ගම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රදේශ රැසකට අනිද්දා (19) ජල සැපයුම අත්හිටුවයි

(17.07.2019 – 13:20 +0530 – hirunews.lk/sinhala)

අලුත්වැඩියා කටයුත්තක් හේතුවෙන් ගම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රදේශ රැසකට අනිද්දා (19) දිනයේ පැය 9 ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පවසනවා.

ඒ අනුව, එදින (19) පෙරවරු 8 සිට පස්වරු 5 දක්වා මෙලෙස ජල සැපයුම අත්හිටුවන්නේ කැළණිය, වත්තල, බියගම, මහර, දොම්පේ, ජා-ඇල සහ ගම්පහ යන ප්‍රාදේශීය සභා බල ප්‍රදේශවලටයි.

එමෙන්ම වත්තල, පෑලියගොඩ, කටුනායක – සීදුව සහ ජාඇල නගර සභා බල ප්‍රදේශවලට ද මෙම කාලය තුළ ජල සැපයුම අත්හිටුවන බව ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය සඳහන් කළා ෴

***************************************

බ්‍රිතාන්‍යයේ තවත් කසල බහාලුම් 120 ක් රේගුවෙන් මුදාහැර ඇති බවට හෙලි වේ

(17.07.2019 – 12:42 +0530 – hirunews.lk/sinhala)

ශ්‍රි ලංකා අයෝජන මණ්ඩලයේ ව්‍යාපෘතියක් සදහා භාණ්ඩ ගෙන්වන මුවාවෙන් බ්‍රිතාන්‍යයෙන් සිට මෙරටට ගෙන්වූ තවත් කසළ බහාලුම් 120 ආසන්න ප්‍රමාණයක් වරායෙන් මුදා හැර ඇති බව රේගු වෘත්තීය සමිති අද අනාවරණ කළා.

කොළඹදී මාධ්‍ය හමුවක් පවත්වමින් සමස්ත ලංකා රේගු සේවා සංගමයේ ප්‍රධාන ලේකම් ජේ.ඒ. ගුණතිලක කියා සිටියේ මෙම කසළ බහාලුම් ගෙන්වූ සමාගම පිලිබදව රජය කරුණු පැහැදිලි කළ යුතු බවයි.

සංවර්ධිත රටවල අපද්‍රව්‍ය මෙරටට ගෙන්වීමට හැකිවන පරිදි 2013 වසරේ නිකුත් කර ඇති ගැසට් නිවේදනය වහා අවලංගු කළ යුතු බව ඔහු කියා සිටියේ.

මේ අතර, මෙම කසළ බහාලුම් වලට සමාන තවත් බහාලුම් තොගයක් පවතින බවට ලද තොරතුරකට අනුව මධ්‍යම පරිසර අධිකාරියේ සභාපති ඉසුර දේවප්‍රිය මහතා අද උදෑසන කටුනායක නිදහස් වෙළද කලාප පරිශ්‍රයට පැමිණියා.

***************************************

තැපැල් වර්ජනයෙන් ලිපි ලක්ෂ 2 ක් මධ්‍යම තැපැල් හුවමාරුවේ ගොඩගැසේ

(17.07.2019 – 12:37 +0530 – hirunews.lk/sinhala)

බඳවාගැනීම්, උසස්වීම් සහ වැටුප් තල අහිමි කිරීම ඇතුලු ඉල්ලීම් කිහිපයක් මුල්කර ගනිමින් තැපැල් සේවකයින් දියත් කර ඇති වර්ජනය හේතුවෙන් ලිපි ලක්ෂ 2 ක් පමණ මධ්‍යම තැපැල් හුවමාරුවේ ගොඩගැසී තිබෙනවා.

ඊයේ පස්වරු 4 ට මෙම වර්ජනය ආරම්භ කළ අතර, මේ දක්වා බලධාරින් තම ඉල්ලීම්වලට යහපත් ප්‍රතිචාරයක් දක්වා නොමැති බවයි ඒකාබද්ධ තැපැල් වෘත්තිය සමිති පෙරමුණේ කැඳවුම්කරු චින්තක බණ්ඩාර කියා සිටියේ.

කෙසේ වෙතත්, තැපැල් සේවකයින්ගේ ගැටළු සම්බන්ධයෙන් ලබන සිකුරාදා පැවැත්වෙන අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී විසදුමක් ලබා දීමට හැකි වනු ඇති බවයි මේ සම්බන්ධයෙන් කළ විමසීමකදී විෂයභාර අමාත්‍ය එම්.එච්.ඒ. හලීම් කියා සිටියේ.

මේ අතර, දුම්රිය දෙපාර්තමේන්තුවේ ආදේශක, අනියම් හා තාවකාලික සේවකයින් 1400 ක් ස්ථිර කරන ලෙස ඉල්ලා දුම්රිය සේවා වෘත්තීය සමිති ඒකාබද්ධ පෙරමුණ අද උදෑසන විරෝධතා පාගමනක නිරත වුණා.

කොම්පඤ්ඤ වීථිය දුම්රිය ස්ථානයේ සිට පාගමනින් ඔවුන් අරලියගහ මන්දිරය වෙත පැමිණි අතර, එහිදී විරෝධතාකරුවන් සංදේශයක් ද භාරදුන් බවයි අප වාර්තාකරු කියා සිටියේ ෴

***************************************

කසල ආනයනය තහනම් බව සුරකිමු ශ්‍රී ලංකා ජාතික ව්‍යාපාරය කියයි

(18.07.2019 – 21:31 +0530 – hirunews.lk/sinhala)

ශ්‍රී ලංකාව ගිවිසුම් ගතව ඇති 1989 බ්‍රසල්ස් සම්මුතියට අනුව කසල ආනයනය තහනම් කර ඇති බව සුරකිමු ශ්‍රී ලංකා ජාතික ව්‍යාපාරයේ සභාපති පුජ්‍ය පාහියංගල ආනන්ද සාගර හිමියන් පෙන්වා දෙනවා.

කොළඹ අද පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් උන්වහන්සේ මේ අදහස් පළ කළා.

පරිසරයට අහිතකර කසල කන්ටේනර් විශාල ප්‍රමාණයක් එංගලන්තයේ සිට මෙරටට ආනයනය කර ඇති පුවත හිරු ප්‍රවෘත්ති අප ඊයේ ඔස්සේ අනාවරණය කළා.

ඒ පිළිබදව පුජ්‍ය පාහියංගල ආනන්ද සාගර හිමියන් අදහස් පළ කළා.

***************************************

ප්‍රදේශ රැසකට තද වැසි සහ සුළං – දිස්ත්‍රික්ක කිහිපයකට නායයාමේ අවදානමක්

(18.07.2019 – 21:19 +0530 – hirunews.lk/sinhala)

අද රාත්‍රියේ ප්‍රදේශ රැසකට තද වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

බස්නාහිර, සබරගමුව, දකුණ, වයඹ සහ මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලට මෙලෙස වැසි ඇතිවිය හැකි බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

එමෙන්ම මෙම ප්‍රදේශවලට පැයට කිලෝමීටර් 50 ක් 60 ක් පමණ වන තද සුළං ද ඇතිවිය හැකියි.

මේ අතර පවතින වැසි සහ සුළං තත්වය හමුවේ ගස් කඩා වැටීමෙන් රත්නපුර, කලුතර, ගාල්ල, මාතර සහ නුවරඑළිය ඇතුලු ප්‍රදේශ රැසක විදුලිය ද විසන්ධි වී තිබෙනවා.

මේ අතර ජාතික ගොඩනැගිලි පර්යේෂණායතනය සඳහන් කළේ රත්නපුර, නුවරඑළිය, මහනුවර, කෑගල්ල, කලුතර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්වලට නායයාමේ අවදානමක් ද පවතින බවයි ෴

***************************************

ඇමති මංගල යළිත් මහා සංඝරත්නයට අපහාස කරයි

(18.07.2019 – 20:23 +0530 – hirunews.lk/sinhala)

පූජ්‍ය තිනියාවල පාලිත ස්වාමින්වහන්සේට “පාලිත” ලෙස ආමන්ත්‍රණය කර මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා අද සිය නිල ට්විටර් ගිණුමේ සටහනක් තබා තිබුණා.

උපුටා ගැනීම..

“කෝටිපති ව්‍යාපාරික තිනියාවල පාලිත හිමි විසින් මට එරෙහිව සිදුකරනු ලැබූ තහවුරු නොකරන ලද සහ ද්වේශසහත චෝදනාවලට පුළුල් ප්‍රචාරයක් ලබාදුන් හිරු සහ දෙරණ නාලිකාවලට එරෙහිව රුපියල් බිලියනයක වන්දි මුදලක් ඉල්ලා නඩු පවරන ලෙස නීතිඥවරුන්ට උපදෙස් ලබාදුන්නා. දිලිත්, රේන, පාලිත අපි උසාවියේදී හමුවෙමු”

උපුටා ගැනීම අවසන්..

මංගල සමරවීර අමාත්‍යවරයා සිය ට්විටර් සටහනේ අවසානයේ “පාලිත” යනුවෙන් ආමන්ත්‍රණය කර ඇත්තේ පූජ්‍ය තිනියාවල පාලිත හිමියන්ටයි.

මිට පෙර අවස්ථාවකදී මංගල සමරවීර අමාත්‍යවරයා ශ්‍රී ලංකාව සිංහල බෞද්ධ රටක් නොවන බවට ආන්දෝලනාත්මක ප්‍රකාශයක් සිදු කළා.

පූජ්‍ය අතුරලියේ රතන හිමියන් උපවාසයේ නිරතව සිටි අවස්ථාවේ මංගල සමරවීර මහතා සිය විට්වර් සටහනක උන්වහන්සේව ආමන්ත්‍රණය කර තිබුණේ “සිවුරක් දැරූ පාර්ලිමේන්තු මන්ත්‍රී රතන” ලෙසයි.

මේ ආකාරයට භික්ෂූන්වහන්සේ සම්බන්ධයෙන් දිගින් දිගටම ද්වේශසහගත ප්‍රකාශ සිදුකරන මංගල සමරවීර මහතා කැබිනට් අමාත්‍යවරයෙක් ලෙස කටයුතු කිරීම සම්බන්ධයෙන් ජනාධිපතිවරයා සහ අග්‍රාමාත්‍යවරයා අවධානය යොමුකළ යුතු නොවේද ?

***************************************

පාස්කු ඉරිදා තේරීම් කාරක සභාවේ අවසන් වාර්තාව ගැන විපක්ෂයට සැකයක්

(18.07.2019 – 19:50 +0530 – hirunews.lk/sinhala)

පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් සොයා බලන පාර්ලිමේන්තු තේරීම්කාරක සභාවේ අවසන් වාර්තාව කඩිනමින් නිකුත් කරන්නේ, චෝදනා එල්ල වන පාර්ශව නිදොස් කිරීමේ අවශ්‍යතාව නිසාදැයි සැක මතුවන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පවසනවා.

පාර්ලිමේන්තු මන්ත්‍රී කංචන විජේසේකර මහතා මේ බව කියා සිටියේ කොළඹ අද කැදවා තිබූ මාධ්‍ය හමුවකට එක්වෙමින් ෴

***************************************

නොපෙනෙන ත්‍රස්තවාදයක් අවසන් වන දින වකවානු නිශ්චිතව ප්‍රකාශ කළ නොහැකියි – යුද හමුදාපති

(18.07.2019 – 17:09 +0530 – hirunews.lk/sinhala)

අප මේ මුහුණදී ඇත්තේ නොපෙනෙන ත්‍රස්තවාදයකට බැවින් එම ත්‍රස්තවාදය අවසන් වන දින වකවානු නිශ්චිතව ප්‍රකාශ කළ නොහැකි බව යුද හමුදාපති ලුතිනන් ජනරාල් මහේෂ් සේනානායක මහතා පවසනවා.

ඔහු මේ අදහස් දැක්වුයේ අද (18) උදෑසන රාගම ප්‍රදේශයේ පවතී උත්සවයකට එක්වෙමින්.

එමෙන්ම රටේ ආරක්ෂාව තහවුරු කිරීම වෙනුවෙන් යුද හමුදාව ඕනෑම මොහොතක සුදානම් බවයි යුද හමුදාපතිවරයා වැඩිදුරටත් සදහන් කළේ.

***************************************

ජ.වි.පෙ. මුස්ලිම් අන්තවාදයට ගොදුරුවෙලා – ජානිපෙ

(18.07.2019 – 13:01 +0530 – hirunews.lk/sinhala)

මුස්ලිම් අන්තවාදයේ ගොදුරක් බවට ජනතා විමුක්ති පෙරමුණ පත්ව ඇති බව ජාතික නිදහස් පෙරමුණ පවසනවා.

එහි ප්‍රචාරක ලේකම් මොහොමඩ් මුසම්මිල් මහතා මේ බව කියා සිටියේ කොළඹ අද කැඳවා තිබූ මාධ්‍ය හමුවකට එක්වෙමින්.

භික්ෂුන් වහන්සේලාට අපහාස වන අන්දමින් ප්‍රකාශ සිදුකළ රාජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක අමාත්‍ය ධුරයෙන් ඉවත් කළ යුතු බවද ඔහු එහිදි වැඩිදුරටත් අදහස් දක්වමින් කියා සිටියා.

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *