මෙරටට ගෙන්වූ කසල ආපසු යවන්න බෑ.. යවන කතා බොරු…

(21.07.2019 – 13:20 +0530 – lankacnews.com)

පාරිභෝගික අයිතීන් සුරකීමේ ජාතික ව්‍යාපාරය විසින් නිකුත් කරන ලද මාධ්‍ය නිවේදනයක් මෙහි දැක්වෙයි :

මෙරටට ගෙන්වූ කසළ නැවත කසළ ගෙන්වූ රටට හරවා යවන්න බෑ. එසේ යැවීම සදහා මධ්‍යම පරිසර අධිකාරිය උපදෙස්දීම නීති විරෝධීයි! බාසල් සම්මුතිය උල්ලංඝණය කිරීමක්!

පසුගිය වසර කිහිපයතුළ මෙරටට ආනයනය කරන ලද කසල කන්ටේනර් අතරින් කටුනායකදී හමුවූ කසල කන්ටේනර් මෙරටින් පිටකරන ලෙස මධ්‍යම පරිසර අධිකාරිය විසින් අදාල සමාගමට කරන ලද නියෝගය මෙරට ජනතාව හා මාධ්‍ය නොමග යැවීම සදහා ගන්නා ලද උත්සහයක් ලෙස අප සංවිධානය හදුන්වන්නෙමු.

කසල ගෙන්වූ මහාපරිමාණ ව්‍යාපාරිකයා බේරා ගැනීමේ අදහසින් මධ්‍යම පරිසර අධිකාරිය හා ඊට වගකිවයුතු ආයතන දැඩි වෙහෙසක් ගන්නා ආකාරය අප සංවිධානයට නිරීක්ෂණය වෙමින් පවතී. යහපත් පරිසරයක ජීවත්වීම පාරිභෝගික අයිතීන්ගෙන් ඉතා වැදගත් අයිතිවාසිකමක් බව අවධාරණය කරමින් කසළ මෙරටට ගෙන්වීම සම්බන්ධයෙන් වන සියලුම කරුණු හෙළිදරව් කිරීමට අප කටයුතු කරන බව මෙරට පාරිභෝගික ජනතාවට දැනුම්දෙමු.

1989 මාර්තු 22 දින අත්සන් කිරීම සඳහා විවෘත කරන ලද 1992 මැයි 5 දින සිට බලාත්මක්මක වූ බාසල් සම්මුතියට අනුව කිසිම රටකින් තවත් රටකට උපද්‍රවකාරී අපද්‍රව්‍ය යෑවීම කෙසේවත් කල නොහැක. 2018 ඔක්තෝබර් වන විට ප්‍රාන්ත 186 ක් මෙම සම්මුතියට අත්සන් කර ඇත.

උපද්‍රවකාරී අපද්‍රව්‍යවල අන්තර්වාර්ගික චලනයන් පාලනය කිරීම සහ ඒවා බැහැර කිරීම පිළිබඳ වන සම්මුතිය බාසල් සම්මුතිය ලෙස හැඳින්වේ. මෙය ජාතීන් අතර අන්තරායකර අපද්‍රව්‍ය සංචලනය අවම කිරීම සඳහා සහ විශේෂයෙන් සංවර්ධ වූ අන්තරායකර අපද්‍රව්‍ය සම්ප්‍රේෂණය වීම වැළැක්වීම සඳහා නිර්මාණය කරන ලද ජාත්‍යන්තර ගිවිසුමකි. අඩු සංවර්ධිත රටවල උත්පාදනය වන අපද්‍රව්‍ය ප්‍රමාණය හා විෂවීම අවම කිරීම, පරිසර හිතකාමී ලෙස කළමණාකරණය උත්පාදනය කිරීමේ ප්‍රභවයට හැකි තරම් සමීපව සහතික කිරීම හා අන්තරායකර සහ අනෙකුත් අපද්‍රව්‍ය පරිසර හිතකාමී ලෙස කළමනාකරණය කිරීමට සහාය වීම ද මෙම සම්මුතියේ අරමුණයි.

උක්ත සම්මුතියට අනුව කිසිම රටකින් තවත් රටකට එම රටේ නිසි අවසරයකින් තොරව කසළ අපනයනය කල නොහැක. ලංකාවට කසළ ගෙන ඒමට නම් මධ්‍යම පරිසර අධිකාරියේ කැමැත්ත අනිවාර්යෙන්ම ලබා ගත යුතුය. මෙරටට කසළ ගෙන්වූ සමාගම් මධ්‍යම පරිසර අධිකාරියෙන් කසළ ගෙන්වීම සදහා නිසි අවසරයක් ලබා ගෙන නැත.

කුඩා පරිමාණ ව්‍යාපාරිකයින්ගෙන් හා දුප්පත් මහජනතාවගෙන් සුලු වැරුද්දකදී වුවද උරණව කටයුතු කරන මධ්‍යම පරිසර අධිකාරිය මෙරට කසළ ගෙන්වූ මහාපරිමාණ සමාගමට විරුද්ධව උපදෙස් දෙනු ලබන්නේ මෙරටට ගෙනආ කසළ නැවත එම රටට යවන ලෙස පමණි. එසේ උපදෙස්දීම ද නිති විරෝධිය. මෙසේ කසළ රදාවා තැබීම නීති විරෝධී බව හා එදේ රදවා තැබීමෙන් පරිසරයට විෂ දව්‍ය මුදා හැරෙන බව මධ්‍යම පරිසර අධිකාරිය ප්‍රකාශ කලත් එම හානිය වලක්වා ගැනීම සදහා තවම කටයුතු කර නැත.

මධ්‍යම පරිසර අධිකාරියේ මෙම අංශය භාරව සිටින පුද්ගලයාගේ නීති විරෝධි ක්‍රියාකළාපය පිළිබදව අප සංවිධානය විසින් මීට පෙර හෙලිදරව්කලද මෙරට පාලකයින් ඔහුට එරෙහිය කිසිදු ක්‍රියාමාර්ගයක් ගෙන නැත. නීති විරෝධීව 2015 සිට මෙරටින් තඔ අපනයනය කිරීම සදහාද ඔහු විසින් එක් සමාගමකට අනුග්‍රහය දක්වා ඇත. තවද අප සංවිධානය කරණ ලද පැමිණිල්ලකට අනුව ජා ඇල ප්‍රදේශයේ පවත්ගෙන යනු ලබන නීතිවිරෝධී විද්‍යුත් අපද්‍රව්‍ය එක් රැස් කරන ස්ථානයක් පොලිසිය විසින් වැටලූ අතර එම සමාගමට විරැද්ධවද මෙම නිළධාරීයා නිසි ක්‍රියාමාර්ග ගෙන නොමැත.

මෙරටට කසළ ගෙන්වා ඇත්තේ එංගලන්තයෙන් පමණක් නොව වෙනත් රටවලින් කසළ ගෙන්වූ බවට වන කරුණුද අප සංවිධානය සතුව ඇත. ඉදිරියේදී අප එම කරුණු හෙළිදරව් කිරීමට බලාපපොරොත්තුවෙමු.

කෙසේ වෙතත් මෙරටට කසළ ගෙන්වීම බාසල් ගිවිසුමට අනුව නීතිවිරෝධී වීම හා එම කසළ නැවත එම රටට යැවීමට උපදෙස් දීම බාසල් ගිවිසුම කඩකිරීමක් වන නිසා අප සංවිධානය ඒ පිළිබදව බාසල් ගිවිසුම භාර කටයතු කරන එක්සත් ජාතීන්ගේ මහලේකම්වරයාට පැමිණිල්ලක් ඉදිරිපත් කිරීමට කටයතු කරන බවද දන්වන අතර මෙරට බලධාරීන්ගෙන් ඉල්ලා සිටින්නේ මෙරටට කසළ ගෙන්වූ සමාගම හා එම සමාගම ආරක්ෂා කිරීමට කටයුතු කරන මධ්‍යම පරිසර අධිකාරියේ නිළධාරීන්ට එරෙහිව වහාම නීතිය ක්‍රියාමාර්ගයක් කරන ලෙසයි.

රංජිත් විතානගේ
සභාපති
පාරිභෝගික අයිතීන් සුරකීමේ ජාතික ව්‍යාපාරය

***************************************

පොහොට්ටු අපේක්‍ෂක ගෝටා.. යෝජනාව සම්මතයි.. මහින්දගේ අනුමැතියට යවයි..

(21.07.2019 – 14:10 +0530 – lankacnews.com)

ඉදිරි ජනාධිපතිවරණයේ දී ශ්‍රි ලංකා පොදුජන පෙරමුණේ අපේක්ෂකයා වශයෙන් හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරිපත් කළ යුතු බවට වන යෝජනාවක් එම පක්ෂයේ ගම්පහ දිස්ත්‍රික් කමිටුවේ දී සම්මත කෙරිණි.

එම පක්ෂයේ ගම්පහ දිස්ත්‍රික් නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රසන්න රණතුංග මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති එම කමිටු රැස්වීමේ දී සම්මත වූ යෝජනාව ඉදිරි දිනවල දී හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා වෙත දන්වා යැවීමටත් තීරණය කෙරිණි.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට සම්බන්ධ ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්, පළාත් සභා සහ පළාත් පාලන ආයතන නියෝජිතයන්, අනුබද්ධ සංවිධානවල නියෝජිතයන් සහ වෘත්තීය සමිති නියෝජිතයන්ගෙන් සමන්විත කමිටු සාකච්ඡාවෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ප්‍රසන්න රණතුංග මහතා මෙසේ ප්‍රකාශ කළේය.

ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරි ජනාධිපතිවරණයේ දී පොහොට්ටුවේ අපේක්ෂකයා වශයෙන් නම් කළ යුතු බවට ජනතාව අතර මතයක් තිබෙනවා. ඒ සම්බන්ධයෙන් අපි දිස්ත්‍රික් කමිටුවේ දී සාකච්ඡා කළා. දිස්ත්‍රික් කමිටුවේ ඒකමතික තීන්දුව වුණෙත් අපේක්ෂකත්වයට ගෝඨාභය රාජපක්ෂ මහතා සුදුසුයි කියන එකයි. ඒ අනුව අපි ඒ මතය මහින්ද රාජපක්ෂ මහතා වෙත දන්වා යැවීමට කටයුතු කරනවා.

කොහොම වුණත් අගෝස්තු මාසේ 11 වැනි දා අපේ පක්ෂයේ මහ සමුළුවේ දී අපේක්ෂකයා නම් කිරීමට නියමිතයි. මහින්ද රාජපක්ෂ මහත්තයා අපේ පක්ෂයේ නායකයා ලෙස නම් කිරීමෙන් අනතුරුව පක්ෂයේ අපේක්ෂකයා එතුමා විසින් නිල වශයෙන් ප්‍රකාශයට පත් කිරීමට නියමිතයි. අපි විශ්වාස කරනවා එතුමා අපේ යෝජනා ගැනත් සැලකිල්ල යොමු කරයි කියලා.

එක්සත් ජාතික පක්ෂය මේ වන විට අපේක්ෂකයෙක් නැතිව වල්මත් වෙලා තියෙනවා. සමහර ඇමැතිවරුන් හිතනවා තමන් අපේක්ෂකයා ලෙස නම් කරයි කියලා. නමුත් ඒ අයට අමතක වෙලා තියෙනවා රනිල් වික්‍රමසිංහ අකමැති කිසිවකුට එක්සත් ජාතික පක්ෂයේ අපේක්ෂකත්වය ලබාගන්න බැරි බව. රනිල්ට ඕනේ වෙලා තියෙන්නේ ජනාධිපතිවරණය දිනන්න නෙමෙයි පක්ෂ නායකත්වය රැකගන්නයි.

අපි දැක්ක අපේක්ෂකයෝ නැතත් ආර්යාවෝ නම් බිහිවෙලා ඉන්නවා. දැන් එක්සත් ජාතික පක්ෂයට වෙලා තියෙන්නේ ජනාධිපති අපේක්ෂකයෙක් හොයන්න නෙමෙයි බිහිවෙලා ඉන්න ආර්යාවට ගැලපෙන අපේක්ෂකයෙක් හොයන්නයි. සජිත් මහත්තයටත් සිද්ධ වෙලා තියෙනවා තමන්ගේ ආර්යාවට තියෙන අයිතිය තහවුරු කරගැනීම වෙනුවෙන් අපේක්ෂකත්වය දිනාගන්න.

ජනාධිපතිවරණය ළංවෙන කොට එක්සත් ජාතික පක්ෂය සුපුරුදු පරිදි ජාති, ආගම් භේද වපුරවන්න උත්සහ ගනිමින් සිටිනවා. නපුංසක ඇමැතිවරුන් ලවා මහා සංඝරත්නයට අපහාස කරවීමේ මෙහෙයුම ක්‍රියාත්මක වෙන්නේ එ. ජා. ප නායකත්වයේ ආශිර්වාදය ඇතිවයි. එහි ප්‍රමුඛස්ථානය ලැබිලා තියෙන්නේ රන්ජන් සහ මංගල කියන ඇමැතිවරුන් දෙපළටයි.

අපි අවධාරණයෙන් කියනවා ජාති, ආගම් භේද වපුරලා මේ වතාවේ ජනාධිපතිවරණය දිනන්න එක්සත් ජාතික පක්ෂයට බැරි බව. මේ වතාවේ ජයග්‍රාහකයා බිහි වෙන්නේ පොදුජන පෙරමුණෙන්. මුළු රටම දැන් අපේ අපේක්ෂකයා දිනවීම සඳහා පෙළ ගැසී තිබෙනවා. ඒ අපේක්ෂකයාගේ අහළකටවත් ළං වෙන්න ඔය ඉන්න අපේක්ෂකයන් දුසිම් ගණනකටවත් බැහැ.

අපි දැක්කා සමහර අපේක්ෂකයෝ මේ දවස්වල කුඩේ කුඩු වෙලා යන හැටි. එක අපේක්ෂකයෙක් බලෙන් ප්‍රභූ වෙන්න ගිහින් ඇඳිවත ගලවා ගත්තා. තව අපේක්ෂකයෙක් කුණු ගෙන්නලා කුණු වෙලා ගියා. තවත් කෙනෙක් කැසිනෝ හින්දා නට්ටං වුණා. එහෙම බලනකොට පොහොට්ටුවට තර්ජනයක් කරන්න පුළුවන් අපේක්ෂකයෙක් මේ රටේවත් නැහැ.

– ප‍්‍රදීප් අනුර කුමාර

+++++++++++++++++++++++++++++++++++

***************************************

මනිපායි සිද්ධිය ‘ආවා’ – ‘කොලින්’ ගැටුමක්

(21.07.2019 – 12:37 +0530 – hirunews.lk/sinhala)

යාපනය – මනිපායි – ඉනුවිල් ප්‍රදේශයට ආවා කල්ලි සාමාජිකයින් ඊයේ පැමිණ ඇත්තේ ඔවුන්ගෙන් වෙන්වූ කොලින් කල්ලියේ ප්‍රධානියාගේ නිවසට ප්‍රහාරයක් එල්ල කිරීමට බවට පොලිසිය සැක පළ කරනවා.

ආවා කල්ලි සාමාජිකයින් විසින් තියුණු ආයුධ සමඟ නිවාස කිහිපයකට පහරදීම සඳහා පැමිණෙන බවට මනිපායි පොලිසියට තොරතුරක් මත මාර්ග බාධකයක් යොදා රථවාහන පරීක්ෂා තිබෙනවා.

එහිදී තියුණු ආයුධ රැගෙන යතුරුපැදි 03 කින් පැමිණි ආවා කල්ලි සාමාජිකයන් නිරීක්ෂණය කර ඇති අතර, ඔවුන්ට නතර වීමට අණ කිරීමේදී පොලිස් නිලධාරීන්ට කඩුවලින් ප්‍රහාරයක් එල්ල කර ඇති බවයි වාර්තා වන්නේ.

එහිදී ක්‍රියාත්මක වූ පොලිස් නිලධාරීන් සැකකරුවන්ට වෙඩි තබා තිබෙනවා. වෙඩි ප්‍රහාරයත් සමඟ ඉදිරියට ගමන් කළ එක් යතුරුපැදිකරුවෙකු අසල තිබූ තාප්පයක ගැටී ඇති අතර, එම අවස්ථාවේදී වෙඩි වැදී තුවාල ලබා සිටි එක් ආවා කල්ලි සාමාජිකයෙකු පොලිස් භාරයට ගත් බවයි ප්‍රදේශය භාර උසස් පොලිස් නිලධාරියෙකු සඳහන් කළේ.

අනතුරුව ඔහු යාපනය රෝහලට ඇතුළත් කිරීමේදී ජීවිතක්ෂයට පත්වුණා. මෙලෙස ජීවිතක්ෂයට පත්වූ ආවා කල්ලි සාමාජිකයා කොඩිකාමම් ප්‍රදේශයේ පදිංචි 21 හැවිරිදි තරුණයෙක්.

ආවා කල්ලි සාමාජිකයින් පැමිණි යතුරුපැදිය අනතුරට ලක්වූ ස්ථානයේ තිබී කඩු දෙකක්, කෙටේරි දෙකක් පොලිසිය සොයා ගත්තා. ඊට අමතරව පැමිණි ආවා කල්ලි සාමාජිකයෙකුගේ මුදල් පසුම්බියක්ද එම ස්ථානයේ වැටී තිබියදී පොලිසිය සොයාගෙන ඇති අතර, ඔහු මනිපායි ප්‍රදේශයේ පදිංචි 21 හැවිරිදි තරුණයෙකු බව අනාවරණ වී තිබෙනවා.

පොලිස් භාරයට ගත් යතුරුපැදියේ අංක තහඩුව ව්‍යාජ එකක් බවයි ප්‍රදේශය භාර උසස් පොලිස් නිලධාරීයා තවදුරටත් සඳහන් කළේ.

පළාගිය අනෙක් ආවා කල්ලි සාමාජිකයින් පස් දෙනා අත්අඩංගුවට ගැනීම සඳහා මේ වනවිට කණ්ඩායම් කිහිපයක් පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා.

ආවා කල්ලි සාමාජිකයන් තමන්ගෙන් වෙන්ව කටයුතු කරන කොලින් කල්ලියේ සාමාජිකයන්ගේ නිවෙස් වෙත ගොස් ඔවුන්ගේ දේපළවලට හානි සිදුකිරීම මීට පෙරද වාර්තාවී තිබෙනවා.

එලෙස ඊයේ දිනයේදීද ඔවුන්, කොලින් කල්ලියේ ප්‍රධානියාගේ නිවසේ දේපළවලට හානි සිදුකිරීම සඳහා මෙලෙස පැමිණෙන්නට ඇති බවටයි පොලිසිය සැක පළ කරන්නේ.

මේ අතර ඊයේ රාත්‍රි 9.20 ට පමණ රත්ගම – කැකිල්ලමණ්ඩිය ප්‍රදේශයේදී වෙඩි තබා පුද්ගලයෙකු ඝාතනය කිරීම පාතාල කල්ලි අතර ගැටුමක් බවට පොලිසිය සැක පළ කරනවා.

වෙඩි ප්‍රහාරයට ලක්ව 26 හැවිරිදි සමීර චන්දිමාල් නැමති අයෙක් ජීවිතක්ෂයට පත්වූ අතර, ඔහුගේ වැඩිමහල් සහෝදරයා ප්‍රබල පාතාල කල්ලි සාමාජිකයෙකු බවයි පොලීසිය සඳහන් කළේ.

මියගිය පුද්ගලයාට ගාල්ල සහ බලපිටිය අධිකරණවල නඩු කිහිපයක්ද පවතිනවා ෴

+++++++++++++++++++++

පොලීසියෙන් වෙඩි කෑ ආවා සාමාජිකයා

(21.07.2019 – 19:37 +0530 – sinhala.adaderana.lk)

යාපනය මනිප්පායී ප්‍රදේශයේදි පොලීසිය සිදුකළ වෙඩි තැබීමකින් ‘ආවා’ කල්ලි සාමාජිකයෙකු මිය ගියේය.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පැවසුවේ පිරිසක් විසින් පොලිස් නිලධාරීන්ට පහරදීමට උත්සාහ කළ අවස්ථාවේ මෙම වෙඩි තැබීම සිදුකර ඇති බවයි.

ඊයේ (20) රාත්‍රි 8.40 ට පමණ යාපනයේ, මනිප්පායි ප්‍රදේශයේ නිවාස කිහිපයකට කිසියම් පිරිසක් පහර දීමට සූදානම් වන බවට මනිප්පායි පොලිසියට තොරතුරක් ලැබී තිබේ.

ඒ අනුව ඉනුවිල් ප්‍රදේශයේදී මනිප්පායි පොලිසියේ නිලධාරින් කණ්ඩායමක් පුද්ගලයින් සහ වාහන සෝදිසි කිරිමේ මෙහෙයුමක් ආරම්භ කර තිබුණි.

එම අවස්ථාවේදී යතුරුපැදි තුනකින් පුද්ගලයින් හය දෙනෙකු තියුණු ආයුධ සහිතව පැමිණ ඇති අතර පොලිස් නිලධාරින් සැකකරුවන්ව අත් අඩංගුවට ගැනිමට උත්සහ දැරිමේදි ඔවුන් පොලිස් නිලධාරින්ට කඩු වලින් පහර දිමට උත්සහ දැරූ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සදහන් කළේය.

එහිදී එම යතුරුපැදිවලට පොලිසිය වෙඩි තැබීමක් සිදුකර ඇති අතර වෙඩි වැදීමෙන් එක් සැකකරුවෙකු තුවාල ලබා තිබේ.

යාපනය ශික්ෂණ රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව ඔහු ජිවිතක්ෂයට පත් වී ඇත.

මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ යාපනය කොඩිකාමම් ප්‍රදේශයේ පදිංචි සෙල්වරත්නම් කවිගජන් නැමැති 22 හැවිරිදි තරුණයෙක්.

කෙසේ නමුත් වෙඩි තැබීම සිදු වන අවස්ථාවේදී පැමිණ සිටි සෙසු පුද්ගලයින් 5දෙනා පළා ගොස් ඇති අතර සැකකරුවන් දමා ගොස් තිබූ කඩු 03 ක් සහ යතුරු පැදියක් පොලිස් භාරයට ගෙන තිබේ.

සිදුවීමට අදාළ මහේස්ත්‍රාත් පරීක්ෂණය අද සිදු සිදු කළ අතර මනිප්පායි පොලිසිය විසින් සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ සිදු කරනු ලබයි.

***************************************

පාස්කු ප්‍රහාරයේ පරීක්ෂණ රතු පලස යට සැඟවේදැයි සැකයි – තෙමස් පූර්ණ සැමරුමේදී කාදිනල් හිමිපාණන්ගෙන් ප්‍රකාශයක්

(21.07.2019 – 12:32 +0530 – hirunews.lk/sinhala)

පාස්කු ඉරිදා ප්‍රහාරයේ පරීක්ෂණ රතු පළස යට සැඟවේදැයි සැකයක් මතුවන බව අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් පවසනවා.

කාදිනල් හිමිපාණන් මේ බව සඳහන් කළේ පාස්කු ඉරිදා ප්‍රහාරයේ ඛේදවාචකයට මාස 3 ක් සපිරීම සිහිකර කටුවාපිටිය ශාන්ත සෙබස්තියන් දේවස්ථානයේ පැවති දේව මෙහෙයට අද පෙරවරුවේ එක්වෙමින්.

පාස්කු ඉරිදා එල්ලවූ ත්‍රස්ත ප්‍රහාරයෙන් දැඩි අලාභහානියට පත්වූ කටුවාපිටිය ශාන්ත සෙබස්තියන් දේවස්ථානයේ මාස 3 කට පසු දේව මෙහෙයන් ආරම්භ කෙරුණේද අද දිනයේදියි.

මෙම අවස්ථාවට මහා සංඝ රත්නයද වැඩම කර සිටීම විශේෂත්වයක් වන අතර, ත්‍රිවිධ හමුදාව ඇතුලු කතෝලික බැතිමතුන් විශාල පිරිසක් මෙම අවස්ථාවට එක්වුණා.

දේව මෙහෙයෙන් අනතුරුව දානමය පිංකමක්ද පැවැත්වීමට නියමිතයි.

මේ අතර අග්‍රාමාත්‍ය කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයෙන් වින්දිත භාවයට පත්වූවන්ට වන්දි වශයෙන් රුපියල් මිලියන 265 ක් මේ වනවිටත් ගෙවා අවසන් කර ඇති බවයි.

මීට අමතරව ත්‍රස්ත ප්‍රහාරයෙන් හානියට පත්වූ දේවස්ථාන යළි ඉදිකිරීම සඳහා අත්තිකාරම් වශයෙන් රුපියල් මිලියන 25 ක් නිදහස් කර ඇති බවයි එම නිවේදනයේ දැක්වෙන්නේ.

ත්‍රස්ත ප්‍රහාරවලින් විනාශයට පත්වූ කටුවපිටිය ශාන්ත දේවස්ථානයට රුපියල් මිලියන 10 ක්, මඩකලපුව සියොන් දේවස්ථානයට මිලියන 5 ක් සහ කොළඹ කොච්චිකඩේ ශාන්ත අන්තෝනි දේවස්ථානයට මිලියන 10 ක් ලබා දී තිබෙනවා.

හානියට පත්වූ දේවස්ථාන පිළිසකර කරනු ලබන්නේ යුද සහ නාවික හමුදා සාමාජිකයන් විසින් වීම විශේෂත්වයක්.

එමෙන්ම පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් ජීවිතක්ෂයට පත්වූවන් සිහිකර කොච්චිකඩේ ශාන්ත අන්තෝනි දේවස්ථානයේද අද පෙරවරුවේ විශේෂ දේව මෙහෙයක් පැවැත්වුණා.

එම දේව මෙහෙයන් පසුව ඉටිපන්දම් දල්වා මියගිය පිරිස සිහිකළ බවයි එහි සිටින හිරු වාර්තාකරු සඳහන් කළේ.

+++++++++++++++++++++++++++++++++++

+++++++++++++++++++++++++++++++++++

+++++++++++++++++++++++++++++++++++

21.07.2019

***************************************

විසඳුම් නොමැතිනම් තැපැල් වෘත්තිය සමිති අඛණ්ඩ වර්ජනයකට සූදානමින්

(21.07.2019 – 7:41 +0530 – lankacnews.com)

විෂය භාර අමාත්‍යවරයා ඉල්ලීම් සිදුකළද අද (21) මධ්‍යම රාත්‍රියේ සිට ආරම්භ කිරීමට නියමිත අසනීප නිවාඩු වාර්තා කිරීමේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය නතර නොකරන බව තැපැල් වෘත්තීය සමිති පවසනවා.

ඒකාබද්ධ තැපැල් වෘත්තීය සමිති පෙරමුණේ කැදවුම්කරු චින්තක බණ්ඩාර මහතා කියා සිටියේ ඉල්ලීම් නොලැබුණහොත් ඉදිරියේදී අඛන්ඩ වැඩ වර්ජනයක් සිදුකිරීමට තීරණය කර ඇති බවයි.

අද (21) මධ්‍යම රාත්‍රියේ සිට පැය 24 ක කාලයක් අසනීප නිවාඩු වාර්තා කිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ගයක නිරතවීමට තැපැල් වෘත්තීය සමිති තීරණය කිරීමත් සමග තැපැල්සේවා හා මුස්ලිම් ආගමික කටයුතු අමාත්‍ය ඒ.එච්.එම්. හලීම් වර්ජනයකට නොයන ලෙස වෘත්තීය සමිති වලින් ඉල්ලීමක් කළා.

ඒ, ඊයේ මහනුවර පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්.

කෙසේ වෙතත්, ඒකාබද්ධ තැපැල් වෘත්තීය සමිති පෙරමුණේ කැදවුම්කරු චින්තක බණ්ඩාර මහතා කියා සිටියේ බඳවා ගැනීමේ පටිපාටි ක්‍රියාත්මක කිරීමට අදාළව ඉදිරිපත් කර ඇති අමාත්‍ය මණ්ඩල සංදේශය සම්මත නොකිරීමට එරෙහිව මෙම වෘත්තීය ක්‍රියාමාර්ගය දියත් කරන බවයි.

***************************************

පාස්කු ඉරිදා ප්‍රහාරය ගැන සෙවූ තේරීම්කාරක සභාවේ අවසන් වාර්තාව අගෝස්තු 23 වැනිදා

(21.07.2019 – 07:20 +0530 – hirunews.lk/sinhala)

පාස්කු ප්‍රහාරය පිළිබඳව සොයාබලන පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවේ අවසන් වාර්තාව අගෝස්තු 23 වනදා නිකුත් කිරීමට නියමිත බව වාර්තා වනවා.

ඊට අදාළ කටයුතු මේ වනවිට සිදුකරමින් පවතින බවයි තේරීම් කමිටු සාමාජිකයෙකු හිරු ප්‍රවෘත්ති අංශයට සදහන් කළේ.

මේ වනවිට තේරීම් කාරක සභාවට සාක්ෂි ලබාදීම සදහා පාර්ශව රැසක් සහභාගි වී ඇති අතර, තවදුරටත් සාක්ෂි විමසීම සදහා කැදවන්නේ කවුරුන් ද යන්න මේ වනවිට සාකච්ඡා කරමින් පවතින බව සඳහන්.

මේ අතර, පාස්කු ඉරිදා ප්‍රහාරය පිළිබද සොයා බැලෙන පාර්ලිමේන්තු තේරීම්කාරක සභාව එළඹෙන 24 වනදා යළි රැස්වීමට නියමිතයි.

එදින පෙරවරු 10.30 සිට පස්වරු 6.30 දක්වා තේරීම්කාරක සභාව රැස්වන අතර, එදිනට සාක්ෂි විමසීම සිදුකරනු ලබන්නේ බුද්ධි අංශ ප්‍රධානීන්ගෙන්.

ඒ අනුව, රාජ්‍ය බුද්ධි ප්‍රධානී, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නිලන්ත ජයවර්ධන, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවී සෙනෙවිරත්න සහ එහි අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ශානි අබේසේකර කමිටුව හමුවේ සාක්ෂි ලබාදීමට නියමිතයි.

එමෙන්ම, පොලිස් ත්‍රස්ත විමර්ශන කොට්ඨාශයේ අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී වරුණ ජයසුන්දර සහ එම කොට්ඨාශයේ පොලිස් පරීක්ෂකවරයෙකු වන තරංග පතිරණ එදිනට සාක්ෂි ලබාදෙනු ඇති.

කෙසේ වෙතත්, මෙම සාකච්ඡාව මාධ්‍යයට විවෘත කරන්නේ ද නැද්ද යන්න සම්බන්ධයෙන් මේ වනතෙක් අවසන් තීරණයක් ගෙන නොමැති බවයි කමිටු ආරංචි මාර්ග සඳහන් කළේ. 24 වනදා සිට 26 වනදා දක්වා තෙදින තුළම සාක්ෂි විමසීම සිදුකිරීමට නියමිතයි ෴

***************************************

අසල්වැසියා වීඩියෝ කළ ඥාතීන්ගේ ගැටුම

(21.07.2019 – 20:37 +0530 – hirunews.lk/sinhala)

බත්තරමුල්ල – තලවතුගොඩ ප්‍රදේශයේ ඥාතීන් දෙපිරිසක් අතර ඇතිවූ ගැටුමකින් සිව්දරු පියෙකු තුවාල ලබා තිබෙනවා.

මෙම ගැටුම ප්‍රදේශවාසියෙකු විසින් ජංගම දුරකථනයකින් රූගත කර තිබුණා.

බත්තරමුල්ල – තලවතුගොඩ එකමුතු මාවත ප්‍රදේශයේදී මෙම ගැටුම හටගෙන ඇත්තේ ඉකුත් 19 වැනිදායි.

අදාළ ප්‍රදේශයේ ගලාබසින වතුර කාණුවක් සම්බන්ධයෙන් ඥාතීන් දෙපිරිසක් අතර බහින්බස්වීමක් ඇතිවී තිබෙනවා.

කෙසේ වෙතත්, පසුව එය ගැටුමක් දක්වා දුරදිග ගොස් ඇති අතර, එම ගැටුම ප්‍රදේශවාසියෙකු විසින් ජංගම දුරකථනයකින් රූගත කර තිබුණා.

මෙම සිද්ධියෙන් පැතුම් සුරංග නම් පුද්ගලයෙකු පහරකෑමට ලක්ව ඇති අතර, ඔහු මේවන විට ජාතික රෝහලේ ප්‍රතිකාර ලබනවා.

ඔහු සිව්දරු පියෙක්.

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *