රාජ්‍ය සේවක වැටුප් ගෙවීමට මුදල් නොමැති බව මන්ත්‍රී විජේදාස කියයි

+++++++++++++++++++++++++++++++++++

= මේ පිටුවේ සිරස්තල =

• රාජ්‍ය සේවක වැටුප් ගෙවීමට මුදල් නොමැති බව මන්ත්‍රී විජේදාස කියයි

• ගිණුම්කරණ ප්‍රශ්නයකට උත්තර දෙන්න බැරි මුදල් ඇමති ඉන්නේ ලංකාවේ – විජේදාස රාජපක්ෂ

• කංජිපානි ඉම්රාන්ට දුරකතන රැගෙන ගිය පියා, සොහොයුරා ඇතුළු 6 ක් අත්අඩංගුවට

• නාමල් රාජපක්ෂ යුග දිවියට

• රාජ්‍ය සාහිත්‍ය සම්මාන උලෙළ ජනපති ප‍්‍රධානත්වයෙන්

• ජනාධිපතිට නෙවෙයි සජිත් හොඳයි විකට නළුවෙකුට – පියල් නිශාන්ත

• “අට වැනි ස්ථානයේ තිබූ ජාතික රූපවාහිනිය හය වැනි තැනට ගෙනාවේ මමයි” – ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවේ සභාපතිනි ඉනෝකා සත්‍යාංගනී කීර්තිනන්ද

• Lanka Super Mom : අඩි 32 ළිඳට පැන කකුලකුත් කඩාගෙන වැටුණ පුතු බේරගත් මව

+++++++++++++++++++++++++++++++++++

රාජ්‍ය සේවක වැටුප් ගෙවීමට මුදල් නොමැති බව මන්ත්‍රී විජේදාස කියයි

(12.09.2019 – 19:53 +0530 – hirunews.lk/sinhala)

රාජ්‍ය සේවකයන්ගේ වැටුප් ගෙවීමට මුදල් නොමැතිවීම හේතුවෙන් ආණ්ඩුව මහා භාණ්ඩාගාරය හරහා විදුලි සංදේශ නියාමන කොමිසමෙන් රුපියල් බිලියන 10 ක ණයක් ඉල්ලා ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී විජේදාස රාජපක්ෂ මහතා පවසනවා.

මන්ත්‍රීවරයා මෙම අදහස් පළ කළේ කොළඹ අද පැවති මාධ්‍ය හමුවකදීයි.

+++++++++++++++++++++

ගිණුම්කරණ ප්‍රශ්නයකට උත්තර දෙන්න බැරි මුදල් ඇමති ඉන්නේ ලංකාවේ – විජේදාස රාජපක්ෂ

(12.09.2019 – 19:23 +0530 – sinhala.adaderana.lk)

වත්මන් ආණ්ඩුවේ වැරදි අඩුපාඩු නිර්මාණය වීමට හේතුව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා බව එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා චෝදනා කරයි.

සිය නිවසේ පැවති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව සඳහන් කළේය.

එහිදී අදහස් දක්වමින් ඒ මහතා මෙසේ පැවසීය :

“පහුගිය කාලයේ පොලීසිය පාලනය කළේ ජනපති නෙමෙයි අගමැති. සාගල නාමික ඇමති වුණාට සියලු තීන්දු තීරණ ගත්තේ අගමැති. ආරක්ෂාව සම්බන්ධ කිසිදු තීරණයක් රංජිත් මද්දුමබණ්ඩාර අරගෙන නැහැ.

පැහැදිලිව කිව්වා පූජිත් ජයසුන්දර පොලීසිය පවත්වාගෙන යන්න බැහැ කියලා. අගමැති සහ කථානායක කිව්වේ පූජිත් එ.ජා.ප.යේ පාක්ෂිකයෙක් නිසා ඔහුට ධුරය ලබාදිය යුතුයි කියලා.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව නොකියවපු කෙනෙක් විදේශ ඇමති වුණේ ලංකාවේ විතරයි.

ගිණුම්කරණය ගැන ප්‍රශ්නයක් ඇහුවොත් උත්තර දෙන්න බැරි මුදල් ඇමති ඉන්නේ ලංකාවේ. මේ වන විට මුදල් අමාත්‍යාංශය යාච්ඥා කරනවා, විදුලි සංදේශ කොමිසමෙන් මිලියන 10ක් දෙනතුරු සේවකයින්ට පඩි ගෙවන්න විදියක් නැහැ.

අපි මහින්දව පට්ට ගහලා තමයි මේ ආණ්ඩුව ගෙනාවේ.

පොහොට්ටු, UNP තරගයක් නෙමෙයි තියෙන්නේ තරගය අමෙරිකාවයි චීනයයි අතර.”

***************************************

කංජිපානි ඉම්රාන්ට දුරකතන රැගෙන ගිය පියා, සොහොයුරා ඇතුළු 6 ක් අත්අඩංගුවට

(12.09.2019 – 15:46 +0530 – hirunews.lk/sinhala)

බූස්ස බන්ධනාගාරයේ රඳවා සිටින සංවිධානාත්මක අපරාධකරුවෙකු වන මොහොමඩ් නජීම් මොහොමඩ් ඉම්රාන් හෙවත් කංජිපානි ඉම්රාන්ට ලබාදීම සඳහා ජංගම දුරකතන දෙකක් සහ චාජර් දෙකක් රැගෙන ගිය ඔහුගේ පියා, සොහොයුරා ඇතුළු හය දෙනෙකු පොලිසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඔවුන් රැගෙන ගිය කෑම අසුරණයේ රහස් කුටියක තිබී මෙම ජංගම දුරකතන දෙක සහ චාජර් සොයාගත් බවයි පොලිසිය සඳහන් කළේ.

අදට යෙදෙන සිරකරු දින සැමරුම වෙනුවෙන් බන්ධනාගාරගතව සිටින රැඳවියන්ගේ පවුල්වල සාමාජිකයන්ට ඔවුන් මුණ ගැසීමට අවස්ථාව ලබාදී ඇති අතර, ඒ අනුව කංජිපානි ඉම්රාන්ගේ පියා, සොහොයුරා සහ ඥාතීන් 04 දෙනෙකු එහි පැමිණ ඇති බව සඳහන්.

අත්අඩංගුවට ගත් සැකකරුවන් මේ වනවිට රත්ගම පොලිසිය භාරයේ පසුවනවා.

කංජිපානි ඉම්රාන්ට මේ වනවිට වසර 06 ක බරපතල වැඩ සහිත සිරදඬුවම් නියම වී සිටින්නේ ගංජා කිලෝ 5 යි ග්‍රෑම් 300 ක් ළඟ තබා ගැනීමේ සහ ජාවාරම් කිරීමේ චෝදනාවලට වරදකරුවීම හේතුවෙන්.

පාතාල නායක මාකඳුරේ මධූෂ් ඩුබායි හි සංවිධාන කර තිබූ සාදයක සිටියදී පසුගිය පෙබරවාරි මස 5 වනදා එරට ආරක්ෂක අංශ අත්අඩංගුවට පත්වුණු අතර, පසුව ඔහු දිවයිනට පිටුවහල් කිරීමෙන් අනතුරුව මාර්තු මස 28 වනදා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරින් විසින් අත්අඩංගුවට ගත්තා.

අත්අඩංගුවට ගැනීමෙන් පසු රැඳවුම් නියෝග මත රඳවාගෙන සිටි අතර, පසුව අධිකරණ නියෝගයත් සමඟයි බූස්ස බන්ධනාගාරය වෙත ඔහු මාරු කර යැවුණේ.

එමෙන්ම, කංජිපානි ඉම්රාන් කොළඹ අපරාධ කොට්ඨාශයේ නිලධාරීන් සමඟ සබඳතා පවත්වන බවටද චෝදනා එල්ල වූ අතර, ඒ පිළිබඳවද බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා යටතේ පරීක්ෂණයක් පැවැත්වුණා.

එසේම, කොළඹ අපරාධ කොට්ඨාශයේ පොලිස් පරීක්ෂකවරුන් තුන් දෙනෙකු යාපනය, මුලතිව් සහ මන්නාරමට මාරු කර යැවුණේද ඒ හේතුවෙන්.

+++++++++++++++++++++

***************************************

නාමල් රාජපක්ෂ යුග දිවියට

(12.09.2019 – 11:47 +0530 – hirunews.lk/sinhala)

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ වැඩිමල් පුත් නාමල් රාජපක්ෂ මහතා අද (12) විවාහ දිවියට පිවිසුණා.

ඒ සංචාරක ක්ෂේත්‍රයේ සුප්‍රසිද්ධ ව්‍යාපාරිකයකු වන තිලක් වීරසිංහ මහතාගේ දියණිය සමඟයි.

අද (12) පෙරවරුවේ කොළඹ ගංගාරාම විහාරස්ථානයේ පැවැත්වෙන ආගමික වතාවත්වලින් අනතුරුව විවාහ උත්සවය වීරකැටිය කාල්ටන් නිවසේදී පැවැත්වීමට නියමිතයි.

+++++++++++++++++++++

+++++++++++++++++++++

https://www.youtube.com/watch?v=9DrLWfX-ZXU#t=6

+++++++++++++++++++++

***************************************

රාජ්‍ය සාහිත්‍ය සම්මාන උලෙළ ජනපති ප‍්‍රධානත්වයෙන්

(12.09.2019 – 20:05 +0530 – sinhala.adaderana.lk)

ශී‍්‍ර ලාංකේය සාහිත්‍ය ක්ෂේත‍්‍රය පෝෂණය කිරීමට උරදුන් ලේඛක ලේඛිකාවන් රාජ්‍ය සම්මානයෙන් පුදනු ලබන රාජ්‍ය සාහිත්‍ය සම්මාන උලෙළ 2019 ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතාගේ ප‍්‍රධානත්වයෙන් අද (12) පස්වරුවේ කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේදී උත්කර්ෂවත් අන්දමින් පැවැත්විණි.

2018 වසරේ ශ‍්‍රී ලාංකීය සාහිත්‍ය ක්ෂේත‍්‍රයට ස්වකීය විශිෂ්ට නිර්මාණ දායකත්වයෙන් කළ සේවාව අගයකරමින් ලේඛක ලේඛිකාවෝ රැසක්මෙහිදී රාජ්‍ය සම්මානයෙන් පිදුම් ලැබූහ.

මීට අමතරව ශ‍්‍රී ලාංකේය සාහිත්‍ය ක්ෂේත‍්‍රයට අනුපමේය සේවාවක් කළ සිංහල, ඉංගී‍්‍රසි හා දෙමළ මාධ්‍ය සාහිත්‍ය නිර්මාණකරුවන් තිදෙනෙකුට ජීවිතයේ එක්වරක් පමණක් පිදෙන සාහිත්‍යරත්න ගෞරව සම්මානය පිළිගැන්වීම ජනාධිපතිවරයා අතින් සිදුවූ අතර සිංහල මාධ්‍ය වෙනුවෙන් මහාචාර්ය වෝල්ටර් මාරසිංහ මහතා ද, දෙමළ මාධ්‍ය වෙනුවෙන් අයියතු‍ රෛසාන්තන් මහතා ද, ඉංගී‍්‍රසි මාධ්‍ය වෙනුවෙන් කමලා විජයරත්න මහත්මිය ද සම්මානයෙන් පිදුම් ලැබූහ.

හොඳම ස්වතන්ත‍්‍ර සිංහල නවකතාවට හිමි සම්මානයෙන් “මකරානන්දය” නවකතාව රචනා කළ විරාජිනි තෙන්නකෝන් ලේඛිකාව පිදුම් ලැබුවාය.

හොඳම ස්වතන්ත‍්‍ර ඉංගී‍්‍රසි නවකතාවට හිමි සම්මානය “Kakiyan” නවකතාව වෙනුවෙන් එල්මෝ ජයවර්ධන මහතාට හිමිවිය.

හොඳම ස්වතන්ත‍්‍ර දෙමළ නවකතාවට හිමි සම්මානය “අලූවාකෙරෙ” නවකතාව වෙනුවෙන් එස්.ඒ උදයන් මහතා ලබා ගන්නා ලදී.

මේ අතර වසරේ විශිෂ්ටතම කාව්‍ය නිර්මාණ ග‍්‍රන්ථය වෙනුවෙන් පිරිනැමුණු රාජ්‍ය සාහිත්‍ය සම්මානය නන්දන වීරසිංහ මහතා රචනා කළ “ක්ෂණනියාම” කාව්‍ය සංග‍්‍රහයට හිමිවිය.

රාජ්‍යසාහිත්‍යඋපදේශකමණ්ඩලය, ශ‍්‍රී ලංකාකලාමණ්ඩලය, සංස්කෘතිකකටයුතු දෙපාර්තමේන්තුව සහසංස්කෘතිකකටයුතු අමාත්‍යාංශයසම්මාන උලෙළ වාර්ෂිකව සංවිධානයකරනු ලබයි.

අමාත්‍ය සජිත් පේ‍්‍රමදාස, සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයේ ලේකම් බර්නාඩ් වසන්ත, සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂිකා අනුශා ගෝකුළ ප‍්‍රනාන්දු, ශ‍්‍රී ලංකා කලාමණ්ඩලයේ සභාපති මහාචාර්ය ආරියරත්න කලූආරච්චි, රාජ්‍ය සාහිත්‍ය උපදේශක මණ්ඩලයේ සභාපති මහාචාර්ය සමන්ත හේරත් යන මහත්වරුන් සහ විද්වතුන්, කලාකරුවන් ඇතුළු පිරිසක් සම්මාන උලෙළට එක්ව සිටියහ ෴

***************************************

ජනාධිපතිට නෙවෙයි සජිත් හොඳයි විකට නළුවෙකුට – පියල් නිශාන්ත

(12.09.2019 – 17:41 +0530 – sinhala.adaderana.lk)

එක්සත් ජාතික පක්ෂය යළි ගොඩ ගැනීමට බැරි තත්ත්වයටම අර්බුදයකට ලක්ව ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී පියල් නිශාන්ත මහතා පවසයි.

අද (12) පැවති මාධ්‍ය හමුවකදී සිය අදහස් දක්වමින් ඒ මහතා මේ බව ප්‍රකාශ කළේය.

සජිත් ප්‍රේමදාස මහතා සහ අග්‍රාමාත්‍යවරයා අතර පැවති සාකච්ඡා ඉතාමත්ම සාර්ථකව සිදුවු බව උජාරුවෙන් පැවසුවද සජිත් ප්‍රේමදාස මහතාගේ බලාපොරොත්තු ඉටු නොවන තත්ත්වයක් මේ වන විට ඇති වී තිබෙන බව ද ඒ මහතා ප්‍රකාශ කළේය.

මේ වන විට සජිත් ප්‍රේමදාස මහතාට කිසිවක් කර කියාගත නොහැකි තත්ත්වයක් උද්ගත වී ඇති බවත් පියල් නිශාන්ත මහතා ප්‍රකාශ කළේය.

දැනට සිටින අපේක්ෂකයන් අතර ඉතාමත්ම දුර්වල හා විකට චරිතයක් බවට සජිත් ප්‍රේමදාස මහතා පත්ව ඇති බවත් ඔහු ප්‍රකාශ නිකුත් කරන්නේ තම බලය තහවුරු කර ගැනීමට පමණක් බවත් ඒ මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

රටේ ජනාධිපතිවරයා වීමට නොව විකට චිත්‍රපටියක ප්‍රධාන චරිතයට සජිත් ප්‍රේමදාස මහතා සුදුසු බවත් පියල් නිශාන්ත මහතා ප්‍රකාශ කලේය.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ඒ මහතා මෙසේ ද පැවසීය :

“සජිත් ප්‍රේමදාසට කරකියාගන්න දෙයක් නෑ. හේතුව තමයි රනිල්ට විරුද්ධව රැස්වීම් පැවැත්වීම. ජනාධිපති අපේක්ෂකයාට කරකියාගන්න දෙයක් නැතුව අඟලක් පිටුපසට යන්නේ නෑ කියපු කෙනාට දැන් අඩි කිපයක් පිටුපසට තියන්න වෙලා.”

https://www.youtube.com/watch?v=50PSi5SNVzg#t=6

***************************************

“අට වැනි ස්ථානයේ තිබූ ජාතික රූපවාහිනිය හය වැනි තැනට ගෙනාවේ මමයි” – ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවේ සභාපතිනි ඉනෝකා සත්‍යාංගනී කීර්තිනන්ද

(00.09.2019 – 00:00 +0530 – lankadeepa.lk)

රූපවාහිනී නාලිකා අතර අට වැනි ස්ථානයේ තිබූ ජාතික රූපවාහිනී සේවය හය වන ස්ථානය දක්වා පැමිණියේ තමන් සභාපතිධූරයට පැමිණි කාලයේදී යැයි ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවේ සභාපතිනි ඉනෝකා සත්‍යාංගනී කීර්තිනන්ද මහත්මිය අද (12) පැවසුවාය.

රූපවාහිනී සංස්ථාවට පසුගිය ජනවාරි මාසයේ සිට මහා භාණ්ඩාගාරයෙන් කිසිඳු මුදලක් ලැබී නැතැයි කී සභාපතිනිය මේ වන විට එහි සේවක පඩි නඩි ගෙවීම ඇතුළු සියලු පාලන කටයුතු පවත්වාගෙන යනු ලබන්නේ ලබන ආදායම්වලින් බවද සඳහන් කළාය.

රජයේ සංස්ථාවක් වන තම ආයතනය පවත්වාගෙනයාමට භාණ්ඩාගාරයෙන් යම් මුදලක් ලැබිය යුතු බවද ඇය ප‍්‍රකාශ කළාය.

ස්වාධීන රූපවාහිනී සේවයේ ක‍්‍රියාකාරී අධ්‍යක්‍ෂවරයකු වන කැලූම් පාලිත මහීරත්න නැමති අය රූපවාහිනී සංස්ථාවේ සභාපතිවරයා ලෙස පත්කර ඇති බව කියා පැමිණියත් ඔහුගේ පත්වීම පිළිගැනීමට නොහැකි නිසා තමන් සභාපතිධූරයේ දිගටම කටයුතු කළ බව ද ඇය කීවාය.

නව සභාපතිවරයා බව කියමින් කැලූම් පාලිත මහීරත්න මහතා පසුගිය දිනෙක සංස්ථාවට පැමිණි අවස්ථාවේ තමන් ජනාධිපතිවරයාගෙන්, පත්වීම අනුමත කළ යුතු ජනාධිපතිවරයාගේ කමිටුවේ සාමාජිකයකුගෙන් හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වයාගෙන් ඒ ගැන විමසූ බව කී සභාපතිනිය ඔවුන් එවැනි පත්වීමක් නොකළ බව පැවසුවේ යැයි ද ප‍්‍රකාශ කළාය.

ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවේ සභාපතිනි ඉනෝකා සත්‍යාංගනී මහත්මිය මේ බව පැවසුවේ එම සංස්ථා පරිශ‍්‍රයේදී අද (12) පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

ජාතික රූපවාහිනිය කෙරෙහි ප්‍රේක්‍ෂක ආකර්ෂණය ඉහළ නංවා ගැනීම වෙනුවෙන් තමන් ඇතුළු එහි කාර්ය මණ්ඩලය වැඩසටහන් 32 ක් සැලසුම් කළ බව කී සභාපතිනිය ඉන් 15 ක් මේ වන විට ආරම්භ කර තිබෙන බවත්, එම වැඩසටහන් වෙත ඉහළ ප්‍රේක්‍ෂක ප‍්‍රතිචාර ලැබෙන බවත් කියා සිටියාය.

රටවල් 26 ක් සමඟ තරඟ කර ආසියාවේ විශිෂ්ටතම ප‍්‍රවෘත්ති අංශයට හිමි සම්මානය ඇතුළු ජාත්‍යන්තර සම්මාන 7 ක් සහ ජාතික මට්ටමේ සම්මාන 21 ක් ගතවූ වසරක කාලයේදී ජාතික රූපවාහිනී සේවයට හිමිව තිබෙන බව ද ඇය ප‍්‍රකාශ කළාය.

ජාතික රූපවාහිනී සේවය යම් ප‍්‍රගතියක් ලබමින් තිබියදී නව සභාපතිවරයෙකු පත්කිරීමට ගත් උත්සාහය හේතුවෙන් මතුවීමට ගිය අර්බුදකාරී තත්ත්වය විසඳීම සඳහා ජනාධිපතිවරයා ගත් තීන්දුව අගය කළ යුතු බවද ඇය කීවාය.

ජනාධිපතිවරයා අභියෝගය භාර ගනිමින් රූපවාහිනී සංස්ථාව ආරක්‍ෂක අමාත්‍යාංශය යටතට පවරා නොගත්තේ නම් සංස්ථාවේ පරිපාලන කටයුතු කඩාකප්පල්වීමට තිබූ බව ද ඇය කීවාය.

තමන්ට රූපවාහිනී සංස්ථාවේ සභාපතිධූරයට අවශ්‍ය සුදුසුකම් නොමැති බවට ඇතැමුන් චෝදනා කළත් තමන් මෙම තනතුරට පත්වූයේ රූපවාහිනී සංස්ථා පනතට අනුව අවශ්‍ය සුදුසුකම් සම්පූර්ණ කර තිබූ නිසා බවත්, ඒ සඳහා අවශ්‍ය කමිටු අනුමැතිය ද තමාට හිමිවූ බවත් සභාපතිනිය පැවසුවාය.

රූපවාහිනී සංස්ථාවේ අධ්‍යක්‍ෂ ජනරාල් සාරංග විජේරත්න මහතා ද මෙම මාධ්‍ය හමුවට සහභාගී විය.

***************************************

Lanka Super Mom : අඩි 32 ළිඳට පැන කකුලකුත් කඩාගෙන වැටුණ පුතු බේරගත් මව

(12.09.2019 – gossiplankanews.com)

අඩි 32 ක් පමණ ගැඹුරකින් යුතු අනාරක්ෂිත ළිඳකට ඇදවැටීමෙන් ජීවිතයත් මරණයත් අතර සටනක නිරතව සිටි සිය සිඟිති පුතුගේ ජීවිතය බේරාගැනීමට ඔහුගේ මව සමත්ව තිබේ.

පොල්පිතිගම සියඹලෑව ප්‍රදේශයේ පදිංචි පී.එච්.ඉරේෂා දමයන්ති (36) මෙම දිරිය මාතාවයි. මෙලෙස ළිඳට ඇදවැටීමෙන් පසු ජීවිතය බේරාගෙන ඇත්තේ ජනිදු හසීන් (02) දරුවාය.

දරුවා බේරාගැනීමට ළිඳට පැනීම නිසා වම් පාදයේ අස්ථි බිඳීම හේතුවෙන් මේ වනවිට ඔත්පලව සිටින දමයප්ති මහත්මිය තම වීරක්‍රියාව පිළිබඳ මෙසේ විස්තර කළාය :

“මට පුතාලා දෙන්නෙක් ඉන්නවා. ලොකු පුතාට අවුරුදු අටයි. බාල පුතාට අවුරුදු දෙකයි නියගය නිසා අපේ ළිඳේ වතුර නැහැ. ඒ හින්දා පුතාලා දෙන්නත් එක්ක යාබද නෑදෑ ගෙදරක ළිඳකට ගිහින් තමයි අපි නාන්නේ. සිද්ධිය වූ දිනයේ හවස පහට විතර පුතාලා දෙන්නත් එක්ක මම ගිහින් ඒ ළිඳ අසල ටැප් එකෙන් පුතාලා දෙන්නා නාවලා ඉවරවෙලා පස්සෙ මම නෑවා. ඒ වෙලාවේ පුතාලා දෙන්නා අවට බෝලයක් අරගෙන සෙල්ලම් කරමින් හිටියා. ඒ ටැල් එක අසළ තමයි ළිඳ තියෙන්නෙ. ඒක අනාරක්ෂිත ළිඳක්. මම නාලා සබන් ගානවිට එක පාරම ශබ්දයක් ඇසුණා. එතකොටම ලොකු පුතා කෑ ගහලා කීවා බෝලය. ගන්න දුවගෙන ගිය මල්ලි ළිඳට වැටුණා කියලා.

ඒත් එක්කම මම ළිඳට එබිලා බැලුවා. පුතා උඩ පාවෙමින් උඩ යට යනවා දැක්කා. කිසිම දෙයක් ගැන හිතුවේ නැහැ මමත් ක්ෂණිකව ළිඳට පැනලා. පුතා උස්සාගෙන හිටියා. ඒ අතරේ ලොකු පුතා දුවගෙන ගිහිල්ලා අවට ගෙදරක හිටපු පුතාලගේ තාත්තාට සිද්ධිය කියලා.

ඒ අය දුවගෙන ආවා, කලබල වෙන්න එපා පුතා ගොඩට ගන්න කියා මම ඒ අයට කීවා. පසුව ගමේ අය අඩි විස්සක් විතර දිග ඉනිමඟක් දාලා ඒකට තවත් ඉනිමඟක් ගැට ගැසුවා. පසුව අසල්වැසියෙකු ළිඳට බැහැලා පුතා වඩාගෙන ගොඩට ගියා. නමුත් මට කකුල උස්සලා නගින්න බැහැ කකුල කැඩිලා බව තේරුණා. පස්සේ පිරිස ගෝනියක් අරගෙන තොටිල්ල වාගේ හදලා මා ඒ මතු තියාගෙන හතර මුල්වලින් ගැට ගහලා කඹ ආධාරායෙන් උඩට ගත්තා. පුතාට සීරිර්මක්වත් නැහැ. මගේ වම් කකුළ කැඩිලා.”

පොල්පිතිගම – සිසිර කැලේගම

+++++++++++++++++++++

https://www.youtube.com/watch?v=4LdMmn5b_Zs#t=6
13-09-2019
********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *