රාජිත රකින්නේ කවුද? සුදත්ත හිමිගෙන් හෙළිදරව්වක්. 2015 දී වගේ 2019 දීත් අපිට වැරදුනා ?

+++++++++++++++++++++++++++++++++++

= මේ පිටුවේ සිරස්තල =

• රාජිත රකින්නේ කවුද? සුදත්ත හිමිගෙන් හෙළිදරව්වක්. 2015 දී වගේ 2019 දීත් අපිට වැරදුනා ? (විඩියෝ)

• හිටපු ඇමති රාජිත සේනාරත්න දෙසැම්බර් 30 වනදා දක්වා රිමාන්ඩ් (විඩියෝ)

• රාජිතව භාරගන්න බන්ධනාගාර නිලධාරීන් රෝහලට (විඩියෝ)

• ඉදිරියේදී ප්‍රවාහණ වෛද්‍ය ආයතනයෙන් අධි වේගි සේවාවක්

• මගනැගුම ආයතනය තුළ ඇති යන්ත්‍රෝපකරණ වහාම භාවිතයට ගන්නා ලෙසට ජොන්ස්ටන්ගෙන් නියෝග

• ලෝකයේ විශාලතම නිවුන් එකමුතුව ශ්‍රී ලංකාවේ

• දුර දුම්රිය ගමන් ප්‍රවේශ පත්‍ර වැඩි මිලට අළෙවි කරන මාෆියාවක් ගැන සී.බී. කියයි (විඩියෝ)

• හෙට (27) ත්‍රස්ත විමර්ශන කොට්ඨාශයට එන්න සිවාජිලිංගම් බෑ කියයි

• සෙබළාට පහර දී ගිනි අවිය පැහැරගත් දෙදෙනා රිමාන්ඩ්

• මෙතෙක් නොඇසුණු මහින්ද කදවුරේ ඇතුළත කතා රැසක් විමල් අනාවරණය කරයි (විඩියෝ)

• මේ අමාත්‍යාංශ තුනම එදා පාස්කු ප්‍රහාරයට තෝතැන්නක් වෙලා – විමල් වීරවංශ

+++++++++++++++++++++++++++++++++++

රාජිත රකින්නේ කවුද? සුදත්ත හිමිගෙන් හෙළිදරව්වක්. 2015 දී වගේ 2019 දීත් අපිට වැරදුනා ? (විඩියෝ)

(26.12.2019 – colombotoday.com)

“හිටපු ඇමති රාජිත සේනාරත්න අත්අඩංගුවට ගන්න අධිකරණයෙන් වරෙන්තු නිකුත් කර තිබුනත් මේ වනතෙක් ආරක්ෂක සමත් වෙලා නෑ ඔහුව අත්අඩංගුවට ගන්න. ඒ තුළින් පැහැදිලි වන්නේ රටේ බුද්ධි අංශ තවමත් සක්‍රිය තත්ත්වයක නොමැති බවයි කියන කාරණාව ද කියලා ප්‍රශ්න කරනවා.” යැයි මගල්කන්දේ සුදත්ත හිමි අද (26) පැවැත්වූ මාධ්‍ය හමුවකදී සඳහන් කර සිටියා.

නීතිය කිරීමේදී මන්දගාමී ස්වරූපයක් අනුගමනය කිරීම ඉතාම කනගාටුදායක තත්ත්වයක් බවත් පසුගිය දා රාජිත සේනාරත්න මන්ත්‍රීවරයා මහින්ද රාජපක්ෂ මැතිතුමා හමුවුණු බව දැනගන්නට තිබෙන බවත් සුදත්ත හිමි සඳහන් කරන ලදි.

මෙම හේතුන් මත මේ රජය නීතියක් ක්‍රියාත්මක කිරීම සඳහා ධනය බලය අනුව වෙනස් ක්‍රමවේදයක් අනුගමනය කරනවා යැයි තමන් වහන්සේ යෝජනා කරන බවත් ඒ හිමියෝ සඳහන් කරන ලදි.

2015 ජනවාරි 8 වැනි දා මේ රටේ ජනතාව වරද්දා ගත්තා සේම නැවත වතාවක් අපට වැරදුනාද කියල හිතන්න සිදුවීම ඉතාමත්ම කණගාටුදායක තත්ත්වයක් බවත් සුදත්ත හිමියෝ ප්‍රකාශ කළහ.

+++++++++++++++++++++++++++++++++++

හිටපු ඇමති රාජිත සේනාරත්න දෙසැම්බර් 30 වනදා දක්වා රිමාන්ඩ්

(27.12.2019 – 16:47 +0530 – sinhala.adaderana.lk)

අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ අත්අඩංගුවට ගත් හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා දෙසැම්බර් 30 වනදා දක්වා රක්ෂිත බන්ධානගාර ගත කර තිබේ.

කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ශලනි පෙරේරා මහත්මිය හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා ප්‍රතිකාර ලබන පෞද්ගලික රෝහල වෙත පැමිණි අතර ඉන් පසුව මෙම නියෝගය ලබාදුන් බව ‘අද දෙරණ’ වාර්තකරු පවසයි.

රාජිත සේනාරත්න මහතා අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් අධිකරණයට ඒ පිළිබඳව දැනුම්දෙමින් කියා සිටියේ සැකකරු ඇප මත මුදාහැරියහොත් විමර්ශනවලට බාධා සිදුවන බැවින් ඔහු රක්ෂිත බන්ධානගාරගත කර ලෙසයි.

+++++++++++++++++++++

රාජිතව භාරගන්න බන්ධනාගාර නිලධාරීන් රෝහලට

(27.12.2019 – 21:03 +0530 – sinhala.adaderana.lk)

කොළඹ පෞද්ගලික රෝහලක ප‍්‍රතිකාර ලබමින් සිටි හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා භාර ගැනීම සඳහා බන්ධනාගාර නිලධාරීන් එම ස්ථානයට පැමිණ ඇති බව වාර්තා වෙයි.

කොළඹ පෞද්ගලික රෝහලකදී අද (27) පස්වරුවේ අත්අඩංගුවට ගත් හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා ලබන 30 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණි.

කෙසේ වෙතත් ඔහු මේ වන තෙක්ම බන්ධනාගාර නිලධාරීන්ගේ ආරක්ෂාව මධ්‍යයේ රැදී සිටින්නේ අදාළ පෞද්ගලික රෝහල තුළය.

හිටපු අමාත්‍යවරයා අත්අඩංගුවට පත් වුණේ කොළඹ ප‍්‍රධාන මහේස්ත‍්‍රාත් අධිකරණය නිකුත් කළ අත්අඩංගුවට ගැනීමේ වරෙන්තුවෙන් දින තුනකට පසුවයි.

***************************************

ඉදිරියේදී ප්‍රවාහණ වෛද්‍ය ආයතනයෙන් අධි වේගි සේවාවක්

(26.12.2019 – 22:58 +0530 – sinhala.adaderana.lk)

උදය කාලයේ නුගේගොඩ පිහිටි ප්‍රවාහණ වෛද්‍ය මධ්‍යස්ථානයේ ඉදිරිපිට පවතින වෛද්‍ය සහතික ලබා ගැනීමට පැමිණෙන පිරිස දිගු පෝලිමක් වශයෙන් දක්නට ලැබේ.

මෙම තත්ත්වය සෙසු ප්‍රදේශවල පිහිටි කාර්යාලවල ද දක්නට ලැබෙන බැවින් ඊට පිළියමක් ලෙස අධිවේගී සේවාවක් Fast Track system ස්ථාපිත කිරීමට අදාල කාරණා සම්බන්ධයෙන් සොයා බලන ලෙස ප්‍රවාහණ කළමනාකරණ, විදුලිබල හා බලශක්ති අමාත්‍ය මහින්ද අමරවීර මහතා එම ආයතනයේ ඉහළ නිලධාරින්ට උපදෙස් දුන්නේය.

ප්‍රවාහණ අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන ජාතික ප්‍රවාහන වෛද්‍ය ආයතනය විසින් රියදුරන් වෛද්‍ය පරීක්ෂණවලට ලක් කර සහතිකපත් නිකුත් කිරීම මගින් 2019 වසරේ රු. මි. 200 ක ආදායමක් මහා භාණ්ඩාගාරය වෙත ලබා දී තිබේ.

2019 වසරේ දී එම ආයතනය විසින් ලබා ඇති සමස්ත ආදායම රු.මි. 712 කි. වැය කර ඇති මුදල රු. මි. 411 ක් වන අතර 2019 වසරේ දී එම ආයතනය විසින් උපයා ඇති ලාභය රු. මි. 300 කි.

දිනකට මෙම ආයතනය වෙත වෛද්‍ය පරීක්ෂණ සඳහා නුගේගොඩ පිහිටි කාර්යාලයට පැමිණෙන පිරිස 800 ක් පමණ වන අතර එම පිරිසට ගුණාත්මක සේවාවක් ලබා දීම සඳහා පියවර ගන්නා ලෙස ප්‍රවාහණ සේවා, විදුලිබල හා බලශක්ති අමාත්‍ය මහින්ද අමරවීර මහතා උපදෙස් දුන්නේය.

අද දින (26) පෙරවරුවේ නුගේගොඩ පිහිටි ප්‍රවාහණ වෛද්‍ය ආයතනය වෙත ගිය අමාත්‍යවරයා එම ආයතනය විසින් මහජනතාවට ලබා දෙන සේවාවන් පිලිබඳව එහි නිලධාරින් සමග සාකච්ඡා කළේය.

මෙම ආයතනයේ උතුරු හා නැගෙනහිර පිහිටි කාර්යාලවලට ප්‍රමාණවත් සේවක සංඛ්‍යාවක් හා උපකරණ නොමැතිකම නිසා එම ප්‍රෙද්ශවල ජනතාවට කාර්යක්ෂම සේවාවක් ලබා දීමේ ගැටළුව පැන නැගී ඇති බව තමන්ට වාර්තා වී ඇතැයි කී අමාත්‍යවරයා එම ගැටළු විසඳීම සඳහා කඩිනමින් පියවර ගන්නා ලෙස දැන්වීය.

එමෙන්ම මෙම ආවතන අවට මහජනතාවගෙන් මුදල් ගසා කන මෙන්ම විවිධ අක්‍රමිකතාවල යෙදෙන තැරැව් කරුවන් විශාල පිරිසක් සිටින බැවින් එම තැරැව්කරුවන් අත්අඩංගුවට ගන්නා ලෙස පොලිසියට දන්වන ලෙස ද උපදෙස් දුන්නේය. වෛද්‍ය පරීක්ෂණ අසමත් වන ඇතැම් රියදුරන් මෙම තැරැව්කරුවන්ට අල්ලස් දී ව්‍යාජ ලෙස සකස් කරන සහතික ලබා ගන්නා බවත් වාර්තා වී ඇතැයි අමාත්‍යවරයා කීය.

දැනට මෙම ආයතනය විසින් රියදුරන් සඳහා සිදු කරන ලද වෛද්‍ය පරීක්ෂණ අනුව පෙනී ගොස් තිබෙන්නේ වෛද්‍ය පරීක්ෂණ අසමත් වන රියදුරන්ගෙන් සියයට 58 ක් ඇස් පෙනීමේ දුර්වලතාවලින් පෙළෙන බවයි.

වෛද්‍ය සහතික ලබා ගැනීමේදී අධිවේගි සේවාවක් ස්ථාපිත කිරීම සම්බන්ධයෙන් කතා කළ අමාත්‍යවරයා ඉන්දියාවේ තිරුපති වඳින්න යන අය සඳහාත් VIP පහසුකම් තිබෙනවා සේම Fast Track Service එකක් ඇති බැවින් වෛද්‍ය සහතික ගැනීමට පැමිණෙන ජනතාවට එවැනි සේවාවක් නොමැතිවීම අඩුපාඩුවක් බව ද කීය ෴

***************************************

මගනැගුම ආයතනය තුළ ඇති යන්ත්‍රෝපකරණ වහාම භාවිතයට ගන්නා ලෙසට ජොන්ස්ටන්ගෙන් නියෝග

(26.12.2019 – 22:02 +0530 – sinhala.adaderana.lk)

“මගනැගුම” ආයතනය තුළ ඇති භාවිතයට නොගන්නා ලද හා අතහැර දමා ඇති යන්ත්‍රෝපකරණ හා රථ වාහන වහාම අලුත්වැඩියා කර භාවිතයට ගන්නා ලෙස වරාය හා නාවික කටයුතු, මාර්ග හා මහාමාර්ග සංවර්ධන අමාත්‍ය ජොන්ස්ටන් ප්‍ර‍නාන්දු මහතා නිලධාරීන්ට නියෝග කර ඇත.

මෙලෙස භාවිතයට නොගෙන සහ අතහැර දමා ඇත්තෙි ෆෝක්ලිෆ්ට්, එස්කැවේටර්, ගල්රෝල්, තාර දමන යන්ත්‍ර‍, ටිපර් රථ, මෝටර් ග්‍රේඩර් යන්ත්‍ර‍, රථ වාහන සහ යන්ත්‍රෝපකරණයි.

අමාත්‍යවරයා මේ බව පැවසූයේ හදිසියේම මගනැගුම කාර්යාල පරිශ්‍රය නිරීක්ෂණය කිරීමට පැමිණි අවස්ථාවේ දී ය.

මගනැගුම කාර්යාල පරිශ්‍ර‍ය වෙත පැමිණි ජොන්ස්ටන් ප්‍ර‍නාන්දු මහතාට විශාල වශයෙන් අත්හැර දමන ලද යන්ත්‍රෝපකරණ හා රථ වාහන නිරීක්ෂණය විය.

පසුගිය වසර කිහිපය පුරාම එම යන්ත්‍රෝපකරණ සහ රථ වාහන භාවිත නොකර ඇති අතර ඒවා අබලන් වී තිබුණි. වහාම මෙම යන්ත්‍රෝපකරණ අලුත්වැඩියා කරන ලෙසත් මෙම කෝටි ගණන් වටිනා යන්ත්‍රෝපකරණ භාවිත නොකොට දිරාපත් වන්නට හැරීමෙන් ජාතික අපරාධයක් නොකරන ලෙසටත් අමාත්‍යවරයා එහි නිලධාරීන්ට අවධාරණය කළේය.

වහාම මෙහි ඇති යන්ත්‍රෝපකරණ වල ලැයිස්තුවක් සකස් කර අලුත්වැඩියා කටයුතු කඩිනමින් සිදුකරන ලෙසත් අබලි හා කසළ වහාම ඉවත් කරන ලෙසත් අමාත්‍යවරයා වැඩිදුරටත් නියෝග කරන ලදි ෴

***************************************

ලෝකයේ විශාලතම නිවුන් එකමුතුව ශ්‍රී ලංකාවේ

(26.12.2019 – 20:29 +0530 – sinhala.adaderana.lk)

ලෝකයේ විශාලතම නිවුන් එකමුතුව සාදමින් 2020 ජනවාරි මාසයේ දී ලෝක ගිනස් වාර්තාවක් තැබීමට ශ්‍රී ලංකා නිවුන් සංවිධානය අපේක්‍ෂා කරයි.

මෙය ශ්‍රී ලංකා ටුවින්ස් (Sri Lanka Twins) ලෙස නම් කර ඇත.

සුගතදාස ගෘහස්ත ක්‍රීඩාංගනයේ දී 2020 ජනවාරි මාසයේ පැවැත්වෙන ශ්‍රී ලංකා නිවුන් සම්මේලනයේ දී මෙම වාර්තාව පිහිටුවීමට නියමිතය.

ශ්‍රී ලංකා නිවුන් සංවිධානයේ නිර්මාතෘ සහ සභාපතිනිය වන උපුලී ගමගේ මහත්මිය විසින් ශ්‍රී ලංකා නිවුන් සම්මේලනයේ ආරාධනා පත‍්‍රය අග‍්‍රමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මහතා වෙත අරලියගහ මන්දිරයේ දී අද (26) පිළිගන්වනු ලැබීය.

ශ්‍රී ලංකා නිවුන් සංවිධානය, ශ්‍රී ලංකාවේ දිස්ත්‍රික්ක 24 ම නියෝජනය වන පරිදි නිවුන් සහෝදර සහෝදරියන් 28,000 ක් පමණ සමාජිකත්වය ලබා සිටින සංවිධානයකි.

***************************************

දුර දුම්රිය ගමන් ප්‍රවේශ පත්‍ර වැඩි මිලට අළෙවි කරන මාෆියාවක් ගැන සී.බී. කියයි

(26.12.2019 – 18:31 +0530 – sinhala.adaderana.lk)

දුර දුම්රිය ගමන් සඳහා මගීන්ට දුම්රිය දෙපාර්තමේන්තුවෙන් ප්‍රවේශ පත්‍ර වෙන්කරවා ගැනීමට නොහැකි පසුබිමක පෞද්ගලික සංචාරක ආයතන මඟින් ඒවා වැඩි මිලට අළෙවි කරන මාෆියාවක් ක්‍රියාත්මක වන බව දුම්රිය සේවා රාජ්‍ය අමාත්‍ය සී.බී. රත්නායක මහතා පවසයි.

අද (26) මාධ්‍ය හමුවකදී ඔහු කියා සිටියේ මෙය වැළැක්වීමට කඩිනම් පියවර ගන්නා බවයි.

ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුවේ දුම්රිය ගමන් සඳහා වන ප්‍රවේශපත් පෙර වෙන්කරවා ගත හැකි පරිදි ක්‍රමවේදයක් දැනට ක්‍රියාත්මක වන අතර ඒ අනුව උත්සව සහ පාසල් නිවාඩු සමයේ වැඩි වශයෙන් දුම්රිය වල ආසන පෙර වෙන්කරවා ගැනීම සිදුවෙයි.

එහෙත් පෞද්ගලික ආයතනයක් සිදු කරන අයථා කටයුත්තක් හේතුවෙන් මෙම නිවාඩු සමය වන විට සාමාන්‍ය මගී ජනතාවට එවැනි ගමන් සඳහා දුම්රිය ප්‍රවේශපත් වෙන්කරවා ගැනීමට නොහැකි තත්ත්වයක් උද්ගත වී ඇති බව දුම්රිය රාජ්‍ය අමාත්‍ය සී.බී. රත්නායක මහතා පවසයි.

***************************************

හෙට (27) ත්‍රස්ත විමර්ශන කොට්ඨාශයට එන්න සිවාජිලිංගම් බෑ කියයි

(26.12.2019 – colombotoday.com)

ජාතික ආරක්ෂාවට තර්ජනයක් එල්ලවන අයුරින් සැමරුම් උත්සවයක් සංවිධානය කළ බව කියන සිද්ධියකට අදාළව ප්‍රකාශයක් ලබාගැනීම සඳහා උතුරු පළාත් සභා හිටපු මන්ත්‍රී එම්.කේ.සිවාජිලිංගම් මහතාට හෙට (27) ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය හමුවේ පෙනී සිටින ලෙස දැනුම්දීමක් දී තිබූ අතර ඒ සඳහා හෙට සහභාගී වීමට නොහැකි බව එම්.කේ සිවාජිලිංගම් විසින් ත්‍රස්ත විමර්ශන කොට්ඨාශයට දන්වා ඇති බව වාර්තා වෙනවා.

ඉකුත් මැයි මාසයේ වෙල්ලමුල්ලිවයික්කාල් ප්‍රදේශයේ තමා විසින් සංවිධානය කරන ලද සැමරුම් උත්සවයක් සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා ගැනීම සඳහා කැඳවා ඇතැයි එම්.කේ.සිවාජිලිංගම් මහතා ලංකාදීපයට ප්‍රකාශ කළේය.

මෙම සැමරුම තමා සංවිධානය කළේ යුද්ධය හේතුවෙන් පීඩාවට පත් වූ දෙමළ ජනතාවගේ සුබසිද්ධිය වෙනුවෙන් බවද සිවාජිලිංගම් මහතා කියා සිටියේය.

ජන සංහාර සැමරුම් සතිය ලෙස නම් කළ සැමරුම් උත්සවයක් ඉකුත් මැයි 12 වැනිදා සිට සතියක කාලයක් පුරා මුලතිව් වෙල්ලමුල්ලිවයික්කාල්හිදී පැවැත්විණි. එම සැමරුම තුළින් ජාතිවාදය ඇවිස්සීමට සිවාජිලිංගම් මහතා කටයුතු කර තිබෙන බවට දකුණේ දේශපාලන කණ්ඩායම් සහ ආගමික නායකවරු චෝදනා කළහ.

එම චෝදනා ප්‍රතික්ෂේප කළ සිවාජිලිංගම් මහතා පැවසුවේ යුද්ධය නිසා බැට කෑ දෙමළ ජනයා සනහාලීමට තමා ඒ ක්‍රියාව කළ බවයි ෴

***************************************

සෙබළාට පහර දී ගිනි අවිය පැහැරගත් දෙදෙනා රිමාන්ඩ්

(26.12.2019 – 19:46 +0530 – lankadeepa.lk)

වවුනියාව බෝගස්වැව යුද හමුදා කඳවුර තුළදී සෙබළෙකුගේ ගෙලට තියුණු ආයුධයකින් පහරදී ඔහුගේ ගිනි අවිය පැහැරගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකාර යුද හමුදා සෙබළා සහ ගිනිඅවිය පැහැරගැනීමට හවුල් වූ පුද්ගලයා ජනවාරි මස 09 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකරන ලෙස වවුනියාව මහෙස්ත්‍රාත් එම්.රියාල් මහතා අද (26) නියෝග කළේය.

මෙලෙස රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණේ පහලගම , මහඇළගමුව , කැකිරාව යන ලිපිනයේ පදිංචි බෝගස්වැව 07 වන සිංහ රෙජිමේන්තු කඳවුරට අනුයුක්තව සේවය කළ සෙබළ නුවන් ශ්‍රීලාල් දිසානායක සහ අපරාධය සඳහා සහය වූ එම ලිපිනයේ පදිංචි නිලන්ත අජිත් ෆොන්සේකා නැමැති වඩු කාර්මිකයකි.

(25) වැනිදා අලුයම 04.00 පමණ සැකකරුවන් විසින් කඳවුරේ රාජකාරිය නිමාකර පැමිණෙමින් සිටි යුද හමුදා සෙබළෙකුට තියුණු ආයුධයකින් පහරදී තුවාල සිදුකර ඔහු සතුව තිබූ ටී 56 වර්ගයේ ගිනි අවිය හා ජීව උණ්ඩ 30 ක් සහිත මැගසිනය පැහැරගෙන ගොස් තිබිණි.

පහරදීමෙන් බරපතල තුවාල ලබා රෝහල් ගතකර ඇත්තේ බෝගස්වැව යුද හමුදා හත්වැනි සිංහරෙජිමේන්තුවට අනුයුක්තව සේවය කළ 24 හැවිරිදි ආධුනික සෙබළෙකි.

සැකකරුවන් ගිනි අවිය පැහැරගැනීම සඳහා යුද හමුදා කඳවුර වෙත ඇතුළුවීමට පැමිණි ස්කූටර් වර්ගයේ යතුරු පැදියක්ද බෝගස්වැව පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

තුවාල ලැබූ සෙබළා පෙරදින තවත් දෙදෙනකු සමඟ හමුදා කඳවුරේ පිටුපස පිහිටි කඳවුර ආරක්ෂක මුරකුටියේ රාජකාරී කර ඇති බවත් පසුව ඔහු විසින් රාජකාරී නිමාකර යළි හමුදා කඳවුර වෙත පාන්දර 04.00 ට පමණ පැමිණෙමින් සිටියදී මෙම පහරදීම සිදුකර ඇති බවත් පොලිසිය අධිකරණයට කරුණු වාර්තා කළේය.

තුවාල ලැබූ සෙබළා යුද හමුදාව විසින් වන්නි යුද හමුදා රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව වැඩිදුර ප්‍රතිකාර සඳහා අනුරාධපුර පිහිටි යුද හමුදා රෝහලට ඇතුළත් කර ඇති බව යුද හමුදාව පැවසීය.

සිද්ධියට සම්බන්ධ සැකකාර හමුදා සෙබළා සහ අනෙක් පුද්ගලයා අද (26) යුද හමුදා පොලිසියේ නිලධාරී කණ්ඩායමක් විසින් කැකිරාව ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබූ අතර පසුව ඔවුන් වැඩිදුර විමර්ශන සඳහා බෝගස්වැව පොලිසියට භාරදී තිබේ.

පොලිසිය අධිකරණයට කරුණු දක්වමින් පවසා සිටියේ සැකකාර හමුදා සෙබලා පෞද්ගලික ආරවුලක් මත මනුෂ්‍ය ඝාතනයක් සිදුකිරීමේ අරමුණින් මෙම ගිනි අවිය පැහැරගෙන ගොස් ඇති බවට විමර්ශන වලින් අනාවරණය වූ බවයි.

පැහැරගත් ගිනි අවිය කැකිරාව මහඇළ ගමුව ප්‍රදේශයේ සතොස ගබඩා සංකීර්ණයක තිබී යුදහමුදා පොලිසියේ නිලධාරීහු විසින් සොයාගනු ලැබූහ.

සැකකරුවන් දෙදෙනා හමුදා කඳවුරට ඇතුලුවුයේ කෙසේද යන්න මෙතෙක් අනාවරණය නොවූ බවත් සිද්ධිය පිළිබඳ වැඩිදුර විමර්ශන තවදුරටත් සිදුකරන බවත් පොලිසිය අධිකරණයට දැණුම් දුන්නේය ෴

***************************************

මෙතෙක් නොඇසුණු මහින්ද කදවුරේ ඇතුළත කතා රැසක් විමල් අනාවරණය කරයි

(26.12.2019 – YouTube-Wimal Weerawansa)

***************************************

මේ අමාත්‍යාංශ තුනම එදා පාස්කු ප්‍රහාරයට තෝතැන්නක් වෙලා – විමල් වීරවංශ

(26.12.2019 – aruna.lk)

“ප්‍රදීප් එක්නැළිගොඩ මරපු කෙනා හොයාගෙන යද්දි යන්න වෙන්නෙත් කොළඹ මැගසින් බන්ධනාගාරයට. ලසන්ත වික්‍රමතුංග මරපු කෙනා හොයාගෙන යන්න වෙන්නේ කැලණිය ආසනය පැත්තට​”

“එම්.සී.සී. අත්සන් කිරීමට ආණ්ඩුවේ කිසිම සූදානමක් නෑ. නමුත් පසුගිය ආණ්ඩුව එහි මූලික ගිවිසුමකට බැඳිලා තියෙනවා. ඒ අනුව මෙය ගිවිසුමකට බැඳිලා නැති තත්ත්වයේ තිබිය යුතු සෘජු ප්‍රතිචාරයක් දැක්වීමට හැකියාවක් නෑ. ඒ නිසා ආණ්ඩුව විද්වතුන් සතර දෙනෙකුගෙන් යුතු කමිටුවක් පත් කරලා තියෙනවා”

– කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර හා ව්‍යවසාය සංවර්ධන කර්මාන්ත සැපයුම් අමාත්‍යාංශය භාර ඇමැති විමල් වීරවංශ මහතා

රටක ආර්ථික සංවර්ධනයේ හදවත ඒ රටේ කර්මාන්ත වන විට එහි නාඩිය ඇල්ලිය යුතු විශේෂඥයාට ඒ පිළිබඳව ඉවක් තිබිය යුතුමය. නව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් එම භාරදුර වගකීම භාරදුන්නේ විමල් වීරවංශ මහතාටය. විප්ලවීය දේශපාලන භූමිකාවක් රැගත් ඔහු කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර හා ව්‍යවසාය සංවර්ධන කර්මාන්ත සැපයුම් අමාත්‍යාංශය භාර ඇමැතිවරයා ලෙස එය හෙට දවසේ ඔසවා තබනුයේ කුමන ස්ථානයකය යන්න පිළිබඳව කතා කිරීමට ‘අරුණ’ අප ද එම අමාත්‍යාංශයට ගොඩ වැදුණෙමු.

අතළොස්සක් වූ අමාත්‍යධුර අතුරින් ඔබට ලැබුණු අමාත්‍යාංශය පිළිබඳව ඔබ තෘප්තිමත්ද?

පෞද්ගලිකව ලැබෙන දේ ගැන හිතල නෙවෙයි මම දේශපාලනය කරන්නේ. අපිට ඕන වුණා තිබුණ පරගැති ආණ්ඩුව පරාජයට පත් කරන්න. අපට දැන් අවශ්‍ය රට නිවැරදි ආර්ථික, දේශපාලන මාවතේ රැගෙන යන්න. ඒ ප්‍රාර්ථනාව ඉෂ්ට වෙනවා නම් අපට වෙන මොනව නැතත් කමක් නෑ. අමාත්‍යාංශ ලොකු එකක්ද පොඩි එකක්ද කියන දේ මත නෙවෙයි අපේ දේශපාලන භාවිතාව රැඳී තියෙන්නේ. ලොකු අමාත්‍යාංශයක් ලැබුණත් වැරදි පාරක නම් යන්නේ අපි ඒ පාරේ යන්නේ නෑ.

මහින්ද සුළඟේ ඔබගේ සටන් සගයෙක් වුණු උදය ගම්මන්පිල මහතා යම් විෂයක් පිළිබඳව විශේෂඥයෙක් වෙනවා. නමුත් ඔහුට කිසිම තනතුරක් ලැබුණේ නෑ.

අමාත්‍ය මණ්ඩලය 10 කට 15 කට සීමා කිරීමේදී ජනාධිපතිතුමා යම් අර්බුදකාරී තත්ත්වයකට මුහුණ පෑමේදී ඒ අවස්ථාවේදී උදය ගම්මන්පිල මන්ත්‍රීතුමා ස්වයංව ඉදිරිපත් වුණා අමාත්‍ය මණ්ඩල තනතුරක් මහමැතිවරණය දක්වා නොගෙන ඉන්න.

දයාසිරි ජයසේකර මහතා, ඔබේ අමාත්‍යාංශයේ රාජ්‍ය ඇමැතිවරය. ඔහු වෙනත් පක්ෂයකින් පැමිණි කෙනෙක්. දෘෂ්ටීන් දෙකක් තුළ සහයෝගයෙන් කටයුතු කරන්නේ කොහොමද?

රාජ්‍ය ඇමැති ලෙස එතුමා එතුමාගේ භූමිකාව තේරුම් ගෙන ඉන්නවා. මම මගේ භූමිකාව තේරුම්​ගෙන ඉන්නවා. ඒ තුළ අපි සහයෝගයෙන් වැඩ කරන්න පුළුවන් පරිසරයක් නිර්මාණය කරගෙන තියෙනවා.

ඉදිරි මහමැතිවරණයට මුහුණ දීමට ඔබේ මොනවගේ සූදානමක්ද තියෙන්නේ?

මහමැතිවරණය අනිවාර්යයෙන්ම අලුත් සන්ධානයකින් තරග වැදිය යුතුයි. ඒ සන්ධානයේ ලකුණ පොහොට්ටුව වුණා. ප්‍රශ්නයක් නෑ. නමුත් මේ සටනෙ මුල සිටම සිටි සියලු පක්ෂවල අනන්‍යතාව හා ගෞරවය රැකෙන පරිදි ඒ සන්ධානය ගොඩනැගීම අත්‍යවශ්‍යයි. පසුගිය ජනාධිපතිවරණ සමයේ එහි මුල් පියවර තබනු ලැබුවා. ඊළඟ පියවර කරා අපි ගමන් කළ යුතුයි. ඒ සන්ධානය නීත්‍යානුකූලව පිහිටුවන්නේ නැතුව මහමැතිවරණයට තරග වැදීම සුදුසු නැති බවයි අපේ මතය.

ඉදිරි මහමැතිවරණයට වියත්මගේ 40 ක් ඊට යොදවනවා කියනවා. අපේක්ෂකයන් නම් කිරීමේදී මේක ප්‍රශ්නයක් නෙවෙයිද?

වියත් මග කියන නමින් ආවත් නාවත් යම් වෘත්තිමය පසුබිමක් තිබෙන පුද්ගලයන් තුළ උනන්දුවක් ඇතිවී තිබෙනවා මේ මැතිවරණයට තරඟ වැදීමට. සැමදෙනාටම අවස්ථාව නැති වුණත් සැලකිය යුතු පිරිසකට අවස්ථාව ලැබෙයි. ඒ අතර වියත් මගේ හිටපු අය ඉන්නත් පුළුවන්; නොහිටපු අය ඉන්නත් පුළුවන්. රටේ මහජන නියෝජිතයො ප්‍රමිතිය බිඳලා තියෙනවා නම් එය වෙනස් කරන්න මහජනතාවගේ සිතුම් පැතුම්වලට අනුව පාර්ලි​මේන්තුවක් නිර්මාණය වීම වැදගත්.

එම්.සී.සී. ගිවිසුම අත්සන් කළොත් ඔබ ඊට විරුද්ධ වෙනවද?

ඔව්. එය අත්සන් කිරීමට ආණ්ඩුවේ කිසිම සූදානමක් නෑ. නමුත් පසුගිය ආණ්ඩුව එහි මූලික ගිවිසුමකට බැඳිලා තියෙනවා. ඒ අනුව මෙය ගිවිසුමකට බැඳිලා නැති තත්ත්වයේ තිබිය යුතු සෘජු ප්‍රතිචාරයක් දැක්වීමට හැකියාවක් නෑ. ඒ නිසා ආණ්ඩුව විද්වතුන් සතර දෙනෙකුගෙන් යුතු කමිටුවක් පත් කරලා තියෙනවා. ඒ සඳහා ඔවුන්ට මාස 4 ක කාලයකුත් ලබාදීලා තියෙනවා. එහි නිගමනය මත තමයි එම ගිවිසුම සමග ඉදිරියට යනවද ඉවත් වෙනවද කියන තීරණය කරන්නේ. පසුගිය ආණ්ඩුව හොර රහසේ මෙහි මුල් ගිවිසුමට ගියේ. අපි රටට අනාවරණය කළ ගිවිසුමට කලින් අප්‍රකාශිතව කලින් ආණ්ඩුව ගිවිසුම් ගත වෙලා තියෙනවා. ඒකෙන් එළියට පැමිණිය යුතුයි. ඒ වගේම ආන්දෝලනයට තුඩු දුන් ගිවිසුම අත්සන් තැබීමට ජනාධිපතිවරණ සමයේ කැබිනට් අනුමැතිය ගත්තා. ඒ කැබිනට් තීන්දුව බල රහිත කරලා තමයි මේ කමිටුව පත් කළේ.

මේ වන විට පසුගිය ආණ්ඩුවේ ප්‍රබල ඇමැතිවරයෙක්ව සිටි චම්පික රණවක අත්අඩංගුවට පත් වෙලා. එය දේශපාලන පලිගැනීමක් කියලා ලොකු චෝදනාවක් තියෙනවා. ?

මගේ බිරිඳව අත්අඩංගුවට ගත්තේ රෝහලට ඇවිත්. මාව මාස තුනක් බී වාර්තාවක් නිසා රිමාන්ඩ් බන්ධනාගාරයේ තියාගත්තා. මේ වනතුරු නඩු පවරලා නෑ. දැන් අවුරුදු 4 කට වැඩියි. එය දේශපාලන පලිගැනීම් කියලා නොපෙ​නෙන ‘3% ලාල් කාන්තලා’ට, පාඨලී චම්පිකගේ සිද්ධිය දේශපාලන පලිගැනීමක් ලෙස පේන්න පටන්ගෙන. එයාලා 3% ට වැටීමට හේතුවවත් තේරුම් ගෙන නැති බව තමයි දැන් පේන්නේ. ඕනම කෙනෙක් අතින් හදිසි අනතුරක් වෙන්න පුළුවන්. පාඨලීට තිබුණේ ඒ ළමයව රෝහලට ගෙනියලා සාමාන්‍ය මිනිසෙක් හැසිරෙන ආකාරයට වැඩ කරන්න. එහෙමනම් මේක මේ තරම් බරපතළ වෙන්නේ නෑ. ඒ වෙනුවට ඔහු කුමන්ත්‍රණකාරී කතාවක් නිර්මාණය කරලා එයින් ගැලවුණා. මේ ආණ්ඩුව ඒ දෙමාපියන්ට හා දරුවන්ට යුක්තිය පසිඳලීම සඳහා කටයුතු කරනවා. ඒ ඔවුන්ගේ ඉල්ලීම අනුව. එතැන වරදක් නෑ. අපි පොලිස්පති, නීතිපති වෙනස් කළේ නෑ. හිටපු විනිශ්චයකාරවරුමයි ඉන්නේ. ඒ දෙමව්පියන්ට අයිතියක් තියෙනවා මේ පිළිබඳව ක්‍රියාත්මක වෙන්න. ඊට වගකිව යුත්තා ඇමැතිවරයෙක් වූ පමණින් එයින් නිදහස් වෙන්න බෑ.

නමුත් අනෙක් පාර්ශ්වය කියන්නේ වරදකරුවන් පිළිඳව නීතිය ක්‍රියාත්මක වීම තාජුඩීන් ඝාතනය දක්වාම මේ ගැම්මෙන්ම යා යුතු බව?

මම නම් කියන්නේ තාජුඩීන් විතරක් නෙවෙයි ලසන්ත වික්‍රමතුංග, ප්‍රදීප් එක්නැළිගොඩ මේ හැමදෙනා ගැනම තිබුණ පරීක්ෂණ ක්‍රියාත්මක විය යුතුයි කියලා. ප්‍රදීප් එක්නැළිගොඩ මරපු කෙනා හොයාගෙන යද්දි යන්න වෙන්නෙත් කොළඹ මැගසින් බන්ධනාගාරයට. ලසන්ත වික්‍රමතුංග මරපු කෙනා හොයාගෙන යන්න වෙන්නේ කැලණිය අසානය පැත්තට. නමුත් අපේ ආණ්ඩුව ආවේ ප්‍රවෘත්තිවලට බන්ධනාගාර බස් එකයි අධිකරණයයි පෙන්වන්න විතරක් නෙවෙයි.

ඔබේ අමාත්‍යාංශ කලින් භාරව හිටියේ දූෂණ චෝදනා රැසක් තිබුණු රිෂාඩ් බදියුදීන්ට. ඒ සිද්ධි සම්බන්ධ දූෂණ මේ වන විට අනාවරණය වෙලා තියෙනවද?

මේ අමාත්‍ය තනතුර අරගෙන මාසයක් ගෙවුණේ. රිෂාඩ්ට නැවත පදිංචි කිරීමේ අමාත්‍යාංශයත් භාරව තිබුණ. ඒ අමාත්‍යාංශය සම්බන්ධ දූෂණ අපට වාර්තා වෙලා තියෙනවා. පුල්මුඩේ ඛණිජ වැලි නිධිය අමු අමුවේ කොල්ල කන්න දීලා ඒවගෙන් හම්බ කරපු ආකාරය හෙළිවෙලා තියෙනවා. අපි අමාත්‍යාංශ ලේකම්වරයාට උපදෙස් දීලා තියෙනවා පසුගිය කාලෙ සිදුවූ සෑම ගනුදෙනුවක් සම්බන්ධවම වාර්තාවක් ලබාදෙන්න කියලා. රිෂාඩ්ගේ දූෂණ ගොඩක් වෙලා තියෙන්නේ කර්මාන්ත අමාත්‍යාංශ​යටත් වඩා වාණිජ කටයුතු අමාත්‍යාංශය හරහා. ඔහුට අමාත්‍යාංශ තුනක් තිබුණා. එයින් කර්මාන්ත කියන කොටසේ විතරයි සොයන්න පුළුවන්කම තියෙන්නේ.

කර්මාන්ත කටයුතු අමාත්‍යාංශය හරහා තඹ කර්මාන්ත ශාලාවට තඹ ලබාදීම පිළිබඳව අනාවරණය වෙනවද?

කාර්මික සංවර්ධණ මණ්ඩලය ඊබ්‍රාහිම්ගේ තඹ කර්මාන්ත ශාලාවට ක්ෂේත්‍ර පරීක්ෂණයක් කරලා තඹ ප්‍රමාණයක් දෙන්න තීරණය කරනවා නීත්‍යානුකූලව. ඒ ප්‍රමාණයට වඩා සභාපතිවරයා අත්තනෝමතිකව ඊබ්‍රහිම්ට දීලා තියෙනවා. අපි ඒ ගැන පරීක්ෂණයක් පවත්වනවා. රිෂාඩ් ඔහුට හිමිව තිබූ අමාත්‍යාංශ තුනම ඔවුන්ගේ අන්තවාදී දේශපාලන න්‍යාය පත්‍රයට අවශ්‍ය ලෙස තමයි යොදාගෙන තියෙන්නේ. පත් කරලා තිබුණු සභාපතිවරුත් අතිශය අන්තවාදීව කටයුතු කරන අය. පාස්කු ප්‍රහාරයට තෝතැන්නක් වෙලා තියෙනවා මේ අමාත්‍යාංශ තුනම.

කර්මාන්ත ක්ෂේත්‍රයේ උනන්තිය සඳහා ඉදිරි වැඩපිළිවෙළ මොකක්ද?

මේ ක්ෂේත්‍රයේ තිබෙන ගැටලු කඩිනමින් විසඳුවොත් කර්මාන්තකරුවට පහසු වෙනවා. ඒක තනියම කර්මාන්ත අමාත්‍යාංශයට කරන්න බෑ. මේනිසා අපි ජනාධිපතිතුමාගේ අනුමැතිය මත කර්මාන්ත හා ව්‍යවසාය සඳහා වූ අන්තර් අමාත්‍යාංශ කාර්ය සාධන බලකායක් පිහිටුවූවා. එමගින් අපි කර්මාන්තකරුවට බලපාන ගැටලු එක මේසෙක කතා කරලා ඒ අවස්ථාවෙම තීරණ ගන්නවා. සිමෙන්ති, පිඟන් කර්මාන්තය මිනිරන් වගේ කර්මාන්ත කඩා වැටිලා තියෙනවා. ඒව පණ ගැන්වීමටත් කටයුතු කරගෙන යනවා. ඒ වගේම අපි ආනයනය කරන දේවල් අඩු කරන්න බලාපොරොත්තු වෙනවා. බස්නාහිර පළාතෙන් කර්මාන්ත පුරයක් ආරම්භ කිරීටමත් සැලසුම් කරලා තියෙනවා. ඒ සඳහා විශාල ඉල්ලුමක් තියෙනවා. මොකද ජනාවාස තුළම කර්මාන්ත පවත්වාගෙන යාම අසීරුයි.

දේශීය කර්මාන්තකරුවන් අප රට තුළ කිසිදු නියාමනයකින් තොරව පරිසර හානි ඇති කරමින් කර්මාන්ත ඉදිකිරීම පිළිබඳව ඔබ ඉදිරියේදි ක්‍රියාමාර්ග ගන්නවද?

මෙය ආයෝජන මණ්ඩලයෙන් අධීක්ෂණය විය යුතුයි. පරිසර අමාත්‍යාංශයට සහ අධිකාරියටත් වගකීමක් තියෙනවා. පසුගිය අවුරුදු හතර හමාර තුළ ආයෝජන මණ්ඩලය එවැනි කර්මාන්තවලට ඉඩ දීලා තියෙනවා. ඊට පෙර නොදුන් ආකාරයට. අපි අධ්‍යයනය කරගෙන යනවා මේ කර්මාන්ත පිළිබඳව ගත යුතු ක්‍රියාමාර්ග පිළිබඳව.

– ශිරන්තනි මානවඩු

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *