හෙරොයින් කිලෝ 50 ක් දක්ෂිණ අධිවේගී මාර්ගයේ අතුරුගිරියෙන් පිටවෙද්දී අත්අඩංගුවට

+++++++++++++++++++++++++++++++++++

= මේ පිටුවේ සිරස්තල =

• හෙරොයින් කිලෝ 50 ක් දක්ෂිණ අධිවේගී මාර්ගයේ අතුරුගිරියෙන් පිටවෙද්දී අත්අඩංගුවට (විඩියෝ)

• විහාරාධිපති හිමි අපවත්වීමෙන් ගුරුකන්ද විහාරයේ නඩු අහෝසියි

• කළුතර ප්‍රදේශ කිහිපයකට අනිද්දා පැය 12 ක් ජල සැපයුම අත්හිටුවයි

• ගම්පහ දිස්ත්‍රික්කයේ තැන් කීපයකට පැය 24 ක ජල කප්පාදුවක්

• දුම්රිය වර්ජනය අවසන්

• ගෙවිඳුගෙන් හෙළ උරුමයට චෝදනාවක් (විඩියෝ)

• නොවැම්බර් 16 දාට නිරීක්ෂකයින් 7500 ක්

• නාම යෝජනා භාරදීමෙන් පසු පොහොට්ටුවේ පළමු ජන හමුව අනුරාධපුරයේ

• ජනාධිපතිවරණය ගැන විවිධ අදහස් (විඩියෝ)

• පත්වීම් ලබා ගැනීම සඳහා පැමිණි පිරිසකට එල්ල වූ විරෝධය (විඩියෝ)

+++++++++++++++++++++++++++++++++++

හෙරොයින් කිලෝ 50 ක් දක්ෂිණ අධිවේගී මාර්ගයේ අතුරුගිරියෙන් පිටවෙද්දී අත්අඩංගුවට

(07.10.2019 – 13:15 +0530 – sinhala.adaderana.lk)

හෙරොයින් කිලෝ ග්‍රෑම් 50 ක් සමඟ සැකකරුවන් දෙදෙනෙක් අත්අඩංගුවට ගැනීම දක්ෂිණ අධිවේගී මාර්ග කොට්ඨාසය සමත්ව තිබේ.

අද (07) උදෑසන සුදු පැහැති ජිප් රථයකින් දක්ෂිණ අධිවේගී මාර්ගයේ කඩුවෙල සිට අතුරුගිරිය දක්වා පැමිණ අතුරුගිරිය පිටවීමේ ස්ථානයෙන් පිටවන අවස්ථාවේ දී මෙම අත්අඩංගුවට ගැනීම සිදු කර ඇත.

එහිදී එම වාහනය පිළිබඳව සැක සිතී අධිවේගී මාර්ග පොලිස් කොට්ඨාසයේ නිලධාරීන් විසින් එම වාහනය පරීක්ෂා කර තිබේ.

පසුව වාහනයේ පොහොර උර 2 ක බහා තිබු හෙරොයින් කිලෝ 50 ක පමණ ප්‍රමාණයක් ප්‍රවාහනය කරමින් සිටි සැකකරුවන් දෙදෙනෙක් ද අත්අඩංගුවට ගෙන ඇත.

මෙසේ අත්අඩංගුවට පත්ව ඇත්තේ වයස අවුරුදු 38 ක් වු පැල්වත්ත ගමගේ චමින්ද දිල්රුක් නැමති ස්වර්ණපාලි මාවත, බොරුල්ල ලිපිනයේ පදිංචි අයෙක් සහ වයස අවුරුදු 38 ක් වු මංගල සිසිර කුමාරසිරි නැමති සමඟි මාවත, උඩහමුල්ල, නුගේගොඩ ලිපිනයේ පදිංචිකරුවෙකි.

මේ පිළිබඳ වැඩිදුර පරීක්ෂණ පොලීසිය විසින් සිදු කරනු ලබයි.

https://www.youtube.com/watch?v=WLFw3x-WduI#t=6
( වටිනාකම රුපියල් කෝටි 50 කට අධිකයි ! )

***************************************

විහාරාධිපති හිමි අපවත්වීමෙන් ගුරුකන්ද විහාරයේ නඩු අහෝසියි

(07.10.2019 – 13:49 +0530 – lankadeepa.lk)

මුලතිව්ල, ගුරුකන්ද විහාරස්ථානයේ විහාරාධිපති හිමියන් ව සිටි කොළඹ මේධාලංකාරකිත්ති ස්වාමීන්වහන්සේ අපවත්වීම සමග විහාරස්ථානය සම්බන්ධයෙන් ඉදිරිපත් කර තිබූ නඩු සියල්ල පවත්වාගෙන යෑමට නොහැකිව අහෝසිවී ඇත.

ඒ අනුව අද (07) වවුනියාව මහාධිකරණය හමුවේ එම විහාරස්ථානය සම්බන්ධයෙන් වූ ප‍්‍රතිශෝධන ඉල්ලීමක් හා අභියාචනයක් විභාගවීමට නියමිතව තිබුණද, එය අහෝසිවී ගොස් තිබේ.

මෙම විහාරස්ථානයේ කිසිදු ඉදිකිරීමක් නොකරන ලෙස අධිකරණය වාරණ නියෝගයක් නිකුත් කර තිබූ අතර එම නියෝගය මේ අනුව අහෝසී වී ගොස් ඇති බව එම නඩුව වෙනුවෙන් පෙනී සිටි ජ්‍යෙෂ්ඨ නීතීඥ රෝහණ තල්පාවිල මහතා පැවසීය.

ඒ අනුව මෙම පුරාවිද්‍යා භූමියක් ලෙස නම් කර පුවරු පවා සවි කර ඇති මෙම විහාරස්ථානයේ ආරක්ෂාව පිළිබඳව කටයුතු කිරීම පුරා විද්‍යා නිධාරීන්ගේ වගකීමක් බව එම දායක සභාවේ නියොජිතවරු කියාසිටියහ.

එසේ නීතියට අනුව කටයුතු කිරීම හරහා මෙම විහාරස්ථානය ආරක්ෂා කරදීමටත් එහි අනාගතයේ හෝ ගැටුම්කාරී තත්වයක් ඇතිවීම වළක්වාලීමට කටයුතු කරන ලෙස මෙහිදී දායක සභාවේ නියෝජිතවරු බලධාරීන්ගෙන් ඉල්ලා සිටියහ ෴

***************************************

කළුතර ප්‍රදේශ කිහිපයකට අනිද්දා පැය 12 ක් ජල සැපයුම අත්හිටුවයි

(07.10.2019 – 16:19 +0530 – lankadeepa.lk)

කළුතර දිස්ත්‍රික්කයට අයත් ප්‍රදේශ කිහිපයකට අනිද්දා (09) උදෑසන 8.00 සිට රාත්‍රී 12.00 දක්වා පැය 12 කාලයක් ජල සැපයුම අත්හිටුවීමට සිදු වන බව ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය සඳහන් කරයි.

ඒ අනුව වාද්දුව, වස්කඩුව, කළුතර (උතුරු/දකුණු), කටුකුරුන්ද, නාගොඩ, පයාගල, පිලමිනාවත්ත, බෝම්බුවල, මග්ගොන, බේරුවල, කළුවාමෝදර, මොරගල්ල, අළුත්ගම, දර්ගානගරය සහ බෙන්තොට යන ප්‍රදේශ වෙත මෙම තීරණය බලපැවැත්වේ.

ලංකා විදුලිබල මණ්ඩලයේ අත්‍යාවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් කෙත්හේන ජල පවිත්‍රාගාරයට විදුලි බලය සැපයීම අත්හිටුවන බැවින් ජලාපවාහන මණ්ඩලය මෙම තීරණය ගෙන තිබේ ෴

+++++++++++++++++++++++++++++++++++

ගම්පහ දිස්ත්‍රික්කයේ තැන් කීපයකට පැය 24 ක ජල කප්පාදුවක්

(08.10.2019 – 06:59 +0530 – sinhala.adaderana.lk)

අද (08) පෙරවරු 8 සිට පැය 24 ක කාලයක් ගම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයක ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි.

කැලණිගඟ දකුණු ඉවුර ව්‍යාපෘතියේ දෙවන අදියරේ ජල නල පද්ධතියේ වැඩිදියුණු කිරීමක් හේතුවෙන් මෙම ජල සැපයුම අත්හිටුවීමට නියමිතයි.

ඒ අනුව පෑලියගොඩ, වත්තල, මාබෝල, ජාඇල, කටුනායක, සීදූව නගර සභා බල ප්‍රදේශය, කැලණිය, බියගම, මහර, දොම්පේ සහ ගම්පහ ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයේ කොටසකට ජල සැපයුම අත්හිටුවනු ඇති.

ජල සැපයුම අත්හිටුවීම හේතුවෙන් ජල පාරිභෝගිකයින්ට සිදුවන අපහසුතාව පිළිබඳ සිය කණගාටුව පල කරන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය සඳහන් කළේය ෴

***************************************

දුම්රිය වර්ජනය අවසන්

(07.10.2019 – 13:07 +0530 – lankadeepa.lk)

දුම්රිය වැඩ වර්ජනය අවසන් කිරිමට දුම්රිය රියදුරු, නියාමක, පාලක, ස්ථානාධිපති හා දුම්රිය අධීක්ෂණ කළමණාකරුවෝ අද (07) තීරණය කළහ.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සමඟ වෘත්තීය සමිති නියෝජිතයන් සමඟ අද (07) උදේ සිදුකළ සාකච්ඡාවෙන් පසුව ජනාධිපතිතුමාගේ උපදෙස් මත වැටුප් කොමිසම සමඟ කළ සාකච්ඡාවෙන් අනතුරුව දුම්රිය වර්ජනය අවසන් කිරිමේ තීරණයට එළැඹී බව දුම්රිය ස්ථානාධිපති සංගමයේ ප්‍රධාන ලේකම් ජනක ප්‍රනාන්දු මහතා පැවසීය.

දුම්රිය වර්ජනයට අදට දින 12 කි ෴

***************************************

ගෙවිඳුගෙන් හෙළ උරුමයට චෝදනාවක්

(07.10.2019 – 20:44 +0530 – sinhala.adaderana.lk)

ජාතික හෙළ උරුමය රාජ්‍ය නොවන සංවිධාන ආරක්ෂා කරන පක්ෂයක් බවට පත්ව ඇතැයි යුතුකම සංවිධානයේ සභාපති ගෙවිඳු කුමාරතුංග මහතා චෝදනා කරයි.

ඔහු මේ බව සඳහන් කළේ කොළඹ පැවති මාධ්‍ය හමුවකදීය.

ජාතික හෙළ උරුමයේ සෝම හිමිගේ ආදාහනය අවස්ථාවේදී අමාත්‍ය චම්පික රණවක මහතා එදා ප්‍රකාශයට පත් කළේ මවුබිමට එරෙහි NGO කාරයන්ව අතුගා දමන බව යුතුකම සංවිධානයේ සභාපතිවරයා අවධාරණය කළේය.

එහෙත් පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාගේ පුරවැසිභාවය අභියෝගයට ලක්කරමින් පෙත්සම ගොනුකළ පුද්ගයින් දෙදෙනා ආරක්ෂා කිරීමට ජාතික හෙළ උරුමයේ නිශාන්ත වර්ණකුළසූරිය මහතා කටයුතු කළ බව ගෙවිඳු කුමාරතුංග මහතා වැඩිදුරත් පැවසීය.

https://www.youtube.com/watch?v=SgfcN37uhuc#t=6

***************************************

නොවැම්බර් 16 දාට නිරීක්ෂකයින් 7500 ක්

(07.10.2019 – 16:33 +0530 – sinhala.adaderana.lk)

නොවැම්බර් 16 වනදා පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණය නිරීක්ෂණය කිරීම සඳහා කැෆේ සංවිධානය 7500 ක නිරීක්ෂකයින් පිරිසක් යෙදවීමට අපේක්ෂා කරන බවත් මෙවර වාර්තාගත වැඩිම අපේක්ෂක පිරිසක් ජනාධිපතිවරණයට‌ ඉදිරිපත් වන බැවින් ඇතිවිය හැකි තත්ත්වයන් නිරීක්ෂණය කිරීමට මෙම පිරිස යොදවන බවත් කැෆේ සංවිධානය පවසයි.

කැෆේ සංවිධානයේ වැඩබලන විධායක අධ්‍යක්ෂ අහමඩ් මනාස් මහතා පෙන්වා දෙන්නේ සෑම මැතිවරණයකම නාම යෝජනා භාරදීමෙන් අනතුරුව ප්‍රචණ්ඩ ක්‍රියා සහ මැතිවරණ නීති රීති උල්ලංඝනය කිරීම් වාර්තා වීම් සිදුව ඇති බවයි.

මේ නිසා මෙවර මැතිවරණයේදී තම ආධාරකරුවන් නිසි පරිදි මෙහෙයවා ගැනීමට අපේක්ෂකයින් ඇතුළු පක්ෂ නායකයින් කටයුතු කළ යුතු බව ද ඒ මහතා පවසයි.

වත්මන් ජනාධිපතිවරයා, අගමැතිවරයා, සහ විපක්ෂ නායක වරයා යන කිසිවෙක් මෙවර ජනාධිපතිවරණය සඳහා තරඟ නොකිරීම මෙවර දක්නට ලැබෙන විශේෂත්වයක් බව පෙන්වා දෙන මනාස් මකීන් මහතා වැඩිදුරටත් කියා සිටියේ රාජ්‍ය දේපළ අවභාවිතය ආදී සිදුවීම් වැඩි වශයෙන් අපේක්ෂා කළ හැකි බවයි.

කැෆේ සංවිධානය මෙවර අනිකුත් මැතිවරණ නීති රීති උල්ලංඝනය කිරීම් පිළිබඳව දැඩි අවධානය යොමු කරන අතරතුර ඡන්ද දායකයින්ට අල්ලස් ලබාදීම ආදී කරුණු පිළිබඳව ද විශේෂ අවධානයක් යොමුකරන බව අහමඩ් මනාස් මකීන් මහතා පෙන්වා දුන්නේය.

කැෆේ සංවිධානය මෙම ජනාධිපති මැතිවරණ නිරීක්ෂණ කටයුතු සඳහා නිරීක්ෂකයින් 7500 ක පමණ ප්‍රමාණයක් දිවයිනේ සෑම දිස්ත්‍රික්කයක්ම ආවරණය වන පරිදි යෙදවීමට අපේක්ෂා කරන බවද ඒ මහතා සඳහන් කරයි ෴

***************************************

නාම යෝජනා භාරදීමෙන් පසු පොහොට්ටුවේ පළමු ජන හමුව අනුරාධපුරයේ

(08.10.2019 – 07:36 +0530 – hirunews.lk/sinhala)

ජනාධිපතිවරණයට නාම යෝජනා භාරදීම අවසන් වීමත් සමඟ මේ වන විට දේශපාලන පක්ෂ සිය මැතිවරණ ප්‍රචාරක කටයුතු ආරම්භ කර තිබෙනවා.

නාම යෝජනා භාරදීමෙන් අනතුරුව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විසින් පවත්වන පළමු ජන හමුව හෙට (09) අනුරාධපුරය – සල්ගාදු ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතයි.

ඒ අනුව හෙට (09) පස්වරු 2 ට මෙම ජන හමුව පැවැත්වෙන්නේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායක – විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතාගේ සහ ජනාධිපති ධුර අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන්.

ඊට ඒකාබද්ධ විපක්ෂය ප්‍රමුඛ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් රැසක් එක්වීමට නියමිත බවයි පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්. චන්ද්‍රසේන මහතා හිරු ප්‍රවෘත්ති අංශයට කියා සිටියේ ෴

***************************************

ජනාධිපතිවරණය ගැන විවිධ අදහස්

(07.10.2019 – 20:59 +0530 – hirunews.lk/sinhala)

ඉදිරි ජනාධිපතිවරණය සම්බන්ධයෙන් පක්ෂ විපක්ෂ දේශපාලනඥයින් මෙලෙස අදහස් පළ කළා.

***************************************

පත්වීම් ලබා ගැනීම සඳහා පැමිණි පිරිසකට එල්ල වූ විරෝධය

(07.10.2019 – 20:53 +0530 – hirunews.lk/sinhala)

අභ්‍යාසලාභීන් ලෙස පත්වීම් ලබා ගැනීම සඳහා, රාජ්‍ය බැංකුවක ප්‍රාදේශීය ප්‍රධාන කාර්යාලයකට පැමිණි පිරිසකට ප්‍රදේශවාසීන්ගේ විරෝධය එල්ලවීමේ පුවතක් නාත්තන්ඩිය ප්‍රදේශයෙන් වාර්තා වනවා.

පත්වීම් ලබා ගැනීමට පැමිණ ඇත්තේ ගාල්ල, මාතර ඇතුළු ප්‍රදේශවල තරුණ තරුණයින් පිරිසක්.

පුත්තලම නාත්තන්ඩිය ප්‍රදේශයේ පිහිටි අදාළ රාජ්‍ය බැංකුවට පත්වීම් ලබා ගැනීමට පැමිණි පිරිසට ප්‍රදේශවාසීන් විරෝධය පළ කළේ මෙලෙසින්.

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *