වෑන් රථයක් කොල්ල කා පලායමින් සිටියදී පානදුර පිංවත්ත ප්‍රදේශයේදි වෙඩි කෑ සැකකරු මරුට

(30.07.2019 – 07:23 +0530 – sinhala.adaderana.lk)

අණ නොතකා ධාවනය කළ වෑන් රථයකට පානදුර පිංවත්ත ප්‍රදේශයේදි යුධ හමුදා මාර්ග බාධක රාජකාරියේ යෙදි සිටි භට පිරිසක් විසින් වෙඩි තැබූ සිද්ධියෙන් තුවාල ලැබූ සැකකරු මියගොස් තිබේ.

අදාළ වෙඩි තැබීමෙන් තුවාල සිදුව රෝහල්ගතකළ සැකකරු මියගොස් ඇති අතර අනෙක් පුද්ගලයා පලාගොස් ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාල පවසයි.

අණ නොතකා ධාවනය කළ වෑන් රථයකට පානදුර පිංවත්ත ප්‍රදේශයේදි යුධ හමුදා මාර්ග බාධක රාජකාරියේ යෙදි සිටි භට පිරිසක් විසින් ඊයේ (29) රාත්‍රී මෙම වෙඩි තැබීම සිදුකර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා සදහන් කළේ.

මත්තෙගොඩ කිරිගම්පමුණුව ප්‍රදේශයේ දී වෑන් රථයක් කොල්ලකා පළායන බවට එම වෑන් රථයේ අයිතිකරු විසින් මත්තෙගොඩ පොලීසියට පැමිණිල්ලක් සිදුකර තිබෙනවා.

වෑන් රථයේ සවිකර තිබූ ජි.පි.එස්.උපකරණය මගින් වෑන් රථය ගමන්ගන්නා මාර්ගය ද පැමිණිලිකරු විසින් දැනුම් දී ඇති අතර ඒ අනුව අගුරුවාතොට පොලීසියේ නිලධාරීන් සිව් දෙනෙකු යතුරුපැදි දෙකකින් අදාළ වෑන් රථය පසුපස හඹාගොස් ඇති බවයි වාර්තා වන්නේ.

වාද්දූව පොලිස් වසමේ වාද්දූව පොලිස් නිලධාරීන් සහ යුධ හමුදා සෙබලුන් එක්ව සිදුකරන ලද මාර්ග බාධකයේ දි වෑන් රථය නැවැත්වීමට අණකර ඇති අතර එහිදි වෑන් රථය, අණ නොතකා යුධ හමුදා සෙබලුන් දෙදෙනෙකු ද හප්පා තුවාල සිදුකර ධාවනය කර තිබෙනවා.

වලාන මධ්‍යම දූෂණ මර්දන ඒකකයේ නිලධාරින් විසින් පානදුර පිංවත්ත ප්‍රදේශයේදී අදාළ වෑන් රථය හරස්කර නවත්වන අවස්ථාවේ දී සැකකරුවන් දෙදෙනා වෑන් රථය දමා පළායාමට උත්සාහ දරා ඇති බව සදහන්.

එහිදි වාද්දූව මාර්ග බාධකයේ යුධ හමුදා නිලධාරීන් දෙදෙනෙකු එම ස්ථානයට පැමිණ ඇති අතර පළායන සැකකරුවන්ට වෙඩි තබා ඇති බවයි වාර්තා වන්නේ.

වෙඩි වැදීමෙන් එක් සැකකරුවෙකු තුවාල ලබා ඇති අතර අනෙක් සැකකරු එම අවස්ථාවේදී පළාගොස් තිබේ.

නමුත් පසුව ඔහු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර මේ වන විට එම පුද්ගලයා පොලීස් ආරක්ෂාව මත පානදුර රෝහලේ ප්‍රථිකාර ලබමින් සිටි.

අදාළ සිද්ධිය සම්බන්ධයෙන් පානදුර පොලීසිය වැඩිදුර විමර්ශන ආරම්භ කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා සදහන් කළේය.

+++++++++++++++++++++

***************************************

රවුෆ් හකීම්ගේ නිවසින් ලක්‍ෂ 60 ක් සොරාගනී

(29.07.2019 – 20:20 +0530 – lankadeepa.lk)

හිටපු අමාත්‍ය රාවුෆ් හකීම් මහතාගේ කොළඹ 7 මලලසේකර මාවතේ පිහිටි නිවසින් රුපියල් ලක්ෂ 60 ක මුදලක් සොරා ගැනීම සම්බන්ධයෙන් ඊයේ (28) පැමිණිල්ලක් ලැබී ඇතැයි කුරුදුවත්ත පොලිසිය කියයි.

ඉකුත් ජූනි මස 10 වැනිදින තම සැමියා වූ රාවුෆ් හකීම් මහතා විකිණීමට නියමිතව මෝටර් රථයක් සඳහා පුද්ගලයෙකුගෙන් ලක්ෂ 60 ක මුදලක් ලබා ගෙන එය තමා වෙත ලබා දුන් බව රාවුෆ් හකීම් මහතාගේ බිරිඳ පැමිණිලි කර ඇතැයි පොලිසිය කියයි.

එම මුදල නිදන කාමරයේ ඇඳ යට තිබෙන බෑගයේ දැමූ බවත් දින නවයකට පසු එනම් 29 වැනිදා බෑගය විවෘත කර පරීක්ෂා කිරීමේදී එම මුදල් නොතිබූ බවත් කිසියම් අයෙක් එය අවුස්සා ඇති බවට දැක ගත හැකි වූ බවත් පැමිණිල්ලේ සඳහන් කර ඇතැයි පොලිසිය කියයි.

එදින නිවසේ සේවය කරන සේවිකාවන් තිදෙනාගෙන් ඒ පිළිබඳව විමසූ බව ද ඇය කරන ලද පැමිණිල්ලේ සඳහන් වේ.

ඉකුත් 25 වැනි දින නිවසේ වැසිකිලිය උතුරා යාම හේතුවෙන් ගලි වල ශුද්ධ කිරීමේදී ඉරී ගිය රුපියල් 5000 මුදල් නෝට්ටු දෙකක් හමු වූ බවත් එම නෝට්ටු දෙක ගලි වල ශුද්ධ කිරීමට පැමිණි පුද්ගලයන් රැගෙන ගොස් ඇතැයි පොලිසිය කියයි.

නැවත දින තුනකට පසුව ගලි වල උතුරා යාම හේතුවෙන් කොළඹ මහ නගර සභාවේ ගලි බවුසරයක් ගෙන්වා ගලි වල ශුද්ධ කිරිමේදී රුපියල් 5000 මුදල් නෝට්ටු කොටස් හමු වූ බවත ඇය කරන ලද පැමිණිල්ලේ සඳහන් වේ.

නිවසේ සේවය කළ සේවිකාවන් තිදෙනාගෙන් දෙදෙනෙක් මීට දින කිහිපයකට ඉහතදී නිවසින් පිට වී ගිය බවද ඇය කරන පද පැමිණිල්ලේ වැඩි දුරටත් සඳහන් වන බව පොලිසිය පැවැසීය ෴

***************************************

සභානායකට පොහොට්ටුවෙන් චෝදනා

(29.07.2019 – 19:09 +0530 – hirunews.lk/sinhala)

ජාතික ආණ්ඩුවක් සකස් කර අමාත්‍ය ධුර සංඛ්‍යාව වැඩි කර ගැනීමේ යෝජනාවක් පාර්ලිමේන්තු න්‍යාය පත්‍රයට ඇතුළත් කිරීමට සභානායක අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල කටයුතු කර ඇති බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පවසනවා.

එම පෙරමුණේ සභාපති මහාචාර්ය ජී.එල්. පීරිස් මේ බව කියා සිටියේ කොළඹ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්.

***************************************

කොළඹ වරායේ සැක කටයුතු බහාලුම් දහසක්

(29.07.2019 – 19:07 +0530 – hirunews.lk/sinhala)

කොළඹ වරාය තුළ හිමිකම් ප්‍රකාශ නොකළ සැක කටයුතු බහාලුම් දහසකට අධික ප්‍රමාණයක් පවතින බවට අද අභියාචනාධිකරණයේදී අනාවරණ වුණා.

ඒ, නීතිපතිවරයා වෙනුවෙන් රජයේ ජ්‍යෙෂ්ඨ අධිනීතිඥ ශාරුක ඒකනායක කළ කරුණු දැක්වීමේදියි.

අදාළ බහාලුම් තුළ කැළි කසල තිබේ දැයි පරීක්ෂා කිරීම සඳහා ඒවා විවෘත කරන ලෙසයි වරාය අධිකාරියට අභියාචනාධිකරණය දැනුම් දුන්නේ.

එංගලන්තයෙන් මෙරටට ගෙන්වා ඇති කසල නැවත එරටට යැවීමට මධ්‍යම පරිසර අධිකාරියට සහ රේගු දෙපාර්තමේන්තුවට නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා පරිසර යුක්තිකේන්ද්‍රය ගෝනු කර ඇති නඩුව අද විභාගයට ගත් අවස්ථාවේදී මෙම නියෝගය නිකුත් කර තිබෙනවා.

අභියාචනාධිකරණයේ සභාපති යසන්ත කෝදාගොඩ සහ අර්ජුන ඔබේසේකර යන විනිසුරුවරුන් ඉදිරියේ පෙත්සම විභාගයට ගැනුණා.

මෙහිදී අභියාචනාධිකරණය රජයේ රස පරීක්ෂකවරයාට නියෝග කළේ විදේශීය රටවලින් ගෙන්වා ඇති කසල බහාලුම් සම්බන්ධයෙන් වහාම රස පරීක්ෂක වාර්තාවක් ඉදිරිපත් කරන ලෙසයි.

මේවායේ මිනිස් සිරුරට හා පරිසරයට හානිකර ඇති ද්‍රව්‍ය ඇත්ද යන්න සෙවීම සඳහා අදාළ විමර්ශනය සිදුකරන ලෙස ද අභියාචනාධිකරණය සඳහන් කළා ෴

***************************************

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ බෙලිඅත්ත ආසන බලමණ්ඩල රැස්වීම බෙලිඅත්ත, ශ්‍රී සුනන්දාරාම විහාරස්ථානයේදී … (29.07.2019)

***************************************

ඇමරිකා තානාපති නිලධාරීන් හා FBI වැලිසර නාවුක හමුදා කදවුරට ඇතුළු වේ.. පාස්කු බෝම්බ සැකකරුවන් සමග රහසිගත සාකච්චා…

(30.07.2019 – 09:20 +0530 – lankacnews.com)

පසුගිය 24 වැනිදා වැලිසර නාවික හමුදා කඳවුරේ රඳවා සිටින පාස්කු ඉරිදා මරාගෙන මැරෙන ප්‍රහාරයට සම්බන්ධ ත්‍රස්තවාදී සැකකරුවන් සමග ඇමෙරිකානු FBI ආයතනයේ නිලධාරීන් දෙදෙනකු හා මෙරට ඇමරිකානු තානාපති කාර්යාලයේ දෙදෙනකු පැය 02 ක රහසිගත සාකච්ඡාවක් පවත්වා ඇති බවත් එමගින් පෙනී යන්නේ මේ පරගැති ආණ්ඩුව මේ රට ඇමරිකාවට ඕනෑම ජෝගියක් නටා ගැනීමට හැකි රටක් බවට පත් කොට ඇති බවත් යැයි ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා පෙන්වා දෙයි

කුරුණෑගල නගර ශාලාවේදී පැවැති වහාබ් අන්තවාදයට එරෙහි ජනතා ව්‍යාපාරයේ සම්මන්ත්‍රණයට එක්වෙමින් ඒ මහතා එසේ පැවසීය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක් වූ විමල් වීරවංශ මහතා :

“පාස්කු ඉරිදා මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයෙන් මියගිය අයට සහ ඔවුන්ගේ පවුල්වලට එම ප්‍රහාරය සිදුව මාස තුනක් ඉක්ම ගොස් ඇතත් අවම සාධාරණය හෝ ඉටුකිරීමට මේ පාලනයට නොහැකි වී තිබෙනවා. සාධාරණය ඉටු වෙමින් ඇත්තේ වින්දිතයාට නොවෙයි ප්‍රහාරකයාටයි.

‘FBI වැලිසරට’

2019.07.24 වැනිදා උදේ 9.30 ට වැලිසර නාවික හමුදා කඳවුරට FBI නියෝජිතයන් දෙදෙනකු පැමිණ තිබෙනවා. ක්‍රිස්ටියා වයිට් හිල් සහ මැතිව් ආර්. වොයිට්ස් යන නම් සඳහන් දෙදෙනකු තමයි මෙසේ පැමිණ ඇත්තේ. ඉහත ත්‍රස්ත ප්‍රහාරයෙන් පසුව නිකුත් කළ ගැසට් නිවේදනයකින් වහාබ් ත්‍රස්තවාදී සැකකරුවන් රඳවා තබන ස්ථානයක් බවට එම නාවික හමුදා කඳවුර පත් කොට තිබෙනවා. පොලිස් ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය අත්අඩංගුවට ගත් මරාගෙන මැරෙන ප්‍රහාරයට සම්බන්ධ සැකකරුවන්ගෙන් රඳවාගෙන ප්‍රශ්න කළේ එතැන සිටයි. ඉහත FBI නිලධාරීන් දෙදෙනා වැලිසර නාවික හමුදා කඳවුර තුළට ගැනීමට නාවික හමුදා නිලධාරීන් කැමති වුණේ නැහැ. නමුත් වැලිසර නාවික හමුදා කඳවුර තුළ සිටින පොලිස් ත්‍රස්ත විමර්ශන කොට්ඨාශයේ ප්‍රධානියාට ඉහළින් නියෝගයක් ලැබී තියෙනවා මේ අයව ඇතුළට ගන්න. ඒ අනුව ඇමෙරිකානු FBI නිලධාරීන් දෙදෙනා සමග මෙරට ඇමෙරිකානු තානාපති කාර්යාලයේ දෙදෙනකු ද යනවා. අරුණ නැමති අයකු හා භාෂා පරිවර්තක ලෙස සංජය මයිල්වානගම් නැමති අයකු තමයි එසේ ගොස් ඇත්තේ. මේ රහසිගත සාකච්ඡාව මේ හතරදෙනා සහ මුස්ලිම් ත්‍රස්තවාදී සැකකරුවෝ අතරයි සිදු වූයේ. අපේ ආරක්ෂක අංශවල කිසිවකුටත් ඒ අසළට පැමිණීමට ඉඩ දී නැහැ. අද මේ රට ඇමරිකාවට ඕනෑම ජෝගියක් නටාගන්න පුළුවන් රටක් බවට පත් වී අවසානයි. පසුගියදා කටුනායක ගුවන් තොටුපළට නමක් නැති ගුවන් යානයක් පැමිණෙනවා. එයින් පැමිණි පිරිස රට තුළට එනවා. මේ කිසිවක් අද නීරික්‍ෂණය වන්නේ නැහැ.

‘වහාබ්වාදීන් අන්දන ඇඳුම’

මේ වහාබ්වාදය පැවැත්මට ආවේ මුස්ලිම් ජන සමාජය භේදබින්න කරමිනුයි. බලවත් මුස්ලිම් රාජ්‍යයන් දුර්වල කිරීමට ඇමරිකාව ප්‍රමුඛ බටහිර බලවතුන් වහාබ්වාදය යොදා ගත්තා. මේ රටේ ඉන්න සුපී මුස්ලිම්වරුන් ද මේ වහාබ්වාදයට විරුද්ධයි. ‘ඇහැ විතරක් පෙනෙන ඇඳුම් ඇඳපල්ලා’ කියා කාන්තාවන්ට බලපෑම් කරන්නේ මේ අන්තවාදීන් විසිනුයි. රිෂාද් බදියුදීන් තම බිරිඳ ඡන්දපොළට රැගෙන යන්නෙත් ඇහැ විතරක් පෙනෙන ඇඳුමක් අන්දවලා. ඒ විදියට ඇඳුම ඇතුළේ සිටියේ බිරිඳ ද වෙනත් කාන්තාවක් ද කියා කියන්නටවත් බැහැ.

‘ලැජ්ජා හිතෙන මතවාදයක්’

ඒ විතරක් නොවෙයි, ‘චිත්‍ර අඳින්න, සින්දු කියන්න බැහැ, පිළිම වන්දනාව බැහැ, සුසානභූමි හදන්න බැහැ, සොහොන්කොත් වන්දනාව බැහැ’යන ඒවා වහාබ්වාදයේ මූලධර්මයි. පසුගිය දිනයක අතාවුල්ලා හිටපු ඇමැතිවරයා සින්දුවක් මුමුණමින් සිටින විට මම කීවා ‘අපොයි සින්දු කියන්න එපා! මැරුම් කන්න වෙයි’ කියලා. එවිට එතුමා කියනවා ‘ලැජ්ජයිනෙ’ කියා. ඇත්තෙන්ම මේ අන්තවාදී මතවාදය මොළය කළඳක් හෝ තිබෙන මුස්ලිම් ජනතාව ලැජ්ජාවට පත් කරවන්නක්. ඒ කාලයේ මේ මතවාදය පැළ වෙලා තිබුණා නම් මොහිදින් බෙග් මාස්ටර්වත් මේ අය මරා දමනවා.

‘වහාබ් අන්තවාදීන්ට පාවාඩ එළීම’

මේ රටේ වහාබ් අන්තවාදය වැඩුණේ අරාබියේ ධනවත් රටවලින් පොම්ප කරපු සල්ලිවලින්. මේ දිනවල පාර්ලිමේන්තුවේ රැස්වන ‘කෝලම් කාරක සභාවට’ මහ බැංකු අධිපති සහ එතුමාගේ කාර්ය මණ්ඩලය කැඳවා තිබුණා. එහිදී ‘ශරියා විශ්වවිද්‍යාලයට කෝටි ගණනින් සල්ලි ආවා කියා ඔබලා දැන සිටියේ නැද්ද’ කියා ප්‍රශ්න කෙරුණා. ලැබුණු පිළිතුර ‘2017 දී විනිමය පාලන පනතට ගෙන ආ සංශෝධන නිසා දැන් මහ බැංකුවට රට තුළට පැමිණෙන මුදල් ගැන දැනගැනීමට විදියක් නැහැ’ යන්නයි. ඒ අනුව පැහැදිලියි මේ පරගැති ආණ්ඩුව මේ අන්තවාදයට රිසි සේ වැඩෙන්න ඉඩ දුන් බව. සවුදියේ තෙල්වලින් උපයන අතිරික්ත ධනය මේ රට ඇතුළේ වහාබ් අන්තවාදය පතුරුවන්න යොදා ගත හැකි ආකාරයට පරිසරය හැදුවේ මේ ආණ්ඩුවයි. සහරාන්ලා ගැන ඔත්තු ලැබෙනකොට කනකට නොගෙන අහක බලාගෙන හිටියේ මේ ආණ්ඩුවයි. ඒ වගේම සහරාන්ලා සයින්දමරුදුවල බෝම්බ හදන්න උවමනා දේවල් ගොඩගහන බව සුපී මුස්ලිම්වරු කළ පැමිණිල්ල විභාගයට ගන්න හදපු පොලිස් ඕ.අයි.සී.වරයා මාරු කළෙත් මේ ආණ්ඩුවයි. මේක සහරාන්ලාගේම ආණ්ඩුවක්.

‘වහාබ් අන්තවාදයට අනුව නැටීම’

දැන් බලන්න තව්හිද් ජමාත් සංවිධානයේ කොළඹ දිස්ත්‍රික් නායකයාට ඇප ලබාදීමට පොලිසිය හෝ නීතිපති දෙපාර්තමේන්තුව හෝ විරුද්ධ වන්නේ නැහැ. නමුත් බොරු චෝදනා යටතේ හිරේ දමාගෙන සිටින බුද්ධි අංශ රණවිරුවන්ට ඇප ලබාදීමට නීතිපතිත් පොලීසියත් විරුද්ධයි. මේවා සිදු වන්නේ ආණ්ඩුවේ ඉහළ නියෝග අනුව. මේ ආණ්ඩුව වහාබ් අන්තවාදයට අනුව නැටවෙන රූකඩ ආණ්ඩුවක්. ඒ නිසා වහාබ් අන්තවාදයෙන් පීඩාවට පත්වූ වින්දිතයන්ට කිසිදු සාධාරණයක් මේ පරගැති ආණ්ඩුවෙන් ලැබෙන්නේ නැහැ.

‘හදිසි තත්වය හැදීම’

වහාබ් අන්තවාදය හිස ඔසවන්නේ මේ රට තමන්ගේ යුද තිප්පොළක් බවට පත් කරගැනීමේ ඇමරිකා එක්සත් ජනපද උපායමාර්ගයේම කොටසක් විදියටයි. ACSA ගිවිසුම ඇමරිකා එක්සත් ජනපදයට උවමනා ආකාරයට මේ ආණ්ඩුව අත්සන් කර දී අවසානයි. රනිල් වික්‍රමසිංහ අගමැතිවරයා එය පිටු 10 ක ගිවිසුමක් බව පාර්ලිමේන්තුවට බොරු කීවාට පසුදිනයේ මා පිටු අසූතුනකින් සමන්විත ගිවිසුම පාර්ලිමේන්තුවේ සභාගත කළා. එහි ඇමුණුම් 50 ක් පමණ ඇතුළත්. ‘හදිසි තත්ත්වයකදී ඇමරිකා එක්සත් ජනපද ආරක්ෂක හමුදාවන්ට ශ්‍රී ලංකාවට ඇතුළුවිය හැකි’ බවට වගන්තියක් එහි ඇතුළත්. ඇමුණුම්වල ඇත්තේ ‘ඇමෙරිකා එක්සත් ජනපද ඉන්දු – පැසිෆික් කවර බලඇණිවලට, අනුඛණ්ඩවලට ශ්‍රී ලංකාවට පැමිණිය හැකි ද?’ යන්නයි.

සෝෆා ගිවිසුම අත්සන් කිරීමට සැරසෙන්නේ එසේ ශ්‍රී ලංකාවට එන ඇමෙරිකා එක්සත් ජනපද හමුදා නිලධාරීන්ට හා ඔවුන්ගේ කොන්ත්‍රාත්කරුවන්ට රැඳී සිටීමට අවශ්‍ය වාතාවරණය සකසා දීමටයි. වීසා නැතිව එන්න, බදු නැතිව ඉන්න, රේගු බදු නැතිව, පරීක්‍ෂා කිරීමකින් තොරව ඕනෑම දෙයක් රැගෙන එන්න, ලංකාවේ නීතියට යටත් නොවී ඉන්න ඉඩ හදලා දීමයි සෝෆා ගිවිසුමෙන් සිදු කිරීමට නියමිත.

‘හදිසි තත්ත්වය හදන වහාබ් අන්තවාදියා’

වේළුපිල්ලේ පිරබාහරන් හදපු ‘හදිසි තත්වය’ දැන් ඉවරයි. දැන් දෙමළ ජන සමාජයෙන් හදිසි තත්වය නිර්මාණය කරගන්න බැහැ. ගෙවී ගිය වසර 10 තුළ ඇමෙරිකන් ගැති ධනවත් අරාබි රටවල මැදිහත්වීමෙන් මේ රටේ වහාබ් අන්තවාදය හැදුවේ ඒ සඳහායි. දැන් ‘හදිසි තත්වයක්’ ශ්‍රී ලංකාව තුළ හදන්න ‘අන්‍යාගමිකයා මැරුවම ස්වර්ගයට යන්න පුළුවන්’ කියා හිතන මරාගෙන මැරෙන වහාබ් අන්තවාදියා ඉන්නවා. අප්‍රේල් 21 වැනිදා මේ හදිසි තත්වය හදන්නයි සහරාන්ලා මරාගෙන මැරුණේ. කතෝලික පල්ලි තෝරා ගත්තේ ලෝක අවධානය මේ කෙරෙහි වඩාත් යොමුකර ගන්නයි. නමුත් ඔවුන් බලාපොරොත්තු වුණු මරාගැනිල්ල සිදු නොවූ නිසා ‘හදිසි තත්වයක්’ නිසි පරිදි ඇති වූයේ නැහැ. නමුත් ඉහත කී ආකාරයට FBI – CIA ඔත්තුකරුවෝ රටට රිංගන්නේ හදිසි තත්වයක පෙරනිමිති පෙන්වලයි.

‘ප්‍රසාද් කාරියවසම්’

දැන් බලන්න, හිටපු විදේශ කටයුතු ලේකම් ප්‍රසාද් කාරියවසම් කථානායකවරයාගේ ජාත්‍යන්තර කටයුතු උපදේශක ලෙස පාර්ලිමේන්තුවට රිංගලා ඉන්න විදිය. ඔහුගේ බිරිඳ සහ පුතා වසර 19 ක් තිස්සේ ඇමරිකාවෙයි සිටින්නේ. ප්‍රසාද් කාරියවසම් සේවය කරන්නේ ඇමරිකාවටයි. එයාට පඩි ගෙවන්නේ ඇමරිකාවෙනුයි. ප්‍රසාද් කාරියවසම් සහ මංගල සමරවීර කියන ‘ඇමෙරිකන් කුක්කෝ දෙන්නා’ තමයි ‘ACSA ගිවිසුම අත්සන් කරන්න’ කියලා එවකට ආරක්ෂක අමාත්‍යංශ ලේකම් කරුණාසේන හෙට්ටිආරච්චිට බල කළේ.

‘රිංගන සැලසුම’

මුලින් හදිසි තත්වයකදී ඇමරිකානු හමුදාවට එන්න පුළුවන් විදිහට ACSA ගිවිසුම හැදුවා. සහරාන්ලා මරාගෙන මැරිලා ‘හදිසි තත්ත්වය’ හැදුවා. ඉන්පසු රනිල් වික්‍රමසිංහ ගෝලීය ත්‍රස්තවාදය ක්‍රියාත්මක වන බව කීවා. ප්‍රහාරයෙන් දින දෙකකට පසු ISIS නායකයා මේ ප්‍රහාරයේ වගකීම භාර ගත්තා. මේකයි මේ අයගේ ලංකාවට රිංගන සැලැස්ම වූයේ.

‘න්‍යාය පත්‍රය නියමෙටම…’

ඉරාක පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු පවසා තිබෙනවා. ‘ඉරාකයේ හුදකලා ප්‍රදේශයක් තුළයි ISIS නායකයා රඳවාගෙන ඉන්නේ’ කියලා. ඒ අනුව ISIS නායකයා ඉන්නෙත් ඇමෙරිකන් හමුදා කඳවුරක් ඇතුළෙයි. ඒ තමන් භාරයේ ඉන්න ISIS නායකයා ලවායි දින 02 කට පසුව ’ශ්‍රී ලංකාවේ මරාගෙන මැරෙන ප්‍රහාරය අපේ වැඩක්’ කියලා කියවාගන්නේ. ඉන් පසුවයි ‘මේක ජාත්‍යන්තර ත්‍රස්තවාදයක්’ කියා හංවඩුව ගහන්නේ. එතැනින් එහාට ජාත්‍යන්තර සහාය උවමනා වෙනවා. FBI- CIA රිංගනවා. දැන් ලේක්හවුස් ආයතනයේ සන්ඬේ ඔබ්සවර් පුවත්පතේ අමෙරිකානු ජාතික කාන්තාවන් දෙදෙනකු මාධ්‍යවේදිනියන් ලෙස වැඩ කරනවා. ඒ විතරක් නෙවෙයි නීතිපති දෙපාර්තමේන්තුව තුළත් ඇමෙරිකානු මැදිහත්වීම තිබෙනවා. මැතිවරණ කොමිසමේ පරිගණක අංශය භාරව ඇමෙරිකාවෙන් පඩි ලබන අයෙක් සේවය කරනවා. දැන් අමෙරිකානුවන් ඔවුන්ගේ න්‍යාය පත්‍රයට උවමනා ලෙස මේ රට ක්‍රමක්‍රමයෙන් ග්‍රහණයට ගනිමින් සිටිනවා.

මහා නායක හිමිවරුන්ගේ, කාදිනල්තුමන්ගේ මැදිහත්වීම නිසා ඇමෙරිකාව බලාපොරොත්තු වුණු ‘මරාගැනිල්ල’ හරහා හදිසි තත්වය ඇති වුණේ නැහැ. නමුත් මතක තබා ගන්න සහරාන්ලා වැනි මෝඩයන් 07-08 දෙනකු හිටියොත් මේ ඇමෙරිකාවට අවශ්‍ය ‘මරාගැනිල්ල – හදිසි තත්වය’ ඇති කළ හැකියි. ඒ නිසා අවදානම තාමත් පහව ගිහින් නැහැ.

‘දියාගෝ ගාර්සියා අතහැර යන තැන’

ඇමෙරිකාව තමන්ගේ න්‍යාය පත්‍රය කෙසේ හෝ ක්‍රියාත්මක කරාවි. මීට ඉහතදී ශ්‍රී ලංකාවට පැමිණි ඇමෙරිකානු නාවික හමුදා ප්‍රධානියකු කියනවා ‘යුද උපායමාර්ගික වශයෙන් වැදගත්ම අංක 01, අංක 02, අංක 03, යන සියලු ස්ථානවලට වැටෙන්නේ පිහිටීම’ කියා. ශ්‍රී ලංකාව ඉතා වැදගත් හා මනරම් ස්ථානයක පිහිටා තිබෙනවා. මධ්‍යම ආසියාව, මධ්‍යම අප්‍රිකාව හා දකුණු ආසියාව යන කලාප තුනටම නාභිගත වී තිබෙන එකම රට ශ්‍රී ලංකාවයි. දියාගෝ ගාර්සියා කඳවුර අතහැරලා ඇමෙරිකාව එන්න හිතන තැන ත්‍රිකුණාමලයයි.

‘පූර්ව කොන්දේසිය’

ඇමෙරිකානු උපායමාර්ගය පැරදවීමේ පූර්ව කොන්දේසිය තමයි ඉහත කී ‘මරාගෙන මැරෙන පිස්සා’ හදන වහාබ් අන්තවාදය මේ මව් පොළොවෙන් අතුගා දැමීම. ඒ මතවාදය මේ මව් පොළොවෙන් අතුගා දැමීම. ඒ මතවාදය ඔළුවට ගියාම දොස්තර වුණත් වෙද නලාව දමා ගෙන ‘ගර්භාෂ යුද්ධය’ කරනවා. ඒ වගේම මේ වහාබ් අන්තවාදය අතුගා දමන්න බැහැ, ඊට රාජ්‍ය අනුග්‍රහය ලබා දෙන මුස්ලිම් දේශපාලනඥයන්ගේ ප්‍රාණඇපයට හසුවුණු ආණ්ඩුවක් හදලා. ඒ නිසා ඒ වහාබ් අන්තවාදයට උඩගෙඩි දෙන දේශපාලනඥයන්ගේ ප්‍රාණඇපයට හසු නොවූ නව පාලනයක් අද මුළුමහත් ජාතියම ඉල්ලා සිටිනවා. ඒ නව පාලනතන්ත්‍රය බිහි කිරීමේ දිසාවට මේ රට රැගෙන යාමේ වගකීමයි අපේ උරමත පැටවී තිබෙන්නේ”

අනුරුද්ධ බණ්ඩාර රණවාරණ
මාධ්‍ය ලේකම්
ජාතික නිදහස් පෙරමුණ

***************************************

ඇමෙරිකානු ආක්‍රමණයට එරෙහිව පළමු ජය ලැබේ…

(30.07.2019 – 10:00 +0530 – lankacnews.com)

පිවිතුරු හෙළ උරුමයේ මාධ්‍ය හමුවේ දී එම පක්ෂ නායක නීතිඥ උදය ගම්මන්පිල මහතා මෙම අදහස් පල කලේය :

“ශ්‍රී ලංකාව දෙපළු කරගෙන කොළඹ සිට ත්‍රිකුණාමලය දක්වා ඉදි වෙන ඇමෙරිකානු ආරථික කොරිඩෝව සඳහා අක්කර ලක්ෂ ගණනක් අවශ්‍ය වෙනවා. මේ ඉඩම් ඇමෙරිකාව විසින් ගොවින්ගෙන් මිළ දී ගැනීමේ යටි අරමුණෙන් තමයි බලපත්‍රලාභින් විධියට ඉඩම් භුක්ති විඳින අයට සින්නක්කර ඔප්පු ලබා දෙන්න තීරණය කලේ. ඒ සඳහා ඉඩම් සංර්වධන (විශේෂ විධිවිධාන) පනත පාරලිමේන්තුවට ඉදිරිපත් කලේ. අපි මේ පනත ශ්‍රේෂ්ඨාධිකරණයේ අභියෝගයට ලක් කරන්න කටයුතු කරන විට ජනතාවට ඉඩම් අයිතිය ලබා දීමට විරුද්ධ වුණොත් ජනතාව පාරට බහින්න ඉඩ තිබෙන බව සමහරු අපට කිව්වා. ජනතාව සමග පාරට බහින බවට අගමැති ර්තජනය කලා. නමුත් රට වෙනුවෙන් ජනතාව මා සමග තරහා වීමේ අවදානම ගන්න අපි තීරණය කළා.

ඉඩම් පලාත් සභා විෂයක් නිසා පලාත් සභා වලට ඉදිරිපත් නොකර පාරලිමේන්තුවට ඉදිරිපත් කිරීම වැරදි බවට අපි ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ ර්තක කළා. අපේ තර්තක පිලිගනිමින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට පෙර පනත පලාත් සභා වලට ඉදිරිපත් කළ යුතු බවට ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කර තිබෙනවා. 2012 දී දිවි නැගුම පනත් කෙටුම්පත පිළිබඳ ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවේ දී අපූරු දෙයක් කියනවා. ඒ තමයි පලාත් සභාව විසුරුවා ඇත්නම් පලාත් සභාව වෙනුවෙන් ආණ්ඩුකාරවරයාට අත්සන් තබන්න බෑ. ඒ නිසා පලාත් සභා වල එකඟතාවය ගත නොහැකි නම් පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බහුතර ඡන්දයෙන් අනුමත විය යුතුයි.

මේ අනුව ඉඩම් සංර්වධන (විශේෂ විධිවිධාන) පනත නීතියක් වීමට නම් පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකේ බහුතර බලයෙන් සම්මත විය යුතුයි. මේ ආණ්ඩුව තුනෙන් දෙක තියා සාමාන්‍ය බහුතරය හදාගන්නෙත් බොහොම අමාරුවෙන්. වත්මන් ආණ්ඩුවට තුනෙන් දෙකේ බහුතරය ලබා ගැනීම සිහිනයක් පමණි. ඒ නිසා මේ ආණ්ඩුව ගෙදර යන තුරුම මේ පනත සම්මත කර ගන්න ලැබෙන්නේ නෑ. ඒ සමගම ලංකාවේ ඉඩම් අත්පත් කරගෙන ආරථික කොරිඩෝවක් ඉදි කිරීමත් ඇමෙරිකාවේ සැබෑ නොවන සිහිනයක් වනු ඇති. ඇමෙරිකානු ආක්‍රමණයට එරෙහිව දේශප්‍රේමි බලවේග ලැබූ කුළුඳුල් ජයග්‍රහණය ලෙස මේක දක්වන්න පුළුවන්.

මේ ජයග්‍රහණයට පාර කැපූ මුදල් අය කිරීමකින් තොරව කටයුතු කල ජනාධිපති නීතිඥ මනෝහර ද සිල්වා ඇතුළු අපේ නීතිඥ මඩුල්ලට ජාතිය බේරා ගැනීම පිළිබඳ අපේ ප්‍රණාමය පුද කරනවා.

– අරවින්ද අතුකෝරල

***************************************

මුස්ලිම් කාති උසාවි ගැන තවත් හෙළිදරව්වක්

(29.07.2019 – 19:18 +0530 – sinhala.adaderana.lk)

කාති උසාවි මඟින් මුස්ලිම් කාන්තාවන්ට දැඩිව අසාධාරණකම් සිදුවන බවට මුස්ලිම් කාන්තාවන් කිහිපදෙනෙකුම පසුගිය දිනවල ප්‍රසිද්ධ මාධ්‍ය හමුවේ කරුණු හෙළි කළේය.

දෙරණ ප්‍රධාන කාර්යාලය වෙත අද (29) පැමිණි තවත් මුස්ලිම් කාන්තාවන් දෙදෙනෙකු අනාවරණ කර සිටියේ කාති උසාවිවල නඩු විමසීමේදී කාන්තාවන්ට නින්දා සහගත අයුරින් සළකන බවයි.

මුස්ලිම් විවාහ කටයුතුවලට අදාළව නීතිය ක්‍රියාත්මක කරන කාති උසාවියෙන් සහ ප්‍රදේශයේ පල්ලියෙන් තමාට අසාධාරණකම් සිදුවූ බවට චෝදනා කරමින් පළමුවෙන්ම මාධ්‍ය හමුවේ කරුණු අනාවරණ කළේ බණ්ඩාරගම අටලුගම ප්‍රදේශයේ මුස්ලිම් කාන්තාවක්.

ඉන් අනතුරුව මාලිගාවත්ත සහ ඌව පරණගම බෝවෙල ප්‍රදේශවල කාන්තාවන් දෙදෙනෙකු සිය දික්කසාද නඩු කටයුකුවලදී කාති උසාවිය අසාධාරණ අයුරින් ක්‍රියා කළ බවට චෝදනා කළේය.

එසේම 15 හැවිරිදි තම දියණියව ඇයව අපයෝජනය කළ පුද්ගලයාටම විවාහ කර දීමට කාති උසාවිය කටයුතු කළ බවටත් මහනුවර පුද්ගලයෙකු මාධ්‍ය හමුවකදී චෝදනා කර සිටියේය.

මෙවන් වාතාවරණයක කොළඹ අලුත්කඩේ ප්‍රදේශයේ පදිංචි මුස්ලිම් කතුන් දෙදෙනෙකු දෙරණ ප්‍රධාන කාර්යාලය වෙත පැමිණියේ තවත් එවැනිම අවනඩුවක් පිළිබඳව කරුණු අනාවරණය කිරීමටයි.

ඔවුන් කියා සිටියේ කාති උසාවි කාන්තාවන්ට එරෙහිව නින්දා සහගත අයුරින් ක්‍රියා කරන බවයි.

***************************************

ත‍්‍රස්තවාදයට අනුබල දුන් අයට යළි ඇමතිකම් දුන්නා – ජානිපෙ ප‍්‍රචාරක ලේකම් මොහොමඩ් මුසම්මිල්

(30.07.2019 – 13:46 +0530 – sinhala.adaderana.lk)

වහාබ්වාදය නැමැති දෘෂ්ටිමය ත‍්‍රස්තවාදය මැඩලීමට කිසිදු පියවරක් නොගෙන, ඊට අනුබල දුන් බවට ඉතා බරපතළ චෝදනා එල්ල වූ මුස්ලිම් දේශපාලනඥයන්ට යළි ඇමති ධුර ලබා දීමට වත්මන් ආණ්ඩුව කටයුතු කර ඇතැයි ජානිපෙ ප‍්‍රචාරක ලේකම් මොහොමඩ් මුසම්මිල් මහතා පෙන්වා දෙයි.

වහාබ්වාදය නැමැති දෘෂ්ටිමය ත‍්‍රස්තවාදයට මරාගෙන මැරෙන ත‍්‍රස්තවාදීන් බිහි කිරීමට විශාල හැකියාවක් ඇති බවත් එය ශ‍්‍රී ලංකාව තුළ බරපතළ ලෙස ව්‍යාප්ත වන විධික‍්‍රම රැසක් ඇති බවත් පසුගිය අපේ‍්‍රල් 21 වැනිදා ත‍්‍රස්ත ප‍්‍රහාරයත් සමඟ රට හමුවේ අනාවරණය වූ බවත් මෙහිදී මුසම්මිල් මහතා වැඩිදුරටත් පෙන්වා දුන්නේය.

වහාබ්වාදී ත‍්‍රස්තවාදය ව්‍යාප්ත වන කරුණු ඇතුළත් මුස්ලිම් පාසල්වල විෂය නිර්දේශයන් ඉවත් කිරීම, මද්‍රසා පාසල් හා ඒවායේ විෂය නිර්දේශයන් නියාමනය, ශ‍්‍රී ලංකාවට හොර රහසේ පැමිණ මද්‍රසා පාසල්වල උගන්වන විදේශීය පූජකයන් පිටුවහල් කිරීම ආදී කිසිදු පියවරක් මේ ආණ්ඩුව ගොවී ගිය මාස තුන තුළ නොගත් බවට ද ඒ මහතා චෝදනා කළේය.

මුස්ලිම් විවාහ නීතිය හා කාති උසාවිවල නඩු තීන්දු සම්බන්ධයෙන් වන ගැටළුකාරී තත්වයන් ද විමසා බලා නිසි පියවර ගැනීමට වත්මන් පාලකයන්ට කිසිදු උවමනාවක් නැති බවත් ඉහත නීතිමය වාතාවරණය ද වහාබ්වාදයෙහි මූලධර්මවලට රැකවරණය ලබා දෙන බවත් මුසම්මිල් මහතා සඳහන් කළේය.

මුස්ලිම් ජන සමාජය තුළ ඔඩුදුවා ඇති මේ දෘෂ්ටිවාදය ත‍්‍රස්තවාදය වැළැක්වීමට කිසිදු පියවරක් නොගත් මේ ආණ්ඩුව චෝදනාවන්ට ලක්වූවන්ට යළි ඇමති ධුර ලබාදීම නම් නිසි කලට සිදු කළ බවත් මෙය අගමැති රනිල් හා චෝදනාවන්ට ලක්වූ ඇමතිවරුන් එක්ව රඟ දැක්වූ නාටකයක් බවත් ජානිපෙ ප‍්‍රචාරක ලේකම්වරයා වැඩිදුරටත් සඳහන් කළේය.

‘ගර්භාෂ යුද්ධයක’ නිරත වූ වෛද්‍ය සාෆි සහබ්දීන්ට ඇප ලැබී කුරුණැගල රෝහලේ අධ්‍යක්ෂවරයා ඇතුළු කාර්ය මණ්ඩලයට චෝදනා එල්ල වී ඇති බවත් කටුවාපිටිය, කොච්චිකඬේ, මඩකලපුව දේවස්ථානවල සහ තරු හෝටල්වල මියගිය පිරිස් චූදිතයන් වී චෝදනා එල්ල වූ ඇමතිවරුන්ට යළි ඇමතිකම් ලැබී ඇති බවත් එළඹෙන මැතිවරණයේදී මේවාට ජනතාව නිසි පිළිතුරු සැපයිය යුතු බවත් මුසම්මිල් මහතා අවධාරණය කළේය ෴

+++++++++++++++++++++

+++++++++++++++++++++

***************************************

30.07.2019

***************************************

සයිටම් උපාධිධාරීන් ලියාපදිංචි කරන්න ශ්‍රේෂ්ඨාධිකරණයෙන් වෛද්‍ය සභාවට නියෝගයක්

(30.07.2019 – 11:41 +0530 – sinhala.adaderana.lk)

ශ්‍රී ලංකා වෛද්‍ය සභාව හිතාමතාම තමන්ම ලියාපදිංචි කිරීම ප්‍රතික්ෂේප කරමින් සිටින බවට චෝදනා කරමින් සයිටම් උපාධිධාරීන් මෙම පෙත්සම ඉදිරිපත් කර තිබුණි.

මේ පිළිබඳව විභාගය පැවැත්වූ ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල සඳහන් කර සිටියේ පෙත්සම්කරුවන් වෛද්‍ය වෘත්තිය සඳහා ලියාපදිංචි නොකිරීම තුළින් ශ්‍රී ලංකා වෛද්‍ය සභාව මූලික අයිතීන් උල්ලංඝනයක් සිදු කර ඇති බවයි.

මීට අදාළව බුවනෙක අලුවිහාරේ සහ දෙහිදෙනිය යන විනිසුරුවරුන්ගේ එකඟත්වය මත තීන්දුව ප්‍රකාශයට පත් කළ විනිසුරු ප්‍රීති පද්මන් සූරසේන මහතා ප්‍රකාශ කර සිටියේ ශ්‍රී ලංකා වෛද්‍ය සභාව පෙත්සම්කරුවන්ව වෛද්‍ය වෘත්තිකයින් වශයෙන් ලියාපදිංචි නොකිරීම තුළින් ඔවුන්ගේ මූලික අයිතීන් උල්ලංඝනයක් සිදුකර ඇති බවයි.

ශ්‍රී ලංකා වෛද්‍ය සභා පනතට අනුව ඔවුන්ට එසේ කටයුතු කිරීමට හැකියාවක් නොමැති බව පෙන්වා දුන් විනිසුරු සුරසේන මහතා අදාල සිසුන් ලියාපදිංචි කරන ලෙස මීට පෙර භියාචනය අධිකරණය මෙන්ම ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ද නියෝග නිකුත් කර තිබූ බව සිහිපත් කළේය.

ඒ අනුව ඔවුන්ව සති තුනක් ඇතුළත වෛද්‍ය වෘත්තිකයන් වශයෙන් ලියාපදිංචි කිරීමට පියවර ගන්නා ලෙස නියෝග කළ ‍ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල පෙත්සම්කරුවන්ට නඩු ගාස්තු වශයෙන් රුපියල් ලක්ෂ දෙක බැගින් ගෙවන ලෙසද එම සභාවට කළ නියෝගය වැඩිදුරටත් සඳහන් වුණි.

මෙම නඩු තීන්දුව හරහා සයිටම් ආයතනයෙන් වෛද්‍ය උපාධිය ලබාගත් සිසුන් අසූ දෙදෙනෙකුට වෛද්‍ය වෘත්තිකයින් වශයෙන් ලියාපදිංචි වීමට අවස්ථාව සැලසෙන බවද ඔවුන්ගේ නීතිඥවරුන් ප්‍රකාශ කරයි ෴

***************************************

අද (30) මධ්‍යම රාත්‍රියෙන් පසු උසස් පෙළ උපකාරක පන්ති තහනම්

(30.07.2019 – 07:44 +0530 – hirunews.lk/sinhala)

එළඹෙන අගෝස්තු මස 5 වන දා සිට ආරම්භවීමට නියමිත උසස් පෙළ විභාගය සඳහා සියළුම කටයුතු මේ වන විට සූදානම් කර අවසන් බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා.

මෙවර උසස් පෙළ විභාගය සඳහා අයදුම්කරුවන් තුන්ලක්ෂ 37,704 දෙනෙකු විභාග මධ්‍යස්ථාන 2678 කදී පෙනී සිටීමට නියමිතයි.

මේ අතර, විභාග කොමසාරිස් ජනරාල් සනත් පූජිත හිරු ප්‍රවෘත්ති අංශයට සඳහන් කළේ ප්‍රධාන විභාග පැවැත්වීමේදී සිසුන් විසින් සිදුකරන වංචනික ක්‍රියාවල පහළ යාමක් පසුගිය කාලසීමාව තුළ පෙන්නුම් කර ඇති බවයි.

මේ අතර, මෙවර අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය ඉලක්ක කරගෙන දේශන, සම්මන්ත්‍රණ හා උපකාරක පන්ති පැවැත්වීම අද (30) මධ්‍යම රාත්‍රියේ සිට තහනම් වන බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා.

එමෙන්ම 5 වන ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගය සඳහා සියළු උපකාරක පන්ති සහ දේශන පැවැත්වීම ද හෙට (31) මධ්‍යම රාත්‍රියේ සිට තහනම් වනවා.

එම තහනම අදාළ විභාග අවසන් වන තෙක් බල පැවැත්වෙන බවයි විභාග දෙපාර්තමේන්තුව සඳහන් කළේ ෴

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *