අකිල විරාජ් සහරාන්ටත් වඩා භයානකයි – උදය ගම්මන්පිල

(23.09.2019 – 16:01 +0530 – sinhala.adaderana.lk)

1994 වසරේ අංක 19 දරන අල්ලස් හා දුෂණ විමර්ෂණ කොමිෂන් සභා පනතේ 11 වන වගන්තිය අනුව එහි අධක්ෂක ජනරාල්වරයාට නඩු පැවරීමට හැකි වන්නේ කොමසාරිස්වරු නියෝගයක් කළහොත් පමනක් බව පිවිතුරු හෙළ උරුමයේ නායක පර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා පවසයි.

අල්ලස් හා දුෂණ විමර්ෂණ කොමිෂන් සභාවේ හිටපු අධ්‍යක්ෂක ජනරාල්වරිය දිල්රුක්ෂි ඩයස් මහත්මිය පසු ගිය දා හෙළි වු ප්‍රකාශය සම්බන්දයෙන් අදහස් දක්වමින් අද (23) එම පක්ෂ කර්යාලයේ පැවති මාධ්‍ය හමුවක් අමතමින් මන්ත්‍රීවරයා මේ බව පැවසීය.

එතුමිය පවසන පරිදි එතුමියගේ හිතු මනාපෙට කිසිදු අයුරකිත් නඩු පැවරීමට ඇයට අයිතියක් හෝ බලයක් නොමැති බවද මන්ත්‍රීවරයා පෙන්වා දෙයි.

දිල්රුක්ෂි ඩයස් මහත්මිය යනු අල්ලස් කොමිෂන් සභාවේ හිටපු අධ්‍යක්ෂ ජනරාල්වරිය පමනක් නොව වර්තමාන සොලිසිටර් ජනරාල්වරිය බවත් එම තනතුරු නීතිපති දෙපාර්තමේන්තුවේ දෙවන නිලය බවත් ඒ අනුව ඇය ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිසුරුවරයෙකුට සමාන බවත් මන්ත්‍රීවරයා පැහැදිලි කළේය.

එවන් බරපතල තනතුරක් හොබවන තැනැත්තියක්, තමන් දේශපාලන බලපෑම් අනුව කටයුතු කළ බවට පිලිගෙන තිබෙන රට හමුවේ මේ වන විට හෙළි වි ඇති බවද මන්ත්‍රීවරයා පෙන්වා දෙයි.

එම නිසා මේ සම්බන්ධයෙන් තමන්ට බලපෑමක් සිදුවුවාද නැද්ද යන්න කොමසාරිස්වරු රටට පැවසීය යුතු බද එසේ කළ නොහැකි නම් අධ්‍යක්ෂක ජනරාල්වරිය සිය හිතු මනාපෙට මෙලෙස නඩු පැවරුවේද යන්න පැවසිය යුතු බවද මන්ත්‍රීවරයා පවසයි.

එසෙත් නොමැති නම් අල්ලස් හා දුෂණ විමර්ෂණ කොමිෂන් සභාවේ විශ්වසනීයත්වය සහ ගෞරවය රැකගැනිම සඳහා සියළුම අධ්‍යක්ෂවරු ඉල්ලා අස් විය යුතු බවද මන්ත්‍රීවරයා අවධාරණය කළේය.

+++++++++++++++++++++

+++++++++++++++++++++

තවද වැඩිදුරටත් අදහස් දැක්වු මන්ත්‍රීවරයා පැවසුවේ වත්මන් අධ්‍යාපන ඇමාත්‍යවරයා ත්‍රාස්තවාදී සහරාන්ටත් වඩා භයානක බවයි.

එයට කරුණු දක්වමින් මන්ත්‍රීවරයා පැවසුවේ සෞඛ්‍යට අහිතකර තත්ත්වයේ ටැබ් පරිඝණක යන්ත්‍ර උසස් පෙළ සිසුන්ට සහ ගුරුවරුන්ට ලබා දීමට අමාත්‍යවරයා කටයුතු කර ඇති බවයි.

තමන්ට උදව් කරන සමාගමකට ටැබ් පරිගණක ටෙන්ඩරය ලබාදීමට අධ්‍යාපන ඇමතිතුමා දැරූ උත්සහයක් හේතුවෙන් අනාගත පරපුර වඳවීමේ අවදානමක් මතුවී තිබෙන බවද මන්ත්‍රීවරයා පවසයි.

එහිද වැඩිදුරටත් අදහස් දැක්වු මන්ත්‍රීවරයා :

“ටැබ් පරිගණක ලබා දෙන්නේ උසස් පෙළ දරුවන්ට. ඒ අය මේවා උකුලේ තබාගෙන කටයුතු කරන්නේ. ටැබ් පරිගණක මගින් නිකුත් කරන විකිරණ සහ තරංග හේතුවෙන් පිරිමින්ගේ ශුක්‍රානු වල ජීව කාලය අඩු කරනවා වගේම ශුක්‍රානු කැබිලි වීමේ අවදානමක් තිබෙන බව ලෝක සෞඛ්‍ය සංවිධාණය පවා ප්‍රකාශකර තිබෙනවා.

මේ බව Use of Laptop Computers connected to internet through WiFi decreases human sperm Motility and increases sperm DNA Fragmentation යන විද්‍යාත්මක නිබන්ධනයේ ඉතාම පැහැදිලිව සඳහන් වී තිබෙනවා.

ඊට අමතරව අන්ධභාවය, ටිෂූ ඉරීම, තුවාල ඇති වීම, ඉන්ද්‍රින් අක්‍රියවීම පිළිකා ඇතිවීම සහ ලෙඩ වලට ඔරොත්තු දීමේ හැකියාව අඩු වීම වැනි රෝග ගණනාවක් නිසි ප්‍රමිතියෙන් තොර පරිගණක වලින් නිකුත්වෙන විකිරණ සහ තරංග හේතුවෙන් සිදුවිය හැකි බව සෞඛ්‍ය සංවිධාන සහ විද්‍යාත්මක පර්යේෂකයන් විසින් හෙළි කර තිබෙනවා.

මේ කරුණු මත මිළ දී ගැනීම සඳහා පිරිවිතර සකස් කළ විශේෂඥ කමිටුව විසින් සැපයීමට ඉදිරිපත් කරන සෑම ටැබ් පරිගණකයක්ම සෞඛ්‍යයට හිතකර බවට ඇමෙරිකාවේ පෙඩරල් සන්නිවේදන කොමිසමේ සහතිකයක් ඉදිරිපත් කළ යුතු බවට කොන්දේසියක් දැම්මා.

ඇමතිතුමාගේ අවාසනාවට ඇමතිතුමාට හිතවත් සමාගමට මෙම සහතිකය ඉදිරිපත් කරන්න බැරි වුණා. ඒ නිසා අවශ්‍ය ප්‍රමිතියට ටැබ් පරිගණක නැති පදනමින් මේ සමාගම ප්‍රතික්ෂේප වුණා.

ඇමතිතුමා මොකද කලේ? තමන්ට අවශ්‍ය සමාගම අනුමත නොකළ තාක්ෂණික කමිටුව ඉවත් කරලා අළුත් කමිටුවක් පත් කර ගන්න උවමනා වුණා. ඒ අනුව 2017.07.12 දින අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් විසින් රාජ්‍ය මුදල් දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්ට ලිපියක් යවමින් තාක්ෂණික කමිටුව ඉවත් කර නව කමිටුවක් පත් කරන මෙන් ඉල්ලා සිටිනවා.”

***************************************

විදෙස්ගත ශ්‍රී ලාංකිකයෝ දෙලක්‍ෂයක් නොවැම්බර් 16 ගෝඨා වෙනුවෙන් ලංකාවට එන්න රොද බදිති..

(23.09.2019 – 15:50 +0530 – lankacnews.com)

ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ජයග්‍රහණය වෙනුවෙන් ශ්‍රී ලංකාවේ ජන්ද බලය හිමි විදෙස්ගත ශ්‍රී ලාංකිකයන් ලක්ෂ 2 ලංකාවට ගෙන්වා ගැනීමේ විශේෂ වැඩපිළිවෙලේ පළමු සම්මන්ත්‍රණය ඊයේ සවස (සැප්තැම්බර් 22 ඉරිදා) ප්‍රංශයේ පැරිස් නගරයේ පැවැත්වුනි.

“මව්බිම වෙනුවෙන් ප්‍රංශයේ ශ්‍රී ලාංකිකයෝ” සංවිධානය රැස්වීම සංවිධානය කළ අතර ඊට ශ්‍රී ලාංකිකයෝ විශාල පිරිසක් සහභාගී වුහ. පූජ්‍ය වතෝගල ධම්මික ස්වාමීන්වහන්සේ විශේෂ අනුශාසනයක් පැවැත්වුහ.

ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා එවන ලද විශේෂ පණිවිඩයක් ද මෙහිදී කියවන ලදි.

මහාචාර්ය චන්න ජයසුමන මහතා ආරාධිත දේශනය පැවැත්වීය.

එහිදී ඔහු පැවසුවේ ශ්‍රීලංකාවේ ජාතික බලවේග අද එක් මිටකට පැමිණ ඇති බවත් ගෝඨාභය රාජපක්ෂ මහතා පැරදවිය හැකි අපේක්ෂකයෙක් රටේ නැති නිසා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අද ඒ සඳහා ඉදිරියට පැමිණ ඇති බවත්ය.

– විමල් බණ්ඩාර පැරිසියේ සිට

***************************************

මැතිවරණ නීති උල්ලංඝණය කිරීම සජිත් දකුණෙන් අරඹලා – බන්දුල ගුණවර්ධන

(23.09.2019 – 21:51 +0530 – sinhala.adaderana.lk)

මැතිවරණ නීති අමු අමුවේ උල්ලංඝණය කිරීම සජිත් ප්‍රේමදාස අමාත්‍යවරයා දකුණෙන් ආරම්භ කර ඇතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුණවර්ධන මහතා පවසයි.

බන්දුල ගුණවර්ධන මහතා මෙසේ පැවසූයේ අද (23) තංගල්ල කාර්ල්ටන් නිවෙසේදී පැවැති ජනහමුවකට සහභාගී වීමෙන් අනතුරුව මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට පිලිතුරු දෙමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මන්ත්‍රීවරයා :

“මේ ප්‍රදේශවල ප්‍රාදේශීය ලේකම් කාර්යාල ඉදිරිපිට තබාගෙන සිමෙන්ති ලොරි පිටින් බෙදනවා මිනිස්සුන්ට ඡන්දය ගැනීම සඳහා. මෙය සම්පූර්ණයෙන් අල්ලසක්. මැතිවරණ දූෂණයක්. කොමසාරිස්වරයාට හෝ මැතිවරණ කොමිසමට පැමිණිලි කළාට කිසිම වැඩක් වෙලා නැහැ. පොලිස් නිලධාරීන් සියලු දෙනා රාජ්‍ය අණසකට යටත් කර තිබෙනවා. පොලිස් රාජ්‍ය සංකල්පය යටතේ මැතිවරණ නීති අමු අමුවේ උල්ලංඝණය කිරීමක් දකුණෙන් සජිත් ප්‍රේමදාස ආරම්භ කර තිබෙනවා.

අපිට පහසුම අපේක්ෂකයා තමයි සජිත් ප්‍රේමදාස මහත්තයා. එතුමා කරන සිල්ලර, නීති විරෝධී වැඩ දැක්කාම ඒ තුළින්ම පොහොට්ටුවට නිකන්ම ඡන්දෙ ලැබෙනවා. තිස්සමහාරාම, බෙලිඅත්ත සහ තංගල්ල ප්‍රදේශවල අපි සංචාරය කළා. හැම ගෙදරකටම ලොරි පිටින් සිමෙන්ති බෙදනවා. මගේ ළග තිබෙනවා ලොරි රථවල අංක. මේ බෙදන සිමෙන්ති ගැන මේ ප්‍රදේශයේ සියලු දෙනාම දන්නවා. මැතිවරණයක් ප්‍රකාශයට පත් කර තිබෙන විට මැතිවරණ නීතියවත් කඩන්නේ නැතුව ඒක ඉෂ්ඨ කරන්න බැරි ඇමතිවරු ඉන්න රටක ඒ ඇමැතිවරයා ජනාධිපති ධූරයට පත් කළොත් කොහොම නීති කඩාවිද.

එක්සත් ජාතික පක්ෂයට ජනාධිපති අපේක්ෂකයා පත්කර ගැනීම රහසක් ලෙස තියාගන්න සිදුවෙලා. ඔහු කියනවා මේ වන විට 225 ම එපාවෙලා නිසා අවසාන වෙලාවේ කියන්නම් කියලා. රනිල් වික්‍රමසිංහ මහත්තයා කියන්නේ අනුර කුමාර දිසානායක මහත්තයගේ උපදෙස් මතද දන්නේ නැහැ. මීට අවුරුදු තිහකට විතර කලින් තිබුණ තත්ත්වය. මොකද මීට වසර තිහකට විතර ඉස්සරවෙලා මේ රටේ මිනිස්සුන්ගේ ඇට මස් ලේ නහරවලට මතවාදයක් අරගෙන ගියා. ‘හොර පාර්ලිමේන්තුව වර්ජනය කරව්. පළවෙනියෙන් ඡන්දයට ඉදිරිපත් වන හැමට දඩුවම මරණයයි. ඡන්දෙ දෙන්න යන පළවෙනි පස් දෙනා මරණවා. එහෙම මරලා දණහිසෙන් පහළට දාලා වළලන්න’ කියලා නියම කළා.

අද එවැනි භීෂණයක් එවැනි ත්‍රස්තවාදයක් ලංකාව තුළ නැහැ. නිරෝගී ප්‍රජාතන්ත්‍රවාදය සඳහා අපි බොහොම පැහැදිලිව ජයග්‍රහණය කළ හැකියි. සියයට හැටක ජයග්‍රහණයේ ප්‍රතිශතයක් ලබා ගන්න පුළුවන් ගෝඨාභය රාජපක්ෂ මහතාට. රට බේරාගත් මහින්ද රාජපක්ෂ මහතා ප්‍රමුඛ අනෙකුත් රට පැත්තේ හිටගන්නා සියලු පක්ෂ විසින් ඉදිරිපත් කර තිබෙනවා.

ජනතාව පොදි බැඳගෙන බලාගෙන ඉන්නේ පැවැත්වෙන්නේ කුමන මැතිවරණක් වුණත් මැතිවරණය ලබා දෙන තුරුයි බලාගෙන ඉන්නේ. පක්ෂ පාට බේද වලින් තොරව රට පාවා දෙන්නේ නැති රට නැවැත ගොඩ නඟන්න පුළුවන් සිංහල , දෙමළ, මුස්ලිම්, බර්ගර් සියලු අයට ආරක්ෂාව ලබා දෙන්න පුළුවන් ජාතික නායකයා විදියට පත් කිරීමයි ජනතාවගේ අපේක්ෂාව.”

+++++++++++++++++++++++++++++++++++

ජනපති පරීක්ෂණ කොමිසම හමුවේ පැය 7 ක් සජිත් සාක්ෂි දෙයි

(23.09.2019 – 19:23 +0530 – sinhala.adaderana.lk)

නිවාස, ඉදිකිරීම් හා සංස්කෘතික කටයුතු අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා 2015 වසරේ සිට 2018 වසර දක්වා රාජ්‍ය ආයතනවල සිදුව ඇතැයි සැලකෙන දූෂණ හා අක්‍රමිකතා සෙවීමේ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාව හමුවට අද පැමිණියේය.

ඒ, ජාතික නිවාස සංවර්ධන අධිකාරීය සඳහා බඳවා ගැනීමේදී අක්‍රමිකතාවක් සිදුව ඇති බවට එම කොමිෂන් සභාවට ලැබුණු පැමිණිල්ලකට අදාළව සාක්ෂි ලබාදීම සඳහායි.

පැය 4 කට ආසන්න කාලයක් කොමිසමට අනුබද්ධ පොලිස් නිලධාරීන්ට ප්‍රකාශ ලබාදීමෙන් පසුව පැය 3 කට ආසන්න කාලයක් කොමිසම හමුවේ සාක්ෂි ලබාදුන් බව අද දෙරණ වාර්තාකරු සඳහන් කළේය.

මේ අතර අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතාද අද එම කොමිසම හමුවට පැමිණියේය.

ඒ පාසල් නිලඇඳුම් වෙනුවට වවුචර්පත් ලබාදීමට පිළිබඳව කොමිෂන් සභාවට ලැබී ඇති පැමිණිල්ලකට අදාළවයි.

මේ අතර මැතිවරණයක් ප්‍රකාශයට පත්කර තිබියදී නිවාස ඉදිකිරීම් හා සංස්කෘතික කටයුතු අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතාගේ අනුමැතිය පරිදි ජාතික නිවාස සංවර්ධන අධිකාරිය ඉකුත් 18 වනදා පිරිසකට නිවාස හා කඩකාමර නිදහස් කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ජාතික නිවාස සංවර්ධන අධිකාරිය සුරැකීමේ සංවිධානය මැතිවරණ කොමිසමට අද පැමිණිල්ලක් සිදු කළේය.

කොළඹ සහ හම්බන්තොට ප්‍රෙද්ශවල පිරිසකට මාළිගාවත්ත , මොරටුව ඇතුළු ප්‍රදේශ කිහිපයක නිවාස 05ක් සහ කඩකාමර 30 මේ යටතේ නිදහස් කර ඇති බව පැමිණිල්ලෙන් කොමිසමට කරුණු පෙන්වා දුන් බව එම සංවිධානයේ සභාපති ධර්ම ශ්‍රී කාරියවසම් මහතා පැවසුවේය.

***************************************

ආබාධිත රණවිරුවන්ගේ විරෝධතාවට අද (23) ට දින 13 යි

(23.09.2019 – 19:26 +0530 – sinhala.adaderana.lk)

විරෝධතාවේ නිරත ආබාධිත රණවිරුවන්ට එරෙහිව කොළඹ කොටුව පොලිස් ස්ථානාධිපතිවරයා පසුගිය 18 වැනිදා අධිකරණයෙන් ලබාගෙන තිබූ වාරණ නියෝගය සම්බන්ධයෙන් රණවිරු අයිතිවාසිකම් සුරැකීමේ ජාතික බලවේගය අද (23) අධිකරණ සේවා කොමිෂන් සභාවට පැමිණිල්ලක් ඉදිරිපත් කළේය.

ඒ එහි තාක්ෂණික ගැටලු රැසක් පවතින බව සඳහන් කරමින්.

ආබාධිත රණවිරුවන් පිරිසක් ආරම්භ කළ විරෝධතාව කොටුව දුම්රිය ස්ථානය ඉදිරිපිටදී අද ක්‍රියාත්මත වූයේ 13 වැනි දිනටයි.

වැටුප් ගැටලුව ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් ඉකුත් 11 වැනිදා සිට රණවිරු අයිතිවාසිකම් සුරැකීමේ ජාතික බලවේගය කොළඹ කොටුව දුම්රිය ස්ථානය ඉදිරිපිටදී විරෝධතාවයේ නිරතව සිටියි.

ඊයේ (22) රාත්‍රියේත් මහා සංඝරත්නය එහි වැඩම කළ අතර, විරෝධතාවයේ නිරත පිරිසට ආහාර පාන පිළිගැන්වීමට ජනතාව පියවර ගෙන තිබුණි.

අද 13 වැනි දිනටත් විරෝධතාවයේ නිරත ආබාධිත රණවිරුවන්ට පිරිසක් රෝද පුටු සහ කිහිලිකරු ප්‍රදානය කළේය.

මේ අතර මිය ගිය රණවිරුවෙකුගේ බිරිඳක් විරෝධතාවය අතරතුර රෝගී වීම හේතුවෙන් ඇයව කොළඹ ජාතික රෝහලට ඇතුළත් කිරීමට පියවර ගැණුනි.

+++++++++++++++++++++

https://www.youtube.com/watch?v=42PP9qv3Uj4#t=5

***************************************

දිල්රුක්ෂිගේ දුරකථන සංවාදය ගැන මැති-ඇමති අදහස්

(23.09.2019 – 19:12 +0530 – sinhala.adaderana.lk)

දිල්රුක්ෂි ඩයස් මහත්මිය හා නිශ්ශංක සේනාධිපති අතර සිදු වූ දුරකථන සංවාදය සම්බන්ධයෙන් දේශපාලනඥයින් අද (23) මෙලෙස අදහස් පළ කළේය.

සොලිසිටර් ජනරාල් දිල්රුක්ෂි ඩයස් වික්‍රමසිංහ මහත්මිය පිළිබඳ විමර්ශන සිදුකිරීමට පිළිබඳ ඇය රාජකාරීවලින් ඉවත් කළ යුතු බව ශ්‍රි ලංකාපොදුජන පෙරමුණේ සභාපති මහාචාර්ය ජී.එල්.පීරිස් මහතා පවසයි.

අද පැවති මාධ්‍ය හමුවකදී ඔහු ප්‍රකාශ කළේ සදාචාරාත්මකව ඇය තවදුරටත් ධුරයේ කටයුතු නොකළ යුතු බවයි.

දිල්රුක්ෂි මහත්මිය සම්බන්ධ හඬ පටය තුළින් පසුගිය කාලයතුළ නඩු පැවරු ආකාරය පිළිබද ලෝකයට අනාවරණය වු බව පාර්ලිමේන්තු මන්ත්‍රී සුසිල් ප්‍රේමජයන්ත් මහතා සඳහන් කළේය.

නියෝජ්‍ය අමාත්‍ය නලීන් බණ්ඩාර මහතා පැවසුවේ චූදිතයෙකු සමඟ දුරකථනයෙන් සම්බන්ධ වීම නීතියට පටහැනි කටයුත්තක් බවයි.

එක්සත් ජනතා නිදහස් සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කංචන විජේසේකර මහතා පැවසුවේ දේශපාලන බලපෑම් සිදුකළ පුද්ගලයින් පිලිබඳ අනාවරණ කිරීමට ඉදිරිපත් වන පිරිසට සිය ආණ්ඩුවක් යටතේ ආරක්ෂාව දෙන බවත්ය.

***************************************

දිල්රුක්ෂි ඩයස්ගේ වැඩ බැලීමට, අතිරේක සොලිසිටර් ජනරාල්වරයෙක්

(23.09.2019 – 19:31 +0530 – hirunews.lk/sinhala)

අල්ලස් කොමිසමේ හිටපු අධ්‍යක්‍ෂ ජනරාල්, සොලිසිටර් ජනරාල් දිල්රුක්ෂි ඩයස් වික්‍රමසිංහ සහ ඇවන්ගාඩ් සමාගමේ සභාපති නිශ්ශංක සේනාධිපති අතර සිදුවූ දුරකථන සංවාදය පිළිබඳව විමර්ශනයක් සිදුකරන ලෙස නීතිපතිවරයා අද රාජ්‍ය සේවා කොමිසන් සභාව වෙත දැනුම් දී තිබෙනවා.

එමෙන්ම, අදාළ දුරකථන සංවාදය පිළිබඳව පරීක්ෂණ ද ආරම්භ කළ බවයි නීතිපතිවරයාගේ සම්බන්ධීකරණ නිලධාරිනි රජයේ අධිනීතීඥ නිශාරා ජයරත්න ප්‍රකාශ කළේ.

ඒ අනුව සිද්ධිය සම්බන්ධයෙන් මූලික පරීක්ෂණ පැවැත්වීම සඳහා විමර්ශකයෙකු පත් කිරීමට නියමිතයි.

මේ අතර, සොලිසිටර් ජනරාල් දිල්රුක්ෂි ඩයස් වික්‍රමසිංහ දැරූ නීතිපති දෙපාර්තමේන්තුවේ සිවිල් අංශයේ ප්‍රධානී තනතරේ වැඩ ආවරණය කිරීම සඳහා ජ්‍යෙෂ්ඨ අතිරේක සොලිසිටර් ජනරාල් සංජය රාජරත්න පත් කර තිබෙනවා.

මෙම දුරකථන සංවාදය ඇවන්ගාඩ් සමාගමේ සභාපති නිශ්ශංක සේනාධිපති පසුගිය දා සමාජ මාධ්‍යයට මුදා හැරියේ සිංගප්පූරු රෝහලක ප්‍රතිකාර ලබන අතරතුරයි.

කෙසේ වෙතත්, අදාළ දුරකථන සංවාදය සම්බන්ධයෙන් සොලිසිටර් ජනරාල් දිල්රුක්ෂි ඩයස් වික්‍රමසිංහ තම ෆේස්බුක් ගිණුමේ සටහනක් ද යොදමින් සඳහන් කළේ එය විකෘති කරන ලද්දක් බවයි.

https://www.youtube.com/watch?v=0TvlilBLwtM#t=6

***************************************

විසඳුම් නැත්නම් අනිද්දා සිට, රාජ්‍ය සේවය අඛණ්ඩ වර්ජනයක

(23.09.2019 – 19:24 +0530 – hirunews.lk/sinhala)

විධායක ශ්‍රේණි නොවන රාජ්‍ය සේවකයින් අද ලෙඩ නිවාඩු වාර්තා කිරීම හේතුවෙන් දිවයින පුරා පිහිටි දිස්ත්‍රික් ලේකම් කාර්යාල ඇතුළු රාජ්‍ය ආයතනවල සේවා සැපයීමට බාධා එල්ල වුණා.

මේ නිසා රාජ්‍ය ආයතන තුලින් සේවා ලබා ගැනීමට පැමිණි මහජනතාවට දැඩි අපහසුතාවන්ට පත්වීමට සිදුවූ බවයි හිරු වාර්තාකරුවන් ප්‍රකාශ කළේ.

විධායක ශ්‍රේණි නොවන රාජ්‍ය නිලධාරීන් අද ලෙඩ නිවාඩු වාර්තා කර සේවයට නොපැමිණියේ රජයේ විධායක නිලධාරීන්ට කැබිනට් පත්‍රිකාවකින් ලබා දුන් වැටුප් වැඩිකිරීමට සාපේක්ෂකව තමන්ට වැටුප් ලබා නොදීමට විරෝධය පළ කිරිමටයි.

රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය විසින් එක් පාර්ශවයකට පමණක් දීමනා වැඩිකිරීමට ඉදිරිපත් කර ඇති කැබිනට් පත්‍රිකාව හෙට දිනයේ ඉදිරිපත් කිරිමට නියමිතයි.

ඊට සාපේක්ෂව තමන්ට ද එම දීමනා ලබා දිය යුතු බව පවසමිනුයි ශ්‍රී ලංකා රාජ්‍ය නිලධාරී වෘත්තීය සමිති සම්මේලනය ලෙස ඒකාබද්ධව රාජ්‍ය කළමනාකරණ සහකාර, සංවර්ධන, ග්‍රාමසේවා ඇතුළු වෘත්තිය සමිති 34 ක් අද දිනයේ වෘත්තිය ක්‍රියාමාර්ගයට එක්ව සිටියේ.

අදාළ රාජ්‍ය ආයතනවලින් සේවා ලබාගැනීමට පැමිණි ජනතාව නොසන්සුන්කාරී ලෙස හැසිරුණේ තම සේවා ඉටු කර ගැනීමට නොහැකි වීම හේතුවෙන්.

බත්තරමුල්ලේ පිහිටි ආගමන විගමන දෙපාර්තමේන්තුවට පැමිණි අසීරුතාවට පත්වූ ජනතාව අනතුරුව එම දෙපාර්තමේන්තුව ඉදිරිපිට ප්‍රධාන මාර්ගය අවහිර කරමින් කලහකාරී ලෙස හැසිරුණා.

එහිදී එම තත්ත්වය පාලනය කිරීමට පොලීසිය පැමිණීමත් සමඟ ඇති වූයේ උණුසුම් තත්ත්වයක්.

මේ අතර, වෘත්තීය ක්‍රියාමාර්ගය සම්බන්ධයෙන් දැනුවත් කිරීම සඳහා රජයේ විධායක නිලධාරින්ගේ එකාබද්ධ කමිටුව කොළඹ අද මාධ්‍ය හමුවක් කැදවා තිබුණා.

ඊට එක්වෙමින් එහි සභාපති වෛද්‍ය නිමල් කරුණාසිරි ප්‍රකාශ කළේ හෙට දිනයේ සිය ඉල්ලීම් සඳහා විසඳුම් නොලැබුනහොත් අනිද්දා සිට අඛණ්ඩ වර්ජනයකට එළඹීමට සිදුවන බවයි.

කෙසේ වෙතත්, අදාල වෘත්තීය ක්‍රියාමාර්ගයට ප්‍රතිචාර දක්වමින් රාජ්‍ය පරිපාලන අමාත්‍ය රංජිත් මද්දුම බණ්ඩාර සාකච්ඡාවක් ලබාදී තිබෙනවා.

ඒ අනුව ලෙඩ නිවාඩු දමා වෘත්තීය ක්‍රියාමාර්ගයේ නිරත වූ ශ්‍රී ලංකා රාජ්‍ය නිලධාරී වෘත්තීය සමිති සම්මේලනයට අයත් වෘත්තිය සමිති නියෝජිතයින් කිහිප දෙනෙකු ඊට එක්වූ බවයි හිරු වාර්තාකරු ප්‍රකාශ කළේ.

පස්වරු 3ට අදාළ සාකච්ඡාව ලබාදී තිබුණත් මේ වන තෙක් අමාත්‍යවරයා සාකච්ඡා සඳහා එක්නොවූ බවයි සංවර්ධන නිලධාරී සේවා සංගමයේ ප්‍රධාන ලේකම් චන්දන සූරියආරච්චි ප්‍රකාශ කළේ.

https://www.youtube.com/watch?v=FQuIaQXtwsE#t=6
********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *