‍රය ගැන දන්නා අයට රහසක් නොවේ. ඔවුන් ලාභ උපයන්නේ සහල් සකස් කිරීමේ ව්‍යාපාරයට වඩා අඩු මිලට වී මිලදී ගැනීමේ ව්‍යාපාරය මඟිනි.

මහා පරිමාණ මෝල් හිමියන් ආණ්ඩුව බිය ගන්වා මිල වැඩි කිරීම සඳහා නම්මවා ගනු ලබන්නේ පාලන මිල නීතිය තදින් ක්‍රියාත්මක කළහොත් සහල් හිඟයක් ඇතිවිය හැකි බවට අනතුරු ඇඟවීම මඟිනි. නමුත් ඔවුන් සහල් තොග සඟවා තබා ගනිමින් කෘතිම හිඟයක් මවා පාන්නේ නම් සහල් තොග ප්‍රමාණයන් දැනුම් දෙන ලෙස නියෝග කිරීමට සහ තොග පරික්ෂා කිරීමට රජයට නීත්‍යානුකූල බලය ඇත. පාන් පිටි මිල අඩු කිරීමේ අරමුනින් ආනයන සමාගම් වලට බදු සහන දීමෙන් පසුව වාර්තා වූයේ රට තුළ අතිරික්ත සහල් තොග ඇතිතරම් තිබෙන බවය. අනෙක් පැත්තෙන් එවැනි තර්ජන වලට මුහුණ දීම සඳහා ක්ෂණිකව සහල් තොග ආනයනය කළ යුතු අතර ස.තො.ස මඟින් එවැනි තත්වයකට මුහුණ දිම සඳහා පෙර ක්‍රියා ලෙස ආරක්ෂණ තොග පවත්වාගෙන යා යුතුය. ඒ කිසිවක් නොකර මෝල් හිමියන්ගේ ඉල්ලීම් ඉටු කිරීමෙන් පසුව පිටි මිල අඩු කිරීමට උත්සහ කිරීම තර්කානුකූල නොවේ. ඒ ආකාරයට ප්‍රශ්න විසඳීමට නම් රජයක් අවශ්‍ය නැත. මහා පරිමාන මෝල් හිමියන්ට ඒ ආකාරයට ඒකාධිකාරියක් ගොඩ නගමින් රජය සහ ජනතාව ප්‍රාණ ඇපයට ගැනීමට හැකි වි ඇත්තේ කුඩා සහ මධ්‍යම පරිමාණ සහල් මෝල් ජාලය සහ කුඩා ප්‍රමාණයෙන් සහල් සකස් කොට සිල්ලර වෙළඳපොළට ඉදිරිපත් කිරීමේ ව්‍යාපාරය බිඳ වැටීම නිසාය.

ඊට අදාළ මුල හේතුවට ප්‍රතිකාර කිරීමෙන් තොරව හාල් නැත්නම් අඩු මිලට පාන් කාපල්ලා පන්නයේ විසඳුම් වලින් නම් සක්‍රයා තම පුත් වයිමා සමඟ පැමිණියද ප්‍රශ්ණය විසඳිය නොහැක. ඇත්ත වශයෙන්ම විසඳුමක් ලෙස පාන්පිටි මිල අඩු කිරීමෙන් සිදු වන්නේ ප්‍රශ්ණය දීර්ඝ කාලිනව විසඳිය නොහැකි තත්වයට උග්‍රවීමය. බදු අඩු කළ පමණින් හෙවත් සමාගම් වලට බදු සහන ලබා දුන් පමණින් වෙළඳපොළේ පිටි මිල ඒ ප්‍රමාණයෙන්ම අඩු නොවන බව රහසක් නොවේ. පාන්පිටි සමාගම් වලට ලබා දී ඇති කි.ග්‍රෑම් 1 ට රු. 28 වන සහනාධාරයෙන් බෙහෝ විට පාරිභෝගිකයාට ලැබෙන්නේ රු. 20 ක පමණ මුදලකි. ඒ පාන් ගෙඩියක් රු. 10 කින් මිල අඩුවුවහොත්ය. ඉතිරි රු. 8 පාන් පිටි සමාගමේ සහ මහා පරිමාණ බේකරි හිමියන්ගේ සාක්කුවට මෙන්ම එසේ පාන්පිටි සමාගම්වලට සහනාධාර දීම සඳහා ආණ්ඩුව පෙළඹ වූ පිරිස් වලට ලැබෙන බව රහසක් නොවේ.

දීර්ඝ කාලයක් තිස්සේ වී ගොවියාට සාධාරණ සහතික මිලක් ලබා දීමට නොහැකි වී ඇත්තේ සහ කුඩා සහ මධ්‍යම ප්‍රමාණ සහල් මෝල් වලට ව්‍යාපාරය පවත්වාගෙන යාමට නොහැකි වි ඇත්තේ සහල් සහ සහල් පිටි වලට වඩා ඉතා අඩු මිලකට වෙළඳපොළෙන් පාන් සහ පාන් පිටි මිලදී ගැනීමට හැකි වීම නිසාය. එම වෙළඳ පොළ මිල විකෘතිය නිසා වැඩි වශයෙන් පරිභෝජනය කෙරෙන සෑම තිරිඟු පිටි කි.ග්‍රෑම් එකකින්ම සහල් පරිභෝජනය ඊට සමාන ප්‍රමාණයකින් අඩුවේ. සහල් සහ සහල් පිටි පරිභෝජනයේ අඩුවීම සෑම වර්ෂයකම වී මිල පහත වැටීමේ ගැටළුව සමග බැඳී ඇත. එසේම සහල් මිල තීරණය විමේදී සාධාරණ මෝල් ගාස්තුවක් මිලට එකතු නොවීම ආදී හේතු නිසා කුඩා සහ මධ්‍යම පරිමාන සහල් සහ සහල් පිටි මෝල් වල පැවැත්ම අනතුරට වැටී ඇත. එවිට මහා පරිමාන මෝල් වල ඒකාධිකාරිය බලවත් වේ. මෙම විෂම චක්‍රය බිඳලිය හැක්කේ වෙළඳපළ තුල තිරිඟු පිටි තොග මිල සහල් පිටි තොග මිලට වඩා අවම වශයෙන් රු. 10 කට වඩා ඉහළ මට්ටමක පවතින ලෙස බදු පැනවීම මඟිනි. ඒ මූලික වෙළඳපොළ මැදිහත්වීම සිදු නොකර අන්කුමක් කළද ප්‍රශ්ණය විසඳිය නොහැකි බව පසුගිය වසර 20 කට අධික කාලය තුළ විවිධ ආණ්ඩු විසින් ඔප්පු කොට ඇත.

චන්ද්‍රිකා බණ්ඩාරනායක ජනාධිපතිනිය සමයේදි ඒ පරම සත්‍යය හෙවත් සහල් සහ සහල් පිටි ආර්ථිකයේ ඉල්ලුම පැත්තේ අත්‍යවශ්‍ය මැදිහත්වීම වන මිල වෙනස ඇති නොකොට කුඩා සහල් මෝල් හිමියන්ට ණය උගුලින් ගැලවීම සඳහා තවදුරටත් ණය පහසුකම් ලබා දුණි. එම විසඳුම මඟින් අවසානයේදී සිදු වූයේ ඔවුන්ගේ දේපළ බැංකු වලට සින්න වීමය. තවත් ඇමතිවරයෙක් ගොවියාගේ ණය බර නිසා ‘කමතින්’ වෙළඳපොළට සෘජුව වී තොග ගෙන ඒම තුලින් ඇති වන කෘතිම වෙළඳපළ අතිරික්තයට විසඳුම් ලෙස ඊශ්‍රායලයෙන් කූඩාරම් ගබඩා මිලදී ගෙන රජය විසින් එම ඊනියා අතිරික්ත වී තොග මිලදී ගැනීමට යෝජනා කළේය. වී වලට හොඳ මිලක් තිබේනම් සහ කුඩා පරිමාන සහල් වෙළඳපළ කාර්යක්ෂම නම් ගොවියා තම නිදන කාමරයේ හෝ වී ගබඩාකරගෙන වී තොග ක්‍රමයෙන් වෙළඳපළට නිකුත් කරන බව ඒ අමාත්‍යවරයා දන්නේ නැත. වී මිල පහත වැටීමට විසඳුම් ලෙස රජය මඟින් වී මිලදී ගැනීම සහ මෝල් හිමියන්ට ණය ලබා දීම වැනි කෙටිකාලීන විසඳුම් වලින් ප්‍රශ්ණය විසඳී නැත. නමුත්දැන් නැවත වටයකින් ප්‍රශ්නයට හේතුව ගබඩා පහසුකම් නොමැති වීම යැයි පවසමින් මධ්‍යම පරිමාණ මෝල් හිමියන්ට නවීන ගබඩා පහසුකම් ඉදිකිරීම සඳහා භාණ්ඩාගාර නිලධාරීන් විසින් ණය යෝජනා ක්‍රමයක් ඉදිරිපත් කරන බව වාර්තාවේ. වෙළඳපොල ගැටළුව විසඳීමෙන් තොරව මීට පෙර සිදු කළ ආකාරයට මෝල් හිමියන් විසින් ණය ලබා ගතහොත් සිදුවන්නේ ඔවුන්ගේ දේපලද බැංකු වලට සින්නවීම බවට කිසිදු සැකයක් නැත.

රජය විසින් ආරක්ෂණ තොග ලෙස වි තොග ප්‍රමාණයක් ගබඩා කළ යුතු බව සත්‍යයකි. එහෙත් වෙළඳපළ හේතු මත පහත වැටෙන වී මිල ඉහළ දැමීම සඳහා රජය මඟින් වි මිලදී ගැනීම ව්‍යාජ විසඳුමක් පමණක් නොව රජයේ අරමුදල් විනාශ කිරීමක් බවද දැන් පැහැදිළිව ඔප්පු වී ඇත. පසුගිය රජයේ විෂයභාර අමාත්‍යවරයාට රජය විසින් රු.42 ට මිලදී ගත් වී තොග රු. 24 ට සත්ත්ව ආහාර වලට විකුණූ බවට චෝදනා එල්ල විය. ඒ මඟින් රජයට රු. මිලියන 6,000 ක් පාඩු වු බවට සහ යම් පිරිසක් ඉන් භාගයක් පමණ තම ලාභය බවට පත් කරගත් බවටද සාක්ෂි සහිතව චෝදනා එල්ල විය. ඒ අනුව ඊනියා ව්‍යාජ විසඳුම් වලින් ලාභ ලබන පිරිසක් සිටින බව රහසක් නොවේ. ඉහත සඳහන් කළ ආකාරයට සමාගම් වලට සහනාධාර දී පිටි මිල අඩු කිරීමේ විසඳුම තාවකාලික එකක් බව කීවද එම ඊනියා විසඳුම දීර්ඝ කාලීනව රාජ්‍ය අරමුදල් අවභාවිතා කිරීම සඳහා යොදාගන්නා උපාය මාර්ගයක් බව ද රහසක් නොවේ. මෙවර බදු සහනය ලබා දෙන විට තිරිඟු පිටි තොග ශ්‍රී ලංකාව ආසන්න මුහුදේ වරාය දෙසට පැමිණෙමින් තිබෙන බවටද චෝදනාවක් එල්ල වී ඇත. එහි සත්‍ය අසතය තාවය තව නොබෝ දිනකින් බලා ගත හැකිවනු ඇත. ඒ නිසා ‘තාවකාලික විසඳුමක්’ බවට සුදුහුනු ගෑම මඟින් දීර්ඝ කාලයක් තිස්සේ පවතින සමාගම් වලට බදු සහන දීමේ ‘බදු සහන කර්මාන්තය’ සාධාරණීකරණය කළ නොහැක.

ආණ්ඩුව විසින් ඉදිරිපත් කරන ඉහත සඳහන් කළ දෙවන නිදහසට කාරණය ත්‍රිකුණාමළයේ පිහිටි විදේශිය මහා තිරිඟු පිටි සමාගමේ ඒකාධිකාරිය බිඳිමය. මීට පෙරද එසේ ඒකාධිකාරිය බිඳීම සඳහා වෙනත් දේශීය යැයි කියන සමාගමකට තිරිඟු ඇට ආනයනය කොට ඇඹරීම සඳහා සහන ලබාදුන්නද එම මහා පරිමාණ සමාගමේ ඒකාධිකාරිය කෙසේවෙතත් වෙළඳපළ අහිමි වී නැත. මෙවර බදු සහනය ලබා දි ඇත්තේ තිරිඟු පිටි වශයෙන් ආනයනය කිරීමට වුවත් පසුගිය රජය මඟින් තිරිඟු ඇට ආනයනය කරන මහා සමාගමට මහා පරිමානයෙන් සහන රාශියක් ලබා දී ඇත. එම සහන භාවිතා කරමින් 2014 දී මෙ.ටො ලක්ෂ 13 ක් වූ තිරිඟු පිටි පරිභෝජනය 2018 වන විට ලක්ෂ 17 ත් දක්වා මෙ.ටො ලක්ෂ 4 කින් ඉහළ දැමීමට එම සමාගම් සමත් විය. ඒ අනුව ඊට සමාන ප්‍රමාණයකින් දේශීය සහල් පිටි සහ සහල් පරිභෝජනය අඩුවන බව අමාත්‍ය තනතුරු නැති කුඩා ළමයෙකුට වුවද වටහාගත හැකිය. දැන් තිරිඟු පිටි වලටද සහනාධාර ලබාදුන් විට එම ප්‍රමාණය මෙ.ටො ලක්ෂ 20 ඉක්මවා යනු ඇත. මේ වන විට ගාලුමුවදොර මෑතකදී විවෘත කළ මහා හෝටලයකට සම්බන්ධ පුද්ගලයෙකු විසින් තිරිඟු පිටි ආනයනය සඳහා රුපියල් මිලියන දාහක ණයවර ලිපියක් ලබාගෙන ඇති බව වාර්තාවේ. මේ දින වල ලෝක වෙළඳපොගේ තිරිඟු මිල පහත වැටෙමින් ඇති තත්වයක් යටතේ තාවකාලිකයැයි කියන කාලය තුළ දීර්ඝ කාලයකට අවශ්‍ය තිරිඟුපිටි ආනයනය කිරීමේ හැකියාව ඇත.

ඒ ආකාරයට විදේශීය ආහාර ආනයනය කරන සමාගම් වලට බදු සහන දෙමින් රටේ ආහාර සුරක්ෂිතතාවය සහ දේශීය ගොවියාගේ ජීවන මට්ටම අනතුරට හෙළන රටවල් අතුරින් ශ්‍රී ලංකාව ඉදිරියෙන්ම සිටින බව වෙස්සන්තර පන්නයේ එම සහන තොගය අධ්‍යයනය කිරීමේදී පැහැදිලි වේ. එදා පීල් එල් 480 ගිවිසුම මඟින් අඩු මිලට ණයට තිරිඟු පිටි ලබා දී එය ප්‍රධාන ආහාරයක් බවට පත් කිරීමෙන් පසුව ත්‍රිකුණාමළ වරායේ මහා පරිමාන කර්මාන්තශාලාවක් ආරම්භ කිරීමට තරම් ශ්‍රී ලංකාවේ තිරිඟු පිටි පරිභෝජනය ඉහළ දැමීමට අදාළ විදේශීය සමාගම් සමත් විය. ඉන් පසුව ‘රු. 3.50 ට පාන් දෙන්නම්’ කියා බලයට පත් වු අය සහ එම සමාගම අතර ඉතා කිට්ටු සබඳතා තිබූ බව අදාළ ගිවිසුම නැවත අළුත් කිරීමේදී ලබා දුන් සහන වලින් පැහැදිළි වේ. ත්‍රිකුණාමලය වරායට ගෙවිය යුතු බදු වර්ග 4 අතරින් ඉතා කුඩාම බද්ද වන නාවික ගාස්තු පමණක් ගෙවීමට එම සමාගමට අවස්ථාව ලබාදි ඇත. ඒ අනුව ‘ටොන් ප්‍රමාණ ගාස්තු’ , ‘ගොඩබෑමේ සහ බාරදීමේ ගාස්තු’ සහ ‘නැව් භාණ්ඩ වාහක ගාස්තු’ නොගෙවීම නිසා වසරකදී රජයට සිදිවන පාඩුව රු. මිලියන 10,000 කට අධික බව වරාය සේවකයෝ පවසති.

ඒ ආකාරයට දීර්ඝ කාලයක්තිස්සේ එම සමාගමට ලබා දි ඇති බදු සහන වලට අමතරව පසුගිය රජය විසින් අවස්ථා දෙකකදී රු. 10 බැගින් රු. 20 ක බදු සහනයක් කි.ග්‍රෑම් 1 කට ලබා දීම නිසා 2018 වසරේ රජයට අහිමි වූ ආදායම රු. මිලියන 34,000 කි. එය රටේ සමස්ථ සමෘර්ධි සහනාධාරයටත් වඩා වැඩි මුදලකි. ඉහත සඳහන් කළ ආකාරයට එම සහනාධාරය පාන් සහ කෙටි කෑම වල මිල මට්ටම් වලින් පිළිබිඹු නොවූ බව රහසක් නොවේ. අඩු මිලට තිරිඟු පිටි ආහාර ගිල දමමින් ලෙඩ විය යුතු බවක් ඉන් අදහස් නොවේ. ඒ මඟින් කියවෙන්නේ මහජනයාට සහන දීමේ මුවාවෙන් රජයේ ආදායම් අහිමි කර ගනිමින් සමාගම් වලට ලබා දෙන සහනාධාර වලින් වැඩි කොටස ආනයන සමාගමට, මහා පරිමාන බේකරි හිමියන්ට මෙන්ම දේශපාලන තැරැව්කරුවන්ට ලැබෙන බවය. එය භාණ්ඩාගාරයේ තිබෙන අරමුදල් සොරකම් කිරීම වැනි ක්‍රියාවකි.

අඩු මිලට තිරිඟු පිටි ගිල දමමින් මහජන සෞඛ්‍යය, වී ගොවිතැන, වී ගොවියා සහ අවසානවශයෙන් රටේ ආහාර සුරක්ෂිතතාව ආරක්ෂාකල නොහැකි බව මෙන්ම ඒ මඟින් ආර්ථිකයට සිදුවන දීර්ඝකාලීන අනර්ථය මහජනයාට පැහැදිළි කිරීමෙන් සහ මහජන සහාය ලබා ගැනීමෙන් තෙරව නව ආණ්ඩුවටද මෙම දීර්ඝ කාලීන ගැටළුව විසඳිය නොහැකි බව පිළිගැනීමට දැන් කාලය පැමිණ ඇත. නව භාන්ඩාගාර ලේකම්තුමා වැනි දක්ෂ නිලධාරියෙකු වුවද තවත් වසර විස්සක් ධූරය දැරුවද ඒ පරම සත්‍යයට පිටුපා ක්‍රියා කිරීමට හැකියාවක් නැති බව අභියෝගාත්මකව සඳහන් කළ යුතුය. මෙතෙක් මේ රටේ බිහි වූ පාලකයින් අතුරින් එවැන්නක් කළ හැකි දේශපාලන ගෞරවය සහ නිර්භීතකම මෙන්ම අවස්ථාවද ඉහළින්ම හිමිවන්නේ වර්ථමාන ජනාධිපතිවරයාට බවට ජනතාව අතර නම් විවාදයක් නැත. දීර්ඝ කාලයක් තිස්සේ මෙම ප්‍රශ්ණයට සැබෑ සහ එකම විසඳුම ක්‍රියාත්මක කිරිමට නොහැකි වන්නේ ඒ මූලික සුදුසුකම් දේශපාලන නායකයින්ට පමණක් නොව රාජ්‍ය නිලධාරීන්ට මෙන්ම වෘතිකයින්ට ද නොමැති වීම නිසා බව කණගාටුවෙන් වුවද සඳහන් කළ යුතුය.

ඉතා ප්‍රබල වෘතික සංවිධානයක් වන වෛද්‍ය සංගමයට පවා අඩු තරමින් රෝහල්වල මුළුතැන්ගෙවල් සහ ආපන ශාලා වල තිරිඟු පිටි භාවිතා නොකරන ලෙස ප්‍රතිපත්තියක් අනුගමනය කරන ලෙස සෞඛ්‍ය ඇමතිවරයාට බලකිරීමට ධෛර්යක් නැත. වාමාංශික ගොවිසමිති නායකයින්ට පවා සහල් මිලට වඩා අඩු මිලට පාන් පිටි නොකෑ යුතු බව ගොවියාට කීමට ධෛර්යක් නැත. ඒ කිසිවෙකුට ධෛර්ය නැතත් නව ජනාධිපතිවරයාට ස්වේච්චාවෙන් චිත්‍ර අඳින සහ කසල ඉවත් කරන තරුණයා විසින් ලබා දෙන ධෛර්ය රට වෙනස් කරන මෙම තීන්දු ගැනීම සඳහා හොඳටම ප්‍රමාණවත් බව අපගේ පිළිගැනීමයි ඒ අනුව කළ යුත්තේ එක් මූලික දෙයක් පමණි. ඒ තිරිඟු පිටි තොග මිල සහල් පිටි සිල්ලර මිලට වඩා රු. 10 ක් ඉහළින් නියම වන ලෙස මෙතෙක් ඉවත් කළ බදු සියල්ල නැවත පැනවීමය. ඒ තුළින් රජයට ලැබෙන ආදායම මඟින් සමෘද්ධි හෝ දිවි නැඟුම ගෙවීම් දෙගුණ කොට තිරිඟුපිටි බහුලව ආහාරයට ගන්නා වතුකරයේ ජනතාවට විශේෂ සහනාධාරයක් ද ලබා දිය හැක. ඉතිරි මුදල් දීර්ඝ කාලීනව කෘෂි නිෂ්පාදන පද්ධතිය දියුණු කිරීම සඳහා යෙදවිය යුතුය. ඒ සියල්ල සඳහා කළ යුත්තේ බදු ඇතුළත්වන ලෙස තිරිඟු පිටි වලට මිල සූත්‍රයක් හඳුන්වා දීමය. එසේම වී ගොවියාට රු. 50 ක සහතික මිලක් සහිතව කුඩා ‍මෝල් වල පැවැත්ම සහතික වන ලෙස සහල්වලට මිල සූත්‍රයක් හඳුන්වා දීම මඟින් වෙළඳපළ විකෘතිය තව දුරටත් අවමකළ හැක. එවිට මේ වන විට භාණ්ඩාගාර නිලධාරීන් විසින් විසඳීමට උත්සාහ කරන ගබඩා ප්‍රශ්නය ගොවියා විසින්ම විසඳනු ඇති බවට අත්දැකීම් අනුව සහතිකයක් ලබාදිය හැක.

– වෛද්‍ය කේ.එම් වසන්ත බණ්ඩාර

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *