ඉන්න තැනක් නෑ – කන්න දෙයක් නෑ – දෙන්න කිරිත් නෑ – ජීවත්වෙන හැටි හිතාගන්න බෑ …

(16.07.2019 – mawbima.lk)

දරුවා ඉපදිලා තාම සති දෙකයි. ඉන්න තැනක් නැහැ. කන්න දෙයක් නැහැ. දෙන්න කිරි නැහැ. ලොකු දරුවා මාස ගාණකින් ඉස්කෝලේ ගියේ නැහැ. මනුස්සයත් ලෙඩින්. එයාට වැඩ කරන්න බැහැ. අපිට සමෘද්ධියත් නැහැ. ජීවත්වෙන්නේ කොහොමද කියලා හිතාගන්න බැහැ. මෙසේ කීවේ ඇඹිලිපිටිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පනාමුර විසමිතුර පදිංචි මවකි.

පනාමුර පොලිස් වසමේ විසමිතුර ගල්බොකු ඔය ඉස්මත්තේ ගල්බොකු වැවට ජලය එන ගල්බොකු ඔය අසල විශාල නුග ගසක් පාමුල කටුමැටි නිවෙසක ජීවත්වන මේ පවුලේ තොරතුරු ඔවුන් අප හා කීවේ ඇසට කඳුළු නංවන කතාවකි.

මේ වනවිට මේ පුංචි නිවෙස පිහිටි ස්ථානයේ ඇති නුග ගසක අත්තක් නිවෙස ආසන්නයට කඩා වැටී ඇති අතර එවැනිම තවත් අත්තක් නිවෙස එල්ලයේ ඇති බැවින් මේ පවුලට එම ස්ථානයෙන් ඉවත් වන ලෙස ග්‍රාම නිලධාරිවරයා දැනුම් දී ඇත. ඒ හේතුවෙන් මේ පුංචි පවුල මේ වනවිට එම ගමේම පාළුවට ගිය ගෙයක ජීවත්වෙයි. එම නිවෙසද මාසයක කාලයකට ලබාදී ඇති අතර මාසයකින් පසුව එයින්ද ඉවත්වීමට සිදුවී ඇත.

මේ නිවෙසේ පියා ලලිත් රෝහණ (35) කුලීවැඩ කරමින් දිවිය සරිකර ගනී. ඔහු තමන්ගේ දුක මෙසේ කීය :

“මම දැන් ලෙඩෙක්. මට සීනි අඩුවීමේ රෝගය තියෙනවා. ඉතින් මට දැන් කුලී වැඩ කරන්න අමාරුයි. ජීවත්වෙන්න වැඩ නොකරත් බැහැ. මගේ දෙවැනි දරුවා ඉපදිලා දැන් සති දෙකකට වැඩිය නැහැ. කිරි පැකට් එකක් ගෙනත් දෙන්න සල්ලි නැහැ. අවට කට්ටිය තමයි උදවු කරන්නේ. ඒ අය කෑම ටිකක්, රෙදි ටිකක් ගෙනත් දෙනවා. මේ ගෙදරින් වෙන තැනකට ගියාට පස්සේ ලොකු දරුවා ඉස්කෝලේ ගියේ නැහැ. වලල්ගොඩ ඉස්කෝලේ 1 ශ්‍රේණියේ ලොකු පුතා ඉගෙන ගන්නේ. ඉතින් එයාව පාසල් යවාගන්න වත්කමක් නැහැ.”

බැලූ බැල්මට ඒ පුංචි නිවෙස කටු මැටි වරිච්චි ගසා සාදා ඇතිමුත් එම නිවෙස ඇතුළේ ඇඳ පුටු කිසිවක් නොමැත. දෙතුන් දෙනකුට නිදාගැනීමටවත් පහසුකම් නොමැත. ඇතැම් දිනවල මැටි බිත්ති හේතුවෙන් සතුන්ගෙන්ද කරදර ඇති බව නිවැසියන් පවසයි.

මව නිරූපා සඳමාලි (30) මෙසේ කීවාය :

“දරුවා හම්බවෙලා සති දෙකයි. දරුවට හොඳට කිරි දෙන්න ඕන. ලොකු පුතා ඉස්කෝලෙ යවන්න ඕන. කන්න බොන්න කොහොම හරි ගමේ අය හරි දෙනවා. ඒත් අපිට ඉන්න තැනක් නැහැ. මහත්තය කුලියක් කරලා කීයක් හරි ගෙනාවම ඒක බෙහෙත්වලටත් මදි. ඉතින් අපිට කොහොම හරි ඉන්න තැනක් හදලා දෙනවා නම් ඒක ලොකු පිනක්. කුලී වැඩක් කරලා හරි කොහොම හරි දරුවො දෙන්න හදාගන්න පුළුවන්. කොහොම හරි මේ ළමයි ඉස්කෝලේ යවන්න ඕන.”

කෙසේ හෝ පසුගියදා ඇඹිලිපිටිය ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේදී 2600 කට වඩා වැඩි පිරිසකට සමෘද්ධි සහනාධාරය ලබාදීමට කටයුතු කර ඇත. එහෙත් මෙවැනි අන්ත අසරණ පවුලකට මේ දිළිඳු සහන මුද්දරය ලබාදීමට කටයුතු නොකළේ මන්දැයි ගැටලුවකි. නිවෙසේ හිමිකරු වන ලලිත් රෝහණගේ මව සහ පියා තවමත් ජීවත් වේ. ඔවුන්ද මේ වනවිට රෝගාතුරව සිටී.

අවුරුදු 75 ක් වන ඩී.ඒ. සේදරහාමි (ගෙහිමියාගේ මව) මෙසේ කීවාය :

“අපි කවුරුත් දුප්පත් අය. පුතා වුණාට උදවු කරන්න ක්‍රමයක් නැහැ. මමත් නිතර අසනීප වෙනවා. මෙයාට මේ ඉඩම් කෑල්ල වෙන කෙනෙක් දුන්න එකක්. ඒකේ තමයි ගෙයක් හදාගෙන හිටියේ. ගහේ අතක් කඩා වැටිලා මේ අය අයින් වුණා. ගේ හදාගන්නකන් ගමේ පාලු ගෙයක් දුන්නා. ඉතින් මේ අය කිරි පැකට් එකක් ගන්න සල්ලි නැතිව කොහොම ගෙවල් හදන්නද? මේ ළමයින්ට පොඩියට හෝ ගෙයක් හදලා දෙන්න පුළුවන් නම් ඒක මහමෙරක් මහත්තයෝ.”

අසල්වැසියකු වන නිර්මලී රාජපක්ෂ (45) මෙසේ කීවාය :

“මේ අය ඉන්නේ ගඟ අයිනේ. මේ ගඟ අයිනේ කුඹුක් ගස් පේළියක්ම තියෙනවා. මේ පුංචි දරුවා සෙල්ලම් කර කර ඉන්න දවසක තමයි මේ කුඹුක් ගස්වල අතු කඩන් වැටිලා තියෙන්නේ. පෙර වාසනාවට අනූනවයෙන් පුතා බේරිලා තියෙන්නේ. දෙවැනි අත්ත වැටෙනකොට මේ අය ගෙදර ඉඳලා නැහැ. දැන් සති දෙකක් දරුවයි, පාසල් යන දරුවයි ඉන්නවා. මේ අය ඉන්න වෙලාවක අනෙක් අත්ත කඩා වැටුණොත් මහ විනාශයක් වෙන්නේ. මේ හතර දෙනාම අවදානම් තත්ත්වයක ඉන්නේ. යමක් වෙන්න කලින් මේ අයට පිහිටක් විය යුතුයි.”

මේ වනවිට පියා වන රෝහණට මේ පවුලේ බර දරා ගැනීමට හැකියාවක් නැත. ඒ ඔහු අසනීප තත්ත්වයේ සිටීම නිසාය. කුඹුක් ගසේ අවදානම ඒ හා සමානව පවතී. මේ අයට ඉතා ඉක්මනින් උපකාර අවශ්‍යව ඇත. ඔවුන්ට ස්ථිර නිවෙසක් සාදාදීම හා බඩගින්න නිවන්නට ක්‍රමවේදයක් කවුරුන් හෝ සාදා දිය යුතුව ඇත.

ඇඹිලිපිටිය – රූපසේන පත්තුව

———————————————

සිලොන් නිවුස් පේපර්ස් පුද්ගලික සමාගම
අංක 101, රොස්මිඩ් පෙදෙස, කොළඹ 7. ශ්‍රී ලංකා

Ceylon Newspapers (Pvt) Ltd
No 101, Rosmead Place, Colombo 7 . Sri Lanka

සාමාන්‍ය ඇමතුම් :
+94 0117 566 566

කතෘ අංශය :
+94 117 566 522
+94 117 566 526
+94 117 566 527

ඊ-මෙල් :
mbnews@ceylonnewspapers.lk

***************************************

දරුවන් මහ මඟ දමා යන කාලයක දරුවන් වෙනුවෙන් ජීවිතය සොයන ආදරණීය මව්පියෝ

(16.07.2019 – 13:29 +0530 – sinhala.adaderana.lk)

අගහිඟකම් මැද දරුවන් මහ මඟ දමා යන ඇතැමුන් අතරේ ආදර්ශවත් මාපිය යුවළක් ගැන අද දෙරණට නාරම්මල පදේශයෙන් වාර්තා විය.

නාරම්මල මීවැව මහගම ප්‍රදේශයේ පදිංචි කමල් තිලකසිරි මහතාත් ඔහුගේ බිරිඳත් මාපිය පදවියට පත්වන්නේ මීට වසර තුන හමාරකට පෙරයි.

ඔවුන්ගේ බලාපොරොත්තු සැබෑ කරමින් මෙලොව එළිය දුටු සෙනලි නෙහන්සා සහ සෙනෙල් නෙහන්ස නම් මේ නිවුන් දරුවන් දෙදෙනා උපතින්ම ස්නායූ ආබාධයකින් පෙළෙයි.

දරුවන් මහ මඟ දමා යන ඇතැමුන් අතරේ මේ මාපිය යුවළ ගතවන හැම නිමේෂයක්ම ගෙවා දමන්නේ මේ පූංචි දරුවන් දෙදෙනා කෙදිනක හෝ සුවපත් වෙතැයි අපේක්ෂාවෙන්.

කොළඹ රිඡ්වේ ආර්යා ළමා රෝහලට මසකට දින කිහිපයක් සෙනලි සහ සෙනෙල් ප්‍රතිකාර සඳහා රැගෙන ආ යුතුයි.

බස් රථයකින් මේ දරුවන් දෙදෙනා කොළඹට රැගෙන එන්නට නොහැකි නිසා විශාල මුදලක් වැය කර වාහනයක් වෙන්කර ගැනීමත් ස්ථිර රැකියාවක් නොමැති දරුවන්ගේ පියාට ගැටලුවක්.

දරුවන්ට අවශ්‍යය ඖෂධ සදහා විශාල මුදලක් මසකට වැය කරන්නටත් මේ මව්පියන්ට සිදුවෙයි.

මේ පූංචි දරුවන් දෙන්නා දෙපයින් නැගී සිටිනු ඇතැයි සිහින දකින මේ මව්පියන්ට සහය වන්නට ඔබටත් හැකිනම් එය මහගු සද්කාර්යයක් වනු ඇති.

වැඩි විස්තර සඳහා අමතන්න :
දුරකථන අංක : 076 915 9833 (කමල් තිලකසිරි මහතා)

***************************************

වෛද්‍යවරුන් ඇතුළු වෘත්තීයවේදීන්ගෙන් අය කරන බදු දෙගුණයකින් වැඩි කරයි

(16.07.2019 – mawbima.lk)

මෙම වසරේ සිට ක්‍රියාත්මක කිරීමට නියමිතව තිබෙන රජයේ නව බදු ක්‍රමය මඟින් වෛද්‍යවරුන් ඇතුළු වෘත්තීයවේදීන්ගෙන් අය කරන බදු ප්‍රමාණය දෙගුණයකින් වැඩිකර ඇත.

මෙතෙක් වෛද්‍යවරු ඇතුළු වෘත්තීයවේදීන්ට උපයන ආදායමට අනුව රජයට ගෙවීමට නියම කර තිබුණේ සියයට 12 ක බද්දකි. නමුත් රජයේ නව බදු ප්‍රතිපත්තිය යටතේ එය සියයට 24 දක්වා වැඩිකර ඇත.

දැනට රජය රුපියල් බිලියන දෙකක බදු ආදායමක් මේ හරහා ලබාගන්නා අතර එය බිලියන හතර දක්වා වැඩිකර ගැනීම අරමුණු වී ඇතැයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ලේකම් වෛද්‍ය හරිත අලුත්ගේ මහතා ඉකුත්දා පුවත්පත් සාකච්ඡාවකදී පැවැසීය.

වෛද්‍යවරු ඇතුළු වෘත්තීයවේදීන් ව්‍යාපාරියන් නොවන බවද ඒ මහතා කීය. වෘත්තීයවේදීන්ගෙන් අය කරන බදු ප්‍රමාණය දෙගුණයකින් වැඩි කිරීමට සැරසෙන ආණ්ඩුවේ සෞඛ්‍ය හා පෝෂණ ඇමැති රාජිත සේනාරත්න, නෙවිල් ප්‍රනාන්දු රෝහලට රජයේ මුදල් රුපියල් බිලියන පහක් ලබාදී ඇතැයිද පැවැසීය. එය බැඳුම්කර මගඩියටත් වඩා මගඩියක් යැයිද වෛද්‍ය හරිත අලුත්ගේ මහතා කීය ෴

***************************************

ජවිපෙ ටීඑන්ඒ සමඟ එකතු වෙලා විශ්වාසභංගයක් ගෙනාවේ ආණ්ඩුව ශක්තිමත් කරන්නයි

(16.07.2019 – mawbima.lk)

ජනතා විමුක්ති පෙරමුණ දෙමළ සන්ධානය සමඟ සාකච්ඡා නොකර ආණ්ඩුවට විරුද්ධ විශ්වාසභංග යෝජනාවක් ගෙනාවේ කුඩු පට්ටම් වී තිබූ ආණ්ඩුව නැවත ශක්තිමත් කරන්න යැයි පිවිතුරු හෙළ උරුමයේ නියෝජ්‍ය නායක මධු මාධව අරවින්ද මහතා ප්‍රකාශ කළේය.

කොළඹදී ඊයේ (15 දා) පැවැති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව සඳහන් කළේය.

එහිදී ඔහු මෙසේද කීය :

“පාර්ලිමේන්තුවේ මන්ත්‍රි සංයුතිය ගැන මේ රටේ දරුවන් පවා දන්නවා. එහෙම දැන දැනම ජවිපෙ ආණ්ඩුවට එරෙහිව විශ්වාසභංග යෝජනාව ගෙන ආවේ අවංකවම ආණ්ඩුව පලවා හැරීමේ චේතනාවෙන් කියලා විශ්වාස කරන්න බෑ. ආණ්ඩුව පරාජය කිරීමට ජවිපෙට සැබෑ අවශ්‍යතාවක් තිබුණේ නම් ඒ ගැන දෙමළ ජාතික සන්ධානයත් සමඟ කතා කරලා ඔවුන්ගේද සහාය ලබාගන්න තිබුණා. එහෙම නොකර නියත වශයෙන්ම පරාජය වන විශ්වාසභංග යෝජනාවට ඡන්දය පාවිච්චි කරන්න පාර්ලිමේන්තු යනවාට වඩා ඔහුගේ අත්‍යවශ්‍ය කාරණයක් සඳහා උදය ගම්මන්පිල මහතා විදේශගත වූ බව විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතාටත් දැනුම් දීලා තිබුණා.

අපේ රටේ තමයි ථෙරවාදී භික්ෂු පරපුර ජීවමානව ඉන්න රට. නමුත් අනුරාධපුරයේ වනවාසීව සිටි භික්ෂුන් වහන්සේ නමක් අපවත් වූ පසු උන්වහන්සේගේ ආදාහන කටයුතු ගෞරවාන්විතව සිදුකරන්න පුරාවිද්‍යාවෙන් අවසර දීලා නැහැ. අපේ රටේ බෞද්ධ සමාජයට එල්ල වන මේ සියලු බාධා සැලසුම් සහගතව කරනවා කියලයි හිතන්න වෙන්නෙ. රන්ජන් රාමනායකත් බෞද්ධ භික්ෂුන්ට අපහාස වන ආකාරයට කටමැත ‍දොඩවනවා. මෙවැනි මෝඩ කතා කියන අය සමඟ ඇසුරක් නොපවත්වා ඔවුන් තනි කළ යුතුයි. එවිට ඔවුන් වීරයන් වෙන එක නවතිනවා. රන්ජන් කරන්නෙ කොන්ත්‍රාත්තුවක්. කාදිනල්තුමා කතෝලික ජනතාවගේ හිත දිනාගෙන කටයුතු කරන එක රන්ජන්ලාට ඉවසාගෙන ඉන්න බෑ. ඒක වෙනස් කරලා වෙන ජනමතයක් සමාජය තුළ ගොඩනඟන්න තමයි ඔය විධියේ ප්‍රකාශ කරන්නෙ.

මුස්ලිම් මන්ත්‍රිවරු දැන් ඔවුන්ගේ නීති වෙනස් කරන්න එකඟ වෙලා. අරාබියෙන් ලැබෙන නියෝග වෙනස් කළ යුතු බව පිළිගැනීම සුබ ලකුණක්. මේ විධියට වෙනස් කළ යුතු දේ වෙනස් කරගෙන ඉදිරියට ගියොත් නැවත සහරාන්ලා බිහිවීමට ඉඩක් නැතිවෙයි කියලා අපි විශ්වාස කරනවා.

අපේ රටේ පාසල් බොහොමයක් අඩු පහසුකම් සහිතව තිබෙන්නෙ. නමුත් පහේ ශිෂ්‍යත්වය හෝ අපොස (සාපෙළ) විභාගවලට ප්‍රශ්න පත්‍ර හදන්නෙ ඒ ඒ පාසල්වල අඩුපාඩු ගැන හිතලා නොවෙයි. මේ ගැන අධ්‍යාපන අමාත්‍යාංශය අවධානය යොමු කරන්න ඕනේ. එහෙම නොවුණොත් කොතරම් දක්ෂ වුවත් අඩු පහසුකම් සහිත පාසල්වල ඉගෙන ගන්න සිසුන්ට සිදුවන අසාධාරණයට වගකියන්නෙ කවුද?

අනෙක් කාරණය තමයි පළමු ශ්‍රේණියට දරුවන් ඇතුළත් කර ගැනීම. පාසලට ළමයින් ඇතුළත් කර ගැනීමේ බලය විදුහල්පතිට දෙන්න. එහෙම නැත්නම් කලාප අධ්‍යාපන අධ්‍යක්ෂට දෙන්න. එහෙම වුණොත් ළමයින්ට සාධාරණයක් ඉටු කරගන්න පුළුවන්.”

***************************************

බසයක් තුළදී හෙදියකගේ මැණිකක් හා මුදල් සොරාගත් සිසුවියකට ශරීර ඇප

(16.07.2019 – mawbima.lk)

හෙද නිලධාරිනියකගේ අත් බෑගයේ තිබූ වටිනා යැයි කියන මැණික් ගලක් හා මුදලින් රුපියල් 5500 ක් බස්රියක් තුළදී සොරකම් කළ පාසල් ශිෂ්‍යාවක් කෑගල්ල වැඩ බලන මහෙස්ත්‍රාත් ගීතක ගුණවර්ධන මහතා වෙත ඉදිරිපත් කිරීමෙන් පසු රුපියල් ලක්ෂයක ශරීර ඇපයක් මත මුදාහරින ලෙස පෙරේදා (14 දා) නියෝග කළේය.

මෙලෙස ශරීර ඇප මත නිදහස් කර ඇත්තේ මහනුවර ප්‍රදේශයේ පාසලක 12 ශ්‍රේණියේ උසස් පෙළ අධ්‍යාපනය හදරාන පාසල් ශිෂ්‍යාවකි. ශරීර ඇප මත නිදහස් කර ඇති පාසල් ශිෂ්‍යාව සිය මව සමඟ ඉකුත් 12 දා හම්බන්තොට පදිංචි ලොකු අම්මාගේ නිවෙසට ගොස් ආපසු පෙරේදා (14 දා) හම්බන්තොට සිට මාතලේ දක්වා ධාවනය වෙමින් තිබූ ලංගම බස් රථයෙන් මහනුවර සිය නිවෙස බලා පැමිණෙමින් සිට ඇත. පාසල් ශිෂ්‍යාව පිටුපස අසුනකද මව බස් රථයේ ඉදිරි පස අසුනකද හිඳ ගමන් කරමින් සිට ඇති බව පොලිසිය කියයි.

බස් රථය රත්නපුර නගරය පසුකර කුරුවිට නගරයට පැමිණි අවස්ථාවේදී කුරුවිට නගරයේදී හෙද නිලධාරිනියක් සිය ඇඳුම් බෑගයක් හා අත් බෑගය රැගෙන බස් රථයට ගොඩ වී ඇත්තේ නිවාඩුවට මහනුවර ගුරුදෙණියේ සිය නිවෙස වෙත යෑමටය. ඒ මොහොත වන විට බස් රථය මගීන්ගෙන් පිරී තිබිණි. සිය ඇඳුම් බෑගය අසුනක් යටට තල්ලු කර ඇත්බෑගය පිටුපස ‍දොර අසල අසුනේ සිටි 17 හැවිරිදි පාසල් ශිෂ්‍යාවට දී මගීන් අතරින් හෙද නිලධාරිනිය බස් රථයේ ඉදිරියට ගියාය. බස් රථයේ ඉදිරි පස සිටි කොන්දොස්තරවරයා හෙද නිලධාරිනියට ගමනාන්තය දක්වා වලංගු ටිකට් පතක් නිකුත් කර ඇත.

තම අත් බෑගය පිටුපස අසුනක සිටින ගැහැනු දරුවෙක් අත ඇති බවත් අත් බෑගය ලබා ගත් වහාම මුදල් දෙන බවත් හෙදි නිලධාරිනිය කාරුණිකව කොන්දොස්තරවරයාට ප්‍රකාශ කළාය. කොටියාකුඹුර ප්‍රදේශයේදී තරමක් මගීන් අඩු වීම හේතුවෙන් හෙද නිලධාරිනිය බස් රථයේ පිටුපසට පැමිණ පාසල් සිසුවියට ස්තුති කර ඇය අත තිබූ අත් බෑගය ගෙන කොන්දොස්තරවරයාට මුදල් ලබාදීමට ගිය අවස්ථාවේදී බෑගයේ තිබූ මුදලින් රුපියල් 5500 කුත්, වටිනවා යැයි කියන මැණික් ගලක්ද අතුරුදන්ව ඇති බව දැක ඇත. මේ ගැන හෙද නිලධාරිනිය පාසල් ශිෂ්‍යාවගෙන් විමසීමක් කර තිබේ.

හෙද නිලධාරිනිය පාසල් ශිෂ්‍යාවට නඟන චෝදනා ඇය ප්‍රතික්ෂේප කර ඇති අතර පසුව හෙද නිලධාරිනිය බසයේ කොන්දොස්තරවරයාට සිද්ධිය අරන්දර ප්‍රදේශයේදී ප්‍රකාශ කර තිබේ. පසුව කොන්දොස්තරවරයා පාසල් ශිෂ්‍යාවට ප්‍රකාශ කර ඇත්තේ හෙද නිලධාරිනියගේ මුදල් හා මැණික් ගල ලබා ගත්තේ නම් ආපසු ඇයට ලබාදෙන ලෙසය. පාසල් ශිෂ්‍යාව මේ අවස්ථාවේ කොන්දොස්තරවරයාට හා හෙද නිලධාරිනියට සැර පරුෂ වචනයෙන් බැන වැදී ඇති බවද පොලිසිය කියයි.

කොන්දොස්තරවරයා සිය රියැදුරුට මේ සිද්ධිය දන්වා කෑගල්ල මූලස්ථාන පොලිසිය ඉදිරිපිටට පැමිණ බස් රථය නවතා ඇත. කොන්දොස්තරවරයා කෑගල්ල මූලස්ථාන පොලිසියේ ළමා හා කාන්තා කාර්යාංශයට දිව ගොස් ස්ථානාධිපතිනි කාන්තා පොලිස් පරීක්ෂිකා යසන්ති කුමාරි මහත්මිය වෙත සිද්ධිය දන්වා තිබේ. පොලිස් පරීක්ෂිකාව බස් රථය ගමනාන්තය දක්වා යැවීමට කටයුතු කර හෙද නිලධාරිනියත් පාසල් ශිෂ්‍යාවත් ඇගේ මවත් කෑගල්ල මූලස්ථාන පොලිසියේ ළමා හා කාන්තා කාර්යාංශය වෙත රැගෙන ආවාය. පොලිස් නිලධාරිනියක විසින් පාසල් ශිෂ්‍යාවට ඇඳුම් ඉවත් කරන ලෙස දන්වා ඇති අතර පසුව ඇය පොලිස් නිලධාරිනියන්ට ප්‍රකාශ කර ඇත්තේ ‘එහෙම කොහොමද? කාගෙවත් ඇඳුම් ගලවා ඉවත් කරන්න නියෝග කරන්නේ කොහොමද?’ පොලිසියෙන් විමසීමක්ද කර ඇත. කෙසේ නමුත් පසුව සිසුවිය තම ඇඳුම් ඉවත් කළ අවස්ථාවේදී මුදලින් රුපියල් 5550 ක් බිමට වැටී ඇත. පොලිසිය තවදුරටත් පාසල් ශිෂ්‍යාව පරීක්ෂා කිරීමේදී ඇගේ ලිංගේන්ද්‍රියේ සඟවා ගෙන තිබූ මැණික් ගලද සොයා ගෙන තිබිණි.

පසුව සැකකාර පාසල් ශිෂ්‍යාව පෙරේදා (14 දා) කෑගල්ල වැඩ බලන මහෙස්ත්‍රාත් ගීතක ගුණවර්ධන මහතා වෙත ඉදිරිපත් කිරීමෙන් පසු විත්තිකාරිය පාසල් ශිෂ්‍යාවක් බවට කරුණු පැහැදිලි කර දීමෙන් පසු රුපියල් ලක්ෂයක ශරීර ඇපයක් මත මුදාහරින ලෙසත් යළි නඩුව ජූලි 22 දිනට කැඳවන ලෙසත් නියෝග කර ඇත.

සිද්ධිය සම්බන්ධයෙන් කෑගල්ල මූලස්ථාන පොලිසියේ ළමා හා කාන්තා කාර්යාංශයේ ස්ථානාධිපතිනි කාන්තා පොලිස් පරීක්ෂිකා යසන්ති කුමාරි මහත්මිය ඇතුළු නිලධාරිනියන් පිරිසක් පරීක්ෂණ පවත්වා තිබිණි ෴

***************************************

නුවරඑළිය නව රෝහල (තුන්වන වරට) විවෘත කිරීමේ උත්සවය සියලු වෛද්‍යවරු වර්ජනය කරති

(16.07.2019 – mawbima.lk)

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා අතින් ඊයේ (15 දා) දින සිදුකරන ලද නුවරඑළිය නව රෝහල විවෘත කිරීමේ උත්සවයට නුවරඑළිය මහ රෝහලේ විශේෂඥ වෛද්‍යවරු ඇතුළු සියලුම වෛද්‍යවරු සහභාගි නොවී උත්සවය වර්ජනය කළ බව රජයේ වෛද්‍යවරුන්ගේ සංගමයේ නුවරඑළිය ශාඛාවේ ලේකම් වෛද්‍ය ලහිරු අසංග රත්නායක මහතා පවසයි.

එම වෛද්‍ය සංගමයේ කමිටු සාමාජික වෛද්‍ය චමත් ලියනගේ මහතා ඇතුළු වෛද්‍යවරුන් පිරිසක් රෝහල විවෘත කිරීමේ උත්සවය අවසානයේ පවත්වන ලද මාධ්‍ය සාකච්ඡාවකදී මේ බව හෙළි කළේය.

2018 වසරේ ඔක්තෝබර් 07 දින මෙම රෝහල ප්‍රථම වතාවට සෞඛ්‍ය අමාත්‍යවරයා අතින් විවෘත වූ බවත් නැවත දෙවැනි වරටත් මෙම වසරේ අප්‍රේල් 01 දා විවෘත වී මේ වනවිට සියලුම වෛද්‍ය ප්‍රතිකාර කටයුතු සිදුවෙමින් පවතින අතරතුර හදිසියේම ඊයේ (15 දා) දින නැවත ජනාධිපතිවරයා අතින් විවෘත කිරීම දේශපාලන විගඩමක් යැයිද ඔවුහු පැවැසූහ.

මේ උත්සවය නිසා ආරක්ෂක හේතූන් මත යැයි පවසමින් එතෙක් නව රෝහලේ සිදුකළ හදිසි ප්‍රතිකාර ඒකක, මූලික ප්‍රතිකාර ඒකක හා වෛද්‍ය සායන මෙදින නැවතත් පැරැණි රෝහලේ සිදුකිරීම නිසා රෝගීන් මෙන්ම වෛද්‍යවරුද දැඩි අපහසුතාවට පත් වූ බවද ඔවුහු වැඩිදුරටත් පැවැසූහ.

රෝගී සත්කාර සහ රෝගීන්ගේ ආරක්ෂාව දෙවැනි කොට මෙසේ කටයුතු නොකරන ලෙසට රෝහල් අධ්‍යක්ෂවරයා මඟින් අදාළ බලධාරීන්ගෙන් ඉල්ලීමක් කළද ඒ ගැන කිසිදු සැලකිල්ලක් නොදක්වා මහජන මුදල් නාස්ති කරමින් රෝගීන් අපහසුතාවට පත්කරමින් සිදුකළ මෙම විවෘත කිරීමට විරෝධය පෑමක් ලෙස එම උත්සවයට නුවරඑළිය මහ රෝහලේ සියලුම වෛද්‍යවරුන් සහභාගි නොවී වර්ජනය කළ බවද එම වෛද්‍යවරු වැඩිදුරටත් පැවැසූහ.

උත්සවය වර්ජනය කළද සියලුම වෛද්‍යවරු සාමාන්‍ය පරිදි රෝහලේ ප්‍රතිකාර සේවයේ නියුතු වූ අතර එසේ කරන අතරතුර කෑම පැයේදී මාධ්‍ය හමුවක් කැඳවා මෙම ප්‍රකාශ කළේය ෴

***************************************

පිළියන්දල නිවසකින් විදුලි ඩෙටනේටර් 290 ක් හමුවෙයි – සැකපිට 4 ක් අත්අඩංගුවට

(15.07.2019 – 21:07 +0530 – hirunews.lk/sinhala)

පිළියන්දල හැඩිගම නිවසකින් විදුලි ඩෙටනේටර් 290 ක් පොලිසිය විසින් සොයාගෙන තිබෙනවා.

මේ සම්බන්ධයෙන් නිවසේ හිමිකරු සහ ඔහුගේ පුතුන් දෙදෙනා සමඟ මෙම ඩෙටනේටර් ඔවුන්ට ගෙනවිත් දුන් අයෙකු අත්අඩංගුවට ගෙන ඇති බවයි පොලිසිය ප්‍රකාශ කරන්නේ ෴

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *