අර්ජුන් මහේන්ද්‍රන් ලංකාවට ගෙන්වන්න අමාත්‍යාංශ 2 කට නීතිපතිගෙන් ලේඛන ගොනුවක්

***************************************

= මේ පිටුවේ සිරස්තල =

• අර්ජුන් මහේන්ද්‍රන් ලංකාවට ගෙන්වන්න අමාත්‍යාංශ 2 කට නීතිපතිගෙන් ලේඛන ගොනුවක්

• හිරු ටීවී – සළකුණ – 2019.09.02 – විමල් වීරවංශ (විඩියෝ)

• මුහුදු මහා විහාරය ගැන වගකීම වගකිව යුත්තන් පැහැර හැරියා – පූජ්‍ය රතනප්‍රිය හිමි

• උතුර හා නැගෙනහිර පළාත්වල බරපතල සංස්කෘතික ආක්‍රමණයක් – පුජ්‍ය ජඹුරේවෙල චන්ද්‍රරතන හිමියන්

• සහරාන්ගේ දියණිය බිරිඳගේ මව්පියන් භාරයට

• ඇල්පිටිය ප්‍රාදේශීය සභා ඡන්ද විමසීම ඔක්තෝබර් 11

• දියුණු රටවල හෙදියන්ට ලබාදෙන විෂය දැනුම මෙරට හෙදියන්ටද ලබා දිය යුතුයි – ගෝඨාභය

• පුළුවන් නම් සජිත්ට දෙන්න – ඩලස් ගෙන් අභියෝගයක්

• දුරකථනය ඇමතුමක සිටි තරුණයෙකු කොටුවේදී දුම්රියට බිලි වේ

• පූජ්‍ය අතුරලියේ රතන හිමියන්ගෙන් යෝජනාවක්

• ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් දයාසිරිට චෝදනාවක්

• රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයෙන් චෝදනාවක්

• රනිල් ඉල්ලා අස් වූ බවක් අපට නම් දැනුම් දුන්නේ නෑ

• විස සහිත විසිතුරු ශාක ගෙවතුවල වවන්න එපා!

***************************************

අර්ජුන් මහේන්ද්‍රන් ලංකාවට ගෙන්වන්න අමාත්‍යාංශ 2 කට නීතිපතිගෙන් ලේඛන ගොනුවක්

(02.09.2019 – 17:34 +0530 – sinhala.adaderana.lk)

හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීම සඳහා නීතිපතිවරයා විසින් සිංගප්පුරු රජය වෙත සිදු කළ යුතු උදර්පණ ඉල්ලීම සකස් කිරීමට අවශ්‍ය සියලුම ලේඛන ඇතුළත් විශාල ගොනුවක් ආරක්ෂක අමාත්‍යාංශය හා විදේශ කටයුතු අමාත්‍යාංශය වෙත භාර දී ඇත.

එම ගොනුව අද දින එම අමාත්‍යාංශ වෙත භාර දුන් බව නීතිපතිවරයාගේ සම්බන්ධීකරණ නිලධාරිනිය වන රජයේ අධිනීතිඥ නිශාරා ජයරත්න මහත්මිය පවසයි.

***************************************

Salakuna 02-09-2019 – Wimal Weerawansa (Part 1 to Part 6)

***************************************

මුහුදු මහා විහාරය ගැන වගකීම වගකිව යුත්තන් පැහැර හැරියා – පූජ්‍ය රතනප්‍රිය හිමි

(02.09.2019 – 19:29 +0530 – sinhala.adaderana.lk)

මුහුදු මහා විහාරය සම්බන්ධයෙන් වගකිව යුතු බලධාරීන් ඒ පිළිබද වගකීම පැහැරහැර ඇතැයි මුහුදු මහ විහාරයේ විහාරාධිකාරී පූජ්‍ය උඩමලත්තේ රතනප්‍රිය හිමි පවසයි.

අද (02) රාජගිරියේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් උන්වහන්සේ මේ බව සඳහන් කළේය.

මේ අතර හිස්බුල්ලාගේ පුත්‍රයාගේ හිරා පදනම මගින් අන්තවාදී ඉගැන්වීම් සහිත ග්‍රන්ථ තවදුරටත් ප්‍රසිද්ධියේ අලෙවි කළද රටේ නායකයින් ඊට එරෙහිව ක්‍රියාමාර්ග නොගන්නා තත්වයක් නිර්මාණය වී ඇතැයි බොදුබලසේනා සංවිධානයේ මහලේකම් පූජ්‍ය ගලගොඩ අත්තේ ඥානසාර හිමියන් පවසයි.

කිම්මන්තුඩාව ශ්‍රී දීපාරාම විහාරස්ථානයේ පැවති ආගමික උත්සවයකට එක්වෙමින් උන්වහන්සේ මේ බව සඳහන් කළේය.

+++++++++++++++++++++

සංගීතවේදී ඉරාජ් විරරත්න මහතා

+++++++++++++++++++++++++++++++++++

උතුර හා නැගෙනහිර පළාත්වල බරපතල සංස්කෘතික ආක්‍රමණයක් – පුජ්‍ය ජඹුරේවෙල චන්ද්‍රරතන හිමියන්

(02.09.2019 – 20:10 +0530 – hirunews.lk/sinhala)

උතුර හා නැගෙනහිර පළාත්වල බරපතල සංස්කෘතික ආක්‍රමණයක් සිදුවෙමින් පවතින බව ‘සිංහලේ අපි ජාතික සංවිධානයේ’ සභාපති පුජ්‍ය ජඹුරේවෙල චන්ද්‍රරතන හිමියන් පවසනවා.

අද පෙරවරුවේ කොළඹ පැවති ප්‍රවාත්ති සාකච්ඡාවකට එක්වෙමින් උන්වහන්සේ මේ බව සදහන් කළා.

***************************************

සහරාන්ගේ දියණිය බිරිඳගේ මව්පියන් භාරයට

(03.09.2019 – 07:47 +0530 – sinhala.adaderana.lk)

පාස්කු ඉරුදින ප්‍රහාරයේ නායකයා ලෙස සැලකෙන මොහොමඩ් සහරාන් හෂීම්ගේ දියණිය ඔහුගේ බිරිඳගේ මව්පියන්ට භාරදීමට කොටුව මහේස්ත්‍රාත්වරයා නියෝග කර තිබේ.

සහරාන්ගේ බිරිඳ ද මේ වන විට අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ සිටීම නිසා අදාළ දැරිය පරිවාස භාරයට හෝ සුදුසු භාරකාරත්වයක් යටතට පත්කරන ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයෙන් කළ ඉල්ලීමක් සලකා බැලු කොටුව මහේස්ත්‍රාත් රංග දිසානායක මහතා විසින් අදාළ නියෝගය ලබා දී ඇති බව වාර්තා වෙයි.

කටුපොත ප්‍රදේශයේ පිහිටි සහරාන්ගේ බිරිඳගේ මව්පියන්ගේ භාරයෙන් ඉවත්කොට වෙනත් කිසිදු පාර්ශවයකට අධිකරණයේ අවසරයකින් තොරව එම දැරියව භාරදිමක් සිදුනොකරන ලෙස ද මහේස්ත්‍රාත්වරයා නියෝග කර තිබේ.

සිව් හැවිරිදි එම දැරිය සම්බන්ධයෙන් නිසි අධීක්ෂණයකින් පසුවන ලෙස කුලියාපිටිය පරිවාස නිලධාරීවරයාට ද කොටුව මහේස්ත්‍රාත් රංග දිසානායක මහතා විසින් නියෝග කර ඇති බව වාර්තා වෙයි ෴

***************************************

ඇල්පිටිය ප්‍රාදේශීය සභා ඡන්ද විමසීම ඔක්තෝබර් 11

(02.09.2019 – 21:50 +0530 – sinhala.adaderana.lk)

ඇල්පිටිය ප්‍රාදේශීය සභාවේ ඡන්ද විමසීම ඔක්තෝබර් 11 වන දින පැවැත්වීමට තීරණය කර ඇත.

ඇල්පිටිය ප්‍රාදේශීය සභාවේ ඡන්ද විමසීම පවත්වන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය විසින් මැතිවරණ කොමිසම වෙත අගෝස්තු 30 දින නියෝග කර තිබුණි.

ප්‍රජාතන්ත්‍රවාදී එක්සත් ජාතික පෙරමුණ විසින් ඉදිරිපත් කළ පෙත්සමක තීන්දුව ලබාදෙමින් ශ්‍රේෂ්ඨාධිකරණ ත්‍රිපුද්ගල විනිසුරු මඬුල්ල එම නියෝගය ලබා දුන් බව අද දෙරණ අධිකරණ වාර්තාකරු පැවසුවේය.

එමෙන්ම ප්‍රතික්ෂේප කළ ප්‍රජාතන්ත්‍රවාදී එක්සත් ජාතික පෙරමුණේ නාමයෝජනා පත්‍රය භාර ගන්නා ලෙස ද ශ්‍රේෂ්ඨාධිකරණය විසින් අදාල ප්‍රාදේශීය සභාව භාර තේරීම්භාර නිලධාරීයාට නියෝග කර තිබේ.

පසුගිය පළාත් පාලන මැතිවරණයේදී ඇල්පිටිය ප්‍රාදේශීය සභාවට තමන් ඉදිරිපත් කළ නාමයෝජනා පත්‍රය ප්‍රතික්ෂේප කිරීම නීති විරෝධී බව සඳහන් කරමින් ප්‍රජාතන්ත්‍රවාදී එක්සත් ජාතික පෙරමුණ විසින් අදාළ පෙත්සම ඉදිරිපත් කර තිබුණි.

පෙත්සම පිළිබඳව විභාගයක් පැවැත්වීමට නියෝග කළ ශ්‍රේෂ්ඨාධිකරණය එහි විභාගය අවසන් වන තෙක් ඇල්පිටිය ප්‍රාදේශීය සභාවේ ඡන්ද විමසීම පැවැත්වීම වළක්වාලමින් තහනම් නියෝගයක් මීට පෙර නිකුත් කර තිබුණි ෴

***************************************

දියුණු රටවල හෙදියන්ට ලබාදෙන විෂය දැනුම මෙරට හෙදියන්ටද ලබා දිය යුතුයි – ගෝඨාභය

(03.09.2019 – 11:21 +0530 – sinhala.adaderana.lk)

ලෝකයේ දියුණු රටවල හෙදියන්ට ලබාදෙන විෂය දැනුම මෙරට හෙදියන්ටද ලබා දීමට අවශ්‍ය පියවර ගැනීමට තමන් කටයුතු කරන බව ශ‍්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජනාධිපතිධුර අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.

ඊයේ (02) පස්වරුවේ කොළඹ පැවති සම්මේලනයක් අමතමින් ඔහු මේ බව සඳහන් කළ අතර විපක්ෂනායක මහින්ද රාජපක්ෂ මහතා ද ඊට එක්ව සිටියේය.

ශ‍්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජනාධිපතිධුර අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා සහ රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමය අතර හමුවක් ඊයේ පස්වරුවේ කොළඹදී පැවැත් විය.

එහිදි ගෝඨාභය රාජපක්ෂ මහතා පැවසුවේ හෙදියන්ට ලබාදෙන විෂය දැනුම යාවත්කාලීන නොකීරීම හෙදියන්ගේ රාජකාරි කටයයුතු වලට මෙන්ම රෝගීන්ගේ ජීවිතවලටද දැඩි බලපෑමක් ඇති කරන බවයි.

එම නිසා හැකි ඉක්මනින් හෙද පාසල්වල පාඨමාලා යාවත්කාලීන කිරීමට කටයුතු කරන බවද ඒ මහතා ප්‍රකාශ කළේය.

***************************************

පුළුවන් නම් සජිත්ට දෙන්න – ඩලස් ගෙන් අභියෝගයක්

(03.09.2019 – 10:47 +0530 – sinhala.adaderana.lk)

ඇල්පිටිය ප්‍රාදේශීය සභා මැතිවරණය මෙහෙයවීම හැකි නම් සජිත් ප්‍රේමදාස මහතාට ලබාදෙන්නැයි එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම මහතා එක්සත් ජාතික පක්ෂයට අභියෝගයක් එල්ල කරයි.

ඔහු වැඩිදුරටත් සඳහන් කරන්නේ එය ජනාධිපතිවරණයේදී බලය හිමිවීම සම්බන්ධයෙන් වන පරීක්ෂණයක් වනු ඇති බවයි.

මාතර දෙයියන්දර, රදාවෙල ප්‍රෙද්ශයේ පැවති උත්සවයක් අමතමින් ඔහු මේ බව සඳහන් කළේය.

ජනාධිපතිවරණය කල් දැමීට ආණ්ඩුවට අවශ්‍යතාව තිබුණද එය සිදු කිරීමට කිසිදු හැකියාවක් නොමැති බවත් එය කිසිසේත් ඉටු කිරීමට මහින්ද රාජපක්ෂ මහතා ඇතුලු ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ ඉඩ නොදෙන බවත් මන්ත්‍රීවරයා එහිදි පැවසීය.

එහිදි ඔහු පැවසුවේ තවත් දින 80 කින් ජනාධිපතිවරණය පැවැත්විය යුතු බවත් ඉන් පසුවදා හිරු පායන්නේද ගොඨාභය රාජපක්ෂ මහතාගේ පාලනයක් යටතේ බවද මන්ත්‍රීවරයා වැඩිදුරටත් අදහස් දැක්වීය.

***************************************

දුරකථනය ඇමතුමක සිටි තරුණයෙකු කොටුවේදී දුම්රියට බිලි වේ

(03.09.2019 – 13:03 +0530 – hirunews.lk/sinhala)

කොටුව දුම්රිය ස්ථානයේදී දුමිරියක ගැටිමෙන් තරුණයෙකු ජිවිතක්ෂයට පත්ව තිබෙනවා.

අද පෙරවරුවේ හික්කඩුව සිට කොළඹ කොටුව දක්වා ධාවනය වෙමින් තිබු දුමිරියේ මොහු ගැටි ඇත්තේ ජංගම දුරකථනයෙන් ඇමතුමක් ලබාගනිමින් මාර්ගය හරහා ගමන් කරමින් සිටියදීයි.

නිට්ටඹුවේ සිට දුම්රියෙන් කොළඹ කොටුවට පැමිණ සිය රැකියා ස්ථානයට යාම සඳහායි මෙම පුද්ගලයා දුමිරිය මාර්ගය ඔස්සේ ගමන් කර ඇත්තේ.

සිද්ධියෙන් එම ස්ථානයේදී ජිවිතක්ෂයට පත් වු මොහු නිට්ටඹුව ප්‍රදේශයේ පදිංචි 26 හැවිරිදි තරුණයෙක්.

මේ අතර, මේ වසරේ ගෙවුණු කාල සිමාවේ දුමිරියේ ගැටිමෙන් පුද්ගලයින් 330 ක් ජිවිතක්ෂයට පත්ව තිබෙනවා ෴

***************************************

පූජ්‍ය අතුරලියේ රතන හිමියන්ගෙන් යෝජනාවක්

(02.09.2019 – 22:23 +0530 – hirunews.lk/sinhala)

ඉදිරි ජනාධිපතිවරණයේදී සිංහල, දෙමළ, ජනතාව එක්වුවහොත් ශක්තිමත් නායකයෙකු බිහිකරගත හැකි බව පාර්ලිමේන්තු මන්ත්‍රී පූජ්‍ය අතුරලියේ රතන හිමියන් පවසනවා.

බෞද්ධ, හින්දු සංස්කෘතික සංසදය යාපනයේ සංවිධාන කර තිබූ වැඩසටහනකට අද පෙරවරුවේ එක්වෙමින් උන්වහන්සේ මේ බව සදහන් කළා.

***************************************

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් දයාසිරිට චෝදනාවක්

(02.09.2019 – 20:03 +0530 – hirunews.lk/sinhala)

පක්ෂ 2ක අතර පැවති සාකච්ඡාවලින් පසු ශ්‍රී නිදහස් පක්ෂ මහ ලේකම් දයාසිරි ජයසේකර මහතා පිටතට පැමිණ ප්‍රකාශ කරන්නේ වෙනත් කාරණා බවට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ චෝදනා කරනවා.

අද පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන මහතා මේ බව සඳහන් කළා.

ඊට මහාචාර්ය ජී.එල්.පීරිස් මහතා ද සහභාගී වුණා.

***************************************

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයෙන් චෝදනාවක්

(02.09.2019 – 20:15 +0530 – hirunews.lk/sinhala)

අත්‍යාවශ්‍ය ඖෂධ 319 ක් මධ්‍යම බෙහෙත් ගබඩාව තුළ නොමැති බවට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය චෝදනා කරනවා.

කොළඹදී අද පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී ඔවුන් මෙම අදහස් පලකළා.

ප්‍රවෘත්ති සාකච්ඡාවට පෙර අභාවප්‍රාප්ත මහාචාර්ය කාලෝ ෆොන්සේකා මහතාට ගෞරව පිණිස විනාඩියක නිශ්ශබ්දතාවයක් පැවැත්වීමට ඔවුන් මෙලෙස කටයුතු කළා.

***************************************

රනිල් ඉල්ලා අස් වූ බවක් අපට නම් දැනුම් දුන්නේ නෑ

(03.09.2019 – mawbima.lk)

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා කැලණි රජමහ විහාරයේ දායක සභාවේ සභාපති පදවියෙන් ඉල්ලා අස්වුණු බවක් මේ වන තෙක් ලිඛිතව හෝ වාචිකව හෝ දැනුම් දී නැතැයි එම දායක සභාවේ සමලේකම් සමන් රණසිංහ මහතා පැවැසීය.

එවැනි ඉල්ලා අස්වීමක් සිදුවූයේ නම් ඒ පිළිබඳව විහාරාධිපති මහාචාර්ය කොල්ලුපිටියේ මහින්ද සංඝරක්ඛිත හිමිපාණන්ට හෝ නැතහොත් තමන්ට හෝ අනෙක් සමලේකම්වරුන් දෙදෙනාගෙන් කවරකුට හෝ දැනුම් දිය යුතුව තිබූ බවද රණසිංහ මහතා ප්‍රකාශ කළේය.

කැලණි විහාරයේ දායක සභාවේ සභාපති පදවියේ වගකීම් හා යුතුකම් අගමැති රනිල් වික්‍රමසිංහ මහතා අතින් නිසියාකාරව ඉටුනොවීම හේතුකොටගෙන දායක සභාවට මෙම තීරණය ගැනීමට සිදුවූ බව පැවැසූ රණසිංහ මහතා, ඒ පිළිබඳව සිදුකළ ඡන්ද විමසීමේදී ලැබුණු ප්‍රතිඵලය මත එය මනාව තහවුරු වූ බවද වැඩිදුරටත් පැවැසීය ෴

***************************************

විස සහිත විසිතුරු ශාක ගෙවතුවල වවන්න එපා!

(03.09.2019 – mawbima.lk)

විස සහිත විසිතුරු පත්‍ර දරන ශාක ගෙවතුවල වගා කිරීමෙන් කුඩා දරුවන්ට එම විස ශරීරගත වීමේ අවදානම ඉහළ ගොස් ඇති බව ජාතික විස තොරතුරු මධ්‍යස්ථානයේ විසවේදය පිළිබඳ වෛද්‍ය සමන්ත ලියනගේ මහතා පැවසීය.

මේ වනවිට එවැනි විස සහිත විසිතුරු පත්‍ර දරන ශාක වර්ග 15 ක් පමණ ගෙවතුවල වගා කරන බව පසුගිය කාලයේ සිදුකළ සොයා බැලීම්වලින් අනාවරණය විය. එවැනි ශාක කුඩා ළමුන් ගැවසෙන ස්ථානවල තැබීම ඉතා අනතුරුදායක බව සඳහන් කළේය.

සමහර ශාක වර්ග කුඩා ප්‍රමාණයෙන් ශරීරගත වුවද විස වන අතර කනේරු ශාකය එවැනි ශාකයකි. ඊට අමතරව මෑතක සිට නිවෙස්වල අලංකරණය සඳහා ‘ලකී බ්‍රාන්ට්, මනී බ්‍රාන්ට්’ වැනි ශාක වැවීමට පෙලඹී තිබේ.

මෙම ශාකවල පත්‍ර ශරීරයට විස සහිත අතර ‘හබරල’ කුලයට අයත් ශාක නිවෙස්වල අලංකරණය සඳහා රෝපණය කරන අතර එයද ඉතා විස සහිත බව සඳහන් කළේය.

එවැනි ශාක පත්‍ර නොදැනුවත්ව කුඩා ළමුන්ගේ හෝ වැඩිහිටියන්ගේ ශරීරගත වුවහොත් විස සහිත තත්ත්වයක් ඇති විය හැකිය.

විශේෂයෙන් කුඩා ළමුන් මෙවැනි ශාක වර්ග අනුභව කළහොත් විවිධ සංකූලතා ඇතිවිය හැකි අතර මුඛයේ දැවිල්ල, මුඛය ඉදිමීම, ස්වරාලයේ ඉදිමීම් තත්ත්වයන් සහ වකුගඩු රෝග පවා ඇතිවිය හැකිය. වස විසක් ශරීරගත වූ විට වමනය කිරීම සුදුසු නොවන බවත් හැකි ඉක්මනින් ළඟම පිහිටි රෝහලට රැගෙන යෑම ඉතා වැදගත් වෙයි. හුස්ම ගැනීමේ අපහසුතාවක් ඇත්නම් බෙල්ල හරවා සෘජුව තබා රෝහලට රැගෙන යෑම ඉතා වැදගත් වෙයි.

මේ පිළිබඳව ජනතාව දැනුවත් කිරීමේ පුළුල් වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කර ඇති බව වැඩිදුරටත් වෛද්‍ය සමන්ත ලියනගේ මහතා පැවසීය ෴

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

Comments 1

bo වෙත ප්‍රතිචාරයක් සටහන් කරන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *