මරණීය දණ්ඩනය තාවකාලිකව අත්හිටුවයි – ශ්‍රේෂ්ඨාධිකරණයෙන් නියෝගයක්

(05.07.2019 – 14:02 +0530 – sinhala.adaderana.lk)

මරණීය දණ්ඩනය ක්‍රියාත්මක කිරීම වළක්වාලමින් ලබන ඔක්තෝබර් මස 30 වනදා තෙක් බල පැවැත්වෙන පරිදි ශ්‍රේෂ්ඨාධිකරණය විසින් තහනම් නියෝගයක් නිකුත් කර ලැබුවේය.

බුවනෙක අලුවිහාරේ, ප්‍රසන්න ජයවර්ධන සහ ගාමිණි අමරසේකර යන මහත්වරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් විසින් මෙම නියෝග නිකුත් කළේය.

මරණීය දණ්ඩනය ක්‍රියාත්මක කිරීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන මෙන් ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනු කර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සම් 12 ක් සලකා බැලීම සඳහා අද කැඳවු ලැබුවේය.

එහිදී නීතිඥවරයෙකු වන කේ.එච්. ගීගනගේ මහතා විසින් ඉදිරිපත් කළ මූලික අයිතිවාසිකම් පෙත්සම වෙනුවෙන් කරුණු දැක්වූ ජනාධිපති නීතිඥ එම්.ඒ. සුමන්දිරන් මහතා මරණීය දණ්ඩනය ලැබූ සිරකරුවන් අතුරින් තෝරාගත් සිරකරුවන් හතර දෙනෙකුට පමණක් එම දඬුවම ක්‍රියාත්මක කිරීමට ජනාධිපතිවරයා ගත් තීරණය තුළින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සහතික කර තිබෙන නීතිය ඉදිරියේ සමාන සැලකිලි ලැබීමට ඇති මූලික අයිතිය උල්ලංඝනය වන බව පෙන්වා දුන්නේය.

මෙම ක්‍රියාදාමය තුළින් ආණ්ඩුක්ම ව්‍යවස්ථාව යටතේ සහතික කර තිබෙන මූලික අයිතීන් උල්ලංඝනය වන බවත් එබැවින් අදාළ දඬුවම ක්‍රියාත්මක කිරීම වැළැක්වීමේ අතුරු නියෝගයක් නිකුත් කර ලෙස ජනාධිපති නීතිඥවරයා අධිකරණයෙන් ඉල්ලීම් කළ බව අද දෙරණ වාර්තාකරු පැවසීය.

නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි රජයේ නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් නෙරින් පුල්ලේ මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් මරණීය දණ්ඩනය ශ්‍රී ලංකා නීතියට අනුකූල දඬුවමක් බව පෙන්වා දුන්නේය.

එබැවින් ජනාධිපතිවරයාගේ මෙම නියෝගය තුළින් මූලික අයිතීන් කඩ වීමක් සිදු නොවන බව රජයේ නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල්වරයා පෙන්වා දුන්නේය.

කෙසේ වෙතත් ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුමඩුල්ල තීන්දු කළේ මූලික අයිතිවාසිකම් පෙත්සම් සියල්ල ඔක්තෝබර් 29 සලකා බලන බවයි.

ඒ අනුව ඔක්තෝබර් මස 30 වනදා තෙක් මරණීය දණ්ඩනය ක්‍රියාත්මක කිරීම වළක්වාලමින් තහනම් නියෝගයක් නිකුත් කරන බව ද ශ්‍රේෂ්ඨාධිකරණය ප්‍රකාශ කළේය.

***************************************

ශ්‍රීලනිපය හා පොහොට්ටුව එකට තරග කරන්න කිසිදු එකඟතාවයක් නෑ – ශෙහාන් සේමසිංහ

(05.07.2019 – 16:06 +0530 – sinhala.adaderana.lk)

ශ්‍රි ලංකා නිදහස් පොදුජන පෙරමුණ නැමැති සංධානයකින් ඉදිරි මැතිවරණ සඳහා තරඟ කිරීමට ශ්‍රි ලංකා නිදහස් පක්ෂය සමඟ කිසිදු එකඟත්වයකට පැමිණ නැතැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ අවධාරණය කරයි.

ඊයේ(04) එක්සත් ජනතා නිදහස් සංධාන මහ ලේකම් මහින්ද අමරවීර මහතා සිදුකල ප්‍රකාශය සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප කරන බව ද ඔවුන් වැඩිදුරටත් පැවසයි.

අද (05) පෙරවරුවේ කොළඹ නෙළුම් මාවතේ පිහිටි පොදුජන පෙරමුණු ප්‍රධාන කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකදී පාර්ලිමේන්තු මන්ත්‍රී ශෙහාන් සේමසිංහ මහතා මේ බව අවධාරණය කළේය.

ශ්‍රි ලංකා නිදහස් පක්ෂය සහ ශ්‍රි ලංකා පොදුජන පෙරමුන අතර සාකච්චා සාර්ථකව සිදුකෙරෙන නමුත් සංධානයකින් තරඟ කිරීමක් සම්බන්ධයෙන් තවමත් කිසිදු නිෂ්චිත අවසන් තීරණයකට පැමිණ නොමැති බව ඒ මහතා සඳහන් කළේය.

වත්මන් ජනාධිපතිවරයා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජනාධිපති අපේක්ෂකයා ලෙස එම පක්ෂය විසින් නම්කොට ඇති පසුබිමක එම කොන්දේසිය යටතේ සංධානයකට එකඟවීමට පොදුජන පෙරමුන සූදානම් නොමැති බව ඒ මහතා වැඩිදුරටත් අවධාරණය කර සිටියි.

නමුත් යම් හෙයකින් මෙම පක්ෂ දෙක අතර සංධානයක් ඇතිවන්නේ නම් ඉදිරි ජනාධීපති අපේක්ෂකයා විය යුත්තේ ගෝඨාභය රාජපක්ෂ මහතා බව පොදුජන පෙරමුණු පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් සියලු දෙනාගේ තීරණය බව මෙම මාධ්‍ය හමුවට සහභාගී වු පාර්ලිමෙන්තු මන්ත්‍රී තාරක බාලසූරිය මහතා සඳහන් කළේය.

පොදු ජන පෙරමුනේ ජනාධිපති අපේක්ෂකයා නිළ වශයෙන් ප්‍රකාශයට පත්කිරීම අගෝස්තු මස 11 වැනිදා ප්‍රකාශයට පත්කෙරෙන අතර මේ අවස්ථාවේ ශ්‍රි ලංකා නිදහස් පක්ෂයට ගතහැකි හොඳම ක්‍රියාමාර්ගය වන්නේ ජනතා මතය අනුව පොදුජන පෙරමුණ සමඟ කොන්දේසි විරහිතව එකතුවීම බව ඒ මහතා පෙන්වා දුන්නේය.

***************************************

ඇවන්ගාඩ් සභාපති ඇතුළු 8 ක් අත්අඩංගුවට ගන්න නීතිපතිගෙන් උපදෙස් – නිශ්ශංක රටින් ගිහින්

(05.07.2019 – 14:47 +0530 – sinhala.adaderana.lk)

ඇවන්ගාඩ් මෙරිටයිම් සමාගමේ සභාපති නිශ්ශංක යාපා සේනාධිපති ඇතුළු 8 දෙනෙකු අත්අඩංගුවට ගන්නා ලෙස නීතිපති විසින් වැඩබලන පොලිස්පතිවරයාට විසින් උපදෙස් ලබා දී තිබේ.

කෙසේ වෙතත් ඊයේ (04) දිනයේ දී සභාපතිවරයා රටින් පිටව ගොස් ඇති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් නීතිපති දෙපාර්තමේන්තුව වෙත් දන්වා ඇතැයි නීතිපතිවරයාගේ සම්බන්ධීකරණ නිලධාරිනිය වන රජයේ අධිනීතිඥ නිශාරා ජයරත්න මහත්මිය පවසයි.

රුපියල් ලක්ෂ 355 ක අල්ලසක් දීම සහ ලබා ගැනීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වී සිටින ඇවන්ගාඩ් මැරිටයිම් සමාගමේ සභාපති නිශ්ශංක යාපා සේනාධිපති සහ රක්නා ලංකා ආරක්ෂක සමාගම හිටපු සභාපති විශ්‍රාමික යුද හමුදා මේජර් ජෙනරාල් පාලිත ප්‍රනාන්දු යන අයට එරෙහිව අල්ලස් කොමිසම විසින් ගොනු කර තිබෙන නඩුව අද (09) කොළඹ මහාධිකරණය හමුවේ යළි විභාගයට ගත්තේය.

කොළඹ මහාධිකරණ විනිසුරු ශෂී මහේන්ද්‍රන් මහතා ඉදිරියේ මෙම නඩුව විභාගය ගැණුන අතර එහිදී රජයේ නීතිඥවරයාගෙ මෙහෙයවීම යටතේ බැංකු නිලධාරියකුගෙන් සාක්ෂි සටහන් කරගැනීමද සිදු විය.

අනතුරුව වැඩිදුර සාක්ෂි විභාගය ජනවාරි මස 21 වනදාට කල් තැබුණි.

ඉකුත් රජය සමයේ ඇවන්ගාඩ් මෙරිටයිම් සර්විසස් සමාගමට ගාලු වරායේ පාවෙන අවි ගබඩාවක් පවත්වාගෙන යාම සඳහා අවශ්‍ය කටයුතු කර දීමට එම සමාගමේ සභාපති නිශ්ශංක යාපා සේනාධිපති මහතාගෙන් රුපියල් ලක්ෂ 355 ක අල්ලසක් ලබාගත් බවට චෝදනා කරමින් රක්නා ලංකා ආරක්ෂක සමාගමේ හිටපු සභාපති විශ්‍රාම ලත් යුද හමුදා මේජර් ජෙනරාල් පාලිත ප්‍රනාන්දු මහතාට එරෙහිව අල්ලස් කොමිසම මෙම නඩුවෙන් එක්චෝදනාවක් ගොනු කර තිබේ.

පාලිත ප්‍රනාන්දු මහතාට රුපියල් ලක්ෂ 355 ක අල්ලස් ලබාදීම තුළින් අල්ලස් පනත යටතේ වරදක් සිදුකර ඇති බව සඳහන් කරමින් මෙම නඩුවෙන් ඇවන්ගාඩ් සමාගමේ සභාපති නිශ්ශංක සේනාධිපති මහතාට එරෙහිව අල්ලස් කොමිසමට තවත් චෝදනාවක් ද එල්ල කර තිබේ ෴

***************************************

පරිගණක පද්ධති බිඳවැටීම රටේ ආර්ථිකයට බරපතළ තර්ජනයක්

(05.07.2019 – 13:57 +0530 – sinhala.adaderana.lk)

පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තුමේන්තුවේ වෙබ් අඩවිය යල්පැනගිය වෙබ් අඩවියක් බව ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමය විසින් සිදුකළ සොයා බැලීමකදී අනාවරණය වී තබේ.

එමෙන්ම මෙම වෙබ් අඩවිය සතුව SSL Encryption ආරක්ෂණ සහතිකය නොහොත් HTTPS නොමැති නිසා මෙම වෙබ් අඩවියට පිවිසෙන පුද්ගලයන්ගේ දත්ත හැකර් ග්‍රහණයට නතුකර ගැනීමට ලෙහෙසියෙන්ම හැකි බව එම සංගමය සඳහන් කළේය.

තවද මෙම වෙබ් අඩවිය නිර්මාණය කල පුද්ගලයා තමන්ගේ ෆේස්බුක් ගිණුමේ යොමුවක් (Link) එම වෙබ් අඩවියේ පහල සදහන් කිරීම පිළිබදව ගැටලුවක් පැනනැගෙන අතර රාජ්‍ය දෙපාර්තුමේන්තුවකට අයත් වෙබ් අඩවියක් තම පෞද්ගලික ව්‍යාපාර කටයුතු සදහා යොදාගැනීම රාජ්‍ය දේපල අවභාවිතය යටතේ දඩුවම් ලැබියහැකි වරදක් බව ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමය විසින් පෙන්වා දෙයි.

මේ පිළිබඳව වහාම පරීක්ෂණයක් පවත්වන ලෙසත් දෙපාර්තුමේන්තු නිල වෙබ් අඩවිය නිසි ආකාරයෙන් මනාව සකස්කොට යාවත්කාලීන කරන ලෙසත් ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමය විසින් පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තුමේන්තුවේ කොමසාරිස්වරයාගෙන් ඉල්ලා සිටීයි.

අද දින (5) පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තුමේන්තුවේ පරිගණක පද්ධතිය බිදවැටීම හේතුවෙන් එක්දින ජාතික හැදුනුම්පත් නිකුත් කිරීමේ සේවාව තාවකාලිකව අක්‍රිය වී ඇති බව එහි කොමසාරින් විසින් ප්‍රකාශයට පත්කොට තිබේ.

මෙලෙස පරිගණක පද්ධති බිඳවැටි සේවා අක්‍රියවීම රටේ සමස්ත ආර්ථිකයටම බරපතළ ආකාරයේ බලපෑමක් ඇතිකළ හැකි බැවින් ඉදිරියේදී පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තුමේන්තුවේ පමණක් නොව අනෙකුත් සියලුම සේවා සපයන රාජ්‍ය ආයතනවල සේවා කිසිදු බාධාවකින් තොරව ජනතාවට ලබාදීමට ඒ ඒ රාජ්‍ය දෙපාර්තුමේන්තු හා ආයතනවල උපස්ථ පරිගණක පද්ධතියක් පවත්වාගෙන යාමට කටයුතු කරන ලෙස ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමය ලෙස අදාළ දෙපාර්තුමෙන්තුවල බලධාරීන්ගෙන් ඉල්ලා සිටියි ෴

***************************************

රජයේ ඉඩම් විශේෂ විධිවිධාන පනත් කෙටුම්පතට එරෙහිව තවත් පෙත්සමක්

(05.07.2019 – 13:28 +0530 – sinhala.adaderana.lk)

රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන රජයේ ඉඩම් විශේෂ විධිවිධාන පනත් කෙටුම්පතේ ඇතැම් වගන්තිය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බවත් ඒවා සම්මත කිරීමට අවශ්‍ය නම් පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බහුතර ඡන්දයකින් සහ ජනමත විචාරණයකින් අනුමත විය යුතු බවට තීන්දුවක් ලබාදෙන මෙන් ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණයට තවත් පෙත්සමක් ඉදිරිපත් වුණි.

පූජ්‍ය උලපනේ සුමංගල හිමියන් විසින් මෙම පෙත්සම ඉදිරිපත් කළ අතර එහි වගඋත්තරකරු ලෙස නීතිපතිවරයා නම් කර තිබේ.‍

පූජ්‍ය උලපනේ සුමංගල හිමියන් කියා සිටින්නේ විදේශිකයින්ට මෙරට භූමියේ අයිතිය පවරා දීම සඳහා වත්මන් රජය විසින් මෙම පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති බවයි.

මෙම පනත් කෙටුම්පත හරහා මෙරට පවතින ඕනෑම ඉඩමක් නිදහසේ විකුණා දැමීමට ජනතාවට අවකාශ සැලසෙන බව පෙන්වා දෙන සුමංගල හිමියන් එය දැඩි අනතුරුදායක තත්ත්වයක් බව කියා සිටියි.

ඉඩම් විෂයට අදාළ මෙම පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට පෙර දිවයිනේ සියලු පළාත් සභා වලින් ඒ පිළිබඳව අදහස් ලබා ගැනීම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යටතේ සිදුකළ යුතු අත්‍යවශ්‍ය කටයුත්තක් වුවද එසේ පළාත් සභාවලින් අදහස් ලබා ගැනීමට රජය කටයුතු කර නොමැති බව ද උන් වහන්සේ චෝදනා කළේය.

ආණ්ඩුකම ව්‍යවස්ථාවට පටහැනි ලෙස ඉදිරිපත් කර තිබෙන මෙම පනත් කෙටුම්පතේ වගන්ති බොහොමයකින් මූලික අයිතීන් උල්ලංඝනය වන බව පෙන්වාදෙන පෙත්සම්කාර හිමියන් ඒවා සම්මත කිරීමට අවශ්‍ය නම් පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බහුතර ඡන්දයකින් සහ ජනමත විචාරණයකින් අනුමත විය යුතු බවට තීන්දුවක් ලබාදෙන මෙන් ද ශ්‍රේෂ්ඨාධිකරණය ඉල්ලා තිබේ.

මෙම පනත් කෙටුම්පත අභියෝගයට ලක්කරමින් සිසිර ජයකොඩි සහ උදය ගම්මන්පිල යන ඒකාබද්ධධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු මෙන්ම නීතීඥ ප්‍රේම්නාත් දොලවත්ත මහතා විසින්ද ඊයේ දින ශ්රේෂ්ඨාධිකරණය හමුවේ පෙත්සම් තුනක් ගොනු කර තිබුණි ෴

+++++++++++++++++++++

SOFA ගිවිසුමෙන් අමෙරිකානු හමුදාවට ඕනෑම වේලාවක දිවයිනට එන්න පුළුවන්

(05.07.2019 – 13:31 +0530 – sinhala.adaderana.lk)

අමෙරිකාව සමඟ සෝෆා ගිවිසුම අත්සන් කිරීම මඟින් මිලියන 2.9 ක් වන අමෙරිකානු හමුදාවට ඕනෑම අවස්ථාවකදී ශ්‍රී ලංකාවට ඇතුළු විය හැකි බව ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපති ජනාධිපති නීතිඥ කාලිංග ඉන්ද්‍රතිස්ස මහතා පෙන්වා දෙයි.

වත්මන් රජය අමෙරිකාව සමඟ අස්සන් කිරීමට සැරසෙන සෝෆා, ඇක්සා සහ මිලේනියම් කෝපර්ෂන් යන ගිවිසුම් සම්බන්ධයෙන් දැනුවත් කිරීම සඳහා විපක්ෂ නායකවරයා සමඟ පැවති සාකච්ඡාවකදී ඒ මහතා මේ බව සඳහන් කළේය.

ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ නියෝජිතයින් පිරිසක් විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා අතර හමුවක් ඊයේ (04) පස්වරුවේදී කොළඹ විජේරාම නිල නිවසේදී පැවැත්වුණි.

සෝෆා සම්මුතියකට එළඹුණහොත් ත්‍රස්තවාදීන්ට මෙරට තුළ නිදහසේ හැසිරීමට ඉඩ කඩ සැලසෙන බවත් ඔහු ප්‍රකාශ කළේය.

එසේම අමෙරිකානු හමුදාව කුමන වරදක් කළද මෙරට නීතිය ඔවුනට ක්‍රියාත්මක නොවන බවත් ඔහු වැඩිදුරටත් පවසා සිටියේය.

මේ අතර ප්‍රකාශයක් නිකුත් කරමින් ආරක්ෂක රාජ්‍ය අමාත්‍යවරයා පවසන්නේ මෙවැනි ගිවිසුමකට අස්සන් කිරිමට මෙරට රජය සුදානමක් නොමැති බවයි.

+++++++++++++++++++++

TV Derana > Aluth Parlimenthuwa (03.07.2019)

122 Min.s
********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *