ලිංගික අපචාරවලට ලක්වූ අහිංසක පොඩි හාමුදුරුවන් දෙනමක් රංජන්ගෙ ගෙදරටම වැඩමවලා, සාක්ෂි සහිතව පැමිණිලි කරලා..

(23.07.2019 – Ranjan Ramanayake FB)

https://www.facebook.com/real.rr/videos/470071243560989/

+++++++++++++++++++++++++++++++++++

https://www.youtube.com/watch?v=mM6QK0b2Ic8
25.07.2019

***************************************

උදය ගම්මන්පිල දූෂණ වංචා සොයන කොමිසමට සාක්ෂි දීමට යයි

(25.07.2019 – 08:08 +0530 – hirunews.lk/sinhala)

පිවිතුරු හෙළ උරුමයේ ප්‍රධාන ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා 2015/2018 වසරවල රාජ්‍ය ආයතනවල දූෂණ වංචා සෙවීමට පත්කළ ජනාධිපති විමර්ශන කොමිෂන් සභාව අද සාක්ෂි ලබාදීමට නියමිතයි.

ඒ, හිටපු අමාත්‍ය රිෂාඞ් බදියුදීන්ට එරෙහිව මන්නාරම දිස්ත්‍රික්කයේ අයථා ඉඩම් පවරා ගැනීමක් සම්බන්ධයෙන් වන පැමිණිල්ලට අදාළවයි.

එසේම අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම්ගේ ඡායාරූපය පෙළ පොත් සඳහා ඇතුළත් කිරීම සම්බන්ධයෙන් වන පැමිණිල්ල සම්බන්ධයෙන් මහාමාර්ග අමාත්‍යාංශයේ ලේකම් සුනිල් හෙට්ටිආරච්චි ද අද කොමිසම හමුවේ සාක්ෂි ලබා දීමට නියමිතයි.

මේ අතර මාලඹේ නෙවිල් ප්‍රනාන්දු රෝහලේ වත්කම් තවමත් රජයට පවරා ගෙන නොමැති බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ මූල්‍ය හා ගිණුම් අධ්‍යක්ෂ ජනරාල් හේමන්ත ස්වර්ණතිලක ඊයේ මෙම කොමිසම හමුවේ පිළිගත්තා.

ඒ, නිසි පවරා ගැනීමකින් තොරව මාලඹේ නෙවිල් ප්‍රනාන්දු රෝහල සඳහා රජයේ මුදල් වැය කිරීම සම්බන්ධ ඉදිරිපත්ව ඇති පැමිණිල්ලට අදාලව සාක්ෂි ලබාදෙමින් ෴

***************************************

මාවතගම සිසුවෙකු පාසලේදී වැටී මියයයි

(24.07.2019 – 19:12 +0530 – hirunews.lk/sinhala)

කුරුණෑගල – මාවතගම – ඩී.පී. විද්‍යාලයේ ඉගෙනුම ලැබූ පාසල් සිසුවෙකු පාසළ තුළදී හදිසියේ ඇදවැටී ජීවිතක්ෂයට පත්වීමේ පුවතක් හිරු ප්‍රවෘත්ති අංශයට වාර්තාවුණා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ ඔහු අද පෙරවරුවේ පාසලේ ක්‍රීඩා පිටියේ ක්‍රීඩා කරමින් සිටි අතරතුර එක්වරම ඇදවැටී මියගොස් ඇති බවයි.

මෙලෙස මියගොස් ඇත්තේ මාවතගම – ගලගෙදර ප්‍රදේශයේ පදිංචි 12 හැවිරිදි සිසුවෙක්.

ඔහුගේ දේහය මේ වනවිට මාවතගම රෝහලේ තැන්පත් කර තිබෙනවා.

සිසුවා මියයෑමට හේතුව නිශ්චිත හේතුව මෙතෙක් අනාවරණ වී නැහැ.

කෙසේ වෙතත් ක්‍රීඩා පිටියේ ඔහු ක්‍රීඩා කරන අතරතුර අවස්ථා කිහිපයකදී හති දමා නතර වන ආකාරය අසළ පිහිටි CCTV කැමරාවල සටහන් වී ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය වැඩිදුරටත් සඳහන් කළේ ෴

***************************************

කසළ ගෙන්වූ සමාගම බංකොලොත් – කන්ටේනර් ආපසු යැවීම ගැටළුවක්

(24.07.2019 – 19:02 +0530 – hirunews.lk/sinhala)

බ්‍රිතාන්‍යයේ සිට මෙරටට එවා ඇති කසළ කන්ටේනර් සම්බන්ධයෙන් එරට රජය විසින් විශේෂ විමර්ශනයක් ආරම්භ කර ඇති බව බ්‍රිතාන්‍ය ටෙලිග්‍රාෆ් පුවත්පත අනාවරණ කරනවා.

එම පුවත්පත සඳහන් කළේ අදාළ කන්ටේනර් යළි බ්‍රිතාන්‍යයට යවන බවට ශ්‍රී ලංකාව ප්‍රකාශ කිරීමත් සමඟ ඒ පිළිබඳව විශේෂ විමර්ශනයක් ආරම්භ කර ඇති බවයි.

මීට අමතරව ප්‍රතිචක්‍රීකරණය කරන බවට මෙරටට එවූ කසළ කන්ටේනර් තුළ තිබී මිනිස් ශරීර කොටස්ද හමුවී ඇති බවට බ්‍රිතාන්‍ය ටෙලිග්‍රාෆ් පුවත්පත අනාවරණ කරනවා.

මීට වසර දෙකකට පමණ පෙර ගෙන්වන ලද කසළ කන්ටේනර් 111 ක් තැන්පත් කර තිබූ කොළඹ වරායේ අංගනයකින් අධික දුර්ගන්ධයක් වහනය වීමත් සමඟ මෙම කන්ටේනර් තොගය පිළිබඳ තොරතුරු අනාවරණ වී ඇති බවයි එම පුවත්පත වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ.

කෙසේ වෙතත් මෙරටට ගෙන්වා ඇති කසළ බහළුම් යළි තම රටට රැගෙන යන ලෙසට බල කරමින් අද බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් කාර්යාලය ඉදිරිපිට විරෝධතාවක් පැවැත්වුණා.

එමෙන්ම කසළ තොග පිළිබඳව දැනුවත් කරමින් සන්දේශයක්ද බ්‍රිතාන්‍ය මහ ලේකම් කාර්යාලයට භාරදී තිබෙනවා.

සුරකිමු ශ්‍රී ලංකා සංවිධානයේ සභාපති පූජ්‍ය පාහියංගල ආනන්ද සාගර හිමියන්, බ්‍රිතාන්‍ය මහ ලේකම් කාර්යාලයේ කසළ සම්බන්ධයෙන් කටයුතු කරන විශේෂඥවරයාට අදාළ සන්දේශය භාරදී ඇති අතර, එහිදී ඔහු සඳහන් කර ඇත්තේ මේ සම්බන්ධයෙන් බ්‍රිතාන්‍යයෙන් විශේෂ පරීක්ෂණයක් සිදුකරන බවයි.

මේ අතර කටුනායක ආයෝජන ප්‍රවර්ධන කලාපයේ අදාළ කසළ තොග සහිත බහලුම් තැන්පත් කර ඇති ස්ථානයට ජාතික නිදහස් පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී ජයන්ත සමරවීර මහතා ඇතුලු පිරිසක් අද පැමිණියා.

ඔවුන් එහිදී එම බහලුම් විවෘත කොට ඒවායේ ඇති කසළ නිරීක්ෂණය කළා.

මේ අතර පාර්ලිමේන්තුවේ කර්මාන්ත පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේදී මෙලෙස රැගෙන විත් ඇත්තේ කසළ බවට ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය පිළිගත් බවයි එහි සාමාජික පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර ප්‍රියදර්ශන යාපා මහතා සඳහන් කළේ.

පාර්ලිමේන්තුවේදී මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් ඔහු කියා සිටියේ අදාළ කසළ තොගය ගෙන්වූ සමාගම මේ වනවිට බුන්වත් වී ඇති බවයි ෴

+++++++++++++++++++++

වරායේ රඳවාගත් කුණු කන්ටේනර්වලින් දැඩි දුර්ගන්ධයක්

(25.07.2019 – 10:35 +0530 – lankadeepa.lk)

එංගලන්තයෙන් ආනයනය කරන ලදුව රේගුව විසින් අත්අඩංගුවට ගෙන කොළඹ වරායේ සීඅයිසීටී පර්යන්තයේ රඳවා ඇති අපද්‍රව්‍ය අඩංගු කන්ටේනර්වලින් දැඩි දුර්ගන්ධයක් නිකුත්වන බව රේගු සහ වරාය නිලධාරීහු කියති.

වරාය සීඅයිසීටී පර්යන්තයේ රඳවා ඇති අපද්‍රව්‍ය අඩංගු කන්ටේනර් 132 න් 10 ක් රේගු පාරිභෝගික ආරක්ෂණ ඒකකය මගින් ඉකුත්දා විවෘත කර බැලූ බවත් ඒවායේ තිබී පාවිච්චියට නුසුදුසු මෙට්ට, කුරුලු පිහාටු, වැලි හා මඩ, කාපට්, ප්ලාස්ටික් හා පොලිතින් සොයාගත් බවත් රේගුව පවසයි.

පරික්ෂාවට ලක් කළ කන්ටේනර් 10 තුළ මිනිස් අවයව කිසිවක් නොතිබූ බව ද රේගුව පවසයි.

විශාල දුගඳක් නිකුත් වෙන මෙම අපද්‍රව්‍ය කන්ටේනර්වලින් ඇතැම් ඒවායින් දියර ගලන බව ද වාර්තා වේ.

2017 සැප්තැම්බර් සිට 2018 මාර්තු දක්වා වූ කසළ අඩංගු කන්ටේනර් 241 ක් එංගලන්තයෙන් මෙරටට ගෙන්වා ඇති බව රේගුව කීය ෴

+++++++++++++++++++++

බ්‍රිතාන්‍යයේ කසළවල මිනිස් ශරීර කොටස් තිබේද? රස පරීක්ෂක වාර්තාවක් කැඳවයි

(25.07.2019 – 12:44 +0530 – hirunews.lk/sinhala)

බ්‍රිතාන්‍යයෙන් මෙරටට රැගෙනවිත් ඇති කසළවල මිනිස් සිරුරු කොටස් ඇතුලු සායනික ද්‍රව්‍ය තිබේද යන්න සෙවීම සඳහා රස පරීක්ෂක දෙපාර්තමේන්තුවෙන් වාර්තාවක් කැඳවා තිබෙනවා.

මධ්‍යම පරිසර අධිකාරියේ අධ්‍යක්‍ෂ ජනරාල් හේමන්ත ජයසිංහ මහතා කියා සිටියේ මේ වනවිට කොළඹ වරායේ පවතින කසළ බහාලුම් තුළින් දැඩි දුර්ගන්ධයක් වහනය වන බවයි.

මෙට්ට සෑදීමට බව පවසමින් මෙලෙස ගෙන්වන ලද කසළ තොගයෙන් කොටසක් කටුනායක නිදහස් වෙළඳ කලාපයේ පෞද්ගලික සමාගමට අයත් භූමියක තැන්පත් කර තිබෙනවා.

මධ්‍යම පරිසර අධිකාරියේ අධ්‍යක්ෂ ජෙනරාල් හේමන්ත ජයසිංහ මහතා සඳහන් කළේ පරිසර ආරක්ෂණ බලපත්‍රයක් නොමැතිව එය පවත්වාගෙන ගොස් ඇති බවට සිදුකළ මූලික පරීක්ෂණවලදී අනාවරණය වූ බවයි.

එසේම කැලිකසල රටකින් තවත් රටකට රැගෙන යාම බාසෙල් සම්මුතිය මගින් තහනම් කර තිබෙනවා.

ශ්‍රී ලංකාව මෙන්ම බ්‍රිතාන්‍යය ද මෙම සම්මුතියට අත්සන් තබා ඇති අතර එසේ තිබියදී බ්‍රිතාන්‍යයේ කසල මෙරටට එවීම සම්බන්ධයෙන් ස්විස්ටර්ලන්තයේ පිහිටි බාසෙල් ප්‍රධාන කාර්යාලයට පැමිණිලි කළ බවද මධ්‍යම පරිසර අධිකාරියේ අධ්‍යක්ෂ ජෙනරාල් හේමන්ත ජයසිංහ මහතා සඳහන් කළා ෴

+++++++++++++++++++++

කසළ කන්ටේනර්වල මිනිස් සිරුරු කොටස්

(25.07.2019 – 10:33 +0530 – lankadeepa.lk)

බ්‍රිතාන්‍යයෙන් ශ්‍රී ලංකාවට එවා ඇති කසළ කන්ටේනර්වල මිනිස් සිරුරු කොටස් ඇති බවට ශ්‍රී ලංකා බලධාරීන් අනුමාන කිරීම සැලකිල්ලට ගනිමින්, ඒ පිළිබඳ විමර්ශනයක් ආරම්භ කිරීමට බි්‍රතාන්‍යය රජය සූදානම් වන බව බ්‍රිතාන්‍යයේ ‘ටෙලිග්‍රාෆ්’ පුවත් වෙබ් අඩවිය වාර්තා කරයි.

කසළ කන්ටේනර් සම්බන්ධයෙන් විමර්ශනයක් සිදු කිරීමට සූදානම් වන්නේ බ්‍රිතාන්‍යයේ පරිසර, ආහාර සහ ග්‍රාමීය කටයුතු පිළිබඳ අමාත්‍යාංශය හෙවත් ‘ඩෙෆ්රා’ මැදිහත් වීමෙනි.

කෙසේවෙනත් මෙම කාරණාව සම්බන්ධයෙන් විමර්ශනයක් පවත්වන්නැයි ශ්‍රී ලංකා බලධාරීන්ගෙන් මෙතෙක් නිල වශයෙන් ඉල්ලීමක් ලැබී නැති බව ද ‘ඩෙෆ්රා’ අමාත්‍යාංශය පවසා ඇත.

මීට දෙවසරකට පෙර සිට කොළඹ වරායට ගෙන්වන ලද මෙම කන්ටේනර් තොගයේ ඇති කන්ටේනර් 111 ක් පිළිබඳව වරාය බලධාරීන්ගේ අවධානයට යොමු වූයේ ඒවායින් වහනය වූ දැඩි දුර්ගන්ධයක් නිසා යැයි ‘ටෙලිග්‍රාෆ්’ පුවත් වෙඩි අඩවිය කියයි.

එම කන්ටේනර්වල පාවිච්චි කළ මෙට්ට අඩංගු බව පවසා ඇති නමුත්, එම මෙට්ට අතර රෝහල් අපද්‍රව්‍ය සහ විස ප්ලාස්ටික් කොටස් පමණක් නොව මිනිස් සිරුරු කොටස් ද සඟවා ඇති බව ශ්‍රී ලංකා බලධාරීන් පවසා ඇතැයි ‘ඩෙෆ්රා’ අමාත්‍යාංශය පැහැදිලි කරයි.

බ්‍රිතාන්‍යයේ රෝහල්වල අපද්‍රව්‍ය බැහැර කිරීම පසුගිය වසර පුරාවට විශාල ගැටලුවක් වූ හෙයින්, ශ්‍රී ලංකාවට යවා ඇති කසළ කන්ටේනර් තොගයේ මිනිස් සිරුරු කොටස් තිබෙන බව තහවුරු වුවහොත් ඒවා බ්‍රිතාන්‍යයේ රජයේ රෝහල්වලින් බැහැර කෙරුණු අපද්‍රව්‍ය වනු ඇතැයි ‘ටෙලිග්‍රාෆ්’ වෙබ් අඩවිය පවසයි.

නීති විරෝධී ලෙස කසළ බැහැර කිරීම්වලට අප විරුද්ධ වෙනවා. එසේ නීති විරෝධි ආකාරයට කසළ බැහැර කළ පුද්ගලයන් සහ සමාගම් සිටී නම්, ඔවුන්ට සිර දඬුවම් ලබාදීමටත්, සීමා රහිත දඩ මුදල් පැනවීමටත් වහා පියවර ගන්නවා යැයි ‘ඩෙෆ්රා’ අමාත්‍යාංශය පවසා තිබේ.

මීට වසරකට පෙර බ්‍රිතාන්‍යයේ රජයේ රෝහල්වලින් අපද්‍රව්‍ය බැහැර කිරීම බාර දී තිබුණේ ‘හෙල්ත්කෙයා එන්වයර්න්මන්ට් සර්විසස්’ නමැති පෞද්ගලික කොන්ත්‍රාත් සමාගමකටය.

රෝහල් 50 කට වැඩි ප්‍රමාණයකින් පමණ බැහැර කළ අපද්‍රව්‍ය, මිනිස් සිරුරු කොටස්, දියර ආදිය ක්‍රමවත්ව බැහැර නොකර ගොඩගසා ගැනීම හේතුවෙන් පසුගිය දෙසැම්බරයේ එම සමාගමෙන් සේවා ලබා ගැනීම නවතා දැමුණු අතර බ්‍රිතාන්‍ය රජය එම සමාගම සමග ඇති කර ගත් ගිවිසුම් ද අවලංගු කෙරුණි.

පසුගිය වසරේ සැප්තැම්බරය වනවිට නියමිත ප්‍රමාණය වන ටොන් 70 ට වඩා පස් ගුණයකින් එනම් ටොන් 350 කින් කසළ එක් රැස් වූ අතර ඒවායින් බොහොමයක් ශීතකරණවල ගබඩා කිරීමට සමාගම කටයුතු කළ අතර මෙය දැඩි දෝෂ දර්ශනයට හේතුවක් විය.

‘හෙල්ත්කෙයා එන්වයර්න්මන්ට් සර්විසස්’ සමාගමේ හිටපු ප්‍රධානී ගැරී පැටිග්‍රෝව් ට්විටර් පණිවුඩයක් මගින් පවසා ඇත්තේ තම සමාගම ශ්‍රී ලංකාව සමග ගනුදෙනුවක් නොකළ බවත්, බ්‍රිතාන්‍ය රජයේ රෝහල්වලින් බැහැර කරන අපද්‍රව්‍ය විදේශවලට නැව්ගත කිරීමේදී කිසිදු නීති විරෝධී කටයුත්තක් සිදු නොකළ බවත්ය.

නීති විරෝධී ආකාරයට බ්‍රිතාන්‍යයේ කසළ බැහැර කිරීම හේතුවෙන් මීට පෙර ද අවස්ථා ගණනාවකදී අර්බුද නිර්මාණය වී තිබිණි.

පෝලන්ත සමාගමක් එරට ඉඩමක් ගොඩ කිරීම සඳහා බ්‍රිතාන්‍යයෙන් ප්ලාස්ටික් අපද්‍රව්‍ය විශාල තොගයක් යුරෝ මිලියන ගණනක මුදලකට ලබා ගැනීම සම්බන්ධයෙන් ‘ටෙලිග්‍රාෆ්’ පුවත් වෙබ් අඩවිය පසුගිය වසරේ අනාවරණයක් කළේය.

බ්‍රිතාන්‍යයෙන් පමණක් නොව සෙසු යුරෝපීය රටවලින් ද ප්ලාස්ටික් අපද්‍රව්‍ය චීනය, වියට්නාමය, මැලේසියාව සහ තායිලන්තය ආදී රටවලට බැහැර කිරීම සිදු වුණු නමුත්, මේ වනවිට ඒ රටවලින් එය වළක්වා ඇත. මේවාට මුවාවෙන් බ්‍රිතාන්‍යයෙන් ශ්‍රී ලංකාවට ගෙන්වා ඇති අපද්‍රව්‍ය අතිශයින්ම හානිකර බව ශ්‍රී ලංකාවේ පරිසර අධිකාරියේ ප්‍රකාශකයකු පැවසී යැයි ‘ටෙලිග්‍රාෆ්’ පුවත් වෙබ් අඩවිය කියයි.

මිනිස් සිරුරු කොටස් රටින් පිටකිරීම බ්‍රිතාන්‍යයේ නීති රීතිවලින් තහනම් කර ඇති නිසා ප්‍රතිචක්‍රීකරණ භාණ්ඩ වශයෙන් හඳුන්වා සිරුරු කොටස් රටින් පිට කිරීම විශාල ලාබයක් ගෙන දෙන ජාවාරමක් බවට පත්ව ඇති බව බ්‍රිතාන්‍යයේ අපද්‍රව්‍ය බැහැර කිරීම පිළිබඳ විශේෂඥයෝ පවසති.

(ටෙලිග්‍රාෆ් වෙඩි අඩවිය ඇසුරිනි)

+++++++++++++++++++++

කසල ගෙන්වීමට අවස්ථාව ලබාදුන් ගැසට්ටුව අවලංගු කරන්නේ නෑ

(24.07.2019 – 22:35 +0530 – lankadeepa.lk)

විදේශ රටවලින් කසල ගෙන්වීමට අවස්ථාව සැලසුන බව කියැවෙන 2013 වසරේ නිකුත් කර ඇති ගැසට් නිවේදනය අවලංගු නොකරන බව සංවර්ධන උපාය මාර්ග සහ ජාත්‍යන්තර වෙළඳ නියෝජ්‍ය අමාත්‍ය නලීන් බණ්ඩාර මහතා පාර්ලිමේන්තුවේදී අද (24) පැවැසීය.

බැලූ බැල්මටම අදාළ ගැසට් නිවේදනයේ කිසිඳු ප්‍රශ්නයක් නැති බව තමන් පිළිගන්නා නමුත් එහි කොතැනක හෝ ගැටලු සහගත තත්ත්වයක් තිබෙන බව ද නියෝජ්‍ය අමාත්‍යවරයා කීවේය.

මෙම අවස්ථාවේදී නැඟී සිටි එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පැවැසුවේ රටට කසල ගෙන්වීමට අවස්ථාව ලැබුණේ වත්මන් රජය අත්සන් තැබූ සිංගප්පූරු ගිවිසුම හේතුවෙන් බවය.

එයට පිළිතුරු දෙමින් නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කර සිටියේ මෙම කසල ගෙන්වා තිබෙන්නේ සිංගප්පූරු වෙළඳ ගිවිසුම අත්සන් කිරීමට පෙර බවය.

කෙසේ වෙතත් මෙම කසල ගෙන්වීම නතර කරන බව කී නියෝජ්‍ය අමාත්‍යවරයා කසල කන්ටේනර් රටින් පිට කිරීමට හේලිස් සමාගමට සති තුනක කාලයක් දී තිබෙන බවද පැවැසීය.

මෙම කසල කන්ටේනර් ගෙන්වීම සම්බන්ධයෙන් ආයෝජන මණ්ඩලයේ අභ්‍යන්තර පරීක්ෂණයක් පවත්වන බව කී නියෝජ්‍ය අමාත්‍යවරයා මෙම ප්‍රශ්නය සුළුවෙන් තැකීමට රජය සූදානම් නැතැයිද සඳහන් කළේය ෴

+++++++++++++++++++++

කසල කන්ටේනර් ගැන නීතිපති දෙපාර්තමේන්තුවෙන් සහතිකයක්

(25.07.2019 – 13:51 +0530 – hirunews.lk/sinhala)

එංගලන්තයේ සිට මෙරටට ගෙන ආ විෂ අපද්‍රව්‍ය සහිත කසල කන්ටේනර් තොගය සම්බන්ධයෙන් ලබන සදුදා (29) වනතෙක් නීතියට පටහැනිව හෝ පරිසරයට හානිකර ලෙස කිසිදු කටයුත්තක් සිදුනොකරන බව මධ්‍යම පරිසර අධිකාරිය වෙනුවෙන් පෙනී සිටි නීතිපති දෙපාර්තමේන්තුව අභියාචනාධිකරණයට අද දැනුම් දුන්නා.

ඒ පරිසර යුක්ති කේන්ද්‍රය එම කසල කන්ටේනර් තොගය සම්බන්ධයෙන් අභියාචනාධිකරණයට ගොනුකර ඇති පෙත්සමක් සලකා බැලූණු අවස්ථාවේදීයි.

පෙත්සම්කාර පාර්ශවය වෙනුවෙන් කරුණු දක්වමින් නීතිඥවරුන් අධිකරණයෙන් ඉල්ලා සිටියේ මෙලෙස රට තුළට භයානක අපද්‍රව්‍ය ගෙන යාම හෝ නීතිවිරෝධීව බැහැර කිරීම වළක්වන නියෝගයක් ලබාදෙන ලෙසයි.

එමෙන්ම, එම කසල නැවත ප්‍රතිඅපනයනය කිරීමට නියෝගයක් ලබාදෙන ලෙස ද පෙත්සම්කාර පාර්ශවය ඉල්ලා සිටියා.

එමෙන්ම, මෙම කසල කන්ටේනර් සම්බන්ධයෙන් රේගු දෙපාර්තමේන්තුව සහ මධ්‍යම පරිසර අධිකාරිය ගනු ලබන ක්‍රියාමාර්ග සහ ස්ථාවරය දැනුම් දෙන ලෙස ද අභියාචනාධිකරණ සභාපති විනිසුරු යසන්ත කෝදාගොඩ සහ අර්ජුන ඔබේසේකර නියෝග කළා ෴

+++++++++++++++++++++

හේලීස් ෆී සෝන් සමාගම පරිසර ආරක්ෂණ බලපත්‍රයක් ලබාගෙන නෑ

(25.07.2019 – 18:04 +0530 – lankadeepa.lk)

අපද්‍රව්‍ය කන්ටේනර් 130 ක් ගෙන්වා කටුනායක නිදහස් වෙළඳ කලාපයේ දමා ඇති හේලීස් ෆී සෝන් සමාගම නිදහස් වෙළඳ කලාපයේ කටයුතු කිරීම සඳහා පරිසර ආරක්ෂණ බලපත‍්‍රයක් ලබාගෙන නැතැයි මධ්‍යම පරිසර අධිකාරිය කළ පරීක්ෂණවල දී හෙළිවී තිබේ.

වෙළඳ කලාපයේ සමාගම් පරිසර ආරක්ෂණ බලපත‍්‍රය ලබාගත යුත්තේ ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය හරහා මධ්‍යම පරිසර අධිකාරියට ඉල්ලුම්පතක් ඉදිරිපත් කිරීමෙනි.

2017 සිට මෙම සමාගම මෙහෙයුම් සිදුකර ඇතත් කිසිඳු අවස්ථාවක මෙම බලපත‍්‍රය ඉල්ලා නැතැයි මධ්‍යම පරිසර අධිකාරිය කළ පරීක්ෂණයේදී හෙළි වූ බව මධ්‍යම පරිසර අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් හේමන්ත ජයසිංහ මහතා ලංකාදීපයට පැවැසීය.

එසේ පරිසර බලපත‍්‍රය ලබා නොගැනීම ගැන එම සමාගමට එරෙහිව නීතිමය පියවර ගන්නා බව ද ජයසිංහ මහතා කීය.

කළාපයේ සමාගම් පරිශ‍්‍රයක මේ වනවිට ගොඩ ගසා ඇති අපද්‍රව්‍ය වලින් පරිසරයට සිදුවන හානිය තවදුරටත් සිදුවන බැවින් වහාම ඒවා වසා තබන ලෙස අධිකාරිය නියෝග කළ බවත් මේ වනවිට අදාල සමාගම ඒවා කන්ටේනර් තුළට දමමින් සිටින බවත් හෙතෙම කියා සිටියේය.

මෙම පරීක්ෂණවලට බ්‍රිතාන්‍ය රජය සහය දක්වන බව ශ්‍රී ලංකාවේ බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් කාර්යාලය හරහා අධිකාරිය වෙත දන්වා ඇතැයි පැවසූ අධ්‍යක්ෂ ජනරාල්වරයා එංගලන්තයේ පරිසර අමාත්‍යංශය ද ඊමේල් පණිවිඩයක් එවා තිබු බවත් එම කන්ටේනර්වල අංක ඇතුළු විස්තර ලබාදෙන මෙන් ඉල්ලා ඇති බව ද පැවසීය.

මෙම කන්ටේනර් ගෙන්වීමේ දී බාසල් සම්මුතිය උල්ලංඝණය වී ඇති බැවින් ඊට එරෙහිව ස්විට්සර්ලන්තයේ පිහිටි බාසල් සම්මුතියේ ප‍්‍රධාන කාර්යාලයේ විධායක ලේකම්වරයාට පැමිණිලි කළ බව ද ඔහු කියා සිටියේය.

මධ්‍යම පරිසර අධිකාරිය කළ පරීක්ෂණවලට අනුව මෙම අපද්‍රව්‍ය සහිත කන්ටේනර් හේලීස් ෆී සෝන් සමාගම වෙනුවෙන් සිලෝන් මෙටල් ප්‍රොසෙසින් සමාගම විසින් ගෙන්වා ඇත්තේ ඊටීඑල් කලම්බු සමාගමේ මැදිහත්වීම මතය.

මෙම අපද්‍රව්‍ය තොගය හැකි ඉක්මණින් ආපසු යැවීමට කටයුතු කරන බවත් ඒ සඳහා වන පියවර ගනිමින් සිටින බවත් අධ්‍යක්ෂ ජනරාල්වරයා තවදුරටත් කියා සිටියේය ෴

***************************************

විපක්ෂයේ හෙළිදරව්වෙන් ජගත් සංවිධාන නියෝජිතයා විනිසුරුවරුන් හමුවීම නවතී

(24.07.2019 – 18:48 +0530 – hirunews.lk/sinhala)

ජගත් සංවිධාන නියෝජිතයෙකුට අගවිනිසුරුවරයා සහ මහාධිකරණ විනිසුරුවරුන් මුණගැස්වීමට කටයුතු කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් සොයාබැලීමට පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් පත් කරන්නැයි විපක්ෂය අද කථානායකවරයාගෙන් ඉල්ලා සිටියා.

විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ ඇතුලු ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුන් ඊයේ පාර්ලිමේන්තුවේදී මෙම කරුණු අනාවරණ කළා.

එහිදී කථානායක කරූ ජයසූරිය අද පාර්ලිමේන්තුවට දැනුම්දුන්නේ එම සාකච්ඡාව වැළැක්වීමට තමන් කටයුතු කළ අතර, විපක්ෂයේ මන්ත්‍රීවරුන්ගේ ඉල්ලීම පිළිබඳව විදේශ කටයුතු අමාත්‍යවරයා දැනුවත් කරන බවයි.

***************************************

පාස්කු ඉරිදා ප්‍රහාරයට අයි.එස්. ඍජුව සම්බන්ධ බවට තවමත් සාක්ෂි නැහැ – CID ප්‍රධානියා හෙළි කරයි

(24.07.2019 – 18:44 +0530 – hirunews.lk/sinhala)

පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය අයි.එස්.අයි.එස්. සංවිධානය විසින් ඍජු මෙහෙයවීමෙන් සිදු නොවූවක් බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවී සෙනෙවිරත්න ප්‍රකාශ කළා.

ඔහු මේ බව කියා සිටියේ ඒ සම්බන්ධයෙන් සොයා බැලීමට පත්කළ පාර්ලිමේන්තු විශේෂ තේරීම් කාරක සභාව හමුවේ අද සාක්ෂි ලබාදෙමින්.

පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනයට පත් කළ පාර්ලිමේන්තු විශේෂ තේරීම් කාරක සභාව හමුවට බුද්ධි අංශ නිලධාරීන් කැඳවීම සම්බන්ධයෙන් පසුගිය දිනවල දැඩි විවේචන එල්ල වුණා.

කාරක සභාවේ නියෝජිතයින් ඊයේ ප්‍රකාශ කළේ අද දින දින සිදු කෙරෙන සාක්ෂි විමසීමේ කටයුතු මාධ්‍යයට විවෘත නොකරන බවයි.

කෙසේ වෙතත්, එහි කටයුතු අද දහවල් යළිත් මාධ්‍යයට විවෘත කිරීමට තීරණයක් ගෙන තිබුණා.

ඒ අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවී සෙනෙවිරත්න අද ප්‍රථමයෙන් සාක්ෂි දීම සිදුකළා.

අනතුරුව තේරීම් කාරක සභාව හමුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ශානි අබේසේකර සහ ත්‍රස්ත විමර්ශන කොට්ඨාශයේ මූලධර්ම හා අන්තවාදී විමර්ශන අංශය භාර පොලිස් පරීක්ෂක තරංග පතිරණ සාක්ෂි ලබාදුන්නා.

+++++++++++++++++++++

***************************************

නෙවිල් ප්‍රනාන්දු රෝහලේ වත්කම් තවමත් රජයට පවරාගෙන නැහැ – සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිලධාරීන් යළිත් පිළිගනී

(24.07.2019 – 18:17 +0530 – hirunews.lk/sinhala)

මාලඹේ නෙවිල් ප්‍රනාන්දු රෝහලේ වත්කම් තවමත් රජයට පවරා ගෙන නොමැති බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ මූල්‍ය හා ගිණුම් අධ්‍යක්ෂ ජනරාල් හේමන්ත ස්වර්ණතිලක අද 2015/2018 වසරවල රාජ්‍ය ආයතනවල දූෂණ වංචා සෙවීමට පත්කළ ජනාධිපති විමර්ශන කොමිෂන් සභාව හමුවේ පිළිගත්තා.

ඒ, කොමිෂන් සභාව හමුවේ විභාගයට ගන්නා ලද නිසි පවරා ගැනීමකින් තොරව මාලඹේ නෙවිල් ප්‍රනාන්දු රෝහල සඳහා රජයේ මුදල් වැය කිරීම සම්බන්ධ විමර්ශනයට අදාළව සාක්ෂි ලබාදෙමින්.

එසේ වත්කම් රජයට පවරා නොගත්තද, 2019 වසරේද මේ දක්වා මිලියන 182 කට ආසන්න මුදලක් රජය මගින් රෝහලේ කටයුතු සඳහා ලබාදී ඇති බවත්, අනුමත මිලියන 197 ක මුදලින් තවත් මිලියන 15 ක් පමණ ගෙවීමට ඇති බවත් ඔහු සාක්ෂි ලබාදෙමින් ප්‍රකාශ කර තිබෙනවා.

එසේම 2017/2018 වර්ෂවල නෙවිල් ප්‍රනාන්දු රෝහලට තවත් විශාල මුදල් ප්‍රමාණක් ලබාදී ඇති බවත්, ඊට අමතරව ඖෂධ සඳහාද තවත් මිලියන 50 ක් ලබාදී ඇති බවත් ඔහු කියා සිටියා.

එසේම 2016 වසරේ අගෝස්තු මස 28 වැනිදා මහා භාණ්ඩාගාරය මගින් එවා ඇති ලිපියකට අනුව රජයේ මුදල් මිලියන 90 ක් ඍජුවම මාලඹේ නෙවිල් ප්‍රනාන්දු රෝහලේ ලංකා බැංකුවේ ගිණුමකට තැන්පත් කර ඇති බවද සෞඛ්‍ය අමාත්‍යාංශයේ මූල්‍ය හා ගිණුම් අධ්‍යක්ෂ ජනරාල් හේමන්ත ස්වර්ණතිලක සාක්ෂි ලබාදෙමින් කියා සිටියා.

මෙම සාක්ෂි විභාගයේ වැඩිදුර විභාගය අගෝස්තු මස 01 වැනිදාට කල් තැබීමට කොමිෂන් සභාව පියවර ගත්තා ෴

***************************************

මුතූර් ප්‍රදේශයේ ජනතා ගැටළු ගැන විපක්ෂ නායකවරයාගේ අවධානය

(24.07.2019 – 16:50 +0530 – hirunews.lk/sinhala)

මුතූර් ප්‍රදේශයේ මුස්ලිම් ජනතාව එම ප්‍රදේශයේ පවතින ගැටළු පිළිබඳව දැනුවත් කිරීම සඳහා ඊයේ පස්වරුවේ විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා මුණගැසුණා.

ඒ, කොළඹ පිහිටි විපක්ෂ නායක කාර්යාලයේදියි. මෙහිදී ඔවුන් කියා සිටියේ පසුගිය රජය ආරම්භ කළ සංවර්ධන ව්‍යාපෘති මේ වනවිට නැවතී ඇති බවයි.

ඒ තුළින් තමන්ගේ සාමාන්‍ය ජන ජීවිතයට බලපෑම් එල්ලවී ඇති බවද ඔවුන් කියා සිටියා.

මේ අතර කොළඹ වරාය නැගෙනහිර පර්යන්තය සුරැකීමේ වෘත්තිය සමිති එකමුතුවේ නියෝජිතයින් පිරිසක්ද ඊයේ පස්වරුවේ විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා මුණ ගැසී තිබෙනවා.

***************************************

සයින්දමරුදු ඔත්තුව දුන් රියදුරුට ජනපති අතින් ලක්ෂ 50 ක්

(24.07.2019 – 16:23 +0530 – hirunews.lk/sinhala)

සයින්දමරුදු ප්‍රදේශයේදි අත්අඩංගුවට ගත් පුපුරණ ද්‍රව්‍ය තොගය ගැන තොරතුරු ලබාදුන් ලොරි රථ රියදුරුට ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා අතින් අද රුපියල් ලක්ෂ 50 ක මුදල් ත්‍යාගයක් පිරිනැමුණා.

ජනාධිපති කාර්යාලයේදී ඔහුට මුදල් ත්‍යාගය පිරිනැමීමේ අවස්ථාවට වැඩබලන පොලිස්පති චන්දන වික්‍රමරත්න මහතාද එක්ව සිටි බව ජනාධිපති මාධ්‍ය අංශය ප්‍රකාශ කළා.

තොරතුරු ලබාදීමෙන් පසු ඔහු මුහුණදී සිටින ආර්ථික අපහසුතා පිළිබඳව හිරු ප්‍රවෘත්ති අංශය පසුගියදා කරුණු අනාවරණ කළ අතර, එහිදී ඔහු කියා සිටියේ මේ වනවිට අදාළ කුලී රථ සේවා සපයන ආයතනයෙන් ඉවත්ව සිටින තමන්ට ලොරි රථයේ කල්බදු වාරිකද ගෙවාගැනීමට නොහැකිව සිටින බවයි.

මේ අතර බ්‍රිතාන්‍යයේ නව අග්‍රාමාත්‍යවරයා ලෙස තේරී පත්වූ බොරිස් ජොන්සන් මහතා වෙත ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සිය සුබපැතුම් පිරිනමා තිබෙනවා.

***************************************

විජිතපුර බලකොටුවේ තවත් නටඹුන් විනාශයක්

(24.07.2019 – 13:08 +0530 – hirunews.lk/sinhala)

කලාවැව ඉස්මත්තෙහි පිහිටා ඇති ඓතිහාසික විජිතපුර බලකොටුවට අයත් බව කියන පුරාවිද්‍යා වටිනාකමකින් යුත් භූමියක් කිසියම් පිරිසක් විසින් ඩෝසර් කර වගාවක් ආරම්භ කර ඇති බවට හිරු ප්‍රවෘත්ති අංශයට තොරතුරු වාර්තා වුණා.

මේ සම්බන්ධයෙන් කැකිරාව රණජයපුර පොලිස් ස්ථානයට පැමිණිල්ලක් ද ලැබී ඇති අතර, එම ස්ථානයට ගිය හිරු වාර්තාකරුට දැක ගත හැකිවූයේ මෙම පුරාවිද්‍යා භූමිය එළිපෙහෙළි කරමින් වගාව සිදුකෙරෙන ආකාරයයි.

විජිතපුර බලකොටුවට අයත් බැලුම්ගල නමැති පුරාවිද්‍යා ස්ථානය ද යන්ත්‍ර සූත්‍ර දමා ගම්මානයක් ඉදිකිරීම සදහා එළිපෙහෙළි කිරීමේ තොරතුරු ද මීට පෙර හිරු ප්‍රවෘත්ති මගින් කරුණු අනාවරණ කළා.

කෙසේ වෙතත්, අලුතින් එළිපෙහෙළි කරන ස්ථානයේ ඉපැරණි ගල් කණු ද දක්නට ලැබෙන බවයි කැකිරාව හිරු වාර්තාකරු සුදත් ඒකනායක කියා සිටියේ.

මේ පිළිබදව හිරු ප්‍රවෘත්ති අංශය පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවෙන් ද විමසීමක් කළා. එහි ප්‍රකාශකයෙකු සදහන් කළේ පොලීසියට අමතරව, තම දෙපාර්තමේන්තුවෙන් ද මෙම සිදුවීම සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කර ඇති බවයි.

මෙම ඩෝසර් කිරීම හරහා අදාළ භූමියෙහි තිබූ නටඹුන් රැසක් විනාශ වී ඇති බවට දැනට සිදුකරන ලද පරීක්ෂණවලින් හෙළිවී ඇති බව ද ඔහු සදහන් කළා.

***************************************

නොදන්නා අර්ථිකය කතා කරන්න එපා.. පොකට් එකට සල්ලි දැම්මට රට දියුණු වෙන්නෙ නෑ.. ලන්ඩනායේ ඉගෙන ගත්තේ මොනවද ?.. ආර්ථික විශේෂඥයකුගෙන් සජිත්ට දැඩි විවේචන..

(26.07.2019 – 06:26 +0530 – lankacnews.com)

නොදන්නා ආර්ථික විද්‍යාවක් ගැන කතා කිරීමෙන් වැලකී සිටින්නැයි ඇමති සජිත් පේ‍්‍රමදාස මහතාගෙන් ඉල්ලා සිටින බව හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා පවසයි.

සජිත් පේ‍්‍රමදාස මහතා විසින් මෑතකදී කරන ලද ප‍්‍රකාශයකට ප‍්‍රතිචාර දක්වමින් කබ්රාල් මහතා මෙසේද කීවේය :

“ඒක පුද්ගල ආදායම වැඩක් නෑ, අවශ්‍ය වෙන්නේ ඒකපුද්ගල සතුට” කියලා සජිත් ප්‍රේමදාස කියනවා, මම දැක්කා.

මේ කතාව අහලා මා ඇත්තටම පුදුම වුණා. මා එසේ පුදුම වුණේ මීට දින කිහිපයකට පෙර, සජිත් ප්‍රේමදාස London School of Economics එකෙන් උපාධියක් ලැබුවා කියලා අජිත් පී පෙරේරා රූපවාහිනී වැඩසටහනක කියා සිටිය නිසා.

අජිත් පෙරේරා කියූ ආකාරයට, සජිත් එහෙම London School of Economics එකෙන් උපාධියක් ලබා තිබුණා නම්, එක්කෝ සජිත් ඒ විශ්වවිද්‍යාලයේදී ඉගැන්වූ දේවල් සියල්ල අමතක කරගෙන, එහෙම නැත්තං, සජිත්ට පමණක් London School of Economics එක අලුත් ආර්ථික විද්‍යාවක් උගන්වලා තිබෙනවා.

LSE එහෙම උගන්නන්නේ නැහැයි කියලා මා දන්න නිසා, මට හිතෙන්නේ සජිත්ට මේවා සියල්ල අමතක වෙලා කියලා. එහෙම නම්, අපි එයාට ඒවා පොඩ්ඩක් මතක් කරල දෙන එක හොඳයි.

ඒක පුද්ගල ආදායම මනින්නෙ රටේ මුළු දළ දේශීය නිෂ්පාදිතය, රටේ ජනගහනයෙන් බෙදලයි. ඒ වගේම, එවැනි සංඛ්‍යා සහ තොරතුරු ප්‍රයෝජනවත් වන්නේ හඟුරන්කෙත හෝ තිස්සමහාරාමයේ සිටින පුද්ගලයන්ගේ ආදායම දේශපාලනික කෝණයකින් පෙන්වාදෙන්නට නොවේ. එම දත්ත ගණනය කරන්නේ රටේ ආර්ථිකයේ ප්‍රගතිය පිළිබඳව යම් මැනීමක් කරන්නට සහ ලෝකයේ අනිත් රටවල් සමග අපේ රට සන්සන්දනයක් කිරීමටයි. මේවා ගැන තේරුමක් නැත්නම් ඒවා ගැන කතා නොකර සිටීම වඩාත් හොඳයි. එහෙම කතා කරන්න ගිහිල්ලා, තමාගේ නොදැනුවත්කම ලෝකයට විදහා දක්වලා, ඇණ ගන්නවට වඩා හොඳයි, නිශ්ශබ්දව ඉඳීම. එතකොට, සමහරවිට ඔහු බුද්ධිමතෙක් කියලත් රටේ ජනතාව සිතන්නට බැරි නැහැ.

රටක සමස්ත දළ දේශීය නිෂ්පාදිතය වැඩි කර ගන්නේ නැතුව, රටේ ආර්ථිකයේ වර්ධනයක් ඇතිකර ගන්නේ නැතුව, කිසිම කෙනෙකුගේ පසුම්බියට මුදල් දමන්නට බැහැ. එහෙම වර්ධනයත් නොකර, ජනතාවගේ පසුබිම්වලට මුදල් දැමිය හැක්කේ අයුතු ලෙස මුදල් අච්චු ගැසුවොත් පමණයි. එහෙම කළොත් රටේ උද්ධමනය දැවැන්ත ලෙස වැඩිවෙන බව සමහරවිට සජිත්ගේ විශ්වවිද්‍යාලය ඔහුට කියා නොදෙන්නට ඇති. නැත්නම් ඔහුට ඒවා අමතක වෙලා ඇති. මෙවැනි කතා කියන්නේ ඒ නිසා වෙන්නට පුළුවන්.

දළ දේශීය නිෂ්පාදිතය වර්ධනය නොකර, යම් කෙනෙක් සිතනවා නම් රටක් සංවර්ධනය කරන්න පුළුවන් කියලා, ඒ අය සිටින්නේ සිහින ලෝකයක.

මුලින්ම රට සංවර්ධනය කරලා, රටේ මුළු ආදායම වර්ධනය කිරීමෙන් පමණයි, රට වැසියන්ගේ ජීවන තත්ත්වය සහ ඔවුන්ගේ පසුම්බිවල තිබෙන මුදල් ක්‍රමයෙන් වර්ධනය කරගන්නට පුළුවන් වන්නේ. ඒ මූලික පාඩම, ජනාධිපති වෙන්න සිහින බලන කෙනෙක් මුලින්ම ඉගෙන ගන්නට අවශ්‍යයි.”

***************************************

හඳුන්කූරු දුමෙන් අලි එලවන හැටි

(25.07.2019 – biz.adaderana.lk)

වන අලින් පළවා හැරීමට හැකි සුගන්ධයක් නිකුත් කරන ආකාරයෙන් නිර්මාණය කර ඇති සුවඳ දුම් කූරක් පරීක්ෂණ මට්ටමෙන් අත්හදා බැලීමේ කටයුතු මේ දිනවල වනජීවී නිලධාරීන් විසින් නිකවැරටිය සහ ගල්ගමුව යන ප්‍රදේශ ආශ්‍රිතව සිදුකෙරෙමින් පවතී. මේ යටතේ නිකවැරටිය, තිඹිරියාව, නාවාන ප්‍රදේශයේ වැසියන්ට සුවඳ දුම් කූරු සාම්පල බෙදා හැරීමේ වැඩසටහනක් පසුගියදා වනජීවී නිලධාරීන්ගේ සහභාගීත්වයෙන් පැවැත්විණි.

මෙම සුවඳ දුම් කූර ස්වභාවිකවම අලින් අකමැති සුවඳ වර්ග 5 ක් විශේෂ ක්‍රමවේදයකට සම්මිශ්‍රණය කර නිෂ්පාදනය කරන ලද්දකි. මෙම ස්වභාවික අමුද්‍රව්‍ය 5 වන්නේ ඉඟුරු, සේර, පැඟිරි, ගං කොලන් හෙවත් පැචෝලි සහ පැල්මාරෝසා යන ශාකසාර අමුද්‍රව්‍යයි. අඟල් 12 ක පමණ දිගින් යුතුව, මිලිමීටර 3ක පමණ විෂ්කම්භයකින් යුතුව නිර්මාණය කර ඇති මෙම නව සුවඳ දුම් කූර පැය 5½ ත් 6 ත් අතර කාලයක් දැල්වෙයි. මෙම සුවඳ කූර නිර්මාණය කර ඇති ආකාරයේ විශේෂත්වය වන්නේ මෙහි සුවඳ විහිදීම සාමාන්යක සුවඳ කූරුවලට මෙන් සෑම අතටම නොවීමයි. ඒ අනුව මෙම නව සුවඳ කූරේ දුම විසිරීම සිදු වන්නේ පොළොවට සමාන්තරව තිරස් අතට පමණිත මේ නිසා මෙහි සුවඳ මීටර 20 ක පමණ දුරකට සාර්ථකව විහිදී යාම සිදු වේ.

අලි ඇතුන් සැලකෙන්නේ ලොව සුවඳට වඩාත්ම සංවේදී සත්ත්ව විශේෂයක් ලෙසයට. එමෙන්ම අලි ඇතුන් ස්වභාවිකවම අකමැති සුවඳ පිළිබඳව පිළිගත් ජනවහර තුළ දැනුවත් බවක් පවතී. මෙම සුවඳ කූර පිළිබඳව සංකල්පය බිහිවන්නේ මෙම සරල අදහස මත පදනම්වය. මෙම ව්‍යාපෘතියේ සුවිශේෂීත්වය වන්නේ එදිනෙදා සරල අදහසක් තුළින් ජනතාවට සහ පරිසරයට, වන සතුන්ට බලපාන දැවැන්ත ගැටළුවක් විසඳීමයි. මෙම ව්‍යායාමය හරහා තවත් නව අදහස් ඇති ශ්‍රී ලාංකිකයින් නවෝත්පාදනයන්ට යොමු වනු ඇතැයි මෙහි නිර්මාතෘවරුන් අපේක්ෂා කරයි.

වනජීවී නිලධාරීන් පවසන ආකාරයට මේ දක්වා කෙරී ඇති පර්යේෂණ සාර්ථක ප්‍රතිඵල දක්වා ඇති අතර වැඩිදුර පර්යේෂණ අඛණ්ඩවම සිදුකෙරෙමින් පවතින මෙම නිෂ්පාදිතය දියත් කරනු ලැබූ Aura සමාගම කියා සිටී ෴

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *