හිරු CIA අනාවරණයෙන් පසු පොලිස් නිලධාරීන්ට නවාතැනක්

(27.07.2019 – 22:42 +0530 – hirunews.lk/sinhala)

බස්නාහිර පළාත් දකුණ දිසා රථවාහන කොට්ඨාසයේ නිලධාරීන්ට නිසි පහසුකම් නොමැති ස්ථානයක නවාතැන් ලබාදී ඇති අයුරු හිරු සී.අයි.ඒ. හරහා අප පසුගියදා හෙළිකළා.

එම අනාවරණය අනුව වැඩබලන පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න මහතාගේ මැදිහත්වීම මත පහසුකම් සහිත නව නවාතැන්පළකට එම නිලධාරීන් යොමු කිරීමට පොලිසිය ක්‍රියාත්මක වි තිබෙනවා.

හිරු සී.අයි.ඒ. හරහා අප පසුගිය 24 වෙනිදා අනාවරණය කලේ වර්තමාන වැඩබලන පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න මහතාගේ සංකල්පයකට අනුව අළුතින් ස්ථාපිත කළ බස්නාහිර පළාත් දකුණු දිසා රථවාහන කොට්ඨාශය පිළිබදවයි.

කොළඹ ප්‍රදේශයේ පවතින අධික රථවාහන තදබදයට විසදුමක් සෙවීම සදහා මෙම නව ඒකකය ස්ථාපිත කෙරුණු අතර ඊට දිවයිනේ විවිධ පොලිස් ස්ථානවලින් නිලධාරීන් කැදවා තිබුනා.

එම නිලධාරීන්ට නවාතැන් ලබාදී තිබුනේ මිරිහාන 119 පොලිස් හදිසි ඇමතුම් ඒකකයට යාබද කිසිදු පහසුකමක් නොමැති ගොඩනැගිල්ලක් තුලයි.

‍හිරු සී.අයි.ඒ. හරහා සිදුකළ මෙම අනාවරණයත් සමග වැඩබලන පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න මහතාගේ අවධානය ඒ පිළිබද යොමු වී තිබෙනවා.

***************************************

ව්‍යාජ පිස්තෝල පෙන්වා නිවසකට ඇතුලුවූ දෙදෙනෙකු රන් භාණ්ඩ කොල්ලකා පළා යයි

(27.07.2019 – 23:27 +0530 – hirunews.lk/sinhala)

ව්‍යාජ පිස්තෝල පෙන්වා නිවසකට ඇතුළු වී රන් භාණ්ඩ කොල්ලකෑමේ සිද්ධියක් කඩුවෙලල පහළ බෝමිරිය ප්‍රදේශයෙන් වාර්තාවනවා.

පොලිසිය පැවසුවේ සිද්ධියට සම්බන්ධ කොල්ලකරුවන් මේ වන විට හඳුනාගෙන ඇති බවයි.

කඩුවෙලල පහළ බෝමිරිය ප්‍රදේශයේ නිවසකට කොල්ලකරුවන් දෙදෙනෙකු යතුරු පැදි හිස්වැසුම් පැළඳ ඇතුළු වන්නේ ඊයේ පස්වරු 6 ට පමණ.

ඔවුන් පිස්තෝල පෙන්වමින් නිවැසියන් බිය ගන්වා රන් භාණ්ඩ කොල්ලකන ආකාරය නිවසේ සවිකර තිබූ ආරක්ෂක කැමරාවක සටහන් වී තිබෙනවා.

නවගමුව පොලිසිය සඳහන් කළේ අදාළ කොල්ලකරුවන් රැගෙන පැමිණි ආයුධ ව්‍යාජ පිස්තෝල බවයි.

එමෙන්ම අදාළ සැකකරුවන් මේ වන විට හඳුනාගෙන තිබෙනවා.

***************************************

දරුවන් 4 දෙනා පරිවාසයට දෙන්නැයි ගමේ බල්ලන් සහ සමෘද්ධි බල්ලා කියයි

(27.07.2019 – 22:46 +0530 – hirunews.lk/sinhala)

දරුවන් 4 කට ජීවය දුන් මව අසරණ වෙලා

දෙමව්පියන්ගේ ලෝකේ එකම සැනසීම තමන්ගේ දරුවන්.

ඒ කෙසේ වෙතත් දෙමාපියන්ට දරුවනුත් දරුවන්ට දෙමාපියනුත් අහිමිවීමට යන පුවතක් අපට වාර්තා වුණේ බණ්ඩාරවෙල බැද්දෙඅරාව ප්‍රදේශයෙන්.

බණ්ඩාරවෙල බැද්දේආරාව ප්‍රදේශයේ පදිංචි රත්නායක මුදියන්සේලාගේ සුජීවා ප්‍රියන්ති, දරුවන් සිවුදෙනෙකුට උප්පත්තිය දුන්නු මේ අම්ම අද අසරණ වෙලා.

ඒ තමන් ආදරයෙන් වදාපු දරුවන් සිව්දෙනා පරිවසේට භාරදෙන්න කියල ගම්මුන් වගේම ප්‍රදේශයේ සමෘද්ධි නිලධාරියා විසින් එල්ල කරන චෝදනා හේතුවෙන්.

***************************************

28.07.2019

***************************************

ලංකාවේ දේශපාලනයට මැදිහත් වෙන්න විදේශීය රටවලට අයිතියක් නෑ – මහින්ද රාජපක්ෂ

(28.07.2019 – 14:26 +0530 – lankadeepa.lk)

ලංකාවේ දේශපාලන සහ අභ්‍යන්තර කටයුතුවලට මැදිහත් වෙන්න විදේශීය රටවලට කිසිදු අයිතියක් නැතැයි විපක්ෂනායක මහින්ද රාජපක්ෂ මහතා අද (28) තංගල්ල කාර්ල්ටන් නිවෙසේ දී පැවසීය.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා මෙසේ පැවසුයේ අද (28) තංගල්ල කාර්ල්ටන් නිවසේදී පැවැති “පවුර අත්වැල” සම්මන්ත්‍රණයට සහභාගී වෙමිනි.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මහින්ද රාජපක්ෂ මහතා මෙසේද කීය :

රටේ විනය ආරක්ෂා කළ හැකි නායකයෝ පත්විය යුතුයි. මැතිවරණය අපි ජයග්‍රහණය කළ යුතුයි. නැත්නම් වෙන්නේ රට ජාතිය විනාශ වන එක. පසුගිය මැතිවරණයේ දී මාව පරදවන්න විදේශීය රටවල් කළ සේවය දන්නවා. එයාලාත් මෙවර ක්‍රියාත්මක වෙන්න පුළුවන්. පසුගිය මැතිවරණයට වඩා එය අඩුවේවි යැයි අපි සිතනවා. විදේශික රටවල්වලට කිසි අයිතියක් නැහැ අපේ රටේ දේශපාලන සහ අභ්‍යන්තර කටයුතුවලට මැදිහත් වෙන්න. අපි ඔවුන්ගෙන් ඉල්ලනවා එහෙම මැදිහත් වෙන්න එපා කියලා. මේ රටේ ජනතාවට එය කරන්න ඉඩ දෙන්න. අපිට කොයි රටත් එකයි. අපි සියලු රටවල් එක්ක වැඩ කටයුතු කරන්නේ මිත්‍රත්වයෙන්.

අපි දැන් මැතිවරණයකට බොහොම කිට්ටුයි. එකක් ජනාධිපතිවරණය. ජනාධිපතිවරණය පස්සට දාන්න නොයෙක් අයගේ නොයෙක් උපක්‍රම තිබෙනවා. ව්‍යවස්ථාවේ බොහොම පැහැදිලිව තිබෙනවා නියමිත දවසේ නියමිත මැතිවරණය පවත්වන්න ඕනෑ කියලා. පළාත් සභා මැතිවරණය පවත්වන්නැයි කතාවක් යනවා. ඒ සඳහා සමහරු යෝජනා ඉදිරිපත් කර තිබෙනවා. සමහර අයට ඕනෑ අපි යම්කිසි එකඟතාවට ආවොත් එය නැති කරන්නයි. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත් සන්ධානයත් අතර පවතින එකමුතුව නැති කරන්න බොහෝ කුමන්ත්‍රණ යනවා. නොයෙක් ආකාරයේ වැඩපිළිවෙළවල් සකස් කරමින් යනවා. අපේ අය අතර ගැටුම් ඇති කරන්නත් ඔවුන් උපක්‍රමශීලිව කටයුතු කරන්නත් ආරම්භ කර තිබෙනවා. මේ කාලයේ අපි පරිස්සම් වෙන්නට ඕනෑ. හැම දෙයකින්ම පරිස්සම් වෙලා අපි වේදිකාව හැසිරෙව්වොත් අපිට කිසි කරදරයක් නැතුව ජයග්‍රහණය කරන්නට පුළුවන්.

සෑම පත්තරේකම දිනපතාම පිටුවක් පුරා දැන්වීම් පළකරනවා ජනාධිපති අපේක්ෂකයෝ වෙන්න ඉන්න අය. මේ සඳහා යන දේශපාලන වියදම මහජන සල්ලිවලින් තමයි වියදම් කරන්නේ. ආණ්ඩුව වියදම් කරන සල්ලි කාගෙද. හැම දේකින්ම අය කරන බදුවලින් මේ අය අද පෞද්ගලික වුවමනාවන්වලට යොදාගන්නවා. මට කෑ ගැහුවා කටවුට් ගහනවා කියලා. මම ගහපු ඒවා වගේ සිය ගුණයක් ලොකු කටවුට් දැන් කොළඹ ගහනවා. අපි නම් කතා කරන්නේ නැහැ ඒ ගැන. අපි නිහඬව ඉන්නවා.

අද මිනිස්සු බයයි. එෆ්සීඅයිඩී එකට කව්ද අරගෙන ගියේ නැත්තේ. කම්කරුවාගේ සිට ඉහළම ව්‍යාපාරිකයා දක්වා ගියා. ඒ අය සද්ද නැතුව ගිහින් ඇවිත් අපිට ඇවිත් කියනවා. පසුගිය දවසක එක්කගෙන ගිහින් නගරාධිපති කිව්වා එයාගේ මස්සිනා එක්කගෙන ගිහිල්ලා කන පැලෙන්න ගහලා. සීඅයිඩීයට අවසරයක් තිබෙනවාද මිනිස්සුන්ට ගහන්න. පරීක්ෂණයක් නැහැ. පොලිසියටත් රටේ මිනිස්සුන්ගේ කන පැලෙන්න ගහන්න මේ ආණ්ඩුව අයිතිය ලබා දීලා තිබෙනවා නම් රටේ මිනිස්සුන්ගේ අනාගතයට මොකක්ද වෙන්නේ. ඒ අය මතක තියාගන්න ඕනෑ මේ ආණ්ඩුව තිබෙන්නේ තව මාස කිහිපයයි. එය ස්ථීරයි. රටේ ආරක්ෂක ඇමැතිවරයා ජනාධිපතිවරයායි. ඔහු මේ ගැන සොයා බලන්න ඕනෑ. අත්තනෝමතික විදියට වැඩ කරන්න නිලධාරීන්ට ඉඩ තියන්න පුළුවන්කමක් නැහැ. මගේ නඩුව කාලේ සීඅයිඩීය හොඳ රාජකාරියක් කළා. අද කරන්නේ දේශපාලන වුවමනාවන් ඉටු කිරීමයි ෴

+++++++++++++++++++++

28.07.2019

***************************************

අපේ ආණ්ඩුවෙන් ප්‍රහාරයෙන් තුවාල වු සෑම සිතක්ම සුවපත් කරනවා – උදය ගම්මන්පිල

(28.07.2019 – 21:43 +0530 – sinhala.adaderana.lk)

පාස්කු ප්‍රහාරයට වගකිව යුත්තන් හට ඉදිරියේදී පත් වන තම ආණ්ඩුවක් යටතේ ජනාධිපති කොමිසමක් මඟින් විමර්ශන සිදු කර නිසි දඬුවම් ලබා දෙන බව පිවිතුරු හෙළ උරුමයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා පවසයි. ඔහු මේ බව ප්‍රකාශ කළේ අද කුරුණෑගල පැවති ජන රැලියකදීයි.

එහිදී සිය අදහස් දක්වමින් ඒ මහතා මෙසේ පැවසීය :

“විවාහ නීතිය වෙනස් විය යුතුයි කිවුවාම අසාත් සාලි අපිට කියනවා එයාලගේ නීතිය එයාලා බලාගන්නවා කියලා.

  • මුස්ලිම්වරු ආවේ බිරින්දෑවරු අරන් නෙමෙයි. බැන්දෙ සිංහල අපේ අය.
  • එනිසා අපි කියනවා එක පිරිමියාට එක බිරිඳයි.
  • කසාද වයස අවු. 18 යි.
  • කාන්තාවට විවාහයට කැමැත්ත අවශ්‍යයි.
  • සාධාරණ හේතුවක් නැතුව දික්කසාද කරන්න බැහැ.
  • කාන්තාවන්ට වැඩ කරන්න අයිතිය තිබිය යුතුයි.
  • කාති උසාවියේ නීතිඥවරු හරහා කරුණු දක්වන්න අයිතිය තිබිය යුතුයි.
  • මුස්ලිම් සමාජය වහාබ් අන්තවාදයට යට වී අවසන්.
  • ආණ්ඩුවත් අන්තවාදයට යටවෙලා ඉවරයි.
  • මේ යන විදිහට කාදිනල්තුමායි කතෝලිකයොයි වැරදිකාරයෝ වෙනවා.

ඉදිරි මාස 4 තුළ පත්වන අපේ ආණ්ඩුවෙන් ස්වාධීන වු ජාතික කොමිසමක් පත් කරලා අපක්ෂපාතීව විමර්ශනයක් කරලා වැරදිකරුවන්ට නිසි දඬුවම් කරලා තුවාල වු හැම හිතක්ම සුවපත් කරනවා.”

+++++++++++++++++++++

අන්තාවදීන්ගේ ප්‍රාණ ඇපයට හසුවූ ආණ්ඩුවකින් අන්තවාදය අතුගා දමන්න බෑ

(28.07.2019 – 22:23 +0530 – sinhala.adaderana.lk)

මුස්ලිම් හා සිංහල ජාතින් අතර ගැටුම් ඇතිකිරීමෙන් අමෙරිකාවට මෙරට තුළ කඳවුරු බැඳීමට පහසු වන බව ජාතික නිදහස් පෙරමුණේ පා.ම විමල් වීරවංශ මහතා පවසයි.

ඔහු මේ බව ප්‍රකාශ කළේ අද කුරුණෑගල පැවති ජන රැලියකදීයි. වහබ් අන්තවාදයට එරෙහි ජනතා ව්‍යාපාරය විසින් පවත්වනු ලබන දෙවන ජනතා රැලිය කුරුණෑගල නව නගර ශාලාවේදී අද පැවැත්වුණි.

එහිදී සිය අදහස් දක්වමින් ඒ මහතා මෙසේ පැවසීය :

“මුස්ලිම් අයයි සිංහල අයයි මරාගන්න ලංකාවක් හැදුවොත් අමෙරිකාවට මේ රට සදාකාලිකවම තමන්ගේ මිලිටරි තිප්පල බවට පත් කර ගන්න පුළුවන්. එතෙන්ට තමයි මේ රට ඇදගෙන යන්නේ.

ඒ අමෙරිකානු වුවමනාව වළක්වන්න පූර්ව කොන්දේසිය තමයි මරාගෙන මැරෙන පිස්සා හදන වහබ් අන්තවාදය අතුගා දැමීම‍. ඒක මුලින් උපුටා දමන්න බෑ අන්තාවදීන්ගේ ප්‍රාණ ඇපයට හසුවූ ආණ්ඩුවකින්.

නව පාලනයක් ජාතිය ඉල්ලනවා.

අපේ දේශපාලන නායකයන් පොළඹවන්න ඕන වහබි අන්තාවාදයට උඩගෙඩි දෙන දේශාපාලනඥයින් බැහැර කරලා ආණ්ඩුවක් පිහිටුවන්න.”

+++++++++++++++++++++

+++++++++++++++++++++

+++++++++++++++++++++

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *