ආබාධිත රණවිරුවන් පස්වන දිනටත් විරෝධතාවයේ

+++++++++++++++++++++++++++++++++++

= මේ පිටුවේ සිරස්තල =

• ආබාධිත රණවිරුවන් පස්වන දිනටත් විරෝධතාවයේ (විඩියෝ)

• රණවිරු සත්‍යග්‍රහය පැවැත්වෙන ස්ථානයට රතන හිමි සහ ඩිල්ෂාන් එයි (විඩියෝ)

• තවදුරටත් ක්‍රියාත්මක ආබාධිත රණවිරු විරෝධය මැද උණුසුම් තත්ත්වයක් (විඩියෝ)

• කාන්තා නිරුවත් ඡායාරූප එකතුකළ ‘ෆේස්බුක් නළුවා’ පොලිසියට කොටුවෙයි

• එක් අයෙකුට මරු කැඳවු මෝටර් රථ අනතුර (විඩියෝ)

• ගෝඨාභය ආවොත් බයෙන් ඉන්න ඕනේ ත්‍රස්තවාදීන් – ඩලස් අලහප්පෙරුම

• බලන් කඩතුරා හැර දෑසේ – බන්දුල ගුණවර්ධන (විඩියෝ)

• ඇල්පිටියේ ඡන්දය කල් දැමීමේ සූදානමක් ගැන, මන්ත්‍රී බන්දුල හෙළිදරව්වක (විඩියෝ)

• හිරු සී.එයි.ඒ. : හංගමු ගඟ විනාශ කරන අනවසර මැණික් ජාවාරම (විඩියෝ)

+++++++++++++++++++++++++++++++++++

ආබාධිත රණවිරුවන් පස්වන දිනටත් විරෝධතාවයේ (විඩියෝ)

(14.09.2019 – 12:40 +0530 – sinhala.adaderana.lk)

වැටුප් ගැටලුව සහ තවත් ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් රණවිරු අයිතිවාසිකම් සුරැකීමේ ජාතික බලවේගය කොටුව දුම්රිය ස්ථානය ඉදිරිපිටදී ආරම්භ කළ අඛණ්ඩ විරෝධතාව මේ වන විට 5 වැනි දිනටත් ක්‍රියාත්මකයි.

වැටුප් ගැටලුවලට විසඳුම් ඉල්ලා රණවිරු අයිතිවාසිකම් සුරැකීමේ ජාතික බලවේගය ආරම්භ කළ විරෝධතාවයට ආබාධිත රණවිරුවන් හා දිවිපිදූ රණවිරුවන්ගේ ඥාතීන් පිරිසක් එක්ව සිටියි.

රණවිරු සුබසාධක සංගමයේ අජිත් පෙරේරා මහතා ඊයේ (13) රාත්‍රියේ කොළඹ කොටුව දුම්රිය ස්ථානය අසළ විරෝධතාවයේ නිරත විරෝධතාකරුවන් හමු වී සාකච්ඡාවක නිරත වුණි.

කෙසේ වෙතත් පිරිස අඛණ්ඩව විරෝධතාවයේ නිරත වූ අතර මධ්‍යම රාත්‍රිය ආසන්න වන විට වර්ෂාව ඇඳ හැලුණි.

විරෝධතාකරුවන් මේ වන විට අඛණ්ඩව 5 වැනි දිනටත් විරෝධතාවයේ නිරත වන අතර මේජර් ජනරල් කමල් ගුණරත්න මහතා අද පෙරවරුවේ එම පිරිස සමඟ සාකච්ඡා කළේය.

කෙසේ වෙතත් රණවිරු සුබසාධක සංගමය පැවසුවේ තම ගැටලු සඳහා නිසි විසඳුම් ලැබෙන තෙක් අඛණ්ඩව විරෝධතාවයේ නිරත වන බවයි.

https://www.youtube.com/watch?v=lFuE34iYvEc#t=5

+++++++++++++++++++++++++++++++++++

රණවිරු සත්‍යග්‍රහය පැවැත්වෙන ස්ථානයට රතන හිමි සහ ඩිල්ෂාන් එයි

(14.09.2019 – 19:39 +0530 – hirunews.lk/sinhala)

රණවිරු අයිතිවාසිකම් සුරැකීමේ ජාතික බලවේගය නියෝජනය කරන විශ්‍රාමික ආබාධිත රණවිරුවන් පිරිසක් සිය වැටුප් ගැටළුවට විසඳුම් ඉල්ලා කොළඹ – කොටුව දුම්රිය ස්ථානය ඉදිරිපිට ආරම්භ කළ සත්‍යග්‍රහය මේ වනවිට සිව්වන දිනටත් ක්‍රියාත්මකයි.

සත්‍යග්‍රහයට විවිධ අවස්ථාවල වර්ෂාවෙන් බාධා එල්ලවුවද ආබාධිත රණවිරුවන් සිය ගැටලුවලට විසඳුම් ලැබෙනතුරු එම ස්ථානයෙන් ඉවත් නොවන බවට ප්‍රකාශ කළා.

අද එම ස්ථානයට පැමිණි විශ්‍රාමික මේජර් ජෙනරාල් කමල් ගුණරත්න මහතා ආබාධිත රණවිරුවන්ගේ සුවදුක් විමසා බැලීමෙන් අනතුරුව ඒකාබද්ධ විපක්ෂය ප්‍රමුඛ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති ධුර අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂගේ පණිවුඩයක් ද ආබාධිත රණවිරුවන්ට ලබාදුන්නා.

දින කිහිපයක් පුරා වර්ෂාවෙන් පීඩා විඳින ආබාධිත රණවිරුවන්ගේ සුවදුක් විමසීමට අද පැමිණි සිංහලේ සංවිධානයේ නියෝජිතයන් ඇතුලු පිරිසක් රණවිරුවන් වෙනුවෙන් වැසි ආවරණයක් ඉදිකරනු ලැබුවා.

මේ අතර මෙම සත්‍යග්‍රහය අතරතුර දුම්රිය දෙපාර්තමේන්තුවේ නිලධාරීන් පිරිසක් එම ස්ථානයට පැමිණීමත් සමඟ ආබාධිත රණවිරුවන් සහ ඔවුන් අතර ඇතිවූයේ උණුසුම් කථාබහක්.

එසේම සත්‍යග්‍රහයේ නිරත ආබාධිත රණවිරුවන්ගේ සුවදුක් විමසීම සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී පූජ්‍ය අතුරලියේ රතන හිමියන් සහ ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රී පියල් නිශාන්ත මහතා ඇතුලු පිරිසක්ද එම ස්ථානයට පැමිණියා.

සත්‍යග්‍රහයේ නිරත ආබාධිත රණවිරුවන්ගේ සුවදුක් විමසීමට හිටපු ක්‍රිකට් ක්‍රීඩක තිලකරත්න ඩිල්ෂාන් මහතා ද අද එක්වූ බවයි හිරු වාර්තාකරු සඳහන් කළේ.

+++++++++++++++++++++++++++++++++++

තවදුරටත් ක්‍රියාත්මක ආබාධිත රණවිරු විරෝධය මැද උණුසුම් තත්ත්වයක්

(14.09.2019 – 19:03 +0530 – sinhala.adaderana.lk)

වැටුප් ගැටලුව සහ තවත් ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් රණවිරු අයිතිවාසිකම් සුරැකීමේ ජාතික බලවේගය කොටුව දුම්රිය ස්ථානය ඉදිරිපිටදී ආරම්භ කළ අඛණ්ඩ විරෝධතාව අඛණ්ඩව 5 වැනි දිනටත් ක්‍රියාත්මකයි.

අද එම ස්ථානයට පැමිණි පූජ්‍ය අතුරලිය රතන හිමියන් සඳහන් කළේ ආණ්ඩුව වහාම මෙම ඉල්ලීම්වලට විසඳුම් ලබා නොදුනහොත් මහාසංඝරත්නයද විරෝධතාවට එක් වන බවයි.

කොළඹ කොටුව දුම්රිය ස්ථානය අසළ අඛණ්ඩ විරෝධතාවයේ නිරත රණවිරු අයිතිවාසිකම් සුරැකීමේ ජාතික බලවේගයේ සාමාජිකයින් හමුවීමට රණවිරු සුබසාධක සංගමයේ අජිත් පෙරේරා මහතා ඊයේ රාත්‍රියේ පැමිණියේය.

කෙසේ වෙතත් පිරිස අඛණ්ඩව විරෝධතාවයේ නිරත වූ අතර මධ්‍යම රාත්‍රිය ආසන්න වන විට වර්ෂාව ඇදහැලුණි.

විරෝධතාකරුවන් අද 5 වැනි දිනටත් විරෝධතාවයේ නිරත වන අතරතුර මේජර් ජෙනරල් කමල් ගුණරත්න මහතා අද පෙරවරුවේ පැමිණ එම පිරිස සමඟ සාකච්ඡා කළේය.

අද පස්වරුවේ විරෝධතාව පැවති ස්ථානයට පැමිණි කොළඹ කොටුව දුම්රිය ස්ථානයේ නිලධාරීන් විරෝධතාකරුවන් ඉදිකර තිබූ තාවකාලික ආවරණය ඉවත් කිරීමට උත්සහ ගැනීමත් සමඟ උණුසුම් තත්ත්වයක් හට ගත්තේය.

අනතුරුව සිංහලේ සංවිධානයේ නියෝජිතයින් විසින් එම ස්ථානයේ තාවකාලික අට්ටාලයක් ඉදිකිරීමට පියවර ගනු ලැබුවේය.

මේ අතර දුම්රිය නිලධාරීන් විරෝධතාවයට සිදුකරන බාධා කිරිම සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු ජයන්ත සමරවීර මහතා සහ පූජ්‍ය ජඹුරේවල චන්ද්‍රරතන හිමි කොටුව දුම්රිය ස්ථානාධිපතිවරයා හමුවුණි.

මේ අතර මහජන නියෝජිතයින්, සිවිල් සංවිධාන ක්‍රියාකාරීන් ඇතුළු පිරිසක් විරෝධතාවයේ නිරත ආබාධිත රණවිරුවන්ගේ සුවදුක් විමසීමට අද සවස පැමිණියේය.

https://www.youtube.com/watch?v=phyta89pDOc#t=5

+++++++++++++++++++++++++++++++++++

***************************************

කාන්තා නිරුවත් ඡායාරූප එකතුකළ ‘ෆේස්බුක් නළුවා’ පොලිසියට කොටුවෙයි

(14.09.2019 – nethgossip.lk)

ෆේස්බුක් හරහා ප‍්‍රසිද්ධ නළුවෙක් ලෙස පෙනී සිටිමින් අලූතින් නිෂ්පාදනය කරන චිත‍්‍රපට සඳහා වයස අවුරුදු 17 ත් 30 ත් අතර කාන්තාවන් බඳවා ගන්නා බවට දැන්වීම් පළ කොට ඔවුන්ගේ ඡායාරූප සමඟ නිරුවත් ඡායාරූප ගෙන්වාගෙන පසුව ඔවුන් බියකර කප්පම් ගැනීමට තැත් කළ බව කියන 23 හැවිරිදි තරුණයකු කිරිබත්ගොඩ පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

එලෙස අත්අඩංගුවට ගත් තරුණයාගේ ජංගම දුරකථනයේ තිබී තරුණියන්ගේ, කාන්තාවන්ගේ සහ පාසල් සිසුවියන්ගේ ඡායාරූප සහ ඔවුන්ගේ නිරුවත් ඡායාරූප 7000 කට අධික ප‍්‍රමාණයක් සොයාගෙන ඇති බවයි වාර්තා වන්නේ.

එසේම අදාල දැන්වීම් ප‍්‍රචාරවලට රටේ විවිධ ප‍්‍රදේශවල කාන්තාවන් විශාල පිරිසක් ප‍්‍රතිචාර දක්වා ඇති ඇති අතර වයස අවුරුදු 13, 14 සහ 15 යන වියේ පාසල් සිසුවියන්ද මෙම වංචාවට හසුව තිබෙනවා.

ෆේස්බුක් හරහා එම දැන්වීමට ප‍්‍රතිචාරය දක්වන කාන්තාවන්ට පළමුවෙන්ම නම, වයස, ගම සහ පාසල විස්තර කෙටි පණිවුඩ මගින් එවන ලෙසට දන්වා ඒවා එවූ පසුව සැකකරු විසින් චිත‍්‍රපට අධ්‍යක්‍ෂවරයකු බව කියන පුද්ගලයකු හඳුන්වාදී එම අධ්‍යක්‍ෂවරයාගේ බව කියමින් දුරකථන අංකයක් ද ලබා දී තිබෙනවා. ඒ අනුව එම දුරකතන අංකයට වට්ස් ඇප් හරහා පළමුව සාමාන්‍ය ඡායාරූප 10 ක් ගෙන්වාගෙන පසුව නිරුවත් ඡායාරූප ලබා ගැනීමට ඔහු කටයුතු කර තිබෙනවා.

පසුව එම ඡායාරූප සකස් කරන්නට ලක්‍ෂ 1 1/2 ක පමණ මුදලක් වැය වී තිබෙන බව පවසා රුපියල් පනස් දහසක් එවන ලෙසට එම කාන්තාවන්ට දන්වා ඇති අතර එසේ මුදල් ලබා දීමට නොහැකිනම් තමා හමුවීමට පැමිණෙන ලෙසත්, එසේ නැතිනම් එම ඡායාරූප පවුලේ අයට පෙන්වන බවට ඔහු තර්ජනය කර ඇති බවටත් තොරතුරු අනාවරණය කරගෙන තිබෙනවා ෴

***************************************

එක් අයෙකුට මරු කැඳවු මෝටර් රථ අනතුර

(14.09.2019 – 10:43 +0530 – hirunews.lk/sinhala)

ඉදිවෙමින් පවතින දක්ෂිණ අධිවේගී මාර්ගයේ සුරියවැව අන්දර වැව ප්‍රදේශයේ ඊයේ සිදු වු රිය අනතුරකින් එක් පුද්ගලයෙක් මරණයට පත්ව තවත් දෙදෙනෙකු බරපතල තුවාල ලබා තිබෙනවා.

මෙලෙස මෝටර් රථය අනතුරට ලක්ව ඇත්තේ මාර්ගය වසා තැබීමට යොදා තිබු කොන්ක්‍රිට් කොටසක වැදීමෙන් බවයි වාර්තා වන්නේ.

ප්‍රදේශවාසීන් පවසන්නේ මෙම ස්ථානයේ බහුලව අනතුරු සිදු වන බවයි.

විදුළි ආලෝකය නොමැති වීම හා ආලෝක පුවරු නොමැති වීමෙන් මෙම මාර්ගයේ අනතුරු සිදුවන බවයි ප්‍රදේශවාසීන් පෙන්වා දෙන්නේ.

මෙම ස්ථානයේ රිය අනතුරු 5 ක් පමණ සිදු වී ඇති බවයි අප වාර්තාකරු වැඩිදුරටත් කියා සිටියේ.

අනතුර සම්බන්ධයෙන් සුරියවැව පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වනවා.

+++++++++++++++++++++

https://www.youtube.com/watch?v=uIOBdKKp3W0#t=5

***************************************

ගෝඨාභය ආවොත් බයෙන් ඉන්න ඕනේ ත්‍රස්තවාදීන් – ඩලස් අලහප්පෙරුම

(14.09.2019 – 15:01 +0530 – sinhala.adaderana.lk)

ගෝඨාභය රාජපක්ෂ මහතා බලයට පැමිණි විට බියෙන් සිටිය යුත්තේ රට විනාශ කිරීමට උත්සහ කරන පුද්ගලයින් බව එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම මහතා පවසයි.

ඔහු මේ අදහස් පළ කළේ අද මාතර පැවති ජනහමුවකදීයි.

ජනාධිපතිවරයෙකු සිටිය යුත්තේ තුන් තිස් පැයම නිදි වරාගෙන සිටීමට නොව තීන්දු තීරණ ගැනිමට බව ප්‍රකාශ කරන ඒ මහතා මේ වන විට කොටුව දුම්රිය පොල ඉදිරිපිට උත්ඝෝෂණයේ නියැලී සිටින ආබාධිත රණ විරුවන් පිළිබඳ බැලීමට කිසිවෙකු නැති බවත් ප්‍රකාශ කළේය.

ගෝඨාභය රාජපක්ෂ මහතා බලයට පැමිණි විට බියෙන් සිටිමට සිදු වන බවට ඇතැමුන් ප්‍රකාශ කරන අතර එසේ සිටීමට සිදු වන්නේ ත්‍රස්තවාදී කල්ලිවල පිරිස්, පාතාල නායකයෝ, කැළෑ කපන්නන්, ජාවාරම්කරුනක් වැනි පිරිස් බවත් ඩලස් අලහප්පෙරුම මහතා පැවසීය.

ඒ හැර වෙන කිසිවෙකුත් ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති වන මහින්ද රාජපක්ෂ මහතා අගමැති වන ආණ්ඩුවක බියෙන් සිටිය යුතු නැති බවත් ඒ මහතා වැඩිදුරටත් පැවසීය ෴

***************************************

බලන් කඩතුරා හැර දෑසේ – බන්දුල ගුණවර්ධන

(14.09.2019 – 11:02 +0530 – sinhala.adaderana.lk)

ආණ්ඩුව විසින් රටේ නිෂ්පාදනය සහ ආදයම් වැනි දේ අඩුකරන විට බදු පමණක් ඉහළ දැමූ බව එක්සත් ජනතා පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුණවර්ධන මහතා පවසයි.

ඊයේ (14) ඇල්පිටය ප්‍රදේශයේ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළේය.

හියපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ආණ්ඩුව සමයේ සමස්ත ජනයාගෙන් ලබා ගත් බදු ආදායම ත්‍රිලියන එකක් බවත් වර්තමාන ආණ්ඩුව මේ වන විට ජනතාවගෙන් ඇල්පිටිය ලෙස ත්‍රිලියන දෙකක් ගන්නා බවත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා පැවසීය.

මෙලෙස ආණ්ඩුව විසින් ජනතාව මත පනවා ඇති සියයට සියයක බදු හේතුවන් මහජනතාවට යන එන මං නැති වී ගොස් ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුණවර්ධන මහතා සඳහන් කළේය.

https://www.youtube.com/watch?v=4cQGP5jeJR0#t=5

+++++++++++++++++++++

ඇල්පිටියේ ඡන්දය කල් දැමීමේ සූදානමක් ගැන, මන්ත්‍රී බන්දුල හෙළිදරව්වක

(14.09.2019 – 12:59 +0530 – hirunews.lk/sinhala)

ලබන මස 11 වන දා පැවැත්වීමට නියමිත ඇල්පිටිය ප්‍රාදේශීය සභා ඡන්ද විමසීමට අදාළ තැපැල් ඡන්ද අයදුම්පත් 1500 කට ආසන්න සංඛ්‍යාවක් මේ වන විට ගාල්ල දිස්ත්‍රික් තේරීම් භාර නිලධාරීවරයා වෙත ලැබී ඇති බව මැතිවරණ කොමිසම් සභාව පවසනවා.

අතිරේක මැතිවරණ කොමසාරිස් සමන් ශ්‍රී රත්නායක මහතා සඳහන් කළේ පසුගිය බ්‍රහස්පතින්දා තැපෑලට යොමු කළ තැපැල් ඡන්ද අයදුම්පත් අද දිනයේත් ලැබෙමින් පවතින බවයි.

ඇල්පිටිය ප්‍රාදේශීය සභා ඡන්ද විමසීමට අදාළ තැපැල් ඡන්ද අයදුම්පත් භාර ගැනීම ඊයේ (13) මධ්‍යම රාත්‍රියෙන් අවසන් වුණා.

තැපැල් ඡන්ද විමසීම ලබන 27 වන දින පැවැත්වීමට නියමිත බවයි අතිරේක මැතිවරණ කොමසාරිස් සමන් ශ්‍රී රත්නායක මහතා කියා සිටියේ.

මේ අතර, ඇල්පිටිය ප්‍රාදේශීය සභා ඡන්ද විමසීම කල් දැමීමේ උත්සාහයක එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ රාජ්‍ය නොවන සංවිධාන සහ බටහිර රටවල් නිරත වන බවට පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුණවර්ධන මහතා ඇල්පිටියේ ඊයේ පැවැති රැස්වීමකට එක්වෙමින් චෝදනා කළා.

+++++++++++++++++++++

***************************************

හිරු සී.එයි.ඒ. : හංගමු ගඟ විනාශ කරන අනවසර මැණික් ජාවාරම

(14.09.2019 – 20:53 +0530 – hirunews.lk/sinhala)

බැකෝ යන්ත්‍ර යොදා මැණික් ඉල්ලම් ගොඩ දමන්නන් රත්නපුර – නිවිතිගල හරහා ගලාබසින හංගමු ගඟ මුළුමනින්ම විනාශ කරමින් සිටිනවා.

ගම්වාසීන් චෝදනා කළේ මේ විනාශය පිළිබදව රාජ්‍ය නිලධාරීන් දැනුවත් කළඳ ඉන් පළක් නොවු බවයි.

අද සී.එයි.ඒ. අනාවරණය හංගමු ගඟේ සිදුවන මැණික් ජාවාරම පිළිබඳවයි.

රත්නපුර – නිවිතිගල – කොළඹගම හරහා ගලා බසින හංගමුව ගඟ නිවිතිගල ප්‍රදේශයේ සුන්දරත්වය තව තවත් තීව්‍ර කරන කළු ගගේ අතු ගංගාවක්.

නිල් පැහැයෙන් ගලා බසිනා මෙම ජලධාරාව තැඹිලිදෙණිය ප්‍රදේශයේදී මෙලෙස මඩ මිශ්‍රිත ජල පහරක් බවට පත් වනවා.

ඒ බැකෝ යන්ත්‍ර යොදා එම ස්ථානයේ මහා පරිමානයෙන් සිදුකරනා මැණික් ඉල්ලම් ගොඩදැමීම හේතුවෙන්.

බැකෝ යන්ත්‍රය හරහා ගොඩදමන පස් හා ගල් තොගය මොවුන් ක්‍රම ක්‍රමයෙන් ගොඩ ගසන්නේ ගං ඉවුරටයි.

ඒ හේතුවෙන් තැඹිලිදෙණිය ප්‍රදේශයේදී ගඟ අඩි කිහිපයකට පටු වී එහි ගමන් මාර්ගය මුළු මනින්ම වෙනස් වී තිබෙනවා.

මේ විනාශය පිළිබදව ගම්වාසීන් පරිසරයට වගකියනා රාජ්‍ය නිලධාරීන් දැනුවත් කර ඇත්තේ වරක් දෙවරක් නොවේ.

ගම්වාසීන් පෙන්වා දෙන්නේ බැකෝ යන්ත්‍රයක් යෙදා මෙම මැණික් ඉල්ලම් ගොඩදමන ඉඩමට අධිකරණයේ නඩුවක් ද පවතින බවයි.

එවන් තත්ත්වයක් තුල මැණික් ගැරීම සදහා මෙම ස්ථානයට අවසර ලබාදීම ද ගැටළු සහගත තත්ත්වයක්.

මුළු රටකට අයත් ස්භාවික සම්පතක් මෙලෙස වනසා දැමීමට ඉඩ දී මෙරට නීතිය ක්‍රියාත්මක කරනා බලධාරීන් ඇස් කන් වසා සිටීම අනුමත කළ හැකි ද ?

මෙම අනාවරණයෙන් පසු ව හෝ ගංගමුව ගඟ රැක ගැනීමට බලධාරීන් ක්‍රියාත්මක වනු ඇත්ද ?

හිරු සී.අයි.ඒ. ඉදිරියේදීත් මේ පිළිබද අවධානයෙන්.

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *