උසස් පෙළ ප්‍රතිඵල හෙට (27) නිකුත් වෙයි

+++++++++++++++++++++++++++++++++++

= මේ පිටුවේ සිරස්තල =

• උසස් පෙළ ප්‍රතිඵල හෙට (27) නිකුත් වෙයි

• සී.අයි.ඩී.සහ එස්.ටී.එෆ්. කණ්ඩායමක් අදත් කොළඹ නිවසේ හදිසි පරීක්ෂාවක (විඩියෝ)

• අත්අඩංගුවට නොගන්නැයි ඉල්ලා රාජිත ගොනු කළ මෝසම ඉවත් කර ගනී

• මන්ත්‍රී රාජිත රෝහල් ගත කෙරේ (විඩියෝ)

• රහස් පොලිස් කණ්ඩායමක් නාරාහේන්පිට ලංකා පෞද්ගලික රෝහලට (විඩියෝ)

• රාජිතගෙන් ප්‍රකාශයක් ලබා ගන්න වෛද්‍ය වාර්තාව ලැබෙන තුරු CID ය බලා සිටියි

• රාජිතට ප්‍රතිකාර කළ වෛද්‍යවරයාගෙන් සීඅයිඩීය ප්‍රකාශයක් ගනී

• ආපදා තත්ත්වයන්, නවීන විද්‍යාවෙන් සොයාගෙන නිරන්තර සමාලෝචනයට ලක් කරන්නැයි ජනපතිගෙන් උපදෙස් (විඩියෝ)

• සුනාමියෙන් මියගිය 300 කගේ සිරුරු කොටස් වසර 15 කට පසුවත් කරාපිටියේ (විඩියෝ)

• ජනපති හදිසියේම මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවට (විඩියෝ)

• සූර්යග්‍රහණයෙන් බොහෝ ප්‍රදේශ අඳුරු වේ (විඩියෝ)

• දේශපාලන කඹ ඇදිල්ලකට ලක්ව ඇති රජයේ ව්‍යාපෘතියක් ගැන ‘හිරු සී.අයි.ඒ.’ හෙළිදරව්ව (විඩියෝ)

• රාජිත ගැන තවත් හෙළිදරව්වක් (විඩියෝ)

• සිංහලේ ජාතික සංවිධානයෙන් චෝදනාවක් (විඩියෝ)

• මන්ත්‍රී රාජිත අධිකරණය මඟ හැර සැඟව සිටීම ගැන විවිධ අදහස් (විඩියෝ)

+++++++++++++++++++++++++++++++++++

උසස් පෙළ ප්‍රතිඵල හෙට (27) නිකුත් වෙයි

(26.12.2019 – 12:58 +0530 – hirunews.lk/sinhala)

මෙවර අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල හෙට (27) දිනයේදී නිකුත් කිරීමට අපේක්ෂා කරන බව විභාග කොමසාරිස් ජනරාල් සනත් පූජිත ප්‍රකාශ කළා.

පසුගිය අගෝස්තු මස 8 වන දා ආරම්භ වූ විභාගය සඳහා අපේක්ෂකයින් තුන්ලක්ෂ 37,704 ක් පෙනී සිටියා.

ඒ, නව විෂය නිර්දේශය යටතේ අපේක්ෂකයින් එක්ලක්ෂ 98,229 ක් සහ පැරණි විෂය නිර්දේශය යටතේ අපේක්ෂකයන් එක්ලක්ෂ 39,475 දෙනෙකු ලෙසයි ෴

***************************************

සී.අයි.ඩී.සහ එස්.ටී.එෆ්. කණ්ඩායමක් අදත් කොළඹ නිවසේ හදිසි පරීක්ෂාවක

(26.12.2019 – 16:24 +0530 – hirunews.lk/sinhala)

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සහ පොලිස් විශේෂ කාර්ය බලකාය අද (26) පස්වරුවේ පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්නගේ කොළඹ – බෞද්ධාලෝක මාවතේ පිහිටි නිවස හදිසි පරීක්ෂාවකට ලක් කළා.

හිරු වාර්තාකරු කියා සිටියේ එම නිලධාරීන් පැයක පමණ කාලයක් පරීක්ෂා කිරීම් සිදුකළද එම අවස්ථාවේ ඔහු අදාළ නිවසේ රැඳී සිට නොමැති බවයි.

පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස වරෙන්තු නිකුත් කර මේ වනවිට පැය 48 කටත් වැඩි කාලයක් ගතව අවසන්.

ඔහු අත්අඩංගුවට ගැනීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් රාජිත සේනාරත්න සැඟව සිටින බවට සැක කරමින් කොළඹ – බෞද්ධාලෝක මාවතේ පිහිටි නිවස සහ බේරුවල – හෙට්ටිමුල්ල ප්‍රදේශයේ පිහිටි නිවස මීට පෙරද පරීක්ෂාවට ලක් කළා.

ආන්දෝලනාත්මක සුදු වෑන් මාධ්‍ය හමුව පිළිබඳ පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් බණ්ඩාර නෙළුම්දෙනිය වරෙන්තුවක් නිකුත් කළේ පසුගිය 24 වැනිදායී.

ඊට අදාළව තමන් අත්අඩංගුවට ගැනීමට නිකුත් කර ඇති වරෙන්තුව යළි කැඳවන්නැයි ඉල්ලා පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්නගේ නීතිඥවරුන් කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ අද පෙරවරුවේ ගොනු කළ මෝසම පසුව එය ඉවත් කර ගත්තා.

ඒ, නිශ්චිත හේතුවක් සඳහන් නොකරමින්. ඉකුත් ජනාධිපතිවරණ සමයේ පැවැත් වූ ආන්දෝලනාත්මක සුදුවෑන් මාධ්‍ය සාකච්ජා සිද්ධිය සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස දන්වා කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය වරෙන්තුවක් නිකුත් කරනු ලැබුවේ පෙරේදා (24) දිනයේයි.

කෙසේ වෙතත්, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මග හරිමින් සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න සැඟ වී සිටින ස්ථානයක් පිළිබඳව මෙතෙක් නිශ්චිත තොරතුරක් වාර්තා වී නැහැ.

+++++++++++++++++++++

+++++++++++++++++++++

අත්අඩංගුවට නොගන්නැයි ඉල්ලා රාජිත ගොනු කළ මෝසම ඉවත් කර ගනී

(26.12.2019 – 13:51 +0530 – hirunews.lk/sinhala)

තමන් අත්අඩංගුවට ගැනීමට නිකුත් කර ඇති වරෙන්තුව යළි කැඳවන්නැයි ඉල්ලා පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්නගේ නීතිඥවරයා කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ අද (26) පෙරවරුවේ ගොනු කළ මෝසම ඉවත් කරගෙන තිබෙනවා.

ඒ, නිශ්චිත හේතුවක් සඳහන් නොකරමින්.

හිරු ප්‍රවෘත්ති අංශය කළ විමසීමකදී ඔහුගේ නීතිඥ ගුණරත්න වන්නිනායක මේ බව තහවුරු කරනු ලැබුවා.

ඉකුත් ජනාධිපතිවරණ සමයේ පැවැත් වූ ආන්දෝලනාත්මක සුදුවෑන් මාධ්‍ය සාකච්ජා සිද්ධිය සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස දන්වා කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය වරෙන්තුවක් නිකුත් කරනු ලැබුවේ පෙරේදා (24) දිනයේයි.

නීතිපති දෙපාර්තමේන්තුව සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සිදුකළ කරුණු දැක්වීම සැලකිල්ලට ගනිමින් මෙම වරෙන්තුව නිකුත් කළේ කොළඹ අතිරේක මහේස්ත්‍රාත් බණ්ඩාර නෙළුම්දෙණිය විසින්.

එහෙත් ඔහු මෙතෙක් අත්අඩංගුවට ගෙන නැහැ.

තමන් අත්අඩංගුවට ගැනීම වළක්වාලන ලෙස ඉල්ලා පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න ගොනුකර තිබූ අපේක්ෂිත ඇප අයදුම්පත පසුගිය 19 වනදා කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය ප්‍රතික්ෂේප කළා.

පසුව ඔහු දෙවන වරටත් ප්‍රතිශෝධිත අපේක්ෂිත ඇප අයදුම්පතක් ගොනු කළ අතර පසුගිය 23 වන දා කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ප්‍රියන්ත ලියනගේ නියෝග කළේ මේ මස 30 වනදා අදාල ඇප අයදුම්පත සලකා බලන බවයි.

එමෙන්ම රාජිත සේනාරත්න මන්ත්‍රීවරයාට මේ වනවිට විදෙස් ගමන් තහනමක් ද පනවා තිබෙනවා ෴

+++++++++++++++++++++

මන්ත්‍රී රාජිත රෝහල් ගත කෙරේ

(26.12.2019 – 20:35 +0530 – hirunews.lk/sinhala)

පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න නාරාහේන්පිට ලංකා පෞද්ගලික රෝහලේ හෘද ප්‍රතිකාර ඒකකයට ඇතුළත් කර ඇති බව වාර්තා වනවා.

හිරු ප්‍රවෘත්ති අංශය සිදුකළ විමසීමකදී රෝහලේ ආරංචි මාර්ග ඒ බව තහවුරු කළා ෴

+++++++++++++++++++++

+++++++++++++++++++++

රහස් පොලිස් කණ්ඩායමක් නාරාහේන්පිට ලංකා පෞද්ගලික රෝහලට

(26.12.2019 – 22:26 +0530 – hirunews.lk/sinhala)

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරින් පිරිසක් මන්ත්‍රී රාජිත සේනාරත්න ඇතුලත් කර සිටින නාරාහේන්පිට ලංකා පෞද්ගලික රෝහල වෙත පැමිණ තිබෙනවා.

+++++++++++++++++++++

රාජිතගෙන් ප්‍රකාශයක් ලබා ගන්න වෛද්‍ය වාර්තාව ලැබෙන තුරු CID ය බලා සිටියි

(26.12.2019 – 23:35 +0530 – sinhala.adaderana.lk)

අත්අඩංගුවට ගැනීමට වරෙන්තු ලබා සිටින හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා අද (26) රාත්‍රි අටට පමණ නාරාහේන්පිට ලංකා පෞද්ගලික රෝහලේ හෘද රෝග ඒකකයට ඇතුළත් වීය.

අප වාර්තාකරු සඳහන් කළේය , රාජිත සේනාරත්න මහතාගෙන් ප්‍රකාශයක් සටහන්කර ගැනීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තු නිලධාරීන් රෝහල් පරිශ්‍රයේ රැඳී සිටින බවයි.

රෝහල්ගත කිරීමෙන් පසුව හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතාව වෛද්‍ය පරීක්ෂණයකට යොමුකර ඇති අතර ඔහුගෙන් ප්‍රකාශයක් සටහන්කර ගැනීමට අදාල වෛද්‍ය පරීක්ෂණයේ වාර්ථාව ලැබෙන තුරු බලා සිටින බව අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තු නිලධාරීන් පවසයි.

එම වාර්ථාව ලබා දෙන්නේ අද රාත්‍රී 11:30 න් පසුව බවත් ඒ අනුව මන්ත්‍රීවරයාගෙන් ප්‍රකාශයක් සටහන්කර ගන්නවාද නොගන්නවාද යන්න තීරණය කරන බවත් අපරාධ පරීක්ෂන දෙපාර්තුමේන්තු නිලධාරීන් සඳහන් කරයි.

අධිකරණයේ වරෙන්තු ලබා සිටින සැකකරුවකු අධිකරණයට ඉදිරිපත් නොවී රෝහල්ගත වූ විට පළමුවෙන්ම සිදුවන්නේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් රෝහලට ගොස් සැකකරුගෙන් ප්‍රකාශයක් ගෙන අත්අඩංගුවට ගැනීමයි.

අනතුරුව ඒ බව මහේස්ත්‍රාත් වෙත දැනුම්දීම සිදු වන අතර මහේස්ත්‍රාත්වරයා විසින් සැකකරුව රක්ෂිත බන්ධනාගාරගත කිරීම මීලඟ පියවර වේ.

ඒ අනුව ඉන්පසුව සැකකරු බන්ධනාගාර නිලධාරීන්ගේ අධීක්ෂණය යටතට පත් කෙරෙයි.

හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා තවත් පුද්ගලයින් දෙදෙනෙකු සමඟ සුදුවෑන් මගින් පුද්ගලයන් පැහැරගැනීම් සිදුකළ බවට පසුගිය ජනාධිපතිවරණ සමයේදී ආන්දෝලනාත්මක මාධ්‍ය සාකච්ඡාවක් පැවැත් විය.

ඒ සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයෙන් සිදුකළ ඉල්ලීමකට අනුව පසුගිය අඟහරුවාදා කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය විසින් රාජිත සේනාරත්න මහතාට වරෙන්තුවක් නිකුත් කළේය.

අදාල අනෙක් පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට පත්වූ අතර පසුව ඔවුන් දෙදෙනා රක්ෂිත බන්ධනාගාරගත කෙරුණි.

අධිකරණ වරෙන්තුවද රැගෙන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් ඊයේ (25) මෙන්ම අද දිනයේත් රාජිත සේනාරත්න මහතාගේ කොළඹ පිහිටි නිවසට සහ බේරුවල හෙට්ටිමුල්ල ප්‍රෙද්ශයේ පිහිටි නිවසට ගියද ඔහු නිවෙස්වල නොසිටි බැවින් ඔවුන් එම ස්ථානවලින් පිටව ගියේය.

මෙවැනි පසුබිමක තමන්ව අත්අඩංගුවට ගැනීමේ වරෙන්තුව ආපසු කැඳවන ලෙස ඉල්ලා හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා නීතීඥවරුන් මාර්ගයෙන් කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට මෝසමක් ඉදිරිපත් කරනු ලැබුවත් ඔවුන් එය අද (26) පස්වරුවේ ඉවත් කරගැනීමට පියවර ගෙන තිබූණි.

කෙසේ වෙතත් අද (26) පස්වරුවේ රාජිත සේනාරත්න මහතා නාරාහෙන්පිට පිහිටි ලංකා පෞද්ගලික රෝහලේ හෘද රෝග ඒකකයට ඇතුළත් විය ෴

+++++++++++++++++++++

රාජිතට ප්‍රතිකාර කළ වෛද්‍යවරයාගෙන් සීඅයිඩීය ප්‍රකාශයක් ගනී

(27.12.2019 – 00:01 +0530 – lankadeepa.lk)

වරෙන්තු ලැබ සිටින හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා අද (26) රාත්‍රී කොළඹ නාරාහේන්පිට පෞද්ගලක රෝහලක් වෙත ඇතුළත් කළ අතර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව එම වරෙන්තුව ද රැගෙන ගොස් ඒ මහතාට ප්‍රතිකාර කළ විශේෂඥ වෛද්‍යවරයාගෙන් ප්‍රකාශයක් ලබාගෙන ඇතැයි ආරංචි මාර්ග සදහන් කරයි.

අද (26) මධ්‍යම රාත්‍රීය වන තුරුත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් වෛද්‍යවරයාගෙන් එම ප්‍රකාශය සටහන් කරගෙන ඇතැයි ද එම ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කරයි.

***************************************

ආපදා තත්ත්වයන්, නවීන විද්‍යාවෙන් සොයාගෙන නිරන්තර සමාලෝචනයට ලක් කරන්නැයි ජනපතිගෙන් උපදෙස්

(26.12.2019 – 19:23 +0530 – hirunews.lk/sinhala)

ස්වභාවික විපත් මගින් සිදුවන විනාශයන් වළක්වා ගැනීම සඳහා පෙර සූදානමක වැදගත්කම ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අවධාරණය කළා.

ඒ, සුනාමි ව්‍යවසනයෙන් විපතට පත්වූවන් සිහිපත් කිරීමේ අවස්ථාවට එක්වෙමින්.

එම බිහිසුණු අත්දැකීමේ අමිහිරි මතකයන් කිසි විටෙකත් සිතින් බැහැර නොකළ යුතු බවයි ජනාධිපතිවරයා සඳහන් කර ඇත්තේ.

එම අත්දැකීම් තුළින් ඉදිරියේදී එවන් විනාශයන් වළක්වා ගැනීමේ ඇති වැදගත්කම අවධාරණය කළ ජනාධිපතිවරයා ඒ සඳහා නව තාක්ෂණික ක්‍රමවේද සමඟ අනුගත විය යුතු බවද සඳහන් කළේ යැයි ජනාධිපති මාධ්‍ය අංශය ප්‍රකාශ කළා.

එම කටයුතු නිරන්තර සමාලෝචනයට ලක් කරන ලෙසද ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා උපදෙස් ලබාදී තිබෙනවා.

මේ අතර, සුනාමි ව්‍යවසනයෙන් ජීවිතක්ෂයට පත්වූ ජනතාව සිහිපත් කරමින් දිවයින පුරා ස්ථාන රැසක අද සැමරුම් පැවැත්වුණා.

ඉන් ප්‍රධාන සැමරුම පැවැත්වුණේ ජීවිත 1500 කට අධික ප්‍රමාණයක් බිලිගත් පැරෑලිය දුම්රිය අනතුර සිදුවූ ස්ථානයේදීයි.

එම ස්ථානයේ ඉදිකර ඇති ස්මාරකය අසලට පැමිණි මියගිය අයගේ ඥාතීන් ඇතුළු පිරිස් ඊට පුෂ්පෝපහාර දැක්වීම සිදුකළා.

එමෙන්ම, එම අනතුර සිහිපත් කරමින් අද පෙරවරුවේ කොළඹ – කොටුවේ සිට මාතර බලා ධාවනය වූ සීඝ්‍රගාමී දුම්රිය පැරෑලියේ නැවැත්වීමෙන් අනතුරුව එහි පැමිණි පිරිසද අදාළ සැමරුමට එක්වීම සිදුකෙරුණා.

මේ අතර, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂද කොළඹ විජේරාම මාවතේ පිහිටි සිය නිවසේදී, සුනාමි ව්‍යවසනයෙන් මියගිය පුද්ගලයන් සිහි කරමින් විනාඩි දෙකක නිශ්ශබ්දතාවක නිරත වුණා.

මේ අතර, කළුතර, මහනුවර, කතරගම, කින්නියා, කුරුණෑගල, අම්බලන්ගොඩ, බදුල්ල ඇතුළු තවත් ප්‍රදේශ ගණනාවක සුනාමි සැමරුම් පැවති බවයි අප වාර්තාකරුවන් සඳහන් කළේ.

සුනාමි රළ පහරින් අතුරුදන් වී පසුව සොයාගත් මව්වරුන් නව දෙනෙකු අයිතිවාසිකම් කියූ සුනාමි බේබි නමින් ප්‍රකට කල්මුණේ පදිංචි ජෙයරාස් අබ්ලාස් දරුවාද සිය දෙමව්පියන් සමඟින් අද නිවසේදී සුනාමි ව්‍යවසනය සිහිපත් කරමින් පහන් දල්වනු ලැබුවා ෴

+++++++++++++++++++++

https://www.youtube.com/watch?v=Gp7mvG66cEQ#t=5

+++++++++++++++++++++

සුනාමියෙන් මියගිය 300 කගේ සිරුරු කොටස් වසර 15 කට පසුවත් කරාපිටියේ

(26.12.2019 – 12:39 +0530 – hirunews.lk/sinhala)

වසර 15 කට පෙර සිදුවූ සුනාමි ව්‍යසනයෙන් මියගිය මෙරට ජනතාව සිහිපත් කරමින් දිවයින පුරා ස්ථාන රැසක අද (26) ආගමික වතාවත් සහ සැමරුම් උත්සව පැවැත්වුණා.

මියගිය පුද්ගලයින් සිහිකිරීම සඳහා පෙරවරු 09:25 සිට 09:27 දක්වා විනාඩි දෙකක නිශ්ශබ්දතාවයක් පැවැත්වුණු අතර, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඊට එක්වුණේ විජේරාම නිල නිවසේදියි.

ප්‍රධාන සුනාමි සැමරුම් උත්සවය හික්කඩුව – තෙල්වත්ත – පැරෑලිය සුනාමි ස්මාරකය අභියසදී සංවිධාන කර තිබුණා.

දකුණු පළාත් ආණ්ඩුකාර ආචාර්ය විලී ගමගේ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති උත්සවයට මහා සංඝරත්නය ඇතුළු සර්ව ආගමික නියෝජිතයින්, ත්‍රිවිධ හමුදාව මෙන්ම මියගිය පුද්ගලයන්ගේ ඥාතීන් ද එක්ව සිටියා.

පැරෑලිය ප්‍රදේශයේදී සුනාමි රළ පහරට හසුවූ දුම්රියේ ගමන් ගත් මගීන් සිහිකරමින් අදත් කොළඹ කොටුව දුම්රිය ස්ථානයේ සිට මාතර බලා විශේෂ දුම්රියක් ධාවනය කෙරුණු අතර, එය ගමන් ආරම්භ කළේ අනතුරට ලක්වූ දුම්රිය ගමන් ආරම්භ කළ උදෑසන 06:30 ටයි.

එය පැරෑලිය දුම්රිය ස්මාරකය ආසන්නයේ නතර කෙරුණු අතර, එහි පැමිණි පිරිස් ද මෙම සුනාමි ස්මාරකයට ගෞරව පුද කරනු ලැබුවා.

සුනාමි ඛේදවාචකයෙන් මෙරට පුද්ගලයින් 30,000 කට වැඩි පිරිසක් මිය ගිය අතර 5000 ක් පමණ අතුරුදන් වූ බවයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කළේ.

මේ අතර මෙම සුනාමි ඛේදවාචකය සිදුවී අදට වසර 15 ක් ගත වුවද එදින කරාපිටිය ශික්ෂණ රෝහලට රැගෙන එනු ලැබූ මළ සිරුරු කොටස් 300 කට ආසන්න සංඛ්‍යාවක් තවමත් හඳුනාගෙන නොමැති බවයි එම රෝහලේ ප්‍රධාන විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරී රොහාන් පී. රුවන්පුර මහතා සඳහන් කළේ.

2004 වසරේ දෙසැම්බර් 26 වන දා සිදුවූ සුනාමි ඛේදවාචකයෙන් පසුව කරාපිටිය ශික්ෂණ රෝහලට මළ සිරුරු 1200 කට අධික සංඛ්‍යාවක් රැගෙන එනු ලැබුවා.

ඉන් මළ සිරුරු 200 කට ආසන්න සංඛ්‍යාවක් ප්‍රදේශයේ ග්‍රාම නිළධාරීවරයා විසින් හඳුනාගෙන අක්මීමන ප්‍රදේශයේ මිහිදන් කිරීම සඳහා කටයුතු කර තිබුණා.

පසුව පැමිණි තවත් පිරිසක් මළ සිරුරු 500 ක් පමණ හඳුනා ගත් අතර තවත් මළ සිරුරු 450 ක් පමණ හඳුනා ගැනීම සඳහා කිසිවෙකුත් ඉදිරිපත් වූයේ නැහැ.

ඒ හේතුවෙන් මළ සිරුරු ඡායාරූපගත කර ලේඛනවලට ඇතුළත් කිරීමෙන් අනතුරුව සිරුරු කොටස්වල සාම්පල කරාපිටිය ශික්ෂණ රෝහලේ තැන්පත් කරනු ලැබුවා.

එලෙස ලේඛන ගත වූ මළසිරුරු වලින්ද 100 ක් සාක්ෂි අනුව ඥාතීන් හඳුනා ගනු ලැබුවා.

+++++++++++++++++++++

+++++++++++++++++++++

***************************************

ජනපති හදිසියේම මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවට

(26.12.2019 – 16:30 +0530 – hirunews.lk/sinhala)

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද (26) පස්වරුවේ මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ වේරහැර කාර්යාලයේ සහ කොතලාවල ආරක්ෂක විද්‍යා පීඨ රෝහලේ හදිසි නිරීක්ෂණ චාරිකාවක නිරත වුණා.

ඒ අනුව සේවා ලබා ගැනීමට රාජ්‍ය ආයතනයකට පැමිණෙන කිසිවෙකු අපහසුතාවකට පත් නොකර කඩිනම් නිවැරදි සහ ප්‍රශස්ත සේවයක් ලබාදීමට කැපවීම සමස්ත රාජ්‍ය සේවකයන්ගේ වගකීම බවයි ජනාධිපතිවරයා මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවට අයත් වේරහැර කාර්යාලයේ නිරීක්ෂණ චාරිකාවට එක්වෙමින් අවධාරණය කළේ.

මෙහිදී ඡායාරූප ගැනීමේ සිට රියදුරු බලපත්‍රය නිකුත් කිරීම දක්වා වූ සියලු අංශ ජනාධිපතිවරයාගේ නිරීක්ෂණයට ලක්වූ බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළා.

ජනතාව සමඟ සාකච්ඡා කර ගැටළු නිරාකරණය කර ගැනීමේ වැදගත්කම පෙන්වා දුන් ජනාධිපතිවරයා, පවතින ක්‍රමවේදය මසකදී වෙනස්විය යුතු බවත්, එය අධීක්ෂණයට තමා පැමිණෙන බවත් එහිදී කියා සිටියා.

එසේම, කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ විද්‍යා පීඨ රෝහලද ජනාධිපතිවරයා නිරීක්ෂණය කළ අතර, එහි සියළුම සායන කටයුතු මෙන්ම ශල්‍යාගාරද ජනාධිපතිවරයාගේ නිරීක්ෂණයට ලක්වී තිබෙනවා.

විද්‍යා පීඨ රෝහලේ පවතින සියළු අඩුපාඩු කඩිනමින් විසඳා පූර්ණ ක්‍රියාකාරීත්වයට පත් කිරීමට පියවර ගත යුතු බවයි ජනාධිපතිවරයා එහිදී අවධාරණය කර ඇත්තේ.

මේ අතර, ගාලු මුවදොර අභියස පිහිටි ආරක්ෂක අමාත්‍යාංශ පරිශ්‍රයද අද ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ නිරීක්ෂණයට ලක්වුණා.

මේ අතර, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ උපදේශකවරයෙකු ලෙස පෙනී සිට මොරටුව ප්‍රසිද්ධ විදුහලක විදුහල්පතිවරයෙකුට පුද්ගලයෙකු බලපෑම් කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් කොළඹ අපරාධ කොට්ඨාශය මේ වනවිට පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා.

ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කළේ ජනාධිපතිවරයා සමඟ සමීප සබදතා පවතින බව අඟවමින් ජනතාව මුලා කර අයුතු බලපෑම් කරන්නන් පිළිබදව වහාම පොලීසියට දැනුම් දෙන ලෙසටයි.

+++++++++++++++++++++

https://www.youtube.com/watch?v=nRRBJomjl1Y#t=5

+++++++++++++++++++++++++++++++++++

RMV එකේ පගාව ගැන ෆේස් බුක් සටහනක්

(27.12.2019 – gossiplankanews.com)

ඊයේ (26) ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ කළ සෝදිසිය නිසා මේ වනවිට එහි සිදුවන අක්‍රමිකතා ගැන කතාබහක් පැනනැගී තිබේ.

මේ සමග පළවන්නේ ඒ ගැන ෆේස් බුක් ඔස්සේ පළවී තිබෙන කතාවකි. අල්ලස් මත වැඩ සිද්ධ කරගැනීමට යොමුවිය යුතු ප්‍රකට ආයතනයක් ලෙස නම් දරා තිබෙන මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව ගැන මෙහි සඳහන් කරුණු සංවාදයට ලක්විය යුත්තකි.

***************************************

සූර්යග්‍රහණයෙන් බොහෝ ප්‍රදේශ අඳුරු වේ

(26.12.2019 – 12:47 +0530 – hirunews.lk/sinhala)

වසර 10 කට පසු සිදුවූ විරල ගණයේ වලයාකාර සූර්යග්‍රහණය හේතුවෙන් දිවයිනේ ප්‍රදේශ රැසක අද (26) පෙරවරුවේ අඳුරු ස්වභාවයක් ගෙන තිබුණා.

හිරු වාර්තාකරුවන් සඳහන් කළේ පෙරවරු 08:20 සිට පැය 3 කට ආසන්න කාලයක් එම ප්‍රදේශ අඳුරු ස්වභාවයක් ගත් බවයි.

තාරකා විද්‍යාඥ මහාචාර්ය චන්දන ජයරත්න මහතා කියා සිටියේ අද පෙරවරු 08:10 සිට 11:25 දක්වා පැය තුනකුත් මිනිත්තු 15 කට ආසන්න කාලයක් පැවති මෙම වලාකායාකාර සූර්යග්‍රහණය සාර්ථකව දැක ගැනීමට කාලගුණය යහපත් තත්ත්වයක් පැවති බවයි.

උතුරු පළාතට වැඩි වශයෙන් දර්ශන වූ මෙම සූර්යග්‍රහණය ජනතාවට දැක බලා ගැනීම සඳහා යාපනය විශ්වවිද්‍යාලයේ අවශ්‍ය පහසුකම් සැපයීමට හැකි වූ බව ද ඔහු සදහන් කළා.

එමෙන්ම මෙවැනි වලයාකාරයේ සූර්යග්‍රහණයක් ලබන වසරේ මැයි 21 වන දින සිදුවන බව ද තාරකා විද්‍යාඥ මහාචාර්ය චන්දන ජයරත්න මහතා කියා සිටියා.

මෙම සූර්යග්‍රහණය උතුරු පළාතේ යාපනය, කිලිනොච්චි සහ මන්නාරම යන ප්‍රදේශවල ජනතාවට දැක ගැනීමට හැකි වූ බවයි වව්නියාව හිරු වාර්තාකරු මාධව කුලසූරිය මහතා සඳහන් කළේ.

එමෙන්ම, දකුණු පළාතේ සියළුම ප්‍රදේශවලට අර්ධ සූර්යග්‍රහණයක් ලෙස මෙය පැහැදිලිව දර්ශනය වී තිබෙනවා.

වලයාකාර ගණයේ මෙම සූර්යග්‍රහණය මධ්‍යම කඳුකරයේ ප්‍රදේශ කිහිපයකට දර්ශනය වී තිබෙනවා.

හැටන් හිරු වාර්තාකරු රංජිත් රාජපක්ෂ මහතා ද කියා සිටියේ එම ප්‍රදේශයේ විනාඩි 45 කට ආසන්න කාලයක් සූර්යග්‍රහණය දැක ගැනීමට හැකි වූ බවයි.

අර්ධ සූර්යග්‍රහණය හේතුවෙන් කොළඹ දිස්ත්‍රික්කයේ ප්‍රදේශ බොහොමයක් ද අද (26) පෙවරුවේ අඳුරු ස්වභාවයක් ගෙන තිබුණා.

+++++++++++++++++++++

https://www.youtube.com/watch?v=6RMt_ZiEg3k#t=6

***************************************

දේශපාලන කඹ ඇදිල්ලකට ලක්ව ඇති රජයේ ව්‍යාපෘතියක් ගැන ‘හිරු සී.අයි.ඒ.’ හෙළිදරව්ව

(26.12.2019 – 21:50 +0530 – hirunews.lk/sinhala)

දේශපාලන අඳ බාලකම් හේතුවෙන් මෙරට මහජන මුදල් කෝටි ගණනින් විනාශ මුඛයට ඇඳ දැමූ රජයේ ව්‍යාපෘති පිළිබඳ ‘හිරු සී.අයි.ඒ.’ හරහා අප වරින්වර තොරතුරු හෙළි කළා.

අද සී.අයි.ඒ. අනාවරණය රුපියල් මිලියන 90 ක් මකර කටට යවමින් පවතින රජයේ ව්‍යාපෘතියක් පිළිබඳවයි.

***************************************

රාජිත ගැන තවත් හෙළිදරව්වක්

(26.12.2019 – 20:58 +0530 – hirunews.lk/sinhala)

රාජිත සේනාරත්න මහතා ධීවර අමාත්‍ය ධුරය දැරූ කාලයේ දී සිදුකරනු ලැබු බව කියන වංචා පිළිබඳ ලංකා ධීවර වරායේ එවක අධ්‍යක්ෂක ධූරය දැරූ කේ.ජී.ඩී. නන්දසේන මහතා අද (26) හෙළිදරව්වක් කරනු ලැබුවා.

ඔහු සඳහන් කළේ අදාළ වංචා සම්බන්ධයෙන් සාක්ෂිදීමටද තමන් සූදානම් බවයි.

+++++++++++++++++++++

***************************************

සිංහලේ ජාතික සංවිධානයෙන් චෝදනාවක්

(26.12.2019 – 20:30 +0530 – hirunews.lk/sinhala)

2012 වසරේ වැලිකඩ බන්ධනාගාරයේ සිදුවූ ඝාතන සිද්ධියට ගෝඨාභය රාජපක්ෂ මහතා සහ පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ පොලිස් පරීක්ෂක නියෝමාල් රංගජීව සම්බන්ධ බවට ව්‍යාජ පරීක්ෂණ වාර්තා සැකසීම සදහා පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න මහතා බලපෑම් කළ බවට සිංහලේ ජාතික සංවිධානය චෝදනා කරනවා.

කොළඹදී අද (26) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී ඔවුන් මෙම අදහස් පලකළා.

***************************************

මන්ත්‍රී රාජිත අධිකරණය මඟ හැර සැඟව සිටීම ගැන විවිධ අදහස්

(26.12.2019 – 20:21 +0530 – hirunews.lk/sinhala)

වරෙන්තුවක් ලබා සිටින හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න අධිකරණය මඟ හැර සැඟව සිටීම සම්බන්ධයෙන් දේශපාලනඥයින් හා භික්ෂූන් වහන්සේ මෙලෙස අදහස් පළ කළා.

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *