බදාදා (10) උදෑසන 9 සිට පැය 24 ක කාලයක් කොළඹට ජල සැපයුම අඩු පීඩනයක් යටතේ

(08.07.2019 – 17:23 +0530 – hirunews.lk/sinhala)

නගර සංවර්ධන ව්‍යාපෘතියක් හේතුවෙන් අනිද්දා (10) උදෑසන 9 සිට පැය 24 ක කාලයක් කොළඹ නාගරික සීමාවේ ජල සැපයුම අඩු පීඩනයක් යටතේ ලබාදීමට සිදුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසනවා.

ඒ අනුව කොළඹ, දෙහිවල – ගල්කිස්ස, කෝට්ටේ, කඩුවෙල මහනගර සභා බල ප්‍රදේශය, මහරගම, බොරලැස්ගමුව, කොළොන්නාව යන ප්‍රදේශවලට මෙලෙස ජල සැපයුම සීමා කර තිබෙනවා.

එමෙන්ම, කොටිකාවත්ත, මුල්ලේරියාව, රත්මලාන යන ප්‍රදේශවලට ද අනිද්දා (10) උදෑසන 9 සිට පැය 24 ක කාලයක් ජල සැපයුම අඩු පීඩනයක් යටතේ ලබාදීමට සිදුවන බවයි ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය සඳහන් කළේ.

කළුතරට පැය 10 ක ජල කප්පාදුවක්

(09.07.2019 – 07:57 +0530 – hirunews.lk/sinhala)

කළුතර – අල්විස් පෙදෙස ජලාශයේ හදිසි නඩත්තු කටයුත්තක් හේතුවෙන් අද (09) පෙරවරු 10 සිට රාත්‍රී 8 දක්වා කාලය තුළ පැය 10 ක කාලයක් ප්‍රදේශ කිහිපයකට ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසනවා.

ඒ අනුව වාද්දූව, වස්කඩුව, පොතුපිටිය, කළුතර උතුර, දකුණ, ප්‍රදේශවලට ජල සැපයුම අත්හිටුවනු ඇති.

මීට අමතරව කටුකුරුන්ද සහ නාගොඩ ප්‍රදේශවලට ද අද (09) පෙරවරු 10 සිට රාත්‍රී 8 දක්වා ජල සැපයුම අත්හිටුවනු ඇති බවටයි ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය සඳහන් කළේ ෴

***************************************

දිවයින පුරා විදුලිය බිඳ වැටීමෙන් ජනතාව අසීරුතාවයට

(09.07.2019 – 06:54 +0530 – sinhala.adaderana.lk)

දිවයිනේ ඇතැම් ප්‍රදේශවල ඊයේ(08) රාත්‍රීයේ පැයක පමණ කාලයක් විදුලිය ඇණ හිටීමක් සිදුව තිබේ.

විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශයේ මාධ්‍ය ප්‍රකාශක සුලක්ෂණ ජයවර්ධන මහතා පැවසුවේ ඛනිජ තෙල් සංස්ථාවට ලබාදිය යුතු හිඟ මුදල් ලබානොදීම හේතුවෙන් මෙම තත්ත්වය හටගත් බවයි.

මේ අතර විදුලිය බිද වැටීම හේතුවෙන් තමන් දැඩි අසීරුතාවට පත් වූ බව පාරිභෝගිකයින් පෙන්වා දෙයි.

විදුලි බල මණ්ඩලයට අවශ්‍ය විදුලියෙන් සියයට අසූ පහක් පමණම ලබා ගැනීමට සිදුව ඇත්තේ තාප විදුලි බලාගාරයෙන් වීම මීට හේතු වී ඇති බව ඔහු පවසයි.

ඊයේ දිනයේ ලංකා විදුලි බල මණ්ඩලයෙන් ලංකා ඛනිජ තෙල් සංස්ථාවට ලබා දීමට තිබු රුපියල් බිලියන 80 ක පමණ මුදල පමණ මුදල ගෙවීමට ප්‍රමාද වීම මත තෙල් සැපයීමේ සීමා කිරීමක් සිදුව ඇති බවත් ඒ හේතුව මත මෙගා වොට් 150 ක පමණ ධාරිතාවයක් පද්ධතියෙන් ඉවත් වීම හේතුවෙන් විදුලි ඉල්ලුම කළමණාකරණය කර ගැනීමට විදුලි සැපයුම සීමා කිරීමට වු බව ඒ මහතා වැඩිදුරටත් පැවසීය ෴

***************************************

රෝහල් අපද්‍රව්‍ය තිරප්පනේ වළකට හොර රහසේ බැහැර කරයි

(08.07.2019 – 21:37 +0530 – sinhala.adaderana.lk)

රෝහලකින් බැහැර කෙරුණු බව කියන ශරීර කොටස් ඇතුළු සායනික අපද්‍රව්‍ය තොගයක් අනුරාධපුර තිරප්පනේ කුංචිකුළම කැලෑබද ප්‍රදේශයකට අනවසරයෙන් බැහැර කිරීමට පැමිණි පුද්ගලයින් තිදෙනෙක් ප්‍රදේශවාසීන්ගේ මැදිහත්වීමෙන් අල්ලා ඊයේ (07) රාත්‍රියේ පොලීසියට භාර දී තිබේ.

එම අපද්‍රව්‍ය තොගය ප්‍රවාහනය කෙරුණු කන්ටේනර් රථයද පොලිස් භාරයට ගැනුණි.

අනුරාධපුර තිරප්පනේ කුංචිකුළම වෙල්ලමුදාව ප්‍රදේශයට රාත්‍රී කාලයේ පැමිණෙන පිරිසක් විසින් ප්‍රදේශයේ අත්හැරදැමූ බොරළු වළකට අවස්ථා කිහිපයකදී මිනිස් ශරීර කොටස් ඇතුළු සායනික අපද්‍රව්‍ය බැහැර කර තිබෙන අයුරු ගම්වාසීන් නිරීක්ෂණය කර තිබුණි.

පසුව ඒවාට ගිනි තැබීමට අදාළ පිරිස් කටයුතු කර තිබුණත් අපද්‍රව්‍ය සම්පූර්ණයෙන් දැවී නොයාම සහ මිනිස් ශරීර කොටස් සතුන් ඇද දැමීම හේතුවෙන් ප්‍රදේවාසීන් දැඩි අපහසුතාවට පත්ව සිටියේය.

එවන් පසුබිමක නැවතත් එම ස්ථානයට රෝහල් අපද්‍රව්‍ය බැහැර කිරීමට කටයුතු කරමින් සිටි , කන්ටේනර් රථයකින් පැමිණි පුද්ගලයින් තිදෙනෙක් ඊයේ රාත්‍රියේ ප්‍රදේශවාසීන් විසින් රැක සිට අල්ලාගනු ලැබුවේය.

මෙලෙස පොලිස් අත්අඩංගුවට පත්වුණේ රෝහල් අපද්‍රව්‍ය බැහැර කිරීමේ කොන්ත්‍රාත්කරුවෙකුට අයත් කන්ටේනර් රථයක්, එහි රියදුරු සහ රිය සහයකයින් දෙදෙනායි.

පොලිස් භාරයට ගත් කන්ටේනර් රථය තිරප්පනේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීවරයා සහ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් ඉදිරියේ අද (08) උදෑසන විවෘත කළ අතර ඒ වන විටත් ඉන් දැඩි දුඟදක් වහනය වෙමින් පැවතුනේය.

එමෙන්ම රථය භාරයට ගත් අවස්ථාවේ ඒ තුළ ඇත්තේ කොළඹ ජාතික රෝහලින් බැහැර කළ අපද්‍රව්‍ය බව සැකකරුවන් පැවසුවද ඒ තුළ වූ අපද්‍රව්‍ය බහා තිබු‍ණේ කුරුණෑගල මහ රෝහලේ නම මුද්‍රණය කළ මළු තුළයි.

අත්අඩංගුවට ගත් පුද්ගලයින් තිදෙනා අනුරාධපුර මහේස්ත්‍රාත් අධිකරණයට අද ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රුපියල් ලක්ෂ 2 බැගින් වු මුදල් ඇප මත මුදාහැරීමට අනුරාධපුර ප්‍රධාන මහෙස්ත්‍රාත්වරයා නියෝග කර තිබේ.

එමෙන්ම අපද්‍රව්‍ය තොගය අරුවක්කාළු කසළ අංගනයට බාර දී රිසිට්පතක් අධිකරණයට ඉදිරිපත් කරන ලෙසත් මහේස්ත්‍රාත්වරයා නියෝග කළ බව අද දෙරණ වාර්තාකරු සඳහන් කළේය.

***************************************

දුම්රියේ ගැටී ගවයින් 4 ක් මරුට – උතුරු දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවනයත් ප්‍රමාද වෙයි

(08.07.2019 – 19:51 +0530 – sinhala.adaderana.lk)

කොළඹ සිට යාපනය බලා ධාවනය සීඝ්‍රගාමි දුම්රියේ ගවයින් ගැටීමෙන් දුම්රියට හානි සිදුවීම හේතුවෙන් අද (08) සවස පැයක පමණ කාලයක් දුම්රිය ප්‍රමාද වී ඇත.

කොළඹ සිට යාපනය බලා ධාවනය වු දුම්රියේ වවුනියාව තාණ්ඩිකුලම ප්‍රදේශයේදී ගවයින් ගැටීමෙන් හා දුම්රිය හා රේල් පිලී අතර ගවයෙකු හිරවීම හේතුවන් දුම්රිය ගමනාගමන කටයුතු ප්‍රමාද වී ඇත.

ගවයෙකු දුම්රිය හා රේල් පීලි අතර සිරවීමෙන් දුම්රිය පෙට්ටි වෙන්කරන යාන්ත්‍රික කොටසක් ගැලවී යාම හේතුවෙන් වවුනියාව සිට යාපනය බලා ධාවනය වු දුම්රිය එලෙස ප්‍රමාද වී ඇත.

දුම්රියේ ගැටීමෙන් ගවයින් සිව් දෙනෙකුද ජීවිතක්ෂයට පත්වු අතර, දුම්රිය කාර්මික දෝෂය සකස් කිරීමෙන් අනතුරුව පැයක පමණ ප්‍රමාදයකින් පසුව දුම්රිය යාපනය බලා ධාවනය විණ ෴

***************************************

මධ්‍යවේදී උපාලි තෙන්නකෝන්ට පහරදීමේ සිද්ධියට අත්අඩංගුවට ගත් යුද හමුදා බුද්ධි නිලධාරියා රිමාන්ඩ්

(08.07.2019 – 16:05 +0530 – hirunews.lk/sinhala)

ප්‍රවීන මාධ්‍යවේදී උපාලි තෙන්නකෝන් මහතාට පහර දීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් යුද හමුදා බුද්ධි නිලධාරියෙකු වන කෝප්‍රල් ලලිත් රාජපක්ෂ මේ මස 19 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.

ඒ ඔහු ගම්පහ ප්‍රධාන මහේස්ත්‍රාත් ඩී.ඒ. රුවන් පතිරණ මහතා හමුවට අද ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.

සැකකරු එදිනට හඳුනා ගැනීමේ පෙරට්ටුවකට ඉදිරිපත් කරන ලෙසට ද ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා නියෝග කළා.

හංවැල්ල ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් මොහුගේ ඇඟිලි සලකුණු පහර කෑමට ලක් වූ උපාලි තෙන්නකෝන් මහතා ගමන් ගත් වාහනයේ තිබී හමුවූ ඇඟිලි සලකුණු සමඟ ගැලපෙන බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව තහවුරු කරගෙන තිබෙනවා.

මොහු විශේෂ වරප්‍රසාද යටතේ ජර්මනියේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ වසර දෙකක කාලයක් සිය පවුලේ සාමාජිකයන් ද සමඟ සිට ඇති බව සඳහන්.

මාධ්‍යවේදී උපාලි තෙන්නකෝන් මහතා ගම්පහ ප්‍රදේශයේදී පහර කෑමට ලක් වූයේ පසුගිය 2009 වසරේදීයි.

මෙම පහරදීමට අදාළව මීට පෙර හමුදා සාමාජිකයින් 7 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇප මත මුදා හැරුණා.

+++++++++++++++++++++++++++++++++++

උපාලි තෙන්නකෝන්ට පහර දුන් සැකකරුම කීත් නොයාර් පැහැර ගත් සැකකරු ලෙස නම් කරන්න – CID උපදෙස්

(09.07.2019 – 15:35 +0530 – sinhala.adaderana.lk)

මාධ්‍යවේදී උපාලි තෙන්නකෝන් මහතාට පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින යුද හමුදා බුද්ධි අංශ නිලධාරීයා මාධ්‍යවේදී කීත් නොයාර් මහතා පැහැරගෙන ගොස් ඝාතනය කිරීමට තැත් කිරීමේ සිද්ධියේ ද සැකකරුවකු ලෙස නම් කරන ලෙස නීතිපතිවරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට උපදෙස් ලබාදී තිබේ.

නීතිපති දප්පුල ද ලිවේරා මහතා විසින් මෙම ලිඛිත උපදෙස් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයා වෙත යොමුකළ බව නීතිපතිවරයාගේ සම්බන්ධීකරණ නිලධාරිනි රජයේ අධිනීතිඥ නිෂාරා ජයරත්න මෙනෙවිය සඳහන් කළේය.

එම ලිඛිත උපදෙස්වලින් නීතිපතිවරයා දැනුම් දී ඇත්තේ මාධ්‍යවේදී කීත් නොයාර් පැහැරගෙනයාමේ සිද්ධිය සම්බන්ධයෙන් දැනට සිදුකර ඇති පරීක්ෂණවලට අනුව ලලිත් රාජපක්ෂ නමැති යුධ හමුදා බුද්ධි අංශ නිලධාරියාට එරෙහිව අදාළ සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රමාණවත් සාක්ෂි පවතින බවයි.

ඒ අනුව කීත් නොයාර් පැහැරගෙන යාම පිළිබඳ නඩු විභාගය පැවැත්වෙන ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ සැකකරු නම් කිරීමට පියවර ගන්නා ලෙස ද නීතිපතිවරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත ලබාදී ඇති උපදෙස්වල සඳහන් වෙයි.

***************************************

හදවත, දෙනෙත්, වකුගඩු ඇතුළු අභ්‍යන්තර ඉන්ද්‍රියන් දාහතරක් දන් දී අවසන් ගමන් ගිය අපේ කාලයේ කමාන්ඩෝ වීරයා

(08.07.2019 – 15:18 +0530 – hirunews.lk/sinhala)

දානය වචනයේ පරිසමාප්තයෙන්ම ඔප්පු කර පෙන්වූ ලක්මව සුරැකි වීරෝධාර රණවිරුවෙකු කළ අපූරු පරිත්‍යාගයක් පිළිබඳව පුවතක් අපට වාර්තා වන්නේ ගලේවෙල ප්‍රදේශයෙන්.

ගලේවෙල ඇතාබැඳිවැව තලකිරියාගම ප්‍රදේශයේ ජීවත් වූ මෙම වීරෝධාර සෙබලා යුධ හමුදා විශ්‍රාමික මේජර් වරයකු වූ 44 හැවිරිදි එම් .ජී . ජයවීරයි.

විශ්‍රාම යාමෙන් අනතුරුව තිදරු පියෙකු වූ ඔහු කොළඹ පෞද්ගලික හෝටලයක සේවයේ නිරතව සිට තිබෙනවා.

එක්වරම හිසේ ඇතිවූ ආබාධයක් හේතුවෙන් රෝගාතුර වූ ඔහු ප්‍රථමයෙන් දඹුල්ල රෝහලටත් පසුව යුද හමුදා රෝහලටත් ඇතුලත් කර අනතුරුව ජාතික රෝහලට ඇතුලත් කරනවිටයි මියගොස් ඇත්තේ.

කෙසේ වෙතත් තම සිරුරේ අභ්‍යන්තරය සෞඛ්‍ය සම්පන්න බැවින් ජීවත්ව සිටියදීම ඔහු සිය ඥාතීන්ගෙන් ඉල්ලීමක් කර තිබුනේ තමා මියගිය දිනක සිරුරේ ඉන්ද්‍රීයන් දන් දීමට කටයුතු කරන ලෙසයි.

ඒ අනුව ඔහුගේ බිරිඳ විසින් තම සැමියාගේ ශරීරයේ අභ්‍යන්තර ඉන්ද්‍රියයන් දාහතරක් දන්දීමට කැමැත්ත පළ කර තිබෙනවා.

එම කැමැත්තට අනුව හදවත, දෙනෙත්, වකුගඩු ඇතුළු අභ්‍යන්තර ඉන්ද්‍රියන් දාහතරක් මෙලොව ජීවිතය යදින අයෙකුගේ පිහිටට තබා ජයවීර අද දින සදහටම නික්ම යන්නේ මෙලොව වෙසෙන සංවේදී හදවත් ඇති මිනිසුන්ට සිතන්නට යමක් ඉතිරිකරමින්.

***************************************

ගෙළ බැඳි රන් මාලය කොල්ල කා ගිය හැටි

(08.07.2019 – 07:47 +0530 – hirunews.lk/sinhala)

තරුණියකගේ ගෙළ බැඳි රන් මාලයක් කොල්ලකා පලායන ආකාරය දැක්වෙන ආරක්ෂිත කැමරා දර්ශන පෙළක් අප වෙත ලැබී තිබෙනවා.

ගල්කිස්ස, ගඟදර පාර ප්‍රදේශයේදී පසුගියදා මෙම කොල්ලකෑම සිදුකර ඇති බවයි වාර්තා වන්නේ.

යතුරුපැදියකින් පැමිණෙන පුද්ගලයින් දෙදෙනෙක් මෙම කොල්ලකෑම සිදුකර පලා යන අයුරු ආරක්ෂිත කැමරා දර්ශනවල මෙලෙස සටහන්ව තිබුණා.

https://www.youtube.com/watch?v=ufefuVJwFJE#t=5
********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *