දින දෙකක තැපැල් වර්ජනය ඇරැඹෙයි

(16.07.2019 – 16:50 +0530 – lankadeepa.lk)

ඉල්ලීම් තුනක් මුල් කරගනිමින් මධ්‍යම තැපැල් හුවමාරුවේ කාර්යය මණ්ඩලය අද (16) පස්වරු 4.00 සිට දින දෙකක (02) සංකේත වර්ජනයක් ආරම්භ කර ඇත.

තැපැල් සේවාව පිළිබඳව මේ වනවිට කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර ඇති කැබිනට් පත‍්‍රිකාවට අනුමැතිය ලබාගැනීම, දිවයින පුරා දැනට සිදුවෙමින් පවතින තැපැල් සේවක අයිතිවාසිකම් කප්පාදුව නතර කිරීම, තැපැල් දෙපාර්තමේන්තුව වඩාත් කාර්යක්ෂම සේවා සපයන ස්ථානයක් බවට පත් කර ගැනීමට හැකිවන පරිදි සංවර්ධන යෝජනාවලියක් සැකසීම යන කරුණු මුල් කරගෙන මෙම වර්ජනය සිදුකරන බව ඒකාබද්ධ තැපැල් වෘත්තිය සමිති පෙරමුණේ කැඳවුම්කරු චින්තක බණ්ඩාර මහතා ලංකාදීපයට පැවැසීය.

මෙම ක‍්‍රියාමාර්ගයට, වෘත්තීය සමිති 21 ක් සහය දක්වන බව දක්වා ඇතැයි පැවසූ බණ්ඩාර මහතා ඉදිරි දෙදින මධ්‍යම තැපැල් හුවමාරුවේ කටයුතු අඩාල වනු ඇතැයි ද කියා සිටියේය.

මේ පිළිබඳව තැපැල්පති රංජිත් ආරියරත්න මහතාගෙන් ලංකාදීප කළ විමසීමක දී ඔහු කියා සිටියේ එවැනි වෘත්තීය ක‍්‍රියාමාර්ගයකට එළැඹෙන බව ඔවුන් තමන් වෙත දන්වා ඇති බවය. ඔවුන්ගේ ප‍්‍රශ්න පිළිබඳව සාකච්ඡා කළ නමුත් ප‍්‍රශ්න නිරාකරණය නොවූ බැවින් ඔවුන් වර්ජනයකට එළඹුණු බවත් හෙතෙම සඳහන් කළේය.

***************************************

වහාබ්වාදය රටම ගිල ගනී… විසඳුම 3 in 1 පන්නයේ නායකයෙක්…

(17.07.2019 – 13:20 +0530 – lankacnews.com)

වහාබ් අන්තවාදය ඇතුළු රටේ ප්‍රශ්න වලට විසඳුම ඇත්තේ 3 in 1 පන්නයේ නායකයෙකුට බව පිවිතුරු හෙළ උරුමයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රි නීතීඥ උදය ගම්මන්පිල මහතා පවසයි.

පිවිතුරු හෙළ උරුමයේ නායකයා මේ බව ප්‍රකාශ කර සිටියේ යූටියුබ් නාලිකාවක් හා පැවැති සම්මුඛ සාකච්ඡාවකට එක් වෙමිනි.

ලංකාව ගිල ගනිමින් පවතින වහාබ් අන්තවාදයේ ආරම්භය හා විකාශය පිළිබඳ මෙම වැඩ සටහනේ දී කරුණු පැහැදිලි කළ ගම්මන්පිල මන්ත්‍රිවරයා ලංකාව මෙම අන්තවාදයෙන් මුදාගැනීම සඳහා ගත යුතු ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් ද පැහැදිලි කර සිටියේය.

ඊට අමතරව මේ වන විට බොහෝ දෙනකුට වැලඳී ඇති ගෝඨා භය රෝග තත්වය පිළිබඳව මෙන්ම වත්මන් දේශපාලනයේ වැදගත් කරුණු කාරණා රාශියක් උදය ගම්මන්පිල මන්ත්‍රිවරයා විසින් මෙම වැඩසටහනේ දී හෙළිදරව් කරන ලදී.

සම්පූර්ණ විඩියෝව :

+++++++++++++++++++++

බොදුබල සේනා සංවිධානයෙන් චෝදනාවක්

(17.07.2019 – 20:37 +0530 – hirunews.lk/sinhala)

වහබ්වාදී අන්තවාදීන් හේතුවෙන් පොලිසියේ ඇතැම් නිලධාරීන් මේවන විට කෝටිපතියන් බවට පත්වෙමින් සිටින බවට බොදුබල සේනා සංවිධානය චෝදනා කරනවා.

එම සංවිධානයේ මහලේකම් පූජ්‍ය ගලගොඩඅත්අතේ ඥාණසාර හිමියන් මේ බව සඳහන් අද පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින්.

+++++++++++++++++++++

තීනියාවල පාලිත හිමියන්ගෙන් තවත් හෙළිදරව්වක්

(17.07.2019 – 19:41 +0530 – hirunews.lk/sinhala)

මුදල් අමාත්‍ය මංගල සමරවීර සම්බන්ධයෙන් සමගි බලවේගය සංවිධානයේ සභාපති පූජ්‍ය තීනියාවල පාලිත හිමියන් අද තවත් හෙලිදරව්වක් කළා.

ඒ, කොළඹ පැවති මාධ්‍ය හමුවකදියි.

ඒ අනුව මංගල සමරවීර කටයුතු කළ විවිධ අමාත්‍යාංශවල දූෂණ ඇතුළත් ෆයිල් 47 කට වැඩි සංඛ්‍යාවක් තමන් වෙත ලැබී ඇති බව උන්වහන්සේ කියා සිටියා.

ඒ අනුව ලක්ෂ 500 ක් පමණ වටිනා සුරා බලපත්‍ර 4 ක් ඔහු සතුව පවතින අතර ලංකා රෝහලට කිසිදු සුදුසුකමක් නොමැති අයෙක් සභාපතිවරයා ලෙස පත්කර ඇතැයිද චෝදනා කළා.

මෙම මාධ්‍ය හමුවේදි පූජ්‍ය තීනියාවල පාලිත හිමියන් වැඩිදුරටත් සඳහන් කළේ මහජන දේපළ මේ තරම් ගසාකෑමට ලක් කළ එකම පුද්ගලයා අමාත්‍ය මංගල සමරවීර බවයි.

***************************************

හිරු සී.අයි.ඒ. : බලපත්‍රයේ නාමයෙන් වැනසෙන මුලතිව් වනය

(17.07.2019 – 21:15 +0530 – hirunews.lk/sinhala)

අති බිහිසුනු ත්‍රස්තවාදී යුද ගැටුමකට මැදිව සිටියදීත් දශක තුනකට වැඩි කලක් නිදහසේ හුස්මගත් මුලතිව් ඝන වන්නාන්තරය ක්‍රම ක්‍රමයෙන් වනසා දමන්නට එහි අරක්ගත් වැලි කැණීම්කරුවන් ක්‍රියාත්මක වන අයුරු හිරු සී.අයි.ඒ. කැමරා නෙත ගැටුනා.

අද අපගේ අනාවරණය ඒ පිළිදවයි.

මෙරට වන වැස්මේ සශ්‍රීකතම කලාපය පිහිටා ඇත්තේ මුලතිව් ඝන වනාන්තර පද්ධතිය තුලයි.

දශක තුනකට වැඩි කලක් බෙදුම්වාදී අරගලයක නිරත වු එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදීන් පවා එම වන වැස්ම දැඩි ලෙස ආරක්ෂා කලේ ඒ හරහා ඔවුන්ට ලැබුනු ප්‍රතිලාභ හොදින් දන්නා නිසාවෙන්.

යුද ගැටුම් නිමාවී සාමයේ අරුණළු උදාවීමත් සමග මේ වනාන්තර කලාපයට කණකොකා හඩන්නට පටන්ගත්තේ මුදලට ගිජුකමින් ඒ වන වැස්ම ආර්ථික ප්‍රතිලාභ සදහා යොදාගන්නට මානබැලු පිරිසක් හේතුවෙන්.

මුලතිව් පුදුකුඩුඉරිප්පු ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් පාවාඩකට්ටු ගගේ ස්ථාන 08 කට පමණ භූ විද්‍යා හා පතල් කැණීම් කාර්යාංශය මගින් වැලි ගොඩදැමීම සදහා අවසර ලබාදී තිබෙනවා.

හිරු සී.අයි.ඒ. කළ ගවේෂනයේදී හෙළිවුයේ මෙලෙස ගගට ට්‍රැක්ටර ඇතුළු කිරීම හේතුවෙන් ගං ඉවුරේ ස්ථාන බොහෝමයක් විනාශ වී ඇති බවයි.

ගං ඉවුරු විනාශ කිරීම හරහා මුලතිව් කැලය තුල වසර සිය ගණනක් විරාජමානව සිටි මහා වනස්පතීන්ට සිදුව ඇත්තේ අක් මුල් සිද දමා ගනිමින් මහපොලොව සිපගෙන මිය යාමටයි.

නීතිය ක්‍රියාත්මක කරනා බලධාරීන්ගේ නිසි අධීක්ෂණය නොමැතිවීම හේතුවෙන් ඉවක් බවක් නොමැතිව පාවාඩකල්ලු ගගේ වැලි රිසි සේ රැගෙන යනවා.

***************************************

දරුවන් තිදෙනා සහ බිරිඳ සමග පුද්ගලයෙකු කොටුව දුම්රිය පොළ ඉදිරිපිට උපවාසයක

(17.07.2019 – 20:51 +0530 – hirunews.lk/sinhala)

තම දරුවන් තිදෙනා සහ බිරිඳ සමගින් කොටුව දුම්රියපොළ ඉදිරිපිට අද පස්වරුවේ පුද්ගලයෙකු උපවාසයක නිරත වුණා.

එහි විශේෂත්වය වන්නේ අදාළ පුද්ගලයා පවසන ආකාරයට ඔහු රටේ ජාතික ආරක්ෂාව වෙනුවෙන් දිවි හිමියෙන් සටන් වැදුණු රණවිරු සොල්දාදුවෙකුවීමයි.

අටලුගම දෙහිඕවිට පදිංචි මලර් ශාන්ත නම් මොහු අද සිය පවුල සමග කොටුව දුම්රියපොළ ඉදිරිපිටට පැමිණ උපවාසයේ නිරත වූයේ වසර 12 ක් තිස්සේ යුද හමුදාවේ සේවයේ නියුතුව සිටි තමන්ට හිමිවිය යුතු වැටුප සහ වෙනත් කිසිදු දීමනාවක් නොලැබෙන බවට චෝදනා කරමින්.

අදාළ ස්ථානයට අද පස්වරුවේ පනාගොඩ යුද හමුදා කඳවුරේ ලුතිනන් කර්නල් රවීන්ද්‍ර ජයසිංහ මහතා පැමිණ සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රශ්න කළා.

පසුව මලර් ශාන්ත රණවිරුවා සහ පවුලේ සාමාජිකයින් අදාළ නිලධාරිය සමග පිටත්වුණේ තමන්ට සාධාරණයක් නොලැබුණහොත් යළි දුම්රියපොළ ඉදිරිපිටට පැමිණෙන බව පවසමින්.

අදාළ ස්ථානයෙන් පිටවන අවස්ථාවේ එම ස්ථානයේ සිටි පුද්ගලයෙකු ඔහුට මුදල් පරිත්‍යාගයක් සිදු කළා.

අප මේ සම්බන්ධයෙන් යුද හමුදා මාධ්‍ය ප්‍රකාශක බ්‍රිගේඩියර් සුමිත් අතපත්තු මහතාගෙන් කළ විමසීමකදී ඔහු පැවසුවේ අදාළ පුද්ගලයාට යම් අසාධාරණයක් සිදුවී ඇත්නම් මසක් ඇතුළත ඒ සම්බන්ධයෙන් ක්‍රියාමාර්ගයක් ගැනීමට බලාපොරොත්තුවන බවයි.

***************************************

දූෂණයට ලක් වූ බාලවයස්කාර මුස්ලිම් දියණියට සාධාරණයක් ඉල්ලන පියා

(17.07.2019 – 20:23 +0530 – hirunews.lk/sinhala)

දූෂණයට ලක් වූ බාලවයස්කාර මුස්ලිම් දැරියක්, අකුරණ කාත් විනිසුරුවරයා විසින් අදාල දූෂකයාටම බලහත්කාරයෙන් විවාහ කර දීමේ පුවතක් මහනුවරින් වාර්තා වුණා.

එම දැරියගේ පියා පැවසුවේ තමන් මේ සම්බන්ධයෙන් පොලිසියට පැමිණිලි කිරීමට ගත් උත්සාහයත් කාත් විනිසුරු වරයා විසින් වැලැක්වූ බවයි.

මහනුවර දිස්ත්‍රික්කයේ පදිංචි මුස්ලිම් ජාතික කාන්තාවක් මීට දින කිහිපයකට පෙර මහනුවර මහ රෝහලට පැමිණ ඇත්තේ සිය දියණිය විසින් සිදු කළ පහරදීමකට ප්‍රතිකාර ලබා ගැනීම සඳහායි.

වෛද්‍යවරුන් ඇගෙන් කළ ප්‍රශ්න කිරීමේදී හෙලිව ඇත්තේ 16 හැවිරිදි ඇගේ දියණිය ගැබ්ගෙන ඇති අතර, ඇගේ ස්වාමිපුරුෂයා ඇයව අත්හැර ගොස් ඇති නිසා දියණිය දැඩි මානසික පීඩනයකින් සිටින බවයි.

රෝහල් බලධාරීන් පසුව ඇගේ දියණිය ගෙන්වා ඇගෙන් ප්‍රශ්න කිරීමේදී පවසා ඇත්තේ තමන් මුස්ලිම් තරුණයෙකු අතින් දූෂණයට ලක් වූ බවයි.

ඇයව දූෂණය කරන අතරතුරදී එය ඔහුගේ දුරකථනයෙන් පටිගත කර ඇති බවටද එහිදී හෙලිව තිබෙනවා.

පසුව දැරියගේ මව්පියන් අකුරණ කාත් උසාවිය වෙත ගොස් ඇත්තේ අදාල දූෂකයාට දඩුවම් ලබා දෙන ලෙස ඉල්ලමින්.

කෙසේවෙතත්, කාත් විනිසුරුවරයා දැරියගේ මව්පියන්ගේ විරෝධයද නොතකා දැරියව දූෂණයට ලක් කල මුස්ලිම් තරුණයාටම විවාහ කර දී තිබෙනවා.

දැරිය විවාහ කරගත් තරුණයා ටික දිනක් දියණිය හා ගතකොට නිවසින් පැනගොස් ඇති බව දැරියගේ පියා ප්‍රකාශ කළා.

වෛද්‍යවරුන් කළ ප්‍රශ්න කිරීමේදී හෙලිව ඇත්තේ මෙම විවාහය දික්කසාද කිරීමට දුෂණයට ලක් වූ දැරිය කැමැත්තෙන් පසු වුවත් කාත් විනිසුරුවරයා ඊට අවසර ලබා නොදෙන බවයි.

මුස්ලිම් විවාහ සහ දික්කසාද නීතිය මඟින් කාති වරයෙකුට බලය ලබා දී ඇත්තේ මුස්ලිම්වරුන්ගේ විවාහකදී හෝ දික්කසාද වීමකදී මැදිහත්කරුවෙකු ලෙස කටයුතු කිරීමටයි.

+++++++++++++++++++++++++++++++++++

මුස්ලිම් කාන්තාවක් කාදි අධිකරණය ගැන කළ චෝදනාව

(17.07.2019 – 09:35 +0530 – hirunews.lk/sinhala)

මුස්ලිම් විවාහ නීතිය ක්‍රියාත්මක කරන කාදි අධිකරණ මගින් මුස්ලිම් කාන්තාවන්ට බරපතළ අසාධාරණයක් සිදුවන බව මුස්ලිම් කාන්තාවක් චෝදනා කරනවා.

මාලිගාවත්ත ප්‍රදේශයේදී නෝනා නජීමා නැමති ඇය සදහන් කර සිටියේ දික්කසාද ක්‍රියාවලියේදී කාදි අධිකරණ පිරිමි පාර්ශ්වයට පක්ෂග්‍රාහීව කටයුතු කරන බවයි.

***************************************

පාන් මිල ඉහළ දමන බේකරි හිමියන්ට නඩු

(17.07.2019 – 19:07 +0530 – hirunews.lk/sinhala)

පාන් ඇතුලු බේකරි නිෂ්පාදනවල මිල ඉහළ දමන වෙළඳසැල් හිමියන්ට එරෙහිව නීතිමය පියවර ගන්නා බව පාරිභෝගික සේවා අධිකාරිය පවසනවා.

එම අධිකාරිය සඳහන් කළේ තිරිඟු පිටි කිලෝග්‍රෑමයක මිල රුපියල් 8 කින් ඉහළ දමන බවට පිටි සමාගම් විසින් මෙතෙක් දැනුවත් කිරීමක් සිදුකර නොමැති බැවින් එම නිෂ්පාදනවල මිල ඉහළ දැමීමට කිසිදු ඉඩක් නොමැති බවයි.

තිරිඟු පිටි අත්‍යාවශ්‍ය ද්‍රව්‍යයක් ලෙස නම් කර ඇති අවස්ථාවක එහි මිල සංශෝධනය කරන්නේ නම් ඒ පිළිබඳව අදාළ ආයතන පාරිභෝගික සේවා අධිකාරිය දැනුවත් කිරීම අනිවාර්ය කරුණක්.

මෙම අවස්ථාවේදී පිටි මිල වැඩිකිරීම සම්බන්ධයෙන් අදාළ සමාගම් පාරිභෝගික සේවා අධිකාරියට දැනුම්දී නොමැති බැවින් ඔවුන්ට එරෙහිවද නීතිමය පියවර ගන්නා බවයි පාරිභෝගික සේවා අධිකාරියේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙකු හිරු ප්‍රවෘත්ති අංශයට සඳහන් කළේ.

තිරිඟු පිටි කිලෝවක මිල රුපියල් 8 කින් ඉහල දැමීම සම්බන්ධයෙන් පාරිභෝගික සේවා අධීකාරිය දැනුවත් කළේද යන්න පිළිබඳව සොයාබැලීම සඳහා පී‍්‍රමා සහ සෙරන්ඩිබ් සමාගම් වෙත හිරු ප්‍රවෘත්ති අංශය දුරකථනයෙන් අවස්ථා කිහිපයකදී ඇමතුවද එය ව්‍යවර්ථ වූයේ ඊට එම සමාගම්වල නිසි බලධාරියෙකු පිළිතුරු ලබා නොදීම හේතුවෙන්.

කෙසේ වෙතත් පාරිභෝගික සේවා අධිකාරිය මිල ඉහළ දැමීමට අවස්ථාවක් නොමැති බවට ප්‍රකාශ කළද අද මධ්‍යම රාත්‍රියේ සිට පාන් ගෙඩියක මිල රුපියල් 5 කින් ඉහළ දමන බවයි සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමයේ සභාපති එන්.කේ.ජයවර්ධන මහතා ජාඇළ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් කියා සිටියේ.

මේ අතර පිටි මිල වැඩි කිරීම සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කිරීම සඳහා මහජන අයිතීන් සුරැකීමේ සංවිධානය අද කොළඹදී මාධ්‍ය හමුවක් කැඳවා තිබුණා.

***************************************

හිස්බුල්ලාගේ පෞද්ගලික විශ්වවිද්‍යාල ගැන ජවිපෙන් චෝදනාවක්

(17.07.2019 – 18:00 +0530 – hirunews.lk/sinhala)

මඩකලපුව පෞද්ගලික විශ්වවිද්‍යාලය සම්බන්ධයෙන් අගමැතිවරයා පත්කළ අනු කමිටුව මගින් හිටපු ආණ්ඩුකාර හිස්බුල්ලා මහතා යටතේම පෞද්ගලික විශ්වවිද්‍යාලයක් ලෙස එය පවත්වාගෙන යෑමට ඉඩ සලසා දීමේ උත්සාහයක් පවතින බව ජනතා විමුක්ති පෙරමුණ චෝදනා කරනවා.

පක්ෂ මූලස්ථානයේ අද පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් පාර්ලිමේන්තු මන්ත්‍රී නලින්ද ජයතිස්ස මහතා මේ බව සදහන් කළා.

***************************************

බවුසරයක් පෙරලීයාම හේතුවෙන් දක්ෂිණ අධිවේගී මාර්ගයේ සිදුවූ අවහිරය අවසන්

(17.07.2019 – 16:24 +0530 – hirunews.lk/sinhala)

බවුසරයක් පෙරලීයාම හේතුවෙන් අවහිර වී තිබූ දක්ෂිණ අධිවේගි මාර්ගයේ කොට්ටාව දෙසට වන මංතීරුවේ ගමනාගමන කටයුතු මේ වනවිට යථා තත්ත්වයට පත්කර තිබෙනවා.

මාර්ග සංවර්ධන අධිකාරිය සඳහන් කළේ කහතුඩුව සහ කොට්ටාව අතරදී මෙම අනතුර සිදුව තිබූ බවයි.

ඒ හේතුවෙන් කොට්ටාව දෙසට පැමිණෙන වාහන කහතුඩුව හුවමාරුවෙන් පිට කිරීමට කටයුතු කර තිබුණා.

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *