අඳුරේ අතපතගාමින් ජාතික ආරක්‍ෂාව සෙවු හැටි

(22.07.2019 – 19:43 +0530 – lankadeepa.lk)

අහිංසක කාන්තාවන්, පුරුෂයින් සහ දරුවන් 268 දෙනකු මරු තුරුලට යවමින්, ලොවක් කම්පනයට පත්කළ පාස්කු ඉරිදා සංහාරය සිදුව මාස 3 ක් ගතව අවසන්ය.

ප‍්‍රහාරයට හසුවූ 500 ක් පමණ දෙනා තුවාල ලැබූ අතර, ඔවුන්ගෙන් ඇතැමෙක් ලද තුවාල කැළැල්, අයි.එස්. සංවිධානයේ ඉගැන්වීම්වලින් උසි ගැන්වුනු මුස්ලිම් අන්තවාදීන් සිදුකළ පාස්කු ඉරිදා සංහාරයේ අමිහිරි මතකය ඔවුන්ගේ ජීවිතාන්තය දක්වාම සනිටුහන් කරවනු ඇත.

ශී‍්‍ර ලංකාවේ මෙවැනි ඛේදාන්තයක් සිදුවූයේ වසර 30 ක කුරිරු යුද්දයකින් පසු එල්.ටී.ටී.ඊ ත‍්‍රස්තවාදීන්ගෙන් මුදවාගෙන වසර 10 ක් සම්පූර්ණ වීමට ඔන්න මෙන්න කියා තිබියදී බව අමුතුවෙන් පෙන්වා දිය යුතු නොවේ. ශී‍්‍ර ලංකා මාතාව වසර 30 ක කුරිරු යුද්ධයෙන් මුදාගන්නා ලද්දේ බදු ගෙවන ජනතාවගේ මුදලින් පුහුණුව ලබන සහ කාලයට ගැලපෙන පරිදි අලුත් කැරෙන හමුදාව සහ පොලිසිය විසිනි. එවක ඉතා උසස් බුද්ධි අංශයක් පැවැති ශී‍්‍ර ලංකාවේ ආරක්ෂක අංශය ඒ නිසාවෙන්ම ලෝක පූජිත තත්ත්වයට පත්වූ අතර, අපගෙන් ඉගෙනීමට විදෙස් රටවලට පවා අවැසි විය.

එවැනි උසස් තත්ත්වයක් මෙරට ආරක්ෂක සහ බුද්ධි අංශයයන්ට දිනා දීම සදහා දිවිදුන් සහ තුවාළ ලැබූවෝ දහස් ගණනකි. වසරකට වරක් ජාතික නිදහස් දින සමරුවේ දී ඔවුන්ගෙන් ඇතැමෙක් අප නෙත් ඉදිරියට පැමිණෙන්නේ රෝද පුටුවල හිඳගෙන, නිදහස් දින සමරු පෙළපාලියේ ගමන් කරමින්ය.

ඕනෑම අභ්‍යන්තර උවදුරක් ඉතාම සාර්ථකව මැඩලීමට තරම් හැකියාවක් තිබූ මෙවැනි ආරක්ෂක යාන්ත‍්‍රණයක්, 2015 ජනවාරි මස යහපාලන රජය බලයට පැමිණි දිනයේ පටන් ක‍්‍රමයෙන් සෝදාපාලුවට ලක්වීමට ඉඩ හැරිණ. මෙම තීරුවලින් නැවත නැවතත් පෙන්වාදුන් ආකාරයට එයට ප‍්‍රධාන වශයෙන්ම හේතු වූයේ ආරක්ෂාව හෝ යුද කටයුතු සම්බන්ධයෙන් ඉතාම අවම හෝ කිසිදු දැනුමක් නොතිබූ පුද්ගලයින් ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම්වරුන් ලෙස පත්කිරීමේ බරපතල වරදයි.

ව්‍යවස්ථාවට අනුව රටේ ආරක්ෂක අමාත්‍යවරයා ද වන ජනපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා යටතේ එසේ පත්වූ ආරක්ෂක අමාත්‍යංශ ලේකම්වරුන් ගණන 4 කි. බී.එම්.යූ.ඩී.බස්නායක (හිටපු ජනපතිනී චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මියගේ නිර්දේශයකි), කරුණාසේන හෙට්ටිආරච්චි (ජනපති සිරිසේනගේ පාසල් සගයෙකි), කපිල විද්‍යාරත්න (නීතිපති දෙපාර්තමෙන්තුවේ සේවය කොට විශ‍්‍රාම ගිය), සහ හේමසිරි ප‍්‍රනාන්දු (ආරක්ෂක ලේකම් ධූරය ලබාගැනීමේ අරමුණින් කටයුතු කළ සහ එය දිනාගත්) ඔවුහුය. අවම වශයෙන් තවත් දෙදෙනෙක් ආරක්ෂක ලේකම් තනතුර භාරගැනීම ප‍්‍රතික්ෂේප කළ තැන, දැන් එම තනතුර හොබවන්නේ හිටපු හමුදාපති ශාන්ත කෝට්ටේගොඩ මහතාය.

පොලිසියේ තත්ත්වය ද මෙයට වෙනස් නැත.

පසුගිය වසරේ ඔක්තෝබර් මාසය දක්වා ඔවුන් සිටියේ නීතිය හා සාමය අමාත්‍යංශය යටතේය. සාගල රත්නායක අමාත්‍යවරයා එකී අමාත්‍යංශයේ පළමු අමාත්‍යවරයා වූ අතර, පසුව නීතිය හා සාමය අමාත්‍යංශය අමාත්‍ය රංජිත් මද්දුම බණ්ඩාර මහතා සමග හුවමාරු කර ගැනිණ.

පොලිසියේ පැහැදිලි වෙනසක් දැකගත හැකිවූයේ නව පොලිස්පතිවරයා ලෙස පූජිත් ජයසුන්දර මහතා වැඩ භාරගැනීමෙන් පසුවය. එතැන් සිට ආන්දෝලනාත්මක සිදුවීම් බොහෝමයක ප‍්‍රධාන චරිතය බවට පත්වූ හෙතෙම, ඒ සියල්ලකින්ම පාහේ සිය තනතුර ආරක්ෂා කරගැනීමට සමත්විය. එවැනි එක් අවස්ථාවක් වන්නේ වංචාවකට හවුල්වීයැයි සාජන්වරයකු අත්අඩංගුවට පත්වීමේ වරදට, පොලිස්පති ජයසුන්දරගේ නියෝගය යටතේ කාත්තන්කුඩි පොලිස් ස්ථානයේ සියලුම නිලධාරීන්ට දණ ගසාගෙන සිටීමට සිදුවූ අවස්ථාවය.

එක්සත් ජාතික පෙරමුණේ බහුතරයක් දෙනා නව පොලිස්පතිවරයා ලෙස පූජිත් ජයසුන්දරව පිළිගත්තේය. එයට හේතුව වූයේ ඔහු සමග පොලිස්පති පුටුවට තරගවැද සිටි නියෝජ්‍ය පොලිස්පති එස්.එම්.වික‍්‍රමසිංහ මහතා මහින්ද රාජපක්ෂ ජනපති සමයේ ජනාධිපති ආරක්ෂක අංශයේ ප‍්‍රධානියා ලෙස කටයුතු කර තිබීමයි.

කිසිවෙකුත් නොසිතූ පරිදි වික‍්‍රමසිංහව එම තනතුරේම තවදුරටත් තබා ගැනීමට ජනපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා පියවර ගත්තේය. මෙය හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා පුදුමයට පත්කළ සිදුවීමක් වූ අතර, ජනපතිවරණයෙන් පසුව වරක් ඔහු ප‍්‍රංශ පුවත් සේවයේ අමල් ජයසිංහ සමග කළ සම්මුඛ සාකච්ඡාවක දී කියා සිටියේ සිය පිරිවර මධ්‍යයේ ඔත්තුකරුවකු ද සිටි බව තමා නොදැන සිටි බවයි.

පොලිස්පති ලෙස ජයසුන්දර පත්වීමෙන් පසුව ඔහුව පිළිගැනීමට කොළඹ පුරා බැනර සවිකර තිබූ අතර, 2015 මැයි මාසයේ දී බලාත්මක කැරුණු 19 වැනි ව්‍යවස්ථා සංශෝධනය ද ඔහුගේ වාසියට සිටියේය. එම සංශෝධනය යටතේ පොලිස්පතිවරයා ඔහුගේ තනතුරින් ඉවත් කිරීමට නම්, පාර්ලිමේන්තුව හරහා විශ්වාසභංග යෝජනාවක් ඉදිරිපත් කළ යුතුවීමේ දීර්ඝ කි‍්‍රයාවලියකට යොමුවීමට සිදුවීම එයට හේතුවයි.

ජනපතිවරණයෙන් සහ පාර්ලිමේන්තු මැතිවරණයෙන් පන්නරය ලබා තිබූ වංචා – දූෂණ මර්දන ව්‍යාපාරයක් පැටවුනේ ජයසුන්දරගේ කර මතටය. එවැනි සිදුවීම් සම්බන්ධයෙන් කටයුතු කළ යුතු ආකාරය අරබයා බරපතල ලෙස දේශපාලනය ගැවී තිබූ අතර, එම චෝදනාවලට හවුල් පාර්ශවයන් ඔවුන්ගේ බලපෑම – ඔවුන් ලබා සිටින චෝදනා සම්බන්ධයෙන් පැවැත්වෙමින් තිබූ විමර්ශනයන් වෙත යොමු කළේ තම තමන්ගේ හිතවත් එක්සත් ජාතික පෙරමුණු දේශපාලඥයින් හරහාය. මේ පිළිබඳව පැමිණිලි කැබිනට් මණ්ඩලයේදී ද ඉදිරිපත් විය. විමර්ශන ගණනාවක් ඒවායේ අවසානය නොදුටූයේ මෙම හේතුව නිසාම බව කිව හැකිය.

නීතිය හා සාමය බලවත් ලෙස පිරිහෙමින් තිබූ තැන ඝාතන ඇතුලු අපරාධ වෙනදා නොවූ තරම් ඉහළකට නැගුණු අතර, යතාර්ථය හා සැසදීමේ දී ඒවා පහළ ගොස් ඇතැයි සදහන් වූයේ පොලිසිය නිකුත් කළ මාධ්‍ය වාර්තාවල පමණකි.

පොලිස් ස්ථානයකට ඇතුල්වීමට ප‍්‍රථමයෙන් බොහෝ දෙනෙක්ට දේශපාලන සවියක් ලබාගත යුතු විය.

මතකයෙන් වියැකී යමින් තිබූ මහා පරිමාන දූෂණ – වංචා සහ වෙනත් සිදුවීම් සම්බන්ධයෙන් වන විමර්ශනයන් අඩුම තරමින් පසුගිය සති කිහිපයේ දී හෝ කරළියට පැමිණෙන අයුරු හදුනාගත හැකිවිය.

වැඩ තහනම් කළ පොලිස්පතිවරයා එක්සත් ජාතික පෙරමුණු නායකත්වය හා ඉතා සමීපව කටයුතු කිරීම ඔහු හා ජනපති සිරිසේන අතර සබඳතාවය ඉතා දරුණු ලෙසම පලුදු කළේය. එහි ප‍්‍රතිඵලයක් ලෙස ජාතික ආරක්ෂක කවුන්සිල රැස්වීම්වලට පොලිස්පතිවරයා ලෙස ජයසුන්දරට ආරාධනා නොලැබිණ.

ජයසුන්දර එවැන්නක් පවසා ඇතැයි සැළවූ විට ජනපතිවරයා ප‍්‍රසිද්ධියේම එය බැහැර කළේ, එම රැස්වීම්වල දී ජයසුන්දර වඩා කාර්යබහුලව සිටියේ සාකච්ඡාවල යෙදෙමින් නොව ඔහුගේ ජංගම දුරකතනය සමඟ බවයි. එය එසේ වී නම් ජාතික ආරක්ෂක කවුන්සිලයේ ප‍්‍රධානියා ලෙස ජනපති සිරිසේනට ජයසුන්දරව එයින් වළක්වාගත හැකිව, ඔහුට අවවාද කළ හැකිව තිබිණ.

ජාතික ආරක්ෂක කවුන්සිලය රැස්වීම්වලට ජයසුන්දරට ආරාධනා නොලැබීමෙන් වඩාත් ගම්‍ය වන්නේ නෛතික වශයෙන්ම නීතිය සා සාමය ආරක්ෂා කිරීමට පත්ව සිටින රටේ ඉහළම සාම නිලධාරියාගෙන් ජාතික ආරක්ෂක කවුන්සිලයේ සාකච්ඡාවට බදුන් වූ රහස් සැඟවීමට තිබූ වුවමනාවකි.

මේ නිසාම ගතවූ වසර හතර හමාරක කාලයේ ආරක්ෂක අංශ සහ පොලිසිය පැවැතියේ සහ පශ්චාත් පාස්කු ඉරිදා සංහාර සමයේ ඔවුන් කටයුතු කරමින් සිටින්නේ පැහැදිලි මඟපෙන්වීමකින් තොරව බව කිව හැකිය.

කෙසේ වෙතත් පාස්කු ඉරිදා ප‍්‍රහාරයෙන් පසුව යුධ හමුදාවේ, නාවික හමුදාවේ, සහ ගුවන් හමුදාවේ ක්ෂණික කි‍්‍රයාකාරීත්වය හමුවේ ජාතිවාදී ගැටුම් ඇවිලීමට තිබූ ඉඩකඩ වහවහා ඇහිරී ගිය බව සදහන් කළ යුතුමය. තවද, සිංහල ගම්මානවලින් වටව තිබූ මුස්ලිම් ප‍්‍රදේශවල, එම ජනතාවගේ උත්සව පැවැත්වීමටද හමුදාව සහාය දුන්නේ ජන කොට්ඨාස අතර එකිනෙකා කෙරෙහි බිය වර්ධනය වීමට තිබූ අවකාශය හැකිතාක් සීමා කරවමිනි.

දේශපාලඥයින් කළ යුතුව තිබූ කාර්යයට අවසානයේ උර දුන්නේ යුද හමුදාවය. ඔවුන් ඇතැම් විට එවැනි කටයුතුවලින් ඉවත්ව සිටියේ ඉදිරි මැතිවරණයක දී තම තමන්ට හිමිවන ඡන්ද ගැන සිතා විය හැකිය.

දේශපාලඥයින් ගැන සඳහන් කළ නිසාම, ඔවුන්ගේ අකී‍්‍රය, නිද්‍රාශීලී පිළිවෙත නිසාම දිවයිනේ ඇතැම් තැන්වල ගැටුම් ඇවිලුනු බව ද කිව යුතුය. නමුත් මේ සියල්ල මධ්‍යයේම, වෙළද සහ ව්‍යාපාරික අංශ මුල්කරගත්, එම අංශයන්හි සේවයේ නියුතුව සිටින ඇතැමෙක් විනාශ කිරීමේ සහ එම අංශයන් වලින් ඉවත් කිරීමේ සෙවනැළි යුද්දයක් ද පාස්කු ඉරිදා සංහාරය මුල්කරගෙන දියත් කර තිබෙන බව ද කිව යුතුමය. මෙම අතිශය බරපතල තත්ත්වයට නිහැඩියාවෙන්ම ප‍්‍රතිචාර දක්වමින් සිටින දේශපාලඥයින්, ඇවිලෙන ගින්නට එක් කරමින් සිටින්නේ පිදුරුය.

ද සන්ඬේ ටයිම්ස් අනුග‍්‍රහයෙනි

(පරිවර්තනය : කෝවිද ගුණසේකර)

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *