ෂරියා නීතිය යටතේ ඝාතන සිදුකළ බවට, මැදගොඩ හිමියන් කළ හෙළිදරව්ව ගැන, සී.අයි.ඩී යෙන් පරීක්ෂණ

(08.07.2019 – 14:56 +0530 – hirunews.lk/sinhala)

පූජ්‍ය මැදගොඩ අභයතිස්ස හිමියන් විසින් පසුගිය ජුනි 4 වන දා සිදුකළ හෙළිදරව්වක් සම්බන්ධයෙන් විමර්ශනයක් සිදුකරන ලෙස වැඩබලන පොලිස්පතිවරයා, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට දැනුම් දී තිබෙනවා.

පූජ්‍ය අභයතිස්ස හිමියන් විසින් එහිදී හෙළිදරව්ව කර තිබුණේ ෂරියා නීතිය යටතේ පුද්ගලයන් 20 දෙනෙකුට වැඩි පිරිසක් ඝාතනය කර ඇතැයි තොරතුරු ලැබී ඇති බවයි.

ඒ අනුව අදාළ සිද්ධීන් සම්බන්ධයෙන් විමර්ශනයක් සිදුකරන ලෙසට වැඩබලන පොලිස්පති චන්දන වික්‍රමරත්න මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට උපදෙස් ලබාදී තිබෙනවා.

+++++++++++++++++++++++++++++++++++

පාස්කු ප්‍රහාරයෙන් අත්අඩංගුවට ගත් පුද්ගලයන් පුනරුත්ථාපනය කිරීමේ වැඩපිළිවෙළක් අවශ්‍යයි

(08.07.2019 – 22:35 +0530 – hirunews.lk/sinhala)

පාස්කු ප්‍රහාරයත් සමඟ අත්අඩංගුවට ගත් පුද්ගලයන් පුනරුත්ථාපනය කිරීමේ වැඩපිළිවෙළකට යොමු කිරීමට රජය අපොහොසත් වීම හේතුවෙන් ඉදිරි මාස කිහිපය තුළ යළි රට තුළ අවදානමක් මතුවන බව පූජ්‍ය අතුරලියේ රතන හිමියන් පවසනවා.

උන්වහන්සේ මේ බව සඳහන් කළේ ඇල්පිටිය ප්‍රදේශයේ පැවති වැඩසටහනකට එක්වෙමින්.

+++++++++++++++++++++++++++++++++++

ආණ්ඩුවට එරෙහි JVP විශ්වාසභංග යෝජනාව ගැන මන්ත්‍රි රෝහිත කියූ කතාව

(08.07.2019 – 20:51 +0530 – hirunews.lk/sinhala)

ජනතා විමුක්ති පෙරමුණ ආණ්ඩුවට එරෙහිව ඉදිරිපත් කරන ලද විශ්වාසභංග යෝජනාව පරාජය කිරීමට නම් හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතාගේ හෝ දෙමළ සන්ධානයේ ඡන්ද අනිවාර්යෙන්ම අවශ්‍ය බව පාර්ලිමේන්තු මන්ත්‍රි රෝහිත අබේගුණවර්ධන මහතා පවසනවා.

අද පෙරවරුවේ පක්ෂ කාර්යාලයේ පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් ඔහු මෙම අදහස් පළ කළා.

+++++++++++++++++++++++++++++++++++

සියල්ලන්ට ඉහළින් ඇමරිකානු තානාපතිනිය කටයුතු කරන බව පා.ම. විජේදාස රාජපක්ෂ කියයි

(08.07.2019 – 19:42 +0530 – hirunews.lk/sinhala)

මෙරට ජනාධිපතිවරයාට සහ අග්‍රාමාත්‍යවරයාට ඉහළින් ඇමරිකානු තානාපතිනිය කටයුතු කරමින් සිටින බව පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය විජේදාස රාජපක්ෂ මහතා පවසනවා.

කොළඹ ඊයේ පැවති උත්සවයකට එක්වෙමිනුයි ඔහු මේ බව සඳහන් කළේ.

+++++++++++++++++++++

***************************************

හේමසිරිට සහ පූජිත්ට ඇප

(09.07.2019 – 12:05 +0530 – hirunews.lk/sinhala)

පාස්කු ඉරු දින එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරය වළක්වා ගැනීමට කටයුතු නොකිරීම තුළින් සාපරාධී නොසැලකිල්ල හා මිනීමැරුම් ඇතුළු චෝදනා කිහිපයක් සම්බන්ධයෙන් සැකපිට රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු සහ අනිවාර්ය නිවාඩු යවා සිටින පොලිස්පති පූජිත් ජයසුන්දර යන අය ඇප මත මුදාහැරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය නියම කළා.

ඇප නියෝගය ප්‍රකාශයට පත් කරමින් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය සඳහන් කළේ සැකකරුවන්ට එරෙහිව එල්ල කර තිබෙන මිනීමැරුම් චෝදනා තහවුරු කිරීම සඳහා ප්‍රමාණවත් කරුණු තමන් හමුවේ ඉදිරිපත් වී නොමැති බවයි.

ඒ අනුව එක් එක් සැකකරු රුපියල් ලක්ෂ පහක් බැගින් වූ ශරීර ඇප මත මුදා හැරීමට මහේස්ත්‍රාත්වරිය නියම කළා ෴

+++++++++++++++++++++

***************************************

එංගලන්තයෙන් කුණු කන්ටේනර් 98 ක් ගෙන්වලා

(09.07.2019 – 10:13 +0530 – lankadeepa.lk)

එක්සත් රාජධානියේ සිට නීති විරෝධී ලෙස මෙරටට ගෙන්වූ පාවිච්චියෙන් පසුව ඉවත් කරන ලද පරණ මෙට්ට තොගයක් අඩංගු කන්ටේනර් 98 ක් කොළඹ වරායේ තිබී ශ්‍රී ලංකා රේගුව විසින් ඊයේ (8) අත්අඩංගුවට ගනු ලැබීය.

එම කන්ටේනර්වල තිබී කාපට්, ප්ලාස්ටික් හා පොලිතීන් වැනි ද්‍රව්‍යයන් ද කීටයන්, මැරුණු පැළෑටි, දිලීර හා පක්ෂීන්ගේ පිහාටු වැනි දෑ ද පරීක්ෂණවලදී හමුවී ඇත.

මධ්‍යම පරිසර අධිකාරියේ අවසරයකින් තොරව මෙම පරණ මෙට්ට තොගය ගෙන්වා ඇති අතර එය කොළඹ වරායේදී අත්අඩංගුවට ගනු ලැබූවේ ශ්‍රී ලංකා රේගුවේ සවස ආරක්ෂක අංශයේ පාරිභෝගික ආරක්ෂක ඒකකය විසිනි.

භාවිතයෙන් ඉවත් කරන ලද එම මෙට්ට තොගය කටුනායක ප්‍රදේශයේ ආයතනයක් විසින් මෙරටට ගෙන්වනු ලැබ ඇතැයි පරීක්ෂණවලදී හෙළිවූ බව රේගුව සඳහන් කරයි.

පාවිචිච් කළ මෙට්ට ආනයනය කරන බවට මෙම ආයතනය රේගුවට ප්‍රකාශ කළ ද ඒවා සියල්ල කුණු ගොඩක් බවට පත්ව ඇතැයි ද රේගුව පවසයි.

කන්ටේනර් 102 ක් මෙරටට ආනයනය කළ බවට මෙම ආයතනය රේගුවට දැනුම් දී තිබුණ ද ඊයේ (8) වනවිට ඉන් කන්ටේනර් 98 ක් සොයා ගැනීමට හැකිවී ඇත.

මෙම පාවිච්චි කළ මෙට්ට අඩංගු කන්ටේනර්වල පාරිසරික අන්තරායක ද්‍රව්‍ය කිසිවක් අඩංගු විය හැකි බවට දැඩි සැකයක් පවතින බව රේගු පාරිභෝගික ආරක්ෂක ඒකකය පවසයි.

මේ අනුව මෙම භාවිත කළ මෙට්ට තොගය අඩංගු කන්ටේනර් සියල්ල එක්සත් රාජධානියට ප්‍රතිඅපනයනය කරන ලෙස මධ්‍යම පරිසර අධිකාරිය රේගුවට දන්වා ඇත.

ආනයනය කරන ලද පාවිච්චි කළ මෙට්ට තොගය හේතුවෙන් විශාල සෞඛ්‍ය හා පාරිසරික අවදානමක් ඇතිවිය හැකි බවත් මධ්‍යම පරිසර අධිකාරිය රේගුවට දැනුම් දී තිබේ.

මේ පිළිබඳව ශ්‍රී ලංකා රේගුව, මධ්‍යම පරිසර අධිකාරිය, පරිසර අමාත්‍යාංශය, එක්සත් ජාතින්ගේ පාරිසරික අංශය හා නිරෝධායතනය පුළුල් විමර්ශනයක් සිදුකරන බව ද එම ආරංචි මාර්ග පවසයි ෴

***************************************

දක්ෂිණ අධිවේගයේ පින්නදූව පිවිසුමේ බුද්ධ ප්‍රතිමාව ඉවත්කිරීමට එරෙහිව විරෝධයක්

(08.07.2019 – 22:44 +0530 – lankadeepa.lk)

දක්ෂිණ අධිවේගයේ පින්නදූව පිවිසුම අසළ ඇති සමාධි බුද්ධ ප්‍රතිමාව මාර්ග සංවර්ධන අධිකාරියේ උපදෙස් මත එම ස්ථානයෙන් අද (08) සවස ඉවත් කිරීමට ක්‍රියාකර ඇත.

ඊට ප්‍රදේශයේ මහා සංඝරත්නය සහ ප්‍රදේශවාසින්ගේ දැඩි විරෝධයක් එල්ලවීම හේතුවෙන් එම කටයුත්ත තාවකාලිකව නවතා දැමීමට පියවර ගෙන තිබේ.

මේ වනවිට එම ස්ථානයේ විශාල පිරිසක් බුද්ධ ප්‍රතිමාවේ ආරක්ෂාවට රැස්ව සිටිති.

+++++++++++++++++++++

+++++++++++++++++++++

පින්නදූව පිවිසුමේ ඇති බුද්ධ ප්‍රතිමාව ඉවත් කිරීමට එරෙහිව විරෝධතාවක්

(09.07.2019 – lakbima.lk)

දක්ෂිණ අධිවේගී මාර්ගයේ පින්නදූව පිවිසුම අසල ඉදිකර ඇති බුද්ධ ප්‍රතිමා වහන්සේ සහ ඒ වටා ඇති වලා කුළු බැම්ම ඉවත් කිරීමේ සූදානමක් හේතුවෙන් (08) ඊයේ රාත්‍රියේ එම ස්ථානයේ දැඩි උණුසුම් තත්ත්වයක් ඇතිවිය.

ප්‍රදේශයේ මහා සංඝරත්නය, දේශපාලනඥයින් ඇතුළු ප්‍රදේශවාසින් එම ස්ථානයට පැමිණ විරෝධය පළකිරීම හේතුවෙන් මෙම උණුසුම් කාරි තත්ත්වය ඇතිවුහ.

මාර්ග සංවර්ධන අධිකාරි විසින් (08) ඊයේ රාත්‍රි 12.00 පෙර වලාකුළු බැම්ම කඩා ඉවත්කිරීමට නියෝග කර ඇති බව පවසමින් විරෝධතාව පැවැත්විණි.

එහිදි මහා සංඝරත්නය සඳහන් කර සිටියේ විදේශිකයකු විසින් බුද්ධ ප්‍රතිමාව ඉදිකර බවයි.

මාර්ග සංවර්ධන අධිකාරිය විසින් වලාකුළු බැම්ම ඉවත් කර පසු බුද්ධ ප්‍රතිමාවද ඉවත් කරනු ඇතිබව එහිදි භික්ෂූන් වහන්සේලා වැඩිදුරටත් පැවසුහ.

පසුව එම ස්ථානයට පැමිණි අමාත්‍ය වජිර අබේවර්ධන, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන රමේශ් පතිරණ සහ මනුෂ නානායක්කාර මන්ත්‍රීවරුන් මැදිහත් වී තත්ත්වය පාලනය කරහ.

එහිදි ඔවුන් විරෝධතාවයේ නිරත භික්ෂූන් වහන්සේලාට මාර්ග සංවර්ධන අධිකාරියේ සභාපති නිහාල් සූරියාරච්චි මහතා දුරකතනය ඔස්සේ සම්බන්ධ කරදුන්විට සභාපතිවරයා ප්‍රකාශ කළේ බුද්ධ ප්‍රතිමාවට හානියක් සිදු නොකරන බවයි.

මෙම අවස්ථාවට හබරාදුව ශාසනාරක්ෂක බල බණ්ඩලයේ ලේඛකාධිකාරි පුජ්‍ය හප්පාවන රේවත හිමියන් ද වැඩම කලහ ෴

+++++++++++++++++++++

පින්නදූව හුවමාරුවේ ඇති බුදු පිළිමය ගැන පැතිර ගිය කතාවෙන් උණුසුම් තත්ත්වයක්

(09.07.2019 – nethnews.lk)

දක්ෂිණ අධිවේගී මාර්ගයේ පින්නදුව හුවමාරුවේ ඊයේ (08) රාත්‍රියේ උණුසුම් තත්ත්වයක් ඇතිව තිබුණා.

දක්ෂිණ අධිවේගී මාර්ගයේ පින්නදූව පිවිසුමේ ඉදිකර ඇති බුදු පිළිමය එම ස්ථානයෙන් ඊයේ (08) මධ්‍යම රාත්‍රියට පෙර ඉවත් කිරීමට නියෝගයක් ලැබී අතැයි පවසමින් භික්ෂුන් වහන්සේලා, ප්‍රාදේශීය දේශපාලඥයින් ඇතුළු පිරිසක් සවස 07.00 ට පමණ එම ස්ථානයේ විරෝධතාවයක නිරත වුණා.

ඒ අනුව අදාළ ස්ථානයට විශේෂ පොලිස් කණ්ඩායම් ද යොදවා තිබුණා.

අක්මීමණ ප්‍රාදේශීය සභාවේ සභාපති සේන කළහෙවත්ත මහතා ඇතුළු මන්ත්‍රිවරුන් හා ප්‍රදේශයේ ශාසනාරක්ෂක බල මණ්ඩලයේ ප්‍රධාන විහාරාධිපතිවරුන් ඇතුළු ස්වාමීන් වහන්සේලා 40 ක පමණ පිරිසක් මෙම ස්ථානයට පැමිණ සිටියා.

මෙහිදී අදහස් දැක් වු විරෝධතාවයේ නිරත භික්ෂුන් වහන්සේලා ඇතුළු පිරිස් පවසා සිටියේ මාර්ග සංවර්ධන විෂය භාර අමාත්‍යවරුන්ගේ උපදෙස් මත මාර්ග සංවර්ධන අධිකාරියේ ඉහළ නිලධාරීන් අදාළ බුදුපිළිමය 08 වැනි දින රාත්‍රි 12.00 ට පෙර ඉවත් කරන ලෙස දැනුම් දී ඇති බවත් එවැන්නක් සිදු කරන්නේ නම් තමන් දිවිහිමියෙන් ඒ සදහා කැපවෙමින් මෙය ආරක්ෂා කරන බවයි.

පසුව දුරකතනය ඔස්සේ මාර්ග සංවර්ධන අධිකාරියේ සභාපතිවරයා පාර්ලිමේන්තු මන්ත්‍රි මනුෂ නානායක්කාර මහතාට සහ විරෝධතාවයේ යෙදී සිටි ස්වාමීන්වහන්සේලා ඇතුළු පිරිසට කියා සිටියේ කිසිසේත්ම බුදු පිළිමය එම ස්ථානයෙන් ඉවත් නොකරන බවයි.

අනතුරුව පාර්ලිමේන්තු මන්ත්‍රි විජේපාල හෙට්ටිආරච්චි මහතාද එම ස්ථානයට පැමිණ කියා සිටියේ බුදු පිළිමය ඉවත් නොකරන බවයි.

ඒ අනුව විරෝධතාවය අවසන් වු අතර විරෝධතාකරුවන් බුදු පිළිමය යට කොටසට ගල් ඇල්ලීම ද එම අවස්ථාවේදීම ආරම්භ කරනු ලැබුවා.

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *