කොළඹ ප්‍රදේශ කිහිපයකට අද (25) රාත්‍රි 8 සිට පැය 14 ක ජල කප්පාදුවක්

(25.07.2019 – 13:53 +0530 – hirunews.lk/sinhala)

අඹතලේ ජල පවිත්‍රාගාරයේ සිට කොළොන්නාවට ජල සපයන ප්‍රධාන නල මාර්ගයේ අලුත්වැඩියාවක් හේතුවෙන් අද (25) රාත්‍රි 8 සිට හෙට පෙරවරු 10 දක්වා, පැය 14 ක කාලයක් කොළඹ ප්‍රදේශ කිහිපයකට ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලපවාහන මණ්ඩලය පවසනවා.

ඒ අනුව කොළොන්නාව නගර සභා බලප්‍රදේශය, මොරගස්මුල්ල, ඇතුල්කෝට්ටේ, ඔබේසේකරපුර, බණ්ඩාරනායකපුර සහ රාජගිරියේ සිට නාවල දක්වා ප්‍රධාන මාර්ගයේ ප්‍රදේශ වලට මෙලෙස ජල සැපයුම අත්හිටුවනු ඇති ෴

***************************************

ප්‍රහාරයට පෙර වැදගත් බුද්ධි තොරතුරු ගැන මාව දැනුවත් කර තිබුණේ නෑ

(25.07.2019 – 14:45 +0530 – sinhala.adaderana.lk)

පාස්කු ප්‍රහාරයට පෙර ඇතැම් වැදගත් බුද්ධි තොරතුරු පිළිබඳව තමා දැනුවත් කර නොතිබූ බව පොලිස් විශේෂ කාර්යය බලකා අණදෙන නිළධාරි ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති එම්.ආර් ලතීෆ් මහතා පවසයි.

ඔහු පවසන්නේ බුද්ධි තොරතුරක් පිළිබඳ ලිපිය තමාට ලැබුණු පසුව ඉන්දියානු මහකොමසාරිස් කාර්යාලයේ නිලධාරියෙකුට ඒ බව දැනුම් දුන් බවයි.

විශේෂ කාර්යය බලකාය ඉන්දියානු මහ කොමසාරිස් කාර්යාලයේ ආරක්ෂාව භාරව කටයුතු කළ හෙයින් එම පියවර ගත් බව ලතීෆ් මහතා කියා සිටියේය.

පාස්කු ඉරුදින ප්‍රහාරය සම්බන්ධයෙන් සොයා බලන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව හමුවේ සාක්ෂි ලාබාදෙමින් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති එම්.අර්. ලතීෆ් මහතා මේ බව පැවසුවේය.

ඔහු තවදුරටත් එහිදී කියා සිටියේ ඇතැම් බුද්ධි තොරතුරු පිළීබඳ තමා දැනුවත්ව නොසිටි බවයි.

අප්‍රේල 18 වනදා බුද්ධි ප්‍රධානීයා තමා අමතා අප්‍රේල් 16 වනදා සිද වූ පිපිරුම පිළිබඳව තමා දැනුවත් කළ අතර ඒ සම්බන්ධයෙන් තමා සතුව පැවැති තොරතුරු අප්‍රේල් 19 වනදා පොලිස්පතිවරයාට දැනුම් දුන් බවත් එහිදී සාක්ෂි දෙමින් ලතීෆ් මහතා පැවසුවේය.

+++++++++++++++++++++

+++++++++++++++++++++++++++++++++++

රාජ්‍ය බුද්ධි සේවය මගේ යටතේ නැති වුණත් ඉස්ලාම් අන්තවාදය ගැන උපදෙස් දුන්නා – හිටපු පොලිස්පති

(25.07.2019 – 15:37 +0530 – sinhala.adaderana.lk)

රාජ්‍ය බුද්ධි සේවය තමා යටතේ නැති වුවත් එහි වත්මන් අධ්‍යක්ෂවරයාට ඉස්ලාම් අන්තවාදය සම්බන්ධයෙන් තමා උපදෙස් ලබා දුන් බව හිටපු පොලිස්පති එන්.කේ.ඉලංගකෝන් මහතා පවසයි.

මීට සුළු වේලාවකට පෙර පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව හමුවේ සාක්ෂි දීම ආරම්භ කරමින් ඔහු මේ බව කියා සිටියේය.

2015 වසරේ අගබාගය වන විට අයි.එස් ත්‍රස්තවාදීන්ට එකතුවීමට පුද්ගලයින් 5 දෙනෙකු පවුලේ සාමාජිකයින් 34 වගේ පිරිසක් සිරියාවට ගොස් ඇති බව වාර්තා වු බව ද හිටපු පොලිස්පතිවරයා පැවසීය.

මෙම තොරතුරු නිතර ආරක්ෂක මණ්ඩලයේ සාකච්ඡා කළ බවත්, එහිදී මෙම තත්ත්වය පැහැදිලි කරමින් ඒ අවස්ථාවේ ගත යුතුව තිබු යම් යම් ක්‍රියාමාර්ග අනුගමනය කළ බව ද පැවසු ඉලංගකෝන් මහතා, මෙම තත්ත්වය බැරෑරැම් වීමත් සමඟ යම් යම් පියවර ගනු ලැබු බව ද කියා සිටියේය.

ඒ අනුව තමා යටතේ නොතිබුණත් රාජ්‍ය බුද්ධි සේවයේ අධ්‍යක්ෂවරයාට ඉස්ලාම් අන්තවාදය ගැන උපදෙස් ලබා දුන් බවත් එය ජාතික අවශ්‍යතාවයක් සේ තමා සැලකු බවත් හිටපු පොලිස්පතිවරයා මෙහිදී වැඩිදුරටත් පැවසීය.

***************************************

සම්බන්ධන්ලාගේ පටු ජාතිවාදී සමාජ බෙදුම්වාදයට විමල්ගෙන් අපූරු පිළිතුරක් …

(25.07.2019 – YouTube > Wimal Weerawansa)

***************************************

පොළොන්නරුවෙන් කිසිම දේශපාලන නායකයෙකුට මතුවෙන්න සිරිසේන පවුල ඉඩ තිබ්බේ නෑ

(25.07.2019 – 16:58 +0530 – sinhala.adaderana.lk)

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ සහෝදර ඩඩ්ලි සිරිසේන මහතා කළ ප්‍රකාශයක් සම්බන්ධයෙන් තමන් කළ අදහස් දැක්වීමක් හේතුවෙන් මේ වන විට තමන්ට මරණ තර්ජන වීම පිළිබඳව මේ වන තෙක් නීතිය ක්‍රියාත්මක නොවු බව පාර්ලිමේන්තු මන්ත්‍රී රෝෂාන් රණසිංහ මහතා පවසයි.

අද (25) පැවති මාධ්‍ය හමුවකදී සිය අදහස් දක්වමින් ඒ මහතා මේ බව ප්‍රකාශ කළේය.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් එ මහතා මෙසේ ප්‍රකාශ කළේය.

“ජනාධිපතිවරයාගේ සහෝදර ඩඩ්ලි සිරිසේන මහතා කළ ප්‍රකාශයක් සම්බන්ධයෙන් මම අදහස් දැක්වීමක් කළා.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ සහෝදර ඩඩ්ලි සිරිසේන මහතා පළාත් සභා මන්ත්‍රවරයෙක් සහ මගේ මාමා කෙනෙක් වන වෛද්‍යවරයෙක් හරහා මට මරණ තර්ජන එල්ල කරමින් තියෙනවා.

ඔහු මා මරා දමන බවට තර්ජනය කරනවා.

මේ සම්බන්ධයෙන් මම පොලීසියට පැමිණිලි කළා. පාර්ලිමේන්තුවේදී වරප්‍රසාද ප්‍රශ්නයක් නැගුවා.

නමුත් තවමත් පොලීසිය ක්‍රියාත්මක වෙන්නේ නැහැ.

පොළොන්නරුව පොලීසිය හැසිරෙන්නේ සිරිසේන පවුලේ ආයතනයක් විදිහට.

අපිට බොරු චෝදනා එල්ල කරමින් අපිව පොලීසියටත් උසාවියටත් ගෙනියනවා.

පොළොන්නරුව මූලස්ථාන පොලිස් පරීක්ෂකවරයා පැමිණිලි විමර්ශනය් කරන්නේ නැහැ.

මට මරණ තර්ජනය කිරීමත්, මගේ දේපළ හානි කිරීමත් සම්බන්ධයෙන් පැමිණිලි කරලයි තියෙන්නේ.

මේ වන තෙක් කිසිඳු විමර්ශනයක් පවත්වා නැහැ. මේ සිද්ධි තවමත් අභිරහසක්.

පුරවැසියෙක් විදිහට ජනාධිපතිවරයාගේ අයට තියෙන අයිතිවාසිකම් මටත් තියනවා.

නමුත් මුදල් වෙනුවෙන් වැඩකරන අය සමාජ මාධ්‍යවල මටත්, මගේ චරිතයටත්, ව්‍යාපාර වලටත් හානිවන ප්‍රකාශ කරමින් තිඛෙනවා. අපිට දරුවෝ ඉන්නවා.

අපි සමාජයේ ජීවත් වුණු ක්‍රමයක් තියනවා.

පොළොන්නරුවේ මත් ද්‍රව්‍ය ව්‍යාප්ත වුණේ මේ ආණ්ඩුව බලයට පැමිණියාට පස්සේ.

සුදුපාට ඩිෆෙන්ඩරයක් නාම පුවරුව වහගෙන මට විරුද්ධව පෝස්ටර් අලවමින් තිබෙනවා.

නමුත් පොළොන්නරුව පොලීසිය නිහඬයි.

පොළොන්නරුව ජනාධිපතිවරයා නියෝජනය කරන දිස්ත්‍රික්කය නිසා පොළොන්නරුව පුරා අඩියෙන් අඩියට පොලීසිය බුද්ධි අංශ යොදවලා සිටිනවා.

පොලීසිය කැමරා පරීක්ෂා කළානම් මේ පෝස්ටර් අලවන අය අල්ලගන්න පුළුවන්.

නමුත් පොලිසිය ක්‍රියාත්මක වෙන්නේ නැහැ.

මූලස්ථාන පොලිස් පරීක්ෂකවරයෙක් එක පොලිස් ස්ථානයක සිටින්නේ වසර තුනක කාලයයි.

නමුත් මේ පොලිස් පරීක්ෂකවරයා වසර හයක් තිස්සේ පොළොන්නරුව පොලිසියේ සිටිනවා.

විධායක ජනාධිපතිවරයා විදියටත් ආරක්ෂක ඇමැතිවරයා විදිහට මේ වගේ පොලිසිය හැසිරවීමෙන් රටට මොකද වෙන්නේ.

පොළොන්නරුවෙන් කිසිම දේශපාලන නායකයෙකුට මතුවෙන්න සිරිසේන පවුල ඉඩ තිබ්බේ නැහැ.

රොෂාන් රණසිංහ කියන්නේ ඔවුන්ට විරුද්ධව නැගී සිටින දේශපාලනඥයෙකු බව දන්න ඔවුන්ට මාව කරදරයක් වෙලා.

අපි පොළොන්නරුවේ නව දේශපාලන වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන්න හදද්දී එය වළක්වන්න, මාව මරා දමන්න හෝ හිරේ දමන්නයි සූදානම් වන්නේ. එහෙම හෝ කරලා සිරිසෙන පවුලේ බලය රැක ගන්නයි උත්සාහ කරන්නෙ.

මේ අය බලය ඉන්නේ තව ටික දවසයි. මේ විදියට අසාධාරණකම් සිද්ධ වෙන්න ඉඩ දෙන්න බැහැ. ජනාධිපතිවරයාට හිමිවෙන විධායක බලය මේ විදිහට අවභාවිතා කරන්න සහෝදරයකුට පුළුවන්කමක් නැහැ.

සමාජ මාධ්‍ය ඔස්සේ මා අපහසුතාවයට පත් කරවන දේ පළ කරපු ගිණුම් හිමියන්, වෙබ් අඩවි ගැන මම පොලිසියට පැමිණිලි කලා.

නමුත් බී වාර්තාවක් හෝ නිකුත් නොකර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට යොමු කළ බව කියනවා.

මම මේ සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි කළ අවස්ථාවේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ සහෝදරයා මා මරා දැමීමට උත්සාහ කිරීම අපරාධ වරදක් නොවන බව මට දන්වා තිබුණේ.

නමුත් මම පොලිසියට කළ පැමිණිල්ලේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට යවලා.

මගේ වරප්‍රසාද කඩවීම සම්බන්ධයෙන් අදත් පාර්ලිමේන්තුවේදී කථානායක කරු ජයසූරිය මහතාට ලිඛිතව ලිපියක් භාර දෙනවා.”

***************************************

පැහැරගැනීමට ලක්වූ සිසුවියක් බේරාගත් හැටි – දර්ශන සහිතයි

(25.07.2019 – 20:38 +0530 – sinhala.adaderana.lk)

මහනුවර තල්වත්ත ප්‍රදේශයේදී වයස අවුරුදු 9 ක පාසල් දැරියක් පැහැරගැනීමට ලක්ව ඇති අතර ඇය බුද්ධිමත්ව කටයුතු කිරීමේ ප්‍රතිඵලයක් ලෙස ඔහුගෙන් බේරීමට හැකිවී තිබේ.

කෙසේ වෙතත් පැහැර ගත් පුද්ගලයා දින කිහිපයකට පසුව කොටු කර ගැනීමට පවුලේ සාමාජිකයින්ට හැකි වුණි.

මහනුවර තල්වත්ත ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 9 ක පාසල් දැරියක් කිසියම් පුද්ගලයෙකු විසින් පැහැරගෙන යන ආකාරයයි.

මහනුවර පෞද්ගලික පාසලක අධ්‍යාපනය හදාරන ඇය මේ සිද්ධියට මුහුණදී ඇත්තේ, බස් රථයෙන් බැස නිවසට යන අතරතුරදීයි.

මේ දරුවා රැගෙන විත් තිබුණේ, තලාතුඔය පොලිස් බල ප්‍රදේශය සඳහන් නාම පුවරුව අසළින් ඇති ප්‍රදේශටයි.

මෙම අඩිපාර මහවැලි ගඟට වැටී තිබේ.

පසුගියදා සිදුවූ මේ පැහැරගැනීම සම්බන්ධයෙන් පොලිසියට පැමිණිල්ලක් කර තිබූ නමුත් සැකකරු අල්ලා ගැනීමට හැකිවී නැති බව වාර්තා වෙයි.

සිසුවියගේ මව පවසන්නේ, තමා උපක්‍රමශීලීව සැකකරු කොටුකරගත් බවයි.

මෙලෙස පහරකෑමට ලක්වූ සැකකරු පසුව මහනුවර පොලීසිය විසින් අත්අඩංගුවට ගත්තේය.

https://www.youtube.com/watch?v=h485CDx8j8c#t=5

+++++++++++++++++++++

https://www.youtube.com/watch?v=X3jiUUD5U_g#t=5

***************************************

19 නරක් වෙයි කියලා හිතුවේ නෑ; දැන් ඉතාම නරකයි – ජයම්පති වික්‍රමරත්න

(25.07.2019 – 19:28 +0530 – sinhala.adaderana.lk)

19 වැනි සංශෝධනය නිසා රට ඉදිරියට ගමන් කිරීමට නොහැකි තත්ත්වයක් උදාවී ඇති බව එම සංශෝධනයේ නිර්මාතෘ ආචාර්ය ජයම්පති වික්‍රමරත්න මහතා පවසයි.

අද පාර්ලිමේන්තුවේදී ඒ මහතා මේ බව සඳහන් කළේය.

“19 සංශෝධනයේ සැර බාල කිරීම් නිසා ප්‍රශ්නයක් ඇතිවෙලා.

19 මෙතරම් නරක්වෙයි කියලා අපි හිතුවේ නැහැ.

ජනපති සහ අගමැති විරසක වුණොත් ඉතාම නරකයි.

2020 න් පසු ජනපතිගේ බලතල තව අඩුවෙනවා.

එම ධුරය දරණ ගමන් අමාත්‍යධුර දරන්න බැහැ.

අද තියෙන ජනපති බලතල ඉදිරියට තියෙනවා.

ජනපති මැදුරේ සිට පාර්ලිමේන්තුවට විරුද්ධව කෙරෙන කෙනෙහෙලිකම් 2020 න් පසුවත් කළ හැකියි.

ඊළඟ ජනපතිට ඉතිරි වෙලා තියෙන බලතල ඇති පාර්ලිමේන්තුවට කෙනෙහෙලිකම් කරන්න.

ජනපති පොරොන්දු වුණා විධායකය නැතිකරන්න.”

***************************************

ශරියා නීතියට අත තියන්න දෙන්නේ නැහැ – අසාද් සාලි

(25.07.2019 – 20:47 +0530 – hirunews.lk/sinhala)

ශරියා නීතියට අත තැබීමට කිසිවෙකුටත් ඉඩ නොදෙන බවට ජාතික සමගි පෙරමුණේ නායක අසාද් සාලි මහතා පවසනවා.

කොළඹදී අද පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී ඔහු මෙම අදහස් පලකළා.

***************************************

සහරාන් ගැන ඔත්තුවක් ලබාදුන් පුද්ගලයෙකුගෙන් විශේෂ හෙළිදරව්වක්

(25.07.2019 – 20:39 +0530 – hirunews.lk/sinhala)

පාස්කු ප්‍රහාරය මෙහෙයවූ බව කියන සහරාන් හෂීම් ඇතුළු පිරිසක් 2018 වසරේ නුවරඑළිය ප්‍රදේශයේ ආයුධ සන්නද්ධව රැඳී සිටියදී, ඒ පිළිබඳ තොරතුරු ලබාදුන්නත් පොලිසිය ඊට නිසි ක්‍රියාමාර්ග නොගත් බවට එම ප්‍රදේශයේ පුද්ගලයකු චෝදනා කරනවා.

හිරු ප්‍රවෘත්ති සමඟ විශේෂ හෙලිදරව්වක් සිදු කරමින් ඔහු සඳහන් කළේ, ඊට නිසි ක්‍රියාමාර්ග නොගැනීම පිළිබඳ පාස්කු ප්‍රහාරයෙන් පසුව අදාළ පොලිස් නිලධාරීන් කනගාටුව පලකළ බවයි.

2018 වසරේදී සහරාන් හෂීම් ඇතුළු පිරිසක් අවස්ථා දෙකකදී ආයුධ සන්නද්ධවල කුලී පදනම මත රැඳී සිට ඇත්තේ නුවරඑළිය ශාන්තිපුර ප්‍රදේශයේ නිවසේයි.

එය නිවාඩු නිකේතනයක් ලෙස පවත්වාගෙන යන ස්ථානයක් බවද පැවසෙනවා.

එහි ඇති වූ සිද්ධිය පිළිබඳ අදාළ පුද්ගලයා විස්තර කළා.

***************************************

පොහොට්ටුව හෙට හදන සන්ධානයට නිදහස් පක්ෂය නැහැ

(25.07.2019 – 19:40 +0530 – hirunews.lk/sinhala)

ඉදිරි ජනාධිපතිවරණය ඉලක්ක කර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හෙට අත්සන් තබන සන්ධාන ගත වීමේ ගිවිසුමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඇතුලත් නොවන බව පාර්ලිමේන්තු මන්ත්‍රී දිලූම් අමුණුගම මහතා පවසනවා.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ අද කැඳවා තිබූ මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව කියා සිටියා.

***************************************

දුර්ලභ සලබයෙක් රත්නපුරේ නිවසකට ඇවිත්

(24.07.2019 – 15:47 +0530 – lankadeepa.lk)

විශාල ප‍්‍රමාණයෙන් යුතු, දුර්ලභ, ඇට්ලස් මෝත් නම් වර්ගයේ සලබයෙකු රත්නපුර, බටුගෙදර සිය නිවසේ දොරෙහි වසා සිටියදී හමු වූ බව පරිසරවේදියෙකු වන අසිත ඉන්දික වීරවර්ධන මහතා අද (24) පැවසීය.

මෙම සලබයා ලංකාවේ වාසය කරන නමුත් සබරගමුවේ දි නිරීක්‍ෂණය වූ මුල් අවස්ථාව මෙය බවද, වියළි නිවර්තන වනාන්තර වාසය භූමිය කරගත් මෙම සලබයින් දකුණු, නැගෙනහිර සහ අග්නිදිග ආසියාවේ සිටින බවද ඒ මහතා කීය.

අසිත ඉන්දික මහතාගේ නිවසේ සිටි සලබයා දිගින් සෙන්ටි මීටර් 22 කි. තටුවල උස සෙන්ටිමීටර් 10 කි. සලබ දේහය සෙන්ටි මීටර් 1.5 කි. ඒ මහතාගේ නිවස ආසන්නයේ අංගම්මන රජයේ රක්‍ෂිතය පිහිටා ඇති බැවින් එහි සිට පියාඹා පැමිණෙන්නට ඇතැයි අනුමාන කරයි.

මෙම සලබයා දැක බලාගැනීමට රත්නපුර අතිරේක සහ සහකාර දිසාපතිවරුද, රත්නපුර ප‍්‍රදේශීය ලේකම්තුමිය ඇතුළු රාජ්‍ය නිලධාරීහුද, පරිසරවේදීහු, සාමාන්‍ය ජනතාවද විශාල පිරිසක් පැමිණෙමින් සිටිති.

මේ සම්බන්‍ධයෙන් වනජීවී දෙපාර්තමේන්තුවටඑ දැනුම්දී ඇති අතර, එම සලබයා අංගම්මන රක්‍ෂිතයට මුදාහැරීමට නියමිතව ඇත.

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *